මෑතදී කර ඇති ගණනය කිරීම් අනුව, වායුගෝලය උණුසුම් වීමට මූලිකවන, හරිතාගාර ආචරණය (Greenhouse effect) සිදුවීමේ ප්‍රධානතම සාධකයක් ලෙස මීතේන් (CH4) වායුව හඳුනාගෙන තිබේ. මේ අනුව බොහෝ ශාක භක්ෂක ක්ෂීරපායින් ගේ ආහාර ජීර්ණ වීමේ අතුරු ඵලයක් ලෙස මීතේන් වායුව මුක්ත වීම, සැලකියයුතු පරිසර දූෂණ කාරකයක් ලෙස නම් කර තිබෙන නිසා, සත්ත්ව පාලන කටයුතු මහා පරිමාණයෙන් කරනු ලබන රටවලට මහත් ගැටළු සහගත තත්ත්වයක් උදාවී ඇත. හරිතාගාර ආචරණය සිදු කරනු ලබන වායු සහ ඒවායේ බලපෑම පිලිබඳ සංසන්දනයක් පහත දැක්වෙන ආකාරයට වගුවකින් දැක්විය හැකිය.
මෙහි දැක්වෙන පරිදි කාබන්ඩයොක්සයිඩ් වායුව ඒකකයකින් සිදුවන හරිතාගාර ආචරණය මෙන්, 28 ගුණයක බලපෑමක්, මීතේන් වායුව නිසා සිදුවේ. (හරිතාගාර ආචරණයේ මිනුම් ඒකකය ලෙස භාවිත කරනුයේ CO2 ගිගා ටොන් ‘Gt’ එකක් මගින් සිදුවන ගෝලීය උණුසුම් වීමයි. 1Gt = 109 tons)
විශේෂයෙන්ම ගවයින්ගේ ආහාර ජීර්ණයෙදී, අදාළ පද්ධතිය තුළ සිදුවන, එම සතුන්ට ආවේණික, ආහාර පැසවීමේ යාන්ත්‍රණයේදී හටගන්නා මීතේන් වායුව, ගුද මාර්ගය සහ මුඛය හරහා පිටවන අතර, ජීර්ණයේ අපද්‍රව්‍ය ලෙස පිටකරන ගොම වියෝජනය වීමේදී, නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) සහ කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුවද මුක්තවේ. මෙම වායු අතුරෙන් N2O වායුව, කාබන්ඩයොක්සයිඩ් මෙන් 295 ගුණයක් පමණ බලවත්, ගෝලීය උණුසුම් වීමේ දූෂක කාරකයක් ලෙස සැලකේ. ගෝලීයව සිදුවන හරිතාගාර වායු මුක්ත වීමෙන් 34.5 % ක් පමණ, සත්ත්ව පාලන කටයුතු නිසා සිදුවන අතර, මෙයින් වැඩි ප්‍රතිශතයක් සිදුවනුයේ ගව පාලන කටයුතු වලදීය.
ආහාර ජීර්ණයේදී ගවයෝ බහුලව මීතේන් වායුව පිටකරති.
