Sunday, 30 August 2026

ශාක DNA, සංස්කරණය මගින්, ගෝලීය උණුසුම් වීම අඩු කිරීම

    පෘථිවි වාසී සෑම ජීවීයෙකුටම පාහේ, අවශ්‍ය ආහාර සැපයෙනුයේ, ශාක මගින් සිදු කරන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මගින් ය. මෙම ක්‍රියාවලියේ දී හරිත ශාක වල අන්තර්ගත හරිතප්‍රද මගින් ග්‍රහණය කර ගන්නා සූර්ය ශක්තිය උපයෝගී කර ගනිමින්, වායු ගෝලයේ ඇති CO2 සහ පොළොවෙන් ලබාගන්නා ජලය අතර සිදු වන ප්‍රතික්‍රියාව හේතුවෙන්, ජීවීන්ගේ ආහාරයේ ප්‍රධාන සංඝටකයක් වන කාබෝහයිඩ්රේට නිෂ්පාදනය වේ. මෙම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ වූ වත්, එමගින් සිදු වන රසායනික ප්‍රතික්‍රියාව, 
               6CO2 + 6H2O → C6H12O6 + 6O2 
ලෙස, සරල සමීකරණයකින් දැක්විය හැකිය. මෙහි දී කාබන්ඩයොක්සයිඩ් අණු හයක් සහ ජලය අණු හයක් ප්‍රතික්‍රියා කර කාබෝහයිඩ්රේට (ග්ලුකෝස්) අණු හයක් නිපදවේ. මෙම ප්‍රතික්‍රියාවේ අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් අණු හයක් මුදාහැරීමද සිදුවේ. (‘අණු’ යන වචනය වෙනුවට ‘මවුල’ යන්න යෙදීම වඩාත් නිවැරදි ය) 

වසර මිලියන ගණනක් තිස්සේ, පෘථිවි ජෛව ගෝලය තුළ සිදුවී ඇති ඉහත දැක්වූ ක්‍රියාවලිය හේතුවෙන් වායුගෝලයේ CO2 සහ O2 අතර අනුපාතය බොහෝ දුරට සමතුලිත තත්ත්වයක තිබුණු බවට අනුමාණ කළහැකි සාක්ෂි ලැබී තිබේ. එසේ වුවද, දහ අටවන ශත වර්ෂයේ අවසාන දශක වලදී ආරම්භ වූ කර්මාන්ත විප්ලවයත් (industrial revolution) සමග, කාබනික ෆොසිල ඉන්ධන බහුලව දහනය කිරීම නිසා, CO2 අධික වශයෙන් වායුගෝලයට මුක්ත වීමෙන්, පෙර පැවති එම වායු සමතුලිතාව ක්‍රමක්‍රමයෙන් හීන වන්නට විය. මෙම අසමතුලිතතාව නිසා සිදුවන ඉතාමත් පීඩාකාරී ගෝලීය උණුසුම් වීම, වර්තමානයේ දී සීමා මායිම් ඉක්‌මවා, උග්‍ර ව්‍යසනයක් බවට පත්වී තිබෙන බව පර්යේෂකයින්ගේ අධ්‍යයන මගින් සනාථ කර තිබේ. 

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිලිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change - IPCC) විසින් පෙන්වා දී ඇති ආකාරයට, දිනෙන් දින ව්‍යාකුල තත්ත්වයට පත්වන ගෝලීය උණුසුම් වීම, “ෆොසිල ඉන්ධන දැවීම නතර කිරීමෙන් පමණක්ම, කිසිසේත් වැළක්විය නොහැකි බව” නිගමනය කර තිබේ. මේ නිසා, මෙම උවදුරෙන් මිදීම සඳහා ගතහැකි ඉතාමත් කාලෝචිත ප්‍රයත්නය වනුයේ, වායු ගෝලයේ ඇති අතිරික්ත CO2, දැඩි ලෙස ග්‍රහණය කර, වෙනත් ස්ථානයක සුරක්ෂිතව ගබඩා කර තැබීම බව තීරණය වී තිබේ. මෙම දැවැන්ත පරිශ්‍රමය සඳහා, හරිත ශාකවල ස්වාභාවික ප්‍රභාසංස්ලේෂණ යාන්ත්‍රණයම, ඉතාමත් යෝග්‍ය මෙවලමක් ලෙස උපයෝගී කරගත හැකි බව හඳුනාගෙන ඇත. හරිත ශාක විසින් සූර්ය කිරණ ඇසුරෙන් ශක්තිය ලබාගැනීම, අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වී තිබේ. එමෙන්ම එම ක්‍රමවේදය මගින් වසරකට වායු ගෝලයෙන් CO2 ටොන් බිලියන ගණනක් අවශෝෂණය කර ගන්නා බවද ගණනය කර තිබේ. මෙසේ ලැබෙන කාබන් වලින් අඩක් පමණ ශාකවල වායව කොටස් සහ මූල පද්ධතිය වර්ධනය සඳහා වැයවී, තවත් කොටසක් පොළොවේ පස් අංශු අතර තිරවී, සමහරවිට වසර සිය ගණනක් නොවෙනස්ව එලෙසම පවතී. එහෙත්, නව තාක්ෂණික මිනුම් අනුව, ස්වාභාවික ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මගින් CO2 අවශෝෂණය කර ගැනීම, බොහෝ දුරට අකාර්යක්ෂම බව මෑතදී කර ඇති විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු වී ඇත. මේ ආකාරයට ලබාගෙන ඇති තොරතුරු මගින් පෙන්වා දෙන ආකාරයට, සූර්ය විකිරණ වර්ණාවලියේ 45% පමණ, ප්‍රභාසංස්ලේෂණය සඳහා හිතකර කිරණ අඩංගුවේ. එහෙත් විද්‍යාත්මකව ගණනය කර ඇති ආකාරයට ශාකවල සියලුම පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා ප්‍රයෝජනයට ගැනෙනුයේ සුර්ය විකිරණයෙන් 3% සිට 6% වැනි අඩු ප්‍රතිශතයක් පමණකි. මෙසේ වීමට හේතු වනුයේ ශාකවල ජීනොම (genome) සැකැස්ම අනුව, සීමාසාධක බලපෑමක් ඇතිවී තිබෙන නිසාය. මෙම සාධක අතර සූර්ය කිරණ පරාවර්තනය වීම කාලගුණය අනුව සිදුවන වෙනස් වීම්, ශාකවල ස්වසන ක්‍රියාවලිය වැනි බාහිර සාධක මෙන්ම, DNA දාමවල ඇති, ගති ලක්ෂණ වලට අදාළ ජාන වල බලපැවැත්වෙන යම් අභ්‍යන්තර සීමාවන් ද ඇති බව නිරීක්ෂණය කර ඇත. මේ සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණ අනුව නව තාක්ෂණ ක්‍රමවේද මගින්, ශාක ප්‍රභාසංස්ලේෂණ වේගය ඉහල ප්‍රතිශතයකට නැංවිය හැකි බවට විද්‍යාගාර පරීක්ෂණ වලින් ඉතාමත් සතුටුදායක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවී තිබේ. 

