Saturday 18 November 2023

විභාග ශාලාධිපතිට නිකුත් කළ ප්‍රශ්න පත්‍ර පැකැට්ටුව ‘අස්ථානගත වීමක්’ !

විභාග දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන අපගේ  ප්‍රධාන විභාග (සා.පෙළ සහ උ.පෙළ) පවත්වන විට, සෑම විභාග ශාලා  දහයක්‌ දොළහක් පමණ ආවරණය වන පරිදි සම්බන්ධීකරණ මධ්‍යස්ථානය බැගින් ස්ථාපනය කරනු ලැබේ. මෙම මධ්‍යස්ථාන භාරව කටයුතු කිරීම සඳහා තෝරා ගනු ලබන්නේ පළපුරුදු නිලධාරීන් හෝ විදුහල්පතිවරුන් පමණකි. විභාගය ආරම්භයට දින දෙකකට පමණ කලින් විවෘත කරන මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සඳහා සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලැබෙන අතර, භාරව සිටින නිලධාරියාද පුර් ණ කාලීනව මධ්‍යස්ථානයේ රැඳි සිටීම  අනිවාර් ය වේ. 

විභාගයේ පළමු දින කිහිපයට නියමිත සියලුම විෂයය වලසීල්කරන ලද ප්‍රශ්න පත්‍ර පැකට්ටු, විභාග දෙපාර් තමේන්තුව මගින් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ගෙනැවිත් භාරදේ. ඊට අමතරව ඒ ඒ විභාග ශාලාවට නියමිත ලිපිද්‍රව්‍ය, ශාලාධිපති වරුන් සඳහා බෙදා දෙනු ලබන්නේද   සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙනි. සියලුම විභාග ශාලාධිපති වරු සෑම විභාග දිනයකම, උදෑසන පැමිණ   කාල සටහනට  අනුව නියමිත ප්‍රශ්න පත්‍ර පැකට්ටු භාරගත යුතුය. ප්‍රශ්න පත්‍ර පැකට්ටු සුරක්ෂිතව ගෙනයාම ශාලාධිපතිගේ වගකීම වේ. දිනය අවසානයේදී මනාව සකස් කර  අසුරාසීල්තබන ලද උත්තර පත්‍ර පාර් සල්, සුරක්ෂිතව මධ්‍යස්ථානයට ගෙනවිත් භාරදීමද විභාග ශාලාධිපතිවරයා විසින්ම කළ යුතුය. 

විභාගයේ රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමත් කිසිම අයදුම්කරුවෙකුට අසාධාරණයක් සිදු නොවන පරිදි විභාගය පැවැත්වීමත්, විභාග රාජකාරි කරන සියලුම නිලධාරීන්ගේ භාරධුර  වගකීමයි.  

කිහිප වරක්ම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් භාරව කටයුතු කිරීමේ රාජකාරිය  මා හට පැවරිණඑක්‌  වර් ෂයක (1975) අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන තුන්වන දිනයේ, උදෑසනම, සිරිත් පරිදි සියලුම විභාග ශාලාධිපති‍න්ට, දිනයට නියමිත ප්‍රශ්න පත්‍ර පැකට්ටු බෙදා දුන්නෙමි. පසුව දෛනික       ජර් නල් සටහන් යෙදීම, ප්‍රශ්න පත්‍ර පැකැට්ටු බෙදාදීමේ සටහන් සම්පූර් ණ කිරීම වැනි මූලික  කටයුතු අවසන් කළෙමි. 

එදින සවස ප්‍රශ්න පත්‍රය වුයේ පාලි විෂයය යි.

