Thursday 5 December 2019

මිනිස් සිරුරේ විශාලතම අවයවයේ ආශ්චර්යය හඳුනා ගනිමු.

මිනිස් සම ස්වාභාවික "SMART" මෙවලමක්ද?

මිනිස් සිරුරේ විශාලතම අවයවය වනුයේ චර්මය නැතහොත් සම බව බොහෝ විට අපට අමතක වේ. අපගේ සම වූකලී, ශරීර පැහැය ලබාදෙන, හිරිගඩු පිපෙන, තුවාල හොරි දද කුෂ්ට ආදිය සෑදෙන, කරදරකාරී කුරුලෑ හටගන්නා, ඉඳහිට පච්ච කොටනු (tattoo) ලබන  අවයවය පමණක්ම නොවේ. 


සමෙහි සිරස් කඩක ව්‍යුහය (ත්‍රිමාන)                
 (රූප සටහන අන්තර්ජාලයෙනි)   


මිනිසාගේ සම සහ එයට සම්බන්ධ අනිකුත් අංගෝපාංග සියල්ල  මිනිස් සිරුරෙහි ඇති ආශ්චර්‍යමත් ‘SMART’ මෙවලම් පද්ධතියකි. මෙහිලා SMART යන වචනය භාවිත කළේ  එයට අනුරූප සිංහල වචනය වන ‘සුහුරු’ යන්න භාවිත කිරීමට පෙරාතුව SMART යන්නෙහි අදහස සැකෙවින් පැහැදිලි කිරීමටය. අද විද්‍යා හා තාක්ෂණික දැනුම් සම්භාරය විශාල වශයන් ප්‍රචලිත වීම නිසා, මිනිසාගේ කාර්යයන් අතිශයින් පහසු වී තිබේ. ස්වයංක්‍රීයව හෝ තනි පුද්ගලයෙකුගේ මෙහෙයවීම යටතේ, ජාලයක් සේ එකට බැඳී  ඇති කාර්යයන් රාශියක් සිදුකරනු ලබන උපකරණ හෝ ස්ථාන, හැඳින්වීම සඳහා SMART යන කෙටි යෙදුම බෙහෙවින් භාවිත වේ. SMART ජංගම දුරකථනයක සිට SMART මගී ප්‍රවාහන දුම්රියක් වැනි සංකීර්ණ පද්ධතියක් දක්වා සහ එයින් ඔබ්බටත් මෙම යෙදුම භාවිත වේ. 
Smart යන ඉංග්‍රීසි වචනයේ  සාමාන්‍ය භාෂා ව්‍යවහාරය සඳහා  හපන්, බුහුටි, කඩවසම්. කඩිසර, බුද්ධිමත්, උද්‍යෝගිමත්, කැපිපෙනෙන, සුහුරු යන අදහස් රාශියක් සිංහල භාෂාවෙන්  ලබාගත හැකිය. එහෙත් නව සන්නිවේදන ක්‍ෂේත්‍රයේ SMART යන වචනය යෙදෙනුයේ දිගු වැකියක් මුලකුරු මගින් කෙටියෙන් හැඳින්වීම සඳහාය. “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තා කිරීමේ තාක්ෂණය” (Self-Monitoring Analysis and Reporting Technology) යන්න ‘SMART’ ලෙස දැක්වේ. මෙය ස්මෘති ආධාරක පදයකි.(mnemonic) 
එම වැකියේ අර්ථයට අනුකුලව සිංහල භාෂාවෙන්  ‘සුහුරු’ යන වචනය මෙම තාක්ෂණය සඳහා හොඳින්ම ගැලපෙන බව පෙනේ. අද භාවිත වන බොහෝ ජංගම දුරකථන ‘සුහුරු’ (‘SMART’) තාක්ෂණික උපාංග වේ. ‘SMART’ යනු ඉතාමත් බුද්ධිමත්ව හැසිරෙන සහ හැසිරවිය හැකි නව තාක්ෂණයකි.
ලොව පුරා ‘SMART’ විරුදාවලිය ලැබූ මෝටර් රථ, බස්රථ, දුම්රිය, කාර්යාල, පන්ති කාමර, රුපවාහිනි, බැංකු, නගර වැනි විවිධ ස්ථාන  සහ උපකරණ වල එකිනෙකට අදාළ සන්නිවේදන පහසුකම් සමුහය බැගින් ස්ථාපනය කර තිබේ. උදාහරණයක් වශයෙන් ‘SMART’ බස් රථයක් ගතහොත් එහි රියැදුරාට තම ආසනයේ සිට, රථය ධාවනය කරමින්,  තම ආයතනය ඇමතීම, මගියෙකුගේ ගෙවුම් පත අලුත් කිරීම, ෆැක්ස් පණිවුඩයක් ලබාගැනීම සහ යැවීම, බස් රථයේ දොරටු විවෘත කිරීම සහ වැසීම, බස් රථය ඇතුලත ගැන සුපරීක්‍ෂාකාරිවීම වැනි කටයුතු රාශියක් කළ හැකිය. 
මෙම ලිපිය මගින්  අදහස් කරනුයේ මිනිස් සිරුරේ විශාලතම අවයවය වන, එහෙත් බොහෝ දුරට වැඩි සැලකිල්ලක් නොදක්වන, අපගේ සමෙහිද දකින්නට ලැබෙන  SMART ගති පැවතුම් ගැන යමක් විස්තර කිරීමටය.
අප කවුරුත් අටවන ශ්‍රේණියේ ඉගෙනීම ලබන විට, අපගේ සිරුර වසා සිටින සම ගැන තොරතුරු බිඳක් අවබෝධ කරගෙන ඇත. අපොස සාමාන්‍ය පෙළ පන්තියේදී සමෙහි ව්‍යුහය ගැන වැඩි විස්තර ඉගෙනීමට ලැබේ.  බොහෝ විට අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේද නිරතුරුවම මිනිස් සම ආශ්‍රීත ප්‍රශ්න කිහිපයක් අඩංගු වේ. 
මෙහි දක්වා ඇති මිනිස් සමෙහි ත්‍රිමාන සිරස් කඩක රූපයේ විවිධ කොටස් නම්කර තිබේ. මේ සෑම කොටසක් සඳහාම ඒ ඒ කොටසට අදාළ සුවිශේෂී කාර්ය භාරයක් තිබේ. මෙම සියලුම කාර්ය භාර මනාලෙස සමායෝජනය කිරීම මගින් එකවර කෘති රාශියක් සිදු කිරීම SMART ලක්ෂණයකි. නැතහොත් මනා සුහුරු බවකි. 
මිනිස් සිරුරේ බාහිර වැස්ම වන සම, ශරීරයේ අභ්‍යන්තර කොටස්  බාහිර ලෝකයෙන් වෙන්කරන ආරක්ෂාකාරී බාධකය වන අතරම, එහි ඇති විවිධ කොටස් වන ලෝම, ග්‍රන්ථි, ස්නායු, පටක, රුධිර නාල, නියපොතු වැනි ව්‍යුහ සියල්ලම සාමුහිකව ක්‍රියාත්මක වන නිසා චර්මය හෙවත් සම ශරීරයේ ‘ස්වාභාවික ආවරණ පද්ධතිය’ (integumentary system) ලෙස හැඳින්වේ. වැඩුණු කෙනෙකුගේ මුළු ශරීර බරෙන් 16% පමණ සම සඳහා වෙන්වේ. කිලෝග්‍රෑම් 50ක් බර ඇති කෙනෙකුගේ සම පමණක් කිලෝග්රෑම් අටක් පමණ වේ. එසේම සමෙහි ක්ෂේත්‍ර ඵලය වර්ග අඩි 22 (වර්ග මීටර් 2) පමණ වේ.
සමෙහි ඝණකමද ශරීරයේ ස්ථාන අනුව වෙනස් වේ. උදාහරණ වශයෙන් ඇසට යටින් කොටසේ සම ඉතා තුනී වන අතර අත්ල, යටිපතුල් වැනි කොටස්වල සමෙහි  ඝනකම වැඩිය. සමෙහි ඇති තන්තුමය කෙරටින් නමැති පටක නිසා එය ජලරෝධක (water -proof) පද්ධතියකි.
