Monday, 22 November 2021

දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව.

(1 කොටස)

2015 පැරිස් සමුළුවේදී ගිවිසුම් ගත වීම් 

දේශගුණ විපර්යාසය නිසා සිදුවෙමින් පවතින ආපදා  පිළිබඳව අද ලෝකයේ දස දිගින්ම අසන්නට ලැබේ. දැනට දශක කිහිපයකට පෙර,  දේශගුණ විපර්යාස සිදු වන්නේදෝයි සැක සංකා සහිතව සිටි රටවල් පවා,  අද මේවා  ඇත්ත වශයෙන්ම සිදු වෙමින්  පවතින බව පිළිගෙන ඇත. ශත වර්ෂ දෙකකට පමණ ඉහතදී සිට, නොකඩවා කරගෙන ගොස්  තිබෙන සමහර විද්‍යාත්මක නිරීක්ෂණ මගින්ද මෙවැන්නක් සිදුවෙමින් පවතින බවට වැදගත් ස්වාභාවික සාක්ෂි පවා ලැබී ඇත. මෙම කරුණු තහවුරු කිරීම සඳහා  සාක්ෂි ලබා ගැනීමට ඉවහල් වූ අධ්‍යයන කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

  1. ලෝකයේ විවිධ වනාන්තරවල  වැඩී  තිබෙන පැරණි වෘක්ෂ වල වර්ධක රේඛා (growth lines)  නැතහොත් වාර්ෂික වළ  (annual rings) පිහිටීමේ ස්වභාවය. මේවා දේශගුණික සාධක අනුව වෙනස් වේ.

  2. සාගරයේ හෝ භුමිය මත, ආදී යුගවල සිට තැන්පත්ව ඇති ස්ථිර අයිස් ස්ථර  වල ගැබ්වී ඇති විවිධ වස්තු සහ ඒවායේ ගති ලක්ෂණ රටා.

  3. සාගරයේ කොරල් පරවලින්  කඩාවැටී සාගර පතුලේ තැන්පත්වී ඇති අවශිෂ්ඨ සැකිලි කොටස්වල ස්වරූප. 

මේ ආකාරයට කර ඇති අධ්‍යයන අනුව, 1850 පමණ දුර අතීතයක සිට, දේශගුණ විපර්යාස සිදුවෙමින් පවතින බව නිගමනය කර තිබේ. 


දේශගුණ විපර්යාස පිලිබඳ පැරිස් සමුළුව  (2015)


දේශගුණ විපර්යාස සිදුවෙමින් පවතින බව ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමෙන් පසු, මේ පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මකවූ,   එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තම සාමාජික රටවල් නියෝජනය වන,  21 වන මහා සම්මන්ත්‍රණය (21st Conference of Parties- COP  21),   2015 වර්ෂයේ නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 වන දින දක්වා ප්‍රංශයේ පැරිස් නගරයේදී  පවත්වන ලදී. එම සමුළුවේ ප්‍රධාන තේමාව අනුව  එය ‘ජගත් දේශගුණික විපර්යාස සමුළුව’ ලෙසද හඳුන්වන ලදී. 


