Saturday 25 January 2020

මෑත සිදුවීම් සහ අතීත මතක සැසඳීමක් ……


1. ගස් දෙකක් සහ ‘පිරිමි ගැටයක්’ (Reef knot) …...

මිනිසා විසින් සොබා දහමට කරනු ලබන නොයෙකුත් අඩන්තේට්ටම්, අද ලොව දසදෙසින් අසන්නට ලැබේ. එසේ වුවත් ඉඳහිට හෝ සොබා දහමේ සමහර නිර්මාණ සුළු වශයෙන් වෙනස් කර සෞන්දර්යාත්මක සහ චමත්කාරජනක නිපැයුම් කිරීමටද මිනිසා සමත් වන බව ඉඳහිට දකින්නට ලැබේ. මේ එවැන්නකි. මෙහිදී එකිනෙකට අසලින් වවනලද ශාක දෙකක් වර්ධනය වීමත් සමග ඒවා ගැටයක ආකාරයට හසුරුවා, ලබා තිබෙන මහඟු ප්‍රතිඵලයකි මේ. එහි අවසාන ප්‍රතිඵලය පිරිමි ගැටය (reef knot) ලෙස නම් කර ඇතත් එම ගැටයේ තරමක අඩුපාඩුවක් තිබෙන බව පෙනේ. (ඡායාරුපය සමග දක්වා ඇති ‘පිරිමි ගැටය’ සමග සංසන්දනය කර එම අඩුපාඩුව සොයා ගැනීමට උත්සාහ කරන්න) 

භාවිතයේදී, අප මෙම ගැටය පිරිමි ගැටය ලෙස නම්කර තිබෙන්නේ ඇයි? එයට විරුද්ධ ගැහැණු ගැටයකුත් තිබේද? එසේනම් මෙය ගැහැණු ගැටයක්ද? 

‘ගැට’ යන වචනයට සිංහල භාෂාවේ විවිධ අර්ථ කිහිපයක්ම ඇති බව පෙනෙන්නට තිබේ. 

1. ගැටය - ගසක අත්තක් දිරායාම හෝ බාහිර අනතුරක් නිසා හට ගන්නා විශේෂ පටක ව්‍යුහය

2. ගැට - ලනුවක් බැඳීම හෝ ලනු කිහිපයක් එකට යා කිරීම සඳහා දමන විවිධ ආකාරයේ ගැට (මේවා හොඳින් දන්නේ බාල දක්ෂයෝය)

3.ගැටයා - යව්වනයට එළඹෙන නාඹර තරුණයෙකුට යොදන නම. මෙය වෙනත් අර්ථයකින් නාඹර තරුණියකට යෙදෙන ‘ගැටිස්සි’ යන වචනයේ විරුද්ධ පදයද විය හැකිය. 

4. ගැට කැපීම - මෙය ‘පික් පොකට්’ ගැසීම සඳහා යොදන වචනයයි. 

5. ගැටයක් ගැසීම - තවත් කෙනෙකු හට කූට ආකාරයට කරදරයක් කිරීම.

6. ගැටය - නොමේරු ගෙඩියක් 

ඉහත සඳහන් කළ ‘ගස් ගැටය’ ගැන තව ටිකක් විමසා බලමු. බැලූ බැල්මට මෙම ශාක, Delonix regia හෝ Poinciana regia යන නමින් හැඳින්වෙන, මැයි මාර ‘Flamboyanat’-Flame of the forest’ ශාක දෙකක් ලෙස හඳුනා ගත හැකිය. මේ ප්‍රමාණයට වර්ධනය වීම සඳහා ඒවාට අඩුම වශයෙන් වසර විස්සක්වත් ගතවන්නට ඇත. කුඩා කාලයේදී ගස හසුරුවා ‘ගැටය’ අවසන් කිරීමට වසර දහයක්වත් ගතවිය හැකිය. මෙම විශ්වකර්ම කාර්යය කළ අයට, මනා හික්මීමක් සහ ඉවසීමේ ශක්තියක් තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. 

අන්තර්ජාලයේ අහම්බෙන් දුටු මෙම නිර්මාණය පිලිබඳ විස්තර පහත දක්වා ඇති දිගුව ඔස්සේ දැකගතහැකිය. මෙම නිර්මාණය කැලිෆෝනියාවේ ගිල්රෝය් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තවමත් දකින්නට ලැබෙන බව වාර්තාවේ. මෙම ශාක තවත් වර්ධනය වී ද්විතීය පටක එකතුවන විට ගැටය ඇති ස්ථානයේ වෙන වෙනම ඇති ශාක දෙකේ පටක එකට බද්ධ වී, ගැටයේ හැඩය නැතිවී යා හැකි බවද විශ්වාස කෙරේ 


අතින් සාදාගත් කැටපෝලයක් 

මෙම ‘ගස් ගැටය’ ගැන ලිවීමට සිත්වූයේ මෙයට අනුරුප සිද්ධියක් මටද කුඩා කාලයේදී අත්විඳීමට සිදුවී තිබෙන නිසාය. ඒ කාලයේ මා සිටියේ පහේ පංතියේය. අවුරුදු නිවාඩු කාලයේ අසල්වැසි මිතුරන්ද සමග බට තුවක්කු වලින් වෙඩි තැබීම, කැටපොලයෙන් විද, ඉහල අතුවල ඇති කොස් කොළ සිදුරු කිරීම ආදිය අපගේ ගැමි ක්‍රීඩා විය. වරක් හොඳම “Y” අකුර හැඩයේ කරුවක් සහිත කැටපොලයක් සාදාගැනීම පිණිස, අප කිහිප දෙනා අතර තරඟයක් ආරම්භ කළෙමු. අහල පහල ගසකින් එවැනි කරුවක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, එයින් මා පරාජය විය. කෙසේ හෝ එවැනි කරුවක් ගසකින් සකස් කර ගැනීමට මම උත්සාහ කළෙමි.

