Thursday, 15 July 2021

 “මේ ගස් හැර තවත් ඉපැරණි ගසක් තිබේ.”

ලෝකයේ ඉපැරණි ගස්  කිහිපයක් පිලිබඳ අපූරු ලිපියක් ‘Reader’s  Digest’ සඟරාවේ 2021  අප්‍රියෙල් කලාපයේ පළවිය.  ‘ගස්  වලට කතා කළ හැකිනම්’  (If Trees Could Talk) යන මාතෘකාව යටතේ ලියා තිබුණු මෙම ලිපියේ ලෝකයේ විවිධ රටවල ඇති, ඉපැරණි ගස් (ශාක) පිලිබඳ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් කර තිබිණ. ඩයනා තෝමස් නමැති  ලේඛිකාව තම ලිපිය ආරම්භ කරනුයේ ශාක පිලිබඳ නවතම පර්යේෂණ තොරතුරුද  මේ ආකාරයට ඉදිරිපත් කරමින්ය :        

“අපගේ මුතුන් මිත්තන් ශාක දේවත්වයේ ලා සැලකූහ. ඔවුන්ගේ මෙම දැක්ම සත්‍යයකි. නුතන විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව, ශාක වලට, මුල් හරහා තම ශාකයේ  තිබෙන සමහර  රසායන ද්‍රව්‍ය, හෝර්මොන, ෆෙරෝමෝන වැනි සුවිශේෂී ශ්‍රාව මගින් පණිවුඩ හුවමාරු කර ගැනීමේ හැකියාවක් තිබේ. මිනිසා විසින් ශාකයක පත්‍ර සහ අතු සහිත ඉහල කොටස සම්පූර්ණයෙන්ම කපා දමනු ලැබුවත්, අසල ඇති වෙනත් ශාක මගින් එම අතවරයට ලක්වූ ශාකයට අවශ්‍ය  ජලය සහ වෙනත් පෝෂක ලබාගැනීමට උපකාර කරන බවද හෙළිවී තිබේ.”    

මෙම  ලිපියේ විස්තර කර තිබුණු ඉපැරණි ශාක කිහිපයක් මෙසේය.

  1. ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්ගේ ඇපල් ගස  (Malus pumila)                         ගුරුත්වාකර්ෂණය පිලිබඳ විද්‍යාත්මක නියමය ලොවට හෙළි කළ ඉංග්‍රීසි ජාතික අයිසෙක් නිව්ටන්ට එම සත්‍යය අවබෝධවුයේ මෙම ඇපල් ගසෙන්  ගෙඩියක් බිමට වැටෙනු දුටු විටය. 

නිව්ටන්ගේ ඇපල්  ගස, තම කථාවේදී  මෙසේද සඳහන් කරන්නට යෙදුනි. 

“මට කිසිසේත් පුරසාරමක් දෙඩීමට අවශ්‍ය නැත. එහෙත් නවීන විද්‍යාවේ හාස්කම් රාශියකට මුල්වූ සිද්ධාන්ත කිහිපයකට, මාගේ සහයෝගය දීමට හැකිවීම ගැන මම ආඩම්බර වෙමි. එදා නිව්ටන් තරුණයා මගේ සෙවනේ ඇලවී සිටියදී මගෙන් ගිලිහිණු ඉදුණු ගෙඩියක් ඔහු අසලට වැටෙනු මට අද වගේ මතකය. ඒ වසර 360 කට පමණ ඉහතදීය. ඒ වන විටත්  මගේ වයස අවුරුදු විස්සක් පමණ වන්නට ඇත. මා කුඩා පැලෑටියක් ලෙස රෝපණය කළේ කවුරුන් විසින් කවදාද  යන්න කිසිවෙක් නොදනී. මා සිටින ‘වුල්ස්ටෝර්ප් මනෝර්’ වත්තේ  පිහිටි නිවසෙහි සිටි දඟකාර ළදරු නිවටන්ද මට මතකය. ඔහු දක්ෂ දරුවෙකු විය. පසුව ඔහු කේම්බ්‍රිජ් සරසවියේ ඉගෙනුම ලැබීම ගැන මටද ආඩම්බරයක් ඇතිවිය. බිමට වැටුණු  මගේ ඇපල් ගෙඩිය නිසා ඔහුගේ ‘ගුරුත්වාකර්ෂණ න්‍යාය’ සඳහා මූලාරම්භය තැබීමට හැකිවීම කෙතරම් ආශ්චර්යයක්ද?”.

