Friday 20 April 2018

පැරණි ගැමියා, ගෘහාශ්‍රීත කර්මාන්තයක් ලෙස,අපනයනික මට්ටමේ ‘රබර් රොටි’ නිෂ්පාදනය කළ හැටි .....


    බර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත භාණ්ඩ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකියයුතු ප්‍රතිශතයක් ආවරණය වේ. 2016  වසර වනවිට දිවයිනේ බිමෙහි හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක පමණ රබර් වගාකර ඇති අතර, එම වර්ෂයේදී රබර් මෙට්‍රික් ටොන් අනූ දහසක් පමණ නිපදවා, මෙයින් මෙට්‍රික් ටොන් හතලිස් පන්දහසක් පමණ අපනයන කර ඇත. 2016 වර්ෂයේදී ස්වාභාවික රබර් සහ රබර් නිෂ්පාදන අපනයනය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන අටසියයක පමණ ආදායමක් ලබා තිබේ. 2020 වන විට නව ක්‍රමෝපායයන් යෙදවීම් මගින්, මෙම ආදායම ඩොලර්   බිලියන විස්සක් පමණ ලබාගත හැකි වේයයි අනුමාන කර තිබේ. (ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවකිනි.)

1876 වසරේදී ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යාණයේ, රබර් බීජ 1919 ක් රෝපණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ රබර් වැවීම ආරම්භ කර තිබේ. මෑතක්‌ වනතුරුම ශ්‍රී ලංකාවේ රබර් වගා කරන ලද්දේ රටෙහි තෙත් කලාපයට අයත් වන බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත් වළය.



දැනට රටෙහි රබර් නිෂ්පාදන ක්‍රියාවලිය උසස් මට්ටමක පවතින අතර, අදත් මෙයට දායක වන කුඩා රබර් ඉඩම් හිමියන්, දශක කිහිපයකට උඩදී මෙම ක්‍රියාවලියට උර දුන් ආකාරය මඳක් විමසා බැලීම මෙම සටහනෙන් බලාපොරොත්තු වේ.

විද්‍යාත්මකව රබර් ශාකය  Hevea brasiliensis යන නමින් හැඳින්වේ. මෙහි brasiliensis යන්නෙන් එයට  දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය  නිජ භුමිය වී ඇති බව දැක්‌වේ. රබර් ගසෙන් වැගිරෙන කිරි, මිදුණු විට ප්‍රත්‍යස්ථ භාවයකින් (elastic) යුක්තය. වේලාගත් මිදුණු රබර් කෑල්ලකින්  පැන්සල් ඉරි හෝ පැන්සලකින් ලියන ලද දේ මැකිය හැකි නිසා එම ද්‍රව්‍යයයට - ‘rub’ - ‘මැකීම’ යන අර්ථය ඇතිව ‘rubber’ ලෙස නම්කර ඇතිබව විශ්වාස කළ හැකිය.

දැනට දශක හයකට හතකට ඉහතදී අපගේ ගම් පලාත්වල ගෘහාශ්‍රීත රබර් නිෂ්පාදනය ගැමියාටම ආවේණික ක්‍රමවේදයන්ට අනුකුලව කරන ලදී. මේ නිසාම රබර් කර්මාන්තය ආශ්‍රිත වාග් මාලාවක්ද කට වහරට පැමිණ ඒවා බොහෝ දුරට ඒ ලෙසටම භාෂාවටද එකතුවී තිබේ.

කිරි කැපීම, කිරි පිහිය, කිරි කට්ටිය, කිරි ඇකිලිම,  කිරි පෙරීම, ‘ඩයමන්’ රෝල, දිය රෝල, රොටි තැලීම, රොටි වේලීම, දුම් ගෙය, ඔට්ට පාල්, පොල්කටු පාල්, බ්ම් පාල්, රබර් කොළ නිවාඩුව ආදිය මෙම වාග් මාලාවේ පොදු වචන කිහිපයකි. රබර් කර්මාන්තය ආරම්භ කළ මුල් කාලයේදී විදෙශිකයින් විසින් රබර් වතුවල යොදවන ලද ඉන්දීය ද්‍රවිඩ කම්කරුවන් භාවිත කළ  සමහර වචන නිසා ඒවාට ද්‍රවිඩ ඌරුවක්ද තිබේ.

රබර් වැවීම ආරම්භ කළ කාලයේ සිටම බොහෝ ගැමියන් තම ඉඩම් වලද කුඩා රබර් වගාවන් ආරම්භ කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් වූ අපටද පාරම්පරිකව ගෘහාශ්‍රීත රබර් කර්මාන්තය ගැන හුරුවක් තිබුණි. පෙබරවාරි මාසය වන විට රබර් ගස්වල කොළ ඉදී වැටේ. මෙසේ සති තුනක් පමණ තිබී අලුතින් දළු ලා මල් හටගනී. ගස් වළ කොළ නොමැතිව ලා දළු පමණක් තිබෙන ඒ කාලයේ ‘කිරි කැපීම’ සිදු නොවේ. මේ නිසාම  පෙබරවාරි මාසය ‘රබර් කොළ නිවාඩුව’ වශයෙන් නම් කිරීමට  ගැමියා පුරුදු  විය. බොහෝ විට ඉඩමේ වල් පැල නෙලීම, සහ රබර් ගස් වලට පොහොර යෙදීම මේ කාලයේ දී කළ යුතු වැදගත් කාර්යයකි. ඒ සමගම කිරි කැපීමේදී ගස්වල  පොත්ත  පලුදු වී ඇති ස්ථානවල, අලුතින් පටක වර්ධනය සඳහාත් බැක්ටීරියා මර්දනය සඳහාත් ගොම මැටි සහ රසායනික ද්‍රවයක් ආලේප කිරීමද අවශ්‍යම දෙයකි.

ඊළඟ මාසයේදී  ‘කිරි කැපීම’ ආරම්භ කරනවිට ගසෙහි අනික්‌ පැත්තේ අලුතින් කැපුමක් ආරම්භ කිරීම සිරිතකි. කිරි පොල් කටුව සවි කිරීම සඳහාත්, කිරි ධාරාව ගලායාම සඳහාත්  ලෝහ පීල්ලද ගලවා නව කැපුමට සවි කිරීම ද අත්‍යවශ්‍ය දෙයකි. 
  
මෑත කාලයේදී වවනු ලබන PB  (Pure bred) 86 වැනි, ප්‍රමාණයෙන් කුඩා, කිරි වැඩියෙන් ලැබෙන, රබර් ගස් එකළ නොවිය. සමහර ගෙවතු වල රූස්ස රබර් ගස්ද සුලභ විය. සිටුවා වසර පහකින් පමණ, රබර් ගසකින් කිරි ලබාගත හැකිය. මේ සඳහා ගසේ මුල සිට අඩි හතරක් පමණ උසින්, ගසේ වටප්‍රමාණයෙන් අඩක පමණ පළමු ‘කැපුම’ දමනු ලැබේ.


මේ සඳහා විශේෂයෙන් සකස් කර තිබෙන ‘කිරි පිහිය’ භාවිත කෙරේ. වෑස්සෙන කිරි පහසුවෙන් ගලායාම සඳහා මෙම කැපුම අංශක 15 ක පමණ ආනතියකින් යුක්තය. මෙම කැපුමේ අවසානයේ සිට  අඩියක් පමණ පහලට නොගැඹුරු ඇලියක් කපා, එයට පහලින් කුඩා ලෝහ ‘පීල්ලක්’ සවිකෙරේ. කැපුමෙන් වැගිරෙන කිරි, පහලට ගලාගොස්, ඇලිය ඔස්සේ පීල්ලට වැටී, පීල්ලෙහි මැද කුඩා කොටසක් පහලට නමා  සකස් කළ ආධාරක නෙරීමටත්, ගසේ කඳටත් අතරින් සවි කෙරෙන, පොල් කටුවකට එකතු වේ.