මේ සඳහා ගෙදර වත්ත මායිමේ තිබුණු බටතොඹ ගසක අත්තක අග්‍රස්ථ අංකුරය, මඳක් දික් අතට පලා ටික දිනක් නිරීක්ෂණය කළෙමි. මගේ උත්සාහය සාර්ථක වී එතනින් “Y” හැඩයට අංකුර දෙකක් හටගත්තේය. මාස කිහිපයක් යනවිට මට අවශ්‍ය ආකාරයේ “Y” හැඩයේ කරුවක් ලැබිණ. මේ කරුවෙන් සාදාගත් කැටපෝලයට මට ඊළඟ අවුරුදු නිවාඩුවේදී ජයග්‍රහණය හිමිවිය. (https://www.google.com/search?q=reef+knot+tree &rlz=)




2. ස්වාභාවික පරිසරයට, ආගන්තුක ද්‍රව්‍ය එකතුවීම නිසා කැස්බෑවෙකුට අත්වූ ඉරණම

 


ප්ලාස්ටික් පටියෙන් උවදුරට පත් කැස්බෑවා

මෙම ඡායාරුපයේ දැක්වෙනුයේ මිරිදිය කැස්බෑවෙකු බව හඳුනා ගත හැකිද? සමහරවිට හඳුනාගත නොහැක්කේ උගේ ශරීරය ඉතාමත් විකෘති වී ඇති නිසාය. Wild Life සඟරාවට 1915 වසරේදී මාකස් එරික්සන් නමැති පරිසරවේදියෙකු විසින් ලියන ලද ලිපියක් ආශ්‍රීතව දැනුවත්වූ කරුණු ස්වල්පයක් මෙයට සම්බන්ධ කර ගතිමි. 

2007 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව් ඔර්ලියන්ස්හි සංචාරයක යෙදී සිටියදී, තමන් දැන හඳුනාගත් කෙනෙකු විසින් තම ගෙවත්තේ සුරතල් සතෙකු ලෙස තබාගෙන සිටි මේ අරුම පුදුම කැස්බෑවා ඔහුට දකින්නට ලැබී තිබේ. කැස්බෑවාගේ බඳ මැදින් කටුවටම තදවී ඉවත් කිරීමට නොහැකි තත්වයට තිබුණු ප්ලාස්ටික් පටියක් නිසා මේ විකෘති වීම සිදුවී ඇති බව ඔහුට දකින්නට ලැබිණ.

ඔහුට දැනගන්නට ලැබුණු පරිදි මෙම කැස්බෑවා ඉතාමත් ළදරු අවදියේදී, ජලයේ පාවෙමින් තිබුණු ප්ලාස්ටික් කිරි බෝතලයක මූඩියේ මුදුව වැනි කොටස මැදින් රිංගා යාමේදී ඒ වන විට මෘදුවට තිබෙන්නට ඇති බාහිර කංකාලයේ පිටතින් හිරවී ඇත. වසර කිහිපයක් ශරීරය වර්ධනය වීමේදී, ප්ලාස්ටික් මුදුවත් සමග බහිෂ් කංකාලය සහ අභ්‍යන්තර අවයවද විකෘති වීම නිසා මේ තත්වය උදාවී තිබේ.

මේ සඳහා අන්තර්ජාල දිගුව: (https://www.google.com/search?q=Meet+the+Famous+Turtle+With+a+Serious+Plastic+Problem&rlz=1C1CHBF_en-) 

මෙම කැස්බෑවා සම්බන්ධ කර ගනිමින් ලොවටම වැදගත් පරිසර පණිවුඩයක් දීමට හැකි බව කල්පනා කළ ඔහු විසින් දියත් කරණ ලද මෙහෙයුම ඔහුගේම වචන වලින් මෙසේය.

“ඇය කැස්බෑවියක් නිසා අපි ඇය ‘මේයි වෙස්ට්’ (Mae West) ලෙස නම් කළෙමු.(මෙය සුප්‍රසිද්ධ නලඟනකගේ නමකි). මුළු ලොවටම වැදගත් පාරිසරික පණිවුඩයක් දීම පිණිස මෙම අහිංසක සත්වයා උපයෝගී කර ගැනීමට සහ වහාම උගේ දිවි ගලවා දීමට ගැනීමට කල හැකි ඕනෑම උපකාරයක් කිරීමට මම තීරණය කළෙමි.” 

“මේ සම්බන්ධයෙන් බොහෝ ආයතන සමග සාකච්ඡා කිරීමෙන් පසු, අපට ඒ සඳහා ඉතාමත් ගැලපෙන ස්ථානයක් සොයා ගැනීමට හැකිවිය. මෙසේ අප සොයාගත් ස්ථානය, කැලිෆෝනියාවේ කල්වර් නගරයේ Star Eco Station නම් පරිසර විද්‍යාත්මක කෞතුකාගාරය සහ ආගන්තුක සතුන් ආපදාවලින් මුදවා ගැනීමේ පසුකම් සැපයීම, (Environmental Science Museum and Exotic Wildlife Rescue Facility) නමැති ස්ථානය මේ සඳහා සුදුසුම ආයතනය විය.” 


බාධකය ඉවත් කළ පසු කැස්බෑවා 

“එහිදී ‘මේයි වෙස්ට්’ ගේ බහිෂ් කංකාලයට තදවී පටකවලට කිඳා බැස තිබුණු ප්ලාස්ටික් පටිය ශල්‍යකර්මයකින් ඉවත්කරන ලදී. ටික දිනකදීම කැස්බෑවියට නව පණක් ලැබුණු ආකාරයක් දකින්නට ලැබුණි. එහෙත් දැනට පටක ඝනවී ඇති බහිෂ් කංකාලය නැතහොත් පෘෂ්ටීය සහ උදරීය කංකාල තහඩු වල ඇතුලට නෙරාගිය කැපුම නැවත යථා තත්වයට පත්කර ගත හැකි වේද යන්න සැක සහිතය.” 

මෙය වසර කිහිපයකට ඉහතදී අසන්නට ලැබුණු සිද්ධියකි. මේ සිද්ධියට ලබාදුන් ප්‍රචාරය නිසා මෙවැනි උපද්‍රව වලින් අසරණ සතුන් බේරා ගැනීම සඳහා ලොව පුරා දැනුවත් කිරීමක් කළ හැකි විය. 

