Monday, 8 May 2023

 බලවත් පරිසර හානියක් සිදු කරන “ප්ලාස්ටික්”

මිනිසා ඇතුළු පෘථිවි වාසී සමස්ත ජීවී සංහතියට ම මහත් උපද්‍රව ගෙන දීමේ ව්‍යසනයක මට්ටමකට, පරිසර දූෂණය උග්‍ර වෙමින් පවතී. පරිසරය යනු අප සැමගේ වටපිටාවයි. පරිසරයේ සිටින සියලුම ජීවීන් එහි ජෛවීය සාධක වන අතර වාතය, ජලය, පස වැනි භෞතික සංඝටක අජෛවීය සාධක වේ. මීට අමතරව වර්ෂාපතනය, සුළඟ, සූර්යාලෝකය, උෂ්ණත්වය වැනි වෙනත් ස්වාභාවික සංසිද්ධි ද පරිසරය කෙරෙහි බලපෑමක් ඇති කරන තවත් සාධක වේ. පෘථිවියේ ජීවීන් හටගත් කාලයේ සිට ම, මෙම සාධක සියල්ලේම මනා සමතුලිතතාවයක් මගින් පෘථිවිය මත ජීවීන්ට අවශ්‍ය ප්‍රශස්ත දේශගුණයක් සකස් වී තිබේ. එහෙත් කාර්මික විප්ලවය ආරම්භයේ සිට මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට එකතු වූ බොහෝ අහිතකර දේ නිසා අද සමස්ත පරිසරය ම මහත් පරිහානියකට පත්වී තිබේ. “ප්ලාස්ටික්” යනු පරිසර පරිහානියට තුඩු දෙන මහත් විනාශකාරී ද්‍රව්‍යයකි.

 “ප්ලාස්ටික්” වශයෙන් හැඳින්වෙන්නේ මොනවාද?

“ඇදෙනසුලු ගතිය” යන අර්ථය ඇති elasticity නම් ඉංග්‍රීසි වචනයට බොහෝ දුරට අනුරූප, “ඇඹීමේ කටයුතු සඳහා යෝග්‍ය” යන අර්ථය ඇති plasticity යන ඉංග්‍රීසි වචනයෙන් “ප්ලාස්ටික්” (plastic) යන නාමය ව්‍යුත්පන්න වී තිබේ. අනාදිමත් කාලයක සිට පිළිම සහ ප්‍රතිමා නෙලීම සඳහාත් හැලි වලං තැනීමේදීත් භාවිත කර ඇති මැටි, ස්වාභාවික ඇඹීමේ ද්‍රව්‍යයකි (moulding material). විසි වන ශත වර්ෂය මුල් කාලයේදී කාබනික රසායන විද්‍යාවේ, බහු අවයවික (polymer) සංයෝග හඳුන්වා දීම, ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේ මූලාරම්භයයි. දිගු කාබන් දාම සහිත, පොලිමර් (polymer) සංයෝග වෙනත් විවිධ ද්‍රව්‍ය සමග මිශ්‍ර කිරීමෙන් විවිධ ගති ලක්ෂණ වලින් යුක්ත කෘතීම ද්‍රව්‍ය නිපදවා ගත හැකි විය. බොහෝ විට, අධික පීඩනය සහ ඉහළ උෂ්ණත්වය යටතේ ඒවායේ ඇති සුවිශේෂී මොළොක් සහ සුමට ලක්ෂණ නිසා “ප්ලාස්ටික්” ලෙස නම් කෙරුණු මෙම කෘතිම ද්‍රව්‍ය, භාණ්ඩ නිර්මාණය සඳහා ඉතාමත් යෝග්‍ය බව ප්‍රායෝගිකව දකින්නට ලැබුණි. ප්ලාස්ටික් ද්‍රව්‍ය වල සැහැල්ලු බව, කල් පැවැත්ම, නිෂ්පාදන පහසුව, මිල අඩු බව යනාදී කරුණු නිසා ඒවා ඉක්මනින් ම ජනප්‍රිය විය. මෙම ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය සඳහා පෙට්‍රෝලියම් වැනි ෆොසිල ඉන්ධන වල අඩංගු විවිධ රසායන සංයෝග අමුද්‍රව්‍ය ලෙස පහසුවෙන්ම භාවිත කළ හැකි බවද සොයා ගන්නා ලදී.