ඝර්ම කලාපිය රටවල වැඩෙන බොහෝ ගස්වල තිබෙන, ක්ෂිරධර පටක (Laticiferous tissues) විශේෂයක් මගින් විවිධ ආකාරයේ යුෂ නිපදවනු ලැබේ. අමිහිරි රසයකින් යුක්ත විෂ සහිත යුෂ නිසා මෙම ශාක, ශාක භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වේ. එසේම පරිවෘත්තිය අපද්‍රව්‍ය වන රෙසින, ඇල්කලොයිඩ සහ වෙනත් හයිඩ්රෝකාබන  ද යුෂ වල අන්තර්ගත වේ.  රබර් වල ප්‍රත්‍යස්ථ භාවයට හේතු වනුයේ එහි ඇති දික් හයිඩ්රෝකාබන් අණු ජාල නිසාය. 



කිරි ලබාගැනීම සඳහා ගසෙහි පොත්ත කැපිමද ප්‍රවේශමෙන් කළ යුත්තකි. කිරි වෑස්සෙන ක්‍ෂීරධර පටක පිහිටනුයේ, ගසෙහි දුඹුරු පැහැති වල්කමය පිටපොත්තට යටින් ඇති ද්විතිය ප්ලෝයම පටක ආශ්‍රිතවය. මීට යටින්  ඇති ගසෙහි වර්ධක පටක වන ප්‍රාථමික ප්ලෝයමට හානි නොවන ලෙස රබර් කැපුම සකස් කර ගැනීමට ගැමියා දක්ෂයෙකි.

රබර් කිරි කැපීම, හැකි තරම් උදෙන්ම ආරම්භ කිරීම සිරිතය. සාමාන්‍යයෙන් එක ‘රබර් කට්ටියක’ රබර් ගස් සියයක් පමණ තිබේ. උදෙන්ම කිරි කැපීම පටන් ගත් විට පෙරවරු දහය පමණ වන විට ‘කිරි ඇකිලිම’, නැතහොත් ගසින් ගසට ගොස් පොල්කටු වලට වෑස්සී තිබෙන කිරි, බාල්දියකට එකතු කර ගැනීම කරනු ලැබේ. පැයකදී පමණ ගස් සියල්ලේම කිරි එකතු කර ගත හැකි වේ. ගසේ කැපුමේ ඉතිරි වන කිරි, කිරි එකතුකරන වේලාව වන විට කැපුම මත ඝනවී පට්ටයක් මෙන් සෑදේ. මෙම පට්ටය පසුදින කපන විට ගලවා වෙනම එකතු කර ගනී. ‘ඔට්ට පාල්’ලෙස හඳුන්වනුයේ මෙම පට්ටා විශේෂයයි. (හොඳින් ඇදෙනසුලු ‘ඔට්ට පාල්’ වෙසක් කුඩු බැඳීම සඳහා ඉස්තරම් පට්ටා වර්ගයකි.)

ඊළඟ පියවර වනුයේ එකතු කරගත් කිරි වලින් රබර් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමයි. ගෙදරට හෝ සැකසුම් මධ්‍යස්ථානයට ගෙනෙන කිරි, පෙරණයකින් පෙරා, ඒ සඳහා විශේෂයෙන් සකසා ඇති ‘තැටි’ වලට වත්කර එයට තනුක ඇසිටික් අම්ලය හැඳි කිහිපයක් සහ ජලය නියමිත ප්‍රමාණයක් එකතු කරනු ලැබේ. (සාන්ද්‍ර අම්ලය නියම ප්‍රමාණයට තනුක කර ගැනීම ගැමියා දනී). ඊට පසු කිරි ද්‍රාවණය හැන්දෙන් හොඳින් කූරු ගා, පෙණ ඉවත් කර නිශ්චලව තැබිය යුතුය. නවීන ‘බඩ්’(budded) රබර් ගස් විස්සකින් පමණ ලැබෙන කිරි වලින්  එක කිරි තැටියක්‌ සකස් කළ හැකි වේ.

අම්ලය මිශ්‍ර කළ කිරි, පැය හතරකදී පමණ මිදී, මෘදු කැටියක් බවට පත්වේ. රබර් ෂීට් නිෂ්පාදනය සඳහා මෙම කිරි කැටිය හොඳින් තලා, තුනී කර ගත යුතුය. බොහෝවිට කුඩා ඉඩම් හිමියා, එය  ලෑල්ලක් මත තබා  අතින් තලා. බොරළු පුරවා බර වැඩිකරගත් බෝතලයකින් එය තවත් තුනීකර, අමු ‘රොටියක්’ සකස් කර ගනී. රොටිය තලා ගැනීම සඳහා අතින් කරකවනු ලබන ‘දිය රෝල්’ සමහර තැන්වල තිබේ. මිටපසු, තුනී කළ අමු ‘රොටිය’, ‘ඩයමන්ඩ් රෝල’ නමැති අතින් කරකවන තදීන් බර දැමිය හැකි විශේෂ උපකරණය තුලින් යවා තවදුරටත් තුනී කරගනු ලැබේ. මෙම ක්‍රියාව ‘රොටි ඇල්ලීම’යි මෙසේ කළ විට එහි ජලය බොහෝදුරට ඉවත් වී දාර සහිත තුනී අමු ‘රොටියක්’ ලැබේ. (diamond යන වචනය යොදා ඇත්තේ රොටිය මත ඇතිවන දෙපැත්තට සකස් වන දාර වලින් සෑදෙන හැඩතල නිසාය) බොහෝ විට කිරි කැපීමේ සිට මේ දක්වා ඇති කාර්යයන් සියල්ලම කරනුයේ රබර් කිරි කපන තැනැත්තා විසින්මය.

මේ ආකාරයට සාදාගන්නා ‘අමු රොටි’ වේලීම මීළඟ කාර්යයයි. කුඩා රබර් ඉඩම් හිමියා මේ සඳහා තමන්ගේම දුම් ගෙයක් ප්‍රයෝජනයට ගනී. බොහෝ විට, කටු මැටි ගසා ආවරණය කළ ගැල්වනයිස් තහඩු සෙවිලි කළ කුඩා කාමරය ‘දුම් ගෙය’ යි.

රබර් ‘දුම්ගෙය’ තුළ ඉහලින් සෑදු මැස්සක, හරස් අතට දැමු පොලුවල එල්ලා වැටෙන සේ රඳවනු ලබන ‘අමු රොටි’දුම් ගසා වේලීම පිණිස, පහලින්  ලී කොට දමා ගිනි අවුලවනු ලැබේ. දින දෙක තුනක් තිස්සේ දුම් ගැසීමෙන් පසු ජලය සම්පූර්ණයෙන් ඉවත්වූ ‘රොටි’, ලා දුඹුරු පැහැයක් ගනී. මේවා ‘ශීට් රබර්’ ලෙස හැඳින්වේ. ආනයනය කරනු ලබන මෙම ‘ශීට් රබර්’ විදේශ වෙළඳ පලේ හඳුන්වනු ලබන්නේ ‘දුම් ගැසූ දාර රොටි’ (RSS - Ribbed smoked rubber) යන නමින්ය.