ගවයින් අයත් වන්නේ ක්ෂීරපායි සත්ත්ව කුලයේ, ගාත්‍රාවල කුර (hoofs), දෙකට බෙදී ඇති, Artiodactyla (even toed) ගෝත්‍රයේ, Bovidae වර්ගයටය. මෙයින් ආසියානු ගවයා Bos indicus ලෙස නම්කෙරේ. ‘ආහාර වමාරා බුදින’ (cud chewing) භෝජන විලාසය සහිත ක්ෂීරපායි ශාක භක්ෂකයින් වන ගවයින්, එළුවන් සහ බැටළුවන් සහ තවත් සත්ත්ව විශේෂ කිහිපයක්ද Artiodactyla ගෝත්‍රයට අයත් වෙති. මෙම ගෝත්‍රයේ සතුන්ගේ ආහාර මාර්ගයේ, අන්නශ්‍රෝතය, කුඩා අන්ත්‍රය සහ මහා අන්ත්‍රයට අමතරව ‘මුල් ආමාශය’ (rumen), ‘දෙවන ජාලාකාර ආහාර බොක්ක’ (reticulum), ‘තුන්වැනි ආමාශය’ (Omasum) සහ ‘ජඨරාශය හෙවත් හතරවන ආමාශය’ (Abomasum) යනුවෙන් සුවිශේෂී කොටස් හතරකට බෙදී තිබේ. වැඩුණු ගවයෙකුගේ මුල් ආමාශය ලීටර් 40 ක සහ හතරවන ආමාශය ලීටර් 7ක පමණ ධාරිතා සහිත බවද තවත් සුවිශේෂී ලක්ෂණ වේ. ගවයින්ගේ ආහාරය වන තණකොළ, පිදුරු වැනි ද්‍රව්‍ය වල සෙලියුලෝස් වැඩි ප්‍රතිශතයක් අඩංගු වේ. මේ නිසා ආමාශ සංකීර්ණයේ විවිධ කොටස් වලදී යම්කිසි රිත්මයකට අනුකුලව සෙලියුලෝස් ජීර්ණය සිදුවේ. තණබිමක උලා කන ගවයෙකු එක එල්ලේ පැය කිහිපයක් ආහාරයට ගන්නා තණකොළ, අන්නශ්‍රෝතය ඔස්සේ ගොස් විශාල මුල් ආමාශයේ තැන්පත්වේ.
ඊට පසු, නිශ්චලව සිටින ගවයා, බිම දිගාවී හෝ සිටගෙන, මුල් ආමාශයෙන්, වරකට ආහාර විශාල ගුලියක් බැගින් වමාරා, මුඛයට වෑස්සෙන ඛේටය සමග හොඳින් මිශ්‍රකර, ටික වේලාවක් ආහාරය ඇඹරීමේ ස්වරූපයෙන් හක්කේ ඇති දත්වලින් හැපීමට පටන් ගනී. මෙම ක්‍රියාවලියේදී තද ගතියෙන් යුක්ත සෙලියුලෝස් තන්තු, කෙළ සමග හොඳින් ඇඹරී සරල කාබෝහයිඩ්රේට සහ ද්‍රාව්‍ය සීනි බවට පත්වීමෙන් පසු නැවතත් මුල් ආමාශය තුළට යැවේ. මුල් ආමාශයේ බහුලව පවතින ක්ෂුද්‍ර ජීවී සහ බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය මගින්, ආහාර අර්ධ ජීර්ණ තත්ත්වයට පත්වේ. මීටපසු සිදුවන ‘ආන්ත්‍රික පැසවීම’ (enteric fermentation) මගින් හටගන්නා, පහසුවෙන් අවශෝෂණය වන මේද අම්ල ගවයාට අවශ්‍ය ශක්තිය සඳහා ප්‍රයෝජනවත් වේ. එමෙන්ම ආහාර සමග මිශ්‍රවන ඛේටයේ ඇති බයිකාබනේට මගින් ආමාශය තුළ ආම්ලික ස්වභාවය ඇතිකර එහි pH අගය 5 - 6 අතර තත්ත්වයේ තබාගනී. මින්පසු දෙවන, තුන්වන සහ හතරවන ආමාශ කොටස් වලදී විවිධ ජීර්ණ එන්සයිමද ආහාරයට එකතු වී, වැඩිපුර ඇති ජලය උරා ගෙන පෝෂණ කොටස් රුධිර පද්ධතියට අවශෝෂණය වීමෙන් පසු කුඩා අන්ත්‍රය සහ මහාඅන්ත්‍රය ඔස්සේ ගමන් කිරීමේදීද ජලය තවදුරටත් අවශෝෂණය වී, අවසාන ඵලය වන ‘ගොම’ ගුද මාර්ගයෙන් පිටවේ. මේ ආකාරයට බොහෝ වේලාවක් ආමාශ කුටීර සියල්ලේම පාහේ සිදුවන ආහාර පැසවීම නිසා අධික ලෙස හටගන්නා මීතේන් වායුව, ආහාර මාර්ගයේ පසු අග්‍රයෙන් ගොම සමග පිටවේ. මේ ආකාරයට ගවයින් විසින් වාතයට මුසු කරන මීතේන් හරිතාගාර වායුව, තදබල පරිසර දූෂකයකි.