 සමෙහි ව්‍යුහය 
අපගේ සම,  අපිචර්මය, චර්මය සහ අධස්චර්මය යන  ප්‍රධාන කොටස් තුනකින් යුක්තය.
අපිචර්මය - සමෙහි මතු පිටින් පිහිටි ස්තරය වන මෙය නිරතුරුවම, නව සෛල මගින්   අලුත් වෙමින් පවතී. මෙසේ වනවිට මතුපිට සෛල ස්තරය අක්‍රීය ‘මළ සෛල’ බවට පත්වී,  ‘කුඩු සම’ ලෙස දිනපතාම වාගේ හැලී යයි. 
අපිචර්මයේ කෘති - අපි චර්මයේ පහළින්ම ඇති සෛල ස්තරය මගින්, නිරතුරුවම නව සෛල නිෂ්පාදනය වේ. මෙසේ නිපදවෙන සෛල ස්තරය  සඳහා ආයු කාලය මාසයක් පමණ වේ. මිනිස් සමෙහි කළු පැහැයට හුරු තද දුඹුරු වර්ණයේ සිට සුදු පැහැයට කිට්ටු වර්ණ දක්වා  විවිධත්වයක් ලැබේ. මේ සඳහා බලපානුයේ සමෙහි අන්තර්ගත මෙලනින් නමැති වර්ණකයයි. විශේෂයෙන්ම සම දුඹුරු පැහැ නොමැති අයගේ සමෙහි හටගන්නා ලප  ඇතිවනුයේ මෙලනින් නිසාය. මෙලනින් හිරු එළියට සංවේදී වර්ණකයකි. සුදු සම ඇති අය අව්ව තැපීමේදී, සමට තරමක දුඹුරු වර්ණයක් (tan) ලැබෙනුයේ සමෙහි ඇති මෙලනින් වර්ණකයට සුර්ය කිරණ ලැබීම නිසාය. මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය විටමින් D ලබාගැනීම සඳහාද සම මූලික වේ. සමෙහි අන්තර්ගත  විශේෂ කොලෙස්ටරෝල් සංයෝගයක් මගින් සුර්යයාගේ පාර ජාම් බුල (ultra-violet) කිරණවල ශක්තිය ලබා, විටමින් D සංස්ලේෂණය කරනු ලබයි. අපිචර්මයේ සෛල මගින් නිපදවනු ලබන කෙරටින් නමැති ප්‍රෝටීනය මගින් සමට දැඩි බව සහ ශක්තිමත් බවක් ලබාදෙන අතරම, සම වියලීම සහ රැලි වැටීමද පාලනය කරයි.   
චර්මය - අපිචර්මයට යටින් ඇති සමෙහි මධ්‍ය කොටස චර්මයයි. සමෙහි ඝන කමින් අඩකට වඩා ඇත්තේ මේ කොටසෙහිය. රුධිර නාල සහ ස්නායු  බහුලව ඇත්තේ මෙම කොටසෙහිය. ඩහදිය නිපදවෙන ස්වේද ග්‍රන්ථි, සමෙහි ස්නේහනය (lubrication) සහ ජලරෝධනය (water-proofing) කරනු ලබන ශ්‍රාවය නිපදවන  ස්නේහ ග්‍රන්ථි, (sebaceous glands) සහ රෝම කූප පිහිටනුයේ මෙම කොටසේය. සමට ශක්තිමත් භාවය සහ නම්‍ය සුලු භාවය ගෙන දෙනුයේ පොදුවේ චර්මය ලෙස හැඳින්වෙන මධ්‍ය කොටසෙනි. එහි ඇති කොලැජන් නමැති ප්‍රෝටීනය මගින් සමෙහි ප්‍රත්‍යස්ථ භාවය ගෙනදේ. 
චර්මයේ කෘති -  ස්පර්ශය හෝ වේදනා සඳහා සංවේදී බව. චර්මයේ ඇති සියුම් ස්නායු අග්‍ර වල පිහිටි ග්‍රාහක මගීන්  ලබාගන්නා වේදනාව, පීඩනය, ස්පර්ශය, කැසීම සහ උෂ්ණත්වය වැනි සංඥා මොළය වෙත සම්ප්‍රේෂණය කරනුයේ චර්මයයි.
මෙහි ඇති ස්වේද ග්‍රන්ථි   මගින් ඩහදිය සහ ස්නේහස්රාවී  ග්‍රන්ථි මගින් ස්නේහ ද්‍රව (sebum) නිපදවේ. ඩහදිය පිටවීම මගින් ශරීරය සිසිලනය සහ ස්නේහ ද්‍රව මගින් සම සිනිඳු සහ වියලි බවකින් තොරව තබා ගැනීම සිදු කෙරේ. එසේම ඩහදිය සහ ස්නේහ ද්‍රව මගින් සම මත බැක්ටීරියා සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැඳී සිටීමද වැළකේ.
චර්මයේ ඇති රෝම කූප වල හට ගන්නා රෝම, හිසෙහි හිසකෙස් ලෙස සහ ශරීරයේ ලෝම ලෙස දකින්නට ලැබේ. ලෝම මගින් ශරීරයේ උෂ්ණත්වය පාලනය වන අතර, සමට ආරක්ෂාවද සැපයේ. 
සමෙහි ඇති රුධිර නාල මගින් එයට  පෝෂණය ලබාදෙන අතර, ශරීර උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රියාවලියක්ද සිදු  කරනු ලැබේ. බාහිර උෂ්ණත්වය වැඩිවන අවස්ථාවලදී, රුධිර නාල පුළුල් වී තාපය මුදාහැරීම වැඩි කරන අතර, බාහිර උෂ්ණත්වය අඩුවූ විට රුධිර නාල සංකෝචනය වී ශරීර උෂ්ණත්වය රඳවා ගනී. 
අසාදන වැලැක්වීමද   සමෙහි වැදගත් කෘතියකි. චර්මය ප්‍රදේශයේ පිහිටා ඇති වසා නාල පද්ධතිය මගින්  ගෙන එනු ලබන වසා තරලය (lymphatic fluid) ආශ්‍රීත ස්වේතාණු (white blood cells)   මගින් අසාදන කාරී විෂබීජ සහ වෙනත් අහිතකර දේ විනාශකර දමයි.  
අධස්චර්මය - චර්මයේ පහළින්ම  පිහිටි ස්තරය අධස්චර්මයයි. මෙම කොටස අධස්චර්මීය මේද ස්තරය ලෙසද හැඳින් වේ.
                                                                                                                       අධස්චර්මයේ කෘති - මෙම මේද ස්තරය මගින් ශරීරය තද උණුසුමෙන් සහ තද ශීතලෙන් ආරක්ෂා කරනු ලබයි. අධස්චර්මයේ  ගබඩා කර ඇති මේදය ශක්ති ප්‍රභවයක් ලෙසද සැලකේ. ඊට අමතරව, ශරීරයේ අභ්‍යන්තර අවයව, පේශි, අස්ථි ආදිය බාහිර උපද්‍රව වලින් ආරක්ෂා කර ගැනීමේ කම්පන ඇවුරුමක් ලෙසටද  මේද ස්තරය ක්‍රියා කරයි.මෙතරම් ආශ්චර්යාත්මක ලෙස හැසිරෙන සමට වුවද විවිධ උපද්‍රව වලට මුහුණ පෑමට සිදුවේ. මුහුණෙහි හටගන්නා කුරුලෑ, සමෙහි ඉන්නන් ආදිය සුලභව දකින්නට ලැබේ.   එසේම සමහරවිට ‘උපන් ලප’ ලෙස හැඳින්වෙන කළු හෝ දුඹුරු පැහැති ලපද සමහර අයගේ ශරීරයේ දකින්නට ලැබේ. මේවා සාමාන්‍යයෙන් හානිකර නොවේ.


