Friday 22 May 2020

 
අධ්‍යාපන කටයුතු වලදී,  එදා …..  උතුර සහ දකුණ අතර තිබුණු සහයෝගය
     දැනට දශක හතරකට පමණ ඉහතදී අප රටෙහි ඇතිවූ ජාතිවාදී අරගලය නිසා උතුර සහ දකුණ අතර තිබුණු සම්බන්ධය බොහෝ දුරට පලුදු විය. සමහර අදූරදර්ශි අතලොස්සකගේ ක්‍රියාකලාප නිසා ජනවාර්ගික ගැටළු ඇතිවිය. කෙසේ වෙතත් එකළ අධ්‍යාපන සංවර්ධනය සඳහා උතුරෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව නොරහසකි. මේ සම්බන්ධයෙන් මාගේ පෞද්ගලික අත්දැකීමක් මෙසේ සටහන් කර තබමි. 

ඇමෙරිකාව විසින් චන්ද්‍රිකාවක් ගුවන් ගතකිරීමත් සමග, පසුගිය හැටේ දශකයේදී ලොව පුරා විද්‍යාව ඉගැන්වීම පිලිබඳ මහත් ප්‍රබෝධයක් ඇතිවිය. මේ කාලයේදී ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනයේද වෙනස් කම් රාශියක් සිදුවිය. ‘සැමටම විද්‍යාව’ යන සංකල්පය යටතේ පාසල්වල විද්‍යාව ඉගැන්වීමට ආරම්භ වීම මෙහි මහඟු ප්‍රතිඵලයකි. මේ සමගම විද්‍යාව මවු බසින් ඉගැන්වීම, කාලීන විෂයය මාලා සංවර්ධනය, පෙළ පොත් සකස් කිරීම, ගුරු පුහුණුව වැනි විශාල කාර්ය භාරයක් අධ්‍යාපන අමාත්‍යංශයට පැවරිණ. මෙයට සමගාමිව විද්‍යා අධ්‍යාපනයේදී පරිසරය සම්බන්ධ කර ගැනීම කෙරෙහිද විශේෂ උනන්දුවක් ඇතිවීම නිසා, ‘ස්ථානගත පරිසර අධ්‍යාපනය’ (on-site environmental education) නමින් නව විද්‍යා අධ්‍යාපන පිවිසුමක් ගැනද සිත් යොමු විය. පන්ති කාමරයෙන් පිටත පාසල් වත්ත, පිට්ටනිය, අවට ඇති කෙත්වතු, මුඩු බිම්, ඇළ දොළ වැනි ඕනෑම ස්ථානයක ජෛව විවිධත්වය ඇතුළු විද්‍යා අධ්‍යයන රාශියක් කළහැකි බවද ඒත්තු ගැන්විණ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේද අනුග්‍රහය ඇතිව දිවයිනේ ජේෂ්ඨ විදුහල් කිහිපයක් ආශ්‍රිතව ‘ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථාන’ ආරම්භ විය. මෙයින් එක් මධ්‍යස්ථානයක් හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයයේද ස්ථාපනය කර ගත හැකි විය. 2002 වසර වනවිට දිවයිනේ මෙවැනි මධ්‍යස්ථාන හතළිහක් පමණ ක්‍රියාත්මක විය. මා හට ප්‍රදේශයේ විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයා වශයෙන් හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයයේ විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයන රාශියකට සහභාගිවීමට හැකිවිය.

මෙහි විස්තර කිරීමට බලාපොරොත්තු වනුයේ, සාමාන්‍ය ක්ෂේත්‍ර අධ්‍යයන කඳවුරු වලට වඩා තරමක් වෙනස්, ස්වරූපයේ අධ්‍යයනයක් පිළිබඳවය. මෙම අධ්‍යයනය සඳහා කළුතර ප්‍රදේශයේ ගුරුවරු, විදුහල්පතිවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලී වෙනත් අයද සහභාගී කරවා ගැනීම විශේෂත්වයකි.මෙම අධ්‍යයනය සඳහා අප සහභාගී වුයේ 1981 වර්ෂයේදීය.

මේ වනවිට යාපනයේ තොන්ඩමනාරු ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය ඉතා හොඳින් ස්ථාපනය වී තිබුණේය. එහි ගුරුවරුන් සඳහා පැවැත්වෙන විශේෂ ක්ෂේත්‍ර අධ්‍යයනයකට සහභාගී වීම පිණිස, කළුතර ප්‍රදේශයෙන් 20 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගී කරවීම සඳහා අපට ආරාධනයක් ලැබිණ. මෙම ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය අසලම විශාල කඩොලාන පරිසරයක් තිබෙන අතර, එහි කඩොලාන විශේෂ විවිධත්වය ඉතාම උසස් මට්ටමක පවතී. මේ ප්‍රදේශයට පමණක් ආවේණික මහ කඩොල් විශේෂයක්ද මෙහි තිබෙන බව වාර්තා වේ. අපට හුරු පුරුදු නැති පරිසරයක කරනු ලබන සුවිශේෂී අධ්‍යයනයක් නිසා, බොහෝ දෙනෙකු ඒ ගමන යාමට කැමැත්ත පළකළහ. මේ සඳහා ප්‍රදේශයේ විද්‍යා ගුරුවරු, වීදුහල්පතිවරු සහ අධ්‍යාපන නිලධාරීන් ඇතුළු 20 දෙනෙක් තෝරා ගත හැකිවිය. අධ්‍යාපන කටයුත්තකට සහභාගී වන බැවින්, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගෙන් නිත්‍යානුකූල අවසරය ලබාගෙන මෙම ගමන යාම සඳහා අපගේ පෞද්ගලික නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර පාවිච්චි කිරීමට තීරණය කර ගතිමු.

නියමිත දින රාත්‍රී කොළඹින් පිටත්වන දුම්රියෙන් ගමන් ආරම්භ කළ අපි, පසුදින හිමිදිරියේම කන්කසන්තුර දුම්රිය ස්ථානයට ලඟා වූයෙමු. අප පිළිගැනීමට තොන්ඩමනාරු මධ්‍යස්ථානයේ සහෝදරවරු කිහිප දෙනෙක් දුම්රියපළට පැමිණ සිටියහ. ඒ අතර මා හොඳින් දන්නා කලින් මුණගැසී ඇති කිහිප දෙනෙක්ද වූහ. අප කවුරුත් එකිනෙකා හඳුනාගැනීමෙන් පසු, ඔවුන් පැමිණ තිබුණු වෑන් රථයෙන්, තොන්ඩමනාරු ක්ෂේත්‍ර මධ්‍යස්ථානයට ගියෙමු. මධ්‍යස්ථානය අසලම තාවකාලික ගොඩනැගිල්ලක අපට කඳවුරු මට්ටමේ නවාතැන් පහසුකම් සපයා තිබිණ. ටික වේලාවක් ගිමන් හැරීමෙන් පසු අපට තෝසේ, මසල වඩේ, සාම්බාර් සහ පොල් චට්නි සමග ප්‍රණීත උදේ ආහාරය ලැබිණ. සියඹලා හා මුරුංගා දැමූ සාම්බාරු හොද්ද ඉතාමත් ප්‍රණීතය. එහි රස තවමත් මතකයේ පවතී.