සාමාන්‍යයෙන් පාලි විෂයයට ඉදිරිපත් වනුයේ අයදුම්කරුවන් ඉතාමත් අඩු සංඛ්‍යාවකි. මේ නිසා එදින ප්‍රශ්න පත්‍ර අවශ්‍ය වූයේ විභාග ශාලා තුනකට පමණකි. එයින්ද එක්‌ විභාග ශාලාවක පෙනී සිටියේ අයදුම් කරුවන් දෙදෙනෙක් පමණක් විය. එය පෞද්ගලික අයදුම් කරුවන් පෙනී සිටි මධ්‍යස්ථානයකි.

එදින උදෑසනම, එම මධ්‍යස්ථානය භාර  ශාලාධිපතිවරයා, නියමිත පාලි ප්‍රශ්න පත්‍ර පැකට්ටුව මගෙන් ලබාගෙන, කුඩා සුට්කේසයක අසුරා ගනු මම දැක්කෙමි. ප්‍රශ්න පත්‍රය දීමට තිබුණේ  පස්වරු එකටය. දිනයේ ප්‍රධාන වැඩ කටයුතු අවසන් කර, මගේ සහායට සිටි ගුරු මහතා, පොලිස් නිලධාරියා සහ  මම කතාබස් කරමින් සිටියෙමු. 

වේගයෙන් පැමිණි මෝටර් රථයක් මධ්‍යස්ථානයට මඳක් ඈතින් නතර කරබැසගත් කිහිප දෙනෙකු කලබලයෙන් අප සිටින දෙසට එන්නට සැරසුණහ. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා ඔවුන්ට නතර වීමට සන් කර ඉදිරියට ගියේය. පොලිස් නිලධාරියා ඔවුන් සමග යමක්  කතාකළ පසුසියලුදෙනාම අප මධ්‍යස්ථානය වෙත එන්නට පටන් ගත්හ. 

කුඩා සුට්කේසයක්  සහ තවත් දේ දෑතින් ගෙන එනුයේ, උදයේ මගෙන් ප්‍රශ්න පත්‍ර පැකට්ටු භාරගත් විභාග  ශාලාධිපති වරයෙකු බව මම හඳුනාගතිමි. පැමිණි එක්‌ අයෙකු සාමනේර ස්වාමීන් වහන්සේ නමක් වූ අතර, අනිත්  පුද්ගලයා ජාතික ඇඳුම හැඳගත් තරුණයෙකි. ඔවුන් සමග තවත් කාන්තාවක්ද    වූවාය.

ස්වාමීන් වහන්සේට හිඳ  ගැනීම පිණිස පොලිස් නිලධාරියා විසින් ආසනයක් පනවන ලදී. කලබලයෙන් මා  සිටි තැනට පැමිණි ශාලාධිපතිවරයාට, හීන් දාඩිය දමා තිබුණු අතර, අත පයද සෙමින් සලිත වනු දුටුවෙමි. තමන් සමග පැමිණි අනිත් කාන්තාව නිත්‍ය නිරීක්ෂක වරිය බව ඇය මා හට පැවසුවාය. 

මොකද ජයසේකර මහත්මයා කලබලයෙන්....... වාඩිවෙන්න.’ 

කී මම, ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුයෙමි.

ඔහු යමක්‌ කීමට තැත් කලත් පිටවූ වචන මට තේරුණේ නැත. 

නිත්‍ය නිරීක්ෂක වරියද කිසිවක් කථා  නොකර බිරාන්තව සිටියාය. 

ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි ශාලාධිපතිවරයා 

ප ...ප ....ප ...ප්‍රශ්න පත්‍ර පැකට් එ   නැ... නැ.... නැහැ’ 

යයි ගොත ගසමින් කෙඳිරීය. 

කිසි කලබලයක් නොපෙන් වූ මම

උදේ මගෙන් පැකට්ටුව ගත්තා නේද?’ යි  ඇසීමි. 

ග... ග .... ගත්තා ඒක නැතිවෙලා. හාමුදුරුවන්වයි අනිත් ලමයාවයි මම එක්කරගෙන ආවා. පාලි වලට  උත්තර දෙන්නේ ඒ දෙන්නා විතරයි.කී  ඔහු වෙව්ලන්නට විය. 

