පැරණි ගැමි සමාජයේ ජීවත්වූ
මිනිසාට දරු සම්පත, භවභෝග සම්පත තරමටම ගව සම්පතද, දිවි පෙවත පරිපුර්ණ කර ගැනීමට අවශ්‍යතම සාධකයක් විය. එදා
ගම්බද බොහෝ නිවෙස්වල ගව සම්පතේ සංකේතයක්
වශයෙන්, එළදෙනකු ඇති කිරීම සිරිතක් විය. එළ දෙන පවුලේ අයට සමීප සුරතල් සතෙකු සහ වසු
පැටවා කුඩා දරුවන්ගේ මිතුරෙකු විය. එළදෙනගෙන්
ලැබෙන කිරි, පවුලේ පෝෂණය සඳහා
වැදගත් ආහාරයක් වූ අතර, ගොම ගෙවත්තේ වවනු
ලබන එළවලු, පලා වර්ග, පලතුරු ආදියට මහඟු
ස්වභාවික පොහොරක් විය.
එළදෙනට ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහ පිදුරු ඉතා පහසුවෙන් වට
පිටාවෙන්ම ලබාගත හැකි විය. එළදෙනට සහ පැටවාට නිදහසේ සිටීමට වෙල් එළියක හෝ වෙනත් එලිමහනක දිගඑළි කර තැබීමද පුරුද්දක්
වශයෙන් කරන ලදී. එදා ගැමි ජන ජිවිතය පරිසරය සහ
සතා සීපාවා සමග මනා සමතුලිත බවකින් යුක්ත වූ බව මෙයින් පැහැදිලිවේ. ගමෙහි භාණ්ඩ ප්‍රවාහණ
කටයුතු සඳහා බරකරත්ත සහ බරබාග කරත්තද කිහිපයක් තිබුණි. එසේම වෙනත් ගමන් බිමන් සඳහා
භාවිත කරන ලද්දේ බක්කි කරත්ත සහ රේස් කරත්ත විය. කරත්ත ධාවනය සඳහා අවශ්‍ය වන
ගවයින්ද ගමෙහි අතරින් පතර දකින්නට ලැබිණ. කිසිම
ඉන්ධනයක් භාවිත නොකරන කරත්ත ඉතාමත් පරිසර හිතකාමී ප්‍රවාහණ ක්‍රමයක් විය.
ගමෙහි කුඹුරු වල බොහෝ කටයුතු
සඳහාද ගවයින් අවශ්‍ය විය. අද මෙන් යන්ත්‍රෝපකරණ භාවිත නොකළ එදා කුඹුරු සී සෑම,
ගොයම් පෑගීම වැනි කාර්යයන් සඳහාද ගවයින් යොදවා ගන්නා ලදී. සමහර ගම්වල එළ ගවයින්
මෙන්ම මී ගවයින්ද දකින්නට ලැබිණ. විශේෂයෙන්ම කුඹුරු සී සෑමේ කටයුතු වලදී මී ගවයින්
යොදා ගැණින. මී ගවයින් තරමක් හැඩි දැඩි ස්වරූපයකින් යුක්ත නිසා එතරම් සුරතල් සත්තු
නොවූහ.
