Monday 13 December 2021

මාගේ අලුත්ම පොත “ආ මග සටහන්”

      ශක පහකට වැඩි කාලයක් තිස්සේ, මා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකා වල නිරතව සිට ලද අත්දැකීම් වලින් බිඳක්,  “ආ මග සටහන්”  නමින් පොතක් ලෙස සකස් කිරීමට හැකිවිය.  කොරෝනා වසංගතය නිසා, වසර දෙකක් පමණ  මුද්‍රණ කටයුතු අඩාල වී  තිබී, දැනට සති කිහිපයකට පෙර  එය කොළඹ, ගොඩගේ සහෝදර සමාගම මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුනට මාගේ ප්‍රණාමය පුද කරමි. දශක කිහිපයක් තිස්සේ ගතකළ ඒ සුන්දර කාලය තුළදී   හමුවූ විවිධ දෙස් විදෙස්  සහෘදයින්, ආ ගිය ගමන් බිමන්, අත් විඳි රසබර සිදුවීම්, මුහුණ පෑ  දුක් කම්කටොලු, රාජකාරි කටයුතුවල අත්දැකීම් ආදී දහසකුත් එකක් එසේ නැවත සිහියට නැගීමට හැකිවීම මහත් සතුටකි.  

පොතෙහි පිට කවරය 


‘අතීතය සුන්දරය, වර්තමානය කාර්ය බහුලය, අනාගතය අවිනිශ්චිතය’, යන වැකියේ ගැබ්වී ඇති අදහසට අනුව, තම ජීවිත කාලය ගෙවී යන්නේ නොවේදැයි,  කෙනෙකුට සිතෙනු ඇත. ඊයේ,  අද සහ හෙට ගැන සිතා බැලුවත්, ඊයේ ගතවී ගොස්ය. අද ගතවෙමින් පවතී. හෙටක් යළි උදා විය හැකිය . 

ඉංග්‍රීසි ජාතික ශේක්ස්පියර් කවියාගේ ‘මිනිස් ජීවිතයේ අවස්ථා හත’ (The seven ages of man) නම් පද්‍යය ,  ‘All the world’s a stage, And all the men and women merely players; ……’ ලෙස ආරම්භ කර, අවසන් කරන්නේ, ‘Sans teeth, sans eyes, sans taste, sans everything.’ යනුවෙනි.   

ශේක්ස්පියර් කවියාගේ, මෙම පද්‍යය ගැන ගැඹුරින් සිතා බලන විට, ජීවිතයේ යථාර්ථය පැහැදිලි වේ. ඕනෑම මිනිසෙකු හෝ ගැහැනියකු  තම ජීවිත කාළය  තුළදී,  විවිධ භූමිකා වල රඟ පෑම් කරන බව, ඔහු පෙන්වා දෙයි. අවසානයේදී, ඔවුනට තමන්ගේම වැඩ කටයුතු පවා කර ගැනීමට නොහැකි, වයෝවෘධ  තත්වයකට පත්වන බව එහි යථාර්ථයයි. ශේක්ස්පියර් විස්තර කරන ආකාරයට, කෙනෙකු තොටිල්ලේ නැළවෙන බිළිඳු  අවස්ථාවේ සිට, මිය යන අවස්ථාව දක්වා කරනු ලබන  සියල්ලම ‘රංගන’ වේ. සෑම කෙනෙකුටම සාධාරණ විය හැකි, මටද එසේ වූ, එවැනි රංගන ස්වල්පයක තොරතුරු, මේ මගින් ඔබ සමග බෙදා හදා ගැනීම, මගේ බලාපොරොත්තුවයි. මේ සත්‍ය තොරතුරු වලින් පාඨකයාට  ජීවිතාවබෝධය විනිවිද දැකිය හැකි  සියුම් ඉඟියක්ද ලැබේය යන්න මගේ විශ්වාසයයි. 

පාසැල් කාලයේ සිට, රැකියාවෙන් විශ්‍රාම ලබන තුරු සහ ඊට පසුවද,  දශක හයක් පමණ නොකඩවාම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවල නිරතව සිටි මට, ආපසු හැරී බලනවිට, පෙනෙන දසුන් වල ඇති, හදවතට බොහෝ සමීප සිද්ධි වලින් බිඳක්  මෙසේ සටහන් කර තැබීම, අගනේයයි සිතක් පහල විය. මෙහි ඇති සියලුම ‘කතන්දර’ සත්‍ය සිද්ධි මුල්කර ගනිමින් ගොඩ නගන ලද ඒවා බව විශේෂයෙන් සඳහන් කළ හැකිය. එසේ වුවත් පෞද්ගලිකත්වය හෙළි කිරීම නුසුදුසුයි හැඟී ගිය අවස්ථාවලදී සහෘදයින්ගේ නම් සහ ස්ථාන නාම වෙනුවට ව්‍යාජ නාම දමා වෙනස් කිරීමට සිදුවිය.  ඒ සුන්දර චමත්කාර අතීතය ගෙවී ගොස්ය. වර්තමානය දැන් පෙර මෙන් කාර්ය බහුල නැත. ඒ අවිනිශ්චිත අනාගතය දැන් උදාවෙමින් තිබේ. දිවි මගෙහි ඉතිරි කොටස කෙටිය. ඒ කෙටි  කාලයේදී අතීත ආවර්ජනය මෙසේ  ටිකින් ටික සනිටුහන් කිරීමට හැකිවීම භාග්‍යයකි.  

බෞද්ධ දර්ශනයේ දැක්වෙන, ‘ලාභෝ අලාභෝ අයසෝ යසෝච’ යන අටලෝ දහම් විග්‍රහය අනුව, කෙනෙකුට තම ජීවිත කාලය තුළදී, ලාභ, යස, ප්‍රශංසා, සැප යන සුඛාස්වාද මෙන්ම, අලාභ, අයස, නින්දා හා දුක යන දුක්ඛාස්වාද  වලටද, නිසැකවම  මුහුණ දීමට සිදුවේ.  මේ දෙපැත්තේම රංගන මෙන්ම, මධ්‍යස්ථ  භූමිකාද  මෙහි පිටු  අතර තිබිය හැකිය.

මෙහි දක්වා ඇති පරිදි ගතවී ඇති කාළය තුළදී ඇසුරු කරන්නට ලැබුණු හිතවතුන් සහ හිතවතියන් දහස් ගණනක් විය හැකිය. ඔවුන් සියලු දෙනාටම කෘතගුණ සැලකීමක් වශයෙන් පොතෙහි මෙවැනි සටහනක් කළෙමි.

පිදුම- දශක හයක හතක කාළ පරාසයක් තිස්සේ,  ලොව කිහිප ස්ථානයකදී හමුවී, ඉතා සුහදව ඇසුරු කළ,  මෙම සත්‍ය සිද්ධි වලට හවුල්වී, නිර්ව්‍යාජ ‘රංගන’ දැක්වූ සියළු දෙනාටම මාගේ ආදර ගෞරවය පුද කරමි. ඔවුන්  අතුරෙන් පරලෝ සැපත්වී සිටින කිහිප දෙනාට,  මතු භවය ඉතාමත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

අද ආපසු හැරී බලන විට, ඒ සහෘදයින් බොහෝ දෙනෙකු මෙලොවින් සමු ගෙන ඇත. විදේශ වලදී හමුවී ඇසුරු කළ සියල්ලෝම පාහේ, මෙම ජීවිතයේදී  නැවත කිසිදිනක හමු නොවනු ඇත. සමහර විට ඔවුන්ටද අප සම්පූර්ණයෙන් අමතකවී ගොස් ඇත. පාසල් අධ්‍යාපන කාලයේ සිටි පන්ති මිතුරන්ගෙන් තවමත් ඇසුරේ සිටින්නේ අතලොස්සක් පමණකි. දෛවෝපගතව ජීවිතයේ සැඳෑ සමය විදේශයක ගත කිරීමට සිදුවූ නිසා කුඩා කළ ඇසුරු කළ අය සහ සමහර නෑදෑ හිත මිතුරන්ද නාම මාත්‍ර  බවට පත්වී සිටිති. නව  තාක්ෂණික මෙවලම් වලට පින්  සිදුවන්නට  ඉඳහිට හෝ එවැන්නෙකුගේ කටහඬ හෝ ඉලෙක්ට්‍රොනික ඡායාරූපයක්වත් දැකගන්නට ලැබීමද අරුමයකි. පසුගිය වසර දෙකක් තිස්සේ මුළු ලොවම වෙලාගෙන සිටින ‘කොරෝනා’ වසංගත තත්ත්වය නිසා ලොව බොහෝ දේ උඩු යටිකුරු වී ඇති ආකාරයටම අපගේ  බොහෝ සමාජ බැඳීම් වලටද තිත තැබී ඇත.