මේ ලිපිය ලිවීමේදීද මට මෙවැනි එක්තරා පූර්ව සිද්ධියක්ද මතකයට නැගුණි. එය, දැනට වසර විස්සකට පමණ ඉහතදී මා සේවය කළ කාර්යාලය අසලට ආහාර සොයා නිතර පැමිණෙන කපුටෙකු පිලිබඳවය. කවරෙකු විසින් හෝ මෙම කපුටාගේ දකුණු පාදයේ තුනී ලෝහ තහඩු පටියක් තදින් ගැටගසා තිබුණි. මෙය ඉවත් කිරීම සඳහා අපට කපුටා අල්ලා ගැනීමට නොහැකි විය. ඊට මාස කිහිපයකට පසු එම කපුටා ලෝහ පටියෙන්ම ගසක පැටලී එල්ලී මියගොස් සිටිනු දකින්නට ලැබුණි. මෙයද කිසියම් අමනයෙකු විසින් කරන ලද සත්ත්ව හිංසාවක් විය හැකිය.


ස්වාභාවික හේතු නිසා සිදුවන විපත් වලට මෙන්ම, මිනිසාගේ අදුරදර්ශී ක්‍රියා සහ කෘරතර ක්‍රියාකාරකම් නිසාද අහිංසක සතුන්ට සිදුවන උපද්‍රව සුළුපටු නොවේ. 



Thursday 16 January 2020

අද වනාන්තර විනාශය හමුවේ, පැරණි මතකයක් - ‘පලංචියේ ලී ඉරීම …..’

අද වනාන්තර විනාශය හමුවේ, පැරණි මතකයක් - ‘පලංචියේ ලී ඉරීම ’
ද ලොව පුරා බහුලව දකින්නට ලැබෙන වන විනාශයේ  අග මුල සෙවීමේදී, නිත්‍යානුකුලව හෝ අවිධිමත් ලෙස ගස් කපා බිම හෙලන්නේ  මිනිස් අවශ්‍යතා සපුරාගැනීම සඳහාත් දැව ජාවාරම් කරුවන්ගේ මුදල පසුපස හඹා යාමත් නිසා  බව අසන්නට ලැබේ. ලෝක බැංකු වාර්තාවකට අනුව 1990 සිට 2016 දක්වා කාලය තුලදී ලොව පුරා වනාන්තර, වර්ග සැතපුම් 502,000 පමණ  ( වර්ග කිලෝමීටර මිලියන 1.3 පමණ) විනාශ වී තිබේ. දළ ගණනය කිරීමකට අනුව වනාන්තර වර්ග කිලෝමීටරයක වැඩුණු ගස් 50,000 කට වඩා තිබිය හැකිය. මෑතදී ලබාගෙන ඇති දත්ත අනුව, වසරකට ලොව පුරා වනාන්තර වල ගස් බිලියන පහක් පමණ කපා බිම හෙලන බව වාර්තාවේ.  2015 පැරිස් සම්මුතියට අනුව 2020 අවසාන වන විට ලොව පුරා, නව වන වගා හෝ පුනරුත්ථාපනය කරනු ලබන වනාන්තර වර්ග සැතපුම් මිලියන 1.5 ක් ( වර්ග කිලෝමීටර මිලියන 3.9 ක් පමණ) ස්ථාපනය කිරීමට නියමිතය. එහෙත් මෙම වර්ෂය අවසාන වන විට ලෝක ප්‍රජාවට, යෝජිත ඉලක්කය කරා යාමට කිසිසේත් නොහැකි තත්වයක් උදාවී තිබේ. 


විද්‍යා සහ තාක්ෂණික දියුණුවද, වන විනාශය කෙරෙහි තදින්ම බලපා  තිබේ. නවීන යන්ත්‍රෝපකරණ මගින් අද වනාන්තරයක ගස් සිය දහස් ගණනක් පැය කිහිපයකදී බිම හෙළිය හැකිය. නව මංමාවත් සහ ප්‍රවාහන පහසුකම් නිසා බිම හෙලන රූස්ස ගස්වල දැව, ලී  ඉරීමේ සහ ලී පදම් කිරීමේ මහා පරිමාණයේ කර්මාන්ත ශාලාවලට ඉක්මණින්ම ගෙනයා හැකිය. නැවත වන වගාවන් කරගෙන යනු ලැබුවත්, වන විනාශය සහ වන වගාව යන ක්‍රියාවලි කුමන ආකාරයකින්වත් සමතුලිත කරගත නොහැකිය. 


අතීතයේදී වන විනාශය මෙතරම් උග්‍ර ගැටළුවක් නොවුයේ මන්ද?  දශක හත අටක අතීතයේදී ශ්‍රී ලංකාවේ කිසිවෙකුට වන විනාශය ගැන හැඟීමක්වත් නොතිබුණි. එකල මෙකල මෙන් අධික ජනගහනයක් සහ ජන ව්‍යාප්තියක් නොතිබුණු බව සැබෑය. එහෙත් එදා මිනිසා ගහ කොළ සහ පරිසරය ආරක්ෂා කළේය.එකළ ගෙවතු ගහකොළ වලින් පිරී තිබිණි. මෙයින්  වැඩි කොටසක් පොල්,කොස්,දෙල් වැනි ආහාරයට ගතහැකි ඵල දරන ශාක විය.තම අවශ්‍යතාවක් සඳහා ගසක් කපා ගැනීමට සිදුවුවහොත් ඒ වෙනුවට අලුතින් ගස් දෙක තුනක්වත් සිටුවීමට ඔහු කාරුණික විය.


