Thursday 29 December 2022

මාගේ 200 වන Blog සටහන

මා පළමු බ්ලොග් සටහන ලියා පළ කළේ  2016 දෙසැම්බර් මස මුල් සතියේය. මේ වන විට එම ව්‍යායාමයට වසර හයක් සම්පුර්ණ වී තිබේ. 2022 වසර අවසන් වීමට කලින් මාගේ 200 වන බ්ලොග් සටහන කෙසේ හෝ පළකළ යුතු බවට දැඩි අධිෂ්ඨානයක්ද සිතේ  තිබුණි. මේ සඳහා වෙනත්ම මාදිලියක බ්ලොග් සටහනක් ලිවීම අවශ්‍ය විය. මේ නිසා, ඒ සඳහා තෝරා ගත්තේ  වෙනත් වර්ෂ වලට වඩා වෙනස් ආකාරයක ව්‍යාකුල බවක් නිරතුරුවම දකින්නට ලැබුණු 2022 වර්ෂයේ තොරතුරු කිහිපයකි.. 

මේ සඳහා 2022 වර්ෂයටම ආවේණික ලක්ෂණ කිහිපයක් ගැන මුලින්ම සිත් යොමු කළෙමි 

තව පැය කිහිපයකින් 2022 වසර අවසන්වී ගොස් සදහටම මතකයෙන් ඉවත් වනු ඇත. අවසන්වන මෙම වසර කුතුහලය දනවන වෙනත් බොහෝ දේ සිදුවූ වසරක් ලෙසද  සැලකිය හැකිය. මෙවැනි සිද්ධි කිහිපයක් ඉතාමත් සරල ආකාරයකට මෙනෙහි කිරීම මෙම බ්ලොග් සටහනේ දෙවෙනි අරමුනයි. 

2022 වසරේ පෙබරවාරි 22 දින ඉතාමත් සුවිශේෂී දිනයක් ලෙස සැලකිය හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේදී එම දිනය දැක්වෙනුයේ 2 / 22 / 22  ලෙසටය.   2 ඉලක්කම් වලින් පමණක් දැක්වෙන මෙම දිනය ඉංග්‍රීසියෙන් ‘TWOSDAY’ (දෙකේ ඒවා දිනය) යනුවෙන්ද නම්කර තිබේ  මෙහි තවත් අමුත්තක් වනුයේ 2022 පෙබරවාරි 22 දිනය ඇත්තවශයෙන්ම TUESDAY (අඟහරුවාදා)  දිනයක්ද  වීමයි.  මෙම දිනය දක්වන සටහනේ ඇති සිත් ඇද ගන්නාසුළු ලක්ෂණ නිසාම, එදින සැමරීම සඳහා විවිධ සමරු භාණ්ඩද නිෂ්පාදනය කර තිබේ  

 

2/22/22 දිනය සිහිවීම පිණිස නිෂ්පාදනය කර තිබෙන කෝප්පයක් 

භාවිතය අනුව මෙම දිනය  තවත් ආකාරයකින් 22/02/22 ලෙසද ලිවිය හැකිය. මෙහි දැක්වෙන ආකාරයේද යම්කිසි රටාවක් පෙන්නුම් කෙරේ. මෙම රටාව ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ palindrome ලෙසටය.  (a number or word that can be read the same way forwards and backwards is a palindrome ) මුල සිට අගටත් අග සිට මුලටත් එකම ආකාරයට කියවෙන වචන හෝ වාක්‍ය ඛණ්ඩ සහ අංක  මේ නමින් හැඳින්වේ. උදාහරණ:  ‘වඩුමඩුව’ , ‘රතුවතුර’, ගමටමග,  malayalam,  civic, radar, level, madam, refer, සහ 23532,  8001008 වැනි සංඛ්‍යා

22 / 02 / 2022   දිනය නව තාක්ෂණයේ ‘ඩිජිටල්’ ක්‍රමයේ ඉලෙක්ට්‍රොනික අංක වලින් දිස්   වනුයේ මේ ආකාරයටය. 

මෙහිද තවත් සුවිශේෂ ලක්ෂණයක් වනුයේ, එය උඩ   යටිකුරු කර සටහන් කිරීමේදීත්  එලෙසම දකින්නට ලැබීමයි. මෙම ලක්ෂණය ambigram ලෙස ඉංග්‍රීසියෙන් විස්තර කරනු ලැබේ. (An ambigram is a word, number, or other figure that looks the same or can still be read when viewed (or rotated) upside down.) පහත රූප සටහනේ වම්පස දැක්වෙන 22 02 2022 සමග ඇති සිරස් ඊතලයෙන් පෙන්වන්නේ  එය  සිරස්ව ඇති බවයි.  එහි දකුණු පසින් ඇත්තේ එම රූප සටහන උඩ  යටිකුරු කළවිට දකින්නට 

ලැබෙන ආකාරයයි. එසේ  කළවිටද අංක වල ඇසට පෙනෙන ස්වභාවයේ කිසිදු වෙනසක් දකින්නට නොලැබේ. මෙය  ambigram ලක්ෂණයයි  

මෙහි දැක්වෙනුයේ වම්  පැත්තේ ඇති සටහන සම්පූර්ණයෙන්ම අංශක 180 ක් කරකැවීමෙන් පසුවත් එහි අංක ඒ ආකාරයටම තිබෙන බවයි. බිංදුව සහ දෙක යන අංක දෙකෙහි ඩිජිටල් ව්‍යුහය නිසාම මෙම සුවිශේෂී ලක්ෂණය බලපා  තිබේ.