ලොව මුල්ම කෘතීම ප්ලාස්ටික් වර්ගය වූ “බේක්ලයිට්” (Bakelite) නමැති ද්‍රව්‍යය 1907 වර්ෂයේ දී නිෂ්පාදනය කර තිබේ. මේ වන විට “පොලි-එතිලීන්” හෙවත් පොලිතීන්, “පොලිවීනයිල් ක්ලෝරයිඩ්” (PVC) වැනි බහු අවයවික නැතහොත් පොලිමර්, ප්ලාස්ටික් කර්මාන්තයේ බහුලව භාවිත වන සංයෝග වේ. දැනට ලොව පුරා නිෂ්පාදනය වන ප්ලාස්ටික් වලින් 30% ක් පමණ ඇසුරුම් ද්‍රව්‍ය ලෙස භාවිත කෙරේ. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ විවිධ උපකරණ සහ ශරීර අභ්‍යන්තර අවයවල ආදේශිත කොටස් බද්ධ කිරීමේදීත් විවිධ ප්ලාස්ටික් භාවිත කරනු ලැබේ. මෙයට අමතරව රථවාහන, ගෘහභාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය වැනි වෙනත් නොයෙකුත් කාර්යය සඳහාද පොලිමර් අත්‍යාවශ්‍ය අමු ද්‍රව්‍ය වී තිබේ. 

ප්ලාස්ටික් පරිසරයට එකතු වන්නේ කෙසේද? 

ප්ලාස්ටික් පරිසර දූෂණය අද මුළු ලොවටම තදින් බලපාන ගැටලුවකි. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඉතා කාර්යක්ෂම ක්‍රමවේද භාවිත නොවන රටවල, ඉවත දැමෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කෙතරම් විශාල ද යත් “ප්ලාස්ටික් කඳු” ගොඩ ගැසෙමින් තිබේ. 

පරිසරය සමස්තයක් වශයෙන් ගත් විට, එහි “ඉවත” (away) ලෙස නම් කළ හැකි කිසිම ඉඩකඩක් නොමැති ය. මේ නිසා අපද්‍රව්‍ය කළමනාකරණයේ දී කළ යුතු හොඳම ප්‍රතිකර්මය “ඉවත දැමීම” නොව ප්‍රතිචක්‍රීකරණය යි. බැහැර කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර විවිධ රසායන ද්‍රව්‍ය සහ දෘඩතාවය සඳහා මිශ්‍ර කරනු ලබන වෙනත් ද්‍රව්‍ය ද අඩංගු වේ. මේ නිසා ප්ලාස්ටික් භාණ්ඩ විවිධ සංයුති, ස්වරූප දසදහස් ගණනකින් යුක්ත වේ. ඒ සියල්ල ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද මගින් පමණක් මනා කළමනාකරණයකට යොමු කිරීම සඳහා සුදුසු එකම පිළිවෙතක් අනුගමනය කිරීම ද කළ නොහැකිය. මෙය අති මහත් කළමනාකරණ ගැටලුවකි. 

