Monday 26 February 2018

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ, ‘උලුරු’ (Uluru) පර්වතය පිහිටි යුනෙස්කෝ සංස්කෘතික උරුම වනෝද්‍යාණයේ සංචාරයක් . 1

    මෙය ඉතාමත් මෑතදි ලැබූ අත්දැකීමකි. (මෙම විස්තරය කොටස් කිහිපයකින් පළකරන බව කරුණාවෙන් සලකන්න)

(පළමුවෙනි කොටස) 

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ, සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනම මගින් එහි සාමාජික සාමාජිකාවන් සඳහා සංවිධානය කරන ලද,  මෙම සංචාරය සඳහා එහි සාමාජිකයෙකු වන මටද සහභාගී වීමට අවස්ථාවක් ලැබිණ.

UNESCO සංවිධානය මගින් ලෝකයේ රටවල් 167 ක සංස්කෘතික, ඓතිහාසික හෝ ස්වාභාවික  උරුම 1073 ක්  නම්කර තිබේ. මෙයින් 832 ක් ඓතිහාසික  උරුම වන අතර 206 ක් ස්වාභාවික පිහිටීම් වේ. ඉතිරි 35 මිශ්‍ර උරුම ලෙස සැලකේ. (2015 UNESCO සංඛ්‍යා ලේඛන අනුව) 

මේ අනුව, ශ්‍රී ලංකාවේද සංස්කෘතික සහ ස්වාභාවික උරුම අටක්‌ නම්කර ඇත. 
ඕස්ට්‍රේලියානු කලාපයේ, (අවට දූපත්ද ඇතුළුව) සංස්කෘතික උරුම 3 ක්,‌ ස්වාභාවික උරුම 12 ක්‌ සහ මිශ්‍ර උරුම 4 ක්‌ හඳුනාගෙන තිබේ.

ඓතිහාසික, සංස්කෘතික සහ ස්වාභාවික වැදගත්කම යන කරුණු සියල්ලම නිසා UNESCO සංවිධානය මගින්, ජගත් උරුමයක් වශයෙන් නම් කර ඇති, ඕස්ට්‍රේලියාවේ උතුරු  ප්‍රාන්තයේ, මධ්‍ය ප්‍රදේශයේ පිහිටි අති විශාල උලුරු’ පර්වතය පිහිටි ප්‍රදේශය ‘උලුරු - කාටා ට්ජුටා (Uluru-Kata Tjuta) රක්ත කාන්තාර (Red desert), වනෝද්‍යාණය ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ. ‘කාටා ට්ජුටා’ නමින් හැඳින්වෙනුයේද  උලුරු පර්වතයේ සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි තවත් පර්වත සමූහයකි.
 
අප මෙල්බර්න් සිට උලුරු පර්වතයට තරමක් දුරින් පිහිටි  යුලාරා (Yulara) නම් කුඩා  ගුවන් තොටුපල  දක්වා අභ්‍යන්තර ගුවන් යානයකින් ගමන් කළෙමු. මෙල්බර්න් සිට යුලාරා  දක්වා ගොඩබිමින් යාමට කිලෝමීටර් 2362 ක්‌ තිබෙන අතර මෝටර් රථයකින් එම ගමන යාම සඳහා, පැය 25 ක්‌ පමණ ගතවේ. ගුවන් යානයෙන් ගමනට ගතවනුයේ පැය තුනකට තරමක් අඩු කාලයකි.

අපි 2018 පෙබරවාරි මස තුන්වෙනිදා, අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යානයකින් මෙල්බර්න් සිට, ඉතා කුඩා ‘යුලාරා’ ගුවන් තොටට පැමිණෙන විට පස්වරු තුන පමණ විය.


උලුරු ගුවන් තොට වෙත ලඟා වනවිට අහසේ සිට බලන විට තැනිතලා බිමින් ඉහලට නැගී සිටින රක්ත වර්ණ පර්වතය පැහැදිලිව දැක ගැනීමට හැකිවිය.
වනෝද්‍යාණ ඇතුලත විශාල දුර ප්‍රමාණයක් ගමන් කිරීමට සිදුවන නිසා  ඒ සඳහා  ගුවන් තොටෙහි ඇති  කුලී වාහන ලබාගැනීමට හැකි විය.