විභාග දිනයේම අවසාන මොහොතේ, අදාළ ප්‍රශ්න පත්‍ර පැකට්ටුවක් නැතිවීම බරපතල ප්‍රශ්නයකි.

ශාලාධිපතිට ස්වල්ප වෙලාවක් විවේක ගැනීමට සැලැස්වූ මා, වහාම අප කාමරයේ පිටුපස කොටසක ආසන දෙකක්‌ පිළියෙළ කර, අයදුම් කරුවන් දෙදෙනාට හිඳ  ගැනීමට සැලස්වූයෙමි. ඔවුන්ට අවශ්‍ය ලිවීමේ කඩදාසි අත්සන්කර සපයන ලෙස නිත්‍ය නිරීක්ෂක වරියට පැවරුවෙමි. 

ශාලාධිපතිගේ කුඩා සුට්කේසයේ යතුර ඉල්ලා ගත්  මම  ඔහු ඉදිරිපිටදීම, ප්‍රවේශමෙන් එය විවෘත කළෙමි. එය තුළ උදය වරුවේ තිබුණු ප්‍රශ්න පත්‍රයට අයදුම් කරුවන් විසින් ලියන ලදඑකතු කරගත් උත්තර පත්‍ර පාර්සලය විය. නැවත සුට්කේසය වැසීමට පියන පහත් කරණ විට උඩ පියනේ හිරවී තිබුණු ප්‍රශ්න පත්‍ර පැකට්ටුව  මම දුටුවෙමි. 

එය එලියට ගත්  මම 

මේ තියෙන්නේ නැතිවෙච්ච ප්‍රශ්න පත්‍ර පැකට් එක නේද. ඔයාගේ සුට්කේස් එක ඇතුළෙමකියා 

එය ඔසවා ශාලාධිපතිට පෙන්වුයෙමි. 

ඔහු වහාම ප්‍රකෘති සිහියට එළඹියේය.

මට කලබලයට ඕක හොයා ගන්නට බැරි උනා. සර්, අපි දැන් මොකද කරන්නේ. ආපහු විභාග ශාලාවට යන්න වෙලාව මදිනෙ ?.’

ජයසේකර මහත්මයා ඔහොම ඉන්න. මම අවශ්‍ය දේ කරන්නම්’ 

කී මමඔහු ලවා ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විවෘත කරවා අයදුම් කරුවන් දෙදෙනාට ප්‍රශ්න පත්‍රය  සහ ලියන කඩදාසි දී පිළිතුරු සපයන ලෙස දන්වා, නිත්‍ය නිරීක්ෂක වරියට එම කාර් යය භාර කළෙමි.

ශාලාධිපතිවරයා මහත් ලජ්ජාවකට පත්වී මෙන් කරබාගෙන සිටියේය.

ඊට පසු   ඔහු ඇමතු මම

ජයසේකර මහත්මයා, කලබල වෙලා මේ වැඩ කරන්න බැහැ. ප්‍රශ්න පත්‍ර පැකට්ටුව නැති  උනා නොවෙයි . ඒකඅස්ථානගතවෙලා තිබී පසුව ලැබුණා. මෙවැනි අවස්ථාවකදී වැදගත්ම දෙය තමයි, කෙසේ හෝ  විභාගය පැවැත්වීම. දැන් ඒ ටික හරි. ඒ නිසා කලබල වෙන්නට එපා. අපි ඉතුරු ටිකත් ප්‍රවේශමෙන් කරමු.’ 

යයි කීවෙමි.

කලබල නැතුව, අයදුම් කරුවන් දෙදෙනාගේ අත්සන් පත්‍ර පරීක්ෂා කර , ලියන කඩදාසි වල කෙටි අත්සන් තැබීම, ලකුණු ලැයිස්තුව සකස් කිරීම  වගේ අවශ්‍ය දේවල් කරන්නයි 

මම ඔහුට සහ නිත්‍ය නිරීක්ෂක වරියට කීවෙමි.