එකළ රටෙහි රබර් වගා කළ සෑම ප්‍රදේශයකම, ගම් වල  ගැමියා විසින් නිෂ්පාදීත  ‘දුම් ගැසූ දාර රොටි’ මිලදී ගෙන ආනයන කරුවන් වෙත යවන වෙළෙන්දෝ සිටියහ. මෙම වෙළඳ සැල්වල ‘අවසර ලත් රබර් වෙළඳ තැන’ (Licenced dealer in rubber) යන දැන්වීම දකින්නට ලැබිණ. රබර් නිෂ්පාදකයාට තම භාණ්ඩ  මෙම වෙළඳ සැල් වලට අළෙවි කර, එවලේම මුදල් ලබාගත හැකි විය. නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස සැලකිය හැකි ‘ඔට්ටපාල්’ ද  අළෙවි කර මුදලක් ලබා ගත හැකි අපද්‍රව්‍යයක් විය.

‘දුම් ගැසූ දාර රොටි’ වලට, විදේශ වෙළඳ පලේ ඉතා හොඳ ඉල්ලුමක් තිබේ. විශේෂයෙන්ම වාහන වල ටයර් සහ වෙනත් ගෙවී යාම් වලට තුඩු දෙන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මෙම රබර් ප්‍රභේදය ඉතාමත් සුදුසු බව නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනයේ පුරෝගාමිකයන්වු, පැරණි ගැමියන් විසින් කරගෙන ආ ‘දුම් ගැසූ දාර රොටි’ නිපදවීම, අද බොහෝ දුරට අක්‍රිය වෙමින් පවතී. මහා පරිමාණයේ රබර්  කර්මාන්ත ශාලා මගින් ‘අමු කිරි’ එකතු කර යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් ‘ක්‍රේප් රබර්’ නිෂ්පාදනය කෙරෙහි යොමුවීම මෙයට ප්‍රධාන හේතුවයි. කෙසේ වෙතත් මේ මගින් රබර් නිෂ්පාදනයේදී ගැමියා මත තිබුණු බර බොහෝ දුරට අඩුවී ඇත. රබර් මුදවා ගැනීම, රොටි සකස් කිරිම, දුම් ගසා වේලීම වැනි භාරදුර ක්‍රියාවලියන් අද ඔහුට නැත. තම රබර් ඉඩමෙන් ලැබෙන අමු කිරි කෙලින්ම එකතු කිරීමේ මධ්‍යස්ථානයකට සැලකියයුතු මිලකට ලබාදී, අද ඔහුට සවස් වරුවේ විවේකයක් ගත හැකිය.

ස්වාභාවික රබර් කර්මාන්තය, ශ්‍රී ලංකාවේ ඉතාමත් සාර්ථක, එමෙන්ම තිරසාර සහ සමාජ-ආර්ථික වශයෙන්  වැඩදායි, අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණු අගනා සම්පතක් ලෙස සැලකිය හැකිය. රබර් කර්මාන්තයේ නියැලි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක මෙහෙය වීමෙන් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොඅඩුව ලැබේ. අගලවත්තේ, ‘ඩාර්ටන් ෆීල්ඩ්’ වතු යායේ පිහිටුවා තිබෙන රබර් පර්යේෂණායතනය, ලොව ඇති පැරණිම රබර් පර්යේෂණායතන වලින් එකකි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදන අංශය, රටෙහි විදේශ විනිමය උපයන තුන්වන කර්මාන්තය වී තිබේ. මෙය මගින් රටෙහි විවිධ මට්ටම්  වල වෘත්තිකයින් තුන් ලක්ෂයකට පමණ රැකියා පහසුකම් සලස්වා දී ඇත.  
  
(සියලුම ඡායාරූප අන්තර්ජාලයෙනි. ඒවා වෙනුවෙන්, අදාළ ආයතන වලට ස්තුතිය පළ කරමි.)        

Friday 13 April 2018

ගසක කොස් ගෙඩි, බුරුතු පිටින් කඩා වැටීම ‘ඇස්වහ කටවහ දෝෂයක්ද? අහඹු සිදුවීමක්ද?


    ගම් ප්‍රදේශයෙන් පිට ආයතනයක  සේවය කරද්දී  (1960 ගණන් වලදී) රාජකාරි ස්ථානය කිට්ටුව පදිංචිවී සිටි, අපට දුර නෑකමක් ඇති වෙද මහත්මයෙකුගේ නිවසෙහි නවාතැන් ගත්තෙමි. 

නගරයේ පිහිටි ඔහුගේ බෙහෙත් ශාලාවේ, වෙදකම් කළ ඔහු,  සමහර දිනවල සවස් කාලය ගෙදරම ගත කරයි. පාරම්පරික වෛද්‍යවරයෙක් වූ ඔහු, හොඳින් ඉඩකඩ තිබුණු තම ගෙවත්තේ නොයෙකුත් ඖෂධ වර්ග වගා කළේය. ඒ පැරණි ගෙවත්තේ කොස්, දෙල්, අඹ, පොල් වැනි ගස්ද එමට විය.  දුර නෑ කම නිසා ඔහු මට මල්ලි කියා ඇමතුවේය. මා හට ඔහු, වෙද අයියා විය. 

සවස්කාලයේ ගෙදර සිටින විට ඔහු බොහෝවිට, මා සමග විවිධ රෝග නිවාරණය සඳහා සඳහා ඖෂධ ශාකවල ඇති ගුණ, වට්ටෝරු ආශ්‍රිතව බෙහෙත් වර්ග සකස් කරන ආකාරය ආදී ශාස්ත්‍රීය දේවල් සහ වෙනත්   පැරණි රසවත් තොරතුරු කියමින් විනෝද වීම සිරිතක් කර ගත්තේය.

සමහර දින වල වෙද පොත් වල තිබෙන ඔහු කට පාඩම් කර ඇති ශ්ලෝක, මන්ත්‍ර, ආදියද කියා, ඒවායේ විස්තර සහ බලගතු කම්ද  මට පැවසීය. ඔහුට  ඖෂධ පැලෑටිවල උද්භිද විද්‍යාත්මක නම් සහ භාවිත කරන සමහර ද්‍රව්‍ය වල රසායනික නම් සොයා දීමටද  මම පුරුදුව සිටියෙමි.

එක් සෙනසුරාදා දිනක දහවල් අප දෙදෙනා  කතාකරමින් සිටින විට වයස්ගත  කාන්තාවක් ගෙදරට පැමිණියාය. ඈ ගෙට ගොඩ වන ගමන්ම

‘අන්න හොඳයි..... අද වෙද පුතා ගෙදරම ඉන්නවා’ කියමින්  ගෙතුළට ගියාය. 

ඇය වෙද මහතාගේ බිරිඳට  නෑ කමට නැන්දා වන කෙනෙක් බවත් ඇය  සොපි හාමි බවත් වෙද අයියා මා සමග කිවේය.

‘ඔය නැන්දා මාස තුන හතරකට පාරක් මෙහේ එනවා. එන හැම වතාකදීම අසනීප දෙක තුනකට මගෙන් කෂාය ලියාගෙන යනවා. ඒ උනාට කවදාවත් අසනීප හොඳ වෙන පාටක් නම් නැහැ.’

‘මල්ලි අහලත් ඇති, ඔය උන්දෑ ඇස්වහ කටවහ ඇති කෙනෙක් හැටියට ගම් පළාතේ හරි ප්‍රසිද්ධයි.’

වෙද හාමිනේ සමග ටික වෙලාවක් කතාකරමින් සිටි ඇය ආලින්දයට පැමිණ ආ ගිය තොරතුරු කියා, රක්ත වාතයට කෂායක් ලියා ගැනීම අවශ්‍ය බව කීවාය.

වෙද මහතා ඇයගේ නාඩි අල්ලා බලා, ඇස් සහ දිවද පරික්ෂා කර  කෂාය වට්ටෝරුවක් ලියාදී.