දේශගුණික විපර්යාස සිදුවනුයේ, ප්‍රධාන  වශයෙන් වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් (CO2)    වායු සාන්ද්‍රණය  අධික වීමෙන්, පරිසර  උණුසුම වැඩිවන නිසා බව මුලින්ම හඳුනා ගෙන තිබේ. ‘හරිතාගාර ආචරණය’  (green -house effect) වශයෙන් නම් කරනලද මෙම සංසිද්ධියට මූලික වනුයේ ෆොසිල ඉන්ධන වන ගල්අඟුරු, ඛනිජ තෙල්, ගෑස් වැනි ඉන්ධන දැවීම, වනාන්තර විනාශය වැනි මානවජනක (anthropogenic) ක්‍රියාකාරකම්  මගින්  මුක්ත වන CO2     නිසා බව,  විවිධ පර්යේෂණ මගින් නිශ්චිත වශයෙන්ම  අවබෝධ කර ගත හැකි වී ඇත. මෙයට අමතරව වායුගෝලයේ පවතින, මීතේන් (CH4), නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) වැනි වායුද හරිතාගාර වායු ගණයට වැටේ. මෙම සමුළුවේදී සම්මත කර ගන්නා ලද පැරිස් දේශගුණික ගිවිසුම’, දේශගුණික විපර්යාස පිළිබඳ නීතිමය රාමුවක් සහිත, ජාත්‍යන්තර ගිවිසුමකි. එය මගින් සාමාජික රටවල දේශගුණික විපර්යාස අවම කිරීම, ඒ සඳහා අනුවර්තනය වීම සහ අනුවර්තන නිර්දේශ සඳහා අවශ්‍යවන මූල්‍ය ආවරණය ලබාදීම වැනි කරුණු  කෙරෙහි සැලකිල්ලක් දැක්වීම පිළිබඳවද එකඟතාවයකට පැමිණ තිබේ. 


මෙම ඓතිහාසික පරිසර සම්මුතියට, ලෝකයේ රටවල් 196 ක්  විසින් අත්සන් කරන ලදී. එහෙත් එයට වසරකට පසු බලවත්ම රාජ්‍යයක් වූ ඇමෙරිකා එක්සත් ජනපදය විවිධ හේතු ඉදිරිපත් කර, සාමාජිකත්වයෙන් ඉවත් විය. 2015 වසරේ ගිවිස ගත් දේශගුණ විපර්යාස සම්මුතියේ ඒකායන බලාපොරොත්තුව වූයේ:

‘වසර  2030 දක්වා එළඹෙන ඉදිරි පසළොස් අවුරුදු කාළ සීමාව තුළදී පරිසරය උණුසුම් වීම, කාර්මික විප්ලවය ආරම්භයේ පැවති මට්ටමේ සිට උපරිම 2°C කට අඩුවෙන් (කෙසේ හෝ 1.5°C සීමාවේ) මට්ටමට තබා ගැනීමයි’

මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා යෝජිත ප්‍රධානතම ක්‍රමවේදය ලෙස ඉදිරිපත් කරන ලද්දේ, සාමාජික රටවල් විසින් තම දේශයන්හි හරිතාගාර වායු මෝචනය ක්‍රමක්‍රමයෙන් අඩුකර, මෙම ශත වර්ෂයේ මැද වන විට (වසර 2050 දී ) කාබන් මධ්‍යස්ථ භාවයට  (carbon neutrality)  පත්වීමයි. 


(මෙහිදී යම්කිසි රටක හෝ දේශයක ‘කාබන් මධ්‍යස්ථ භාවය’ යනුවෙන්   හැඳින්වෙනුයේ,  එම දේශය තුළ මිනිසා ඇතුළු සියලුම ප්‍රභව මගින් -කාබන්ඩයොක්සයිඩ් වායුව වශයෙන් -  පිටකරනු ලබන කාබන් ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක්,  ප්‍රධාන වශයෙන්, -වනාන්තර වැනි කාබන් සංචිත වල - ගබඩා වීමට සලස්වා, පරිසරයේ කාබන් සමතුලිත භාවය රැක ගැනීමයි.)


මේ ආකාරයට කාබන් මධ්‍යස්ථ භාවයේ තවත් පියවරක් ඉදිරියට යාමෙන් වැඩිපුර  CO2 වායු ගෝලයට එකතුවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමේ ක්‍රමවේද භාවිතය මගින් උදාවන තත්ත්වය  කාබන් ශුන්‍ය භාවයට පත්වීම (zero carbon emission) ලෙස විස්තර කරනු ලැබේ. මෙම ඉහලම පරිසර හිතකාමී තත්ත්වයට පත්වීම  සඳහා අනුගමනය කළ හැකි  විවිධ ක්‍රමෝපායය භාවිතය ‘කාබන් ප්‍රතිසමතුලිත කිරීම’ (Carbon offsetting) ලෙස හැඳින්වේ.  


