සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට ජනවාරි මාසයේ මැද පමණවන තුරු ඕස්ට්‍රේලියානු
වෙළඳ පලේ බහුලව හමුවන පලතුරු වර්ගයක් වන ‘චෙරි’ පිළිබඳව රසවත් තොරතුරු ස්වල්පයකි
මේ. දෙසැම්බර් මාසයේ දෙවන සතියේ දිනක, වික්ටෝරියා ප්‍රාන්තයේ, මෝර්නින්ග්ටන්
අර්ධද්වීපයේ පිහිටි, පලතුරු වත්තකට ගොස් චෙරි කැඩීමේ විනෝදාත්මක ක්‍රියාවලියට
සහභාගී වීමට අවස්ථාව අපට ලැබුණි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම විශාල වශයෙන්
වගා කරනු ලබන ‘චෙරි’ ඉතා රසවත් පලතුරකි. ශ්‍රී ලංකාවේ අපට හුරු පුරුදු, උගුරැස්ස
ගෙඩියක ප්‍රමාණය සහ හැඩය ඇති චෙරි ගෙඩිය, තනි බීජයක් සහිත මාංශල ඵලයකි. පොකුරු
වශයෙන් හටගන්නා චෙරි ඵලයට දිග නටුවක් තිබේ. උගුරැස්ස ඵලයේ කුඩා බීජ රාශියක් තිබේ.
ඉදුණු ඵල එකාකාර හැඩයකින් යුක්ත වුවද චෙරි සහ උගුරැස්ස එකිනෙකට හාත්පසින්
වෙනස් ශාක කුල දෙකකට අයත්වේ. චෙරි, Prunus avium ලෙස නම්කර තිබෙන අතර උගුරැස්ස වල නාමය Flacourtia innermis වේ. චෙරි රසයේ සහ උගුරැස්ස රසයෙහිද වෙනසක් තිබේ. ශ්‍රී ලංකාවේ
දකින්නට ලැබෙන උගුරැස්ස පලතුරට එම නාමය ලැබී ඇත්තේ, උගුරැස්ස කෑමට ගත් විට, උගුරෙහි කහට බැඳීමක් සිදුවන නිසා බවද අසා
තිබේ.
ලෝකයේ මධ්‍යධරණී දේශගුණය පවතින රටවල පලතුරු බහුලව
වැවෙන බව අපට පාසැලේදී ඉගෙන ගන්නට ලැබී
ඇත. මධ්‍යධරණී මුහුද අවට රටවල් වන ඉතාලිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය, වැනි ප්‍රදේශ වල
පලතුරු වැවීම සඳහා දේශ ගුණය හිතකර බව ඉගෙන ගත් අපට, මේ රටවලින් බොහෝ ඈත පිහිටි, දකුණු අප්‍රිකාවේ සහ ඔස්ට්‍රේලියාවේද මධ්‍යධරණී
දේශගුණය තිබිය හැක්කේ කෙසේද යන්න, එකළ එතරම්
පැහැදිලි කරුණක් නොවීය.
අප පාසැල් යන කාලයේ, තිබුණු SSC Prep යන නමින් හැඳින්වූ 9 වන ශ්‍රේණිය පන්තියේ ඉගෙනුම ලබද්දී, භූගෝල විද්‍යාව
අනිවාර්ය විෂයයක් විය. ඉංග්‍රීසි මාධ්‍යයයෙන්
ඉගෙනුම ලැබූ අපට, භූගෝල විද්‍යා පාඨ ග්‍රන්ථය වුයේ Dudley Stamp විසින් ලියනලද World Geography නම් පොතයි. ඒ කාලයේ සිටි සමහර වයෝවෘධ ගුරුවරු,
භූගෝල විද්‍යාව විෂයය හැඳින්වුයේ භුමි ශාස්ත්‍රය යන නමින්ය. අපට භූගෝල
විද්‍යාව ඉගැන්වූ සිල්වා ගුරුතුමාට පාඨ
ග්‍රන්ථයේ බොහෝ කොටස් කට පාඩම් තිබුණු බවද අපට පෙනුණි. අපට ඉගෙනීම සඳහා පාඩම් පොත
හැර වෙන කිසිම මාධ්‍යයක් නොවීය.