අපට නවාතැන් ගැනීම සඳහා උලාරා ගුවන් තොට ආසන්නයේ පිහිටි සංචාරක ගම්මානයේ, ‘Emu walk apartments’ නම් සියලු පහසුකම් සහිත නිවාඩු නිකේතන නිවාස වෙන්කර තිබුණි. මෙයින් එක් නිවාසයක හය දෙනෙකුට නතරවීම සඳහා සියලු පහසුකම් සැපයින. අපි අපගේ ආහාර පාන එම නිවාස වලම සකස් කර ගැනීමට කටයුතු කළෙමු.



දහවල් කාලයේ තද අව් රශ්මිය නිසා (මේ දිනවල එහි දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය.)  මේ නිසාම අපගේ නැරඹීම් කටයුතු, අලුයම 5.00 ට පමණ ආරම්භ කර,  දහවල් 11.00  දක්වාත්, සවස් කාලයේ පස්වරු 3.00 සිට ඉදිරියට රාත්‍රී නවය වනතුරු  කළහැකි බවට උපදෙස් ලැබී තිබුණි.

ඒ සමගම නිරතුරුවම බිම සඳහා, වතුර බෝතලයක් බැගින් ගෙන යාමද අත්‍යාවශ්‍ය බව දන්වන ලදී.

වනෝද්‍යාණය නැරඹීම සඳහා, නිකුත් කළ දින සිට දින තුනක්‌ දක්වා වලංගු ප්‍රවේශ පත්‍ර (එකක් ඩොලර් 25 බැගින්) වනෝද්‍යාණ කාර්යාලයෙන් මිලදී ගතහැකි විය.
 
පළමු දින සවස්  වරුවේ අපට නියමිත වුයේ, හිරු අවරට ගොස් බැස යන අවස්ථාව එළඹෙන විට, උලුරු පර්වතය මත පතිත වන හිරු රැස් පරාවර්තනය මගීන් නිර්මාණය කෙරෙන විචිත්‍ර ආලෝක රටා  දර්ශණය දැක බලා ගැනීමයි.

පෙබරවාරි-මාර්තු කාලය ඕස්ට්‍රේලියාවේ ගිම්හාන සමය නිසා, මේ දිනවල හිරු බැස නොපෙනී යනුයේ, පස්වරු අටට පමණය. එදින  අපි සියලු දෙනාම පස්වරු හත පමණ වන විට, එම දර්ශනය නැරඹීම  සඳහා පහසු ස්ථානයක්

සොයා ගියෙමු. එදින හිරු බසින වෙලාව පස්වරු අට පසුවී මිනිත්තු දොළහට   බව සඳහන් කර තිබුණි.



වනෝද්‍යාණයේ පිවිසුම් දොරටුවද  ඉතාමත් දැකුම්කලු එකක්‌ විය. එය නම්කර ඇත්තේ Uluru-Kata Tjuta වනෝද්‍යාණය යන නමින්ය.
අප පර්වතය අසලට යන විටත් තවත් සංචාරකයෝ විශාල පිරිසක් හිරු බැසයාමේ දර්ශනය නැරඹීමට සුදුසු ස්ථාන වලට රොක්වී සිටියහ.




එහිදී සන්ධ්‍යා කාලයේ හිරු රැස් වැටී, ලා රක්ත වර්ණයෙන් දිදුලන, උලුරු පර්වතය අපට ඉතා පහසුවෙන් දැක බලා ගැනීමට හැකිවිය.

