Monday 10 February 2020

ප්‍රංශ භාෂාවේ නාමපද වල, ලිංග භේදය පිලිබඳ පාඩමක්


     ඉංග්‍රීසි භාෂාවේ සහ ප්‍රංශ භාෂාවේ භාවිත කරනුයේ රෝමන් අක්ෂර ලෙස හඳුන්වනු ලබන අක්ෂර වුවද, භාෂා දෙකෙහි ඒවා උච්චාරණයේදී සහ කථනයේදී, පහත දැක්වෙන අයුරු විශාල වෙනස් කම් දකින්නට ලැබේ. පහත දැක්වෙන සටහනේ, ඉංග්‍රීසි අක්ෂරය සමග ඉදිරියෙන් දැක්වෙන ප්‍රංශ උච්චාරණයෙන් ඒ බව පැහැදිලි වේ. 


එක්තරා ගුරු පුහුණු කිරීමේ ආයතනයක සිසුන් සඳහා ප්‍රංශ භාෂාව ඉගැන්වීමද ආරම්භ කරන ලදී. මෙම ප්‍රංශ පන්තිය සඳහා පුහුණුව ලබන්නන් විස්සක් පමණ කැමැත්ත පළ කළහ. 

ප්‍රංශ භාෂාව ඉගැන්වීම සඳහා පත්කර ඇති ගුරු මහත්මිය, අක්ෂර වින්‍යාසය පිළිබඳව පාඩම් කිහිපයක් ඉගැන්වීමෙන් පසුව නිතර භාවිත වන සරල යෙදුම් කිහිපයක්ද මේ ආකාරයට ඉගැන්වූවාය.          Bonjour (බොන්ෂූ) Good morning - සුබ උදෑසනක්                                                                        Bonsoir (බොන්ස්වාර්) Good evening - සුබ සන්ධ්‍යාවක්                                                                  Bon apre midi (බොන් අප්‍රේ මිජි) Good afternoon - සුබ සවස් කාලයක්                                            merci beaucoup. (මෙර්සි බොකු) thank you very much. - ඉතාමත් ස්තුතියි                                       excusez moi (එක්ස්කුසේ මෝ) excuse me - මට සමාවන්න.

මෙම ආමන්ත්‍රණ සහ පොදු යෙදුම් ගැන මනා අවබෝධයක් ලැබුණු පසු, ගුරු මහත්මිය තරමක් ගැටළු සහගත ඊළඟ පියවර ඉගැන්වීම ආරම්භ කළාය. මෙය ඉංග්‍රීසි භාෂාවේ සහ වෙනත් බොහෝ භාෂා වල දකින්නට නොමැති යෙදුමකි. ප්‍රංශ භාෂාවේ සියලුම නාම පද සඳහා ලිංග භේදයක් භාවිත කිරීම මෙම විශේෂත්වයයි. 

මේ සඳහා ඇය විසින් උදාහරණ කිහිපයක් මෙසේ ඉදිරිපත් කරනු ලැබුවාය. ගෙය (House) යන්න සඳහා ප්‍රංශ වචනය maison ස්ත්‍රී ලිංගික වන අතර පැන්සල (Pencil) සඳහා භාවිත වන crayon යන වචනය පුරුෂ ලිංගික වේ. 
පහත දැක්වෙන දේ පුරුෂ ලිංගික නාම පද ලෙස සැලකේ :                                                                    විවිධ වර්ණ, ගස් වැල්, සතියේ දින / මාස / ඍතු, ලෝහ වර්ග, මෙට්‍රික් ඒකක, භාෂා වල නම් ආදිය 

පහත දැක්වෙන දේ ස්ත්‍රී ලිංගික නාම පද ලෙස සැලකේ : 
විවිධ විෂයය නාම, වාහන වල නිෂ්පාදිත නාම, ඔරලෝසු වල නිෂ්පාදිත නාම ආදිය 

ඊළඟට ඉංග්‍රීසි භාෂාවේදී භාවිත වන a book, the book ආදී වශයෙන් නාමපදයකට කලින් a, the යන අව්‍ය පද (articles) සඳහාද ප්‍රංශ භාෂාවේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක් භාවිත වන බව පෙන්වා දුන්නාය. මෙහිදී ද නාමපදයේ ලිංග භේදයට අනුව එම අව්‍ය පදවලද අක්ෂර වින්‍යාසයේ වෙනසක් තිබීමද විශේෂත්වයක් විය.
උදාහරණ : le, les සහ un පුරුෂ ලිංගික අව්‍ය පද වන අතර, ඒවාට අනුරූප ස්ත්‍රී ලිංගික අව්‍ය පද වනුයේ la, les සහ une වේ. 

