Sunday 30 July 2017

මන්නාරමේ ‘බැඔබාබ්’ ගසෙහි ගෙඩියට බොහෝ දුරට සමාන ගෙඩියක් ඇති ගසක් දකුණේ ද දකින්නට ලැබේ.

මන්නාරමේ ‘බැඔබාබ්’ ගසෙහි ගෙඩියට බොහෝ දුරට සමාන ගෙඩියක් ඇති ගසක් දකුණේ ද දකින්නට ලැබේ.

න්නාරම අධ්‍යාපන චාරිකාවකදි දකින්නට ලැබුණු‘බැඔබාබ්’(Baobab) ගසක ඡායාරුප සහ ලබාගත් ඵල (ගෙඩි) කිහිපයක් අපොස උසස් පෙළ සිසුන්ගේ කාර්ය සැසියකදී පෙන්වා විස්තර කර දීමට මට අවස්ථාවක් ලැබිණ.


                                                                                                              
                    බැඔබාබ් ඵල                                                                   හල් ඵල

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පහත්  බිම්වල සරුවට වැඩෙන ඒක දේශීය ශාකයක් වන හල් ගසෙහි ගෙඩියද ‘බැඔබාබ්’ ගෙඩියට බොහෝ දුරට සමානය.  එම  සිසුනට ‘බැඔබාබ්’ ගෙඩියේ ව්‍යුහය විස්තර කරමින් එහි ඇති පිටි කර ගත හැකි මදයෙන්, අප්‍රිකානු රටවල ඉතාමත් පෝෂ්‍යදායී ආහාර සකස් කර ගන්නා බව පැහැදිලි කළෙමි. එය පෙනුමෙන් හල්ගෙඩියකට බොහෝදුරට සමාන බව කියන විට, එක් සිසුවෙක් අත ඔසවා, තම ගෙවත්තේ හල් ගසක් තිබෙන බවත් ඒ දිනවල ගසෙහි ගෙඩි බරවී ඇති බවත් කීවේය.  තවත් කිහිප දෙනෙක් හල් ගස් දැක තිබෙන බවත්, එහෙත් වැඩි විස්තර නොදන්නා බවත් කීහ.

බැඔබාබ් ගස ඉඹුල් (කොට්ට පුළුන්) ගස අයිති බොම්බේසී (Bombaceae} කුලයට අයත් වන අතර, හල් ගස (හොර ) ඩිප්ටෙරෝකාර්පේසී  (Dipterocarpaceae) කුලයට අයත් බව ඔවුනට පෙන්වා දුනිමි.  Vateria copallifera යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන හල් ශාකය, ශ්‍රී ලංකාවට ආවේණික, ඒක දේශීය ශාකයක් වන නිසාත්, දැනට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන නිසාත්, මේ ගස ගැන උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙස අධ්‍යයනයක් කිරීම වැදගත් බව මම ඔවුනට පැහැදිලි කර දුනිමි.

සතිදෙකකට පමණ පසු එම සිසුන් විසින් හල් ගස ගැන ලියන ලද වාර්තා කිහිපයක් ඇගයීම පිණිස ගුරු මහත්මියක් විසින් මා වෙත  එවන ලදී. ඔවුන් ගස ගැන තොරතුරු රැසක් සොයාගෙන ඇත. මේ අතර හල් ඵලයේ  ව්‍යාප්තිය, ප්‍රරෝහණය, පුෂ්පයේ ව්‍යුහය, මදය ආහාර සඳහා ගැනීම, ගසේ පොතු භාවිතය ආදී කරුණු සඳහන් කර තිබිණ.  

ප්‍රරෝහනය වන හල් ඵලයක්

අප කුඩා කළ වාසය කළ මහ ගෙදර ගෙවත්තේද පැරණි හල් ගසක් තිබුණි.(කළුතර දිස්ත්‍රික්කයේ වරකාගොඩ) සෑම වසරකම එම ගසෙහි සෑදෙන ගෙඩි වල මදයෙන් හල් පිට්ටු, හල් හැලප හල් පුඩින් ආදි අතුරුපස සකස්කර, ආහාරයට ගැනීම මතකයට නැගුනු නිසා දැනට භාවිතයෙන් බොහෝ දුරට ඉවත්වී ගොස් ඇති  හල් ශාකය පිලිබඳ වැදගත් කරුණු අළලා සටහනක් තැබීමට අදහස් කලෙමි.

හල් ගස්වල මල් පිපී ගෙඩි හටගන්නේ අප්‍රියෙල්, මැයි මාස වලදීය. අගෝස්තු මාසය වනවිට පැසුණු ගෙඩි බිමට වැටේ. ආහාරය සඳහා ගනු ලබන්නේ හල් ගෙඩියේ මදයයි නැතහොත් ඉතාමත් මාංශල බීජ පත්‍රයි. එක ගෙඩියක මදය ග්‍රෑම් සියයක් පමණ තිබේ. මෙහි මදය පිටි කර ගැනීම වෙනුවට සිහිනියට සූරා ගැනීම පිණිස ක්‍රමයක් ගැමියා භාවිත කරයි. මේ සඳහා සාදා ගන්නා උපකරණය ‘හල් කටුව’ ලෙස හැඳින්වේ. එය සාදනුයේ   තරමක් ඝනකමින් යුත් බෙලෙක් තහඩුවකිනි. යකඩ ඇණයකින් තහඩුව සිදුරු කළ විට අනික් පැත්තේ උල සහිත තුඩු සෑදේ.සම්පූර්ණ තහඩු කැබෙල්ලේම මෙසේ  තුඩු සෑදෙන ලෙස සිදුරු කරගෙන, තුඩු පිටතට සිටින සේ සිලින්ඩරාකාරව නවා ගත් විට  ‘හල් කටුව’ සෑදේ.  ‘හල් කටුව’ වර්තමානයේ කැරට් වැනි අල වර්ග සිහින් කර ගැනීම සඳහා පාවිච්චි කරන ‘ග්රේටරයක’ (Grater) ගැමි ආකෘතිය ලෙස සඳහන් කළ හැකි වේ. හල් ගෙඩි දහයක පමණ මද සූරා ගත්  විට සිහින් හල් මද කිලෝ ග්‍රෑම් එකක් පමණ ලැබේ.

හල් මද තද තිත්ත රසකින් යුක්තය. තිත්ත රස ඉවත් කිරීමටද ගැමියා පහසු උපක්‍රමයක් භාවිත කරයි. හල් මදයට තිත්ත රසය ගෙන දෙන එහි අන්තර්ගත (රසායන) ද්‍රව්‍යය ගලායන ජලයේ දියවී යන බව ඔහු දැනගෙන තිබේ. මේ  නිසා ඔහු පන්  මල්ලක අසුරා කට බැඳ සකස් කර ගත් හල් පිටි  ගැමි පරිසරයේම තිබෙන කුඹුරේ, ගලායන ජලය ඇති වක්කඩක බැඳ තබයි. වක්කඩේ බැස යන ජලය පන් මල්ලේ සිදුරු හරහා ගොස් හල් පිටි හොඳින් සේදී යන විට තිත්ත ද්‍රව්‍යයද ඒ සමග ඉවත්වේ. එක් දිනක පමණ කාලයක් මෙසේ වක්කඩේ බැඳ තැබූ විට හල්පිටි වල තිත්ත ගතිය සම්පූර්ණයෙන්ම නැතිවී යයි.

මෙසේ සකස් කර ගත් හල් පිටි වලට පාන් පිටි සීනි සහ ලුණු පදමට දමා හොඳින් අනා වියලි මුද්දරප්පලම්ද එකතු කර කොළපත් ගොටුවල අසුරා මුල් බැඳ, හොදින් වණ්ඩුවේ තම්බා ගනු ලැබේ. පැය දෙකක් පමණ තැම්බුණු පසු ඉතාමත් රසවත් ඇති හල් මුලක් / පුඩිමක්  ලැබේ.

හල් ගසේ පොත්තද ප්‍රයෝජනයට ගත හැකි අවස්ථාවක් පැරණි ගැමියා හඳුනාගෙන තිබේ. තෙත් කලාපයේ කඳු බෑවුම්වල කිතුල් ගස් බහුලය. මේ ප්‍රදේශ වල ගැමියා කිතුල් මල් මැද ලබාගන්නා තෙල්දියෙන් පැණි සහ හකුරු සාදා ගනියි. තෙල්දියෙන් කොටසක් පැසෙන්නට හැර ලබාගන්නා කිතුල් රා ගැමියාගේ ප්‍රණීත පානයකි. වැඩිපුර ඇති තෙල්දිය ස්වභාවිකව සිදුවන පැසීම නතර කිරීම සඳහා හල් පොතු පාවිච්චි කරනු ලැබේ. ගැමියා මෙම දැනුම පාරම්පරිකව ලබාගෙන ඇත.