ගව සම්පතෙන් ලැබෙන පෝෂ්‍යදායි ආහාර
පස්ගෝරස ලෙස හැඳින්වේ. කිරි, දී
කිරි, මෝරු, වෙඬරු, ගිතෙල් යන ගව සම්පත් නිෂ්පාදන
මෙම ප්‍රභේද වේ. ශ්‍රී ලංකාවේත් සමහර දේශීය ආහාර වර්ග නිෂ්පාදනයේදීත්, විශේෂයෙන්ම
දේශීය වෛද්‍ය ක්‍රමයේ සමහර ඖෂධ සකස්
කිරීමේදීත් පස්ගෝරස භාවිත කරනු ලැබේ. ඉන්දියාවේ නිර්මාංශ ආහාර වලට කැමැත්තක් දක්වන
ජනතාව ජිවත්වන බොහෝ ප්‍රදේශ වල දැනටද පස්ගෝරස ඉතාමත් ජනප්‍රිය ආහාර බවට පත්වී ඇත. ගව සම්පතින් ප්‍රයෝජන ගන්නා බොහෝ රටවල සකස් කරනු ලබන ප්‍රධාන කිරි නිෂ්පාදන
වනුයේ, බටර් සහ චීස්ය. පොදුවේ
ගත් කළ කිරි සහ කිරි නිෂ්පාදන, ප්‍රෝටීන, මේදය, ඛනිජ සහ විටමින් වැනි පදාර්ථ බහුල
ආහාර වශයෙන් ජනප්‍රියවී පවතී.
පසුගිය දශක කිහිපය තුලදී සිදුවූ
කාර්මිකකරණය සහ නව තාක්ෂණය නිසා අපගේ ගව සම්පතද ගැමි පරිසරයෙන් ටිකින් ටික ඈත්වෙමින් පවතී.
එළකිරි වෙනුවට දැන් ගෙදර දොරේ කිරිපිටි භාවිත කරනු දකින්නට ලැබේ. කුඹුරු වැඩ සඳහා
ගවයන් වෙනුවට යන්ත්‍ර සුත්‍ර ආදේශ වී ඇත.
එදා සාමුහිකව ශ්‍රමාභිමානයකින් යුක්තව කටයුතු කළ ගමෙහි ගොවියන් වෙනුවට, අද කුලි
කම්කරුවන් යෙදවීමට සිදුවී තිබේ. මෙම යුග පරිවර්තනය කිසිසේත් වැළක්විය නොහැකි බව
පෙනීයයි.
කාර්මිකකරණයත් සමග, අද, ගව සම්පත
මහා පරිමාණයේ ගව පට්ටි බවට පරිවර්තනය වී තිබේ. එදා ගෙදර ඇතිකළ එළදෙන, වසු පැටවා සහ
ගෙදර නිවැසියන් - විශේෂයෙන්ම කුඩා දරුවන් - අතර තිබුණු සහ සම්බන්ධතාව සහ ළයාන්විත
භාවය අද දකින්නට නොලැබේ. ගව පට්ටි වල සිටින එළදෙනුන් අද කිරි ලබාදෙන යන්ත්‍ර බවට
පත්වී ඇත. කිරි ලබාගැනීමද දෙවීමේ යන්ත්‍ර මගින්ය. කිරි උපරිම ප්‍රමාණයක් දොවා
ගැනීම සඳහා යන්ත්‍ර සැලසුම් කර තිබේ. එළදෙනෙකුට පැටවා බිහිවී, එක් දිනකින් මව සහ පැටවා වෙන් කිරීම
සිරිතය. මේ නිසා පැටවාට මවගේ සෙනෙහසත්, එළදෙනට පැටවාගේ සුරතල් හැසිරීම් රටාව දැකීමෙන්
සහ කිරි උරාබීම නිසා ඇතිවන මාතෘ සෙනෙහසත් නොලැබී යයි. ඔවුන් දෙදෙනාම එකිනෙකාගේ සෙනෙහස
නොලැබීම නිසා නිහඬව සන්තාපයකින් පසුවනු ඇත.
විශාල කිරි පට්ටි වල සිටින වසු
පැටවුන්ට තම මවගේ කිරි වෙනුවට ලැබෙනුයේ පට්ටියේ දෙනුන් සියල්ලන්ගෙන්ම පොදුවේ එකතු
කරගත් කිරි මිශ්‍රණයෙන් කොටසකි. මේ මිශ්‍රණයට වෙනත් රසායන ද්‍රව්‍ය සහ විටමින, හෝර්මෝන ආදියද
එකතුවේ. මහා පරිමාණයේ ගව පට්ටිවල පැටවුන්ගේ ආහාරය සඳහා සකස් කෙරෙන කිරිවලට, පට්ටියේම සිටි, මස්
සඳහා ඝාතනය කරනු ලබන ගවයින්ගේ රුධිරයද එකතු කරන බව වාර්තා වී තිබේ. එසේම එළ දෙනුන්
ගැබ් ගන්වන්නේද කෘතීම සිංචනය මගිනි.
