Friday 2 June 2017

ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමේ ආසියානු ක්‍රමය ‘සංස්කෘතික හිඩැසක්’ද......?

සීෂෙල්ස් රාජ්‍යයේ සේවය කරද්දී ලැබූ තවත් අත්දැකීමකි.

  මා  සේවය කළ උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා අයිරිෂ් ජාතිකයෙකි. එම ආයතනයේ. ඉගැන්වීමේ මාධ්‍යය වුයේ ඉංග්‍රීසි භාෂාවයි. ඔහු කථාකරන ඉංග්‍රීසි භාෂා විලාසය සහ උච්චාරණය  අන් බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ඉංග්‍රීසි භාෂා විලාසයට වඩා බෙහෙවින් වෙනස්ය. ඔහු කථාකරන විට තරමක ගොත ස්වභාවයක්ද තිබුණු නිසා කියන සමහර දේ එකවරටම තේරුම ගැනීම අපහසුය. ආසියානුකරයේ අප ඉංග්‍රීසි උච්චාරණය කරනුයේ වෙනස් ආකාරයකට බව කව්රුත් දන්නා කරුණකි. මට භාරව තිබු විද්‍යා අංශයේ සිටි එක් විද්‍යාගාර සහායකයෙක් දකුණු ඉන්දියානු ජාතිකයෙකු වන ක්‍රිෂ්ණාය. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණය තවත් අමුතුය. ඒ කාලයේ අංශ හත අටක්‌ම තිබුණු අප බහු තාක්ෂණික ආයතනයට තිබුණේ ඡායා පිටපත් යන්ත්‍ර දෙකක්‌ පමණකි. මෙයින් එකක් ආයතන ප්‍රධානියාහේ කාර්යාලයේ තිබුණු අතර අනෙක තිබුණේ විද්‍යාගාරයේය. මෙම යන්ත්‍රය පරිහරණය භාරව ක්‍රියා කළේ ක්‍රිෂ්ණාය.

දින කිහිපයක සිට කාර්යාලයේ ඡායා පිටපත් යන්ත්‍රය අක්‍රීයව පැවති නිසා අපගේ යන්ත්‍රයට වැඩ අධික විය. මේ නිසා ක්‍රිෂ්ණාටද විද්‍යාගාරයේ වැඩ වලට වඩා ඡායා පිටපත් වැඩ තිබෙන බව දකින්නට ලැබිණ. ඔහුද විද්‍යාගාරයේ නියමිත වැඩ වලට වඩා ඡායා පිටපත් ගැනීමේ කටයුතු වලට වැඩි සැලකිල්ලක් දක්වන බවද පෙනුනි.

එදින උදේ, කාර්යාලයේදී මා හමුවූ අප ප්‍රධානියා, තව එක්‌ දිනකින් කාර්යාලයේ ඡායා පිටපත් යන්ත්‍රය අලූත්වැඩියා කර ලැබෙන බවත් කියා, මෙතෙක් අපට සිදුවූ අවහිරතාව ගැන කණගාටුවද ප්‍රකාශ කළේය. ඔහුගේ මුහුණ දෙසම බලාගෙන සිටි නිසා මට ඔහු කී දේ වහාම තේරුම් ගත හැකි විය. 

මා විද්‍යාගාරයට ගොස් ටික වේලාවකට පසු, විද්‍යාගාර සහායක ක්‍රිෂ්ණා කාර්යාලයට එවන ලෙස ප්‍රධානියාගෙන්  පණිවුඩයක්‌ ලැබුණි. ආයතන ප්‍රධානියාගේ කාර්යාලයට ගිය ඔහු, කඩිණමින්ම ආපසු පැමිණ, ප්‍රධානියා අපගේ ඡායා පිටපත් යන්ත්‍රය කාර්යාලයට ගෙනෙන ලෙස කියන ලද බව මට පැවසීය.

අළුත්වැඩියා කරනු ලබන ඡායා පිටපත් යන්ත්‍රය හෙට ආපසු ලැබීමට තිබියදීත් ඔහු අපගේ යන්ත්‍රය කාර්යාලයට ගෙනෙන ලෙස ඉල්ලීම මට පුදුමයක් විය. කෙසේ වෙතත්, මා තීරණයක්‌ ගැනීමටත් පෙර, ක්‍රිෂ්ණා ලහි ලහියේ යන්ත්‍රය විදුලි පේනුවෙන් විසන්ධි කර, කාර්යාලයට ගෙන යාමට ඔසවා ගත්තේය. එය ඔහුට ගෙන යාමට බැරි තරමට බර වුවත් ප්‍රධානියාගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ නොහැකි නිසාදෝ ඔහු යන්ත්‍රය ගෙන යාමට සුදානම් විය. අවශ්‍යතාව කුමක්දැයි නොදත් නිසා, මම එයට විරුද්ධ නොවීමි. ඔහු යන්ත්‍රය අමාරුවෙන් ඔසවා ගෙන යනවිට එහි විදුලි පේනුවට සම්බන්ධ කරනු ලබන  වයරය බිම දිගේ ඇදෙන්නට විය. ඔහුට උදව්වක් වශයෙන් මම බිම දිගේ ඇදී යන වයරය අතින් අල්ලා ගෙන ඔහු පසු පස ගියෙමි.

කාර්යාලයට ගෙනයන ලද ඡායා පිටපත් යන්ත්‍රය දුටු විගසම ප්‍රධානියා විශ්මයට පත්විය. කාර්යාලයේ  ඡායා පිටපත්  වැඩ කටයුතුද කිරීමට සිදුවී තිබීම  අවහිරයක් නිසා, යන්ත්‍රය කාර්යාලයටම භාර දීමට මාද  තීරණය කරන්නට ඇතැයි ඔහු සිතන්නට ඇත.