දැනට දශක හයකට හතකට  ඉහතදී නිවසක් තැනීම වැනි අවශ්‍යතාවක් සඳහා තම ගෙවත්තේම ගසක් කපා ගැනීම කාගේත් පුරුද්ද විය. එසේ කපාගත් ගසෙන් අවශ්‍ය දැව ලබා ගැනීමද ගෙවත්තේම කළ හැකි විය. ලී මෝල් ගැන අසන්නටවත් නොතිබුණු  ඒ කාලයේ ලී ඉරා ගනු ලැබුවේ, දෑතේ වීර්යයෙන් බලගැන්වුණු පලු කියතක් නැතහොත් ඉරුම් කියතක් (rip saw) උපයෝගී කර ගනිමින්ය. මෙම කියතකින් ලී කඳක් ඉරීම සඳහා මිනිසුන් දෙදෙනෙකු අවශ්‍යය. ඉරුම් කියත, එහි ලෝහමය මිට සමග  අඩි 14 ක් පමණ දිග ඇති දැවැන්ත වානේ ආයුධයකි. මෙම කියතෙන් ලී ඉරා ගැනීමද එකළ සිටි ඉරුම් කරුවෝ සතුව තිබුණු මහත් කුසලතාවයකි.


මේ විශාල කියතෙන් ලී  කඳක් ඉරාගැනීම සඳහා, එය අඩි අටක් පමණ උස පලංචියක් මතට ඔසවා ගත යුතුය. එසවීමේ දොඹකර නොතිබුණු ඒ කාලයේ, පලංචියේ හරස් ලී ආනත තලයක් ලෙස භාවිත කර, කඹ සහ මිනිස් ශ්‍රමය උපයෝගී කර ගනිමින්   විශාල ලී කඳන් පලංචිය මතට ගැනීමට ඉරුම් ශිල්පියාට හැකිවිය. පලංචිය මත එකලස් කරගත් ලි කඳ අවශ්‍ය දැව ප්‍රමාණික මිනුම් අනුව ඉරා ගැනීම පිළිබඳවද ඉරුම් ශිල්පීන්ට මනා අවබෝධයක් තිබුණි. දැනට බොහෝ දුරට භාවිතයෙන් ඉවත් වී ඇති පලංචියේ ලී  ඉරීම, මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙහි එක් ඉරුම් කරුවෙකු පලංචිය මත බැඳ තිබෙන ලී කඳ මත සිටගෙන, කියතේ පුළුල් අග්‍රයේ සිට පහලට තිබෙන මුවාත සහිත දැති, කැපුම ඔස්සේ යැවෙන ආකාරයට, කියත ඉහල හැඬලයෙන් දෑතින් අල්ලාගෙන වැරෙන් පහලට තල්ලු කරයි. ඒ සමගම ඔහුගේ සහායකයා පලංචිය යට සිට කියතේ අනිත් කෙළවරෙහි ඇති හැඬලය දැඩිව අල්ලාගෙන කියත පහලට යෑම හසුරුවයි. දෙවනුව දෙදෙනාගේම සහායෙන් කියත නැවත ඉහලට එසවේ.
        පලංචියේ ලී ඉරීම 


මේ ආකාරයට කියත ඉහලට සහ පහලට යනවිට ලී  කඳ ක්‍රමක්‍රමයෙන් දික් අතට කැපී යයි. කියතේ කැපුම් දැති සකස් කර තිබෙනුයේද  කියත පහලට තල්ලු වීමේදී පමණක් ලී කඳ කැපෙන ආකාරයටය. කියතේ පහල අග්‍රය අසල තිබෙන හැඬලය, කියත් තලයට සවි කරනුයේ කූඥ්ඥයක් මගින්ය.  කැපුම් වෙනස් කිරීම සඳහා වරින්වර කියත ඉවත් කිරීම කරනුයේ කූඥ්ඥය ගලවා හැඬලය ඉවත් කිරීමෙනි.


ගෙයක් සෑදීමට   අවශ්‍ය ලී දඬු ලබාගැනීම පිණිස ගෙවත්තේ තිබෙන කොස් ගසක් ඉරාගැනීමට අවශ්‍ය වූ විට, නිසි අවසරයක් ලබාගෙන ගස කපා බිමහෙලා,  අවශ්‍ය ප්‍රමාණයට කුට්ටි කර ගැනීමද හුරු පුරුදු ගස් කපන්නන් විසින් කළ යුතු කාර්යයකි. ගෙවල් තැනීමේදී වහලට අවශ්‍ය යටලී, බාල්ක, පරාල, රීප්ප     ආදියත් උලුවහු, ජනෙල් සඳහා අවශ්‍ය ලී දඬුත් කපා ගැනීම සඳහා භාවිත කරනුයේ ශක්තිමත් කල්පවතින දැව වර්ග වේ. ශ්‍රී ලංකාවේ බොහෝ විට මේ සඳහා යොදා ගනුයේ කොස් හෝ දෙල් වැනි පළමු පන්තියේ දැවයකි. මෙවැනි අවශ්‍යතාවයක් සඳහා බිමහෙලූ කොස් ගසක කඳ  ඉරා ගැනීම සඳහා පිළියෙළ කරගැනීමේදීද යම්කිසි අනුපිළිවෙලකට කටයුතු කිරීමට එකළ ගැමියා දැන සිටියේය.


බිම හෙලූ  කොස් කඳ දින කිහිපයක් වේලෙන්නට හැර,  පළමුව ලී අවශ්‍යතා මිනුම් අනුව එය කුට්ටි කර ගනු ලැබේ. දෙවනුව එම කුට්ටි වල එළය (soft tissues)  ඉවත් කිරීම අත්‍යවශ්‍ය කාර්යයකි. එළය යනුවෙන් හැඳින්වෙනුයේ කඳෙහි පිට පොත්ත සහ ඊට යටින් පිහිටි ෆ්ලොයම් සහ  සහ ද්විතිය ෆ්ලොයම් පටක සහිත දැඩි බවක් රහිත ප්‍රදේශයයි. මෙම කොටස ඉක්මණින් දිරාපත්වන නිසා ගෘහ කර්මාන්තයේදී භාවිත නොකෙරේ. එළය ඉවත් කිරීමෙන් පසුව කඳෙහි ශක්තිමත් මෙන්ම  කල් පවතින තද කහ පැහැයෙන් යුක්ත අරටුව මතුවේ. 


ලී  වල ඇද කුද, සැස ඉවත් කිරීමට වෑය  භාවිත කෙරේ.

