Tuesday 31 October 2023

විශ්‍රාමය යළි පිබිදීමක් කරගත හැකිද ?

 විශ්‍රාමය  යළි පිබිදීමක් කරගත හැකිද ?

වයස හැට පසුවීම නිසා  හෝ සේවයෙන්  විශ්‍රාම ලැබූ පසු,  ඔබට  යළිත්  සුන්දර ජීවිතයක් ආරම්භ කළ හැකිද? 

එසේ කළ හැකිය. එහෙත්  එය සැලසුම් කරගැනීම ඔබගේ කාර් යභාරයයි. බොහෝ අයට වයස්ගත වනවිට විවිධ සිත් තැවුල් වලට මුහුණ දීමට සිදුවේ. සෞඛ්‍ය තත්ත්වය  පිරිහීම සහ  අනාරක්ෂිත භාවය පිලිබඳ සිතිවිල්ල   මෙයට ප්‍රධාන වේ. එසේම “හිටියා වැඩියයි” තමන්ම සිතන වැඩිහිටියන්ට  ඔවුන්ගේ අදහස් උදහස් වලට නිසි ප්‍රතිචාර නොලැබීමද සිත්  තැවුල් වලට හේතුවක් විය හැකිය. එහෙත් මෙවැනි සිතිවිලි ගැන උපේක්ෂාවෙන් බලා  තමන්ගේ තරුණ කාලයත්, අද සමාජයත් අතර ඇති පරම්පරා පරතරය (generation gap)  සහ විශේෂයෙන්ම තාක්ෂණ දැනුම් පරතරය (technological gap)  නිසා තමන්ට ඇතිවන සීමාකාරී සාධක අමතක කළ යුතු වේ. මෙහිදී, ‘නොවෙනස් වන එකම දේ, වෙනස් වීම’ බව  මෙනෙහි කරමින් ජීවිතය ගැන  ධර්මා නුකුලව තේරුම් ගනිමින් ඒවායේ  හරයන්   කෙරෙහි දැඩි අවධානයක් යොමු කර සැනසුම් සුවයක් ලබාගත  හැකිය.


කෙනෙකුට වයස හැට පැනීමෙන් පසුව හෝ විශ්‍රාම ගැනීමෙන් පසුව, ප්‍රසන්න දිවි පෙවෙතක් ගත කරමින් සතුටින් සිටීම  සඳහා අනුගමනය කළහැකි  පිවිසුමක්  මෙසේ සටහන් කරමි. 


  1. “මම වයස්ගත කෙනෙකු වෙමි” යයි කිසිවිටක කියන්නට හෝ සිතන්නට එපා! 


ඕනෑම කෙනෙකුගේ  ‘වයස’ අවස්ථා තුනක්  ලෙස හඳුනාගත හැකිය. මේවා නම්: ජෛවීය වයස, කාලානුක්‍රම වයස සහ මානසික වයස වේ.

ජෛවීය වයස: කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වා, බොහෝ පෞද්ගලික ලියකියවිලි වල සටහන් වන වයසයි. මේ ගැන අපට කිසිම පාලනයක් නොමැත.

කාලානුක්‍රම වයස: නිගමනය වනුයේ කෙනෙකුගේ සෞඛ්‍ය තත්වය, පෝෂණය, ව්‍යායාම් ලැබීම, ප්‍රසන්න භාවය සහ යහපත් සහ ගැලපෙන ජීවිත ක්‍රියාකාරකම් මත වේ. මෙය අපට ධනාත්මකව සැලසුම් කර ගත හැකිය.

මානසික වයස:  මෙය නිර් ණය වනුයේ තමන්  කෙතරම් වයස් ගත දැයි ඔබ සිතන ආකාරයටය. ධනාත්මක සිතුවිලි, ක්‍රියාකාරී දිවි පෙවෙත, ශුභවාදී ආකල්ප ආදිය මගින් මානසික වයස බොහෝ දුරට ආපසු හරවා ගත හැකිය. 


  1. ඔබගේ සෞඛ්‍යය සඳහා  ප්‍රමුඛතාව දීම. 


ඔබ ඔබගේ දරු මුණුපුරන් හට ආදරයක් සහ ලැදියාවක් දක්වන්නේ නම්, ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු වේ. මෙසේ කිරීම පිණිස,  ඔබගේ යහපත්  සෞඛ්‍ය තත්ත්වයට  ප්‍රමුඛතාව දිය යුතුය. එවිට, ඔබ ඔවුනට ‘බරක්’ නොවනු ඇත. 

මේ ආකාරයට  ඔබ ඔවුන්ගේ ප්‍රිය මනාප සුමිතුරෙකු / සුමිතුරියක විය යුතුය. මෙසේ කිරීම සඳහා 

කලට වේලාවට වෛද්‍ය උපදෙස් ගැනීම, වෛද්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සහ නිර්දේශිත ඖෂධ නියමිත ආකාරයට  නොකඩවා ගතයුතුය.

