Monday 24 May 2021

‘කොරෝනා’ ව්‍යසනය නිසා සමාජ ගත වන සාධනීය දේවල්ද බොහෝය.


  1. කොරෝනා වයිරස් වසංගතයේ අද තත්ත්වය 


පුරා වසරකට වැඩි කාලයක් තිස්සේ මුළු ලොවම කම්පා කරණු ලබන, දැනට මිලියන තුනකට වඩා ජනතාව මරු මුවට ඇද දමා ඇති,  COVID19 වයිරස වසංගත මහා ඛෙදවාචකය, මෙතෙක් අවසන්වී නොමැත. මේ වන විට ශ්‍රී ලංකාවේ  අසල්වැසි ඉන්දියාව, අතීතයේදී තුන් බියකින් වෙලී ගිය  ‘විශාලා මහනුවර’ බවට යළි පත්වී තිබෙන බව මාධ්‍ය වලින් හෙළිවේ. රෝගය වැළඳී අකාලයේ මියගිය අය සිය ගණනින් දැවී අළුවී යාමේ ඛේදවාචකය රුපවාහිනී තිර ඔස්සේ දකින්නට ලැබේ. දැනට ලොව පුරා රටවල් දෙසියයක පමණ වසංගතය පැතිරෙමින් පවතී. විද්‍යා හා තාක්ෂණික දැනුම අතින් ඉතා උසස් මට්ටමක සිටින මිනිසා තවමත් මේ ව්‍යසනය යටපත් කිරීමට අපොහොසත් වී සිටීම මහත් අභාග්‍යයකි. මුව  ආවරණ පැළඳීම, නිසි සමාජ දුරස්ථභාවය තබාගැනීම, සබන් දමා අත්  සේදීම, නිතර විෂබීජ නාශක ද්‍රවයකින් අත් ධෝවනය කිරීම, අත්‍යාවශ්‍ය කටයුත්තකට මිස ගෙදරින් පිටත නොයාම වැනි වැදගත් සෞඛ්‍ය නීති රීති සහ වෙනත් ආරක්ෂක මෙහෙයුම් මගින්ද මිනිසා විවිධ ආකාරයට හුදකලා කර තැබීමට පියවර ගෙන තිබියදීත් වසංගතය උග්‍රලෙස පැතිරෙන්නේ මක්නිසාද? 


ලෝකයේ  රටවල් කිහිපයක COVID19 මරණ සංඛ්‍යා පිලිබඳ ප්‍රස්තාර සටහනක් මෙහි දක්වා තිබේ. 2020 මාර්තු සිට 2021 මැයි දක්වා වයිරස අසාදනයේ ‘රැළි’ තුනක් තිබෙන බව ප්‍රස්ථාරයේ දකින්නට ලැබේ. මේ අනුව වසංගතයේ  

පළමු රැල්ල 2020 මාර්තු සිට 2020 අගෝස්තු දක්වා, 

දෙවන රැල්ල 2020 අගෝස්තු සිට 2020 නොවැම්බර්  දක්වා සහ 

තුන්වන රැල්ල 2020 නොවැම්බර් සිට 2021 මැයි 

දක්වාත් පැවති  බව ප්‍රස්තාරයෙන් හඳුනා ගත හැකිය. තුන්වන රැල්ල අනිකුත් දෙකටම වඩා බරපතල ලෙස තවදුරටත් ක්‍රියාත්මක වන බවද  පැහැදිලිව පෙනෙන්නට තිබේ.


  1. වසංගත තත්ත්වය උග්‍ර වීමට හේතු තිබේද?  

  

මේ ආකාරයට වයිරස වසංගතය අති දරුණු තත්ත්වයකට පරිවර්තනය වනුයේ කුමක් නිසාද යන්නද විමසීමට භාජන කළයුතු කරුණකි.  එන්න එන්නම ප්‍රබලතාවයෙන් වැඩි වයිරසයේ නව ප්‍රභේද සහ විකෘති හට ගන්නා බව විද්‍යාඥයින්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි. ඒ සමගම ජනතාව සෞඛ්‍ය ආරක්ෂක නීති රීති නොසලකා හැර හිතුවක්කාර ලෙස කටයුතු කිරීමද එක් හේතුවක් බව තවත් මතයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි උපදෙස් මාලාවක් කල් වේලා ඇතිවම නිකුත් කරන ලදී. ඉහත සඳහන් කරන ලද මෙම උපදෙස් ඉතාමත් යෝග්‍ය සෞඛ්‍යාරක්ෂක වත් පිළිවෙත් වේ. එහෙත් ලොව සමහර රටවල සුළු පිරිසක්, මෙම උපදෙස් නොසලකා හැරිම නිසා වසංගත තත්ත්වය නැවතත් උත්සන්න වෙමින් පවතින බව වාර්තා වේ. මේ ආකාරයටම සමහර අවස්ථාවලදී රාජ්‍ය අනුග්‍රහය පවා ලැබී නවීන විද්‍යා සහ වෛද්‍ය උපදෙස් වලට පටහැනි ගුප්ත විද්‍යා සහ මිත්‍යා ක්‍රියාකාරකම් අනුගමනය කර වසංගතය පැතිරී යාමට අනුබල දුන් පිරිසක් සිටීමද මහත් අනුවණ කමකි.