මෙම නව පිවිසුම් මගින් විශේෂයෙන්ම: 
1.  මිනිස් පරිභෝජනය සඳහා ප්‍රයෝජනවත් වන භෝග වර්ග වල, ජීනෝම සංස්කරණ මගින් 
     ප්‍රභාසංස්ලේෂණ වේගය වැඩි කළ විට භෝග පලදාවද වැඩිකර ගැනීමෙන් ආහාර  
     සුරක්ෂිත භාවයද වැඩිදියුණු කර ගැනීම, 
2.  විශේෂයෙන්ම, ශාකවල මුල් පද්ධතියට ආදේශ කර ගත හැකි, නව ජීනෝම සංස්කරණ මගින් 
     සකස් කරගත හැකි DNA දාම වලට, නව හිතකර ජාන කෘතිමව එකතු කිරිමෙන්, මුල් පද්ධතිය 
     සංවර්ධනය කර ගැනීම මගින්, වැඩිපුර CO2 ප්‍රමාණයක් පසෙහි තිරකර ගැනීමටද අවස්ථාවක් 
     උදා කරගත හැකි වීම, 

යන වාසි සහගත කරුණු පිළිබඳව දැනට විද්‍යාඥයින්ගේ අවධානය යොමු වෙමින් පවතී. 
ශාකයක සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලිය භුමිය මතුපිට වැඩෙන ඕනෑම හරිත ශාකයක සිදුවන ස්වසනය සහ ප්‍රභාසංස්ලේෂණය වැනි ක්‍රියාවලි වලට සමගාමීව, තවත් අත්‍යාවශ්‍ය විවිධ ක්‍රියාවලි රාශියක්, ශාකයේ මුල් පද්ධතිය පිහිටා ඇති, භුමියේ පාංශු පරිසරයේදීද සිදුවේ. මෙහිදී ගැඩවිල් පණුවන්, පාංශු වටපණුවන් වැනි පියවි ඇසට පෙනෙන ජීවීන් මෙන්ම, හිතකර බැක්ටීරියා සහ දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීන්ද විශාල මෙහෙවරක් සිදු කරති. බොහෝවිට, පසෙහි ජීවත්වන මෙම ජීවීන් පෝෂණය ලබා ගන්නේ, දිරාපත් වෙමින් පවතින ඓන්ද්‍රීය ද්‍රව්‍ය ආහාරයට ගනිමින්ය. මේ නිසා හියුමස්, කොළ රොඩු වැනි ඓන්ද්‍රීය ද්‍රව්‍ය බහුලව අඩංගු පස, සරු පසක් ලෙස සැලකේ. මෙවැනි පාංශු පරිසරයක සිටින කුදු මහත් ජීවීන්, ශාක මුල් පද්ධතිය සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය අතර සිදුවන අන්තර් සම්බන්ධතා රාශියකින් එකට බැඳී පවතී. (මේ සමග ඇති රූප සටහන බලන්න) මෙසේ පවතින සබඳතා ගොඩ නැගී තිබෙනුයේ ශාක විසින් සිදු කරනු ලබන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය පාදක කර ගනිමින් බව නිරීක්ෂණය කර තිබේ. මේ නිසා ඉහත සඳහන් කළ ආකාරයට ශාක ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය වඩාත් ඉහල මට්ටමකට ගෙන ඒමෙන් සහ ශාකවල මුල් පද්ධතිය සංවර්ධනය කිරිමෙන්, හිතකර පාංශු ජීවීන් බහුතරයකට වඩාත් ප්‍රශස්ත වටපිටාවක් සකස් කර දීමට හැකිවේ. මෙසේ කළ විට, එම ශාකවලට වායුගෝලීය CO2 වැඩිවැඩියෙන් ග්‍රහණය කරගෙන පසෙහි තිරගත කර ගැනීමටත් හැකිවනු ඇත. ඒ සමගම, විශේෂයෙන්ම මිනිසාගේ ආහාරයෙන් වැඩි ප්‍රතිශතයක් සපයන, ධාන්‍ය භෝග වර්ග වල ප්‍රභාසංස්ලේෂණ වේගය වැඩි කිරීම මගින් පලදාව වැඩි කර ගැනීම නිසා ආහාර සුරක්ෂිතතාවයටද මග පෑදෙන බවද විශේෂයෙන් සඳහන් කළ හැකිය. ‘ජිනෝම සංස්කරණ’ ජෛව තාක්ෂණය දැනට දශක තුනකට පමණ ඉහතදී ලොවට හඳුන්වා දී ඇති, “ජාන විකරණය කරන ලද ජීවීන්” (genetically modified organisms - GMO) යන සංකල්පය යටතේ නිර්මාණය කරන ලද ආහාර වල ගුණාත්මක භාවය පිළිබඳව ජනතාව තුළ තරමක සැක සංකා ඇතිවූ හෙයින්, ඒවා ඉක්මණටම ජනප්‍රියතාවය අඩුවී ගොස්, දැනට බොහෝ දුරට නිෂ්පාදනයෙන් ඉවත් කර තිබේ. මීට පසු 2012 වසරේදී පමණ ඇමෙරිකානු ජීව විද්‍යාඥයින් දෙදෙනෙකු වන Jennifer Doudna සහ Emmanuelle Charpentier විසින් හඳුන්වාදෙන ලද “ජීනෝම සංස්කරණ” (genome editing) නව ජෛව තාක්ෂණ ක්‍රමවේදය ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී. ‘CRISPR/Cas9’ යන කෙටි යෙදුමෙන් දැක්වෙන මෙම තාක්ෂණය, “Clustered, Regularly Interspaced Short Palindromic Repeats and CRISPR-associated protein 9” යන සංකීර්ණ විද්‍යාත්මක නාමයකින් විස්තර කර තිබේ. 

 ඉතාමත් සංකීර්ණ මෙම තාක්ෂණයේ මූලධර්මය වනුයේ, යම්කිසි සුවිශේෂී අවශ්‍යතාවයක් සඳහා
තෝරාගන්නාලද ජීවියෙකුගේ, DNA දාමයක එක්තරා ස්ථානයක ඇති, ජීවියාට අවැඩක් සිදුවේයැයි හඳුනාගෙන තිබෙන (අනවශ්‍යයයි හැඟෙන) ජාන සමූහයක් ඉවත් කර, ඒ වෙනුවට අත්‍යාවශ්‍ය ආගන්තුක ජාන, එම ස්ථානයට බද්ධ කර සංස්කරණය කිරීමයි. 

