Monday, 13 December 2021

මාගේ අලුත්ම පොත “ආ මග සටහන්”

      ශක පහකට වැඩි කාලයක් තිස්සේ, මා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකා වල නිරතව සිට ලද අත්දැකීම් වලින් බිඳක්,  “ආ මග සටහන්”  නමින් පොතක් ලෙස සකස් කිරීමට හැකිවිය.  කොරෝනා වසංගතය නිසා, වසර දෙකක් පමණ  මුද්‍රණ කටයුතු අඩාල වී  තිබී, දැනට සති කිහිපයකට පෙර  එය කොළඹ, ගොඩගේ සහෝදර සමාගම මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුනට මාගේ ප්‍රණාමය පුද කරමි. දශක කිහිපයක් තිස්සේ ගතකළ ඒ සුන්දර කාලය තුළදී   හමුවූ විවිධ දෙස් විදෙස්  සහෘදයින්, ආ ගිය ගමන් බිමන්, අත් විඳි රසබර සිදුවීම්, මුහුණ පෑ  දුක් කම්කටොලු, රාජකාරි කටයුතුවල අත්දැකීම් ආදී දහසකුත් එකක් එසේ නැවත සිහියට නැගීමට හැකිවීම මහත් සතුටකි.  

පොතෙහි පිට කවරය 


‘අතීතය සුන්දරය, වර්තමානය කාර්ය බහුලය, අනාගතය අවිනිශ්චිතය’, යන වැකියේ ගැබ්වී ඇති අදහසට අනුව, තම ජීවිත කාලය ගෙවී යන්නේ නොවේදැයි,  කෙනෙකුට සිතෙනු ඇත. ඊයේ,  අද සහ හෙට ගැන සිතා බැලුවත්, ඊයේ ගතවී ගොස්ය. අද ගතවෙමින් පවතී. හෙටක් යළි උදා විය හැකිය . 

ඉංග්‍රීසි ජාතික ශේක්ස්පියර් කවියාගේ ‘මිනිස් ජීවිතයේ අවස්ථා හත’ (The seven ages of man) නම් පද්‍යය ,  ‘All the world’s a stage, And all the men and women merely players; ……’ ලෙස ආරම්භ කර, අවසන් කරන්නේ, ‘Sans teeth, sans eyes, sans taste, sans everything.’ යනුවෙනි.   

ශේක්ස්පියර් කවියාගේ, මෙම පද්‍යය ගැන ගැඹුරින් සිතා බලන විට, ජීවිතයේ යථාර්ථය පැහැදිලි වේ. ඕනෑම මිනිසෙකු හෝ ගැහැනියකු  තම ජීවිත කාළය  තුළදී,  විවිධ භූමිකා වල රඟ පෑම් කරන බව, ඔහු පෙන්වා දෙයි. අවසානයේදී, ඔවුනට තමන්ගේම වැඩ කටයුතු පවා කර ගැනීමට නොහැකි, වයෝවෘධ  තත්වයකට පත්වන බව එහි යථාර්ථයයි. ශේක්ස්පියර් විස්තර කරන ආකාරයට, කෙනෙකු තොටිල්ලේ නැළවෙන බිළිඳු  අවස්ථාවේ සිට, මිය යන අවස්ථාව දක්වා කරනු ලබන  සියල්ලම ‘රංගන’ වේ. සෑම කෙනෙකුටම සාධාරණ විය හැකි, මටද එසේ වූ, එවැනි රංගන ස්වල්පයක තොරතුරු, මේ මගින් ඔබ සමග බෙදා හදා ගැනීම, මගේ බලාපොරොත්තුවයි. මේ සත්‍ය තොරතුරු වලින් පාඨකයාට  ජීවිතාවබෝධය විනිවිද දැකිය හැකි  සියුම් ඉඟියක්ද ලැබේය යන්න මගේ විශ්වාසයයි. 

පාසැල් කාලයේ සිට, රැකියාවෙන් විශ්‍රාම ලබන තුරු සහ ඊට පසුවද,  දශක හයක් පමණ නොකඩවාම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවල නිරතව සිටි මට, ආපසු හැරී බලනවිට, පෙනෙන දසුන් වල ඇති, හදවතට බොහෝ සමීප සිද්ධි වලින් බිඳක්  මෙසේ සටහන් කර තැබීම, අගනේයයි සිතක් පහල විය. මෙහි ඇති සියලුම ‘කතන්දර’ සත්‍ය සිද්ධි මුල්කර ගනිමින් ගොඩ නගන ලද ඒවා බව විශේෂයෙන් සඳහන් කළ හැකිය. එසේ වුවත් පෞද්ගලිකත්වය හෙළි කිරීම නුසුදුසුයි හැඟී ගිය අවස්ථාවලදී සහෘදයින්ගේ නම් සහ ස්ථාන නාම වෙනුවට ව්‍යාජ නාම දමා වෙනස් කිරීමට සිදුවිය.  ඒ සුන්දර චමත්කාර අතීතය ගෙවී ගොස්ය. වර්තමානය දැන් පෙර මෙන් කාර්ය බහුල නැත. ඒ අවිනිශ්චිත අනාගතය දැන් උදාවෙමින් තිබේ. දිවි මගෙහි ඉතිරි කොටස කෙටිය. ඒ කෙටි  කාලයේදී අතීත ආවර්ජනය මෙසේ  ටිකින් ටික සනිටුහන් කිරීමට හැකිවීම භාග්‍යයකි.  