 

හේතුව  කුමක් වුවත් COVID19 වයිරස් වසංගතය නිසා ලෝකයේ සෑම රටකටම උග්‍ර ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙනත්  සමාජමය  ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවී තිබේ. මෙම උපද්‍රවයට ගොදුරු වූ සියලුම රටවල් තම ආර්ථිකය යළි  ගොඩනගා ගැනීම, මහජනතාව රෝ බියෙන් මුදා සුවපත් කිරීම, දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම, අවුල් වී ගිය සමාජ සහ පවුල් සම්බන්ධතා නිරවුල් කිරීම වැනි දහසකුත් එකක් දේ සඳහා අවධානය යොමු කරමින් සිටිති. එහෙත්  වයිරසය  සහමුලින්ම ඉවත් වන තුරු අසහනකාරී තත්ත්වය ඉවත් නොවනු ඇත. සකල ලෝක වාසී ජනතාවම මනා  සංයමයකින් යුක්තව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරනතුරු මෙම ව්‍යසනයෙන් මිදීමට නොහැකිවන බව, වර්තමානයේ ලැබෙන තොරතුරු වලින් හෙළිවේ. මෙම තත්ත්වය උදාකර ගැනීම සඳහා යොමුවන විට ආර්ථික, සංවර්ධන, දේශපාලන වැනි සෑම අංශයකම වැඩ කටයුතු බොහෝ දුරට අඩපන වීම නොවැලක්විය හැකි වනු ඇත. මේ සියල්ල පරදුවට තබා සෑම රටක්ම නිර්දේශිත සෞඛ්‍ය වත්පිළිවෙත්   අනුගමනය කරමින් රෝග නිවාරණ ක්‍රමවේද වලට මුල් තැන දෙමින් ක්‍රියා කරන තුරු  මෙම වසංගතයෙන් ගැලවීමක්  නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු ඇඟවීමක් කර තිබේ.


  1. වසංගතය නිම වීමෙන් පසු අනාගතය කෙබඳු විය හැකිද ? 


ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන්, දැනට ලොව පුරා ඉතාමත් සාර්ථක අන්දමින් කරගෙන යනු ලබන වයිරස මර්දන එන්නත් ක්‍රියාවලිය සහ දැඩි සෞඛ්‍යාරක්ෂක  කටයුතු මැනැවින් සිදුවන විට වසංගතය පාලනය  වනු ඇත. ඊට පසුව වුවද වසර කිහිපයක් යනතුරු දැඩි නීති රීති සහ සුවිශේෂී සෞඛ්‍ය පරිපාලන ක්‍රමවේද භාවිතයෙන් වසංගතය සහමුලින් දුරුවී යනු ඇති බවට බලාපොරොත්තු තබා ගත හැකිය.

ලෝක ජනතාව ඒ ආකාරයට සුවපත්වී සැනසුම් සුසුමක් හෙලන විට, ආපසු  හැරී  බැලීමේදී  දකින්නට ලැබිය හැකිවන සාධනීය එසේම සමාජයට හිතකර, බොහෝ දුරට ප්‍රායෝගික  අතුරු  ඵලද තිබිය හැකිය. 


දැනට දශක අටකට පමණ ඉහතදී ලොව හෙල්ලුම් කෑ, දෙවන ලෝක මහා සංග්‍රාමය නිසා ඉතාමත් ඛේදජනක ලෙස මිනිස් සංහාරයක් වූ බව ඉතිහාස ගතවී ඇත්තේය. මහා බලවතුන්ගේ බල ලෝභීත්වය නිසා හටගත් යුද්ධය නිසා එවකට ලෝක ජනගහනයෙන් 3% ක් පමණ ජීවිතක්ෂයට පත්වීම  හෝ සදාකාලික ආබාධිතයින්ගේ ඉරණමට ගොදුරුවූ   බවට ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් “සෑම අඳුරු වලාකුළකටම රිදී රේඛාවක් ඇත” යන කියමනෙන් සනාථ  වන පරිදි දෙවන ලෝක සංග්‍රාම සමයේදී සහ යුද බිය සමනය වීමත් සමගම  එළි  දක්වනු ලැබූ නව නිපැයුම් සහ නව සොයාගැනීම් කිහිපයක් නිසා, ලෝ වැසියන්ට මහත් සෙත් ශාන්තියක් උදාවී තිබේ. පරිගණකය, ස්වයංක්‍රීය බැංකු ටෙලර් යන්ත්‍ර, චන්ද්‍රිකා තාක්ෂණය සහ රේඩාර් වැනි නව නිපැයුම්ද  පෙනිසිලින් වැනි ඖෂධ  වර්ගද  මෙසේ ලැබුණු  නව සොයා ගැනීම් වන අතර, ඒවා  මගින් මිනිසාට ලැබී ඇති ප්‍රයෝජන අති මහත්ය.


