Thursday 1 July 2021

 ‘ගෝලීය උණුසුම් වීම’ මිනිසා කෙරෙහි බලපාන්නේ කෙසේද?


‘ගෝලීය උණුසුම් වීම’ (global warming) නම්  සංසිද්ධිය  ලොව විද්වතුන් අතර මුලින්ම සාකච්ඡාවට භාජන වූයේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. ඊට පසු ජගත් සම්මේලන වලදී මේ පිලිබඳ දීර්ඝ වාද විවාද හමුවේ මෙය, මුළු ලොවටම එකසේ බලපානු ලබන පරිසර අර්බුදයක් ලෙස සමාජගත වූයේ 2015 වසරේදීය. එම වසරේ දෙසැම්බර් මස 12 වන දින පැරිසියේදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේදී  ‘ගෝලීය උණුසුම් වීම’ සීමාකිරීම සම්බන්ධ ඓතිහාසික  ප්‍රඥප්තිය සඳහා රටවල් 196 ක් විසින් අත්සන් තබන ලදී. මෙම   ප්‍රඥප්තියේ  අරමුණ වූයේ, කාර්මික විප්ලවයට පෙර තිබුණු සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය, ඉදිරි කාලයේදී  සෙල්සියස් අංශක 2 ℃ කට වඩා ඉහළ නොයන ආකාරයට, තම රාජ්‍යයන්හි පරිසර ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ගිවිස ගැනීමයි. ඒ සමගම, එය කෙසේ හෝ 1.5 ℃ පහළ මට්ටමක තබාගැනීමට වෑයම් කිරීම වඩාත්ම  යෝග්‍ය බවද නිගමනය විය.


මේ ආකාරයට පරිසර උෂ්ණත්වයේ සීමා මායිම් තරකර ගැනීමට අවශ්‍ය වූයේ, එය පාලනයට නතු කර  නොගතහොත් නුදුරු අනාගතයේදීම, පෘථිවි ග්‍රහලෝකය ජීවීන්ට අහිතකර බිමක් බවට පත්විය හැකි බවට විද්‍යාඥයින් විසින් කරන ලද පෙරැයීම් වලට අනුකූලතාව දැක්වීමක් වශයෙනි. 


පෘථිවි වාසී සියලුම ජීවීන් කෙරෙහි, ගෝලීය උණුසුම් වීම විවිධ ආකාරයට බලපෑ හැකි ආකාරය පිලිබඳ, අධ්‍යයන බොහෝ කර තිබේ. මෙහිදී අපගේ සැලකිල්ලට භාජන වනුයේ මෙම අර්බුදය මිනිස් සංහතිය කෙරෙහි බලපානු ලබන්නේ කෙසේද යන්න විමසා බැලීම පමණකි. 


මිනිසා ඇතුළු පෘථිවි වාසී පෘෂ්ඨවන්ශී (vertebrate) ජීවීන්ගේ ශරීර උෂ්ණත්වය ගැන සලකා බැලීමේදී ඔවුන් චලතාපි (cold blooded)  සහ අචලතාපී (warm blooded)   යන ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා වෙන්කළ හැකිය. මෙයින් චලතාපි සතුන්ට පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීමත් සමග තම ශරීර උෂ්ණත්වය යාමනය කරගත හැකිය. මත්ස්‍යයින් වැනි ජලජ ජීවීන්, මැඩියන්  වැනි උභය ජීවීන් සහ සියලුම උරගයින් මේ ගණයට වැටේ. අචලතාපී සතුන්ට තම ජීවන ක්‍රියාකාරකම් මනා සේ  පවත්වා ගැනීම පිණිස, ශරීර උෂ්ණත්වය යම්කිසි  ප්‍රශස්ත  මට්ටමක ස්ථිරව පවත්වා ගත යුතුය. පක්ෂීන් සහ ක්ෂීරපායින් මෙම කාණ්ඩයට අයත් වෙති. Homo sapiens යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මිනිසා උච්චතම අවදියකට පරිණාමය වී ඇති ක්ෂීරපායී සත්ත්ව විශේෂයයි.


මිනිස් සිරුරේ උෂ්ණත්වය පාලනය වීම.  

 

මිනිසාට තම එදිනෙදා ජීවිතයේදී හුරු පුරුදු පරිසර උෂ්ණත්වය යම් කිසි හෙයකින් වැඩි වුවහොත්, ඒ නිසා ශරීර ක්‍රියාකාරිත්වයට සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා සකස් වූ ඉතාමත් සංකීර්ණ ක්‍රියා දාමයක් මිනිස් සිරුරෙහි තිබේ.  මෙම යාන්ත්‍රණය දෙආකාරයකින් සිදුවන බව හඳුනාගෙන ඇත. ඒවා මෙසේය:

  1. පරිසරයේ අධික උෂ්ණත්වයක්  ඇතිවූ විට එම තාපයට සංවේදී, මොළයේ ව්‍යුහයක් වන හයිපොතැලමස මගින් නිපදවන හෝර්මෝනයක් ක්‍රියාත්මක වී සමෙහි ඇති ස්වේද ග්‍රන්ථි මගින් දහඩිය නිපදවීමට පටන් ගනී. සම මතුපිටට පැමිණෙන දහඩිය බින්දු වාෂ්පීකරණය වීමේදී ශරීරයෙන් තාපය විශාල ප්‍රමාණයක් උරාගනී. 