යටගියාවේ සමහර සම්බන්ධතා නටබුන් බවට පත්වී ඇතත්,  ඒ අතීතය සුන්දරය. අව්‍යාජයය. ඒ වකවානුව  මෙනෙහි කිරීමද සුවදායකය. එහි ආවර්ජනය කළහැකි, එසේ ආවර්ජනය කිරීමෙන් චිත්ත සන්තර්පණයක් ඇතිකර ගතහැකි දේ බොහෝය. මා “ආ මග සටහන්” ලෙස නම් කරන ලද මෙම අතීත ආවර්ජනා නැවත කියවා  සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත හැකිය. ඒ සමගම නෙත’ගට නැගෙන කඳුළු බිඳුවකින් දුක්ඛ දෝමනස්සයන් මගහරවා ගත හැකිය. 

ඔබටද “ආ මග සටහන්” කියවීමට අවස්ථාවක් ලැබුණහොත්, කියවා ඒ සම්බන්ධව ඉතිරි කර තබන මොනයම් ප්‍රතිචාරයක් වුවද මා හට තවත් ලිවිම සඳහා මහත් උත්තේජනයක්ම වනු ඇත.                                                                                                                                                                                                                                                                                                                                                                                                          

   


Wednesday 8 December 2021

දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව. 2 කොටස (කලින් පළවූ 1 කොටස හා සම්බන්ධයි)

දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව.      2 කොටස  

(කලින් පළවූ 1 කොටස හා සම්බන්ධයි) 


2021 ග්ලාස්ගෝ සමුළුව සහ ප්‍රගති සමාලෝචනය


2015 වසරේ පැරිසියේදී පවත්වන ලද ඓතිහාසික ජගත් පරිසර සමුළුවේදී සම්මත කරගන්නා ලද පරිසර ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳ ප්‍රගති සමාලෝචනයක් වසර පහකට පසුව 2020 වසරේදී පැවැත්වීමට තීරණය කර තිබුණි. එහෙත්, 2020 වසරේදී පැවතී  උග්‍ර COVID 19 වසංගත තත්ත්වය නිසා යෝජිත  සමුළුව පැවැත්වීමට නොහැකිවිය. වසංගත තත්ත්වය තරමක් තුනීවූ පසු, එය 2021 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 15 දක්වා, දින දහසයක් තිස්සේ   එකසත්  රාජධානියේ,  ස්කොට්ලන්තයේ,  ග්ලාස්ගෝ නගරයේදී පවත්වන ලදී., .


එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ CoP26 -  (26th Conference of  Parties) යන නමින් හැඳින්වූ  මෙම සමුළු සැසි වාරයේ එක් අරමුණක්  වූයේ,  2015 සිට මේ දක්වා කාලය තුළදී, ගෝලීය උණුසුම් වීම මැඩපැවැත්වීම සඳහා ගන්නා ලද උත්සාහයේ,  ලබා ඇති ප්‍රගතිය පිලිබඳ සාකච්ඡා කිරීමයි. එක්  එක් රාජ්‍යය විසින් පැරිස් සමුළුවේදී ගන්නා ලද තීරණ කෙතරම් දුරට ක්‍රියාත්මක කර තිබේද යන්න පිළිබඳව කරුණු  ප්‍රකාශයට පත්කිරීම සහ ඒවායේ තිබිය හැකි අඩුපාඩු නිරාකරණය කර ගැනීම සමුළුව ආරම්භයේදී  සාකච්ඡාවට භාජන විය.  2015 දී තීරණය කරගත් පරිදි,  බලාපොරොත්තු වූ ඉලක්ක කරා පිවිසීම සහ විශේෂයෙන්ම කාබන් මධ්‍යස්ථ භාවය (Carbon neutrality) ලඟා කර ගැනීම සාක්සාත් කර ගැනීම පිණිස අනුගමණය කරන ලද  ක්‍රමවේද ගැනද,  මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී.


2015 පැරිස් සමුළුවේදී ඉදිරිපත් කරන  ලද,  ප්‍රක්ෂේපිත ගණනය කිරීම් (projected calculations) වලට අනුව 2030 වනවිට, වායු ගෝලයේ සමස්ථ හරිතාගාර ආචරණ වායු ප්‍රමාණය  (Global Green House Gas  emissions),  CO2  සමක,  ගිගා ටොන් 54 ක් පමණ විය හැකි බව තීරණය කර තිබේ. (ගිගා ටොන් එකක් යනු ටොන් බිලියනයකි.) මෙම අගය 54GtCO2-eq   ලෙස දැක්වේ. (Gt- ගිගා ටොන්,  CO2-eq  - CO2 සමක). එහෙත් 2015 වසරේදී ගිවිස ගන්නා ලද්දේ, 2030 වනවිට  වායුගෝලයේ සමස්ත හරිතාගාර වායු ප්‍රමාණය  27GtCO2-eq   මට්ටමේ තබා ගැනීමටය. 


මෙය මහත් අභියෝගයකි. 2021 වර්ෂය  වන  විට පවා  මෙම ප්‍රමාණය 31GtCO2-eqපමණ වී ඇති බව වාර්තා වේ. ඉලක්කගත කාලය වන 2030 දක්වා තවත් ඇත්තේ වසර නවයක් පමණකි. මේ නිසා ඉදිරියට ඇති සුළු කාල පරාසය  තුළදී හරිතාගාර ආචරණය 50% කින් වත් අඩුකර ගතහොත් මිස, 2030 වනවිට බලාපොරොත්තු විය හැකි,  එම අති අවදානම් තත්ත්වය මගහැර ගත  නොහැකි බව ඉතාමත් පැහැදිලිය. 


ගෝලීය  උණුසුම් වීමේ අවදානම  සම්බන්ධයෙන් SCIENCE INSIDER නම් සඟරාවේ පළකර තිබු ලිපියකට සම්බන්ධ කර ඇති ප්‍රස්තාරයකින්,  මෙම ශත වර්ෂයේ ඉදිරි දශක අට තුළදී සිදුවිය හැකි ගෝලීය උණුසුම් වීම පිලිබඳ ඉඟියක් කර තිබේ.  (එම ලිපියේ කතුවරයාට ස්තුති පූර්වකව එම ප්‍රස්තාරය මෙහි උපුටා දක්වමි). පහත ප්‍රස්තාර සටහන බලන්න 


මෙම ප්‍රස්ථාරයේ සිරස් අක්ෂයෙන් (y අක්ෂය)  දැක්වෙන්නේ සියලුම හරිතාගාර වායුවලින් එකාබද්ධව වසරකට ඇතිකළ හැකි ගෝලීය උණුසුම් වීමේ, CO2 සමක සංඛ්‍යාව ගිගා ටොන් (GtCO2-eq)) වලින්ය. එහි තිරස් අක්ෂයේ (x අක්ෂය)  දැක්වෙන්නේ 1990 සිට  2100 දක්වා කාලයයි.

 

සිරස් අක්ෂයේ 0 ලක්ෂ්‍යයේ සිට ඇති තිරස් රේඛාව මගින් දැක්වෙනුයේ, වායු ගෝලයේ හරිතාගාර වායු,  ශුන්‍ය බලපෑමක් නැතහොත් ශුන්‍ය මුක්ත වීමක් (zero emission) බලාපොරොත්තු විය හැකි ආකාරයයි.  


මෙහි  ප්‍රස්තාර රේඛා කිහිපය  නිර්මාණය කිරීමේදී භාවිතයට ගෙන ඇත්තේ,  2015  වසරේ පැරිස් සමුළුවේදී සැලකිල්ලට භාජන කරන ලද ගිවිසුම්,  ‘පිළිපැදීම හෝ ඒවා නොසලකා හැරිම’ අනුව,  ඉදිරි කාලය තුළදී (2030 සිට 2100) සිදුවිය හැකි ගෝලීය උණුසුම් වීම පිලිබඳ පෙරැයීම්  වේ. මේ ආකාරයට  සිදුවියහැකියයි අනුමාණ කල හැකි  දේ,  ආචරණ සිද්ධි පහක් ලෙස ප්‍රස්තාරයේ  දකුණු පැත්තේ  අංක 1 සිට 5 දක්වා සටහන් කර තිබෙන පරිදි දැක්වේ. ඒවා මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය.