අතීතයේ වාර්තාවී ඇති මෙම සිදුවීම් දෙස බලන කළ කොරෝනා වසංගතය තුරන්වී  යහපත් කාලයක් උදාවූ විටකදීද මිනිසාට ඉතිරිවන දායාදයන් කිහිපයක් ගැනද  දැනටම  මහජන ප්‍රසාදය වැඩිවෙමින්  පවතී. මේ වන විට ලෝක ජනගහනයෙන් 0.042 % පමණ වන මිනිසුන් සංඛ්‍යාවක් කොරෝනා වසංගතය නිසා මරණයට පත්වී සිටිති. සංඛ්‍යාත්මකව මෙය මිලියන 3.3 ක පමණ මිනිස් සමූහයකි.මෙතරම් මිනිසුන් සංඛ්‍යාවක් රෝගයක් නිසා මරුමුවට පත්වීම දැරිය නොහැකි පාඩුවකි. කොරෝනා වසංගත සමයේදී  මිනිසා අනවශ්‍ය පරිදි හුදකලා වීම, ස්වයං නිරෝධායනය, වැනි පෞද්ගලික හේතු නිසාත්, අන්‍යයන් කෙරෙහි ඇතිවන අනුකම්පාව, මෛත්‍රීයය, කරුණාව වැනි  මහඟු මිනිස් ගුණාංග ටිකින් ටික   ඉස්මතු වීම නිසාත්, මිනිසා තුළ අධ්‍යාත්මික ගුණ වගාවන් වැඩිපුර ප්‍රගුණ වීමට මග පෑදී තිබෙන බවද  හෙළි වෙමින් පවතී.


වයිරසය නිසා මිනිසුන් අමු අමුවේ මරණයට පත්වීම මහත් කණගාටුදායක තත්වයක් වුවද, මෙම අවාසනාවන්ත තත්ත්වයට අනුගත වෙමින් මිනිස් සමාජය යළි සුවපත් වෙමින් තම එදිනෙදා ජීවිතයට අදාළ කරගැනීමට උත්සාහ දරණ සාධනීය ක්‍රියාකාරකම් බොහෝය. මෙයින් කිහිපයක් මේ ආකාරයට විමසුමට ලක් කිරීම අපගේ උත්සාහයයි.  


  1. පරිසරය පිබිදීම  


කොරෝනා වසංගතය පැතිරී ගිය පසුගිය මාස කිහිපය තිස්සේ (2020 පෙබරවාරි පමණ සිට), ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සැලකියයුතු ප්‍රතිශතයක් අඩුවී ඇති බව වාර්තාවේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පෙට්‍රෝලියම් වැනි ෆොසිල් ඉන්ධන දහනය අඩු වීමයි. වයිරසය නිසා ලොව පුරා සංචරණ සීමා පැනවීම, ගොඩ බිම මෝටර් රථ ධාවනය අඩුවීම, ගුවනෙහි අහස්  යානා සීමිත වීම, ඉන්ධන භාවිතයෙන් සිදුකරනු ලබන මහා පරිමාණයේ කර්මාන්තශාලා  තාවකාලිකව වසා දැමීම වැනි හේතු නිසා නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. මේ නිසා මිනිස් ක්‍රියාකාරකම් නිසාම, අබල දුබලව හෙම්බත්වී තිබෙන  පෘථිවියට යළිත් ‘තිරිහන් වීමට’ අවස්ථාවක් ලැබී ඇතැයි  සිතිය හැකිය. මෙසේ සිදුවන බවට සාක්ෂි බොහෝය. 

මේ සඳහා උදාහරණ වශයෙන්,  2021 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළදී   චීනයේ ප්‍රධාන නගර 337 ක, වාතයේ ප්‍රශස්ත ගුණාත්මක භාවය සහිත දින ගණන 85% කින් වැඩිවී තිබේ. එමෙන්ම ඉතාලියේ  ජනාකීර්ණ වෙනීස් (venice) නගරයේ කලක් තිස්සේ දරුණු ජල දූෂණයකට පාත්‍ර වී තිබුණු ඇළමාර්ග වල එකතුවන අපද්‍රව්‍ය අඩුවීම නිසා දූෂණ තත්ත්වය බෙහෙවින් පහළ ගොස් ජලයෙහි ගුණාත්මක භාවය වැඩිවී, යළිත්  මත්ස්‍ය සහ වෙනත් ජලජ ජීවී ගහණ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වාර්තාවේ.