ගසෙහි කඳ වර්ධනය වී පරිණත වූ පසු ද්විතීය සෛලම් පටක ඝනවීම මගින් හටගන්නා කාෂ්ඨක පටක පද්ධතිය අරටුව ලෙස හැඳින්විය  හැකිය. කොස් කඳක එළය ඉවත් කිරීම සඳහා වෑය නමැති සුවිශේෂී ආයුධයක් භාවිත කෙරේ. වෑයක් භාවිත කර ලීයක් සැසීමද  එක්තරා දක්ෂ කමකි. තියුණු මුවහතක් සහිත වෑයෙන් ලීයක් සසින විට එය වේගයෙන් පසුපසට යැවේ. මේ නිසා කෙනෙකු වෑයෙන් ලීයක් සසින විට, පසුපස කිට්ටුවෙන් සිටීම අනතුරුදායකය. ගැමි වහරෙහි ඇති “වෑ පසුපස සිටීමත්,  හිර පසුපස සිටීමත් එකසේ භයානක වේ” යන කියමනද  මේ නිසාම උත්පාදනය වූ එකක් විය හැකිය. බොහෝ විට ලීයක ඇදය හෝ කුදය මඳක් හෝ ඉවත් කිරීමට සැසීම  පිණිසද වෑය භාවිත කෙරේ.   


දිරාපත් විය හැකි පොත්ත සහ එළය ඉවත් කර  සකස් කර ගන්නා ලද ලී කොටය අසලින්ම, ඉරුම් පලංචිය සකස් කර ගැනීම බොහෝ විට සිදු වන්නකි. කණු සතරක් සිටුවා හෝ එක පැත්තකට ශක්තිමත් ගස් දෙකක් යාකර, පොලොව මට්ටමේ සිට අඩි  අටක් පමණ උසින් හරස් ලීයක් බැඳ පලංචියේ පැත්තක් සකස් කර ගනී. පලංචියේ පළලට ගැලපෙන ප්‍රමාණයේ ලී දෙකක් හරස් ලීයේ සිට ඉදිරි කණු දෙක දෙසට ආනතිකව තබනු ලැබේ. බොහෝවිට පලංචියේ මෙම තට්ටු ලී  වශයෙන් භාවිත කරනුයේ කපා ගත් ශක්තිමත් පුවක් ගස් වේ. එළය ඉවත් කර සකස් කර ගත් කොස් කොටය, අලවංගු හෝ මෝල්ගස් වැනි උපකරණ ලීවර වශයෙන් භාවිත කර ගනිමින්, ආනතිකව තැබූ ලී දෙක අසලට පෙරලා, කඹ හෝ වෙනත් ශක්තිමත් වැල්  වර්ගද උපයෝගී කර ගනිමින් ආනතික කඳන් දෙක ඔස්සේ ඉහලට අදිමින් පොළොවට සමාන්තර මට්ටමට පැමිණි පසු, හරස් ලී ඔසවා පලංචි කණුවලට ශක්තිමත්ව බැඳ ගනු ලැබේ


ඉරා ගැනීම සඳහා අවශ්‍ය කොස් ලී  කොටය දැන් අවශ්‍ය ආකාරයට පලංචිය මතට ගෙන අවසානය.


කොස් කඳෙන් ඉරා ගැනීමට අවශ්‍ය ලි දඬු අනුව,  කඳ මත කැපුම් ඉරි සටහන් කර ගැනීම ඊළඟ කාර්යයයි. මෙයද ගැමියාටම ආවේණික වූ ක්‍රමවේදයකි. එය ‘අඟුරු හුය තැබීම’ ලෙස හැඳින්වේ. මෙහිදී ඉරීම සඳහා මැනවින් සකස් කළ ලී කොටය, නොසෙල්වෙන සේ අඩ තබා, කොටයෙහි එක්  කොනක් මත, අවශ්‍ය නිමි ලී ප්‍රමාණ අනුව, පිහියකින් සලකුණු සකස් කර ගනී. උදාහරණයක් වශයෙන් ඉරා ගැනීමට අවශ්‍ය ලෑලි, බාල්ක, පරාල වැනි විවිධ වර්ග අනුව සලකුණු වෙනස් වේ. අඟලක් ඝනකමින් යුක්ත ලෑලි  ඉරීමට අවශ්‍ය වෙතොත් කොටය මත අඟලින් අඟලට තැබෙන සටහන් සංඛ්‍යාවද වැඩිය. 


කොටය මත ‘ඉරුම් රේඛා’ සටහන් කිරීම, එනම් ‘අඟුරු හුය තැබීම’ මීළඟ කාර්යයයි.

මෙයද පලංචියේ ලී ඉරීමට ආවේණික තවත් කාර්යයකි. අඟුරු කුඩු දියකර සාදාගත් මිශ්‍රණයක පොඟවා ගන්නා සුදු නූලෙන් අඹරාගත් ලණුවක් මේ සඳහා භාවිත කෙරේ. බොහෝවිට මේ සඳහා ප්‍රයෝජනයට ගන්නේ ගැඩුඹ ශාකයේ (Trema orientalis) ලීයක් පුළුස්සා ලබාගන්නා අඟුරු, කුඩුකර පොල්තෙල් ස්වල්පයක් සමග ජලයේ මිශ්‍රකර ගැනීමෙනි. ගැඩුඹ ශාකය බොහෝ ආසියාතික රටවල ‘charcoal tree’ ලෙසද  හැඳින්වේ.