 

  1. දැනට පවතින සමහර අස්ථිර ප්‍රතිපත්ති අනුව බලාපොරොත්තු විය හැකි තත්ත්වය.

  

  1. දැනට දී ඇති ප්‍රතිඥා, යෝජිත පරිදි කාලීනව ඵල ගැන්වූ පසු ඇතිවන තත්ත්වය. 


  1. අභිමත කාබන් මධ්‍යස්ත භාවයේ සිටින විට පැවතීම. 

 

  1. උෂ්ණත්ව උපරිමය 2°C  මට්ටම සීමාවට  පැවතීම. 


  1. යෝජිත පරිදි පරිසර උෂ්ණත්ව වැඩිවීම 1.5 °C ප්‍රශස්ත මට්ටමේ තබාගැනීම. 


 (https://www.science.org/content/article/paris-climate-pact-5-years-old-it-working ඇසුරෙනි) 



මෙම ප්‍රස්තාරයෙන්  දැක්වෙන සංකල්ප  අවබෝධ කර ගැනීම සඳහා තවත් අර්ථ දැක්වීම් කිහිපයක්ද භාවිත කළ යුතුවේ. ඒවා නම්:

  • හරිතාගාර වායු, ශුන්‍ය මුක්ත වීම (Carbon zero) - මෙසේ  හැඳින්වෙනුයේ, වායු ගෝලයට ස්වාභාවිකව මුක්ත වන හරිතාගාර වායු, හා සමාන ප්‍රමාණයක්  වනාන්තර සහ සාගරය වැනි තවත් සංචිත වලට උරාගැනීම  හෝ කෘතීම ගබඩා වල රැස් කිරීම මගින්  මනා තුලිතතාවයක් ඇති කිරීමයි.

  • ‘කාබන් ප්‍රතිසමතුලිත තාවය’ (Carbon offsetting) - යම්කිසි කෙනෙකු හෝ ආයතනයක් විසින් මුදා හැරෙන  හරිතාගාර වායු ප්‍රමාණය සමතුලිත කිරීම සඳහා වන රෝපණය වැනි  කාර්යයක හෝ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්‍රියාවලියක ආයෝජනය කිරීම. 

  • ‘කාබන් මධ්‍යස්ථ භාවය’ (Carbon neutrality) - විවිධ පරිසර හිතකාමී ක්‍රමවේද භාවිත කරමින් හරිතාගාර වායු මෝචනය පරිසර හානියක් නොවන මට්ටමක  පවත්වා ගැනීම .


1990 සිට 2015 දක්වා කාළය තුලදී පරිසර උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන ආකාරය ප්‍රස්තාරයේ ආරම්භක අවස්ථාවේ සිට තද කලු  පැහැයෙන් දක්වා ඇත. මෙම කාලය තුළදී පමණක් වායු ගෝලීය හරිතාගාර වායු ප්‍රමාණය ගිගා ටොන් 15 කින් පමණ වැඩිවී තිබේ.

ඒ සමගම 2020 වසරේ සිට COVID19 වසංගතය සමයේ පරිසරය උණුසුම් වීම සැලකියයුතු ආකාරයකට අඩුවීමේ ඓතිහාසික ප්‍රවණතාව  ප්‍රස්තාරයේ තියුණු නැම්මකින් පෙන්නුම් කෙරේ. මෙතැන් සිට දැක්වෙනුයේ අනාගතයේදී ගන්නා පියවර අනුව ඉදිරියට සිදුවිය හැකි දේ පිලිබඳ පෙරැයීමයි. ප්‍රස්තාරයේ ඒ ඒ කොටස් සහ රේඛා වලින් හැඟවෙන අදහස් පහත දක්වා ඇති පරිදි  සම්පිණ්ඩනය කළ හැකිය.


ඉහත ප්‍රස්තාරයේ ඒ ඒ කොටස් සහ රේඛා වලින් හැඟවෙන අදහස් තවදුරටත් මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය.


  1. සමහර රටවල අද පවතින යම් යම් අවිනිශ්චිත ප්‍රතිපත්ති තීරණ නිසා, 2015 පැරිස් ගිවිසුම හරියාකාරව ක්‍රියාත්මක නොවුවහොත්, පැවතිය හැකි හරිතාගාර ආචරණ ස්වරූපය 35GtCO2eq සිට  47GtCO2-eq පමණ විය හැකිය.මෙම තත්ත්වය ප්‍රස්තාරයේ (නිල් පැහැ තීරුව) කොටසින් දැක්වේ.(මෙසේ තීරුවකින් දැක්වෙන්නේ එහි අවිනිශ්චිත භාවය නිසාය)

  2. දැනට දී ඇති ප්‍රතිඥා අනුව ඉදිරියට කටයුතු කළහොත්  2100 දී, හරිතාගාර ආචරණය  27GtCO2-eq මට්ටමේ පැවතිය හැකි බව. 

  3. ප්‍රතිපත්ති තීරණ ඒ ආකාරයටම ඉටු වුවහොත්  අභිමත කාබන් මධ්‍යස්ථ භාවය ලෙස සැලකෙන, 15GtCO2-eq සීමාවේ  එලෙසම පවත්වා ගත හැකි බව. 

  4. හරිතාගාර ආචරණය මගින් ගෝලීය උණුසුම් වීම, 2°C ඉලක්කය නොඉක්මවා  පවත්වා ගතහොත් කාබන් ශුන්‍ය භාවයට ආසන්න මට්ටමක  පැවතිය හැකි ආකාරය.

  5. කෙසේ හෝ ගෝලීය උණුසුම් වීම, 1.5°C ඉලක්කය අනුව  පවත්වා ගතහොත් කාබන් ශුන්‍ය භාවය යථාර්ථයක් බවට පත්කර ගතහැකි බව. 


ජාත්‍යන්තර බලශක්ති ආර්ථික විද්‍යාඥයෙකු වන, ඩැනියෙල්  වෙල්ස්බි සඳහන් කර ඇති පරිදි,  2015 දී සම්මත කරගන්නා  ලද ආකාරයට ගෝලීය උණුසුම් වීම සීමා  කර ගැනීමට නම්, ලොව ඇති සියලුම භූගත නිධි වලින් ගල් අඟුරු කඩා   ගොඩ ගැනීම සහ ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය වහාම නතර කළ  යුතු වේ. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ, 2050 වර්ෂය වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම 1.5°C සීමාවේ තබාගැනීමේ අභිලාශය, 50% ක මට්ටමකවත් තබා ගැනීම සඳහා, මේ මොහොතේ සිටම, වායු ගෝලයට CO2 සහ අනිකුත් හරිතාගාර වායු මුක්ත කිරීම නතර කළ යුතු වේ. 2100 දක්වා ඉතිරි කාලය තුළදී, සියලුම රටවල් විසින් වායු ගෝලයට මුක්ත කළහැකි CO2 සමක උපරිමය, ගෙගා ටොන් 580 කි. (580 Gt) .


මෙම සීමාවට එළඹීම සඳහා, ඒ වන විට, අද පවත්නා  ගල් අඟුරු නිධි වලින් 89% ක්,  තෙල් සංචිත  වලින් 58% ක් සහ භුගත ගෑස් සංචිත වලින් 59% ක් ස්වාභාවික ආකාරයටම  භූගතව තිබිය යුතුය.  එපමණක්ද නොව, මෙම ඉලක්කය ස්ථාවර කර ගැනීම පිණිස, දැන් සිටම වායුගෝලයෙන් CO2  උරා ගැනීමේ හෝ ඉවත් කිරීමේ ක්‍රමවේද සහ වායුව සුරක්ෂිතව ගබඩා කර තැබීමේ ක්‍රම සහ විධි අනුගමනය කළයුතු වන බවද ඔහු අවධාරණය කරයි. ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි ගෝලීය උෂ්ණත්වය වැඩිවීම,  1.5°C සීමාවේ තබාගත හැකි වුවහොත් 2100 වනවිට, ගෝලීය උණුසුම නැවත වරක්,  කාර්මික විප්ලවයට කලින් තිබුණ තත්ත්වයට ඉතා ආසන්න ප්‍රමාණයකට ගෙනගිය හැකි බවත්, එම තත්ත්වය ඉතා සෞම්‍ය දේශගුණික ලක්ෂණයක් විය හැකි බවත්   උපකල්පනය කෙරේ.


මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සැකෙවින් 


පැරිස් සමුළුවෙන් පසු මෙතෙක් හඳුනාගෙන තිබෙන ගැටළු සියල්ලටම පාහේ, ග්ලාස්ගෝ සමුළුවේදී, කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සෙවීම මහත් අභියෝගයක් විය. කෙසේ වෙතත්, පෘථිවියේ සහ එහි වාසය කරන මිනිස් සංහතියේත් අනිකුත් සියලුම ජීවීන්ගේත් අනාගත ඉරණම විසඳෙනුයේ මේ අවස්ථාවේදී  ගන්නා තීරණ අනුවය.  


මේ ආකාරයට අත්විය හැකි අනාගත ඉරණම විසඳීමෙන් අත්වන ප්‍රතිලාභ හෝ එය නොසලකා හැරිම නිසා අත්විය හැකි පාඩු මෙතෙකැයි විස්තර කළ නොහැකි තරම් ය.  


2015 පැරිස් සම්මුතියේ ප්‍රතිඥා වල ප්‍රගතිය පිලිබඳ  අගැයීමක් ග්ලාස්ගෝ සමුළුවට ටික දිනකට   පෙර කර තිබෙන බව සැලවේ. එම ප්‍රගති වාර්තාවට අනුව ධනාත්මක පිවිසුම් කිහිපයක් මෙසේ දැක්විය හැකිය. 


  • නව ඇමෙරිකානු ජනාධිපති 2021 ජනවාරි මාසයේ තනතුරට පත්වී දින කිහිපයකින්ම, පැරිස් සමුළුවේ ගිවිසුම් වලට යළි එකඟතාව පළකිරීම මේ අතර  සුවිශේෂී සිද්ධියකි.

  • ලොව දැවැන්ත තෙල් ව්‍යාපාර කිහිපයක් වහාම කාබන් මධ්‍යස්ත භාවය කරා ළඟාවීමට ප්‍රතිඥා දීමත්, ලොව පුරා මෝටර රථ නිෂ්පාදක සමාගම් රාශියක් ඛනිජ තෙල් භාවිත වාහන නිෂ්පාදනය අත්හැර දැමීමත්,  විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගැනීමත් සාධනීය පියවර කිහිපයකි.

  • හරිතාගාර වායු වැඩි ප්‍රතිශතයක් මුක්ත කරනු ලබන ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ  ජපානය  වැනි රටවල් 2030 වසර වන විට, කාබන් ශුන්‍ය භාවයට පත්කිරීමේ ප්‍රතිඥාව සනාථ   කර තිබේ. ඉන්දියාව  2050 වන විට මේ සඳහා තම දායකත්වය සැපයිය හැකි බවට ගිවිස ගෙන ඇත. එමෙන්ම 

  • හරිතාගාර වායු වලින් 22% පමණ මුදාහරිනු ලබ, මේ  සම්බන්ධයෙන් ලොව පළමු ස්ථානයේ සිටින චීනයද, 2060 වන විට කාබන් ශුන්‍ය භාවයට එළඹීමට තීරණය  කර තිබේ.

  • ලෝකයේ ප්‍රධානතම  ඛනිජ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටක් වන සවුදි අරාබියද  2060 වන විට කාබන් ශුන්‍ය තත්ත්වය ලඟා කර ගැනීමට එකඟ වී තිබේ.

  •  කැනඩාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල්  20 ක්, 2022 වසරෙන් පසු, පොසිල ඉන්ධන භාවිත වන කිසිම ජාත්‍යන්තර ව්‍යාපෘතියකට මූල්‍යාධාර සැපයීමෙන් වලකින බවටද  ගිවිසුමක් අත්සන් කර තිබේ. 

  • බල ශක්තිය  සඳහා බහුලව ගල් අඟුරු භාවිත කරන ඉන්දුනීසියාව සහ පෝලන්තයත් ඇතුළුව රටවල්  23ක්, ගල් අඟුරු අවශ්‍ය වන  නව ව්‍යාපෘති කිසිවක් ආරම්භ නොකිරීමටත්, දැනට ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිත වන ව්‍යාපෘති සියල්ලම ක්‍රමක්‍රමයෙන් පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව වලට පරිවර්තනය කිරීමටත් එකඟත්වය පළකර තිබේ.


මේ  අතර, රටවල් කිහිපයක් තම ගිවිසුමේ ප්‍රතිඥා  නොසලකා හැර තිබීමේ අවාසනාවන්ත  සිද්ධි ද අනාවරණය වී තිබේ.

  • ලෝකයේ විශාල වශයෙන් තෙල් නිපදවන රටවල් දෙකක් වන ඉරානය සහ ලිබියාවත්, අරාබි ලෝකයේ තරමක් දිළිඳු රටක් වන  යේමනයත් මේ වන තුරු පැරිස් ගිවිසුමට එකඟතාව පළකර නොතිබීම මහත් ගැටළුවක් වී තිබේ. 

  •  ඉරානය සහ ලිබියාව ඇතුළු රටවල් 13 ක් අයත්වන ඛනිජ තෙල් අපනයන රටවල සංවිධාන (OPEC) සාමාජිකත්වයද  යේමනයට හිමිවී නොමැත.

  • තුර්කිය සහ ඉරාකයද සම්මුතියට අත්සන් තැබුවේ අවසන් මොහොතේ,  2021  ඔක්තෝබර් මාසයේදීය.

.

COP26 සමුළුවේ සභාපති, ආලෝක් ශර්මා මේ ගිවිස ගැනීම් සියල්ල නිරීක්ෂණය කරමින්, “ගල් අඟුරු භාවිතයේ අවසානය අත ළඟටම පැමිණ තිබේ” යයි උදම් අණමින්,  තම තමන්ගේ ප්‍රතිඥා ඉටු කිරීමට ප්‍රයත්නයක් දරන රටවලට ස්තුතිය පුද කර වැදගත් ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බවද දැනගන්නට ඇත.


ආර්ජන්ටිනාවේ ජාතික විද්‍යා සහ තාක්ෂණ පර්යේෂණ විශ්ව විද්‍යාලයයේ, ආචාර්ය පැබ්ලෝ කැන්ෂියානි පෙන්වාදෙන ආකාරයට, වර්තමාන දශකය තුළදී, වායු ගෝලයට එකතුවන  හරිතාගාර වායු ප්‍රමාණය හරි අඩකින්වත් අඩු කර ගැනීමට නොහැකි වුවහොත්, 2030 වනවිට ලොවපුරා ඇතිවිය හැකි,   සුළි කුණාටු, සැඩ  සුළං, ලැව්ගිනි, දැඩි  නියඟ ආදියේ ප්‍රබලතාව දෙගුණ විය හැකිය. මෙසේ වුවහොත් 2030 වනවිට, ලෝකයට කිසිසේත් ඔරොත්තු නොදෙන ආකාරයෙන්  දිනකට ඩොලර් බිලියන දෙකක පමණ අලාභයක් විය හැකි බව ඔහු තවදුරටත් අවධාරණය කරයි.


ඉන්දියාවේ නවදිල්ලි නුවර,  විද්‍යා සහ පරිසර කේන්ද්‍රය (Centre for Science and Environment -CSE) මගින් ග්ලාස්ගෝ සමුළුවට පෙරාතුව කර තිබෙන අධ්‍යයනයකට අනුව, 1990 සිට 2019 දක්වා කාලය තුළදී, ලෝකයේ ඇති හරිතාගර වායු වලින් තුනෙන් දෙකක් පමණ පරිසරයට මුක්ත වීම  සඳහා වගකීම, ඉහලම ආදායමක් ලබන රටවල්  කිහිපය  භාරගතයුතු බව ප්‍රකාශයට පත්කර තිබේ.

 

1997 වර්ෂයේදී පොදු ගිවිසුකට එළඹි පරිදි, 2008 - 2012 කාලය වනවිට, හරිතාගාර වායු මෝචනය, 1990 දී තිබුණු තත්ත්වයේ සිට 5% කින් අඩු කිරීම සඳහා වූ පොරොන්දුවද   මෙම ධනවත් රටවල්  විසින්  නොසලකා හැර ඇති බවද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ය.    

