Saturday, 5 November 2022

 දේශගුණ විපර්යාස අභියෝගය ජය ගැනීම සඳහා ජාත්‍යන්තර පෙළ ගැසීම ප්‍රමාණවත්ද ?  

එක්සත් ජාතීන්ගේ  (Climate Change Conference of the Parties - COP27) යන නමින් හැඳිවෙන “දේශගුණ විපර්යාස සමුළුව”  27 වන වරට, 2022 නොවැම්බර් මස 6 වන දින සිට,  ඊජිප්තුවේ ‘ශාර්ම් එල්-ශීක්’ (Sharm El-Sheikh) නගරයේදී පැවැත්වීමට සියල්ල සුදානම් කර තිබේ.

මානව සංහතියටම මහා විනාශයක් එල්ල කරනු ලබන දේශගුණ විපර්යාස සිදුවනුයේ ෆොසිල ඉන්ධන භාවිතය නිසා බව හඳුනා ගැනීමෙන් පසුව, 2015 වර්ෂයේදී පැරිසියේදී පවත්වනු ලැබූ ඓතිහාසික COP21 වන සමුළුවේදී,  දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා විවිධ රාජ්‍යයන් විසින්  ගතයුතු පියවර ගැන සම්මුතියකට එළඹෙන ලදී. එහෙත් මෙම සම්මුතියේ පරමාර්ථ හරියාකාර ඉටු නොවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය මහත් කනස්සල්ල පළකර තිබේ.

මේ වනවිටත් සිදුවෙමින් පවතින දේශගුණ විපර්යාස සහ පසුගිය වසර කිහිපය තුළදී. ලොව පුරා සිදුවී ඇති ව්‍යසන වල සම්පින්ඩණයක්  සහ ඒවා සම්බන්ධයෙන් 2018 වර්ෂයේදී, එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මහලේකම්, බන් කි-මූන් මහතා විසින් කරන ලද දේශනයක සංක්ෂිප්තයක්ද පහත දැක්වේ. 

ඉතා බලවත් පාරිසරික ව්‍යසනයක් වන ‘දේශගුණ විපර්යාස අර්බුදය’  පිලිබඳ අවබෝධයක් ලබාගැනීම පිණිස මෙම තොරතුරු මහත්සේ ප්‍රයෝජනවත් වනු ඇත. 

“අපට අභියෝගය ජය ගත හැකිය” එක්සත් ජාතීන්ගේ මහලේකම් (2018 දී) 

දේශගුණ විපර්යාස නිසා ඇතිවී තිබෙන තර්ජනය, මුළු ලොවටම දැනී තිබේ. මේ වනවිටත් ඝර්ම කලාපීය සමහර රටවල, දැරිය නොහැකි නියඟ සහ ප්‍රදේශයේ වෙනත් රටවල අධික වර්ෂාපතනය, සම ශීතොෂ්ණ කලාපීය රටවල අධි තාප තරංග (heat waves) හෝ අධික හිම පතනය,  ධ්‍රැව ප්‍රදේශවල අයිස් කුට්ටි දියවීම සහ පොදුවේ ලොව පුරා සාගර ජල මට්ටම ඉහළයාම වැනි බොහෝ විපර්යාස සිදුවෙමින් පවතී. ජගත් පරිසර සංවිධාන රාශියක මූලිකත්වයෙන්, මෙම උපද්‍රව සඳහා අනුවර්තනය වීමේ  ක්‍රමෝපායයන් අනුගමනය කිරීමට සහ හරිතාගාර වායු මුක්ත කිරීමේ යම්කිසි ප්‍රතිශතයක් අඩුකර ගැනීමට, ලෝක ප්‍රජාව එකඟත්වය පළකර තිබේ. බොහෝ රටවල් මෙසේ ශුභවාදීව උපද්‍රව වලට මුහුණ දීමට  සුදානම් අතර, සමහර රටවල් ඒ සඳහා මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බවද දකින්නට ලැබේ. ලොව බොහෝ රටවල තොරතුරු ඇසුරෙන් සකස් කර තිබෙන පහත දැක්වෙන සම්පිණ්ඩනයෙන් අද පවතින තත්ත්වය පිලිබඳ අවබෝධයක් ලබාගත හැකිය. 

දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා, බොහෝ රටවල් විසින්  උපයෝගී කර ගනු ලබන, මෙහි දැක්වෙන සියලුම ධනාත්මක පිවිසුම්, 2015 වර්ෂයේදී  පැරිස් සම්මුතියේදී  එකඟතාව පළකරන ලද, අනුවර්තනය වීමේ ක්‍රියාකාරකම් ලෙස ගිණිය හැකිය.

  1. දකුණු ආසියාවේ බංග්ලාදේශය නිරතුරුවම ජලගැලීම් තර්ජනයෙන් පීඩා විඳින රටකි. සාගර ජල මට්ටම මීටර් භාගයක් ඉහල ගියහොත්, රටෙහි 40 % ක් පමණ ජලයෙන් යටවේ. මෙම තර්ජනයට මුහුණ දීම සඳහා  විවිධ ක්‍රමෝපායයන් සකස් කිරීම වෙනුවෙන්, බංග්ලාදේශය දැනටමත් ඩොලර් මිලියන 50 ක් වෙන්කර, ඒ සඳහා අවශ්‍ය මුලික පියවර ගනිමින් සිටී.


  1. ප්‍රංශ රජය, තම රටෙහි සියලුම ගල් අඟුරු බලාගාර, 2023 වසර වන විට වසා දැමීමට තීරණය කර තිබේ. එමෙන්ම එක්සත් රාජධානිය 2025 දීත්, කැනඩාව 2030 දීත් තම ගල් අඟුරු බලාගාර අවසන් කිරීමට පියවර ගෙන තිබෙන අතර, චීනය ප්‍රධාන ගල් අඟුරු බලාගාරයක් දැනටමත් වසා දමා, නව ගල් අඟුරු බලාගාර 100ක්  සඳහා ඇති යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ. 


  1. අයර්ලන්තය ෆොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන් අත්හැර දැමීමට තීරණය කර, ගල් අඟුරු, තෙල් සහ ගෑස් සඳහා,  එරට විසින්  විවිධ සමාගම් 150 ක පමණ යොදවා  තිබුණු, ඩොලර් මිලියන 350 ක පමණ ආයෝජන අත්හැර දමා, තම සාමාජිකත්වය අවලංගු කර ගෙන ඇත. 


  1. ඉන්දියාව 2030 වන විට විදුලි බලයෙන් ක්‍රියාකරනු ලබන වාහන පමණක්, නිෂ්පාදනය සඳහා ගිවිස ගෙන ඇත. නෝර්වේ රාජ්‍යය සහ නෙදර්ලන්තයද  2025 වනවිට, මේ ආකාරයටම කටයුතු  කිරීමට බලාපොරොත්තු වේ. 


  1. වොල්වෝ මෝටර් රථ සමාගම, 2020 වනවිට තම නිෂ්පාදන සියල්ලම විදුලි බලයට හැරවීම අපේක්ෂා කරමින්, දැනටමත් ඒ සඳහා මුලික කටයුතු සම්පාදනය කරමින් සිටී.


  1. 2020 වර්ෂයේදී ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පීක් ක්‍රීඩා උළෙලේ, සියලු කටයුතු සඳහා, පුනර්ජනනීය විදුලි බලය භාවිත කරන බව ප්‍රකාශයට පත්කර තිබේ. 


  1. ප්‍රංශ රජය විසින් නීති ගතකර තිබෙන ආකාරයට, එරට සියලුම වාණිජ ගොඩනැගිලිවල වහල මුදුනෙහි කුඩා ‘හරිත උයනක්’ හෝ සූර්ය කෝෂ පද්ධතියක් ස්ථාපනය කළ යුතුය.


  1. අධ්‍යයන වලින් හෙළිවී ඇති පරිදි, සාගර දූෂණයට හේතුවන,  ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් 90% ක් පමණ  සාගරය වෙත ගෙන එනු ලබන,  ප්‍රධාන ගංගා දහයක්   තිබේ. මෙයින් ගංගා අටක්ම  ආසියා මහාද්වීපයේය. මෙය මැඩ පැවැත්වීමේ මූලික පියවරක් වශයෙන්, ‘එක්වරක් පමණක්’ භාවිත කරණු ලබන  (single use) සියලුම ප්ලාස්ටික් වර්ග - බීම බට, තුනී බෝතල්, තුනී දවටන ආදිය - 2022 වසරේ සිට, නිෂ්පාදනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.   


  1.  ඇමෙරිකා එක්සත් ජනපද රජයේ අනුග්‍රහය ඇතිව, අන්නාසි වවන්නන්ගේ සංගමයක් මගින්, අන්නාසි පත්‍රවල ඇති කෙඳි භාවිත කර ‘Pinetex’ යන වෙළඳ නාමය යටතේ සපත්තු නිෂ්පාදනයක් ආරම්භ කර තිබේ. මෙම පරිසර හිතකාමී ‘හරිත’ සපත්තු ජනප්‍රිය වෙමින් පවතී.  මේ නිසා අන්නාසි ගොවියා, අපතේ යන අන්නාසි පත්‍ර වලින්  අමතර ආදායමක්ද ලබයි.


  1.  සරු පොළොවෙහි පස ‘අද්භූත විශ්වයක්’ (mysterious universe) ලෙස සැලකිය හැකිය. සරු පස් මේස හැන්දක ධාරිතාව  ප්‍රමාණයේ පරිමාවක,   ක්‍ෂුද්‍ර පාංශු ජීවීහු, බිලියන හයක් පමණ සිටිති. පස සරු වනුයේ මෙම පාංශු ජීවීන් නිසාය. පස සංරක්ෂණය උනන්දු කරවීමට මෙය කදිම පිවිසුමකි.

 

  1. 2000 සිට 2065 දක්වා ඇති වසර 65 කාළ සීමාව තුලදී පමණක්, වඳවී ගොස් ලෝකයෙන් සදහටම තුරන් වී ඇති සහ ඉදිරියට තුරන් වන, සතුන් සහ ශාක සංඛ්‍යාව, ගෙවී ගිය වසර බිලියන හැට පහකදී  වඳ වී ගොස් ඇති, ජීවී සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩිය.   


  1.  අද ලෝකයේ ජනගහනයෙන් 6% ක්  පමණ පාපැදි වලින් කෙටි ගමන් බිමන් යති. මෙම ප්‍රතිශතය 14 % දක්වා වැඩි කර ගත හැකි වුවහොත්, වායු ගෝලයට කාබන් මුක්ත වීම  11 % කින් කපා හැරිය හැකි වේ.

 

  1.  ගෝලීය උණුසුම් වීම සඳහා තුඩු දෙන, හරිතාගාර වායු අඩුවෙන්ම මුක්ත කරනු ලබන, සංවර්ධනය වෙමින් පවතින, දිළිඳු  රටවල්  මත  සමස්ත ලෝකය විසින්ම උරදිය යුතු බරින් 82 % ක්  පවරා තිබීම බලවත් අසාධාරණයකි.


  1.  මෑතදී ගණන් බලා ඇති ආකාරයට, ඇමෙරිකාවේ ජනතාව සියලු දෙනාම, වසරකට එක් දිනක් පමණක්, මෝටර් රථ භාවිත නොකළහොත්, ඒ මගින් කාබන්  ටොන් මිලියන 3.5ක් වායු ගෝලයට මුක්ත වීම වලක්වා ගත හැකිය.