හැකියාවක් ඇතොත් සෞඛ්‍ය රක්ෂණයකටද  දායක වන්න.  


  1. මිල මුදල් ගැන සැලකිලිමත් වීම 


ජීවිතයේ  මූලික අවශ්‍යතා සපුරාගැනීම පිණිසත්, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහාත්, පවුලේ ගෞරවය රැක ගනිමින් සුරක්ෂිත භාවයද ළඟාකර ගැනීමට මිල මුදල් අවශ්‍යය.  

හරි හම්බ කරන කාලයේ ලැබෙන තම ආදායමෙන් කොටසක් ඉතිරි කළ යුතුය. බෞද්ධ දර්ශනයේ (සිඟාලෝවාද සූත්‍රයේ)    දැක්වෙන පරිදි, කෙනෙකු තම ආදායමෙන් හතරෙන් කොටසක්වත්  අනාගතය සඳහා ඉතිරි කිරීම නුවණට හුරුය.  

කිසිමවිටක ඔබගේ හැකියාව සහ සීමාව ඉක්මවා වියදම් නොකරන්න.

ඔබ රැකබලා ගැනීම සඳහා ඔබගේ දරුවන් ඉදිරිපත්වන්නේ නම් එය මහත් ආශීර්වාදයකි. 

එසේ වුවත්, ඔබගේ අවශ්‍යතා සඳහා ඉතිරි කරගත් මිල මුදල් තිබිම  එයට  මහත් පිළිසරණක් වන්නේය.

ඉතිරි කළ මුදල් තිබීම  භාග්‍යයක් වුවත්, එය යම්කිසි සීමාවක තබා ගැනීමෙන්, වයස්ගත වීමේදී ඇතිවන  අවශ්‍යතා සඳහා නොමසුරුව මුදල් වියදම් කළ හැකිය. 


  1. ටිකෙන් ටික  බැඳීම් වලින්  අත්මිදීම.


දරු, මුනුපුරු. මිනිපිරියෝ ඔබට මහත් සැනසුමක් ගෙන දෙන අය වෙති. ඔව්හු තවමත් දිවිමග ආරම්භයේ හෝ එහි මඳ  දුරක් ගිය අය වෙති. 

ඔවුනට ඔබගේ සෙනෙහස මෙන්ම, ඔබටද ඔවුන්ගේ සෙනෙහස අවශ්‍යය. 

එහෙත් දිවිමග අවසාන ඉසව්වේ සිටින ඔබ, එම සෙනෙහස බැඳීමක් කර නොගැනීමට උත්සාහ කළ යුතුවේ.

ඔබ වයස මුහුකුරා ගොස් සිටියද,  නවීන ලෝකයේ බොහෝ දේ ඔවුහු  ඔබට වඩා දනිති. මේ නිසා ඔවුන් සමග අනවශ්‍ය වාද විවාද වලට පෙළඹීම නොමනා දෙයකි. 

සමහරවිට ආචාර ධර්ම වැනි අදහස් වලින් ඔබ ඉදිරියෙන් සිට දිනුම ලබාගත හැකිය. එහෙත් ඒ මගින් සබඳතා ව්‍යාකූලත්වයක් ඇතිවන්නේ නම් එය ඔබට පාඩුවකි.

මේ නිසා සෙනෙහස උපරිමයෙන් දීමට සහ ලබාගැනීමට උත්සාහ කරන්න. 


  1. ඔබට ඉතිරිව ඇති කාලය ඉතා අගනේය.


උදාවන සෑම දිනයක්ම අලුත් දිනයක් ලෙස සිතන්න.

“ඊයේ අවලංගු චෙක් පතකි. අද අත්පිට මුදල්ය. හෙට පොරොන්දු මුදලක් පමණකි” මෙම පාඨයේ අර්ථය අනුව සිතන්න.

එසේම,“ඊයේ ඉතිහාසගතය.  හෙට අභිරහසකි. සත්‍යය අද පමණකි.”  මෙම යථාර්ථයද මෙනෙහි කරන්න. 

තමන්ගේ යල්පැනගිය ජයග්‍රහණ  ගැන උදම්  අනමින් අනාගතය පුරෝකථනය කිරීමෙන් වලකින්න.

දිවිමගෙහි සිදුවන වෙනස් වීම් ‘සත්‍යය’ බව පමණක් මෙනෙහි කරමින් එයට අනුකූලතාවය දක්වන්න.


  1. සමාජයේ නව නැඹුරුව සහ දැක්ම ගැන සංවේදී වීම.  

 

නව තාක්ෂණයේ මහිමයෙන් ලොවපුරා මිනිස් ජීවන රටා සහ චින්තනය විවිධ ආකාරයට වෙනස්  වෙමින් පවතී. ‘වෙනස්වීම’ සදාකාලික ධර්මතාවයකි.