 

විවිධ රටවල් වලින් ඉදිරිපත් කර, එමෙන්ම ගිවිසුම් ගත වී ඇති මෙම පිවිසුම් සහ එවැනිම තවත් සාධනීය අදහස් රාශියක් නිසා පෘථිවියේ අනාගතය පිලිබඳව,  සැනසුම් දායක තත්ත්වයක් උදාවිය හැකි බව අනුමාන කළ හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් එවැනි පරිසර හිතකාමී සංවිධාන සහ ආයතන මගින් මේ වෙනුවෙන් ඇපකැපවී කටයුතු කිරීමද ප්‍රශංසනීයය.     


එක්සත් ජාතීන් විසින් ගනු ලබන  මීළඟ සාධනීය පියවර 


පැරිස් නගරයේ පැවැත්වූ   COP21 සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කරන ලද්දේ, මානවජනක ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයට මුක්ත කරනු ලබන CO2 වායුව මගින්  සිදුවන පරිසර හානිය අඩුකර ගැනීම සඳහා වැඩ සටහන් සකස් කර ක්‍රියාත්මක කිරීම පිලිබඳවය. ඉහත දළ  වශයෙන් දක්වන ලද්දේ මේ පිලිබඳව  දැනට  දැනගන්නට ලැබී ඇති ඇති ප්‍රගතියයි.   


මෙවර ග්ලාස්ගෝහිදී පැවැත්වූ  එක්සත් ජාතීන්ගේ විසිහයවන සමුළුවේදී (COP26), ගෝලීය උණුසුම් වීමට මෙන්ම දේශගුණ විපර්යාස අර්බුදයට මූලික වන, ශේෂමාත්‍ර (residuals) වශයෙන්  වායු ගෝලයේ පවතින හරිතාගාර වායු වන   මීතේන්- CH4, නයිට්‍රස් ඔක්සයිඩ් - N2O සහ ක්ලොරෝෆ්ලුරෝකාබන් - CFC,  වැනි  වායු  පිළිබඳවද වැඩි අවධානයක් දැක්වීමට කටයුතු කර තිබේ. විශේෂයෙන්ම, වායුගෝලයේ ඉහල ස්ථර  වල තිබෙන ඕසෝන් වියනටද හානි පමුණුවන නිසා, මීතේන් වායුව   වායුගෝලයට එකතුවීම පාලනය කිරීම සඳහා ප්‍රමුඛ ස්ථානය දිය යුතුව ඇත.


මෙහිදී රටවල් සියයක් පමණ, 2030 වනවිට තම දේශයන්හි මීතේන් වායුව මුක්ත වීම 30% කින් අඩුකර ගැනීමට ගිවිස ගෙන තිබේ.  ලෝකයේ සියලුම රටවල් මෙම සම්මුතියට පැමිණියහොත්, ඉදිරි දශක කිහිපය තුළදී, උෂ්ණත්වය වැඩිවීමේ  සීමාව  පහසුවෙන්ම 1.5°C මට්ටමේ තබාගත හැකි වනු ඇතැයි  විශ්වාස කෙරේ. 

 

බලාපොරොත්තුව මෙසේ වුවත්, ලෝකයේ වැඩිපුරම මීතේන් වායුව වායුගෝලයට මුදා හරිනු ලබන පිළිවෙලින් පළමුවන දෙවන සහ සිව්වන රටවල් වන චීනය, රුසියාව සහ ඉන්දියාව මෙතෙක් මීතේන් අඩුකිරීමේ ගිවිසුමට එකඟතාව පළකර නොතිබීම කනස්සල්ලට හේතුවකි. මිනිසා හා සම්බන්ධ ක්‍රියාකාරකම් මගින් වායු ගෝලයට මීතේන් වායුවෙන් 35 % පමණ මුදා හරිනුයේ මෙම රටවල් වීමද බලාපොරොත්තු ප්‍රතිඵල සඳහා බාධකයකි. තවද, පිළිවෙලින් ලෝකයේ තුන්වන සහ පස්වන මීතේන් මුදාහරින්නන් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ  යුරෝපා සංගමය, මීතේන් ශුන්‍ය භාවය සඳහා එම  රටවල අභිප්‍රාය ප්‍රකාශ කළ පසු, බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ නයිජීරියාවද  තම රටවල කැමැත්ත ප්‍රකාශ කළ නිසා  සමස්ත අඩුකර ගැනීමේ ප්‍රතිඥාව  40% පමණ වී තිබිමද  සැලකියයුතු ප්‍රගතියකි. කෙසේ  වෙතත් නුදුරු අනාගතයේදීම චීනය, රුසියාව සහ ඉන්දියාව සම්මුතිය සඳහා එකඟතාව පළ කරනු ඇතැයි  ඇමෙරිකාවේ  පරිසර සංරක්ෂණ අධිකාරිය (Environment Protection Authority) බලාපොරොත්තු ඇතිකරගෙන තිබේ. 


ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ ඒවා ප්‍රවාහනයේදීද, මීතේන් වායුව සුළු වශයෙන් මුක්තවේ. මෙයට අමතරව කෘෂිකාර්මික කටයුතු වලදී පොලොව සීසෑම, ගොවිපළ ආශ්‍රිත සත්ත්ව පාලනය, ඉඩම් සංවර්ධන කටයුතු වැනි මිනිස් ක්‍රියාකාරම්  වලදී සහ කෙලින්ම වගුරු බිම් වලින් සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය දිරාපත්වීම වැනි ස්වාභාවික සංසිද්ධි  මගින්ද   මීතේන් වායුව බහුලව වායුගෝලයට මුදාහැරේ. විශේෂයෙන්ම ගවයින්, බැටළුවන්  වැනි ශාක භක්ෂකයින්ගේ ආහාර දිරවීමේදී පිටවන වායුවලින්ද  44% පමණ මීතේන් වන බව නිරීක්ෂණය කර තිබේ.  


නයිට්‍රස් ඔක්සයිඩ් N2O වායුවද මිනිස් ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයට මුදාහැරෙන හරිතාගාර වායුවකි. ෆොසිල ඉන්ධන නිෂ්පාදන කටයුතුවලදීත්, බොහෝ කර්මාන්ත වල අතුරු ඵල ලෙසද,  විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු වලදී නයිට්‍රජනිය පොහොර භාවිතයේදී, පාශු  බැක්ටීරියා මගින් ඒවායේ ඇති නයිට්‍රජනිය සංයෝග   වියෝජනය වන විටද,  N2O වායුව මුක්ත වේ. එමෙන්ම මළාපවහන පද්ධති වල අපද්‍රව්‍ය පවිත්‍රකරණයේදී බහුලවද,  මිනිසාගේ භාවිතය සඳහා පානීය ජල නිෂ්පාදන  ක්‍රියාවලියේදී ස්වල්ප  වශයෙන්ද, N2O වායුව වාතයට එකතු වේ.

  

ෆොසිල ඉන්ධන දහනය සීමා කළ විට, CH4 මෙන්ම  N2O ද  වාතයට මුදා හැරිම සැලකිය යුතු ප්‍රමාණයකින්  නතර වනු ඇත. එහෙත් ලොව පුරා ආහාර නිෂ්පාදනය සඳහා,  කෘෂිකාර්මික කටයුතු සහ සත්ත්ව පාලනය නොකඩවා කළයුතු නිසාත්, පානීය ජලය නොකඩවා පිරිසිදු   කළ යුතු නිසාත්  මෙම හරිතාගාර වායු මුක්ත වීම මුළුමනින්ම නතර කිරීම කිසිසේත් කළ නොහැකිය. මේ නිසා එම ක්‍රියාවලි වලදී හරිතාගාර වායු උත්පාදනය වීම අවම කිරීම සඳහා නව ක්‍රමවේද  සොයා ගැනීම සඳහා සිත් යොමු කර ගෙන තිබීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ  හැකිය. 