  1. පෘතුගාලයේ ‘ඔලිවෝ ඩෙල් මවුචෝ’ ඔලිව් ගස  (Olea europaea)                           ඔලිව් ගසෙහි දැව, භාණ්ඩ  සෑදීම වැනි විශේෂ කාර්යයන් සඳහා භාවිත නොවුවත්, මෙම ගසෙහි ගෙඩි වසර 3000 ක් තිස්සේ මිනිසාගේ රස නහර පිනවා තිබේ.

තම ආයු කාලය ගැන උදම් අනමින් කථා කරන ඔලිව්  ගස මෙසේද කියයි.

“ඊජිප්තුවේ පාරාඕ රජවරු සිටියේ මා කුඩා  කාලයේය. ග්‍රීසියේ ප්ලේටෝ  තම දර්ශනය හෙළි කරද්දී මට වයස අවුරුදු 900ක් වන්නට ඇත. මේ සියල්ලටමත් වඩා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරිසියේ ඇණ ගැසීමේ ඛෙද වාචකය සිදුවන විට මට වයස අවුරුදු 1300 ක් පමණ විය.” 

  1. නවසීලන්තයේ උතුරු දිවයිනේ වයිපෝවා වනාන්තරයේ තිබෙන ‘ටේන්  මහුටා’ යන නමින් හඳුන්වන විශාල ‘කෞරි’ ගස (Agathis australis)  ගැනද එම ලිපියෙහි විස්තරයක් තිබුණි.                                                                   

නවසීලන්තයේ ‘කෞරි’ ගස තම  කතන්දරය පවසන්නේ මෙසේය:                                              

“මේ රටෙහි මුල් අයිති කරුවන් වන මවුරි ජාතිකයින් වනයට අධිපති දෙවියන් ‘ටේන්  මහුටා’ ලෙස හඳුන්වනවා. මා සහ මගේ පරම්පරාවේ සියලුම ගස් ‘කෞරි’ ලෙස නම්කර තිබෙනුයේ දෙවියන් උදෙසාය. මාගේ උපත කවදා සිදුවූවාදැයි මා නොදන්නා නමුත් මට වයස මිනිස් අවුරුදු 2500 ක් පමණ වේ යයි අනුමාන කළ  හැකිය. මීටර් 50 කට වඩා උසින් වැඩී  ඇති, දැනට ජීවතුන් අතර සිටින වැඩිමහලුම, එසේම විශාලතම ‘කෞරි’ ගස මම වෙමි”

                                                     නවසීලන්තයේ ‘ටේන් මහුටා’කෞරි ගස

                                                                                                                                                                ලෝකයේ පාඨකයින් අතර බහුලව සංසරණය වන, පවුලේ කාටත් කියවා ප්‍රයෝජනයක් ගතහැකි කරුණු අන්තර්ගත පැරණිම මාසික සඟරා වලින් ප්‍රධානතම එකක් වශයෙන් Reader’s Digest සඟරාව දැක්විය හැකිය. මෙය මුලින්ම මුද්‍රණය ආරම්භ කර තිබෙන්නේ දැනට වසර සියයකට පමණ ඉහතදීය. මේ වන විට භාෂා 22 කින් මුද්‍රණය වන මෙහි මාසික කලාප,  මිලියන 8.5 ක් පමණ ලොව පුරා විසිරී  යයි. දැනට වසර පනහකට අධික කාලයක් තිස්සේ  මෙම සඟරාවේ දායකයෙකු සහ පාඨකයෙකු වන මම,  එහි පළ වන ලිපිවල විවිධත්වය  සහ සංස්කාරක වරුන්ගේ කැපවීම සහ සත්‍ය කරුණු වලට පමණක් මුල් තැන දීම පිලිබඳ හොඳින් දැන සිටියෙමි.