මධ්‍යධරණී දේශගුණය යනු, සෞම්‍ය දේශගුණය සහ තෙතමනය සහිත ශීත
ඍතුවක් සහ උණුසුම් හෝ ග්‍රීෂ්මය සහිත වියලි
ගිම්හානයක්ද පැවතීම යනුවෙන් අර්ථ දක්වන බව පසු කාලයකදී පාඨ ග්‍රන්ථය ඇසුරෙන් ඉගෙන
ගතිමු. එම දේශගුණික තත්ත්ත්ව දකුණු අප්‍රිකාවේ සහ ඔස්ට්‍රේලියාවේද තිබෙන බවද එසේ
දැන ගතිමු. මේ නිසා එම රටවලද පලතුරු හොඳින් වැඩෙන බව තහවුරු කර ගැනීමට හැකිවිය.
ප්‍රශස්ත කාලගුණය පවතින, නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා
කාලය තුළදී, ඕස්ට්‍රේලියාවේ චෙරි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 15,000 පමණ වේ. සෞම්‍ය දේශගුණයක් පවතින මෙම කාලය තුළදී, චෙරි වතුවල, චෙරි
කඩා එකතු කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව
සලසා තිබේ. ‘චෙරි කැඩීම’ (Cherry Picking) පවුලේ කාටත් එකතුවී විනෝදයක් ලැබිය හැකි ක්‍රියාකාර කමකි. මෙය චෙරි ප්‍රචාරය කිරීමේ ක්‍රමවේදයක්
ලෙසද සැලකිය හැකිය. ඩොලර් දහයක මුදලක්
ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන චෙරි වත්තට ඇතුල්වී ඉදුණු චෙරි ගෙඩි තමන්ට ඇති තරම් ගස් වලින් කඩාගෙන, එවලේම කෑමට ගත හැකිය. ගෙඩි වලින් බරවී ඇති චෙරි ගස්වල බිම් මට්ටමේ ඇති
අතු වලින් පමණක් ගෙඩි දහස් ගනණක් නෙලා ගත හැකිය. ප්‍රවේශ පත්‍රය මිලදී ගන්නා විටම කාර්යාලයෙන්
සපයනු ලබන කූඩයකට එකතුකරගන්නා චෙරි ගෙඩි සියල්ලම, නියමිත
සාමාන්‍ය මුදලක් ගෙවා තමන්ට ගෙදර ගෙනයා හැකිය.
මෙසේ චෙරි වත්තට පැමිණෙන අමුත්තන් විසින් කඩාගනු ලබන ගෙඩි වෙළඳ පලට
නොයැ වේ. වෙළඳපලට යැවීම සඳහා චෙරි පලදාව
නෙලා ගනු ලබන්නේ ඒ සඳහා විශේෂ ආවරණ සහිතව සකස් කළ
චෙරි වගාවන් වලින්ය. මෙම වගාවන්ගෙන්
චෙරි කඩා එකතු කරනු ලබන්නේ, ඒ පිළිබඳව
පුහුණුවක් ලත් අය විසින්ය.
විශේෂයෙන්ම විදේශ වෙළඳ පළට යොමු වනුයේ මෙම නිෂ්පාදන වේ.
ආගන්තුක ජනතාවට චෙරි පලදාව
නෙලා ගැනීම (චෙරි කැඩීම) සඳහා වන මෙම වැඩ පිළිවෙල සකස් කර තිබෙනුයේ ඔවුන් අතර චෙරි වැඩි වැඩියෙන් ජනප්‍රිය කරවීමට සහ
ඔවුන්ට චෙරි රස විඳිමින්ම විනොදාස්වාදයක්ද ලබා ගැනීම සඳහාය.
