Tuesday 8 February 2022

ලෝකයටම අමතකවූ “චන්ද්‍ර ශාක” (Moon trees)

‘ඇපලෝ 14’ අභ්‍යවකාශ ගමන සහ ශාක බීජ. 


පසුගිය 70 දශකයේදී ලොව පුරා මහත් සැලකිල්ලට ලක්වී තිබී, ඉක්මණින්ම අමතකවී ගිය වැදගත් සිද්ධියක් පිලිබඳ ලිපියක් මා  හට මෑතදී  කියවන්නට ලැබිණ. “චන්ද්‍ර  ශාක වලට කුමක් සිදුවීද?” (What happened to  Moon trees?) යන්න මෙම ලිපියේ මාතෘකාව විය. 70 දශකයේදී,  අපද ‘අභ්‍යවකාශ තරණය’ නමැති මිනිසාගේ අපූර්ව ව්‍යායාමය ගැන, ඉමහත් කුතුහලයකින් යුතුව අවධානය යොමු කළ බවද  මට වහාම මතකයට නැගුණි. 

මේ වූකලී සෝවියට් දේශය සහ බටහිර බලවතුන් අතර සීතල යුද්ධයක්ද  ලියලමින් පැවති සමයයි. පරමාණු බලශක්තිය, න්‍යෂ්ටික අවි භාවිතය, කලාපීය බල අධිකාරිය, අභ්‍යවකාශය ජයගැනීම   වැනි කරුණුද සීතල යුද්ධයට හේතු කාරක විය. මේ වන විට ලෝක බලවත්තු දෙපාර්ශවයම තරඟයට මෙන්  ‘අභ්‍යවකාශ තරණය’ සඳහා ආදාළ වන විවිධ පිවිසුම් අත්හදා බැලීමද  ආරම්භ කරමින් සිටියහ. සෝවියට් දේශයේ බොහෝ අභ්‍යවකාශ චන්ද්‍රිකා, ‘ස්පුට්නික්’ (sputnik) යන නමින්ද ඇමෙරිකා එකසත්  ජනපදයේ බොහෝ අභ්‍යවකාශ චන්ද්‍රිකා ‘ඇපලෝ’ (Apollo) යන නමින්ද පොදු ව්‍යවහාරයට පවා එක්විය. 


අපගේ විමසිල්ලට භාජන වන ‘චන්ද්‍ර  ශාක’ පිලිබඳ සිද්ධියට පාදක වනුයේ, 1971 ජනවාරි මස 31 වන දින කක්ෂ ගත කරන ලද ‘ඇපලෝ 14’ ඇමෙරිකානු චන්ද්‍රිකාවයි. මෙය ඇමෙරිකාව විසින් මිනිසුන් සඳ මතට යැවීම සඳහා සැලසුම් කරන ලද තුන්වන පරිශ්‍රමයයි. මේ සඳහා යොදාගත් අභ්‍යවකාශ යානයේ ගමන් කරන ලද්දේ ඇලන් ෂෙපර්ඩ්, එඩ්ගාර් මිචෙල් සහ ස්ටුවර්ට් රූසා නම්  ගගනගාමීන් තිදෙනාය. මොවුන් අතුරෙන්  ඇලන් ෂෙපර්ඩ් සහ එඩ්ගාර් මිචෙල් සඳ මතට ගොඩ බැස විවිධ පර්යේෂණ කරමින් අවශ්‍ය සාම්පල එකතු කර ගැනීමෙහි නිරත වූහ. මේ අතර ස්ටුවර්ට් රූසාගේ මෙහෙවර වූයේ, ඔවුන් ගමන් කළ ‘මව්  යානය’ නිර්දේශිත චන්ද්‍ර කක්ෂය ඔස්සේ නිරුපද්‍රිතව හැසිරවීමයි. 