අඟුරු මිශ්‍රණයේ පොඟවා ගත් ලණුව, ඉරුම් කොටයෙහි මුලින් තබාගත් සලකුණ ඔස්සේ, කොටයේ  අනික් අග්‍රය දක්වා කෙලින් තබා හොඳින් ඇද තදකර, ලණුව එක ස්ථානයකින් මඳක් ඉහලට ඔසවා, මුදා හැරිය විට කඳ  දිගේ කළු පැහැයෙන් රේඛාවක් ඇඳේ. මෙය පළමු කැපුම් රේඛාවයි. කොස් ලී කොටයෙන් ඉරාගැනීමට අවශ්‍ය වනුයේ අඟලේ ලෑලි නම්, පළමු රේඛාවේ සිට, ඒ ආකාරයටම අඟලෙන් අඟලට රේඛා සලකුණු කර ගනු ලැබේ. මෙහිදී  ලකුණු කරගත් සියලුම රේඛා ඔස්සේ කඳ ඉරා අවසන් කළ විට, සම්පුර්ණ කඳෙන් ‘අඟලේ ලෑලි’ කට්ටලයක් ලැබේ. එක පැත්තක් පමණක් කියතෙන් ඉරී ඇති, කොටය දෙපැත්තේ ලෑලි දෙක ‘පිටපලු’ ලෙස හැඳින්වේ. ලී ඉරිමේදී දුෂ්කරම කාර්යය වනුයේ රීප්ප ඉරීම බව අපගේ ලි ඉරුම් කළ වැඩිහිට අයගෙන් දැනගන්නට ලැබිණ. (අප කුඩා කාලයේ, ගමට විදුලි බලය ලැබුණු අවස්ථාවේ, අපගේ ඉඩමක  ඉවත් කර ගැනීමට සිදුවූ ගස් කිහිපයක් කැපීම, කුට්ටි කිරීම, පලංචියේ ඉරා, ලෑලි, බාල්ක, පරාල ආදිය සකස් කර ගැනීම, මුල සිට අග දක්වාම දැක ගැනීමට හැකි විය.)    


ඉහත විස්තර කළ ආකාරයට  අඟුරු හුය ගා සලකුණු කළ  ලීයක, ඇද පරස් ඉවත් කිරීමට වෑය  මහත්, වෙහෙසක් ගනු ලැබුවත් ආපසු හැරි බලන විට,  වෑයේම තිබෙන කුදය ඊටත් වඩා දරුණු බව පෙන්වමින්, පැරණි කවියෙකු විසින් රචනා කරන  ලද උපහාසාත්මක පද්‍යයක්ද මෙහිලා සිහියට නැගේ.


            කා යේ   නුගුණ දුටුවත් කියන  සමහ රු                                                      
මී  යේ   රසය මෙන්   වැඩිකර කියති බො රු                                                
ලී  යේ ඇ දය  හරිතත් හුය ගා         අඟු රු                                                                
           වෑ යේ    කු දය දුටුවම  ඊටත් නපු          රු  


මෙම උපහාසය, අද සමජයේ අවිචාර ලෙස විවිධ විවේචන කරනු ලබන අයගේ, බොහෝ ප්‍රකාශන වලටද,  බෙහෙවින් ගැලපෙන බව පෙනේ. 


පැරණි ලී ඉරීමේ  ක්‍රමවේදය ගැන යලි සිත් යොමු කරවමු.

පලංචියේ ලි ඉරිමේදී, කියත ඇදීමට පහසු වන පරිදි කැපුම පළල්  කර ගැනීම සඳහා, කූඥ්ඥයක් සවි කරනු ලැබේ. අපගේ පැරණි ජන කතන්දරයක දැක්වෙන ආකාරයට, ඉරුම් කරුවන්   පලංචියක් මත , ඉරමින් සිටි ලීයක කැපුමේ කූඥ්ඥයක් එසේ තිබියදී, ඔවුන් කෙටි විවේකයක් ගැනීමට ඉවතට  ගොස් ඇත. ඒ අතරවාරයේ එහි පැමිණ වඳුරෙකු, අනවශ්‍ය ලෙස කූඥ්ඥය ඇදීම නිසා, ලී කොටයේ කැපුම තුළට වැටි ඇති  තම වලිගය (?) සිරවී අමාරුවේ වැටුණු අවස්ථාවක් පිලිබඳවද හාස්‍යය මුසු ඔවදනක් දී තිබිම කවුරුත් දන්නා කරුණකි.


තමන්ට අයිති නැති දේ වලට ඇඟිලි ගැසීමට යන අයට, නොසිතු විරූ ඇබැද්දි  සිදුවිය හැකි බවට මෙය හොඳ උදාහරණයකි. 


මේ ආකාරයට පලංචියේ ලී  ඉරිමේදී, අපතේ යාම අවම මට්ටමක පවතී. වර්තමානයේ ලී මෝල් වල භාවිත කරනු ලබන  රවුම් කියත් හෝ සිරස් කියත් සෙන්ටිමීටර් භාගයක් පමණ ඝන කමකින් යුක්තය. පැරණි  පලංචි කියත් මිලිමීටර් දෙකකට වඩා ගනකම නැත. මේ නිසා ලී අපතේ යාම අඩුය. වියදම අතින්ද පැරණි ක්‍රමය ලාභ දායකය. කෙසේ වෙතත් පැරණි ක්‍රමය සඳහා අධික වෙහෙසක් දැරීමට සිදුවන නිසාත් දිගු කාලයක් ගතවන නිසාත්, කිසිවෙකු එය වාණිජ මට්ටමෙන් කරගෙන යාමට නොපෙළඹෙන  නිසා වනාන්තර වල තිබෙන රූස්ස ගස් වලට හානියක් සිදු නොවේ. එදා භාවිත කළ කාලානුරුප තාක්ෂණයත්,(appropriate technology) මිනිසාගේ චාම් දිවි පැවැත්මත්, තරඟකාරී නොවන වට පිටාවත්, එකිනෙකා පරයා යාමට අවශ්‍යතාවක් නොමැති වීමත් නිසා, සොබා දහමේ අනගි නිපැයුමක් වන වනාන්තර  නිරුපද්‍රිතව තිබුණි.


විශාල ලි කොට ඉරාගැනීම සඳහා, පලංචි වෙනුවට බිම හාරාගත් තරමක් ගැඹුරු වලක් මත තැනු මැස්සක ලී  කොටය තබා, කලින් විස්තර කළ ආකාරයටම, ඉරුම් කියතකින් ලී ඉරීමද සිදුකර තිබේ. එම ක්‍රමයේදී යට සිටින ඉරුම් කරුවාට, වල ඇතුලට බැස  කියත පහලට ඇදීමට සිදුවේ. මෙසේ කිරීමේදී විශේෂ පලංචියක් සාදා ගැනීම හෝ ලි කඳ ඉහලට එසවීමක් අවශ්‍ය නොවේ. විදේශයක, ඒ ආකාරයට ලී ඉරීමේ සිතුවමක් මෙහි දැක්වේ. (අප රටෙහිද මේ ආකාරයට ලී ඉරා තිබෙන බව අසා ඇත්තෙමි. ඒ සඳහා ඡායාරූපයක් සොයා ගත නොහැකි විය.)  