කලබලයට පත්වූ ඔහු.

‘Why did you bring the photo-copy machine here ?.
‘I left some papers on the table for you to photo-copy.’
‘Didn’t you understand me ?

ආදී ප්‍රශ්න මාලාවක් එක දිගට ඇසීය.

ඒ වන විටත් ඡායා පිටපත් කිරීම සඳහා දෙන ලද ලිපි කිහිපයක්ද මේසය මත විය.

සිදූවී ඇති ඇබැද්දිය මට තේරුම් ගත හැකි විය. මම ක්‍රිෂ්ණා වෙනුවෙන් කථා කළෙමි.

‘I think he has not understood what you have told him.' 
'Anyway let the machine be here till you get back the repaired one tomorrow.'
I think there had been an understanding problem.’යයි මම කීවෙමි.

අප දෙස තරමක් දුක්මුසු ලීලාවෙන්  මඳ වෙලාවක් බලා සිටි ඔහු

I am very sorry for the inconvenience caused. කියා

උපහාසාත්මක සිනාවක්‌ පා 

This is a classic example of the cultural gap යයි කියමින්

කට තරමක් ඇද කර පෙන්වීය.

ඔහු අදහස් කළේ ආසියාතිකයින් සහ  යුරෝපීයයන් අතර “සංස්කෘතික හිඩැසක් ” තිබෙන බවද?

ඔහු එසේ කීවේ මහා බ්‍රිතාන්‍යයේම, ඉංග්‍රීසි භාෂාව කථා කරණ රටවල් දෙකක් වන එංගලන්තය සහ අයර්ලන්තය යන රටවල් දෙකේ සංස්කෘතික වෙනස් කම නිසා සිදුවන උච්චාරණ වෙනස ගැනද, පොදුවේ ආසියාවේ සහ යුරෝපයේ සංස්කෘතික විවිධත්වය නිසා ඉංග්‍රීසි භාෂා උච්චාරණය පිළිබඳව ඇති වෙනස ගැනද යන්න මට එවේලේ විසඳා ගැනීමට නොහැකි වූ නිසා නිශ්ශබ්දව සිටියෙමි.

මහා බ්‍රිතාන්‍යයේ වුවද, එකම ඉංග්‍රීසි භාෂාව කථා කළත්  අයිරිෂ් ජාතිකයින්, ඉංග්‍රීසීන් සහ ස්කොට් ජාතිකයින්ට වඩා ආඩම්බරයක් පෙන්වන අය බව පසුව දැනගතිමි.  



8 comments:

  1. තම තමන්ගේ රටේ භාෂා හුරුවකට කට හුරුවෙලා
    එම විලාසෙන් ඉන්ගිරිසි බස හසුරවයි නිති තුටුවෙලා
    තම ඔෆීසියෙ ක්‍රිෂ්ණගේ ඒ ඇබැද්දියකට මැදිවෙලා
    නිම කෙරූ ගැටළුවක් හින්දම හිඳින්නට ඇත හිනැහිලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      බස තිබෙනුයේ අදහස් හුවමාරුවට
      මිස එහි අයිතියක් නැත එක් කොටසකට
      විස වන නමුත් කරපින්නා ගත් අයට
      රැස ගැන උදම් ඇනුමත් කරුණකි නිවට

      ඔබට ජයම !

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔය තරමෙං බේරුනා මදැයි.

    ReplyDelete
  4. ප්‍රසන්න,
    අපි ජාම බෙර ගත්තා. ඒ උනාට ලොක්කාගේ 'This is a classic example of the cultural gap’ (මෙය සංස්කෘතික හිඩැස පෙන්වන හොඳම උදාහරණයකි) යන ඇනුම් පදයයි මට ඇල්ලුවේ නැත්තේ.

    ReplyDelete
  5. //ඔහු යන්ත්‍රය අමාරුවෙන් ඔසවා ගෙන යනවිට එහි විදුලි පේනුවට සම්බන්ධ කරනු ලබන වයරය බිම දිගේ ඇදෙන්නට විය. ඔහුට උදව්වක් වශයෙන් මම බිම දිගේ ඇදී යන වයරය අතින් අල්ලා ගෙන ඔහු පසු පස ගියෙමි.//

    කලකට පෙර මම විදේශයක ජීවත් වන විට ශ්‍රී ලාංකික මිතුරන් ගෙවල් මාරු කරන විට අනෙක් මිතුරන් සමඟ ඔවුන්ට උදව්වට යනවා. එම කාලයේ මට තිබ්බ කාඩ් එකක් නම් අනික් අය බර දේවල් ඔසවාගෙන යනවිට මම ඒවායේ වයර් කෝඩ් එක අරගෙන පිටු පසින් යන බව. මට ඒක මතක් වුණා.

    ReplyDelete
  6. විවිධ ජාතින් අතර තියෙන සංස්කෘතික හිඩැස් නිසාම තමයි ඒ සංස්කෘතිවල අනන්‍යතාව තහවුරු වෙන්නේ.

    ReplyDelete
  7. ස්තුතියි මනෝජ්,
    ඔබ තේරුම ගත් ආකාරය තමයි විය යුත්තේ. මේ බව සියලු දෙනාම තේරුම ගන්නවානම් ජාතින් අතර සංහිඳියාව ඉබේටම ගොඩ නැගේවි.
    අපේ Scot ජාතික මිතුරා එසේ කිවේ තරමක උපහාසාත්මක ආකාරයකින්.එහි තරමක උඩඟු බවකුත් පෙනුනා.

    ReplyDelete