Thursday 7 September 2017

“පත්තෑයෙක් ... පත්තෑයෙක්...” කාර්යාල වෑන් රථයේ මහා කලබලයකි.

    මා අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරද්දී ගමන් අපහසුතාව අඩු කර ගැනීම පිණිස කාර්යාල වෑන් රථයකින් යාම් ඊම් පටන් ගත්තෙමි. දොළොස් දෙනෙකු සඳහා ඉඩකඩ ඇති වෑන් රථයේ දහසය දෙනෙකු පැටවීම රියදුරුගේ සිරිතය. සමහර දිනවල කාන්තාවන් තම කුඩා දරුවන්ද රැගෙන එන අවස්ථා එමටය. 

මා ගිය වෑන් රථයේ කාන්තාවන් දොළොස් දෙනෙක් සිටියහ. පිරිමි සතර දෙනාගෙන් එක් අයෙකු දෙපා වල ආබාධයක් සහිත පෞද්ගලික ආයතනයක යම්කිසි පුහුණුවක් ලබන්නෙකි. රියදුරුගේ නෑදෑයෙකු වන දෙවැනි පිරිමියා වෙළඳ සැලක වැඩ කරන බොහෝ  වයෝවෘද්ධ අයෙකි.  තුන්  වැන්නා වාණිජ ආයතනයක ඉගෙනීම කරන ඉතා නිශ්ශබ්ද තරුණයෙකි. සිව්වැන්නා මම වෙමි. ඉඳහිට වාහනයේ ටයරයක් මාරු කර ගැනීමට සිදුවුවත් රියදුරුට උදව්වක් කිරීමට සිටිනුයේ මා පමණකි. කාන්තාවන් බොහෝ විට වාහනයට ගොඩවූ වෙලේ සිට නිදි කිරා  වැටෙති.

මගේ ආසනය වුයේ රියදුරුට වම් පස අයිනේ ආසනයයි. අඩුවෙන් කථාකරන තරුණයා රියදුරුටත් මටත් අතරේය.

මා පොතක් කිය වීමට උත්සාහ කළත් රියැදුරු නොයෙකුත් වල්පල් සහ ආගිය කතා මා සමග කීමට පෙළඹෙන නිසා පොත් කියවීමටද නොහැකිය.

රියැදුරු සුජිත්ය.

දිනක් වෑන් රථය කොහුවල මං සන්ධිය පසු කළා පමණකි. වෑන් රථයේ ඉදිරිපස සැඟවී සිටින්නට ඇති ලොකු පත්තෑයෙක් (ගරුඬෙක්)  සුක්කානම ඔස්සේ පැමිණ සුජිත්ගේ  අත දිගේ ගියේය. කලබලවූ ඔහු,  වේගයෙන් අත ගසා දැමිය. පත්තෑයා විසිවිය.

‘ඔන්න පත්තෑයෙක්.........  පත්තෑයෙක් !’ කියමින් රියදුරු කෑගැසිය. 

අත ගසා දැමුවිට පත්තෑයා පිටුපස වාඩිවී සිටි කාන්තාවකගේ ඔඩොක්කුවට වැටී තිබේ. කලබලවී නින්දෙන් අවදිවූ ඇය.....


පත්තෑයා සුජිත්ගේ අත දිගේ ගියේ මෙසේය

‘මගෙ අම්මෝ ..... මෙන්න පත්තෑයා මගෙ ඔඩොක්කුවට වැටුනා.’ යයි මහා හඬින් කෑ ගැසිය,
ඇය  මහත්සේ කලබලවී නැගිට සාරිය ගසා දැම්මාය.

නැවත විසිවූ පත්තෑයා, මැද ආසනයේ වාඩිවී සිටි අය අතරට වැටී අතුරුදන් විය. සියල්ලෝම හිටගෙන පත්තෑයා සොයති. කෑගසති.

‘වාහනය නවත්තන්න....... නවත්තන්න......’ කිහිප දෙනෙක් එක වර මොර දෙන්නට විය .

කොහුවල පොලිසිය ඉදිරිපිට වාහනය නතරකළ සුජිත්, පැමිණ වම්පස දොර සහ පිටුපස දොර වහාම හැර දැම්මේය. කාන්තාවන් සියලු දෙනාම මහ හඬින් කෑගසමින් වාහනයෙන් පිටතට පැනගත්හ.

එතනට දුවගෙන ආ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා සුජිත්ට කථාකර ‘ඔය වෑන් එක ඔතනින් එහාට ගන්නවා ..... මෙතන ට්‍රැෆික් බ්ලොක් වෙනවා.......’  යයි තරවටුවක් කළේය.

එවිටම වාහනයේ සිට බැසගත් එක් කාන්තාවක්

‘අනේ........අනේ ...... මට බෑ..... මට බෑ ..... පත්තෑයා මගේ ඇඟේ යනවා දැනෙනවා ........’ කියමින් කෑගැසුවාය.