උදේ ආහාරයෙන් පසු, ක්ෂේත්‍ර මධ්‍යස්ථානයට සම්බන්ධ ගුරුවරු සහ, ප්‍රදේශයේ විදුහල් කිහිපයකින් පැමිණ සිටි උසස් පෙළ සිසුන් කිහිප දෙනෙක්ද සහිතව කණ්ඩායම් පහක් සකස්කරන ලදී. එක් කණ්ඩායමක අට දෙනෙක් විය. සෑම කණ්ඩායමකම නායකයා ලෙස එම පරිසරය හුරු පුරුදු, ඔවුන්ගේම කෙනෙකු බැගින් පත්කර ගන්නා ලදී. එක් එක් කණ්ඩායම මගින්, කළයුතු ක්ෂේත්‍ර අධ්‍යයනය පිලිබඳ සියලු විස්තර සහිතව කලින් සකස් කර තිබුණු අත් පත්‍රිකාද සෑම දෙනාටම ලැබුණි. ඒ සමගම එක් එක් කණ්ඩායමට, අධ්‍යයනය සඳහා අවශ්‍ය විද්‍යා උපකරණ කට්ටලය බැගින්ද ලැබිණ. මේ සියලුම අධ්‍යයන කිරීම සඳහා ජලයට බැසීමට සිදුවන බැවින් ඒ සඳහා සුදුසු ඇඳුමක් ඇඳ සිටීමද අවශ්‍ය බව දන්වන ලදී. ගමන පිටත්වීමට පෙර මධ්‍යස්ථානය භාර ගුරු මහතා විසින්, ක්ෂේත්‍රයේ කරනු ලබන අධ්‍යයන පිලිබඳ කෙටි විස්තරයක්ද කරනලදී. අපි අධ්‍යයනය සඳහා ක්ෂේත්‍ර මධ්‍යස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කඩොලාන පරිසරයට පයින්ම ගියෙමු.

කඩොලාන පරිසරයේම සුන්දරත්වය විදිමින්, අධ්‍යයනය අතර මගදී, අපට උළුඳු වඩේ සහ ඉස්සො වඩේ කා, බීම සඳහා ඉඟුරු තේ සහිත සංග්‍රහයක්ද ලැබිණ. ඒ අවස්ථාවේ ඉඟුරු තේ වාජීකරණයක් වැනි ප්‍රණීත පානයක් විය. එදින පස්වරු එක පමණ වනවිට සෑම කණ්ඩායමකටම අඩුම වශයෙන් විවිධ තේමා යටතේ අධ්‍යයන තුනක්වත් අවසන් කිරීමට හැකිවිය. ඊට පසු මධ්‍යස්ථානයට පැමිණි අපට යාපනයේ සහෝදර ද්‍රවිඩ ජනතාවට ආවේණික දිවා ආහාර වේලක් ලැබිණ. මුරුංගා, වම්බටු, පරිප්පු, වට්ටක්කා දළු, නීරමුල්ලිය දළු ආදිය එකට දමා සකස් කරනලද, සුප් වැනි කලවම් ව්‍යංජනයක්, කැරන් කොකු සම්බලයක්, තල තෙලෙන් බදින ලද කලපු ඉස්සන්, පපඩම් සහ රසම් සමග උතුරු පලාතට ආවේනික බතක් එදින අපගේ දිවා ආහාරය සඳහා පිළියෙළ කර තිබිණ. දිවා භෝජනයෙන් පසු ලැබුණු, කඩොලාන පරිසරයෙන්ම ලබාගත් ඉදුණු කිරල ගෙඩි වලින් සකස් කරන ලද කිරල යුෂ සහ තල් හකුරු අපගේ රස නහර පිනා ගිය පානයක් විය.

පැයක පමණ විවේකයකින් පසු, අපගේ අධ්‍යයන වාර්තා සකස් කිරීම ආරම්භ කරන ලදී. මෙහිදී යාපනය විශ්ව විද්‍යාලයයේ ජීව විද්‍යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු විසින් කඩොලාන පරිසරය සහ අප විසින් කරන ලද අධ්‍යයන වලට අදාළ වාර්තා සකස් කිරීම පිළිබඳවද වටිනා උපදෙස් රාශියක් ලබාදෙන ලදී. අධ්‍යයන වාර්තා සකස් කිරීම සඳහා, එවේලේ සිට පසු දින දහවල දක්වා කාලය තිබෙන බවද නිවේදනය කර, විමර්ශන කටයුතු සඳහා ප්‍රයෝජනවත් වියහැකි පොත්පත් රාශියක්ද සපයන ලදී.

කණ්ඩායම් පහ වෙන වෙනම වාර්තා සකස් කිරීම කරගෙන ගියහ. අවශ්‍ය වන විද්‍යාගාර පරීක්ෂණ සහ අන්වීක්ෂීය නිරීක්ෂණ සඳහාද අවශ්‍ය පහසුකම් සලසා තිබිණ. සෑම කණ්ඩායමකම සිටි, කඩොලාන පරිසරය ගැන මනා අවබෝධයක් තිබුණු, එම මධ්‍යස්ථානයට සම්බන්ධ කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ලැබුණු සහයෝගය අපමණය. වැඩිහිටි ගුරුවරුන්ගෙන් සමන්විත වූ සියලුම කණ්ඩායම් වල සිටි සිංහල සහ දෙමළ සැමටම ඉංග්‍රීසි පිළිබඳවද මනා දැනුමක් තිබුණි. එසේම, සෑම කණ්ඩායමකටම සම්බන්ධ කර සිටි දෙමළ සිසුන් සියලු දෙනාටම සිංහල කතාකිරීමට හැකිව තිබීමද විශේෂත්වයකි.

යෝජිත වැඩ සටහනට අනුව එදින රාත්‍රී නවය දක්වා වාර්තා සකස් කිරීම් කටයුතු කර, නින්දට යාමට නියමිතව තිබුණි. එහෙත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි, ක්ෂේත්‍රයේදී එක් රැස් කරගන්නා ලද තොරතුරු විශ්ලේෂණ සඳහා වැඩි කාලයක් අවශ්‍ය වන බැවින්, රාත්‍රී එකොළහ වනතුරු වැඩ කිරීමට ඉඩකඩ ලැබුණි. අවසානයේදී දිනයේ වැඩ කටයුතු පිළිබඳව කරන ලද, විනාඩි පහළොවක පමණ සමාලෝචනයේ දී අලුත් අදහසක් ඉදිරිපත්විය. කවුරුත් එක හඬින් කැමති වූ ඒ අදහස ඉදිරිපත් කළේ එවකට තක්ෂිලාවේ විදුහල්පති, අප කණ්ඩායමේ, වෝල්ටර් සිල්වා මහතායි. ඔහුගේ වචන වලින්ම එම යෝජනාව මෙසේය.