2021 අප්‍රියෙල් කලාපයේ පළකර තිබුණු ලෝකයේ පැරණි ශාක පිලිබඳ විස්තරය සහිත,         ‘If Trees Could Talk’ නම්  ඉහත සඳහන් කළ ලිපිය කියවූ මට එහි එක්තරා අඩුපාඩුවක් ලෙස දැක්විය හැකි හිඩැසක් දකින්නට ලැබිණ. මෙහි දක්වා තිබුණු  පැරණි වෘක්ෂ වලට  වඩා පැහැදිලි, ලේඛනගත ඉතිහාසයක් ඇති, බොහෝ ගරු බුහුමන් ලබන පෞරාණික වෘක්ෂයක් ශ්‍රී ලංකාවේ තිබෙන බව සඳහන් නොවීම ගැන මම විමසිලිමත් වීමි.

ඒ අනුව සගරාවේ ප්‍රධාන සංස්කාරක වරියට විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යැව්වෙමි. මගේ විමසුම ලැබුන බවත් ඒ සඳහා වහාම අවශ්‍ය ලෙස ක්‍රියාකරන බවත් දන්වා මට පිළිතුරක් ලැබිණ. ඒ අනුව මාගේ විමසුම විස්තරාත්මකව 2021 ජුනි කලාපයේ පලකරන බව නැවත දන්වන ලදී. එය පළකර තිබුණේ මේ ආකාරයටය. 

                             

ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ සිටින බෞද්ධයාගේ අති පූජනීය වස්තුවක් වන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද තම ප්‍රෞඪත්වය පිලිබඳ මෙවැනිම වැදගත් කථාවක් කළ හැකි බවද මම සංස්කාරක වරියට වැඩිදුරටත් දන්වා සිටියෙමි. මගේ සටහනෙහි සිංහල පරිවර්තනය මෙසේය. 

තවත්පෞරාණික වෘක්ෂයක් ….                     

“සියලුම පාඨකයින්ගේ  ලැදියා ආවරණය වන  විවිධත්වයකින් යුත්  හරවත්   දේ පළකිරීමට අපි සැලකිලිමත් වෙමු.” යනුවෙන් කතුවැකියෙහි  ඔබ සඳහන් කළ අරමුණ, ‘If Trees Could Talk’  යන ලිපිය මගින්,  සනාථ වේ.

මෙම ලිපියෙහි කතු වරු, ලෝකයේ රටවල් කිහිපයක ඇති පෞරාණික වෘක්ෂ හයක් තම අතීතය ගැන කථා කරන ආකාරය ඉතා  විචිත්‍ර අන්දමට විස්තර කර තිබේ.

“මේ ගණයටම වැටෙන තවත් එවැනි මහේශාක්‍ය වෘක්ෂයක් ගැනද  මට යමක් කියන්නට ඉඩ දෙන්න. මේ  පෞරාණික වෘක්ෂය ශ්‍රී ලංකාවේ, අනුරාධපුර ශුද්ධ නගරයේ මහමෙව්නා උයනේ ඇති Ficus religiosa විශේෂයට අයත් ජය ශ්‍රී මහා බෝධියයි. මෙම වෘක්ෂය, ක්‍රිස්තු පූර්ව 288 වැනි වර්ෂයේදී,  මිනිස් අතකින් රෝපණය කරන ලද  ලොව ඇති, වාර්තාගත පැරණිම වෘක්ෂයයි. මෙය, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමේදී සෙවන දුන්, ඉන්දියාවේ බුද්ධගයා හි පිහිටි ශ්‍රී මහා බෝධි වෘක්ෂයෙන් පැන නැගුණු ශාකාවකින් ලබාගත්  බවද  ඉතිහාස ගත වී තිබේ.”   

මා විසින් යවන ලද සටහන සාදරයෙන් පිළිගත්  Reader’s Digest කතෘ මණ්ඩලය මගේ විමසුම ජුනි මාසයේ සඟරාවට ලැබුණු වැදගත්ම පාඨක සටහන වශයෙන් තීරණය කර, ඒ සඳහා මට ත්‍යාගයක්ද පිරිනමා, ඒ බව ජූනි කලාපයේ විස්තර සහිතව පළකර ඇත්තේ මෙහි දක්වා ඇති ආකාරයටය.