ලෝකයේ ‘වසාදමා තිබුණු’ සමහර නගරවල මිනිසුන්, සිය  නිවෙස් වලට කොටුවී සිටියදී, නිරතුරුවම  මිනිසාගේ චර්යා ගැන සැක සංකා සහිතව වනයට සීමාවී සිටි වන සතුන්, නාගරික වීදිවල සැරිසරණ  ආකාරයද මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. දකුණු අප්‍රිකාවේ සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන කෘගර් (Kruger) වනෝද්‍යාණයේ, කොරෝනා වසංගතය නිසා ජනශුන්‍ය වී ඇති අවස්ථාවේ, එහි මහා මාර්ගයකට වී විවේක ගන්නා සිංහ රංචුවකගේ ඡායාරූපයක් මෙහි දැක්වේ.  මිනිසාගේ අයුතු බලපෑම් නිසා විවිධ ආකාරයෙන්  පරිහානියට පත්වෙමින් තිබූ ලොව බොහෝ ස්ථාන වල, වනාන්තර ඇතුළු වෙනත් ජෛව පද්ධතිද මෙලෙස ප්‍රකෘතිමත් වීමට අරඇඳීම සොබාදහම ලබා ඇති ජයග්‍රහණයකි.  


  1. සාමය පිලිබඳ හැඟීම  

  

වසංගතය නිසා මුළු ලෝකයම කම්පාවී සිටියදී, සමහර රටවල උද්ගත වෙමින් පැවති එදිරිවාදුකම් සහ යුදබිය බොහෝ දුරට සමනය වීමක්ද අසන්නට ලැබේ. එක්සත්  ජාතීන්ගේ මණ්ඩලයේ මහලේකම් වන ඇන්ටෝනියෝ ගුටෙරස් විසින් කොරෝනා වසංගතය ලොව පුරා පැතිරෙද්දී  “ආයුධ සන්නද්ධ අරගල වලට තිත තැබීමේ අවස්ථාව එළඹ තිබේ” යයි නැගූ  හඬට යහපත් ප්‍රතිචාර  ඇතිවීම සහ යුදබිය තරමක් දුරට හෝ අඩුවීම සාධනීය පියවරකි. ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි ප්‍රචාරයකට අනුව, මැද පෙරදිග යේමනයේ සටන් වැදී  සිටින සවුදි රාජ්‍ය හමුදා  වසංගත තත්ත්වය නිසාම සටන් විරාමයකට ගිවිසුම් ගත වී සිටින බව හෙළිවේ. මේ ආකාරයට යුද බිය සහ  දේශ සීමා ගැටුම් සහ අරගල පැවති  ලෝකයේ වෙනත් ස්ථාන වලද ‘වසා දැමීමේ නියෝග’ (Lock down orders) නිසා ප්‍රචණ්ඩත්වය  අඩුවී  සහනයක් උදාවී ඇත. ජාතීන් අතර තිබෙන එදිරිවාදු  කම් අතහැර, මේ අවස්ථාවේ පොදු සතුරා වන කොරෝනා වයිරසය මුලිනුපුටා දැමීමට මුළු ලොවම සැදී පැහැදී එකමුතුවී සිටීම යහපත් ප්‍රතිචාරයකි.


  1. සමාජ සම්බන්ධතා  තහවුරු වීම  

මිනිසා ස්වභාවයෙන්ම සමාජශීලී ජීවියෙකි. සෑම මිනිසෙකුටම  තම සගයින් හෝ ‘කල්ලිය’ සමග සුව දුක් විචාරීම, එක්ව හැසිරීම, විනෝද වීම  සහ අදහස් හුවමාරු කර ගැනීම වැනි අවශ්‍යතා බොහෝ වෙති.  කොරෝනා වසංගතය නිසා බලපැවැත්වෙන ස්වයං නිරෝධායන නිවාස අඩස්සියේ  පසුවීම හෝ  හුදකලාවීම ඔහුට නුරුස්නා අභියෝගයකි. මෙම අසහනකාරී බව මැඩ  පවත්වා ගැනීම පිණිස අද බොහෝ අනුයෝගී ක්‍රමවේද භාවිතයට පැමිණ තිබේ. මෙම වසංගතය නිසා අතිශය පීඩාවට පත්වූ ඉතාලියේ, නගරබද තට්ටු නිවාස වල පදිංචි ජනතාව හුදකලාවී සිටින තම අසල් වැසියන් පිනවීම සඳහා තමන්ගේ නිවෙස්  සඳලුතල මතටවී සංගීත භාණ්ඩ වාදනයත්   සමග ගී කියමින් කාලය ගත කරන  බව පසුගිය දිනක එරටෙහි පුවත් පතක් වාර්තා  කර තිබුණි. එමෙන්ම තවත් සමහර රටවල වීදි නාට්‍ය කණ්ඩායම්,  ‘වසා දැමීම’ නිසා ජනශුන්‍ය වූ මහමාවත් වලට පැමිණ, සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් වීදි නාට්‍ය වල නිරත වී ජනතාව විනෝදමත් කළ බවද දැනගන්නට ලැබේ.