මෙම පර්වතය කබුක්‌ වැනි, වැලි ගල් පාෂාණ (laterite sandstone) විශේෂයකින්  නිර්මාණය වී ඇති අතර, රක්ත වර්ණයක් පවතිනුයේ එහි ෆෙල්ඩ්ස්පාර් (feldspar) නම් ඛනිජය  බහුලව තිබෙන නිසාය. ෆෙල්ඩ්ස්පාර් ඛනිජයේ  යකඩ මුල ද්‍රව්‍යය  (Ferrous) අඩංගු නිසා දිගු කාලයක් තිස්සේ සුර්යාලෝකයට නිරාවරණය වීම නිසා ඔක්සිකරණය වී පර්වතය මතුපිට රතු පැහැයෙන් යුක්ත යකඩ මළ (ferric oxide) වැනි සංයෝගයක් සෑදෙයි. පර්වතය සහ සම්පූර්ණ භූමියේම පස  ගඩොල් රතු පැහැයක් ගන්නේද  මෙම රසායනික සංයෝගය නිසාය.

චාරිකාවේ දෙවන දිනය පෙබරවාරි හතර  වන දා විය. පෙරදින එක් කණ්ඩායමක් ප්‍රමාදවීම නිසා හිරු අවරට යාමේ දර්ශනය ඔවුනට දැකගත නොහැකිවීම ගැන තරමක කනස්සල්ලක් ඇතිවිය.

‘හෙට උදේ සියලු දෙනාම තමන්ගේ උදේ ආහාරයද රැගෙන අපගේ නිකේතන සංකීර්ණයේ  ප්‍රධාන දොරටුව අසලට නොවරදවා රැස්වන්න. ඉර පායන වෙලාව උදේ   6.14 ට. ඒ සඳහා  නැරඹුම් වේදිකාවල හොඳ තැනක් අල්ලා ගැනීමට පැය කාලකටවත් කලින් යන්නට ඕනෑ’.
මෙම පණිවුඩය, පදනමේ ලේකම් සහ චාරිකාවේ ප්‍රධාන සංවිධායක  අජන්තා සොයුරිය විසින්, අපගේ කණ්ඩායමේ අය නවාතැන් ගෙන සිටි, සෑම නිකේතන නිවාසයකටම පෞද්ගලිකව දන්වන ලදී.
 
සියලු දෙනාම දැන්වූ පරිදි, හිමිදිරි පාන්දර පහට පිටත් වීමට සූදානම් වී වූවෙමු නියමිත තැනට  රැස්වූයෙමු.

හිරු උදාව නැරඹීම සඳහා යෝජිත ස්ථානයට යාම සඳහා අපට පැයක් පමණ ගතවිය. ඒ වන විටත් සංචාරකයින් විශාල පිරිසක්, පර්වතය ඉදිරිපස කඳු ගැටයක, තට්ටු වශයෙන් සකස් කර තිබුණු නැරඹුම් වේදිකා මත රොක්වී සිටියහ. අප සියලු දෙනාටම පහසුවෙන් නැරඹිය හැකි ස්ථානයක් ලැබිණ.

විවිධ කැමරා මානා ගෙන හිරු උදාව ඡායාරුප ගත කිරීම සඳහා විවිධ රටවල අය සිය ගනණක්‌ නැරඹුම් වේදිකා  මතට වී සිටියහ.

පෙරවරු හය පමණ වන විට පෙරදිග අහසේ තරමක දීප්තියක් ඇතිවී එය ක්‍රමක්‍රමයෙන් වැඩිවන අකාරය අපට පහසුවෙන් දැක ගන්නට  ලැබිණ.


එම දීප්තිය ක්‍රමක්‍රමයෙන් වැඩිවී පර්වතයට ඉහළින් ක්‍ෂිතිජය මට්ටමෙන් එක්වරටම ළහිරු රැස් දහරා දසත විහිදුවමින් හිරු උදාවී අරුණැල්ල මගින් වටපිටාව ඒකාලෝක විය ය. මෙය කාටත්  සදා අනුස්මරණිය දසුනක් වූ බව  නොඅනුමානය.

මෙම දර්ශණය, බොහෝ දුරට, අප කවුරුත් ශ්‍රී ලංකාවේදී සිරිපා කරුණා කරන අවස්ථාවලදී  දැක ඇති සිරිපා කඳු මුදුනේ “ඉර සේවය” වැනි ස්වාභාවික සංසිද්ධියකි. 

