Monday 24 December 2018

පලතුරු වත්තක ‘චෙරි’ කැඩීමට ගොස් නවතම විනෝදයක් ලැබුවෙමු. (Cherry Picking for fun)


   සෑම වසරකම නොවැම්බර්  මාසයේ සිට ජනවාරි මාසයේ මැද පමණවන තුරු ඕස්ට්‍රේලියානු වෙළඳ පලේ බහුලව හමුවන පලතුරු වර්ගයක් වන ‘චෙරි’ පිළිබඳව රසවත් තොරතුරු ස්වල්පයකි මේ. දෙසැම්බර් මාසයේ දෙවන සතියේ දිනක, වික්ටෝරියා ප්‍රාන්තයේ, මෝර්නින්ග්ටන් අර්ධද්වීපයේ  පිහිටි,  පලතුරු වත්තකට ගොස් චෙරි කැඩීමේ විනෝදාත්මක ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාව අපට ලැබුණි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම විශාල වශයෙන් වගා කරනු ලබන ‘චෙරි’ ඉතා රසවත් පලතුරකි. ශ්‍රී ලංකාවේ අපට හුරු පුරුදු, උගුරැස්ස ගෙඩියක ප්‍රමාණය සහ හැඩය ඇති චෙරි ගෙඩිය, තනි බීජයක් සහිත මාංශල ඵලයකි. පොකුරු වශයෙන් හටගන්නා චෙරි ඵලයට දිග නටුවක් තිබේ. උගුරැස්ස ඵලයේ කුඩා බීජ රාශියක්  තිබේ.


ඉදුණු ඵල එකාකාර  හැඩයකින් යුක්ත වුවද චෙරි සහ උගුරැස්ස එකිනෙකට හාත්පසින් වෙනස් ශාක කුල දෙකකට අයත්වේ. චෙරි, Prunus avium ලෙස නම්කර තිබෙන අතර උගුරැස්ස  වල නාමය Flacourtia innermis වේ. චෙරි රසයේ  සහ උගුරැස්ස රසයෙහිද වෙනසක් තිබේ. ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන උගුරැස්ස පලතුරට එම නාමය ලැබී ඇත්තේ, උගුරැස්ස කෑමට ගත්  විට, උගුරෙහි කහට බැඳීමක්‌ සිදුවන නිසා බවද අසා තිබේ.

ලෝකයේ මධ්‍යධරණී දේශගුණය පවතින රටවල පලතුරු බහුලව වැවෙන  බව අපට පාසැලේදී ඉගෙන ගන්නට ලැබී ඇත.  මධ්‍යධරණී මුහුද අවට රටවල්  වන ඉතාලිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය, වැනි  ප්‍රදේශ වල  පලතුරු වැවීම සඳහා දේශ ගුණය හිතකර බව ඉගෙන ගත්  අපට, මේ රටවලින් බොහෝ ඈත පිහිටි,  දකුණු අප්‍රිකාවේ සහ ඔස්ට්‍රේලියාවේද මධ්‍යධරණී දේශගුණය තිබිය හැක්කේ කෙසේද යන්න,  එකළ එතරම් පැහැදිලි කරුණක් නොවීය.

අප පාසැල් යන කාලයේ, තිබුණු  SSC Prep යන නමින් හැඳින්වූ 9 වන ශ්‍රේණිය  පන්තියේ ඉගෙනුම ලබද්දී, භූගෝල විද්‍යාව අනිවාර්ය විෂයයක් විය. ඉංග්‍රීසි මාධ්‍යයයෙන්  ඉගෙනුම ලැබූ අපට, භූගෝල විද්‍යා පාඨ ග්‍රන්ථය වුයේ Dudley Stamp විසින් ලියනලද World Geography නම් පොතයි. ඒ කාලයේ සිටි සමහර වයෝවෘධ ගුරුවරු, භූගෝල විද්‍යාව  විෂයය  හැඳින්වුයේ භුමි ශාස්ත්‍රය යන නමින්ය. අපට භූගෝල විද්‍යාව ඉගැන්වූ සිල්වා ගුරුතුමාට   පාඨ ග්‍රන්ථයේ බොහෝ කොටස් කට පාඩම් තිබුණු බවද අපට පෙනුණි. අපට ඉගෙනීම සඳහා පාඩම් පොත හැර වෙන කිසිම මාධ්‍යයක් නොවීය.

මධ්‍යධරණී දේශගුණය  යනු, සෞම්‍ය දේශගුණය සහ තෙතමනය සහිත ශීත ඍතුවක් සහ උණුසුම් හෝ  ග්‍රීෂ්මය  සහිත වියලි  ගිම්හානයක්ද පැවතීම යනුවෙන් අර්ථ දක්වන  බව පසු කාලයකදී පාඨ ග්‍රන්ථය ඇසුරෙන් ඉගෙන ගතිමු. එම දේශගුණික තත්ත්ත්ව   දකුණු අප්‍රිකාවේ සහ ඔස්ට්‍රේලියාවේද තිබෙන බවද එසේ දැන ගතිමු. මේ නිසා එම රටවලද පලතුරු හොඳින් වැඩෙන බව තහවුරු කර ගැනීමට හැකිවිය.

ප්‍රශස්ත කාලගුණය පවතින, නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා කාලය තුළදී, ඕස්ට්‍රේලියාවේ චෙරි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 15,000 පමණ වේ. සෞම්‍ය දේශගුණයක් පවතින මෙම කාලය තුළදී, චෙරි වතුවල, චෙරි කඩා එකතු කර ගැනීම  සඳහා ජනතාවට අවස්ථාව සලසා තිබේ. ‘චෙරි කැඩීම’ (Cherry Picking) පවුලේ කාටත් එකතුවී විනෝදයක් ලැබිය හැකි ක්‍රියාකාර කමකි. මෙය චෙරි ප්‍රචාරය කිරීමේ ක්‍රමවේදයක් ලෙසද සැලකිය හැකිය.  ඩොලර් දහයක මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන චෙරි වත්තට ඇතුල්වී ඉදුණු චෙරි ගෙඩි  තමන්ට ඇති තරම් ගස් වලින් කඩාගෙන, එවලේම  කෑමට ගත හැකිය.  ගෙඩි වලින් බරවී ඇති චෙරි ගස්වල බිම් මට්ටමේ ඇති අතු වලින් පමණක් ගෙඩි දහස් ගනණක් නෙලා ගත හැකිය. ප්‍රවේශ පත්‍රය මිලදී ගන්නා විටම කාර්යාලයෙන් සපයනු  ලබන  කූඩයකට එකතුකරගන්නා චෙරි ගෙඩි සියල්ලම, නියමිත සාමාන්‍ය මුදලක් ගෙවා තමන්ට ගෙදර ගෙනයා හැකිය.

මෙසේ චෙරි වත්තට පැමිණෙන අමුත්තන් විසින් කඩාගනු ලබන ගෙඩි වෙළඳ පලට නොයැ වේ. වෙළඳපලට යැවීම සඳහා චෙරි  පලදාව නෙලා ගනු ලබන්නේ ඒ සඳහා විශේෂ ආවරණ සහිතව සකස් කළ  චෙරි වගාවන් වලින්ය. මෙම වගාවන්ගෙන්  චෙරි කඩා එකතු කරනු ලබන්නේ, ඒ පිළිබඳව   පුහුණුවක් ලත් අය විසින්ය. විශේෂයෙන්ම විදේශ වෙළඳ පළට යොමු වනුයේ මෙම නිෂ්පාදන වේ.

