Tuesday 31 October 2023

විශ්‍රාමය යළි පිබිදීමක් කරගත හැකිද ?

 විශ්‍රාමය  යළි පිබිදීමක් කරගත හැකිද ?

වයස හැට පසුවීම නිසා  හෝ සේවයෙන්  විශ්‍රාම ලැබූ පසු,  ඔබට  යළිත්  සුන්දර ජීවිතයක් ආරම්භ කළ හැකිද? 

එසේ කළ හැකිය. එහෙත්  එය සැලසුම් කරගැනීම ඔබගේ කාර් යභාරයයි. බොහෝ අයට වයස්ගත වනවිට විවිධ සිත් තැවුල් වලට මුහුණ දීමට සිදුවේ. සෞඛ්‍ය තත්ත්වය  පිරිහීම සහ  අනාරක්ෂිත භාවය පිලිබඳ සිතිවිල්ල   මෙයට ප්‍රධාන වේ. එසේම “හිටියා වැඩියයි” තමන්ම සිතන වැඩිහිටියන්ට  ඔවුන්ගේ අදහස් උදහස් වලට නිසි ප්‍රතිචාර නොලැබීමද සිත්  තැවුල් වලට හේතුවක් විය හැකිය. එහෙත් මෙවැනි සිතිවිලි ගැන උපේක්ෂාවෙන් බලා  තමන්ගේ තරුණ කාලයත්, අද සමාජයත් අතර ඇති පරම්පරා පරතරය (generation gap)  සහ විශේෂයෙන්ම තාක්ෂණ දැනුම් පරතරය (technological gap)  නිසා තමන්ට ඇතිවන සීමාකාරී සාධක අමතක කළ යුතු වේ. මෙහිදී, ‘නොවෙනස් වන එකම දේ, වෙනස් වීම’ බව  මෙනෙහි කරමින් ජීවිතය ගැන  ධර්මා නුකුලව තේරුම් ගනිමින් ඒවායේ  හරයන්   කෙරෙහි දැඩි අවධානයක් යොමු කර සැනසුම් සුවයක් ලබාගත  හැකිය.


කෙනෙකුට වයස හැට පැනීමෙන් පසුව හෝ විශ්‍රාම ගැනීමෙන් පසුව, ප්‍රසන්න දිවි පෙවෙතක් ගත කරමින් සතුටින් සිටීම  සඳහා අනුගමනය කළහැකි  පිවිසුමක්  මෙසේ සටහන් කරමි. 


  1. “මම වයස්ගත කෙනෙකු වෙමි” යයි කිසිවිටක කියන්නට හෝ සිතන්නට එපා! 


ඕනෑම කෙනෙකුගේ  ‘වයස’ අවස්ථා තුනක්  ලෙස හඳුනාගත හැකිය. මේවා නම්: ජෛවීය වයස, කාලානුක්‍රම වයස සහ මානසික වයස වේ.

ජෛවීය වයස: කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වා, බොහෝ පෞද්ගලික ලියකියවිලි වල සටහන් වන වයසයි. මේ ගැන අපට කිසිම පාලනයක් නොමැත.

කාලානුක්‍රම වයස: නිගමනය වනුයේ කෙනෙකුගේ සෞඛ්‍ය තත්වය, පෝෂණය, ව්‍යායාම් ලැබීම, ප්‍රසන්න භාවය සහ යහපත් සහ ගැලපෙන ජීවිත ක්‍රියාකාරකම් මත වේ. මෙය අපට ධනාත්මකව සැලසුම් කර ගත හැකිය.

මානසික වයස:  මෙය නිර් ණය වනුයේ තමන්  කෙතරම් වයස් ගත දැයි ඔබ සිතන ආකාරයටය. ධනාත්මක සිතුවිලි, ක්‍රියාකාරී දිවි පෙවෙත, ශුභවාදී ආකල්ප ආදිය මගින් මානසික වයස බොහෝ දුරට ආපසු හරවා ගත හැකිය. 


  1. ඔබගේ සෞඛ්‍යය සඳහා  ප්‍රමුඛතාව දීම. 


ඔබ ඔබගේ දරු මුණුපුරන් හට ආදරයක් සහ ලැදියාවක් දක්වන්නේ නම්, ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු වේ. මෙසේ කිරීම පිණිස,  ඔබගේ යහපත්  සෞඛ්‍ය තත්ත්වයට  ප්‍රමුඛතාව දිය යුතුය. එවිට, ඔබ ඔවුනට ‘බරක්’ නොවනු ඇත. 