එහෙත් සමෙහි හටගන්නා වණ, දද සහ කුෂ්ට ආදිය සහ පොතු කබර වැනි අසාදන සඳහා චර්මරෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. කෙසේ වෙතත් සමෙහි හටගන්නා පිළිකා සඳහා වෛද්‍ය ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ. 

මේ අතින් බලන කළ අපගේ අවධානය බෙහෙවින් අඩු, අප ශරීරයේ විශාලතම අවයවය වන සම, තම කෘති සඳහා විධිමත් සැලසුමක් සහිත SMART අවයවයක් ලෙස දැක්විය හැකිය.

S - (Self) සම උණුසුම, ශීතල, අසාදන, බාහිර කම්පන ආදියට ස්වයංක්‍රීයව ප්‍රතිචාර දක්වන නිසා එයට ‘Self ' යන්න හොඳින් ගැලපේ.
M - (Monitoring) සංඥා මගින් නිරවද්‍ය පාලනයක් කරෙන නිසා 'Monitoring’ අවයවයකි.
A - (Analysis) බාහිරින් සහ අභ්‍යන්තරයෙන් ලැබෙන උත්තේජ  ක්ෂණිකව සහ ඉතා නිරවද්‍ය ලෙස විශ්ලේෂණය කරන බැවින්, සම ‘Analysis’ කෘතිය මැනවින් ඉටු කරයි.
R - (Reporting) මේ සියලු දත්ත ලැබුණු ක්ෂණයකින්ම අවශ්‍ය කටයුතු සඳහා, ඒවා මොළයට සම්ප්‍රේෂණය කරයි. මේ නිසා එය ‘Reporting’ කෘතිය සම්පුර්ණ කිරීමකි.
T - (Technology) මේ සියල්ල මිනිස් සිරුරට ආවේනික තාක්ෂණය නිසා එය ‘Technology’ වේ.

අවසාන වශයෙන්, ස්වයංක්‍රීයව  සිදුවන මෙම ක්‍රියාවලි සියල්ලේම සම්පිණ්ඩනය වර්තමාන ලෝකයේ විවිධ තාක්ෂණ උපකරණ සහ විවිධ ක්‍රමවේද ආශ්‍රීතව ලබාගෙන තිබෙන කෘතීම බුද්ධියට වැඩි ඉහළ තලයක තිබෙන බව පැහැදිලිව දකින්නට ලැබේ.