මෙය වැඩිහිටි අපට පිටුදැකිය නොහැකිය. අපටද වෙනස්වන තාලයට ‘නැටීමට’ සිදුවේ.

වෙනස් වීමේ ප්‍රසන්න දෙයට හිස නමමින් සතුටු වීමට උත්සාහ කරමු.

අප දරු මුණුපුරන් නව තාක්ෂණයේ ප්‍රවීණ හරඹ කරුවන් වී තිබීම ගැන අපගේ ප්‍රසාදය පළකරමු.


  1. ආත්මාර්ථකාමී බවෙන් මිදීම.


මිනිසා ස්වභාවයෙන්ම ආත්මාර්ථ සිතුවිලි සහිත කෙනෙකි. අපට දියුණුව සඳහා අතහිත දුන් අය කෙරෙහි භක්තියක් තිබිය යුතු බව සත්‍යයකි. කෙනෙකුට  උපකාරයක් කිරීමෙන් මානසික තෘප්තියක් ලබනු විනා ප්‍රති උපකාරය බලාපොරොත්තු  නොවිය යුතුය. 

ජීවිතයේ සැන්දෑ සමයේදී වුවද, ඔබගේ අත්දැකීම් සහ ලබා ඇති පුහුණුව උපයෝගී කරගනිමින් ඉතාමත් සරල මට්ටමේ හෝ පරෝපකාර කළ හැකිය.

මේ සඳහා ස්වේච්ඡාවෙන් කළ හැකි බොහෝ කටයුතු හඳුනාගත හැකිය. 



  1. වැරදි සිදුවී ඇතොත් ඒවාට සමාව දී අමතක කිරීම. 


ඉවසීම උතුම් මිනිස් ගතියකි. අපට පහසුවෙන්ම මෙම ගුණාංගය වැඩිදියුණු කර ගත හැකිය. කෙනෙකුගේ දුර්වලතාවයක් නිසා ඔබට සිත් තැවුලක් සිදුවී ඇත්නම් සමාව දී එය අමතක කළ හැකිය.

එවැනි සිත් තැවුල් යළි යළිත් මෙනෙහි කිරීමෙන් ඇතිවන පීඩාව නිසා හටගන්නා දුක්ඛ දෝමනස්ස අපගේ සෞඛ්‍යයටද අහිතකරය. ඒවා මුලිනුපුටා දැමිය යුතුය. 

එවැනි යටගිය සිද්ධි සහමුලින්ම අමතක කර සමාධිය භජනය කරමු.


  1. අන්තිම කැමැත්ත සැලසුම් කිරීම 


විශාල වශයෙන් දේපළ සහ මිල මුදල් හිමිකම් ඇති අයට මෙය ගැටළුවක් විය හැකිය. බොහෝ විට දේපළ නිසා අයිතිකරුගේ වියෝවෙන් පසුව පවුලේ අඬදබර සහ නොසන්සුන් කම් ඇති විය හැකිය. මේ නිසා ඒ පිළිබඳව සාධාරණ තීරණ ගෙන තිබීම  නුවණට හුරුය. 

මෙසේ කර තිබීමෙන් දරු මල්ලන් හට පසුව සුදුස්සක් කළ හැකිවේ. 

පවුලේ අය අතර  සාමය රැඳී පැවතීමට මෙම ක්‍රමය වැඩදායකය.


  1. අවසන් ගමනට බිය නොවීම.


මෙලොව උපත ලැබූ  සෑම සත්ත්වයෙකුටම මරණය නියතය. සෑම කෙනෙකුටම කර්මානුරූපව ලැබුණු ආයුෂ ප්‍රමාණයක් තිබේ. 

දශක හයක් හතක් ආයුෂ  විඳි ඔබ වාසනාවන්තයෙකි.

මේ නිසා කවදා හෝ එළඹෙන අවසන් ගමනට බිය නොවන්න.

ඔබගේ කලත්‍රයා හෝ දරු මල්ලන්ට වියෝව දරා ගැනීම අපහසු විය හැකිය.

ඔබට ඔවුන් හැර යාමට සිදුවූවත්, ඔවුන්ද තම තමන්ගේ  දිවි ගමන ඉදිරියට ගෙන යා යුතුය.

වියෝ දුක කලක් පැවත, කෙමෙන් තුනිවී යයි.

භෞතික ලෝකයේ කිසිවක් සදාකාලික නොවේ. මෙම සත්‍යය මෙනෙහි කර ගනිමු.


අන් අයගේ පිළිසරණ අවමවූ ජීවිතයක් ගතකර, වේදනාවෙන් තොර මරණයක්  ලැබීම, වාසනාවකි.


  

(ඉන්දියානු සිවිල් සේවයේ යෙදී සිට, වසර 104 ක් ආයු විඳ,  2018 වසරේදී අභාවප්‍රාප්ත වූ   V. K. Rao විසින් රචිත Aging gracefully කෘතිය ඇසුරෙනි.) 