සමාජ මාධ්‍ය ජාලා මගින්ද ජනතාවට මානසික සුවයක් ලබාදීම පිණිස නව පන්නයේ වැඩ සටහන් ඉදිරිපත් කිරීමට අමතක නොකළහ. විශේෂයෙන්ම ‘ෆේස් බුක්’ කණ්ඩායම්  විසින් හුදකලාවී අසහනයට පත්ව සිටින අයට මානසික සුවයක් ලබා දීමට  දරන ලද ප්‍රයත්නයද ඉතාමත් අගනේය.

ලෝකයේ සෑම රටකම පාහේ රාජ්‍ය අනුග්‍රහයෙන් මෙන්ම ආගමික සහ ස්වේච්ඡා සංවිධාන මගින්ද ඈත පිටිසර ගම්මානවල නිවාස වලට කොටුවී සිටින දහස් සංඛ්‍යාත ජනතාවට උදව් උපකාර කිරීමත් වියලි ආහාර සහ අවස්ථානුකුලව  පිසූ ආහාර පවා ලබාදීමට කටයුතු කරනු ලැබීමත් සමාජ සම්බන්ධතා මනාසේ තහවුරු වීම බව සඳහන් කළ හැකිය. මෙසේ විදහා දැක්වෙන මෛත්‍රී, කරුණා, මුදිතා වැනි සාර ධර්ම ඒ ආකාරයටම ඉදිරියටත් පැවතුනහොත් මිනිස් සමාජය කෙතරම් උත්තරීතර භාවයක් ලබාගන්නේද?


  1. අනුයෝගීකරණය වූ  නව වාණිජ ක්‍රමවේද     


කොවිඩ් වසංගතය සමගම පැන නැගුණු දැඩි සෞඛාරක්ෂක නීති රීති නිසා කඩ සාප්පු ඇතුළු සමස්ත වෙළඳපළ  මුළුමනින්ම වාගේ වසාදැමීමට සිදුවිය. මේ නිසා වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද අපමණ අසීරුතා වලට මුහුණ පාන්නට වීම නොවැලක්විය හැකිය. මෙම අසහනයෙන් මිදීම සඳහා වෙළඳ පළෙහි තිබුණු ‘සුපුරුදු පාරිභෝගික සේවා’ සංකල්පය වෙනුවට ‘අනුයෝගී පාරිභෝගික සේවා’ ආදේශ කර ක්‍රියාත්මක වන්නට විය. මේ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ අවන්හල් ජනතාව සඳහා විවෘත කිරීම වෙනුවට පැකට් කරන ලද පිසූ ආහාර ‘ඉවතට ගෙනයාම’ (take-away) සඳහා පහසුකම් සලසන ලදී. එමෙන්ම  දුරකථන පණිවුඩයක් හෝ විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් ඇනවුම් කර, , ඇනවුම් කිරීමේදීම  භාණ්ඩ වල වටිනාකම පෙර ගෙවුම් පතක් (credit card) මගින්  ගෙවා, වියලි ආහාර ද්‍රව්‍ය සහ වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රම වේද ක්‍රියාත්මක වන්නට විය. මෙම නව වෙළඳ ප්‍රවේශය නිසා වයිරසයෙන් ආරක්ෂා වීම, මහජනතාව ගැවසීම සීමා වීම, මුදල් ගනුදෙනු වෙනුවට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද භාවිතය, වාහන ඉන්ධන වැය අඩුවීම සහ පරිසර දුෂණය අඩුවීම වැනි වාසි රැසක්ම ලැබෙන්නට විය. ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද භාවිතය අඩු ප්‍රදේශවල, වෙළඳ සැල් නියෝජිතයෙකු පාර්භෝගිකයා වෙත ගොස් අවශ්‍යතා පිරිමැසීමටද  උනන්දු වූ බව අසන්නට ලැබේ. බොහෝවිට මෙවැනි අවස්ථානුකුල අවිධිමත් ක්‍රමවේද පවත්වා ගෙන යාමට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු බව හෙළිවේ. මෙතෙක් වෙළඳ පළෙහි වැඩිපුර දකින්නට නොලැබුණු  මුව ආවරණ, අත්  ධෝවනය කිරීමේ විෂබීජ නාශක ද්‍රව්‍ය වැනි දේවල්ද  සුලභ වන්නට විය.

සෑම රටකම පාහේ ඉහල තලයේ  ලාභ ලබන බොහෝ වාණිජ ආයතන තම ලාභයෙන් කොටසක් මෙම වසංගතයෙන් පීඩා ලබන ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ලබාදීමට දැනටමත් තීරණය කර තිබීමද පාර්භෝගිකයාට සැනසිලිදායක ආරංචියකි. සමහර වෙළඳ ආයතන විවෘතව තබන සීමිත කාලය තුළදී වුවද ජේෂ්ඨ පුරවැසියන් සහ ආබාධිත පාරිභෝගිකයින්ට පහසුවෙන් තම භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙලාවක් වෙන් කර දීමටද කාරුණික වී තිබේ. සමහර ආයතන ඔවුන් සඳහා විශේෂ වට්ටම් ප්‍රදානය කිරීමටද තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල පහසුකම් සපයනු ලබන එක්තරා  ආයතනයක්  විසින් එරට ජේෂ්ඨ පුරවැසියන්ට  සහ ආබාධිත අයට, මෙම අභාග්‍යමත් කාලය තුලදී, තම හිතවතුන් සමග පණිවුඩ හුවමාරුව සඳහා අවශ්‍යවන විද්‍යුත් දත්ත, නොමිලේ සැපයීමට පියවර ගෙන තිබීමද යහපත් වැඩ පිළිවෙලකි. ඔවුන් විසින් තම ආයතයන වල පැවැත්ම පාරිභෝගිකයාගේ තෘප්තිය මත පවතින බව අවබෝධකර ගනිමින් මෙවැනි පියවර ගැනීම දෙපාර්ශවයටම වැඩ දායක වේ.

  1. නව ඉගෙනුම් ක්‍රම භාවිතය 


පාසැල් දරුවන් COVID19 වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම  සඳහා පාසල් සහ වෙනත් සියලුම අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දමන්නට සිදුවීම බරපතල ගැටළුවක් බවට පත්විය. සෑම දරුවෙකුටම පොත්පත් ආශ්‍රීතව දැනුම ලබාදීම, වෙනත් කුසලතා සහ යහපත් ආකල්ප සංවර්ධනය, සමාජීකරණය වැනි ජීවිතයට අවශ්‍ය සියලුම දේ ලැබෙනුයේ පාසලෙනි. පාසල් අධ්‍යාපනය තාවකාලිකව හෝ ඇනහිටීම දරුවාගේ චරිත සංවර්ධනයට බාධාවකි. මෙම මනෝවිද්‍යාත්මක සංකල්පය පෙරදැරි කර ගනිමින් පාසල් වසා දමා තිබියදීත්  දුරස්ථ ඉගැන්වීම් ක්‍රම මගින් අධ්‍යාපන පහසුකම් සැලැස්වීම වැදගත් කාර්ය භාරයකි. මේ සඳහා අතිශයින් ප්‍රයෝජනවත් වුයේ Zoom තාක්ෂණ ක්‍රමවේදයයි. මෙහිදී, පන්ති කාමරයේ හෝ තම නිවසේ සිටින ගුරුවරයා විසින් තමන් විසින් සුදානම් කරගන්නා ලද පාඩමක්, නිවෙස් වල සිටින සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ ලබාදීම මෙහි සුවිශේෂී ලක්ෂණයයි. නිවසේ සිටින ශිෂ්‍යයාට, තම ගුරුවරයා සමග දුරකථන සම්බන්ධතාව සකස් කර ගනිමින් අදාළ  දිගුවට පිවිසීමෙන්   තම පරිගණකයේ  හෝ smart දුරකථනයේ තිරයේ දිස්වන රූපරාමු ඔස්සේ ඉගෙනීමේ  කටයුතු වලට සහභාගී විය හැකිය. මෙම ක්‍රමවේදය මගින් පන්තිකාමරයේ ඉගෙනීම මෙන් සාර්ථක තත්ත්වයකට එළඹිය නොහැකි වූවත්, එයින් තරමක් දුරට හෝ ප්‍රයෝජනයක් ලැබෙන බව පිළිගත හැකිය. විශේෂයෙන්ම පාසැලේ පන්ති කාමරයේදී ලබන ප්‍රායෝගික අත්දැකීම් හෝ විෂයය බාහිර ක්‍රියාකාරකම් මෙම දුරස්ථ අධ්‍යාපන ක්‍රමයෙන් කළ  නොහැකි වූවත්, ගෙවීගිය වසරකට වඩා වැඩි කාලය තුළදී  පාසල් සිසුනට මේ මගින් විපුල ප්‍රරයෝජන අත්වූ බව නොරහසකි.


පහසුකම්  අඩු ප්‍රදේශවල දරුවන්ට සහ මෙම තාක්ෂණය සඳහා අවශ්‍ය මෙවලම් නොමැති සිසුන්ට මේ මගින් අසාධාරණයක් සිදුවන බව දස දෙසින් අසන්නට ලැබේ. එසේ වුවත්, අනාගතයේදී මෙම ක්‍රම වේදය ඔස්සේ  විශාල අධ්‍යාපන පරිවර්තනයක් සිදුවිය හැකි බවට සාධක දැකගන්නට ලැබේ. 

මෙම දුරස්ථ ඉගෙනුම් ක්‍රියාදාමය විශ්ව විද්‍යාල සහ වෙනත්  උසස් අධ්‍යාපන ආයතන වලටද ආදේශ කර ගෙන තිබීම තවත් ලක්ෂණයකි. සමහර විශ්ව විද්‍යාල සිසුන්ගේ දේශන වලින් වැඩි කොටසක් zoom තාක්ෂණය සහ online ක්‍රමවේද මගින්  සිදු කිරීමට තීරණය කර තිබීම නිසා, නුදුරු අනාගතයේදී  විශ්ව විද්‍යාල අධ්‍යාපනයේද මහත් පෙරළියක් සිදුවිය හැකි බවට පෙර නිමිති පහළවෙමින් තිබේ.


  1. දෛනික රාජකාරි කටයුතු නිවසේ සිට ඉටු කිරීම 


නව තාක්ෂණ දියුණුවත්  සමගම ඕනෑම කෙනෙකුගේ කාර්යාල හෝ රාජකාරි කටයුතු වලින් වැඩි කොටසක් පරිගණක ගත කිරීම නිසා, පැරණි මාදිලියේ ලිපි ගොනු ඉවත්වී, ඒ සියල්ලම පාහේ දත්ත වශයෙන් ගබඩාකර තැබීමේ ක්‍රමවේද බොහෝ තිබේ. මෙම දත්ත අවශ්‍ය පරිදි යලි පිරික්සීමට හෝ හුවමාරු කර ගැනීමටද පහසුකම් සහිත උපාංගද බෙහෙවින් ඇත. වෛද්‍ය වෘතියේ සමහර ක්‍රියාකාරකම්, ගමනාගමන කටයුතු වැනි අංශ කිහිපයක ප්‍රායෝගික කටයුතු ස්වල්පයක් පමණක් මෙයට අදාළ කරගත හැකි නොවේ. දැනට කලක   සිටම මෙම ක්‍රමවේදය අත්හදා බැලීමේ ක්‍රියාවලියක් ලෙස සමහර කාර්යාල සේවකයින් ‘ගෙදර සිට වැඩ කිරීම’ (working from home) කරගෙන ගියහ. කොරෝනා වසංගතය හිස එසවීමත් සමග මෙම සංකල්පය යථාර්ථයක් බවට පත්විය. කාර්යාල වසාදමා ගමනාගමනය ඇනහිට තිබියදී, මෙම  ගෙදර සිට වැඩ කිරීමේ වැඩ පිළිවෙල ඉතාම සාර්ථක ක්‍රමෝපායයක් විය. සමහර අවස්ථාවලදී, පාසල් නොගොස් ගෙදර නතරවී, zoom තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට සහ තම කාර්යාලයේ කටයුතු  online කරනු ලබන දෙමාපියන්ට එක වහලක් යට සිට බාධක වලින් තොරව සාමුහිකව වැඩ කිරීමේ දුෂ්කරතා මතුවූ අවස්ථාද ඇතිවිය හැකිය. 


පියා ගෙදර සිට කාර්යාල කටයුතුකරන අතර  දරුවෙකු                                  තාක්ෂණික මෙවලමක් මගින් පාසල් කටයුතු කිරීම 

                                                           

එසේ වුවත් කල් යාමේදී මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා විකල්ප පිවිසුම් ආදේශ කර ගැනීමෙන් පසු දුෂ්කරතා  බොහෝ දුරට සමනය කරගත හැකි වනු ඇත. කෙසේ වෙතත් මෙම නව ප්‍රවේශයද නුදුරු අනාගතයේදීම කාගේත් ප්‍රසාදයට ලක්වන අත්‍යාවශ්‍ය ක්‍රමෝපායයක් වීමට බොහෝ ඉඩකඩ තිබේ.

ඉහත සඳහන් කරන ලද නව ක්‍රමෝපායයන් සියල්ලම පාහේ කුමන බාධක පැමිණියත් තම එදිනෙදා කටයුතු කරගෙන යාමේ වැදගත් කම නිසා එළිදක්වන ලද දේවල් වේ. ‘අවශ්‍යතාවය නව නිපැයුම්  මවයි’ (necessity is the mother of invention) යන ප්‍රස්තාව පිරුළ  මගින් අර්ථ ගැන්වෙන්නේද මෙම අදහසම වේ. තවමත් ඉතාමත් ලාබාල අවදියේ පවතින මෙම නව චින්තන සමුදායයන් අනාගතයට ගැලපෙන පරිදි තවදුරටත් සංශෝධනය වූ පසු ඉක්මනින්ම සමාජ ගතවනු නොඅනුමානය. කල්යාමේදී ඒවා එදිනෙදා ජීවිතයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය පිවිසුම් බව ප්‍රසාදයට ලක්වේ. 