“අපි මේ රටේ දකුණේ සිට උතුරු කොනට ඇවිත් අපගේ සහෝදර දෙමළ සගයින් එක්ක දවස් දෙකක් ගත කළා. ජිවිතයේ කවදාවක් නොලැබූ ආකාරයට ආගන්තුක සත්කාර ලැබුවා. විවිධ ආහාර පාන ගත්තා. විහිලු තහළු හුවමාරු කර ගත්තා. ඒ වගේම කවදාවත් දැක නොමැති කඩොලාන පරිසරයකට ගොස් ඉතා වැදහත් ක්ෂේත්‍ර අධ්‍යයන රාශියක් කළා. අධ්‍යයන සියල්ල ඇතුලත් කර, සැමටම පහසු වන සේ වාර්තා සකස් කළේ ඉංග්‍රීසියෙන්. මේ සියල්ල ඉංග්‍රීසියෙන් සිංහලට සහ දෙමළටත් පරිවර්තනය කර ඒ වාර්තා සියල්ල ත්‍රි භාෂා කෘතියක් ලෙස සකස් කරමු. මෙහෙම කලොත් මෙය ඓතිහාසික වැඩක් ලෙස වාර්තාගත වේවි.”

ඒ අදහස අත්පොලසන් දී කවුරුත් පිළිගත්හ. ඒ සමගම නැගී සිටි, අප කණ්ඩායමේ සාමාජික, එවකට හොරණ ශ්‍රීපාලි විදුහලේ විදුහල්පති ගාමිණි ගුණරත්න මහතා සෑම දෙනාම දිරිගන්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“අප ඉංග්‍රීසියෙන් ලියන ලද සියලුම වාර්තා, හෙට එළිවන්නට කලින් සිංහලට පරිවර්තනය කර, ටයිප් කිරීම සඳහා පැහැදිලි අකුරෙන් ලියා දීම මට කළ හැකියි. මා එය සතුටින් භාර ගන්නවා.”

සියලු දෙනාම ඔහුගේ ඉල්ලීම ඒකමතිකව අනුමත කළහ.

ගාමිණි ගුණරත්න මහතා වසර දහයක් පමණ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කළ ඉංග්‍රීසි සහ සිංහල භාෂා පරිවර්තනය පිලිබඳ විශේෂඥයෙකි.

ඒ සමගම තොන්ඩමනාරු ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ, රත්නසබාපති පිල්ලේ මහතා සියලුම වාර්තා දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට භාර ගත්තේය.

යෝජිත අදහස් ඉතා සතුටෙන් පිළිගත් මධ්‍යස්ථානයේ සංවිධායක මණ්ඩලය, වහාම ක්‍රියාත්මක වී, ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තා ටයිප් කිරීම සඳහා සිංහල ටයිප් රයිටරයක් සහ ටයිප් කිරීම පිණිස, කිට්ටුව පදිංචි වී සිටි යාපනය සිංහල මහා විද්‍යාලයේ වාණිජ අංශයේ ගුරු මහත්මයෙකු ගෙන්වා ගත්තේය. (මේ කාලයේදී පරිගණක භාවිතය ආරම්භ වී නොතිබිණ සියළුම ලේඛන කටයුතු සඳහා භාවිත කරන ලද්දේ යතුරු ලියනයයි.) රූප සටහන් නිවැරදිව ඇඳීම ගුරුවරයෙකුගේ සහාය ඇතිව ශිෂ්‍යයින් තිදෙනෙකුට පැවරිණ. ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් ටයිප් කිරීම මධ්‍යස්ථානයේම දෙදෙනෙකු විසින් භාර ගන්නා ලදී.

අප කණ්ඩායමට පසුදින රාත්‍රී දුම්රියෙන් ආපසු කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබුණි. මේ නිසා අධ්‍යයන වාර්තා භාෂා තුනෙන් සකස් කිරීම, ඉංග්‍රීසි සිංහල සහ දෙමළෙන් රෝණියෝ කිරීම සඳහා භාවිත කළ විශේෂ ‘ස්ටෙන්සිල්’ කඩදාසි වල ටයිප් කිරීම, රූප සටහන් නිල් පැහැති විශේෂ ‘ස්ටෙන්සිල්’ කඩදාසි වල අතින් ඇඳ, සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නම් කිරීම යන සියල්ල ඉතා කඩිනමින් කළ යුතු විය. මේ සඳහා සියල්ලෝම තම දායකත්වය නොඅඩුව ලබා දුන්හ.


වාසනාවකට මෙන් මධ්‍යස්ථානය සඳහා, විදුලි බලයෙන් ක්‍රියා කරන රෝනියෝ යන්ත්‍රයක් අලුතින්ම මිලයට ගෙන තිබුණි.

සියලු දෙනාම නින්දට නොගොස් එකාවන්ව කටයුතු කර, පසුදින අලුයම වන විට සියලුම මූලික වැඩ කටයුතු අවසන් කරන ලදී. භාෂා තුනෙන්ම සකස් කිරීමට යෝජිත ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තාව පොතක් ලෙස සකස් කළ විට පිටු සියයක් පමණ තිබෙන බව දකින්නට ලැබිණ. කෙසේ හෝ අභියෝගය ජය ගත හැකි බව කාගේත් නිගමනය විය.


පසුදින පෙරවරු දහය පමණ වන විට පිටපත් සියයක් රෝණියෝ කර අවසන් කර ගත හැකි විය. ඒ වන විට මධ්‍යස්ථානයේ සිටි දක්ෂ ශිෂ්‍යයෙකු විසින් අධ්‍යයනයට ගැලපෙන පිට කවරයක්ද ඇඳ අවසන් කර තිබුණි.
පොතෙහි පිටු, අංක පිළිවෙලට ගොනුකර ‘ස්ටේපල්’ කටු ගසා අවසන් කිරීම සඳහා තවත් පැය දෙකක් පමණ ගතවිය.

කඩොලාන පිලිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනය, අධ්‍යයන වාර්තාව සහ ත්‍රි භාෂා අධ්‍යයන වාර්තා පොත යන සියල්ලම සිතුවාටත් වඩා උසස් ආකාරයට අවසන් කර ගැනීමට ලැබීම ගැන කාටත් මහත් සතුටක් ඇතිවිය.
ටික වේලාවක් විවේක ගැනීමෙන් පසු, අප වෙනුවෙන් විශේෂයෙන් සකස් කර තිබුණු දිවා අහාරය භුක්ති විඳ, පැයක් පමණ සතුටු සාමිචියේ යෙදීමට අවස්ථාවක් එළඹින.

