Wednesday 30 August 2017

ගංවතුරේ පදිමින් සිටි ඔරුවට ගසක සිටි පොළඟෙක් පැන්නා...........

   ප කුඩා කළ ජීවත්වූ යේ කළු ගඟට කිට්ටුවෙන් පිහිටි රමණිය ගම් ප්‍රදේශයකය. අප්‍රියෙල් අවුරුදු නිවාඩුව කෙළි දෙලෙන් ගතකරන අපට ඊළඟට එළඹෙන වෙසක් සමය තවත් ආශ්වාද ජනක කාලයකි. වෙසක් කූඩු තැනීම, වෙසක් බලන්නට යාම, පන්සල් යාම වැනි දෙයටත් වඩා අප ප්‍රිය කළේ නොවරදාවාම ඒ දිනවලට වර්ෂාවත් සමග එන ගංවතුරේ කෙසෙල් කොට පහුරු පැදිමටය. අවුරුදු දිනවල වැසි වසින විට,

‘මේ පාර නම්.... හතලිස් පස් දොහේ ගංවතුර සිකුරටම එනවා’

යයි අපගේ සීයා කියන විට අපට පහුරු පැදීම සිහිවේ. 

අවුරුද්දට හිස තෙල් ගා අවසන් වූ වහාම,  අවුරුදු සංග්‍රහ සඳහා කෙසෙල් කැන් කැපු පසු ඉතිරිවන කෙසෙල් කොට එක්රැස් කර එකට අමුණා ගෙන, අපි පහුරු පැදීමට සුදානම් වන්නෙමු.

වැඩිහිටියන් වු පසුද කෙසෙල් කොට පහුරු කෙසේ  වෙතත් ගංවතුරේ ඔරු පැදීමට නම් පුදුම ආශාවක් තිබිණ. මගේ සේවා ස්ථානයේ සිටි එක් මිතුරෙකු වන ගුණසිරිද ගංවතුර ගලන  ප්‍රදේශයක පදිංචි කරුවෙකි. කාර්ය මණ්ඩලයේ එක වයසේ අප කිහිප දෙනෙක්ම විය.

මැයි මාසයේ වෙසක් පොහොය පසුවී සතියකින් පමණ තද වැසි වැස ගංවතුර ගැලිය. මා ඔරු පැදීමට කැමති බව දන්නා ගුණසිරි,

‘මේ සෙනසුරාද ගංවතුරේ ඔරු පදින්නට යමුද? කියා මගෙන් ඇසිය.

මම එම යෝජනාවට කැමති වීමි.

‘අපේ බාප්පලාගේ ගෙදර ඔරුවක් තියෙනවා. එහෙ මල්ලි කෙනෙක් ඉන්නවා ඔරු පදින්නට හරිම දක්ෂයා’ මම එයාටත් කතා කරලා ඔරු පදින්න ලැහැස්ති කර ගන්නම්’ කී  ඔහූ

‘ටිකක් දුරට  ගියොත් ඔරුවේ හිඳ ගෙනම ඉදුණු කැබෙල්ල ගෙඩි කන්නත් පුළුවන්’ කියා තවත් රසවත් දෙයක් මතක්‌ කළේය.

දං සහ කැබෙල්ල මා ඉතා ප්‍රිය කළ කැලෑ පලතුරු විය.

‘එහෙනම් අපි සෙනසුරාදා උදේ අපේ බාප්පලාගේ ගෙදරට යමු’. කියා ගුණසිරි ගමන ස්ථිර කළේය.

සෙනසුරාදා උදේ, අපගේ තවත් සගයෙකු සහ මම,  ගුණසිරි සමග ඔහුගේ බාප්පලාගේ ගෙදරට ගියෙමු. ගුණසිරිගේ ඤාති සොහොයුරා වූ සරත්, හෙදරට පේන තෙක් මානයේ ගංවතුර අසල තැනක, ඔරුව සුදානම් කර තිබිණ. දං  සහ කැබෙල්ල එකතු කර ගැනීම සඳහා වේවැල් කූඩා  දෙකක්ද සපයාගෙන තිබුණි.

ඔරුව අසලට පැමිණි අපට ඉමක්‌ කොනක් නොපෙනෙන තෙක් මානයේ ගංවතුර මහා සාගරය මෙන් දීස්විය. තරමක් ඈත ගංවතුරෙන් යටවූ මූකලන් වල කුඩා පඳුරු වල මුදුන් කොටස් පමණක් ජලයෙන් උඩට දකින්නට ලැබිණ. උදයේ හිරු රැස් වැටි දීප්තිමත්ව බැබලෙන මහා ජලස්කන්ධය, කුඩා කළ දුටු ගංවතුරට වඩා අමුතු සුන්දරත්වයකින් යුක්ත බව මට දැනුනේය. 