ආගන්තුක ජනතාවට  චෙරි පලදාව නෙලා ගැනීම (චෙරි කැඩීම) සඳහා වන මෙම වැඩ පිළිවෙල සකස් කර තිබෙනුයේ ඔවුන්  අතර චෙරි වැඩි වැඩියෙන් ජනප්‍රිය කරවීමට සහ ඔවුන්ට චෙරි රස විඳිමින්ම විනොදාස්වාදයක්ද ලබා ගැනීම සඳහාය.

          

                
චෙරි අයත් වන Prunus ශාක ගණයට අයත් වන උප විශේෂ සහ ප්‍රභේද අසූවක් පමණ ඕස්ට්‍රේලියාවේ තිබෙන බව වාර්තාවී තිබේ. මෙයින් මිහිරි  රසයෙන් යුක්ත චෙරි ප්‍රභේද, පලතුරු වශයෙන් පාවිච්චි කරන අතර තරමක් ඇඹුල්  රසයෙන් යුක්ත ප්‍රභේද, පලතුරු යුෂ, චට්නි, ජෑම් ආදී වෙනත් අහාර සෑදීම සඳහා භාවිත කෙරේ. රටෙහි චෙරි නිෂ්පාදනයෙන් මෙට්‍රික්  ටොන් 5000 ක් පමණ වාර්ෂිකව විදේශ වෙළඳ පලට යැවෙන අතර, මෙය රටට  ඩොලර් මිලියන සියයකට වඩා ලැබෙන ආදායම් මාර්ගයකි.

මධ්‍යධරණී කලාපයට අමතරව පලතුරු වැවීම සඳහා යෝග්‍ය දේශ ගුණය පවතින ආසියාතික රටවල සහ ඇමෙරිකානු රටවලද චෙරි ජනප්‍රිය පලතුරකි. මේ අතර ජපානය චෙරි සුවිශේෂී ආකාරයේ පිළිගැනීමකට ලක්කර තිබේ. ජපානයේ ජාතික පුෂ්පය චෙරි පුෂ්පයයි. “සකුරා මල්” යන නමින් හඳුන්වනු ලබන චෙරි පුෂ්ප ‘cherry blossoms’ ලෙස ලොව ප්‍රසිද්ධියට පත්වී තිබේ.

වසන්ත සමයේදී සකුරා මල් වලින් බරවී යන චෙරි ප්‍රභේද කිහිපයක්ම ජපානයේ තිබේ. ‘සකුරා මල්’ කිරි සිදු පැහැයේ සිට රෝස පැහැය දක්වා විවිධ වර්ණ වලින් දකින්නට ලැබේ. මල් වලින් බරවී, පරිසරයට චමත්කාරයක් ගෙන දෙන    චෙරි ශාක විශේෂ සහ ඵලදරණ චෙරි ශාක විශේෂ අතරද පැහැදිලි වෙනසක් තිබෙන බව සඳහන් වේ. ‘cherry blossoms’ ලෙස දැක්වෙන චෙරි ශාක Prunus serrulata, විශේෂයට අයත්  වන අතර ජපානයේ “සකුරා” නම් ආදරණීය  නමින් හැඳින්වෙනුයේ මෙම ශාකය යි.   මෙම ශාකවල තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ, ඒවායේ  මල් පමණක්  හටගන්නා අතර ගෙඩි හට නොගෙන වඳ භාවයක් පෙන්නුම් කිරීමයි. මෙම ලකෂණයද, ස්වභාව ධර්මය විසින් විවිධත්වය මගින් පරිසරයට අලංකාරයක් ලබාදීම සඳහා සිදුකර ඇති නිමැවුමක් බව නිගමනය කළ හැකිය.


චෙරි පලතුරු වත්තකට ගොස්  විනෝදය සඳහා පලතුරු කඩමින්, ඒවායේ රසයත් පලතුරු ගස් යට සිටම භුක්ති විඳීමට ලැබීම ආස්වාද ජනක අවස්ථාවක්ම විය . ඒ සමගම ලෝකයේ විවිධ රටවල චෙරි වගාව පිලිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ‘cherry picking’ ක්‍රියාකාරකම උපයෝගී කර ගත හැකි  විය. මේ සියල්ලටමත් වඩා ජපානයේ ‘සකුරා’ මල් සහ චෙරි ශාකය අතර ඇති සම්බන්ධය පිළිබඳවද  කරුණු සොයා බැලීම සඳහා මෙය මහඟු රුකුලක් වූ බවද සඳහන් කරන්නේ මහත් සතුටකිනි.





Wednesday 5 December 2018

භූගත ‘හිරිගල් ලෙන්’ පද්ධතියක අසිරිය දුටුවෙමි....


   ස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, නැගෙනහිර ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ, නිරිත දෙසින් පිහිටි වන අරණ ‘භූගත හිරිගල් ලෙන් පද්ධති රක්ෂිතය’ (Underground Limestone Caves Reserve) ලෙස නම්කර තිබේ. ‘බුකන් වන අරණ රක්ෂිතය’ (Buchan forest reserve) ලෙස කෙටියෙන් හඳුන්වනුයේද මෙයයි.  රක්ෂිතය මධ්‍යයේ, ස්වාභාවික හිරිගල් ලෙන් පද්ධතියක් පිහිටා තිබේ. මෙල්බර්න් නගරයේ සිට, ‘ප්‍රින්සස්’ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 360 පමණ දුරක් ගිය විට හමුවන, මෙම රක්ෂිතය තුළ, හිරිගල් ලෙන් කිහිපයක් පිහිටා ඇති අතර, දැනට එයින් හිරිගල් ලෙන්  දෙකක් පමණක්, මහජනතාවට  දැක බලා ගැනීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

මෙල්බර්න්හි, සිංහල සංස්කෘතික සහ සමාජ සේවා පදනමේ සාමාජික පිරිසක් සමග, මෙම සුවිශේෂී ස්වාභාවික නිමැවුම නැරඹීමේ භාග්‍යය මටද උදා විය. 2018 දෙසැම්බර් මස පළමුවන දින, පෙරවරු නවයට පමණ චාරිකා බස්  රථයකින් ගමන ආරම්භ කළ  අපි, අතරමඟ ඇති, ‘ලේක් එන්ට්‍රන්ස්’ (Lake Entrance) නගරයද  පසුකර, එදින පස්වරු දෙකට පමණ, චාරිකාවේ ප්‍රධානතම නැරඹුම් ස්ථානය පිහිටි  රමණීය බුකන් (Buchan), කුඩා ගම්බද නගරයට පැමිණියෙමු.

බුකන් නගරයේ උද්‍යානයක, ටික වේලාවක් නතරවූ අපි, දහවල් ආහාරය ගෙන, මඳක් විවේක ගතිමු.