පස්වරු දෙකට සුදානම් කර තිබුණු අවසාන කාර්ය සැසියේ ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණියේ යාපනය විශ්ව විද්‍යාලයයේ උද්භිද විද්‍යා අංශයේ, ආචාර්ය වරයෙකි. ඔහු විසින් කරන ලද හරබර දේශනයේදී දකුණින් පැමිණි අප කණ්ඩායමත් සමග කරන ලද සුවිශේෂී ක්ෂේත්‍ර අධ්‍යයනය මහත් ඇගයීමකට ලක් කර, සහභාගී වූ අප සැමට විශේෂ ස්තුතියක්ද පුද කළේය.
අප කණ්ඩායම වෙනුවෙන් ඔවුනට ස්තුතියක් කිරීම මා හට පැවරිණ.

එදින සවස තේ පානයෙන් පසු යාපනයේ සහෘදයින්ගෙන් සමුගත් අප ආපසු ඒම සඳහා කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ගියෙමු. අපට රාත්‍රී ආහාරය සඳහා තෝසේ සහ මසාල වඩේ පාර්සලය බැගින්ද ලැබිණ. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුද අප සමග දුම්රිය ස්ථානයට පැමිණ, දුම්රිය පිටත් වන තුරුම එහි රැඳී අප හා නොයෙකුත් දේ කතා කරමින් සිටියහ.

මෙම සිද්ධියෙන් වසරකට පමණ පසුව ඇතිවූ, ජාතිවාදී කලබල සහ කුරිරු සිවිල් යුද්ධය නිසා ඊට පසු කිසිම දිනක, එවන් හෘදයංගම උතුර - දකුණ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට අපට නොහැකි වීම කෙතරම් අභාග්‍යයක්ද?

Tuesday 5 May 2020

වෙසක් මතක …... එදා මෙදා වෙසක්


එදා මෙදා වෙසක් 

  මේ 2020 වර්ෂයේ වෙසක් මාසයේ, වෙසක් සතියයි. මීට පෙර කිසිම කාලයක නොවූ ආකාරයට කොරෝනා වයිරසය ලොව වෙලාගෙන තිබෙන නිසා, මෙවර වෙසක් ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා යන අංශ දෙකටම අවහිරතා මතුවී තිබේ. පාසල් යන වයසේ දරුවන් ගෙදරටම කොටුවී සිටින මෙවර වෙසක් කූඩුවක් සකස් කර ආලෝකමත් කිරීමෙන් හෝ අඩු තරමින් පොල් තෙල් පහනක් වත් දල්වා වෙසක් සැමරිය හැකිය.

දශක හතකට පෙර වෙසක් අත්දැකීම් ස්වල්පයක් නැවත ආවර්ජනය කිරීමෙන්, ඒ සොඳුරු ළමා කාලයේ මතක සටහන් ඔස්සේ අතීතයට එබිකම් කිරීමකි මේ. වෙසක් කුඩුවක් තැනීමේ මාගේ මුල්ම මතකය දිව යන්නේ අපට නිදහස ලැබුණු 1948 වර්ෂයටය. මහත් ගාම්භීර අන්දමට පැවැත්වූ පළමු නිදහස් උත්සවයෙන් පසුවද, රටෙහි ඒ පිලිබඳව විවිධ ආකාරයේ සංදර්ශන රැස්වීම් ආදිය පැවැත්වුණි. පාසල් වලද නිදහස පිලිබඳ දැනුවත් කිරීම් අනිවාර්ය කර තිබිණ. ප්‍රාථමික පාසලේ හතරවන ශ්‍රේණියේ සිටි අපගේ පන්ති භාර ගුරු තුමිය ඉතාමත් කැපවීමකින් යුක්තව ඉගැන්වීම කළ බව අපට තේරුම් ගත හැකි වූයේ බොහෝ කලකට පසුවය. ඒ අප තරමක් වයසින් මේරු පසුවය. අප පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහළොස් දෙනෙක් පමණ සිටියහ. වර්ෂය ආරම්භයේදීම අපට අවුරුද්දේ මාස දොළහේ නම් ඉගැන්වූ ගුරු මහත්මිය, දුරුතු, නවම්, මැදින් ආදී වශයෙන් යෙදෙන සිංහල නම්ද කියා දුන්නාය. පෙබරවාරි මාසයේදී ඇය විසින් ‘නිදහස’ පිළිබඳව කරන ලද සරල සහ සිතට කා වැදුණු විස්තරය අදටත් මතක තිබේ. ඊළඟට සිංහල අලුත් අවුරුද්ද පිලිබඳ විස්තරයයි. කොහාගේ හඬ ඇසීම සහ රතු එරමුදු මල් පිපීම අළුත් අවුරුදු ලංවීමේ සංකේත බව මුලින්ම අවබෝධ වූයේ ඇයගේ ඉගැන්වීම නිසාය.

මේ සියල්ලටමත් වඩා තවමත් මතකයේ රැව් පිළිරැව් දෙමින් පවතිනුයේ, වෙසක් කූඩු තැනීම සම්බන්ධව ගුරුතුමිය අපට ලබාදුන් ප්‍රායෝගික අත්දැකීමයි. ඒ කාලයේ වුවද මේ සෑම තේමාවකදිම පන්තියට පැවරුමක් දී, එය ඇගයීමක් කර සමහර අවස්ථාවලදී, ඉතා හොඳ මට්ටමෙන් අවසන් කළ පැවරුම් සඳහා තෑගී බෝග දීමද ඇය පුරුද්දක් වශයෙන් කළාය. ඒ කාලයේ අපට තෑගී බෝග වශයෙන් ලැබුණේ පැන්සලක්, ගල්කූරක්, මකන කෑල්ලක් වැනි සරල දෙයක් වූවත්, ඒවා කුඩා අපගේ උනන්දුව වැඩි කිරීමට බොහෝ සමත් විය. අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් පටන්ගත් දිනයේම, අපගේ ගුරු මහත්මිය, අත්වැඩ පාඩම වෙලාවේදී අටපට්ටම් වෙසක් කුඩුවක් සකස් කරන ආකාරය පිළිබඳව අමතක නොවන විස්තරයක් ප්‍රායෝගික වැඩද සමග පැහැදිලි කර දුන්නාය. මේ අත්දැකීම අදටත් ස්මරණය කළ හැක්කේ එයින් ලැබුණු ආභාෂය අදටද මනාව ගැලපෙන නිසාය.

