Friday 30 October 2020

 

ජල භාවිතය පිලිබඳ නව සංකල්පයක්  - ජල පා සටහන(Water footprint)


මිනිසා, සතා සීපාවා, ගහකොළ ආදී සෑම ජීවියෙකුගේම දිවි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන ජලය,  මහඟු සම්පතකි. සාගර සහ මුහුදු වල කරදිය තිබෙන අතර ගොඩබිම ජලාශ, ගංගා, ඇලදොළ ආදියේ සහ භූගතව තිබෙනුයේ මිරිදිය වේ. මිරිදියෙන්ද විශාල ප්‍රතිශතයක් ( 70% පමණ)  හිමාලය වැනි කඳු ශිඛර මුදුන්වල සහ පෘථිවියේ ධ්‍රැව ප්‍රදේශවල අයිස් තට්ටු ලෙස පවතී. මිනිසාගේ සහ අනිකුත් සතුන්ගේ පානීය ජලය මිරිදිය වේ.  පෘථිවියේ වාසය කරන බිලියන 7.5 ට වැඩි  ජනගහනය සඳහා ඇත්තේ, එහි තිබෙන ජලයෙන් 0.007 % ක ප්‍රමාණයක් පමණකි.   මුළු ලොව තිබෙන සියලුම ජලය, ලීටර් 5 ක ජෝගුවකට පුරවා තිබේයැයි සිතුවොත්,  අපට බීම සඳහා එයින්  ගත හැක්කේ ජලය මේස හැඳි එකක් පමණකි. ජලයේ විරල බව මෙතරම් තීව්‍ර  වුවද,  ජලය අපවිත්‍ර නොකර, අපතේ නොයවා   බොහෝ අරපරිස්සමෙන් භාවිත කළ යුතු සම්පතක් බව තැකීමක් බොහෝ අය තුළ නොමැති බව දකින්නට ලැබේ. 


ජලය පිලිබඳ පොදු කරුණු ස්වල්පයක් සලකා බැලීමෙන් මෙම ස්වාභාවික සම්පත  පිලිබඳ දළ අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.


  • මිනිසෙකුට ආහාර නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැකි වූවත් ජලය නොමැතිව සතියක්වත් ජීවත් විය නොහැකිය.

  • අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමද  ශරීරයට අහිතකරය.

  • සාමාන්‍ය  වැඩුණු මිනිසෙකු ප්‍රාශ්වාස කිරීම මගින් පමණක් දිනකට ජලය මිලි ලීටර් 250 ක් පමණ පිට කරයි.

  • ලෝක ජනගහනයෙන් මිලියන 780 කට පමණ පානය කිරීමට සුදුසු ජලය නොලැබේ.

  • සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල, මිනිසා පෙළෙන ආබාධ වලින් 80% පමණ අනාරක්ෂිත ජලය නිසා වැළඳෙන ඒවාය.

  • එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව 2025 වන විට, ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ, දැඩි ජල හිඟයකට මුහුණ පෑමට සිදු වනු ඇත.

  •  ලෝකයේ වාර්තාගත, හෙක්ටෙයාර් බිලියන 1.4 ක් පමණ වන වගා බිම්  වලින් 60 % ක්  පමණ වර්ෂා ජලයෙන් පෝෂණය වන අතර ඉතිරි 40 % ට ජලය ලබා ගනුයේ වාරි මාර්ග ඔස්සේය.

  • ලෝකයේ සියලුම ගංගා වල ඇති ජල ප්‍රමාණයට වඩා ජලය වායු ගෝලයේ තිබේ.

  • වායු ගෝලයේ ඇති ජලය මගින් පරිසර උෂ්ණත්ව පාලනයද සිදු කරනු ලබයි.

  • ජලය මිදී අයිස් වන විට සියයට නවයකින්  පමණ  පරිමාව වැඩිවේ.

  • ද්‍රව්‍ය වැඩිම සංඛ්‍යාවක් ද්‍රාවණය වන එකම ද්‍රාවකය ජලය වේ.(සාර්වත්‍ර ද්‍රාවකය)

  • අවුරුදු මිලියන ගණනකට පෙර පෘතුවියේ තිබුණු මුළු ජල ප්‍රමාණයම විවිධ ආකාරයෙන් අදටත් තිබෙන බව සත්‍යයකි.

