Wednesday, 20 September 2017

අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්...........

  මා දකුණු පළාතේ විදුහලක සේවය කරද්දී විදුහල් ශිෂ්‍ය නිවාසයේම කාමරයක නතරවී සිටියෙමි. ශිෂ්‍ය නිවාසය භාරව සිටි මගේ මිත්‍ර ආරියරත්න, විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ  අතර විදුහලේ ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම භාර ලුතිනන් වරයාද විය.

ඒ කාලයේ ඉතාම ජනප්‍රිය BSA මෝටර් සයිකලයක්ද ඔහුට තිබිණ. සති අන්ත වලදී අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් යාමට පුරුදුවී සිටියෙමු. ශිෂ්‍ය නිවාසයට යාමට පඩි කිහිපයක් නැගීමට තිබෙන නිසා රාත්‍රියට ප්‍රවේශම සඳහා මෝටර් සයිකලය පඩි උඩින් තල්ලු කර ආලින්දයට දැමීම අමාරුවෙන් වුවත් කළයුතු කාර්යයක් විය.

එක් සෙනසුරාදා දිනයක අප දෙදෙනාටම අවශ්‍යතාවක් සඳහා ගාල්ලේ බැංකුවකට යාමට සිදු  විය. අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගාලු ගියෙමු. මට තවත් හිතවතෙකු හමුවීමට මාතර යාමට තිබුණු බැවින් ඒ බව ආරිට පවසා බස් රථයකින් ගියෙමි. ශිෂ්‍ය නිවාසයේ ගුරුවරු කවුරු හෝ සිටිය යුතු නිසා ආරි ඉක්මණටම ආපසු යන බව කිවේය.

මගේ හිතවතා හමුවී දහවල් ආහාරයත් ම්හුගේ නිවසින්ම ගත් මා සවස හයට පමණ ශිෂ්‍ය නිවාසයට පැමිණ පුරුදු පරිදි සාමාන්‍ය වැඩ වල යෙදී සිට, ආරිත් සමග රාත්‍රී ආහාරයද ගතිමි. තව ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදී සිටි අපි  නින්දට සුදානම් වීමු.

මෝටර් සයිකලය ආලින්දයට දැමීම පිණිස එලියට ගිය ආරි, කලබලයෙන් මගේ කාමරයට පැමිණ

‘හරි වැඩේනේ, බයික් එක නැහැනේ. හොරෙක්වත් ගෙනිච්චාද දන්නේ නැහැ.’ හති ලමින්  මට කිවේය.

ඔහු විහිලුවක්‌ කරන්නේදැයි සිතු මා

‘එහෙනම් වෙන එකක් ගන්න එකහෙ තියෙන්නේ ‘ මමද විහිළුවක් කලෙමි.

‘මේ දයා, විහිළුවක් නෙමෙයි ඇත්තටම බයික් එක නැහැ. එළියට යමු ටිකක් බලන්න’

මම ශිෂ්‍යයින් දෙදෙනෙකුටත් කතාකර විදුලි පන්දමත් රැගෙන ආරි සමග එළියට ගියෙමි. නේවාසික සිසුන්ද කලබල විය. කෝකියෝ දෙදෙනාද සිද්ධිය සැලවී දුවගෙන ආහ.

ඇත්තටම මෝටර් සයිකලය නැත. ටික වෙලාවක් වටපිට සොයා බැලු අපි සොරකමක් සිදුවී ඇති බව අනුමාන කර මේ බව පොලිසියට දැන්වීමට තීරණය කළෙමු.

වේලාව රාත්‍රී දහය පමණ වී ඇත. අපි පයින්ම පොලිසියට ගියෙමු. පැමිණිලි ලියා ගන්නා පොලිස් නිලධාරියා මුලික විස්තර සටහන් කරගත් පසු මෝටර් සයිකලය පිලිබඳ තොරතුරු දීම සඳහා ආරි ඔහුගේ කමිස සාක්කුවේ තිබුණු කඩදාසි කිහිපයක් පිටතට ගත්තේය. එසේ ගනිද්දී කුඩා කඩදාසි කැබෙල්ලක් බිමට වැටිණ. එය බස් ටිකට් පතකි. එය අහුලාගත් මම  ගුලිකර විසිකරන්නට තැත් කරන විටම, ආරි එය ඉල්ලා ගෙන නලළට අත තබාගෙන

‘හරි වැඩේනෙ, අද උදේ ගාල්ලේ ඉඳලා මම ආපසු ආවේ බස් එකේනෙ. ඔය ඒ බස් ටිකට් එකනේ. මෝටර් සයිකලය තවම බැංකුව ළඟනෙ’

කි විට මට සිනහව මැඩ පවත්වා ගන්නට නොහැකි විය.

සිදුවන්නේ කුමක්දැයි වටහා නොගත් පොලිස් නිලධාරියා

‘ඉක්මන් කරන්න ඔය විස්තර ටික මට දෙන්න.’ යයි තරමක් උස් හඬින් කිවේය.

මහත් අසීරුවට පත්වූ ආරි ගොත ගසමින්

‘.....රාලහාමි.  ම් ...ම් ...ම්   පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා’ යයි තතනමින් කිවේය.

‘මොනවා ...... දැන් බයික්  එක නැතිවූ බවක් නේද කිව්වේ. මොකක්ද මේක බොරු පැමිණිල්ලක්ද ?’

 ‘නැහැ රාලහාමි අමතක වීමක්’

‘මොකක්ද මට තේරෙන්නේ නැහැ මේ දෙබිඩි බාසාව. පැමිණිල්ල දානවද නැද්ද කියන එක විතරක් මට කියන්න.’

ආරි බිරාන්තව සිටින විට මම විස්තරය කීවෙමි.  උපහාසාත්මක සිනහවක් පැ පොලිස් නිලධාරියා, විහිලුවට මෙන් පරුෂ වචන කිහිපයක්ද කියා .........

‘දැන් මේ පැමිණිල්ලේ කොටසක් ලියලා. මේක කැන්සල් කරන්න බැහැ. එහෙනම් මේක ‘ඉල්ලා අස් කර ගන්නවා’ කියා යටින් ලියා අත්සන් කරන්න’ කියා

පැමිණිලි පොත අප දෙසට තල්ලු කළේය. මටද, පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම පිලිබඳ සාක්කියකට අත්සන් කරන්නට සිදුවිය.

මහත් ලැජ්ජාවට පත්වූ අපි පොලිස් නිලධාරියාට ස්තුති කර එන්නට සැරසෙන විට ඔහු

‘එහෙම යන්නට බැහැ. මෝඩ වැඩ කළාට නීතියට අනුව පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම ඕ අයි සි අනුමත කරන්නට ඕනෑ. යමු කාමරයට’

යයි කියා අප සමග ඇතුලට ගියේය.

ඕ අයි සි විස්තරය අසා සාවඥ  සිනාවක් පා,

‘මෝටර් සයිකලයේ පාරේ යන කොටවත් සිහි බුද්ධියෙන් යන එක හොඳයි.’

කියමින් පොලිස් පොතේ අවලංගු කළ පැමිණිල්ලට අනු අත්සනක් තැබිය.

කිසිවක් කතා නොකර පොලිසියෙන් පිටතට පැමිණි පසු

‘දැන් ඉතින් මොකද කරන්නේ.’  කියා මම ඇසීමි.

‘බයික් එක බැංකුව ඉදිරිපිට දැම්මේ. රෑ උනාට කරන්නට දෙයක් නැහැ. මේ දැන් වාහනයක් කුලියට අරගෙන යමු.’ ආරි කිවේය.