  2. අභ්‍යන්තර උණුසුම වැඩි වූ විට සිරුරේ රුධිර වාහිනී විස්තාරණය වී, රුධිරය වැඩිපුර ප්‍රමාණයක් සිරුරේ බාහිර ආවරණය වන සමෙහි ඇති කේශ නාලිකා වෙත ගලා යයි. රුධිරයේ ද්‍රවමය කොටස වන  ප්ලාස්මයට තාපය උරා ගැනීමේ හැකියාවක් තිබේ. අභ්‍යන්තර අවයව ක්‍රියාකිරිමෙදී හටගන්නා තාපය උරාගත් ප්ලාස්මය, සම මතුපිට ස්තරවල ඇති කේශ නාලිකා කරා පැමිණ එහි අඩංගු තාපය සරිසරයට මුදාහරී. 



ඉහත රූප සටහනේ දක්වා ඇත්තේ තද අව් රශ්මිය ඇති තේ වත්තක, තේ දළු නෙළන කාන්තාවකගේ ශරීරයේ අදාළ සිසිලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වී පරිසර උෂ්ණත්වයට සැසඳෙන පරිදි තාවකාලිකව හැඩ  ගැසෙන ආකාරයයි. 

  • සමෙහි ප්‍රතිග්‍රාහක මගින් තාප ආතතිය හඳුනා ගැනීම, 

  • මොළයේ ‘හයිපොතැලමස’ ප්‍රතිචාර දැක්වීම, 

  • රුධිර වාහිනී විස්තාරණය වීම සහ 

  • රුධිරය සහ දහඩිය මගින් තාපය සිරුරෙන් මුදාහැරිම   

සිදුවන අකාරය දක්වා මෙහි ඇත.


පරිසරයේ අධික උණුසුම, කෙනෙකුට දරාගත හැකි  සීමා මට්ටමෙන් ඔබ්බට ගියහොත් (40 ℃ ට වැඩි) තාප ආඝාත (heat stroke) තත්ත්වයට භාජන වී, ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යයි. මෙවිට, විස්තාරණය වන රුධිර වාහිනී වලට අවශ්‍ය වැඩිපුර රුධිරය සැපයීම සඳහා හෘදය සහ පෙනහැලි වේගයෙන් ක්‍රියා කිරීම ආරම්භ වේ. මෙම තත්ත්වය උපරිමයට පැමිණිය හොත් හෘදයට තවදුරටත් ඔරොත්තු දිය නොහැකි තත්ත්වයක් උදාවේ. මෙසේ වන විටම රුධිර පීඩනය පහළ ගොස් කරකැවිල්ල, වෙව්ලීම, කතාකිරීමේ අපහසුව වැනි මූලික ව්‍යාකූලතා ඇතිවේ. එවිටම ශරීරයේ ලවණ මට්ටම පහල ගොස් කෙන්ඩ  පෙරලීම සහ මානසික නොසන්සුන් භාවයත් හටගනී. මේ වන විට අභ්‍යන්තර අවයව සෛල වලට අවශ්‍ය ඔක්සිජන් නොමැති වීම සහ විජලනය නිසා ඒවා අක්‍රිය වේ. විශේෂයෙන්ම කුඩා දරුවන්ට සහ දුර්වල වයස්ගත අයට තාප බලපෑම අතිශයින් තීව්‍ර වී ශරීර උෂ්ණත්වය 40 ℃ ඉක්මවන විටම මෙන් රෝගියා මරණයට පත්වේ. තරමක් දුරට හෝ ඔරොත්තු දීමේ ශක්තියක් ඇති අයෙකුට වහාම වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් සිහි විකල්වී, දෘෂ්ටි විෂමතා ඇතිවී මායා දර්ශන දකිමින් විකාර ස්වරූපයක් ගනී. මේ වන විට බොහෝ දුරට අක්‍රීය වන ආහාර ජීර්ණ  පටක වලින්  ආස්‍රව වන ධූලක (toxins) රුධිරයට එකතු වනවිට හෘදය, වකුගඩු, මුත්‍රාශය වැනි අවයවද අක්‍රීය වීමෙන් අවසානයේදී මරණය ලඟාවේ. 