මේ ජලයෙන් යටවී තිබෙනුයේ ගැමියාට බත සපයන මහා කුඹුරු යාය බව අප දැන ගත්තේ ඒ බව ගුණසිරි ප්‍රකාශ කළ පසුවය.

අපි ඔරුවට ගොඩ වී කොල්ලෑව  මත පා තබා ලෑලි තට්ටුව මත හිඳ ගතිමු. සරත් ඔරුව දන වටක් පමණ ගැඹුරට තල්ලු කර ඔරු තල්ලේ එක පැත්තක හිඳ ගත්තේය ඔරු තල්ලේ අනික් කෙළවරෙහි හිඳගත් ගුණසිරි හබල මෙහෙයවා ඔරුව දියත් කළේය. සරත් ද හබල ගෙන දෙතුන් වරක් හබල් ගා, ඔරුව නිසි මගට ගත්තේය. දක්ෂ ඔරු පදින්නන් වූ සරත් සහ ගුණසිරි ගංවතුරේ විශාල රවුමක් ඔස්සේ ඔරුව පදවා පැය කාලකදී පමණ මුකලාන ඇති ප්‍රදේශයට් ලඟාවිය.

ඉදී දම්පැහැ වූ දං  පොකුරු ඔරුවේ ගෑවෙන මට්ටමේය. අප  ඇති තරම් දං  කා, තොල කට දම් පැහැ කර ගත්තෙමු. ටික වේලාවකින්  එක කුඩයක් දං වලු  වලින් පිරි ගියේය.

‘දන් මේ හරිය කොච්චර ගැඹුරුද? ‘

ඒ ගැන කිසිවක් නොදත් මම ගුණසිරිගෙන් ඇසුවෙමි.
.
‘දන් පඳුරක් අඩි දහයක් දොළහක්‌ විතර උසයි.’ එය ඔහුගෙන් ලැබුණු පිළිතුරයි.

මට ගැඹුරු දිය ගැන බිය මුසු චකිතයක් ඇතිවිය.

‘තව එහා කැබැල්ල තිබෙන හරිය මීටත් වඩා ගැඹුරුයි.’ 

මෙයින් මගේ චකිතය තවත් වැඩිවිය.
     
මූකලානේ තවත් ඔබ්බට ඔරුව පදින විට රන්වන් පැහැයට ඉදුණු කැබෙල්ල ගෙඩි වලින් වැසි තිබුණු  කැබෙල්ල යාය හමුවිය. එහි අතරින් පතර දම්පාට මල්පොකුරු වලින් පිරීගිය මුරුත ගස්ද දකින්නට ලැබුණි. කැබෙල්ල ගස් වල මුදුන් ජල මට්ටමෙන් තරමක් ඉහලට වැඩී තිබෙන නිසා, ඉදුණු ගෙඩි කඩා ගැනීම සඳහා, ඔරුව මත සිටගෙන අත දිගු කිරීමට සිදුවිය. මෙය තරමක් අසීරු කාර්යයක් විය.

ගුණසිරි ඔරුව කැබෙල්ල ගසක කඳ අසලටම ගෙන ගස තදින් අල්ලා ගත් පසු, ඔරු තල්ල මත හිටගත් සරත් කැබෙල්ල කඩා, කුඩයට දැමීම පිණිස අපට දුන්නේය. කූඩය පිරි ගිය පසු අප ආපසු හැරෙන විටම ‘දඩා..ස්’ යන ශබ්දයෙන් යමක්‌ ඔරුව මතට වැටුණි. කැබෙල්ල ගෙඩි ගැන සිත් යොමු කරගෙන සිටි අපට, ශබ්දය ඇසුන නමුත් එය කුමක්දැයි නොදත්තෙමු.

තරමක් කලබල වූ සරත් හබලත් අතට ගෙන ඔරුවේ කඳ ඇතුලෙහි යමක් පිරික්සන්නට විය.

‘දඟලන්නට එපා, ඔරුවට සතෙක් ගොඩවෙලා ’.

’සතෙක් ? මොකෙක්ද ? කිඹුලෙක්ද?   මම ඇසිමි.

‘කිඹුලෙක් නෙමෙයි. තඩි පොළඟෙක්.’

අපට කර කියා ගත හැකි දෙයක් නොවිය.

‘ගුණසිරි අයියේ, අයියා ගහ අල්ල ගෙන ඔහොම ඉන්න. මම සර්පයාව ‘ඩීල්’ කර ගන්නම්’  කී සරත්  හබල මානා ගෙන බලා සිටින අතර, ගුණසිරි  ගස තදින් අල්ලාගෙන සිටි.

හබල් නොගා එකතැන තිබෙන ඔරුව එහෙට මෙහෙට පැද්දේ.