මේ ආකාරයට ගව ආමාශ පද්ධතියේ මීතේන් වායුව (CH4) නිපදවෙන්නේ methanogens නමැති බැක්ටීරියා වැනි ජීවී විශේෂයක් මගින් සිදුකරනු ලබන නිර්වායු ස්වශනය මගින්, H2 සහ CO2 අතර සිදු කරනු ලබන ප්‍රතික්‍රියාව මගින්ය. 2H2 + CO2 → CH4 + O2
ගව පාලන ක්‍රියාවලියේ ඉතිහාසය සහ වර්තමාන තත්ත්වය
වසර 300,000 කට පමණ අතීතයේ සිට Homo sapiens මානවයින් මිහිපිට ජීවත්වූ බවට පාශාණිභුත සාක්ෂි හමුවී තිබේ. මෙම කාළ වකවානුවේ අවසාන කොටස වන, ක්‍රිස්තු පූර්ව 4000 සිට 2000 දක්වා විසිරෙන කාලය, නව ශිලායුගය (neolithic) ලෙස හැඳින්වේ. මෙම යුගයේදී ආරම්භවූ සත්ත්වපාලනය, කෘෂි කර්මාන්තය සහ සහ එම කටයුතුවලට අදාළ කුඩා ගෝත්‍රික සමාජ බිහිවීම වැනි සුවිශේෂී ක්‍රියාකාරකම් කිහිපයක් නිසා, එම කාලය මානව ජීවන රටාවේ හැරවුම් ලක්ෂ්‍යයක ආරම්භය වූ බව සැලකිය හැකිය. මෙම යුගයේ සත්ත්ව පාලන කටයුතුවල මූළාරම්භය වූයේ ගව පාලනයයි.
ඉන්දියන් උප මහාද්වීපය ලෙසද හැඳින්වෙන දකුණු ආසියාතිකයේ සහ එකළ ‘සශ්‍රීක අඩසඳ භුමිය’ (Fertile crescent) ලෙස අන්වර්ථ නාමයකින් හැඳින්වූ ඉරානය සහ තුර්කිය අවට ප්‍රදේශයේද සමකාලීනව, මිනිසාගේ ආහාර සහ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ගවයින් ඇතිකිරීම, ආරම්භ කර ඇති බව ඓතිහාසික තොරතුරු වලින් හෙළි වේ. ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල ඇතිකළ ගවයින්, ඝර්ම කලාපිය දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයට අනුවර්තනය වී ඇති අතර, ඇනටෝලියාව ලෙස ප්‍රසිද්ධියට පත්, ඉරාන / තුර්කි ප්‍රදේශයේ ඇතිකළ ගවයින් එම කලාපයේ සෞම්‍ය දේශගුණයටත් ක්‍රමක්‍රමයෙන් අනුවර්තනය වී තිබේ. අප්‍රිකානු රටවල අධි කර්කෂ දේශගුණයටද ඔරොත්තු දීමේ හැකියාවක් ඇති ගවයින්ද සිටින්නට ඇති බව, ජනක විද්‍යාත්මක පර්යේෂණ මගින් හෙළිවී ඇත.