  1.  ලෝකයේ උත්පාදනය වන ධනයෙන්, 95% ක් රිසිසේ භුක්ති විඳිනුයේ, ලෝක ජනගහනයෙන් 40 % ක් විසින්ය. ඉතිරි 60% ක ජනතාව සඳහා වෙන්වනුයේ, එම ධනස්ඛන්ධයෙන් 5% ක් පමණකි.


  1.  දැනට භූ තලය මත, වාහන බිලියන 1.2 ක් පමණ තිබේ. 2040 වනවිට, තවත් වාහන එකතුවී,  මුළු වාහන  සංඛ්‍යාව බිලියන 2.2 පමණ වනු ඇත. මෙම වැඩිවීම සමග විකල්ප ඉන්ධන කරා යොමු විය යුතුය. 


  1.  ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ, එක්තරා නගරයක, වසරකට මිනිස් මළපහ ගැලොම් මිලියන අටක්,  නව තාක්ෂණික ක්‍රමයක් මගින් සැකසුම් කර ‘බයෝ මීතේන්’ (bio-methane) වායුව නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ. මෙම වායුව බර වාහන ඉන්ධනයක් ලෙස භාවිත කෙරේ. මෙම ක්‍රියාවලියේ දුගඳ හැමීමද අවම කර තිබේ. 


  1.  ගෙවී ගිය ශතවර්ෂය තුලදී,  ලොව පුරා  මිනිස් අවශ්‍යතා සඳහා, භුමිය එලි පෙහෙළි කිරීම, බිම් කෙටීම, සී සෑම වැනි  ක්‍රියාකාරකම්  මගින් භුමියේ අන්තර්ගත කාබන් ටොන් බිලියන 155 ක් පමණ වායු ගෝලයට මුදා හැර තිබේ.


  1. මේ මොහොතේ සිටම, ලොව ඇති සියලුම හරිතාගාර වායු මෝචන, නතර කරනු ලැබුවත්, පරිසරය උණුසුම් වීම ඉදිරියටද තවත් ශත වර්ෂ ගණනක් පවතිනු ඇත. මෙසේ වනුයේ, ඉතාමත් සංවේදී වායු ගෝලයට, අප විසින් දැනටමත් මුක්ත කර ඇති, ටොන් බිලියන ගණනක් වන, උණුසුම රඳවා ගන්නා හරිතාගාර වායු නිසාය.   


මෙම පිවිසුම් සියල්ලේම පාහේ ඇතුලත් කර තිබෙන ක්‍රමවේද,  වායු ගෝලයට කාබන් මුක්ත වීම සුළු වශයෙන් හෝ අඩුකර ගැනීමට ඉවහල් වන බව පැහැදිලිය. වායු ගෝලයට හරිතාගාර වායු වැඩියෙන්ම මුක්ත කරනු ලබන ඇමෙරිකා එක්සත් ජනපදය, පැරිස් සම්මුතියෙන් ඉවත් වීම කණගාටුවට කරුණක්  වී  තිබේ. කෙසේ වෙතත් දේශගුණ විපර්යාස අවම කර ගැනීම සඳහා එරට විසින් කරනු ලබන පර්යේෂණ සහ ඒ මගින් ලබාගන්නා  තොරතුරු, ඉදිරියේදී ගන්නා සියලු පියවර ශක්තිමත් කරගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත.  

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මහලේකම්, බන් කි-මූන් මහතා විසින් 2018 සැප්තැම්බර්  මස 10 වන දින පවත්වන ලද, මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන විෂයය වුයේ දේශගුණ විපර්යාස  අර්බුදයයි. මේ එම දේශනයේ සම්පින්ඩණයකි. 

“අපට අභියෝගය ජය ගත හැකිය” 

පෘථිවි ග්‍රහ ලෝකයේ ජීවත් වන මිත්‍ර වරුනි, අද මෙහි පැමිණ සිටින ඔබ සියලු දෙනා ඉතා සාදරයෙන් පිලිගනිමි.

මා, අද ඔබ සැම මෙහි කැඳවූයේ, අනතුරු ඇඟවීමේ සංඥාවක් දීමටයි. මෙම සංඥාව, අද මුළු ලොවටම අහිතකර තත්ත්වයක් උදාකරමින්, අපගේ ජීවිත අඳුරේ දැමීමට විශාල වෙරක් දරන, දේශගුණ විපර්යාස නමැති මහා බලවේගය පිළිබඳවයි.

අද, අපි අපගේ අනාගතය  පිලිබඳ තර්ජනයකට මුහුණ දෙමින් සිටිමු. දේශගුණ විපර්යාස අප පසුකර ගොස්, ඉතා වේගයෙන් ඉදිරියට යනු දකින්නට ලැබේ.  එහි අධික වේගය  නිසා අපට කාගේ හෝ උදව් පතා හදිසි ආයාචනයක් කිරීමට  සිදුවී ඇත. එහෙත් අපගේ පිළිසරණට මෙලොව කිසිවෙක් නොමැත. අපට සිටිනුයේ අප පමණකි.  

අපගේ වේගය කිහිප ගුණයකින් වැඩිකර, 2020 වසර වනවිට, දේශගුණ විපර්යාස නමැති කෘරතර යෝධයා අල්ලා, මෙල්ල කර නොගතහොත්, මිහිපිට ජීවත්වන මිනිසුන් වන අප සැමටත්, සියලුම සතුන්ටත්, අපගේ අවශ්‍යතා සපයන ගහකොළ ඇතුළු ස්වාභාවික පද්ධති වලටත්, අත්වන දුක්ඛදායක  ඉරණම  කුමක් විය හැකිදැයි කිව නොහැකිය.  

මේ නිසා අද මේ අවස්ථාවේදී, සියලුම දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, විද්‍යාඥයින් ඇතුළු, ලොව සෙසු ජනතාවගෙන්, ඉල්ලා සිටිනුයේ අවශ්‍යතාව අනුව, අප ඉදිරියේ තිබෙන සංග්‍රාමයේ  නායකත්වය ගන්නා ලෙසටයි. 

මේ සියල්ල හරියාකාර ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ආම්පන්න අප සතුව ඇත. 

එහෙත් අපගේ පසු බෑමක් තිබේ. 2015 පැරිස් සම්මුතියෙන් පසුව වුවත්, අප  අපගේ ඉදිරි ගමන වෙනුවෙන්, නිසි පියවර තබා නොමැත.

හිතවත් මිත්‍රවරුනි,  අප ඉදිරියේ ඇති ව්‍යසනය මැඩ පවත්වා ගැනීම සඳහා, කඩිනමින් කටයුතු කළයුතුද යන්න ගැන, කිසිම සැකයක් ඇතිකර ගන්නට එපා. දැනටමත් ලෝකයේ බොහෝ තැන්වල, වාර්තාගත උෂ්ණත්ව වැඩිවීම් සිදුවෙමින් පවතී.  ජගත් කාලගුණ විද්‍යා සංවිධානයේ තොරතුරු අනුව, ඔවුන් දත්ත ගැනීම ආරම්භ කළ, 1850 වර්ෂයේ සිට මේ දක්වා  කාලය තුල, පසුගිය දශක දෙකෙහි පමණක්  වසර 18 ක්ම  උෂ්ණත්වය අධිකම වර්ෂ වි තිබේ. අධි තාප තරංග, ලැව් ගිනි, චන්ඩ මාරුත සහ ජල ගැලීම් මගින් සිදුවූ අතිශය ප්‍රබල ව්‍යසන සහ මරණ පිලිබඳ සටහන් අප මතකයේ තිබේ. 

ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ, පසුගිය අගෝස්තු මාසයේ සිදුවූ මහා ජලගැලීම නිසා, ජීවිත හානි හාර සියයක් පමණ සිදුවී, මිලියනයක පමණ ජනතාවට උන් හිටි තැන් අහිමි  විය.  පසුගිය වර්ෂයේදී ‘මාරියා’ සැඩ කුණාටුව නිසා  පෝර්ටෝ රිකෝ දූපත්වල මිනිස්සු 3000 ක් ජීවිතක්ෂයට පත්වූහ. මෙය ඇමෙරිකන් ඉතිහාසයේ සිදුවූ දරුණුතම  සැඩ කුණාටුවකි. මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුත්තේ, එහි මළවුන්ගෙන් බොහෝ දෙනෙකු මියගියේ, සැඩ සුළඟ නිසා ඇතිවූ  විදුලි බලය ඇනහිටීම, පානීය ජල හිඟකම සහ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොලැබීම නිසා බවයි. 

මේ සියල්ල පිළිබඳව අප  කලින් දැනුවත් කර තිබියදීත්, අපි අපගේ යුතුකම පැහැර හැර  තිබේ යයි මට හැඟේ. දශක කිහිපයකට ඉහතදී සිට, විද්‍යාඥයෝ මෙවැනි ව්‍යසන සිදුවියහැකි බව පුන පුනා  කීහ. බොහෝ රාජ්‍ය නායකයෝ එම ප්‍රකාශ පිලි නොගත්හ. කිහිප දෙනෙක් පමණක් සවන් දීමෙන් පලක් නොවීය. නොසැලකිල්ලේ අවසාන ප්‍රතිඵලය මෙයයි. 

කලකට පෙර  විද්‍යාඥයින් විසින්  සඳහන් කරන ලද,  සිදුවිය හැකියයි අනුමාන කළ,   සමහර උපද්‍රව වල  උපරිම අන්තරාය සිදුවී තිබේ. ආර්ක්ටික් සාගරයේ අයිස් තට්ටු බලාපොරොත්තු වූ ප්‍රමාණයටත් වඩා වේගයෙන් දියවී යමින් තිබේ. ඉතිහාසයේ පළමු වරට ග්‍රීන්ලන්තයට උතුරෙන් පිහිටි, අයිස් තට්ටු කැඩී බිඳී යමින් පවතී. ආර්ක්ටික් ප්‍රදේශයේ මෙම අනපේක්ෂිත කාලගුණ විපර්යාස නිසා, පෘථිවි  උතුරු අර්ධ ගෝලයේ  දේශගුණ රටා විකෘති වෙමින් පවතී. එයට සමගාමීව ලැව්ගිනි හට ගනිමින් ඒවායේ පැතිරී යාමද වැඩිවන බව වාර්තාවේ. මෙවර හටගත් ලැව්ගිනි කෙතරම් විශාලද යත්, ඒ  නිසා ඇතිවූ  ධූමිකා, ලොව වටා විසිරී ගොස් තිබේ. ඒ උණුසුම නිසා අයිස් තට්ටු දියවීම තවත් වැඩිවී තිබේ.

විවිධ හේතු නිසා සාගර ජලයේ ආම්ලික භාවය වැඩි වෙමින් පවතී. මේ නිසා සාගර ජීවීන්ගේ  ආහාර දාම වල, පාදක නිෂ්පාදකයෝ විනාශ වෙති. මෙය මත්ස්‍ය සම්පත් හිඟ වීමට හේතුවකි. කොරල් පර විනාශ වීමද, සාගර ජල ආම්ලිකතාව නිසා සිදු වන්නකි.  

වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් අධික වීම නිසා, ධාන්‍ය වර්ග වල පෝෂ්‍යජනක භාවය අඩුවෙමින් පැවතීම හේතුවෙන්, බිලියන ගණනක් මිනිසුන්ගේ සෞඛ්‍යයට සහ ආහාර සුරක්ෂිතතාවට බාධා පැමිණේ. දේශගුණ විපර්යාස වල බලපෑම වැඩිවන තරමට, ආහාර හිඟයද  වැඩිවිය හැකිය. 

විෂම දේශගුණය නිසා, පරිසර පද්ධති පීඩාවට පත්වන විට සමහර ජීවීන් හට වඳවී යාමේ තර්ජනයක්ද එල්ල වෙමින් පවතී. 

කෘෂිකාර්මික කටයුතු වලින් දිවි ගෙවාගත් බොහෝ මිනිසුන්ට, කාලගුණ විෂමතා නිසා සශ්‍රීක භාවය අඩු වී ඇති, තම ඉඩ කඩම් වල ඇති භෝග  පලදාව අඩුවන විට, ගේ දොර අතහැර දමා, වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමට සිදුවී ඇත. මේ හේතුවෙන් ජනතා කණ්ඩායම් අතර, අඬ දබර ඇතිවීමට තිබෙන ප්‍රවණතාවයද වැඩිවේ.

පසුගිය මැයි මාසයේදී, ජගත් කාලගුණවිද්‍යා සංවිධානය තවත් අප්‍රසන්න   සිද්ධියක් වාර්තා කරන              ලදී. මෙයින් දැක්වූයේ, වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ්  මාසික සාමාන්‍යය, කිසිදා නොවූ විරූ ආකාරයකට ඉහල ගොස් ඇති බවයි. 

කලින් වාර්තා කළ ආකාරයට එය 400 ppm (කොටස් මිලියනයකට CO2 කොටස් 400) ලෙස සාමාන්‍ය මට්ටමේ පැවති අතර, මේ මාසයේ අගය 411 ppm වී  තිබේ. මෙය වසර මිලියන තුනක දී වැඩිවී ඇති, ඉහලම අගයයි. මෙය මහත් අනතුරු හැඟවීමකි.

හිතවත් මිත්‍ර වරුනි, සිදුවන දේ අපට පැහැදිලිය. කළයුතු දේ සහ කළයුතු ආකාරයද අපි දනිමු. එසේ වුවත් කණගාටුවට කරුණ වනුයේ අපගේ අභිලාශය කළයුතු දෙයෙහි අසලකටවත් යොමුවී නැති බවයි.

දැනට වසර තුනකට ඉහතදී, ලෝක රාජ්‍ය නායකයින් සියලු දෙනා පැරිස් සම්මුතියට අත්සන් කළ අවස්ථාවේ, දෙනලද ප්‍රතිඥාව මට මෙහිදී සිහියට නැගේ. ඔවුන් සියලු දෙනාම එකහෙලා පොරොන්දු වුයේ,  ගෝලීය උණුසුම, 2030 වර්ෂය වන විටත්, කාර්මික විප්ලවයට පෙර තිබුණු, උෂ්ණත්ව මට්ටමේ සිට, 2 oC ක   සීමාව නොඉක්මවීමට, සහ හැකිතරම් දුරට එය 1.5 oC  මට්ටමේ තබාගැනීමටත් අවශ්‍ය කටයුතු කරන බවටයි.

මෙම ඉලක්ක වලින් බලාපොරොත්තු වුයේ, දේශගුණ විපර්යාස වලින් සිදුවිය හැකි බරපතල ආපදා, තරමක් දුරටවත් ලිහිල් කර ගැනීමය.

එසේ වෙතත්, අද  විද්‍යාඥයින් ප්‍රකාශ කරනුයේ අප තවමත්  බලාපොරොත්තු ඉලක්ක අසලටවත් ගොස් නොමැති බවයි.  

එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව, දේශගුණ විපර්යාස මැඩලීම සඳහා,  අප මෙතෙක් ආවරණය කර තිබෙනුයේ බලාපොරොත්තු ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණක් බව හෙළිවී තිබේ.

අපට සිදුවී ඇත්තේ ඉතා දුෂ්කර පර්වතයක් තරණය කිරීමටය. එහෙත් එය අපහසු කාර්යයක් නොවේ. අපි එහි බෑවුම සහ උස ගැන අවබෝධයක් ඇතිව  සිටිමු.

මෙහිදී අප කළයුතු එකම දෙය, මාරාන්තික හරිතාගාර වායු මුක්තවීම නතර කර, දේශගුණය රැක ගැනීමට ක්‍රියා කිරීමයි. අප හැකි ඉක්මණින් ෆොසිල් ඉන්ධන මත යැපීම  නතර කළ යුතුය. වහාම ඒ සඳහා, ජලය, හිරු එළිය සහ සුළඟ වැනි ප්‍රභව වලින් ලබාගත හැකි සුපිරිසිදු බලශක්තියට ප්‍රවිෂ්ඨ විය යුතුය. අප වනාන්තර  විනාශය වහාම නතර කළ යුතුය. පරිහානියට ලක්වී ඇති වනාන්තර නැවත ප්‍රකෘතිමත් කළ යුතු අතර, අපගේ කෘෂි කාර්මික වත් පිළිවෙත් නවීකරණය කළ යුතුය.

අපගේ ආර්ථිකය තවත් ශක්තිමත් කර, එහි කාර්යක්ෂමතාව වැඩි කළ යුතුය. අපගේ නගර සහ ගමනාගමන පද්ධති ප්‍රතිසංස්කරණ වලට භාජන කළ යුතුය. අපගේ ගොඩනැගිලි  සිසිලනය කිරීම, උණුසුම් කිරීම සහ ආලෝක කිරීමේ ක්‍රම නවීකරණය කර බලශක්ති නාස්තිය අවම කළ යුතුය. අප ඉදිරියේ ඇති බලවත්ම අභියෝග මේවා වේ. අප මෙයට බියවිය යුතු නැත. මේ අනතුරු හැඟවීමක් පමණකි. එයට බිය වීමෙන් අවශ්‍ය දේ සිදු නොවේ.

බිය නොවන්න. මාගේ එකම පරිකල්පනය සහ බලාපොරොත්තුව, දේශගුණ මෙහෙයුම මගින් ලබාගත හැකි වාසිදායක තත්ත්ව, ගැන ඔබ සැමගේ සිත් යොමු කිරීමයි. 

සුහද මිත්‍රවරුනි, අප දේශගුණ විපර්යාස අභියෝගය  අභිබවා ගියහොත් මනුෂ්‍ය සංහතියට ලැබිය හැකි වාසි අපමණය. මෙයින් වැඩි කොටසක් ආර්ථික වාසි වේ. සමහරවිට ස්වාර්ථය හෝ පෞද්ගලික වාසි පමණක් දකින්නෝ දේශගුණ විපර්යාස පිටු දැකීම ඉතාමත් වියදම් අධික, ආර්ථිකයට හානිකර ක්‍රියාදාමයක් ලෙස දකිති. මෙය මහත් ප්‍රලාපයක් පමණකි. සත්‍යය එහි ප්‍රතිවිරුද්ධ පැත්තයි.  

දේශගුණ විපර්යාස නිසා දැවැන්ත ආර්ථික පාඩු සිදුවේ. පසුගිය දශකයේදී පමණක්, විෂම කාළගුණ හේතු සහ පොසිල ඉන්ධන දැවීම නිසා, හටගෙන ඇති සෞඛ්‍ය ගැටළු මගින් ඇමෙරිකානු ආර්ථිකයට, ඩොලර් මිලියන 240 ක පාඩුවක් සිදුවිය. මෙම වියදම් ඉදිරි දශකයේදී දෙගුණ වනු ඇත. වසර 2030 වනවිට අධික උණුසුම් ලෝකයේ, ඵලදායිතාවය හීන වීම නිසා ඩොලර ට්‍රිලිනයක ආර්ථික අවාසියක් සිදුවේ.

දේශගුණ මෙහෙයුම් මගින්, බොහෝ වාසි ලබාගත  හැකි බව, අධ්‍යයන වලින් දකින්නට ලැබේ. පසුගිය සතියේ මා සහභාගිවූ දේශගුණ විපර්යාස වලට අදාළ සමුළුවකදී, දේශගුණ මෙහෙයුම් සහ සමාජ ආර්ථික ප්‍රගතිය එකිනෙකට අන්‍යෝන්‍ය බලපෑමක් ඇතිකරන බව  හෙළිදරව් විය. මේ අනුව දැනට යෝජිත නිසි මග ගමන් කර, දේශගුණ උපද්‍රව මගහරවා ගතහොත්, අපගේ සාමාන්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රය මේ  ආකාරයටම තිබියදීත්,  2030 වනවිට ඩොලර් ට්‍රිලියන 26 ක ප්‍රතිලාභ අත්වන බව, එහිදී  තවදුරටත් පෙන්වා දෙන ලදී. මෙයට සරල උදාහරණයක් වශයෙන් හානියට පත් වනාන්තර ප්‍රතිස්ථාපනය ගත හැකිය. වනාන්තර යලි ගොඩනැගීම සඳහා වැය කරනු ලබන, සෑම ඩොලර් එකක් සඳහාම, ආර්ථික වාසි සහ දිළිඳු බව දුරැලීම මගින් ඩොලර් 30 ක ප්‍රතිලාභයක් ලබා ගත හැකිවේ. හායනයට පත්වී ඇති ඉඩකඩම් ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමෙන්, ගොවියන් සහ සතුන් ඇති කරන්නන්ට යලිත් සරිලන ආදායමක් ලබාගත හැකිවන අතර, ඔවුනට ගම් බිම් අතහැරදා, සරු බිම් කරා යාමට සිදු නොවේ.

දේශගුණයට ඔරොත්තු දීමේ, ජල සම්පාදන ව්‍යාපෘති සහ සනීපාරක්ෂක කටයුතු සංවර්ධනය කිරීම මගින්, වාර්ෂිකව අකාලයේ මියයන දරුවන් 360,000 කගේ පමණ ජීවිත බේරා ගත හැකිය.  ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන ආකාරයට, 2030 වසර වනවිට ‘හරිත ආර්ථිකය’ මගින් මිලියන 24 ක් පමණ වන ජනතාවකට නව රැකියා සැපයිය හැකිවේ. 

චීනයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ, නව පුනර්ජනනීය බලශක්ති  අංශ නිසා, උත්පාදනය වෙමින් පවතින රැකියා සංඛ්‍යාව, මෑත අතීතයේ ගල් අඟුරු, තෙල් සහ ගෑස් ක්ර්මාන්ත අංශ  මගින් සපයන ලද රැකියා සංඛ්‍යාවට වඩා වැඩිවෙමින් තිබේ. බංග්ලාදේශයේ ස්ථාපනය කරනු ලබන, ගෘහස්ත සූර්ය කෝෂ පද්ධති මගින්, නව රැකියා 115,000 වැඩි ප්‍රමාණයක් ආරම්භවී ඇත. එයට සමගාමීව ගෘහස්ත පරිසර දූෂ්‍ය ඉන්ධන  භාවිතය ඉවත්වීම නිසා, එරට  ග්‍රාමීය ජනතාවට, ඩොලර් මිලියන 400 ක පමණ ප්‍රතිලාභ අත්වී තිබේ. මෙසේ බලන කළ, පුනර්ජනනීය බලශක්තියට මාරුවීම මගින්, නව රැකියා සැපයීම, ජල නාස්තිය අඩුවීම, ආහාර නිෂ්පාදනය වැඩිවීම සහ අපට උපද්‍රව කරනු ලබන දූෂිත වායුව පිරිසිදු කිරීම වැනි හිතකර කාර්යයන් රාශියක් සිදුවේ. 

