Saturday 29 June 2024

ශිෂ්‍යයෙකුගේ කුතුහලය නිසා වෙළඳ නාමයක් පිලිබඳ අධ්‍යයනයක් කළහැකි විය

 

     මා විද්යා අධ්යාපන නිලධාරියෙකුව සිටියදී (1973 වර් ෂයේදී) නගරයෙන් ඈත පාසල්වලට ගොස් ඉගැන්වීමේ කටයුතු වලට අවශ්ය උපදෙස් ලබාදීමටත් විද්යා උපකරණ සපයා දීමටත් විශේෂ කැමැත්තක් දැක්වීමි. මෙසේ ගිය එක් අවස්තාවකදී 10 වන ශ්රේණියේ සිසුවෙකු විසින් ඉදිරිපත් කළ ගැටලුවකට තොරතුරු සෙවීමේදී  අලුතින් බොහෝ දේ ඉගෙන ගත හැකිවිය.

නගරයෙන් තරමක් ඈතින් පිහිටි එම විදුහල සම්පත් අතින් තරමක් අඩු තත්වයකින් පැවතින. එදින මා විදුහලට යන විට එහි සිටි එකම විද්යා ගුරුවරයා 10 ශ්රේණියේ විද්යාව පාඩම උගන්වමින් සිටියේය. එදින ඔහු උගන්වමින් සිටියේ කලින් ආරම්භ කරන ලද ආහාර සහ පෝෂණය පාඩමේ අවසාන කොටසයි. ඔහු සමග මොහොතක් කතා කළ මම, පන්තිය පිටුපස ආසනයක හිඳගෙන ඉගැන්වීම නිරීක්ෂණය කලෙමි. ඔහු ආහාර වර් ග කිහිපයක්ද පන්තියට පෙන්වා ආහාර වල ඇති සංඝටක සඳහා සරල පරීක්ෂණ කිහිපයක්ද ඉදිරිපත් කර සාර් ථක පාඩමක් අවසන් කළේය. කිරිපිටි වැනි සැකසූ ආහාර දවටන (පැකට්ටු) කිහිපයක්ද ගුරු මේසය මත තිබිණ.

පන්තියේ සිසුවෙකුද සමග මා වෙත පැමිණි ගුරු මහතා,

"සර්, පසුගිය විද්යා පාඩමේදී මේ ළමයා ඉදිරිපත් කළ අපේ ආහාර වලට අදාල ප්රශ්නයකට මට පිළිතුරක් දෙන්නට බැරි උනා. ඒ ගැන දන්නවාද කියා බලන්න" 

කියා ප්රශ්නය කියන ලෙස සිසුවාට කීවේය.

එවිට ඔහු අතේ තිබුණු ‘Nestle' සමාගමේ කිරිපිටි හිස් පැකට්ටුවක් මා වෙත දිගු කර

"මේ පැකට්ටුවේ තිබෙන Nestle කියන වචනයත් කුරුළු කුඩුවත් එකට සම්බන්ධ කර තිබීමේ තේරුමක් තිබෙනවා ද?"

කියා මගෙන් ඇසීය. එය අතට ගෙන බැලු මට එහි වැඩි අමුත්තක් ඇති බව පෙනුණේ නැත.


'මේක ප්රචාරක වෙළඳ ලකුණක්. මව් කිරිල්ලිය පැටවුන්ට කවන එකෙන් පෙනෙන්නේ ආහාරයක් සඳහා හොඳ එකක් බව නේද?'

කියා මම  ඔහුට කීවෙමි. මගේ පිළිතුරෙන් ඔහු සෑහීමකට පත් නොවූ බව මට තේරුණි.
මේ අවස්ථාවේදී ගුරුවරයාද,

"ඔය Nestle කියන වචනය සම්බන්ධ කර ගැනීමයි සර් ගැටලුව" කියා නැවතත් මා හට පැවසීය.

"Nestlings කියා ඉංග්රීසියෙන් කුරුළු පැටවුන්ට කියනවා. ඒ උනත් ඔය තැනට ගැලපීම ගැන නම් මටත් එතරම් තේරුමක් නැහැ"

කියා මම අවංකවම කීවෙමි.

"කොහොම වෙතත් මේ ගැන තව තොරතුරු ටිකක් සොයා මම විදුහල්පති තුමාට දන්වන්නම්"

කියා මම පොරොන්දු වූවෙමි.

ඒ කාලයේ මෙවැනි කරුණු ගැන තොරතුරු සොයා ගැනීමට අන්තර් ජාලය වැනි පහසු මාධ්යයන් තිබුණේ නැත. පුස්තකාලයක වුවත් විමර් ශනය කිරීමේ පහසුකම් ප්රධාන නගරවලට පමණක් සීමාවී තිබුණි. ටෙලිෆෝන් පහසුකම්ද හරිම අඩු තත්ත්වයක පැවතුණි. ටෙලිෆෝන් පණිවුඩයක් ගැනීම සඳහා ප්රාදේශීය හුවමාරු මධ්යස්‌ථානයට කතා කර සම්බන්ධ කරන තුරු පැය ගණනක්‌ සිටීමට සිදුවිය. ඒ කාළේ මොබයිල් ෆෝන් ගැන හිතලාවත් නැත .