කළ හැකි වෙනත් කිසිම දෙයක් නොමැති නිසා මම ඔහුගේ යෝජනාවට කැමති වීමි.
කුලී රථයකින් නැවත ගාල්ලට යන විට  රාත්‍රිය දොළහ ට ආසන්නය.

එදින උදේ  ආරිට තවත් සගයෙක් මුණ ගැසී ඔහු සමග කතා කරමින් ගොස් මෝටර් සයිකලය ගැන අමතකවී බස් රථයෙන් ආපසු ගිය බව ඔහු නැවතද මා සමග කියා

‘ඔය වගේ අමතකවීම් කාටත් වෙනවා.’ කියාද කිවේය.

‘මම නිශ්ශබ්දව නොඇසුනා මෙන් සිටියෙමි.’

කුලී රථයකින් බැංකුව අසලට යනවිට මෝටර් සයිකලය වටා පිරිසක් රැස්වී සිටින බව අපි දුටුවෙමු. ඒ අය පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ බැංකුවේ ආරක්ෂක නිලධාරින්  කිහිප දෙනෙකි.

පිරිස අතරින් පොලිස් නිලධාරියා වෙත ගිය ආරි ‘සමාවෙන්න රාළහාමි. මේ බයික් එක මගේ.’ කියා බැගෑපත් විය. 

‘හා ..... හා.... ඔයාද අයිතිකාරයා. මෙච්චර වෙලා මොන .......... ගියාද ? අපට පණිවුඩයක්‌ ලැබුනා මේ  මෝටර් සයිකලය අත් අඩංගුවට ගන්නටය කියළා.’ පොලිස් නිලධාරියා කිවේය.

‘රාලහාමි මේ පොඩි අමතකවීමක්   උනේ. මෙන්න මගේ විස්තර’ කියා ආරි ඔහුගේ ලියවිලි පොලිස් නිලධාරියාට පෙන්වා මෝටර් සයිකලය නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

‘එහෙම කරන්නට බැහැ. මේක ඉහළින් ආපු නියෝගයක්. පොලිසියට යන්නට වෙනවා.’ කි පොලිස් නිලධාරියෙක් මෝටර් සයිකලයේ යතුර ඉල්ලා ගත්තේය.

නැවත ගාල්ල පොලිසියේ රස්තියාදු  වීමට සිදුවිය. අප දෙදෙනාගෙන් සහ බැංකු ආරක්ෂක නිලධාරියාගෙන් කට උත්තර ලබාගෙන  මෝටර් සයිකලයේ යතුර අයිතිකරුට භාර දෙන විට අලුයම දෙක පසුවී තිබිණ.

මෙය නොසැලකිල්ල නිසාම නොව අවධානයෙන් තොර බව නිසාම සිදුවන අමතකවිමකි. Absent-mindedness යනුවෙන් හඳුන්වනුයේ මෙවැනි අමතක වීම්ය. මිට පෙර සහ පසුවත් අමතක විම් නිසා ඔහුට සිදුවී ඇති බොහෝ සිද්ධි ගැන කල්පනාකාර බලන විට මෙය ඔහුගේ චරිත ලක්ෂණයක් බව පැහැදිලි වේ.

මෝටර් සයිකලයේ අයිතිකරු වන ආරි ඔහුගේ දරුණු අමතක වීම  නිසා දැඩි අසහනයකට පත්විය. මධ්‍යම රාත්‍රියේ කුලී වාහනයකින් යාම සඳහාත් ලොකු මුදලක් වැය කිරීමට සිදුවිය.


බොහෝවිට මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ යන මමද මිත්‍රයා වෙනුවෙන්, නිදි වරමින් හාස්‍යය මුසු  පිඩාවක් වින්දෙමි.   

Friday, 15 September 2017

පරිසර සංරක්ෂණය සහ මස් මාංශ අනුභවය .......

  රිසර හිතකාමී සෑම කෙනෙක්ම නිර්මාංශ අහාර ගන්නා අය විය යුතු ද? නොඑසේනම් නිර්මාංශ අහාර ගන්නෝ  සියලු දෙනාම පරිසර හිතකාමීන්ද?

මෙය පරිසර අධ්‍යාපනය සහ පරිසර සංරක්ෂණය ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකු විසින්ම විසඳා ගතයුතු, එසේම එහි සීමා ගැන තීරණය කරගත යුතු ගැටළුවක් ලෙස දැක්විය හැකිය.

පරිසර අධ්‍යාපන වැඩ සටහනකදී අප කණ්ඩායමකට මුහුණ පෑමට සිදුවූ එබඳු ගැටළුවක් පිලිබඳ සටහනකි මෙය.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දියත් කරනු ලැබූ ද්විතීය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ පරිසර අධ්‍යාපන උපදේශක ලෙස සේවය කරද්දී, පරිසර අමාත්‍යාංශයේ පවත්වනලද වැඩ මුළුවකට සහභාගිවීමට මා නම් කරන ලදී. එම වැඩ මුළුවේදී දින දෙකක විවිධ පරිසර පද්ධති නිර්ක්ෂණ චාරිකවකටද සහභාගී වීමට සිදුවිය.

අට දෙනෙකුගෙන් යුක්ත අප කණ්ඩායම භාරව ගියේ  විශ්ව විද්‍යාලයක පරිසර විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ  කථිකාචාර්යවරයෙකි. මෙම සංචාරයේදී, දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජෛව විවිධත්ව සංරක්ෂණය පිලිබඳ බොහෝ කරුණු අධ්‍යයනය කිරීමට හැකිවිය. දෙවන දිනයේ දිවා  භෝජනය සඳහා  අපට  කථිකාචාර්යවරයාගේ ඥාතියෙකු විසින් ආරාධනා කර තිබිණ. ඔහු  බලංගොඩ ප්‍රදේශයේ වතු අධිකාරිවරයෙකු වන අතර දිවා ආහාරය සකස් කර තිබුණේ ඔහුගේ නිල නිවාසයේය.

කථිකාචාර්යවරයා විසින් අප හඳුන්වා දුන් පසු, ටික වෙලාවක් පිළිසඳරේ යෙදී සිටි අපි, දිවා ආහාරය සඳහා හිඳ ගතිමු.

‘අද  අලුත් මාළු සොයා ගන්නට බැරි උනා. ඒ නිසා ටින් මාළු තෙම්පරාදු කරලා සකස් කළා.’ කි ගෙහිමියාද  අප සමග අහාර ගැනීම පිණිස හිඳ ගත්තේය.

විවිධ ආකාරයට සකස් කළ එළවලු ව්‍යංජන  රාශියක්‌, එළවලු සලාදයක්, සුප් භාජනයක්ද  සමග තම්බන ලද එළවලු ද  වෙනම භාජනයක අසුරා හිබිණ. නිවසේ කෝකියා විශාල බඳුනක දමන ලද තවත් දුම් දමන කුකුල් මස් කරියක් ගෙනවිත් මේසයේ පසෙකින් තැබිය.

‘මස් නොකන අයත් ඉන්නවද?’ කියා ඔහු ප්‍රශ්න කළ විට අප අතර සිටි නිර්මාංශික දෙදෙනා  තමන් මස් නොකන  බව කිහ.

‘ඒක හොඳයි. මමත් මස් කන්නේ නැහැ.’ කි ඔහු

‘එළවලු ඕනතරම් කන්න.’ කියා එළවලු බඳුන ඔවුන් වෙත ට කිට්ටු කළේය.

ගෙහිමියා  නිර්මාංශ කෙනෙක් බව දැන ගැනීමෙන් පසුවත්,  ආගන්තුක අප මස් ආහාරයට ගැනීම සුදුසුද යන්න මට මහත් ප්‍රහේලිකාවක් විය. අන් අයටද එසේම සිතෙන්නට ඇත.