මෙම ජෛව තාක්ෂණය හඳුන්වාදීම උදෙසා එම විද්‍යාඥවරියන් දෙදෙනාට 2020 වර්ෂයේ රසායන විද්‍යාව පිලිබඳ ‘නොබේල් ත්‍යාගය’ පිරිනමා ඇත. විද්‍යාත්මක සොයාගැනීමක් සඳහා ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙකු හවුලේ නොබේල් ත්‍යාගය ලබාගත් ප්‍රථම අවස්ථාව ලෙසටද මෙය ඉතිහාසගතවී තිබේ. මෙහිදී අපගේ අවධානය යොමු වනුයේ, CRISPR/Cas9 ජෛව තාක්ෂණය උපයෝගී කර ගනිමින්, ශාක ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම මගින් වායු ගෝලයේ අධික ලෙස එක්රැස්වෙමින් පවතින CO2 ඉවත්කිරීමත්, ඒ සමගම කෘෂි භෝග වල ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහාත් මෙම ක්‍රමවේදය භාවිතය ගැන විමසිලිමත් වීමත් සඳහාය. ආරම්භයේදී මෙම තාක්ෂණය භාවිත කර තිබෙන්නේ, බඩඉරිඟු (corn) වැනි පහසුවෙන් වගා කළහැකි, ඉක්මණින් පලදාව ලැබෙන ධාන්‍ය ශාක සංවර්ධනය සඳහාය. පසුව වී වගාව සඳහාත් යොදා සාර්ථක ක්ෂේත්‍ර අධ්‍යයන ප්‍රතිඵල ලැබී ඇත. CRISPR/Cas9 ජෛව තාක්ෂණය භාවිතයේදී, අදාළ ශාක ජීනොමයේ අඩංගු, යෝජිත පර්යේෂණය අනුව තීරණය වන ජාන හඳුනාගෙන, ඒවා කපා ඉවත් කර, බලාපොරොත්තු වන අභිවර්ධනයට හිතකර, ආගන්තුක ජානයක් එම ස්ථානයට බද්ධ කරනු ලැබේ. ජීනොමයේ කොටසක් කතුරකින් කපා ඉවත්කර, වඩාත් හිතකර කොටසක් ආදේශ කිරීම, නැතහොත් ‘කපා ඇලවීම’ (‘cut and paste’) වැනි අවස්ථාවක් ලෙස මෙම කාර්යය දැක්විය හැකිය. මේ නිසා මෙම සුවිශේෂී මෙවලම ‘රසායනික කතුරක්’ ලෙස සැලකිය හැකිය. ඉතාමත් සියුම් ආකාරයට සිදු කරනු ලබන මෙම ජාන සංස්කරණ ක්‍රියාවලිය මෙහි ඇති රූප සටහන මගින් සරලව පැහැදිලි කෙරේ. මෙහි දැක්වෙනුයේ, විස්තර කිරීමේ පහසුව සඳහා යොදාගත්, ජීනොමයක ඇති DNA දාම කොටසක රේඛාචිත්‍රමය (diagrammatic) සටහනකි. අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඉවත් කිරීම පිණිස හඳුනාගත්, එහි ඇති ජාන ගොනුවක් ‘A’ ලෙස නම් කර තිබේ. අහිතකර හෝ ඉවත් කළහැකියයි තීරණය කර ඇති මෙම අනවශ්‍ය ජාන ගොනුව කපා හැරීම සඳහා “CRISPR/Cas9 කතුර” භාවිත කෙරේ. 
 එසේ කපා ඉවත් කරන ‘A’ කොටස වෙනුවට, වඩාත් හිතකර වේයයි හඳුනාගෙන ඇති ආගන්තුක ‘B’ ජාන ගොනුව ලබාගෙන, කපා වෙන්කළ ස්ථානයට බද්ධ කර DNA දාමය සංස්කරණය කරනු ලැබේ. මෙසේ සංස්කරණය කරන ලද ශාක වලින් ලබාගන්නා බීජ ක්ෂේත්‍රයේ රෝපණය කිරීමෙන් පසු ලැබෙන ශාක පිලිබඳ අධ්‍යයන වලදී ලැබෙන ප්‍රතිඵල අනුව, එම බීජවල ගුණාත්මක භාවය පිලිබඳ තීරණයකට එළඹිය හැකිය. මේ ආකාරයට ශාක පත්‍ර මගින් කෙරෙන ප්‍රභාසංස්ලේෂණ ශීඝ්‍රතාව ඉහල නැංවීමට සමගාමීව, එම ක්‍රමවේදයම භාවිත කර, ශාක මුල් පද්ධතිය පසෙහි වඩාත් ගැඹුරට විසිරී යාමට හැකිවන ආකාරයට වර්ධනය කර ගැනීමටත් හැකි බව සොයාගෙන තිබේ. 

මෙසේ නිෂ්පාදනය කරගන්නා වඩාත් කාර්යක්ෂම ප්‍රභාසංස්ලේෂණයක් සිදුකරන බීජ භාවිත කරන ගොවියාට වැඩි අස්වැන්නක් ලැබීම නිසා ඔහුගේ අතමිටද සරුවී, මහත් ප්‍රබෝධයක් ලැබීමද මෙම ක්‍රමවේදයේ එක්තරා වාසියකි. ඒ සමගම වායු ගෝලයෙන් CO2 අති විශාල ප්‍රමාණයක් තිරකර භුගත කිරීමට සැලැස්වීම මගින් ගෝලීය උණුසුම්වීම පාලනය කිරීම සඳහා ඉවහල්වන අගනා මෙහෙවරක්ද සැලසේ. ඉදල් ඉරිඟු (Sorghum bicolor) ශාක වගාවක් යොදා ගනිමින් මේ සම්බන්ධව කරනලද පර්යේෂණ වල සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන බවද ප්‍රකාශයට පත්කර තිබේ. මෙම ක්‍රියාවලිය පියවරෙන් පියවරට සිදුකරනු ලබන ආකාරය මේ සමග ඇති සටහන මගින් විස්තර කළ හැකි ය. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මාන්ත සංවිධානයේ (FAO) තොරතුරු වලට අනුව ලෝකයේ රටවල් සියයක පමණ සිටින ජනගහනයෙන් මිලියන 750 ක පමණ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය වශයෙන් ගන්නා ධාන්‍ය වර්ගය ඉදල් ඉරිඟු වේ. ජිනෝම සංස්කරණය කරනලද මෙම කෘෂි භෝගය උදාහරණයක් ලෙස ගෙන එමගින් සිදුවන ශාක පරිවෘත්තීය ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි අවස්ථා තුනකින් දැක්විය හැකිය. මෙහි ඇති ගොවි බිමෙහි වායව පරිසරය සහ පාංශු පරිසරය පැහැදිලිව දක්වා තිබේ. හොඳින් සුර්යාලෝකය ලැබෙන නිසා ශාක සරුවට වැඩි ඇත. මේ ශාකවල ජාන සංස්කරණය කරනලද පුළුල් පත්‍ර මගින් සිදුවන උපරිම ප්‍රභාසංස්ලේෂණය මගින් වායුගෝලයේ CO2 වැඩි වැඩියෙන් ග්‍රහණය කරගනී. ප්‍රභාසංස්ලේෂණය මගින් තිර කර ගන්නා කාබන්, ජාන සංස්කරණය මගින් සංවර්ධනය කළ, පසෙහි ගැඹුරට වර්ධනය වී ඇති, මුල් මගින් පාංශු පරිසරයට ගෙනයනු ලැබේ. පාංශු පරිසරයේ ජීවත් වන විවිධාකාර ජීවීන්, ශාක මුල් පද්ධතිය සහ පස් අංශු අතර සිදුවන අන්තර්ක්‍රියා මගින් පසෙහි ඇති ඓන්ද්‍රීය ද්‍රව්‍ය වියෝජනය කර, ඒවා ප්‍රයෝජ්‍ය කාබනික සංයෝග බවට පත්කර පාංශු පරිසරයේ ස්ථිරව තැන්පත් කෙරේ.