ඉන්දියානු උප මහාද්වීපයට අයත් රටවල ජනතාව, ගව දෙනුන්ගෙන් ලැබෙන මහඟු පෝෂ්‍ය ගුණයෙන් යුත් කිරි, ආහාරයක් සඳහා ගැනීමටත් විවිධ සූප කටයුතු සඳහා කිරි යොදා ගැනීමටත් පුරුදුව සිටියහ. මේ සඳහා කිරිවලට අමතරව කිරි භාවිතයෙන් සකස් කර ගන්නා, පස්ගෝරස ලෙස හැඳින්වෙන කිරි, දීකිරි, ගිතෙල්,වෙඬරු සහ මෝරු දැනටද ඉන්දියාවේ සුලභ, ප්‍රණීත ආදේශ කිරි ආහාර ලෙස දැක්වේ. දැනට ඉන්දියාව ලෝකයේ කිරි ආහාර නිෂ්පාදනය අතින් පළමු ස්ථානය ලබා ඇති බවද හෙළිවේ. කිරි නිෂ්පාදන කටයුතු වලට අමතරව මෙම රටවල කෘෂිකාර්මික කටයුතුවලදී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහාද ගවයින් ප්‍රයෝජනයට ගනු ලැබේ. හින්දු සහ බෞද්ධ සංස්කෘතිය මුල් බැසගෙන ඇති, මෙම රටවල, අවිහිංසාවාදී දිවි පෙවෙත නිසා, මුල් වකවානුවලදී, මස් සඳහා ගව ඝාතනය ඉතාමත් සීමිත වශයෙන් කරන ලදී. කෙසේ වෙතත් 20 වන ශත වර්ෂයේ අවසානයේදී ජනගහන වර්ධනය, පෝෂ්‍ය ආහාර හිඟය සහ ආර්ථික සංවර්ධනයේ නව මෙහෙයුම් වලට පිවිසුම, වැනි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියාවේ ගවපාලනය, මස් නිෂ්පාදනය සඳහාද යොදවා තිබේ. මේ වන විට ඉන්දියාවද මාංශ නිෂ්පාදන ආනයන කරන ප්‍රමුඛ රටක් බවට පත්වී ඇත. මේ අතර ඇනටෝලියානු ප්‍රදේශයේ රටවල, මුල සිටම ගවපාලනය මගින් කිරි නිෂ්පාදනය මෙන්ම, ගවමස් නිෂ්පාදනයද, ප්‍රබල කර්මාන්තයක් බවට පත්වී තිබේ.
නව ශිලායුගය අවසානයේදී කෘෂිකාර්මික සංවර්ධනයත් සමග ලෝහ වර්ග භාවිතය සහ ආයුධ නිෂ්පාදනයත් ආරම්භවිය. මේ වනවිට පෘථිවි මිනිස් ජනගහනයද ක්‍රමක්‍රමයෙන් වැඩි වන්නට විය. ‘WorldOmeter’ නම් ලෝක ජනගහන තොරතුරු වාර්තා කරන ආයතනයේ දත්ත අනුව අනුමාන කර ඇති පරිදි, ක්‍රිස්තු පූර්ව 1000 වන විට පැවතියේයයි සිතිය හැකි මිලියන 110 පමණ වූ ලෝක ජනගහනය ක්‍රිස්තු වර්ෂ 500 වනවිට මිලියන 253 පමණ වී තිබේ. මේ අනුව ජනගහනය දෙගුණ වීමට වසර 1500 ක් පමණ ගතවී ඇත. ක්‍රිස්තු වර්ෂ 1900 වනවිට ලෝක ජනගහනය බිලියන 2.5 ක් වූ අතර වසර 2000 දී බිලියන 6.2 පසුකර, 2022 වර්ෂය අගදී බිලියන 8.0 සීමාවද ඉක්මවා තිබේ. මෙම යුගයේදී (1900 - 2022) වසර 122 තුළදී, ජනගහනය තුන් ගුණයකින් වැඩිවීම, පෘථිවියට ඔරොත්තු නොදෙන තරමේ පීඩනයක් ඇතිකර තිබේ.