                                       

මට ලැබුණු ත්‍යාගයේද විශේෂ වැදගත් කමක් තිබේ. මෙහි දක්වා ඇති ආකාරයට එම ත්‍යාගය නවීන පන්නයේ Pilot  ‘fountain’ පෑනකි. මෙහි විශේෂත්ව කිහිපයකි. ඒවා මෙසේය:

  1. පැරණි පෑන් වල මෙන් බටය තුළට තීන්ත පිරවිය හැකි වීම 

  2. ලිවීම සඳහා පැරණි ආකාරයේ පෑන් තලයක් තිබීම 

  3. සාමාන්‍ය ball point පෑනක මෙන් මුදුනෙන් ඔබා තලය ඇතුළට දැමිය හැකි වීම.

  4. තලය කැරට්  14 රත්රන් වලින් නිමකර තිබීම.

  5. පෑන් කඳ සැහැල්ලු ලෝහයකින් සාදා තිබීම.

  6. මේ සියල්ලටමත් වඩා වැදගත් පරිසර හිතකාමී බවක්ද මෙම නිෂ්පාදනය මගින් පෙන්වා දී තිබේ. එය මෙසේය: අද සමාජයෙන් තීන්ත පෑන් ඉවත්වී  ball point පෑන් වලට මුල් තැන ලැබී තිබේ. ඒවා භාවිතය පහසු වූවත්,  ඒ මගින්  අප නොදැනුවත්වම බරපතල පරිසර දූෂණයක්ද සිදුවේ. මෑතදී කර ඇති ගණනය කිරීමකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක්, වසරකට පාවිච්චිය අවසන් කළ ප්ලාස්ටික් පෑන් බට බිලියන 1.6 ක් පමණ ඉවත දැමේ. ලෝකයේ භාවිත වන ball point පෑන් වලින්  50% පමණ නිෂ්පාදනය කරනු ලබන ‘Bic’ සමාගම පවසන ආකාරයට, 2006 වසර  වන විට ඔවුන්ගේ නිෂ්පාදනය, පෑන්  බිලියන සියයද  ඉක්මවා ඇති අතර ඒ සියල්ලම භාවිතයට ගෙන තිබේ. ඔවුන් පවසන ආකාරයට මෙම පෑනක් පාවිච්චි කළ හැකි උපරිම කාලය සති හතරකි. මෙයින් එක්  පෑන් බටයක්  ග්‍රෑම් 10 ක් බර වුවහොත් මේ නිසා එම කාලය තුළදී ප්ලාස්ටික් ටොන් ලක්ෂයක් පමණ පරිසරයට මුදාහැර තිබේ.

මේ නිසා  Reader’s Digest විසින් පැරණි ලිවීමේ ක්‍රමෝපායය නවීකරණය කරනලද ‘තීන්ත පෑන’ අලුත් මුහුණුවරකින් හඳුන්වා දෙමින් පවත්වාගෙන යනු ලබන, මෙම ත්‍යාග ක්‍රමය මගින් පරිසර සංරක්ෂණය සම්බන්ධවද ඉතා වැදගත් පණිවුඩයක් පාඨකයින් අතරට ගෙනයාම පැසසිය යුතු පිවිසුමකි.

(ස්තුති පූර්වකව බොහෝ තොරතුරු Reader’s Digest සඟරාව  ඇසුරෙනි)        

 


10 comments:

  1. වෝව්! මරු නේ, සුබපැතුම් දයාවී මහත්තයා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇණයා මල්ලී,
      සමහරවිට අපේ වැදගත් දේවල් ගැන ලෝකයා දැනුවත් වීම අඩුවන විට මෙවැනි දේ සිදුවිය හැකිය. මෙහිදී මේ ආකාරයට ඒ හිඩැස පිරවීමට හැකිවේදෝයි කියා මට සැකයකුත් ඇතිවුණා. කොයි එකටත් ඒ ගැන විමසිලිමත් වීමට සිතුණා. ප්‍රයත්නය සාර්ථක වීම ගැන සතුටුයි.