අතේ කිසිවක් නොමැති අනීක්‌ සගයාත් මමත් බිරාන්තව සිටිමු.

අපි තවමත් පොළඟා නොදුටුවෙමු. ටික වේලාවකින් ඔරු කඳ ඇතුලතින් හිස එලියට දැමූ සර්පයා ඔරුවේ ඉදිරි තල්ල දෙසට ඇදෙන්නට විය. මා ජීවිතයටම දැක ඇති විශාලතම පොළඟා ඌ විය හැකිය. සාමාන්‍ය පිඹුරෙකු තරම් විශාල මේ විෂ ඝෝර සර්පයා ඊ ළඟ මොහොතේ කුමක් කරයිද යන්න අප කාටත් සිතාගන්නටවත් බැරිවිය. පොළඟා ඔරු තල්ල මතට ඇදෙනවාත් සමගම ක්‍රියාත්මක වූ සරත්, දෑත බදා  ඔසවා ගත්  හබලෙන් මරු පහරක් ගැසිය. එය පොලගාගේ හිස කුඩු පට්ටම් කිරීමට සමත් විය. ටික වෙලාවක් දැඟලු  පොළඟා ඔරු කඳ ඇතුලට වැටුණි.

ප්‍රහාරය නිසා ඔරුව ගැස්සුණු බැවින් ගුණසිරි කැබෙල්ල ගස අල්ලාගෙන  සිටි ග්‍රහණය මිදී ගොස්,  ඔරුව එකතැන කැරකෙන්නට විය. කඩිනමින් හබල අතට ගත් ගුණසිරි, කිහිප වරක් හබල් ගා කැරකෙන ඔරුව මෙල්ල කර ගත්තේය.

ගංවතුර නිසා කොටුවූ පොළඟා කැබෙල්ල ගසට නැග සිටින්නට ඇති බවත්, ඌ ගෙවීගිය සති දෙකකට වඩා කාලයක් නිරාහාරව සිටින්නට ඇති බවත් ඔවුන්ගේ මතය විය. කැබෙල්ල ගෙඩි කැඩිමේදී ගස සෙලවීම නිසා පොළඟා ඔරුව මතට වැටෙන්නට ඇති බව ඔව්හු කීවෝය. කෙසේ වුවත්. අපගේ බය සැක තවමත් තිබේ. තවත් පොළඟුන් ගසේ සිටිදැයි බියක්ද ඇතිවිය.

ජලය අඩි විස්සක් පමණ ගැඹුරු තැනකදී අපට අත්වන්නට තිබු ඉරණම සරත්ගේ හබල් පහරින් විසඳන්නට හැකිවීම ගැන සතුටු  වූවෙමු. එසේ වුවත් දින ගණනක් නිරාහාරව සිටි, අපට කිසිම හානියක් නොකළ අසරණ සර්පයාට අත්වූ ඉරණම ගැන මහත්සේ පම්පා වුවෙමූ.

‘ඔහොම දවස් ගනන් කෑම නැතිව කොටු වෙලා සිටින සර්පයෝ හරිම භයානකයි. ඒ වගේම හරිම විෂ සහිතයි. වෙලාවේ හැටියට නොමරා වෙන කරන්නට දෙයක් නැහැ.’ යයි සරත් කිවේය.

‘ආත්මාරක්ෂාව සඳහා කරන ලද නොවැලක්විය හැකි දෙයක් ‘ කියා  ගුණසිරිද සරත් කළදේ අනුමත කළේය.

අප අනතුරකින් බේරා ගැනීම ගැන සරත්ට ස්තුති කළෙමි.

‘අපි කුඩා කාලයේ මේ හරියේදී ගංවතුරේ පදිමින් සිටි ඔරුවකට නයෙක් ගොඩ වෙලා කලබලවීම නිසා ඔරුව පෙරලිලා  කීප දෙනෙක්ම දියේ ගිලී මැරිලා තියෙනවා’ සරත් ලොමු ඩැහැගන්වන පැරණි සිද්ධියක් මතක්‌ කළේය.

විනෝදයට ඔරු පැදීම අමතක කර දැමූ  අපි, හැකි ඉක්මණින් ආපසු නිවෙස් ‌ බලා පැමිණියෙමූ..


 


16 comments:

  1. සරත් ඒ වෙලාවේ කරලා තියෙන්නේ කරන්න ඕනෙම දේ.නැතිනම් වෙන්නේ සත්ව කරුණාව නිසා ජිවිත හතරක් අවදානමට දාගන්නයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      සරත් පුරුදු කාරයා නිසා ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කළ නිසා අප කාගේත් අවදානම මග හැරුනා. එවැනි අවස්ථාවලදී ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටද යන්න ක්‍ෂණිකව තීරණය කළ යුතු වෙනවා.