ඇපලෝ 14 අභ්‍යවකාශ තරණයේ යෙදුනු ස්ටුවර්ට් රූසා

 

මෙම මෙහෙයුමෙහි සියලුම කාර්යයන් නියමිත වෙලාවට අපේක්ෂිත පරිදි සිදුවිය.


සම්ප්‍රදායක් වශයෙන් අභ්‍යවකාශ චන්ද්‍රිකාවක කක්ෂ ගතවන සෑම ගගනගාමියෙකුටම තමන් කැමති ‘පෞද්ගලික දේ’ ස්වල්පයක් තම ගමනේදී ‘සිහිවටන’ සඳහා ගෙනයාමට අවසර තිබේ. කෙසේ වෙතත් මේවා නියමිත ප්‍රමිති වලට අනුකූලව නිරෝධානයට ලක් කරණ අතර, එම දේවල් ගැන වැඩි ප්‍රසිද්ධියක් දෙනු නොලැබේ.


‘ඇපලෝ 14’ චන්ද්‍රිකාවේ නියමුවා වූ, ස්ටුවර්ට් රූසා, අභ්‍යවකාශ වැඩ සටහනට සම්බන්ධ වීමට පෙර ප්‍රබල පරිසර හිතකාමියෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු ඇමෙරිකා  එක්සත් ජනපදයේ වනාන්තර සංරක්ෂණ සේවයේ කටයුතු කළ අතර, ලැව් ගිනි මැඩ  පැවැත්වීමේ ක්‍රියාන්විත වලදී හෙලිකොප්ටරයක සිට පැරෂූටයකින් බැස ගිනි නිවීමට දස්කම් දැක්වූවෙකි. පරිසර කටයුතු වලට අදාළ යම් කිසිවක් ඔහුගේ  ‘පෞද්ගලික දේ’ ලෙස අභ්‍යවකාශ ගමනේදී ගෙනයාමටද ඔහුට  අවශ්‍ය විය. ශාක වර්ධනයේදී සිදුවන ස්වාභාවික සංසිද්ධි පිළිබඳව පාසැල් කාලයේදී උගත් සිද්ධාන්ත පිළිබඳව සිත් යොමු කළ රූසාට, ප්‍රරෝහණය වූ ශාක බීජයකින් හටගන්නා ‘බීජ පැලයක’ (seedling) මූල පද්ධතිය ගුරුත්වාකර්ෂණය නිසා පස තුළට වැඩෙන බවත් එහි කඳ කොටස ගුරුත්වාකර්ෂණයට විරුද්ධ දිශාවට වැඩෙන බවත් මතකයට නැගුණි. ඒ සමගම තමන්ගේ අභ්‍යවකාශ ගමනේදී දින කිහිපයක් තිස්සේ ඉතාමත් අඩු ගුරුත්වයක් සහිත කුටියක ගතකිරීමට සිදුවීමේදී සහ චන්ද්‍ර කක්ෂයේ ගමන් කිරීමේදී ශාක  බීජ වලට කුමක් සිදුවේද යන්නත් සොයා බැලීමට මෙය කදිම අවස්ථාවක් බවට ඔහුට හැඟී  ගියේය. මේ නිසා ඔහුගේ ‘පෞද්ගලික දේ’ සඳහා ලැබෙන මල්ලේ ශාක බීජද ගෙන යාමට තීරණය කළේය. මේ සම්බන්ධව ඔහු වනාන්තර සංරක්ෂණ සේවා ආයතනයේ ප්‍රධානියා ඇමතීය.


“ මම ස්ටුවර්ට් රූසා……., අපගේ අභ්‍යවකාශ ගමනේදී, මගේ පෞද්ගලික මල්ලේ ශාක බීජද ගෙනයාමට අදහස් කළා. මට අවශ්‍ය වී ඇත්තේ ක්ෂුද්‍රගුරුත්වය (microgravity)   බිජ ප්‍රරෝහණයේදී  බලපාන්නේ කෙසේද යන්න සොයා බැලීමටයි. මේ සඳහා මට උදව් කරන්න.” 