එදින අත්වැඩ පාඩම ආරම්භයේ දීම, අටපට්ටම් වෙසක් කුඩුවක් ගැන විස්තර කළ ගුරු මහත්මිය, ගෙදරින් ගෙනවිත් තිබුණු, බට පතුරු, රබර් පටි (‘ඔට්ටුපාල්’), වෙසක් කඩදාසි ආදිය අපට දැක බලා ගැනීමට සැලැස්වූවාය. ඊළඟට, එක ප්‍රමාණයට කපා සකස්කර ගත් බට පතුරු හතර බැගින්, ’ඔට්ටපාල්’ රබර් පටි වලින් බැඳ සකස් කර ගන්නා ආකාරය මැනවින් පැහැදිලි කළාය. හතරැස් කොටු හයක් මුල්ලෙන් මුල්ලට එකට බැඳීමෙන් අට පට්ටම් කූඩුවක් සකස් වීම අපට මහත් විශ්මය ජනක දෙයක් විය.
ඊළඟ සතියේ අත්වැඩ වේලාවේදී, වෙසක් කුඩුවේ ඇලවීම සඳහා, වෙසක් කඩදාසියකින් හතරැස් කොටු හතරක් සහ තුන් හුලස් කොටු අටක් කපා ගන්නා ආකාරයත්, කුඩුවේ එල්ලන රැළි කපාගන්නා ආකාරයත් පෙන්වා දුන්නාය.

තුන්වන සතියේ, සකස් කරන ලද කූඩුවට, කැපූ කඩදාසි පාප්ප ගා අලවන ආකාරයත් පෙන්වා දී අට පට්ටම් කුඩුවක් සකස් කිරීම අවසන් කළාය. අවසානයේදී ගුරුමහත්මිය අප පන්තියේ සියලු දෙනාටම වර්ණවත් වෙසක් කඩදාසි දෙක බැගින් බෙදා දී, සති අන්ත පැවරුමක් ලෙස වෙසක් කූඩුවක් සාදන ලෙසත්, එය නොවරදවාම ඊළඟ සතියේ සඳුදා පන්තියට ගෙනෙන ලෙසත් නියම කළාය. හොඳම වෙසක් කුඩුව සඳහා තෑග්ගක් දෙන බවත් ගුරු තුමිය පැවසුවාය.

මේ වනතුරු කිසි දිනක වෙසක් කූඩුවක් තනා නොතිබුණු මම, එම පන්ති ක්‍රියාකාරකමෙන් පසු, කෙසේ හෝ තනිවම වෙසක් කූඩුවක් තැනීමට තීරණය කළෙමි. වෙසක් දිනය ඊළඟ සතියේ සෙනසුරාදාට යෙදී තිබිණ. වෙසක් කූඩුව සකස් කිරීමට අවශ්‍ය බට පතුරු කපා ගැනීම සඳහා අපගේ ඥාති හොහොයුරෙකුගේ උදව් ලබා ගැනීමට හැකිවිය.
සිහින් බට පතුරු එකට තබා, රබර් පටියෙන් බැඳීම මට කිසිසේත් හුරු දෙයක් නොවීය. පැය දෙකක් පමණ මහන්සිවී හතරැස් කොටු හය අවසන් කරගත හැකිවිය. මුළු එකට තබා බැඳීමටත්, ඉටිපන්දමක් දැල්වීම සඳහා පොල් පිත්තකින් කපා ගත් පතුරක් කූඩුවේ පතුලේ තබා බැඳීමටත්, කඩදාසි මිණුමට කපා ගැනීමටත් තාත්තාගේ උදව්ව ලැබිණ. අම්මා කුඩු ඇලවීම සඳහා පාප්ප සාදා දුන්නාය. කඩදාසි ඇලවීමත්, එල්ලන රැලි කපා ගැනීමත් මට තනිවම කර ගත හැකිවිය. තවත් පැය කිහිපයක මහන්සියෙන් මට අංග සම්පුර්ණ අටපට්ටම් කුඩුවක් තනා නිම කළ හැකි විය.
සති අන්තය පසුවී ඊළඟ සඳු දින වෙසක් කූඩුවත් රැගෙන පන්තියට යනතුරු මට ඉවසුම් නැතිවිය. රාත්‍රියේ නින්දට යනවිටත් වෙසක් කූඩුව ඇඳ අසලින්ම එල්ලා ගත්තෙමි. එදා සඳුදා වෙනදාටත් වඩා කලින් පාසැලට ගියෙමි. පන්තියේ තව කිහිප දෙනෙකුද වෙසක් කුඩු ගෙනැවිත් තිබුණි. ටික දෙනෙකු අවසන් නොකළ කූඩු ගෙනැවිත් තිබුණි. කූඩු අවසන් කළ අප කිහිප දෙනාත් ගුරු තුමියත් උදව් කර සියලුම කූඩු ටික වේලාවකින් අවසන් කළ හැකි විය. පන්තිය හරහා ලනුවක් ඇද අප සියලු දෙනාගේම කුඩු එල්ලුවෙමු. විවේක වෙලාවේදී, ගුරු මණ්ඩලයේ සියලු දෙනාම අපගේ පන්තියට පැමිණ වෙසක් කූඩු බලා අපට ප්‍රසංශා කළහ. පාසැල ඇරීමට ටික වේලාවකට කලින්, ප්‍රාථමික අංශයේ පන්ති පහේම සිසුන් පෙළ ගැසී අවුත් අපගේ වෙසක් කුඩු ප්‍රදර්ශනය නැරඹුහ. මෙය අප සියලු දෙනාටම මහත් ආඩම්බරයක් විය. වෙසක් කුඩු දහයක් අතුරෙන් මගේ කුඩුවට ප්‍රථම ස්ථානය ලැබුණි. මහන්සියට ප්‍රතිඵල ලැබීම නිසා මම මහත් සතුටට පත්වීමි. අභ්‍යාස පොත් දෙකක්, පැන්සලයක් සහ මකන කෑල්ලක් මට ලැබුණු තෑගි විය.

ඒ කාලයේ අප නිවසට විදුලි බලය නොතිබුණු නිසා, වෙසක් කූඩු ආලෝකමත් කිරීම සඳහා ඉටි පන්දම් දැල්වීමට අවශ්‍ය විය. සති අන්තයේ එළඹුණු වෙසක් දිනයේ මගේ අටපට්ටම් කූඩුව ඉටිපන්දමක් දල්වා ආලෝකමත් කරන ලදී. එදා තනිවම මහන්සි වී සකස් කළ වෙසක් කූඩුවෙන් විහිදුනු ආලෝකයෙන් මගේ ජීවිතයටද මහත් ආලෝකයක් එකතු වන්නට ඇති යයි මට සිතේ. ඒ අභාෂය නිසාම මට එදා මෙදා දශක හයකටත් වැඩි කාලයක් තිස්සේ නොකඩවාම වර්ෂයක් පාසා වෙසක් කූඩු සකස් කර ආලෝකමත් කිරීම නොපිරිහෙලා ඉටු කිරීමට අවස්ථාව ලබා ගත්තෙමි.

