සොබා දහමේ සම්මත නීති රීති වලට එරෙහි නොවෙමින්, එහි ඇති සමහර සිත් ගන්නා සුළු නිමැවුම් විවිධ ආකාරයට හසුරවා නව අදහස් ජනිත කරවීමේ සහජ හැකියාවක් මිනිසාට තිබේ. නව තාක්ෂණය මගින් සොයාගෙන තිබෙන බොහෝ සුරු විරු කම් වලින් කරනු ලබන විස්කම් වලට වඩා ස්වභාවික දේ හසුරුවා දක්වන දස්කම් අගයෙන් වැඩියයි සිතේ.
මෙහි දැක්වෙනුයේ එවැනි නිමැවුම් කිහිපයකි.
මෙය “දියලබු ගැටය” ලෙස නම් කළ හැකිය
දිය ලබු ගැටය
කුකර්බිටේසී (Cucurbitaceae) ශාක කුලයට අයත් මෙම දිය ලබු විශේෂය හැඳින්වෙන්නේ Lagenaria siceraria යන උද්භිද විද්‍යාත්මක නමින්ය. මෙහි විශේෂත්වයක් වන්නේ එම ශාකයේ ඵලය බෝතලයක හෝ ප්ලාස්කුවක හැඩය ගෙන දිග ‘බෙල්ලක්’ සහිතව වර්ධනය වීමයි. මෙම ඡායාරූපයේ දැක්වෙන පරිදි මෙම දියලබු වැලෙහි හටගත් ‘ගෙඩි මල්’ (Female flowers) දෙකක් පරාගණය වී සෑදුනු හෝ පරාගණය කර, සකස් කර ගත් කුඩා ඵල (ගෙඩි) දෙකක් දක්ෂ ලෙස හසුරුවා මෙම ගැටය සාදා තිබේ. මෙම ලබු වැල වැවූ තැනැත්තා ඉතාමත් මහන්සියකින්, මනා සංයමයකින් සහ නොපසුබට උත්සාහයකින් යුක්තව මෙම සූක්‍ෂම නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකිය.
ඝර්ම කලාපිය රටවල වැවෙන වට්ටක්කා, පිපිඤ්ඤා, කොමඩු, ලබු, පුහුල්, වැටකොලු, කරවිල වැනි ආහාරයට ගන්නා එළවලු වර්ග සහ ආහාරයට නොගන්නා ඵලද දරන විශේෂ ඇතුළුව ශාක විශේෂ 800 ක් පමණ මෙම කුලයට අයත්ය.
මෙම කුලයේ ශාක සියල්ලම පාහේ වැල් වශයෙන් ඇදී යන ශාක වේ. මේවායේ බොහෝ විට එකම ශාකයේ පූමංගි සහ ජායංගී පුෂ්ප වෙන වෙනම හට ගනී. ජායංගී පුෂ්පයේ පහලින් කුඩා ඵලය පහසුවෙන් දැකගත හැකිය. පරාගණය සඳහා අවශ්‍ය පරාග නිපදවනුයේ පූමංගි පුෂ්ප මගින්ය. (රූප සටහන බලන්න)
මෙහි ලබූ ගැටය සකස් කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ ලැබූ වැලේ කිට්ටුවෙන් පිහිටි හෝ
වෙනම වැල් දෙකක හටගත් සාර්ථක පරාගණය සිදුවී වර්ධනය වන ලපටි ඵල (ගෙඩි) දෙකකි.
ලපටි අවස්ථාවේදී තරමක් බූව සහිත ගෙඩි ඉතාමත් ප්‍රවේශමෙන් ස්පර්ශ කළ යුතුය. බාහිර ඩහදිය වැනි අහිතකර දෙයක් හෝ වෙනත් විෂ සහිත දෙයක් තැවරුණහොත් ගෙඩි කුණුවී යාමට ඉඩකඩ තිබේ. කෙසේ වෙතත් සෙන්ටිමීටර් හත අටක් දිගට වැඩුණු ලපටි ගෙඩි දෙක ඉතාමත් ප්‍රවේශමෙන් නමා ගැටය ආරම්භ කළ හැකිය. කුඩා ගෙඩි වල වර්ධනයත් සමග, දින දහයක් දොළහක් තිස්සේ දිනපතාම ගැටය ක්‍රමක්‍රමයෙන් අවශ්‍ය ප්‍රමාණයට තද කර අවශ්‍ය අවසාන ගැටය නිර්මාණය කර තිබේ. මෙසේ සාර්ථකව සාදාගත් ‘ලබු ගැටය’ කෘමීන් වැනි බාහිර උවදුරු වලින් ප්‍රවේශම් කර ගත් විට සති අටකදී පමණ මෙම ප්‍රමාණයට විශාල වේ. ඒ වන විට මේ ආකාරයේ සම්පූර්ණ ‘දියලබු ගැටය’ ලබාගත හැකිය.