ක්‍රමවේදයේ වර්තමාන තත්ත්වය 

 CRISPR/Cas9 ජීනොම සංස්කරණ තාක්ෂණය සොයාගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කළ Jennifer Doudna විද්යාඥවරිය විසින් ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයෙහි පිහිටුවා ඇති, ‘ජීනෝමික නවොත්පාදන ආයතනය’ (Innovative Genomics Institute - IGI) මගින් මෙම ක්‍රමවේදය තවදුරටත් සංවර්ධනය කර, විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍ර වල පර්යේෂණ කිරීම සඳහා සැලසුම් කර තිබේ. විද්‍යා පර්යේෂණ සඳහාද මුල්‍ය දායකත්වය ලබාදෙන, ඇමෙරිකාවේ ‘Chan Zuckerberg Initiative’ සංසදය මගින් වසර කිහිපයකට ඉහතදී, මෙම ආයතනයට, ජීනෝම සංස්කරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 11 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදී ඇත. ඒ අනුව එම ආයතනයේ ශාක ජනක විද්‍යාඥයින්, පාංශු විද්‍යාඥයින් සහ ක්ෂුද්‍රජීවී පරිසර විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින්, CRISPR/Cas9 ක්‍රමවේදය භාවිතයෙන්, අධිකතර ප්‍රභාසංස්ලේෂණ විභවයක් මෙන්ම පසෙහි ගැඹුරට වැඩෙන මුල් පද්ධතියක් සහිත භෝග විශේෂ නිපදවා, එම ශාක ප්‍රභේද වල බීජ ලොව පුරා ජනප්‍රිය කිරීම සඳහා සැලසුම් කර තිබේ. මෙම බීජ ගොවිබිම් වල වගාකර, CO2 ඉතා වැඩි ප්‍රතිශතයක් පසෙහි තිර කිරීමටද බලාපොරොත්තු වේ. නුදුරු අනාගතයේදී මෙම ශාක ලොව පුරා ප්‍රචලිත කර ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ මහා පෙරළියක් කලහැකිවන බවට ලකුණු පහල වෙමින් තිබේ. ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන විට, එම ප්‍රයත්නය මගින් ලබාගන්නා ජාන සංස්කරණය කරන ලද තිරිඟු, බඩ ඉරිඟු, ඉදල් ඉරිඟු, වී වැනි මිනිසාගේ ප්‍රියතම ආහාර සපයන කෘෂි භෝග වල බීජ, මහා පරිමාණයෙන් ලබාගෙන ලොවපුරා බෙදාහැරීමට පියවර ගැනීමටද මෙම ආයතනය බලාපොරොත්තු වේ. මෙසේ සැලසුම් කර ඇති ආකාරයට ලොව පුර මෙම සංස්කරණය කරනලද බීජ වලින් ලැබෙන ධාන්‍ය ශාක මගින්, වසරකට අමතර CO2 , ටොන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් වායුගෝලයෙන් ඉවත් කර පසෙහි තිරකර තැබීමට හැකිවනු ඇතැයිද අපේක්‍ෂා කෙරේ. 

මෙම නව පිවිසුම මගින් ආහාර සුරක්ෂිතතාවය සඳහා එක්සත් ජාතීන් විසින් හඳුන්වා දී ඇති චතුර්විධ මාන (dimensions) ලෙස සැලකෙන, උපයෝජ්‍යතාව (availability), පහසු ප්‍රවේශය (access), භාවිතය (utilisation) සහ ස්ථාවර භාවය (stability) යන සියලුම අවශ්‍යතා සපුරා ගතහැකි වන බවද, පෙරැයීම් කර තිබේ. මෙම කරුණු පිළිබඳව ගැඹුරෙන් සලකා බලන විට මෙම තාක්ෂණ ක්‍රමවේදය මගින්, සංස්කරණය කරනලද කෘෂි භෝග වලින් වැඩි පලදාවක් ලැබී ගොවියා ප්‍රබෝධමත් වීම, තම ප්‍රධාන ධාන්‍ය ආහාර අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකිවන බැවින් පාරිභෝගිකයා තෘප්තිමත් වීම, වර්තමාන මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ එක්රැස්වන CO2 සැලකියයුතු ප්‍රතිශතයක් ග්‍රහණය කර, භුමියෙහි තිරකිරිම මගින් ගෝලීය උණුසුම්වීම තරමක් දුරට හෝ අඩුකර ගැනීමට හැකිවීම වැනි පහසුකම් නිසා, මෙය ඉතාමත් ජනතා හිතවාදී ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය. 

දයාරත්න වීරසේකර dayawee2@yahoo.com

Sunday, 2 August 2026

ගවයින් සහිත ගොවිපල කර්මාන්තය, උග්‍ර පරිසර ගැටළුවක් විය හැකිය.

 

   මෑතදී කර ඇති ගණනය කිරීම්  අනුව, වායුගෝලය උණුසුම් වීමට මූලිකවන,  හරිතාගාර ආචරණය (Greenhouse effect) සිදුවීමේ ප්‍රධානතම සාධකයක් ලෙස මීතේන් (CH4) වායුව හඳුනාගෙන තිබේ. මේ අනුව බොහෝ ශාක භක්ෂක ක්ෂීරපායින් ගේ ආහාර ජීර්ණ වීමේ  අතුරු ඵලයක් ලෙස මීතේන් වායුව මුක්ත වීම, සැලකියයුතු පරිසර දූෂණ කාරකයක් ලෙස නම් කර තිබෙන නිසා, සත්ත්ව පාලන කටයුතු මහා පරිමාණයෙන් කරනු ලබන රටවලට මහත් ගැටළු සහගත තත්ත්වයක් උදාවී  ඇත. හරිතාගාර ආචරණය සිදු කරනු ලබන වායු සහ ඒවායේ බලපෑම පිලිබඳ සංසන්දනයක් පහත දැක්වෙන ආකාරයට වගුවකින් දැක්විය හැකිය. 


    හරිතාගාර   

   වායුවේ නම

රසායනික 

සූත්‍රය

වායුගෝලයේ            ක්‍රියාත්මක කාලය 

ගෝලීය උණුසුම් කිරීමේ විභවය 

කාබන් ඩයොක්සයිඩ්

CO2

වර්ෂ 30–95

1


මීතේන්

CH4

වර්ෂ 12

28

නයිට්රස් ඔක්සයිඩ්

N2O

වර්ෂ 121

295

ක්ලොරෝෆ්ලුරෝකාබන්

CCl2F2

වර්ෂ 100

10,200


මෙහි දැක්වෙන පරිදි කාබන්ඩයොක්සයිඩ් වායුව ඒකකයකින් සිදුවන හරිතාගාර ආචරණය මෙන්, 28 ගුණයක බලපෑමක්, මීතේන් වායුව නිසා සිදුවේ. (හරිතාගාර ආචරණයේ මිනුම් ඒකකය ලෙස භාවිත කරනුයේ CO2 ගිගා ටොන් ‘Gt’ එකක් මගින්  සිදුවන ගෝලීය උණුසුම් වීමයි. 1Gt = 10tons)  

විශේෂයෙන්ම ගවයින්ගේ ආහාර ජීර්ණයෙදී,  අදාළ පද්ධතිය තුළ සිදුවන, එම සතුන්ට ආවේණික, ආහාර පැසවීමේ යාන්ත්‍රණයේදී  හටගන්නා මීතේන් වායුව, ගුද මාර්ගය සහ මුඛය හරහා  පිටවන අතර, ජීර්ණයේ අපද්‍රව්‍ය ලෙස පිටකරන ගොම වියෝජනය වීමේදී, නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) සහ කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුවද මුක්තවේ. මෙම වායු අතුරෙන් N2O වායුව, කාබන්ඩයොක්සයිඩ් මෙන් 295 ගුණයක් පමණ බලවත්, ගෝලීය උණුසුම් වීමේ  දූෂක කාරකයක් ලෙස සැලකේ. ගෝලීයව සිදුවන හරිතාගාර වායු මුක්ත වීමෙන් 34.5 % ක් පමණ,  සත්ත්ව පාලන කටයුතු නිසා සිදුවන අතර, මෙයින් වැඩි ප්‍රතිශතයක් සිදුවනුයේ ගව පාලන කටයුතු වලදීය.  