වෙසක් කූඩු තැනීමේ අතීතයේ සිදුවූ රසමුසු සිද්ධිද කිහිපයක් සඳහන් කළ හැකිය. 

         විදුලි බලය නොමැති කාලයේ වාර කිහිපයක්ම වෙසක් කූඩුවල සවිකළ ඉටිපන්දම පෙරළී
         වෙසක් කූඩු එකක්, හෝ සියල්ලම ගිනිබත්වූ අවස්ථාද කිහිපයකි.

         තවත් අවස්ථාවකදී, මිදුලේ එල්ලා තිබුණු අටපට්ටම් කූඩු දහයක පමණ වැලක්, දහවල්
         කාලයේ  කඩාවැටුණු ධාරානිපාත වර්ෂාවක් නිසා සියල්ල විනාශවී කූඩු සැකිලි පමණක්             
         ඉතිරිවිය            .

         ගෙදරට විදුලි බලය ලැබුණු පසු වෙසක් කූඩු වැලක සියලුම කූඩු වලට විදුලි බල්බය බැගින්                            
සවි කිරීමේ නිවැරදි ක්‍රමය අප දන්නා විදුලි කාර්මිකයෙකු වෙත ගොස් ඉගෙන ගැනීමට හැකි
වීමද විශේෂ සිද්ධියකි.

         මතකයේ හැටියට තනිවම සකස් කර අවසන් කළ හැකිවූ වැඩිම අටපට්ටම් කූඩු සංඛ්‍යාව
         දහ අටකි. මේවාද ආලෝකමත් කරන ලද්දේ ඉටිපන්දම් එළියෙනි.

         පසු කාලයේදී විදේශගතව සේවය කරද්දීද වෙසක් කූඩු සකස් කර ආලෝකමත් කිරීම
         කෙසේ හෝ නොකඩවා කරන්නට ලැබීමද විශේෂත්වයකි..

මෙහි දැක්වෙනුයේ මෑත කාලයේ ගතවූ වසර කිහිපයකදී සහ මෙවර වෙසක් සැමරීම සඳහා සකස්කර ආලෝකමත් කරන ලද වෙසක් කූඩුවල ඡායාරූප කිහිපයකි.

වෙසක් කූඩු තැනීම සඳහා, එදා මා කුඩා කාලයේදීම යොමු කළ ඒ දයාබර ගුරු මහත්මියට මෙය උපහාරයක්ම වේවා.!

Saturday 2 May 2020

උපතට පෙර දරුවන්ට නම් තැබීම….

     මෙය මා කලකට පෙර අසන ලද රස කතාවකි. ඒ කාලයේ අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍රවල නියැලී සිටි අපට සෑම පාසැල් නිවාඩු කාලයකදීම නේවාසික සේවාස්ථ පුහුණු කාර්ය සැසි පවත්වන ලදී. එවකට නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්ව සිටි, දිවංගත, ජිනපාල අලස් මහතාගේ පුරෝගාමිත්වයෙන් පවත්වන ලද මෙම කාර්ය සැසි වලදී අපට බොභෝ අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසිණ. විශේෂයෙන්ම 1960 ගණන් වලදී ක්‍රියාත්මක කරන ලද ‘නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අපට සුවිශේෂ පුහුණුවක්ද ලැබිණ. නේවාසික කාර්ය සැසි පවත්වනු ලැබුවේ විශ්ව විද්‍යාල හෝ ගුරු විදුහල් වැනි පහසුකම් සහිත ස්ථාන වල විය. මෙම කාර්ය සැසි හඳුන්වන ලද්දේ නිවාඩු කාලීන සේවාස්ථ පුහුණු ආයතන (In-service Vacation Institutes - IVI) යන නමින්ය.

බොහෝ දින වල, කාර්ය සැසි පැවැත්වෙන අතරතුරේදී ලැබෙන සුළු විවේක කාලය, කලකින් හමුවූ අය සමග ආගිය තොරතුරු කතාකිරීමට හෝ විහිළුවක් දෙකක් කියමින් සතුටු වීමට හැකිවිය. මේ ලියන්නේ අප සමග සිටි නිතරම, විහිළුවක් කටට එන, මා ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ එක්තරා සහෘදකුගෙන් අසන්නට ලැබුණු කතන්දරයකි.

මෙහි දැක්වෙන ඉංග්‍රීසි නම් සහ වචන නොමැතිව කතන්දරය ගොනු කළ නොහැකි නිසා, ඒවා ඒ ලෙසටම භාවිත කරමි.

Jason සහ Juliette ලඟදි විවාහ වූ තරුණ යුවළකි. මොවුන් ලෝකයේ කොහේ ජීවත්වූ අයදැයි අපි නොදනිමු. විවාහ වූ අලුත සෑම යුවලකටම නිරතුරුවම සිතට පහළවන බලාපොරොත්තු රාශියක් ඔවුන්ටද තිබිණ. මේවාට ගැලපෙන පරිදි ඔවුහුද තම අනාගතය සැලසුම් කළහ. එහෙත් ඔව්හු දරුවන් ලැබීම ගැන බලාපොරොත්තු තැබීම දිනෙන් දිනම කල් දමමින් සිටියහ. මෙසේ වසර කිහිපයක්ම ගතවිය. එක් දිනක උදෑසනම ඔක්කාරය ගතියක් සහ තරමක් වෙහෙසකර බවක් පෙන්වූ ජුලියට්, තමාට දරුවෙකු ලැබීමේ ලකුණු පහල වෙමින් තිබෙන බව ජේසන්ට කීවාය. ඔහු ඒ ගැන මවිතයට පත්වූයේ නැත. දින කිහිපයකට පසු ගෙදරට පැමිණි යෙහෙළියකට ඈ මේ බව ප්‍රකාශ කළේ අහම්බෙන් මෙන් සිදුවී ඇති දෙයක් ලෙසටය.

කෙසේ වෙතත් ජේසන් සහ ජුලියට් දෙදෙනාට ඉදිරියේදී දරු සම්පතක් බලාපොරොත්තු විය හැකි බැවින් ඔවුන්ට තමන්ගේ ඉදිරි සැලසුම් තරමක් දුරට වෙනස් කිරීමට සිදුවිය. මාස කිහිපයක් ගත වන විට ඉදිරියේදී තම කැදැල්ලට එකතුවන අලුත් සාමාජිකයා පුතෙක්ම වන බවට දෙදෙනා තුලම විශ්වාසයක් විය. මේ සම්බන්ධයෙන් ඔව්හු පවුලේ වෛද්‍යවරයා හමුවිය. පරීක්ෂණ කිහිපයකින් පසු ලැබෙන්නට සිටින්නේ පිරිමි දරුවෙකු බව වෛද්‍යවරයා නිසැකයෙන්ම ප්‍රකාශ කළේය. ඔවුන්ගේ සිතට නිම්හිම් නැති සතුටක් ඇති විය.