2022 වසරේ පෙබරවාරි 20 වන දින සිට ඉදිරියට පැවතී සම්පූර්ණ සතියේ සෑම දිනයක්ම දැක්වෙන ඩිජිටල් සංඛ්‍යා මාලාවම palindrome වීම තවත් විශේෂ ලක්ෂණයකි. මෙම ලක්ෂණය පහත රූ ප සටහනෙහි දැක්වේ. 

   

2022 වසරේ ඉතිහාසගත වන වෙනත් සිදුවීම්

මේ සමග ඇති ප්‍රශ්න මාලාවට ගැලපෙන තොරතුරු රූප සටහන් ආශ්‍රීතව සපයා ගැනීමෙන් වර්ෂය තුළ සිදිවු විවිධ සිද්ධි පිළිබඳව සමාලෝචනයක් කරගත හැකි වනු ඇත. (පිළිතුරු ලිපිය අවසානයේ ඇත)    



Q 1.   හිස් තැන පුරවන්න. 2022 නොවැම්බර් මාසයේදී ලෝක ජනගහනය බිලියන …………… ඉක්මවීය.

  1. හතක් 

  2. අටක් 

  3. නවයක් 

  4. දහයක්   



Q 2.  2022 ජූලි මාසයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කුමන රටක හිටපු අගමැති වරයෙක්ද? 

  1. ජපානයේ 

  2. චීනයේ 

  3. රුසියාවේ  

  4. දකුණු අප්‍රිකාවේ 

  


Q 3.  රුසියාව විසින් යුක්‍රේනය   ආක්‍රමණය කරන ලද්දේ 2022 වසරේ කවදාද ?

  1. ජනවාරි 22 දා 

  2. අප්‍රියෙල් 17 දා 

  3. මාර්තු 14 දා 

  4. පෙබරවාරි 24 දා 

 

Q 4. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ  රැජින, 2022 සැප්තැම්බර් මාසයේ අභාවප්‍රාප්ත වුයේ වසර ………… රාජ්‍යය කිරීමෙන් පසුවය.  (හිස් තැන පුරවන්න)

  1. 62 ක් 

  2. 46 ක් 

  3. 70 ක් 

  4. 50 ක්  



Q 5. එක්සත් රාජධානියේ අගමැති වරයෙකු සේවයේ යෙදී සිටි අඩුම කාලය 2022 දී විය. එම කාලය කොපමණද?

  1. මාස 2 කි.

  2. දින 18 කි.

  3. දින 95 කි. 

  4. දින 50 කි    

 

 

 

Q 6.   2022 වසරේ ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනු ලැබුවේ කුමන රටද?

  1. බ්‍රසීලය 

  2. ජර්මනිය 

  3. ආර්ජන්ටිනාව 

  4. ප්‍රංශය 

 

.Q 7.  2009 වසරෙන් පසු උපත ලැබූ අයට, 2022 වසරේ සිට දුම්වැටි අලෙවිය තහනම් කරන ලද්දේ කුමන රටේද?

  1. නවසීලන්තයේ 

  2. ජර්මනියේ 

  3. ප්‍රංශයේ 

  4. කැනඩාවේ 


Q 8.  මෙම වගන්තියෙන් දැක්වෙන අදහස හරිද? වැරදිද? - “ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක්, සාර්ථකව මිනිසෙකුට බද්ධ කරන ලද්දේ 2022 වසරේදී ය.” 

  1. හරි 

  2. වැරදි  

 


Q 9. 2022 වසරේ ශීත ඍතු ඔලිම්පීක් ක්‍රීඩා තරඟ පවත්වන ලද්දේ කුමන රටේද ?

  1. ඉතාලියේ කොර්ටිනා ඩි’අම්පෙසෝහි දී 

  2. ජපානයේ ටෝකියෝහි දී

  3. ස්වීඩනයේ ස්ටොක්හෝම්හි දී 

  4. චීනයේ බීජිංහි දී     

                                                                                                   


 Q 10.  අධික ජලගැලීම් නිසා, 2022 අගෝස්තු මාසයේදී මරණ දහසක් පමණ සිදුවූ බැවින් එම තත්ත්වය, “දේශගුණ ව්‍යසනයක්” බව ප්‍රකාශයට පත්කළේ….

  1. පාකිස්තානයයි.

  2. හයිටි රාජ්‍යයයි 

  3. ආර්ජන්ටිනාවයි 

  4. වියට්නාමයයි     


 


Q 11. විල් ස්මිත් නළුවා විසින් 2022 ඔස්කාර් ප්‍රදාන සිදුකළ අවස්ථාවේදී, කම්මුල් පහරක් එල්ල කරන ලද්දේ කාටද?

  1. කෙවින් හාර්ට් ට 

  2. වෙවිඩ් චැප්පෙල් ට

  3. ක්‍රිස් රොක් ට 

  4. ක්‍රිස් ටක් ට    


තොරතුරු අන්තර්ජාලය සහ පොතපත ඇසුරෙනි.