බෞද්ධ දර්ශනයේ දැක්වෙන, ‘ලාභෝ අලාභෝ අයසෝ යසෝච’ යන අටලෝ දහම් විග්‍රහය අනුව, කෙනෙකුට තම ජීවිත කාලය තුළදී, ලාභ, යස, ප්‍රශංසා, සැප යන සුඛාස්වාද මෙන්ම, අලාභ, අයස, නින්දා හා දුක යන දුක්ඛාස්වාද  වලටද, නිසැකවම  මුහුණ දීමට සිදුවේ.  මේ දෙපැත්තේම රංගන මෙන්ම, මධ්‍යස්ථ  භූමිකාද  මෙහි පිටු  අතර තිබිය හැකිය.

මෙහි දක්වා ඇති පරිදි ගතවී ඇති කාළය තුළදී ඇසුරු කරන්නට ලැබුණු හිතවතුන් සහ හිතවතියන් දහස් ගණනක් විය හැකිය. ඔවුන් සියලු දෙනාටම කෘතගුණ සැලකීමක් වශයෙන් පොතෙහි මෙවැනි සටහනක් කළෙමි.

පිදුම- දශක හයක හතක කාළ පරාසයක් තිස්සේ,  ලොව කිහිප ස්ථානයකදී හමුවී, ඉතා සුහදව ඇසුරු කළ,  මෙම සත්‍ය සිද්ධි වලට හවුල්වී, නිර්ව්‍යාජ ‘රංගන’ දැක්වූ සියළු දෙනාටම මාගේ ආදර ගෞරවය පුද කරමි. ඔවුන්  අතුරෙන් පරලෝ සැපත්වී සිටින කිහිප දෙනාට,  මතු භවය ඉතාමත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

අද ආපසු හැරී බලන විට, ඒ සහෘදයින් බොහෝ දෙනෙකු මෙලොවින් සමු ගෙන ඇත. විදේශ වලදී හමුවී ඇසුරු කළ සියල්ලෝම පාහේ, මෙම ජීවිතයේදී  නැවත කිසිදිනක හමු නොවනු ඇත. සමහර විට ඔවුන්ටද අප සම්පූර්ණයෙන් අමතකවී ගොස් ඇත. පාසල් අධ්‍යාපන කාලයේ සිටි පන්ති මිතුරන්ගෙන් තවමත් ඇසුරේ සිටින්නේ අතලොස්සක් පමණකි. දෛවෝපගතව ජීවිතයේ සැඳෑ සමය විදේශයක ගත කිරීමට සිදුවූ නිසා කුඩා කළ ඇසුරු කළ අය සහ සමහර නෑදෑ හිත මිතුරන්ද නාම මාත්‍ර  බවට පත්වී සිටිති. නව  තාක්ෂණික මෙවලම් වලට පින්  සිදුවන්නට  ඉඳහිට හෝ එවැන්නෙකුගේ කටහඬ හෝ ඉලෙක්ට්‍රොනික ඡායාරූපයක්වත් දැකගන්නට ලැබීමද අරුමයකි. පසුගිය වසර දෙකක් තිස්සේ මුළු ලොවම වෙලාගෙන සිටින ‘කොරෝනා’ වසංගත තත්ත්වය නිසා ලොව බොහෝ දේ උඩු යටිකුරු වී ඇති ආකාරයටම අපගේ  බොහෝ සමාජ බැඳීම් වලටද තිත තැබී ඇත.

යටගියාවේ සමහර සම්බන්ධතා නටබුන් බවට පත්වී ඇතත්,  ඒ අතීතය සුන්දරය. අව්‍යාජයය. ඒ වකවානුව  මෙනෙහි කිරීමද සුවදායකය. එහි ආවර්ජනය කළහැකි, එසේ ආවර්ජනය කිරීමෙන් චිත්ත සන්තර්පණයක් ඇතිකර ගතහැකි දේ බොහෝය. මා “ආ මග සටහන්” ලෙස නම් කරන ලද මෙම අතීත ආවර්ජනා නැවත කියවා  සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත හැකිය. ඒ සමගම නෙත’ගට නැගෙන කඳුළු බිඳුවකින් දුක්ඛ දෝමනස්සයන් මගහරවා ගත හැකිය. 