විද්‍යානුකුලව, සීනි ද්‍රාවණයක් ලෙස සැලකිය  හැකි තෙල්දිය පැසීම සිදුවනුයේ වාතයේ ඇති යීස්ට් විශේෂ මගිනි. මෙම පැසීම හල් පොතු මගින් වැලකෙනුයේ එහි ඇති යීස්ට් නාශක හෝ හෝ යීස්ට් වලට සීනි මද්‍යසාර වලට හැරවීමේ ක්‍රියාවලිය නතරකිරීමේ හැකියාවක් තිබෙන නිසාය. මෙම හැකියාව  පාරම්පරික ගැමි දැනුමකි.

හල් ගසේ මුල්වල පොත්තෙන් වැගිරෙන  ලාටු වලින් දුම්මල විශේෂයක්ද ලැබේ. මෙම හල් දුම්මල දහනය කිරීමෙන් ලැබෙන දුම් විෂබීජ නාශකයක් ලෙසද මදුරුවන් පළවා හැරීමටද භාවිත කෙරේ.

අප ගෙවත්තේ වැඩුණු විශාල හල් ගසේ තවත් සුවිශේෂී ලක්ෂණයක්ද සිහියට නැගේ. වනාන්තර වල තිබෙන, තුරු වියනට උඩින් නෙරා  වැඩෙන  නෙරු ශාක විශේෂ වලට සුළඟට නොපෙරලී සමතුලිතව සිටීම සඳහා මුල් වලින් කොටසක් පොලොව මතුපිටට නෙරා ගොස් ගස වටේට ආධාරක ලෙස විදේ. මේවාට කයිරු  මුල් යයි කියනු ලැබේ.  විශාල හල් ගස් වල පොලොව මතුපිට මුල්වල ගසට සම්බන්ධ කොටස තරමක් ඉහලට කයිරු මුල් ලෙස දකින්නට ලැබේ. අප ගෙවත්තේ වැඩුණු විශාල හල් ගසේ මේ මුල් කෙතරම් උසට වැඩී තිබේදැයි කියතොත්, කුඩා අප හැඟී මුත්තන් සෙල්ලම් කරන විට මේ මුල් අතර සැඟවී සිටීම අපට මහත් ආශ්වාදයක් විය.

හල් ගසේ විශාල කයිරු මුල්
හල් ගසේ පොතුවලින් මෑතදී  ‘කොපලිෆෙරෝල්’ (Copalliferol) නමැති බැක්ටීරියා නාශකයක්ද  නිස්සාරණය කර තිබේ. මෙම නිස්සාරකයට එම නම යොදා ඇත්තේ එහි උද්භිද විද්‍යාත්මක නාමය වන Vateria copallifera  හි විශේෂ නාමය  ඇසුරෙනි.

ශ්‍රී ලංකාවට ආවේනික හල් ශාකය වඳවී යාමට ඉඩ නොදී සංරක්ෂණය කරගැනීම කාලීන අවශ්‍යතාවකි.







Friday 28 July 2017

පත්වීම ලැබුණු පළමු දිනයේම නුහුරු රාජකාරි ගැටලුවකට මුහුණ දීම ....

  මා විද්‍යා අධ්‍යාපන නිලධාරි තනතුරෙහි මුල් පත්වීම ලැබුවේ රත්නපුර ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමෙන්තුවටය. එදීන උදයේම කාර්යාලයයට ගොස් වැඩ භාරගත් විගසම, අධ්‍යක්ෂක තුමා මා හට කාර්යාලයේ අනිකුත් නිලධාරීන් හඳුනා ගෙන පැයකින් පමණ ඔහු නැවත හමුවන ලෙස කීවේය. කාර්යාලයේ අනිකුත් නිලධාරීන් හත් අට දෙනාද හඳුනාගැනීමෙන් පසු මම අධ්‍යක්ෂක තුමා හමුවීමට ගියෙමි.

මා සමග ඉතාමත් සුහදව ආ ගිය තොරතුරු කථා කළ ඔහු මා අමතා මෙසේ කීවේය.

‘පුරුදු වෙන්නත් එක්ක ටිකක් ගැටළු සහිත රාජකාරි වැඩක්‌ පවරනවා සුදුසුය යි සිතන ඕනෑම ආකාරයකට එය පරීක්ෂා කර තොරතුරු ලබාගෙන සතියක් ඇතුළත මට නිර්දේශ සහිත වාර්තාවක් දෙන්න’

තනතුරේ රාජකාරි ගැනවත් නිසි අවබෝධයක් නොතිබුනු මට මෙය බලාපොරොත්තු නොවූ ගැටළුවක් නිසා කිසිවක් නොකියා බලා සිටියෙමි.

නැවත මට කථා කළ ඔහු
‘රාජකාරියට බය වෙන්නට දෙයක් නැහැ.  මේකයි කරන්නට තිබෙන්නේ. සීවලී සෙන්ට්‍රල් එකේ ගුරුවරු දොළොස් දෙනෙකුගේ විතර අතිරික්තයක් තිබෙනවා. නොයෙකුත් හේතු නිසා මේ අය ගුරුවරු නැති තැන් වලට මාරු කරන්නට අමාරුයි. හෙටම ඉස්කෝලෙට ගිහින් රාජකාරි වැඩ පටන් ගන්න. මාරු කිරීමට සුදුසු අය ගැන මට නිර්දේශ දෙන්න. අවශ්‍ය සමහර තොරතුරු මේ ෆයිල් එකේ තියෙනවා’ 

කියා ලිපි ගොනුවක්ද මට දුන්නේය.

තරමක් චකිතයකින් මෙන් ඔහු දෙස  බලා මා පුටුවෙන් නැගිට සිටින විටම

‘හැබැයි ප්‍රින්සිපල් තරමක් අමාරුකාරයා. ප්‍රවේශමෙන් වැඩ කරන්න’ කියා කීවේය

මෙය මට ඉතාමත් හොඳ අභියෝගයක් බව තේරුම් ගත් මා, ලිපිගොනුවේ තිබුණු තොරතුරු කියවා පසුදින විදුහලට ගියෙමි. නිර්දේශිත සංඛ්‍යාවට වඩා විදුහලේ ගුරුවරු දොළොස් දෙනෙක් අතිරික්ත බව ගොනුවෙහි ලිපියක සඳහන් කර තිබුණි.

විදුහලට ගොස්, විදුහල්පති කාර්යාලයේ ආලින්දයේ හිඳගත්  මා සේවකයෙකු අත විදුහල්පතිට පණිවුඩයක් යැවීමි. විනාඩි දහයකට පමණ පසු ඔහුගෙන් ලැබුණු කැඳවීම අනුව කාමරයට ගොස් ඔහු ඉදිරිපස පුටුවේ වාඩිවී මම කවුරුදැයි හඳුන්වා දුනිමි. මා අලුත් ව්ද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා බව කීවිට ඔහු පැළඳ සිටි උපැස් යුවලට උඩින් මා දෙස බලා ගැඹුරු ස්වරයකින් කථා කළේය. 

‘ආ එක හොඳයි අපට උසස් පෙළ විද්‍යා පංති වලට උගන්වන්න ගුරුවරු දෙන්නෙක් අඩුයි. ඉක්මණටම ගුරුවරු පත්කරන්නට ඕනෑ‍’

එය නොඇසුනාක් මෙන් මමද  මට අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා පවරා ඇති ක්ෂණික රාජකාරිය පැහැදිලිකර දුනිමි.

මෙය අසා තරමක් කෝපයට පත්වූ විදුහල්පති

‘ඔය එක එක්කෙනාගේ තීරණ අපට අවශ්‍ය නැහැ. ගුරුවරු නැතිව මම ඉස්කෝලේ වැඩ කරගන්නේ කොහොමද?’  කියා තරමක් උස් හඬින් කීවේය.

‘මේක ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ නියෝගයක්. මට මේ ගැන තොරතුරු ලබාගැනීමට කරුණාකර විදුහලේ කාල සටහන දෙන්න.’ 

මමද පළපුරුදු නිලධාරියෙකු ලෙස ඉල්ලීමක් කළෙමි.

‘නොහඳුනන අයට විද්‍යාලයයේ ලියකියවිලි දෙන්නට බැහැ.’ යි ඔහු කී විට,

මගේ බෑගයේ තිබුණු  පත්වීමේ ලිපිය ඔහුට පෙන්වීමට සිතුන නමුත් ම්ගේ නිලයේ ආත්ම ගරුත්වයද ආරක්ෂා කර ගත යුතු නිසා,

‘එහෙමනම් මගේ අනන්‍යතාවයත් අරගෙන හෙට උදේට එන්නම්’ කියා මම පුටුවෙන් නැගිට්ටෙමි.

එවිට මාදෙස බැලූ විදුහල්පතිතුමා, ලාච්චුවක් ඇර රෝල් කර තිබුණු කාල සටහන සකස් කරන ලද  විශාල ප්‍රමාණයේ කඩදාසි කිහිපයක් මේසය මතට දමා

‘ඕවා පිටට ගෙනයන්නට බැහැ. මෙහෙ ඉඳගෙන ඕන දෙයක් කරගන්න’

කියා හඬ තරමක් බාල කර කීවේය. කාල සටහන් විදුහල්පති මේසය උඩ දිග හැරීම නුසුදුසුයයි මට හැඟුනි. මම කඩදාසි රෝල් කිහිපයත් ගෙන කාර්යාලයෙන් එළියට ආවෙමි.