“ඔබට සුබ පතනවා. ඔබගේ අදහස ඉතාමත් කාලෝචිත එකක්. මගේ සහෝදර නිලධාරීන් සමගද සාකච්ඡා කර ඉක්මණින්ම ඔබ අමතන්නම්.”


රූසාගේ ඇමතුමට ආයතන ප්‍රධානියාගේ ප්‍රතිචාරය මෙසේ විය.

 

ටික වේලාවකට පසු නැවත රූසා ඇමතු වනාන්තර සංරක්ෂණ සේවා ප්‍රධානියා, 


“ඔබගේ ව්‍යාපෘතියට සහාය වීමට අප ඒකමතිකව තීරණය කළා. මේ සඳහා අපට මේ ප්‍රදේශවල බහුලව  වැවෙන දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ පහක,  ශක්‍ය (viable)  බීජ දෙතුන්සියයක් ලබාදිය හැකිය යි.” කීවේය. 


(යෝජිත පරිදි රූසාට ලැබුණු බීජ තොගයේ, 

  1. Loblolly pine - Pinus taeda,  

  2. Sycamore - Platanus occidentalis, 

  3. Sweetgum - Liquidambar styraciflua, 

  4. Redwood - Sequoia sempervirens සහ  

  5. Douglas fir - Pseudotsuga menziesii යන ශාකවල බීජ ඇතුළත් විය.)



අභ්‍යවකාශයේ ගෙනගිය බීජ සහ ඒවායින් හටගත්  බීජ පැළ 

 

Apollo 14 යානයේ  චන්ද්‍ර තරණ ආරම්භය නියමිත දිනයේ නියමිත වේලාවට සිදු විය. දින පහක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කළ යානය, පෙබරවාරි 5 වන දින චන්ද්‍ර කක්ෂයට සේන්දු විය. එදිනම ගොඩ බැසීමේ උප යානය මගීන් සඳ මත පිවිසි ඇලන් ෂෙපර්ඩ් සහ  එඩ්ගාර් මිචෙල් පැය පහක් තිස්සේ පාෂාණ සාම්පල එකතු කිරීම ඇතුළු තම කාර්යයන් නොපිරිහෙලා ඉටුකළහ. ඒ අතරතුර ස්ටුවර්ට් රූසා මව් යානය චන්ද්‍ර කක්ෂය ඔස්සේ මෙහෙයවන අතරම,  අවශ්‍ය ඡායාරූප ගැනීමෙහිද  නිරත විය. මේ ආකාරයට චන්ද්‍ර කක්ෂයේ වට 34 ක් යාමෙන් පසු, ඇලන් ෂෙපර්ඩ් සහ  එඩ්ගාර් මිචෙල් උප යානයට ඇතුල්වී එය  මව් යානයට පූට්ටු කර ගන්නා ලදී. ඉන්පසු පෘථිවිය කරා ආපසු ගමන ආරම්භ කළ ඔව්හු, පෙබරවාරි 9 වන දින, පැසිෆික් සාගරයේ සැමෝවා දූපත් අසල ස්ථානයකට පතිත වූහ. එහි සිට  ඔවුනට නිරුපද්‍රිතව ගොඩ බිමට ඒම සඳහා  සියලුම පහසුකම් සලස්වා තිබිණ. සැලසුම් කර තිබුණු ආකාරයට නිරෝධායන කටයුතු සහ විෂබීජ නාශක මගින් පවිත්‍ර  සේවා අවසන් කිරීමෙන් පසු, ගගන ගාමීන්ට, ගමන ආරම්භ කර දින දොළහකට පමණ පසු,  සුපුරුදු පෘථිවි පරිසරයට අවතීර්ණ වීමට හැකිවිය.