‘නැන්දා කෑම ටිකක් කාලම යන්න’  කී විට

‘ඔව්... වෙද පුතා, මේවා පිට ගෙවල්ද? මට ඕන නම් දවසක් දෙකක් උනත් නතර වෙන්න බැරියැ. වත්ත පිටියත් ටිකක් බලන්නට ඕනෑ’ කියමින්  මිදුලට බැස්සාය.

වෙද මහතාගේ මුහුණ නරක්‌ වී අමුතු ස්වරුපයක් ගත්තේය.

‘අන්න සොපි නැන්දා වත්ත පහලට යනවා ටිකක් බලන්න.’ කියා තම බිරිඳ ඇමතු වෙද මහතා

‘අද නම් මොකක් හරි පාඩුවක් වෙනවා.’ යයි සැක පහල කරමින් මා දෙස බලා ආලින්දයෙන් මිදුලට බැස වත්ත පහලට එබිකම් කර  බැලුවේය.

‘විනාසයි... විනාසයි... අන්න... සොපි උන්දෑ, ඉනට අත් දෙකත් ගහගෙන කොස් ගහ දිහා බලාගෙන  ඉන්නවා.’ කිවේය.

එබී බැලු මටද එම දර්ශනය හොඳ හැටි පෙනුනි.

ආපසු ආලින්දයට පැමිණ පුටුවේ වාඩි වූ වෙද අය්යා කිසිවක් කතා නොකර කල්පනා කරන්නට විය.
ටික වෙලාවකින් සොපි නැන්දා ආපසු ආලින්දයට ගොඩ වදිමින්

‘මේ පාර නම් මල් කොටුවේ කොස් ගහේ හොඳට ගෙඩි හැදිලා. නේද වෙද පුතේ?’ කීවාය.

එසේ ඇසීමෙන්  තරමක් කේන්ති ගිය බවක් පෙන්වූ වෙද මහතා, ‘ඔව්, පසුගිය අවුරුදු හතර පහේම ගෙඩි හැදුනේ නැහැ. මේ පාර ගෙඩි තුන හතරක් තියෙනවා’ යයි කියා 

හොඳින් උගුරපාදා, කාරා. ‘තූඃ’ ගා   මිදුලට කෙළ ගැසිය.

එය නොදුටු බව පෙන්වූ නැන්දා ‘ගෙඩි තුන හතරක් නෙවෙයි. අර පහළ බුරුත්තේ විතරක් ගෙඩි හතරක්ම  තියෙන්නේ. ඒකට දැන්ම කරුවක් තිබ්බා නම් හොඳයි. බුරුත්ත බර වැඩියි’ කියමින් ගෙතුළට ගියාය.

එදින ඇඳිරි වැටී ගෙන වෙලාවේ වෙද මහතා, මෙතෙක් කල් මට දකින්නට නොලැබුණු යමක්‌ කරන්නට සුදානම් වනු දුටු මම, එදෙසට ගියෙමි.

‘ආ මල්ලිත් ආ එක හොඳයි. අර සොපි උන්දැගේ කට හරිම වසයි. ගහේ කොස් ගෙඩි කුණුවෙලා යයිද දන්නෙත් නැහැ. මේ ඒකට පොඩි ගුරු කමක් කරලා ඇස් වහ දිය ටිකක් මතුරන්නයි හදන්නේ.’ කියමින් මා දෙස බලා ගත් වනම සිටියේය.

එම බැල්ම නිසාම, එතැන සිටීම නොගැලපේයයි සිතු මම මඳක් ඉවතට ගියෙමි.

වෙද මහතා බාල්දියකට ලිඳෙන් වතුර ගෙන, සුදු රෙදි කඩක්‌ පෙරහනක් ලෙස පාවිච්චි කර, කුඩා නැවුම් මුට්ටියකින් භාගයක් පමණ වතුර පෙරා ගත්තේය. එයට කුඩා දෙහි අතු කැබෙල්ලක් දමා, කොස් ගස අසල තිබුණු ගල් පඩියක් මත වාඩිවී පැය භාගයක්‌ පමණ වෙලා හෙමිහිට ‘මන්තර’ කිහිපයක් ජප කර, මුට්ටියේ ඇති ජලය දෙහි කොළ ඉත්තෙන් ගස වටේ ඉස, අත දිග මානයේ තිබුණු ගෙඩි වලටත් ඉස්සේය.

ආපසු ආලින්දයට පැමිණි වෙද මහතා ‘ඇස් වහ කට වහ නැතිවෙන්නට පොඩි ගුරු කමක් කළා’ කියමින් තමන් ඒ වැඩ වලටත් හපනෙක් බව මට පෙන්විය.

පසුදින සවස මා කාමරයේ සිටින විට වත්ත පිටුපස ‘දඩා...ස්’ යන හඬින් යමක් වැටෙන ශබ්දය ඇසී ඉක්මණින් ඒ පැත්තට ගියෙමි.

මට, මගේ ඇස් අදහා ගැනීමට නොහැකි විය. ‘දඩා...ස්’ හඬින් බිමට  වැටී ඇත්තේ කොස් ගෙඩි හයක්‌ සහිත කොස් බුරුතු දෙකකි. ගෙඩි එකිනෙකින් වෙන නොවී බුරුතු පිටින්ම ගස යට තිබුණි.

මා එහි සිටින විට වෙද හමිනේද එතැනට පැමිණියාය. එදින වෙද මහතා  ලෙඩෙක් බැලීම සඳහා පිටතට ගොස් ඇති බව ඇය කීවාය.

‘සොපි උන්දැගේ අවලං කටට හොඳක් වෙන්නේ නැහැ.... ඊයේ ගෑනිගේ නපුරු ඇස් දෙකෙන් කොස් ගෙඩි දිහා බලලා, කට මැත දොඩන කොටම මම හිතා ගත්තා හොඳටම ඇස්වහ කටවහ වදින්නට ඇතිය කියලා. අපරාදේ යන්තම්වත් පැහිලා නැති නාඹර කොස්. කොස් වලටත් නැහැ. ගැට පොලොස් වලටත් නැහැ.’

‘ඊයේ වෙද අයියා, ඇස්වහ කටවහ මග හරවන්නට ගුරු කමකුත් කළා නේද? මම ඇසීමි.

‘අනේ එයාහේ ගුරුකම්....? දහයක්‌ කළොත් එකක් හරියයි.... ගුරු කම කොහොම වෙතත් ඔය කොස් ගෙඩි ටික ගහ යට තියෙන්නේ.’ කියමින් ඇය ගස්සාගෙන ගෙතුළට ගියාය.

තරමක් සවස් වී ගෙදර ආ වෙද අයියා සිද්ධිය දැනගත් ගමන්ම සොපි නැන්දාට පරිභව කරමින් කොස් ගස යටට ගොස් කම්මුලට අත තබාගෙන

‘මම හිතුවා හරි. ඇස්වහ කටවහ වැදුනට පස්සේ ගුරුකම් හරියන්නේ නැහැ. උන්දෑ මෙහේ එන්නට කලින් ඔය වැඩේ කළා නම් කොස් ගෙඩි ටික බේරා ගන්නට තිබුණා.’ කියමින් තවත් පුරසාරමක් දෙඩුවේය.

සිදුවී ඇති දෙය හොඳින් පරික්ෂා කිරිමේදී මට දකින්නට ලැබුණේ, ගසෙහි තරමක් ඉහළින් තිබුණු, විශාල කොස් ගෙඩි දෙකක් සහිත බුරුත්තක්, බර වැඩි කම වැනි, යම්කිසි හේතුවක් නිසා, නටුව කඳෙන් ගැලවී පහල තිබුණු ගෙඩි හතරක් සහිත බුරුත්ත මත වැටී, එයත් ගැලවී ගොස්, බුරුතු දෙකම බිමට පතිත වී ඇති බවයි.