ජනගහන වර්ධනයත් සමගම කෘෂිකාර්මික කටයුතු, සත්ත්ව පාලනය, කර්මාන්ත ආරම්භ කිරීම, ගමනාගමන පහසුකම්, නව පරිභෝජන ක්‍රමවේද වැනි මිනිස් ක්‍රියාකාරකම්ද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. ජනගහන වර්ධනයත් සමගම, ඔරොත්තු දීමේ සීමා මායිම් ඉක්මවා යන තරමට සත්ත්ව පාලනය සංවර්ධනය වීම නිසා ලෝකයේ රටවල් කිහිපයකම මිනිස් ගහනය මෙන් දෙතුන් ගුණයකට ආසන්න වන තරමට ගව ගහනය වැඩිවන්නට වී ඇත. දකුණු ඇමෙරිකාවේ උරුගුවේ, ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය යන රටවල සහ නවසීලන්තයේ, සංඛ්‍යා ලේඛන අනුව, වර්තමානයේ මිනිස් ගහණයට වැඩියෙන් ගව ගහණය ඇති බව වාර්තාවේ. මෙම රටවලින් උරුගුවේ රටෙහි මිනිස් ගහණය මෙන් තුන් ගුණයක් සහ නවසීලන්තයේ මිනිස් ගහණය මෙන් දෙගුණයක් ගවයින් සිටින බවට මෑතදී වාර්තා විය. මෙම රටවල ජාතික ආදායමෙන් සැලකියයුතු ප්‍රතිශතයක් ලැබෙනුයේ ගවමස් සහ මස් ආශ්‍රීත නිෂ්පාදන වලිනි.
ගව තණබිම් නිසා භූමියෙන් විශාල කොටසක් අපතේ යයි
ගවයින් විසින් මුක්ත කරන මීතේන් ප්‍රමාණය අඩුකර ගත හැකිද ?
හොඳින් වැඩුණු ගවයෙකු විසින් ‘ආන්ත්‍රික පැසවීම’ මගින් දළ වශයෙන් දිනකට මීතේන් ලීටර් 300 පමණ (ග්‍රෑම් 150 පමණ) නිපදවා වායු ගෝලයට මුක්ත කෙරේ. මෙවැනි සතුන් බිලියන දෙකකට වැඩි සංඛ්‍යාවක් සිටින පෘථිවියේ, වායු ගෝලයට මුක්ත වන මීතේන් ප්‍රමාණය කෙතරම් වේදැයි සිතා ගත හැකිය. පෘථිවියට සුර්යාලෝකයෙන් ලැබෙන තාපය නිසා, වායු ගෝලයේ හටගන්නා අමතර උණුසුම් භාවය, ආපසු අවකාශයට පරාවර්තනය වීම සීමා කිරීමේ ප්‍රධාන සාධකය වනුයේ මීතේන් වායුවයි. මේ නිසා හරිතාගාර වායුවක් වන මීතේන් නිසා සිදුවන ගෝලීය උණුසුම් වීම, ගැඹුරෙන් සලකා බැලිය යුතු සංසිද්ධියකි. මස් සහ වෙනත් සත්ත්ව නිෂ්පාදන සඳහා ඇති ගෝලීය ඉල්ලුම දිනෙන් දිනම වැඩි වන බැවින්, ගවයින් මුක්ත කරන මීතේන් නිසා සිදුවන පාරිසරික හානිය ගැනද සිත් යොමු කර, ඒ පිලිබඳ ධරණිය නැඹුරුවක් සහිත විසඳුම් සෙවීම අනිවාර්ය වී තිබේ. විවිධ පරිසර සංවිධාන මගින්, මේ වෙනුවෙන් ගතහැකි සාධාරණ පියවර කිහිපයක් මෙසේ ඉදිරිපත් කර ඇත.
මස් අනුභවය අඩුකිරීම සහ එහි වැදගත්කම ගැන ජනතාව දැනුවත් කිරීම .
ගව පාලනයේදී, නව තාක්ෂණ ක්‍රමවේද මගින් මීතේන් හටගැනීම පාලනය කිරීම.
පරිසර සංරක්ෂණය පිලිබඳ තිරසාර විසඳුම් සහිත, නව ක්‍රමවේද ඔස්සේ සත්ත්ව පාලන කර්මාන්තය නවීකරණය කිරීම.