අප චාරිකාවේ ප්‍රධානතම නැරඹුම් ස්ථානය වුයේ ‘බුකන් ලෙන්’ (Buchan caves) යන නමින් හැඳින්වෙන භූගත හිරිගල් ලෙන් පද්ධතියයි. මෙය නැරඹීම සඳහා අපට වෙන්කර තිබුණේ පස්වරු 3.45 සිට එක් පැයකි.

මෙහි ඇති හිරිගල් ලෙන් නම්කර ඇත්තේ  Royal Cave (රාජකීය ලෙන) සහ  Fairy Cave (සුරංගනා ලෙන) යන නම් වලිනි. (මෙයින් අපට නැරඹීම සඳහා වෙන්කර තිබූයේ ‘රාජකීය ලෙන’ පමණකි.
                       

              
වන රක්‍ෂිතයට ඇතුල්  වීමේ දොරටුව, ඉතාමත් චාම් ලෙස නිමවූවකි. එය  ලී කොටවලින් සකස් කර ඇති අතර, ආරුක්කුවක ස්වරූපය ගනී. එතැන් සිට කිලෝමීටරයක් පමණ රක්ෂිතය තුළට ගිය විට  'රාජකීය ලෙන' නාම පුවරුව හමුවේ.

අපි පස්වරු 3.30 පමණ වන විට 'රාජකීය ලෙන' දොරටුව අසලට රැස් වූයෙමු.

ලෙන් පද්ධතියට ඇතුල්වීම සඳහා සකස් කර ඇති දොරටුව සිත් ගන්නා සුළු කෘතීම උමඟකි. කවාකාර කෘතීම උමඟට ස්වාභාවික පෙනුමක් ලබාදීම සඳහා  එය ආරම්භ වන ස්ථානයේ ලෙන් විවරය වටා, ගල් කුට්ටි අසුරා තිබීම විශේෂ ලක්ෂණයකි. මින් ඔබ්බට මීටර් තුනක් පමණ ගිය විට ලෙන් පද්ධතියට ඇතුල් වීමේ විශාල දොරක් තිබේ.                                           


එතැන සිට ඉදිරියට ඇත්තේ ස්වාභාවික ලෙන් පද්ධතියයි.

හිරිගල් ලෙන තුළට ඇතුල් වන විටම, අප කුඩා කාලයේ කියවා තිබුණු ජූල්ස් වර්න්ගේ   ‘A journey to the center of the Earth’ (භූ ගර්භය මැදට ගිය ගමනක්), නම් ත්‍රාසජනක නව කථාව මට සිහියට නැගුණි.

මෙම නව කථාවේ ප්‍රධාන චරිතය වන මහාචාර්ය ඔටෝ සිය සගයින් දෙදෙනාත් සමග අයිස්ලන්තයේ අක්‍රීයව තිබුණු ගිනි කන්දක, ශිකරයේ තිබෙන ආවාටයකින් භූ ගර්භය තුළට බැස, අභ්‍යන්තරයේදී අදහාගත නොහැකි තරමේ වික්‍රමාන්විත  රාශියක් කර තිබේ. භූ ගර්භයේ විවිධ මංපෙත් ඔස්සේ දිගු ගමනක් ගොස්  අවසානයේදී, ඔව්හු නතරවී  ඇත්තේ දකුණු දිග ඉතාලියේ භු ගර්භය තුළය. එහිදී ඔවුහු   සක්‍රීය වීමට ආසන්න ගිනි කන්දක අභ්‍යන්තරයට පැමිණියහ. පහුරක ආධාරයෙන් ගිනි කන්දේ, ලාවා මත රැඳී සිටි ඔවුහු, ගලායන ලාවා ධාරාව සමග නිරුපද්‍රිතව පෘථිවිය මතට පැමිණියහ. එදා දුටු ඒ මනඃකල්පිත භූ ගර්භයේ බිඳක්වත්, මෙදින සත්‍ය වශයෙන්ම දැකගැනීමට ලැබීම  භාග්‍යයකි. 
 
අපට, ලෙන් පිලිබඳ තොරතුරු විස්තර කළ, මාර්ගෝපදෙශිකාවගේ  පැහැදිලි කිරීම අනුව, මෙය ‘රාජකීය ලෙන’ ලෙස නම්කර තිබෙනුයේ එය තුළ ඇති, එක් හිරිගල් පිහිටීමක, රාජ සභාවක් රැස්වී සිටින ආකාරයේ හැඩතල සහිත, ‘හිරි ටැඹ’ (stalagmite) ඇති නිසාය. එම ස්ථානය දෙස ටික වේලාවක් බලා සිටින විට, රජ කෙනෙකු සහ ඇමතිවරු අසුන් ගෙන සිටින, රාජ සභාවක් සිතින් මවා  ගැනීම අපහසු නොවේ.


එසේම, ‘සුරංගනා ලෙන’ එසේ නම්කර ඇත්තේ පියස්සේ සිට පහලට වැඩෙන ‘හිරි ලඹ’ (stalactite) මගින්, වලාකුලක් අතරින් දෘශ්‍යමාන වන, සුරංගනාවියන් සමූහයක් වැනි ස්වරූපයක් නිසා බවද ඇය කීවාය.
රාජකීය ලෙන’ පිලිබඳ පහත දැක්වෙන තොරතුරුද මාර්ගෝපදේශිකාවගෙන් අපට දැනගන්නට ලැබිණ.

·    ලෙනෙහි දිග මීටර් 520 පමණ වේ.
·    ලෙන ඇතුලත කිහිප ස්ථානයකම ගමන් මගෙහි, ඉහල මට්ටමකට  නැගීම සඳහා සකස් කල පඩි  150  ක් පමණ ඇත.
·    අභ්‍යන්තර ගමන් මගෙහි සමහර ස්ථාන, බොහෝ පටු වන අතර, ස්ථාන කිහිපයකදී ශරීරය නමා රිංගා යාමට පවා සිදුවේ.
·    ලෙනට ඇතුල්වන සහ පිටවන දොරටු සහිත මීටර් දහයක පමණ කොටස්, උමං මග ලෙස කණින ලද කෘතිම නිර්මාණ වේ.
·    ලෙන තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.
·    ස්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයද ලෙන තුලට කෘතිමව සැපයේ.
·   නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා ලෙන තුළ යොදවා ඇති සියලුම ක්‍රමවේද දිනපතා සෝදිසියකට ලක්  කරනු ලැබේ.

මාර්ගෝපදේශිකාව සමග ඉදිරියට ගමන් කළ අපට, හිරිගල් වලින් සෑදුනු,  ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණ රාශියක්ම දැකගත හැකි විය. ඇය වරින් වර, සුවිශේෂී ස්ථාන පිලිබඳ විස්තරයක්ද කළාය.

“මෙම ස්වභාවික හිරිගල් නිර්මාණ අසලට කෙනෙකුට ලංවීමට නොහැකි ආකාරයට දැල් ගසා වෙන්කර තිබෙන්නේ ඇයි ?” අප කණ්ඩායමේ කෙනෙකු ඇයගෙන් ප්‍රශ්න කළේය.