නිරෝධායන අවදියේදී කරන ලද එක්තරා පරීක්ෂණයකදී, රූසාගේ පෞද්ගලික දේ අඩංගු බෑගයේ තිබුණු ශාක බීජ සහිත මල්ල යම් කිසි හේතුවක් නිසා හදිසියේම පුපුරා ගියේය. මේ නිසා සමහර බීජ විනාශ වූ අතර, ඉතිරි බීජද සී සී කඩ විසිර ගියේය. අභ්‍යවකාශ ව්‍යාපෘතියට කෙලින්ම අදාළ සිද්ධියක් නොවන නිසා එයට වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණි. 


මෙම අවස්ථාවේදී එහි සිටි, වනාන්තර සංරක්ෂණ සේවා ආයතනයේ ජාන විද්‍යාඥයෙකු (geneticist) විසින් විසිරි ගිය හොඳ තත්ත්වයේ බීජ ස්වල්පයක් එකතුකර, ඒවායේ ප්‍රරෝහණ තොරතුරු ලබාගැනීම පිණිස, හූස්ටන්හි පිහිටි NASA ආයතනයේ විද්‍යාගාරයකට යොමු කරන ලදී. ඉතිරි බීජද රටෙහි විවිධ ප්‍රජා සංවිධාන සහ පළාත් පාලන ආයතන වලට බෙදා දෙන ලදී. අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණි මෙම බීජ වලින් ලැබෙන ශාක තම උද්‍යානවල ප්‍රදර්ශනය කර ඇපලෝ යුගයේ ගාම්භීර භාවය රැක ගැනීමට බොහෝ ආයතන උනන්දු වූහ. මුල් වසර කිහිපයේදී මෙම අද්විතීය වටිනාකමක් සහිත  ශාක පිළිබඳව බොහෝ අය විමසිලිමත් වූවත් ක්‍රමක්‍රමයෙන් ඒ ගැන උනන්දුව අඩු වී ගියේය. ස්ටුවර්ට් රූසා 1994 දී මිය ගිය පසු, චන්ද්‍ර ශාක සම්පූර්ණයෙන්ම වාගේ අමතක වී ගියේය. 


       

        ස්ථාන දෙකක ඇති “චන්ද්‍ර ශාක”  පිළිබඳව අටවා ඇති දැන්වීම් පුවරු.  


අනාගතයේදී   පාලක පරීක්ෂණ සඳහා ප්‍රයෝජනයට ගතහැකි වන පරිදි,  මෙම ව්‍යාපෘතියේ ‘චන්ද්‍ර බීජ පැළ’ සිටවූ සමහර ස්ථාන අසල,  අභ්‍යවකාශ ගත නොවූ එම විශේෂයේම බීජ පැළය බැගින්ද සිටුවන ලදී. සමහර උද්‍යාන වල එම, පැළ සිටවූ දිනය සමග එය චන්ද්‍ර ශාකයක් බවද සඳහන් නාම පුවරුද සවි කරන ලදී. එහෙත් කාලයාගේ ඉක්ම යාමත් සමග, 70 දශකයේදී  ලබාගත් එම අභිමානය ටිකින් ටික තුනී වී ගොස් අමතක වූ තත්ත්වයටම පත්විය. 


‘චන්ද්‍ර ශාක’ පිලිබඳ  පසු විපරම් 


  1. චන්ද්‍ර ශාක පිලිබඳ තොරතුරු කාළය නමැති කඩතුරාවෙන් වැසී  යද්දී, 1996 වර්ෂයේදී අහම්බෙන් සිදුවූ දෙයක් නිසා යළි මහජන අවධානයට ලක්විය. ඇමෙරිකාවේ Indiana ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලක ගුරුවරියක් වන ගොබ්ලේ   මහත්මිය තමන්ගේ තුන්වන ශ්‍රේණියේ සිසුන් සමග, තම පාසැල අවට  ප්‍රදේශයේ ඇති රූස්ස ශාක ගැන ව්‍යාපෘතියක නිරත වූවාය. මේ අතරතුර  දිනක පන්තියේ එක්  ශිෂ්‍යාවක්   ඇය වෙත පැමිණ,

Indiana ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලේ  සිසුන් අධ්‍යයනය කළ චන්ද්‍ර ශාකය 


“මිස්….අපේ ගෙවල් කිට්ටුව,  බාල දක්ෂිකා කඳවුරු භුමිය අසල ‘චන්ද්‍ර ශාකයක්’ තිබෙන බව අසල්  වැසියෙක් කිව්වා. ඒ ගහ මොකක්ද ?” යයි ඇසුවාය. 