කෙසේ වෙතත් එම කොස් වාරයේදී තවත් අවස්ථා දෙක තුනකදීම බුරුතු පිටින් කොස් නටුවෙන් ගැලවී බිමට වැටුණු බවද, මම දුටුවෙමි. 
 
‘ඇස්වහ කටවහ’ දෝෂයත් එය මගහරවා ගැනීම සඳහා කරනු ලබන  ‘වතුර මැතිරීම’ නම් ‘ගුරු කම’ත් දශක කිහිපයකට පෙර  අප සමාජයේ බෙහෙවින් දකින්නට ලැබුණි.  බොහෝ විට පාරම්පරික වෙද මහත්වරු, වෙදකම, ජ්‍යෝතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වස් කවි සෙත්කවි සෑදීම වැනි සියලු දේ කිරීමේ හපනුන් ලෙස සිටි කාලයක්ද තිබිණ. තවමත් ගම්බද ප්‍රදේශ වල මෙවැනි අය ජීවත් වනවා ඇත. මොහොතක් කල්පනා කර බැලූ විට ස්වාභාවිකව සිදුවිය හැකියයි උපකල්පනය කළහැකි  මෙවැනි දේවල් සමග ‘ඇස්වහ කටවහ’ සම්බන්ධ කර ගැනීම මුලාවක් යයි සිතේ. 

සමහරවිට මෙවැනි සිද්ධි  ‘සහසම්බන්ධ සිදුවිම්’ (coincidences) ලෙසද නිගමනය කළ හැකි නොවේද?        


Friday 6 April 2018

අවංක මිනිස්සු ගැන කතාවක්........

   විදේශයක රැකියාවක් කිරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ,චක්‍ර ලේඛය අනුව මටද දකුණු ඉන්දියන් සාගරයේ පිහිටි, කුඩා රටක්‌ වන සීෂෙල්ස් රාජ්‍යයේ වසර කිහිපයක් සේවය කිරීමට ලැබුණි. අධ්‍යාපනය සහ සංස්කෘතික අගයයන්ගෙන් එතරම් ඉහල මට්ටමක නොතිබුණු රටක්‌ වුවද එහි මිනිසුන් අවංක නීති ගරුක පිරිසක්ම වුහ. මාහට මුහුණ පෑමට සිදුවූ එක්තරා සිද්ධියක් මගින් ඔවුන්ගේ අවංක භාවය පැහැදිලිවම දැක්විය හැකිය.

මට එරටට යාමට අවස්ථාව ලැබුනේ 1983 වසරේ මුලදීය. එහි ප්‍රධාන නගරයේ තිබුණු මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගත් මම, කියවීම සඳහා නිතුරුවම පුස්තකාලයෙන් පොත් ලබාගැනීමට පුරුදුව සිටියෙමි.  පුස්තකාල සාමාජිකත්වය ලබා මාස පහකින් පමණ, මා සේවය කළ ආයතනය හරහා මට පුස්තකාලයෙන් දුර කථන පණිවුඩයක් ලැබිණ.

එය මෙසේය

‘වැදගත් කරුණක් සඳහා, කරුණාකර මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනිය හමුවන්න.’

රටට අලුතින් පැමිණි කෙනෙකු වශයෙන් මෙය මට තරමක ගැටළු සහගත පණිවුඩයක්  විය.
එදිනම  සවස මම පුස්තකාලයට ගොස් පුස්තකාලයාධිපතිනිය හමුවීමි. මා සමග ඉතාමත් සුහද ව කථාකළ ඇය ලාච්චුවක් විවෘත කර මුද්දර කිහිපයක් ගෙන මේසය මත තබා,

‘මේ මුද්දර හඳුනා ගත හැකිද ?’ කියා මගෙන් ඇසිය.

එහි මුද්‍දර කිහිපයක් විය. ඒවා සියල්ලම ශ්‍රී ලංකාවේ අප නිතර දැක පුරුදු මුද්දර විය. ඒ මුද්දර ශ්‍රී ලංකාවේ ඒවා බව හඳුනාගත් මම

‘මේ මුද්දර කිහිපය එතරම් වැදගත් කරුණක් වන්නේ කෙසේද?’ කියා  එක්‌ වරම ඇයගෙන් විමසීමි.

මගේ පන්තියක සිටි, මුද්දර එකතු කිරීම විනෝදාංශයක් වශයෙන් කරන ශිෂ්‍යාවකට දීම සඳහා, ඊට මාස කිහිපයකට ඉහතදී මට ලැබුණු ලියුම් වලින් ගලවා එකතු කළ,  මුද්දර කිහිපයක් අස්ථාන ගතවූ බව මට මතක් විය. මට පෙන්වූ  මුද්දර කිහිපය නැවතත් හොඳින් පරික්ෂා කිරීමේදී එයින් එකක මා ලංකාවේ පදිංචි නගරයේ තැපැල් මුද්‍රාව ඇති බව පැහැදිලිවම දැක ගත්තෙමි.

‘මේ මුද්දර, මේ රටේ මුද්දර එකතු කරන කෙනෙකුට දීම සඳහා, මට ලැබුණු ලියුම් වලින් ගලවා ගත් ඒවා යි. මාස කිහිපයකට ඉහතදී  ඒවා අස්ථානගත වී මට සොයා ගන්නට බැරි උනා.’

මම සිද්ධිය ඇයට පැහැදිලි කළෙමි.

‘ඔබ හරි, ඒවා ලාංකිකයෙකුගේ  විය හැකි බව මුද්දරයේ “Sri Lanka”  යන වචන වලින් අප දැනගත්තා. මේ මුද්දර තිබුණේ, ඔබ කියවීම සඳහා ලබාගත් පුස්තකාල පොතක් ඇතුලේ. ඊට පසුව ඔ‍බට පසුව එය කියවූ කෙනෙක්, මුද්දර සහ මුදල් නෝට්ටු අපට ගෙනැවිත් භාර දුන්නා.’

කියා මඳ සිනහවක් පෑ ඇය, මා මාස කිහිපයකට ඉහතදී  පුස්තකාලයෙන් ලබාගෙන, කියවා ආපසු භාරදුන් Dale Carnegie ගේ  ‘How to win friends and influence people’ නම් පොත මට පෙන්වූවාය. එහි අවසාන පිට කවරයේ ඇතුල් පැත්තේ එම පොත පාඨකයින් විසින් ලබාගෙන ඇති දින සඳහන් කර තිබිණ. (ඒ කාලයේ පුස්තකාල කටයුතු සඳහා පරිගණක පාවිච්චියක් නොවිය)  



අස්ථාන ගතවී යයි මා කලින් සිතු මුද්දර,  පොතක් ඇතුලේ දමන ලද බව මට එවලේ සිහි විය.

මුද්දර කිහිපය සාක්කුවට දමාගත් මා ඇයට ස්තුති කර ආපසු ඒමට සුදානම් වුවිට ඇය,

‘එහෙම යන්නට දෙන්න බැහැ. තවත් මීට වඩා වැදගත් දෙයක් ගැන ගැන කතාකර, ඔ‍බට තෑග්ගක් දෙන්නට තිබෙනවා’ යයි කියා මට මොහොතක් නතර වන ලෙස අතින් සන් කළාය.

පුදුමයට පත්වූ මම සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනිමටවත් නොහැකිව, නැවතත් පුටුවේ හිඳ ගතිමි. 