මේ නිසා දේශගුණ මෙහෙයුමෙන් වාසි ලැබීම විනා කිසිම පාඩුවක් සිදු නොවේ.  

අප  මුහුණ පා ඇති අභියෝගය, ඔරොත්තු නොදෙන  එකක් බව තවමත් බොහෝ අය සිතමින් සිටිති. මම මෙයට කිසිසේත් එකඟ නොවෙමි.  

මෑත අතීතයේදී මානව වර්ගයා ඉමහත් අභියෝග රාශියකට  මුහුණ දී, ඒවාට විසඳුම් ලබාගෙන ඇත. මෙයින් සැලකියයුතු අභියෝග සංඛ්‍යාවකට විසඳුම් සෙවීමේදී මිනිසාට විවිධ බෙදුම්වාදී අදහස් සහ වෙනත් මතභේද පසෙකට ලා, එකමුතුව කටයුතු කර ඉලක්ක සපුරා ගත හැකිවී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවුයේ මේ ආකාරයටය. මේ මගින් අපට යුද බිය සහ රෝග බිය නිවාරණය කළහැකි විය. දිළිඳු භාවය අඩු කිරීමට අත දිය හැකිවිය. වායු ගෝලයේ ඕසෝන් හිඩැස ප්‍රකෘතිමත් කළ හැකි විය.

අප දැන් සිටිනුයේ පැවැත්ම සහ විනාශය අතර සංධිස්ථානයකය.

මෙහිදී අප ඉදිරියට යාම පිණිස, හරිමග ගත යුතුය - ඇත්තේ නිවැරදි එක් මගක් පමණකි -  එම මගෙහි යාම සඳහා අපට ඇති සියලුම  මානව උපාය කුසලතා, ඒකරාශී  කළ යුතුය.

මෙම උපාය කුසලතා අපට තිබේ. දැනටමත් විසඳුම් සෙවීම සඳහා එම කුසලතා ප්‍රායෝගිකව භාවිත වෙමින් පවතී. පුනර්ජනනීය බලශක්ති භාවිතය විශාල වශයෙන් ඉහල යමින් ඇති බව පෙනේ.       

ෆොසිල් ඉන්ධන භාවිතයේදී සිදුවන, පරිසර දුෂණයද මිල කළ විට, පුනර්ජනනීය බලශක්තියේ  මිල අඩුය.  පසුගිය වසරේදී (2017) චීනය,  මෙම ‘හරිත’ බල ශක්තිය නිපදවීම සඳහා ඩොලර් බිලියන 126 ක් වැයකර තිබේ.  මෙය කලින් වසරට වඩා 30% ක වර්ධනයකි.

2030 වනවිට, යුරෝපයේ බල ශක්තියෙන් තුනෙන් එකක් පුනර්ජනනීය බල ශක්තිය විය හැකිය. මොරොක්කෝ රාජ්‍යයේ නිවාස මිලියනයකට සූර්ය බල ශක්තිය සැපයීමට සැලසුමක් තිබේ. ලොව ප්‍රථම පාවෙන සුලං බල ශක්ති පද්ධතිය, ස්කොට්ලන්තයේ අටවා තිබේ.

බලාපොරොත්තු ඇතිකර ගතහැකි විකල්පද එලි දකිමින් පවතී. 

ෆොසිල ඉන්ධන බහුල, ගල්ෆ් රාජ්‍ය කිහිපයක් සහ නෝර්වේ රාජ්‍යය,  තෙල් ආර්ථිකය වෙනුවට විකල්ප මං සෙවීම ආරම්භ කර තිබේ. සවුදි අරාබිය පුනර්ජනන ව්‍යාපෘති සඳහා බෙහෙවින් ආයෝජනය කරන අතර, තෙල් පාදක ආර්ථිකයේ සිට, බලශක්ති පාදක ආර්ථිකයකට මාරුවීමට පියවර ගෙන තිබේ. ලෝකයේ විශාලතම ව්‍යාපාර 130 ක් පමණ, තම මෙහෙයුම් සඳහා,  සියයට සියයක්ම පුනර්ජනනීය බල ශක්තිය පමණක් යෙදවීමට තීරණය කර තිබේ.  

මා මෙසේ සඳහන් කළ, සියලුම පුරෝගාමී රටවල බලධාරීහු කව්රුත්, අනාගතය විනිවිද දැක තිබේ. මේ සියල්ල ඉතා නිර්භීත ඉදිරි පියවර වේ. එහෙත් ප්‍රතිචාරය තවමත් ප්‍රමාණවත් නොවේ.

කණගාටුවෙන් වුවද තවත් යමක් ප්‍රකාශ කිරීමට තිබේ.

සමහර රාජ්‍ය බලධාරීන්  විසින් තීරණ ගැනීමේදී, දක්වන ‘උදාසීන භාවය’ නිසා පැරිස් සම්මුතිය ක්‍රියාත්මක වේදෝයි  සැකයක්ද තිබෙන බව පෙනේ.

මෙසේ සිදු නොවිය යුතුය. මුළු ලොවටම විපතක් සිදුවෙමින් පවතින මේ අවදියේදී, තතු  දත් විද්වතුන් විසින් පෙන්වා දෙන ‘හරි මග’ යාම කාගේත් සදාචාරාත්මක  යුතුකමකි.  මෙහිදී නොකියාම බැරි දෙයක්ද තිබේ. 

දේශගුණ විපර්යාස අර්බුදය දියුණු තියුණු වීම සඳහා, හරිතාගාර වායු බහුල වශයෙන් මුක්ත කර, බෙහෙවින්ම දායක වී තිබෙනුයේ, ලොව ධනවත්ම රාජ්‍ය කිහිපයයි. එහෙත් දේශගුණ විපර්යාස නිසා වැඩිපුරම පීඩාවට පත්වී තිබෙන්නේ, ඉතාමත් අවදානම් තත්ත්වයක ජනතාවක් ජීවත්වන  දිළිඳු රටවල්ය.

මේ නිසා ධනවත් රටවලට තම හරිතාගාර වායු මුක්ත වීම කපා හරිමින්, දිළිඳු රටවල් මුහුණ පාමින් සිටින අගාධයෙන් ගොඩ වීම සඳහා අනුවර්තනය වීමට අත හිත දීම පරම යුතුකමකි. 

සියලු රාජ්‍යයන් එකාවන්ව පෙරටම යමු.  අපට අභියෝගය ජය ගත හැකිය.’ 

(පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි.)

Friday, 4 November 2022

අති විශිෂ්ඨයින්ට පමණක් හිමිවන උත්කෘෂ්ඨ “නොබෙල් ත්‍යාග”

 අති විශිෂ්ඨයින්ට පමණක් හිමිවන උත්කෘෂ්ඨ “නොබෙල් ත්‍යාග”

සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන, ලෝකයේ ඉතාමත් උත්කර්ෂවත් උත්සවයක දී, තෝරාගත් විෂයය ක්ෂේත්‍ර කිහිපයක පර්යේෂණ හෝ ක්‍රියාකාරකම් මගින් මානව සංහතියේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉස්තරම් මෙහෙවරක් කරන ලද ස්වල්ප දෙනෙකු ලෝකයේ ඉහලම සම්මානයෙන් පිදුම් ලබති. මොවුන් “නොබෙල් සම්මාන ලාභීන්” (Nobel Laureates) ලෙස හඳුන්වනු ලැබේ. මේ 2022 වර්ෂයේ දී ද ක්ෂේත්‍ර හයක සම්මානලාභීන් නව දෙනෙකුට මෙම අනභිභවනීය ත්‍යාග හිමිවී තිබේ. 

මෙම අගනා ත්‍යාග සඳහා තම ධනය යොදවන ලද්දේ ඇල්ෆ්‍රඩ් නොබෙල් නමැති ධන කුවේරයෙකු විසිනි. එහෙත්, ඔහු එම මුදල් උපයා ගත්, දැනුදු “අසම්මත” යයි පිළිගැනෙන ක්‍රමවේදය නිසා, ආරම්භයේ දී සිට ම, මෙම “සම්මාන ත්‍යාග ව්‍යාපෘතිය” මහත් කුතුහලයට සහ විවේචනයට ලක් වී ඇත.

“වෙඩි බෙහෙත්” (Gunpowder) පුපුරන ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම ආරම්භ වී දැන් ශත වර්ෂ හත අටක් ගත වී ඇත. වෙඩිබෙහෙත් යනු “පොටෑසියම් නයිට්‍රේට්, ගෙන්දගම් කුඩු සහ අඟුරු කුඩු අඩංගු රසායනික මිශ්‍රණයකි. මේ මිශ්‍රණය පතරොමක් හෝ ගල් බෝරයක් වැනි සීමිත ඉඩකඩක් තුළ දහණය වීමට සැලැස්වූ විට, පුපුරා, ඉතා බලවත් ඉදිරි තෙරපුමක් ඇති වේ. සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කරනු ලබන තුවක්කු පතරොම්වල පුපුරන ද්‍රව්‍යය වන්නේ ද වෙඩි බෙහෙත් ය. යුද සහ ආරක්ෂක කටයුතුවලදීත් වෙඩි බෙහෙත් භාවිත කර ඇත ඒ භාවිතය නිසා මිනිසුන් ද ලක්ෂ ගණනින් මිය ගොස් ඇත.

ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ පියා වූ ස්වීඩන් ජාතික, ඉම්මානුවෙල් නොබෙල්, ඉංජිනේරුවෙකු, නව නිපැයුම්කරුවෙකු මෙන් ම සාර්ථක ව්‍යාපාරිකයෙකු ද වූ අයෙකි. දහනමවන ශත වර්ෂය මැද දී රුසියාවට සංක්‍රමණය වූ ඉම්මානුවෙල්, එවකට එරට සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සම්බන්ධ වී වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් රුසියාවේ ආරම්භ කළේය. රුසියාව 1853 වර්ෂයේ සිට මැදිහත්වූ “ක්‍රිමියානු” යුද්ධයේ දී, රුසියානු යුද හමුදාවට වෙඩි බෙහෙත් ඇතුළු වෙනත් පුපුරණ ද්‍රව්‍ය සැපයීම මගින් ඉම්මානුවෙල් විශාල ධනස්කන්ධයක් උපයා ගත්තේ ය. එහෙත් 1856 දී පමණ යුද්ධය අවසන් වීමත් සමගම ඔහුගේ ව්‍යාපාරය අකර්මන්‍ය තත්ත්වයට පත් විය. මේ වන විට තරුණයෙකුව සිටි ඇල්ෆ්‍රඩ් නෝබෙල්, රුසියාවේ පීටර්ස්බර්ග් නගරයේ උසස් අධ්‍යාපන ආයතනයක රසායන විද්‍යාව ඉගෙන ගනිමින් සිටි අතර පසුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයට ගොස් වෙඩි බෙහෙත් පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට පටන්ගත්තේ ය. 