තව ස්වල්ප වෙලාවකින් කෝකියා දුම් දමමින් තිබෙන ඉමිහිරි සුවඳක්ද සහිත තවත්  බඳුනක් පසෙක තිබුණු කුඩා මේසය මත තැබිය.

එය ගෙනා පසු ගෙහිමියා තම ඥාතියා වන කථිකාචාර්යවරයාට කනට කිට්ටු කර රහසින් යමක්‌ කිවේය.

මඳ සිනහවක් පෑ ඔහු,

‘බෑ.. බෑ... බෑ...., මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් දඩ මස් කන්නේ නැහැ. මේ මහත්වරුන්ගෙනුත් අහලා බලමු.’ යයි කියා

අප දෙස බලා. ඉතාමත් සිහින්  හඬකින්, නොකැමැත්තෙන් මෙන්,

‘මුව මස් උයලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් කන්න.’ කීවිට
අප එකිනෙකාගේ මුහුණු දෙස බැලුවෙමු.

කිසිවෙකු කිසිවක් කතා නොකළහ.

දින දෙකක් තිස්සේ ජෛව විවිධත්ව සංරක්ෂණය පිලිබඳ නොයෙකුත් පැතිකඩ ගැන විවිධ ප්‍රායෝගික අත්දැකීම් ලැබූ අපි, වඳවී යන තර්ජනයට මුහුණ පා සිටින සතුන් ගැන විශේෂ අවධානයක් යොමු කළෙමු. ශ්‍රී ලංකාවට ආවේනික තිත්මුවා දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමිවීම නිසා වඳවීමේ තර්ජනයට තදින්ම මුහුණ පා සිටින බව පසුගිය දින දෙකෙහිදී කිහිප වරක්ම සකච්ජා කළෙමු.

අද, කවුරුන්හෝ, එම අහිංසක තිත් මුවෙකුගේ දිවි හානිකර ලබාගන්නා ලද මස් වලින්, මෙම නිවසේ  සකස් කළ ව්‍යංජන   බඳුනක් ආහාරය සඳහා අප ඉදිරියේ තබා ඇත.

අප කණ්ඩායමේ නායකයා ප්‍රතිපත්තියක් වශයෙන් එය මුලින්ම ප්‍රතික්ෂේප කළේය. කණ්ඩායමේ දෙදෙනෙක් නිර්මාංශ ආහාර ගන්නා  අය වුහ. ඉතිරි අප සය දෙනාද, ප්‍රතිපත්ති ගරුකව  එම මස් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කළෙමු. ගෙහිමියාත් නිර්මාංශී අයෙකි. එසේනම් නීති විරෝධිව දඩයම් කරන ලද අහිංසක මුවෙකුගේ මස් බව ඔහු දැනුවත්ව  සිටියදීත් ආගන්තුකයින්ට සංග්‍රහ කිරීම සඳහා සකස් කළේ කුමන හේතුවක් නිසාද?  අප කෑදර කමින් එම මස්, රස කර කර භුක්ති විඳියයි ඔහු සිතන්නට ඇද්ද?. මේ සියල්ල අපට මහත් ප්‍රහේලිකාවක් විය.


ශ්‍රී ලංකාවට ආවේනික තිත් මුවා ( Axis axis ceylonensis)

සොබා දහම සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානය (International Union for Conservation of Nature – IUCN) විසින් සකස් කරනු ලබන රතු දත්ත පොතෙහිද සටහන්වී ඇති, වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති, ශ්‍රී ලංකාවේ තිත් මුවා, දඩයම් කිරීම නීතියෙන් දඬුවම් විඳිය හැකි වරදකි. මුව මස් විකිණීම, ළඟ තබාගැනීම, ආහාරය සඳහා සකස් කිරීම ආදී සියල්ලම නීති විරෝධිය. නීතියෙන් තහනම් කර නැතත්, එම මස් බුදින අයද වරදෙහි කොටස් කරුවන් වනු ඇත.
කෙසේ වුවත් වතු පාලක ඥාතියා එතරම් දුරට සිතන්නට නැත. පැමිණෙන අමුත්තන්ට ඉහලින්ම සංග්‍රහ කිරීමට අවශ්‍ය බව ඔහු සිතුවා විය හැකිය. අප සියලු දෙනාම මහත් අසීරු තත්ත්වයකට පත්වූ බව දුටු ඔහු, ඒ පිලිබඳව අප සැමගෙන් සමාව අයැද සිටියේය.

අප නායක කථිකාචාර්යවරයා ඔහුට  සියල්ල විස්තර කරදී අප නිරත වී සිටි කාර්යය මනාව පැහැදිලි කර දුන්නේය.

නිර්මාංශ ආහාර රටාව ගැනද ඔහු කාලින තොරතුරුද සහිත පැහැදිලි කිරීමක් කරන ලදී. ඔහු පළ කළ අදහස් මෙසේ දැක්විය හැකිය.

“මිනිස් ශිෂ්ඨාචාරයේ  මුල් අවදිවල සිටම මිනිසා අහාරය සඳහා වන සතුන් දඩයම් කිරීමට සහ මත්ස්‍යයින් ඇතුළු වෙනත් ජලජ ජීවීන් අල්ලා ගැනීමටත් පටන් ගෙන ඇත. පසුව, භෝග වර්ග වගා කිරීමට පුරුදු වූ ඔහු, ප්‍රධාන වශයෙන් කිරි, ලෝම සහ සම් ලබාගැනීම සඳහා සතුන් ඇතිකිරීමටද යුහුසුළු විය. ඒ සමගම වන සතුන් දඩයම් කිරීමද කරගෙන යන ලදී.

තාක්ෂණ දියුණුවත් සමගම සතුන් ඇති කිරීමද විශාල වශයෙන් දියුණුවී ගව, බැටළු සහ එළු  පට්ටි ආරම්භ විය. මේවා මගින් කිරි සහ කිරි  ආහාර නිෂ්පාදන, විවිධ ආකාරයට සකස් කල මාංශමය ආහාර, බැටළු ලොම් වලින් සකස් කල ඇඳුම ආදිය ලොව ප්‍රචලිත වන්නට විය. ඇතිකරන සතුන් සඳහා සුදුසු  ආහාර සැපයීමට විශාල තණබිම් අවශ්‍ය විය. තණබිම් සකස් කිරීමට වනාන්තර හෙළි පෙහෙළි කිරීමට සිදුවිය. මෙසේ වනාන්තර සිමා වන විට වන සතුන්ද වඳ වීමේ තර්ජනයට මුහුණ පෑහ.

මේ වන විට, රටෙහි මිනිස් ගහණයට වඩා කිහිප ගුණයක්ම ගවයින් සිටින රටවල් කිහිපයක්ද ලෝකයේ ඇත, දකුණු ඇමෙරිකාවේ උරුගුවේ රාජ්‍යයේ මිනිස් ජන ගහනය මිලියන තුනක් පමණ වන අතර රටෙහි ගව ගහනය මිලියන දොළහක්‌ පමණ වේ.

මිනිසා විසින් පරිසර සමතුලිතතාවය සහ ජෛව විවිධත්වය පිළිබඳ හොඳින් අවබෝධ කර ගැනීමෙන් පසුව වනජීවී සංරක්ෂණය පිළිබඳව සිත් යොමු කරන ලදී. අප්‍රිකානු මහාද්වීපයේ සමහර රටවල ආහාරය සඳහා  දඩමස් මත යැපෙන ජන කොටස් තවමත් සිටිති. ඔව්හු දඩ මස් හඳුන්වනුයේ ‘කැලෑ මස්’ (bush meat) ලෙසටය. ලෝකයේ සෑම රටකම පාහේ දැනට වනජීවී සංරක්ෂණය සඳහා රක්ෂිත වනාන්තර සහ අධි රක්ෂිත වනාන්තර කලාප වෙන්කර තිබේ.

