විශ්ව විද්‍යාලයයේ උද්භිද විද්‍යා තුන්වන වසරේ
සිසුන් වන අපට ක්‍ෂේත්‍රයෙන් සොයාගත් ශාක
එකතුවක් (“Herbarium”) සකස් කිරීම
අනිවාර්ය කර තිබුණි. මේ සඳහා පැලැටි එකතු කර ගැනීම පිණිස නගරයෙන් ඈත ප්‍රදේශයකට
යාම අවශ්‍ය විය. රත්නපුරයෙන් එහා ගම් පලාතකට ගියහොත් අපගේ අවශ්‍යතාව සම්පුර්ණ කරගත
හැකි බව අතපත්තු කීවේය.
‘අපේ ගමේ කෙනෙක් ඒ පැත්තේම, ඕපනායක ඉස්කෝලේ ලොකු
මහත්තයා. එයාගෙන් උදව්වක් ගන්නට හැකිවෙයි.’ මම කීවෙමි.
‘ඕපනායක නේද
කැලණිවැලි ලයින් එකේ අන්තිම
ස්ටේෂන් එක?’ කියමින් පතිරාජද අපට එකතුවිය.
‘අන්න හොඳම වැඩේ !. ඕපනායක තමයි අන්තිම ස්ටේෂන්
එක. එහෙනම් අපී රට තොට බලන්නත් එක්ක කෝච්චියෙන් යමු’ මම යෝජනා කළෙමි.
ඊළඟ සති අන්තයේදී අමරසේන ලොකු මහත්මයා ගමේදී හමුවූ මා අපේ අවශ්‍යතාව ගැන කී විට,
ඔහු ඉතාමත් සතුටු විය. ඔහුගේ පාසල
කිට්ටුවම ලඳු කැලෑවක් සහිත ‘දන්දෙනිය එස්ටේට්’ නම් රබර් වත්තක් තිබෙන බවත්, පාලක
වරයාද තමන් හඳුනන බවත් ඔහු කීවේය. අප තුන්දෙනාට පාසලේම නවාතැන් ගත හැකි බවත්
ඔහුගෙන් දැනගන්නට ලැබිණ.
‘කෝච්චියේ නම් කොළඹ සිට ඕපනායකට යන්න එන්නම දවස් දෙකක් ගතවෙනවා’ යයි අතපත්තුගේ මාමා කෙනෙක් කියා තිබිණ.
මෙයද අපට ඉතාමත් හොඳ අත්දැකීමක් විය හැකි බව අපි
සිතුවෙමු.
අපේ ක්‍ෂේත්‍ර ක්‍රියාකාරකමට අවශ්‍ය ‘ප්ලාන්ට් ප්‍රෙස්’
(plant press) සහ
‘වෙසිකියුලම්’ (vesciculum) උපකරණ,
ෆෝමලින්, ඩැහි අඬු ආදිය විද්‍යාගාරයෙන් ලබාගෙන අප තුන්දෙනා ගමනට සුදානම් වූවෙමු.
මරදානෙන් දුම්රිය පිටත් වීමට තිබුණේ පෙරවරු හත
පසුවී විනාඩි විස්සටය. මෙය ඕපනායකට පැමිණෙනුයේ සවස පහට පමණ බව දැනගන්නට ලැබිණ. අප
තිදෙනාට දහවල් ආහාරය සඳහා බත්මුල් තුනක් සාදා දීමට අතපත්තුගේ මව කැමති වුවාය.
සිකුරාදා තිබුණු ‘ටියුට් ක්ලාස් එක’ මග හැරදමු
අපි අපේ ගමනට පිටත් වීමු. අතපත්තුගේ මව විසින් සකස් කර කොලපත්වල ඔතා එවා තිබුණු
බත්මුල් අපගේ ගමන් මලු වලට දමා ගෙන කරේ එල්ලාගෙන අනිත් උපකරණද රැගෙන මරදාන
දුම්රියපළට ගියෙමු.
ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කාර්යාලයට ගොස් ඔපනායකට
ප්‍රවේශපත්‍ර ඉල්ලු විට තම උපැස් යුවළ ඉහලට ඔසවා නළල රැලිකර අප දෙස බැලු එහි සිටි
නිලධාරියා
‘කෝච්චිය ප්‍රමාද උනොත් ඔපනායකට යනකොට රෑ වෙයි’ කියා අපගෙන් පිළිතුරක්
බලාපොරොත්තුව සිටියේය.
‘අපි අද රෑට ඕපනායක ඉස්කෝලේ නතර වෙනවා’ කි විට
ඔහු හිස් ටිකට් පත් කිහිපයක් සොයාගෙන ඒවායේ
‘කොළඹ - ඕපනායක ‘ කියා අතින් ලියා
මුදලද සඳහන් කර අපට දුන්නේය.
එක් අයකුට ප්‍රවේශ පත්‍රයේ ගාස්තුව රුපියල් පහයි
ශත හතළිහක් විය.
දුම්රිය අංගනයේ අවසාන පේලියේ නවතා තිබුණු පුංචි
කෝච්චියට අපි ගොඩ වූයෙමු. ඉතාමත් පටුවට ඇති
රේල් පිළි දෙක උඩ තිබුණු දුම්රිය සෙල්ලම් කෝච්චියක් මෙන් දිස්විය. එහි මගී
මැදිරි හතරක් සහ බඩු ගෙනයන මැදිරි රාශියක්
විය. දුම්රිය වේදිකාවද මිටිය. අපී හිස් මැදිරියක එකතැන ආසන වල හිඳ ගතිමු. මාළු
පෙට්ටි කිහිපයක් පටවා ගත් මාළු වෙළෙන්දෙක්
සහ ගෝනි මලු වල ඇසුරු වියලි මිරිස්, අර්තාපල් සහ රට ලුණු ආදිය සමග තවත්
වෙළෙන්දෙක්ද අප සිටි මැදිරියට නැග ගත්හ. දුම්රිය පිටත් වීමට විනාඩි දෙකක් පමණ
තිබියදී ගොඩවූ කවි කොළ කාරයෙක් වමතින් කන අල්ලාගෙන ‘ගෙදර පලහිලව්ව’ නම් ඛේදවාචකයක්
මහ හඬ නගා තාලයට කියවන්නට පටන් ගත්තේය.
‘පස්වෙනි වේදිකාවේ ඇති දුම්රිය පෙරවරු හතයි
විස්සට ඕපනායක බලා පිටත්වේ. මෙම දුම්රිය මරදානේ සිට ඕපනායක දක්වා ඇති සෑම දුම්රිය
ස්ථානයකම නතර කරනු ලැබේ.’ ඒ දුම්රිය පිටත් වීමේ නිවේදනයයි. එය ඉංග්‍රීසියෙන් සහ
දෙමළෙන්ද නිකුත් කරන ලදී.
නලාව මහ හඬින් ශබ්ද කර දුම් ගුලි අහසට යවමින්
දුම්රිය හෙමින් හෙමින් ඉදිරියට ගමන් කරන්නට විය. දුම්රිය විනාඩි විස්සක දී පමණ
කොළඹ සිමාව පසුකර තවත් විනාඩි විස්සකදී නුගේගොඩට ලඟාවිය.
නුගේගොඩ සිට තරමක් වේගයෙන් ගමන් කර, පාදුක්ක
පසුවූ පසු නැවතත් ඉබි ගමනින් ගිය දුම්රිය සමහර තැන් වලදී පැයට කිලෝ මීටර් දහයක පමණයයි කිවහැකි අඩු වේගයකින් ධාවනය වී අවිස්සාවේල්ලට පැමිණෙන
විට මධ්‍යහ්න දොලහද පසුවිය. දුම්රිය අඩු වේගයකින් යාම නිසා අපට නම් වට පිට දේවල්
බලාගැනීමට හැකිවූ නිසා එය ඉතාමත් ප්‍රිය ජනක විය. අවිස්සාවේල්ලේදී විවිධ භාණ්ඩ
පැටවූ මැදිරි හුවමාරුවක් තිබුණු නිසා තවත් පැය භාගයක පමණ ප්‍රමාදයක් වන බව දැන
ගතිමු. මෙසේ දුම්රිය නතරකර තිබියදී අප විසින් ගෙනෙන ලද බත්මුල් ලිහා ගෙන දහවල්
ආහාරය ගතිමු. කැකුළු හාලේ බත් සමග බැදපු හාල්මැස්සන්, තෙලට පිසින ලද පරිප්පු සහ
මුකුණුවැන්න මැල්ලුම නිසා කෑම වේල ඉතාම ප්‍රණීත ආහාරයක් විය.
රබර් වතු සහ තේ වතු හරහාද, සොබා සිරියෙන් අනුන
ගම්මාන මැදින්ද ඉබි ගමනින් ඇදීගිය දුම්රිය රත්නපුරයට පැමිණෙන විට සවස තුන පසුවී
තිබිණ.
අප මැදිරියේ සිටි වෙළෙන්දෝ තම බඩු භාණ්ඩද රැගෙන
රත්නපුරයෙන් බැස ගත්හ. මැණික් ගැරීමට යයි සිතිය හැකි ආම්පන්නද රැගෙන පැමිණි තරුණයින් පිරිසක් රත්නපුරයේදී අප සිටි මැදිරියට
ගොඩවුහ. ඔව්හු මැණික් පතල්, ඉල්ලම්
කැඩීම, දෝනා යාම, කරු හවුල් ගැනීම යනාදී
වශයෙන් කතාබස් කළ බොහෝ දේ අපට හරිහැටි තේරුම් ගන්නට බැරි විය.
V2 331 දරණ පැරණි වාෂ්ප දුම්රිය එන්ජිම සහ සම්බන්ධ මැදිරි.
රත්නපුරයේ සිට පැල්මඩුල්ල දක්වා ගමනේදී මැණික්
පතල් සහ කඳු බැවුම් වල ‘terrace’ ආකාරයට සකස් කරන ලද සරු සාර කුඹුරු යායවල් දකින්නට ලැබුණි.
මැණික් පතල් අසල පොල් අතු සෙවිලි කර සකස් කර තිබුණු වාඩි ඒ ගැමි පරිසරය තවත් ඔපවත්
කර තිබේ. පැල්මඩුල්ලෙන් පසු දුම්රිය මාර්ගයද කඳු සහ වංගු වලින් යුක්ත වූ නිසා වේගය
තවත් අඩුවූ බව දැනුනි.
හෝමාගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ අංක . 331, V2
දරණ පැරණි වාෂ්ප රේල් බස් රථය.
අපට සවස පහමාර පමණ වනවිට අවසාන දුම්රිපළ වන
ඕපනායකට යාමට හැකිවිය. අමරසේන මහතා අප පිළිගැනීමට දුම්රියපළට පැමිණ සිටියේය.
අප දුටු විගසම සිනාමුසු මුහුනින් ආයුබෝවන් කියා අප පිළිගත් ඔහු
‘අද කෝච්චිය ඉක්මනට ආවා. සමහර දාට පැය පහක් හයක්
ප්‍රමාද වෙනවා. අද ප්‍රමාද උනේ පැය භාගයක් විතර’
මම මගේ
මිතුරන් දෙදෙනා වන අතපත්තු සහ පතිරාජ ඔහුට හඳුන්වා දුනිමි.
‘මාත් එක්ක ගුරු විද්‍යාලයයේ හිටපු අතපත්තු කියන
මහත්මයෙක් දැන් බණ්ඩාරගම පැත්තේ වීදාගම ඉස්කෝලේ විදුහල්පති’ යයි ඔහු එක් වරටම
කීවේය.
‘එ අපේ බාප්පා’ අතපත්තුගේ පිළිතුර විය.
දැන් අමරසේන මහත්මයාට අතපත්තු සමගද කිට්ටු
සම්බන්ධයක් තිබේ.
දුම්රියපළේ සිට කිලෝමීටර භාගයක් පමණ දුරින් වූ,
ඔහු පදිංචිව සිටි පාසැලේ ගුරු නිවාසය වෙත අපි පයින්ම ගියෙමු. ටික වෙලාවක් ආගිය
තොරතුරු කතාකිරීමෙන් පසු ඔවුහු අපට බෙලිමල් තැම්බූ වතුර සහ කිතුල් හකුරු වලින්
සංග්‍රහ කළහ. ගමන් විඩාව සංසිඳවීම සඳහා බෙලිමල් වතුර අමෘතයක් වැනි පානයක් විය.
රාත්‍රී ආහාරය සඳහාද ඇල් හාලේ බත්, අමු මිරිස් මාළුව, කිරිහොදි සහ මියන දළු
තෙම්පරාදුවක් තිබුණි.
අපට රාත්‍රියට නිදා ගැනීම සඳහා ගුරු නිවාසයේ
කාමරයක ඇඳන් දෙකක් යාකර පහසුකම් සලස්වා
තිබුණි.
පසුදින උදයේ අපි අමරසේන මහතා සමග දන්දෙනිය වතතේ වතු බංගලාව ට ගියෙමු. වතු අධිකාරිවරයා අප සතුටින් පිළිගත්තේය. ඔහුට අප බලාපොරොත්තුවන
කාර්යය පිලිබඳ අවබෝධයක් තිබිණ. ඔහු මැට්‍රිකියුලේෂන් විභාගයට උද්භිද විද්‍යාව උගත්
අයෙකි. ඒ බව අපට කි ඔහු, තමන්ගේ නම ස්ටීවන් බවත් ස්ථිර පදිංචිය මහනුවර බවත් කීවේය.
අපට දහවල් ආහාරය සඳහා සැන්ඩ්විච් පාර්සලය බැගින්ද ඔහුගෙන් ලැබිණ. එ සමගම අපට උදව
කිරීමට සින්නයියා නම් ඔහුගේ වයස්ගත වතු සේවකයෙකුද
ලබා දුන්නේය. යකඩ උලක් සහ අත් මුල්ලුවක් සමගම අපට බීම සඳහා විශාල වතුර බෝතලයක් ඔහුගේ මල්ලේ විය. අප
සින්නය්යාට භාරකළ අමරසේන මහතා ආපසු ගියේය.
හොඳින් සිංහල කතාකල සින්නය්යාගේ උච්චාරණය තරමක් වෙනස්ය. ඔහු ඉඳහිට
ඉංග්‍රීසියෙන්ද කතා කළේය. ප්‍රිය මනාප පුද්ගලයෙකු වූ ඔහු ඉක්මණටම අප සමග කුළුපග
විය. තමන් ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ මිනිසෙකු බව කි ඔහු, දැනට වසර හැටක් පමණ
වත්තේ ජීවත්වූ බවත්, තම බිරින්දෑ වසර තිහකට පමණ පෙර ගසක දර අත්තක් හිස මත කඩා
වැටීම නිසා මියගිය බවත් කඳුළු පිරි දෙනෙතින් යුතුව අමුතු සිංහල උච්චාරණයකින් අප
සමග කීවේය. දැනට ‘පෙරිය දොරේ’ ගේ බංගලාවේ වැඩ කරමින් ජීවත් වන බවත් ඔහු තමන්ට ඉතා
හොඳින් සලකන බවද ආඩම්බරයෙන් සඳහන් කළේය.
අපට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවිය.
රබර් වත්තේ අඩි පාරක් දිගේ ගිය අප ලඳු කැලෑවක්
සහිත මුකලානකට පැමිණියෙමු. මෙහිදී අප නතර කළ සින්නය්යා ඔහුගේ මල්ලෙන් සබන් කෑල්ලක්
සහ භාජනයකට වතුර වත්කර
‘දොරේලා මේ ෂබන් ඔන්දට කකුල් වෙල ගා...ගන්න,
කුඩැල්ලෝ ලස්ස ගණන් ඉන්නවා.’ යයි කිවේය.
මෙය අප කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් විය.
ඔහුගේ උපදෙස් පරිදි සෙරෙප්පු ගලවා දෙපාවල හොඳින්
සබන් ගා ගත්තෙමු. ඔහු සබන් දියකළ වතුර සෙරෙප්පු වලටද දැමිය.
ඔහු කුඩැල්ලන් පිළිබඳව අපට තව උපදෙසක් දුන්නේය.
‘දොරේලගේ කකුලට කුඩැල්ලෙක් අවොත්.... ඌව අ..ඟිලි
වලට මිරිකලා පොඩි කරලා වීසි කරන්න. එතකොට ..... ඌ
බාගෙ..ට මැරෙනවා .....’
අපට කිහිප වරක්ම ඔහුගේ උපදෙස ක්‍රියාත්මක කිරීමට
සිදුවිය.
වන වදුලට ඇතුල් වන විටම මල් රාශියක් පිපී තිබුණු
නියඟලා වැලක් අපට හමුවිය. මම එයින් මල් සහිත ඉත්තක් කපා ගැනීමට සුදානම් වුයෙමි.
‘ෂා..... ෂා ..... මාතියා .... ඕක නම් අල්ලන්නවත්
එපා. වෂ ....වෂ...වෂ...’
අපට තරමක බියක්ද ඇතිවිය.
නියඟලා අල කා වත්තේ තරුණියක් දිවි නසාගත් හැටි
ඔහු අපට විස්තර කළේය.
කෙසේ වෙතත් අපද ප්‍රවේශමෙන් එයින් මල් සහිත
රිකිලි කපා ෆෝමලීන් වල එබූ පුළුන් සහිත පොලිතීන් කවර වලට දමා ගතිමු.
තව ටික දුරක් ගිය විට ඔහු දොළ පාරක් අසල තිබුණු
දන් පඳුරකින් ඉදුණු ගෙඩි පොකුර බැගින් අපට කඩා දුන්නේය. අපට එය රසවත් පලතුරක් විය.
අපි ඒ අසලම තිබුණු මීවන වර්ග කිහිපයක්, බාඳුරා,
කොක්මොට බිනර වැනි ශාක කිහිපයක් එකතු කර ගතිමු. එතෙක් වේලා අසල තිබුණු ගල් තලාව
මත හිඳගත් ඔහු බුලත් විටක් හපන්නට විය.
දොළෙන් එගොඩ වූ අප රබර් වත්තේ මායිමට පැමිණියෙමු.
එහිදී අතපත්තුගේ කකුලේ කුඩැල්ලෙකු පිය මනිනු මම දුටුවෙමි. ඔහුට ඒ බව කී විට
සින්නය්යාගේ ක්‍රමය භාවිත කර ඌ පහසුවෙන් ඉවත් කළ හැකිවිය.
අපි නැවත දෙපාවල සබන් ගා ගතිමු. රබර් වත්තේ කිරි
කපමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට දෙමළ බසින් කථාකර, අසලට කැඳවා, බුලත් විට දුන් සින්නය්යා ඔවුනට අප පෙන්වා
පුරසාරමක් වැනි දෙයක් දෙමළෙන් කීවේය. ඔවුන්ද එය අනුමත කළ බව හිස සලා පෙන්වුහ.
අපට රබර් වත්තේ තිබී කිඩාරම්, පණු අල, හාතාවාරියා
වැනි භූගත කඳන් සහිත ශාක රාශියක් හමුවිය. මේවා හාරා ගැනීමට සින්නය්යා උදව් කළේය.
රබර් වත්තේ ගල් දෙබලක් අස්සේ වැඩි තිබුණු බේඳුරු සහ තවත් වායව මීවන වර්ග කිහිපයක්
ගලවා දීමට සින්නය්යා සමත් විය. මේ සඳහා ඔහුට පැය භාගයක් පමණ ගතවිය.
ස්ටීවන් මහතාගෙන් ලැබුණු සැන්ඩ්විච්, අපි
සින්නය්යා සමගද බෙදාගෙන දහවල් ආහාරය සඳහා ගතිමු. ටික වේලාවක් විවේක ගැනීමෙන් පසු,
තවත් ශාක වර්ග කිහිපයක් සොයා ගැනීමට හැකිවිය. අප ආපසු පිටත් වීමට සැරසෙන විටම
සින්නය්යා තරමක් ඈතට ගොස්, අත්පුඩි ගසා අපට එතැනට කථා කළේය, අපි එතැනට ගියෙමු.
‘මට මතෙක නති උනා. පෙරිය දොරේ මේක පෙන්නන්න කිව්වා....’
කියා රබර් ගසක තරමක් ඉහල අතු දෙබලක එක තැන වැවී
තිබුණු ඉතාමත් විරල අපිශාකි මීවන වන, කුඩා හැඩයා සහ මහ හැඩයා ශාක ගොන්නක් පෙන්වීය. මෙම ශාක වඳවී යාමේ
තර්ජනයට ලක්වී තිබෙන ශාක බව අප ඉගෙන ගෙන
තිබිණ.
‘මම ගහට නැගල ගලවල දෙන්නම්’ කි ඔහු
රබර් වත්තේ වැවී තිබුණු, වැල් පොටවල් කිහිපයක්
ගලවාගෙන ‘වළල්ලක්’ සාදා එහි ආධාරයෙන් ගසට නගින්නට සුදානම් විය. එම ශාක ගොන්න විනාශ
නොකර අපට අවශ්‍ය කොටස් පමණක් ගලවාදෙන ලෙසට අපි ඔහු දැනුවත් කළෙමු.
වළල්ල භාවිත කරමින් රබර් ගස දිගේ බඩගා ගිය
සින්නය්යා ඉතා ඉක්මණින් අතු දෙබලට ගොඩ විය.
වළල්ලක අධාරයෙන් ගස් නැගීමට නොදන්නා කම ගැන, අපට
මහත් මදි කමක් දැනුනි.
අපට අවශ්‍ය ශාක කොටස් ගලවා දුන් සින්නය්යා ගසෙන්
බිමට බැස්සේය. අපි ඔහුට ස්තුති කළෙමු.
ශාක එකතුව ගැන අපට මහත් සතුටක් ඇතිවිය. අප ළඟ
ඉතිරිවී තිබුණු මුදලින් සින්නය්යාට සුළු සංග්‍රහයක් කිරීමට අපි අමතක නොකළෙමු
අපි ආපසු වතු අධිකාරී ස්ටීවන් මහතාගේ බංගලාවට
පැමිණ ඔහුගෙන් තේ පැන් සංග්‍රහයක්ද ලබා, කළ උපකාරය පිළිබඳව ඔහුට මුව නොසෑහෙන සේ
ස්තුති කළෙමු. ම්හු මහත් ඕනෑකමින් ආරක්ෂා කර ගෙන තිබුණු විරල අපිශාකී මීමන වලින්
කොටසක් අධ්‍යාපනික වැඩක් සඳහා දීමට
හැකිවීම ගැන ඔහු සතුටු විය.
එදින සවස් වරුවේ අමරසේන මහතාගේ නිවසේ සිට අපගේ
ශාක එකතුව අප ගෙනැවිත් තිබුණු පැරණි පුවත්පත් කඩදාසි පිටු අතර පිළිවෙලට අසුරා සකස්
කර ගතිමු. මේ සඳහාද පැය තුන හතරක් ගතවිය.
පසු දින උදෑසන අමරසේන දෙමහල්ලන්ට ආචාර කර, සමුගත්
අපි ඕපනායක දුම්රිය පලට පැමිණ කොළඹ බලා එන දුම්රියට ගොඩ වීමු.
බර තබා වේලා සකස් කළ පැලැටි දර්ශක
--------------------------------------------
පටු
ධාවන පථය සහිත කැලණිවැලි දුම්රිය අද නැත. මෙම පැරණි දුම්රිය මාර්ගය කොළඹ සිට
අවිස්සාවේල්ලට ආරම්භ කර ඇත්තේ 1902 වර්ෂයේදීය. 1912 දී එය රත්නපුරය දක්වා දීර්ඝ කර
තිබේ. රත්නපුර ඕපනායක කොටස අවසන්කර විවෘත කර තිබෙන්නේ 1919 වසරේදීය. එකල රබර් සහ
තේ වතුවල භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය බෙහෙවින් භාවිත කර තිබේ.
1975 දී කැලණිවැලි දුම්රිය ධාවනය ටිකින් ටික
අඩපනවී කොළඹ සිට හෝමාගමට පමණක් සීමාවිය. නැවත
1978 දී කොළඹ සිට අවිස්සාවේල්ල කොටස ක්‍රියාත්මක විය. 1993 දී කැලණිවැලි
මාර්ගයේ පටු දුම්රිය පීලි ඉවත් කර පුළුල් රේල් පිලි දමා නවීකරණය කරන ලදුව, 1997 දී
සිට සාමාන්‍ය දුම්රිය එන්ජින් සහ මැදිරි ස්ථාපිත කරන ලදී. මේ සමගම ඒ අසිරිමත්
‘පුංචි කෝච්චිය’ දුම්රිය ධාවනයෙන් සදහටම
තුරන් විය. මහා මාර්ගයේ, රත්නපුර නගරය පසු කර කළුගඟේ වරකාතොට පාලමෙන් යනවිට, ගඟ
හරහා ඇති අත්හැර දැමු දුම්රිය පාලමේ නටබුන් අදටත් දකින්නට ලැබේ. මෙය දකින සෑම
විටකම දශක පහකට හයකට ඉහතදී අප ඒ පාලම මතින් දුම්රියේ ගිය ගිය ගමන සිහි වේ.
පටු දුම්රිය ධාවන පථයේ පළල අඩි 2 අඟල් හයක් වූ
අතර පුළුල් දුම්රිය ධාවන පථයේ පිලි අතර පරතරය අඩි 5 අඟල් හයකි.
(දුම්රිය
මාර්ගය පිලිබඳ තොරතුරු 2012 පෙබරවාරි 23 දින ‘ද අයිලන්ඩ්’ පුවත් පතෙහි පළවූ
ලිපියක් ඇසුරෙනි.)
ලස්සන සටහනක්. කුඩා කාලයේ අවුරුදු කීපයක් පාසැල් යාමට පුංච් කෝච්චිය පාවිච්චි කලා. මේ දුම් රිය මාර්ග වල පළල වෙනස් වෙන අකාරය ගැන මේ විකිපීඩියා සටහනේ තියෙනවා.
ReplyDeleteඕපනායක, කහවත්ත, නිවිතිගල ආශ්‍රිතව ඔය දුම්රිය මාර්ගය මහා මාර්ගයක් ලෙස දැනට පාවිච්චි වෙනව. තාමත් ඒ කාලෙ තිබ්බ යකඩ පාලම් ඉතා ශක්තිමත්ව තිබෙනව. ඔය කෝච්චි පාර ගැලෙව්ව එකනං අපරාදයක්.
ReplyDeleteස්තුතියි ඉයන්,
ReplyDeleteඑහෙනම් ඔබට පුංචි කෝච්චිය ගැන හුඟක් අත්දැකීම් ඇතිනේ. මම මේ කෝච්චියේ ගොස් තිබෙන්නේ ඔය ගමන විතරයි. මම රත්නපුර වැඩ කරන කාලේදියි දුම්රිය නතර කළේ. ඒ සමග ඒ කාළේ සිටි 'දේශපාලුවොත්' එකතුවෙලා රේල්පාර තිබුණු බිමේ ගෙවල් හැදුවා. කළුගඟ උඩින් තිබුණු පාලමේ දිරාගිය යකඩ නම් තවමත් ඉතුරුවෙලා තිබෙනවා.
Link එක බැලුවා. ලෝකයේම railway ගැන විස්තරයක් එකේ තිබෙනවා. ස්තුතියි.
ස්තුතියි ප්‍රසන්න,
Deleteඉයන්ට reply කරන කොටමයි ඔබගේ සටහන පෝස්ට් වෙලා තිබෙන්නේ. විනාඩි දෙකක වෙනසක් තිබිලා තියෙන්නේ. කොහොම හරි ඔබ ඉක්මන් වෙලා. ඒ කාලේ හිටපු දේශපාලකයින්ගේ උවමනාව නිසාමයි රේල්පාර ඉවත් කළේ. අද තිබුනානම් කොයි න්තරං වටිනවාද?
ද අල්විස් සෙනවිරත්න පවුලේ වැඩ
ReplyDeletehttp://www.sundaytimes.lk/170416/plus/the-unknown-de-alwises-brush-with-asian-flora-236894.html
http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=2&ved=0ahUKEwiMwZXKiOrVAhUFYo8KHYq0AIcQFggsMAE&url=http%3A%2F%2Fstatic1.1.sqspcdn.com%2Fstatic%2Ff%2F1199264%2F18693502%2F1339431698397%2FPethiyagoda%2BR.%2BThe%2BFamily%2Bde%2BAlwis%2BSeneviratne%2Bof%2BSri%2Blanka-%2Bpioneers%2Bin%2Bbiological%2Billustration.pdf%3Ftoken%3DUU1kvbI0dn7T8YMa1t3MsCugpHo%253D&usg=AFQjCNGi6Dk8LarPc5i1h0rCPLT8813WeQ
Deleteස්තුතියි Pra Jay,
DeleteLinks දෙකම කියෙව්වා. ඒ තරමට දක්ෂ ලෙස අපේ ජෛව විවිධත්වය චිත්‍රයට නගා තිබෙන ද අල්විස් සෙනෙවිරත්න පරම්පරාව ගැන වැඩි ප්‍රසිද්ධියක් නැති එක හරිම අවාසනාවක්. ඔවුන් කර තිබෙන්නේ ඉතාමත් නිහඬ සේවයක්. ඒ පරම්පරාවේ අය අදත් එම කාර්යයේ නියැලී සිටිත් නම ඔවුනට මගේ ප්‍රණාමය.
මෙන්න පුංචි කෝච්චිය ගැන චන්ද්‍ර අනගිරත්න ලියූ කවියකින් ඛොටටසක්-
ReplyDeleteපුංචි කෝච්චිය යයි හරි වේගෙන්
පැය හතරට එක සැතපුමෙ වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්!
මමත් මේ කවිය ලියන්න හිතාගෙන හිටියේ.
Deleteහැබැයි මෙය චන්ද්‍ර අනගිරත්න ලියූ කවියක් බව දැනගෙන සිටියේ නැහැ.
ස්තුතියි මනෝජ්,
Deleteඅනගිරත්න ඔය වගේ 'අනගි' කවි කතන්දර රාශියක් ලියපු කෙනෙක්නෙ.පාසැල් සිසුන් ඔය පොත් කයවලා අහුවෙලා දඬුවම් විඳලත් තිබෙන බව මම දන්නවා.
/* දුම්රිය නතරකර තිබියදී අප විසින් ගෙනෙන ලද බත්මුල් ලිහා ගෙන දහවල් ආහාරය ගතිමු. කැකුළු හාලේ බත් සමග බැදපු හාල්මැස්සන්, තෙලට පිසින ලද පරිප්පු සහ මුකුණුවැන්න මැල්ලුම නිසා කෑම වේල ඉතාම ප්‍රණීත ආහාරයක් විය. */
ReplyDeleteදශක ගණනාවකට පසුත් මේ තරම් විස්තර මතක තියෙන්න ඒ බත්මුල සැබෑ රසවත් විය යුතුයි.
හැබැයි, පසු කාලෙක පවා බත්මුල් සඳහා අනිවාර්ය කෑම ජාති තමයි ඒවා!
ස්තුතියි රසික,
Deleteචන්ද්‍ර අනගිරත්න කියන කතාව ඒ කාලේ රත්නපුරයේත් තිබුනා. සමහර දිනවලට කෝච්චියේ මැදිරි සියල්ලම හිස්.
රුප සටහනේ තිබෙන මා විසින්ම එකතු කර වර්ගීකරණය කරන ලද දර්ශක දෙකක් මෑතදී හමුවී සංරක්ෂණය කර ගත්තා. මේ දර්ශක නිසා තමයි කතාන්දරය සම්පුර්ණයෙන්ම ලියන්නට හිතුනේ.
කොලපතේ ඔතා එවා තිබුණු බත්මුල නම අමතක වෙන්නෙම නැහැ. මගේ සගයා අතපත්තු දැනට වසර දහයකට පමණ ඉහතදී මියගියා. ඒ ගැන කනගාටුයි.
මේ බ්ලොග් එකේ මම ලියන පලවෙනි කොමෙන්ට් එක වෙන්න ඕනේ. නවකතාවක් තරමට ලස්සන සටහනක්!
ReplyDeleteස්තුතියි උදය,
Deleteඔබගේ කොමෙන්ට් එක මා ඉතාමත් අගය කරනවා. අත් විඳින්නට ලැබුණු දෙයක් නිසා කතාන්දරය නිරායාසයෙන්ම ලියන්නට හැකි උනා. නැවත හමුවෙමු.
දැන් මේ මාර්ගය පාදුක්කට වෙනකන් විතරයි නේද? අධික වංගු නිසා පලල් දුම්රිය මාර්ගයේ උණත් ගමන හරිම හිමින් කියලා තමයි අහලා තියෙන්නේ.
ReplyDeleteස්තුතියි තිසර,
Deleteපාදුක්ක දක්වා දුම්රිය දුවන බව නම් දන්නවා. මහරගම, නුගේගොඩ, කිරුලපන වගේ තැන්වල වැඩකරන අය අතර මේ දුම්රිය ජනප්‍රියයි. දැන් අවිස්සාවේල්ලට යන බවක් ආරංචියි.
දැන් අවිස්සාවේල්ල වෙනකං යනවා. කොළඹ සිට අවිස්සාවේල්ලට යන්න පැය 3ක් වගේ ගත වෙනවා.
Deleteලියන ලියන මේ හොඳම සටහන් වලද ඇත්තේ අරුතකී
ReplyDeleteමියන දළු එක වරක් කා ඇත මාත් කැමතිම රසයකී
කියන ලසෙටම ගහ කොලින් පිරි තැනම සුන්දර දසුනකී
තියන තුති මල් නුඹටමයි මේ බ්ලොගය කවදත් හරයකී...
ජයවේවා!!!
ස්තුතියි දුමි,
Deleteකොළ පතේ බැඳ තිබුණු බත් මුල රසයි තවමත් මතකයේ ඇත
එ ල වලුත් සහ හාල්මැස්සන් බැදුම පිනවිය රස නහර ගත
ප ළ පුරුදු ගුරු යුවලගෙන් ලත් රසෙන් පිරි ඒ දෙවන බත්පත
මි ල කරන්නට බැරිය රස ගුණ, මියන දළු රස පිනා යයි සිත
ඔබට ජයම !
79 අවුරුද්දෙ වගෙ මම මාසෙකට දවසක් දෙකක් පුංචි කෝච්චියෙ යනව මරදානෙ ඉඳල හෝමාගමට යාලුවො එක්ක ජොලියට. ඕවල් ක්‍රීඩාංගණය පහුවෙලා කොටාරෝඩ් ස්ටේෂන් එක වෙනකල් දෙපැත්තෙම තියෙන්නෙ කෝච්චි පාර අයිනටම කරල හදපු පැල්පත්. ඒ නිසා කෝච්චිය ඒ හරියෙ යන්නෙ බොහෝම හෙමින්.