මට සමාවෙන්න සර්, මගේ අතින් ලොකු වැරද්දක් උනේ.’ 

කියා ඔහු නැවත බැගෑපත් වන්නට විය.

කාටත් වරදිනවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සිද්ධිය ගැන ඔබගේ ජර්නලයේ  සටහනක් තබා, ඒකේ පිටපතක් අත්සන් කර මටත් දෙන්න.කී 

මා විභාගයේ ඉතිරි වැඩ කටයුතු කරගෙනයාම ඔවුන්ට පවරා මගේ නියමිත රාජකාරි කටයුතු වල නිරත වීමි.

කෙසේ හෝ, විභාගය ආරම්භකළ යුතු වේලාවේ සිට, පැයක්‌ ගත වීමට පෙර එම අයදුම් කරුවන් දෙදෙනාට ප්‍රශ්න පත්‍රය දීමට අපට හැකිවිය. රාජකාරියේ වැදගත්ම කොටස හරියාකාරව  ඉටුවිය.

සම්බන්ධීකරණ මධ්‍යස්ථානය භාර නිලධාරියා ලෙස මටද, මෙම සිද්ධිය අවුල් සහගත  නොවන ආකාරයට වැඩ කටයුතු කිහිපයක් කිරීමට සිදුවිය. මෙහිදී වැදගත්ම කාර් යය වූයේ, අයදුම්කරුවන්ගේ අනන්‍යතාව සහතික කර ගැනීමයි. මෙහිදී විභාගයට පෙනී සිටීම  සඳහා ලබාදී ඇති ඔවුන්ගේ  ඇතුළත් වීමේ පත්‍රිකාවේ සඳහන් නම සහ නිත්‍යානුකූලව සහතික කර තිබෙන අත්සන සහ මෙම විෂයය සඳහා තබන ලද අත්සන නිවැරදි බව මවිසින්ම පරික්ෂා කර, සත්‍ය බව  සැක  හැර දැන ගත්තෙමි. ඉන්පසු ඔවුන්ගේ හැඳුනුම් පත් මම පෞද්ගලිකවම පරික්ෂා කළෙමි. දෙවනුව, ජයසේකර විභාග ශාලාධිපති වරයා විසින්  මෙම සිද්ධිය සම්බන්ධව ඔහුගේ  ජර්නලයේ තබනලද සටහනේ අත්සන් කළ  පිටපතක් සකස් කරවාගෙන, සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ, මට සහායට  සිටි ගුරු මහතාගේ සහ නිත්‍ය නිරීක්ෂක වරියගේද  සාක්ෂි  සඳහා එහි අත්සන්ද  ලබාගතිමි. 

ඉන්පසු මෙම සිද්ධිය සම්බන්ධව නිරීක්ෂණ සහ අයදුම් කරුවන්ට අසාධාරණයක් නොවන පරිදි විභාගය පැවැත්වූ ආකාරයද පිළිබඳව  මගේ ජර් නලයේද සටහනක් තැබීමි. ශාලාධිපතිවරයාගෙන් ලබාගත් ලියවිල්ලද ජර්න ලයට අමුණා, ඒ පිළිබඳවද සටහනක්  කළෙමි. 

විභාගය අවසන් වූ පසු, ශාලාධිපති වරයා  සහ නිත්‍ය නිරීක්ෂක වරිය විසින් ලකුණු ලැයිස්තුව සකස් කිරීම, උත්තර පත්‍ර පැකට් කිරීම, ලේබල් කිරීම සහ පාර් සල් කිරීම  වැනි සියල්ල හරියාකාරව කරන ලදී. මේ සියල්ල නිවැරදිව අවසන් කිරීමෙන් පසුව, නිත්‍ය නිරීක්ෂක්ගේ කාර් ය භාරය සහ මෙවැනි අවිනිශ්චිත අවස්ථාවකදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව ඇයටද, නැවත වරක්  අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.  