‘National Geographic’ සඟරාවේ ලිපියක පළකර තිබුණු වාර්තාවකට අනුව,  2003 වසරේදී මධ්‍යධරණී මුහුදට යාව පිහිටි බටහිර සහ මධ්‍යම යුරෝපීය රටවල වායු ගෝලයේ හටගත් යෝධ අධි උෂ්ණ කාලගුණ විපර්යාසයක් නිසා මහා විනාශයක් සිදුවී තිබේ. මේ නිසා ප්‍රංශයේ දින අටක් පුරා පැවතී අධික උෂ්ණත්වය  40°C (104°F) ඉක්මවාගොස්, 15,000 ක පමණ ජනතාවක් සහ ඉතාලියේ 20,000 පමණද  මරණයට පත්වූ බව මෙයින් හෙළිදරව් වේ. මෙය වසර 500 කට පමණ පසු යුරෝපයේ ඇතිවූ වැඩිම උෂ්ණත්වයක් පැවති  කාල සීමාව බවද එම වාර්තා වල පළවී තිබුණි. පැරිස් නගරයේ පමණක් එම වසරේ අධි තාපය හේතුකොටගෙන සිදුවූ මරණ සංඛ්‍යාව 70% කින් පමණ වැඩිවූ බවත් 2001-2020 දශකය යුරෝපයේ වාර්තා වී ඇති උෂ්ණත්වය අධිකම දශකය බවත් සඳහන් කර ඇත.


මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය,  37 °C (98.6 °F) වන අතර සාමාන්‍ය පුද්ගලයෙකුට දරාගත හැකි උපරිම ශරීර උෂ්ණත්වය, 40°C (104°F) වන්නේය. ඉතාමත් කලාතුරකින් මීට වඩා මඳක් වැඩි ශරීර උෂ්ණත්වයට ඔරොත්තු දෙන අය සිටිය හැකි අතර,  42°C (107.6°F) ශරීර උෂ්ණත්වයකදී මිනිසාගේ සියලුම පද්ධති අක්‍රීය වී මරණය සිදුවේ.


මිනිස් සිරුරට දරාගත හැකි ඉහළ උෂ්ණත්ව සීමා 


ගෝලීය උණුසුම වැඩි වීම සහ එහි බලපෑම 


ගෝලීය උණුසුම් වීම හේතු කොට ගෙන ලොව පුරා බොහෝ  ආපදා සිදුවන්නේ, ව්‍යසනකාරී චණ්ඩ මාරුත, දැඩි නියඟය, ලැව් ගිනි, සාගර ජල මට්ටම ඉහල යාම වැනි ස්වාභාවික සංසිද්ධි වල ස්වරූපයෙනි. මේ සියල්ලටම වඩා අති භයානක මිනිස් සංහාර පවා සිදු වනුයේ ඉහත සඳහන් කරන ලද  යෝධ අධි උෂ්ණ කාලගුණ විපර්යාස හට ගැනීම නිසා බව පැහැදිලි වේ. මෙවැනි අනපේක්ෂිත ව්‍යසනකාරී අර්බුද හටගන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයට අසීමිත ලෙස එකතු වන, කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි හරිතාගාර වායු (greenhouse gases) නිසා බව පරිසර විද්‍යාඥයින්ගේ නිගමනයයි. වායු ගෝලයට හරිතාගාර වායු එකතු වීම වහාම පාලනය නොකළහොත්, නුදුරු අනාගතයේදීම මිනිසාට සිදුවිය හැකි අනර්ථකාරී බලපෑම් කෙරෙහි ලෝක වාසී සියල්ලන්ගේම අවධානය යොමු විය යුතුය.


විද්‍යාඥයින්ගේ පෙරැයීම් වලට අනුව, ගෝලීය උණුසුම් වීම මේ ආකාරයටම ඉදිරියටත් පැවතුනහොත්, වසර 2100 වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වසරකට මිනිසුන් ලක්ෂයකට පමණ, අධි උෂ්ණත්වය නිසා දිවි අහිමිවන බවත්, ආසියානු රටක් වන ඉන්දියාවේ මිලියන 1.5 ක පමණ ජනතාවක් මරු මුවට ඇද දමන බවත් අනුමාන කර තිබේ. මාරාන්තික අධික උෂ්ණත්වය මෙසේ බියකරු වන අතර, අසාමාන්‍ය උෂ්ණත්ව වැඩිවීම් නිසා වෙනත් අසහනකාරී සිදුවීම්ද ඇතිවිය හැකිය. අධික උෂ්ණත්වය නිසා නොමේරූ, බර අඩු හෝ අජීවී දරු උපත් සිදුවන බව පර්යේෂණ මගින් ඔප්පුවී තිබේ. එසේම දරුවන්ගේ සහ වැඩි හිටියන්ගේත් කනස්සලු බව, කේන්ති යන ස්වභාවය වැනි මානසික ආතති සහ දරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් සහ අධ්‍යාපන පසුබටතාවයද අධික උෂ්ණත්වයට ගොදුරු වීම නිසා සිදුවන බව හෙළිදරව් වී තිබේ. 