කවුරු නැතත් විද්‍යාගාරයේ සිටින නොහඳුනන විද්‍යා ගුරුවරයෙකුගෙන් වුවත් උපකාරයක්‌ ලබාගත හැකි බව මට මතකයට ආවේය. කොරිඩෝරය දිගේ ටික දුරක් යන විට කාර්යාල සහායක මා පිටුපසින් පැමිණ

‘සර් කොහාටද යන්න ඕනෑ’ කියා මගෙන් ඇසීය.

මට විද්‍යාගාරය පෙන්වන ලෙස ඔහුට කීවෙමි. අප විද්‍යාගාරය අසලටම යනවිට ඉදිරියෙන් ආ තවත් ගුරු මහත්මයෙක්

‘මහත්මයා දැකලා පුරුදු වගෙයි. අද මෙහි රාජකාරි වැඩකටද?’ කියා මගෙන් ඇසීය.

විදුහල්පතිට වඩා යමක් තේරුම් ගත හැකි උප ගුරුවරු සිටින බව මම වටහා ගතිමි. මට හදිසියේ හමුවුයේ මගේ ගම් ප්‍රදේශයේම කෙනෙකු වන දිවාකර මහතාය. මා ඒ බව නොදැන සිටියද, ඔහු එම විදුහලේ කලක්‌ සේවය කර තිබෙන කළා උපාධිධාරියෙකි. මා සමග විද්‍යාගාරයට ගිය ඔහු අංශ ප්‍රධාන විද්‍යා ගුරු මහතාට මා  හඳුන්වාදී  මට අවශ්‍ය කාරණයද පැහැදිලි කර දුන්නේය.

මිට සති දෙකකට පමණ ඉහතදීද  අධ්‍යාපන කාර්යාලයයේ වෙනත් නිලධාරියෙකු මට පැවරුණු කාරණය සඳහාම පැමිණ, විදුහල්පති සමග බහින් බස් වී පිටවී ගිය බව දිවාකර මහතා මට රහසින් පැවසීය.

මගේ රාජකාරිය සඳහා විද්‍යාගාර කාමරයේ ඉඩකඩ ඇති මේසයක් සහ අවශ්‍ය ලිපිද්‍රව්‍යද ලැබිණ. ටික වෙලාවකින් ඔවුන්ගෙන් තේ කෝප්පයක්ද ලැබිණ.

කාල සටහන් පෙරලාගත් මට විදුහලේ කාල සටහන්වල  ව්‍යුහය ගැන අවබෝධයක් ලබාගැනීමට ටික වෙලාවක් ගතවිය. මා කලින් සති අන්තය දක්වාම ගුරුවරයෙකු ලෙස සේවය කළ මධ්‍ය විද්‍යාලයයේද ගුරුවරුන් සියයක පමණ ගුරු මණ්ඩලයේ කාල සටහන් සකස් කිරීම භාරව සිටියේ මා නිසා මෙම කාලසටහන අවබෝධ කර ගැනීම පහසු විය. පැයකට පමණ පසු නැවත පැමිණි දිවාකර මහතා උපකාරයක්‌ අවශ්‍ය නම් දන්වන ලෙස කීවේය. මට අවශ්‍ය මුලික සටහන් සකස් කර ගත් මා  කාර්යාලයට ගොස් විදුහල්පතිට කාල සටහන් භාරදී පසු දින නැවත පැමිණෙන බව කියා  ආපසු යාමට සැරසෙන විට

‘ලොග් පොතේ සටහනක් කරනවා නේද ?’ කියා ලොග් පොත මට දුන්නේය.

අමාරුකාර විදුහල්පතිවරයාගේ සැර බාලවී ඇති බව මට දැනුනි.

පසුවදා උදේ මා විදුහල්පති කාර්යාලයට ගිය විට ඔහුගේ කලින් දිනයේ තිබුණු ගාම්භීර ලීලාව නැත. මට කාල සටහන්වල තොරතුරු සෙවීම සඳහා යාබද කාමරයේ මේසයක් සහ පුටුවක් තබා තිබුනි. එසේ වුවත් මා කලින් දිනයේ පරිදි විද්‍යාගාරයටම් ගියෙමි.

එදින සවස් වනවිට මට අවශ්‍ය සියලු තොරතුරු අවසන් කර ගත හැකි විය. මා ආපසු පිටත්වීමට පෙර දිවාකරටත් අනිකුත් විද්‍යා ගුරුවරුන්ටත් ස්තුති කළෙමි. විදුහල්පති කාර්යාලයට යනවිටම් මා සමග තරමක් සුහදව කතාකළ වීදුහල්පතීතුමා  විද්‍යා  උපාධිධාරීන්  දෙදෙනෙකු ලබාදෙන ලෙස මගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය,

ඒ සමගම  විදුහලෙන් ස්ථාන මාරු කිරීමට සුදුසු ගුරුවරුන්ගේ ලේඛනයක්ද හොර රහසේ මෙන් මා අත තැබීය. එහි ගුරුවරු සය දෙනෙකුගේ නම් විය.

මගේ සමීක්ෂණය සඳහා විදුහල්පතිතුමාගේ සහ ගුරු මණ්ඩලයේ සහයෝගය ඉතා හොඳින් ලැබුණු බවත් එය අගය කරන බවත් මගේ දෙවන දින ලොග් සටහනෙහි සඳහන් කළෙමි.

දින කිහිපයකට පසු මගේ ගුරු මාරු නිර්දේශ, හේතු සහිතව අධ්‍යක්ෂක තුමාට භාර දුනිමි. එහි දොළොස්  දෙනෙකුගේ නම් විය. මා කලින් සිටි විද්‍යාලයයේ කාල සටහන් සකස් කර තිබුණු නිසා හසු නොවන්නට කළ හැකි  ‘සම්‍යක් ප්‍රයෝග’ ගැන දැනගෙන සිට්යෙමි. මෙහිද මට ඒවා පහසුවෙන් හඳුනාගත හැකි විය.

එක් උදාහරණයක් පමණක් මෙහි දැක්විය හැකිය. විදුහලේ නවවන ශ්‍රේණියේ පන්ති දහසයක්‌ තිබිණ. මෙම පන්ති සියල්ලේම සංගීතය ඉගෙන ගන්නා සිසුන් සිටියේ  හතලිස්   දෙනෙකු පමණකි. මේ සියලු දෙනාම පන්ති දෙකකට පමණක් සීමා  කළේ නම් සතියකට කාල ඡේද හතරකින් පිරිමසා ගත හැකිය. එහෙත් පැවති කාල සටහනට අනුව ඒ සිසුන් පන්ති දහසයේම විසිරි සිටි නිසා ඒ සඳහා  කාල ඡේද තිස් දෙකක්  වෙන් කර තිබුණි. සෑම ශ්‍රේණියකම වාගේ සමාන්තර පන්ති වල සංගීතය ,නැටුම්, චිත්‍ර, කෘෂි විද්‍යාව වැනි විෂයයන් සඳහා  මෙසේ කර තිබුණි. මෙය ඇත්ත වශයෙන්ම සම්පත් හරිහැටි කළමනාකරණය නොකිරීමකි.

මා දොළොස්  දෙනෙකු අතිරික්ත ගුරුවරු ලෙස නිර්දේශ කළ අතර, විදුහල්පති තුමා මට දුන් ලේඛනයේ සිටි ගුරුවරු හතර දෙනෙක්ද ඒ අතර වුහ. නිර්දේශිත එක්‌ එක් ගුරුවරයාගේ කාල සටහනේ කාල ඡේද අනිකුත් ගුරුවරුන් අතර බෙදා දිය හැකි ආකාරයද මගේ වාර්තාවේ සඳහන් කළෙමි.

ඊට සති කිහිපයකට පසු විද්‍යා උපාධිධාරී ගුරුවරුන් ලැබුණු පසු විදුහල්පතිතුමාගේ ඉල්ලීමද නොපිරිහෙලා ඉටුකිරීමට හැකිවිය.

මා නිර්දේශ කළ දොළොස් දෙනාගෙන් දස දෙනෙකුට පදිංචි ස්ථාන අසල පාසල්වලට ස්ථාන මාරු යවා ඇති බව පසුව දැනගන්නට ලැබිණ. එසේ කරනලද ගුරු මාරු වෙනස් කරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ බවද විශේෂයෙන් සඳහන් කළ හැකිය.

කාර්යාලයට නවකයකු වූ  මාහට ඊළඟ නිලධාරි රැස්වීමේදී අධ්‍යක්ෂක තුමාගෙන් ප්‍රසංශාවක් ලැබීම කාටත් පුදුමයක් විය.