“වසර මිලියන ගණනක් තිස්සේ, ක්‍රමක්‍රමයෙන් සෑදී ඇති මෙම ස්වාභාවික හිරිගල් නිර්මාණ ඉතාමත් සියුමැලි බවකින් සහ පරිබාහිර ඕනෑම බලපෑමකට සංවේදී බවකින් යුක්තයි. කෙනෙකුගේ අතෙහි ඇති ඩහදිය ස්වල්පයකින් පවා, හිරිගල් කොටසක් දියවී යාමේ තර්ජනයක් තිබෙනවා. මෙසේ ආවරණය කර තිබෙන්නේ ඒවායේ ප්‍රවේශම සඳහා.”  ඇයගේ පිළිතුර විය.

ඉදිරියට ගමන් කළ අපට තවත් සුවිශේෂී හැඩතල වලින් යුක්ත විවිධ හිරිගල් නිමැවුම් රාශියක් දකින්නට ලැබිණ. එම හැඩතල වල තවත් වැදගත් ලක්ෂණයක් වුයේ, ඒවා එක් එක් අයගේ දර්ශන පථයට වැටී, මැවී පෙනෙනුයේ විවිධ ආකෘති ලෙස හෝ වෙනත් විවිධ සංකල්ප ආශ්‍රීත නිමැවුම් ලෙස වීමයි. මෙම ලෙන් වලට නම් තැබීම සඳහා මුලික වූ ‘රාජ සභාව’ සහ ‘සුරංගනාවියන්ගේ අනුරූ’තෝරාගෙන ඇත්තේද මේ ආකාරයටමය.
 
අපට දකින්නට ලැබුණු හැඩතල අතර, දිය ඇලි, කඳු ශිඛර, පොකුණු, මල් ආසන, දේව රූප, බුදු පිළිම වැනි නිර්මාණ බොහෝ විය. විශේෂයෙන්ම එක් ස්ථානයක අපගේ හිස් වලට ඉහලින් තිබුණු,   මුව අයාගත් දැවැන්ත කිඹුලෙකුගේ විශාල දත් සහිත උඩුතල්ල වැනි ව්‍යුහය සහ ගල්කණු සහිත පැරණි නටබුන් වැනි  ආකෘතිය  කාගේත් සිත් ඇද ගත්තේය.

මේ අවස්ථාවේදී අප පිරිසේ කෙනෙකු, වැදගත් ප්‍රශ්නයක් මෙසේ ඇසුවේය.

“ නරඹන අයට ස්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලෙන් තුලට ලැබෙන්නේ කෙසේද?”

උපදේශිකාව එම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන්නාය.

“ලෙන තුළට වරකට ඇතුල්වන අයට, අවශ්‍යයයි ගණනය කර ඇති  ප්‍රමාණයට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක්, නිරතුරුවම කෘතීම වශයෙන් සැපයෙනවා. ‘හිරිලඹ සහ හිරිටැඹ’ වල වර්ධන ප්‍රතික්‍රියාව සඳහාත් ඔක්සිජන් යම්කිසි ප්‍රතිශතයක් අවශ්‍ය නිසා, ඒ ගැනද සිතා වැඩිපුර ඔක්සිජන් සපයනවා.” 
       
මෙසේ බලන කළ ස්වභාව ධර්මය, ඉතාමත් නිහඬව චමත්කාර ජනක දේ කෙතරම් නිර්මාණය කරන්නේද යන්න අපට සිතා ගත හැකිවිය. මෙතෙක් මිනිසාට ඇස නොගැසුණු මෙවැනි තවත් බොහෝ අසහාය ස්වභාවික නිර්මාණ, පෘථිවිය මතුපිට, පෘථිවි ගර්භය තුළ සහ මහා සාගරයේ කෙතරම් තිබිය හැකිද?  මෙසේ තිබිය හැකි බොහෝ දේ සදාකාලිකවම මිනිස් ඇසට වසන් වී යන්නටද ඉඩ තිබේ.

ලෝකයේ බොහෝ රටවල දකින්නට ලැබෙන භූගත හිරිගල් ලෙන් හටගැනීම ස්වාභාවධර්මයේ සිදුවන අන්තර්ක්‍රියා රාශියක සංකලනයන්ගේ අවසාන ප්‍රතිඵලය ලෙස දැක්විය හැකිය.  බුකන් ලෙන්වල හිරිගල් වසර මිලියන 300 සිට 400 දක්වා ඈත අතීතයකට නෑකම් කියන බව විකිරණ දත්ත අනුව නිර්ණය කර තිබේ. ‘ඩිවෝනියන් යුගය’(Devonian period) වශයෙන් හැඳින්වෙන එම කාලයේදී, මෙම ප්‍රදේශය මුහුදෙන් යටවී තිබුණු බව සහ මුහුදේ කොරල් පර තිබුණු අතර, එහි කවච සහිත සමුද්‍ර ජීවීන් සිටි බව පෙන්වන පාෂාණිභුතවූ සාක්ෂි තිබේ. කාලයත් සමග, මළ කොරල් පර සහ සමුද්‍ර ජීවී කොටස් සම්පීඩනයට භාජන වී, භූගත හුණුගල් නිධි සෑදී තිබේ. හුණුගල් යනු කැල්සියම් කාබනේට්ය. පසු කාලයේදී මෙම ප්‍රදේශය ගොඩබිමක් වූ විට,  හුණුගල් නිධි භූගත වී ඇත.  කල්යාමේදී විවිධ දේශගුණික විපර්යාස නිසා  හුණුගල් නිධි දියවීමට පටන්ගෙන තිබේ.

එසේ සිදුවන්නට ඇතැයි උපකල්පනය කරනු ලබන එක් ක්‍රියාවලියක් මෙසේය. වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව, ඉතා ස්වල්ප වශයෙන්  වර්ෂා ජලයේ දියවී දුබල කාබොනික් අම්ලය සෑදෙයි. දිය සීරාවත් සමග පස හරහා කාන්දුවන මෙම අම්ලය හුණුගල් නිධි සමග ප්‍රතික්‍රියා කර, ද්‍රාව්‍ය කැල්සියම් බයිකාබනේට සාදයි. වසර මිලියන ගණනක් තිස්සේ හුණුගල් නිධි, මේ අයුරෙන් දියවී යාම නිසා, භු ගර්භය තුළ ගුහා වැනි හිස් අවකාශ හටගෙන ඇත. මෙසේ සෑදී ඇති හිස් අවකාශ ස්වාභාවිකව එකතුවීමෙන් හෝ මෑත කාලයේදී මිනිසා විසින් විවිධ ක්‍රමෝපායයන් භාවිත කර එම ගුහා වැනි අවකාශ  එකට යා කිරීමෙන් භූගත ලෙන් නිර්මාණය වී  තිබේ.

භූගත ලෙන් හටගැනීමෙන් පසුව, ඒවා අභ්‍යන්තරයේ ‘හිරි ටැඹ’  සහ ‘හිරි ලඹ’ නිර්මාණය වීමද සරල රසායනික ප්‍රතික්‍රියා කිහිපයක ප්‍රතිඵලය වේ. ඉහත රූප සටහනේ දැක්වෙන පරිදි හිරි ටැඹ සහ හිරි ලඹ හට ගැනීමද ස්වභාව ධර්මයේ අපූරුතම නිර්මාණ වේ. කලින්ද සඳහන් කළ පරිදි ලෙනක පියස්සේ ඉහල සිට පහලට වැඩෙන සිහින් කූරු වැනි ව්‍යුහයන් ‘හිරිලඹ ’ (stalactite) ලෙස හැඳින්වෙන අතර, බිම් මට්ටමේ සිට ඉහලට වැඩෙන එවැනි ව්‍යුහයන් ‘හිරිටැඹ’ (stalagmite) ලෙසද හැඳින්වේ.