මීට අමතරව ආර්ථික වශයෙන් සිදුවිය හැකි පාඩුවද පිරිමැසිය නොහැකිය. උදාහරණයක් වශයෙන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් කර ඇති සමීක්ෂණයකට අනුව,  2030 වර්ෂය වනවිට තදබල උෂ්ණත්වය නිසා, කෙනෙකුට යම්කිසි කාර්යයක නියැලිය හැකි කාළය, දැනට සම්මත කාලයෙන්   2.2% කින් අඩුවන බව හෙළිවී ඇත. මෙය අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කෘෂිකාර්මික සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල නිරත වන මිලියන 80 ක පමණ ජනතාව සඳහා  රැකියා අහිමි වීමකට සමකළ හැකිය. 


ගතවූ වසර 10,000 ක පමණ කාලය තුලදී මිනිසා විසින් ස්වකීය කෘෂිකාර්මික සහ සත්ත්ව පාලන කටයුතු කරගෙන යන ලද්දේ,    12.8°C (55°F) ආසන්න වන සාමාන්‍ය උෂ්ණත්ව පරාසයක් යටතේය.  අචලතාපී මිනිසාට අංශක කිහිපයක උෂ්ණත්ව වැඩිවීමකට අනුවර්තනය වීම සඳහා අභ්‍යන්තර පද්ධති හැඩගැසී ඇති ආකාරය ඉහත විස්තර කරන ලදී. එසේ වුවත් වැඩිවන  උෂ්ණත්වයේ  සහ ආර්ද්‍රතාවයේ මිනිසාට ඔරොත්තු දෙනු ලබන පරාසය ඉතාමත් පටු එකකි. මෙය සෙල්සියස් අංශක 38 සිට 41 දක්වා වන පටු පරාසයක් බව ඉහත දක්වා ඇත.

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ජාතික විද්‍යා ඇකඩමිය’  විසින් 2020 වසරේදී කර  ඇති අධ්‍යයනයකට අනුව, ඉදිරියට වසර 50 කදී පමණ, එනම් 2070 වනවිට, ගෝලීය උණුසුම් වීම නිසා ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට පමණ, දැනට සහරා කාන්තාරයේ පවතින උෂ්ණත්වයට සමකළ හැකි  උණුසුම් පරිසරයක ජීවත් වීමට සිදුවේ. මේ අභාග්‍ය සම්පන්න තත්වයට මුහුණ දීමට සිදුවනුයේ මැද පෙරදිග සහ දකුණු ආසියානු කලාපවලත්, අප්‍රිකා, දකුණු ඇමෙරිකා සහ ඕස්ට්‍රේලියා මහාද්වීප වලත් ජීවත් වන ජනතාවට බව පැහැදිලිය. ඒ වන විට මෙම ප්‍රදේශවල ගිම්හාන කාලයේ පරිසර උෂ්ණත්වය 40°C (104°F)  ඉක්මවා යන බව අධ්‍යයන වලින් තහවුරු වී තිබේ. 


අර්බුදය සඳහා ඇති  විසඳුම් ප්‍රමාණවත්ද ?


අනාගතයේදී මිනිසුන් බිලියන ගණනකට  මුහුණ දීමට  සිදුවන,  මෙසේ අනුමාන කර තිබෙන අර්බුදයට විසදුම් අප සතුව තිබේද?   උෂ්ණත්වය අඩු ප්‍රදේශ වලට සංක්‍රමණය වීම එක් විසඳුමකි. එහෙත් මෙය කිසිසේත් කළ නොහැකි දෙයකි. දෙවැන්න වනුයේ එම අභියෝගය සඳහා අනුවර්තනය වීමයි. ගැටලුවට අනුවර්තනය වීමේ සරලම පිවිසුම විය හැක්කේ නිවාස අභ්‍යන්තරය  ‘වායුසමනය’ (air-conditioning) කර ගැනීමයි. ඒ නිසා  නිවාස, කාර්යාල, කඩ සාප්පු, යාන වාහන ආදී සියල්ල වායු සමනය කර ගත හැකිනම් ඉතා අගනේය. එහෙත් එය වෙනත් ආකාරයේ ගැටළු වලට මං විවර  කරනු ලබන අනුවර්තනයක් විය හැකිය. අභ්‍යන්තර වායුසමනය කිරීමේ දැනට පවතින ක්‍රමවේද වල රසායනික අතුරු ඵල, පරිසරය උණුසුම් කිරීමට මූලික වන අතර, වායු සමනය අවශ්‍ය වන බොහෝ අයට දරිද්‍රතාව නිසා ඒ සඳහා වන වියදම් දැරිය නොහැකිය. 2020 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇති,  රටෙහි උපරිම උෂ්ණත්වය වාර්තාවන ප්‍රදේශයක සිදුවූ තාප මරණ පිලිබඳ සොයා බැලීමේදී වැදගත් කරුණු දෙකක් හෙළිදරව් වී තිබේ. මෙම මරණ වලින් එළිමහනේ සිදුවී ඇති ඒවායින් මළවුන් වැඩි සංඛ්‍යාවක්, ස්ථිර නිවාස නොමැති අගු පිල්වල ගත කරන අය බව වාර්තා විය. එසේම නිවාස වල අභ්‍යන්තරයේ මළවුන් ජීවත් වී ඇත්තේ සිසිලන පහසුකම් කිසිවක් නොමැති තාප පරිවරණය (heat insulation) රහිත පැල්පත් වලය. 