      Delete
  2. තබ මින් මතක එම සැමරුම් කියනු අගේ
    නුඹ ඔරු පැද්ද ගං වතුරත් ගගක් වගේ
    කඹ යක් ලෙසට හිටි සර්පය මැරුව වගේ
    ඔබ තුමාට විවේකයක් ලැබිල වගේ.....

    (ලිපි ලියන වේගය වැඩිවෙලා වගේ දැණුනු හින්දයි ඔබ තුමාට විවේකයක් ලැබිලාද කියලා ඇහැව්වේ.)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      දින කිහිපෙකට පසුවයි කවියද දුටුවේ
      සතියක් පමණ ගෙදරින් පිටතයි විසුවේ
      විවෙකයක්දැයි කීමට නම් බැරිවේ
      අදසිට නැවත සුපුරුදු ලෙස අප හමුවේ.

      ඔබට‍ ජයම!


      Delete
  3. Replies
    1. ස්තුතියි තඩි මල්ලි,
      ශා..... තමයි. යන්තම් බේරුනා. නැත්නම් එක් කෙනෙකුට මරණ භය දෙක බැගින්!

      Delete
  4. සත්ව කරුණාව තිබුණත් ඔය වගේ අවස්ථාවකදි තමංගෙ ජීවිත අවදානමේ දාල සතා බේරගන්න යන එක බොහොම භයානකයි. ඒ අතින් සරත් කරපු දේ අනුමත කරන්න වෙනව.
    ඔය සාවද්‍ය මනුෂ්‍ය ඝාතන කියල ජාතියකුත් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      අපට අවදානම් දෙකකට මුහුණ දෙන්නට සිදු උනා. නිරාහාරව සිට පොළඟා පැන පන දෂ්ට කරන විසකුරු සර්පයෙක්. ඒ වගේම, කලබල වූවානම් ඔරුව දියබත් වන්නටත් ඉඩ තිබුනා. සරත් කළ දේ කලයුතු එකම දෙයයි.

      Delete
  5. බඩගින්නේ හිටපු සර්පයින්ගේ විශ වැඩියි කියල මාත් අහල තියෙනව.. සරත් සහ ගුණසිරි ඔරු පැදීම ගැන මෙන්ම කැලෑ කොලේ ගැනත් අත්දැකීම් ඇති අය නිසා අද අපි මේ බ්ලිග් එක කියවනව.. :)))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර,
      අපට මෙය ත්‍රාසජනක එමෙන්ම හොඳින් මතක සිටින අත්දැකීමක් වූවා.

      Delete
  6. ඉස්කෝලෙ ගිය කාලෙ ඔරු පැද්දට පස්සෙ ආයෙ ඔරුවක් අහලකට ගිහින් නෑ.
    කැබැල්ල ගෙඩි කියන්නෙ මොනවද...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැව ඉස්මත්ත,
      ඔබ හරි. බොහෝ අයට කුඩා කාලයේදී අත්විඳින්නට ලැබෙන දේ වැඩිහිටියන් ලෙස නැවත ලැබෙන්නේ කලාතුරකින්.
      කැබෙල්ල ඉතාමත් රසැති වතුරාන් ආශ්‍රිත මුකලන් වල ඇති ගස්වල තිබෙන කුඩා පලතුරු විශේෂයක්. කැබෙල්ල දලුත් රසවත් පලා වර්ගයක්.

      Delete
  7. "පොළඟෙක් පැන්නා" යන්න දැක්කහම මට සිහිවුනේ පොලා පැනීම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      පොලා පැනීම කියන්නේ ගම්බද දරුවන්ගේ ක්‍රීඩාවක් නේද?
      මේක 'පොළඟා ඔරුවට පැනීම'.

      Delete
  8. පිඹුරු පැටියෙක් නෙමෙයි?

    ReplyDelete
  9. ස්තුතියි Pra Jay,
    සරත් ගමේ මිනිහා, සර්පයා දුටු ගමන්ම පොළඟා බව තේරුම් ගත්ථා. ඒ විදියට දිය පිට පාවෙන යමක් දුටුවිට එයට පනින්නේ පොළඟා බව ඒ අය හොඳාකාරවම දන්නවා. සතා මැරුණට පස්සේ නම් මමත් ඉස්කෝලේ යන කාලේ සත්ත්ව විද්‍යාවට ඉගෙන ගත් බාහිර ලක්ෂණ අනුව ඒ පොළඟා බව තහවුරු කර ගත්තා. ඒවා තමයි, ත්‍රි කෝණාකාර හිස, කෙටි මහත වල්ගය, රටාවක් හඳුනා ගැනීමට අමාරු පුල්ලි සහ ස්වසන සිදුරු එකිනෙකට කිට්ටුව තිබීම.

    ReplyDelete