  • පිපිඤ්ඤා ගෙඩියක සංයුතියෙන් 95 % පමණ ජලය වේ.

  • අවුරුදු 100 ක් තුලදී එක් ජල අණුවක්, අවුරුදු 98 ක් සාගරයේද, මාස 20 ක් අයිස් ලෙසද, සති දෙකක් පමණ විල්, වැව්, ගංගා, ඇළ, දොළ ආදියේද, සතියකට අඩු කාලයක් වායු ගෝලයේද සැරි සරයි. 

  • ජාත්‍යන්තර දේශ සීමා, මායිම්  ඔස්සේ හෝ  දේශ සීමා හරහා ගලා බසින, ගංගා 260 ක් පමණ ලෝකයේ ඇත.

  • වානේ ටොන් එකක් නිපදවීම සඳහා ජලය ටොන් 300 ක් පමණ අවශ්‍ය වේ. (ජල පා සටහන අනුව )

  • හතර දෙනෙකුගෙන් යුත් පවූලකට දිනකට අවශ්‍ය ආහාර සැපයීම සඳහා ජලය ගැලොම් 6800 ක්‌ (ලීටර් 30,000 පමණ) වැය වේ. (ජල පා සටහන අනුව )

  • ශ්‍රී ලංකාවේ නිවාස සහ ආයතන සියයට දහයකට පමණ නළ ජල සැපයුම් ඇත.

  • දළ වශයෙන් ගණන් බලා ඇති පරිදි ශ්‍රී ලංකාවේ නළ ජලය පාවිච්චි කරන නිවාස හෝ වෙනත් ආයතන  වලින් 10 % ක පමණ (50,000 පමණ) ජලය  බින්දුව බැගින් හෝ අපතේ යන බව පෙනේ.

  • තත්පරයකට ජල බින්දුව බැගින් අපතේ යන ජල කරාමයකින් වර්ෂයකදී ජලය ලීටර් 3000 ක් පමණ අපතේ යනු ඇත.

  • ජල ඒකකයක් රුපියල් 50/= බැගින් මිළ  කළහොත් මෙම වාර්ෂික අපතේ යාම එක් පාරිභෝගික  ස්ථානයකින් රුපියල් 450/= ක් පමණ වේ.

  • මෙය වාර්ෂිකව රුපියල් ලක්ෂ විස්සක්  පමණ වියහැකි  බරපතල ජාතික අපරාධයකි. 

අපට අත්‍යාවශ්‍ය මහඟු ස්වාභාවික සම්පතක් වන ජලය පිලිබඳ විවිධ කරුණු රාශියක් ගැන මෙසේ  සැළකිලිමත්වූයේ  ජල භාවිතය හා සම්බන්ධ අතාත්වික (ඇසට නොපෙනෙන) ඉතාවැදගත් සම්බන්ධයක් පැහැදිලි කිරීමටය.

‘ජල පා සටහන’ වශයෙන් නම් කෙරෙන මෙම නව චින්තනය  දැනට ක්‍රමක්‍රමයෙන් සමාජගත වෙමින් පවතින, නුදුරු අනාගතයේදී මිනිසාට තම එදිනෙදා වැඩ කටයුතුවලදී බොහෝ විට ආදේශ කර ගැනීමට සිදුවන බලගතු සංකල්පයක් විය හැකිය.   

පා සටහනයනු  යම්කිසි කාර්යාවලියක් ආරම්භයේ සිට එහි අවසානය දක්වා සෑම පියවරකදීම ජල ‘භාවිතය සහ කළමනාකරණය’ සම්බන්ධව එක් එක්‌ පුද්ගලයාට, පුද්ගල කණ්ඩායමකට  හෝ ආයතනයකට පැවරෙන බර හෝ වගකීම හඳුනා ගැනීම සඳහා යෝජනා කර ඇති මිනුම් දණ්ඩකට අනුරූප උපකල්පනයකි.                               මෙම උපකල්පනයේ‘භාවිතය සහ කළමනාකරණය’ යනු නිශ්චිත කාල සීමාවක් තුළදී, ඇත්ත වශයෙන්ම පාවිච්චි කළ හෝ / සහ  එම පාවිච්චිය නිසා දූෂිත භාවයට පත්කරන ලද මිරිදිය පරිමාවයි.