ශ්‍රී ලංකාවේද දැනට සම්පුර්ණ භුමි ප්‍රමාණයෙන් 29 % පමණ වනාන්තර තිබේ. මෙයින් සෑහෙන ප්‍රතිශතයක් රක්ෂිත වනාන්තර ලෙස නම්කර ඇත. ඒ සමගම වන සතුන්  දඩයම් කිරීම පිළිබඳවද දැඩි නීති රීති පනවා තිබේ.

රංචු වශයෙන් ජීවත්වන, ශ්‍රී ලංකා තිත්මුවා රක්ෂිත වනාන්තරවලට පමණක් සිමා නොවී, මිනිසා ජීවත්වන ගම් බිම් අසලටද පැමිණේ. සමහර අවස්ථාවලදී එසේ පැමිණෙන සතුන් කුරිරු මිනිසාගේ උගුල් වලට හෝ තුවක්කු උණ්ඩයට ලක්වේ. මෙම අවාසනාවන්ත තත්ත්වය හොඳින් තේරුම් ගතහොත්  දඩමස්, විශේෂයෙන්ම මුව මස්,  ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කළ හැකිය.

ආගමික පසුබිම හෝ අහිංසාවාදී බව නිසා, නිර්මාංශ ආහාරයට පුරුදුවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලෝකයේ විවිධ රටවල ජීවත්වෙති. එසේම, පරිසර සංරක්ෂණය ගැන දැඩි උනන්දුවකින් සිත්  යොමු කරන අතරම, නීති විරෝධී නොවන මස් මාංශ  අනුභව කරන අයද සිටිති.

තමන්ගේ සිතුම් පැතුම් මත, මස් මාශ ආහාරයට ගැනීම හෝ නිර්මාංශ වීම යන දෙකෙන් එකක් තෝරා ගැනීම සඳහා කාටත් නිදහස තිබේ.”

කථිකාචාර්ය තුමාගේ කෙටි දේශනය ඉතාමත් කාලින අදහස් ප්‍රකාශ කිරීමක් විය.

පරිසර සංරක්ෂණය සඳහා  මස් මාංශ අනුභවයෙන් තොරවීම එක්‌ අංශයකි.

අවිහිංසාවාදීව මස් මාංශ අනුභවයෙන් වැලකීම තවත් පැත්තකි.

ප්‍රතිපත්ති ගරුකව දඩමස් අනුභව නොකිරීම වනසතුන් කෙරෙහි අනුකම්පාව දැක්වීමකි.


Tuesday, 12 September 2017

1955 වසරේ ඇතිවූ පුර්ණ සුර්යග්‍රහණය, ඉතා හොඳින් දුටුවෙමු.

    අප පාසැල් යන කාලයේය. ඉගෙනීම කළේ ජෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාග පළමු වසරේ (SSC  Prep) පංතියේය. අප විදුහල්පතිතුමා එංගලන්තයේ විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යා උපාධියක්‌ සහිත ඉතාමත් නිහතමානි කෙනෙක් විය. එතුමා අපගේ භෞතික විද්‍යා ගුරුවරයාද විය. 1955 වසරේ මුල සිටම පූර්ණ සුර්යග්‍රහණයක් පිලිබඳ තොරතුරු පුවත් පත්වල පළවිය. (ගුවන් විදුලිය ඉතා සීමිත වූ අතර රුපවාහිනි ගැන අසාවත් නැත)
ජුනි මාසයේ මුල සතියේ උදය රැස්වීමේදී විදුහල්පති තුමා විසින් සුර්යග්‍රහණ පිලිබඳ දේශනයක් පවත්වා ඒ පිලිබඳ පත්‍රිකාවක්ද බෙදා දුන්නේය.
එම පත්‍රිකාවේ සුර්යග්‍රහණය සිදුවන ආකාරය රුප සටහන්ද අශ්‍රිතව ඉතාමත් පැහැදිලිව විස්තර කර තිබුණි.

සුර්යග්‍රහණය සිදුවන ආකාරය
සුර්යග්‍රහණය හටගන්නා දිනය ජුනි මස විසි වෙනිදා විය.එය පූර්ණ  සුර්යග්‍රහණයක්‌ නිසා ටික වේලාවක්  ඝන අන්ධකාරය පවතින නිසාත් සිද්ධිය කෙලින්ම බැලීම නිසා ඇස් අන්ධ විය හැකි බව ප්‍රකාශයට පත්කර ඇති නිසාත්, එදින පාසල් නිවාඩු දිනයක් කරන ලදී.
ශිෂ්‍ය නිවාසයේ සිටි අපට එදින ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැඩි උපදෙස් ලැබුණි. මිනිත්තු කිහිපයක් දැඩි අන්ධකාරය පවතින නිසා සියලු දෙනාම පෙරවරු අට වනවිට නිදන කාමරයට යායුතු බව නිවේදනය විය. සාලයේ එක් ලාම්පුවක් පමණක් දල්වන ලෙසද නියම කෙරිණ. (විදුහලට විදුලි බලය නොතිබුණි.) කිසිවෙකුට පුර්ණ සුර්යග්‍රහණයක් පිළිබඳ අවබෝධයක් නැතත්, ප්‍රචාරය කර තිබුණු දැඩි උපදෙස් අකුරටම ක්‍රියාත්මක කිරීමට කවුරුත් උනන්දු වුහ.
මේ අතර විදුහල්පති තුමාගෙන් අපට සතුටු දායක ආරංචියක් ලැබිණ. විදේශයක සිටින ඔහුගේ මිතුරෙකුගෙන්  සුර්යග්‍රහණය බැලීම සඳහා විශේෂයෙන් සකස් කළ ඇස් කන්නාඩි කිහිපයක් ලැබී තිබෙන නිසා  ඔහු ශිෂ්‍ය නිවාසයට පැමිණ කැමති සිසුන්ට  සුර්යග්‍රහණය බැලීමට සලස්වන බව කිවේය. ඒ සමගම ජලය පිරවූ  බේසම් මිදුලේ තබා, නිශ්චල වන ජලයෙහි පෙනෙන සුර්යග්‍රහණය පියවි ඇසින් බැලිය හැකි බවද අපට දන්වන ලදී.