මේ නිසා අපගේ සම    “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තා කිරීමේ තාක්ෂණය” (Self-Monitoring Analysis and Reporting Technology) අතින් පරිපූර්ණ ස්වාභාවික ‘සුහුරු’ ‘SMART’ අවයවයක් ලෙස දැක්වීම නිවැරදිය.            


    




Wednesday 27 November 2019

විද්‍යාත්මක සංකල්පයක් සරල ක්‍රීඩාවක් මගින් ඔප්පු කිරීම …….

 විද්‍යාත්මක සංකල්පයක් සරල ක්‍රීඩාවක් මගින්  ඔප්පු කිරීම ……

කලකට පෙර සිටි ලෝකප්‍රසිද්ධ විද්‍යාඥයින් බොහෝ දෙනෙකු,   මරණින්පසු දිව්‍ය ලෝකයේ උපත  ලබා ඇත.
එහි ඉතාමත් සුහදව කෙළිදෙලෙන් ජීවත්වන ඔව්හු  ඉඳහිට හෝ  විද්‍යාත්ක සොයාගැනීම් ගැනද උනන්දුවක් දක්වති.
එක්  දිනක් මේ සියලු දෙනාම කතිකා කරගෙන “ හැංගි මුත්තන්"  ක්‍රීඩාව  කිරීමට තීරණය කළහ.
ඔවුන් අතර සිටි පැරණිම විද්‍යාඥයා වන නිව්ටන්, සියලු දෙනාම රැස්කර, ඔවුන්  1...2...3...4..ආදී වශයෙන් ගණන් කරසැඟවුණු  අය   සොයන්නා"  තෝරා ගත්තේය
සොයන්නා” ලෙස තේරුණේ  මෑතදී ඔවුන් අතරට එකතුවූ   අයින්ස්ටයින්ය. 
අයින්ස්ටයින්  ඇස්  වසාගෙන,  1 සිට ……….100 දක්වා ගණන් කරනඅතරඅනිකුත් සියල්ලෝම අහු මුළුවල  සැඟවීමට දුව ගෙන ගියහ
මුල්ලක සැඟවී සිටීමට නොගිය නිව්ටන්ඇස් පියාගෙන සිටින  අයින්ස්ටයින්  ඉදිරියේබිම  රට හුණු කෑල්ලකින්  යමක් ඇඳ  එය මැදට වී නිශ්ශබ්දව සිටියේය.
100 දක්වා ගණන් කිරීම අවසන් කළ අයින්ස්ටයින්ඇස්  හැර බලන  විටමතමා ඉදිරිපස සිටගෙන  සිටින නිව්ටන් දැක මහ හඬින් “ I found Newton. He is OUT …..” යයි  කෑ ගැසුවේය
සැඟවී සිටි සියල්ලෝම වහා එතැනට  පැමිණියහ.
සිටි තැනින් නොසෙල්වුණු නිව්ටන්තමා                                  'OUT' නැති බවත් තමා නිව්ටන් නොවන බවත් තරයේම කියා සිටියේය.
එසේනම්  බව විද්‍යාත්මකව ඔප්පු කරන ලෙස සියල්ලෝම ඔහුට  බලකර සිටියහ
මගේ ඔප්පු කිරීම හොඳින්  අසා ගන්න’ යයි කී නිව්ටන් මෙසේ විස්තර කළේය.
මා මෙසේ සිටගෙන සිටින ස්ථානය හොඳින්   බලන්නමා සිටින්නේ  හරි හතරැස් කොටුවක් මධ්‍යයේ
එය මීටර් එකක් දිග සහ පළල ඇති,  හරි හතරැස් කොටුවක්.   නැතහොත් එය වර්ග මීටර්  එක කොටුවක්
භෞතික විද්‍යාත්මකව මම මෙහි සිටීම වර්ග මිටරයට නිව්ටන් එකයි 
(One Newton per meter squared) 
හෝ ( 1N / m2 )’ 
ඔබ කව්රුත් දන්නා ආකාරයට 
One Newton per meter squared = 1 Pascal' 
මේ නිසා භෞතික විද්‍යාත්මකව“ හැංගි මුත්තන් ක්‍රීඩාවේ                   පළමු  වටයෙන්  ' OUT ' වන්නේ   මෙහි සිටින                  
 පැස්කල්  මිස නිව්ටන් වන මා නොවෙයි.’
මෙය ඇසූ  පැස්කල්ට කට උත්තරත් නැතිවිය.

‘Pascal is out in the first round’ කියමින් කවුරුත් ඔල්වරසන්    දුන්හ.!  

Definitions :  
One Newton (1 N) is the force needed to accelerate one     kilogram of mass at the rate of one meter per second per      
second in the direction of force applied

One Pascal (1 Pa) is equivalent to one Newton  (1 N) of          force applied over an area of one meter squared (1 m2)

                                                                                                                නිව්ටන්  හරි......!     


Thursday 14 November 2019

ජෙරේනියම් (Geranium) මල් හටගන්නා වසන්තය එළඹ ඇත…..


    ඕස්ට්‍රේලියාවේ සෞම්‍ය දේශගුණය පවතින ප්‍රදේශයන්හි මහා මාර්ග දෙපස, වනෝද්‍යාන, ගෙවතු, පොදු ස්ථාන වැනි සෑම තැනකම, මේ දිනවල (ඔක්තෝබර් මාසයේ සිට මැයි මාසයේ අග දක්වා), බහුලව දකින්නට ලැබෙන සපුෂ්ක ශාක වර්ගයකි ජෙරේනියම් (Geranium). විවිධ වර්ණ සහ හැඩහුරුවෙන් යුක්ත ජෙරේනියම් මල් පොකුරු වශයෙන් හටගනී. 