ආදී යුග වලදී, භූගත හුණුගල් නිධි දියවී ගොස් ලෙන් සෑදුණු ක්‍රමවේදයේ ආපසු හැරීමකට අනුරූප, රසායන විපර්යාස මාලාවක් මගින් ‘හිරිලඹ’සහ ‘හිරිටැඹ’නිර්මාණය වීම සිදුවේ. නිරතුරුවම සිදුවන මෙම ක්‍රියාදාමය මෙසේ දැක්විය හැකිය.

වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව, ස්වල්ප වශයෙන් ජලයේ ද්‍රාව්‍ය වේ. වර්ෂාව, පිනි බෑම, හිමපතනය වැනි අවස්ථා වලදී, පතිත වන ජලයේ ස්වල්ප වශයෙන් දිය වන කාබන්ඩයොක්සයිඩ් වායුව නිසා, දුර්වල අම්ලයක් වන කාබොනික් අම්ලය හටගනී. ජලයත් සමග පොළොවේ පස්  අතරින් කාන්දුවී යන කාබොනික් අම්ලය, පසෙහි ඇති කැල්සියම් සමග ප්‍රතික්‍රියා කර, කැල්සියම් බයිකාබනේට් ද්‍රාවණය සෑදෙයි. ජලයත් සමග පසෙහි පහලට කාන්දුවන කැල්සියම් බයිකාබනේට්, ලෙන් පියස්සේ සියුම් ඡීද්‍ර තුලින් වෑස්සී, ජල බිංදුවක් ලෙස ටික වේලාවක් පියස්සේ යටි පැත්තේ රැඳී  සිටී. මෙම සුළු කාලය තුලදී ජලය වාෂ්ප වීම නිසා, ජල බිංදුවේ ඇති  කැල්සියම් බයිකාබනේට් ස්වල්පයක් එහි ඉතිරිවී, ජලබින්දුව පහලට වැටේ. පියස්සේ ඉතිරි වන කැල්සියම් බයිකාබනේට් ස්වල්පය, ලෙනෙහි වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර අද්‍රාව්‍ය කැල්සියම් කාබනේට් බවට පත්වී එතැන තැන්පත්  වේ. එසේම පියස්සේ සිට පහලට වැටෙන ජල බින්දුවේ ඉතිරි කොටසේ තිබිය හැකි  කැල්සියම් බයිකාබනේට් ස්වල්පයද ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර එසේ පතිත වන  ස්ථානයේද කැල්සියම් කාබනේට් ස්වල්පයක් තැන්පත්වේ.

මෙය ඉතාමත් සෙමින් සිදුවන රසායනික ක්‍රියාවලියක් වුවද, වසර සිය දහස් ගණනක් තිස්සේ නොකඩවා සිදුවීම නිසා, අද අපට දකින්නට ලැබෙන විවිධ හැඩතල සහ  රූ රටා නිර්මාණය කර තැබීමට ස්වභාව ධර්මය සමත් වී තිබේ.

හිරිගල් ලෙනක් තුළ ‘හිරිළඹ’ නිර්මාණය වීමේ ක්‍රියාවලිය ඉතාමත් සෙමින් සිදුවන්නකි. හිරි ළඹයක්, දිගින් සෙන්ටිමීටර් දහයක් වර්ධනය වීම සඳහා, වසර දහසක් පමණ ගතවන බව ගණනය කර තිබේ. මෙම ලෙනෙහි තිබෙන සමහර නිමැයුම්, වසර 190,000  පමණ පැරණි බව, විකිරණශීලී මිනුම් මගින් අනාවරණය කරගෙන තිබේ. 
 
ලෙන තුළ චාරිකාව අවසන් කිරීමට ටික වෙලාවකට කලින්, උපදේශිකාව අපගෙන් ප්‍රශ්නයක් ඇසුවාය.

“Have you ever seen perfect darkness?”                                                                                             (ඔබ කිසිවිටක කිසිම ආලෝකයක් නොමැති පූර්ණ අඳුර දැක තිබේද ?)

මෙය, අපට කුතුහලය දනවන ප්‍රශ්නයක් විය.

සියලුම ජංගම දුරකථන අක්‍රීය කරන ලෙස ඉල්ලීමක් කළ ඇය, තමා  අසල තිබුණු විදුලි බොත්තමක් ඔබා, එකවරටම, ලෙන තුළ විදුලි බලය විසන්ධි කළාය.

අප සියලු දෙනාම මවිතයට පත් කරමින් පූර්ණ දැඩි අඳුර, අප වෙලා ගත්තේය. අප සමග සිටි එක් කාන්තාවකගේ  භීතියට මුසු ‘විලාපයක’ හඬක්ද ඇසුණි.

උපදේශිකාව තත්පර දහයකට පමණ පසු, නැවත විදුලි ආලෝකය සන්ධි කළාය. අමාවක දිනයක රාත්‍රී කාලයේදී වුවද, තරු එළිය නිසා අපට පූර්ණ අඳුර දැකගත නොහැකි බව, ඇය විස්තර කළාය. භු ගර්භය ඇතුලතදී මිස, මිහිපිට අන් කිසිම ස්ථානයකදී  මෙවැනි දසුනක වින්දනය ලැබිය නොහැකි බව අපටද තහවුරු විය.

මෙය ද අපට අමතක නොවන සිදුවීමකි.

(ශ්‍රී ලංකාවේද රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ, වවුල්පන ගමෙහි, මෙවැනි හිරිගල් ගුහාවක් තිබේ.)

මෙම වන රක්ෂිතය පිලිබඳ මානුෂික වශයෙන්, වැදගත් කරුණක්ද මෙහිලා සඳහන් කිරීම උචිතයයි සිතමි. එනම්: 
 
ඕස්ට්‍රේලියාවේ බුකන් වනරක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශය ඉහතදී ‘ගුනයිකුර්නායි’ (Gunaikurnai)  නමැති, ආදිවාසී මිනිස් වර්ගයාට, අයත්ව තිබුණු බවට පිළිගැනීමක් තිබේ. මේ නිසා, රජය මගින් එම ප්‍රදේශය නිත්‍යානුකූලව, ආපසු  ඔවුනට භාරදී ඇත. එම ප්‍රදේශයේ  පරිපාලන කටයුතු සහ ධරණීය සහ තිරසාර සංවර්ධන වැඩ සටහන්, එම මිනිස් වර්ගයා සමග හවුලේ කිරීමටද රජය  ගිවිස ගෙන තිබේ.  මෙය ‘වික්ටෝරියානු උරුම’ තෝම්බුවේ ඇතුලත් කර තිබෙන රක්ෂිතයකි.
---------------------------------
ලෙන් චාරිකාවෙන් පසු, එදින රාත්‍රී නවාතැන් සඳහා,  අපට බුකන් රක්ෂිත ප්‍රදේශයේ සිට, කිලෝමීටර් හැටක් පමණ දුරින් පිහිටි,  ‘ලේක් එන්ට්‍රන්ස්’ (Lake Entrance) සංචාරක පුරවරයේ,  මනා පහසුකම් සහිත නිවාඩු නිකේතන වෙන්කර ගතහැකි විය.