     ආහාර ජීර්ණයේදී ගවයෝ  බහුලව මීතේන් වායුව පිටකරති.

ගවයින් අයත් වන්නේ ක්ෂීරපායි සත්ත්ව කුලයේ,  ගාත්‍රාවල කුර (hoofs), දෙකට බෙදී ඇති, Artiodactyla (even toed)  ගෝත්‍රයේ, Bovidae වර්ගයටය. මෙයින් ආසියානු ගවයා Bos indicus ලෙස නම්කෙරේ. ‘ආහාර වමාරා බුදින’ (cud chewing) භෝජන විලාසය සහිත ක්ෂීරපායි ශාක භක්ෂකයින් වන ගවයින්, එළුවන් සහ බැටළුවන් සහ තවත් සත්ත්ව විශේෂ කිහිපයක්ද  Artiodactyla ගෝත්‍රයට අයත් වෙති. මෙම ගෝත්‍රයේ සතුන්ගේ ආහාර මාර්ගයේ, අන්නශ්‍රෝතය, කුඩා අන්ත්‍රය සහ මහා අන්ත්‍රයට අමතරව  ‘මුල් ආමාශය’ (rumen), ‘දෙවන ජාලාකාර ආහාර බොක්ක’ (reticulum), ‘තුන්වැනි ආමාශය’ (Omasum) සහ ‘ජඨරාශය හෙවත් හතරවන ආමාශය’ (Abomasum)  යනුවෙන් සුවිශේෂී කොටස් හතරකට බෙදී තිබේ. වැඩුණු ගවයෙකුගේ මුල් ආමාශය ලීටර් 40 ක සහ හතරවන ආමාශය ලීටර් 7ක පමණ ධාරිතා සහිත බවද තවත් සුවිශේෂී ලක්ෂණ වේ. ගවයින්ගේ ආහාරය වන තණකොළ, පිදුරු වැනි ද්‍රව්‍ය වල සෙලියුලෝස් වැඩි ප්‍රතිශතයක් අඩංගු වේ. මේ නිසා ආමාශ සංකීර්ණයේ විවිධ කොටස් වලදී යම්කිසි රිත්මයකට අනුකුලව  සෙලියුලෝස්  ජීර්ණය සිදුවේ. තණබිමක උලා කන ගවයෙකු එක එල්ලේ පැය කිහිපයක් ආහාරයට ගන්නා තණකොළ, අන්නශ්‍රෝතය ඔස්සේ ගොස් විශාල මුල් ආමාශයේ තැන්පත්වේ.  



ඊට පසු, නිශ්චලව සිටින ගවයා, බිම දිගාවී හෝ සිටගෙන, මුල් ආමාශයෙන්, වරකට  ආහාර  විශාල ගුලියක් බැගින් වමාරා, මුඛයට වෑස්සෙන ඛේටය සමග හොඳින් මිශ්‍රකර, ටික වේලාවක් ආහාරය ඇඹරීමේ ස්වරූපයෙන් හක්කේ ඇති දත්වලින් හැපීමට පටන් ගනී. මෙම ක්‍රියාවලියේදී තද ගතියෙන් යුක්ත සෙලියුලෝස් තන්තු, කෙළ සමග  හොඳින් ඇඹරී සරල කාබෝහයිඩ්රේට සහ  ද්‍රාව්‍ය සීනි බවට පත්වීමෙන් පසු නැවතත් මුල් ආමාශය තුළට යැවේ. මුල් ආමාශයේ බහුලව පවතින ක්ෂුද්‍ර ජීවී සහ බැක්ටීරියාවන්ගේ  ක්‍රියාකාරිත්වය මගින්, ආහාර අර්ධ ජීර්ණ තත්ත්වයට පත්වේ. මීටපසු සිදුවන ‘ආන්ත්‍රික පැසවීම’ (enteric fermentation)  මගින් හටගන්නා, පහසුවෙන් අවශෝෂණය වන මේද අම්ල ගවයාට අවශ්‍ය ශක්තිය සඳහා ප්‍රයෝජනවත් වේ. එමෙන්ම ආහාර සමග මිශ්‍රවන ඛේටයේ ඇති බයිකාබනේට මගින් ආමාශය තුළ ආම්ලික ස්වභාවය ඇතිකර එහි  pH අගය  5 - 6 අතර තත්ත්වයේ තබාගනී. මින්පසු දෙවන, තුන්වන සහ හතරවන ආමාශ කොටස් වලදී විවිධ ජීර්ණ එන්සයිමද ආහාරයට එකතු වී, වැඩිපුර ඇති ජලය උරා ගෙන පෝෂණ කොටස් රුධිර පද්ධතියට අවශෝෂණය වීමෙන් පසු කුඩා අන්ත්‍රය සහ මහාඅන්ත්‍රය ඔස්සේ ගමන් කිරීමේදීද ජලය  තවදුරටත් අවශෝෂණය වී, අවසාන ඵලය වන ‘ගොම’ ගුද මාර්ගයෙන් පිටවේ.  මේ ආකාරයට බොහෝ වේලාවක් ආමාශ කුටීර සියල්ලේම පාහේ සිදුවන ආහාර පැසවීම නිසා අධික ලෙස හටගන්නා මීතේන් වායුව, ආහාර මාර්ගයේ පසු අග්‍රයෙන් ගොම සමග පිටවේ. මේ ආකාරයට ගවයින් විසින් වාතයට මුසු කරන මීතේන් හරිතාගාර වායුව, තදබල පරිසර දූෂකයකි. 

මේ ආකාරයට ගව ආමාශ පද්ධතියේ මීතේන් වායුව (CH4) නිපදවෙන්නේ  methanogens නමැති බැක්ටීරියා වැනි ජීවී විශේෂයක් මගින් සිදුකරනු ලබන නිර්වායු ස්වශනය මගින්, H2 සහ COඅතර සිදු  කරනු ලබන ප්‍රතික්‍රියාව මගින්ය.       2H2 + CO  → CH4 + O2

    ගව පාලන ක්‍රියාවලියේ ඉතිහාසය සහ වර්තමාන තත්ත්වය 

වසර 300,000 කට  පමණ අතීතයේ සිට Homo sapiens මානවයින් මිහිපිට ජීවත්වූ බවට පාශාණිභුත සාක්ෂි හමුවී තිබේ.  මෙම කාළ වකවානුවේ අවසාන කොටස වන, ක්‍රිස්තු පූර්ව 4000 සිට 2000 දක්වා විසිරෙන කාලය, නව ශිලායුගය (neolithic) ලෙස හැඳින්වේ. මෙම යුගයේදී ආරම්භවූ සත්ත්වපාලනය, කෘෂි කර්මාන්තය සහ සහ එම කටයුතුවලට අදාළ කුඩා ගෝත්‍රික සමාජ බිහිවීම වැනි සුවිශේෂී ක්‍රියාකාරකම් කිහිපයක් නිසා, එම කාලය මානව ජීවන රටාවේ හැරවුම් ලක්ෂ්‍යයක ආරම්භය වූ බව සැලකිය හැකිය. මෙම යුගයේ සත්ත්ව පාලන කටයුතුවල මූළාරම්භය වූයේ ගව පාලනයයි.