සුර්යග්‍රහණය බැලීම සඳහා විශේෂයෙන් සකස් කළ ඇස් කන්නාඩි

නියමිත වෙලාවට මිනිත්තු කිහිපයකට කලින් විදුහල්පති තුමා පැමිණ සුවිශේෂී කන්නාඩි පාවිච්චි කරන ආකාරය අපට පෙන්වා දුන්නේය. ඒ සමගම ජල බේසම් කිහිපයක්ද මිදුලේ සකස් කරන ලදී.
පෙරවරු අටට කලින් වුවද තරමක අඳුරු ගතියක් දකින්නට ලැබිණ. ඒ වන විට සාලයේ ලාම්පුවද දල්වන ලදී. කවුරුත් මේ විස්මිත අත්දැකීම ලැබෙන තුරු පුල පුලා බලා සිටිති.
බේසම් වල සුර්යයාගේ ඡායාව තවමත් පැහැදිලිව පෙනේ.
හරියටම උදේ අට පසුවී මිනිත්තු දහයට විදුහල්පති තුමාගෙන් විධානයක් ලැබිණ.
‘දැන් කවුරුත් පෙළට එන්න. ඉස්සෙල්ලාම ඉර පෙනෙන ආකාරය වතුර බේසමෙන් බලන්න. ඊළඟට මේ කන්නාඩි හොඳින් ඇස් වලට සවිකර තත්පර තුන හතරක් ඉර බලන්න.’
දැන් ක්‍රමක්‍රමයෙන් අඳුර වැඩිවේ. ලාම්පු එළියෙන් පමණක් තරමක ආලෝකයක් ලැබිණ. බටහිර අහසේ තාරකාද දකින්නට ලැබිණ. වෙනදා හිමිදිරි පාන්දරට ඇසෙන කපුටන්ගේ සහ වෙනත් කුරුල්ලන්ගේ නාද ද ඇසෙන්නට විය.
දැන් සූර්යයා ක්‍රමක්‍රමයෙන් වැසි යනු අපට විස්මිත කන්නාඩිය හරහා පෙනේ. කාටත් බියමුසු වුවත්, අමුතුම ආස්වාදයක් දැනෙන්නට විය. අපගේ සමහර සගයින් මහත් තැතිගත් ස්වභාවයක් පෙන්වුහ.

පූර්ණ සුර්යග්‍රහණය
මිනිත්තු හතරකදී පමණ සූර්යයා සම්පුර්ණයෙන්ම වැසි ගියේය. තත්පර කිහිපයකදී ඝනාන්ධකාරය දසත පැතිරිණ.
මෙය සිත සසල කරන මහා බියකරු දසුනකි.
‘රාහු ඉර ගිලලා වැමෑරුවේ නැත්නම් ලෝකයට වෙන්නේ මොකක්ද?’
බියට පත් ලාබාල නේවාසිකයෙකු ප්‍රශ්න කළ විට එය බොහෝ දෙනෙකුගේ සිනහවට කරුණක් විය.  
           ‘පසක්‌  රාහු මුව  පත්  වෙමිනි         බියකර                                                                                                අනික්‌ පසින් ලොව හෙළි කෙරෙය හිමකර’
යන සුභාෂිතයේ හඳ රාහු ඇල්ලීම ගැන ඇති කවිය මට සිහි විය.
පූර්ණ සුර්යග්‍රහණය අවසන් වු පසු නැවත අඳුරු ගතිය ක්‍රමයෙන් පහවන්නට විය. පෙරවරු දහය  පමණ වන විට සියල්ලම යථා තත්ත්වයට පත්විය.
සුර්යග්‍රහණ පිළිබඳ තවත් තොරතුරු බිඳක් මෙහිලා සටහන් කිරීම උචිත යයි සිතුවෙමි.
·       තුන් ආකාරයක සුර්යග්‍රහණ සිදුවේ.
·       ඒවා නම්: පූර්ණ, අර්ධ සහ වලයාකාර ග්‍රහණයි.
·       පූර්ණ සුර්ය ග්‍රහණයකදී සුර්යයා සම්පූර්ණයෙන්ම වැසි යයි 
·       අර්ධ ග්‍රහණයයකදී එක් කොටසක්‌ පමණක් වැසෙයි.
·       වලයාකාර ග්‍රහණයකදී සුර්යයාගේ පරිධියේ වළල්ලක් වැනි රවුමක් නොවැසි දිප්තිමත්ව  පවතී.
·       පූර්ණ සුර්යග්‍රහණයක් සිදුවීම සඳහා ස්වාභාවික සංසිද්ධි තුනක්‌ සම්පුර්ණ විය යුතුය.
·       පළමුව චන්ද්‍රයා අමාවක තත්ත්වයේ තිබීම,
·       දෙවනුව චන්ද්‍රයා පෘථිවිය භ්‍රමණය වන පථය හරහා ගමන් කිරීම 
·       තුන්වෙනුව චන්ද්‍රයාගේ පථයේ පිහිටන ස්ථානය  සුර්යයාගේ ගමන් පථයට ආසන්නවම පිහිටීන        ස්ථානය වීම.
·       මෙසේ සිදුවන විට සුර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය, එක් රේඛාවක පිහිටන පථයේ  චන්ද්‍රයා මැදින් සිටි .
·       පෘථිවියේ සිට ග්‍රහණය නිරික්ෂණය කරන අයෙකු මෙම පථය ඇතුලත සිටිනම් ඔහුට පූර්ණ සුර්ය ග්‍රහණයක් දකින්නට ලැබේ.
·       චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වනුයේ දින 29.5 කට වරකි.
·       එහෙත් ග්‍රහණ සිදුවීම සඳහා අවශ්‍ය නිර්ණායක සියල්ල සම්පුර්ණවී පුර්ණ ග්‍රහණයක් සිදුවනුයේ කලාතුරකිනි.
·       1955 ජුනි 20 දින සිදුවූ  පූර්ණ සුර්ය ග්‍රහණය 11 වන ශත වර්ෂයේ සිට 22 වන ශත වර්ෂය දක්වා කාල සිමාව තුලදී සිදුවන  දීර්ඝතම වේලාවක් පවතින පූර්ණ සුර්ය ග්‍රහණයයි.
·       එහි උපරිම කාල සීමාව මිනිත්තු 7 තත්පර 8 කි.


This map sourced from NASA's Eclipse Web Site 
1955 ජුනි 20 දින සිදුවූ  පූර්ණ සුර්ය ග්‍රහණ පථය

·       මෙම පූර්ණ සුර්ය ග්‍රහණය ඉන්දියන් සාගරයේ මාලදිවයින් අසලින් ආරම්භවී  ශ්‍රී ලංකාව ඔස්සේ තායිලන්තය හරහා පිලිපීනය සහ සොලමන් දුපත් පසුකර පැසිපික් සාගරයේදී අවසන් වි තිබේ.
·       ශ්‍රී ලංකාව තුළ පූර්ණ සුර්ය ග්‍රහණය පවතින තීරුව 250 km (සැතපුම් 158 ක පමණ ) පළලින් යුක්තය
කුමන ආකාරයේ සුර්ය ග්‍රහණයක් වුවත් පියවි ඇසින් නිරීක්ෂණය කිරීම ඇස් වලට හානිකරය. ඇසෙහි කණිනිකාව (cornea) නම් මතුපිට සියුම් පටලය සුර්ය විකිරණය මගින් හානිවී ඇස් අන්ධ විය හැකිය. දුරේක්ෂයක් (telescope) හෝ දෙනෙතියකින් (Binoculars) වුවද කෙලින්ම බැලීම හානිකරය. කැමරාවකින්, දුරේක්ෂයක් හෝ දෙනෙතියකින් ලබාගන්නා ඡායව තිරයක්‌ මත පතිත කරවා බැලීම සුදුසුම ක්‍රමයයි. පහසුවෙන් සකස් කර ගත හැකි සූචි සිදුරු කැමරාවකින් (Pin-hole camera) ලබාගත හැකි ඡායව වුවද තිරයක් මත පතිත කරවා ගත හැකිය. ජල බේසමක ජලයෙහි හටගන්නා ඡායව බැලීමද ඇස් වලට අහිතකර නොවේ.
1955 සුර්ය ග්‍රහණයත් සමග අපේ කාන්තාවන් බොහෝ දෙනෙකු සිරුර පැහැපත් වීම සඳහාත්, තාරුණ්‍යය වර්ධනය කර ගැනීම සඳහාත් මේ අවස්ථාවේදී  වදකහ කෂාය බිම නිසා මහත් කරදර වලට මුහුණ පෑහ. වදකහ කෂාය පිලිබඳ වැඩි ප්‍රසිද්ධියක් නොතිබුණනත් ගොඩ වෙදුන්ගේ සහ කුට ජෝතිශ්ශාස්ත්‍රඥන්ගේ ප්‍රචාර  ආරංචි මාත්‍රයෙන් හෝ දැනගත් කාන්තාවන් පුර්ණ සුර්ය ග්‍රහණය පවතින වේලාවේදී වදකහ කෂාය බි තිබේ. මෙය කුඩු වශයෙන් විකිනීමට සකස් කර තිබුණු බව දැනගන්නට තිබේ.  සමහරවිට වදකහ වලින් අධික ලෙස බඩ විරේක වීම සහ වමනය යාම සිදුවන  බව ඔවුන් නොදැන සිටින්නට ඇත. එදින දහවල් වන විට රටෙහි සියලුම ආරෝග්‍ය ශාලා අධික ලෙස බඩ  විරේකයෙන් සහ වමනයෙන් පිඩා විඳින කාන්තාවන්ගෙන් පිරි ඉතිරි යන්නට විය.
මෙය රටෙහි මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය. ඊටපසු දිනපතාම වාගේ, අධික විරේකය නිසා තදබල ලෙස ඔත්පලවූ කාන්තාවන් ගැනද අසන්නට ලැබුණි. ඒ දිනවල කවි කොළ, කවි පොත්, පත්‍ර වාර්තා, ගී, සින්දු, බයිලා, කාටුන් චිත්‍ර  ආදියටද ‘වදකහ සුදිය’ හාස්‍ය ජනක මාතෘකාවක් විය.
‘වදකහ සුදිය’ පිළිබඳව  සමන් ද සිල්වා ගායකයාගේ බයිලා පහත  ලින්ක් එකෙන් අසන්න
https://www.youtube.com/watch?v=Zkv3CyH0-wU
සමහර තොරතුරු අන්තර් ජාලයෙනි