උලුරු ‘ඉර සේවය’ නැරඹීමෙන් පසුව අපි තවත් ඉතා වැදගත් යුතුකමක් ඉටු කිරීමට අමතක නොකෙළෙමු. එදින, අපගේ ශ්‍රී ලංකා මාතාවට බටහිර ආධිපත්‍යයෙන් නිදහස ලැබී හැත්තෑ වසරක් ගත වන දිනය බව අපි අමතක නොකෙළෙමු.

මේ වන විට  නැරඹුම් වේදිකාවල සිටි ජනතාව ක්‍රමක්‍රමයෙන් අඩුවන්නට විය. එක් වේදිකාවකට පැමිණි අප සියලු දෙනාම ඕස්ට්‍රේලියාවේ ආදී වාසීන්ට පුජනිය ස්ථානයක් වූ උලුරු පර්වතය අබියස  සීරුවෙන් සිට  අපගේ ජාතික ගීය,  “ ශ්‍රි ලංකා මාතා ........”  හඬ නගා කියමින් රට, දැය වෙනුවෙන් අපගේ අභිමානය දැක්වූවෙමු. වෙනත් ජන කොට්ඨාශයක් තමන්ගේ සංස්කෘතිය පිළිබඳව අභිමානය දක්වන මෙම පර්වතය අබියස සිට ජාතියක්




වශයෙන් අපගේ නිවහල් බවේ සංකේතය හඬගා කීමට අවස්ථාවක් ලැබීම, අපට කිසිදිනක අමතක නොවන වැදගත් සිද්ධියකි.
(තව කොටසක් පසුව.)

Sunday 25 February 2018

'පරිසරය නිවැරදිව දකිමු' පොත එළි දැක්වීමි.

  මා විසින් රචනා කරන ලද 'පරිසරය නිවැරදිව දකිමු' නමැති පොත මෙල්බර්න් නගරයේ සිංහල සංස්කෘතික සහ ප්‍රජාසේවා පදනමේ, 2018 පෙබරවාරි 11 වන දින පවත්වන්නට යෙදුන හමුවේදී, එළි දක්වන ලදී. 

මෙම පොත පරිසරය පිලිබඳ උනන්දුවක් දක්වන කාටත්. පරිසරයේ සංවේදී භාවය පිලිබඳ අවබෝධයක් ලබාගැනීමට ප්‍රයෝජනවත් විය හැකි වන අතර පරිසර සංරක්ෂණය සඳහා ලොකු කුඩා කාටත් දායක විය හැකි ආකාරයද  මෙහි සඳහන්ය.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අමතර කියවීම් පොතක් ලෙස භාවිත කළ හැකි මෙම පොත කොළඹ ගොඩගේ සමාගමේ ප්‍රකාශනයකි.


පොතෙහි පිට කවරයේ මිරිදිය පරිසරයක 
ආහාර ජාලයක් පෙන්නුම් කෙරේ.


වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත්, ඉගැන්වූ, ප්‍රායෝගිකව අත්හදා බැලූ එසේම සමහර අවස්ථා වලදී ලේඛනගත කර තැබූ සංකල්ප, අදහස් සහ දත්ත පොදුවේ කාටත් ගැලපෙන අයුරකින් පෙළ ගැස්වීම  ගැන මෙහිදී කල්පනා කළෙමි. එසේ ආවර්ජනා කළ කරුණු දහ දොළොස් වරක් කපා කොටා අවසානයේදී මෙසේ මාතෘකා එකොලසකට සම්පිණ්ඩනය කර ගතිමි.
·        අපේ වට පිටාව      
·        වට පිටාවේ සියල්ල පරිසරයයි    
·        පරිසරයේ අන්තර් සම්බන්ධතා
·        අපේ ආහාර පරිසරයෙනි 
·        ශක්තිය ලැබෙනුයේ ආහාර වලිනි 
·        අපගේ අපද්‍රව්‍ය මොනවාද ? 
·        පරිසරයේ ජෛව විවිධත්වය      
·        ජලය මහඟු සම්පතකි  
·        පරිසර දූෂණය සිදුවන්නේ කෙසේද?  
·        පරිසරය සුරකිමු   
·        අපේ පරිසර කටයුතු දෙස හැරී බලමු.