පසුදින පෙරවරු දහයට පමණ, ආපසු ඒම සඳහා නිවාඩු නිකේතනයෙන් පිටත්වූ අපි, ටික වේලාවක් ‘ලේක් එන්ට්‍රන්ස්’ නගරයේ මනස්කාන්ත බවෙහි සුවයද විඳිමින්  එහි ඇති වැදගත් ස්ථාන කිහිපයක්ද  නැරඹුවෙමු. එදින පස්වරු හය පමණවන විට,  ආපසු ගම්බිම් බලා පැමිණි අපි, සදා අනුස්මරණීය වැදගත් චාරිකාවක් මෙසේ නිම කළෙමු.

(සමහර තොරතුරු ස්තුති පූර්වකව, අන්තර්ජාලයෙනි) 
දිගුව:https://www.thetourexpert.com/countries/visit-australia-information-guide/places-of-interest-in-victoria-australia/buchan-caves-victoria-australia-2
                               






                      

Thursday 15 November 2018

ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි

    පෘථිවි ජෛව ගෝලයේ මුල්ම ජීවීන් ජලයේ ජීවත්වූ  ඒක සෛලීකයින් වූහ. ස්වාභාවික රසායන ප්‍රතික්‍රියා වලින් ලැබෙන අතුරුඵල මොවුන්ගේ ආහාරය විය. මෙසේ වසර මිලියන ගණනක් යාමේදී, මෙයින් එක් ජීවී කොට්ඨාශයක් තුළ,  හිරු එළියෙන් ශක්තිය ලබාගැනීම සඳහා උපයෝගී කරගත හැකි හරිතප්‍රද නමැති සංකීර්ණ රසායනික සංයෝගයක් හටගත්තේය. මේ නිසා මොවුනට තම පෝෂණය සඳහා සූර්ය ශක්තිය ආධාර කර ගනිමින්, ජලය සහ වායු ගෝලයේ ඔක්සිජන් භාවිත කර, ආහාර නිපදවා ගතහැකි විය. 

තවත් කල්යාමේදී, ආහාර නිපදවා ගත නොහැකි, දෙවන කොට්ඨාශයේ ජීවීන්ට, හරිතප්‍රද සහිත ජීවීන් සහ ඔවුන්ගේ අතුරු ඵල තම ආහාර වශයෙන් ගැනීම සඳහා අනුවර්තන ඇති  විය. මෙසේ වසර මිලියන ගණනක් මුළුල්ලේ විකසනය වෙමින්, බහු සෛලීකයින් වූ ජීවින්, ශාක සහ සත්තු යන රාජධානි දෙකක් වශයෙන් නිර්මාණය වී තිබේ. 

මෙම දෙකොටසටම අයත් නොවන බැක්ටීරියා, දිලීර, මුහුදු ශාක වැනි ජීවින්, අයත්වන ප්‍රාග් ජීවී යන අර්ථය ඇති Protista රාජධානියක්ද ඇත. (මෙහිදී අපගේ සැලකිල්ලට භාජන වනුයේ ශාක සහ සත්තු පමණකි.)


අපගේ පියවි ඇසට පෙනෙන සාමාන්‍ය ජීවීන්ගේ ප්‍රජනන ක්‍රම දෙකක් හඳුනාගෙන තිබේ. මේවා නම් අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනයයි. ජන්මාණු සම්බන්ධයක් නොමැතිව සිදුවන අලිංගික ප්‍රජනනය වර්ධක ප්‍රජනනය ලෙසද හැඳින්විය හැකිය. සමහර ශාකවල අතු කැබලි, භූගත කඳන්, මුල් වැනි කොටස් භාවිත කර මේ ආකාරයට අලුත් ශාක ලබාගත හැකිය.

ශාක සහ සතුන්ගේ ප්‍රධානතම ප්‍රජනන  ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනයයි. මෙහිදී පුං (male) සහ ජායා (female) ජන්මාණු එකතු වී සෑදෙන යුක්තාණුවකින් හටගන්නා,  නව ජනිතයින් මගින්, ඊළඟ පරම්පරාව සකස් වේ. ශාකවල ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය සිදුවනුයේ පුෂ්ප මගින්ය. බොහෝ විට එකම පුෂ්පයේ  පුං සහ ජායා අවයව දෙවර්ගයම පිහිටා තිබේ. පුෂ්පයක රේණු මත හටගන්නා පරාගවල  පුං ජන්මාණු සෑදෙන අතර, එහි ඩිම්බ කෝෂය තුළ, ජායා ජන්මාණු  වන ඩිම්බ හටගනී.

පුෂ්පයක පරාග වල ඇති පුං ජන්මාණුවක් ඩිම්බ කෝෂය තුළ ඇති ජායා  ජන්මාණුවක් සමග එකතුවීම සංසේචනයයි. මෙම සංසේචනය සඳහා පරාගණය සිදුවිය යුතුය. සාර්ථක පරාගණයකදී එක් ශාක පුෂ්පයක හටගන්නා  පරාග, එම විශේෂයේම වෙනත් ශාක පුෂ්පයක කලංකය මතට සංක්‍රමණය විය යුතුය. මෙය පරපරාගණයයි. පුෂ්ප පරාගණය කිරීමේ කාර්යය බහුලවම සිදු වනුයේ සමනලයින්, මී මැස්සන් වැනි කෘමින් මගින්ය. පෘථිවියේ සපුෂ්ප ශාක හටගත් අවදියේ සිටම, ඒවා පරාගණය කිරීම සඳහා විවිධ කෘමීන් අනුවර්තනය වී තිබේ. එසේම පරාගණය සඳහා කෘමින් ආකර්ෂණය කර ගැනීම සඳහාද පුෂ්ප විවිධ ආකාරවලට අනුවර්තනය වී තිබේ. පුෂ්ප විවිධ වර්ණ සහිත වීම, මල්පැණි තිබීම, සුගන්ධය වැනි අනුවර්තන නිසා කෘමිහු  පුෂ්ප කරා ඇදී යති. කෘමියෙකුගේ ඇඟෙහි තැවරුණු එක් පුෂ්පයක පරාග, එම කෘමියා තවත් පුෂ්පයකට ගිය විට එහි බාහිරව පෙනෙන කලංකයේ පතිතවීම පරාගණයයි.


මෙසේ පතිත වන පරාගයක් එහි ඇති ද්‍රව මාධ්‍යය තුළ විකසනය වී සුවිශේෂී නාලයක් හටගනී. මෙම නාලය  ඔස්සේ ගමන් කරන, පරාගයේ ඇති පුං ජන්මාණුවක් ඩිම්බකෝෂය හරහා ගොස් පරිණත ඩිම්බයක් සංසේචනය කරයි. මෙහිදී පරාගණය සිදු කරනු ලබන කෘමියා නොදැනුවත්වම කරනුයේ ශාකයේ ඉදිරි පැවැත්ම සඳහා ලිංගික ප්‍රජනනය සිදුවීම සඳහා ඉතා වැදගත් මෙහෙවරකි. මේ වෙනුවෙන් කෘමින් සඳහා ‘මධු විතකින්’ (මල්පැණි) සංග්‍රහයක් කිරීමට පුෂ්ප සැදී පැහැදී සිටින බව දකින්නට ලැබේ.