අධික වශයෙන් මස් මාංශ ආහාරයට ගැනීමට පෙළඹීම සහ එමගින් සිදුවිය හැකි පාරිසරික හානි පිළිබඳව, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයයේ, ‘ආහාර තාක්ෂණ උසස් ඉංජිනේරු මධ්‍යස්ථානයේ’, පර්යේෂණ නිලධාරිනියන් දෙදෙනෙකු වන, Diana සහ Dora විසින් පළකර ඇති ‘ගෝලීය හදිසි අවශ්‍යතාවය සඳහා ආහාර’ (Food in a Planetary Emergency) නමැති පොතෙහි මෙසේ සඳහන් කර තිබේ. “දැනට පෘථිවි වායු ගෝලයේ තිබෙන හරිතාගාර වායු වලින් තුනෙන් එකක් පමණ හටගෙන ඇත්තේ, ලෝකයේ වර්තමාන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නිසාය. එමෙන්ම, ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව වනාන්තර හෙළි කිරීම නිසා, වනජීවීන්ද විශාල සංඛ්‍යාවක් වඳවී යාමටත් තුඩු දී තිබේ.”
මෙම පොතෙහි තවදුරටත් විස්තර කරන ආකාරයට, “සත්ත්ව පාලනය ඇතුළු කෘෂිකාර්මික කටයුතු නිසා, ජෛව විවිධත්ව හායනය, වනාන්තර සහ සවානා තණබිම් විනාශය, ප්ලාස්ටික් මගින් පරිසර දූෂණය, ගෝලීය පාංශු නිසරු භාවය, අධිකතර මිරිදිය අපතේ යාම සහ ජීවී විශේෂ අනිසි ලෙස භාවිතය වැනි ක්‍රියාකාරකම් රාශියක් මගින් පරිසරය කෙරෙහි ඇතිකර තිබෙන අධි පීඩනය බලගතු ව්‍යසනයක් වී තිබේ.”
මෙම විනාශකාරී තත්ත්ව මග හරවා ගැනීම සඳහා ආහාර සුරක්ෂිත තාවය සහ ආහාර ඇසුරුම් සඳහා වඩාත් පරිසර හිතකාමී ක්‍රමවේද භාවිතය ගැනද පොතෙහි සිත් යොමු කර තිබේ. මිනිසාගේ ආහාර පරිභෝජන රටාවට පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි නව සංකල්පයක් පිළිබඳවද එම පොතෙහි සඳහන් කර ඇත. ‘සුඛනම්‍ය ආහාර රටාව’ (flexitarianism) ලෙස හඳුන්වා දී තිබෙන මෙම සංකල්පය “flexible” සහ “vegetarian” යන වචන බද්ධ කර ලබාගත් අදහසකි.
සුඛනම්‍ය (flexitarian) ආහාර වේලක්
ශාකවලින් ලැබෙන එළවලු, පළතුරු, රනිල භෝග නිෂ්පාදන, ධාන්‍ය සහ ඇටවර්ග වලට අමතරව, සත්ත්ව නිෂ්පාදන වන මස් මාංශ, කිරි ආහාර සහ බිත්තර ආදිය ඉතාමත් සීමිත ප්‍රමාණයක් භෝජනය සඳහා ගැනීම සුඛනම්‍ය ආහාර රටාව යන සංකල්පයෙන් බලාපොරොත්තුවේ. මෙය තිරසාර මෙන්ම පහසුවෙන් අනුගමනය කළහැකි ආහාර රටාවක් ලෙසද සැලකිය හැකිය. මෙයටම සම්බන්ධ කර ගත හැකි, අඩුම වශයෙන් සතියකට ආහාර වේල් එකක් හෝ දෙකක් ‘නිර්මාංශ’ වීමද ඵලදායි ක්‍රමවේදයක් ලෙස යෝජනා කර තිබේ. මේ මගින් මස් මාංශ ආහාර සම්පූර්ණයෙන්ම නතර නොකරන බැවින් සුඛනම්‍ය ආහාර රටාව, ශාරීරික සහ මානසික සෞඛ්‍යයට හිතකර, පාරිසරිකහානි අවම කරන, සමාජ ආචාර ධර්ම වලට අනුකුල, ආර්ථික වාසිද සහිත නව පිවිසුමක් ලෙස සැලකිය හැකිය.