 

 


Wednesday 11 October 2023

අපගේ ශරීරයේ ආශ්චර් යමත් "ප්‍රාථමික සෛල" හඳුනා ගනිමු.

 අපගේ ශරීරයේ ආශ්චර්යමත් ප්‍රාථමික සෛල’ (stem cells) හඳුනා ගනිමු.

අපගේ ශරීරයේ ඇති විවිධ අවයව සහ පටක නිර් මාණය වීම, මොළයේ සිට සංඥා සම්ප්‍රේෂණය, පෝෂණ ද්‍රව්‍ය  බෙදා හැරීම, ප්‍රජනනය  ආදී වශයෙන් දැක්විය හැකි විවිධ කාර් යය දහස්  ගණනක් සඳහා ක්‍රියාත්මක වන සෛල වර් ග දෙසියයක් පමණ තිබෙන බව නිරීක්ෂණය කර තිබේ. ශරීරය පුරාම ගලා යන තරලයක අන්තර් ගතවී  තිබෙන රුධිරය මෙයින් සුවිශේෂී සෛල විශේෂයකි. මෙම විවිධ සෛල ගැන විමසිලිමත් වීමේදී  ඒවා හටගන්නේ කෙසේද, කුමන අවයව වලද යන්න ගැන මූලික හැඳින්වීමක් අවශ්‍යය.  ශරීරයේ පටකවල සිදුවන  නොයෙකුත් කෘති ඉටු කරන, විවිධ සෛල රාශියක් ප්‍රති නිර් මාණය කිරීමේ හැකියාවක් ‘ප්‍රාථමික සෛල’ ලෙස නම්කර තිබෙන බහු බලැති (pluripotent) පාදක සෛල වලට තිබේ. මේ නිසා මේවා මගින් කෙරෙන  ප්‍රධානතම කාර් යය ලෙස සැලකිය හැක්කේ  ශරීරයේ බොහෝ අවයවවල නිෂ්ක්‍රීය වී  අභාවයට යන සෛල වෙනුවට නව සෛල නිපදවා පටක අලුත්වැඩියා කිරීමයි.

      ප්‍රාථමික සෛල සහ ඒවායේ සැකැස්ම 

ප්‍රාථමික සෛල වලින් හටගන්නා විවිධ සෛල මගින් නිර් මාණය වන පටක වර් ග කිහිපයක් පහත රූප සටහනෙහි දැක්වේ.

ප්‍රාථමික සෛල වර් ග දෙකක් ලෙස හඳුනා ගත හැකිය. ඒවා නම් : 

  1. කළල (embryonic)  ප්‍රාථමික සෛල 

  2. පරිණත (matured) ප්‍රාථමික සෛල  වේ 

මේ දෙආකාරයේම   ප්‍රාථමික සෛල (stem cells)  රෝපණය මගින්  අලුත්වැඩියා වන ශරීරයේ පටක, ඒවා ලබන්නාගේ ජාන සැකැස්මට සමාන ස්වරූපයක් ආරෝපණය කරගන්නා නිසා, ඒවාට ග්‍රාහකයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් විරෝධයක් එල්ල නොවේ. එමෙන්ම ප්‍රාථමික රුධිරාණු සෛල  ලෙස හැඳින්වෙන ඇටමිදුළු වලින් ලබාගන්නා පරිණත ප්‍රාථමික  සෛල වලට රුධිරයේ අඩංගු රක්තාණු, ස්වේතාණු  ආදී සියලුම රුධිර සෛල වර් ග වලට විභේදනය වීමේ හැකියාවක්ද තිබේ. මේ නිසාම ප්‍රාථමික සෛල, කෙනෙකුගේ ශරීරයේ තිබෙන මහත් ආශ්චර් යමත් ‘තැනුම් ඒකක’ (building blocks) ලෙස සැලකිය හැකිය. 

සාමාන්‍යයෙන් ක්‍ෂීරපායීන් වැනි ඕනෑම ජීවියෙකුගේ පුං සහ ජායා ජන්මාණු සංසේචනය මගින් හටගන්නා යුක්තාණුව තනි සෛලයකි. මෙම යුක්තාණුවෙන් හටගන්නා කළලයේ,  විකසනය වන කළල ප්‍රාථමික සෛල, (embryonic stem cells) කළලයේ අන්තර්ගත වන සියලුම පටක වර් ග නිර් මාණය  කිරීමට සමත් වේ. තනි සෛලයක් වන යුක්තාණුව විකසනයේදී මුලින්ම දෙකට බෙදේ. දෙවනුව සෛල හතරකට, තුන්වනුව සෛල අටකට  ආදී වශයෙන් ශීඝ්‍රයෙන් බෙදෙමින් බහු සෛලීය අවස්ථාවකට එළඹේ. මෙසේ මුලින් හටගන්නා සෛල  සියල්ලම ‘කළල ප්‍රාථමික සෛල’ වේ. පසුව මේ ආකාරයට බෙදෙන සෛල එකතු වීමෙන් පටක හට ගනී. කළල වර් ධනය  මුහුකුරා යනවිට පටක වර් ග යම්කිසි රටාවකට සම්බන්ධවී සුවිශේෂී අවයව නිර් මාණය කෙරේ. ඔනෑම අවයවයක ඇති පටකවල සාමුහික   කාර් යය සමායෝජනය මගින් එක්තරා නිශ්චිත කෘතියක් ඉටු කිරීම සඳහා විකසනය වේ.  මේ නිසා කළල ප්‍රාථමික සෛල බහුලව  හටගන්නේ ගර් භාෂය  තුළ වර් ධනය වෙමින් පවතින  කළලයේ බව තීරණය කළ හැකිය. 