ඇය, එවර ලාච්ච්චුව නැවත විවෘත කර,  කුඩා කවරයක් මා ඉදිරිපිට තබා

‘මෙන්න ඔ‍බට ‘තෑග්ගක්’.  එයට මා ‘තෑග්ගක්’ කීවාට එය ඔබට අයිති දෙයක්’
කියමින් කවරය විවෘත කළාය.

කවරය තුළ වුයේ රුපියල් සියයේ නෝට්ටු දෙකකි. මට කිසිවක් සිතා ගත නොහැකි විය. පුස්තකාලයට නවකයෙකු වූ මා, දැනුවත් නොවූ, පොත් කියවීමේ තරඟයකින්  ජයග්‍රහණය කර තිබේදැයි මට සැකයක්ද පහල විය. මා තුෂ්නිම්භුතව බලා සිටින විට ඇය මට සියල්ල හෙළි කළාය.

‘මේ මුදල් නෝට්ටු දෙක තිබුනෙත් ඔබ කියවූ පොත ඇතුළේ. මෙය ඔ‍බගේ විය යුතුයයි අප අනුමාන කළා. දැන් එහි අයිති කරු ඔබ බව සැක රහිතව ඔප්පු වූවා. කරුණාකර එය භාර ගන්න.’

මට සියල්ල තේරුම් ගත හැකි විය. ඊට මාස කිහිපයකට පෙර, මා මගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙසියයක් ලබාගෙන, එදින මාගේ මුදල් පසුම්බිය සාක්කුවේ නොතිබුණු බැවින්, එම නෝට්ටු අතෙහි  තිබුණු පුස්තකාලයෙන් ලබාගත් පොත තුළ දමාගත් බව සැනයකින් සිහි විය. එතෙක් මා සිතා සිටියේ එම මුදල් නෝට්ටු මග තොටේදී බිම වැටෙන්නට ඇත කියාය. ඒ ගැන මට තරමක කනස්සල්ලක් ඇතිවුවත් ටික දිනකින් එය අමතක කර දැමීමි. එසේ නැතිවූ මුදල් ආපසු ලැබේ යයි, මා කිසි විටකත් සිතුවේ නැත.  (එකළ එරට රුපියල් දෙසියය අපේ මුදලින් රුපියල් දෙදහසක් පමණ විය.)

‘ඔබ පොත ආපසු භාරදී මාසයකට පසු පොත කියවීම සඳහා ලබාගත් වෙනත් පාඨකයෙක්  පොතෙහි  තිබී හමුවූ මුද්දර සහ මුදල් නෝට්ටු අපට ආපසු ගෙනැවිත් භාර දුන්නා. ඊට ප්‍රථමයෙන් පොත කියවා ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු විය හැකි බවට අප මුද්දර වලින් සැක කළා. පුස්තකාල සාමාජිකයෙකු ලෙස ඔබ විසින් සම්පූර්ණ කර දෙන ලද තොරතුරු පත්‍රිකාව අනුව අපට ඔබ සොයා ගැනීමට හැකි වුවා. ඔබට දුර කථන පණිවුඩයක් දුන්නේ ඊට පසුවයි. ඔබට අයිති මෙම මුදල් සතුටින් භාරගන්න.’
  
කියා මුදල් සහිත කවරය මා අත තැබුවාය.

නැතිවූ මුදල් ආපසු ලැබීම ගැන ලැබුණු සතුටට වඩා කිහිප ගුණයක සතුටක්, එම මිනිසුන්ගේ අවංක භාවය පිළිබඳව මට ඇතිවිය. තව දුරටත් කල්පනා කළ මා හට එම මුදල පුස්තකාලයටම පරිත්‍යාග කිරීමට සිත්වී,

‘මට මේ මුදල පුස්තකාලයටම පරිත්‍යාග කළ හැකිද?’ කියා  මම නිහතමානිව පුස්තකාලයාධිපතිනියගෙන් ඇසීමි.

‘ඔය මුදල් අයිති ඔබට. අපට හමුවූ එය, හැකි ඉක්මනින්, අයිති කරු සොයා නැවත එය ඔහු  අත පත් කිරීම අපගේ යුතුකමක්. ඇරත්, අපට පුස්තකාලය වෙනුවෙන් මුදල් භාර ගැනීමට අයිතියක් නැහැ.’ කියා ඇය මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

‘කරුණාකර මුදල භාරගත් බවට මෙහි අත්සන් කරන්න.’ කියා ඇය මට කුවිතාන්සියක් ඉදිරිපත් කළාය.

එය අත්සන් කළ මා ‘පුස්තකාලය වෙනුවෙන් මට කළහැකි වෙනත් යමක්‌ තිබේද?’ යන්න ඇයගෙන් ඇසීමි.

‘ඔ‍බට අවශ්‍යම නම් පලාත් පාලන  ආයතනයෙන් අවසරයක්  ලබාගෙන, ඔවුන් නිර්දේශ කරන සාමාන්‍ය  මිලක පොතක් පුස්තකාලයට පරිත්‍යාග කළ හැකියි.’ ඇය කීවාය.

‘එසේ නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු කර මට දන්වන්න’ කී මම

මට පසුව පොත කියවා ඇති, මුද්දර සහ මුදල් නෝට්ටු  සමග පොත ආපසු භාරදුන් තැනැත්තා හඳුනාගත හැකිදැයි  ඇයගෙන් විමසීමි. 

‘ඒ තැනැත්තා කැමතිනම් පමණක් අපි එසේ කරමු’ යයි කී ඇය මගේ ලිපිනය සහ ගෙදර දුර කථන අංකය ලියා ගත්තාය.

කිහිප දිනකට පසු, මට පළාත් පාලන ආයතනයෙන් ලිපියක් ලැබිණ. එම ලිපියෙහි සඳහන් කරුණු කෙරෙහි මගේ සිත තදින් ඇදී ගියේය.

'ඔබගේ අස්ථානගතවූ මුද්දර සහ මුදල් අප පුස්තකාලයට ලැබී, ආපසු ඔබහට ලබාදීමට හැකිවීම ගැන අපි මහත් සතුටට පත්වීමු. ඒ වෙනුවෙන් පුස්තකාලයට පරිත්‍යාගයක් කිරීමට ගන්නා ලද,  ඔබගේ තීරණය අපි ඉතාමත් අගය කරමු. පුස්තකාලයාධිපතිනියගේද නිර්දේශය  අනුව, දැනට පුස්තකාලයේ නොමැති Dale Carnegie විසින්ම ලියන ලද ‘How to stop worrying and start living’ යන රුපියල් 35 ශත 50 ක් වටිනා පොත පුස්තකාලයට ලබාදීමට හැකිනම් එය  සතුටින් බාරගන්නා බව දන්වමි.’  


මම වහාම ක්‍රියාත්මක වීමි. දින කිහිපයකින්, යෝජිත පොත මිලදී ගෙන පුස්තකාලයට භාර දුනිමි.
නැවතත්, මට ස්තුති කර  පුස්තකාලයෙන් ලිපියක් ලැබිණ. එය ඉතාමත් ප්‍රසන්න සහ සිත් ඇද ගන්නා සුළු එකක් විය.

“පුස්තකාලයෙන් කරනලද යුතුකම ඉටු කිරීමක් වෙනුවෙන් පාඨකයෙකු විසින් පරිත්‍යාග කරන ලදී.”

යන වාක්‍යය  ලියු තීරුවක්‌ පොතෙහි මුල් පිටුවේම අලවා ඇත.

පසු කාලයේදී පොත කියවීම සඳහා ලබාගන්නා බොහෝ දෙනෙකු ඒ ගැන විපරම් කර ඇති බව මට පුස්තකාලයාධිපතිනියගෙන් දැනගන්නට ලැබිණ.