චෙරි
අයත් වන Prunus ශාක ගණයට අයත් වන උප විශේෂ සහ ප්‍රභේද අසූවක් පමණ ඕස්ට්‍රේලියාවේ තිබෙන
බව වාර්තාවී තිබේ. මෙයින් මිහිරි රසයෙන්
යුක්ත චෙරි ප්‍රභේද, පලතුරු වශයෙන් පාවිච්චි කරන අතර තරමක් ඇඹුල් රසයෙන් යුක්ත ප්‍රභේද, පලතුරු යුෂ, චට්නි, ජෑම්
ආදී වෙනත් අහාර සෑදීම සඳහා භාවිත කෙරේ. රටෙහි චෙරි නිෂ්පාදනයෙන් මෙට්‍රික් ටොන් 5000 ක් පමණ වාර්ෂිකව විදේශ වෙළඳ පලට යැවෙන අතර, මෙය රටට ඩොලර් මිලියන සියයකට වඩා ලැබෙන ආදායම්
මාර්ගයකි.
මධ්‍යධරණී
කලාපයට අමතරව පලතුරු වැවීම සඳහා යෝග්‍ය දේශ ගුණය පවතින ආසියාතික රටවල සහ ඇමෙරිකානු
රටවලද චෙරි ජනප්‍රිය පලතුරකි. මේ අතර ජපානය චෙරි සුවිශේෂී ආකාරයේ පිළිගැනීමකට
ලක්කර තිබේ. ජපානයේ ජාතික පුෂ්පය චෙරි පුෂ්පයයි. “සකුරා මල්” යන නමින් හඳුන්වනු
ලබන චෙරි පුෂ්ප ‘cherry
blossoms’
ලෙස ලොව ප්‍රසිද්ධියට පත්වී තිබේ.
වසන්ත
සමයේදී සකුරා මල් වලින් බරවී යන චෙරි ප්‍රභේද කිහිපයක්ම ජපානයේ තිබේ. ‘සකුරා මල්’ කිරි
සිදු පැහැයේ සිට රෝස පැහැය දක්වා විවිධ වර්ණ වලින් දකින්නට ලැබේ. මල් වලින් බරවී,
පරිසරයට චමත්කාරයක් ගෙන දෙන චෙරි ශාක විශේෂ
සහ ඵලදරණ චෙරි ශාක විශේෂ අතරද පැහැදිලි වෙනසක් තිබෙන බව සඳහන් වේ. ‘cherry blossoms’ ලෙස දැක්වෙන චෙරි ශාක Prunus serrulata, විශේෂයට
අයත් වන අතර ජපානයේ “සකුරා” නම් ආදරණීය නමින් හැඳින්වෙනුයේ මෙම ශාකය යි. මෙම ශාකවල තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ, ඒවායේ මල් පමණක්
හටගන්නා අතර ගෙඩි හට නොගෙන වඳ භාවයක් පෙන්නුම් කිරීමයි. මෙම ලකෂණයද, ස්වභාව
ධර්මය විසින් විවිධත්වය මගින් පරිසරයට අලංකාරයක් ලබාදීම සඳහා සිදුකර ඇති නිමැවුමක්
බව නිගමනය කළ හැකිය.
චෙරි
පලතුරු වත්තකට ගොස් විනෝදය සඳහා පලතුරු
කඩමින්, ඒවායේ රසයත් පලතුරු ගස් යට සිටම භුක්ති විඳීමට ලැබීම ආස්වාද ජනක අවස්ථාවක්ම
විය . ඒ සමගම ලෝකයේ විවිධ රටවල චෙරි වගාව පිලිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ‘cherry picking’ ක්‍රියාකාරකම උපයෝගී කර ගත හැකි විය. මේ සියල්ලටමත් වඩා ජපානයේ ‘සකුරා’ මල් සහ
චෙරි ශාකය අතර ඇති සම්බන්ධය පිළිබඳවද
කරුණු සොයා බැලීම සඳහා මෙය මහඟු රුකුලක් වූ බවද සඳහන් කරන්නේ මහත්
සතුටකිනි.