මෙය 2004 වර්ෂයේදී යුනෙස්කෝ’ ආයතනය හා සම්බන්ධ පරිසර විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ, මහාචාර්ය ජෝන් ඇලන් විසින් ඉදිරිපත් කරන ලදුව, වැඩිදුර අධ්‍යයනය කර අනාගතයේදී ප්‍රයෝගික මට්ටමේ  සංකල්පයක් ලෙස සලකා බැලීමට බලාපොරොත්තු වන සංකල්පයකි.  එම අදහස ඉතාමත් සරලව පහත දැක්වෙන අයුරු අර්ථ දැක්විය හැකිය.


යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්, භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය, සැපයීම සහ භාවිතය උදෙසා, සෑම අයුරින්ම භාවිත කරනු ලබන මිරිදිය (ජලය) ප්‍රමාණය ජල පා සටහන (water footprint) වේ’.


ජල පා සටහන පිළිබඳව පාසැල් සිසුවෙකු විසින් නගන ලද ප්‍රශ්නයක්‌ සඳහා  පරිසර විද්‍යාඥයෙකු විසින් සපයන ලද පිළිතුරක් මෙසේ දක්වියහැකිය. 


සරල උදාහරණයක්‌ මගින් මෙම සංකල්පය පැහැදිලි කළ හැකිය. කෙනෙකු කෝපි කෝප්පයක් බොන විට, අපට එකවරටම හැඟී  යනුයේ එම කෝපි කෝප්පය සකස් කිරීම සඳහා අවශ්‍ය වනුයේ එහි ඇති ජලය පරිමාව පමණක් බවයි. එය 250 ml යයි සිතමු. අප එසේ සිතුවත් කෝපි කෝප්පය සකස් කිරීම සඳහා මූලික වන සියලුම කාර්යය සඳහා ජලය 140 L  (140,000 ml)  ක්‌ පමණ වැය වන බව ගණනය කළ හැකිය. එය සත්‍යයකි.  එහෙත් ඔබ එම අදහස ප්‍රතික්ෂේප කරනු ඇත. 


මෙම අදහස තරමක් ගැඹුරින් කල්පනා කර බලන විට, කෝපි වැවීම, කෝපි බීජ නිෂ්පාදනය, කෝපි ඇට වලින් කෝපි කුඩු සකස් කිරීම, ඒවා සුරක්ෂිතව ඇසීරීම, ඇසුරුම් නැව් ගත කිරීම, ප්‍රවාහනය, බෙදාහැරිම වැනි සෑම අදියරයකදීම අනියමින් හෝ ජලය අවශ්‍ය වේ. 


මෙසේ අදෘශ්‍යමානව වැය වන්නේයැයි අනුමාන වශයෙන්  සලකනු ලබන  ජල ප්‍රමාණය  අතාත්වික ජලය ලෙස හැඳින්වේ. මේ නිසා බීමට සකස් කරන ලද කෝපි කෝප්පයේ ‘ජල පා සටහන නමැති අදහසට  කෝපි කෝප්පයේ අඩංගු ජලයට අමතරව, ඉහත දැක්වූ  සියලුම අවස්ථාවලදී භාවිත වූ අතාත්වික ජලයෙන් කොටසක්ද  අයත් වේ. මෙය ගණනය කළ විට, කෝපි කෝප්පයේ අන්තර්ගත ජලය මෙන් 560 ගුණයක් පමණ වන බව විශ්වාස කළ හැකිද? එය ජලය ලීටර් 140 ට අනුරූප වේ. 


මේ ලෙසටම ‘තේ කෝප්පයක ජල පා සටහන’, ජලය 35 L (35,000 ml) බව ගණනය කර තිබේ.


අප නිතර භාවිත කරනු ලබන ආහාර වර්ග කිහිපයක ගණනය කරන ලද ‘ජල පා සටහන්’ දැක්වෙන සටහන බලන්න. මෙහි තේ සහ කෝපි කෝප්ප සංසන්දනය කළවිට, කෝපි කෝප්පයේ ජල පා සටහන තේ කෝප්පයේ  ජල පා සටහන මෙන් සිව් ගුණයක් බව පෙනේ. මෙවැනි භාණ්ඩවල මිල නියම වනුයේද මෙම සංකල්පයට  අනුරූපවය. 