පරිගණක නොතිබුණු ඒ කාලයේ ගුරුවරු සියයක් පමණ සිටින විදුහලක කාල සටහන සකස් කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. එම අපහසු කාර්යය මා කලින් සේවය කළ  විදුහලේදී ප්‍රායෝගිකව් ඉටු කර තිබුණු නිසා, මට රාජකාරි වැඩ භාරගත් දිනයේම  පැවරුණු ගුරුමාරු අභියෝගය ජය ගන්නට හැකිවිය.


එම විදුහල්පති තුමා පසුව මගේ හොඳ මිතුරෙකු විය.         

Monday 24 July 2017

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ශුෂ්ක පරිසරයක කරනලද ජෛව විවිධත්ව අධ්‍යයනයක්

    ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාවගෙන් ඉතා සීමිත ප්‍රමාණයකට පමණක් දකින්නට ලැබෙන, මන්නාරම දිස්ත්‍රික්කයේ ශුෂ්ක සහ  ලවණ වගුරු, එමෙන්ම වඩදිය බාදිය දෙකෙන්ම පීඩාවට පත්වන අච්ච්න්කුලම කඩොලාන පරිසරය පිලිබඳ අධ්‍යයනයක් සහිත වැඩ මුළුවක් මෙහෙය වීම සඳහා  මට අවස්ථාවක් ලැබුණි.


        මන්නාරම දිස්ත්‍රික් සිතියම

ඒ 2013 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලැබූ  දැනුමැති සමාජයක් සඳහා අධ්‍යාපනය යන ව්‍යාපෘතියේ පරිසර විදා උපදේශක ලෙස මා කටයුතු කරද්දීය.
.

කොළ හැලී ඇති ‘බැඔබාබ්’Baobab ගසක්‌ (ගස ගලවා  මුල් උඩුකුරු වී සිටින ලෙස සිටුවා ඇති ආකාරයක් ලෙස දකින්නට ලැබේ.)

මන්නාරම ප්‍රදේශය දේශ ගුණය මෙන්ම ජෛව විවිධත්වය අතින්ද දිවයිනේ අනිකුත් ප්‍රදේශ වලට වඩා ඉඳුරාම වෙනස්ය. රටෙහි අන් කිසිම ප්‍රදේශයක දකින්නට නොලැබෙන බැඔබාබ් Baobab  (Adansonia digitata) ගස් තිබෙනුයේ මෙහි පමණකි. අප්‍රිකාවේ කාන්තාර ආශ්‍රීතව වැඩෙන මෙම ශාකය අරාබි නැවියන් විසින් එවකට ඔවුන් විසින් මෙහි ගෙනවිත් තිබුණු සිටි ඔටුවන්ට ආහාරය සඳහා වවන්නට ඇතැයි විශ්වාස  කෙරේ. දැනට ඔටුවන් නැතත් රූස්ස බැඔබාබ් ගස් ඉතිරිවී තිබේ. බැරලයක හැඩය ඇති මෙම ගසේ කඳ මීටර් 30 පමණ වටප්‍රමාණයකින් යුක්තය. බොහෝ විට ගසේ කඳෙහි උස ප්‍රමාණයට වඩා මහත වැඩි නිසා එය විශ්මිත ශාකයකි. පෙබරවාරි මාර්තු මාස වලදී මෙම ගස්වල කොළ වියළී හැලී යයි. කොළ හැලී ඇති ‘බැඔබාබ්’ ගසක්‌ දෙස බැලුවිට එය ගස ගලවා   මුල් උඩුකුරු වී සිටින ලෙස ආපසු සිටුවා ඇති ආකාරයක් ලෙස දකින්නට ලැබේ. මන්නාරම පල්ලිමුණේ හි තිබෙන ගස වසර 700 ක් පමණ පැරණි බව වාර්තාවී තිබේ. මෙම ගස් දෙමළ භාෂාවෙන්  පෙරුක්කු මරම් වන අතර සිංහලෙන් අලි ගස් කියාද හැඳින්වේ. ශුෂ්ක පරිසරයට අනුවර්තනය වී ඇති මෙම ගසක ජලය ලීටර 120,000 ක් පමණ රැස්කර තිබෙන බව හෙළි වී තිබේ.

මන්නාරම් මුහුදු බොක්ක ප්‍රදේශය,  සාමාන්‍ය ප්‍රමාණයේ සාගර ක්ෂීරපායී සතෙකු වන මුහුදු ඌරන් (Dugong) රංචු වශයෙන් සිටින බවටද  ප්‍රසිද්ධියක් උසුලයි. අධික වශයෙන් මස් පිණිස දඩයම් කිරීමත් මත්ස්‍ය දැල්වල පැටලී මරණයට පත්වන නිසාත් මොවුන් දැනට වඳවී යාමේ  තර්ජනයට මුහුණ පා සිටිති.

තවත් වඳවි යාමේ තර්ජනයට  මුහූණ පා සිටින, මෙතෙක් ඉන්දියාවේ සීමිත ප්‍රදේශයක පමණක් සිටින බවට විශ්වාස කළ, දිවිමකුළු විශේෂයක්ද (Poecilotheria hanumavilasumica)  මන්නාරම ප්‍රදේශයේ සිටින බව සොයා ගෙන ඇත.

ඉහත සඳහන් කළ පරිසර අධ්‍යාපන කාර්ය සැසිය පවත්වන ලද්දේ දිවයිනේ ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථාන භාරව කටයුතු කරන ගුරු මහත්මා මහත්මීන් සඳහාය. කාර්ය සැසිය පවත්වන ලද්දේ මන්නාරම දූපතේ නගර මධ්‍යයේම පිහිටි සිත්ති විනායගර් හින්දු විද්‍යාලයයේ ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේදිය. දිස්ත්‍රික්කයේ විද්‍යා අධ්‍යාපන නිලධාරිවරු සහ විදුහලේ ගුරුවරු කිහිප දෙනෙක්ද නිරීක්ෂක වරු ලෙස සැසියට සහභාගී වුහ.

අප විසින් කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයනය සඳහා සිත්ති විනායගර් හින්දු   විද්‍යාලයයේ සිසු සිසුවියන් විසි දෙනෙකු සහභාගී කර ගතිමු. අධ්‍යයන ක්‍ෂෙත්‍රය විදුහල් භූමියේ සිට කිලෝමීටර් හයක පමණ ඈතින් පිහිටි අච්චන්කුලම් සුවිශේෂී පරිසර පද්ධතියයි. මෙය ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ තිබෙන ජෛව විවිධත්වයෙන් අනූණ ලවණ වගුරු බිම් පෙදෙසකි. රටෙහි වෙනත් කිසිම ප්‍රදේශයක මෙවැනි පරිසර පද්ධතියක් නොමැත.  ශ්‍රී ලංකාවේ දෙවෙනි දිගම ගංගාව වන, මධ්‍යම කඳුකරයේ උතුරු ප්‍රදේශයෙන් පටන් ගන්නා මල්වතු ඔය, මන්නාරම දිස්ත්‍රික්කයේදී හඳුන්වනු ලබන්නේ අරුවි ආරු යන නමින්ය. (මල්වතු ඔය, අරුවි ආරු ලෙසද හඳුන්වන බව දන්නේ ටික දෙනෙක් පමණකි)   මෙම ගඟ මුහුදට වැටෙනුයේ  අච්චන්කුලම් ලවණ වගුරු බිම් ප්‍රදේශය හරහාය. මෙම වගුරු බිම වර්ෂා කාලයේදී ගංගා ජලයෙන් යටවී යන අතර, මුහුදේ වාරකන් කාලයේදී මුහුදු ජලයෙන් යට වේ. මේ නිසා වරින් වර කරදියෙන් සහ මිරිදියෙන් යටවීම මෙහි විශේෂ ලක්ෂණයයි. මෙහි තිබෙන ශාක සහ ජීවත් වන  සතුන් මෙම විපර්යාස දෙකටම ඔරොත්තු දෙන පරිදි අනුවර්තනය වී තිබේ.

මෙම වගුරු බිමෙහි දකින්නට ලැබෙන කඩොලාන විශේෂ රටෙහි වෙනත් ප්‍රදේශ වල ඇති කඩොලාන ශාක වලට වඩා බෙහෙවින් වෙනස්ය. අනිකුත් ප්‍රදේශ වල මීටර් 10 - 15 පමණ උසට වැඩෙන කඩොල්   (Rhizophora), කිරල (Soneratia) වැනි ශාක මෙහිදී සාමාන්‍ය උසට නොවැඩී ‘කුරු’ (Dwarf) ස්වභාවයකින් පැවතීම සුවිශේෂී ලක්ෂණයකි. පසෙහි පවතින අධි ලවණක සාන්ද්‍රතාවය නිසා මෙම තත්වය උදාවී ඇති බව පරිසර විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.


හීන් කඩොල් (Rhizophora sp.)
ජලාබුජ ප්‍රරෝහණයෙන් පසු  බීජාධර වැඩෙන ආකාරය (වර්ධනයේ සියළුම අවස්ථා ක්‍ෂෙත්‍රයේ  එකම ස්ථානයකදී සොයා    ගත හැකි විය.)