මේ ආකාරයට  ඔබ ඔවුන්ගේ ප්‍රිය මනාප සුමිතුරෙකු / සුමිතුරියක විය යුතුය. මෙසේ කිරීම සඳහා 

කලට වේලාවට වෛද්‍ය උපදෙස් ගැනීම, වෛද්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සහ නිර්දේශිත ඖෂධ නියමිත ආකාරයට  නොකඩවා ගතයුතුය.

හැකියාවක් ඇතොත් සෞඛ්‍ය රක්ෂණයකටද  දායක වන්න.  


  1. මිල මුදල් ගැන සැලකිලිමත් වීම 


ජීවිතයේ  මූලික අවශ්‍යතා සපුරාගැනීම පිණිසත්, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහාත්, පවුලේ ගෞරවය රැක ගනිමින් සුරක්ෂිත භාවයද ළඟාකර ගැනීමට මිල මුදල් අවශ්‍යය.  

හරි හම්බ කරන කාලයේ ලැබෙන තම ආදායමෙන් කොටසක් ඉතිරි කළ යුතුය. බෞද්ධ දර්ශනයේ (සිඟාලෝවාද සූත්‍රයේ)    දැක්වෙන පරිදි, කෙනෙකු තම ආදායමෙන් හතරෙන් කොටසක්වත්  අනාගතය සඳහා ඉතිරි කිරීම නුවණට හුරුය.  

කිසිමවිටක ඔබගේ හැකියාව සහ සීමාව ඉක්මවා වියදම් නොකරන්න.

ඔබ රැකබලා ගැනීම සඳහා ඔබගේ දරුවන් ඉදිරිපත්වන්නේ නම් එය මහත් ආශීර්වාදයකි. 

එසේ වුවත්, ඔබගේ අවශ්‍යතා සඳහා ඉතිරි කරගත් මිල මුදල් තිබිම  එයට  මහත් පිළිසරණක් වන්නේය.

ඉතිරි කළ මුදල් තිබීම  භාග්‍යයක් වුවත්, එය යම්කිසි සීමාවක තබා ගැනීමෙන්, වයස්ගත වීමේදී ඇතිවන  අවශ්‍යතා සඳහා නොමසුරුව මුදල් වියදම් කළ හැකිය. 


  1. ටිකෙන් ටික  බැඳීම් වලින්  අත්මිදීම.


දරු, මුනුපුරු. මිනිපිරියෝ ඔබට මහත් සැනසුමක් ගෙන දෙන අය වෙති. ඔව්හු තවමත් දිවිමග ආරම්භයේ හෝ එහි මඳ  දුරක් ගිය අය වෙති. 

ඔවුනට ඔබගේ සෙනෙහස මෙන්ම, ඔබටද ඔවුන්ගේ සෙනෙහස අවශ්‍යය. 

එහෙත් දිවිමග අවසාන ඉසව්වේ සිටින ඔබ, එම සෙනෙහස බැඳීමක් කර නොගැනීමට උත්සාහ කළ යුතුවේ.

ඔබ වයස මුහුකුරා ගොස් සිටියද,  නවීන ලෝකයේ බොහෝ දේ ඔවුහු  ඔබට වඩා දනිති. මේ නිසා ඔවුන් සමග අනවශ්‍ය වාද විවාද වලට පෙළඹීම නොමනා දෙයකි. 

සමහරවිට ආචාර ධර්ම වැනි අදහස් වලින් ඔබ ඉදිරියෙන් සිට දිනුම ලබාගත හැකිය. එහෙත් ඒ මගින් සබඳතා ව්‍යාකූලත්වයක් ඇතිවන්නේ නම් එය ඔබට පාඩුවකි.

මේ නිසා සෙනෙහස උපරිමයෙන් දීමට සහ ලබාගැනීමට උත්සාහ කරන්න. 


  1. ඔබට ඉතිරිව ඇති කාලය ඉතා අගනේය.


උදාවන සෑම දිනයක්ම අලුත් දිනයක් ලෙස සිතන්න.

“ඊයේ අවලංගු චෙක් පතකි. අද අත්පිට මුදල්ය. හෙට පොරොන්දු මුදලක් පමණකි” මෙම පාඨයේ අර්ථය අනුව සිතන්න.

එසේම,“ඊයේ ඉතිහාසගතය.  හෙට අභිරහසකි. සත්‍යය අද පමණකි.”  මෙම යථාර්ථයද මෙනෙහි කරන්න. 

තමන්ගේ යල්පැනගිය ජයග්‍රහණ  ගැන උදම්  අනමින් අනාගතය පුරෝකථනය කිරීමෙන් වලකින්න.