ඒ වන විට, කාර්මික විප්ලවයේ ප්‍රතිඵල ලෙස බිහි වූ නව නිපැයුම් සඳහා ගල් අඟුරු අත්‍යවශ්‍ය ඉන්ධනයක් බවට පත් වී තිබුණි. ගල් අඟුරු ආකර ඇති ප්‍රදේශවල පතල් හාරා අභ්‍යන්තරයේ ඇති ගල් අඟුරු නිධි කඩා ගත යුතු වූ නමුත් ඒ සඳහා වෙඩි බෙහෙත් භාවිත කිරීම මහත් අන්තරායකාරී ක්‍රියාවක් විය. 

“නයිට්‍රෝ ග්ලිසරීන්” (Nitro glycerine) නමැති තවත් පුපුරන ද්‍රව්‍යයක් වෙනත් පර්යේෂකයෙකු විසින් සොයාගෙන තිබුණු නමුත් එහි අධිකතර ගාමක බලයත්, ගබඩා කර තැබීම අනතුරුදායක නිසාත්, ගල් අඟුරු ආකරවල භාවිත කළ නොහැකි විය. තම රසායන විද්‍යා පර්යේෂණවල නියැලී සිටි ඇල්ෆ්‍රඩ්, “නයිට්‍රෝ ග්ලිසරීන්” වෙනත් අක්‍රීය ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කර අන්තරායකාරී බවෙන් අඩු මිශ්‍රණයක් නිපදවීම අභිමතාර්ථය කර ගනිමින්, විවිධ පර්යේෂණ කළේය. 

එසේ කළ පර්යේෂණයක් අතරතුර සිදු වූ මහා පිපුරුමකින්, ඇල්බට් ගේ සහෝදරයෙකු වූ එමිල් ද තවත් කිහිප දෙනෙකු ද මිය ගියහ. ඒ 1864 දී ය. මෙයින් ද පසුබට නොවූ, ඇල්ෆ්‍රඩ් නෝබෙල් තම පර්යේෂණ තවදුරටත් කරගෙන ගොස් 1867 දී, ඒක සෛලීය ඩයටම් ජීවී සෛල බිත්ති අවශේෂ බහුල, “ඩයැටෝමේශියස් අර්ත්” (diatomaceous earth) නමින් හැඳින්වූ සියුම් අවසාදිත මුහුදු වැලි, පාදක කර ගනිමින් “නයිට්‍රෝ ග්ලිසරීන්” අන්තර්ගත කළ හැකි මිශ්‍රණයක් නිපදවා ගත්තේය. මෙය ඉතාමත් සාර්ථක ආරක්ෂාකාරී පුපුරන ද්‍රව්‍යයක් විය. ඔහු මෙම නව රසායන මිශ්‍රණය “ඩයිනමයිට්” (Dynamite) ලෙස නම් කළේ ය. ග්‍රීක් භාෂාවෙන් dynamis ලෙස හැඳින්වෙනුයේ බලය (power) යන අර්ථයයි. 

ඉතා ඉක්මණින්ම ජනප්‍රිය වූ මෙම ආරක්ෂාකාරී පුපුරණ ද්‍රව්‍යය, ගල් අඟුරු ආකාරවල භාවිතය සඳහා බහුලව යොදා ගන්නා ලද අතර ඇල්ෆ්‍රඩ් නොබෙල් ටික කාලයකදීම අති විශාල ධනස්කන්ධයක හිමිකරුවෙකු බවට පත්විය. භූගත ගල් අඟුරු ලබාගැනීම සඳහා තම නිෂ්පාදනය භාවිත කිරීම මිනිස් සංහතියටම සෙතක් අත්පත් කර දෙන බව, ඇල්ෆ්‍රඩ් නොබෙල් තදින්ම විශ්වාස කළ ද, ඩයිනමයිට් නිසා මිනිස් ජීවිත විනාශ වීම සම්බන්ධව බොභෝ මතභේද ඉස්මතු වන්නට විය. විශේෂයෙන්ම සමහර පුවත්පත්, මෙම නිෂ්පාදනය විවේචනයට භාජන කළේය. 

මේ අතරතුර ඇල්ෆ්‍රඩ් ගේ තවත් සහෝදරයෙකු හදිසියේ ම මිය ගියේය. මෙම ආරංචිය වැරදි ආකාරයකට තේරුම් ගත් ප්‍රංශ පුවත් පතක්, එසේ මිය ගියේ ඇල්ෆ්‍රඩ් යැයි වරදවා අදහස් කර (Le marchand de la mort est mort) “මිනිස් ඝාතන වලට මග පෑදූ වෙළෙන්දා මියයයි” යන සිරස් තලය යටතේ ලිපියක් පළකර තිබුණි. ඇල්ෆ්‍රඩ් නොබෙල් මෙම සිද්ධිය නිසා මහත් කනස්සල්ලකට පත්විය. 

විවාහ නොවී තනිකඩයෙකු ලෙස ජීවත් වූ ඇල්ෆ්‍රඩ්, තමාට මහත් අවමානයක් කළ පුවත් පත පිලිබඳව ඇති වූ කනස්සල්ල මග හරවා ගැනීම සඳහා හොඳම මාර්ගයක් ගැන කල්පනා කළේය. “ඩයිනමයිට්” අලෙවි කර ඔහුට මෙතෙක් ලැබී ඇති මහා ධනස්කන්ධයත්, ඉදිරියේ දී ලැබිය යුතු ධනයත් මානව සංහතියේ අභිවෘද්ධිය සඳහාත් විශේෂයෙන් ම ලෝක සාමය සඳහාත් යෙදවීම තමාගේ යුතුකම බව ඔහු තේරුම් ගත්තේ ය. තම අන්තිම කැමති පත්‍රය ඒ අනුව සකස් කළ ඇල්ෆ්‍රඩ් නොබෙල්, වසර 63 ක් ආයු වළඳා 1896 දී මිය ගියේය.

ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ නමින් ම පිදෙන නොබෙල් ත්‍යාග පරිපාලනය කිරීමට පහත සඳහන් ආයතන ඔහු විසින් නම් කර තිබුණි.

  • ස්විඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය: භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පිලිබඳ ත්‍යාග 

  • ස්විඩිනයේ සොලෝනා විශ්ව විද්‍යාලයයේ කැරොලින්ස්කා ආයතනය: වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව පිලිබඳ ත්‍යාගය

  • ස්වීඩන් ඇකඩමියේ භාෂා අංශය: සාහිත්‍යය පිලිබඳ ත්‍යාගය 

  • නෝර්වීජියානු පාර්ලිමේන්තුවට අනුබද්ධ ආයතනය: සාමය පිලිබඳ ත්‍යාගය 

මෙම පැවරීම් වලට පසුව නොබෙල් ත්‍යාග පිරිනැමීමේ කටයුතු පරිපාලනය සඳහා “නොබෙල් පදනම” පිහිටුවන ලදී. ආරම්භයේදී නොබෙල් ත්‍යාග අරමුදල, ස්විඩීන ක්රෝනා මිලියන තිස් එකකට අධික විය. 

පළමුවෙනි නොබෙල් ත්‍යාග ප්‍රදානය පවත්වන ලද්දේ 1901 වර්ෂයේ දී ය. මෙහි දී X කිරණ සොයාගත් Conrad Röntgen කොන්රඩ් රොන්ට්ජන් භෞතික විද්‍යාව සඳහාත්, ශාකවල ආස‍්‍රැති පීඩනය සොයාගත් Vant Hoff වැන්ට් හොෆ් රසායන විද්‍යාව සඳහාත් ත්‍යාග ලැබූහ. පළමුවෙනි නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ වරයා වූ හෙන්රි ඩුනාන්ට් Henry Dunant ට ය. 

පසුව 1968 සිට ආර්ථික විද්‍යාව සඳහා ද, ස්වෙරිජස් රික්ස්බෑන්ක්” හෙවත් ස්වීඩනයේ මහ බැංකුව මගින් නොබෙල් ත්‍යාගය හා සමාන ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කරන ලදී. මෙම ත්‍යාගය ද නොබෙල් ත්‍යාගයක් වශයෙන් පිළිගෙන එහි පරිපාලන කටයුතු ද, නොබෙල් පදනම වෙත පවරා තිබේ.

ආරම්භයේ සිට 2021 වර්ෂය දක්වා, ආර්ථික විද්‍යාව සඳහා වන ත්‍යාගය ද ඇතුළුව නොබෙල් ත්‍යාග 975 ක් සම්මානලාභීන් 609 දෙනෙකුට ප්‍රදානය කර තිබේ. අදාළ කේෂේත්‍ර සීමාවේ සිට සමස්ත මානව සංහතියේ අභිවෘද්ධිය සඳහා ඉවහල්වන උත්කෘෂ්ඨ සේවයක් වෙනුවෙන් පමණක් පිරිනැමෙන මෙම සම්මාන ලාභීන් අතර හැටදෙනෙකු කාන්තාවෝ වෙති. සම්මාන වැඩි ප්‍රතිශතයක් හිමිවී ඇත්තේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍ර වල කර ඇති අද්විතීය නව සොයාගැනීම් සහ නව නිපැයුම් සඳහා ය. මොවුන් අතරින් මාරි කියුරි (Marie Curie) විද්‍යාඥවරිය, 1903 දී භෞතික විද්‍යාව සහ 1911 දී රසායන විද්‍යාව යන විෂයය ක්ෂේත්‍ර දෙකට නොබෙල් සම්මාන දෙකක් ලබා වාර්තාවක්ද පිහිටුවා ඇත. 

නොබෙල් ත්‍යාග සඳහා පිරිනමනු ලබන සුවිශේෂී රන් පදක්කම පහත දැක්වේ. 

නොබෙල් ත්‍යාග සඳහා පිරිනමනු ලබන සුවිශේෂී රන් පදක්කම 


මෙහි මූණතේ ඇත්තේ ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ රුවයි. එහි දකුණු පැත්තේ, ඔහුගේ උපත සහ මරණය සිදුවූ වර්ෂ රෝම ඉලක්කම්වලින් සඳහන් කර ඇත. එකක් 200 g බරින් සහ විෂ්කම්භය 66 mm ක් වූ, මෙම රන් පදක්කම් 1980 වර්ෂය දක්වා නිර්මාණය කර ඇත්තේ, කැරට් 23 රත්‍රන් වලිනි. පසුව ඒවා කැරට් 18 ප්‍රතිචක්‍රීය කරන ලද රත්‍රන් වලින් සෑදීමට පියවර ගෙන තිබේ. 

විවිධ ක්ෂේත්‍රයන්හි නොබෙල් ත්‍යාග පිළිබඳ තීරණ ගැනීමේදී නොයෙකුත් මති මතාන්තර සහ මතභේද වලට තුඩු දුන් අවස්ථාද එමටය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම නෝර්වීජියානු බලධාරීන් ඒවා සමථයකට පත්කර අවසාන තීරණ ගෙන තිබේ. මෙවැනි සිදුවීම් සහ වෙනත් සුවිශේෂී ඇගයීම් කිහිපයක් පහත දැක්වේ. 

  • රසායන විද්‍යාව සඳහා 2019 දී නොබෙල් සම්මානය දිනූ ජෝන්. බී. ගූඩ්ඉනෆ්, එවකට වයස අවුරුදු 97 ක වයෝවෘද්ධයෙක් විය. මොහු නොබෙල් සම්මානයක් දිනු වැඩිමහලුම පුද්ගලයා ය.