Thursday, 7 September 2017

“පත්තෑයෙක් ... පත්තෑයෙක්...” කාර්යාල වෑන් රථයේ මහා කලබලයකි.

    මා අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරද්දී ගමන් අපහසුතාව අඩු කර ගැනීම පිණිස කාර්යාල වෑන් රථයකින් යාම් ඊම් පටන් ගත්තෙමි. දොළොස් දෙනෙකු සඳහා ඉඩකඩ ඇති වෑන් රථයේ දහසය දෙනෙකු පැටවීම රියදුරුගේ සිරිතය. සමහර දිනවල කාන්තාවන් තම කුඩා දරුවන්ද රැගෙන එන අවස්ථා එමටය. 

මා ගිය වෑන් රථයේ කාන්තාවන් දොළොස් දෙනෙක් සිටියහ. පිරිමි සතර දෙනාගෙන් එක් අයෙකු දෙපා වල ආබාධයක් සහිත පෞද්ගලික ආයතනයක යම්කිසි පුහුණුවක් ලබන්නෙකි. රියදුරුගේ නෑදෑයෙකු වන දෙවැනි පිරිමියා වෙළඳ සැලක වැඩ කරන බොහෝ  වයෝවෘද්ධ අයෙකි.  තුන්  වැන්නා වාණිජ ආයතනයක ඉගෙනීම කරන ඉතා නිශ්ශබ්ද තරුණයෙකි. සිව්වැන්නා මම වෙමි. ඉඳහිට වාහනයේ ටයරයක් මාරු කර ගැනීමට සිදුවුවත් රියදුරුට උදව්වක් කිරීමට සිටිනුයේ මා පමණකි. කාන්තාවන් බොහෝ විට වාහනයට ගොඩවූ වෙලේ සිට නිදි කිරා  වැටෙති.

මගේ ආසනය වුයේ රියදුරුට වම් පස අයිනේ ආසනයයි. අඩුවෙන් කථාකරන තරුණයා රියදුරුටත් මටත් අතරේය.

මා පොතක් කිය වීමට උත්සාහ කළත් රියැදුරු නොයෙකුත් වල්පල් සහ ආගිය කතා මා සමග කීමට පෙළඹෙන නිසා පොත් කියවීමටද නොහැකිය.

රියැදුරු සුජිත්ය.

දිනක් වෑන් රථය කොහුවල මං සන්ධිය පසු කළා පමණකි. වෑන් රථයේ ඉදිරිපස සැඟවී සිටින්නට ඇති ලොකු පත්තෑයෙක් (ගරුඬෙක්)  සුක්කානම ඔස්සේ පැමිණ සුජිත්ගේ  අත දිගේ ගියේය. කලබලවූ ඔහු,  වේගයෙන් අත ගසා දැමිය. පත්තෑයා විසිවිය.

‘ඔන්න පත්තෑයෙක්.........  පත්තෑයෙක් !’ කියමින් රියදුරු කෑගැසිය. 

අත ගසා දැමුවිට පත්තෑයා පිටුපස වාඩිවී සිටි කාන්තාවකගේ ඔඩොක්කුවට වැටී තිබේ. කලබලවී නින්දෙන් අවදිවූ ඇය.....


පත්තෑයා සුජිත්ගේ අත දිගේ ගියේ මෙසේය

‘මගෙ අම්මෝ ..... මෙන්න පත්තෑයා මගෙ ඔඩොක්කුවට වැටුනා.’ යයි මහා හඬින් කෑ ගැසිය,
ඇය  මහත්සේ කලබලවී නැගිට සාරිය ගසා දැම්මාය.

නැවත විසිවූ පත්තෑයා, මැද ආසනයේ වාඩිවී සිටි අය අතරට වැටී අතුරුදන් විය. සියල්ලෝම හිටගෙන පත්තෑයා සොයති. කෑගසති.

‘වාහනය නවත්තන්න....... නවත්තන්න......’ කිහිප දෙනෙක් එක වර මොර දෙන්නට විය .

කොහුවල පොලිසිය ඉදිරිපිට වාහනය නතරකළ සුජිත්, පැමිණ වම්පස දොර සහ පිටුපස දොර වහාම හැර දැම්මේය. කාන්තාවන් සියලු දෙනාම මහ හඬින් කෑගසමින් වාහනයෙන් පිටතට පැනගත්හ.

එතනට දුවගෙන ආ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා සුජිත්ට කථාකර ‘ඔය වෑන් එක ඔතනින් එහාට ගන්නවා ..... මෙතන ට්‍රැෆික් බ්ලොක් වෙනවා.......’  යයි තරවටුවක් කළේය.

එවිටම වාහනයේ සිට බැසගත් එක් කාන්තාවක්

‘අනේ........අනේ ...... මට බෑ..... මට බෑ ..... පත්තෑයා මගේ ඇඟේ යනවා දැනෙනවා ........’ කියමින් කෑගැසුවාය.

සුජිත් බැගෑපත්ව පොලිස් නිලධාරියාට සිද්ධිය කිවේය. එවිට ඔහු අසල සිටි පොලිස් කාන්තාවකට කථා  කර,  යමක් කරන ලෙස උපදෙස් දුන්නේය.

මෙවිට තවත් කාන්තාවක් කෑගසමින් ‘පත්තෑයා..... මගේ කකුල් දිගේ යනවා වගේ දැනෙනවා’යයි කකුල බදා ගෙන කෑගැසිය.

පිරිමි අපට කළ හැකි කිසි දෙයක් නොවීය.

කාරණය හොඳින් තේරුම ගත් පොලිස් නිලධාරිනිය, කාන්තාවන් සියලු දෙනාම  පොලිසියේ යම්කිසි ස්ථානයකට කැඳවා ගෙන ගියාය.