සාර්ථක සංසේචනයකින් පසු ඩිම්බ කෝෂය තුළ බීජ හටගනී. මෙම  බීජ පරිණත වූ පසු ඒවා නව පරම්පරාවක් සඳහා ජීවය සැපයීමට සමත් වෙති.

එසේ වෙතත් ශාකවල පුෂ්ප හටගන්නා තරමටම ඵල හෝ ගෙඩි හට නොගන්නා බවද දකින්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, අඹ ගසක් ගතහොත්, එහි මල් හටගන්නා මාර්තු, අප්‍රියෙල් මාසවලදී මුළු ගසම කුඩා මල් ලක්ෂ ගණනකින් පිරී යයි. මෙම මල් වලින් විශාල ප්‍රමාණයක් දුඹුරු පැහැ වී වැටෙන බව ඔබ දැක ඇත. එසේම ටික දිනකදී ඩිම්බ සංසේචනය වී සෑදී ඇති ලපටි නොමේරු කුඩා අඹ ගෙඩි දහස් ගණනක් ගස යට වැටේ. 

මේ ගැන තරමක් දුරට සිතා බැලුවහොත්, මේ සිදුවනුයේ ශාකයේ ඉදිරි ගමනට අවශ්‍ය ජන්මාණු වලින් නිර්මාණය වූ ඵල අපතේ යාමක් නොවේද යයි කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. සෑම පුෂ්පයකින්ම ඵලයක් හෝ බීජ හට නොගනී. සියලුම සපුෂ්ප ශාකවල දකින්නට ලැබෙන මෙම සංසිද්ධිය සාධාරණීකරණය කළ හැකිද? බැලූ බැල්මට සාධාරණීකරණය කළ නොහැකි බව පෙනේ. එසේනම් ලොව පුරා ඇති සෑම සපුෂ්ක ශාකයක්ම ලක්ෂ සංඛ්‍යාත පුෂ්ප වලින් බරවී, ලොවට හඬගා කියමින් සිටින මේ පණිවුඩය කුමක්ද? 
ශාක වල සිදුවන මෙම ක්‍රියාවලිය මහත් ආශ්චර්යමත් සංසිද්ධියකි. විවිධ වර්ණවලින්, හැඩයෙන් සහ සුගන්ධයෙන් සපිරුණු පුෂ්ප තනි තනිව හෝ මංජරි වශයෙන් දකින්නට ලැබේ. එසේම විවිධ හැඩහුරුකම් වලින් යුක්ත සමනළ, මීමැසි වැනි කෘමින්, ලොව සිටින විශාලතම ජීවී කොට්ඨාශය වශයෙන් පෙනී සිටිති. පරිසරයට විවිධත්වයක් සහ චමත්කාරයක් ගෙන දෙන පුෂ්ප සහ කෘමින් යන ජීවී ප්‍රභේද දෙකෙන් මුළු ලෝකයේම සිටින සමස්ත ජීවී සංහතියේම පැවැත්ම සඳහා ආහාර සපයමින් විශාල  මෙහෙවරක් කරන බව දකින්නට ලැබේ.

සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියේද මූලික ක්‍රියාදාමයන්, ශාක වල ලිංගික ප්‍රජනනයට බොහෝ දුරට අනුරූප වේ. ඒ සමගම එය වඩ වඩාත් සංකීර්ණ වේ. මේ සංකීර්ණ භාවයේ උපරිමයට පැමිණ සිටින මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලියේ ඇති මහත් ආශ්චර්යමත් භාවය ගැනද මඳක් විමසිලිමත් වීම වැදගත්ය. 

මිනිස් ජීවියාගේ ස්ත්‍රී ලිංගිකයෝ  සහ පුරුෂ ලිංගිකයෝ වෙන වෙනම සිටිති. මොවුන්ගේ ජන්මාණු නිපදවනුයේ ශරීර අභ්‍යන්තරයේ පිහිටි සුවිශේෂී අවයව වලය. ස්ත්‍රී ජන්මාණු නොහොත් ඩිම්බ හටගනුයේ  ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂ වලය. පුං ජන්මාණු නොහොත් ශුක්‍රාණු හටගනුයේ පුරුෂයෙකුගේ වෘෂණ තුළය.


ස්ත්‍රී-පුරුෂ ලිංගික එක්වීමේදී ස්ත්‍රියගේ ඩිම්බ කෝෂයෙන් මුක්ත වූ ඩිම්බයක් පුරුෂයාගේ වෘෂණයෙන් නිකුත් වන ශුක්‍රාණුවක් සමග සම්බන්ධවී හටගන්නා යුක්තාණුව ගර්භාෂයේ තැන්පත්වී,  කළලයක් නිර්මාණය කරයි. කළලයේ වර්ණදේහ සංයුතිය අනුව බිහිවන දරුවා පිරිමි හෝ ගැහැණු භාවය ලබයි. මෙම ක්‍රියාවලියේද සරල බවක් පෙන්නුම් කරනු ලැබුවද, එහි අහඹුතාවයන් පිළිබඳව මහත් සංකීර්ණ බවක් ඇත. ස්වාභාවිකව, වර්ගයාගේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය ජනිතයින් නිර්මාණය වීමේ මෙම ක්‍රියාවලියේදීද, ශාක පිළිබඳව කලින් සඳහන් කළ ආකාරයට, නව ජනිතයින් බිහිකිරීමේ භව්‍යතාව ඇති  ජන්මාණු අපතේ යාමක් සිදුවේද? එසේ වන්නේ නම්, ඒ මගින් ස්වභාව ධර්මය අපේක්ෂා කරනුයේ කුමක්ද යන්න සොයා බැලීමද උචිතය.

කුඩා ළදැරියක් උපත ලබන විටදීම ඇයගේ ඩිම්බ කෝෂ සකස්වී අවසන්ය. අනාගතයේදී පරිණත වීම සඳහා විභව්‍ය භාවයකින් යුක්ත නොමේරු ඩිම්බ සෛල මිලියන දෙකක් පමණ දැරියගේ ඩිම්බ කෝෂ තුළ අන්තර්ගතවේ. දැරියගේ වර්ධනයත් සමග ඩිම්බ සෛල විශාල ප්‍රතිශතයක් රෝධනය වී, ඇය වැඩිවිය පැමිණෙන අවස්ථාව වන විටද  ඩිම්බ සෛල ලක්ෂ තුනක් පමණ ඩිම්බ කෝෂ වල ඉතිරිවේ. මෙයින්ද පරිණත ඩිම්බ වශයෙන් විකසනය වනුයේ ඉතාමත් අඩු ප්‍රතිශතයකි. 