 

පෙට්‍රෝලියම් වැනි ෆොසිල ඉන්ධන ආශ්‍රිතව ප්ලාස්ටික් නිෂ්පාදනය ආරම්භ කර ශත වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වී නොමැත. විශේෂයෙන් ම, දෙවන ලෝක යුද්ධයෙන් පසු ආරම්භ වූ නුතන මිනිස් ජීවන රටාවට අනුව ප්ලාස්ටික් ද්‍රව්‍ය රහිතව ජීවත්වීමක් ගැන සිතීමටවත් නොහැකි තරමට ඒවා මිනිස් ක්‍රියාකාරකම් සමග තදින් බැඳී පවතී. ලෝක ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් 40% පමණ, එක් වරක් පමණක් භාවිත කර අත්හැර දමන, භාවිත ආයු කාලය මිනිත්තු කිහිපයක් පමණක් වන ඇසුරුම් වේ. එහෙත් මේවා වසර ගණනාවක් දිරාපත් නොවී පරිසරයේ රැඳී සිටී.

අප නිරතුරුවම භාවිත කරන “සිලි සිලි බෑග්” හෝ shopping bags යන නමින් හඳුන්වන මලු නිපදවන ද්‍රව්‍යයේ රසායන විද්‍යාත්මක නාමය පොලිඑතිලීන්ය. එම නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතින එතිලීන් (CH2 = CH2) හයිඩ්‍රෝකාබනයයි. මෙම සංයෝගය මොනොමරයකි (monomer). මෙවැනි සරල එතිලීන් අණු ලක්ෂ සංඛ්‍යාත ගණනක් රසායනිකව එකට බැඳ එකතු කිරීමෙන් පොලිඑතිලීන් නිෂ්පාදනය කෙරේ. මෙම සටහනෙහි දැක්වෙනුයේ එතිලීන් අණු විශාල සංඛ්‍යාවක් එකට බැඳීම මගින් අති විශාල දාමයක් සහිත පොලිඑතිලීන් අණුවක් සෑදෙන ආකාරයයි. 

A picture containing schematic

Description automatically generated

මෙම පොලිඑතිලීන් පොලිමරයේ (polymer) එතිලීන් (CH2 = CH2) අණු, n = 105 ක් නැතහොත් අණු 100,000 ක් පමණ එකට බැඳී තිබේ. මෙවැනි ප්ලාස්ටික් වර්ගයක් ස්වාභාවිකව දිරාපත් වීම සඳහා වසර සිය ගණනක් ගත විය හැකිය.

ලොව මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන ප්ලාස්ටික් භාණ්ඩ, උපකරණ සහ මෙවලම් ආදියෙන් හරි අඩක් පමණ නිෂ්පාදනය කර තිබෙන්නේ පසුගිය දශක කිහිපය තුළ දී ය. Science News සඟරාවේ පළකර තිබූ ලිපියකට අනුව 1950 වසරේ දී ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනය ටොන් මිලියන 2.3 ක් වූ අතර, 2015 වසරේ දී වාර්ෂික නිෂ්පාදනය ටොන් මිලියන 448 ක් වී තිබේ. ලෝකයේ මෙම නිෂ්පාදන ධාරිතාව 2050 වන විට මෙය මෙන් දෙගුණයක් විය හැකි බවට පෙරැයීමක් ද කර තිබේ. සෑම වසරක දී ම මෙම ප්ලාස්ටික් තොගයෙන් ටොන් මිලියන අටක් පමණ මහා සාගරයට එකතු වන බවට ද ගණන් බලා තිබේ. මෙයින් සමහර ද්‍රව්‍ය ස්වාභාවිකව දිරා යාම පිණිස වසර 400 ක් පමණ ගතවන බව ද නිගමනය කර ඇත.

ප්ලාස්ටික් ලොව පුරා විසිරීම 

පරිසරයේ “ඉවත” යනුවෙන් ස්ථානයක් නොමැති බව කලින් ද සඳහන් කෙරුණි. නමුත්, මිනිසා ජන්මයෙන් ම හුරු පුරුදු වී සිටින්නේ තමන් විසින් භාවිත කර ඉතිරිවන දේ “කසළ” ලෙස සැලකීමට ය. මෙම කසළ බොහෝ විට නතර වනුයේ පොළොවේ භුමිය මත වේ. මෙයින් කොටසක් ගංගා, ඇළ, දොළ වැනි ජල මාර්ග ඔස්සේ අවසානයේ සාගරයට එකතු වේ. බොහෝ විට මුහුදු වෙරළෙහි දකින්නට ලැබෙන මෙම අපද්‍රව්‍ය සාගර දියවැල්වලට හසු වී වෙනත් ප්‍රදේශවලට ද සංක්‍රමණය වේ. මේ සම්බන්ධ කදිම උදාහරණයක් මෙසේ ය. 