ජයසේකර විභාග ශාලාධිපතිවරයා   අයදුම්කරුවන් දෙදෙනාද සමග, වහාම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට පැමිණි නිසා, එම අයදුම් කරුවන් දෙදෙනා සඳහා, නිත්‍යානුකකූලව කලට වේලාවට විභාගය පැවැත්වීමට අවස්ථාව සැලසීණ. යම්කිසි හෙයකින් එදිනට නියමිතව තිබූ  පාළි ප්‍රශ්න පත්‍ර පැකට්ටුව සොයා ගැනීමට නොහැකිවූයේ නම්, ගැටලුව තවත් උග්‍ර වන්නට තිබුණි. එවැනි අවස්ථාවකදී  කළ  හැකි  ඉතාමත් නුවණට  හුරු දේ වනුයේ අයදුම් කරුවන් සම්පූර් ණ කාලයම (පැය කිහිපයක් වුවද)  සුපරීක්ෂාව සහිතව  රඳවාගෙන සිට, වැඩිපුර ප්‍රශ්න පත්‍ර කිහිපයක් වත් තිබිය හැකි වෙනත් මධ්‍යස්ථානයකින් ප්‍රශ්න පත්‍ර ලබාගෙනප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට  නියමිත කාළය ලබාදීඋත්තර පත්‍ර ලබාගැනීමයි. (මෙවැනි අවස්ථාවකදී දැරීමට සිදුවන සියලුම විය හියදම් අදාළ ශාලාධිපති  වරයා විසින්ම දැරිය යුතු වේ.)

මෙදින මෙම සිද්ධිය නිසා දිනයේ මට නියමිතව තිබුණු වැඩ කොටසද දෙතුන් ගුණයකින් වැඩිවුවත් එය ඉතා වැදගත් අත්දැකීමක්ම  විය.

28 comments:

  1. දරන නිළය නිසි අයුරින් රැකගනු කියලා
    කරන වැඩය කළබලයක් නොවීම කරලා
    බලන විටදි ප්‍රශ්න පත්‍ර අසලම තිබිලා
    ගෙවුන මතක සුන්දරයිනෙ රසයම රැඳිලා

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      පැවරුණු රාජකාරිය නිළ බලයෙන්ම
      අකුරට ඉටු කෙරුම හොඳයයි සිතමි මම
      කලබල නොවී සිහි නුවණින් කරන සැම
      වැඩකින් ලැබේ නිසි පල වෙන කියනු කිම ?

      අපට නැවතත් ඉඳහිට හෝ කාව්‍ය නිර් මාණයක් කිරීමට Blog සටහන් හරහා මෙසේ ලැබීම ගැන සතුටුයි.
      ඔබට ජයම.

      Delete
  2. ප්‍රශ්ණ පත්‍ර මිටිය නැති වෙලා විභාගේ ලියන්න බැරි උනොත් ලමයින්ට ෆුල් ලකුණු දෙනවද? - Mayy - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මා දන්නා හැටියට මෙහෙම දෙයක් මෙතෙක් වෙලා නැහැ. එහෙමෙ දෙයක් සිදු උනොත් අසාධාරණයක් සිදුවූ අයදුම් කරුවන් වෙනුවෙන් නැවත ප්‍රශ්න පත්‍රයක් සකස් කර පසු දිනක හෝ විභාගය පැවැත්විය යුතුයි.

      Delete
  3. කලබල උනොත් ලේසියෙන් විසඳගන්න පුලුවන් ප්‍රශ්න පවා අවුල් වියවුල් වෙනව. හොඳම දේ කලබල නොවී උන දේ මුල සිටම විමසා බැලීමයි.