ස්ත්‍රියකගේ ප්‍රජනන සරු කාලය තුලදී පරිණත ඩිම්බ සෛල හාරසියයක් පමණ මුදාහැරේ. සාමාන්‍යයෙන් එක් ඔසප් චක්‍රයක් තුළදී, එක ඩිම්බය බැගින් මුදාහැර, ඔසප් චක්‍රය අවසාන කාලය වන විට ඩිම්බ රෝධනය ඉතා ඉක්මණින් සිදුවී ආර්තවහරණයත් සමග සියලුම ඩිම්බ සෛල රෝධනය වී යයි. මිලියන ගණනක් වශයෙන් ආරම්භ වන ඩිම්බ සෛල මෙතරම් ප්‍රතිශතයක් රෝධනය වීම අපතේ යාමක් ලෙස සැලකිය නොහැක්කේද?

ඩිම්බ සංසේචනය සඳහා ශුක්‍රාණු නිපදවනු ලබන  සාමාන්‍ය වැඩිහිටි පිරිමියෙකුගේ එම නිෂ්පාදන ක්‍රියාවලියද  කෙනෙකු මවිතයට පත්කරවන සුළු වේ. පිරිමියෙකුගේ ජන්මානු වන ශුක්‍රාණු නිපදවනු ලබන්නේ වෘෂණ කෝෂ තුළය. ඔහුට තම ප්‍රජනන සරු කාලය තුළදී ශුක්‍රානු බිලියන 525 පමණ නිපදවිය හැකියයි ගණනය කර තිබේ. මේ අනුව  සාමාන්‍යයෙන් මසකට ශුක්‍රාණු බිලියන 15 ක්  පමණ නිපදවේ. එසේම නිරෝගී පුද්ගලයෙකුට එක් මෝචනයකදී ශුක්‍රාණු මිලියන 200  ක් පමණ මුක්ත කළ හැකිය.  

එක තේ හැන්දක ප්‍රමාණයේ  පරිමාවක ශුක්‍රාණු මිලියන දෙසියයක් පමණ තිබිය හැකිය. මේ සියල්ලම කෙසේ වෙතත් අඩුම වශයෙන් මෙයින් හරි අඩක්වත් සංසේචන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සමත් පුං ජන්මාණු වේ. මේ අතින් සලකා බලන කළ පුං ජන්මාණු නාස්තිය සහ අපතේ යාම,  ස්ත්‍රියකගේ ජායා ජන්මාණු අපතේ යාම මෙන් සිය දහස් ගුණයකි. මේ සියලුම ස්වාභාවික සිදුවීම් ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් සොබා දහමේ ඉතාමත් සොඳුරු, විවිධත්වය සහ සමතුලිතතාව සුරැකීම පිලිබඳ සංකල්ප කිහිපයක අඩිතාලම කරා ළඟාවිය හැකිය.

ඉහත පද්‍යයේ දැක්වෙන අයුරු, මොන්ටි පීතන්ගේ  The Meaning of Life. නම් පොතෙහි ශුක්‍රාණුව පූජනීය බව හඟවන්නේ එය ජීවයේ ආරම්භය නිසා විය හැකිය.
‘ජීවයේ මුලික ඒකක’ වන ජන්මාණු වල මෙවැනි මහා පරිමාණයේ නාස්ති වීමක් හෝ අපතේ යාමක් ගැන සොබා දහම ඇස් කන් පියාගෙන සිටින්නේද යන්න මඳක් සොයා බැලීම වටින්නේය.

මෙය සාධාරණීකරණය කිරීම සඳහා හේතු රාශියක් තිබේ.

පියවි ඇසට නොපෙනෙන, අන්වීක්ෂයක ආධාරයෙන් පමණක් දැකිය හැකි, ඉතා කුඩා ශුක්‍රාණුවකට ඩිම්බයක් හමුවීම සඳහා ගර්භාෂයේ ඉහලම කෙලවරට යාමට සිදුවේ. මිලිමීටරයකින් විස්සෙන් එකක්  (0.05) පමණ ප්‍රමාණයෙන් යුක්ත ශුක්‍රාණුවකට ඩිම්බයක් හමුවීම සඳහා සෙන්ටිමීටර් දහඅටක්, විස්සක්  පමණ දුරක් යාමට සිදුවේ. ශුක්‍රාණුවේ දේහ ප්‍රමාණය සමග සසඳා බලනවිට, එය විශ්වාස කළ නොහැකි තරමේ, දුරකින් යුත් ගමන් මගකි. 

මෙම දුර ප්‍රමාණය, ශුක්‍රාණුවේ දේහ ප්‍රමාණය මෙන් හාර දහස් ගුණයක් පමණවේ. ශුක්‍රාණුවේ ගමන් මග තරලමය මං පෙතක් නිසා, මෙය දක්‍ෂ පිහිණුම් කරුවෙකු සහභාගිවන, සැතපුම් දෙකක්, ගඟක උඩුගං බලා පිහිණීමේ, තරඟයකට සම  කළ හැකිය. ශුක්‍රාණුව පිහිනා යන මෙම 'ගඟෙහිද' ගල්පර, රොඩු බොරොඩු, වක්කලම්, දිය සුළි  වැනි තවත් බාධකද බෙහෙවින් තිබේ. මේ නිසා පිහිනා යාම අතිශයින් දුෂ්කරය. තරඟය සඳහා තවත් 'අයද' රාශියක් සිටින නිසා ඉඩකඩද සීමා සහිතය. 

ශුක්‍රාණුවල  දුෂ්කර ගමන් මග පිලිබඳ අධ්‍යයනයක යෙදුනු  එක්තරා කළල විද්‍යාඥයෙකු, මෙම තරඟය සඳහා ඇති බාධක විස්තර කරනුයේ මෙසේය.




මේ අතර ඩිම්බ කෝෂයෙන් මුක්ත වී, සංසේචනය බලාපොරොත්තුවෙන් ගර්භාෂය සොයා පැමිණෙන ඩිම්බයක ආයු කාලය පැය විසි හතරකට වඩා  වැඩි නොවේ. මෙයද සංසේචනයේ සීමාකාරී සාධකයකි.

තරඟය ආරම්භ කරනු ලබන  ශුක්‍රාණු මිලියන දෙසියයෙන්, අවසානයේදී ජයග්‍රහණය ලබන්නේ, සෑම අතින්ම ශක්තිමත් මනා ජවයකින් යුක්ත එකම එක ශුක්‍රාණුවකි.

මෙසේ විග්‍රහ කර බලන විට දරු උපතක ආරම්භය වන පිළිසිඳ ගැනීමද  මහත් ආශ්චර්යයකි.

මේ අනුව ශාකවල සහ සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට අදාල ජන්මාණු නිෂ්පාදනයේදී කිසිදු නාස්තියක් හෝ අපතේ යාමක් සිදුනොවන බව නිගමනය කළ හැකිය. මෙම ක්‍රියාවලි සමූහය, වර්ගයාගේ යහ පැවැත්ම සහ උන්නතිය සඳහා අත්‍යවශ්‍ය සාධක වේ. මෙසේ දකින්නට ලැබෙන අධිකතර ජන්මාණු නිෂ්පාදනය, ජන්මාණු අතර ඇතිවන ප්‍රබල සටන,  උචිතෝන්නතිය, ස්වාභාවික තේරීම යනුවෙන් හැඳින්විය හැකි  සංසිද්ධි සමූහය පරිණාමයට පවා තුඩු දෙන බව, ඩාවින්ගේ පරිණාම වාදයේ ද විස්තර කර තිබේ.