ඇමෙරිකා එක්සත්  ජනපදයේ එක්තරා පාරිසරික ආයතනයක් විසින්  සාමාන්‍ය පුද්ගලයෙකු  විසින් මුක්ත කරනු ලබන CO2  ප්‍රමාණය පිලිබඳ පර්යේෂණයක් කර තිබේ. මෙහිදී ලැබී  ඇති තොරතුරු අනුව, එවැනි තැනැත්තෙකු විසින් එක් වසරක් තුළදී  CO2   වායුව   දළ  වශයෙන් ටොන් 42 ක්  (42,000 kg) පමණ  මුක්ත කරනු ලබන බව ගණනය කර තිබේ. මෙයට සමාන්තරව කර ඇති තවත් පර්යේෂණයකදී, හොඳින් වැඩුණු සාමාන්‍ය ප්‍රමාණයේ වෘක්ෂයක් වසරකට CO2   ටොන් 0.07 ක් (70 kg) උරාගන්නා බවද හෙළිවී තිබේ. මෙම ගණනය කිරීම් අනුව, එක් මිනිසෙකු විසින් හරිතාගාර වායු මුදාහැරීම නිසා වායු ගෝලයට කරනු ලබන පරිසර හානිය මකා ගැනීම සඳහා,   අවම වශයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ වෘක්ෂ 600 ක් පමණ අවශ්‍ය වන බව පෙනේ. වනාන්තරයක ඇති වෘක්ෂවල පාරිසරික අගය සහ වැදගත්කම මෙම ගණනය කිරීමෙන් පැහැදිලිවේ. ශාක විසින් සිදු කරනු ලබන  ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මගින් අති විශාල CO2  ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නා නිසා වනවගාව මගින් ‘කාබන් ප්‍රතිසමතුලිත කිරීම’  නමැති මෙම  සංකල්පයේ වැදගත් කම  සමාජගත වී තිබේ.   

 

2015 පැරිස් සම්මුතියේදී, සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්ද එක්  වේදිකාවක සිට,  ගෝලීය උණුසුම් වීම අවම කරගැනීම සඳහා තම තමන්ගේ රාජ්‍යයන්හි  ක්‍රියාත්මක කළ හැකි සීමා ප්‍රකාශයට පත්කිරීම සහ ධනවත් රටවල් ආර්ථික අසීරුතා සහිත  රටවලට ඒ සඳහා අත හිත දීමට කැමැත්ත පළකිරීම  වැනි සාධනීය කරුණු පිළිබඳව තීරණයකට එළඹීම මහත් සැනසුමක්  විය. දශක කිහිපයක් තිස්සේ තීරණයක් නොමැතිව, කල් යමින්  පැවතී මෙම අනාගත ආපදාව පිළිබඳව,  සාමුහික සම්මුතියකට මෙසේ පහසුවෙන් අවතීර්ණ වීමට හැකිවීම  ඓතිහාසික ජයග්‍රහණයකි. මෙම ජයග්‍රණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සියලු රාජ්‍ය නායකයෝ මහත් උද්දාමයකින් යුක්තව ඔල්වරසන් දුන් බවද ප්‍රකටය.


දැනට සැකයක් නොමැතිව තීරණය කර ඇති පරිදි වැඩියෙන්ම පරිසර උණුසුම් වීම සිදුකරනු ලබන ප්‍රධානතම කාරකය කාබන්ඩයොක්සයිඩ් වායුවයි. මෙයට අමතරව වායු ගෝලයට එකතුවන මීතේන් CH4, නයිට්‍රස් ඔක්සයිඩ් N2O සහ කෘතීම රසායන සංයෝගයක් වන ‘එරෝසොල්’ (erosol) යන වාණිජ නාමයකින් හඳුන්වනු ලබන ක්ලොරෝෆ්ලුරෝකාබන් (CFC) වැනි  වායුද ශේෂමාත්‍ර (residuals) වශයෙන්  වායු ගෝලයේ දකින්නට ලැබේ. මෙවායින්ද පරිසර උණුසුම්වීම සඳහා  යම්කිසි බලපෑමක් සිදුවේ. මේ සමගම වායු ගෝලයේ බහුලව තිබෙන ජල වාෂ්පද තාපය උරාගන්නා වායුවක් වුවද එහි ආයු කාලය දින කිහිපයකට පමණක් සීමා වන නිසා ගණනය කිරීම් වලදී නොසලකා හැරේ.


මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වායුද පරිසරයට මුක්ත වී හරිතාගාර ආචරණය සිදු කරනු ලබයි. මෙම වායු වලින්ද සිදු කරනු ලබන පරිසර උණුසුම් දායක වීම   ගණනය කිරීම සඳහා ඒවායේ බලපෑම එක්තරා ගණිත ක්‍රමයක් මගින් CO2    සමග සංසන්දනය කරනු ලැබේ. මෙහිදී වායු ගෝලයට මුක්ත වන CO2 ටොන් එකකින් සිදුවන බලපෑම  ඒකකයක් ලෙස සලකා එම අගය අනිකුත්  හරිතාගාර වායු වල අගයයන්  සමග සංසන්දනය කෙරේ. 


මෙහිදී එම වායු වාතයේ සක්‍රීයව පවතින කාල සීමාව සහ එක්  එක්  වායුව මගින් සිදු කරනු ලබන හරිතාගාර ආචරණ ප්‍රතිශතයද, අදාළ  ගණනය කිරීම් වලදී සලකා බලනු ලැබේ. මෙසේ ගණනය කළ විට ලැබෙන අගයයන් මේ  සමග ඇති වගුවේ දෙවන සහ තුන්වන සිරස් තීරු වල දක්වා තිබේ. මේ ආකාරයට ඒ ඒ  වායුව සඳහා  ලැබෙන දර්ශකය, අදාළ හරිතාගාර වායුවේ, ගෝලීය උණුසුම් විභවය (Global warming potential) ලෙස හඳුන්වනු ලැබේ. 


යම්කිසි හරිතාගාර වායුවක ගෝලීය උණුසුම් විභවය වැඩිවන තරමටම, එය මගින් සිදුකරනු ලබන ගෝලීය උණුසුම් වීමද වැඩිවේ.මේ ආකාරයට සලකා බැලීමේදී  COටොන් එකක් මගින්   සිදුකරනු ලබන  ගෝලීය උණුසුම් විභවය ඒකකයක් (01) වන විට, CH4 වායුව අඩුම වශයෙන් එමෙන්  28 ගුණයකින් සහ   N2O  වායුව අඩුම වශයෙන් එමෙන්  265 ගුණයකින්වත් ප්‍රබල බව පෙනේ. එමෙන්ම 11% ක ආචරණයක් ඇතිකරනු ලබන ‘එරෝසෝල්’ සංයෝගයක් මගින්  CO2 ඒකක 1000 ක පමණ ඉතාමත් ඉහල  උණුසුම් විභවයක් ඇතිකරණ නිසා, ඒවා අති භයානක බව හඳුනාගෙන තිබේ. මෙම වායු, ඉතාමත් ස්වල්ප ලෙස වායු ගෝලයේ ඇතත් ඒවා  විකිරණ කාරයක්ෂමතාව (Radiative efficiency) නැතහොත් පරිසරය උණුසුම් කරවීම අතින් ප්‍රබල වායු වේ. (වගුව 1 බලන්න)