වැඩුණු ජීවියෙකුගේ ජන්මානු සෛල (gametes) හැර, අන් සියලුම පටක වල, සාමාන්‍ය පරිණත ප්‍රාථමික සෛල (matured stem cells) සුළු වශයෙන් හෝ  යම්කිසි ප්‍රමාණයක් අන්තර් ගත වන්නේය. එම පටක වල කිසියම් ආකාරයකට අකර් මණ්‍ය වන සෛල වෙනුවට නව සෛල නිපදවා අලුත්වැඩියා කිරීම් මේවා මගින් සිදුවේ. උදාහරණයක් ලෙස, ශරීරයේ තුවාලයක් හටගත් විට, එය සුව කිරීම සඳහා, එම පටකයේ ඇති   පරිණත මූලික ප්‍රාථමික සෛල ක්‍රියාත්මක වේ.

සියලුම ප්‍රාථමික සෛල විශේෂිත නොවූ සෛල බැවින් ඒවා සියල්ලම ඒකාකාර ව්‍යුහයකින් යුක්තය. සාමාන්‍ය සෛලයක මෙන් මෙම සෛල වලද, සෛලප්ලාස්මය වටා සෛලපටලයක් තිබේ. සෛලප්ලාස්මය තුළ, න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්රියා, රයිබෝසොම් ආදී සියලුම සෙෙලීය ඉන්ද්‍රියිකා (organelles) අන්තර්ගත වේ. මෙම සෛල වලද  න්‍යෂ්ටියේ ඇති DNA සහ RNA, එම සෛල ප්‍රභේදනය වන විට ක්‍රියාත්මක වේ. ප්‍රාථමික සෛල වල තිබෙන, නව සෛල ප්‍රති නිර් මාණය කිරීමේ අපූර් ව ලක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් ඒවා අවශ්‍ය ආකාරයට හසුරුවා 

මිනිසාගේ සමහර රෝග සුව කිරීම සඳහා යෙදවිය හැකි බව අනාවරණය වී ඇති බැවින් අදාළ ක්‍රමවේද ප්‍රයෝගිකව භාවිත කිරීමට පියවර ගැනීම නිසා  වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් සිදුවෙමින් පවතී. 

       ප්‍රාථමික සෛල අතිශයින් වැදගත් වන්නේ මන්ද ?  

ඉහත දැක්වූ පරිදි විද්‍යාත්මක කටයුතු සඳහා භාවිතය පිණිස, ප්‍රාථමික සෛල වල එක් ප්‍රභේදයක් වන පරිණත ප්‍රාථමික සෛල, මිනිසාගේ පටක වලින්ම ලබාගැනීම සඳහා ක්‍රමවේද සොයා ගෙන තිබේ. මිනිසාගේ ශරීරයේ, මොළය, රුධිරය සහ රුධිර වාහිනී, පේශි, චර් මය, අක්මාව වැනි අවයව වල සුළු වශයෙන් ප්‍රාථමික සෛල පිහිටා තිබේ. සුවිශේෂී ක්‍රමවේද මගින් විද්‍යාත්මක කටයුතු සඳහාත්, අසාධ්‍ය රෝගීන්ගේ අකර් මණ්‍ය පටක හෝ අවයව ප්‍රකෘතිමත් කිරීම සඳහාත් මිනිස් සිරුරෙන් ලබාගන්නා ප්‍රාථමික සෛල යොදා ගනු ලැබේ. ශරීරයේ ශ්‍රෝණි මෙඛලාවේ උකුල් අස්ථියක ඇට මිදුළු වලින් ලබාගන්නා ප්‍රාථමික සෛල යොදා ගනුයේ රුධිරය ආශ්‍රීත රෝග නිවාරණය සඳහා පමණකි. නූතන තාක්ෂණ ක්‍රමවේද භාවිත කර මෙසේ ලබාගන්නා පරිණත ප්‍රාථමික සෛල මගින් ශරීර කොටස් අකර් මණ්‍ය වී දුක්ඛිත ජීවිත  ගතකරන බොහෝ රෝගීන්ට ජීවත්වීමේ වාසනාව ලඟාකර දී තිබේ. මෙසේ ප්‍රතිකාර කරනු ලබන්නේ, සුෂුම්නාව තුවාලවීම්, උග්‍ර දියවැඩියාව, පාර් කින්සන්ස් රෝගය, මාංස පේශි ක්ෂය වීම, ඇල්සයිමර් රෝගය, ආඝාතය (stroke), පිළිස්සීම්, පිළිකා සහ අස්ථි සන්ධි ප්‍රදාහය (osteoarthritis) වැනි ආබාධ වලින් පෙළෙන අසාධ්‍ය රෝගීන් සඳහාය. 