Salicornia brachiata (Glass-wort)
ලවණ වගුරු බිමේ බහුල ශාකයක් වන මෙය කොටස් වලට බෙදී ගිය මාංශල කඳක් සහිත කුඩා ශාකයකි. මෙහි ඉතා වැදගත් ලක්ෂණයක් වනුයේ පසෙන් උරාගන්නා වැඩිපුර ලවණ පිටකිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් තිබීමයි. වැඩිපුර එකතු වන ලවණ ශාකයේ අග්‍රස්ථ කොටසට එකතුවී එය වියලී කඳෙන් වෙන්  වී යාම  මෙම අනුවර්තනයයි.



හීන් කඩොල් (Rhizophora acuminata)   

දිවයිනේ වෙනත් පලාත්වල උසට වැඩෙන හීන් කඩොල් මෙම පරිසරයේදී  සාමාන්‍ය ප්‍රමාණයට වඩා මිටි  ‘කුරු’ ස්වරූපයක් පෙන්වයි




කිරල  ශාකය (Sonaratia alba)

වෙනත් පළාත්වල තරමක් උසට වැඩෙන ශාකයක් වුවද මෙහි ‘කුරු’ ශාකයක් ලෙසට උසින් අඩුව වැඩේ 

ශ්‍රී ලංකාවේ දකුණේ වැසියන් යාමට මැලිවන මන්නාරම ප්‍රදේශය ජෛව විවිධත්වයේ අපූරු අවස්ථා රාශියක්ම දකින්නට ලැබෙන සුන්දර ප්‍රදේශයකි. ලවණ සාන්ද්‍රණය අධික  ශුෂ්ක වගුරු බිමක් වන අච්චන්කුලම මිටියාවත ජීව විද්‍යාව හදාරන සිසුන්ට ඉතාමත් විරල අත්දැකීම් රාශියක් ලබාගත හැකි එළිමහන් විද්‍යාගාරයක් බඳුයයි කීම අතිශයෝක්තියක් නොවේ.  




Tuesday 18 July 2017

දෙහිවල සත්වෝද්‍යානයේ පැවැත්වූ දින තුනක නේවාසික අධ්‍යාපන වැඩ මුළුවකට සහභාගී වුයෙමි.


   විද්‍යාව ඉගැන්විමේ නව පිවිසුම් සෙවීම පිලිබඳ උද්‍යෝගයක් 60 සහ 70 දශක වලදී ලොව පුරා දකින්නට ලැබිණ. නව තාක්ෂණය විද්‍යාව සඳහා උපයෝගී කර ගැනීම පිණිස බොහෝ සංවර්ධිත රටවල් අතර  තියුණු තරඟයක් ඇතිවිය. මෙම ප්‍රබෝධයත් සමගම ශ්‍රී ලංකාවේද 'සැමටම විද්‍යාව' යන සංකල්පය පාසැල් පද්ධතියට ඉදිරිපත් කරන ලදී. මේ වකවානුවේදී අත්හදා බැලීම සඳහා කරන ලද පසුව අතහැර දමා ඇති වැදගත් ව්‍යාපෘතියක්‌ පිලිබඳව මෙසේ සටහනක් තබමි.

විද්‍යා අධ්‍යාපන  නිලධාරිවරයෙකු ලෙස පත්වූ මුල් දිනවලම; දෙහිවල සත්වෝද්‍යානයේ සංවිධානය කරන ලද නේවාසික අධ්‍යාපන වැඩ සටහනකට සහභාගී වීමට මට අවස්ථාව ලැබිණ. එහිදී බලාපොරොත්තු වුයේ අප ලබාගන්නා ප්‍රයෝගික දැනුම පාසැල් පද්ධතියේ ඉගැන්වීම්-ඉගෙනුම් ක්‍රියාවලියට බද්ධ කිරීමයි.
 
සත්වෝද්‍යානයේ  අලුතින් ආරම්භ කරන ලද මින් මැදුර විවෘත කිරීමේ උත්සවයද මෙයට සමගාමිව පැවැත්විණ. 

දෙහිවල සත්වෝද්‍යානය

සත්වෝද්‍යානය හුදෙක් විනෝදය සඳහා පමණක් තිබෙන ස්ථානයක් නොවන බව එම වැඩ මුළුවේදී අපට මැනවින් පැහැදිලි විය.

අප කණ්ඩායමේ දහසය දෙනෙක් සිටියහ. සාමාන්‍ය මට්ටමේ නේවාසික පහසුකම් සහ අහාරපාන උද්‍යාන පරිශ්‍රයේම සපයන ලදී. එවකට සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක වරයා වුයේ ලීන් ද අල්විස් මහතාය.
අපගේ පුහුණුවට අංශ කිහිපයක් ඇතුළත් කර තිබුණි.
·   සතුන්ගේ චර්යා අධ්‍යයනය සහ සංරක්ෂණ ක්‍රියාවලිය
·   සතුන් රැක බලා ගැනීම, ඔවුන් ගේ ආහාර , පෝෂණය, සෞඛ්‍යය සහ වර්ධනය පිලිබඳ විමසිලිමත්ව ක්‍රියා කරන ආකාරය  
·   සත්වෝද්‍යානය අධ්‍යාපන කටයුතු සඳහා උපයෝගී කර ගැනීම

මෙම වැඩ මුළුව ඉතාමත් ප්‍රයෝජනවත් එකක් වු අතර අප පිරිස කුඩා කණ්ඩායම් හතරකට බෙදා  උපදේශක වරයෙකු සමග දවසෙන් වැඩි කාලයක් සතුන් නිරීක්ෂණය කිරීමටත් ඔවුන්ගේ චර්යා රටා පිලිබඳ සුවිශේෂී ලක්ෂණ අධ්‍යයනය කිරීමටත් හැකිවිය. සතුන් නිරීක්ෂණය සඳහා පමණක් සඳහා දින තුනේම උදේ 5.30 සිට පැයක්  සහ සවස  6.00 සිට තවත් පැයක් වෙන්කර තිබුණි. උදයෙන්ම අවදි වන කුරුල්ලන්ගේ ඉමිහිරි සංගීත රටාවන් ඉතාමත් ප්‍රිය ජනක අත්දැකීම් ය. කුරුල්ලන්ගේ ශබ්ද ඇසෙන විට අප සිටින්නේ වනාන්තරයක් තුළදෝ යන සුන්දර හැගීමක්ද ඇතිවිය. ඒ සමගම දහවල් වන තුරු තද නින්දේ සිටින කොටි වලසුන් සහ සිංහයින්, අප විසින් ඔවුන්ගේ චර්යා සටහන් කළ බවක් වත් නොදත්හ. වරින් වර ඇසෙන විවිධ කුකුළන්ගේ, මොණරුන්ගේ සහ, කෑඳැත්තා වැනි පක්ෂීන්ගේ නාද කන් බිහිරි කරවන තරම් විය.

උදේ 6.30 ට පසු සතුන්ගේ දවසේ පළමු ආහාරය ලබාදෙන  වේලාවයි. නියමිත කාල සටහනකට පුරුදු වී සිටින සියළුම සත්තු මේ වන විට තම ආහාරය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් මෙන් බලා සිටිති. සමහර රෞද්‍ර සතුන්ද තම ආහාර වේල ගෙනෙන තැනැත්තාට ලෙන්ගතු කමක්ද  පෙන්වන ආකාරයක්   දකින්නට ලැබිණ.
සතුන්ගේ ආහාර සකස් කිරීමද ඉතාමත් ක්‍රමානුකුලව සිදු කරනු ලබන වැදගත් කාර්යයකි. දිනපතා සියළුම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ වාර්තාවක්  පශු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරේ. ඊට පසු ඔහුගේ නිර්දේශ අනුව නියමිත ආහාරයම දීම හෝ ආහාර වට්ටෝරුව වෙනස් කිරීම සිදුකෙරේ. සියළුම සතුනට ආහාරය සමග   නිර්දේශිත බෙහෙත්, විටමින වර්ග, අමතර පෝෂ්‍ය පදාර්ථ ආදියද එකතු කෙරේ. ආහාර වර්ගද ඒ ඒ සතාගේ භෝජන විලාසයන් අනුව වෙනස් වේ. ශාක භක්ෂක, මාංශ භක්ෂක, පළතුරු භක්ෂක, බහු ආහාර භක්ෂක ආදී වශයෙන් විවිධ සතූන්ගේ ආහාර ද විවිධ වේ. මේ සියළුම ව්ටෝරු වලට අනුව කෑම වේල් සකස් කිරීම සඳහා ආහාර සැපයීම් අංශය මනා පුහුණුවක් ලබා තිබේ.