දිවිමගෙහි සිදුවන වෙනස් වීම් ‘සත්‍යය’ බව පමණක් මෙනෙහි කරමින් එයට අනුකූලතාවය දක්වන්න.


  1. සමාජයේ නව නැඹුරුව සහ දැක්ම ගැන සංවේදී වීම.  

 

නව තාක්ෂණයේ මහිමයෙන් ලොවපුරා මිනිස් ජීවන රටා සහ චින්තනය විවිධ ආකාරයට වෙනස්  වෙමින් පවතී. ‘වෙනස්වීම’ සදාකාලික ධර්මතාවයකි.

මෙය වැඩිහිටි අපට පිටුදැකිය නොහැකිය. අපටද වෙනස්වන තාලයට ‘නැටීමට’ සිදුවේ.

වෙනස් වීමේ ප්‍රසන්න දෙයට හිස නමමින් සතුටු වීමට උත්සාහ කරමු.

අප දරු මුණුපුරන් නව තාක්ෂණයේ ප්‍රවීණ හරඹ කරුවන් වී තිබීම ගැන අපගේ ප්‍රසාදය පළකරමු.


  1. ආත්මාර්ථකාමී බවෙන් මිදීම.


මිනිසා ස්වභාවයෙන්ම ආත්මාර්ථ සිතුවිලි සහිත කෙනෙකි. අපට දියුණුව සඳහා අතහිත දුන් අය කෙරෙහි භක්තියක් තිබිය යුතු බව සත්‍යයකි. කෙනෙකුට  උපකාරයක් කිරීමෙන් මානසික තෘප්තියක් ලබනු විනා ප්‍රති උපකාරය බලාපොරොත්තු  නොවිය යුතුය. 

ජීවිතයේ සැන්දෑ සමයේදී වුවද, ඔබගේ අත්දැකීම් සහ ලබා ඇති පුහුණුව උපයෝගී කරගනිමින් ඉතාමත් සරල මට්ටමේ හෝ පරෝපකාර කළ හැකිය.

මේ සඳහා ස්වේච්ඡාවෙන් කළ හැකි බොහෝ කටයුතු හඳුනාගත හැකිය. 



  1. වැරදි සිදුවී ඇතොත් ඒවාට සමාව දී අමතක කිරීම. 


ඉවසීම උතුම් මිනිස් ගතියකි. අපට පහසුවෙන්ම මෙම ගුණාංගය වැඩිදියුණු කර ගත හැකිය. කෙනෙකුගේ දුර්වලතාවයක් නිසා ඔබට සිත් තැවුලක් සිදුවී ඇත්නම් සමාව දී එය අමතක කළ හැකිය.

එවැනි සිත් තැවුල් යළි යළිත් මෙනෙහි කිරීමෙන් ඇතිවන පීඩාව නිසා හටගන්නා දුක්ඛ දෝමනස්ස අපගේ සෞඛ්‍යයටද අහිතකරය. ඒවා මුලිනුපුටා දැමිය යුතුය. 

එවැනි යටගිය සිද්ධි සහමුලින්ම අමතක කර සමාධිය භජනය කරමු.


  1. අන්තිම කැමැත්ත සැලසුම් කිරීම 


විශාල වශයෙන් දේපළ සහ මිල මුදල් හිමිකම් ඇති අයට මෙය ගැටළුවක් විය හැකිය. බොහෝ විට දේපළ නිසා අයිතිකරුගේ වියෝවෙන් පසුව පවුලේ අඬදබර සහ නොසන්සුන් කම් ඇති විය හැකිය. මේ නිසා ඒ පිළිබඳව සාධාරණ තීරණ ගෙන තිබීම  නුවණට හුරුය. 

මෙසේ කර තිබීමෙන් දරු මල්ලන් හට පසුව සුදුස්සක් කළ හැකිවේ. 

පවුලේ අය අතර  සාමය රැඳී පැවතීමට මෙම ක්‍රමය වැඩදායකය.


  1. අවසන් ගමනට බිය නොවීම.


මෙලොව උපත ලැබූ  සෑම සත්ත්වයෙකුටම මරණය නියතය. සෑම කෙනෙකුටම කර්මානුරූපව ලැබුණු ආයුෂ ප්‍රමාණයක් තිබේ. 

දශක හයක් හතක් ආයුෂ  විඳි ඔබ වාසනාවන්තයෙකි.

මේ නිසා කවදා හෝ එළඹෙන අවසන් ගමනට බිය නොවන්න.

ඔබගේ කලත්‍රයා හෝ දරු මල්ලන්ට වියෝව දරා ගැනීම අපහසු විය හැකිය.