මෙම ව්‍යසන සමයේදී ලොව පුරා දකින්නට ලැබුණු ජනතා ඇප කැපවීමද මෙහිලා සඳහන් කළ හැකි මිනිසාගේ සාර ධර්ම විදහා දැක්වීමකි. විශේෂයෙන්ම, සෑම රටකම පාහේ, වෛද්‍ය වරු සහ  විවිධ තරාතිරම් වල  සෞඛ්‍ය සේවක සේවිකාවෝ තම ජීවිත පවා පරදුවට තබා, කොරෝනා වසංගත මාරයා සමග පොර බදමින් සිටින ජනතාවට වෛද්‍ය පහසුකම් සැලසීමටත් නිසි ඇප උපස්ථාන කිර්මටත් නොපසුබටව ඉදිරිපත් වීම මහජන ගෞරවාදරයට පත්වී තිබේ. ශ්‍රී ලංකාව වැනි රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලී අයට අමතරව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියද වයිරස් වසංගතය මැඩපැවැත්වීමේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා විශේෂ මෙහෙවරක් කරමින්  සිටිති. මේ සියලු දෙනාටම වචනයෙන් හෝ කෘතගුණ දැක්වීම සියලුම පුරවැසියන්ගේ පරම යුතුකමකි.


දයාරත්න වීරසේකර  

 

4 comments:

  1. ලංකාවෙනම් මගුල් හා අවමගුල්වලට කරන විශාල වියදම අඩුවීම ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රදීප් (Pra Jay)
      ඇත්තටම අවමඟුලක් සඳහා විශාල ධනයක් සහ සම්පත් රාශියක් නාස්ති කරනුයේ බොහෝ දෙනෙකු තම "උසස් යයි සිතන" සමාජ මට්ටම පෙන්වීමට බවයි දකින්නට ලැබෙන්නේ. COVID19 වසංගතය මගින් සොබාදහම මිනිසාට යහපත් පැවැත්ම පිලිබඳ මාහැඟි පාඩම් රාශියක් තේරුම් කරදෙන බව විශ්වාස කළ හැකිය. මෙය 'හේතු ඵල ධර්මය' අනුසාරයෙන් විග්‍රහ කර බලන විට මිනිස් සංහතියටම ස්වභාවධර්මය විසින් කරනලද කෙණෙහිලි කිරීමක්ද කියාත් සිතන්නට හැකිය. ඉදිරියේදීවත් මිනිසාගෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් 'කෙණෙහිලි කිරීම' අනාගතයේදී 'දඬුවමක්' විය නොහැකිද?

      Delete
  2. හුඟක් හොඳ විවරණයක්.....හිතන්න ගොඩක් දේ තියෙනවා. මට පෞද්ගලිකව කියනවා නම් ද්‍රව්‍යමය දේට තිබු ආසාවල් මේ තත්වයේදී නැති වෙලා ගිය, ආභරණ ඇඳුම් වගේ. අවමගුල් හා මගුල් උත්සව සරල වීම කියලවත් කරගන්න බැරි දෙයක්. ඒත් යථා තත්වයට ආ දවසට ආයෙත් රැල්ලට හමදේම අමතක වේවි නේද සර්,

    ReplyDelete
  3. ස්තුතියි මාලිනි.
    පසුගිය දශක කිහිපය තුළදී මිනිසාගේ බල තන්හාව සහ එකිනෙකා පරයා යාමේ ඊනියා මානසික ස්වභාවය නිසා ක්‍රමක්‍රමයෙන් සිදූවූ බොහෝ අහිතකර දේ අපට දකින්නට ලැබුණි. මේ සමගම ඇබ්බැහි වූ තවත් ව්‍යසනයකි ඔරොත්තු නොදෙන අධි පරිභෝජන රටාව.මේවා නිසා අවසානය්දී පරිහානියට ලක්වූයේ පරිසරයයි. පරිසරය මෙහෙයවන සොබාදහම මිනිසාට 'ටොක්කක් ඇනීම' වැනි සුළු දඬුවමක් දීම පිණිස COVID19 පැමිණි බවයි මා සිතන්නේ. මෙයින් පාඩමක් ඉගෙන නොගතහොත් මිට වඩා දරුණු දඬුවම් අනාගතයේදී ලැබේදෝයි සැක සහිතය.
    මේ ස්වභාවික සිද්ධි දාමය 'හේතු ඵල ධර්මය' විය හැකි බව අළලා මා විසින් කලින් ලියන ලද සටහනක් පහත දිගුව (link) ඔස්සේ කියවන්න.
    http://dayawee2.blogspot.com/2021/04/blog-post.html

    ReplyDelete