එමෙන්ම ගව මස් කුකුල් මස් වලට වඩා මිල අධික වනුයේද මේ නිසා බව සාධාරණීකරණය කළ හැකිය. එම සටහනෙහි දැක්වෙන චීස් පෙත්තක හෝ හැම්බර්ගරයක මිල එතරම් අධික වනුයේද මේ නිසාම බව තීරණය කළ හැකිය. 


ජල පා සටහන පිළිබඳව සලකා බැලීමේදී ජල සංරක්ෂණය සඳහා නව දැක්මක් ඔස්සේ සිතා  බැලිය යුතු කාලය එළඹ තිබේ. මෙහිදී අතාත්වික ජලය ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේය.


මේ සියල්ලෙන්ම පැහැදිලි වනුයේ ඕනෑම සේවාවක‌ හෝ නිෂ්පාදනයකට අදාළ  ක්‍රියාදාමයේ  සෑම පියවරකදීම වාගේ  ජලය යම්කිසි ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. නවීන තාක්‍ෂණයත් සමග වේගයෙන් වෙනස් වන ජල කළමනාකරණයේ සිද්ධාන්ත වලට මේ වන විට ජල පා සටහනද මුල ධර්මයක් ලෙස  අන්තර්ගතවී ඇත.


තවත් බොහෝ නිෂ්පාදන හෝ සේවා සඳහා මෙවැනි 'ජල පා සටහන්' සකස් කර ඇති අතර එයින් කිහිපයක් පහත   වගුවේ දක්වා ඇත.


ජල පා සටහන මෙන්ම කාබන් පා  සටහන’ , ‘නයිට්‍රජන් පා  සටහනවැනි තවත් සංවර්ධනය ඉලක්ක කරගත් නව සංකල්ප නිරතුරුවම මිනිසාගේ දැනුම් සම්භාරයට එකතු වෙමින් පවතී.

 

(පොත පත ඇසුරෙනි.)


Sunday 25 October 2020

 ‘දෙබිඩි පොල්’ මගින්  ‘එලොව පොල්’ දැකීම. 

   

දැනට දශක හතරකට පමණ ඉහතදී, (1984 දී)  මා හට  සීෂෙල්ස් රාජ්‍යයේ අධ්‍යාපන ව්‍යාපෘතියක නියැලීම සඳහා අවස්ථාව  ලැබිණ. මෙම දේශය ඉන්දියන් සාගරයේ දකුණු දිගින්, හුදකලාව පවතින දූපත් සමූහයකින් යුක්තය.    ආසියා මහාද්වීපයෙන් සහ අප්‍රිකා මහාද්වීපයෙන් බොහෝ දුරස්ව පිහිටා ඇති නිසාම එම දූපත්වල  ජෛව විවිධත්වය අතින් බොහෝ සුවිශේෂී ලක්ෂණ දකින්නට ලැබේ.


එහි මාගේ සේවා කාලය අවසන් කර ආපසු මව්බිම කරා එන අවස්ථාවේදී  එරටට  ආවේණික  ජීව  විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත භාණ්ඩයක් මට තෑග්ගක් වශයෙන්  ලැබිණ. 


මෙම තෑග්ග ‘දෙබිඩි පොල් ගෙඩියකි’ (Double coconut)


සීෂෙල්ස් රාජ්‍යයේ ප්‍රධාන දූපත  ‘මාහේ’ (Mahe) වන අතර, දෙබිඩි පොල් වල නිජ බිම වනුයේ විශාලත්වයෙන් දෙවන ස්ථානය  ගන්නා ‘ප්‍රාලේ’ (Praslin) දූපතයි. මට එරට බහු තාක්ෂණ ආයතනයේ සිසු කණ්ඩායමක් සමග දෙබිඩි පොල් වනාන්තරයේ පරිසර අධ්‍යනයක් කිරීමටද  හැකිවිය. 


ඊට ටික කලකට පසු ශ්‍රී ලංකාවේදී උසස් පෙළ විද්‍යා සිසුන් සඳහා පවත්වන ලද කාර්ය සැසියක දෙබිඩි පොල් පිලිබඳ හැඳින්වීමක් කිරීමට මට ආරාධනයක් ලැබිණ. එහිදී ඉදිරිපත් කරනලද දෙබිඩි පොල් පිලිබඳ විස්තර ස්වල්පයක් මෙසේ  ලියා තැබීමි.   