   පොත එළි දැක්වීම ඉතාමත් චාම් අන්දමට සිදුකිරීම සඳහා සෑම උත්සාහයක්ම ගත්තෙමි.
    ඒ සඳහා අවස්තාව ලබාදීම වෙනුවෙන් මාද සාමාජිකත්වය උසුලන, මෙල්බර්න් පුරවරයේ සිංහල සංස්කෘතික සහ සමාජසේවා පදනමේ සභාපති තුමා ඇතුළු සියලු දෙනාටම මාගේ ස්තුතිය පුද කරමි. ඒ අවස්ථාවේ ඡායරූප කිහිපයක් පහත දැක්වේ.  


චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වා  පොතෙහි පළමු පිටපත 
සංගමයේ සභාපති  අශෝක දන්තනාරායන මහතාට පිළගැන්වූවෙමි.



පොත පිළිගැන්වීමෙන් පසු එහි අන්තර්ගතය පිලිබඳව 
හැඳින්වීමක් කරමින් සභාව ඇමතීමි.






Thursday 15 February 2018

ලෝකයේ විශාල වන විනාශයක්‌ සිදුවෙමින් පවතිද්දීත් සුවිශේෂී හේතු නිසා නිරුපද්‍රිතව පවතින චිත්තාකර්ෂණිය ශාක කිහිපයක්.......

   න විනාශය හමුවේ කිසිම පිළිසරණක් නොලබන ගසක බැගෑපත් ඉල්ලීම පසුගිය Blog පොස්ටුවකින් හඳුන්වා දුනිමි. යතාර්ථය එසේ වුවත් ලොව කිහිප තැනක යම් යම් වැදගත් හේතු නිසා තවමත් නිරුපද්‍රිතව ඓතිහාසික තත්ත්වයට පා තබා තිබෙන ශාක කිහිපයක් පිළිබඳවයි මේ සටහන,

1.   ජපානයේ ‘බොන්සයි’ (Bonsai) ශාක නිර්මාණ කලාවේ අග්‍රගණයේ නිපැයුමක්.

ඉතාමත් විශාල වෘක්ෂ ලෙස සෑදෙන බොහෝ ශාක කුඩා බඳුනක වැවිය හැකි කුරු මිටි ශාක බවට පරිවර්තනය කර ගැනීමේ කලාව ‘බොන්සයි’ කලාවයි. ජපානයේ ඉතාමත් ජනප්‍රිය මෙම කලාව අද ලෝකයේ බොහෝ රටවලට ව්‍යාප්ත වි තිබේ.



වසර 400 ක් පමණ පැරණි  ‘බොන්සයි’ කරන ලද ජපානයේ පයින් ගසක් (https://www.bonsaiempire.com/images/top10/oldest/Old-Pinus-parviflora-japanese-white-pine-bonsai.jpg අනුග්‍රහයෙනි)

මෙම ‘බොන්සයි’ නිර්මාණය ජපානයේ 'යමාකි' නම් පෙළපතක  සාමාජිකයින් විසින් පරම්පරා  හයක පමණ කාලයක් ඔස්සේ තම පාරම්පරික දැනුම උපයෝගී කර ගනිමින්
මෙම ගස ආරක්ෂා කරගෙන තිබේ. මෙම නිර්මාණය වසර 400 කට වඩා පැරණි ය.

සාමාන්‍ය පයින් ගසක්‌ ලෙසට බඳුනක වවා ඇති මෙම ගස උසින් මීටරයකටත් වඩා අඩුය. මෙම නිර්මාණයේ තවත් සුවිශේෂී වැදගත් කමක් වනුයේ එය 1945 වර්ෂයේදී හීරෝශිමා නගරයට හෙලන ලද බෝම්බ පහරටද හසුවී නිරුපද්‍රිතව පැවතීමයි. පසු කාලයකදී මෙම ‘බොන්සයි’ නිර්මාණය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික බොන්සයි සහ පෙන්ජින්ග් කෞතුකාගාරයට ප්‍රදානය කර තිබේ.