මෙම කරුණු ගැන සලකා බලන විට ලොව පොහොසත්ම රටවල පවා, නිවාස නොමැති අය සහ  තිබෙන නිවෙස් වලද  ජීවත් වීම සඳහා අවම පහසුකම්වත් නොමැති වීම, අධි උෂ්ණත්ව මරණ වලට හේතු වී ඇති බව පැහැදිලිය. මේ නිසා අධි උෂ්ණත්වය පිලිබඳ ගැටළුව නිවාස හිඟය, ජල හිඟය සහ වෛද්‍ය පහසුකම් නොමැතිවීම වැනි සාධක රාශියක් සමග එකට බැඳී ඇති බව පෙනේ. සම්පත් ඇති පොහොසත් රටවල තත්ත්වයද  මෙසේ වන විට, මූලික අවශ්‍යතා ස්වල්පයවත් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල ඉරණම කුමක් විය හැකිද? 


මේ සඳහා ඉන්දියාවේ උද්ගතවී ඇති තත්ත්වය උදාහරණයක් ලෙස ගෙන බලමු. එරට දෛනික  උෂ්ණත්වය 40°C (104°F)   ඉක්ම යන විට, ජනතාවට නිවාස තුලට වී හැකි තරම් සිසිල් ජලය පානය කරන ලෙස රජයෙන් උපදෙස් ලැබේ. ඉන්දියාවේ ජනගහනයෙන් මිලියන දහයකට පමණ මෙම උපදෙස් වලින් කිසිම ප්‍රයෝජනයක් නොමැතිය. ඔවුන්ගේ නිවාස අභ්‍යන්තරය බාහිර පරිසරයට වඩා උණුසුම්ය. විදුලි බලය නොමැති නිසා විදුලි පංකා හෝ ‘ජල ස්ප්‍රේ’ යන්ත්‍ර නොමැතිය. ඉන්දීය නිවාස වලින් වායුසමන යන්ත්‍ර ඇත්තේ සියයට අටකට පමණ වේ.  


පරිසර උෂ්ණත්වය ඉහළයාම නිසා සිදුවන මිනිස් ජීවිත හානි වලක්වා ගැනීමේ ක්ෂණික (එහෙත් තාවකාලික) පියවරක් වශයෙන්, නිවාසවල වායුසමන ඒකක ස්ථාපනය  කිරීම පිලිබඳව බොහෝ රටවල උනන්දුවක් ඇතිවී තිබේ.  ‘Climate Impact Lab’ නම් දේශගුණ පර්යේෂණ ආයතනයේ අධ්‍යයනයකට  අනුව, බොහෝ රටවල ජනතාවට සෞඛ්‍ය පහසුකම් ළඟාකර දීමෙන් සහ අධි උෂ්ණත්වය නිසා සිදුවිය හැකි ආපදා මග හැරීමට කටයුතු සැලැස්වීමෙන්, වසරකට මිලියන ගණනක මිනිස්  ජීවිත විනාශ වීම වලක්වා ගත හැකි බව හෙළිවී තිබේ. මෙයට සමගාමීව ‘ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය’ (International Energy Agency) විසින් කර තිබෙන ගණනය කිරීමකට අනුව, අද ලොව පුරා ක්‍රියාත්මක කරනු ලබන බිලියන 1.6 පමණ වන වායුසමන  ඒකක  සංඛ්‍යාව 2050 වනවිට, බිලියන 5.6 දක්වා ඉහල යන බව  පෙන්වා දී ඇත. නිවසක වායුසමනය කර තිබීම සුඛෝපභෝගී බව මෙන්ම ඉහල සමාජ මට්ටමක් පිළිබිඹු කිරීමේ සංකේතයක් ලෙස පිළිගත් කාලයක්ද විය. එහෙත් අද එය අධි උෂ්ණත්වයෙන් මිනිසා ආරක්ෂා කර ගතහැකි පිළිවෙතක් ලෙස සමාජ ගතවී තිබේ.  එසේ වුවත් අද පවතින වායු සමනය කිරීමේ තාක්ෂණයේ ඇති දුර්වලතා නිසා සිදුවිය හැකි අනර්ථකාරී දේ පිළිබඳවද සිත් යොමු කිරීම නුවණට හුරු වේ. 