ඉහත සඳහන් කළ පරිදී, නවසීලන්තයේ සත්ත්ව පාලන කර්මාන්තය සඳහා, (එරට මිනිස් ගහණයට වඩා වැඩි සංඛ්‍යාවක්), මීතේන් පිටකරන සතුන් ඇතිකරන බැවින් මෙම සතුන් විසින් ‘හරිතාගාර ආචරණය’ මගින් විශාල පරිසර හානියක් සිදුකරන බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා කටයුතු කිරීමට, රජය විසින් 2025 වර්ෂයේදී, ඒ සඳහා සුවිශේෂී බද්දක් අයකිරීම පිණිස යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. “Burp tax” ලෙස නම්කළ මෙම බද්ද මගින් බලාපොරොත්තු වූයේ, ගව පට්ටි වල සිටින සතුන්ගේ සංඛ්‍යාව අනුව මීතේන් වායුව මුක්ත කිරීම වෙනුවෙන් බද්දක් අයකර, එසේ ලැබෙන මුදල් ‘පරිසර සංරක්ෂණය පිලිබඳ තිරසාර විසඳුම්’ සඳහා යොදවා, මීතේන් මගින් සිදුවන පරිසර හානිය ක්‍රමක්‍රමයෙන් අඩුකර ගැනීමටය. (‘Burp’ යන වචනයෙන් හැඳින්වෙනුයේ ‘රාමතෙල්හැරිම’යි.) එහෙත් මෙම යෝජනාව සඳහා එල්ලවූ බලවත් ජනතා විරෝධය නිසා එම අදහස පසුව අත්හැර දමා තිබේ.
කෙසේ වෙතත්, මෙම යෝජනාවෙන් පසු, මහා පරිමාණයෙන් ගව පාලන කර්මාන්ත වල නියැලෙන ව්‍යවසායකයන් විසින්, 2050 වර්ෂය වනවිට, නිෂ්පාදන කටයුතු අඩාල නොකරමින්ම, ගවපට්ටි වල මීතේන් මුක්ත, වීම ශුන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා නව තාක්ෂණ ක්‍රමවේද ආශ්‍රීතව වහාම ක්‍රියාත්මක වන බවට පොරොන්දු විය. රජය මෙම පොරොන්දුවට එකඟතාව පළ කර, එම නවීකරණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ සම්පත් දායකත්වය ලබාදීමට කැමති බවද ඔවුන්ට දන්වා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පරිසර සංරක්ෂණ අංශය මගින් 2015, වර්ෂයේදී රටවල් 192 ක පමණ සහයෝගිතාව ඇතිව, සම්මත කරගන්නා ලද ඓතිහාසික ‘පැරිස් සම්මුතිය’ අනුව, 2030 වනවිට ගෝලීය උණුසුම් වීම, කර්මාන්ත විප්ලවය ආරම්භයට පෙර පැවති සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයේ සිට 1.5°C උපරිමය නොඉක්මවීම සඳහා පරිසර සංරක්ෂණ කටයුතු කළමනාකරණය කර ගන්නා බවට ගිවිසුම් ගත වන ලදී. එහෙත් මේ වනතුරු එම පරිශ්‍රමය අඩක්වත් සාර්ථක වී නොමැති බව අසන්නට ලැබේ. නවසීලන්තයේ ව්‍යවසායකයන් විසින්, 2050 වර්ෂය වනවිටවත් මෙම වැදගත් පියවර ගැනීමට එළඹ සිටීම සතුටුදායක තීරණයකි.
“Meat Free Monday” යන තේමාව යටතේ කරන ලද සමීක්ෂණයකදී, ගව මස් සහිත මිනිසාගේ සංකීර්ණ ආහාර පරිභෝජනය නිසා උද්ගතවී ඇති ගැටළු පිළිබඳව, Reader’s Digest, 2026 පෙබරවාරි / මාර්තු කලාපයේ, “ඔබ දන්නවාද?” යන මාතෘකාවෙන් පළකර තිබුණු ගවමස් ආහාරයට ගැනීම සහ එයට අදාළ, පාරිසරික තොරතුරැ ස්වල්පයක් සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය. (Facts and figures courtesy of Meat Free Monday global initiative launched by Paul Mary and Stella McCartney to encourage people to have at least one plant based day of food a week,)
බොහෝ ජනප්‍රිය අතුරුපසක් ලෙස සැලකෙන, ගවමස් ‘බර්ගර්’ එකක් නිෂ්පාදනය සඳහා අඩුම වශයෙන් මිරිදිය ලීටර් 3000 පමණ වැය වන බව ගණනය කර තිබේ.
ගවපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා, තණබිම් සකස් කිරීම පිණිස, ලොව පුරා දළ වශයෙන්, පැයකට හෙක්ටෙයාර් 100 ට ආසන්න වනාන්තර ප්‍රමාණයක් විනාශයට පත්වේ.
ලෝකයේ භාවිතයට ගතහැකි භුමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ ගවපාලන කටයුතු සඳහා යොදවා තිබේ.
ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව, වායුගෝලයට මුක්ත වන හරිතාගාර වායු වලින් 14.5% ක් හට ගන්නේ, සත්ත්වපාලන කටයුතු නිසාය. (මෙය මීට වඩා බෙහෙවින් වැඩි බවත් එම ප්‍රතිශතය 34 % පමණ වන බව වෙනත් සමීක්ෂණ වලින් හෙළි වේ.)
‘The Worldwatch’ ආයතනයේ ගණනය කිරීම් වලට අනුව, ලෝකයේ ඇති මිරිදිය සැපයුම් වලින්, 70% ක් පමණ කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවේ. (මෙයින් තුනෙන් එකක් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහාය.)
2020 වර්ෂයේදී, Oxford විශ්ව විද්‍යාලයයේ කර ඇති සමීක්ෂණයකට අනුව, ෆොසිල ඉන්ධන දහනය මගින් සිදුවන අහිතකර හරිතාගාර වායු මුක්ත වීම, වහාම නතර කිරීමට කටයුතු සැලැස්වූවත්, මිනිසා හරිත ශාක වලට වඩාත් නැඹුරුවක් ඇති භෝජන රටාවකට, මාරු වුවහොත් මිස, ගෝලීය උණුසුම් වීම, ආරක්ෂාකාරී පහත මට්ටමකට ගෙන ඒමට නොහැකිය.
ගව මස් කිලෝග්රෑම් එකක් නිෂ්පාදනය සඳහා, ධාන්‍ය කිලෝග්රෑම් 12 ක් පමණ වැයවේ.
මේ වනවිට ලෝකයේ ජනතාව මිලියන 800 ක් පමණ, සාගින්නෙන් සහ මන්ද පෝෂණයෙන් පෙළෙති. එහෙත් මෙම සංඛ්‍යාව මෙන් තුන්ගුණයක ජනතාවගේ අවශ්‍යතාවලට යෙදවියහැකි ධාන්‍ය ප්‍රමාණයක් ලොව පුරා ගව, ඌරු සහ කුකුළු ගොවිපලවල සිටින සතුන්ගේ ආහාර ලෙස භාවිත වේ.
කෙනෙකු, සතියකට එක් ආහාර වේලක් නිර්මාංශ වුවහොත්, ඔහුගේ මෝටර් රථය මාසයක් ධාවනය නොකර සිටීම වැනි ආකාරයකට, තම වාර්ෂික ‘කාබන් පා සටහන’ (carbon footprint), අඩු කර ගත හැකිය !
ලෝකයේ කෘෂිකාර්මික භුමි වපසරියෙන්, 60% පමණ යොදවනුයේ ගව මස් නිෂ්පාදනය සඳහාය. එසේ වුවද ගව මස් වලින් සැපයෙනුයේ, සමස්ත ජනතා ප්‍රෝටීන අවශ්‍යතාවෙන් 5% කට වඩා අඩුවෙනි. එසේම එයින් ලැබෙනුයේ නියමිත ශක්ති (කැලරි) අවශ්‍යතාවෙන් 2% පමණකි.
දයාරත්න වීරසේකර
July 2026