ඉන්දියන් උප මහාද්වීපය ලෙසද හැඳින්වෙන දකුණු  ආසියාතිකයේ සහ එකළ ‘සශ්‍රීක අඩසඳ භුමිය’ (Fertile crescent) ලෙස අන්වර්ථ නාමයකින් හැඳින්වූ ඉරානය සහ තුර්කිය අවට ප්‍රදේශයේද සමකාලීනව, මිනිසාගේ ආහාර සහ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ගවයින්   ඇතිකිරීම, ආරම්භ කර ඇති බව ඓතිහාසික තොරතුරු වලින් හෙළි වේ. ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල ඇතිකළ ගවයින්, ඝර්ම කලාපිය දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයට අනුවර්තනය වී ඇති අතර, ඇනටෝලියාව ලෙස ප්‍රසිද්ධියට පත්, ඉරාන / තුර්කි ප්‍රදේශයේ ඇතිකළ ගවයින් එම කලාපයේ සෞම්‍ය දේශගුණයටත් ක්‍රමක්‍රමයෙන් අනුවර්තනය වී තිබේ. අප්‍රිකානු රටවල අධි කර්කෂ දේශගුණයටද ඔරොත්තු දීමේ හැකියාවක් ඇති ගවයින්ද සිටින්නට ඇති බව, ජනක විද්‍යාත්මක පර්යේෂණ මගින් හෙළිවී ඇත.


ඉන්දියානු උප මහාද්වීපයට අයත් රටවල ජනතාව, ගව දෙනුන්ගෙන් ලැබෙන  මහඟු පෝෂ්‍ය ගුණයෙන් යුත් කිරි, ආහාරයක් සඳහා ගැනීමටත්  විවිධ සූප කටයුතු සඳහා කිරි යොදා ගැනීමටත් පුරුදුව සිටියහ. මේ සඳහා කිරිවලට අමතරව  කිරි භාවිතයෙන් සකස් කර ගන්නා, පස්ගෝරස ලෙස හැඳින්වෙන  කිරි, දීකිරි, ගිතෙල්,වෙඬරු සහ මෝරු දැනටද ඉන්දියාවේ සුලභ, ප්‍රණීත ආදේශ කිරි ආහාර ලෙස  දැක්වේ. දැනට ඉන්දියාව ලෝකයේ කිරි ආහාර නිෂ්පාදනය අතින් පළමු ස්ථානය ලබා ඇති බවද හෙළිවේ. කිරි නිෂ්පාදන කටයුතු වලට අමතරව මෙම රටවල කෘෂිකාර්මික කටයුතුවලදී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහාද ගවයින් ප්‍රයෝජනයට ගනු ලැබේ. හින්දු සහ බෞද්ධ සංස්කෘතිය මුල් බැසගෙන ඇති, මෙම රටවල, අවිහිංසාවාදී දිවි පෙවෙත නිසා, මුල් වකවානුවලදී, මස් සඳහා ගව ඝාතනය ඉතාමත් සීමිත වශයෙන් කරන ලදී. කෙසේ වෙතත් 20 වන ශත වර්ෂයේ අවසානයේදී ජනගහන වර්ධනය, පෝෂ්‍ය ආහාර හිඟය සහ ආර්ථික සංවර්ධනයේ නව මෙහෙයුම් වලට පිවිසුම, වැනි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියාවේ ගවපාලනය, මස් නිෂ්පාදනය සඳහාද යොදවා තිබේ. මේ වන විට ඉන්දියාවද මාංශ නිෂ්පාදන ආනයන කරන ප්‍රමුඛ රටක් බවට පත්වී ඇත. මේ අතර ඇනටෝලියානු ප්‍රදේශයේ රටවල, මුල සිටම  ගවපාලනය මගින් කිරි නිෂ්පාදනය මෙන්ම, ගවමස් නිෂ්පාදනයද, ප්‍රබල කර්මාන්තයක් බවට පත්වී තිබේ.

නව ශිලායුගය අවසානයේදී කෘෂිකාර්මික සංවර්ධනයත් සමග ලෝහ වර්ග භාවිතය සහ ආයුධ නිෂ්පාදනයත් ආරම්භවිය. මේ වනවිට පෘථිවි මිනිස් ජනගහනයද ක්‍රමක්‍රමයෙන් වැඩි වන්නට විය. WorldOmeter’ නම් ලෝක ජනගහන තොරතුරු වාර්තා කරන ආයතනයේ දත්ත අනුව අනුමාන කර ඇති පරිදි, ක්‍රිස්තු පූර්ව 1000 වන විට පැවතියේයයි සිතිය හැකි  මිලියන 110 පමණ වූ ලෝක ජනගහනය ක්‍රිස්තු වර්ෂ 500 වනවිට මිලියන 253 පමණ වී තිබේ. මේ අනුව ජනගහනය දෙගුණ වීමට වසර 1500 ක් පමණ ගතවී ඇත. ක්‍රිස්තු වර්ෂ 1900  වනවිට ලෝක ජනගහනය බිලියන 2.5 ක් වූ අතර වසර 2000 දී බිලියන 6.2 පසුකර, 2022 වර්ෂය අගදී බිලියන 8.0 සීමාවද ඉක්මවා තිබේ. මෙම යුගයේදී (1900 - 2022)  වසර 122 තුළදී,  ජනගහනය තුන් ගුණයකින්  වැඩිවීම, පෘථිවියට ඔරොත්තු නොදෙන තරමේ පීඩනයක් ඇතිකර තිබේ.    

        

ජනගහන වර්ධනයත් සමගම  කෘෂිකාර්මික කටයුතු, සත්ත්ව පාලනය, කර්මාන්ත ආරම්භ කිරීම, ගමනාගමන පහසුකම්, නව පරිභෝජන ක්‍රමවේද  වැනි මිනිස් ක්‍රියාකාරකම්ද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. ජනගහන වර්ධනයත් සමගම,  ඔරොත්තු දීමේ සීමා මායිම්  ඉක්මවා යන තරමට සත්ත්ව පාලනය සංවර්ධනය වීම නිසා ලෝකයේ රටවල් කිහිපයකම මිනිස් ගහනය මෙන් දෙතුන් ගුණයකට ආසන්න වන තරමට ගව ගහනය වැඩිවන්නට වී ඇත. දකුණු ඇමෙරිකාවේ උරුගුවේ, ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය යන රටවල සහ නවසීලන්තයේ, සංඛ්‍යා ලේඛන අනුව,  වර්තමානයේ මිනිස් ගහණයට වැඩියෙන් ගව ගහණය ඇති බව වාර්තාවේ. මෙම රටවලින් උරුගුවේ රටෙහි  මිනිස් ගහණය මෙන් තුන් ගුණයක් සහ නවසීලන්තයේ  මිනිස් ගහණය මෙන් දෙගුණයක් ගවයින් සිටින බවට මෑතදී වාර්තා විය. මෙම රටවල ජාතික ආදායමෙන් සැලකියයුතු ප්‍රතිශතයක් ලැබෙනුයේ ගවමස් සහ මස් ආශ්‍රීත නිෂ්පාදන වලිනි.


   ගව තණබිම් නිසා  භූමියෙන් විශාල කොටසක් අපතේ යයි  


     ගවයින් විසින් මුක්ත කරන මීතේන් ප්‍රමාණය අඩුකර ගත හැකිද ?