මේ අනුව බෝට්ටුව (boat) සඳහා යෙදෙන පුරුෂ ලිංගික නාම පදය වන bateau යන වචනය, le bateau (the boat) ලෙසද, un bateau (a boat) ලෙසටද, les boat (boats) ලෙසටද භාවිත වේ. එසේම ස්ත්‍රී ලිංගික නාමපදයක් ලෙස සැලකෙන නිවස (house) යන නාමපදය වන maison සඳහා la maison (the house) ලෙසද, une maison (a house) ලෙසට සහ les maisons (the houses) ලෙසද භාවිත වේ. 

ඉංග්‍රීසි භාෂාවත් සමග සංසන්දනය කිරීමේදී මෙම ව්‍යවහාරය තරමක් දුෂ්කර කාර්යයක් ලෙස පෙනෙන්නට ඇතත්, නාමපදවල අක්ෂර වින්‍යාසය ආරම්භයේ හෝ අවසානයේ ඇති අක්ෂර කිහිපයේ ඇති යම්කිසි රටා අනුව ඒවායේ ලිංග භේදය හඳුනා ගතහැකි බව භාෂාව හදාරන්නෝ දනිති.

ඉහත සඳහන් කළ ගුරු පුහුණු පන්තියේදී එක්තරා අලුත් වචනයක් සඳහා, ලිංග භේදය ගැන විමසිලිමත්වූ හාස්‍යජනක අවස්ථාවක් මෙසේ දැක්විය හැකිය.පරිගණකය (computer) සඳහා ප්‍රංශ භාෂාවේ නාම පදය ‘ordinateur’ වේ. පරිගණක ලොවට හඳුන්වා දුන් අලුතම නිසා මෙම නාමපදයේ ලිංග භේදය පිළිබඳව තීරණයක් ගෙන නොතිබුණි. මේ නිසා මේ පිලිබඳ ගැටළුවක්, ප්‍රංශ භාෂා පන්තියේදී පැන නැගුණි. පන්තියේ ප්‍රංශ භාෂා ගුරු මහත්මියටද මේ සම්බන්ධයෙන් එක්වරටම පැහැදිලි පිළිතුරක් සැපයිය නොහැකි විය.

මේ සඳහා උපක්‍රමයක් කල්පනා කළ ගුරු මහත්මිය, පන්තිය දෙකට බෙදා කණ්ඩායම් දෙකට මෙම ගැටලුව පැවරුමක් ලෙස දෙන ලදී. පන්තියේ කාන්තාවන් එක් කණ්ඩායමක් වූ අතර, පිරිමි අය දෙවන කණ්ඩායම විය. කණ්ඩායම් දෙකට පැය භාගයක් ඇතුළතදී තම අදහස් ප්‍රකාශ කර ‘ordinateur’ (computer) නාමපදය ස්ත්‍රී ලිංගික හෝ පුරුෂ ලිංගිකද යන්න පිලිබඳ තීරණයකට එළඹීමට උපදෙස් දෙන ලදී.
කණ්ඩායම් දෙකෙහි සාමාජික සාමාජිකාවන් සාකච්ඡා කර ලබාගන්නා ලද තොරතුරු මෙසේය.

කාන්තා කණ්ඩායම: 

i . එය අවශ්‍ය යම් කිසිවක් කර ගැනීම සඳහා කිහිප වරක්ම උද්දීපනය කළ යුතුය.

ii. එහි බොහෝ දත්ත ඇතත් ඒවායින් අවශ්‍යතාවයට ගැලපෙන ප්‍රයෝජන ගැනීමට එය නොදනී. 

iii. ඒවා ඔබගේ ගැටළු විසඳීම සඳහා සැදී පැහැදී සිටියත්, ඒවාටම ආවේනිකව ඇති වෙනත් බොහෝ ගැටළු තිබේ.

iv. ඔබ එයින් එකක් සඳහා ආයෝජනය කළහොත්, තව ටික කලක් ඉවසා සිටියානම්, එයට වඩා උසස් මට්ටමේ නවතම ‘මොඩලයේ’ එකක් ලැබෙන්නට තිබුණේයැයි පසුතැවිලි වනු ඇත. 