  1. විවිධ ප්‍රමාණයේ දූපත් සියයකට වැඩි ප්‍රමාණයකින් සමන්විත සීෂෙල්ස් රාජ්‍යයේ ජනතාව පදිංචි වී සිටිනුයේ ප්‍රධාන දූපත් පහක පමණකි. ඉතිරි දූපත් සුළු වශයෙන් කෙරෙන වගා කටයුතු, කෘෂි කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය සඳහා උපයෝගී කරගනු ලැබේ. මුළු රටෙහිම ජනගහණය ලක්ෂයක් පමණ වේ. සෑම වසරකම පාහේ රටෙහි ජනගහනය මෙන් තුන් ගුණයක් පමණ සංචාරකයෝ එහි  පැමිණෙති.


  1. මෙම කුඩා රාජ්‍යයේ සම්පූර්ණ භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 425 පමණ වන අතර දූපත් විසිරි ඇති, විශාල සාගර ආර්ථික කලාපය වර්ග කිලෝමීටර 1,336,500  පමණ වේ. 

 

  1. ‘ප්‍රාලේ’ දූපත,  වර්ග කිලෝමීටර 40 පමණ වපසරියකින් යුක්ත වන අතර එය ‘මාහේ’ ප්‍රධාන දූපතේ සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටා ඇත. එහි යාම  සඳහා සැහැල්ලු ගුවන් යානයෙන් විනාඩි 15ක් ගතවේ. මුහුදෙන් යාමේදී  බෝට්ටු ගමනට පැයක් පමණ ගතවේ. 

  2. දෙබිඩි පොල් ගසෙහි නිජබිම වන ප්‍රාලේ දුපතේ පිහිටි, හෙක්ටෙයාර් 20 පමණ (අක්කර 48 පමණ) වන ප්‍රාග් ඓතිහාසික දෙබිඩි පොල් වනාන්තර රක්ෂිතය,  1983 වර්ෂයේදී UNESCO ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. 


  1. දෙබිඩි පොල්  අප හොඳින් දන්නා, සාමාන්‍ය පොල් මෙන් තාල වර්ගයට අයිති ගසකි. එහෙත් දෙබිඩි පොල් ශාකයේ ප්‍රමාණය සහ එහි අනිකුත් සියලුම ව්‍යුහ  සාමාන්‍ය පොල් ගසක අනුරූප කොටස් වලට වඩා බෙහෙවින් වෙනස් වේ.  



  1. ශාකයේ ප්‍රමාණය සහ එහි අනිකුත් සියලුම ව්‍යුහ  සාමාන්‍ය පොල් ගසක අනුරූප කොටස් වලට වඩා බෙහෙවින් වෙනස් වේ. අනිකුත් තාල වර්ගයේ ශාක වල මෙන් නොව මෙහි ජායාංගී (Female) සහ පූමංගී (Male) පුෂ්ප හටගන්නේ වෙන වෙනම ශාකවලය.  ජායාංගී ශාකයේ එක මල් කිනිත්තක පුෂ්ප දෙක තුනකට වඩා හට නොගනී.  

  2. දෙබිඩි පොල් වෙන වෙනම ඇති ශාකවල හටගන්නා පුං සහ ජායා පුෂ්ප පරාගණය වී සංසේචනය වීම සිදුවන්නේ කෙසේදැයි පිලිබඳ විද්‍යාත්මක තොරතුරු දුර්ලභය. ( එම දුපත් වලට  ආවේණික කොළ පැහැති හූනෙක්  වැනි කුඩා උරග විශේෂයක් මගින් සහ සුවිශේෂී මී  මැස්සෙකු මගින්   මෙය සිදු කරනු ඇති බව විශ්වාස කෙරේ.)  මෙම පරිසරයේ සමනලයින් සහ සලබයින් විරලය. 