සුජිත් වාහනය අතුරු මගකට යොමු කර නතර කළේය. අප සිව් දෙනා සහ සුජිත් වාහනය ඇතුලත සියල්ල පෙරලා අස් පස් කළෙමු. එහෙත් පත්තෑයා හමු නොවිය.

ටික වෙලාවකට පසු, පොලිසිය ඇතුලට ගිය කාන්තාවන් සියලු දෙනාම ලජ්ජාවෙන් මිරිකෙමින් ආපසු පැමිණියහ.

‘පත්තෑයා හිටියද ? අපි වෑන් එක හොඳට අස් කළා. වෑන් එකේ නම් නැහැ.’
මම කීවෙමි.

කාන්තාවන් කිසි කෙනෙකුගෙන් පිළිතුරක් නැත.

සියලු දෙනාම මහත් අකමැත්තෙන් සහ සුපරික්ෂාවෙන් යුතුව ආපසු වාහනයට නැග ගත්හ.
සමහරු අපරික්‍ෂාකාරි බව ගැන සුජිත්ට දොස් කියන්නට වුහ.

‘ඒ පත්තෑයෙක් නෙවෙයිද කොහෙද. මම හිතන්නේ අවතාරයක් වෙන්න ඇති. එක පාරටම අන්තර්ධාන උනානේ.’ යයි අජිත් හෙමිහිට මුමුණනු ඇසිණ.
 

  

Sunday, 3 September 2017

ජලය සහ ජල පරිහරණය පිළිබඳව අප දැනුවත්ද ?

   පිරිසිදු පානීය ජල පහසුකම් ලැබීම, මිනිස් අයිතිවාසිකමක් බව, 2010 වර්ෂයේදී පැවැත්වූ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමකදී, වැඩි ඡන්දයකින් සම්මත කර ගන්නා ලදී. මෙම යෝජනාවට රටවල් 122 ක් පක්ෂ වූ අතර නවසීලන්තය, ඊශ්‍රායලය, ඩෙන්මාර්කය, ජපානය, එක්‌සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 42 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්දය නොදුන් රටවල මතය වූයේ එවැනි මිනිස් අයිතිවාසිකමක් පිළිබඳව ජාත්‍යන්තර නීති පද්ධතියේ පැහැදිලි සඳහන් කිරීමක් නොමැති බවයි. 

මිට පෙර 1992 වසරේදී දී බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවරදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සමුළුවේදී, න්‍යාය පත්‍රය 21 (Agenda 21) අනුව, මාර්තු මස 22 වන  දින ජගත් ජල දිනය ලෙස යෝජනා කරන ලදුව, 1993  මහා මණ්ඩල සැසි වාරයේදී සම්මත කර ගන්නා ලදී. ඉන්පසු, සෑම වර්ෂයකම මාර්තු මස 22 දිනය ලෝක ප්‍රජාව විසින් තම රටවල රාජ්‍ය නායකත්වයේ අනුග්‍රහය යටතේ, ජලය සහ ධරණීය සංවර්ධනයට අදාල, පිරිසිදු පානීය ජලය සහ ජල පහසුකම් ලබාදීම වැනි ජල වැඩ සටහන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමද මෙදිනදී කෙරෙන සුවිශේෂී කාර්යයකි.

  මීට දශක තුනකට පමණ ඉහතදී පවත්වන ලද, මා විසින් සංවිධානය කරන ලද ගුරු සේවාස්ථ පුහුණු සැසියකදී, ජලය පිලිබඳ වැදගත් කරුණු පොතපතින් සොයාගැනීම, කණ්ඩායම් පැවරුමක් ලෙස දෙන ලදි. එහිදී ලබාගන්නා ලද තොරතුරු අදටද බොහෝ සෙයින් වැදගත් කමක් ඇති නිසා මෙසේ සටහනක් තබමි. (එවකට අන්තර්ජාල පහසුකම් ඉතාමත් සීමිත විය)
ජල සංරක්ෂණය සහ ජල කළමනාකරණය පිළිබඳව අපගේ මුතුන් මිත්තන් නව තාක්ෂණයට බොහෝ දුරට සමීප ක්‍රමවේද දැනගෙන සිටි බවටද  අපගේ ඉතිහාසය සාක්ෂි දරයි.
ජලය පිළිබඳව පොත් පත් වලින් ලබාගෙන ඇති  වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.

  • ජල අණුවක හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණු එකක් තිබේ. මෙම         සංඝටක දෙකම වායු වුවත් එම පරමාණු සංයෝජනයෙන් ලැබෙන ජල අණුව ද්‍රවයකි 
  • ජලයේ සංයුතිය  ආකාර කිහිපයකින් 
  • සමස්ත ලෝකයේම තිබෙන මිරිදියෙන්  70 % පමණ ඇත්තේ ග්ලෙසියර් අයිස් කුට්ටි       වලය.
  • ද්‍රව්‍ය වැඩිම සංඛ්‍යාවක් ද්‍රාවණය වන එකම ද්‍රාවකය ජලය වේ.(සාර්වත්‍ර ද්‍රාවකය)
  • ලෝක ජනගහනයෙන් මිලියන 780 කට පමණ පානය කිරීමට සුදුසු ජලය නොලැබේ.බෝතල් කළ ජලය නිපදවීම සඳහා ලොව පුරා  අවුරුද්දකදී වැය කරන විශාල  මුදලින් අඩක් ජල ව්‍යාපෘතියක යෙදවුවහොත්  මුළු ලෝකයේම පානීය ජල අවශ්‍යතාවෙන් පෙලෙන සියලු දෙනාටම ගුණාත්මක ජලය සැපයිය හැකිය.
  • හතර දෙනෙකුගෙන් යුත් පවූලකට දිනකට අවශ්‍ය ආහාර සැපයීම සඳහා ජලය ගැලොම් 6800 ක්‌ (ලීටර් 30,000 පමණ) වැය වේ. (කලින් ලිපියක සඳහන් කරන ලද ජල පා සටහන අනුව 