පශු නිෂ්පාදන බහුලව තිබෙන රටවල්
කිහිපයක, රටෙහි මිනිස් ගහණයට වඩා ගව ගහණය වැඩි බව සංඛ්‍යා ලේඛන වලින් පෙනේ. දකුණු
ඇමෙරිකාවේ උරුගුවේ රාජ්‍යයේ ජනගහනය මිලියන 3.5 කි. එහි ගව ගහණය මිලියන 12 ක් පමණ
වන අතර නවසීලන්තයේ ජනගහනය මිලියන 4.5 වනවිට, ගව ගහණය මිලියන 10 ක් පමණ වන බව දැක්වේ. මෙවැනි මහා පරිමාණයේ ගව
පට්ටි තිබෙන රටවල් තවත් බොහෝ ඇත. මෙම ගව පට්ටි හඳුන්වනුයේ ‘ගොවිපල කර්මාන්තශාලා’ (factory
farms) වශයෙනි. මෙම රටවලට ගවයින් ‘ආර්ථික සම්පතක්’ වූවත්, පට්ටි වල ඇති කරනු ලබන
ගවයින් කෲර ලෙස හිංසනයට පත්වන නිසා එම සතුන්ට නම් එය සම්පතක් කෙසේ වෙතත් ‘අසහනයක්ම’ වන බව නොරහසකි.
ගව පට්ටිවල ගවයින් හංවඩු ගැසීමද සතුනට
පීඩාකාරී දෙයකි. මෙය සතුන් නිත්‍යානුකුලව හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන ක්‍රමෝපායයකි.
හංවඩු ගැසීමේදී ගවයාගේ සම මතුපිට ගිනියම් කළ යකඩ කුරකින් සංකේතයක් යොදනු ලැබේ.
මෙහිදී සතාගේ සමෙහි ඇතිවන
පිළිස්සුම් තුවාලය නිසා ඇතිවන ‘හණ’, හඳුනාගැනීමේ සංකේතයයි. ගිනියම් කළ යකඩ කුරකින්
අහිංසක සතෙකුගේ සම අමු අමුවේ පිළිස්සීම කෙතරම් කෲර ක්‍රියාවක්ද? ගවයාගේ මරණයෙන් පසු හමද කඩතොළු රහිතව ලබාගැනීමේ
පරමාර්ථය ඇතිව ‘හණ’ ගැසීම සඳහා සමෙහි නිර්දේශිත ස්ථාන ඉහත රුප සටහනෙහි දැක්වේ.
මෙම විශාල ගව පට්ටි වල එළ දෙනුන්
විසින් ප්‍රසුත කරනු ලබන පිරිමි වසු
පැටවුන් වැඩි සංඛ්‍යාවකට, තවත් රුදුරු ඉරණමකට මුහුණ දීමට සිදුවේ. මෙම වස්සන්ගේ වයස
මාස දෙකක් ඉක්මවීමට පෙර ඔවුන් ‘පුස්සන්’ කරනු ලැබේ. මෙසේ කරනුයේ ‘කර ඇඹීම’
(castration) නම් අතිශය හිංසාකාරී එමෙන්ම වේදනා ගෙන දෙන ක්‍රියාවලියක් මගින්ය. ගව
මස් ලබාගැනීම සඳහා එම සතුන් තවත් වසර කිහිපයකදී රුදුරු මරණයකටද ගොදුරු කරනු ලැබේ. මෙම ගව පට්ටි
වල පිරිමි සතුන්ගෙන් කිහිප දෙනෙකු පමණක්
‘පට්ටි ගොනුන්’ (stud bulls) ලෙස ජීවත්වීමට වරම් ලබති. දෙනුන්ගේ කෘතීම සිංචනය සඳහා
ශුක්‍රාණු ලබාගනුයේ මෙම පට්ටි ගොනුන් ගෙනි.