  1. පූමංගී ශාකයක පුෂ්ප වල හටගන්නා පරාග මගින් පෝෂණය වන ජායාංගී පුෂ්ප වලින් හට ගන්නා දෙබිඩි පොල් ගෙඩියක් පරිණත වීම සඳහා වසර විස්සක් පමණ ගතවේ. මෙසේ වැඩුණු ගෙඩියක් කිලෝ ග්රෑම් තිහක් පමණ  බරින් යුක්තය. එහි බාහිර ආවරණය (ලෙල්ල) ඉවත් කළ පසු වුවද කිලෝ ග්රෑම් විස්සක් පමණ බර තිබේ. 


  1. මෙහි බීජය (ලෙල්ල ඉවත් කරනලද ‘ගෙඩිය’) ශාකය ලෝකයේ දකින්නට ලැබෙන ලොව ඇති විශාලතම බීජයයි.


‘Powerpoint slides’ කිහිපයක්ද උපයෝගී කර ගනිමින්  ආරම්භක  විස්තරය කළ මා, ඊටපසු, මට තෑගී ලැබුණු ලෙල්ල ඉවත්කරන ලද දෙබිඩි පොල් ගෙඩිය බෑගයෙන් එලියට ගෙන රැස්ව සිටි සිසුන්ට සහ ගුරු මහත්මා මහත්මීන්ට දැක බලා ගැනීම සඳහා අතින් අත යැවීම පිණිස භාර දුනිමි. 


එය දුටු සියල්ලෝම මහත් කුතුහලයකින් යුතුව නොඉවසිලිමත් වනු දකින්නට ලැබිණ. එය දැක, ගුරු සිසු දෙපක්ෂයේම  මුහුණු අමුතුවී ලජ්ජා සහිත ස්වභාවයක්ද ඉස්මතු වනු  දුටුවෙමි. එකිනෙකා පහත් ස්වරයෙන් යම් යම්   දේ මිමිණුවා මිස, කිසිවෙකු යමක් ප්‍රකාශ කළේ නැත. ‘දෙබිඩි පොල් ගෙඩිය’ අතින් අත යවන ලද්දේ  කාටත් එය අත පත ගා හොඳින් නිරීක්ෂණය කිරීම පිණිසය.  එහෙත් සියලු දෙනා තුළම මහත් කුතුහලයක් ඇතිවූයේ ලෙලි ඉවත් කළ දෙබිඩි පොලය දැකීමෙන් පසුවය. එය බෙහෙවින් විශ්මය ජනක ස්වාභාවික නිමැවුමකි. (ඡායාරූපය බලන්න.)


මට වෙන්කර තිබුණු  කාලය සීමිත නිසා විනාඩි  තිහකින් පමණ විස්තරය නිම කිරීමට සිදුවිය. ‘දෙබිඩි පොල්’ පිලිබඳ පහත සඳහන් වැදගත් කරුණු මම   ඔවුනට කෙටියෙන් පැහැදිලි කර දුනිමි.


  • දිගු කලක සිට මුහුදේ පාවී ආ පොල් ගෙඩියක ස්වරුපය ඇති මෙම ‘බීජය’ එනු ලබන්නේ කොහි සිටදෝ නොදත් නිසා එය මහ මුහුද පතුළේ  තිබෙන දේව බලයක් සහිත අද්භූත ගසක ගෙඩියක්යයි විශ්වාසයක් පැවතුනි.


  • මුලින්ම එය ප්‍රංශ බසින් ‘කොකෝ  ඩෙ මේ’- Coco de mer - (මුහුදෙන් ආ පොල්)  යනුවෙන් නම් කර තිබේ.


  • එය මාලදිවයින් අසල මුහුදේ කලාතුරකින් හමුවූ නිසා පසුව එය එම ප්‍රදේශයේ මුහුදු පතුලේ ඇති ශාකයකැයි විශ්වාස කර එයට Lodoicea maldivica යන උද්භිද විද්‍යාත්මක නාමය  ලැබී ඇත. (Lodoicea තාල වර්ගයේ ශාක ගණයකි). 


  • දැනට ශත වර්ෂ කිහිපයකට පෙර සීෂෙල්ස්හි ‘ප්‍රාලේ’ දූපතෙහි දෙබිඩි පොල් වනාන්තරය සොයා ගැනීමෙන් පසු එය  Lodoicea sechellarum  ලෙස නම්කර ඇත. සමහර අවස්ථාවලදී පැරණි නාමයද රඳවා ගැනීම පිණිස දෙබිඩි  පොල් ශාකය Lodoicea (maldivica) seychellarum ලෙසද නම් කෙරේ.


  • මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ පරිනත වූ බීජයේ බාහිර ආවරණය (ලෙල්ල) ඉවත් කළ විට එය කාන්තාවකගේ නග්න උකුල් ප්‍රදේශයේ ස්වරූපය ගැනීම නිසා එය මහත් ආන්දෝලනාත්මක වස්තුවක් විය.


  • එසේම පුං ශාකයේ   හටගන්නා විශාල පුෂ්ප මංජරිය පුරුෂයෙකුගේ ලිඟුවේ හැඩය ගැනීමද තවත් ආශ්චර්යයකි.(ඡායාරූපය බලන්න).




  • මෙම ස්වාභාවික ආශ්චර්‍යමත් ව්‍යුහය  නිසා ආදම් සහ ඒව (Adam and Eve) මෙම දිවයින් වල විසු බව විශ්වාස කර, දේව කථා ආශ්‍රීතව මෙම දිවයින් සඳහා, පාරාදීස දිවයින්  (Islands of Paradise) යන  අන්වර්ථ නාමයක්ද පට බැඳී තිබේ. ආදම් සහ ඒව තම ආත්මයේ ජෛව සංකේත මෙම ශාක වලට ආරුඪ කළාහු ද?


  • කෙසේ හෝ මෙම ශාකවල පුෂ්ප පරාගණය  පිළිබඳව දේව කතාවක්ද නිර්මාණය වී තිබේ. ඒ  අනුව පුන්සඳ පායා, අහසේ තරු බැබලෙමින්, මන්ද මාරුතයද  තිබෙන දිනවල රාත්‍රී කාලයේදී  දෙබිඩි පොල් පුං සහ ජායා ශාක දේව අනුහසින් නැමී ආලිංගනය කරගන්නා බවත්, එම සමීප ආලිංගනය  හේතු කොටගෙන  පුෂ්ප පරාගණය වී සංසේචනයෙන් පසු ගෙඩි හටගන්නා  බවටද විශ්වාසයක් පවතී.


කාලය සීමා වූ නිසා මට සිසුන් සමග කතාබස් කළ හැකිවුයේ ඉහත දැක්වෙන තොරතුරු පමණකි. අවසානයේදී එක සිසුවියක් විසින් ප්‍රශ්නයක් අසන ලදී.


“අපට බොහෝ අවස්ථාවලදී අසන්නට ලැබෙන එලොව පොල්  මේ දෙබිඩි පොල්ද?”


මේ ප්‍රශ්නය සඳහා මා කළ පැහැදිලි කිරීම මෙසේය 


“මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තිබෙන්නට හැකිය. ඒ කෙසේ වෙතත්  අපගේ ගැමි වහරෙහි හැටියට ‘එලොව පොල් පෙනුනා’ යයි කියන්නේ යම්කිසි ‘බැරි බරක්’ හිසට දමාගත් විටය. මෙය හිස මතට ඇත්ත වශයෙන්ම වැටුණු බරක් හෝ මනසට ඇතුල්වූ උභතෝකෝටික ප්‍රශ්නයක් විය හැකිය. බර සැහැල්ලු කරගත් පසු හෝ මනසේ ගැටලුව විසඳා ගත් පසු  එලොව පොල් පෙනුන බව පවසනු  අප අසා තිබේ. එය වැඩිමනත් විස්තර කිසිවක් නොදන්නා, අතාත්වික ‘එලොව’ නම් ස්ථානයේ තිබේයයි සිතිය හැකි  ‘පොල්’  විය හැකිය. මෙම කියමන සඳහා ‘එලොව කොස්’, ‘එලොව අඹ’, වැනි වෙනත් ගෙඩි වර්ගයක් ආදේශ කර නොගන්නේ එහි ‘පොල්’ හා සම්බන්ධ  යම්කිසි සැඟවුණු අර්ථයක් තිබෙන නිසාද  විය හැකිය.”