හොඳින් වැඩුණු ගවයෙකු විසින් ‘ආන්ත්‍රික පැසවීම’ මගින් දළ  වශයෙන් දිනකට මීතේන් ලීටර් 300 පමණ (ග්‍රෑම් 150 පමණ) නිපදවා  වායු ගෝලයට මුක්ත කෙරේ. මෙවැනි සතුන් බිලියන දෙකකට වැඩි සංඛ්‍යාවක් සිටින පෘථිවියේ,  වායු ගෝලයට මුක්ත වන මීතේන් ප්‍රමාණය කෙතරම් වේදැයි සිතා ගත හැකිය. පෘථිවියට සුර්යාලෝකයෙන් ලැබෙන තාපය නිසා, වායු ගෝලයේ හටගන්නා අමතර උණුසුම් භාවය, ආපසු අවකාශයට පරාවර්තනය වීම සීමා කිරීමේ ප්‍රධාන සාධකය වනුයේ මීතේන් වායුවයි. මේ නිසා හරිතාගාර වායුවක් වන මීතේන් නිසා සිදුවන ගෝලීය උණුසුම් වීම, ගැඹුරෙන්  සලකා බැලිය යුතු සංසිද්ධියකි. මස් සහ වෙනත් සත්ත්ව නිෂ්පාදන සඳහා ඇති ගෝලීය ඉල්ලුම දිනෙන් දිනම වැඩි වන බැවින්, ගවයින් මුක්ත කරන   මීතේන් නිසා සිදුවන පාරිසරික හානිය ගැනද සිත් යොමු කර, ඒ පිලිබඳ  ධරණිය නැඹුරුවක් සහිත විසඳුම් සෙවීම අනිවාර්ය වී තිබේ.  විවිධ පරිසර සංවිධාන මගින්, මේ වෙනුවෙන් ගතහැකි සාධාරණ පියවර කිහිපයක් මෙසේ  ඉදිරිපත් කර ඇත.

  1. මස් අනුභවය අඩුකිරීම සහ එහි වැදගත්කම ගැන ජනතාව දැනුවත් කිරීම . 

  2. ගව පාලනයේදී, නව තාක්ෂණ ක්‍රමවේද මගින් මීතේන් හටගැනීම පාලනය කිරීම.

  3. පරිසර සංරක්ෂණය පිලිබඳ තිරසාර විසඳුම් සහිත, නව ක්‍රමවේද ඔස්සේ සත්ත්ව පාලන කර්මාන්තය නවීකරණය කිරීම.

                                                 

අධික වශයෙන් මස් මාංශ ආහාරයට ගැනීමට පෙළඹීම  සහ එමගින් සිදුවිය හැකි පාරිසරික හානි පිළිබඳව, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයයේ, ‘ආහාර තාක්ෂණ උසස් ඉංජිනේරු මධ්‍යස්ථානයේ’, පර්යේෂණ නිලධාරිනියන් දෙදෙනෙකු වන, Diana සහ Dora විසින් පළකර ඇති ‘ගෝලීය හදිසි අවශ්‍යතාවය සඳහා ආහාර’ (Food in a Planetary Emergency) නමැති පොතෙහි මෙසේ සඳහන් කර තිබේ. “දැනට පෘථිවි වායු ගෝලයේ තිබෙන  හරිතාගාර වායු වලින් තුනෙන් එකක් පමණ හටගෙන ඇත්තේ, ලෝකයේ වර්තමාන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නිසාය. එමෙන්ම, ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව   වනාන්තර හෙළි කිරීම නිසා, වනජීවීන්ද  විශාල සංඛ්‍යාවක් වඳවී යාමටත් තුඩු දී තිබේ.” 

මෙම පොතෙහි  තවදුරටත් විස්තර කරන ආකාරයට, “සත්ත්ව පාලනය ඇතුළු කෘෂිකාර්මික කටයුතු නිසා, ජෛව විවිධත්ව හායනය, වනාන්තර සහ සවානා තණබිම් විනාශය, ප්ලාස්ටික් මගින් පරිසර දූෂණය, ගෝලීය පාංශු නිසරු භාවය, අධිකතර මිරිදිය අපතේ යාම සහ ජීවී විශේෂ අනිසි ලෙස  භාවිතය වැනි ක්‍රියාකාරකම් රාශියක් මගින් පරිසරය කෙරෙහි ඇතිකර තිබෙන  අධි පීඩනය බලගතු ව්‍යසනයක් වී තිබේ.”

මෙම විනාශකාරී තත්ත්ව මග හරවා ගැනීම සඳහා  ආහාර සුරක්ෂිත තාවය  සහ ආහාර ඇසුරුම් සඳහා වඩාත් පරිසර හිතකාමී ක්‍රමවේද භාවිතය ගැනද පොතෙහි සිත් යොමු  කර තිබේ. මිනිසාගේ ආහාර පරිභෝජන රටාවට පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි නව සංකල්පයක් පිළිබඳවද එම පොතෙහි සඳහන් කර ඇත.  සුඛනම්‍ය ආහාර රටාව’ (flexitarianism) ලෙස හඳුන්වා දී තිබෙන මෙම සංකල්පය “flexible” සහ “vegetarian”  යන වචන බද්ධ කර ලබාගත් අදහසකි. 

                                        සුඛනම්‍ය (flexitarian) ආහාර වේලක් 

ශාකවලින් ලැබෙන එළවලු, පළතුරු, රනිල භෝග නිෂ්පාදන, ධාන්‍ය සහ ඇටවර්ග වලට අමතරව, සත්ත්ව නිෂ්පාදන වන  මස් මාංශ, කිරි ආහාර සහ බිත්තර ආදිය ඉතාමත් සීමිත ප්‍රමාණයක් භෝජනය සඳහා  ගැනීම සුඛනම්‍ය ආහාර රටාව යන  සංකල්පයෙන් බලාපොරොත්තුවේ. මෙය තිරසාර මෙන්ම පහසුවෙන් අනුගමනය කළහැකි ආහාර රටාවක් ලෙසද  සැලකිය හැකිය. මෙයටම සම්බන්ධ කර ගත හැකි, අඩුම වශයෙන් සතියකට ආහාර වේල් එකක් හෝ දෙකක් ‘නිර්මාංශ’ වීමද ඵලදායි ක්‍රමවේදයක් ලෙස යෝජනා කර තිබේ. මේ මගින් මස් මාංශ ආහාර සම්පූර්ණයෙන්ම නතර නොකරන බැවින් සුඛනම්‍ය ආහාර රටාව, ශාරීරික සහ මානසික  සෞඛ්‍යයට හිතකර, පාරිසරිකහානි අවම කරන, සමාජ ආචාර ධර්ම වලට අනුකුල, ආර්ථික වාසිද සහිත නව පිවිසුමක් ලෙස සැලකිය හැකිය. 


ඉහත සඳහන් කළ පරිදී, නවසීලන්තයේ සත්ත්ව පාලන කර්මාන්තය සඳහා, (එරට  මිනිස් ගහණයට වඩා වැඩි සංඛ්‍යාවක්), මීතේන් පිටකරන සතුන් ඇතිකරන බැවින්  මෙම සතුන් විසින් ‘හරිතාගාර ආචරණය’ මගින් විශාල පරිසර හානියක් සිදුකරන බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා කටයුතු කිරීමට, රජය විසින් 2025 වර්ෂයේදී, ඒ සඳහා   සුවිශේෂී බද්දක් අයකිරීම පිණිස යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.  “Burp tax” ලෙස නම්කළ මෙම බද්ද මගින් බලාපොරොත්තු වූයේ, ගව පට්ටි වල සිටින සතුන්ගේ සංඛ්‍යාව අනුව මීතේන් වායුව මුක්ත කිරීම වෙනුවෙන් බද්දක් අයකර, එසේ ලැබෙන මුදල් ‘පරිසර සංරක්ෂණය පිලිබඳ තිරසාර විසඳුම්’ සඳහා යොදවා, මීතේන් මගින් සිදුවන පරිසර හානිය ක්‍රමක්‍රමයෙන් අඩුකර ගැනීමටය. (‘Burp’ යන වචනයෙන් හැඳින්වෙනුයේ ‘රාමතෙල්හැරිම’යි.) එහෙත් මෙම යෝජනාව සඳහා එල්ලවූ බලවත් ජනතා විරෝධය නිසා එම අදහස පසුව අත්හැර දමා තිබේ. 