                   
                                     විවිධ වර්ණ සංකලන සහිත ජෙරේනියම් (Geranium) මල්


ජෙරේනියම් පුෂ්පයේ දල සැලැස්ම වෙනත් බොහෝ පුෂ්ප වල මෙන් කොටස් පහ බැගින් හෝ සහ එහි ගුණිතයක් ලෙස දකින්නට ලැබේ. Geranium dalvaticum නම් විශේෂයේ, මනිපත්‍ර (calyx) , මුකුටය

                                               
                                                          මලෙහි දල සැලස්ම


(corolla) සහ කලංක (stigma) කොටස් පහක් බැගින් තිබෙන අතර එහි මල් රේණු (stamens) දහයකි. ඩිම්බ කෝෂය (ovary) අන්ඩප (carpels)   පහකින් යුක්ත වන අතර එහි එක් අන්ඩපයක  එකක් බැගින් ඩිම්බ (ova) පහක් තිබේ. මලෙහි දල සැලැස්ම මෙසේ වුවද, විවිධ ජෙරේනියම් විශේෂ වල මුකුටයේ පෙති සංඛ්‍යාව විශාල වශයෙන් වෙනස් වේ. රෝස මලක මෙන් පෙති තිහකට හතළිහකට වඩා වැඩි ගණනක් සහිත පුෂ්ප දරන ජෙරේනියම් විශේෂද තිබේ. රෝස මලක හැඩය ගන්නා පුෂ්ප සෑදෙන ජෙරේනියම් විශේෂ සමහර රටවල ‘දුප්පතාගේ රෝස මල් ’ ලෙසද හඳුන්වනු ලබන බව අන්තර්ජාල සටහනක දකින්නට ලැබිණ. මෙසේ දක්වා ඇත්තේ රෝස මල මිල අධික බැවින් ‘පොහොසතාට’ පමණක් ආස්වාදයක් ලැබිය හැකි පුෂ්පයක් වැනි මතයක් ගොඩ නැගී ඇති නිසාවත්ද? සම ශීතොශ්ණ රටවල වර්ෂය තුලදී වෙනස්වන දේශගුණ සහ ඍතු රටා අනුව ඉතා හොඳින් හැඩ ගැසී ඇති ශාකයක් ලෙස ජෙරේනියම් හැඳින්විය හැකිය. 


  පෘථිවියේ භ්‍රමණය සමග ඍතු වෙනස්වීම සිදුවන්නේ කෙසේද ?


පෘථිවියේ භ්‍රමණය සහ පරිභ්‍රමණය නිසාත්, පෘථිවිය තම සිරස් අක්ෂයට අංශක 23.5 ක පමණ ආනතියකින් යුක්තව පිහිටීම නිසාත්, පෘථිවි තලය මත සුර්යාලෝකය ලැබෙන කාල සීමාවේ අඩු වැඩි වීමක් සිදුවීම ස්වාභාවික සංසිද්ධියකි. 

පෘථිවි ගෝලයේ, නිරක්ෂ රේඛාවේ සිට අක්ෂාංශ (latitude) 23 පමණ උතුරෙන් කටක නිවර්තන රේඛාව සහ අක්ෂාංශ 23 පමණ දකුණෙන් මකර නිවර්තන රේඛාවත් පිහිටන බව උපකල්පනය කෙරේ. පෘථිවිය අංශක 23.5 ක පමණ ආනතියකින් යුක්තව භ්‍රමණය වෙමින් සුර්යයා වටා පරිභ්‍රමණය වීමේදී පෘථිවි තලය සුර්යයාට සාපේක්ෂව පිහිටන ආකාරය අනුව, පෘථිවියේ ඍතු වෙනස්වීම් හටගනී. පෘථිවිය සුර්යයා වටා ගමන් කළත් පෘථිවිය මත සිටින කෙනෙකුට පෙනෙනුයේ සුර්යයා උතුරු අර්ධගෝලයේ එක්තරා සීමාවක් දක්වාත්, දකුණු අර්ධ ගෝලයේ එක්තරා සීමාවක් දක්වාත් චක්‍රාකාරව නොකඩවා ගමන් කරන ආකාරයකි. මෙම ගමනේ උතුරු අර්ධ ගෝලයේ සීමාව කටක නිවර්තනය (tropic of Cancer) වන අතර දකුණු අර්ධ ගෝලයේ සීමාව මකර නිවර්තනය (tropic of Capricorn) වේ. සුර්යයා කටක නිවර්තන සීමාව අසල සිටින විට උතුරු අර්ධ ගෝලයේ රටවලට ගිම්හාන ඍතුව (summer) එළඹෙන අතර, දකුණු අර්ධ ගෝලයේ රටවලට සිසිර ඍතුව (winter) එළඹේ. මෙය ප්‍රතිලෝම (vice-versa) වශයෙන් සිදුවන සංසිද්ධියකි. නිරක්ෂ රේඛාව අවට රටවලට මෙම සංසිද්ධිය දිස්වනුයේ අවම මට්ටමකට ය.

මේ නිසා නිවර්තන රේඛා වලින් ඔබ්බෙහි පිහිටි උතුරු සහ දකුණු සෞම්‍ය කලාපීය (temperate zone) රටවලට සිසිර ඍතුවේදී දීර්ඝ රාත්‍රී කාලයක් සහ කෙටි දිවා කාලයක් ලැබේ. එයට අනුරූපව එම රටවලට ගිම්හාන ඍතුවේදී දීර්ඝ දිවා කාලයක් සහ කෙටි රාත්‍රී කාලයක් උදාවේ.

මෙම කලාපවල ජීවත්වන සතුන් සහ වැඩෙන ගහකොලද මෙම ඍතු විපර්යාසයන්ට ගැලපෙන පරිදි බොහෝ අනුවර්තන ලබා තිබේ. ගිම්හානය එළඹීමට කලින් පවතින අතරමැදි කාලය, වසන්ත ඍතුව (spring) ලෙසත්, ගිම්හානයට පසු සිසිරය දක්වා අතරමැදි කාල සීමාව හේමන්ත ඍතුව (autumn) ලෙසටත් නම් කෙරේ. මෙම ඍතු දෙක සාමාන්‍යයෙන් සම ශීතොෂ්ණ කාල ලෙස හැඳින්විය හැකිය. ශීත කාලය තුළදී බොහෝ දුරට වර්ධන ක්‍රියාවලි සහ මල් ඵල දැරීම අවමකර, සමහරවිට පත්‍ර පතනය පවා සිදුවී, නිද්‍රාශීලී භාවයකින් පවතින බොහෝ ශාක, වසන්තය පැමිණීමත් සමග නව පණක් ලබා ක්‍රියාශීලී වේ. මෙසේ වනුයේ කලකට පසු වැඩිපුර ලැබෙන සූර්යාලෝකය නිසාය. 