සත්වෝද්‍යානයේ  කාර්ය මණ්ඩලයට හැර වෙනත් කිසිකෙනෙකුටවත් දකින්නට නොලැබෙන ආහාර දීමේ විශේෂ අවස්ථා කිහිපයක්ද අපට දැක ගන්නට ලැබුණි.
බස්සන්, බකමුණන් වැනි නිශාචර  සහ උකුස්සන් සහ රාජාලියන් වැනි පක්‍ෂීන්ට ආහාර සඳහා දෙනු ලබන්නේ මීයන් රටහාවුන් වැනි,  ඒ සඳහා වෙනමම  ඇති කරනු ලබන සතුන්ය. එම පක්ෂීන්ගේ කූඩුවලට ගොදුරු සතුන් ඇතුල් කළ විගසම ස්වාභාවික පරිසරයේදී මෙන්ම ඩැහැගෙන ලගින ස්ථානයට පියාසර කරති. 
උදේ අප බලා සිටියදීම සේවකයෙකු, කිඹුලන් සිටින ගැඹුරු ජල තටාකය  අසල ගස්වල වසා සිටි කපුටන්ට රබර් උන්ඩ වලින් වෙඩි තැබිය. සිහිසන්වූ කපුටන් වැටෙන විට අල්ලා ගැනීමට කිඹුලන් මුව අයා ගෙන  උඩට පැනීම බිහිසුණු දසුනක් විය. 
විශාල නාගයෙකු සිටි කුඩුවට උගේ ආහාරය සඳහා ගැරඬියෙකු  ඇතුල් කරන ලදි. එක් වරටම ගැරඬියා හිසෙන් අල්ලා ගත් නාගයා විනාඩි කිහිපයකදී ගැරඬියා සම්පුර්ණයෙන්ම ගිල දැම්මේය. 
නිදමින් සිටි සිංහයෙකුගේ කුඩුවට දිග රිටක ආධාරයෙන් විශාල මස් වැදැල්ලක්  තබා ඌ අවදි කළවිට, ගොරවමින් එය තදින් අල්ලාගෙන එය දුන් අය වෙතටම කඩා පැන්නේය. 
දරුණු සතෙකු වුවද කොටියෙකු, ආහාරය සඳහා මස් වැදැල්ලක් දුන් විට හීලෑ බළලෙකු මෙන් වලිගය උස්සා ගෙන කූඩුවේ තෙරපෙමින් ‘පුරු පුරු’ ගාමින් මෙන් සිටියේය. 
ආහාරය ලෙස පළතුරු වට්ටියක් ලැබුණු වානරයෙකු එයින් කිහිපයක් අපටද දීමට මෙන් අතට ගෙන  දික් කර පෙන්වීය. 
ගිරා පවුලේ කොකටුවන් ධාන්‍ය සහ ඇට වර්ග වලින් යුක්ත තම ආහාරය ගනිමින් තම සගයන් සමග අපට නොතේරෙන ‘භාෂාවකින්’ සතුටු සාමීචියේ යෙදී සිටිනු දකින්නට ලැබිණ.

මෙවන් දසුන් නිසා එම වැඩමුළුවේ ආස්වාදජනක භාවය දෙගුණ තෙගුණ විය.

අලුතින් ආරම්භ කරන ලද මින් මැදුර,  දැනුම ගෙන දෙන තවත් මහා සම්පතකි. එහි සිටි ඉතා දැකුම්කලු මත්ස්‍යයින් අතරින් දැවැන්ත මෝරා කාගේත් සිත් ගත් මත්ස්‍යයෙක් විය. මින් මැදුරේ අභ්‍යන්තරයේ ඇති සිත්ගන්නාසුළු භාවය මෙන්ම, නරඹන්නට ප්‍රදර්ශනය නොකරණ එහි බාහිරව සවී  කර ඇති තාක්ෂණික උපකරණ ස්වභාවික භෞතික සංසිද්ධි රාශියක් පාලනය කරනු ලබයි. කරදිය මසුන්ට අවශ්‍ය ජලයේ ලවණතාව, සහ උෂ්ණත්ව පාලනය, මිරිදිය මසුන් සඳහා ජලයේ  පීඑච් (pH) පාලනය, ජල තටාක වල ඔක්සිජන් සාන්ද්‍ර පාලනය වැනි කටයුතු රාශියක්‌ නිරතුරුවම සිදුවන නිසා, එම පරිශ්‍රය ස්වයංක්‍රීය  තාක්ෂණ විද්‍යාගාරයක් වැනිය.

තවත් සුවිශේෂී අංගයක් ලෙස දකින්නට ලැබුණේ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන කුඩා දරුවන් සහ හීලෑ සතුන්ගේ පෝතකයින් එකතු වී සෙල්ලම් කරන ළමා කෙළි බිමයි.
මෙහි සිටි මුව පොව්වන්, හා පැටවුන්, ගිනි හාවුන්, එළු පැටවුන්  තාරාවූන්  ආදී සතුන් කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු මෙන් විය. කෙළි බිම භාරව සිටින එක් නිලධාරිනියක්‌ විසින් වරින් වර එහි ගෙන එනු ලබන අලිපැටියාද කුඩා දරුවන් සහ අනිකුත් පෝතකයින් සමග හැසිරෙන ආකාරය විශ්මය ගෙනදේ. අලි පැටියාද කුඩා දරුවෙකු මෙන් නොයෙක් දඟකාර වැඩ කරනු දකින්නට ලැබුණි. එහෙත් අණට කීකරු වී ටික වෙලාවක් නිසොල්මනේ සිටීමටද ඌ පුරුදු වී තිබේ. එය තුළ සිටින යෝධ ඉබ්බන්ද කුඩා දරුවන්ගේ ප්‍රියතම සතුන් විය. සතුන්ගේ කුඩා අවදියද දරුවන්ගේ කුඩා අවදිය මෙන්ම සුන්දර බව අපට පහසුවෙන් අවබෝධ විය.

විදේශයක කුඩා දරුවන් සත්වෝද්‍යානයකදී විනෝදය ලබන ආකාරය මෙම වීඩියෝ පටයෙන් නරඹන්න

                                          

https://www.youtube.com/watch?v=y699qXKDVwE

සත්වෝද්‍යානයේ සමනළ උයනද එකම විද්‍යාගාරයකි. එහි සිටින එක්‌ එක් සමනළයින්ගේ ජීවන චක්‍ර වල විවිධත්වය, විවිධ කීට සහ කෝෂ අවස්ථා, ආහාරයට ගනු ලබන සුවිශේෂී ශාක පත්‍ර, භෝජන විලාස, ඔවුන්ගේ ප්‍රියතම පුෂ්ප  ආදිය පිලිබඳ දැනුම විද්‍යා පාඩම් රාශියකින්වත් ලබාගත නොහැකිය.

සත්වෝද්‍යානය තුළ නිදැල්ලේ හැසිරෙන කපුටන්, කොකුන්, මයිනන් වැනි සමහර සතුන් බොහෝ විට එහි නේවාසික සතුන්ට අවහිරයකි. ඔවුන් පාලනය කිරීමටද උපක්‍රම යොදා තිබේ. 
මිට අමතරව කලකට පෙර  කුඩුවල සිට මුදාහරිනු ලැබ, පසුව නිදැල්ලේ හැසිරෙන මාන කොකා, කලු කොකා වැනි පක්ෂීන් ආහාර සොයා පිටතට පියාඹා ගොස් ආපසු පැමිණ සුපුරුදු තුරු වදුල් වල රාත්‍රිය ගතකරන බවද දැනගන්නට ලැබිණ. මෙම පක්ෂීන් කුඩු තනාගැනීම, බිත්තර දැමීම සහ පැටවුන් හදාවඩා ගැනීම වැනි අභිජනන ක්‍රියාවලියන්ද එම පරිසරයේදීම කරගනිති. එහෙත්  ඔවුන්ගෙන් නේවාසිකයින්ට හානියක් නොවන බවද දැනගතිමි.

සත්වෝද්‍යානය, වන වදුල්, තුරුලතා, සොබා මං පෙත්, දිය කඩිති, දිය ඇලි, ජලජ පරිසර, වගුරු බිම්, ශුෂ්ක පරිසර ආදී විවිධාංගයන්ගෙන් සමන්විත වී තිබෙන නිසා එය ස්වාභාවික පරිසරයක් ලෙසම දිස්වේ.    
මේ සියල්ල කැටිකරගත් විට සත්වෝද්‍යානයක් යනු සෑම වයස් වල අයටම විනෝදය සහ අධ්‍යාපනයත් සමගම සොබා දහමේ අපුර්වතම සත්ත්ව චර්යා අත්විඳීමට හැකියාව ලැබෙන එළිමහන් විද්‍යාගාරයක් ලෙස හඳුන්වා දිය හැකිය.
-----------------------------------
ස්වාභාවික පරිසරය පිලිබඳ ඉතාමත් සංවේදී නව චින්තනය අනුව සත්වෝද්‍යාන සංකල්පයද මත භේද වලට තුඩු දෙමින් පවතී. මේ නිසා ‘විවෘත සත්වෝද්‍යාන’   (Open Zoo ) නම් නව ක්‍රියාදාමයක් සිදුවෙමින් පවතී. මේ නව සංකල්පයට අනුව සතුන් නිදැල්ලේ සිටින අතර සතුන් නිරික්ෂණය  සඳහා යන මිනිසුන් කුඩුවක් වැනි වාහනයක ගමන් කළ යුතුය. එහිදී ඇත්තටම නිදැල්ලේ සිටින සතුන්ට මිනිස් සත්ත්වයා පහසුවෙන් දැක ගැනීමට අවස්තාවක් උදාවේ. ශ්‍රී ලංකාවේද පින්නවල සහ හම්බන්තොට මේ ආකාරයේ සත්වෝද්‍යාන සකස් කිරීමට සැලසුම් කර තිබේ. දැනට වනෝද්‍යාන වල සතුන් නිරීක්ෂණය සඳහා අනුගමනය කරනුයේ මෙයට තරමක් සමාන ක්‍රම වේදයකි.