  
පොළොවේ සකස් කළ වළක්  ‘පලංචියක්’ මෙන් භාවිතය.  


නවීන විද්‍යාවේ  කාලීන සංකල්ප සහ තාක්ෂණයේ බොහෝ නිපැයුම් පරිසර සංරක්ෂණය සඳහා උපයෝගී කරගනු ලැබුවත්,  මිනිසාගේ ආත්මාර්ථකාමී චර්යා රටා, අපරික්ෂාකාරී සිතුම් පැතුම් සහ යථාර්ථය හරිහැටි තේරුම් නොඅගැනීම නිසා,  පරිසර සමතුලිතතාවය උඩු යටිකුරු වෙමින් පවතී. මෙහි අනිටු විපාක අපි දැනටමත් අත් විඳිමින් සිටිමු. අනාගතයේදී සිදුවිය හැකි අති මහත් ව්‍යසන වලින් පෘථිවි ග්‍රහලෝකය බේරා ගැනීම සඳහා සමස්ත ලෝක වාසීන්ම, එකාවන්ව කටයුතු කිරීමේ කාලය එළඹ තිබේ. ප්‍රමාදය, සමස්ත ලෝක සත්ත්වයාගේම මහත් අභාග්‍යයක් විය හැකි නොවේද?

Thursday 2 January 2020

ආන්දෝලනාත්මක මරණ දැන්වීමක් නිසා මහා කැළඹීමක්...

1974 අප්‍රියෙල් මස 24 වන දින, ශ්‍රී ලංකාවේ ' Daily News ' පුවත් පතෙහි පහත දැක්වෙන මරණ දැන්වීම පළවිය. එය මෙසේය:

         O’Cracy.
         The death occurred under tragic circumstances of D.E.M.O’Cracy, 
         beloved husband  of T.Ruth, loving father of L.I.Bertie, Faith and 
         Justicia. Interred on Saturday, 20th  April instant -
         Aralia Medura, Parangiyawatta,  
         Anduruwella.
‘Daily News’ පුවත් පතෙහි පළවූ මරණ දැන්වීම 

බැලු බැල්මට මෙය, O’Cracy නම් තැනැත්තාගේ මරණය පිළිබඳව, ඔහුගේ භාර්යාව වන T. Ruth සහ දරුවන් වන L.I.Bertie, Faith සහ Justicia විසින් පුවත් පතෙහි පළ කරවන ලද දැන්වීමකි. පුවත් පතෙහි පළවන මරණ දැන්වීම් කියවන බොහෝ අය මෙය දකින්නට ඇත. එසේ වුවත් මෙම දැන්වීමෙහි ගුප්ත බවක් දුටු දේශපාලන ක්ෂේත්‍රයට  සම්බන්ධ කිහිප දෙනකු පමණක් මේ සඳහා විමසිලිමත් වී තිබේ.

මේ දිනවල රටෙහි දේශපාලන කරලියෙහි හැල හැප්පීම් රාශියක් සිදුවෙමින් පැවතුනු අතර, රටෙහි සාමයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයට බාධා පැමිණීමේ ලක්ෂණද පහළවෙමින් තිබිණ. මේ අංශයෙන් සලකා බලන විට යථෝක්ත මරණ දැන්වීම මගින් රජය අපහසුතාවයට ලක් කිරීමේ සැඟවුණු ක්‍රියා දාමයක් තිබෙන බවද හෙළිකරගෙන තිබුණි. රජයේ විමර්ශන අංශ මගින් මේ සම්බන්ධයෙන් පුවත් පත් කාර්යාලයෙන්ද විමසීමක් කරන ලදී. එහි දැන්වීම භාරගත් නිලධාරියා, විසින් එය අඳුරුවැල්ල, පරංගියාවත්තේ, ‘අරලිය මැදුර’ නිවසෙහි පදිංචි, එල්. අයි. බර්ටි නම් අයෙකු විසින් පෞද්ගලිකව තමාට භාරදෙන ලද දැන්වීමක් බව සාක්ෂි සහිතව තහවුරු කරන ලදී.

එහි සඳහන් ලිපිනය සෙවීමට උත්සාහ කළ විමර්ශන නිලධාරීන්ට, එවැනි ලිපිනයක් හෝ එහි සඳහන් අය පිළිබඳව හෝ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවිය. එම දැන්වීමෙහි භාවිත කර තිබෙන නම් ගම් ගැන සුපරික්ෂාවෙන් බලනවිට, රජය අපහසුතාවයට ලක් කිරීමේ යටි අදහසකින් යුක්තව පළ කරන ලද්දක් බව පැහැදිලිවිය. මේ නිසා ඒ පිලිබඳ වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකර වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ ආයතනවලට ඉහලින් අණ ලැබිණ.

මෙම මරණ දැන්වීම පුවත් පතෙහි පළකිරීම සඳහා භාරගත් නිලධාරියා, අදාළ අංශය භාර නිලධාරියා, කතුවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම දිගින් දිගට ප්‍රශ්න කළ නමුත් ඒ කිසි කෙනෙකුගෙන් සිද්ධිය
සම්බන්ධ වෙනත් තොරතුරක් ලබාගත නොහැකිවිය. ඔවුන් සියලු දෙනාටම එය සාමාන්‍ය මරණ
දැන්වීමක් පමණක් විය.

කෙසේ වෙතත් එම මරණ දැන්වීම මගින් රජයට යම්කිසි ආකාරයක අනතුරු හැඟවීමක් කර තිබෙන
නිසා ඒ ගැනද සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉහලින් ලැබුණු නියෝග
අනුව, මෙහි පසුබිම ගැන කිසිවක් නොදන්නා, පුවත් පත් ආයතනයේ කිහිප දෙනෙකුගේ වැඩ තහනම්
කරන ලදී.