  • පාකිස්තානු ජාතික මලාලා යුසෆ්සායි වයස අවුරුදු 17 දී නොබෙල් සාම සම්මානය ලබා, වයසින් අඩුම සම්මානලාභිණිය වූවා ය. 

  • ත්‍යාග සඳහා නම් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වූ නිසා, “මරණයට පසු සම්මාන” (posthumous awards) ලැබූ සම්මානලාභීන් තිදෙනෙකු ගැන ද සඳහන්වේ.

  • 1939 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර තිබුණු ඇඩොල්ෆ් හිට්ලර්, දෙවන ලෝක යුද්ධයේ දී මිනිස් සමුලඝාතනවලට මුල්වූ පුද්ගලයා බව ඔප්පු වීමෙන් පසු, ඔහුගේ නාම යෝජනාව ඉවත් කරන ලදී.

  • නොබෙල් ත්‍යාග හිමිවූ දෙදෙනෙකු එම ත්‍යාග ප්‍රතික්ෂේප කර ඇති අතර, නොයෙකුත් හේතු නිසා තවත් සිව් දෙනෙකුගේ ත්‍යාග අහිමි කර තිබේ.

  • මියන්මාරයේ අවුන් සාන් සුකී (Aung San Suu Kyi) සහ තවත් දෙදෙනෙකු නොබෙල් ත්‍යාග ලාභීන් වන විට, තම රටවල දේශපාලන සිරකරුවන් වී සිටියහ.

  • නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ සුදු කළු භේදය ඉවත් කිරීමට මූලික වීම නිසා ද, අමෙරිකා එක්සත් ජනපදයේ බැරැක් ඔබාමා සාමය සඳහා ජාත්‍යන්තර සහයෝගය ගොඩනැගීම වෙනුවෙන් ද, නොබෙල් සාම ත්‍යාගය ලැබූ රාජ්‍ය නායකයෝ දෙදෙනෙකි. 

  • එමෙන්ම බෞද්ධ නායකයෙකු වන 14 වැනි දලයි ලාමා තුමා සහ කතෝලික සාන්තු වරියක ලෙස නම්කර ඇති, තෙරේසා මව්තුමිය ද නොබෙල් සාම ත්‍යාග ලැබූ ආගමික නායකයින් අතර වෙති. 

  • 1948 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර සිටි භාරතයේ මහා මානව හිතවාදියා වන මහත්මා ගාන්ධි, එම තේරීම් ප්‍රසිද්ධියට පත්කිරීමට දින දෙකකට පෙර, සාහසිකයෙකුගේ වෙඩි පහරින් මියගිය නිසා, ත්‍යාගය පිරි නැමීම අත්හිටවන ලදී.

  • ලෝකප්‍රසිද්ධ “ගීතාංජලි” කාව්‍ය සංග්‍රහය උදෙසා 1913 දී, රවීන්ද්‍රනාත් තාගෝර් මහා කවියාට සහ, “මිනිස් සාරධර්ම ඇගයීම” පිලිබඳ කෘතියට සහ චතුර කථිකත්වය උදෙසා වින්ස්ටන් චර්චිල් දේශපාලනඥයාට 1953 දී ද, සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාග හිමිවී තිබේ. 

  • “සාපේක්ෂතා වාදය” ලොවට හඳුන්වා දුන් විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්ට 1922 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබී ඇත්තේ “ප්‍රකාශ විද්‍යුත් ආචරණය” පිලිබඳ සොයා ගැනීම් සඳහා ය. 

මිනිසාගේ අභිවෘද්ධියට අහිතකර, “අසම්මත” ද්‍රව්‍යයක් ලෙස ශිෂ්ඨ සමාජයේ ගැරහීමට ලක්වූ “වෙඩි බෙහෙත්” අලෙවියෙන් ලබාගත් මහා ධනස්කන්ධය, එම්මානුවෙල් නොබෙල් ගේ අවෑමෙන්, ඔහුගේ පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් නොබේල්ට අයිති විය. ගල් අඟුරු ආකාරවල භාවිතය සඳහා වෙඩි බෙහෙත් අනාරක්ෂිත පුපුරණ ද්‍රව්‍යයක් නිසා ඇල්ෆ්‍රඩ් තව දුරටත් තම පර්යේෂණ කටයුතු මෙහෙයවා, ආරක්ෂාකාරී “ඩයිනමයිට්” සොයා ගත්තේය. කාර්මික යුගයේදී ඉතාමත් බහුල ලෙස භාවිත කළ ඩයිනමයිට් නිසා ඇල්ෆ්‍රඩ් ගේ ආදායම දෙතුන් ගුණයකින් වැඩි විය. වෙඩි බෙහෙත් සහ ඩයිනමයිට් යන ද්‍රව්‍ය දෙකම පුපුරන ද්‍රව්‍ය වූවත්, ඒවායින් මිනිස් සංහතිය සඳහා ලැබී ඇති ප්‍රතිලාභ මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. තම නිෂ්පාදන වලින් ඉදිරියේ දීත් මිනිස් සංහතියටම සෙතක්ම අත්පත් කර දෙන බව, ඇල්ෆ්‍රඩ් නොබෙල් තදින්ම විශ්වාස කළේය. විද්‍යා ගවේෂණ ගැන විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු, නුදුරු අනාගතයේදීම ලෝක සාමය උදාවී, සමානාත්මතාවය ලොව පුරා පැතිරී යා යුතු බව තදින්ම විශ්වාස කළේය. මේ නිසාම ඔහු තම ධනය සම්පූර්ණයෙන්ම සදා අනුස්මරණීය නොබෙල් ත්‍යාග සඳහා වෙන්කරන ලදී. විශේෂයෙන්ම විද්‍යා ගවේෂණ වෙනුවෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යන අංශ තුන සඳහා ත්‍යාග තුනක් වෙන් කරනලද්දේ ඒ සම්බන්ධයෙන් ඔහු තුල පැවති මහත් ගෞරවය නිසාමය. සාහිත්‍යය සහ සාම ත්‍යාග වලින් අදහස් කරන ලද්දේද ලෝක සාමය උදෙසා කරනු ලබන මෙහෙවර ඉහලින්ම ඇගයීමකි. 

දයාරත්න වීරසේකර 

(පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි) 

 


Wednesday, 5 October 2022

'රාජකීය අත්වැරැද්ද' නිසා මුළු රටම පාරිසරික අර්බුදයක....!

 ‘රාජකීය අත් වැරැද්ද’ නිසා මුළු රටම පාරිසරික අර්බුදයක…!

ජපානයේ හිරෝහිතෝ අධිරාජයා,1926 වසරේ සිට 1989 දක්වා . රාජ්‍ය පාලනයේ යෙදෙමින් සාගර ජෛව  විද්‍යාඥයෙකු ලෙසද මහත් ප්‍රසිද්ධියට පත්විය. ඔහුගේ එකම පුත්‍රයා වූ ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයාද, තම පියාගේ අඩිපාරේ යමින් ජීව විද්‍යාව සම්බන්ධව මහත් උනන්දුවක් දැක්වීය. පාසල් කාලයේ සිටම ඔහු මත්ස්‍ය ජීව විද්‍යාව පිලිබඳ   සිත් යොමු කළ අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුවද, විද්‍යාත්මක මත්ස්‍ය අධ්‍යයනය ඔහුගේ විනෝදාංශය බවටද පත්විය.

ජපානයේ අනාගත ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයා 1960 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා පිටත් විය. එවකට ඔහුගේ වයස අවුරුදු 26 කි. මෙම සංචාරයේදී ඔහු චිකාගෝ නගරයට පැමිණි අවස්ථාවේදී  එම නගරයේ නගරාධිපති  වූ  රිචර්ඩ් ඩේලී විසින් ඔහු රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පිළිගන්නා ලදී. ඩේලීද මත්ස්‍ය අධ්‍යයනයේ යෙදෙමින් මත්ස්‍ය අභිජනනය පිලිබඳ පර්යේෂණ කරන්නෙකු වීම නිසා, ඔවුන් දෙදෙනාට අහම්බෙන් මෙන් මත්ස්‍ය චර්යා පිලිබඳ බොහෝ අධ්‍යයන කිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් විය. ලෝක ප්‍රසිද්ධ ‘Shedd මින්මැදුර’ පිහිටුවා ඇත්තේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ  නගරයේය. ඩේලි නගරාධිපති වරයාගේ ආරාධනය පරිදි නගරයේ වැදගත්ම ස්ථානයක් වන මින්මැදුර නැරඹීමට ගිය  අකිහිතෝ කුමරු, එහි සිටි විවිධ මත්ස්‍ය විශේෂ දහස් ගණනක් දැක බලා ගැනීමෙන්  මහත් අමන්දානන්දයට පත්විය. 

තම රාජකීය මිතුරාගේ සහ තමන්ගේත්  අධ්‍යයන විෂයය පථයට බොහෝ සේ සමීප, මිරිදිය මත්ස්‍ය තොගයක් තෑග්ගක් වශයෙන් කුමාරයාට පිරිනැමීමට නගරාධිපතිවරයා එවලේම තීරණය කළේය. අකිහිතෝ කුමරුද  මෙම අදහසට මහත් ප්‍රසාදය පළකළේය. මේ අවස්ථාවේදී, නගරාධිපති වරයා විසින් කුඩා අතංගුවක්  භාවිත කර එක් මත්ස්‍ය තටාකයකින් අල්ලා ගත් සිත් ඇදගන්නාසුළු මත්ස්‍යයින් 18 දෙනෙකු කුමාරයාට තෑගී කළේය. 

Bluegill "නිල් කරමලයා" Ruby Barb "බුලත් හපයා"

මෙසේ තෑගි ලැබුණේ,  උතුරු ඇමරිකාවට ආවේණික, විශේෂයෙන්ම පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බහුල, එමෙන්ම ඉතාමත් ජනප්‍රිය Bluegill “නිල් කරමලයා” (Lepomis macrochirus)  ලෙස හැඳින්වෙන ගංගා, විල් සහ පොකුණු වල ජීවත් වන අලංකාර මිරිදිය මත්ස්‍ය විශේෂයෙකි. මෙම මත්ස්‍යයා පෙන්සිල්වේනියා ප්‍රාන්ත රජයේ නිල මත්ස්‍යයා වීමද විශේෂත්වයකි. මෙම මත්ස්‍ය විශේෂය ආසියානු රටවලට ආවේණික මත්ස්‍ය විශේෂයක් නොවේ. එහෙත් ආසියානු කලාපයේ බහුල  Ruby Barb, “බුලත්හපයා ” (Pethia nigrofasciata), හැඩරුවෙන් නිල්  කරමලයාට තරමක් සමීප වුවත් ශරීර ප්‍රමාණයෙන් කුඩා  මත්ස්‍යයෙකි. 