කලින්ද සඳහන් කළ පරිදි, මිනිසා වැනි උසස් ක්ෂීරපායී සතුන්ගේ ඩිම්බ සංසේචනය වී             ගර් භාෂයේ තැන්පත්ව  දින 4 සිට 7 දක්වා කාලය තුළදී යුක්තාණුව ශීඝ්‍ර සෛල විභාජනයකට පාත්‍ර වේ. මේ කාලය තුළදී බහු සෛලීය තත්ත්වයක පවතින කළල බ්ලාස්ටියුලාවේ (blastula)   සියලුම සෛල පාහේ කළල  ප්‍රාථමික සෛල (embryonic stem cells) වේ. ඉන්පසු එම ප්‍රාථමික සෛල කළල වර් ධනයේ විවිධ පටක ස්ථර සකස් කිරීමේ කාර් යය ආරම්භ කරයි. එහෙත් මෙසේ ලබාගතහැකි ප්‍රාථමික සෛල,  මිනිසාගේ විවිධ අවයව වල අකර් මණ්‍ය වන, සාමාන්‍ය කායික සෛල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගැනීම මතභේදයට තුඩු දී ඇති කරුණක් බවට පත්වී තිබේ. මීයන් සහ වඳුරන් වැනි ක්ෂීරපායීන්ගේ කළල  ප්‍රාථමික සෛල භාවිතයෙන් එම සතුන්ගේ කර තිබෙන   පර් යේෂණ අනුව සාර් ථක ප්‍රතිඵල ලැබී තිබේ. එහෙත් මිනිස්   කළල  ප්‍රාථමික සෛල  පර් යේෂණ සඳහා  යොදවා ගැනීම පිළිබඳව ආගමික සහ ආචාර ධර් ම පද්ධති වලට අනුකුලව තහංචි පැනවී තිබේ.

මිනිස් ‘කළල  ප්‍රාථමික සෛල’  පර් යේෂණ කටයුතු සඳහා භාවිතය පිලිබඳ තහංචි පැනවී ඇත්තේ, මිනිසාගේ සාමාන්‍ය කායික සෛලයක් සහ ජන්මානු සංසේචනයෙන් හට ගන්නා යුක්තාණුවක් අතර තිබෙන සුවිශේෂී ලක්ෂණයක් නිසාය. ජීව විද්‍යඥයින්ගේ මෙන්ම බොහෝ ආගම් පිලිබඳ විශේෂඥයින්ගේත්  මතය වනුයේ සාමාන්‍ය සෛලයක මෙන් නොව යුක්තාණුවක ජීවය (life) තිබෙන බවයි. මේ ආකාරයට ජීවය පවතින නිසා එයට වර් ධනයට සහ විකසනය වීමට හැකියාවක් ඇත. මේ නිසා මිනිස් ගර් භාෂය තුළ වර් ධනය වන යුක්තාණුවක් හෝ එයින් හටගන්නා කළලයක් ජීවියෙකි. නැතහොත් මිනිසත් බව ලැබීමට විභවයක් ඇති ව්‍යුහයකි.  එවැනි කළලයකින් ප්‍රාථමික සෛල ලබාගතහොත් කළලය ජීවිතක්ෂයට පත්විය හැකිය. මේ නිසා මිනිස් කළල ආශ්‍රීතව පර් යේෂණ කිරීම නීතියෙන් තහනම් කර තිබේ. එවැනි ක්‍රියාකාරකමක් මගින් ජීවය නැති කිරීම මනුෂ්‍ය ඝාතනයකි. දඬුවම් ලැබිය හැකි වරදකි. බොහෝ ආගම් වල මේ ගැන විශේෂයෙන් සඳහන් කර තිබේ. බුදු දහමට අනුව මෙය ප්‍රාණඝාත අකුසලය සිදුවීමට මූලික කරුණක් වේ. කතෝලික ආගමේ සංකල්ප අනුවද  ‘පිළිසිඳ ගැනීමේ සිටම ඉතාමත් සුපරීක්ෂාකාරීව ජීවය ආරක්ෂා කළ යුතුය’ (Life must be protected with the utmost care from the moment of conception) යනුවෙන් සඳහන් කර තිබේ