නවසීලන්තය සහ චිලි රාජ්‍යය අතර පැසිෆික් සාගරයේ හරි මැද පිහිටි ජනශුන්‍ය හෙන්ඩර්සන් නම් කිලෝමීටර් 9.6 ක් දිගින් සහ කිලෝමීටර් 5.1 ක් පළලින් යුතු වපසරිය 37.3 km² ක් වූ කුඩා දූපතේ මෑතක දී කර ඇති අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ (ඉහත ඡායාරූපයේ දැක්වෙන) එහි වෙරළේ රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, දකුණු අප්‍රිකාව, ජපානය සහ චීනය යන රටවල නිෂ්පාදිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇති බවයි. ඒ රටවලින් කිට්ටුම රට වන දකුණු අප්‍රිකාවේ සිට වුව ද, හෙන්ඩර්සන් දූපතට දුර කිලෝමීටර් 13,000 කට වැඩි ය. මහා සාගරය මැද හුදකලා වී ඇති ජනශුන්‍ය මෙවැනි දූපතකට වුව ද ප්ලාස්ටික් මෙසේ වින කටින්නේ නම් අනිකුත් රටවල් වල ඉරණම ගැන කියනු කවරේ ද?

ප්ලාස්ටික් වලින් ජලජ සහ වන ජීවීන්ට සිදුවන හානි

මිනිසා මෙන්ම වෙනත් ලක්ෂ සංඛ්‍යාත ජීවීන් ද ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා පීඩා විඳිති. මරණයට පවා ගොදුරු වෙති. සාගරයේ මත්ස්‍යයින් සහ වෙනත් විවිධ සතුන් සහ ජලාශ්‍රීත පක්ෂීන් මේ අතර ප්‍රධාන වේ. දැනට හඳුනාගෙන ඇති පරිදි, ජලජ ජීවී විශේෂ 700 පමණ මෙම උවදුරට භාජන වී සිටිති. සියලුම මුහුදු පක්ෂී විශේෂවල පාහේ සාමාජිකයින් ද ප්ලාස්ටික් ගිල දමන බව නිරීක්ෂණය කර තිබේ. 

අතහැර දමන ලද ප්ලාස්ටික් ධීවර ආම්පන්න, ප්ලාස්ටික් බෝතල් සහ ඇසුරුම් ද්‍රව්‍ය සමහර අවස්ථාවල දී ජලජ සතුන්ගේ උගුල් බවට පත්වේ. කුඩා මත්ස්‍යයින්ට අමතරව මේවායේ පැටලෙන සීල්, තල්මසුන් සහ කැස්බෑවන් වැනි විශාල සත්තු පවා බොහෝ විට නිරාහාරව මිය යති. තවත් සමහර අවස්ථාවල දී, ගිල දැමූ ප්ලාස්ටික් ද්‍රව්‍ය ආහාර මාර්ගයේ සිරවීම නිසා ආහාර ගැනීමට නොහැකිව මියයන ජලජ සතුන් ගැන ද වාර්තා වී තිබේ. ගොඩබිම වනාන්තර වල ජීවත් වන, අලි ඇතුන්, සීබ්‍රා, ජිරාෆ්, කොටි, ඔටුවන්, ගවයන් සහ වෙනත් ක්‍ෂීරපායින් ද ප්ලාස්ටික් ද්‍රව්‍ය ආහාරයට ගෙන තිබෙන බවත්, සමහර අවස්ථාවල දී ඒ නිසාම මරණයට පත් වී ඇති බවත් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වී ඇත.