“මාහට ඇමෙරිකා සංචාරයේදී ත්‍යාගයක් වශයෙන් ලැබුණු Bluegill  මත්ස්‍ය තොගය නිසා මත්ස්‍ය අභිජනනය පිලිබඳ මාගේ උද්‍යෝගය දෙගුණ තෙගුණ වුවා.  මා ජපානයට සේන්දු වූ විගසම, රජ මාලිගය වටා ඇති පෞරාණික මිරිදිය අගල පිළිසකර කරවා, එය මත්ස්‍යාගාරයක් ලෙස සකස් කර, මේ මත්ස්‍ය තොගය දිය අගලේ සුරතල් මසුන් ලෙස ඇතිකිරීමට පියවර ගන්නට බලාපොරොත්තු වෙනවා” 

යයි, උද්‍යෝගිමත් තරුණ මත්ස්‍ය විද්‍යාඥයෙකු වූ, අකිහිතෝ කුමාරයා, අමෙරිකාවෙන් පිටත් වීමට පෙර   චිකාගෝහි ‘Tribune’  පුවත් පතට ප්‍රකාශයක් කර තිබේ.


පැසිෆික් සාගරයට ඉහලින්  චිකාගෝ සිට ටෝකියෝ දක්වා දිගු ගුවන්   ගමනට නිරුපද්‍රිතව ඔරොත්තු දුන්නේ තෑගී ලැබුණු මත්ස්‍යයින් 15 දෙනෙකු පමණකි. වහාම මෙම මත්ස්‍යයින් රැක බලා ගැනීම  සහ අභිජනනය සඳහා සූදානම් කිරීම පිණිස, ජපානයේ ජාතික ධීවර ආයතනයට කුමාරයා විසින් භාරදෙන ලදී. ඔවුන් විසින් අභිජනන කාර්යාවලිය ඉතාමත් සාර්ථකව සිදු කරන ලදුව, මාස කිහිපයකදීම bluegills මාලුපැටවුන් සිය  ගණනක් ලබාගත හැකිවිය. 1961 වර්ෂය මුලදී පළමු මත්ස්‍ය පැටව් තොගය, නවීකරණය කරනලද ආරක්ෂක දිය අගලට මුදාහරින ලදී. විලෝපීයයන් කිසිවෙක් නොමැති කම නිසාත්, හොඳින්ම පෝෂණය ලැබීම  නිසාත්, විශේෂයෙන්ම රාජකීය ‘හස්තයක’ බලපෑම නිසාත්   මෙම විදේශීය මත්ස්‍යයින් ඉක්මණින්ම වර්ධනය වන්නට විය. එහෙත් දිය අගලේ කෘතීම පරිසරයේ මත්ස්‍ය අභිජනන වේගය අඩු බව පසුව පෙනී ගියේය. මේ නිසා මත්ස්‍ය පැටවුන් ස්වාභාවික පරිසර පද්ධති වලටද මුදා හැරීම ගැනද සිත් යොමු  කරන්නට සිදුවිය. මෙතෙක් කල් ජපානයේ දකින්නට නොලැබුණු, රටට ආවේණික  එම හැඩහුරුකම ඇති වෙනත්  මත්ස්‍යයින්ට  වඩා ප්‍රමාණයෙන් විශාල, සිත් ඇදගන්නාසුළු  වර්ණයෙන් යුත් මෙම bluegills ඉක්මණින්ම කාගේත් ආකර්ෂණයටද ලක්විය. 

ඔටුන්න හිමි අකිහිතෝ කුමරුන් විසින් රටට හඳුන්වා දුන් මත්ස්‍යයෙකු නිසා මොවුනට ‘කුමාර මත්ස්‍යයා’ (prince fish) යන අන්වර්ථ නාමයක්ද පටබැඳිණි. ‘කුමාර මත්ස්‍යයා’ ජපානයට හඳුන්වා දීම වෙනුවෙන්  ගෞරව කිරීමේ සංකේතයක් වශයෙන් වසර කිහිපයකට පසු,  අකිහිතෝ කුමාරයාගේ තොරතුරු සහ එම මත්ස්‍යයාට  ‘කුමාර මත්ස්‍යයා’ (prince fish) යන නම පට බැඳීමට හේතුවද සටහන් කර විශාල ශෛලමය ඵලකයක්ද, ස්මාරකයක් වශයෙන්  මුහුදු වෙරළ  ආසන්නයේ  ස්ථාපනය කරන ලදී. 1966 වසර වන විට bluegills පැටවුන් ජපානයේ විශාල ජලාශ කිහිපයකට සහ වෙනත් මිරිදිය ප්‍රභව වලටද   මුදා හරින ලදී. ස්වාභාවික ජලාශවල ඇති ප්‍රශස්ත පාරිසරික සාධක නිසා මත්ස්‍ය අභිජනනයද  වේගයෙන් සිදුවිය.                                                                                   

මේ කාලයේ ජපානයේ සිටි ප්‍රධාන පෙළේ මත්ස්‍ය පර්යේෂණ විද්‍යාඥයෙකු වූ  නකායි කට්සුකි (Nakai Katsuki) විසින් ජපානයට අලුතින් හඳුන්වාදුන් Bluegills මත්ස්‍යයින් පිළිබඳව තම නිරීක්ෂණ ප්‍රකාශයට පත්කර තිබුණේ මෙසේය.                                                                                      “මේ දක්වා ජපානයේ ආක්‍රමණශීලී මත්ස්‍යයින් පිලිබඳ කිසිම හෝඩුවාවක්වත් නොමැත. අලුතින් බෝ කරන ලද අලංකාර මත්ස්‍ය විශේෂය වන Bluegills  ඔවුන්ගේ භෝජන විලාසය අනුව අනිකුත් දේශීය මත්ස්‍ය විශේෂ වලට කිසිම ආකාරයකින් හානිදායක නොවෙති. එමෙන්ම ඔව්හු මත්ස්‍ය භක්‍ෂකයෝද නොවෙති.” 

මේ ආකාරයට තවත් වසර කිහිපයක් ගතවිය. Bluegills  මත්ස්‍යයින් පිළිබඳව උනන්දුවද ක්‍රමයෙන් තුනීවී ගියේය.  

රජ මාලිගය වටා පිහිටි කෘතීම දිය අගල් පරිසරයේ  Bluegills   ගහණ ඝනත්වය  ක්‍රමක්‍රමයෙන් අඩුවී ගියේය. එහෙත් ස්වාභාවික ජලාශවලට සහ වෙනත් මිරිදිය ප්‍රභව වලට මුදා හරින ලද  මත්ස්‍යයින්ගේ ගහණ ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහල යන බව නිරීක්ෂණය කරන ලදී. එපමණක් නොව, එම මත්ස්‍යයින්ගේ කලින්  දකින්නට ලැබුණු සරල භෝජන රටාවද වෙනස් වී ඔවුන් ආහාර වශයෙන් ගත් ජලජ කෘමීන්, ප්ලැන්ක්ටන් සහ ජලජ ශාක වලට අමතරව කූනිස්සන් සහ දේශීය මත්ස්‍යයින්ගේ බිත්තරද බහුල වශයෙන් ආහාරයට ගන්නා බවද හෙළි විය. මේ ආකාරයට මොවුන්ගේ භෝජන විලාසය වෙනස් කිරීම සහ ඔවුන් විලෝපියයන්ගේ, ස්වරූපයක් ආරෝපණය කර ගැනීමත්,  දේශීය මත්ස්‍ය ගහණවල  පැවැත්ම සඳහා, බරපතල තර්ජනයක් වියහැකි බව විද්‍යාඥයින් විසින් බලධාරීන්ට ඒත්තු ගන්වන ලදී.  

මෙම නිරීක්ෂණය සම්බන්ධයෙන් තවදුරටත් කරනලද පරීක්ෂණ අනුව Bluegills ජපානයට ආක්‍රමණික මත්ස්‍ය විශේෂයක් බවට පරිවර්තනය  වී ඇති නිසාත්  ඔවුන්ගේ ව්‍යාප්තිය පාලනය කළ යුතු බව තීරණය කර, ඒ සඳහා අවශ්‍ය විධි විධානද  රජය විසින් පනවන ලදී. මේ අනුව 1999 වර්ෂයේදී රටපුරා ඇති මිරිදිය ජලාශ සහ වෙනත් ජලජ ප්‍රභව වල එම මත්ස්‍ය ව්‍යාප්තිය පිළිබඳව පුළුල් සමික්ෂණයක්ද  කරන ලදී. එහෙත් මේ වන විට, පාලනය කළ නොහැකි ආකාරයකට Bluegills මත්ස්‍ය ගහණය රටපුරා ව්‍යාප්ත වී ඇති බව හඳුනා ගන්නා ලදී. 

මේ වනවිට අකිහිතෝ කුමරු ජපානයේ අධිරාජයා බවට පත්වී සිටියේය. තමන් විසින් වසර 40 කට පමණ ඉහතදී, අමෙරිකාවෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස ජපානයට ගෙන එන ලද Bluegills විසිතුරු මත්ස්‍යයින් විසින් මේ වනවිට රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වයට කර ඇති බලගතු  විනාශය ගැන ඔහු මහත් කම්පාවට පත්විය. මෙම ව්‍යසනයෙන් රට බේරාගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම සඳහා අවශ්‍ය වන සියලු ප්‍රතිපාදන වහාම සකස් කර දෙන ලෙස ඔහු අදාල සියලුම නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.  මේ අනුව රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වය සුරැකීම සඳහාත් Bluegills මත්ස්‍ය ආක්‍රමණය මගහරවා ගැනීම සඳහාත් විවිධ විද්‍යාත්මක මෙන්ම වෙනත් පියවර ගැනද රටෙහිම අවධානය යොමුවිය. සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවේද වලින් ඔබ්බට ගොස් ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අභිජනනය පාලනය කිරීමේ ක්‍රමවේදයකින් මිස  මෙම ව්‍යසනය පාලනය කරගත නොහැකි  බව අවසාන තීරණය විය. රටෙහි මහජනතාව අතර, Bluegill මත්ස්‍යයින් වැඩිපුර ප්‍රමාණයක් ආහාරයට ගැනීම ජනප්‍රිය කරවීම සඳහාද විවිධ  ක්‍රමවේදද  ඉදිරිපත් විය. මේ අනුව ජපානයේ සමහර ප්‍රාන්ත වල, මිරිදිය ධීවරයින්ට   Bluegill මසුන් වැඩිපුර ඇල්ලීම දිරිමත් කිරීම සඳහා


මත්ස්‍ය කිලෝග්රෑම් එකකට ඩොලර් තුනක දිරි දීමනාවක් දීමටද පියවර ගන්නා ලදී.


එමෙන්ම විවිධ පර්යේෂණ ආයතන මගින් එම මසුන් ඇල්ලීම සඳහාත්, මත්ස්‍ය බිත්තර එකතු කිරීම සඳහාත් නව පන්නයේ උගුල්ද නිෂ්පාදනය කරන ලදී.

තවද ජලාශවල ධීවර කටයුතු සඳහා අලුතින් Bluegill මත්ස්‍ය ගහණ  ස්ථාපනය කිරීමද නීතියෙන් තහනම් කර, අනවසරයෙන් එසේ කිරීම ඩොලර් 1000 ක දඩයකටද යටත් කරන ලදී.


මේ කිසිම ක්‍රමවේදයක් සාර්ථක නොවූ බැවින් 2002 වර්ෂයේදී ජපානයේ පරිසර අමාත්‍යාංශය මගින් Bluegill ආක්‍රමණශීලී  මත්ස්‍ය විශේෂයක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. 