මිනිස් කළලයක ජාන වෙනස් කිරීමක් සම්බන්ධව චෝදනාවක් ලැබූ විද්‍යාඥයෙකුට සිර දඬුවමක් විඳීමට සිදුවූ බව චීනයෙන් වාර් තා වේ. මෙම සිද්ධිය ප්‍රාථමික සෛල  හා සම්බන්ධ සිද්ධියක් නොවුවත් එය මිනිස් කළලයක්  නීති විරෝධී  ලෙස අවභාවිතය ඔස්සේ ලැබූ සිර දඬුවමක් ලෙස සැලකිය හැකිය. එම සිද්ධිය මෙසේය. නව ජාන තාක්ෂණය අනුව ඒඩ්ස් රෝගය වැලැක්වීමට  අදාළ ජාන බද්ධයක් සඳහා මිනිස් කළල භාවිත කර සාර් ථක ප්‍රතිඵල පවා ලබාගත්, චීනයේ හී ජියන්කුයි (He  Jiankui)  නමැති ජෛව තාක්ෂණ විද්‍යාඥයෙකුට එරෙහිව පැවැත්වූ නඩු විභාගයකදී,  2018 දී  උසාවියක් මගින් වසර තුනක සිර දඬුවමක් නියම කර තිබේ. ඔහුගේ  පර් යේෂණ  කටයුතු වලදී කළල විනාශ නොවුවත්, විද්‍යා පර් යේෂණ ආචාර ධර් ම වලට පිටුපා මිනිස් කළල භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු වරද කරුවෙකු වී තිබේ.   

        ‘ප්‍රාථමික සෛල ප්‍රතිකාර’ ක්‍රමවේදයේ අනාගතය කෙසේ විය හැකිද ? 

විද්‍යා පර් යේෂණ හෝ වෛද්‍ය විද්‍යා කටයුතු වලදී, මිනිස් කළල ප්‍රාථමික සෛල භාවිතය පිළිබඳව පුළුල් නීති රීති මාලාවක්, අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය මගින්, 2009 වර් ෂයේදී පනවා ප්‍රකාශයට පත්කර තිබේ. මෙම නීති රීති වලට අනුව,  මිනිස්  කළල ප්‍රාථමික සෛල පර් යේෂණ කටයුතු වල භාවිතය සඳහා, තම ඩිම්බ කෝෂයේ හටගෙන  පරිණත වන ඩිම්බ සපයන කාන්තාවක්,  දායක කාන්තාවක් ලෙස නම් කෙරේ. එවැනි කාන්තාවකට  නිත්‍යානුකුල  ගිවිස ගැනීමකින්  පසු, අවශ්‍ය පරිණත ඩිම්බ පර් යේෂණ කටයුතු සඳහා ප්‍රදානය කළ හැකිය.  කාන්තාවන් විසින් කරනු ලබන  ප්‍රදානයන්ට  අදාළවද නීති රීති සහ නිර් දේශ රාශියක් ඉදිරිපත් කර තිබේ. 

මිනිස් කළල ප්‍රාථමික සෛල  පර් යේෂණ සඳහා ගර් භාශයකට පරිබාහිරව කෘතිමව සංසේචනය කර, කිසිසේත්ම  කාන්තා ගර් භාෂයක රෝපණය නොකරන ලද කළල පමණක් තෝරා ගැනීමට අවසර ලැබේ. මේ සඳහා දායක වන  කාන්තාවගේ පූර් ණ අනුමැතියද ලැබිය  යුතුය. මෙසේ ලබාගන්නා ප්‍රාථමික සෛල වර් ධනය සිදුකළ යුත්තේ බලයලත් විද්‍යාගාර වල පරීක්ෂණ නල හෝ පෙට්‍රි දීසි තුළ   ඇති ද්‍රාවණ වල (in vitro)  පමණකි.

වෛද්‍ය විද්‍යා කටයුතු වලදී සිදුකරනු ලබන ප්‍රාථමික සෛල චිකිත්සාව (stem cell therapy), පුනර් ජනනීය වෛද්‍ය ක්‍රමවේදය (regenerative medicine) ලෙසද හැඳින්වේ. මෙම ක්‍රම වේදය මගින් ගිලන් වූ, අකර් මණ්‍යවූ හෝ තුවාලවූ පටක ප්‍රකෘතිමත් කිරීම මගින් ඒවාට නව ජීවනයක් ලබාදෙන බැවින් ඒවා එසේ හඳුන්වනවා විය හැකිය. මේ ආකාරයට විවිධ කාර් යයන් සඳහා ප්‍රාථමික සෛල හැසිරවීම සඳහාද සැලසුම් සහ විධිවිධාන  තිබෙන බවද දැනගන්නට තිබේ. උදාහරණයක් වශයෙන්  හෘද පේශියක ආපදාවක් ඇති කෙනෙකුගේ හෘද පේශියට හෘද සෛල ලෙස විකරණය වූ ප්‍රාථමික සෛල  එන්නත් කිරීමෙන් ආපදාව තුරන් කළ හැකි වේ. 