ඔබට ඔවුන් හැර යාමට සිදුවූවත්, ඔවුන්ද තම තමන්ගේ  දිවි ගමන ඉදිරියට ගෙන යා යුතුය.

වියෝ දුක කලක් පැවත, කෙමෙන් තුනිවී යයි.

භෞතික ලෝකයේ කිසිවක් සදාකාලික නොවේ. මෙම සත්‍යය මෙනෙහි කර ගනිමු.


අන් අයගේ පිළිසරණ අවමවූ ජීවිතයක් ගතකර, වේදනාවෙන් තොර මරණයක්  ලැබීම, වාසනාවකි.


  

(ඉන්දියානු සිවිල් සේවයේ යෙදී සිට, වසර 104 ක් ආයු විඳ,  2018 වසරේදී අභාවප්‍රාප්ත වූ   V. K. Rao විසින් රචිත Aging gracefully කෘතිය ඇසුරෙනි.) 

 

 


10 comments:

  1. වැඩ කරන්නෙ සල්ලි ඕනෙ නිසා. නැත්නම් විවේකයක් තියනකොට කරන්න ආස දේවල් තියනවා. කෝවිඩ් කාලයේ ගෙදර හිටපු එකනම් හුඟක් එන්ජෝයි කලා. එනිසා විශ්‍රාමයත් එහෙම වෙයි කියල හිතනවා (සල්ලි තිබුනොත්)

    ReplyDelete
    Replies
    1. කොහොමත් රැකියාව කරන කාලයේ ක්‍රමානුකුලව අය වැය කළමනාකරණය කර ගත් කෙනෙකුට විශ්‍රාම කාලය වෙනුවෙන් මුදලක් ඉතිරි වෙනවානේ. ඒ නිසා විවේකව සිටිය හැකි කාලයේ කළහැකි බොහෝ දේවල් තිබෙනවා. එසේ නොකළහොත් විශ්‍රාම කාළය නීරස වී යා හැකියි.

      Delete
  2. හෙටක් පෙර දිනක් නොසිතා උන්නාම
    හොඳක් තමයි වත්මන ලොව දැක්කාම
    නිමක් නැතත් යන ගමනේ විශ්‍රාම
    දුකක් නොවේ පිළිවල හැම රැක්කාම

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. හොඳ උපදෙසකි දුමී ඔබගෙන් ලැබෙන්නේ
      එලෙස කරන විට සැනසුම ගලන්නේ
      දුක් දොම්නසින් තොර දිවියකි ගෙවන්නේ
      පරලොව යන විටත් සතුටිනි සිටින්නේ
      ඔබට ජය !

      Delete
  3. හරිම වැදගත් ලිපියක් . ඒ වගේම ඔබ ආදර්ශයෙන්ම විශ්‍රාම සුවය විදින කෙනෙක්. ලෙඩ ගැන , ඕනෑවට වඩා බණ දහම් ගැන ඇලී ගැලී දුක් නොවී සතුටින් ජීවිතය ගෙවන එකයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ. වයස් ගතවීම ස්වාභාවික සංසිද්ධියක් ලෙස සිතෙහි තහවුරු කර ගැනීම වැදගත්ම කරුණයි. ඊට පසු වයසට අදාළ සරල ක්‍රියාකාරකම් වල යෙදීම වැදගත් වෙනවා. ලිවීම, පොතපත කියවීම, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වල වැදගත් සහ ප්‍රයෝජනවත් දේ ගැන විමසිලිමත්වීම, Scrabble, Sudoku වැනි බුද්ධිමය සරල ක්‍රීඩා වල නිරත වීම වැනි කරුණු රාශියක් ජීවිතයේ සැන්දෑ සමයේදී ප්‍රයෝජනවත් විය හැකියි.

      Delete
  4. දැන් හැටට ලංවී ගෙන එනවා. පිලිපදින්න් ඕන වැදගත් කරුණු ටිකක් තමා

    ReplyDelete
  5. හැටත් මොන වයසක්ද?

    ReplyDelete
  6. හදවතින් පොසත් අයට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  7. වටිනා ලිපියක් ... මරණය ගැන ආසාවකින් , මරණින් මතු කුමක් වේද යන්න ගැන කුතුහලයකින්, පෙර නොගිය තැනකට යනකොට තියෙන exciting ගතියකින් වගේ මැරෙන්න පුළුවන් නම් හොඳයි කියල මට හිතෙනවා ... මම හිතන්නේ වයසට ගිහින් මැරෙන කෙනකුට එහෙම හිත හදාගන්න ලේසියි

    ReplyDelete