මා අධ්යාපන කාර් යාලයයට පැමිණ, තව කිහිප දෙනෙකුද සමග කථාකර කිරිපිටි වැනි ළදරු ආහාර බෙදා හරින කොළඹ පිහිටි ආයතනයක ලිපිනය ඩිරෙක්ටරියකින් සොයා ගත්තෙමි. මගේ ගැටලුව පිළිබඳව ලිපියක් සකස් කර ප්රාදේශීය අධ්යාපන අධ්යක්ෂ වරයාගේද නිර් දේශයක් සහිතව එම ආයතන ප්රධානියාට තැපැල් කළෙමි. සියලුම රාජකාරි ලියුම් යැවිය යුතුව තිබු ණේ ඉංග්රීසියෙනි .

සති දෙකකට පමණ පසු ඔවුන්ගෙන් ලැබුණු ලිපියේ, එම ආයතනය Nestle නිෂ්පාදන බෙදාහරින ඒජන්සියක් බවත් අප අසා තිබුණු තොරතුරු කිසිවක් ගැන ස්ථිරව පිලිතුරක් දිය නොහැකි බවත් දන්වා, තොරතුරු ලබාගැනීම සඳහා ස්විට්සර් ලන්තයේ  Nestle ප්රධාන කාර් යාලයේ ලිපිනයද එවා තිබුණි.

මෙයින් පසුබට නොවූ මා, නැවත ලිපියක් සකස් කර අධ්යාපන අධ්යක්ෂක තුමා මගින් ස්විට්සර් ලන්තයේ  Nestle ප්රධාන කාර් යාලයට 'sea mail' මගින් විස්තරාත්මක ලිපියක් යැව්වෙමි. රුපියල් හතක්‌ අටක්‌ පමණ වූ තැපෑල් ගාස්තුව අධ්යාපන කාර් යාලයෙන් ගෙවිය නොහැකි බව පරිපාලන නිලධාරි වරයා මට පැවසු නිසා, එය මට දැරීමට සිදු විය. ඒ කාලයේ රුපියල් අට දැන් රුපියල් අට සියයක් පමණ විය හැකිය. මා පිට රටකට යවන ලද පළමු ලිපියත් මෙය වීම විශේෂත්වයකි.

මාස කිහිපයක් යනතුරු ලිපියට කිසිම පිළිතුරක් ලැබුනේ නැත. විද්යා ගුරු මහතා මට හමුවූ කිහිප වතාවක්ම මගෙන් ඒ ගැන විමසීය. ඒ වන තුරු කිසිම තොරතුරක් නොලැබුණු බව මට කියන්නට සිදු විය.

තවත් සති කිහිපයකට පසු බදාදා දිනයක මා කාර් යා ලයේ සිටියදී අධ්යක්ෂක තුමා මට කතා කර,

"මෙන්න ස්විස්ටර් ලන්තයෙන් ලියුමක්"

කියා ලිපි ගොනුවක් මගේ අතට දුන්නේය.

Nestle ආයතනයේ ලියුමත් සමග තවත් තොරතරු රාශියක් ගොනුවේ තිබුණි.

අපගේ විමසුම ගැන ස්තුති කර, අධ්යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව අදාළ සිසුවා සිටින විදුහලට ගොස් එම සිසුනට සියලු තොරතරු සපයන ලෙස, මෙරට සිටින ඔවුන්ගේ නියෝජිත ආයතනයට උපදෙස් දුන් බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

අධ්යක්ෂක තුමාගේ උපදෙස් පරිදි, විද්යාලයේ විදුහල්පතිද සමග සාකච්ඡා කර ඒ සඳහා දිනයක් නියම කරගෙන නියෝජිත ආයතනයට ලිපියක් යැව්වෙමු.

නියමිත දිනයේදී නියෝජිත ආයතනයේ පිරිසක් අධ්යාපන කාර් යාලයට පැමිණියහ. ඒ පිරිසේ ස්විස් ජාතික කළමනාකරුවෙක්, භාෂා පරිවර් තකයෙකු සහ තවත් කිහිප දෙනෙක් සිටියහ. පැමිණි පිරිස සමග ද මමද විදුහලට ගියෙමි.

විදුහල්පතිගේ පිළිගැනීමකින් පසුව, පිරිස ටික වෙලාවක් ඔහු සමග සාකච්ඡා කර විදුහලේ සියලුම දෙනාටම කුඩා කිරිපිටි පැකට්ටුව බැගින් බෙදා දෙන බවත්, ඉහල පන්තිවල සිසුන් හමුවී කෙටි සාකච්ඡාවක් කළ හැකි බවත් කීහ.