එසේ විපරම් කරන  සෑම අවස්වථාකදීම, මුද්දරයක් හරහා ශ්‍රී ලාංකික පාඨකයකු හඳුනාගත් ආකාරය විස්තර කර දෙන බව මට දැනගන්නට ලැබිණ.
  
මට පසුව, පොත කියවා එය පුස්තකාලයට භාරදුන් මා කිසිදිනක දැක නොමැති පුස්තකාල පාඨකයාගෙන්ද දුර කථන ඇමතුමක් ලැබිණ. ඔහු නගරයේම විදුහලක ගුරුවරයෙකි. මම ඔහුටද ස්තුති කළෙමි.පසුව හමුවූ අපි හොඳ මිතුරන් වීමු.

Dale Carnegie ගේ   ‘How to stop worrying and start living’ යන පොතෙහි නවතම මුද්‍රණයේ පිටපතක් පුස්තකාලයට ලබාදීම පිළිබඳවද  ඔහු මට ස්තුති කළේය.

තැපැල් මුද්දරයකට මෙතරම් දෙයක් කළ හැකි බව  මට අදහා ගත නොහැකි විය.

මෙම සිද්ධිය වී වසර තිස් දෙකකට පමණ පසුව, මාගේ මුණුපුරෙකු  ‘How to win friends and influence people’ නම් පොත කියවනු දැක, සිද්ධිය  පිලිබඳ මගේ මතකය අලුත් විය. පැරණි කතන්දරය  ඔහුට පැවසූ ආකාරයෙන්ම මෙහි සටහනක් තැබීම උචිතයයි සිතුවෙමි. 

මේ එම සටහනයි.

Dale Carnegie ගේ ‘How to win friends and influence people’   යන පොතෙහි හුවා දක්වන වැදගත් දර්ශනය වනුයේ  ‘මිතුරන් දිනා ගැනීම’ යන සංකල්පයයි  එසේම  ඔහුගේ  ‘How to stop worrying and start living’ නම් පොතෙහි දැක්වෙන්නේ  ‘කනස්සලු භාවයෙන් මිදීම’ ලඟාකර ගන්නේ කෙසේද යන්නයි.

මේ පොත පිලිබඳ සිද්ධියෙන් මට එම කතුවරයා සඳහන් කර ඇති, අවස්ථා දෙකම පහසුවෙන් ළඟාකර ගැනීමට හැකිවීම පිළිබඳව අදටත් සිතෙහි  මහත් ප්‍රබෝධයක් ඇතිවේ.

ලොව සෑම තැනකම තම යුතුකම ඉටුකරන අවංක මිනිසුන් සිටීම කෙතරම් භාග්‍යයක්ද?
   

Tuesday 3 April 2018

පරිසරයට සමීප, දරුවන්ගේ සුන්දර ලෝකයේ සරල ක්‍රියාකාරකම් කිහිපයක් සිහියට නගමු.


සිංහල අවුරුදු කාලය කුඩා දරුවන්ට ඉතාමත් ප්‍රීතිදායක කාලයයි. දශක කිහිපයකට ඉහතදී නම් අවුරුදු ලං වෙත්ම ගම්බද මහත් කලඑළියක් දකින්නට ලැබුණි. බක් මහ ලබන බව හඬගා කියන කොහාගේ නාදයත් සමග, එරමුදු ගස් රත් පැහැති මලින් බරවී, කොහාගේ පණිවුඩය සනාථ කරයි. වෙල් යායෙන් ඇසෙන කමත් කවි වලට අමතරව ළඟ ළඟම ඔන්චිලි වාරම්ද ඇසෙන්නට පටන් ගනියි.

නිවාඩුව කෙළිදෙලෙන් ගතකරන කුඩා දරුවෝ තමන්ටම ආවේනික බොහෝ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වලට නිතැතින්ම යොමු වෙති. වර්තමාන තාක්ෂණික බලපෑම් නිසා ක්‍රමක්‍රමයෙන් ගිලිහි යමින් පවතින එදා ගැමි  දරුවන් අතර දකින්නට ලැබුණු  සාමුහික ක්‍රියාවලි කිහිපයක් ගැන සිත් මෙනෙහි කරමු.

කුඩා දරුවන්ට නැතුවම බැරි භාණ්ඩයකි බට තුවක්කුව. තරමක් මෝරා ඇති බටලියක් කපා එය තුලට ඇතුල් කළ හැකි මල්කෑර වැනි සිහින්, දිග ඇති එමෙන්ම ශක්තිමත් කෝටුවක්  බට විල්ලක සවිකර ගත් විට එය ‘තුවක්කු කූර’ ලෙස හැඳින්වේ. තුවක්කුවට බලුදන්  උන්ඩ ඇතුල් කරනුයේ කුරෙන්ය. 


 

බට තුවක්කුවේ කුඹලට බලු දන් ගෙඩියක් දමා එහි අග්‍රය දක්වා ‘කූරෙන්’ තදකර, තවත්  බලු දන් ගෙඩියක් දමා තල්ලු කරන විට කුඹල ඇතුලේ තෙරපෙන වාතය තරමක් හඬ නගමින් ඉදිරි කෙළවරේ බලු දන් ගෙඩිය එලියට වීසිවේ. වෙඩි තැබීම මෙයයි.  බට තුවක්කුවට බලු දන් දමා වෙඩි තැබීම දරුවන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙන සරල ක්‍රීඩාවකි. පරිසරයෙන් ලබාගත් අමු ද්‍රව්‍ය වලින් සාදනලද  බට තුවක්කුව කිසිම හානියක් රහිත සරල ක්‍රීඩා භාණ්ඩයකි. 

පාසැලේ අත්වැඩ වලදී සාදාගන්නා කඩදාසි බෝට්‌ටු,  ගෙදර එන ගමන් තම යහළු යෙහෙලියන් සමග, මග තොටේ ඇති, දොළ පාරක පා කර හැරීම දරු දැරියන්ගේ සිරිතය. 



වර්ෂාව පවතින අවස්ථා වලදී, මිදුලේ සෑදෙන තාවකාලික දිය කඩිති වල, පවා කඩදාසි බෝට්‌ටු පා කරන දරුවන්ට දොළ පාරෙහි කඩදාසි බෝට්‌ටු පා කර හැරිම මගින්  මහත් විනෝදයක්‌ සහ  අමුතුම ආශ්වාදයක් ලැබෙනු ඇත. 

පරිසර පරිහානි  වලට ගොදුරු නොවූ බොහෝ  ගම්බද වට පිටාවන්හි, පිරිසිදු ජලය ගලා බසින  නොගැඹුරු ඇළ, දොළ තවමත් දකින්නට ලැබේ. මෙවැනි ඇළේ දොළේ බැස, දන්ඩි පැටව්, තිත්තයින් වැනි මාලුන් අල්ලා  ටික වේලාවක් ජල බඳුනක දමා ඔවුන්ගේ හැසිරීම් රටා බලමින් කුඩා දරුවෝ කෙතරම් ප්‍රීතියක් අත්පත් කර ගනිත්ද? ඔවුනට දෑත ගොටුවක්‌ මෙන් සකස් කර  හෝ කඩදාසි ගොටුවක් සාදා කුඩා මසුන් අල්ලා ගැනීමට මනා පළපුරුද්දක්‌ තිබේ. එම මසුන්ට හිරිහැර නොකර හොඳින් දැක බලා ගෙන ආපසු දියට දමා උන් නැවත පිහිනා යනු බලා දරුවෝ නොමඳ සතුටක් ලබති.