අප කුඩා කළ ජීවත්වූ ගම්බද පරිසරයේ,
අප නිවසට යාබද පිහිටි එක්තරා ඉඩමක පදිංචි වී සිටි පවුලක අය සතු ගව පට්ටියක එළ
හරකුන් සහ මී හරකුන්ද සිටියහ. එම නිවැසියන්ට බර බාගයක්, රේස් කරත්තයක් සහ බක්කි කරත්තයක්ද
තිබිණ. ගමෙහි ‘යමක් කමක්’ ඇති අය වූ ඔවුන්ගේ දරුවෝ අධ්‍යාපනය ගැන එතරම් උනන්දුවක්
නොදැක්වූහ. එළකිරි සහ මුදවනලද මීකිරි වලින් ඔවුනට සෑහෙන ආදායමක්ද ලැබුණි. සී සෑම,
ගොයම් පෑගීම වැනි කුඹුරු වැඩවල ගවයින් යෙදවීමෙන්ද
ඔවුනට අතමිට සරුවිය. එම පවුල්වල අය සුරාව,
සුදුව සහ වෙනත් විෂමාචාර වලට තදින් ඇබ්බැහිවී
සිටි අතර හොර රහසේ ගව ඝාතනයද කළ බව දැනගන්නට ලැබිණ. පසු කාලයකදී, ඔව්හු එම දුරාචාර
නිසාම පිරිහීමට පත්වී, ගවපට්ටි සහ අනිකුත් දේපල අහිමි වී ගොස් මහත් දුඃකිත ස්වභාවයක්
පෙන්වුහ.
වසර කිහිපයකට වරක්, ගවයින් සිටි අප
යාබද අසල්වැසි වත්තේ, තැන්තැන්වල වැඩිහිටි පිරිමි කුඩා කණ්ඩායම් රැස්වී කඹ වලින්
ගවයින්ගේ පාද බැඳ, බිම පෙරළා යම් යම් දේ කරනු මම
දුර සිට දැක ඇත්තෙමි. ඒ සමගම එම ගවයින් මර හඬ දී කෑගැසීමත් සමග මාංශ පුළුස්සන විට දැනෙන
පුළුටු ගඳද නාසයට දැනී ඇත. මෙම සිද්ධිය පිළිබඳව අපගේ වැඩිහිටියන්ගෙන් විමසුවත් ලැබුණේ
‘හරක් හංවඩු ගසනවා’ යන පිළිතුර පමණකි. එහෙත් අපට ඒ අසලටවත් යාමට හෝ සිදුවන දේ ඈත
සිටවත් බැලීමට තහංචි පැනවිණ.
පසු කාලයකදී, දැනුම තරමක්
මුහුකුරා ගිය පසු මට, හංවඩු ගැසීම පිලිබඳව
සහ ‘කර ඇඹීම’ නම් කෲරතර ක්‍රියාවේ
සුළමුල ගැනත් දැන ගැනීමට හැකිවිය.