පන්ති භාර ගුරුවරු මගින් කිරිපිටි පැකට්ටු බෙදා දීම සාර් ථකව සිදු කෙරිණ.

අටවන ශ්රේණිය සිට ඉහලට පන්තිවල සිසුන් සඳහා රැස්වීමක් පන්ති කාමරයක සුදානම් කෙරුණි. ප්රධාන අමුත්තා ඉංග්රීසියෙන් කරන ලද කථාව භාෂා පරිවර් තකයා විසින් සිංහලට නගන ලදී. රැස්වීම අතරතුරේදී එහි සිටි පිරිසට එම වර් ගයේ කිරි වීදුරුවකින් සංග්රහයක්ද පවත්වන ලදී.


දේශනයෙන් අනාවරණය වූ කරුණු කිහිපයක් මෙසේය.

  1. මෙම ආයතනය 1886 වර් ෂයේදී ආරම්භ කර ඇත්තේ හෙන්රි නෙස්ලේ (Henri Nestle) නම් ව්යාපාරිකයෙකු විසිනි. 'Nestle' ඔහුගේ නමයි. එය ජර් මන් භාෂාවෙන් 'කුඩා කුරුළු කැදැල්ල ' යන අරුත ගෙන දේ.
  2. ඔව්හු ඉහත දැක්වෙන එම 'කුඩා කුරුළු කැදැල්ල' සිය පවුලේ ලාංචනය ලෙස තෝරා ගෙන තිබේ. එමගින් පවුලේ එකමුතුබව, ලෙන්ගතුකම සහ සුහදතාව පිළිබිඹු කරයි.
  3. කුරුළු කැදැල්ල සංකේතයට Nestle නම් ඔහුගේ නමද එකතුකර තම ව්යාපාරයේ වෙළඳ නාමය ලෙස යොදාගෙන ඇත්තේ කලකට පසුවය.
  4. පසුව එම කුඩා ව්‍යාපාරය කිරි පිටි නිෂ්පාදනයේ ප්‍රමුඛතම ආයතනයක් බවට පත්වී ඇත.

කෙසේ වෙතත්, 'කුඩා කුරුළු කැදැල්ල' මුල් සංකේතය වරින් වර සංශෝධනය කර දැනට භාවිත කරන වෙළඳ ලකුණ නිර් මාණය කර තිබේ. නව වෙළඳ ලකුණෙහි සුවිශේෂී වෙනස් කම් දෙකක් ඇත. මුල් ලාංචනයේ කුරුළු පැටවුන් තිදෙනෙක් සිටින අතර නව ලාංචනයේ සිටිනුයේ දෙදෙනෙකි. මව් කිරිල්ලියගේ හොටෙහි රඳවා ගෙන සිටින පණුවාද දෙවැන්නේ නැත.

මෙම වෙනස් කම් කිරීමට සුවිශේෂී හේතු තිබෙන බවද එදින සාකච්ඡාවේදී හෙළි කරන ලදී. එකල ස්විට්සර් ලන්තයේ පවුලක දරුවන් සංඛ්යාව දෙදෙනෙකු වීම ප්රශස්ත සංඛ්යාව බවත්, ළදරු ආහාරයක ලාංචනයේ පණුවෙකු පෙන්නුම් කිරීම අයෝග්යයයි සැලකු නිසාත් වෙනස් කම් සිදුකර ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

එම වෙළඳ ලකුණෙහි දැක්වෙන්නේ ශීත රටවල බහුල 'thrush' නම් කුරුල්ලායි. ශ්රී ලංකාවේත් මධ්ය කඳුකරයේ, හෝර්ටන් තැන්න ප්රදේශයේ දකින්නට ලැබෙන දේශීයව 'අරන්ගයා' යන නමින් හැඳින්වෙන්නේ මෙම ගණයේ කුරුල්ලෙකි. මිහිරි හඬින් ගී ගයන අරන්ගයාගේ විද්යාත්මක නාමය Myophonus blighti වන අතර රතු දත්ත පොතට අනුව අරන්ගයා ශ්රී ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති පක්ෂියෙකි.


සිසුන්තුළ සහජයෙන්ම පවතින කුතුහලය හොඳින් අවබෝධ කර ගෙන ඒ ඔස්සේ ඔවුනට දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමට සැලැස්වීමෙන් මහඟු ප්රතිඵල ලබාගත හැකි බව පෙන්වීමට මෙම ක්රියාකාරකම හොඳ නිදසුනක් බව මගේ හැඟීමයි.

එම සිසුවාගේ කුතුහලය ඔස්සේ තවදුරටත් කරුණු විමසීමට සිදුවූ නිසා, විද්යා අධ්යාපන නිලධාරියෙකු වූ මටද, එම විදුහලේ ගුරුවරු සහ සිසුන් ඇතුළු තවත් විශාල පිරිසකට කුරුළු කැදැල්ලේ එම සංකේතය භාවිතයේ පදනම සහ එහි වැදගත්කම ගැන බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබිණ.