Thursday 23 September 2021

ගින්නෙන් දැවුණු ප්‍රංශයේ Notre Dame දේවස්ථානය යළි පිළිසකර කිරීම (අපූර්ව කලාත්මක නිර්මාණයට විද්‍යාවෙන් නව පණක් ! )

        වික්ටර් හියුගෝ නම් ප්‍රංශ  ජාතික ගත් කතුවරයා විසින් 1482 වසරේදී, ප්‍රංශ භාෂාවෙන් රචනා කරන ලද Notre-Dame de Paris නම් නවකථා පොතෙහි,  Frederic Shoberl විසින් 1833 දී ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද  ‘The Hunchback of Notre Dame’ පොත දශක හයකට පමණ ඉහතදී, පාසැල් කාලයේදී, ඉතාමත් ආශාවෙන් කියවන ලද රසවත් නවකථා පොතක් විය.  මෑත කාලයේදී මෙම පොත ‘කුදාගේ සංග්‍රාමය’ ලෙස සිංහලටද  පරිවර්තනය කර තිබේ. ප්‍රංශයේ පැරිස් නගරයේ රයින් ගඟෙහි The Île de la Cité (English: City Island) දූපතෙහි පිහිටි ‘නෝට්‍රි ඩේම්’ නමැති දේවස්ථානය සහ එහි ඝන්ටාර නාදකරු ලෙස සිටි ක්වසයිමොඩෝ නම් විරූපී කුදු  මිනිසා (hunchback)  සහ එස්මරෙල්ඩා  නමැති සුරූපී නාටිකාංගනාව අතර හටගත් දුක්බර ප්‍රේම සම්බන්ධය අළලා  ලියා ඇති මෙම නවකතාව ලෝක සාහිත්‍යයේ මහත් සම්මානයට පත්වූවකි. මෙම දේවස්ථානය ‘අපගේ කන්‍යා මරිය තුමිය’ යන අර්ථයෙන් ‘Notre Dame’ ලෙස නම්කර තිබේ.   ඒ කාලයේම මෙම පොත ලොව වෙනත් භාෂා හැත්තෑවකට පමණ පරිවර්තනය කර තිබුණු බවද  ප්‍රකටය.

කුඩා කාලයේදී කියවා රස විඳින ලද මෙම පොත පිළිබඳ  මතකය යළි අවදි කරන ලද්දේ, Reader’s Digest, 2021 සැප්තැම්බර් කලාපයේ පළකර තිබුණු  “SAVING NOTRE DAME, Where art and Science Unite” යන ලිපිය කියවීමෙන් පසුවය. වසර 850 කට වඩා  පැරණි මෙම ලෝකප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන ගොඩනැගිල්ල, යුරෝපාකරයේ විශාල වශයෙන්  දකින්නට ලැබෙන  ගොතික්  සම්ප්‍රදායානුකූල ගෘහ නිර්මාණ ශිල්පයේ සහ කැටයම් කලාවේ අග්‍ර ගණයේ නිර්මාණයක් ලෙස සැලකේ. මෙම දේවස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු කරගෙන යමින් තිබියදී, පසුගිය 2019 වසරේ අප්‍රියෙල් 15 වැනිදා සවස, විදුලි  කාන්දුවක් නිසා   හටගත් ගින්නකින්  එය විශාල වශයෙන් හානියට පත්විය.

මෙහිදී තවත් සුවිශේෂී සිද්ධියක්ද මාගේ මතකයට නැගුණි. එනම්: දේවස්ථානයේ ගින්න හටගැනීමට දින දෙකකට කලින්, අපගේ වැඩිමහල් දියණිය තුෂාරි සහ ඇගේ සැමියා උපුල්,  දේවස්ථානයේ ගාම්භීර භාවය සහ පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය අසිරිය දැකගැනීම සඳහා එහි ගොස් තිබීමයි. එම සිද්ධිය මෙසේය: ඔවුන් සති දෙකක යුරෝපා සංචාරයක් අවසන් කර, 2019 අප්‍රියෙල් මස 13 වැනිදා සවස, Notre  Dame ගොස් එහි විසිතුරු බලා පසුදින රාත්‍රී ඕස්ට්‍රේලියාව බලා ගුවන් ගතවී ඇත. ඔවුන් ආපසු ඕස්ට්‍රේලියාවේ තම නිවසට පැමිණ පැය කිහිපයකට  පසු දේවස්ථානය ගිනි ගන්නා අකාරය රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වීම මහත් සංවේගයකින් යුක්තව නරඹන්නට සිදුවිය. (මේ සමග ඇත්තේ ඔවුන් විසින් ගින්න හටගැනීමට දින දෙකකට  පෙර ගත් ඡායාරූපයකි.)    


Reader’s Digest සඟරාවේ ලිපියෙන් විස්තර කරනුයේ ගින්නෙන් දැවී ගිය, ගෘහ නිර්මාණ ශිල්පයේ මුදුන් මල් කඩක් මෙන්ම කලාගාරයක් බඳු  මෙම ඓතිහාසික ගොඩනැගිල්ල යථා  තත්ත්වයට ගෙන ඒම සඳහා, සිය දෙනෙකුගෙන් පමණ සමන්විත,  විවිධ ක්ෂේත්‍ර වල විද්‍යා  විශේෂඥයින් කණ්ඩායමක් විසින් මහත් ඇප කැප වීමකින් යුක්තව කරනු ලබන අපූර්ව මෙහෙවරයි.

ලිපිය කියවීමේදී තවත් ඉතා වැදගත් කරුණු රාශියක් දැන ගැනීමට හැකිවූ නිසා මෙම ලෝක ප්‍රකට ස්මාරකය පිලිබඳ තවදුරටත් කරුණු සෙවීමට කුතුහලයක් ඇතිවිය. මෙහිදී විශේෂ අවධානය යොමුවූයේ දේවස්ථානය යළි ගොඩ නැගීම සඳහා අවශ්‍ය ලී දඬු  ලබාගැනීම පිණිස දැවැන්ත ඕක් ගස් දෙදහසක් පමණ බිම හෙලීමට සිදුවන බව ඇසූ පුවතයි. 

දේවස්ථානය ජගත් උරුමයකි.                                                                                                                                        

මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව ඇතිවූ කුතුහලය නිසාම  Reader’s Digest සඟරාවට අමතරව අන්තර්ජාලය ඇතුළු තවත් මාධ්‍ය ඔස්සේ විමර්ශනය කිරීමේදී ලබාගත හැකිවූ කරුණු සම්පින්ඩණයක් මෙසේ ඉදිරිපත් කරමි.

  • Notre Dame දේවස්ථානයේ එකට යා කර ඇති  ගොඩනැගිලි සංකීර්ණයට අක්කර 1.5 පමණ භුමි භාගයක් වසා සිටී. එම භුමිය දිගින් යාර 138 ක් (127 m)  සහ පළලින් යාර 47 ක් (43m)  වේ. මෙහි මධ්‍යයේ ඇති,  පැතිකඩ අර්ධ ගෝලාකාර කේතුවක (dome)  හැඩයෙන් යුක්ත ප්‍රධාන මන්දිරයේ වහලේ සැකිල්ල ඉතා විශාල දැවමය ආරුක්කු සමුහයක එකතුවකි. මධ්‍යයේ අංශක 55 ක කෝණයකින් ඉහලට නෙරා යන මෙම ආරුක්කු සවිකර ඇති දෙපැත්තේ බිත්ති යාර 47ක් (43m)  උසින් යුක්තය. උස බිත්ති දෙකට මැදිවූ ප්‍රධාන ශාලාව දෙපැත්තේ ඇති පිවිසුම් ද්වාර පථ දෙකෙහි  පියස්සට ආධාර සපයනුයේද  ප්‍රමාණයෙන් තරමක් කුඩා  දැවමය  ආරුක්කු පද්ධතියකිනි. මෙහි සුවිශේෂී ලක්ෂණයක් වන දැවමය ආරුක්කු පද්ධති සහ ලී වලින් නිමවන ලද  වෙනත් විවිධ අංගෝපාංග දස දහස් ගණනක් නිසා දේවස්ථානයේ අභ්‍යන්තරය ‘වනාන්තරයකට’  අනුරූප කර එයට ‘The Forest’ නම් අන්වර්ථ නාමයක්ද පටබැඳී  තිබේ

                                              ඕක් ලීයෙන් නිමකර ඇති දැවැන්ත ආරුක්කු 

  • දැවමය ආරුක්කු මත නිර්මාණය කර තිබෙන මෙහි වහලේ පියස්ස එකක් වර්ග අඩි 2.5 (2500 cm2) සහ ඝනකම අඟල් 0.2 (5 mm) පමණ වන, ඊයම් ලෝහ තහඩු 1300 ට  වැඩි සංඛ්‍යාවකින් නිමවී ඇති අතර,  එය මෙට්‍රික් ටොන් 210 කට වඩා බරකින් යුක්තය. මෙම බර දරා සිටිනුයේ කලින් විස්තර කළ දැවැන්ත දැවමය ආරුක්කු පද්ධතිය මගින්ය.

  • දේවස්ථානයේ දකුණු මූණතෙහි ඇති විශාල වෘත්තාකාර ජනේලයද ඉතා විසිතුරු එමෙන්ම ආශ්චර්යමත් නිමැවුමකි.ඉහත ඡයාරුපයේද දකින්නට ලැබෙන මෙම ජනේලයේ ව්ෂ්කම්භය අඩි 33 (10 m) කි. මෙහි ජනෙල් රාමුවද සකස් කර තිබෙන්නේ දැව වලිනි. බිත්තියේ සිරස්ව සවිකර ඇති මෙම අති විශාල ලී රාමුව මත, බිත්තියේ සෑම පැත්තකින්ම ඇතිවන තෙරපුම සමසේ විහිදී ගොස් සමතුලිත තත්ත්වයක තබාගැනීම පිණිස, මකුළු දැලක වියමනක් වැනි ආකාරයට සැකසූ ඇතුලත පට්ටම්ද කලාත්මක නිර්මාණයකි. වෘත්තාකාර ලී රාමුව මධ්‍යයේ සිට එහි පරිධිය දක්වා අරීයව විහිදී යන සමමිතික කොටස් නැවත විවිධ ආකාරයේ හැඩතල රාශිකට බෙදා තිබේ. මෙම හැඩතල නිසා එය මකුළු දැලක ආකෘතියක් මෙනි. එම හැඩතල සවිකර ඇති සැකිල්ලේ පට්ටම්ද  සකස් කර ඇත්තේ සුවිශේෂී පාෂාණ වර්ගයක තීරු  සහ දැව පටි එකට සම්බන්ධ කිරීමෙනි. ජනේලයේ මෙම හැඩතල දෙසියයකට අධිකය. මේ සෑම  හැඩතලයක්ම සම්පූර්ණයෙන් වැසී යන පරිදි විවිධ වර්ණවලින් යුත් වීදුරු තහඩු සවිකර තිබේ. මෙම වීදුරු තහඩු මත බොහෝ ආගමික සිතුවම්ද දකින්නට ලැබේ. විදුරු තහඩු නිසා ජනේලය මත සුර්යාලෝකය වැටුණු විට, අභ්‍යන්තරයේ සිට බලන කෙනෙකු හට එය විවිධ වර්ණ වලින් දිදුලන ජනෙල් තිරයක් මෙන් දිස්වේ. මෙම දුර්ලභ ගණයේ ජනේලය, එහි හැඩය නිසාම    ‘රෝස ජනේලය’ (Rose window) ලෙස නම් කෙරේ. මෙවැනි විශාල ජනෙල් තුනකි.

  • විවිධ කාර්යයන් සඳහා භාවිත කරනු ලබන වර්ණවත් වීදුරු භාණ්ඩ  හෝ තහඩු සකස් කිරීමද ඓතිහාසික කලාවකි. ක්‍රිස්තු පූර්ව 3600 දී පමණ කාලයේද මෙසපොටේමියාව සහ ඊජිප්තුවේ වීදුරු නිෂ්පාදණය කර ඇති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි ඇත. වීදුරු නිෂ්පාදනයේ ප්‍රධාන අමු ද්‍රව්‍යය වන වැලි,  සිලිකන් ඩයොක්සයිඩ් (Silicon dioxide) යන රසායන විද්‍යාත්මක නමින් හැඳින්වේ. විදුරු වර්ණ ගැන්වීම සඳහා කොබෝල්ට්, ඇන්ටිමනි, යුරේනියම් සහ ක්‍රෝමියම් යන මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ භාවිත කෙරේ. මෙම ඔක්සයිඩ වලින් වීදුරු වලට පිළිවෙලින් නිල්, සුදු, කහ සහ කොළ පැහැය ලැබේ. සිලිකන් ඩයොක්සයිඩ් ලෙස හැඳින්වෙන වැලි, කැඩී බිඳී ගිය වීදුරු සුන් බුන් සහ අදාළ ඔක්සයිඩය සමග උදුනක දමා 2,900 ° F (1593 ° C) දක්වා රත්කළ විට, අදාළ නියමිත වර්ණයේ වීදුරු ලබා ගත හැකිය. 

  • විවිධ ලිපි ලේඛන වලින් දේවස්ථානයේ ඝන්ඨා පිළිබඳවද තොරතුරු රාශියක් හඳුනාගත හැකිවිය. විශාල ප්‍රධාන ඝන්ඨාවට  අමතරව පරිවාර ඝන්ඨා කිහිපයක්ද මුල් කාලයේ සිට මෙහි ස්ථාපනය කර තිබී ඇත. 1685 වර්ෂයේදී, xiv වන ලුවී රජතුමාගේ (King Louis XIV)  ඉල්ලීම පරිදි මෙහි විශාලතම ඝන්ඨාරය නැවත ලෝකඩ වාත්තු කර, එය   "Emmanuel"   ලෙස නම් කර තිබේ. රටෙහි හෝ  රාජ්‍ය නායකයින්ගේත්, ලොව විවිධ වැදගත් අවස්ථාවලදීත්  ඝණ්ටා හැඬවීම සම්ප්‍රදායකි. 1789 වර්ෂයේ ආරම්භවූ ප්‍රංශ මහා විප්ලවයේදී රටෙහි බොහෝ දේවස්ථානවල ඝන්ටා විප්ලවවාදීන් විසින් තම කාලතුවක්කු උන්ඩ සහ අවි ආයුධ  සෑදීම සඳහා අත්පත් කර ගැනීමේදී, මෙහිද  සමහර ඒවා විනාශ වී ඇත.   ටොන් 13 ක් බරින් යුක්ත "Emmanuel"  ඝණ්ටාව  ප්‍රංශ මහා විප්ලවයේදීත් විපතට පත් නොවීය. 2019 ගින්නේදීද එයට හානියක් නොවී ඉතිරි වීම විශේෂ සිද්ධියකි. ඈත අතීතයේ සිටම දේවස්ථානයේ ඝන්ටා නාදකිරීමේ යාන්ත්‍රණය බලගැන්වීම සඳහා මිනිස් ශ්‍රමය භාවිත කරන ලදී. වික්ටර් හියුගෝගේ නවකතාවේ කොසයිමොඩෝද මෙවැනි මිනිසෙකි. එහෙත් මෑතකාලයේ දේවස්ථානයේ උස කුළුනෙහි ඝන්ටාව විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සවිකරන ලද විදුලි පද්ධතියේ විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න හට ගත්තේද යන්නද සැක කර තිබේ.

  • ගණිතයේ ගැඹුරු සංකල්පයක් වන ‘ස්වර්ණ අනුපාතය’ (Golden ratio),නොහොත්        1 : 1.61 අනුපාතයේ   මිනුම් වලට අනුකුලව දේවස්ථානයේ ගොඩනැගිලි, ආරුක්කු වැනි සියලු වාස්තු විද්‍යාත්මක  නිර්මාණ සැකසී ඇත. ඒවායේ පාදමේ දිග සහ  උස අතර මෙම අනුපාතය තිබෙන බවද දැක්වේ. මෙම අනුපාතය, ගණිතයේ ‘ෆයිබොනාචි අනුපිලිවෙල’ (Fibonacci sequence), ලෙස දැක්වේ. (0,1,1,2,3,5,8,13…. ආදී වශයෙන්).   මිසරයේ ‘පිරමිඩ’ සහ ඉන්දියාවේ ‘ටජ්මහල්’ හිද මෙම සංකල්ප භාවිත කර තිබේ. එමෙන්ම ස්වාභාවිකව, සූර්යකාන්ත, නෙලුම් වැනි ශාක වල පුෂ්ප ව්‍යුහයේත්, ගොළු බෙල්ලන් වැනි කවච සහිත සතුන්ගේ කවච රැළි සකස් වීමෙදීත් මෙම අනුපාතය තිබෙන බව සොයාගෙන තිබේ. මේවා ‘පරිපූර්ණත්වයේ මිණුම්’  (Dimensions of perfection) ලෙසද හැඳින්වේ  

  • දොළොස්වන සියවසේ සිට වරින් වර මහත් උපද්‍රව වලට මුහුණ  දී ඇති මෙම දේවස්ථානය වන්දනා මාන කිරීමට හෝ දැකබලා ගැනීම පිණිස, වසරකදී ලොව සෑම දිශා භාගයකින්ම ජනතාව මිලියන 13 ක් පමණ පැමිණෙන බවද ගණන් බලා තිබේ. 

  • ආගමික වශයෙන් වැදගත් වන ශුද්ධ වූ ඔටුන්න, කුරුසියේ කොටසක් සහ එහි සවිකර තිබුණු  ඇණයක් මෙහි තැන්පත් කර තිබෙන සුවිශේෂී  ඓතිහාසික වස්තු වේ. 

  • කලින්ද සඳහන් කළ පරිදි, 15 වන ශත වර්ෂයේ මැද භාගයේදී,  වික්ටර් හියුගෝ විසින් රචනා කරන ලද The Hunchback of Notre Dame නව කථාව නිසා දේවස්ථානයේ කීර්තිය දෙගුණ තෙගුණ වී ජනප්‍රිය භාවයද වැඩිවී ඇත.

  • 1991 වර්ෂයේදී  Notre Dame දේවස්ථාන පරිශ්‍රය UNESCO ජගත් උරුමයක්’ (world heritage site)  ලෙස නම්කර, ලේඛනගත කර තිබේ. 

ගින්න හට ගැනීම 

දේවස්ථානයේ ගින්න හටගෙන ඇත්තේ 2019 අප්‍රියෙල් 15 වනදා, පැරිස් වේලාවෙන් පස්වරු 6.18 ටය. 6.20 ට ගිනි  අනතුරු සංඥාව නාද  වූ විගසම ඇතුලේ සිටි ජනතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. ගින්න හටගෙන ඇත්තේ පූජා භාණ්ඩ කාමරයේ (sacristy) යැයි මුලින් සැක කරන ලද්දේ වුවද, ඇත්ත වශයෙන්ම ගින්න ආරම්භ වී ඇත්තේ ඉහල මාලයක අටුවක් (attic)  වැනි ස්ථානයක බව  සැකහැර දැන ගන්නා විට විනාඩි 15 ක් පමණ ගතවී තිබේ. මුරකරුවෝ පඩි 300 ක් පමණ වූ පියගැට පෙළක් ඔස්සේ  ඉහලට නැග එම ස්ථානයට ලඟා වන විට, මැඩලිය නොහැකි තත්ත්වයට ලී දඬු වලට ගිනි ඇවිලී තිබිණ. ගිනි  සංඥා ගිනි නිවන හමුදාවට සම්බන්ධ කර නොතිබුණු නිසා, මුර කරුවන් ආපසු පැමිණ අවශ්‍ය ස්ථාන වලට දන්වන විට පස්වරු 6.50 පමණ විය. පස්වරු  7.00 වන විට සන්නද්ධ ගිනි නිවන හමුදා භටයෝ පැමිණ වහාම සිය කටයුතු ආරම්භ කළහ.   

ආරම්භයේදීම, ප්‍රධාන මන්දිරයේ  ඊයම්  තහඩු වලින් ආවරණය කර තිබුණු වහලයට ඉහලින් සුදු පැහැ  දුම් වලාවක් පැතිරී ගොස් ස්වල්ප වේලාවකින්,  එම දුම් වලා කදම්බය තද කළු පැහැයක් ගත්තේය. ක්ෂණයකින් ඒ මහා දුම් වලාව මහා ගිනි ජාලාවක් බවට පත්විය.  විනාඩි කිහිපයකදී සම්පූර්ණ ගිනි ජාලාවම වර්ණය වෙනස් වී ඉතා  දීප්තිමත් කහ පැහැති  මහා ගිනි ජාලාවක් බවට පත්වී ගොඩනැගිල්ලේ පියස්ස සම්පූරණයෙන් වසා ගත්තේය.(ඡායාරූපය බලන්න)

පස්වරු 7.50 වනවිට දේවස්ථානයේ උසම ව්‍යුහය වන කේතුආකාර කුලුණ (spire) පිලිස්සී කඩා වැටිණ. එහෙත් ඝන්ඨාර ඇටවුමට  (steeple) හානි නොවී තිබිණ. මෙයද  කඩා වැටුණේ නම් ටොන් 13 ක් පමණ බර ඇති ඝන්ඨාරය බිම පතිත වී   තවත් බරපතල හානි සිදුවන්නට ඉඩකඩ තිබිණ. 

ගිනි නිවන භටයින් 400 දෙනෙක් පමණ, ජල විදීමේ යන්ත්‍ර  කිහිපයක් සහ ජලය ඉසීමේ හෙලිකොප්ටර් යානා දෙකකද ආධාරය ඇතිව දිවි පරදුවට තබා දරන ලද ප්‍රයත්නය නිසා  පස්වරු 9.45 වන විට බුර බුරා නගින ගින්න පාලනය කර ගත හැකි විය. ගින්න ආරම්භ වී පැය නවයකට පසු, එනම් පසුදින අලුයම 4.00 පමණ වන විට ගිනි  ඇවිලීම සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වූ බව ප්‍රකාශයට පත්කර තිබේ.  

දේවස්ථානය යළි ගොඩනැගීම සඳහා විද්‍යාත්මක පිවිසුම්.

පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය සියලුම විද්‍යාත්මක පිවිසුම් තීරණය කිරීම සඳහා පැරිසියේ ‘ඓතිහාසික ස්මාරක පර්යේෂණ විද්‍යාගාරය’ (Historical Monuments Research Laboratory - LRMH) වෙත පවරා තිබේ. මෙම ආයතනයේ විද්‍යාඥයින් විසි දෙදෙනෙකු විසින් භූ විද්‍යාවේ සිට ලෝහ විද්‍යාව දක්වා ඇති සෑම අංශයකින්ම,  එහි තිබෙන  දැව, ලෝහ, පාෂාණ , බදාම, වීදුරු, තීන්ත, අවශේෂ භාණ්ඩ  ආදී සියලුම ද්‍රව්‍ය ගැඹුරු අධ්‍යයනවලට භාජන  කරමින් පිළිසකර කටයුතු සඳහා උපදෙස් ලබා දීමෙහි නිරත වෙති. එමෙන්ම  සියලුම පිළිසකර සහ සංරක්ෂණ කටයුතු ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවේ. 

  • Notre Dame දේවස්ථානයේ ප්‍රධාන මන්දිරයේ  වහල සැකිල්ල සහ ජනෙල් රාමු වැනි වෙනත්   ව්‍යුහ  සඳහා භාවිත කර තිබෙන දැවැන්ත ඕක් (Oak) දැව පිළිබඳව කරන ලද විද්‍යාත්මක අධ්‍යනයේදී සොයාගත් පරිදි ඒවා 12 වන සහ 13 වන ශත වර්ෂ වලදී වනාන්තරවල වැවී තිබෙන වෘක්ෂ බව තහවුරු වී  තිබේ. මේ සඳහා එම ලී කඳන්වල හරස් කඩෙහි දකින්නට ලැබෙන  ‘වර්ධන රේඛා’ (growth lines) නොහොත් ‘වාර්ෂික වළලු’  (annual rings)   මගින් තොරතුරු ලබාගෙන ඇත. එම වෘක්ෂ දැඩි නියඟය  සහිත කාල කිහිපයක්ද පසුකර ඇති බව වර්ධන රේඛා වලින් පැහැදිලි  වී ඇත.  විශාල බාල්ක වල දැව ලබාගෙන ඇත්තේ විෂ්කම්භය අඩි  3 කට (1 m පමණ) වඩා වැඩි  කඳන් වලිනි. මෙම දැවැන්ත බාල්ක සියල්ලම දැවී ගොස් ඉතිර වුයේ අඟුරු කුට්ටි පමණකි. 

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රංශයේ වනාන්තර වලින් මෙම වර්ගයේම ඕක් ගස් වල (Quercus petraea) දැව ලබාගැනීමට සැලසුම් කර තිබේ. මේ සඳහා වසර දෙසියයකට වඩා පැරණි, අදාළ මිණුම් වලට ගැලපෙන   ඕක් වෘක්ෂ දෙදහසක් පමණ වනාන්තර වලින්  තෝරාගෙන, දැනටමත් කපා, වේලීමට ඉඩ හැර, පදම්  කර ගැනීම සඳහා පියවර ගෙන තිබේ.

  • ගින්නෙන් විනාශවූ ප්‍රධාන මන්දිරයේ වහල ආවරණය කර තිබුණු ඊයම් තහඩු අධික තාපය නිසා උණුවී ඊයම් වැගිරී  යාමත්, ඉතා කුඩා ඊයම් අංශු දුම සමග වාතයට මුසු වීමත් නිසා විශාල පරිසර හානියක්ද සිදුවන්නට ඇතැයි  සැකයක්ද පැවතුණි. පියස්ස වසා සිටි ටොන් දෙසියයක පමණ ඊයම් සම්පූර්ණයෙන්ම  උණුවී ගොස් තිබෙන බව හඳුනාගෙන  තිබේ. උණුවී වැගිරී ගිය ඊයම් ජනේල වර්ණ වීදුරු තහඩු මත තැන්පත්වී ඝනීභවනය වීම නිසා ඒවා විශාල වශයෙන් දුර්වර්ණවීම සහ වීදුරු තහඩු වල පින්තාරු කර තිබුණු ආගමික සිතුවම් විකෘති වීමද විශාල පාඩුවකි. වාතයට මුසුවී ඇති සියුම් ඊයම් අංශු නිසා සිදුවී ඇති සෞඛ්‍ය ගැටළු පිලිබඳව අදාළ බලධාරීන් විසින් පර්යේෂණ  ආරම්භ කර තිබේ. මේ සමගම දුර්වර්ණ වීදුරු තහඩු යථා  තත්වයට ගෙන ඒම සහ ඝණීභවනය වී ඇති ඊයම් ඉවත් කිරීමේ වෑයමක්ද, යථෝක්ත ආයතනය මගින් කර ගෙන යනු ලැබේ. වීදුරු තහඩු වල ඝණීභවනය වී ඇති ඊයම්,   වීදුරු වර්ණයට හෝ ඒවායේ ඇති සිතුවම් වලට හානියක් නොවන පරිදි ඉවත් කිරීම සඳහා නවතම ක්‍රමවේද සොයා ගැනීමට සිදුවූ බවද වාර්තාවේ. 

  • ඊයම් වාෂ්ප ශරීර ගත වීම මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයකි. ඊයම් ලෝහය 300 ºC දී උණුවී දියරයක් බවට පත්වූවත් එය වාෂ්ප වීම සඳහා උෂ්ණත්වය 1700 ºC පමණ විය යුතුය. පර්යේෂකයින්ගේ මතය අනුව, මෙම ගින්නෙහි  උපරිම උෂ්ණත්වය 600 ºC ඉක්මවා නොමැත. ගින්න ආරම්භවී විනාඩි කිහිපයකට පසු එකවරටම ගිනි ජාලාව දීප්තිමත් කහ පැහැයක් ගෙන තිබෙන්නේ, උෂ්ණත්වය 600 ºC දී පමණ, ලෝහ ඊයම්, කහ පැහැති ඊයම් ඔක්සයිඩ (PbO) බවට පරිවර්තනය වීම නිසා හටගන්නා  අංශු ගිනි දල්ලේ විසිරී ඇති නිසාය. එම ප්‍රතික්‍රියාව මෙසේ දැක්විය හැකිය.  Pb + O2  = 2 PbO  (ඊයම් වල රසායනික සංකේතය Pb වේ). මේ අනුව,  ඊයම්  වාෂ්ප බවට හරි නොමැති නිසා එයින් මිනිසාට සිදුවිය හැකි සෞඛ්‍ය තර්ජනයක් මෙහිදී අවම  බව අනුමාණ කළ හැකිය.                                                       

  • 2018 වර්ෂයේ සිට දේවස්ථානයේ විශාල අලුත්වැඩියා කටයුතු කිහිපයක් ආරම්භ කර තිබුණි. මේ සඳහා ප්‍රධාන මන්දිරයේ සම්පූර්ණ උසටම  සරිලන පරිදි යකඩ පලංචි රාශියක් සකස්කර  අටවන ලදී. ගින්නට හසුවූ මෙම පලංචි වල යකඩ බටද පිලිස්සී, ඇඹරි විශාල වශයෙන් විකෘති වී ගොස් තිබෙනු දකින්නට ලැබිණ. පිළිසකර කටයුතු ආරම්භයේදී මෙම පලංචි යකඩ බට ඉවත් කර, ගොඩනැගිලි වල නොදැවී ඉතිරි වූ කොටස් පිලිබඳ අධ්‍යයනයක් කර වාර්තාවක් සකස් කිරීම සඳහාද  මාස කිහිපයක්ම ගතවිය. 2020 නොවැම්බර් පමණ වන විට යකඩ පලංචි සියල්ල ඉවත් කර ඇත.  කොරෝනා වසංගත උවදුර නිසාද මෙම වැඩ කටයුතු බෙහෙවින් ප්‍රමාද වන්නට විය. 

                                                                
  • ප්‍රධාන දේව මන්දිරයේ සිවිලම සකස් කර ඇත්තේ හුණුගල් මෙන් සවිවිර ව්‍යුහයකින් යුක්ත ‘පියුමිස්’ (pumice) නම් සැහැල්ලු පාෂාණ වර්ගයකින් වේ. මෙම සිවිලිමට ගින්නෙන්  හානියක් සිදු නොවුවත්, එහි සැලකියයුතු කොටසකට වෙනස් ආකාර දෙකකින් හානි සිදුවී ඇතිබව විශේෂඥයින් විසින් නිරීක්ෂණය කරන ලදී. පළමුව, ගින්නෙන් ගිනියම් වී අධි උෂ්ණත්වයක පැවති    යකඩ පලංචි බටවලින් නිකුත්වූ යකඩ අංශු, අධි උෂ්ණත්වයක පැවතුණු  පියුමිස් වල හුණුගල් අංශු සමග රසායනිකව ප්‍රතික්‍රියාකර,  එම පාෂාණයේ ශක්තිමත් භාවය හීන කර තිබේ. දෙවනුව, ගින්න නිවීම සඳහා විශාල වශයෙන් ජලය විදීමේදී සිවිලිමේ සවිවර පියුමිස් පාෂාණ වලට අධික ලෙස ජලය උරා ගැනීමෙන් බර වැඩිවීම නිසා කඩා වැටීමේ තර්ජනයක් ඇතිවූ බවද  තහවුරු විය. පියුමිස් පාෂාණ වල බර මෙන් 30% පමණ ජලය උරා ගත හැකිය.  ඒ සමගම ඒ  දිනවල ඇදහැළුණු ධාරානිපාත  වර්ෂාව නිසා වහලයක් රහිතව විවෘතව පවතින සිවිලිමේ පියුමිස් පාෂාණ වලට ජලය උරාගැනීමේ හේතුවෙන්  එහි බර තව තවත් වැඩිවන බව නිරීක්ෂණය කරන ලදී. මෙම තර්ජන දෙකටද නිසි පිළියම් යෙදීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක සැලසුම් සකස් කිරීමද පර්යේෂණ කණ්ඩායමට මහත් අභියෝගයක් විය. කෙසේ වෙතත් ඊට පසු සති කිහිපයක් තුළ පැවතී වියලි කාලගුණය නිසා සිවිලිමේ පියුමිස් වලට උරාගත් ජලය ටිකින් ටික වාෂ්ප වී යාම නිසා ඔවුන්ට මඳ අස්වැසිල්ලක් ලබා ගත හැකි විය. 

  • ඕක් දැව වලින් නිර්මාණය කර තිබුණු වහලයේ ආරුක්කු සැකිල්ල සහ අනිකුත්  දැවමය කොටස් යළි සකස් කිරීම සඳහා ඉතාමත් සුදුසු දැව සහිත ඕක් ගස් තෝරා ගැනීමද විද්‍යාඥ කණ්ඩායමේ සිටි, වනාන්තර විද්‍යාඥයින්ගේ සැලකිල්ලට භාජන විය. මේ සඳහා පැරිසියේ සිට කිලෝමීටර් 120 පමණ ඈතින් පිහිටි, පැරණි ඕක් වනයකින් සුදුසු වෘක්ෂ තෝරා ගන්නා ලදී. මුලින්ම තෝරා ගන්නා ලද්දේ කේතුආකාර කුලුණෙහි සැකිල්ල සඳහා යොදා ගැනීම පිණිස අවශ්‍ය වූ, විෂ්කම්භය මීටර් එකක් පමණ වන, දිගින් මීටර් විස්සකට වඩා වැඩි, තනි කෙලින් කඳ සහිත,  වසර 230 කට වඩා පැරණි දැවැන්ත ඕක් වෘක්ෂ අටකි. මෙසේ ලබාගන්නා ලද සියලුම ඕක් කඳන් පදම් කර ගැනීමද විද්‍යාත්මක නිර්දේශ මත සිදුවේ.

මෙම කඳන් වල ඇති,  ද්‍රාව්‍ය තෙල් වැනි රෙසින සේදීයාම සඳහා මාස කිහිපයක් එළිමහනේ තබා වර්ෂාවට නිරාවරණය කළ  යුතුය. පසුව අවශ්‍ය ප්‍රමාණයට වේලා ගැනීම (තෙතමනය ඉවත් කිරීම) සඳහා තවත් මාස 18 ක පමණ කාලයක් තැබිය යුතුය. එම කඳන්වල දැව නියමිත ප්‍රමිතියට අනුකූල වන්නේ අභ්‍යන්තර ජල ප්‍රතිශතය 30% දක්වා අඩුවූ පසු වේ. අනිකුත් කාර්යයන් සඳහා අවශ්‍ය දැවද මේ ආකාරයටම පදම් කිරීමට පියවර ගෙන තිබේ.

  • ප්‍රධාන මන්දිරයේ වහල සෙවිලි කර තිබුණු ටොන් 200 ක් පමණ බරකින් යුක්ත ඊයම් වලට සිදුවී ඇත්තේ කුමක්ද යන්නද විද්‍යාඥයින්ගේ දැඩි සැලකිල්ලට භාජන විය. ඊයම් ලෝහයක් වුවද,  300 ºC පමණ වන උෂ්ණත්වයකදී උණුවී ගලායන ද්‍රවයක් බවට පත්වේ. මෙම ද්‍රව ඊයම් බිත්ති සහ ජනෙල් කවුළු ඔස්සේ වැගිරී  ඇත. සමහර ස්ථානවල  ගලාගිය ඊයම්,  භුගත ලෙනක හිරිගල් වලින් සෑදෙන ‘හිරි ලඹ’ (stalactites) මෙන් එල්ලෙමින් ඝණීභවනය වී තිබේ. ගිනිජාලයේ උෂ්ණත්වය 600 ºC පමණ වූ විට, ලෝහයෙන් කොටසක් ඔක්සිකරණය වී තද කහ  පැහැති ඊයම් ඔක්සයිඩය (PbO) බවට පරිවර්තනය වී එහි සියුම් අංශු ගිනි ජාලයට එකතුවී දීප්තිමත් කහ පැහැයක් ගැන්වී ඇත. එසේම PbO අංශු දේවස්ථානය ඇතුළත බිත්ති, ගෘහ භාණ්ඩ,වෙනත් උපකරණ වැනි  සෑම පෘෂ්ඨයකම තැන්පත්වී තිබිය හැකි බවට සැකයක්ද පහල විය. මේ සම්බන්ධයෙන්ද විද්‍යා පර්යේෂකයින්ගේ  අවධානය යොමුවිය. ප්‍රංශ රජයේ ප්‍රමිතියට අනුව, සෞඛ්‍ය ගැටළුවක් නොමැතිව යම්කිසි මතුපිටක තිබිය හැකි උපරිම ඊයම් සීමාව වර්ග සෙන්ටි මීටරයට ඊයම්  මිලිග්‍රෑම් 0.1 කි. එහෙත් ගින්නෙන් පසු, සීමා මට්ටම මෙන් 70 ගුණයක පමණ  ඊයම් අංශු දේවස්ථානයේ සෑම මතුපිටකම පාහේ විසිරි ඇති බව මුල් වටයේ කරන ලද විද්‍යාත්මක පරීක්ෂණ වලින්ම හෙළි වී තිබේ. විද්‍යාඥ  කණ්ඩායම මෙම අභියෝගය ජය ගැනීමටද වහාම නිසි පියවර ගන්නා ලදී.

මේ අනුව මටසිලුටු මතුපිට සහිත විදුරු, ලෝහ, ලී හෝ වෙනත් ස්ථාන වල ඊයම් විෂ ඉවත් කිරීමට,  රික්ත පිරිසිදු කිරීම  (vacuum cleaning) නමැති ක්‍රම වේදය සමග ආශ්‍රුත ජලයෙන් තෙත මාත්තු කිරීම යෝජනා කරන ලදී. සවිවර (porous) පියුමිස් පාෂාණ සිවිලිම වැනි ස්ථාන පිරිසිදු කිරීම සඳහා වඩාත්ම සුදුසු වනුයේ  ලේසර් කිරණ යෙදීම බවද තීරණය විය.

ප්රතිෂ්ඨාපනය කිරීම වේගවත් වේ. 

UNESCO ජගත් උරුමයක්’ වන Notre Dame දේවස්ථාන පරිශ්‍රයට ගින්නෙන් හානි සිදුවූ බව සැලවීමත් සමග මුළු ලොව ජනතාව විශාල පිරිසක් ආගම්, ජාති භේදයකින් තොරව මහත් සේ කම්පා වූහ. ප්‍රංශයේ පමණක් නොව ලොව වෙනත් රටවලද  ධනවතුන් මෙන්ම රජයයන්ද  ප්රතිෂ්ඨාපන කටයුතු සඳහා මුදලින් හෝ ඕක් දැව සහ වෙනත් අවශ්‍ය දේ සැපයීමෙන් ආධාර දීමට ඉදිරිපත් වූහ. දේවස්ථාන ප්රතිෂ්ඨාපනය රජයේද වගකීමක් බැවින් එයට ප්‍රමුඛතාව දී කටයුතු කිරීමට තම රජය ක්‍රියාත්මක වන බවට ප්‍රංශයේ ජනාධිපති තුමාද ප්‍රකාශයක් නිකුත් කරන  ලදී. විශේෂයෙන්ම 2024 වර්ෂයේ ජුලි / අගෝස්තු මාස වලදී පැරිසියේ පැවැත්වීමට නියමිත 32 වන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයට පෙර දේවස්ථානය යළි විවෘත කිරීම ඔහුගේ අභිප්‍රායයි. මෙයට කලින් සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ හැකිවේයයි ඔහු විසින් කරන ලද ප්‍රකාශය තරමක පුරසාරමක් ලෙස හැඳින්වූ, එම භාරදුර කාර්යය භාරව කටයුතු කරනු ලබන විශේෂඥයින්ගේ මතය අනුව, ප්‍රතිෂ්ඨාපන කටයුතු අවසන් කිරීමට ඉදිරියට වසර දහයක්වත් ගතවිය හැකි බව අවධාරණය කරති.

සිදුවී ඇති හානිය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු  ප්‍රතිෂ්ඨාපන කටයුතු සඳහා සුවිශේෂී සහයෝගයක් දැක්වීමට UNESCO සංවිධානයද ප්‍රතිඥා දී තිබේ. ප්‍රංශ ගොතික් වාස්තු විද්‍යාවේ නිර්මාණ අතුරෙන් දර්ශනීය භාවයෙන් ලොව ප්‍රථම ස්ථානය ලැබෙනුයේ අසහාය නිර්මාණයක් වන Notre Dame දේවස්ථානයටය. එම සංවිධානය විසින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වනුයේ දැවමය ආරුක්කු අනුයෝගිකරණය, වර්ණවත් වීදුරු තහඩු සහිත දැවැන්ත ‘රෝස ජනේල’ සකස් කිරීම සහ සැරසිලි සඳහා යොදාගෙන ඇති අද්විතීය මූර්ති පිලිබඳ ඉතිහාසය, ශිල්ප ක්‍රම සහ භාවිත කර ඇති ක්‍රමවේද පිළිබඳව වැඩිදුර අධ්‍යයන කර ඒ පිළිබඳ  තොරතුරු ලොවට හෙළි කිරීමයි. ක්‍රිස්තු වර්ෂ 1160 දී ආරම්භ කර ඇති Notre Dame දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ශත වර්ෂයක පමණ කාලයක් තුළදී  කර ඇති බවට සාක්ෂි තිබේ. වර්තමාන ශිල්පී ක්‍රම සහ යන්ත්‍ර සූත්‍ර නොතිබුණු ඒ කාලයේදී පවා මිනිස් ශ්‍රමය, මිනිසාගේ නිර්මාණශීලිත්වය, අප්‍රතිහත ධෛර්යය සහ ඇප කැප වීම නිසාම, මෙම පූජනීය මහාර්ඝ කළා මන්දිරය ඉදිවන්නට ඇති බව මනාව පැහැදිලි වේ. නුදුරු අනාගතයේදීම මෙම ලෝක පූජිත සම්පත ජනතා ගෞරවාදරය සහ පුද පූජා සඳහා නැවත  විවර වනතුරු කෝටි සංඛ්‍යාත ජනතාවක් නොඉවසිලිමත්ව බලා හිඳිනු ඇත. (ඡායාරූප කිහිපයක් ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි.)

 

Reference 

  1. https://www.discoverwalks.com/blog/10-facts-about-notre-dame-cathedral/

  2. https://www.france24.com/en/europe/20210309-france-fells-centuries-old-oaks-to-rebuild-the-notre-dame-cathedral-spire  Felling Oak trees (වීඩියෝ පටයකි)  

  3. Reader’s Digest - September 2021

  4. The Hunch-back of Notre Dame - Victor Hugo      

 


25 comments:

  1. ඔබ හොඳ විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වටිනා ස්ථානයට මගේ දුව ආශාත් ගිහින් තිබුණ නිසා එයත් එදා අපිට වඩා දුක් වුණා. එය පිළිසකර වනු දැකීම ලෝක වාසී සැමගේ බලාපොරොත්තුවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මා හිතන්නේ ප්‍රංශයේ සංචාරයකට යන ඕනෑම කෙනෙකු විසින් බැලිය යුතුම ස්ථානයක් ලෙස Notre Dame හැඳින්විය හැකියි. සමහරවිට නව පිළිසකර කිරීම් අවසන් කළ පසු එහි ආකර්ෂණය තවත් වැඩි වේවි. අපටත් මෙම දේවස්ථානය ගැන අවබෝධයක් තිබෙන්නේ වික්ටර් හියුගෝ විසින් ලියන ලද ඒ රසවත් නවකතාව නිසානේ.

      Delete
  2. Well researched. Well done.
    බලන්න ඉන්න තැන්වල ලිස්ට් එකට දාගත්තා.

    ReplyDelete
    Replies
    1. Thank you Lotus.
      මාගේ Blog සටහන කියවා, ඔබ වැනි එක් අයෙකු හෝ, මේ ජගත් උරුම පරිශ්‍රය කවදා හෝ නැරඹීම සඳහා සිත් යොමු කරගැනීම සතුටට කරුණක්. පිළිසකර කිරීම් අවසන් කළ පසු, සමහරවිට තව වසර දහයකට දොළහකට පසුව, මෙම ස්ථානය සහ එහි දකින්නට ලැබෙන දේ, අතීත කළා කරුවන්ගේ දක්ෂතා, නවීන විද්‍යාවේ හාස්කම් මගින් ප්‍රති නිරූපණය කරනු ලබන ආකාරය පහසුවෙන් දැකගන්නට ලැබේවි.

      Delete
  3. හොඳ විස්තරයක්. මම තට්ටයගේ කොළමේ ලින්ක් එක දැකල ආවේ. මම අසාවෙන් කියවපු පොතක් අපිත් 1016 ළමයි දෙන්න එක්ක ගියා. මම ඊට කලින් මගේ බිරිඳ එක්ක ගියාට මේකට ගියේ නැහැ. දෙවන සැරේ අවහම තමයි ගියේ. අර නහය උල් ගාර්ගොයිල් ගැන එහම ලිව්වනම් තවත් හොඳයි. ඒවා විශේෂයි කියල හිතෙනවා.

    ReplyDelete
  4. ස්තුතියි අජිත්. 'රූපණ' වැඩ සටහනේදී ඔබ කිහිපදෙනා සාකච්ඡා කරන ලද කරුණු හරිම වැදගත්. භාවිතයෙන් දුරස් වෙමින් පවතින අගනා ලේඛක මාධ්‍යයක් වන Blogs සඳහා රචකයින් සහ පාඨකයින් යළි උනන්දු කරවීමට ඒ උත්සාහය ප්‍රයෝජනවත් වෙනවා. ඔබ සාකච්ඡාවේදී සඳහන් කළ පරිදි FB වලදී මෙන් සීමාකාරී සාධක නොමැතිව ස්වාධීනව අදහස් ඉදිරිපත් කිරීමට Blog මාධ්‍යය හොඳම පිවිසුමක් බවයි මගේ අදහස.
    Notre Dame පිලිබඳ මාහට ලිවීමට සිත් යොමු වුයේ, වික්ටර් හියුගෝගේ Hunchback පොත කියවීමෙන් ලද ආභාෂයත්, එය ගින්නෙන් ආපදාවට පත්වූ පසු, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නවීන විද්‍යාත්මක ශිල්ප ක්‍රම භාවිතය පිළිබඳව Reader's Digest හි තිබුණු ලිපිය කියවීමෙන් පසුවයි. ඔබ සඳහන් කර තිබෙන පරිදි Gargoyles සහ Chimera අද්භූත සත්ත්ව රූප පිළිබඳවත් මා බොහෝ කරුණු රැස්කර ගත්තා. ඒ උනත් ලිපිය දීර්ඝ වන නිසා ඒවා ඇතුළත් කළේ නැහැ. මා ඔබගේ 'කොළඹ ගමයා' Blog සටහන් බොහෝ විට කියවනවා. ඔබට ජයම.

    ReplyDelete
  5. අපුරුයි සටහන. හොඳ තොරතුරු ඉදිරිපත් කිරීමත්. දිගටම ලියමු. ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්,
      මා මේ ලිපිය Blog පිටුවට දැම්මේ දෙගිඩියාවෙන්. දැන් කියවන අය අඩු නිසා සාධාරණ 'උදාසීන' කමකුත් තිබුණා. ඒ උනත් තට්ට සහෝදරයාගේ කොළමේ comment එක නිසාත් අජිත් සහෘදයා Link එක දමා තිබීම නිසාත් අදම තව කිහිප දෙනක් කියවලා. "රූපණ" සාකච්ඡාවේදී මතුවූ වැදගත් කරුණු නිසා Blogs ගැන යළිත් ප්‍රබෝධයක් මතු වී ගෙන එනවා වාගෙයි. මෙය යහපත් උත්තේජනයක්

      Delete
  6. ඉස්සෙල්ලාම මේ කතන්දරේ දැනගත්තේ අනුර විජේවර්ධන චිත්‍ර ශිල්පියා 'සිළුමිණ' පත්තරයට ඇන්ද 'කුදාගේ ආලය' චිත්‍ර කතාවෙන්.
    ඊට පස්සේ ගුණසේන ප්‍රකාශනයක් විදිහට පරිවර්තනයක් කියෙව්වා. නම මේ මොහොතේ මතකයට එන්නේ නෑ.
    කුදාගේ සංග්‍රාමය පළ වෙන්නට ඇත්තේ ඊට පස්සේ වෙන්නැති.

    තට්ටයාගේ කොලමෙන් දැකලා ආවේ. ලිපිය හොඳයිනේ!

    ReplyDelete
    Replies
    1. මා මේ post එක ලිව්වේ මාස කිහිපයකට පසුවයි. කලකට පෙර නම් නිතරම ලිව්වා. ඔබ වැනි කියවන අය සිටිනවානම් තව බොහෝ දේ ලියන්නට හැකිවේවි.
      'කුදාගේ සංග්‍රාමය' පොත පළවූවේ දැනට වසර පණහකට පමණ පෙර. චිත්‍ර කතාව නම් මා කියවා නැහැ. මගේ Link එක දැමීම ගැන 'තට්ට' සහෝදරයාට ස්තුතිය.

      Delete
    2. පිළිතුරට ස්තුතියි, එය ප්‍රායෝගිකවම පෙන්වීමට මා ළඟ ඇති 'ගුණසේන එකේ පොත' හෙව්වා, නම ලියන්නට හිතාගෙන. විනාඩි දහයක් විතර හොයලත් හම්බ වුණේ නෑ. නම මතක් වෙන්නෙම නෑ දැන්. පස්සේ හරි මතක් වුණාම කියන්නං.

      Delete
    3. ඔබ සොයනා පොතෙහි නම මට පැරණි මිතුරෙකුගෙන් ලැබුණා. 1950 දී පමණ H P සිරිවර්ධන නම් කතුවරයෙක් "ආදර එස්මරෙල්ඩා" යන නමින් සහ 1972 දී ලේක් හවුස් ප්‍රකාශනයක් ලෙස "නෝත්‍රදාමය" යන නමින්ද The Hunchback of Notre Dame පොත සිංහලට පරිවර්තනය කර තිබෙනවා. ඔබගේ ප්‍රයත්නයට ස්තුතියි.

      Delete
    4. ස්තුතියි දයාරත්න මහතාණෙනි. මගේ මතකය විපරීත වෙලා නැත්නං- මං කිව්වේ ඔය පොත් දෙකම නෙවෙයි වගේ.
      හොයා ගත්තොත් කියන්නම්කො!

      Delete
  7. Replies
    1. Thank you Pra Jay,
      Very glad to meet you through the Blog page after a long time. During the last couple of years or so, Blog posts were read only by a handful of people and that response too was almost coming to an end.(May be due to COVID19 sluggishness). It seems a fresh start has been taken after the "ROOPANA" discussion.

      Delete
  8. තට්ටෙ මාමාගේ කොලමේ කොමෙන්ටුවක තිබුන ලින්කුවකින් අවෙ ඔන්න. තමා කියෙව්වෙත් නෑ

    ReplyDelete
  9. කියවලා අදහස කියන්නම්කො😁

    ReplyDelete
  10. ස්තුතියි සංදීප කුමාර,
    "තට්ටෙ මාමා" ටත් ස්තුති කළ යුතුමයි. ඔබගේ අදහස් දන ගැනීමට ආශාවෙන් සිටිනවා.

    ReplyDelete
  11. සත්තකින්ම මමත් මේ ගොඩ වැදුනා ඔබගේ බ්ලොගයට ඒ ලින්කුවෙන්ම! ඉතින් බලන්නකෝ කාට නැතත් ඔබ තුමාට වත් සේවයක් වෙලා තියෙනවා නොවැ! ඇත්තටම අපි ලියන්නෝන අපිට කවදා හරි බලාගෙන සතුටු වන්න! තවත් පිරිසක් බලනවා නම් ඒක විශේෂයි! බලලා කමෙන්ට් එකක් දානවානම් ඒක සුවිශේෂී කාරණයක්! මොකද අපි ලිව්වා කියලා කවුරුවත් අපිට ගෙවන එකක්යැ!? ඒනිසා මොකා ආවා නැතා ඔබ ලියන්න!
    කොහොමත් මමත් නොත්‍රදාමය පිළිබඳ ඇහූවේ ටයි මහත්තයා විසින් හඬ කවන ලද නොත්‍ර දාමයේ කුදා චිත්‍ර පටයෙන්. අලිසන්දර දියුමා යනු මා ඉතාමත් රුචියෙන් කියවන ලද පොත් බොහොමයක කතුවරයෙක්! එසේම ඔහුගේ පොත් බොහොමයක් ආශ්‍රිතව නිමැවුනු චිත්‍රපට හඬ කවා එකල රූප වාහිණියේ ප්‍රචාරය වූවා. යවෙස් ලූ මිනිසා හා සිටුවර මොන්ත ක්‍රිස්තෝ ඒ අතරින් ප්‍රධානයි! ඒ සියළු කථා බිහිවී ඇත්තේ ප්‍රංශය මුල් කරගෙන! ඔබ ඒ නවකථා අතර ඇවිද යන්න ඇති නේද!?

    ReplyDelete
  12. ස්තුතියි හිතවත,
    කෙලින්ම 'තට්ට'වචනයෙන් ආමන්ත්‍රණය කිරීම හිතට මදි වගෙයි. ඒකයි 'හිතවත' කිව්වේ ! ඇත්තටම 'රූපණ' කණ්ඩායම කළේ වටිනා මෙහෙවරක්. ශාස්ත්‍රීය Blog සටහනක් නිවැරදි තොරතුරු සමග කාටත් තේරෙන භාෂාවෙන් ලිවීමට සෑහෙන මහන්සියක් ගන්නට වෙනවා. එසේ ලියන ලද එකක් තව කිහිප දෙනෙක් කියවා ප්‍රතිචාර දැක්වූ විට සතුටක් දැනෙනවා. එසේම, අඩුපාඩු සඳහන් කර ඇතොත් ඒවාත් නිවැරදි කර ගන්නට හැකි වෙනවා. කොහොම වෙතත් ඉඩකඩ ලැබෙන පරිදි තව ලියනවා.
    ඔබ සඳහන් කර තිබෙන බටහිර සාහිත්‍යයේ සම්භාව්‍ය කෘති සියල්ලම පාහේ කියවීමට මටද අවස්වථා ලැබී තිබෙනවා. ඒ කාලේ අප අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපට සිටි ගුරුවරු පොත්පත් කියවීම සඳහා අප දිරි ගැන්වුවා. මගේ මෙම ලිපියේ 'නොත්‍රදාමය' යන යෙදුම භාවිත නොකළේ 'Notre Dame' ලෙස නම්කර තිබෙන "අපගේ මරිය තුමිය" යන අදහස එසේ ලිවීමේදී නොලැබෙන නිසයි. අප OL කරද්දී English Text පොත වශයෙන් භාවිත කලේ A Tale of Two Cities . මෙහි ප්‍රංශය සහ එංගලන්තය යන රටවල් දෙක ගැනම ඇති තොරතුරු හරිම රසවත්.

    ReplyDelete
    Replies
    1. ඒක අතිශය සුන්දර රසවත් කථාවක්. "දෙනුවර අන්දරය" නමින් එය ටී. බී. ඉලංගරත්නයන් හෙළට නගා තිබුනා! අනේ "තට්ටයා" කියන්න! කිසිම අවුලක් නෑ! මගේ හිතවතුන් මට අමතන්නේ එලෙස! අනෙක මා කිසිවෙකුට දූර කථනයෙන් කථා කොට ඔහුට මාව හඳුන්වා දෙන්නේත් මම මේ "තට්ටයා" බං කියලා! ඔබට කියන්න පාරේ යනකොට කවුරු හරි තට්ටයෙක් මොනවා හරි මඥ්ඥං වැඩක් කලාම මම හරි කැමතියි ඌට "ඒයි තට්ටයෝ!" කියලා කෑගහන්න! එතකොට ඒ මනුස්සයා මා දිහා බලලා " උඹත් තට්ටයෙක්නේ!" කියන එක තරම් අධ්‍යාත්මික සුවයක් තවත් නම් නෑ!

      Delete
    2. ස්තුතියි, තට්ටයා ආමන්ත්‍රණයෙන් ආශ්වාදයක් ලබන බව සැකහැර දැනගත්තා. කෙසේ වෙතත් අප සමකාලීනයින් විය හැකි නිසා කෙසේ ඇමතුවත් වරදක් නැහැ වගෙයි. අප කාගේත් පොදු විෂයය ක්ෂේත්‍රය වන Blogs වලට අලුත් තල්ලුවක් දැමීම නම් අගය කළ යුතු කරුණක්. මා නම් අදම අලුතින් එකක් ලිවිම ආරම්භ කළා. තව ටික දිනකින් පළ කිරීමට හැකි වේ යයි සිතනවා. ඔබගේ සහ අනිකුත් සහෘදයින්ගේ ඒවාත් කියවීමට ආශාවෙන් බලා සිටිනවා. ඔබට ජයම!

      Delete
  13. කදිම සටහනක්. ඇත්තටම එය ගිනිගත් දවසේ හිතට දුකක් දැනුණා. හොද ආරංචියක්.

    ReplyDelete
  14. ස්තුතියි ස්නුරුද්ධ,
    Blog posts ලිවිම බොහෝ දුරට අතහැර දමා මෙන් සිටියේ. මෙම ගිනිගැනීමේ සිද්ධිය ගැන සටහනක්, විශේෂයෙන්ම එම දේවස්ථානයේ පිළිසකර කටයුතු සඳහා නව විද්‍යාත්මක පරීක්ෂණ සහ පිවිසුම් රාශියක් කරන බව Reader's Digest සඟරාවේ පළකර තිබුණු ලිපිය කියවූ පසු කෙසේ හෝ යමක් ලිවිය යුතුයයි සිතුණා. මගේ Blog ලිපිය පළකර දින කිහිපයකින් ඔබ ඇතුළු 'රූපණ' කණ්ඩායම විසින් කරන ලද සාකච්ඡාව මගින් ලැබී ඇති උත්තේජනය නිසාම බොහෝ දෙනෙක් මගේ ලිපියත් කියවා තිබෙනවා. කියවන අය සිටිනවා නම් ප්‍රයෝජනවත් දේ ලියන්නට පුළුවනි. ඉදිරි වැඩ සටහනකදී Blogs රචකයින්ගේ Zoom හමුවක් මගින් ඔවුනොවුන් හඳුනා ගැනීමේ හමුවක් ඉදිරිපත් කළහොත් මෙසේ ලැබුණු හොඳ ප්‍රතිචාරය වැඩිදියුණු කර ගත හැකි වේවියයි මට සිතෙනවා. පහසුකම් ඇතොත් උත්සාහ කර බලන්න.

    ReplyDelete