අවුරුදු ලබන, බක්‌ මාසය වන විට, කෙත් වතුවල ගොයම් පාගා වී අස්වැන්න අටු කොටු වලට පුරවා අවසන්වේ. මේ වන විට පාවරේ ඉතිරි වන පිදුරු ගොඩවල් කුඩා දරුවන්ට සිත්සේ දඟලමින්, උඩ පනිමින් සෙල්ලම් කිරීමට ඉතාමත් හොඳින්  ගැලපෙන  ස්ථාන වේ.



නගරයේ ක්‍රීඩාගාරයක තිබෙන රබර් මෙට්ටයක ඇති කෘතීම භාවය  නොමැති පිදුරු ගොඩක, පෙරළෙමින්, උඩ පැන නටමින් ලබන මිහිරියාව දන්නේ එවැනි තැනක සෙල්ලම් කර ඇති දරුවන් පමණකි.
 
සෙල්ලම් ගෙයක් සාදා ගෙන, එය තුළට වී සෙල්ලම් බත් උයා, බෙදා හදා ගැනීමෙන්ද දරුවෝ අපමණ සතුටක් ලබන අතරම සාමුහික හැඟීමකින් යුතුව කටයුතු කිරීම පිළිබඳවද පුහුණුවක් ලබති. ගැමි දරුවන්ගේ සෙල්ලම් ගෙවල් විවිධාකාර වේ. පොල් අතු, කෙසෙල් අතු, උණ ලී වැනි වටපිටාවෙන් ලබාගත හැකිදේ භාවිත කර සාදාගත් සෙල්ලම් ගෙයක් මෙහි දැක්වේ. සෙල්ලම් ගෙය තුළට වී පංචි දැමීම, නෙරෙංචි ඇදීම, ගල්පෙලීම  වැනි පැරණි ක්‍රීඩා වල නිරත වීමට දරුවෝ   බොහෝ කැමති වෙති. එහෙත්, ගම පවා, නාගරීකරණයට හසුවී ඇති මේ වකවානුවේදී, සමහර දරු දැරියන් සඳහා වැඩිහිටියන් විසින්  වෙළඳ පළෙන් මිලදී ලබාගන්නා  සෙල්ලම් ගෙවල් මගින් නම්, දරුවන්ට කිසිම පාරිසරික වින්දනයක් ලබාගැනීමට කිසිසේත් හැකියාවක් නොලැබේ.

අවුරුදු කාලයේ සෙල්ලම් ගෙයක් සාදා ගන්නා  බොහෝ කුඩා දරු දැරියෝ, කොස් කොළ තොප්පි සාදා පැළඳ ගෙන සිටිනු දකින්නට ලැබේ. කොස් ගස් වලින් ඉදී බිමට වැටෙන, කොස් කොළ කිහිපයක්, රවුමක් ලෙසට ඉරටු වලින් අමුණා, ඉදිරියෙන්, එක කොස් කොළයක් සිරස්ව අමුණා ගත් විට ඔටුන්නක හැඩය ඇති කොස් කොළ තොප්පියක් සාදා ගත හැකිය. 


අපතේ යන කොස් කොළ වලින් මෙසේ සාදාගත් තොප්පි පැළඳ ගත් දරු දැරියෝ ඒ ගැන මහත් අභිමානයකින් යුක්තව තම ක්‍රීඩාවල නිරත වෙති.

තම අවට පරිසරයේ තිබෙන බොහෝ ස්වභාවික දේ, පරිසර හානියක් නොවන පරිදි, තම විනෝදය සඳහාත් නව නිපැයුම් සඳහාත් යොදා ගැනීම පිළිබඳව ගැමි දරුවාට මනා හසුරු කෞශල්‍යයයක් තිබේ.

රබර් ඇටයක්, ඉරටුවක්, නූලක්  සහ පොල්පිත්තක පතුරු කැබැල්ලක් පාවිච්චි කර ඉතා හොඳින් ක්‍රියා කරණ, බඹරයක්මෙන් කරකැවිය හැකි හුළංපෙත්තක් සාදා ගැනීමට ගැමි දරුවා දනී. ඔහු, රබර් ගස් යට වැටී, පැළ නොවී, අජීවී තත්වයට පත්වි ඇති, මදය ඉවත්වී ඇති  රබර් ඇටයක්, මේ සඳහා තෝරා ගනී. ඉරටුව ඇතුල් කිරීම සඳහා රබර් ඇටය අග්‍ර දෙකෙන් සිදුරු කර ගත යුතුය. තමන්ගේ කවකටු පෙට්ටියේ ඇති උල් කටුව රබර් ඇටයේ සිදුරු සෑදීම සඳහා බොහෝවිට පාවිච්චි කරන මෙවලමයි. රබර් ඇටයේ මැදින් සකස් කළ යුතු   තුන්වැනි සිදුර  උල් කටුවෙන් හෑරිම ඉතාමත් සීරුවෙන් කල යුතු කාර්යයකි. මෙසේ සාදා ගන්නා හුළංපෙති බඹරය අද වෙළඳ පලේ ඇති එවැනි බඹරයකට කිසිසේත් දෙවැනි නොවේ.


කුඩා දරුවන්ගේ කුසලතාව දක්වන තවත් සරල ක්‍රීඩා උපකරණයකි ‘කුරුම්බැට්ටි මැෂිම’ 



පොල් මලෙහි සාර්ථක පරාගණයක් නොවී හැලී යන ‘කුරුම්බැට්ටි’සහ ඉරටු කැබලි කිහිපයක්‌ එක්තරා ක්‍රමයකට, රුප සටහනේ දැක්වෙන පරිදි එකලස්‌ කර ගැනීමෙන් ‘කුරුම්බැට්ටි මැෂිම’සකස් කර ගත හැකිය. මහි මැදට ඇල්බීසියා හෝ වදමල් ගසක කොළයක් දමා, ඉරටුවෙන් අල්ලා ගෙන ‘කුරුම්බැට්ටිය’  වේගයෙන් කරකවන විට ‘ටික්.... ටික්.... ටික්’ යන හඬක්ද සහිතව කොළයේ මැහුමක් වැනි රේඛා දෙකක් සෑදී ඉවතට වැටේ.

මෑතක් වන තුරුම ගම්බද දරුවන් මෙවැනි අවට පරිසරයට, ගසට කොළයට, සතා සීපාවාට, සමීප සරල ක්‍රියාකාරකම්, ක්‍රීඩා බවට හරවා ගනිමින් අපමණ වින්දනයක් ලබනු දකින්නට ලැබිණ. එහෙත් වර්තමානයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නාගරීකරණය සහ තාක්ෂණ විප්ලවය නිසා දරුවන්ට පරිසරයෙන් ලබාගතහැකි වින්දනය සිමා වෙමින් පවතී. මෙසේ සිදුවෙමින් පවතින පරිවර්තනය කිසිසේත් මැඩ පැවැත්විය නොහැකිය.

එසේ වුවත්, සිංහල අලුත් අවුරුදු සමයේදී ජාතික ක්‍රීඩා, ජනගායනා, ගැමි නැටුම් ගැයුම් ආදියට මුල්තැන දීම අදත් ගැමි පරිසරයේත් නගර බදත් දකින්නට ලැබෙන සංස්කෘතික පිබිදීම් බව පෙනේ. මෙවන් අවස්ථාවලදී කුඩා දරු දැරියන්ටද  එදා දකින්නට ලැබුණු සරල ක්‍රියාකාරකම් වල නියලිමටද ඉඩකඩ ලබාදීම නුවණට හුරු නොවේද?

(හිතවතෙකු විසින් අන්තර්ජාලයෙන් ලබාගෙන මා වෙත ඒවා ඇති, මෙහි ඇතුළත් ඡායාරුප 'Think for Moment' නමැති වෙබ් අඩවියෙන් බව ස්තුති පුර්වකව සටහන් කරමි)