යුරෝපයේ පාරවල්වල විසිතුරු ගහක් ලෙස වවල තියෙන්නෙ ජැපනීස් චෙරී ගස් නේද?
ReplyDeleteස්තුතියි Pra Jay.
ReplyDeleteසිසිර සහ ගිම්හාන ඍතු පවතින රටවල චෙරි ශාක විශේෂ සීය ගණනක් හඳුනාගෙන තිබෙනවා. මෙවායින් විශේෂ බොහෝ ගණනක් වවනු ලබන්නේ පලතුරු ලබාගැනීම සඳහායි. මේ ආකාරයටම මල් පමණක් හටගන්නා විශේෂ වගා කරනුයේ අලංකාර චෙරි මල් සඳහා පමණයි. මෙම ශාක වඳ භාවයකින් යුක්ත නිසා ඒවායේ ජන්මානු නිපදවීමක් සිදු නොවේ. ‘cherry blossoms’ යන නමින් දැක්වෙනුයේ මෙම ලක්ෂණයෙන් යුක්ත ශාකවල හටගන්නා මල් වලටයි. මෙම ශාක වලින් අලුත් ප්‍රරෝහ (පැළ) ලබාගනුයේ රිකිලි වලින් සහ විවිධ බද්ධ කිරීමේ ක්‍රමවේද මගින්ය.
ඇමරිකාවේ මේ විදියට ස්ට්‍රෝ බෙරි කඩන්න ගිහින් තිබුණා අපේ ළමයි. හුගාක් ලස්සන විස්තරයක් ඔබ ඉදිරිපත් කර තිබෙනවා චෙරි ගැන ,උද්භිද විද්‍යා තොරතුරුත් සමග. ඉතාම වටින ලිපියක් ....
ReplyDeleteස්තුතියි මාලිනි,
ReplyDeleteමේ ආකාරයටම ස්ට්‍රෝ බෙරි කැඩීම මෙහෙත් කරනවා. මේ තොරතුරු පුවත් පත් වල පළ වෙනවා අඩුයි.
ගිය සතියේ ඕස්ට්‍රේලියාවේ දකුණු මායිමේ තිබෙන Limestone Coast තුඩුවේ ඇති, වසර 8000 කට පමණ පෙර පුපුරා ගිය Mount Gambier නම් ප්‍රදේශය බලන්නට ගියා. ගිනි කන්ද පුපුරා යාම නිසා හටගත් ගැඹුරු විල්, භූගත ලෙන්, භුගත දිය කඩිති ආදී විසිතුරු රාශියක් දැක ගන්නට ලැබුනා.
සැරි සරද්දී ඔබේ බ්ලොගයේ වටින මේ ලිපි බොහො ඇතී
ReplyDeleteපිරි ඇතී ඒ දැනුමෙ වටිනා කමක් නම් බොහොමත් වෙතී
චෙරි මලයි ඒ සකුර මලකයි නොදන්නා දේ මෙහි ඇතී
දිරි ය ලැබගෙන තව ලියනු ලිපි ඒව බොහො වටිනව ඇතී
ජයවේවා
ස්තුතියි දුමී,
Deleteඇසින් දුටු දේ බෙදා ගැනුමට තමයි මේ සටහන් ලියන්නේ.
එයින් දැනුමක් ලබන්නේ නම් සිතට සැනසුම් බව දැනෙන්නේ
රටින් වෙන්වී වසර හතරක් ඉදිරි මස වන විට ලබන්නේ
එයින් පෙර මම කිහිප දිනකට මව්බිමට එන්නයි සිතන්නේ.
අවස්ථාවක් ලැබුණොත් හමුවෙමු. (ජනවාරි 8 සිට 22 අතරතුර)
ඔබට ජයම !
හැකි වෙලාවක හමුවෙමු.
Delete