මෙයින් තරමක් පුදුමයට පත්වූ ඇය, 


“මම නම්  ඒ ගැන දන්නේ නැහැ. අපි ලබන සතියේ ව්‍යාපෘති කාල ඡේදයෙදී එතැනට ගොස්  තොරතුරු ලබා ගනිමු” යයි  දරුවන්ට පැවසුවාය. 


ගිවිසගත් පරිදි ඊළඟ සතියේ ඇය  පන්තියේ දරුවන් සමග එතැනට ගියාය. ඔවුනට එතැනදී සාමාන්‍ය ප්‍රමාණයේ sycamore ගසක් දකින්නට ලැබුණි. ඒ අසල තිබුණු තරමක් දිරාපත්වූ පුවරුවක එය ‘චන්ද්‍ර ශාකයක්’ බව සඳහන් කර තිබුණි. 


ආපසු පාසලට පැමිණි ගොබ්ලේ මහත්මිය මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්  සකස් කිරීම පිණිස සිසුන් යොමු කරවීම සඳහා, ඒ පිලිබඳ  තොරතුරු අසා  NASA  ආයතනයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් යැව්වාය.


මෙම පණිවුඩය ලැබුණේ Maryland ප්‍රාන්තයේ පිහිටි.NASA ආයතනයේ  Goddard අභ්‍යවකාශ ගමන් පිලිබඳ මධ්‍යස්ථානයේ, ග්‍රහලෝක විද්‍යාඥයෙකු වන  ඩේව් විලියම්ස් ටය. මෙම චන්ද්‍ර ශාක පිළිබඳව ඔහු  කිහිප දෙනෙකුගෙන් විපරම් කළ නමුත් ඒ ගැන කිසිම  හෝඩුවාවක්වත්  දැනගැනීමට නොහැකි විය.  ඇපලෝ අභ්‍යවකාශ වැඩ සටහන ක්‍රියාත්මක වූ කාලයේදී එහි සේවය කර ඇති පැරැන්නෝද කිසිවෙක් මේ ගැන නොදත්හ. මෙයින් නොනැවතුණු විලියම්ස් තම  ආයතනයේ ඓතිහාසික තොරතුරු ඇතුළත් පුස්තකාලයේ විමර්ශන අංශයේ ඇති පැරණි දත්ත අවුස්සා බලා හෝ මෙම සිද්ධිය සම්බන්ධ කරුණු සොයා බැලීමට උත්සාහයක් ගත්තේය.


ඔහුගේ ප්‍රයත්නය බොහෝ දුරට සාර්ථක විය. ගගනගාමී ස්ටුවර්ට් වනසංරක්ෂණ ආයතනයෙන් ශාක බිජ ඉල්ලා සිටීම, එම බීජ ඇපලෝ 14 අභ්‍යවකාශ යානයේ ගෙනයාම, ආපසු ගෙන එන ලද බීජ මල්ල පුපුරායාම, ඉතිරි බීජ ප්‍රරෝහණය කිරීම, බීජ පැළ බෙදාහැරිම වැනි තොරතුරු රාශියක් එහි ඇති පැරණි ලියකියවිලි වල දකින්නට ලැබුණි. රෝපණය කරනලද චන්ද්‍ර ශාක හයක් පිලිබඳ තොරතුරු ස්වල්පයක්ද ඔහුට හමුවිය.  මේ අතර, ඒ කාළයේ පුවත් පතක පළවී තිබුණු චන්ද්‍ර ශාකයක් සිටුවීම පෙන්වන   පහත දැක්වෙන ඡායාරුපයක්ද හමුවිය.