ඔබටද “ආ මග සටහන්” කියවීමට අවස්ථාවක් ලැබුණහොත්, කියවා ඒ සම්බන්ධව ඉතිරි කර තබන මොනයම් ප්‍රතිචාරයක් වුවද මා හට තවත් ලිවිම සඳහා මහත් උත්තේජනයක්ම වනු ඇත.                                                                                                                                                                                                                                                                                                                                                                                                          

   


17 comments:

  1. ඔබගේ පැතුම ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  2. සුබ පැතුම්

    ReplyDelete
  3. ඔබේ පොතට සුබපැතුම්. පිටකවරයට තෝරා ගෙන තිබෙන සේයාරූ ලොකු කතාවක් කියනවා. ඉඩක් ලද විටෙක පිටපතක් අරගෙන කියවන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  4. ස්තුතියි අනුරුද්ධ,
    මගේ පොත මුද්‍රණය සඳහා භාරදුන්නේ වසර දෙකකට ඉහතදී. කොරෝනා ව්‍යසනය නිසා මුද්‍රණ කටයුතු ප්‍රමාද වෙලා. මා වෙත තැපැල් කර තිබුණු පිටපත ලැබුණේත් ගිය සතියේ. මෙහි පිටකවරය සඳහා ගැලපෙන ආකෘති කිහිපයක් මුද්‍රණාලයෙන් ඒවා තිබුණා. මා එයින් මෙය තෝරා ගත්තා. ඔබට පොතක් එවීමට හැකි වේදෝයි සැක සහිතයි. ඒ නිසා දැනට මේ සමග ඇති Link එක ඔස්සේ කියවන්න.
    https://drive.google.com/file/d/1nTuMI3lf4PBc-AJvyg8IgZhmPq6yRVsP/view?usp=sharing

    ReplyDelete
  5. අපූරුයි නෙව. සුබ පැතුම් ඔබට. කැමති නම් සහ
    මුහුණු පොතේ සිටිනවා නම් අපේ මුහුණු පොත් සමූහය හරහා මෙයට ප්‍රචාරය ක් ලබා දෙමු.

    https://www.facebook.com/groups/booktopia

    ReplyDelete
  6. ස්තුතියි මහේෂ්,
    මා මුහුණු පොතේ සිටිනවා. ඔබගේ සමුහයටත් සම්බන්ධ වූවා වාගේ මතකයි. මා පොත "එළි දැක්වීම" වැනි වැඩි වැඩ කළේ නැහැ. මගේ ප්‍රකාශක ආයතනය (ගොඩගේ සහෝදරයෝ) එය ඔවුන්ගේ මට්ටමින් කර තිබෙනවා. විදේශයක සිටින මටත් තවම ලැබුණේ (තැපෑලෙන්) එක් පිටපතක් පමණයි. ඔබගේ නිර්ව්‍යාජ අදහසට මා එකඟයි. හැකිනම් ප්‍රචාරයක් ලබාදෙන්න.
    මේ ගැන මාගේ විශේෂ ස්තුතියත් පිළිගන්න.

    ReplyDelete
  7. සුභ පැතුම්! මොන තරම් ආඩම්බර විය හැකි කාරණයක්ද?

    ReplyDelete
  8. ස්තුතියි Thatta සහෝ,
    සුබපැතුම් සඳහා නැවතත් ස්තුතියි. විශ්‍රාම සුවයෙන් විවේකීව සිටින විට මෙවැනි දේ ගැන සිත යොමු කරනවා. රජයේ සේවයේ සිටියදීත් විශ්‍රාම ගැනීමෙන් පසුවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකා වල කරන ලද රංගන මෙසේ යළි විදහා දැක්වීම ලොකු ආස්වාදයක්

    ReplyDelete
  9. සුභ පැතුම් , ලින්ක් එකක් ෆේස්බුක් එකේ තිබුනත් බාගන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. උඩ ලින්ක් එකෙන් ගත්ත. කියවපුවහම අදහසක් කියන්නම්.

      Delete
  10. ස්තුතියි Ajith Dharma,

    ReplyDelete
  11. ස්තුතියි සර් මට පොත මේල් කළාට. ඔබේ ඒ පොත මං කියවමින් ඉන්නවා. මේ දිනවල ටිකක් අවිවේකි වුණා. කිසිවක් ලියන්නවත් බැරි වුණා. ඔබට මගේ හෘදයංගම සුබ පැතුම් මෙන්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාලිනි,
      මවුබිම හැරදා, දරු මුණුපුරු මිණිපිරියන් වෙත යාම එක්‌ අතකින් හිතට සැනසුමක් සහ ගතට විවේකයක් ලැබෙනවා. අලුත් පරිසරයට හැඩ ගැසීමටත් කලක් ගතවෙනවා. ඒ උනත් වසර කිහිපයක් ගතවන විට ජීවිතය ඒකාකාරී වීම නම් දරා ගැනීමට පවා අමාරු බවයි මට නම් හැඟෙන්නේ. පොත් පත් කියවීම සහ යමක් ලිවිම තමයි තරමක්වත් උදාසීන බව මගහරවා ගැනීමට ඇති එකම පිළිවෙත. කෙසේ වෙතත් එවැනි කාන්සියක් ඇති නොවීම සඳහා, ඔබ දෙපළ කාළය කළමනාකරණය කර ගන්නවා ඇතැයි මට සිතෙනවා. ඔබ සැමට ඉතාමත් වාසනාවන්ත 2022 නව වසරක් උදා වේවායි ප්‍රාර්ථනා කරමි.

      Delete