කෙසේ වෙතත් සත්වෝද්‍යාන සංකල්පය නිසා, වඳවී යන සතුන් සංරක්ෂණය සහ අභිජනනය, ඒක දේශීය සතුන් සංරක්ෂණය, විවිධ පරිසර පද්ධති වල ජීවත්වන සතුන් රාජ්‍යයන් අතර හුවමාරු කර ගැනීම, සතුන් පිලිබඳ නව තොරතුරු ගවේෂණය. ආබාධ වලට ගොදුරුවී ඇති සතුන් සුවපත් කිරීම වැනි පිළිවෙත් දහසකුත් එකක් ක්‍රියාදාමයන් මගින් සතුන් වෙනුවෙන්  සිදුවන මෙහෙය බොහෝ වැඩදායකය.

සත්වෝද්‍යාන පවත්වාගැනීමේ අහිතකර බව  හුවා දක්වන පරිසරවේදීන් බොහෝවිට සඳහන් කරනුයේ සතුන් ස්වාභාවික පරිසරයෙන් ඉවත්කර කූඩු වල සිරකර සිටීම සත්ත්ව හිංසනයක් බවයි. නව විවෘත සත්වෝද්‍යාන සංකල්පය මගින් මෙම දුර්වලකම බොහෝ දුරට අඩුවී යයි.

සත්වෝද්‍යාන පවත්වාගෙන යාමේ  යහපත හෝ අයහපත පිලිබඳ තීරණ ගැනීම ඔබට භාර කරමි.


        
  


Friday 14 July 2017

ඔහු අති දක්ෂ කළා කරුවෙක්ම විය .......

   ට ඔහු මුලින්ම මුණ ගැසුනේ දකුණේ මධ්‍ය විද්‍යාලයකදීය. විශ්ව විද්‍යාලයයෙන් පිටවූ විගසම ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලැබූ  මම වෘත්තියට නවකයෙක් විමි. මේ කාලයේ අධ්‍යාපන ඇමති වුයේ ආචාර්ය විජයානන්ද දහනායක  මැති  තුමාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් කරනු ලැබූ මේ අවදියේදී ගුරු හිඟය තදින්ම බල පෑවේය. විවිධ විෂයයන් සඳහා වූ ගුරු හිඟය මගහැරවීම පිණිස ගුරුවරු අ.පො.ස සාමාන්‍ය සහ උසස් පෙළ සමත් හත් අට දහසක් එකවර බඳවා ගන්නා  ලදී. මසකට රුපියල් සියයක දීමනාවක් සහිතව බඳවා ගත් එම ගුරුවරු ශිෂ්‍ය ගුරුවරු ලෙස නම් කරන ලදී. ඔවුන් එසේ නම් කරන ලද්දේ, ගුරු පත්වීම් ලැබි සුළු කලකදී නියමිත වැටුප සහිතව ගුරු විද්‍යාලයකට ඇතුලත්වී ගුරු පුහුණුව ලබාගැනීමටද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වූ නිසාය.

මා ගුරු පත්වීම ලබා සති කිහිපයකට පසු චිත්‍ර කලා පත්වීමක් ලැබූ ඔහු, මා සිටි මධ්‍ය විද්‍යාලයටම  පැමිණියේය. ඔහු සරත්ය, එකම වයසේ සහ වෘත්තියට නවකයින් වූ නිසා අපි දෙදෙනා ඉක්මණටම බොහෝ කුළුපග වූවෙමු.

අපගේ විදුහල්පති තුමා ගුරුවරුන්ගෙන් උපරිම සේවය ලබාගැනීමට අති දක්ෂයෙක් විය. ඔහු, නිතරම ගුරුවරුන් විෂයය බාහිර ක්‍රියාකාරකම්, සමිති සමාගම්, සමාජ සේවා වැඩ කටයුතු, ගුරු සුභ සාධන කටයුතු  ආදිය සඳහා යොමු කරවන ලදී.

අප සහභාගිවූ පළමු ගුරු රැස්විමේදීම,  ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙකුටම විවිධ වැඩ පැවරිය. විද්‍යාලයට අලුතින් පැමිණ සිටින අප දෙදෙනාත් තවත් ගුරු මෙනෙවියන් දෙදෙනෙකුත් ගුරු මණ්ඩලයට හඳුන්වාදුන් ඔහු අලුතින් පැමිණි අප දෙස බලා

‘සරත් කලා කාරයනෙ. අපි මෑතදී  සකස් කිරීමට පටන් ගත්ත  එළිමහන් රඟමඬලේ ඉතුරු වැඩ ටික අවසන් කිරීම සරත්ට භාර දෙනවා.’ කියා

මා දෙස බලා 
‘මේ අවුරුද්දේ අපේ එක් දින චාරිකාව සංවිධානය කිරීම අලුත් විද්‍යා සර් ට පවරනවා.’  
කියමින් ඇස් ඉඟි කළේය මෙසේ කී විට පිටුපස වාඩිවී සිටි පැරණියන් කිහිප දෙනෙකුගේ 
’ෂූ......’ ශබ්දයක්ද ඇසිණ.

එහි බැරෑරුම් බවක් මට නොතේරුණි. එහෙත් පසුගිය වසරේ චාරිකාවේදී සංවිධාන කටයුතුවල දුර්වල කම් තිබුණු නිසා  කරදර කිහිපයකට මුහුණ පා ඇති බව පසුව අසන්නට ලැබිණ.

සරත්ට සහාය වීම පිණිස සංගීත ගුරු මහත්මිය සහ අලුතීන් ඉංග්‍රීසි පත්වීමක් ලැබූ ගුරු මෙනෙවියක්ද ඉදිරිපත් වුහ. චාරිකාවේ සංවිධාන කටයුතු  සඳහා සම්බන්ධ වීමට පැරැණ්නෝ කිසිවෙකු නොමැත. සරත් පමණක් මට සහායට ඉදිරිපත් විය.

සරත් දින දෙක තුනකින්ම චිත්‍රකලා සිසුන්ද සම්බන්ධ කරගෙන එළිමහන් රඟහලේ වැඩ කටයුතු පටන් ගත්තේය. එහි එදිනෙදා කරන වැඩ සහ අවශ්‍ය විවිධාංග වල ප්‍රගතිය පෙන්වන සටහන්ද චිත්‍ර කාමරයේ ප්‍රදර්ශනය කළේය. මා ගුරු මණ්ඩලයට කළ දනුම් දීමට අනු‍ව චාරිකාව සඳහා පවුල් වල අය කිහිප දෙනෙක්ද සහිතව පනස් දෙනෙකු පමණ කැමැත්ත පළකර සිටියහ, චාරිකාව විදුහලේ සිට කොළඹ හරහා මහනුවරට ගොස් එදිනම ආපසු එන ලෙසට තීරණය විය. චාරිකාවේ කාල සටහන සකස් කර වියහියදම් ආහාර පාන ආදියද කාටත් දැනුම් දුන් පසු කිහිප දෙනෙකුගෙන් සංශෝධනද ඉදිරිපත් විය. චාරිකාවේ ප්‍රචාරණ පෝස්ටරයක් දෙකක්  තිබිය යුතු බව කිහිප දෙනෙකුගේ අදහස විය. විදුහල්පති තුමාද මෙය අනුමත කළේය. නවකයින් වන අප කරන දේ බොහෝ අය නිරීක්ෂණය කරන බව තේරුම ගතිමි.

පන්ති වල චිත්‍ර කලා විෂයය උගන්වමින්, රඟහලේද කටයුතුද  කරමින්, චාරිකාව සඳහා මුදල් එකතු කිරීමද සරත් විසින් කරන ලදී. පෝස්ටරයක් හෝ දෙකක් ඇඳ දෙන ලෙස මම සරත්ගෙන් ඉල්ලීමක් කලෙමි. එය දිනෙන් දිනම කල් යන බව පෙනුණි.

චාරිකාවට සති දෙකකට පමණ කලින් උදේ මට කතාකළ විදුහල්පතිතුමා

‘කෝ ..... චාරිකාව ගැන කිසිම ප්‍රචාරයක් තවම නැහැනේ. පෝස්ටර් එකක්වත් නෝටිස්‌ බෝඩ් එකේ දාන්න එපායැ’ කිවේය

අපට පැවරු වැඩ ගැන ඔහු සෙවිල්ලේ සිටින බව මම දැනගතිමි. වහා සරත් හමුවූ මම  ඔහුට මේ බව කීවෙමි. මා සරත් සමග චිත්‍ර කාමරයේ කතා කරමින් සිටින විට එහි පැමිණි විදුහල්පතිතුමා

‘ලබන සතියේ බ්‍රහස්පතින්දා උදේ  හොඳ නැකතක් තිබෙනවා   එළිමහන් රඟ මඬල එදාට විවෘත කරන්නට සුදානම් කර ගනිමු. ළමයින්ගේ අයිටම්ස් තුන හතරක්  තිබුනහම ඇති. සංගීත මිස්ටත් කියන්න’ යයි කිවේය.