සත්ත්ව ගොවිපළ වල ඇතිකරනු ලබන ගව, එළු, බැටළු ආදී සතුන් විසින් වාතයට මුසු කරනු ලබන මීතේන් වායුව අවම කර ගැනීම සඳහා එම සතුන්ගේ ආහාරයේ සංයුතිය වෙනස් කිරිමෙන්  කළහැකි බව මෑතදී  කරන ලද  පර්යේෂණ වලින් ඔප්පු වී තිබේ. මෙම සතුන්ගේ ආහාරයේ  තණකොළ, පිදුරු වැනි ද්‍රව්‍ය වලට 3%  ප්‍රතිශතයක්, මුහුදු ඇල්ගී එකතු කිරීමෙන් මීතේන් හටගැනීම 80% පමණ අඩුකර ගත හැකි බව සොයාගෙන තිබේ. ලෝකයේ ඇතිකරනු ලබන ගවයින් බිලියනයක් පමණ සිටින නිසා, මෙය මීතේන් ප්‍රමාණය අඩුකර ගැනීමේ සාධනීය පියවරක් ලෙස ප්‍රචලිත වෙමින්  පවතී.


කසල ගොඩ ගසන ස්ථානවල සහ ඉඩම් ගොඩ කරනු ලබන ස්ථානවල  එකතුවන කාබනික අපද්‍රව්‍ය නිර්වායු (anaerobic) ස්වසනයට භාජන වීමේදී මීතේන් වායුව බහුලව හටගනී. කසල  ටොන් එකකින් මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වායුව, කාබන් සමක ටොන් එකක් (1CO2-eq)   පමණ නිපදවෙන බව ගණනය කර තිබේ. මෙය මැඩ  පැවැත්වීම සඳහා එම කසල අපද්‍රව්‍ය, සවායු (aerobic) ස්වසනයට ලක්කර කොම්පෝස්ට් බවට පත්කිරීමෙන් මීතේන් මුක්තවීම අඩුකරගත හැකි බව  සොයාගෙන තිබේ.   

නයිට්‍රස් ඔක්සයිඩ්  අති ප්‍රබල හරිතාගාර වායුවක් ලෙස හඳුනාගෙන තිබේ.  මෙම වායුව  වායු ගෝලයට එකතු වනුයේ, කෘෂිකාර්මික කටයුතු වලදී සහ    නයිට්‍රජනීය රසායනික පොහොර භාවිතයේදී  බව අවිවාදයෙන් පිළිගෙන තිබේ. වායු ගෝලීය නයිට්‍රජන් වායුව පාදක කර ගනිමින්, රනිල කුලයේ වැනි ශාක වල මූල ගැටිති වල සිටින බැක්ටීරියා මගින් නිපදවන නයිට්‍රජනිය පෝෂක වලින් මේ ආකාරයට සිදුවන පරිසර හානිය අවම වේ. කෙසේ වෙතත් රසායනික පොහොර නොමැතිව කෘෂිකාර්මික ඵලදායිතාවය වැඩිකර ගත නොහැකිය.  මේ නිසා නයිට්‍රස් ඔක්සයිඩ් මුක්ත වීම අවම මට්ටමක රසායනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු වීමට පියවර ගෙන තිබේ. කෘෂිකාර්මික කටයුතු වල නව පෙරළියක් ඇති කරමින්, අවම පරිසර හානියක් සිදුවන නව ආරයේ කෘෂි රසායන පොහොර නිෂ්පාදනය පිණිස නැනෝ තාක්ෂණ  මෙවලම් භාවිතය පිළිබඳව විවිධ ක්‍රමවේදද එළි දකිමින් තිබේ



.


Monday 22 November 2021

දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව.

(1 කොටස)

2015 පැරිස් සමුළුවේදී ගිවිසුම් ගත වීම් 

දේශගුණ විපර්යාසය නිසා සිදුවෙමින් පවතින ආපදා  පිළිබඳව අද ලෝකයේ දස දිගින්ම අසන්නට ලැබේ. දැනට දශක කිහිපයකට පෙර,  දේශගුණ විපර්යාස සිදු වන්නේදෝයි සැක සංකා සහිතව සිටි රටවල් පවා,  අද මේවා  ඇත්ත වශයෙන්ම සිදු වෙමින්  පවතින බව පිළිගෙන ඇත. ශත වර්ෂ දෙකකට පමණ ඉහතදී සිට, නොකඩවා කරගෙන ගොස්  තිබෙන සමහර විද්‍යාත්මක නිරීක්ෂණ මගින්ද මෙවැන්නක් සිදුවෙමින් පවතින බවට වැදගත් ස්වාභාවික සාක්ෂි පවා ලැබී ඇත. මෙම කරුණු තහවුරු කිරීම සඳහා  සාක්ෂි ලබා ගැනීමට ඉවහල් වූ අධ්‍යයන කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

  1. ලෝකයේ විවිධ වනාන්තරවල  වැඩී  තිබෙන පැරණි වෘක්ෂ වල වර්ධක රේඛා (growth lines)  නැතහොත් වාර්ෂික වළ  (annual rings) පිහිටීමේ ස්වභාවය. මේවා දේශගුණික සාධක අනුව වෙනස් වේ.

  2. සාගරයේ හෝ භුමිය මත, ආදී යුගවල සිට තැන්පත්ව ඇති ස්ථිර අයිස් ස්ථර  වල ගැබ්වී ඇති විවිධ වස්තු සහ ඒවායේ ගති ලක්ෂණ රටා.

  3. සාගරයේ කොරල් පරවලින්  කඩාවැටී සාගර පතුලේ තැන්පත්වී ඇති අවශිෂ්ඨ සැකිලි කොටස්වල ස්වරූප. 

මේ ආකාරයට කර ඇති අධ්‍යයන අනුව, 1850 පමණ දුර අතීතයක සිට, දේශගුණ විපර්යාස සිදුවෙමින් පවතින බව නිගමනය කර තිබේ. 


දේශගුණ විපර්යාස පිලිබඳ පැරිස් සමුළුව  (2015)


දේශගුණ විපර්යාස සිදුවෙමින් පවතින බව ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමෙන් පසු, මේ පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මකවූ,   එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තම සාමාජික රටවල් නියෝජනය වන,  21 වන මහා සම්මන්ත්‍රණය (21st Conference of Parties- COP  21),   2015 වර්ෂයේ නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 වන දින දක්වා ප්‍රංශයේ පැරිස් නගරයේදී  පවත්වන ලදී. එම සමුළුවේ ප්‍රධාන තේමාව අනුව  එය ‘ජගත් දේශගුණික විපර්යාස සමුළුව’ ලෙසද හඳුන්වන ලදී. 


දේශගුණික විපර්යාස සිදුවනුයේ, ප්‍රධාන  වශයෙන් වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් (CO2)    වායු සාන්ද්‍රණය  අධික වීමෙන්, පරිසර  උණුසුම වැඩිවන නිසා බව මුලින්ම හඳුනා ගෙන තිබේ. ‘හරිතාගාර ආචරණය’  (green -house effect) වශයෙන් නම් කරනලද මෙම සංසිද්ධියට මූලික වනුයේ ෆොසිල ඉන්ධන වන ගල්අඟුරු, ඛනිජ තෙල්, ගෑස් වැනි ඉන්ධන දැවීම, වනාන්තර විනාශය වැනි මානවජනක (anthropogenic) ක්‍රියාකාරකම්  මගින්  මුක්ත වන CO2     නිසා බව,  විවිධ පර්යේෂණ මගින් නිශ්චිත වශයෙන්ම  අවබෝධ කර ගත හැකි වී ඇත. මෙයට අමතරව වායුගෝලයේ පවතින, මීතේන් (CH4), නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) වැනි වායුද හරිතාගාර වායු ගණයට වැටේ. මෙම සමුළුවේදී සම්මත කර ගන්නා ලද පැරිස් දේශගුණික ගිවිසුම’, දේශගුණික විපර්යාස පිළිබඳ නීතිමය රාමුවක් සහිත, ජාත්‍යන්තර ගිවිසුමකි. එය මගින් සාමාජික රටවල දේශගුණික විපර්යාස අවම කිරීම, ඒ සඳහා අනුවර්තනය වීම සහ අනුවර්තන නිර්දේශ සඳහා අවශ්‍යවන මූල්‍ය ආවරණය ලබාදීම වැනි කරුණු  කෙරෙහි සැලකිල්ලක් දැක්වීම පිළිබඳවද එකඟතාවයකට පැමිණ තිබේ. 