මෙම තොරතුරු සපයාගත් විලියම්සන්, ඒ සියල්ලේ පිටපත්,  Indiana ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලේ  තුන්වන ශ්‍රේණියේ  ගුරුවරිය වන ගොබ්ලේ  මහත්මිය වෙත තැපෑලෙන් යවන ලදී. ඒ සමගම ඇයගේ උනන්දුව පිළිබඳව NASA ආයතනයේ ස්තුතිය පුද කිරීමේ ලිපියක්ද නිකුත් විය. දිගු කලක් තිස්සේ (වසර විස්සක් පමණ) අමතක වී ගොස් තිබුණු, ‘චන්ද්‍ර ශාක’ පිළිබඳ සිද්ධිය මින් පසු නැවතත් ලෝකයේ අවධානයට  යොමුවිය.

a woman digging a hole in the ground

                                  .

මෙය 1977 සැප්තැම්බර් මාසයේ  ‘Goddard News’ පත්‍රයේ පළවී  තිබුණු ඡායාරූපයකි.  



කුඩා දරුවන් සම්බන්ධකර ගනිමින් වුවද, පාසැලක කරනු ලබන ව්‍යාපෘතියක් මගින් රටෙහිම අවධානය යොමු කළහැකි, පාරිසරික මෙහෙයුමක්  දියත් කළ හැකි බවට මෙය හොඳම උදාහරණයක් ලෙස සැලකිය හැකිය. 


  1. මේ සම්බන්ධයෙන් තවත් කරුණු සොයා ගැනීම පිණිස උනන්දුවක් දැක්වූ විලියම්සන් විසින් තොරතුරු ඇතොත් විද්‍යුත් මාධ්‍යය  ඔස්සේ තමන් අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්  කරමින් අන්තර්ජාල පිටුවක්ද ආරම්භ කළේය. මෙයටද යහපත් ප්‍රතිචාර රාශියක් ලැබුණි.   


  1. මේ ආකාරයට ලැබුණු තොරතුරු අනුව චන්ද්‍ර ශාක සියයක්  සිටුවා තිබෙන ස්ථාන අනාවරණය කරගත හැකිවිය. මෑතදී කරන ලද සමීක්ෂණයකට අනුව මෙයින් 34 ක් දැනටමත් මැරී  ගොස් හෝ කපා හෙලිම නිසා අතුරුදහන් වී තිබේ. එසේ සිටුවා තිබී ශාක අතුරුදන් වූ ස්ථානවල රතුපැහැති තරු ලකුණක් සහිත  පුවරු තිබෙන අතර එම තරුවෙන් අදහස් කරන්නේ චන්ද්‍ර ශාකයක් තිබී අතුරුදන් වූ වගයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ දෙවන ශත සංවත්සරය, පැවැත්වූ 1976 වර්ෂයේදී, එම සැමරුම නිමිතිකර ගනිමින්  රෝපණය කරන  ලද චන්ද්‍ර ශාකද රාශියක් තිබේ. දෙවන ශත සංවත්සරයට සම්බන්ධ මෙම චන්ද්‍ර ශාක, එවකට සිටි ඇමෙරිකානු ජනාධිපති වරයා වන ජෙරල්ඩ් ෆෝර්ඩ් විසින් තම අත්සනින්  යුත් ආවරණ ලිපියක් සහිතව අදාළ ස්ථාන වලට යවා ඇති බවද වාර්තා වේ. ජනාධිපතිවරයාගේ පණිවුඩය මෙසේය: 