මගේ  පෝස්ටර් ඇඳීම කර ගැනීමට නොහැකි වේයයි මට සිතිණ. ටික වෙලාවක් කල්පනා කරමින් සිටි සරත්,

‘අද සවසට පෝස්ටර් දෙකක් අඳිමු.’ යයි කී විට මට සතුටක් ඇතිවිය


ආරුක්කුවක් මෙන් ඇති කළුතර ඓතිහාසික නුග රුක
එදින සවස ඔහු විශාල චිත්‍ර කඩදාසි, පින්සල්, සායම් ආදිය රැගෙන විද්‍යාගාරයට පැමිණියේය. අවසාන සීනුව නාද කිරීමට තව පැය භාගයකට වඩා නැත ‘දැන් පෝස්ටරය ඉවර කිරීමට වෙලාව මදිවෙයි නේද?’ මම ඇසීමි.  ‘විනාඩි දහයයි යන්නේ’ කි ඔහු, චිත්‍ර කඩදාසිය  බිත්තියට හේත්තු කර තිබුණු කළු ලෑල්ලක  ඇමුණුවේය.

මම දැන් මැජික් එකක කරනවා කි සරත්. ඔහු ගෙන ආ බෑගයේ තිබුණු පෝස්ටර් කලර් ටියුබ වලින් වර්ණ කිහිපයක් කුඩා හැඳි වැනි භාජන කිහිපයකට මිරිකා ජලය ස්වල්පය බැගින් ගෙන දිය කළේය, දියකළ වර්ණ සහිත හැඳි, තම අත් දෙකේ ඇඟිළි කරු අතර හිරකරගෙන ‘දැන් මැජික් එක බලාගන්න’ කියා දෑතම එකවරට වක්‍රාකාරව චලනය කර දිය කරන ලද සායම් චිත්‍ර කඩදාසිය මත විසිරී යන්නට සැලැස්විය.

චිත්‍ර කඩදාසිය පුරාම සායම් කලවමට විසිරි ගියේය.

මෙයින් පුදුමයට පත්වූ මම

‘මේ මොකද කළේ. මේක බලියක් වගේනෙ. මට ඕනෑ ට්‍රිප් එකට ගැලපෙන පෝස්ටරයක්. මෙහෙම තේරුම් ගන්නට බැරි එකක් නොවෙයි.’  කීවෙමි.

‘ටිකක් ඉන්නකෝ.......’ 

කියමින් තම කමිස සාක්කුවෙන් යමක්‌ ලියා තිබුණු බස් ටිකට් එකක් තරම් කඩදාසි කැබැල්ලක් එළියට ගෙන එය බලා, පින්සලයකින් විසිරි තිබුණු සායම් තරමක් එහෙ මෙහෙ කර තවත් වර්ණ කිහිපයක්ද තවරා යම්කිසි හැඩයක් නිර්මාණය කළේය. එය පාරක් සහ පාර අයිනේ ඇති විශාල ගසක් ලෙස පෙනුණි. 

‘ඒක මොකක්ද කියා හඳුනාගන්නට පුලුවන්ද?’ කියා මගෙන් ඇසීය. 

එවැනි දෙයක් දැක පුරුදු බව සිතට නැගුනත් කුමක්ද කියා එක්‌වරට සිතාගැනීමට නොහැකිවිය. තවත් පින්සල් පහරවල් කිහිපයකින්  එම විශාල ගස ආරුක්කුවක් මෙන් පාරට උඩින් තිබෙන බව දැන් පැහැදිලිය 

‘මම මේ අඳින්නේ අපි යන පාරේ බලන්නට වැදගත් තැන්. ඕක තමයි කළුතර හඳුනාගැනීමේ සංකේතය කළුතර පාර හරහා ඇති පැරණි නුග ගහ’ 

මට අදහා ගන්නටවටත් නොහැකි විය. එය ඇත්තටම කළුතර නගරයට පිවිසීමට ලින් කටුකුරුන්ද පසුවූ විගසම තිබුණු පැරණි නුග ගස වේ. සරත් කරන්නට යනදේ මම  වටහා ගතිමි. ඔහු සටහන් කරගෙන තිබුණේ අප යන ගමන් මගෙහි සිත්ගන්නා සුළු වැදගත් ස්ථාන කිහිපයකි.
කඩුගන්නාවේ මහා මාර්ගය සඳහා උමගක් ලෙස විදින ලද ගල් පර්වතය

ඔහු ඊළඟට පින්සල් පහර කිහිපයකින් කොළඹ වරායේ සම්බුද්ධ  චෛත්‍යය ඇන්දේය. බිම සිට අහසට එසවුණු එකිනෙකට හරහා  ඇති කවාකාර ආරුක්කු දෙකක් උඩ නිර්මාණය කර ඇති මෙම  චෛත්‍යය කොළඹ නගරයේ ඉතාම දකුම්කළු  ස්ථානයකි.

මිටපසු, හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය, කඩුගන්නාවේ මහා මාර්ගය සඳහා බිම ගෙයක් ලෙස විදින ලද ගල, පේරාදෙණිය උද්භිද උයණේ  තල ගස් මාවත සහ  මහනුවර දළදා මාලිගය ගමන් මාර්ගයේ සුවීශේෂී වැදගත් ස්ථාන ලෙස ඇඳීමට ඔහුට වැඩි වේලාවක් ගත නොවිය.

තවත් පින්සල් පහර කිහිපයකින් ඔහු පෝස්ටරය නිම කළේය.  ඔහු, අමුතුම ආරයක චිත්‍ර කලා ප්‍රවේශයකින් ඔහුගේ නිර්මාණය අවසන් කිරීම මගින් තම සහජ දක්ෂතාව මැනවින් පෙන්නුම් කළේය. මේ සියල්ලට පැය භාගයකට වඩා ගත නොවිය.

කොළඹ වරායේ සම්බුද්ධ  චෛත්‍යය

පසුදින උදයෙන්ම පැමිණි ඔහු තවත් විනාඩි කිහිපයක් ගතකර පෝස්ටරයේ සියලු වැඩ අවසන් කර, ගමනේ විස්තර සියල්ල සඳහන් කර අතින් ලියා නිම කරන ලද තවත් පොස්ටරයක්ද මට දුන්නේය.

හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය

එදිනම පෝස්ටර් දෙකම දැන්වීම් පුවරුව අසල ප්‍රදර්ශනය සඳහා තබන ලදී. මේ දැකුම්කලු පෝස්ටර කාගේත් පැසසුමට ලක්විය. සරත් ඔහුගේ නමවත් පෝස්ටරයේ සඳහන් කිරීමට අකමැති වූ නිසා  එය අඳින ලද්දේ කවුරු විසින්ද යන්න මට කියා දීමට සිදුවිය. ඔහු ඉතා දක්ෂයෙකු වූ අතරම ඉතාමත්  නිහතමානි කෙනෙකුද විය.

සරත් විසින් අඳින ලද පෝස්ටරයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයකි. දකුණේ සිට මහනුවර චාරිකාවකදී බොහෝ අය සැලකිල්ලක් නොදක්වන කළුතර නුග රුක, කොළඹ වරායේ සම්බුද්ධ චෛත්‍යය, බන්ඩාරණායක සමාධිය, පේරාදෙණිය උද්භිද උයනේ තල ගස් පේළිය වැනි දේ  ඔහුගේ මතකයට ඒමත් කුතුහලය දනවන්නකි.
               
පේරාදෙණිය උද්භිද උයණේ  තල ගස් මාවත

පසුව හේවුඩ් කලායතනයේ ඉගෙනුම ලබා විදේශ රටවල් කිහිපයකදී  පශ්චාත් උපාධි අධ්‍යාපනයද  ලබා ඉහලම ගණයේ කලාකරුවෙකු වුයේය.

ඊට වසර විස්සකට පමණ පසුව විදේශ රටක බහු තාක්ෂණ ආයතනයක සේවය කරද්දී, මට නැවත වරක් සරත් සමග එකට වැඩ කිරීමට හැකි විය. ඔහු එහිදීද චිත්‍ර, මූර්ති, සහ රෙදි පින්තාරු කිරීම යන කලා ශිල්ප වල අති දක්ෂයෙකු වූ අතර උද්‍යාන සකස් කිරිමේ නිපුණතාවයේ  දක්ෂතාද මැනවින්  පෙන්නුම් කළේය.

ඔහු මිය යන තුරුම ශ්‍රී ලංකා ජාතික ශිල්ප සභාවේ සභාපති ධුරය ඉසිලිය,