මෙම ඓතිහාසික පරිසර සම්මුතියට, ලෝකයේ රටවල් 196 ක්  විසින් අත්සන් කරන ලදී. එහෙත් එයට වසරකට පසු බලවත්ම රාජ්‍යයක් වූ ඇමෙරිකා එක්සත් ජනපදය විවිධ හේතු ඉදිරිපත් කර, සාමාජිකත්වයෙන් ඉවත් විය. 2015 වසරේ ගිවිස ගත් දේශගුණ විපර්යාස සම්මුතියේ ඒකායන බලාපොරොත්තුව වූයේ:

‘වසර  2030 දක්වා එළඹෙන ඉදිරි පසළොස් අවුරුදු කාළ සීමාව තුළදී පරිසරය උණුසුම් වීම, කාර්මික විප්ලවය ආරම්භයේ පැවති මට්ටමේ සිට උපරිම 2°C කට අඩුවෙන් (කෙසේ හෝ 1.5°C සීමාවේ) මට්ටමට තබා ගැනීමයි’

මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා යෝජිත ප්‍රධානතම ක්‍රමවේදය ලෙස ඉදිරිපත් කරන ලද්දේ, සාමාජික රටවල් විසින් තම දේශයන්හි හරිතාගාර වායු මෝචනය ක්‍රමක්‍රමයෙන් අඩුකර, මෙම ශත වර්ෂයේ මැද වන විට (වසර 2050 දී ) කාබන් මධ්‍යස්ථ භාවයට  (carbon neutrality)  පත්වීමයි. 


(මෙහිදී යම්කිසි රටක හෝ දේශයක ‘කාබන් මධ්‍යස්ථ භාවය’ යනුවෙන්   හැඳින්වෙනුයේ,  එම දේශය තුළ මිනිසා ඇතුළු සියලුම ප්‍රභව මගින් -කාබන්ඩයොක්සයිඩ් වායුව වශයෙන් -  පිටකරනු ලබන කාබන් ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක්,  ප්‍රධාන වශයෙන්, -වනාන්තර වැනි කාබන් සංචිත වල - ගබඩා වීමට සලස්වා, පරිසරයේ කාබන් සමතුලිත භාවය රැක ගැනීමයි.)


මේ ආකාරයට කාබන් මධ්‍යස්ථ භාවයේ තවත් පියවරක් ඉදිරියට යාමෙන් වැඩිපුර  CO2 වායු ගෝලයට එකතුවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමේ ක්‍රමවේද භාවිතය මගින් උදාවන තත්ත්වය  කාබන් ශුන්‍ය භාවයට පත්වීම (zero carbon emission) ලෙස විස්තර කරනු ලැබේ. මෙම ඉහලම පරිසර හිතකාමී තත්ත්වයට පත්වීම  සඳහා අනුගමනය කළ හැකි  විවිධ ක්‍රමෝපායය භාවිතය ‘කාබන් ප්‍රතිසමතුලිත කිරීම’ (Carbon offsetting) ලෙස හැඳින්වේ.  


ඇමෙරිකා එක්සත්  ජනපදයේ එක්තරා පාරිසරික ආයතනයක් විසින්  සාමාන්‍ය පුද්ගලයෙකු  විසින් මුක්ත කරනු ලබන CO2  ප්‍රමාණය පිලිබඳ පර්යේෂණයක් කර තිබේ. මෙහිදී ලැබී  ඇති තොරතුරු අනුව, එවැනි තැනැත්තෙකු විසින් එක් වසරක් තුළදී  CO2   වායුව   දළ  වශයෙන් ටොන් 42 ක්  (42,000 kg) පමණ  මුක්ත කරනු ලබන බව ගණනය කර තිබේ. මෙයට සමාන්තරව කර ඇති තවත් පර්යේෂණයකදී, හොඳින් වැඩුණු සාමාන්‍ය ප්‍රමාණයේ වෘක්ෂයක් වසරකට CO2   ටොන් 0.07 ක් (70 kg) උරාගන්නා බවද හෙළිවී තිබේ. මෙම ගණනය කිරීම් අනුව, එක් මිනිසෙකු විසින් හරිතාගාර වායු මුදාහැරීම නිසා වායු ගෝලයට කරනු ලබන පරිසර හානිය මකා ගැනීම සඳහා,   අවම වශයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ වෘක්ෂ 600 ක් පමණ අවශ්‍ය වන බව පෙනේ. වනාන්තරයක ඇති වෘක්ෂවල පාරිසරික අගය සහ වැදගත්කම මෙම ගණනය කිරීමෙන් පැහැදිලිවේ. ශාක විසින් සිදු කරනු ලබන  ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මගින් අති විශාල CO2  ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නා නිසා වනවගාව මගින් ‘කාබන් ප්‍රතිසමතුලිත කිරීම’  නමැති මෙම  සංකල්පයේ වැදගත් කම  සමාජගත වී තිබේ.   

 

2015 පැරිස් සම්මුතියේදී, සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්ද එක්  වේදිකාවක සිට,  ගෝලීය උණුසුම් වීම අවම කරගැනීම සඳහා තම තමන්ගේ රාජ්‍යයන්හි  ක්‍රියාත්මක කළ හැකි සීමා ප්‍රකාශයට පත්කිරීම සහ ධනවත් රටවල් ආර්ථික අසීරුතා සහිත  රටවලට ඒ සඳහා අත හිත දීමට කැමැත්ත පළකිරීම  වැනි සාධනීය කරුණු පිළිබඳව තීරණයකට එළඹීම මහත් සැනසුමක්  විය. දශක කිහිපයක් තිස්සේ තීරණයක් නොමැතිව, කල් යමින්  පැවතී මෙම අනාගත ආපදාව පිළිබඳව,  සාමුහික සම්මුතියකට මෙසේ පහසුවෙන් අවතීර්ණ වීමට හැකිවීම  ඓතිහාසික ජයග්‍රහණයකි. මෙම ජයග්‍රණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සියලු රාජ්‍ය නායකයෝ මහත් උද්දාමයකින් යුක්තව ඔල්වරසන් දුන් බවද ප්‍රකටය.


දැනට සැකයක් නොමැතිව තීරණය කර ඇති පරිදි වැඩියෙන්ම පරිසර උණුසුම් වීම සිදුකරනු ලබන ප්‍රධානතම කාරකය කාබන්ඩයොක්සයිඩ් වායුවයි. මෙයට අමතරව වායු ගෝලයට එකතුවන මීතේන් CH4, නයිට්‍රස් ඔක්සයිඩ් N2O සහ කෘතීම රසායන සංයෝගයක් වන ‘එරෝසොල්’ (erosol) යන වාණිජ නාමයකින් හඳුන්වනු ලබන ක්ලොරෝෆ්ලුරෝකාබන් (CFC) වැනි  වායුද ශේෂමාත්‍ර (residuals) වශයෙන්  වායු ගෝලයේ දකින්නට ලැබේ. මෙවායින්ද පරිසර උණුසුම්වීම සඳහා  යම්කිසි බලපෑමක් සිදුවේ. මේ සමගම වායු ගෝලයේ බහුලව තිබෙන ජල වාෂ්පද තාපය උරාගන්නා වායුවක් වුවද එහි ආයු කාලය දින කිහිපයකට පමණක් සීමා වන නිසා ගණනය කිරීම් වලදී නොසලකා හැරේ.


මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වායුද පරිසරයට මුක්ත වී හරිතාගාර ආචරණය සිදු කරනු ලබයි. මෙම වායු වලින්ද සිදු කරනු ලබන පරිසර උණුසුම් දායක වීම   ගණනය කිරීම සඳහා ඒවායේ බලපෑම එක්තරා ගණිත ක්‍රමයක් මගින් CO2    සමග සංසන්දනය කරනු ලැබේ. මෙහිදී වායු ගෝලයට මුක්ත වන CO2 ටොන් එකකින් සිදුවන බලපෑම  ඒකකයක් ලෙස සලකා එම අගය අනිකුත්  හරිතාගාර වායු වල අගයයන්  සමග සංසන්දනය කෙරේ. 


මෙහිදී එම වායු වාතයේ සක්‍රීයව පවතින කාල සීමාව සහ එක්  එක්  වායුව මගින් සිදු කරනු ලබන හරිතාගාර ආචරණ ප්‍රතිශතයද, අදාළ  ගණනය කිරීම් වලදී සලකා බලනු ලැබේ. මෙසේ ගණනය කළ විට ලැබෙන අගයයන් මේ  සමග ඇති වගුවේ දෙවන සහ තුන්වන සිරස් තීරු වල දක්වා තිබේ. මේ ආකාරයට ඒ ඒ  වායුව සඳහා  ලැබෙන දර්ශකය, අදාළ හරිතාගාර වායුවේ, ගෝලීය උණුසුම් විභවය (Global warming potential) ලෙස හඳුන්වනු ලැබේ. 