උතුරු අර්ධ ගෝලයේ රටවල ඍතු ආරම්භ වන සහ අවසාන වන දින වකවානු තීරණය කරනුයේ, මකර නිවර්තනයෙන් සහ කර්කටක නිවර්තනයෙන් සුර්යයාගේ හැරවුම් දිනය ලෙස පිළිගැනෙන දින අනුවය. බොහෝ විට මෙම දින, උතුරු අර්ධ ගෝලයේ වෙන වෙනම, දෙසැම්බර් 22 දා සහ ජූනි 22 දා වේ. මේ දින එම රටවලට පිලිවෙලින් වර්ෂයේ උපරිම කාලයක් සුර්යාලෝකය ලැබෙන සහ අවම රාත්‍රී කාලයක් ලැබෙන දින වේ. එසේම මේ දින දක්ෂිණ අර්ධ ගෝලයේ රටවලට උපරිම රාත්‍රී කාලයක් සහ අවම දිවා කාලයක් ලැබෙන දිනද වේ. භූගෝල විද්‍යාත්මකව, පෘථිවියේ හැරවුම් ලක්ෂ්‍ය, ඉහත දක්වා ඇති පරිදි බොහෝ දුරට නිශ්චිත දිනවලදී සිදුවුවත් ඒ ඒ ඍතු ආරම්භ වන සහ අවසන් වන දින, ප්‍රායෝගිකව පහසු වන පරිදි, තීරණය වනුයේ අදාළ, ඒ ඒ මාසවල පළමු දිනයේ සිටය. 

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ ඍතු පවතින ආකාරය 

දක්ෂිණ අර්ධ ගෝලයේ පිහිටි ඕස්ට්‍රේලියා මහාද්වීපයේ ඍතු ආරම්භ වන දින තීරණය කිරීමේදී මෙයට වඩා පහසු ක්‍රමයක් අනුගමනය කෙරේ. උදාහරණයක් වශයෙන්, නිරක්ෂයේ සිට අක්ෂාංශ 23 පමණ දකුණෙන් පිහිටන මකර නිවර්තන රේඛාව, ඕස්ට්‍රේලියා මහාද්වීපයේ බටහිර සිට නැගෙනහිරට හරි මැදින් මෙන් පිහිටා තිබේ. මෙම භූගෝලීය ලක්ෂණය උපයෝගී කර ගනිමින්, රටෙහි ඍතු ආරම්භ වන දින තීරණය කිරීම සඳහා එළඹෙන මාසයේ පළමුවන දිනය, ඍතුව ආරම්භ වන දිනය ලෙස සැලකේ. මේ නිසා ඕස්ට්‍රේලියාවේ වසන්ත ඍතුව සැප්තැම්බර් 1 සිට නොවැම්බර් 30 දක්වාත්, ගිම්හාන ඍතුව දෙසැම්බර් 1 සිට පෙබරවාරි 28 හෝ 29 දක්වාත්, හේමන්ත ඍතුව මාර්තු 1 වැනිදා සිට මැයි 31 දින දක්වාත්, සිසිර ඍතුව ජුනි 1 දින සිට අගෝස්තු 31 දක්වාත් පවතින බව, නිල වශයෙන් නිගමනය කර තිබේ. මෙම තොරතුරු ඉහත වගුවේ දක්වා ඇත.


        ප්‍රශස්ත කාලගුණයත් සමග ජෙරේනියම් වසන්තය උදාවීම

සිසිර ඍතුව අවසන්වී සති කිහිපයක් යනවිට, වැඩිපුර ලැබෙන සුර්යාලෝකයේ ආභාෂය ලබමින් ගස් වැල් මහත් කලඑලියක් ලබති. ඕස්ට්‍රේලියාවේ අදාල දේශගුණය සහිත ප්‍රදේශවල මේ මිහිරියාව ආරම්භ වනුයේ

                                        

                                                     එක්ගොමුවක වැඩෙන, විවිධ ආකාරයේ                                                      මල් සහිත ජෙරේනියම් විශේෂ සමූහයක්

 ඔක්තෝබර් මාසයේ දෙවන සතිය පමණ වන විටය. සෞම්‍ය දේශගුණය පවතින රටවල, දිවාකාලය අඩු, රාත්‍රී කාලය වැඩි, සිසිර ඍතුව අවසන්වී වසන්තය එළඹීමත් සමගම දිනෙන් දින සුර්යාලෝකය පවතින කාලය වැඩිවී ගොස්, ගිම්හානයේ මැද දිනවලදී පැය දෙකක් පමණ වැඩිවන (පැය 14 ක පමණ) උපරිම දිගකින් යුක්ත දිවා කාලයක් ලැබේ. 

මේ කාලය වන විට මලින් බරවී යන, සෑමතැනම දකින්නට ලැබෙන සපුෂ්ප ශාක ගණයකි ජෙරේනියම්. ජෙරේනියම් ගණයේ ශාක විශේෂ හාරසියයක් පමණ තිබෙන අතර, ඒවායේ පුෂ්ප විවිධ හැඩයෙන් සහ එකිනෙකට වෙනස් වර්ණ සහ වර්ණ සංකලනයන්ගෙන් යුක්ත වන නිසා එය සුවිශේෂී ශාක ගණයක් ලෙස හැඳින්විය හැකිය. මීටරයක් පමණ උපරිම උසකට වැඩෙන බොහෝ ජෙරේනියම් විශේෂවල රවුම් හැඩයකින් යුක්ත පත්‍ර වල දාරයේද නැවත 'ස්කැලොප්' වැනි කුඩා රවුම් දකින්නට ලැබේ. පුෂ්ප වලට අමතරව පත්‍ර වලද ඇති මෙම සුවිශේෂී ලක්ෂණය නිසාද ජෙරේනියම් ගෙවතු අලංකරණය කරනු ලබන අය අතර ජනප්‍රිය ශාකයක් වී තිබේ. ජෙරේනියම් අතු කැබලි මගින් පාත්තිවල හෝ පෝච්චිවල ඉතාමත් පහසුවෙන් වගාකරගත හැකිය. පසුගිය වසරේ මා විසින් රෝපණය කරනලද ජෙරේනියම් විශේෂ රාශියක් මේ දිනවල මලින් බරවී තිබේ.