කෙසේ වෙතත්, මෙම යෝජනාවෙන් පසු, මහා පරිමාණයෙන් ගව පාලන කර්මාන්ත වල නියැලෙන ව්‍යවසායකයන් විසින්,  2050 වර්ෂය  වනවිට, නිෂ්පාදන කටයුතු අඩාල   නොකරමින්ම,  ගවපට්ටි වල  මීතේන් මුක්ත, වීම ශුන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා නව තාක්ෂණ ක්‍රමවේද ආශ්‍රීතව  වහාම ක්‍රියාත්මක වන බවට පොරොන්දු විය. රජය මෙම පොරොන්දුවට එකඟතාව පළ කර, එම නවීකරණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික  සහාය සහ  සම්පත් දායකත්වය ලබාදීමට කැමති බවද ඔවුන්ට දන්වා සිටියේය. 


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පරිසර සංරක්ෂණ අංශය මගින් 2015, වර්ෂයේදී රටවල් 192 ක පමණ සහයෝගිතාව ඇතිව, සම්මත කරගන්නා ලද ඓතිහාසික ‘පැරිස් සම්මුතිය’ අනුව,  2030 වනවිට ගෝලීය උණුසුම් වීම, කර්මාන්ත විප්ලවය ආරම්භයට පෙර පැවති සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයේ සිට 1.5°C උපරිමය නොඉක්මවීම සඳහා පරිසර සංරක්ෂණ කටයුතු කළමනාකරණය කර ගන්නා  බවට ගිවිසුම් ගත වන ලදී. එහෙත් මේ වනතුරු එම පරිශ්‍රමය අඩක්වත් සාර්ථක වී නොමැති බව අසන්නට ලැබේ. නවසීලන්තයේ   ව්‍යවසායකයන් විසින්,  2050 වර්ෂය වනවිටවත් මෙම වැදගත් පියවර  ගැනීමට එළඹ සිටීම සතුටුදායක තීරණයකි.         


“Meat Free Monday” යන තේමාව යටතේ කරන ලද සමීක්ෂණයකදී, ගව මස් සහිත  මිනිසාගේ සංකීර්ණ ආහාර පරිභෝජනය නිසා උද්ගතවී ඇති ගැටළු පිළිබඳව, Reader’s Digest,  2026 පෙබරවාරි / මාර්තු කලාපයේ, “ඔබ දන්නවාද?” යන මාතෘකාවෙන් පළකර තිබුණු ගවමස් ආහාරයට ගැනීම සහ එයට අදාළ, පාරිසරික තොරතුරැ ස්වල්පයක් සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය. (Facts and figures courtesy of Meat Free Monday global initiative launched by Paul Mary and Stella McCartney to encourage people to have at least one plant based day of food a week,) 

  1. බොහෝ ජනප්‍රිය අතුරුපසක් ලෙස සැලකෙන, ගවමස් ‘බර්ගර්’  එකක් නිෂ්පාදනය සඳහා අඩුම වශයෙන් මිරිදිය ලීටර් 3000 පමණ වැය වන බව ගණනය කර තිබේ. 

  2. ගවපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා, තණබිම් සකස් කිරීම පිණිස, ලොව පුරා දළ වශයෙන්,  පැයකට හෙක්ටෙයාර්  100 ට ආසන්න වනාන්තර ප්‍රමාණයක් විනාශයට පත්වේ.

  3. ලෝකයේ භාවිතයට ගතහැකි භුමි ප්‍රමාණයෙන් තුනෙන් එකක්  පමණ ගවපාලන කටයුතු සඳහා යොදවා තිබේ.

  4. ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව, වායුගෝලයට මුක්ත වන හරිතාගාර වායු වලින් 14.5%  ක්  හට ගන්නේ, සත්ත්වපාලන කටයුතු නිසාය. (මෙය මීට වඩා බෙහෙවින් වැඩි බවත් එම ප්‍රතිශතය 34 % පමණ වන බව  වෙනත්  සමීක්ෂණ වලින් හෙළි වේ.)

  5. ‘The Worldwatch’ ආයතනයේ ගණනය කිරීම් වලට අනුව, ලෝකයේ ඇති මිරිදිය සැපයුම් වලින්, 70% ක් පමණ කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවේ. (මෙයින් තුනෙන් එකක් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහාය.)

  6. 2020 වර්ෂයේදී, Oxford විශ්ව විද්‍යාලයයේ කර ඇති සමීක්ෂණයකට අනුව, ෆොසිල ඉන්ධන දහනය මගින් සිදුවන අහිතකර හරිතාගාර වායු මුක්ත වීම, වහාම නතර කිරීමට කටයුතු සැලැස්වූවත්, මිනිසා හරිත ශාක වලට වඩාත් නැඹුරුවක් ඇති භෝජන රටාවකට, මාරු වුවහොත් මිස, ගෝලීය උණුසුම් වීම, ආරක්ෂාකාරී පහත මට්ටමකට ගෙන ඒමට නොහැකිය.

  7. ගව මස් කිලෝග්රෑම් එකක් නිෂ්පාදනය සඳහා, ධාන්‍ය කිලෝග්රෑම් 12 ක් පමණ වැයවේ. 

  8. මේ වනවිට ලෝකයේ ජනතාව මිලියන 800 ක් පමණ, සාගින්නෙන් සහ මන්ද පෝෂණයෙන් පෙළෙති. එහෙත් මෙම සංඛ්‍යාව මෙන්  තුන්ගුණයක ජනතාවගේ අවශ්‍යතාවලට යෙදවියහැකි ධාන්‍ය ප්‍රමාණයක් ලොව පුරා ගව, ඌරු සහ කුකුළු ගොවිපලවල සිටින සතුන්ගේ   ආහාර ලෙස භාවිත වේ. 

  9. කෙනෙකු, සතියකට එක්  ආහාර වේලක් නිර්මාංශ වුවහොත්, ඔහුගේ මෝටර් රථය මාසයක් ධාවනය නොකර සිටීම වැනි ආකාරයකට,  තම වාර්ෂික ‘කාබන් පා සටහන’ (carbon footprint), අඩු කර ගත හැකිය !

  10. ලෝකයේ කෘෂිකාර්මික භුමි වපසරියෙන්, 60%  පමණ යොදවනුයේ ගව මස් නිෂ්පාදනය සඳහාය. එසේ වුවද ගව මස් වලින් සැපයෙනුයේ, සමස්ත ජනතා ප්‍රෝටීන අවශ්‍යතාවෙන් 5% කට වඩා අඩුවෙනි. එසේම එයින් ලැබෙනුයේ නියමිත ශක්ති (කැලරි) අවශ්‍යතාවෙන් 2% පමණකි.

දයාරත්න වීරසේකර            

dayawee2@yahoo.com

 

July 2026