මේ විස්තරයේ සඳහන් කාලයේදී වස්සන්
‘පුස්සන්’ කළ, ‘කර ඇඹීම’ නම් කෲරතර ක්‍රියාව
ගව සම්පතටම නිගාවකි. කිතුල් ලීයෙන් සකස් කළ මෝල් ගස් දෙකක් වැනි, ඊට වඩා මඳක්
සිහින් දඬු දෙකක අග්‍ර දැඩි සරනේරුවකින් එකට යාකර සකස් කර ගන්නා උපකරණය ‘කර ඇඹීමේ දණ්ඩ’යි. කකුල් බැඳ බිම
පෙරලාගත් ලපටි වස්සාගේ වෘෂණ කෝෂ මෙම දැඩි දඬු අඬුවට හසුකර හොඳින් වැර යොදා උපකරණයේ
නිදහස් දෙකෙළවර දෙදෙනෙකු විසින් විනාඩි කිහිපයක් තිස්සේ එකට තද කර ගෙන සිටී. වස්සා
මරහඬ දී කෑගසන්නේ ඒ තෙරපීමෙන් ඇතිවන තදබල වේදනාව නිසාය. මේ මගින් කරනුයේ වෘෂණ කෝෂ
තුළට රුධිර සංසරණය වැලක්විමයි. ඒ හේතුකොට ගෙන අසරණ වස්සාගේ වෘෂණ අක්‍රිය තත්ත්වයට
පත්වේ. ස්වභාවයෙන් තම වර්ගයා බෝ කිරීම සඳහා පිරිමි සතාට ලැබී තිබෙන වරම එයින්
අවසන්වේ. තදබල වේදනාව නිසා සති කිහිපයක් දුකසේ සිටින වස්සා පසුව ‘පුස්සෙකු’ ලෙස
සුවය ලබයි. ඊට පසු එම ‘කර ඇඹූ’ ගොනාට ජිවිත කාලයම බර ඇදීමට සිදුවේ.
මෙම කෘරතර ක්‍රමය වෙනුවට ඊට වඩා
සහනදායි ක්‍රමෝපායයන් දැනට භාවිත වේ.
මා අටවන ශ්‍රේණියේ (එවකට JSC) ඉගෙන
ගන්නා කාලයේ ඉංග්‍රීසි රචනාවක බරකරත්තය යන්නට ඉංග්‍රීසියෙන් භාවිතා වන bullock cart යන්න නොදැන
ඒවෙනුවට bull cart කියා ලියා තිබී, අපට ඉංග්‍රීසි ඉගැන්වූ පෙරේරා සර් bullock සහ
bull යන වචන දෙකෙහි වෙනස මට තේරුම් කර දුන්නේ මෙසේය
“A cart will be drawn by a
bullock. A castrated ox is a bullock, but an ordinary ox is a bull. Bend down
and look carefully in the oxen that you see on the road, you will realise what
castration means.”
ගුරු තුමාගේ නිර්දේශයෙන් පසු මග
තොටේදී කරන ලද එම ගව නිරීක්ෂණවලින් පසු castration
යනු කුමක්ද යන්න මම ඉක්මණටම අවබෝධ කර ගතිමි.
එළදෙන පැටවාගෙන් වෙන්කිරීම,
පැටවාට මවගේ කිරි බීමට නොලැබීම, ගවයින් හංවඩු ගැසීම, වස්සන් කර ඇඹීම, වැස්සියන්
කෘතීම සිංචනය කිරීම, පිරිමි සතුන් බහුතරය මස් සඳහා වෙන්කිරීම වැනි අමානුෂික ක්‍රියාවන්
නිසා ගව පට්ටියක වැඩිපුරම දකින්නට ලැබෙන්නේ සත්ව හිංසාව බව පැහැදිලිය. මේ
නිසා වර්තමානයේ ගවයින් ඇති කිරීම ‘ගව
සම්පත’ ලෙස කිසිසේත් සැලකිය නොහැකිය.
පිරිමි ගවයෙකු හරියාකාර හඳුනා
ගැනීම පිණිස ප්‍රායෝගික පිවිසුමක් ලැබුණු එම සිද්ධිය, දශක කිහිපයකට පසුව වුවද
ආවර්ජනා කර, ඒ සඳහා මට හරි මග කියාදුන්, දැනට ජිවතුන් අතර නොමැති, ඒ ගුරු දේවයන්ට ප්‍රණාමය
පුද කරමි.