ඕනෑම මිණුමක දත්ත ප්‍රකාශ කිරීම සඳහා ඒකකයක් අවශ්‍යය. මේ අනුව පරිසරය උණුසුම් වීම මැනීමේ ඒකකය ලෙස  කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් එකක් මගින්, වර්ෂයක් තුළදී  ඇතිකරවන, උණුසුම් වීමේ විභවය නැතහොත් බලපෑම, ඒකකය ලෙස සලකන ලදී. විවිධ විද්‍යාත්මක පිවිසුම් ආශ්‍රීතව සකස් කර ගන්නා ලද මේ ඒකකයේ සංකේතය CO2e  වශයෙන් භාවිත වේ. මෙහි ‘e’ ලෙස දැක්වෙන්නේ ‘සමක’ (equivalent) යන අදහසයි. මේ අනුව  කාබන් ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් එකක් මගින් ඇතිකරවන උණුසුම් බලපෑම දැක්වෙනුයේ 1 CO2e ලෙසටය.මෙය කාබන්ඩයොක්සයිඩ් සමක එකක් ලෙස කියවිය හැකිය.


මෙහිදී මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ ක්ලොරෝෆ්ලොරෝකාබන් මගින්ද සිදුකරනු ලබන පරිසර උණුසුම් කිරීම ‘කාබන් සමක ඒකක’ ලෙසට පරිවර්තනය කිරීම සඳහා එම වායු වල පරිසර උණුසුම් කිරීමේ බලපෑම කාබන්ඩයොක්සයිඩ් වල බලපෑම සමග සංසන්දනය කර අගයයන් (සංගුණක) ලබාදී තිබේ. මෙසේ ලබාගෙන ඇති අගයයන් භාවිත කර විවිධ හරිතාගාර වායුවලින් කෙරෙන පරිසර උණුසුම් වීමේ බලපෑම්  CO2 ඒකකයට අනුරූප සංගුණක ලෙස දැක්වේ. මේ ආකාරයට  කාබන්ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් එකකින් සිදුවන බලපෑම, 1 CO2e වනවිට අනිකුත් හරිතාගාර වායුවල ප්‍රබලතාව ඉහත දැක්වෙන ආකාරයට දැක්විය හැකිය. ( වගුව 1)


හරිතාගාර ආචරණය සිදුකරනු ලබන වායුවක ඇති පීඩාකාරී භාවය ගැන සැලකිල්ල යොමු කිරීමේදී,  එම වායුව වායුගෝලයේ පවතින සාන්ද්‍රණය ගැනද සැලකිල්ලක් යොමු කළ යුතු වේ. මේ සඳහා භාවිත කරනුයේ, සමස්ත වායුගෝලයේ පවතින වායු අංශු මිලියනයක,   අදාළ වායුවේ අංශු කොපමණ ප්‍රමාණයක්  අඩංගුව පවතීද යන්න ගණනය කිරීමෙනි. මෙය, වාතයේ අංශු මිලියනක ඇති අදාළ වායු අංශු කොටස් සංඛ්‍යාව (parts per million -ppm) ලෙස නම් කෙරේ. 2018 වර්ෂයේදී කරන ලද අධ්‍යයනයකට අනුව ප්‍රධාන හරිතාගාර වායු කිහිපය,  වායුගෝලයේ ඇති සාන්ද්‍රණ දළ  වශයෙන් මේ සමග ඇති දෙවන වගුවෙහි දක්වා තිබේ. වායු ගෝලයේ ඇති හරිතාගාර වායු  සාන්ද්‍රණ, ගතවූ ශත වර්ෂ කිහිපය තුළදී වැඩිවී තිබෙන බවද  මේ සමග ඇති වගුවෙහි දැක්වේ. (වගුව 2) 


මේ නිසා  පරිසරයේ  සමස්ත   උණුසුම් වීම පිලිබඳ  ගණනය කිරීමේදී  CO2 වල බලපෑමට සාපෙක්ෂව අනිකුත් හරිතාගාර වායු වලින් සිදුවන බලපෑමද  සැලකිල්ලට ගත යුතු වේ. 