විස්තර කිරීමට පහසු වුවත් මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නිර්මාණකරු අඩුම වශයෙන් හතර පස් වතාවක්වත් උත්සාහ කර අවසානයේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
‘ගස් ගැටය’
මෙම රූපයේ දැක්වෙන්නේද එකිනෙක අසල පිහිටි වර්ධනය වෙමින් පවතින කුඩා ශාක දෙකක් ප්‍රවේශමෙන් නමා ගැටයක් සාදා, පසුව ස්වාභාවික වර්ධනයට සලස්වා මහඟු නිර්මාණයක් කර ඇති ආකාරයයි. මේ සඳහාද යොදාගෙන ඇත්තේ ඝර්ම කලාපීය රටවල බහුලව වැඩෙන (මල් මාර හෝ මැයි මාර) යන නම් වලින් හැඳින්වෙන Delonix regia ශාකයයි. රනිල කුලයට අයිති වෘක්ෂයක් වන මෙම ශාකය අයත් වන්නේ Caesalpinioideae උප කුලයටය. මෙම ශාකයේ
නිජබිම මැඩගස්කරය වේ. ‘විචිත්‍රවත්’ යන අර්ථය ගෙන දෙන (flamboyant) සහ ‘වනාන්තරයේ ගිනි දැල්ල’ ලෙස දැක්වෙන (flame of the forest) යන නම් වලින්ද හැඳින්වෙනුයේ මෙම ‘මල් මාර’ ශාකයයි. මෙම අන්වර්ථ නාම ලැබී ඇත්තේ මෙම ශාකයේ පුෂ්ප දරන කාලයට එහි පැතලි හැඩයකින් යුක්ත තුරු මුදුන, කහ පැහැය මිශ්‍ර තද රතු පැහැයෙන් දිදුලන පුෂ්ප වලින් වැසි ගිය විට, එය ගිනි ජාලාවක් ලෙසට ඈතට දිස් වන බැවින්ය.
මෙම ගස් ගැටයේ නිර්මාණකරු බලාපොරොත්තු වන්නට ඇත්තේ පැළ දෙක එකට ගැට ගසා අවසානයේදී, විශාල ‘පිරිමි ගැටයක්’ (Reef Knot) සහිත නිර්මාණයක් කිරීමට බව අනුමාන කළ හැකිය. එසේ වුවත් ඔහුගේ හෝ ඇයගේ එල්ලය වෙනස් වී වෙනත් ආකාරයක ගැටයක් ලැබී ඇතැයි සිතිය හැකිය. පිරිමි ගැටය තරමටම විශ්වාසදායක නොවන මෙම ගැටය වෙනත් විවිධ නම් වලින් හැඳින්වේ. ‘පිරිමි ගැටය’ සෑම අතින්ම සමමිතික (symmetrical) ගැටයක් වන අතර, එය පාර්සලයක් බැඳීම, එකාකාර ලණු දෙකක් එකට ගැට ගැසීම, සපත්තු නූල ගැට ගැසීම වැනි බොහෝ අවස්ථා වලදී භාවිත කරනු ලබන, එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය ප්‍රායෝගික ගැටයකි.
ඉහත දැක්වෙන ආකාරයට මහත් පරිශ්‍රමයක් දරා නිර්මාණය කර තිබෙන මෙම ‘ගස් ගැටය’ හොඳින් පරික්ෂා කළවිට, එය පිරිමි ගැටයෙන් වෙනස් වී ඇත්තේ මන්ද යන්න වටහා ගත හැකිය. (මේ සමග ඇති ‘පිරිමි ගැටය’ ආකෘතිය බලන්න.)
මෙම නිර්මාණය කිරීමේ පළමු පියවරේදී, ඡායාරූපයේ දකුණු පැත්තේ ඇති (අංක 1) පැළයේ කඳ, එහි පෙනෙන ආකාරයට වම් පැත්තට නමා, නැවත දකුණු පැත්තට පුඩුවක් සකස් කර තිබේ. එමෙන්ම වම් පස ඇති (අංක 2) පැළයේ කඳද ඒ ආකාරයටම දකුණු පසට නමා එවැනිම පුඩුවක් වම් පසට සාදා ඇත.
‘පිරිමි ගැටය’ සෑදීම සඳහා දෙවෙනි පියවරේදී කළ යුත්තේ (අංක 1) පැළයේ ශාක කඳෙහි දකුණට නැමෙන කොටස උඩින්, (අංක 2) ශාකයෙහි අග කොටස නමා එම අග්‍රය (අංක 1) ශාකයේ වම්පස පුඩුව ඇතුළෙන් ගැනීමයි.
මෙසේ කළ විට අංග සම්පූර්ණ ‘පිරිමි ගැටයක්’ සකස් කර ගත හැකිය.
මෙහි දැක්වෙන ආකාරයට ‘ගස් ගැටය’ නිර්මාණය කිරීමේදී කර තිබෙන්නේ ඉහත B පියවරේදී (අංක 2) ශාකයේ අග කෙලවර (අංක 1) ශාකයේ වම්පස පුඩුව (loop) තුළින් යවා, (අංක 1) ශාකයේ අග කොටස (අංක 2) ශාකයේ පුඩුව තුළින් යැවීමයි. මේ නිසා ගැටයේ සමමිතික බව වෙනස් වී වෙනත් ආකාරයක් ගැටයක් සකස් වී තිබේ.
අපගේ ගෙවතු වලත් මෙවැනි ස්වභාවික වස්තු සම්බන්ධ කර ගනිමින් නව නිර්මාණ කිරීම සඳහා සිත් යොමු කිරීමෙන් ඉමහත් ආශ්වාදයක් ලබාගත හැකි වනු ඇත.
(ඡායාරූප ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි. ඒවායේ මුල් අයිති කරුවන් අවිනිශ්චිත වූවත් ඔවුන්ටද මාගේ ප්‍රණාමය පුද කරමි.)