“ඇමෙරිකා එක්සත් ජනපදයේ දෙවෙනි ශත සංවත්සරය පැවැත්වෙන මේ අවස්ථාවේ ඔබ වෙත මෙවැනි තිළිනයක් එවීමට හැකිවීම ආඩම්බරයකි. මේ පැළයේ බීජය,1971 ජනවාරි 31 දින පෘථිවියෙන් පිටත්වී, චන්ද්‍ර කක්ෂයක  සැරිසැරූ, ඇපලෝ 14 චන්ද්‍රිකාවේ ගමන් කළ  බවත්, මෙම ශාකය එයින් හටගත් බවත් අභිමානයෙන් යුතුව සහතික කරමි.”                                                                                                


  1. අභ්‍යවකාශයට ගෙනගොස් ආපසු  ගෙනෙන ලද   බීජ වලින් සුළු ප්‍රමාණයක් බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, සහ ජපානයටද යවා ඇති බවද  සටහන් වී තිබේ. 


  1. මෑතදී මේ සම්බන්ධයෙන් වාර්තාවී ඇති තරමක් හාස්‍යයට තුඩු දෙන සුවිශේෂී සිද්ධියක්ද මෙහිලා සඳහන් කිරීම උචිතයයි  සිතමි.  The Atlantic  සඟරාවේ විද්‍යා ලේඛිකාවක් වන Marina Koren විසින් ඇපලෝ 14 චන්ද්‍රිකාව කක්ෂ ගතකර අඩ  සියවසක්  පිරිම නිමිත්තෙන් සකස් කෙරෙන ලිපියකට චන්ද්‍ර ශාක පිලිබඳවද යමක් එකතු කිරීමට සිතුවාය. 1976 දී Loblolly pine චන්ද්‍ර ශාකයක්  වොෂින්ටන්හි ධවල මන්දිර පරිශ්‍රයේ රෝපණය කරන ලද  බව ඇයට දැනගන්නට ලැබිණ.  වැඩිදුර තොරතුරු ලබාගැනීම  සඳහා ඇය ඩේව් විලියම්සන්ගේ Moon Trees වෙබ් අඩවියට පිවිසියාය. වෙබ් අඩවියේ එම ශාකයේ  පින්තූරයක් නොමැත. ඒ වෙනුවට ‘රතු තරු සටහනක්’ සහිත දිරාගිය පුවරුවක් පමණක් දකින්නට ලැබිණ !  එම සටහනෙන් සංකේතවත් වන්නේ ඇපලෝ 14 චන්ද්‍ර බීජයකින් හටගත්, එහි රෝපණය කරන ලද  Loblolly pine ශාකය, අකාලයේ මියගොස් ඇති බවයි. ධවල මන්දිර පරිශ්‍රයේ සිටවූ චන්ද්‍ර ශාකයේ ඉරණම එසේ වූයේ නම් අනිකුත් චන්ද්‍ර ශාක ගැන කියනුම කවරේද?


  1. 1977 දී,  NASA ආයතන පරිශ්‍රයේද  චන්ද්‍ර ශාකයක් රෝපණය කරන  ලද බව  ලේඛනගතවී තිබේ. මෙය sycamore (Platanus occidentalis) ශාකයකි.  

1977 දී NASA ආයතනයේ රෝපණය කරන ලද චන්ද්‍ර ශාකය  


මෙම ශාකය පිළිබඳව ‘National Geographic’ සඟරාවේ 2019 ජුලි  කලාපයේ පළකර තිබුණු ඉහත දැක්වෙන ඡායාරුපය සහ විස්තරය එම සඟරාවට ස්තුති පූර්වකව මෙසේ උපුටා දක්වමි. 


‘A moon tree’ stands tall, illuminated from behind by artificial lights,  at NASA's   Goddard Space Flight Center in Greenbelt, Maryland.   Planted in 1977, the sycamore (Platanus occidentalis) grew from a seed that orbited the moon during the Apollo 14 mission in 1971’  

                                                            

            ඡායාරූප සහ සමහර තොරතුරු ස්තුති පූර්වකව අන්තර්ජාලයෙන් ලබාගත් බව සඳහන් කරමි.