    ReplyDelete
    Replies
    1. විභාග කටයුතු වලදී මනා සංවරයකින් යුක්තව ක්‍රමානුකුලව සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව වැඩ කටයුතු කළහොත් වැරදි සිදුවීම් අවම කර ගත හැකියි.

      Delete
  4. මොනවා උනත් ඇඟ කිළිපොලා යන කථාවක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . කියවන ඔබටත් ඇඟ කිළිපොලා ගියානම්, එදා ඒ වැරැද්ද සිදුකළ විභාග ශාලාධිපති වරයා සිටි තත්ත්වය සිතා ගත හැකි නොවේද? ඔහු ඒ වනවිටත් මට වඩා දශක කිහිපයකින් වයස් ගත පළපුරුදු විදුහල්පති කෙනෙකු වී සිටියදී වුවත්, මා ඉදිරියේ බැගෑපත් වීම ගැන මට මහත් කණගාටුවක් ඇතිවූවා. ඔහුට කිසිම දෝෂාරෝපණයක් නොකර රාජකාරිය අකුරටම කිරීමට හැකිවීම ගැන මා සතුටට පත්වුවා.

      Delete
  5. අමතක නොවෙන බැරෑරුම් සිද්ධියක්. සිහිබුද්ධියෙන්, කලබල නොවී තැනට සුදුසු නුවණින් කල වැඩක්. අගෙයි.🙏👌

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බසු,
      වසර 48 කට පසුවත් මට මේ සිද්ධිය තවමත් හොඳින් මතක නිසයි මේ සටහනක් තැබීමට හැකි වූයේ. එම විභාග ශාලාධිපතිවරයා අයදුම් කරුවන් දෙදෙනාත් සමග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට පැමිණි නිසාත්, අස්ථානගතවූ ප්‍රශ්න පත්‍ර පැකට්ටුව ඔහුගේ සුට් කේසය තුළම තිබුණු නිසාත් ඉතිරි වැඩ කටයතු පහසු වූවා. එසේ නොවුනා නම් අයදුම් කරුවන් දෙදෙනා වෙනුවෙන් වෙනත් විකල්ප වැඩ පිළිවෙලක් කරන්නට සිදු වෙනවා.

      Delete
  6. කලබල නොවී වැඩ කරපු විධිහ අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්,
      එදා ඒ ශාලාධිපති වරයා කලබලවී සිටි ආකාරයට මාද කළබල වුවානම් රාජකාරිය කිසිසේත් ඉටු කිරීමට හැකි වන්නේ නැහැ. එසේ වුවා නම් මටත් වග කීමට සිදුවෙනවා. කෙසේ වෙතත් ප්‍රශ්න පත්‍ර පැකට්ටුව ඔහුගේ සූට් කේසය තුළම තිබුණු නිසා කාර් යය පහසු වුවා. පැකට්ටුව නොලැබුනානම් මා ඒ වන විටත් විකල්ප ක්‍රමයක් ගැන සිතමින් සිටියේ. මගේ සංඛ්‍යා ලේඛන අනුව, කිට්ටුව පිහිටි වෙනත් මධ්‍යස්ථානයකට ලබාදුන් පැකට්ටුවක වැඩිපුර ප්‍රශ්න පත්‍ර කිහිපයක් තිබෙන බව සටහන් වී තිබුණා

      Delete
  7. මම මේ කල්පනා කලේ 1975 තම මම ශිෂ්‍යත්ව විභාගෙට ලීවෙ , මෙතුමා විභාග පරීක්ෂකවරයෙක්. 😌

    ReplyDelete
    Replies
    1. 1975 වනවිට මා අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත්වී වසර තුනක් ගතවෙලා.