අද තිබෙන මාදිලියේ  ‘සුඛෝපභෝගී’ වායුසමනය කිරීමේ යන්ත්‍ර භාවිතය කිසිසේත්  ‘පරිසර හිතකාමී’, කාර්යක්ෂම සහ ඵලදායී අනුවර්තන ලෙස සැලකිය නොහැකිය. මේවායේ අනර්ථකාරී අංශ කිහිපයක්ම තිබේ. වායුසමන යන්ත්‍රයක තාක්ෂණ ක්‍රම වේදයේ  පළමු පියවර  වනුයේ, එහි ඇති ‘ශීතකාරක ද්‍රවය’ (refrigerant), කාමරය ඇතුලත  ඒකකයේ  ඇති දඟර දැමු වාෂ්පීකරණ  ලෝහ නල පද්ධතියක් හරහා යැවීමයි. මෙහිදී, එම ද්‍රවය නාල තුළදී වාෂ්ප අවස්ථාවට පත්වීමේදී    කාමරයේ ඇති තාපය උරාගැනීම නිසා, කාමරය සිසිල් වේ. ඊට පසු එම වාෂ්ප කාමරයට පිටින් බාහිරව ඇති දෙවන ඒකකයේ ඇති සම්පීඩකය (compressor) මගින් නැවත ද්‍රවයක්  බවට පත් කරයි. මේ ‘වාෂ්ප/ද්‍රව’ පරිවර්තනයේදී පරිසරයට තාපය මුදා හැරේ. ශත වර්ෂයකට වඩා පැරණි මෙම තාක්ෂණයේ අදට නොගැලපෙන දෝෂ කිහිපයකි.

  1. ප්‍රථමයෙන්, මෙම යන්ත්‍රවල භාවිත කෙරෙන හයිඩ්‍රෝෆ්ලුරෝකාබන (HFC)  ශීතකාරක ද්‍රව භයානක හරිතාගාර වායු වේ. මේවා  යම්කිසි හෙයකින් වාතයට කාන්දු  වුවහොත්, ඒ  මගින් ඇතිකළ හැකි පරිසර හානිය කාබන්ඩයොක්සයිඩ්  වායුවෙන් සිදුවන හානිය මෙන් දහස් ගුණයකටත් වඩා වැඩිය.

  2. දෙවනුව, මෙම යන්ත්‍ර වලින් කාමරයේ තාපය එතැනින් ඉවත් කර බාහිර පරිසරයට දැමීම විනා, සමස්ත සිසිලනයක් සිදු නොකෙරේ. මේ නිසා බාහිර උෂ්ණත්වය ඉහළ ගිය හැකිය.

  3. තුන්වෙනුව, වායුසමන යන්ත්‍ර ක්‍රියාකිරීම සඳහා අධික වශයෙන් බල ශක්තිය වැයවේ. ජගත් බලශක්තියෙන් 8.5% ක් පමණ වායු සමනය සඳහා වැය වන බව කියැවේ.  මෙම බල ශක්තියෙන් වැඩි ප්‍රතිශතයක් ලබා ගන්නේ ෆොසිල ඉන්ධන දැවීමෙනි. 2016 වසරේදී කරන ලද ගණනය කිරීමකට අනුව, වායු සමනය කිරීම නිසා  පමණක්, කාබන්ඩයොක්සයිඩ් වායුව ටොන් බිලියන 1.25 ක් වායු ගෝලයට මුක්ත වී තිබේ. 2050 වන විට මෙම ප්‍රමාණය දෙගුණ විය හැකිය.   


ගෝලීය උණුසුම සඳහා නව විසඳුම් සැලසුම් කර ගත යුත්තේ කෙසේද?      

ගෝලීය උණුසුම් වීම, දැනටමත් ආපසු හැරවිය නොහැකි මට්ටමකට අවතීර්ණ වී තිබෙන බව ලොව සෑම අතින්ම ලැබෙන තොරතුරු වලින් සනාථ වෙමින් තිබේ. මෙම අර්බුදය පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවද සත්‍යයකි. එසේ වුවත් මේ සියල්ලේම සමුච්චිත යහපත් ප්‍රතිඵල දැක ගැනීමට තවත් දශකයක්වත් ගතවිය හැකිය. මේ ආකාරයට යෝජනාවී ඇති නව තාක්ෂණික මෙවලම් සහ ඒවායේ භාවිත කරනු ලබන මූල ධර්ම සහ සිද්ධාන්ත කෙරෙහි විශ්වාසය තබා, අදට වඩා සෞභාග්‍යමත් අනාගතයක් සඳහා බලාපොරොත්තු තැබිය හැකි බව පෙනේ. 