                ජෙරේනියම් (Geranium) නම සෑදී ඇත්තේ කෙසේද ?

මෙම ශාකයට ජෙරේනියම් (Geranium) යන නාමය යෙදීමටද විශේෂ හේතුවක් තිබේ. මෙම ගණ නාමය ලැබී තිබෙන්නේ γέρανος (géranos) නම් ග්‍රීක් වචනයෙනි. ග්‍රීක් භාෂාවෙන් (géranos) නමින් හැඳින්වෙනුයේ දිගැති හොටයක් සහිත ‘මානකොකා’ (crane) නම් පක්ෂියා නිසාය ය. මේ නිසා ජෙරේනියම් ශාකයට පොදුවේ භාවිත වන ඉංග්‍රීසි නාමය 'crane's bill' ය. ශාකයේ ඇති ‘කොකෙකුගේ හොටයේ ’ හැඩය සහිත බීජ දරන කරලක් වැනි ඩිම්බ කෝෂය නිසා මෙම නාමය ව්‍යවහාරයේ පවතී. මෙය ශ්‍රී ලංකාවේ කඳුකරයේ දකින්නට ලැබෙන මේ ශාකයට සිංහල නමක් නොමැති නිසා එහි ඵලයේ හැඩය අනුව අපටද අවශ්‍ය නම් එයට ‘කොක් හොට’ ලෙස නම් කිරීම වරදක් නොවනු ඇත. 



              

                           බීජ සහිත කරලක් වැනි ඵලය                      කොකාගේ හොට

                    
        ජෙරේනියම් බීජ ප්‍රචාරණ ‘යාන්ත්‍රණය’

ජෙරේනියම් ශාකයේ සෑදෙන, ‘කොක් හොටය’ වැනි කරල (capsule) තුල ඇති බීජ පරිණත වූ පසු ඒවා ප්‍රචාරණය හෙවත් විසිරීම සඳහාද එම ශාකයටම ආවේණික ‘යාන්ත්‍රණය’ මෙම ශාක වල විශේෂ අනුවර්තනයකි. මෙම කරල වියලුනු විට එහි පිට පොත්ත, කරල පතුලේ සිට සිරස්ව පැලෙන්නට පටන් ගනී. එසේ ආරම්භ වන විටම බීජය ධාරකයෙන් වෙන්වී, පොත්ත ඇතුලත ‘කැටපෝලයක’ වැනි පැස තුලට වැටෙයි. මේ වනවිටම ගැලවී යන පටියක් වැනි වියලි කරලේ පොත්ත දුන්නක් මෙන් ක්‍රියාත්මක වී පැස තුල ඇති බීජය ඈතට විදිනු ලැබේ. මෙය ඉතාමත් සාර්ථක බීජ ප්‍රචාරණ අනුවර්තනයකි. 

                                                    

                                                 ජෙරේනියම් එක් විශේෂයක බීජ ප්‍රචාරණය                                                      සඳහා ඇති විශේෂ යාන්ත්‍රණය 

මේ ආකාරයට සලකා බලන විට, බොහෝ දෙනා වැඩි අවධානයක් නොදක්වන ජෙරේනියම් ශාක විශේෂ විවිධත්වය අතින් ඉතාම සාර්ථක ශාක ගණයකි. මෙයට අමතරව කොකෙකුගේ හොටය වැනි කරල නිසා එම ශාක වලට ජෙරේනියම් යන නම ලැබීමද ඉතාමත් හොඳින් ගැලපෙන අදහසකි. මේ සියල්ලටමත් වඩා සාමාන්‍යයෙන් වෙනත් ශාකවල ඉතාමත් අඩුවෙන් දකින්නට ලැබෙන විදීමේ යාන්ත්‍රණයක් මගින් බීජ ඈතට විසුරුවා හැරීමද සුවිශේෂී ලක්ෂණයකි. 

බහුලව දකින්නට ලැබෙන, එහෙත් වැඩි සැලකිල්ලක් නොදක්වන, අපූරු විවිධත්වයකින් යුක්ත, සුවිශේෂ අනුවර්තන සහිත ජෙරේනියම් ‘කොක් හොට’ ශාකය ගැන මෙසේ සටහනක් තබන්නට හැකිවීම මේ ගැන උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත් වේයයි සිතමි. 

(සමහර තොරතුරු ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි.)



Thursday 7 November 2019

කෙසෙල් පිලිබඳ ගැටලුවක්…මෙය කූට අර්ථ නිරූපනයක්ද ?


       Face Book  සටහනක තිබුණු, පහත දැක්වෙන ඡායාරුපය දැක, මට මේ ගැන තවදුරටත් සොයා බැලීමට සිතුනි. මට පෙනෙන ආකාරයට,  එක්කෝ මෙය පරිගණක ප්‍රයෝගයක් මගින් කළ දෙයක් හෝ බාහිරින් සොයා ගත්  අංග කෙසල් කැනකට සුක්ෂම ලෙස අමුණා, ගන්නා ලද ඡායාරූපයකි
                                                                