ReplyDeleteහැංගිමුත්තං සෙල්ලං කරන පොඩි එව්වො හිටපු ගමං කෝච්චියට නැඟල සීට් අස්සෙ හැංගෙනව. හොයන කට්ටිය ඇවිල්ල ඉඳගෙන ඉන්න මගීන්ගෙ කකුල් ඈත්කර කර හැංගිච්චි එවුං හොයනව.ඊට පස්සෙ හැංගිච්චි එවුනුයි හොයන එවුනුයි දෙගොල්ලම ගෝතමී පාර හරියෙන් බහිනව. උංගෙ වැයික්කිය එතනින් ඉවරයි.
අනික කෝච්චි පාර එහා පැත්තට යන්ට ඕන මිනිස්සු ගෑණු කෝච්චිය යනකල් ඉවසන්නෙ නෑ.මේ යන කෝච්චියට නැඟල අනික් පැත්තෙ දොරෙං බහිනව.සමහරවෙලාවට කකුස්ස තියෙන්නෙ රේල් පාරෙං එහා පැත්තෙ නං වතුර බාල්දියකුත් එල්ලගෙන සරම, ගෑණු නං රෙද්ද එක අතකින් උස්සගෙන ගෑණු පිරිමි දෙපාර්සවයම කෝච්චියට මේ පැත්තෙං නැඟල එහා පැත්තෙන් බහිනව.
දයා මහත්මයා, ඔබේ විස්තරයනම් ඉතාම අගනේය..:)
අම්මප කියහන්.. කැනරි කුරුල්ලෙක් එහෙම නෙවෙයි නේද? O.o?
Deleteස්තුතියි රවී,
Deleteමගේ සටහනට ඔබගේ ඌනපුරණය නම හරිම අගෙයි. පුංචි කෝච්චිය ගැන කතාන්දර පෙළක්ම ලියන්නට රවිට හැකිවේවි. මරදාන පහුවෙලා ඕවල් එක හරියට යනකොට ඔය තරම් රසවත් සිද්ධි මතක් වෙනවානම් ඕපනායකට යනතුරු දකින්නට ලැබෙන දේවල් වලින් පොතක්ම ලියන්නට පුළුවන් වෙයි නේද?
රසික මතක් කර තිබුනා වගේ චන්ද්‍ර අනගිරත්න ලියපු කවියට සම්බන්ධ තොරතුරුත් හරියට තිබෙනවා නේද? මම නම් පුංචි කෝච්චියේ ගියේ ඔය ගමන විතරමයි. 1974 දී පමණ රත්නපුරේ සිට රේල්පාර ඉවත් කරන අවාසනාවන්ත සිද්ධියත් මට ඇසින් දකින්නට ලැබුනා ඒ කාලේ මම රත්නපුරේ වැඩකළ නිසා. රත්නපුර හරියේ රේල් පාරට තිබුණු ඉඩම් වල දැන් බලෙන්ම ගෙවල් හදලා දේශපාලුවෝ එකතුවෙලා !
ඔබට ජයම !
කල්‍යාණ මිත්‍ර,
Deleteඔබටත් ස්තුතියි.
බොහොම අලන්කාරයි!!
ReplyDeleteතඩියා මල්ලිටත් ස්තුතියි
Deleteකියල වැඩක් නෑ.. තව අවුරුදු තිහ හතළිහකට කලින් ඉපදුනානම් කියල හිතුන..
ReplyDeleteස්තුතියි කල්‍යාණ මිත්‍ර,
Deleteඒ කාලේ තිබුණු බොහෝ තාත්වික සහ ස්වභාවික බොහෝ දේ දැන් නව තාක්ෂණයට යටවෙලා.
මම සබරගමුව දුම් රිය මාර්ගය ගැන පොතක් සකසමින් ඉන්නවා. මට මේ ආටිකල් එක ගන්න පුලුවන්ද? ඉන්ග්‍රීසියට ට්‍රාන්ස්ලීට් කරලා ගන්න පුලුවන්. ඔබ තුමාගේ විස්තර දන්වන්න. මේ මගේ විද්යුත් ලිපිනය : rasikasanjeewa@gmail.com
ReplyDeleteස්තුතියි රසික.
Deleteවසරකටත් වැඩි කලකට ඉහතදී ලියනලද මගේ 'පුංචි කෝච්චියේ ගමන' පිළිබඳවයි.
03.01.2020 දින දරන ඔබගේ ඉල්ලීමට මාගේ කැමැත්ත පිළිගන්න.
අවශ්‍යනම් පමණක් මගේ නම සඳහන් කරන්න. මා වසර පහක් පමණ
1972 සිට 1975 දක්වා රත්නපුර ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ
(එවකට) විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස සේවය කළා. පිළිතුරක් පමාවීම
ගැන කනගාටුයි. ඔබගේ සටහන දුටුවේ අදයි.
දයා වීරසේකර