යම්කිසි හරිතාගාර වායුවක ගෝලීය උණුසුම් විභවය වැඩිවන තරමටම, එය මගින් සිදුකරනු ලබන ගෝලීය උණුසුම් වීමද වැඩිවේ.මේ ආකාරයට සලකා බැලීමේදී  COටොන් එකක් මගින්   සිදුකරනු ලබන  ගෝලීය උණුසුම් විභවය ඒකකයක් (01) වන විට, CH4 වායුව අඩුම වශයෙන් එමෙන්  28 ගුණයකින් සහ   N2O  වායුව අඩුම වශයෙන් එමෙන්  265 ගුණයකින්වත් ප්‍රබල බව පෙනේ. එමෙන්ම 11% ක ආචරණයක් ඇතිකරනු ලබන ‘එරෝසෝල්’ සංයෝගයක් මගින්  CO2 ඒකක 1000 ක පමණ ඉතාමත් ඉහල  උණුසුම් විභවයක් ඇතිකරණ නිසා, ඒවා අති භයානක බව හඳුනාගෙන තිබේ. මෙම වායු, ඉතාමත් ස්වල්ප ලෙස වායු ගෝලයේ ඇතත් ඒවා  විකිරණ කාරයක්ෂමතාව (Radiative efficiency) නැතහොත් පරිසරය උණුසුම් කරවීම අතින් ප්‍රබල වායු වේ. (වගුව 1 බලන්න)


ඕනෑම මිණුමක දත්ත ප්‍රකාශ කිරීම සඳහා ඒකකයක් අවශ්‍යය. මේ අනුව පරිසරය උණුසුම් වීම මැනීමේ ඒකකය ලෙස  කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් එකක් මගින්, වර්ෂයක් තුළදී  ඇතිකරවන, උණුසුම් වීමේ විභවය නැතහොත් බලපෑම, ඒකකය ලෙස සලකන ලදී. විවිධ විද්‍යාත්මක පිවිසුම් ආශ්‍රීතව සකස් කර ගන්නා ලද මේ ඒකකයේ සංකේතය CO2e  වශයෙන් භාවිත වේ. මෙහි ‘e’ ලෙස දැක්වෙන්නේ ‘සමක’ (equivalent) යන අදහසයි. මේ අනුව  කාබන් ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් එකක් මගින් ඇතිකරවන උණුසුම් බලපෑම දැක්වෙනුයේ 1 CO2e ලෙසටය.මෙය කාබන්ඩයොක්සයිඩ් සමක එකක් ලෙස කියවිය හැකිය.


මෙහිදී මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ ක්ලොරෝෆ්ලොරෝකාබන් මගින්ද සිදුකරනු ලබන පරිසර උණුසුම් කිරීම ‘කාබන් සමක ඒකක’ ලෙසට පරිවර්තනය කිරීම සඳහා එම වායු වල පරිසර උණුසුම් කිරීමේ බලපෑම කාබන්ඩයොක්සයිඩ් වල බලපෑම සමග සංසන්දනය කර අගයයන් (සංගුණක) ලබාදී තිබේ. මෙසේ ලබාගෙන ඇති අගයයන් භාවිත කර විවිධ හරිතාගාර වායුවලින් කෙරෙන පරිසර උණුසුම් වීමේ බලපෑම්  CO2 ඒකකයට අනුරූප සංගුණක ලෙස දැක්වේ. මේ ආකාරයට  කාබන්ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් එකකින් සිදුවන බලපෑම, 1 CO2e වනවිට අනිකුත් හරිතාගාර වායුවල ප්‍රබලතාව ඉහත දැක්වෙන ආකාරයට දැක්විය හැකිය. ( වගුව 1)


හරිතාගාර ආචරණය සිදුකරනු ලබන වායුවක ඇති පීඩාකාරී භාවය ගැන සැලකිල්ල යොමු කිරීමේදී,  එම වායුව වායුගෝලයේ පවතින සාන්ද්‍රණය ගැනද සැලකිල්ලක් යොමු කළ යුතු වේ. මේ සඳහා භාවිත කරනුයේ, සමස්ත වායුගෝලයේ පවතින වායු අංශු මිලියනයක,   අදාළ වායුවේ අංශු කොපමණ ප්‍රමාණයක්  අඩංගුව පවතීද යන්න ගණනය කිරීමෙනි. මෙය, වාතයේ අංශු මිලියනක ඇති අදාළ වායු අංශු කොටස් සංඛ්‍යාව (parts per million -ppm) ලෙස නම් කෙරේ. 2018 වර්ෂයේදී කරන ලද අධ්‍යයනයකට අනුව ප්‍රධාන හරිතාගාර වායු කිහිපය,  වායුගෝලයේ ඇති සාන්ද්‍රණ දළ  වශයෙන් මේ සමග ඇති දෙවන වගුවෙහි දක්වා තිබේ. වායු ගෝලයේ ඇති හරිතාගාර වායු  සාන්ද්‍රණ, ගතවූ ශත වර්ෂ කිහිපය තුළදී වැඩිවී තිබෙන බවද  මේ සමග ඇති වගුවෙහි දැක්වේ. (වගුව 2) 


මේ නිසා  පරිසරයේ  සමස්ත   උණුසුම් වීම පිලිබඳ  ගණනය කිරීමේදී  CO2 වල බලපෑමට සාපෙක්ෂව අනිකුත් හරිතාගාර වායු වලින් සිදුවන බලපෑමද  සැලකිල්ලට ගත යුතු වේ. 

වායු ගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය පිළිබඳව යම් යම් ප්‍රක්ෂේපණ ක්‍රමවේද මගින් ලබාගෙන ඇති දත්ත අනුව ඉතා වැදගත් නිරීක්ෂණයක් හෙළිකරගෙන තිබේ. මේ අනුව ප්‍රධාන හරිතාගාර වායු තුනෙහි වර්තමාන වායු ගෝලීය සාන්ද්‍රණ, ගතවූ වසර 1000 පමණ කාලය තුළදී, එම වායු තිබී ඇති  ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩිවී ඇත. උදාහරණයක් වශයෙන්,  CO2 වායුව දශක කිහිපයකට ඉහතදී 280 ppm වූ අතර, එය 2018 වසරේදී 410 ppm ඉක්මවා තිබේ. මේ ආකාරයට  පසුගිය වසර 20 තුළදී පමණක් CO2 වායුව,  මිලියනයකට අංශු තිහකින් පමණ     (30 ppm)  වැඩිවී තිබෙන බව වාර්තා වේ. මෙම ප්‍රවණතාව වසරින් වසරම ඉහල යන බවද දැනගන්නට ලැබේ.


2015 වසරේ පැරිසියේ පවත්වන ලද ජගත් සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ ඉහත දැක්වූ ආකාරයට  සිදුවන වායු ගෝලීය උණුසුම් වීම පාලනය කිරීම පිණිස ගන්නා ලද පියවර, සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම වෙනුවෙන්  ප්‍රතිඥා දීමයි. එම ගිවිසුමෙහි ප්‍රගති සමාලෝචනය 2020 වසර අවසානයේදී පැවැත්වීමට නියමිතව තිබූ, 26 වන මහා ජගත් සම්මන්ත්‍රණයේදී  (COP26) සාකච්ඡා  කිරීමට බලාපොරොත්තු වූවත්, COVID 19 වසංගතය නිසා, සම්මන්ත්‍රණය වසරකින් කල් දැමීමට සිදුවිය.


2020 වසර මුල සිටම COVID19 වසංගතය මැඩපැවැත්වීම සඳහා ප්‍රමුඛතාව දීමට සිදුවූ නිසා බොහෝ රටවලට ගිවිසුම් ගතවූ පරිදි, ගෝලීය උණුසුම් වීමට එරෙහිව තම තමන්ගේ රාජ්‍යයයන් විසින් දියත් කිරීම පිණිස සකස් කරන ලද සැලසුම් සතුටුදායක අන්දමට ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මේ නිසා සමුළුව වසරකින් කල් දැමීමට සිදුවූ අතර, සාමාජික රටවලටද තම ප්‍රගති වාර්තා  අවසන්කර ගැනීම සඳහා සැලකියයුතු විරාමයක් ලැබිණ.  

                                                           

(දෙවන කොටස පසුව)