චිකිත්සක ක්ලෝනීකරණය (Therapeutic cloning) යනුවෙන් හඳුන්වනු ලබන තරමක් සරල, කෙළින්ම ප්‍රාථමික සෛල භාවිතයේ ආචාර ධර් ම සීමාවන්ට අයත් නොවන ක්‍රමවේදයක් ගැනද පර් යේෂණ සිදු කරමින් පවතින බව වාර් තා වේ. මෙහිදීද, දායකත්වය නිත්‍යානුකුලව ප්‍රකාශ කරන ලද  කාන්තාවක් විසින් ලබාදෙන පරිණත  ඩිම්බයක් භාවිත කෙරේ. විද්‍යාගාරයේදී මෙම පරිණත  ඩිම්බයේ  න්‍යෂ්ටිය ඉවත්කර, ඒ වෙනුවට එම දායක කාන්තාවගේම සාමාන්‍ය කායික සෛලයක  න්‍යෂ්ටියක්  එම පරිණත ඩිම්බයට බද්ධ කරනු ලැබේ.  මෙසේ කළ විට පරිණත ඩිම්බයේ තිබුණු ජනක ද්‍රව්‍ය සංයුතිය සම්පූර් ණයෙන්ම ඉවත්වී යයි. ක්ලෝනීකරණය ලෙස දැක්වෙනුයේ මෙම ක්‍රියාවලියයි. මෙහි වැදගත්ම ක්‍රියාවලිය වනුයේ පරිණත ඩිම්බය සහ කායික සෛලය අතර සිදුවන න්‍යෂ්ටි හුවමාරුවයි. මෙසේ පරිණත ඩිම්බයෙන් ලැබෙන නව කායික න්‍යෂ්ටිය සහිත ප්‍රාථමික සෛලය ඒ වෙනුවෙන්ම සකස්කළ පෝෂණ ද්‍රාවණයක වර් ධනය වීමට සැලැස්වීමේදී  ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන පරිදි හසුරුවා ගත හැකි ප්‍රාථමික සෛල සමූහයක් ලැබේ. මෙසේ ලබාගන්නා ප්‍රාථමික සෛල කලින් සඳහන් කළ ආචාර ධර් ම පද්ධතිවල රාමුවට හසු නොවන බැවින් මේවා පර් යේෂණ සඳහා හෝ රෝග සුව කිරීමේ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධී නොවේ.

මෙසේ ලබාගන්නා ‘ස්වාධීන’ ප්‍රාථමික සෛල පිළිබඳ  පර් යේෂණ තවමත් පවතිනුයේ විද්‍යාගාර මට්ටමේ පමණකි. මේ ආකාරයට ක්ලෝනීකරණය කරන ලද ප්‍රාථමික සෛල මෙතෙක් මිනිසාගේ ශරීරයේ ආපදා සුව කිරීම සඳහා භාවිත කර නොමැති බව හෙළිවේ. කෙසේ වෙතත් විද්‍යාගාරවල මීයන් වැනි ක්ෂීරපායි සතුන් සඳහා කර ඇති පර් යේෂණ  වලදී මෙම ක්‍රමවේදයේ සාර් ථක ප්‍රතිඵල ලැබී තිබෙන බව ප්‍රකාශයට පත්කර තිබේ. මෙසේ ලබාගන්නා ප්‍රාථමික සෛල සියල්ලේම න්‍යෂ්ටිවල අඩංගු ජනක ද්‍රව්‍ය  දායකවූ කාන්තාවගේ සාමාන්‍ය කායික සෛලවල ඇති  ජනක ද්‍රව්‍ය වලට සෑම අතින්ම අනුරූප බැවින් මෙම ක්‍රමවේදය ක්ලෝනීකරණය ලෙස හැඳින්වේ. 

විශේෂයෙන්ම කළල ප්‍රාථමික සෛල භාවිත විරෝධය  සඳහා ඉදිරිපත් කර ඇති, සමාජයේ බල පැවැත්වෙන  ආචාර ධර් ම හෝ ආගමික පිළිගැනීම් වලටද නිසි ගෞරවයක් ලබාදෙමින්, ක්ලෝනීකරණ ක්‍රමවේදය සමාජගත වෙමින් පැවතීම සතුටුදායක ආරංචියකි. මෙම ආශ්චර් යමත් ක්‍රමවේද මගින්  වෛද්‍ය විද්‍යාවේ මහත් ප්‍රාතිහාර් යය  නුදුරු අනාගතයේදීම  දැකගත හැකිවන  බව නොඅනුමානය.

(ස්තුති පූර්වකව, අන්තර්ජාලය සහ පොත පත ඇසුරෙනි)