      Delete
    2. මට දැන් වැටහුනා "හැටත් වයසක්ද " කියල අහපු එකේ තේරුම. 🙂

      Delete
  8. ඒක නොවෙන්නම් හැට කියන්නේ බුද්ධිය පරිණත වීමේ මුල්ම කාල පරිච්ඡේදය. එතෙක් බොහෝ නීති රීති වලට යටත් වී අනුන්ගේ තීරණ අනුව වැඩ කරනවා මිස ස්වාධීන චින්තනයට ඉඩක් ලැබෙන්නේ නැහැ නොවේද?

    ReplyDelete
  9. දයාවී මහතාගෙන් අගනා අත්දැකීමක්.
    මෙවැනි අවස්ථා සඳහා යොදාගැනීමට වැඩිපුර ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලබාදෙන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෞශල්‍යා,
      වැදගත් ප්‍රශ්නයක්. දැනට වසර 30 කට පමණ පෙර තිබුණු තත්ත්වය මට පැහැදිලි කළ හැකියි. සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට යවන සෑම ප්‍රශ්න පත්‍ර පැකට්ටුවකටම අදාළ විභාග මධ්‍යස්ථානයේ එම විෂයය සඳහා පෙනී සිටින අයදුම් කරුවන් සංඛ්‍යාවට වැඩියෙන් ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඇතුළත් කරනවා. හදිසි අවශ්‍යතාවක් වුවහොත්, අවශ්‍ය ප්‍රශ්න පත්‍ර නිත්‍යානුකුලව අවශ්‍ය ජර් නල් සටහන් යොදා, හැකිනම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයද දැනුවත් කර අවශ්‍ය විභාග මධ්‍යස්ථානයේ නිලධාරියෙකුට භාර දිය හැකිය.

      Delete
  10. මගේ ලමා කාලය සිහිවුනා.
    තාත්තා ඔය ඩියුටි එක (examination centres & marking centres) කරන කාලෙ සමහර දවස්වල මාත් එක්කගෙන යනවා. ලාකඩ වලින් සීල් කරන එක තාමත් මතකයි.
    සීල් කරපු පැකට් හවසට පෝස්ට් ඔෆිස් එකට භාර දෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      ඔබගේ ළමා කාලයේදීත් විභාග රාජකාරි කෙරෙන ආකාරය දැකබලා ගැනීමට අවස්ථාවක් ලැබී ඇතිබව දැනගැනීමත් සතුටක්. ඔබ ඔය කියන කාලේ 1970 ගණන් වල මුලදී විය හැකියි. ඒ කාලයේ විභාග ශාලාධිපති විසින් දිනයට නියමිත විභාග කටයුතු අවසන් කර, උත්තර පත්‍ර සහ ලකුණු ලේඛන නියමිත කවර වල බහා, ලේබල් අලවා ඒ සියල්ල පාර් සලයක් කර, තමන්ගේ මුද්‍රාව සහිත ලාකඩ සීල් එකක් තබා, විශේෂයෙන් සපයා ඇති ලියාපදිංචි තැපෑල සඳහා වූ ලේබලය පාර් සලයේ අලවා, තැපැල් කාර් යාලයයට භාර දෙනවා. ඒ කාලයේ උත්තර පත්‍ර ලකුණු කිරීම කළේත් පෞද්ගලිකව ගෙදර තබාගෙනයි. ලකුණු කර අවසන් කිරීමෙන් පසු එම පාර් සලයත් විභාග දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් යැවීම සඳහා තැල කාර් යාලයයට භාර දෙනවා. මේ කලින් පැවති ක්‍රමයට විභාග පැවැත්වීම සඳහාත්, උත්තර පත්‍ර ලකුණු කිරීමත් සඳහා සහභාගී වීමට මටද අවස්ථාව ලැබී තිබෙනවා. පසුව තැපැල් දෙපාර් තමේන්තුව මෙම භාරදුර රාජකාරි කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළ නිසා විය හැකිය නව ක්‍රමය ආරම්භ කරන ලද්දේ. මේ නව ක්‍රමය, වියදම් තරමක් වැඩි වූවත් ඉතාමත් සාර්ථක වැඩ පිළිවෙලක්