මේ නිසා “පරිගණකය ‘පිරිමින්ට ආවේණික’ ගතිගුණ සහිතය.” ඒ නිසා එය පුරුෂ ලිංග නාමපදයකි.


පිරිමි කණ්ඩායම: 

i. එහි මුල් මැවුම්කරු විනා අන් කිසිවෙකු, ඒවාට අදාළ අභ්‍යන්තර ගුප්ත භාවය නොදනී.

ii . එම උපකරණය එවැනි වෙනත් උපකරණ සමග අදහස් හුවමාරු කර ගැනීමේ සන්නිවේදන ක්‍රමය අන් කිසි කෙනෙකුට නොවැටහේ.

iii . එයට සිදුවන ඉතාමත් සුළු වරදක් වුවද, දිගු කාලයක් මතකයේ තැන්පත්ව තිබී, යළි ක්ෂණයකින් විමර්ශනයට භාජන කළ හැකිය.

iv . එයින් එකක් සඳහා ආයෝජනය කළ පසු, එය පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය වන, විවිධ නව උපාංග වෙනුවෙන් නිරතුරුවම මුදල් වැය කිරීමට සිදුවේ. 

මේ නිසා “පරිගණකය ‘කාන්තාවන්ට ආවේණික’ ගතිගුණ සහිතය” ඒ නිසා එය ස්ත්‍රී ලිංග නාමපදයකි

පැවරුම සඳහා දෙපාර්ශවයෙන් ලැබුණු ප්‍රතිචාර පිළිබඳව ඉතාමත් සාධාරණ ඇගයිමක් කළ ගුරු මහත්මිය ඒවාට ලබාදුන් ලකුණු මෙසේය.

පිරිමි කණ්ඩායම :“පරිගණකය ‘කාන්තාවන්ට ආවේණික’ ගතිගුණ සහිතය” - ලකුණු 78%
කාන්තා කණ්ඩායම: “පරිගණකය ‘පිරිමින්ට ආවේණික’ ගතිගුණ සහිතය.”   - ලකුණු 92% 

පසුවදා කණ්ඩායම් දෙක ලබාගත් ලකුණු, වෙන වෙනම ප්‍රකාශකළ ගුරු මහත්මිය, කණ්ඩායම් දෙකෙහි නිරීක්ෂණ අනුව, පරිගණක නාම පදය ස්ථිර වශයෙන්ම පුරුෂ ලිංග පදයක් බව ප්‍රකාශයට පත් කළාය.

මෙම පැවරුම අනුව ලබාගත් තොරතුරුවල සත්‍යතාව මූලික කර ගනිමින්, කාන්තාවන් විසින් සඳහන් කළ පරිදි, පරිගණකය (computer) සඳහා ප්‍රංශ භාෂාවේ ‘ordinateur’ නාමපදය පුරුෂ ලිංගික නාමපදයක් බව තීරණය විය. 

මේ නිසා ප්‍රංශ භාෂාවේ පරිගණකය සඳහා යෙදෙන පදය වන ‘ordinateur’ නාම පදය ‘le ordinateur’ ලෙස භාවිතයට පැමිණි අතර, අද දක්වාම එය ඒ ලෙසටම පවතී.

ඉහත සඳහන් කළ පරිදි, අප්‍රාණවාචී නාම පද වන (bateau) බෝට්ටුව සහ (maison) නිවාසය යන පද ගත් කළ, මෙයින් bateau පුරුෂ ලිංගික වීමත් maison ස්ත්‍රී ලිංගික වීමත් නිසා, භාවිත කරනුයේ le bateau සහ la maison වශයෙනි. මෙසේ එකාකාර නාම පද දෙකක් ලෙස ගිණිය හැකි වචන දෙකක ලිංග භේදය සඳහා භාවිත කළ හැකි සරල භාෂා නීති සම්ප්‍රදායක් නොමැති තරම්ය. මේ ආකාරයටම අප්‍රාණවාචී නාම පදයක් වන ordinateur (පරිගණකය) පුරුෂ ලිංගික යයි සලකා (මෙහිදී සුවිශේෂී ආකාරයකට මිනිස් සමාජයේ තිබිය හැකි පුරුෂ සහ ස්ත්‍රී ගති ලක්ෂණ අනුසාරයෙන්) එය ‘le ordinateur’ යනුවෙන් පුරුෂ ලිංගික නාම පදයක් ලෙස නම්කිරීම සාධාරණීකරණය කළ හැකිය.