“අපට ලැබෙන්නට සිටින පුතාට, Peter යන නම තබමු” යයි දිනක් ජුලියට් යෝජනා කළාය.

“මමත් මේ හොඳ නමක් ගැන සිත සිතා සිටියේ Peter යන නම හොඳට ගැලපෙනවා. මේ කිට්ටුවක කිසිම ළමයෙක් නැහැනේ Peter කියලා ”

කියමින් ජේසන් බිරිඳගේ යෝජනාව ස්ථිර කළේය.

ඉදිරි මාස කිහිපයකට පසු, ජුලියට් පිරිමි දරුවෙකු ප්‍රසුත කළාය. දෙදෙනාගේම බලවත් කැමැත්ත පිට ඔහු Peter ලෙස නම් කරන ලදී.

දරුවාට වයස වසර එකහමාරක් පමණ ගතවීමේදී, ජුලියට් නැවත වරක් ගර්භණී වූවාය. එම දෙපලට මෙවර අවශ්‍ය වුයේ දියණියකි. ඔවුන්ගේ මතය අනුව අහම්බෙන් සිදුවූ එම අවස්ථාව ගැන ඔව්හු සතුටට පත්වූහ. එහෙත් මෙවර වෛද්‍යවරයාගෙන් ලැබුණු, සියයට පනහක අහඹුතාවය ගැන ඔවුන්ට සැකයක්ද ඇතිවිය. එහෙත් තම බලාපොරොත්තුව අනුව, මෙවර ලැබිය යුතු දියණියට Kate ලෙස නම් තැබිය යුතු බවට යුවල ඒකමතිකව තීරණය කළහ.

ජුලියට්, ජේසන් යුවලගේ බලාපොරොත්තු සුන් කරමින්, මෙවරද ඔවුන්ට ලැබුණේ පිරිමි දරුවෙකි. දරුවාට නමක් තැබීම ගැන ඔවුන් දෙදෙනා අතර මහත් වාද විවාද ඇතිවී, අවසානයේදී ජේසන් මෙසේ කීවේය.

“දැන් ඉතින් මොනවා කරන්නද? ලැබුණු දෙය අතහරින්නත් බැහැ. කිසිදිනක අමතක නොවන ලෙසට අපේ ලොකු පුතා, Peter ගේ නමටත් ගැලපෙන නමක් මට හිතට අවා.” 
“මට නම් කිසිදෙයක් හිතාගන්නටවත් බැහැ. මොකක්ද ඔයාගේ හිතට ආපු නම? ඇය විමසිලිමත් වුවාය.

“අපේ ලොකු පුතා Peter ගේ නටම ගැලපෙන Repeater කියන නම මම හිතුවේ! ” යයි කියමින් ජේසන් මහ හඬින් සිනාසෙන්නට විය.

ජුලියට් එම යෝජනාවට එක පයින් කැමති වුවාය.

දැන් ඔවුන්ට පුතුන් දෙදෙනෙකි. ඔව්හු Peter සහ Repeater ය.

තව කලක් හතවිය. දියණියක් නොමැති වීම ගැන ජුලියට් නිතරම කල්පනා කළාය. පවුලකට දියණියකගේ අවශ්‍යතාව නිතරම ජේසන්ට පැවසූ ඇය, බොහෝ විට තම යෙහෙළියන්ගේ පවුල්වල දියණියන් පිලිබඳ පුරසාරම් දෙඩීමද ඔහුට මහත් හිසරදයක් විය. දෙවන වතාවේ දරුවා ලැබීමට සිටියදී තම බිරින්දෑ විසින් යෝජනා කර තිබුණු Kate නම් ගැහැණු නම ගැනද ඔහුට මතක් විය.

ඊළඟ අවුරුද්ද අවසානයේදී නැවතත් ජුලියට්ට දරුවකු ලැබීමේ ලක්ෂණ පහල විය. මේ වර නම් ස්ථිරවම දියණියක් ලබන බව දෙදෙනාම සියයට සියයක් ස්ථිර කර ගත්හ. මාස කිහිපයකින් පවුලේ වෛද්‍යවරයා හමුවූ ඔව්හු සියලු උපදෙස් අනුගමනය කරමින් සතුටින් සිටියහ. මෙවර ජුලියට් කලින් වතාවලදීට වඩා වැඩි, ශාරීරික අපහසුතා වලින් පිඩා වින්දාය. එහෙත් ඇයට කිසිම ආහාර අරුචියක් නොතිබුණු හෙයින් නොදැනුවත්වම වාගේ ශරීරයේ බරද තරමක් වැඩිවී ඇති බව හෙළි විය.

දරුවා ලැබීමට නියමිත දිනය ආසන්න වනවිට ජුලියට්, දරු ප්‍සූතිය සඳහා රෝහල් ගත වූවාය. මෙවර ඇයට නිවුන් දරුවන් ලැබෙන බව මූලික පරීක්ෂණ වලදී හෙළිවිය. ඇයට බියක් සහ චකිතයක් ඇතිවූ අතර, ජේසන් අහස පොළොව ගැටලමින් කල්පනා කරන්නට විය.

ජුලියට් පසුවදා නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහි කළාය.

ඇයගේ බලාපොරොත්තුව සිතූ පරිදි ඉටුවිය. එහෙත් නොසිතූ අයුරු එය දෙගුණ විය. ජේසන්ටද ගැහැණු දරුවෙකු ලැබීම පිළිබඳව සතුටකුත් සමගම නිවුන් දරුවන් හදාවඩා ගැනීම පිළිබඳව තැති ගැනීමක්ද ඇතිවිය. ඔහු සිය බිරිඳට මුව නොසෑහෙන ලෙස ස්තුති කළේය.

නැවතත් දරුවන්ට නම් තැබීමේ අවුල ඉස්මතු විය . මේ අවස්ථාවේ සිය බිරිඳ ඇමතු ජේසන්

“අපි අදහස් කළ Kate නම එක දියණියකට තබමු. අනිත් නම ගැන මොකක්ද සිතන්නේ.”

තරමක් වෙලා කල්පනා කළ ජුලියට්,
“මට හිතට එන සෑම නමක්ම අපගේ යාලුවන්ගේ දරුවන්ට දමා තිබෙනවා, ඒ හින්දා අමුතුම නමක් තිබුණොත් හොඳයි.”