2.   ලෝකයේ විශාලතම  නුග ගස



ඉන්දියාවේ කල්කටා නගරයේ ‘චන්ද්‍ර බෝස්’ උද්භිද උද්‍යානයේ ඇති මහා නුග ගස 

අනුග්‍රහයෙනි.
විශාල ප්‍රදේශයක් තුළ අතුපතර විහිදී ඇති මෙම මහා නුගයෙන් ආවරණය වී ඇති බිම් පෙදෙස වර්ග මීටර් 19,000 ක්‌ පමණ (අක්කර 4.67) වේ. එසේ ආවරණය වන බිම් පෙදෙස වටා මීටර් 330 (අඩි1080 පමණ) දිගින් යුක්ත පාරක් සකස් කර තිබේ. මෙම නුග ගසෙහි උසම අත්ත මීටර් 24 පමණ වන අතර, ගසෙහි විහිදී ඇති අතු වලට බලකණු වශයෙන් සෑදෙන ස්වාභාවික නුග  අරළු (prop roots)  3772 ක් තිබේ. 




3.    ලෝකයේ හඳුනාගත් උසම ගස.



ඉහත ඦායාරුපයේ වම්පසින් දැක්වෙනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැසිෆික් මුහුදු තීරය ට මායිම්ව පිහිටා ඇති  ‘රෙඩ් වුඩ් ජාතික වනෝද්‍යානයේ’ තිබෙන ලෝකයේ  වාර්තාගත  උසම රෙඩ්වුඩ් ශාකයයි. මෙය මීටර් 115.7 ක්‌ උස වන අතර එය වසර 600 ත් 700 ත් අතර වයස් ගත බවත් ගණනය කර තිබේ. (වම් පස ගස අසලම සිටින මිනිසාගේ උස සමග සංසන්දනය කරන විට ගසෙහි උස අවබෝධ කරගත හැකි වනු ඇත.)
    (http://blogs.ngm.com/.a/6a00e009822691883301347fc2feb8970c-pi  අනුග්‍රහයෙනි.)

4.   ලෝකයේ වාර්තාගත පැරණිතම  රෝපණය කරන ලද ලේඛනගත වෘක්ෂය (ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි ජය ශ්‍රී මහා බෝධිය)



සමස්ත ලෝක වාසි බෞද්ධ ජනතාවගේ සහ බොහෝ අන්‍ය ලබ්ධිකයින්ගේද වැඳුම් පිදුම් සහ පුද සත්කාර ලබන පුජනිය වස්තුවක් වන අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධි වෘක්ෂය ලොව වාර්තාගත රෝපණය කරන ලද පැරණිම වෘක්ෂය ලෙස සැලකේ. සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද මෙම බෝධි අංකුරය, ක්‍රිස්තු පූර්ව 288 වන වර්ෂයේදී එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍යය කළ දේවානම් පියතිස්ස රජතුමා විසින් මහමෙවුනා උයනේ රෝපණය කරන ලද බව කියවේ. මේ නිසා දැනට වසර 2300 කට වඩා පැරණි ජය ශ්‍රී මහා බෝධිය  ලෝකයේ පැරණිතම වෘක්ෂය ලෙස පිළිගැනේ.

 5.  ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනාවේ යෝධ ඕක්‌ ගස (Giant Angel oak)

මෙම ඕක්ගසට වයස  වසර 500 ක් පමණ වේ. මීටර් 20 ක් පමණ උස මෙම ගසෙහි කඳේ වට ප්‍රමාණය මීටර් 9 ක් වේ. දිගම අත්ත කඳෙහි සිට මිටර් 63 ක් දුරට විහිදී ඇත. මෙම ගසෙන් වර්ග මිටර් 1,600 පමණ පෙදෙසකට සෙවන ලැබේ. එයට Angel යන නම ලැබී තිබෙනුයේ එම භුමියේ අයිති කරුවකු වූ Justus Angel  නම අයෙකු සිහිවීම පිණිසය.