අද දකින්නට ලැබෙන පරිදි, නුදුරු අනාගතයේදීම පොදුවේ සමස්ත ලෝක වැසියාටම මුහුණ දීමට සිදුවන පරිසර උණුසුම් වීමට, අනුවර්තනය වීම  සඳහා ගැලපෙන සූදානම් වීම්  හැර වෙනත් කිසිම විකල්පයක් නොමැති බව අධ්‍යයන මගින් හෙළි වෙමින් පවතී.  මේ සඳහා දැනට පවතින නිවාස වැනි අභ්‍යන්තර ස්ථාන සඳහා භාවිත කරනු ලබන, සිසිලන මූලධර්ම ආශ්‍රීත ක්‍රමවේද නවීකරණය කර ඒ හැම එකකම කාර්යක්ෂම භාවය පස් ගුණයකින්වත් වැඩි කර ගැනීම, මේ සඳහා ඇති ප්‍රධානතම අභියෝගයයි. තාක්ෂණයේ නව මං ඔස්සේ ගොස් මේ ඉලක්කය ළඟා කර ගත හැකි වනු ඇත. මෙහිදී වඩාත්ම අවශ්‍ය වනුයේ ‘පරමාදර්ශී මාරුව’ (paradigm shift) වශයෙන් හැඳිවෙන  නව සංකල්පය වෙත යොමුවීම හැර අන් කිසිවක් නොවේ.  [භෞතික විද්‍යාවේ මූල ධර්මයක් වන ‘කාබන් කාල නිර්ණය’ (carbon dating), පුරාවිද්‍යා කැනීම් වලදී හමුවන පුරාවස්තුවල  ඓතිහාසික කාල වකවානු තීරණය සඳහා  දැනට අත්‍යාවශ්‍ය මෙවලමක් වී තිබීම ‘පරමාදර්ශී මාරුව’ සඳහා කදිම  උදාහරණයකි] 

නාගරික ප්‍රදේශවල පවා, ඉඩකඩ ඇති සෑම ස්ථානයකම, වැඩි වැඩියෙන් ගහකොළ වැවීම මගින් ගෝලීය උණුසුම් වීම මැඩ පැවැත්වීමට උත්සාහයක් ගැනීම ගැනද  මතයක් ගොඩනැගෙමින් පැවතිණ. එසේම, ගොඩනැගිලි පියැසි මුදුන්වල, ගෙඋයන් සකස්කිරීම හෝ ඒවා තාප පරාවර්තනය සඳහා වර්ණාලේප කිරීම, ක්‍රීඩාංගන වල කෘතීම මීදුම වැනි ස්වභාවයක් ගෙන දෙන ‘ජල ස්ප්‍රේ’ යාන්ත්‍රණ සකස්  කිරීම, නගරවල වර්ෂා ජලය උරාගනිමින් එම ජලය ආපසු පරිසරයට වාෂ්පීකරණය කළහැකි ‘පාරගම්‍ය’ (permeable) පදික වේදිකා ආදිය සැකසීම බොහෝ විට අත්හදා බලා තිබේ.  එහෙත් පසුගියදා ඇමෙරිකා  එක්සත් ජනපදයේ, ඇරිසෝනා ප්‍රාන්තයේ කරන ලද අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ, එළිමහනේ අධි උණුසුම සමනය කිරීම සඳහා කුමන ක්‍රමවේද භාවිත කළත්,  වාසස්ථාන අභ්‍යන්තරයේ අධි උණුසුම පාලනය නොකළහොත් එය මිනිසාගේ සෞඛ්‍යය සඳහා අතිශයින් බලපාන බවයි. මේ නිසා වඩාත්ම ගැලපෙන විකල්පය ‘අභ්‍යන්තර වායුසමනය’ කිරීම පමණක්  බව යළිත් නිගමනය කර තිබේ. 

වායු සමනය සඳහා යාන්ත්‍රික ක්‍රමවේද වෙනුවට ස්වාභාවික වායු සංවහන රටා ප්‍රයෝජනයට ගනිමින්, එයට ගැලපෙන පරිදි වාසස්ථාන නිර්මාණය කිරීම පිළිබඳවද ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් කටයුතු කරන බවද අසන්නට ලැබේ. මෙයද ඉතාමත් සාධනීය ඉදිරි පියවරකි. 

මෙම අභියෝගය ජය ගැනීම සඳහා ඉදිරිපත්වූ ඉංජිනේරුවන්, තාක්ෂණ විශේෂඥයින් සහ විද්‍යාඥයින් විසින් ගෝලීය උණුසුම් වීමේ බලගතු කම නිසා මිනිසා මුහුණ පාමින් සිටින අන්තරාය මගහරවා ගැනීම පිණිස නව  ක්‍රම වේද, පරමාදර්ශී මාරුවද උපයෝගී කරගනිමින් ගවේෂණය කිරීමේ දැඩි ප්‍රයත්නයක නියැලී  සිටිති. ඔවුන්ගේ නව නිර්මාණ සහ ක්‍රම වේද 2025 පමණ වනවිට ලොවට හෙළිදරව් කිරීමට හැකිවේයයි බලාපොරොත්තු තබාගත හැකිය. 