සුජිත් බැගෑපත්ව පොලිස් නිලධාරියාට සිද්ධිය කිවේය. එවිට ඔහු අසල සිටි පොලිස් කාන්තාවකට කථා  කර,  යමක් කරන ලෙස උපදෙස් දුන්නේය.

මෙවිට තවත් කාන්තාවක් කෑගසමින් ‘පත්තෑයා..... මගේ කකුල් දිගේ යනවා වගේ දැනෙනවා’යයි කකුල බදා ගෙන කෑගැසිය.

පිරිමි අපට කළ හැකි කිසි දෙයක් නොවීය.

කාරණය හොඳින් තේරුම ගත් පොලිස් නිලධාරිනිය, කාන්තාවන් සියලු දෙනාම  පොලිසියේ යම්කිසි ස්ථානයකට කැඳවා ගෙන ගියාය.

සුජිත් වාහනය අතුරු මගකට යොමු කර නතර කළේය. අප සිව් දෙනා සහ සුජිත් වාහනය ඇතුලත සියල්ල පෙරලා අස් පස් කළෙමු. එහෙත් පත්තෑයා හමු නොවිය.

ටික වෙලාවකට පසු, පොලිසිය ඇතුලට ගිය කාන්තාවන් සියලු දෙනාම ලජ්ජාවෙන් මිරිකෙමින් ආපසු පැමිණියහ.

‘පත්තෑයා හිටියද ? අපි වෑන් එක හොඳට අස් කළා. වෑන් එකේ නම් නැහැ.’
මම කීවෙමි.

කාන්තාවන් කිසි කෙනෙකුගෙන් පිළිතුරක් නැත.

සියලු දෙනාම මහත් අකමැත්තෙන් සහ සුපරික්ෂාවෙන් යුතුව ආපසු වාහනයට නැග ගත්හ.
සමහරු අපරික්‍ෂාකාරි බව ගැන සුජිත්ට දොස් කියන්නට වුහ.

‘ඒ පත්තෑයෙක් නෙවෙයිද කොහෙද. මම හිතන්නේ අවතාරයක් වෙන්න ඇති. එක පාරටම අන්තර්ධාන උනානේ.’ යයි අජිත් හෙමිහිට මුමුණනු ඇසිණ.
 

  

20 comments:

  1. ඇතිවූ තත්වය යටතේ හදවතේ ආබාධකයට ලක්වූ ගරුඩා පාරේ යන වාහනකට පැන සියදිවි නසාගත් බව පසුව දැනගන්නට ලැබුණි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිඛිතා,
      සියදිවි නසා ගැනීමට තරම් අතවරයක් පත්තෑයාට ඒ අයගෙන් සිදු උනේ නම් නැහැ. ඔඩොක්කුවට වැටුන ගමන් විසි කළානෙ. සමහරවිට කාන්තාවන් දොළොස් දෙනෙක් එකවර කලබලවීම නිසා ඇතිවූ කම්පණයට ඌට සිහි මූර්ඡා වන්නට ඇති.

      Delete
  2. ගෑණු මිනිස්සු ටිකට මැදි උනාට පස්සෙ පත්තෑයට සියදිවි නසාගන්න හිතෙන්න අැති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      කාන්තාවන් සියලු දෙනාගෙන්ම කට උත්තර ගෙන, අඩ් නින්දේ සිටි වැදගත් කුල කාන්තාවන් දොළොස් දෙනෙකු, නිරපරාදේ මහත් අකරතැබ්බයකට පත්කිරීම සම්බන්ධයෙන් පත්තෑයා සිර අඩස්සියට ගත් බව දැන ගන්නට ලැබිණ

      Delete
  3. නිදා සිටි කාන්තාවගෙ ඔඩොක්කුවට වැටුන පත්තෑයා හට සිහි මුර්ජා ගතියක් ඇති වුන අතර කලබල වී සාරිය ගැසීමෙන් මැද පේලියට විසිවූ පත්තෑයා තවත් කාන්තාවකගෙ සාරියෙ එල්ලී ජීවිතය බෙරා ගැනීමට තැත් කරන විට තමයි ‘අනේ........අනේ ...... මට බෑ..... මට බෑ ..... පත්තෑයා මගේ ඇඟේ යනවා දැනෙනවා ........’ කියමින් අනිත් කාන්තාව කෑ ගසන්නෙ. ඉන්පසු පොලීසිය තුලට අරන්ගිය කාන්තාවන් පරික්ශා කිරීමෙදි හමු වූ පත්තෑයා කාන්තාවන්ට හින්සා කිරීම , අතවර කිරීමට තැත් කිරීම, මහා මාර්ගය අවහිර කිරීම, බීමතින් වගේ සිටීම යන කරුනු වලට අත් අඩන්ගුවට ගන්නා ලදි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තඩි මල්ලි,
      ඔබට මුල ටික අමතක වෙලා. ඒ ටික මෙසේය.
      'කාර්යාල සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන වාහනයක රියැදුරෙකුගේ උසි ගැන්වීම නිසා, බලාපොරොත්තු රහිත අවස්ථාවකදී ඔහු විසින් ධාවනය කරන ලද වාහනයේ ගමන් කළ කාන්තාවන්ට .........'