  • අපගේ අහාර පාන කිහිපයක 'ජල පා සටහන්' ජල ලීටර වලින් 
  •  පිපිඤ්ඤා ගෙඩියක 95 % පමණ ජලය තිබේ.
  • මිනිසෙකුට ආහාර නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැකි වූවත් ජලය නොමැතිව සතියක්වත් ජීවත් විය නොහැකිය.
  • සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මිනිසා පෙළෙන ආබාධ වලින් 80% පමණ අනාරක්ෂිත ජලය නිසා වැළඳෙන ඒවාය.
  • ජලය මිදී අයිස් වන විට 9 % ක්  පරිමාව වැඩිවේ.
  • වානේ ටොන් එකක් නිපදවීම සඳහා ජලය ටොන් 300 ක් අවශ්‍ය වේ. (ජල පා සටහන අනුව )
  • සාමාන්‍ය  වැඩුණු මිනිසෙකු ප්‍රාශ්වාස කිරීම මගින් දිනකට ජලය මිලි ලීටර් 250 ක් පමණ පිට කරයි.
  • ජල කාර්යක්ෂම පිඟන් සේදීමේ යන්ත්‍රයක එක් වරකට ජලය ලීටර් 15 ක් පමණ වැය වන අතර  එම කාර්යයම අතින් කිරීම සඳහා  ජලය ලීටර් 100  ක් පමණ වැය වේ.
  • කෝපි කෝප්පයක ජල පා සටහන තේ කෝප්පයක ජල පා සටහන මෙන් සිව් ගුණයකි.
  • ලෝකයේ විවිධ මිනිස් කණ්ඩායම් අතර ක්‍රි. පූර්ව 3000 සිට මේ දක්වා ජලය සම්බන්ධ අර්බුද නිසා ගැටුම් 265 ක් පමණ සිදුවී තිබෙන බව වාර්තා වේ.
  • එකම තත්ත්ව යටතේ උණු ජලය සිසිල් ජලයට වඩා ඉක්මනින් මිදේ.
  • මුළු ලොව තිබෙන සියලුම ජලය ලීටර් 5 ක ජෝගුවකට පුරවා තිබේයැයි සිතුවොත් අපට බීමට ඉතිරි වනුයේ ජලය මේස හැඳි එකක් පමණකි.
  • ලෝකයේ ඇති මිරිදියෙන් 90 % ක් පමණ ඇත්තේ ඇන්ටාක්ටික් මහාද්වීපයේ අයිස් වලය.
  • වායු ගෝලයේ උෂ්ණත්වය පාලනය කරනුයේ ජලයයි.
  • පෘථිවියේ වාසය කරන බිලියන 6.8 ක ජනගහනය සඳහා ඇත්තේ එහි තිබෙන ජලයෙන් 0.007 % ක ප්‍රමාණයක් පමණකි.
  • අවුරුදු මිලියන ගණනකට පෙර පෘතුවියේ තිබුණු මුළු ජල ප්‍රමාණයම විවිධ ආකාරයෙන් අදටත් තිබෙන බව සත්‍යයකි.
  • අවුරුදු 100 ක් තුලදී එක් ජල අණුවක්, අවුරුදු 98 ක් සාගරයේද, මාස 20 ක් අයිස් ලෙසද, සති දෙකක් පමණ විල්, වැව්, ගංගා, ඇළ, දොළ ආදියේද, සතියකට අඩු කාලයක් වායු ගෝලයේද සැරි සරයි.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමද  ශරීරයට අහිතකරය.
  • ලෝකයේ සියලුම ගංගා වල ඇති ජල ප්‍රමාණයට වඩා ජලය වායු ගෝලයේ තිබේ.
  • ඇමෙරිකා එක්සත් ජනපදයේ නයගරා දිය ඇල්ලේ එක් තත්පරයකදී ඇද හැලෙන ජල ප්‍රමාණය ගැලොම් 750,000 පමණ වේ. (ලීටර් 3,000,000 පමණ)
  • ජාත්‍යන්තර දේශ සීමා, මායිම්  ඔස්සේ හෝ  දේශ සීමා හරහා ගලා බසින, ගංගා 260 ක් පමණ ලෝකයේ ඇත.
  • ලෝකයේ වාර්තාගත හෙක්ටෙයාර් බිලියන 1.4 ක් පමණ වන වගා බිම්  වලින් 60 % ක්  පමණ වර්ෂා ජලයෙන් පෝෂණය වන අතර ඉතිරි 40 % ට ජලය ලබා ගනුයේ වාරි මාර්ග ඔස්සේය.
  • දළ වශයෙන් ගණන් බලා ඇති පරිදි අප රටෙහි නළ ජලය පාවිච්චි කරන නිවාස වලින් 10 % ක පමණ ජල බින්දුව බැගින් හෝ අපතේ යන බව පෙනේ.
  • තත්පරයකට ජල බින්දුව බැගින් අපතේ යන ජල කරාමයකින් වර්ෂයකදී ජලය ලීටර් 3000 ක් පමණ අපතේ යනු ඇත.
  • එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව 2025 වන විට ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ දැඩි ජල හිඟයකට මුහුණ පෑමට සිදු වනු ඇත.
  • එක් බීර වීදුරුවක්‌ නිෂ්පාදනය සඳහා ජලය ගැලොම් 20 ක් (ලීටර් 90 ක්) පමණ වැය වනු ඇත. මෙය බීර වීදුරුවක ජල පා සටහනවන්නේය.
ජලය මහඟු සම්පතක් නිසාත්, මිනිසාගේ අනාගතය තීරණය වනුයේ ප්‍රධාන වශයෙන්ම ජලය මත නිසාත්, මුළු ලෝක ප්‍රජාවගේම අවධානය ජල සම්පත සුරැකීම කෙරෙහි යොමු කළ යුතු නිසාත් මාර්තු මාසයේ 22 දින ලෝක ජල දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය  විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

වර්තමාන ලෝක ආර්ථිකය මුහුණ පා තිබෙන උග්‍රතම ගැටලුව, ජල අර්බුදය බව, 2014 වර්ෂයේදී, පැරිස් නුවර පවත්වන ලද ජල සම්මුති සමුළුවේදී, තීරණය කරන ලදී. එහිදී සාකච්ඡා වූ පරිදි, ඉදිරි දස වසර තුලදී ලෝකයේ ජීවත් වන සෑම කෙනෙකුටම ජල හිඟය, ගංවතුර, යටිතල පහසුකම් අඩාල වීම, ව්‍යාපාර බිඳ වැටීම, ආර්ථික අර්බුද වැනි ජලයට අදාල ව්‍යසන එකකට හෝ කිහිපයකට මුහුණ පෑමට සිදුවන බවට ඉඟියක් පළ කරන ලදී.

ගෙදර දොර එදිනෙදා  කටයුතු සඳහාත්, පානය කිරීම සඳහාත් ජලය වැදගත් වන්නා සේම බල ශක්තිය නිෂ්පාදනය සඳහාත් ජලය අවශ්‍ය වේ. දැනට ගෝලීය ජල භාවිතයෙන් 15 % පමණ බල ශක්ති ජනන ක්‍රියාවලියන් සඳහා වැය වන බව ගණන්  බලා තිබේ. ලෝක බැංකුව මගින් කරන ලද ගණනය කිරීම් වලට අනුව 2035 වනවිට ජගත් බල ශක්ති අවශ්‍යතාව 35 % කින් වැඩිවන විට, බලශක්ති ජනනය සඳහා ජලය  වැය වීම 85 % කින් වැඩි වනු ඇත.

බල ශක්ති විශේෂයක් ලෙස විදුලිය නිෂ්පාදනය කිරීම පිණිස ජලයේ විභව ශක්තිය, ඉන්ධන හෝ න්‍යෂ්ටික බලය වැනි කුමන ක්‍රමයක් යොදා ගනු ලැබුවත් එම යන්ත්‍ර සුත්‍ර සිසිල් කිරීම සඳහා ජලය අවශ්‍ය වේ.

මෙසේ කල්පනා කර බලන විට ජලය කෙතරම් මහඟු සම්පතක්ද යන්න හොඳින් පැහැදිලි වේ. අපගේ දෛනික ජීවිතයේ, උදේ නින්දෙන් පිබිදුනු වේලේ සිට රාත්‍රියේ ආපසු නින්දට යන තුරු කරන කියන සෑම  ක්‍රියාවකදීම කෙලින්ම ජලය අවශ්‍ය වන ක්‍රියාවන් ඇත්තේ කිහිපයක් වුවත්, සෑම ක්‍රියාවක් සඳහාම සැඟවුණු හෝ අතාත්වික ජල පරිමාවක් තිබේ. මේ නිසා අප සෑම  කෙනෙක්ම ජලය හෝ වෙනත් භාණ්ඩ හෝ සේවා පරිහරණයේදී  අවබෝධයකින් යුතුව කටයුතු  කර ජල නාස්තිය වලක්වා ගතහොත්  දිය පිපාසයෙන් පෙළෙන අපගේ මිහිතලය වෙනුවෙන් උපරිම යුතුකම ඉටු කළා වනු ඇත.
 
ජල දූෂණ මං අහුරමු.  ජලය අපතේ නොයවමු.  මහඟු ජල සම්පත සුරකිමු.