අධිකතර පරිසර උණුසුම මේ වන විට දැවෙන සමාජ ගැටළුවක් බවට පත්වී තිබේ. මෙයින් වැඩිපුරම පීඩාවට පත්වනුයේ දරිද්‍රතාවයෙන් පෙලෙන, පහසුකම් රහිත වාසස්ථාන වල හෝ අස්ථිර  ‘හිසට සෙවනක්’ සහිතව ජීවත්වන ජනතාවටය.  මේ නිසා ඉතාමත් අවදානම් සහිත තත්ත්වයේ සිටින, ඉතා අඩු ආදායමක් ලබන කෝටි සංඛ්‍යාත ජනතාවක් සුවපත් කිරීමෙන් මිස මෙම ගැටලුවට විසඳුම් සෙවීම උගහටය.     

ඇමෙරිකානු ජාතික බෙන්ජමින් ආර්. බාර්බර්  විසින් පළකර තිබෙන ‘Cool Cities: The fix for Global Warming’ නම් පොතෙහි දක්වා  ඇති ආකාරයට, කෙතරම් උත්සාහයක් ගන්නේ වුවද මෙම ශත වර්ෂය අවසාන වන විටවත් සෙල්සියස් අංශක 0.5 කින්වත් පරිසර උෂ්ණත්වය අඩුකර ගැනීමට මෙම කිසිම ක්‍රමවේදයක් සමත් වේද යන්න සැක සහිතය. 

ඔහු තවදුරටත් දක්වන පරිදි “කිසිවක් නොකර සිටීමද කිසිසේත් ප්‍රමාණවත් නොවේ”

ඔහු තම දැක්ම අනුව මෙසේද ප්‍රකාශ කරයි. “පෘථිවි උතුරු අර්ධගෝලයේ බොහෝ රටවල ‘බලශක්ති ඒකාධිකාරිය’ නැතහොත් ‘තාප ධනය’ ස්වල්ප වශයෙන්  හෝ ‘බලශක්ති හීන’ දකුණු අර්ධ ගෝලයේ රටවල, පොසිල ඉන්ධන භාවිතය නතර කරන තුරුවත්,  හුව මාරු කර ගත හැකිනම් අගනේය.” 

මේ මගින් ඔහු හුවා  දක්වන්නේ, උතුරු අර්ධගෝලයේ බොහෝ රටවල ජනතාව තම සුවපහසුව සඳහා හඹා යාමේ අවම  සීමාව වශයෙන් නිගමනය කර පිළිගෙන තිබෙන ‘ප්‍රශස්ත යයි සැලකෙන’ පරිසර උණුසුම් මට්ටම මඳක් ඉහලට දමා, ඒ මගින් ලැබෙන වාසිය  දකුණු අර්ධ ගෝලයේ රටවල පීඩා විදින ජනතාවට ලබා දීමේ ඇති වැදගත් කමයි. එහෙත් මෙම සදාචාර ප්‍රතිපත්තිය පිලිබඳ පණිවුඩය, සැප සම්පත් විඳිමින් සුඛෝපභෝගී ජීවිත ගතකරන උතුරු අර්ධගෝලීය රටවල ජනතාව අතරට ගෙන යාම එතරම් පහසු කරුණක් නොවිය හැකිය. 

බෙන්ජමින් ආර්. බාර්බර්, අවසානයේදී මෙසේද පවසයි 

“පරිසර උෂ්ණත්වය 60 °C දක්වා ඉහල ගියහොත්,  වායුසමන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම විනා වෙනත් කිසිම පිළිසරණක් නොමැතිය. එසේ වුවත්, උෂ්ණත්වය 30 °C  වන විට, සිසිල් සුළං පොදක් ලබාගැනීම පිණිස වායු සමනය වෙනුවට ජනේලයක් විවෘත කරමු.” 

මෙම අගනා දැක්ම අනුව ක්‍රියාකිරීමට ලෝක බලවතුන් උත්සාහයක් ගතහොත් ගෝලීය උණුසුම් වීම සදාකාලිකව ජය ගැනීම සඳහා  ඉතාමත් දූරදර්ශි මං පෙත් හමුවනු ඇත. 

(තොරතුරු ස්තුති පූර්වකව පොතපතින් සහ අන්තර්ජාලයෙනි) 


2 comments:

  1. දැනුම් සම්හාරයක් .ස්තුති

    ReplyDelete
  2. ස්තුතියි Oasis,
    මහන්සිවී සකස් කළ ලිපිය ඔබ වැනි එක් අයෙකු හෝ කියවා තිබීම ගැන සතුටක් දැනෙනවා. දැනුම සඳහාම වෙන්වී තිබෙන Blog සටහන් වලට දැන් දැන් පාඨක ප්‍රතිචාරය අඩුවී තිබෙන්නේ මක්නිසාද කියා හිතන්නවත් අමාරුයි.

    ReplyDelete