ටික වෙලාවක් නිහඬව සිටි ජේසන්,
“මට හොඳ අදහසක් ආවා. එක දියණියක් Kate නිසා, ඒ නමට සැසඳෙන ඒ වගේම ගැඹුරු අර්ථයක් තිබෙන නමක් මම යෝජනා කරන්නම්.”

“ඒක හොඳයි. නමෙහි එක් කොටසක් අම්මා වන මගෙන්, අනිත් කොටස ‘ඩබල් දූලාගේ’ තාත්තාගෙන් !” කියමින් ඇය අත්පොලසන් දුන්නාය.

“එහෙනම් දූ ඩබලේ දෙවැන්නාට Duplicate කියා නම තබමු.” යයි ජේසන් කීවේය.

“Kate …..Duplicate….., Kate …..Duplicate….. “

කියමින් ඒ නම් දෙක කිහිප වරක්ම උච්චාරණය කළ ඈ ඉමහත් සතුටට පත් වුවාය.

ජේසන් ජුලියට් යුවලට දැන් තුන් වරකට දරුවන් සිව් දෙනෙකි. ඔව්හු Peter, Repeater නම් පිරිමි දරුවන් සහ Kate සහ Duplicate නම් නිවුන් දියණියන්ය.

දැන් ඔවුන්ගේ පවුලේ දරුවන් සතර දෙනෙකි. ‘ පුංචි පවුල රත්තරන්’ යන කියමන ජේසන්ට නිතරම මතක් විය. එහෙත් මේ පිළිබඳව කිසිම මතයක් සිය බිරිඳ සමග සාකච්ඡා කිරීමට ඔහුට සිතක් පහල නොවීය. ජුලියට්ද සිය දහස් වර මේ ගැන සිතුවත් ඒ පිළිබඳව තම සැමියා සමග කථාකර ස්ථිරසාර තීරණයක් ගැනීම දිනෙන් දිනම කල් දැම්මාය.

නිවුන් දියණියන් දෙදෙනා දැන් දුවපැන ඇවිදින වයසේය. Peter සහ Repeater සිය නැගණියන් දෙදෙනා සමග ක්‍රීඩා කිරීමට නිතර පෙළඹෙන අතර, ඉඳහිට දබර කර ගනිමින් හඬා වැටෙන අවස්ථාද එමටය.

මෙසේ දරු සුරතල් බලමින් සිටියදී ජුලියට් සිව් වන වරටද ගැබිණියක් වීමේ ලක්ෂණ පෙන්නුම් කළාය. ඇය මෙවර, ජේසන්ද පුදුමයට පත්කරමින්, විශාල දරු පවුලක් සිටීම මහත් අභිමානයක් බව නොයෙක් වර ප්‍රකාශ කළාය. ඔහු තම බිරියගේ හදිසි වෙනස් වීම ගැන විමතියට පත් විය. ඇය විශාල දරු පවුල්වල අගය අත්ශයෝක්තියෙන් වර්ණනා කරනවිට, ඔහු ඒ අදහස් වලට හූ මිටි තබනවා විනා, වචනයක්වත් ප්‍රකාශ නොකළේය.

උපත ලැබීමට සිටින දරුවාට නමක් තැබීම ගැනද මේ වර වැඩි උනන්දුවක් දැක්වුයේ ජුලියට්ය.

“අපේ ඊළඟ බබාට දමන්නට හොඳම නමක් මම හිතුවා” යයි ජුලියට් ජේසන්ට කීවාය.

පසුගිය වතාවලදී මෙන් මෙවර බලාපොරොත්තුවන දරුවාටද තැබීමට සුදුසු නමක් ගැන තමන් කලින් නොසිතුවේ ඇයිද යන්නද ඔහුට නිරාකරණය කර ගත නොහැකි මහත් ගැටළුවක් විය.

“මොකක්ද තෝරා ගත්ත නම?” අඩ නින්දෙන් අවදි වුවෙකු මෙන් ඔහු ඇයගෙන් විමසා සිටියේය.

පසුගිය වතාවල, පළමු දරුවා වන Peter සම්බන්ධව පමණක්, තමන් දෙදෙනා බලාපොරොත්තු වූ ආකාරයට උපත සිදුවූ බව ඔහුට මතක්විය. එසේම නිවුන් දරුවන් යලිත් ලැබේද යන්න පිළිබඳවද ඔහුට කුකුසක් හටගත්තේය.

ටික වෙලාවක් ඔහුගේ මුහුණ දෙස බලාසිටි ජුලියට්

“මම හිතුවා නම් දෙකක් ගැන. පිරිමි දරුවෙක් උනොත් Max කියලා නම තියමු. ගැහැණු දරුවෙක් උනොත් Maxi කියමු. හරිම ලේසියි ”

බිරියගේ හදිසි වෙනස් වීම ගැන තුෂ්නීම්භූතව සිටි ජේසන්ට “මේ වරත් නිවුන් දරුවන් උනොත් ? “ යන ප්‍රශ්නය ඇයගෙන් ඇසීමට සිත් වුවත් ඔහු එය අමාරුවෙන් මැඩ පවත්වා ගනිමින්,

“එහෙනම් ඒ විධියට කරමු” යි කෙටි පිළිතුරක් දුන්නේය.

Peter ගේ දසවැනි උපන්දිනය සමරා සති කිහිපයකට පසු ජුලියට් සිය පස්වැනි දරුවා ප්‍රසූත කළාය. ඔහු පිරිමි දරුවෙකි. ජුලියට් නම් දෙකක්ම යෝජනා කළේ, කුමන දරුවෙකු වුවත් කම් නැතැයි යන බලාපොරොත්තුව සහිතව බව ජේසන් සිතුවේය. එහෙත්, මෙතෙක් කල් ඔහුගේ සිතෙහි පෑරෙමින් තිබුණු, මේ වන තුරු ජුලියට් හට හෙළි නොකළ අදහස මුදුන් පත් කර ගැනීමට මෙය හොඳම අවස්ථාව කරගත් ජේසන්,

“එහෙම නොවෙයි අපි දරුවාට ඔයා බලාපොරොත්තු වූ Max කෑල්ලත්, ඒකට ඉදිරියෙන් මගෙනුත් Cli කෑල්ලකුත් එකතුකර Climax කියා නම දාමු. එහෙම කළ පසු අපට දරුවා දකින හැමවෙලාවකම ඒ අපට ලැබිය යුතු අවසාන දරුවා බව සිහියට නැගේවි”.

මෙයින් කලබලයට පත්වූ ජුලියට් ඉමහත් ප්‍රමෝදයට පත්වී.

“හොඳ අදහසක්. මට මෙතෙක් කල් මේ පණිවිඩය ඔයාට දෙන ක්‍රමයක් ගැන හිතාගන්නටවත් බැරිව හරිම කනස්සල්ලකින් සිටියේ. එහෙනම් Climax තමයි අපගේ “බඩ පිස්සා”