      Delete
  4. පත්තෑයෙක්ට නිදහසේ වාහනයක ගමනක් යන්න බැරි රටක්නේ මේක :)

    හාස්‍යජනක ලෙස කෙලවර වුනාට මේ වගේ සිදුවීම් මහා බරපතල විධියට ඉවරවෙන්නත් පුළුවන්. සපත්තුවේ සිටි පත්තෑයෙක් රියදුරුගේ කකුලට දෂ්ට කිරීම නිසා වසර කිහිපයකට කලින් රිය අනතුරක් වුණා. මතක හැටියට මොරටුව පැත්තේ.

    ReplyDelete
    Replies
    1. ස්තිතුයි උදය,
      ඔය පත්තෑයත් කාලයක් තිස්සේ කාර්යාල යන කෙනෙක් වෙන්නට ඇති. රියදුරුගේ අත දිගේ ගිය නිසයි වැඩ වැරදුනේ. වෙනදාටත් වාහනේ එහෙ මෙහෙ ඇවිදිනවා ඇති.
      කොහොම වෙතත් කිසි කෙනෙකු දෂ්ට නොකර බේරුණු එකම ඇති !

      Delete
  5. ඒ පත්තෑය වැඩ කාරයෙක් වගේ. ඌට පුළුවන් වුණා රියැදුරාගෙ නමත් වෙනස් කරන්න. මම හිතන්නේ ආණ්ඩුවේ පුද්ගල නම් වෙනස් කරන අංශයක සේවය කරපු පත්තෑයෙක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      බරපතල වැරැද්ද දැක තිබෙන්නේ ඔබ විතරයි. පෙන්වූවාට ස්තුතියි. දැන් ඉතින් ඔහොමම තිබුනාවේ.
      'සු' අකුර 'අ' ලෙසට වෙනස් කරන්නට ඇත්තේ පත්තෑයාම වෙන්නට ඇති.

      Delete
  6. අත් දෙක දිගේ දිවගොස් විසිවූව සතා
    පත් තෑයන්ට බිය ඇයිදෝ මිනිස් සතා
    හත් අට දෙනෙකු බය කරවූ පුංචි සතා
    මත් වී හැංගුනාදෝ ඒ අරුම සතා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      පත්තෑයා ඇඟේ නලියන බව දැනි ලා
      මොර දෙන්නට උනා එහි සිටි බවලත් ලා
      කිතියක්‌ දැනෙන මුත් මුළු ඇඟ කිලි පොළලා
      තද වේදනාවක් දෙයි විස දළ ඇනිලා

      ඔබට ජය !

      Delete
  7. ඔෆිස් වෑන්වල යන මීයන් සහ පුසියන් ගැන මිස පත්තෑයින් ගැන කතාවක් මේ කියෙව්වේ මුල් වතාවටයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      මේ වාහනයේත් මිට කලින් මීයෙක් ඉඳලා ජරමරයක් වී තිබෙන බව එදා දැන ගත්තා.

      Delete
  8. Replies
    1. ස්තුතියි මද්දා,
      පත්තැයා පරලොව ගියේ නැහැ. කොහේ හරි හැඟුනා

      Delete
  9. වාහන ඇතුලේ සත්තු ඉන්න එක නම් භයානක වැඩක්. හදිසියේ ඕවර්ටෙක් කරන වෙලාවක වගේ ඇඟට පැන්නොත් කොහේ යයි ද දන්නේ නෑ කලබලේට.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්,
      ඔබ කියන දේ ඇත්ත. ඒ උනත් මේ වගේ පොඩි සත්තු වාහන ඇතුලට රිංගන එක වලක්වන්න බැහැනේ. කොයි තරම් ප්‍රවේශම් උනත් වැඩක් නැහැ. වාහනයක් නිතරම ගසා දමා පිරිසිදු කරන්නටත් බැහැනේ. වෙන දෙයක් විඳ දරා ගන්නට වෙනවා.

      Delete
  10. එතකොට පත්තෑය කෝ? පොලිසියට අහුවුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      ඒක තමයි ප්‍රශ්නය. අතුරුදහන් වූ පත්තෑයා වාහනයේ සිටියේත් නැහැ. කලබලවූ කාන්තාවන් විසින් සඟවාගෙන සිට පොලිසියට අහුවෙලත් නැහැ. ඊට පසු ඌ ගැන කිසිම ආරංචියක්වත් නැහැ.

      Delete