මේ ගැන තවදුරටත් විමසිලිමත් වීමට පෙර, අප කවුරුත් හොඳට දැක පුරුදු ඇති කෙසෙල් ශාකයක බාහිර ලක්ෂණ සහ භ්‍යන්තර ව්‍යුහය පිලිබඳ සොයා බලමු.  
කෙසෙල් ශාකය, සාමාන්‍ය    ව්‍යවහාරයේදී  ගසක්ලෙස හැඳින්වූවත්,  එයට දැවමය කඳක් නොමැති නිසා එය ගසක් නොවේ. සාමාන්‍ය  ව්‍යවහාරයේ කෙසෙල් 'අලය' ලෙස දැක්වෙනුයේ කෙසෙල්  ශාකයේ  භූගත කඳ (underground stem )වේ. මෙම භූගත කඳ රයිසෝමයකි. (ඉඟුරු ශාකයක මෙනි) සාමාන්‍ය  ශාකයක වායව කඳක මෙන් මෙහිද, ත්‍ර  කක්ෂ (axils), ත්‍ර  (leaves),  කක්ෂීය අංකුර (axillary buds), පර්ව (internodes), ග්‍රස්ථ අංකුරය (terminal bud)  ආදී සියලුම ව්‍යුහ  ඉතාමත් සංයුක්ත (එකට බැඳී ඇති) ආකාරයකට රයිසෝමයේ  පිහිටයි.පොලොව යට තිබෙන නිසා ත්‍ර  පවතිනුයේ දුඹුරු පැහැති  ශල්ක ත්‍ර  (scale leaves) ලෙසටය. කෙසෙල් රයිසෝමයෙන්  සෑදෙන අංකුර නැතහොත් මොටෙය්යෝ කක්ෂීය අංකුර වේකෙසෙල් පැලයක් වැඩෙන විට, රයිසෝමයේ ඇති ග්‍රස්ථ අංකුරය වටා ඇති ශල්ක ත්‍ර  පොළොවෙන් උඩට වැඩී, ඒවායේ පටක වල ජලය රැස්කර මාංශල වී සියල්ල රවුමට එකකට එකක් පිටින් සිටින සේ සකස් වී, කෙසෙල්  කඳ සෑදෙයි. මේවායේ එකිනෙක ග්‍රයේ, ශක්තිමත් වෘන්තයක් (petiole) සහිත විශාල ත්‍ර  හටගනී. ආලෝකයට නිරාවරණය වන ත්‍ර  වල, ප්‍රභාසංස්ලේෂණය සඳහා හරිතප්‍ර තිබෙන නිසා කොළ පැහැයෙන් යුක්තය  මේ නිසා ඉඟුරු පැලයක් සහ කෙසෙල් පැලයක් ව්‍යුහය  අතින් බොහෝ දුරට සමාන වේ. මෙසේ මාංශල ගතියකින් යුක්ත කෙසෙල් ව්‍යා කඳ (pseudo-stem) නිසා ශාකය ඍජුව වැඩේ
කෙසෙල් ශාකය පරිණත වන විට, රයිසෝමයේ ඇති ග්‍රස්ථ අංකුරය, ත්‍ර  නිපදවීමේ ක්‍රියාවලිය වෙන අතකට හරවා, පුෂ්ප මංජරියක් සකස් කිරීමේ කෘතියක් ඉටු කරයි. මේ ආකාරයට කෙසල්කඳභ්‍යන්තරයේ ළදරුකෙසෙල් මුවයහටගනී. සමගම මුවයට පහලින් ඇති කොටස ඉතා ඉක්මණින්  වර්ධනය වීකෙසෙල් බඩය  ලෙස වේගයෙන් විකසනය වෙමින්  කෙසෙල් මුව ඉහලට තල්ලු කිරීමට පටන් ගනී. අවසානයේදී හොඳින් පරිණත වූ කෙසෙල් මුව ශාකයේ මුදුනින් එලියට පැමිණේ. සාමාන්‍ය  ව්‍යවහාරයේ කෙසෙල් ශාකය  ‘පීදීමලෙස හඳුන්වනුයේ මෙම ක්‍රියාවලියයි.    

  

                                              
කෙසෙල් මුවය,  විද්‍යාත්මකව, කෙසෙල් ශාකයේ පුෂ්ප මංජරියයි. කෙසල් මුවයේද සාමාන්‍ය කඳක  මෙන් ත්‍ර  කක්ෂ තිබේ. මෙම කක්ෂ වල හටගන්නා දුඹුරු පැහැයට හුරු විශාල ව්‍යුහ, නිපත්‍ර  (bracts) ලෙස හැඳින්වේකෙසෙල් මුවයේ නිපත්‍ර  අක්ෂ වල, පුෂ්ප තිරස් පොකුරු ලෙස හට ගනී. බොහෝවිට මෙසේ මුලින් හටගන්නා පුෂ්ප ද්විලිංගික වේ. පුෂ්ප පරාගණයෙන් පසු කෙසෙල් ඵල (ගෙඩි) සෑදී කෙසෙල් ඇවරි බවට පරිවර්තනය වේ.   

            
සාමාන්‍යයෙන් එක කෙසෙල් කැනක  ඇවරි  දහයක් දොළහක් පමණ හටගනී. මීට පසු පුෂ්ප මංජරී අක්ෂය බොහෝවිට මුවයත් සමග තවත් දිගට වැඩේ. පසුව හටගන්නා   පුෂ්ප පොකුරු වල ඇත්තේ   පුං (male) පුෂ්ප පමණකි. මේවායින් ගෙඩි හට නොගනී.  මෙම නටුවේ කිසිම අක්ෂයක, අක්ෂීය අංකුර නොමැති නිසා  අලුතෙන් මුවයක් හටගැනීම සිදුවිය නොහැකිය
දැන් ඉහත ඡායාරුපය දෙස බලමු. මෙහි පෙනෙන ආකාරයට, මුල් කෙසෙල් කැනෙහි කෙසෙල් ඇවරි  සකස් වූවාට  පසු තවත් අංකුර  නිපදවිය නොහැකි පුෂ්ප මංජරී අක්ෂයට, මුව සහිත මංජරී අක්ෂ රාශියක් කෘතීම ලෙස බද්ධ කර ඇති බව පැහැදිලිව පෙනේ.
මේ  නිසා මෙය  තාක්ෂණය   භාවිත කර, කියවන්නන් නොමග  යැවීමේ බොළඳ අදහසක් බව සඳහන් කළ  හැකියඑසේ නොමැතිනම්  පිටින් සොයාගත් කෙසෙල් මුව එයට අමුණා ලබාගත්  ඡායාරුපයක් විය හැකිය. කෙසේ වෙතත් තම දක්ෂතා සහ කාළය  නිරපරාදේ, වැඩකට නැති මෙවැනි දේ  සඳහා යොමු කිරීම කෙතරම් අපරාධයක්ද?