වායු ගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය පිළිබඳව යම් යම් ප්‍රක්ෂේපණ ක්‍රමවේද මගින් ලබාගෙන ඇති දත්ත අනුව ඉතා වැදගත් නිරීක්ෂණයක් හෙළිකරගෙන තිබේ. මේ අනුව ප්‍රධාන හරිතාගාර වායු තුනෙහි වර්තමාන වායු ගෝලීය සාන්ද්‍රණ, ගතවූ වසර 1000 පමණ කාලය තුළදී, එම වායු තිබී ඇති  ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩිවී ඇත. උදාහරණයක් වශයෙන්,  CO2 වායුව දශක කිහිපයකට ඉහතදී 280 ppm වූ අතර, එය 218 වසරේදී 410 ppm ඉක්මවා තිබේ. මේ ආකාරයට  පසුගිය වසර 20 තුළදී පමණක් CO2 වායුව,  මිලියනයකට අංශු තිහකින් පමණ     (30 ppm)  කින් වැඩිවී තිබෙන බව වාර්තා වේ. මෙම ප්‍රවණතාව වසරින් වසරම ඉහල යන බවද දැනගන්නට ලැබේ.


2015 වසරේ පැරිසියේ පවත්වන ලද ජගත් සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ ඉහත දැක්වූ ආකාරයට  සිදුවන වායු ගෝලීය උණුසුම් වීම පාලනය කිරීම පිණිස ගන්නා ලද පියවර, සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම වෙනුවෙන්  ප්‍රතිඥා දීමයි. එම ගිවිසුමෙහි ප්‍රගති සමාලෝචනය 2020 වසර අවසානයේදී පැවැත්වීමට නියමිතව තිබූ, 26 වන මහා ජගත් සම්මන්ත්‍රණයේදී  (COP26) සාකච්ඡා  කිරීමට බලාපොරොත්තු වූවත්, COVID 19 වසංගතය නිසා, සම්මන්ත්‍රණය වසරකින් කල් දැමීමට සිදුවිය.


2020 වසර මුල සිටම COVID19 වසංගතය මැඩපැවැත්වීම සඳහා ප්‍රමුඛතාව දීමට සිදුවූ නිසා බොහෝ රටවලට ගිවිසුම් ගතවූ පරිදි, ගෝලීය උණුසුම් වීමට එරෙහිව තම තමන්ගේ රාජ්‍යයයන් විසින් දියත් කිරීම පිණිස සකස් කරන ලද සැලසුම් සතුටුදායක අන්දමට ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මේ නිසා සමුළුව වසරකින් කල් දැමීමට සිදුවූ අතර, සාමාජික රටවලටද තම ප්‍රගති වාර්තා  අවසන්කර ගැනීම සඳහා සැලකියයුතු විරාමයක් ලැබිණ.  

                                                           

(දෙවන කොටස පසුව)


4 comments:

  1. Replies
    1. ඔබගේ ස්තුතිය සතුටින් පිළිගන්නවා.
      එය තව ලිවීමට උනන්දු කරවීමක්.

      Delete
  2. මේ ගැන කතාකරන එක තමා, අපට කල එකම දේ. පැහැදිලිවම, පෙර නොවූ විරූ කාලගුණික වෙනස්කම්, ලෝකය පුරාවටම පේන්න තියනවා.

    ReplyDelete
  3. ස්තුතියි DGM බසු,
    ඔබගේ අදහසට මා එකඟයි.
    මේ උවදුර ගැන තේරුම් ගත් අපි මේ ගැන කතාකළ යුතුමයි. ඒ වගේම ලියා නොදන්නා අය දැනුවත් කළ යුතුයි. පළමුවෙන්ම, ඕනෑම කෙනෙකු පරිසරයේ ස්වාභාවිකව සිදුවන දේ ගැන දැනුවත් වූ පසු, දෙවනුව ඔහුට එය සංරක්ෂණය කර ගැනීමේ වැදගත් කම පිලිබඳ අදහසක් ඇති වෙනවා. තුන්වෙනුව, පරිසරය රැකගැනීමේ ක්‍රියාවලියට ඉතාම සරල මට්ටමකින් හෝ ක්‍රියාකාරීව සම්බන්ධ වෙනවා.

    ReplyDelete