මෙම සිද්ධි සියල්ලම ගැන විමසිල්ලෙන් සිටි, ප්‍රධාන පෙළේ පුවත්පත් කලාවේදියෙකු, තම මිතුරෙකු
වූ එවකට සිටි පොලිස්පති වරයා මුණගැසී, එම මරණ දැන්වීම තමා විසින් පළ කරන ලද්දක් බව
ප්‍රකාශ කළේය. රටෙහි සිදුවෙමින් පවතින ව්‍යාකුල තත්ත්වය ගැන ජනතාවට ව්‍යංගයෙන් ඉඟියක්
කිරීම සඳහා තමන් එසේ කළ බව ඔහු පිළිගත්තේය. එසේ වුවද පුවත් පත් කාර්යාලයේ අහිංසක
නිලධාරින් මේ නිසා පීඩාවට පත්කිරීම අසාධාරණයක් බව ඔහු කියා සිටියේය. පසුව ඔවුන් දෙදෙනාම
ගොස් එවකට සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා මුණ ගැසී කරුණු පැහැදිලි කර දුන්නේය. 

අමාත්‍යවරයාගේ මැදිහත් වීම නිසා, පුවත්පත් කාර්යාල නිලධාරීන්ගේවැඩ තහනම ඉවත් කරන ලදී.

මීට වසරකට පමණ පසු ඉන්දියාවේද යම්කිසි දේශපාලන අර්බුදයක් නිසා ප්‍රජාතන්ත්‍ර පාලනයට
අනතුරක් සිදුවීමේ   ලකුණු පහළ විය. මේ නිසා රටෙහි හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කරන ලදී.
මේ අතරතුර, ඉන්දියාවේ කීර්තිමත් පුවත්පත් කලාවේදියෙකු විසින්, ශ්‍රී ලංකාවේ Daily News පුවත්
පතෙහි පළවූ මරණ දැන්වීම, උපුටා ලිපිනය පමණක් ඉවත් කර, ඒ ආකාරයටම  1975 ජුනි මස 28
වන දින  Times of India පුවත් පතෙහි  පළ කරන ලදී.



Times of India පුවත් පතෙහි පළ වීම 




ශ්‍රී ලංකාවේ සිදුවූ ආකාරයටම, එම දැන්වීම නිසා Times of India පුවත් පතෙහි අදාළ කාර්ය 
මණ්ඩලයටද, මහත් අපහසුතා වලට ලක්වීමට සිදුවී ඇත.

වචන විසි ගණනක කෙටි දැන්වීමකින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකෙහිම ඒකාකාර    දේශපාලන අර්බුද දෙකක් ගැන ව්‍යංගයෙන් ජනතාව දැනුවත් කිරීමට ලැබීම පුවත් පත් කලාවේ           
ඇති ඉතාමත්ම සූක්ෂම හැකියාවක් බව මෙයින් මොනවට පැහැදිලි වේ.

ඒ කාලයේදීම Reader’s Digest සඟරාවේ (1975 අගෝස්තු කලාපය) ඇතුල් පිටුවකද මෙම
සිද්ධිය සිනහ උපදවන කෙටි සටහනක් ලෙස මෙසේ මුද්‍රණය කර තිබිණ.




1975 වසරේ Reader’s Digest සඟරාවේ පළවූ ආකාරය 



පුවත්පත් දෙකෙහි සහ රටවල් රාශියක අලෙවි වන සඟරාවක පළවූ මෙම දැන්වීමෙහි යොදා ඇති
වචන, එම වචන වල අක්ෂර වින්‍යාසය සහ ඒවායින් කියවෙන අර්ථය අනුව උපහාසයත් සමගම
ජනතාවට ඉතාමත් වැදගත් පණිවුඩයක්ද දීමට හැකිවී තිබේ. එයටත් වඩා පාලකයින් විසින් ගනු
ලබන අත්තනෝමතික තීරණ සඳහා ඉතාමත් සරල ආකාරයකට ප්‍රතිචාර දැක්වීම සඳහා සමාජ
මාධ්‍යවල ඇති බලගතු කම පෙන්වීමටද මෙය හොඳම උදාහරණයකි.

මෙම කෙටි දැන්වීමෙහි භාවිත කර ඇති නම් සඳහා යොදා ගෙන තිබෙන අක්ෂර වින්‍යාසය මඳක්
විමසිල්ලෙන් බලන විට ඒවායින් ජනිත වන වචන වලින් කෙරෙන අනතුරු ඇඟවීම මගින්
හාස්‍යය, සහ සන්ත්‍රාසය මගින් බුද්ධිමත් ජනතාව පුබුදුවාලීමට හැකිවීම ප්‍රතිභා සම්පන්න
රචකයෙකුගේ සහජ දක්ෂතාවකි. එහි ඇතුලත් මෙම නාම සහ ඒවායින් හැඩගන්වා ඇති ජන
සමාජයට වැදගත් වන සංකල්ප ගැන සිත් යොදවන්න:

D.E.M. O’Cracy (Democracy), T.Ruth (Truth), L. I. Bertie (Liberty), Faith, Justicia (Justice)

ඒ ආකාරයටම Daily News පුවත් පතෙහි සඳහන් කර ඇති D.E.M. O’Cracy ගේ ලිපිනයද
හාස්‍යය දනවන අතර එයින්ද යම්කිසි පණිවුඩයක් ගෙන දෙන බව පෙනේ.

1962 වසරේ සිට නොකඩවා Reader’s Digest සඟරාව කියවන පාඨකයෙකු ලෙස, 1975 වසරේ
පළවූ      මෙම කෙටි දැන්වීම දුටු විගසම, එහි අගමුල සොයා ගැනීමෙන් පසු හමුවූ තොරතුරු,
වසර හතලිස් පහකට  පසු, මෙසේ නැවත සටහනක් තැබීමට හැකිවීම භාග්‍යයකි.

මෙම සත්‍ය සිද්ධියට සම්බන්ධ, දැනට ජිවතුන් අතර නොමැති පුද්ගල නාම භාවිතය, හිතා මතාම
නොසලකා හැරියෙමි.


(සමහර තොරතුරු ස්තුති පුර්වකව අන්තර්ජාලයෙනි.)