“කෙසේ වෙතත් ‘මෙලොව’ සිටින අය සඳහන් කරනු ලබන  ‘එලොව පොල්’ අපගේ සැලකිල්ලට භාජන වන ‘දෙබිඩි පොල්’ විය නොහැකිද? මෙහි එලොව වශයෙන් සඳහන් වන්නේ (තිබේයයි  බොහෝ අය විශ්වාස කරන) දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක. අපාය වැනි ස්ථානද? එසේනම් ගැඹුරු මුහුදේ අගාධයන්හි මෙතෙක් කිසිවෙකුගේ ඇස නොගැටුණු ‘එලොවක්’ ගැන මිනිසා විසින් සිතෙහි මවාගන්නා ලද සංකල්පයක් විය නොහැකිද?”


‘දෙබිඩි පොල්’ වලට පහත දැක්වෙන අයුරු දේව කථාද ඈඳී  තිබේ. 

         

  • මුලින්ම මෙය මහ මුහුද පතුළේ  තිබෙන දේව බලයක් සහිත අද්භූත ගසක ගෙඩියක්යයි විශ්වාසයක් පැවතුනි.


  • ජායා ශාකයේ හටගන්නා ගෙඩිය (බීජය) කාන්තාවකගේ නග්න උකුල් ප්‍රදේශයේ හැඩය ගැනීම සහ පුං ශාකයේ හටගන්නා පුෂ්ප මංජරිය පුරුෂ ලිඟුවක  හැඩය ගැනීමද දේව බලයෙන් සිදුවුවක්දැයි සැකයෙකි.!


  • ආදම් සහ ඒව (Adam and Eve) මෙම දිවයින් වල විසු බව විශ්වාස කර, දේව කථා ආශ්‍රීතව මෙම දිවයින් සඳහා පාරාදීස දිවයින්  (Islands of Paradise) යන  අන්වර්ථ නාමයක්ද පට බැඳී තිබේ.


  • පුං සහ ජායා ශාක, දේව අනුහසින් ආලිංගනය කරගන්නා බවත්, එය හේතු කොටගෙන  පුෂ්ප පරාගණය වී සංසේචනයෙන් පසු ගෙඩි හටගන්නා  බවද විශ්වාස කරනුයේ දේව විශ්වාසය නිසාය.


  • පුං පුෂ්ප මංජරියේ හැඩය සහ පරිණත බීජයේ හැඩහුරුකම අනුව,  ආදම් සහ ඒව තම ආත්මයේ ජෛව සංකේත මෙම ශාක වලට ආරුඪ කර තිබෙන බවටද තදබල විශ්වාසයක් පවතී.


ස්වභාව ධර්මයේ තිබෙන මෙවැනි ආශ්චර්යමත් සංසිද්ධීන් සඳහා වීද්‍යාත්මක  විසඳුම් සෙවීම විනා, වෙනත් අද්භූත බලවේග වල එල්බ සිටීම  මුලාවක් බව බොහෝ අය පිලි නොගනිති.


කෙසේ වෙතත් මෙම විශ්වාස නිසා දැනටද සීෂෙල්ස්හි ගැමියන් අතර ‘දෙබිඩි පොල්’ පිළිබඳව විශාල භක්තියක් තිබේ. ඔවුන් එයට වැඳුම් පිදුම් නොකළත් එය අනර්ඝ වස්තුවක් ලෙස සලකති. ඔව්හු මෙම පොල් ගෙඩියක් බිඳීමටවත් අකමැතිය. මෙම පොල් ගෙඩියේ මද කෑ කෙනෙකුට එහි පොල් කටුවම භාවිත කර සිඟමන් යැදීමට සිදුවන බව එරටෙහි පැරැන්නෝ තදයේ විශ්වාස කරති.


මේ සියලු විශ්වාසයන් නිසා ප්‍රාලේ දුපතේ තිබෙන දෙබිඩි පොල් වනාන්තරය දැඩි රක්ෂිතයක් ලෙස නිරුපද්‍රිතව පවතී. මෙම භුමිය ලෝක පරිසර උරුමයකි. Lodoicea maldivica (seychellarum)  ශාකය  ස්වාභාවික හේතු නිසා වඳවීයාමේ තර්ජනයට මුණ පා ඇති ශාකයක් ලෙස ජාත්‍යන්තර සොබාදහම සංරක්ෂණ සංගමයේ (International Union for Conservation of Nature -IUCN) රතු දත්ත පොතෙහි සඳහන් කර තිබේ.

 

(මාගේ නොවන ඡායාරූප සියල්ල, ස්තුති පුර්වකව, අන්තර්ජාලයෙනි)