      Delete
  2. ශ්‍රී මහා බෝධිය හොඳ එකතු කිරීමක්. මිනිස්සුන්ගෙ wisdom faculties අවදි වෙලා, වැඩිය හිතන්න පුලුවන් වෙන්නෙ ස්වභාවික පරිසරයෙදි කියන එකත් යම් ප්‍රමානයකට ඒ උදාහරණ වලින් පේනවා.

    ඇත්තටම ශ්‍රී මහා බෝධිය (හෝ වෙනත් බෝධීන්වහන්සේ) කතා කලොත් මොන වගේ දේ කියයිද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus,
      ශ්‍රී මහා බෝධිය ගැන මා මීට වඩා විස්තරයක් යැව්වා. ඒ වුවත් ඉඩකඩ ඇති ආකාරයට එය සංස්කරණය කර වැදගත්ම කරුණු පමණක් පළකර තිබෙනවා.

      Delete
  3. ඉතා අගෙයි.

    මේ ආකාරයෙ පෑන් සඳහා තීන්ත බෝතල් පහසුවෙන් මිළ දී ගන්න තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      විවිධ මාතෘකා ඔස්සේ ලියවෙන ලිපි සහ තවත් කියවා වින්දනයක් ලබාගතහැකි නොයෙකුත් ආකාරයේ කෙටි සටහන් නිසා Reader's Digest සඟරාව ඉතා ජනප්‍රිය වී තිබෙනවා. එහි පළවන ලිපි ගැන පාඨක අදහස් ගැන සැලකිල්ලක් දැක්වීම හොඳ අදහසක් ලෙස දැක්විය හැකියි.

      මේ පෑන් සඳහා Parker Quink කුඩා බෝතල් මිලදී ගැනීමට තිබෙනවා.

      Delete

  4. හොඳ වැඩකට කදිම තෑග්ගක්. පැරණි ගස් ඇතත් දිගු ඉතිහාසගත වාර්තා සහිත පැරණි ගස් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාලිනි,
      ඔබගේ කලින් සටහනත් (FB) කියවූවා. මේ දිනවල ගෙදරටම කොටුවී සිටින නිසා කියවීමට සහ ලිවීමට මුල් තැන දෙමින් කාලය ගත කරනවා.

      Delete
  5. මේ වාගේ ම පෑනක් පිළිබඳව ඔබගේ බ්ලොග් පිටුවෙන් කියවීමට ලැබුණා කියාමට මතකයි...? එය කියවා මාත් තින්ත පෑනෙන් ලියන්න ට පටන් ගත්තා. ඒ මේ පෑන ම ද?

    ReplyDelete
  6. ස්තුතියි ඩ්රැකි,
    ඔබගේ මතකය සහ සිද්ධි සම්බන්ධ සමායෝජනය ඉස්තරම්.
    මේ ඒ කලින් ලියන ලද කතන්දරයේ පෑන නොවෙයි. මෙය මට ලැබුණු එකම ආකාරයේ දෙවන තෑග්ග. මා පළමු සටහන Reader's Digest සඟරාවට ලිව්වේ 'Understanding Loneliness' නමින් පලවී තිබුණු ලිපියකට ප්‍රතිචාරයක් වශයෙන්. මා මෙය විශේෂයෙන්ම ලිව්වේ මාගේ ආදරණීය බිරිඳ පසුගිය සැප්තැම්බර් මාසයේ අභාවප්‍රාප්ත වීමෙන් පසු මට අත්විඳින්නට වූ 'තනිකම' ට බොහෝ සෙයින් සමාන අත්දැකීම් පිලිබඳව ඒ ලිපියේ සඳහන් කර තිබුණු නිසයි. මාගේ එම සටහන පසුගිය පෙබරවාරි මාසයේ හොඳම සටහන ලෙස තෝරාගෙන මේ මාදිලියේම Pilot පෑනක් තෑගී ලැබුණා. මේ දෙවන පෑන සුදුසු කෙනෙකුට තෑගී කිරීමට සිතාගෙන සිටිනවා. ඒ උනත් දැන් අලුත් පරම්පරාව නම් තීන්ත පෑනකින් ලියන ආකාරය දන්නෙවත් නැහැ වගෙයි. ඒ නිසා ඒ ගැන සිතමින් සිටිනවා.

    ReplyDelete