මේ අවාසනාවන්ත සිද්ධිය නිසා මහත් පසුතැවිල්ලට පත්වූ අකිහිතෝ අධිරාජයා 2004 වර්ෂයේදී, තමාගේ නොසැලකිලිමත් භාවය නිසා තම රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වයට සිදුවූ බරපතල හානිය පිළිබඳව ජාතියෙන් සමාව අයදින බව ප්‍රකාශයට පත් කළේය. 


මෙම ප්‍රකාශය හුවා දක්වමින් Japan Times පුවත්පත “අකිහිතෝ අධිරාජයා විසින් දශක හතරකට ඉහතදී තමා අතින් සිදුවූයේයැයි කියැවෙන, Bluegill මත්ස්‍යයින් රටට ගෙන ඒමේ සුළු වරද නිසා වූ මහා ව්‍යසනය පිළිබඳව අදද තම හදවත සලිත වන බව සඳහන් කර, ඒ වෙනුවෙන්   මේ ආකාරයට කණගාටු වෙමින් පසුතැවීම, ඉතාමත් නිරහංකාර රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ උතුම් ප්‍රතිචාරයක් බව සනිටුහන් කර තබමු.” යයි ප්‍රධාන ප්‍රවෘත්තියක්  පළකිරීමද සුවිශේෂී සිද්ධියකි. 


ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම උවදුර මැඩපැවැත්වීම සඳහා පිළිවෙත් සෙවීමෙහි නිරතවූ විද්‍යාඥයෝ පිරිසක් මේ ගැන වැඩි දුරටත් අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය දත්ත සොයාගැනීම පිණිස ඇමෙරිකාවට ගියහ. මොව්හු එහිදී ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශ වල සිටින Bluegill ගහණ රාශියක මත්ස්‍යයින්ගේ DNA සමග, ජපානයේ එම මත්ස්‍ය ගහණ 56 කගේ DNA සංසන්දනයක් කරන ලදී. මෙම අධ්‍යයනයේදී හෙළිදරව් වූ ඉතා වැදගත් විද්‍යාත්මක සාධකයක් වූයේ, ජපානයේ ව්‍යාප්ත වී ඇති සියලුම Bluegill නැතහොත්  ‘කුමාර මත්ස්‍ය’ (prince fish) ගහණ සියල්ලම 1960 වර්ෂයේදී අකිහිතෝ කුමාරයාට ඇමෙරිකාවේදී තෑගී ලැබුණු   Bluegill මසුන්  15 දෙනාගෙන්ම බෝවූ අය බව තහවුරු වීමයි. මෙයින් සෑහීමට පත්වූ ජපන් විද්‍යාඥයෝ ජාන තාක්ෂණයේ නවතම ක්‍රමවේදයක් භාවිත  කර මෙම ගැටලුව විසඳීමට තීරණය කළහ.


2012 වසරේදී පමණ ලොවට හඳුන්වා දී තිබෙන, ‘ජිනෝම සංස්කරණය’  (genome editing) නමැති ජාන තාක්ෂණයේ නව පිවිසුම   Bluegill මත්ස්‍ය පාලනය සඳහා යොදාගත හැකි බව ජපන් විද්‍යාඥයින්ගේ  අදහස විය.  ‘CRISPR-Cas9’ යන කෙටි යෙදුමෙන්  දැක්වෙන මෙම තාක්ෂණය, Clustered Regularly Interspaced Short Palindromic Repeats and CRISPR-associated protein 9” යන සංකීර්ණ විද්‍යාත්මක නාමයකින් විස්තර කර තිබේ. ඉතාමත් සංකීර්ණ මෙම තාක්ෂණයේ මුලධර්මය වනුයේ, යම්කිසි කාර්යයක් සඳහා තෝරාගන්නාලද ජීවියෙකුගේ DNA දාමයක,  එක්තරා ස්ථානයක ඇති යම්කිසි සුවිශේෂී ජානයක් ඉවත් කර,  ඒ වෙනුවට අවශ්‍ය කරන වෙනත් ජානයක් එම ස්ථානයට බද්ධ කිරීමයි. ජපානයේ Bluegill ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විද්‍යාඥයින් විසින් යෝජනා කරන ලද්දේ, ස්ත්‍රී ලිංගික  Bluegill මත්ස්‍යයින්ගේ DNA දාමයේ ‘බිත්තර දැමීමේ හැකියාව’ සඳහා ඇති ජාන ඉවත්කර ‘බිත්තර දැමීමට නොහැකි ලක්ෂණ සහිත’ ජානයක් බද්ධ කිරීමයි. මේ ආකාරයට ‘ජිනෝම සංස්කරණය’ කරනලද  ස්ත්‍රී ලිංගික මත්ස්‍යයින් පරිසරයට මුදාහළ විට, ඔවුන් අභිජනනයට භාජන වූවත් බිත්තර නොදමති. මේ ආකාරයට යෝජනා කරන ලද ජෛව පාලන ආකෘතිය පිළිගන්නා ලදුව, එය ක්‍රියාත්මක කිරීම සඳහා  රජයේ අනුමැතියද ලැබිණ. මේ සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සේ කරනලද  විද්‍යාගාර පර්යේෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන බවද හෙළිවේ. මෙම තාක්ෂණය මගින්ද සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා අඩුම වශයෙන්, මුළු රටෙහි සියලුම මිරිදිය ජලාශ, විල්, ගංගා ආදියෙහි සිටින ස්ත්‍රී ලිංගික Bluegill මත්ස්‍යයින්ගෙන් 7% කට වත් ‘ජිනෝම සංස්කරණ’ ප්‍රතිකර්මය යෙදිය යුතු බව සංකීර්ණ ගණනය කිරීම් මගින් අනාවරණය කර ගෙන තිබේ. දැනටමත් මේ ක්‍රමවේදය මගින් සැලකියයුතු මට්ටමක සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බව හෙළිදරව් වී ඇත.   නුදුරු අනාගතයේදීම මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් ජපානයේ වසංගතයක් මෙන් ව්‍යාප්තවූ  Bluegill මත්ස්‍ය උවදුර පාලනය කරගත හැකි වේයයි  විශ්වාසයක් තිබේ. 


අකිහිතෝ කුමාරයා විසින් 1960 වර්ෂයේදී Bluegill මත්ස්‍යයින් ජපානයට ගෙන ආ  කාලයේදී ගුවන් තොටෙහි දැඩි මත්ස්‍ය නිරෝධායන නීති රීති නොතිබෙන්නට ඇත. එසේ වුවත් මත්ස්‍ය ජෛව විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා තිබුණු ඔහු එසේ කිරිමේ තිබිය හැකි  ආදීනව පිලිබඳ හොඳින් දැනුවත් වී සිටින්නට ඇත. එසේ දැනුවත්ව සිටියදීත් ඔහු හුදෙක් විනෝදය සඳහාම සුරතල්  මත්ස්‍යයින් ආනයනය කිරීම මගින් රටට විශාල අලාභ හානියක් කර තිබේ. දශක හතරක් පහක් තිස්සේ විශාල ධනස්කන්ධයක් වැය කිරීමෙන් පසුව වුවද මෙතෙක් එම උවදුර සඳහා  තිරසාර පිළියමක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. මෙම ව්‍යසනය මැඩ පැවැත්වීම සඳහා ජපානයේ එක් ප්‍රාන්තයක කොටසක  පමණක් වැය කර ඇති අති විශාල මුදල් ප්‍රමාණය ගැන සිතා බැලීමෙන් පමණක් මෙම “රාජකීය අත්වැරැද්ද” නිසා රටට සිදුවී ඇති අලාභය සිතා ගත හැකිය. 2007 වර්ෂය වනවිට, ‘කුමාර මත්ස්‍ය’ ගහණය  මිලියන 25 පමණ වන්නට ඇතැයි ගණනය කර තිබේ. මේ වනවිට ජපානයේ විශාලතම මිරිදිය ජලාශය වන ‘බීවා විලෙහි’ (Biwa lake) සම්පූර්ණ මත්ස්‍ය ගහණයෙන් 90% පමණ Bluegill  ‘කුමාර මත්ස්‍යයින්’ වීමම  මහත් ඛේදවාචකයක් ලෙස සැලකේ. එම ප්‍රාන්තයේ මෙම ආක්‍රමණික මත්ස්‍යයින් ටොන් 420 පමණ  ඉවත් කිරීම සඳහා 2005 වර්ෂයේදී ඩොලර් මිලියන 1.2 ක් පමණ වැය කර තිබේ. දැනටද මෙම කාර්යය සඳහා වාර්ෂිකව ඩොලර් 270,000 ක් පමණ වියදම් වන බව වාර්තාවේ.


මිනිසා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගෙන තිබෙන මෙවැනි අනර්ථකාරී තීරණ නිසා ලෝකයේ තවත් රටවලද ජෛව විවිධත්ව ව්‍යසන සිදුවී තිබේ. තවත් හොඳම උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාව ගත හැකිය. ඕස්ට්‍රේලියා මහාද්වීපයට පැමිණි මුල් යුරෝපීය සංක්‍රමණිකයින් විසින් වරින් වර ගෙන එන ලද ඔටුවන්, හාවුන් වැනි ශාක භක්ෂක ක්ෂීරපායී සතුන් මෙන්ම, වල්වැදී ඇති බළලුන්ද, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව සඳහා ගෙනැවිත් වනාන්තර වලට මුදා  හරින ලද නරින්ද  මේ වන විට උග්‍ර ආක්‍රමණික සතුන් වී තිබේ. විශේෂයෙන්ම වල් වැදුණු  බළලුන් විසින් වර්ෂයකට ඔස්ට්‍ර්ලියාවේ පක්ෂීන් ඇතුළු කුඩා දේශීය සතුන් බිලියන දෙකක් පමණ දඩයම් කරන බව මෑතදී පුවත් පතක වාර්තා විය. 

මේ තොරතුරු ගැන සලකා  බලන විට ආක්‍රමණශීලී ශාක සහ සතුන් යන ජීවීන් දෙවර්ගයම නිසා ස්වභාවික ජෛව සමතුලිතතාව අවුල්වී යාමෙන් බොහෝ විට පරිහානියට මෙන්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පාන්නේ, අනුවර්තනය වීමේ හැකියාව අඩු දේශීය ජීවීන්ම වීම, මහත් කණගාටුදායක තත්ත්වයකි. මේ නිසා,  දැනට ලෝකයේ බොහෝ රටවල තදබල නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙමින් පාලනයක් සිදු කරනුයේ ඒ ඒ රටවල දේශීය වශයෙන් වැදගත් ජීවීන්ගේ සුභසිද්ධිය සඳහාම බව කාගේත් සැලකිල්ලට භාජන විය යුතුය. 

රාජකුමාරයෙකු විසින් අනිටු ප්‍රතිඵල  ගැන දැනුවත්ව සිට, අත්තනෝමතික ලෙස මත්ස්‍ය  විශේෂයක් එක්  රටක සිට තවත් රටකට ගෙන ගියත්, වැඩි උගත් කමක් නොමැති ගොවියෙකු විසින් නොදැනුවත්කම නිසා යම්කිසි කෘෂි භෝගයක් එක්  රටක සිට තවත් රටකට ගෙන ගියත්, අවසානයේදී වන්නේ එම ජීවීන් එසේ ගෙනයන ලද සත්ත්ව හෝ ශාක විශේෂ, රටට විපත්තිදායක ආක්‍රමණශීලීන් බවට පරිවර්තනය වීමයි.  

දයාරත්න වීරසේකර