යෝධ ඕක් ගස 2010 වසරේදී.

5        
6.     මැඩගස්කරයේ බැඔබාබ් (Baobab) ගස්
‘උඩ යටිකුරු ශාකය’ (upside down tree) නම් විරුදාවලියකින් හඳුන්වනු ලබන බැඔබාබ් ශාක මැඩගස්කරයේ බහුලය තවත් අප්‍රිකානු රටවල් කිහිපයක සහ ඕස්ට්‍රේලියාවේ ශුෂ්ක ප්‍රදේශයේද තිබෙන මෙය අමුතුම ශාකයකි. ශ්‍රී ලංකාවේද තලේමන්නාරම ප්‍රදේශයේ ආගන්තුක (අරාබි වෙළඳුන් විසින් රෝපණය කරන ලද) බැඔබාබ් ගස් කිහිපයක් තිබේ.  එම ප්‍රදේශයේ වැසියෝ මේවා ‘අලි ගස්’ යනුවෙන් හඳුන්වති.
මැඩගස්කරයේ ජාතික වෘක්ෂය බැඔබාබ් ශාකයයි. මීටර් 30 ක් පමණ උසට වැඩෙන බැඔබාබ් ගසක කඳ ඉතාමත් ස්ථුල වන අතර ගසෙහි කඳ අග්‍රයේ විශාල වශයෙන් බෙදී ගිය අතු කිහිපයක් තිබේ. කොළ හැලි ගිය විට එම අතු ගසක ඉහලට නෙරා ඇති මුල් වැනි ආකාරයට පෙනෙන නිසා ‘උඩ යටිකුරු ශාකය’යන නම ලැබී ඇත. සාමාන්‍ය ගසක කඳෙහි විෂ්කම්භය මීටර් 10 ක් පමණ වේ.



බොහෝ බැඔබාබ් ශාකවල කඳෙහි ජලය ලීටර 120,000 පමණ ගබඩා වේ.
සමහර බැඔබාබ් ශාක වසර දෙදහසකටත් වඩා පැරණි විය හැකි බව අනුමාන කර තිබේ.

7.   එතරම් පැරණි නොවුවත් තවත් වෙනත් පන්නයක ගසක්.
මේ පුදුම සහගත ගසෙහි සටහන මට ලැබුණේ මිතුරෙකුගෙනි. එය ලබාගත්  ආකාරය පිළිබඳව කිසිම හෝඩුවාවක් නොලැබුණි. එහි කලාත්මක භාවය නිසාම මේ සමග ඇතුලත් කිරීමට සිතා ගතිමි. මෙය ගසක් වුවත් එය දුටු විගසම ඔබගේ මනස තුළ වෙනත් සිත්තමක් මැවෙනු ඇත. සමහර අයට එය එකවර නොපෙනෙන්නටත් හැකිය. ඡායරූපය දෙස බලන විට එය ශ්‍රී ලංකාව වැනි රටවල වැඩෙන ‘මැයි මාර’ (Flamboyant) ගසක්‌ විය හැකිය.

එම ගසෙහි කඳ සහ අතු විසිරි ඇති ආකාරය එකට කැටි කල විට  ඔබට වෙනත් ආකාරයක සිත්තමක් මැවි පෙනේ නම් එය සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. මනසේ මෙම ලක්ෂණයට ඉංග්‍රීසියෙන් Pareidolia යන වචනය භාවිත වේ. අප නිතරම දකින වලාකුළු, සෙවනැලි, ගස්‌, ගල් ආදියේ මෙවැනි රූප මැවි පෙනෙනු ඇත. හඳෙහි සාවෙකුගේ හැඩරුව දැකීමද මෙවැන්නක් විය හැකිය.   

මෙම ගසෙහි කඳ සහ අතුපතර විහිදී ඇති ආකාරය ඔබ දකින්නේ කෙසේද?
මෙවැනි සුවිශේෂී ලක්ෂණ සහිත ස්වාභාවික දේ තවත් බොහෝ තිබෙන්නට හැකිය. ඒවා ගැනත් සිතා බලමුද?