      Delete
    2. ලාකඩ වලින් සීල් කරන එක මමත් දැකල තියෙනවා

      Delete
    3. මා හිතන්නේ අපේ තැපැල් කාර්යාලවල ලියකියවිලි අඩංගු තැපැල් මලු ප්‍රවාහනය සඳහා සකස් කිරීමෙන් පසු දිනමුද්‍රාව සහිත ලාකඩ සීල් එකක් තබනවා. එමෙන්ම ඡන්ද විමසීම් කටයුතු වලදී හිස් ඡන්ද පෙට්ටිය නියෝජිතයින්ට ප්‍රදර්ශනය කර, එය සුරක්ෂිතව වසා එක්තරා ක්‍රමයකට සිහින් රෙදි පටියක් යතුරු කපොල්ල දෙපැත්තෙන් යවා ඒ මත ලාකඩ මුද්‍රාවක් තබනවා. තවත් අවස්ථාවක් තමයි, අපරාධයක් සිදුවූ විටක CID බලධාරීන් විසින් කාමරයක් හෝ එවැනි වෙනත් ස්ථානයක් වසා දමා දොරට ලාකඩ සීල් තැබීම.

      Delete
  11. රසවත් සටහනක් . හොද පණිවිඩයක් . ඔබේ අත්දැකීම් තවත් ලියන්න . ඒවා ඩිජිටල් සටහන් වල රැදවීම හරිම වටිනවා . අපට ඔබතුමාගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ,
      මෙවැනි අත්දැකීම් රාශියක් තිබෙනවා. ඉඩකඩ ලැබෙන පරිදි ඒවා Blog පිටුවේ පළකිරීමට උත්සාහ ගන්නවා. විභාග කටයුතුවල නිරතව සිටි කාලයේ (දැනට අවුරුදු 40 කට පමණ පෙර) බොහෝ රාජකාරි කටයුතු වලට "රහස්‍ය" වශයෙන් ලේබලයක් ගසා තිබුණු නිසා ඒ බොහෝ දේ එළිදරව් වුයේ නැහැ. ඒ උනත් නව තාක්ෂණ යුගයේ එසේ තීරණය කර තිබුණු සමහර දේවල් ජනතාවට විවෘත කර තිබෙන නිසා, එතරම් රහස්‍ය භාවයක් නැහැ. කෙසේ වෙතත් විභාග ප්‍රශ්නපත්‍ර වලට අදාළ සියලුම අංශ වල අතිශය රහස්‍ය භාවයක් තිබෙනවා.

      Delete
  12. ඔය වගේ වෙලාවට කලබල නොවී ඉන්න ඕනේ කියල කොච්චර හිතුවත් දෙයක් උනාම එන කලබල ගතිය වලක්වන්න හරි අමාරුයි .. හොඳ ඉවසීමක් තියෙන තව කෙනෙක් ඉන්නම ඕනේ ඒ වෙලාවට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්,
      යම්කිසි දෙයකට තමන් අසරණ වූ අවස්ථාවකදී තරමක් හෝ කලබල වීම මිනිස් ස්වභාවයක්. ඒ උනත් තමන්ට ඇතිවූ ආවේගය මඳක් හෝ අඩුකරගෙන ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මෙම සිද්ධියේදී අනවශ්‍ය ලෙස කලබල වීම නිසා තමන් භාවිත කළ සුට් කේසයේ පියනේ සිරවී තිබුණු උත්තර පත්‍ර පැකට්ටුව සොයා ගැනීමට නොහැකි වූයේත් අනවශ්‍ය කලබල වීම නිසයි. විභාග කටයුතු වලදී නිත්‍ය නිරීක්ෂක වරයෙකු පත් කරන්නේත් මෙවැනි අවස්ථා වලදී සාමුහිකව කටයුතු කිරීමටයි.

      Delete