ලෝකයේ සෑම අස්සක් මුල්ලකම සිටින සියලු ජීවීන්ටම, මේ වන විට පරිසර දූෂණය මහත් උපද්රව ගෙන දීමේ ව්යසනයක මට්ටමට පැමිණ තිබේ. ජීවීන්ගේ ජීව ක්රියාවලි සඳහා මූලික වන ශ්වසනය සඳහා අවශ්‍ය, ඔක්සිජන් වලට අමතරව අහිතකර වායු මෙන්ම වෙනත් විවිධ අංශු වලින්ද වායු ගෝලය පිරී පවතින බව දැන් දැන් හෙළිවෙමින් පවතී. මේවා අතරින් භයානක අංශු විශේෂයක් වශයෙන් හැඳින්වෙනුයේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් වේ.
ප්ලාස්ටික් සහ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්
‘ඇදෙනසුළු ගතිය’ යන අර්ථය ඇති elasticity නම් ඉංග්රීසි වචනයට බොහෝ දුරට අනුරූප, ‘ඇඹීමේ කටයුතු සඳහා යෝග්‍ය’ යන අර්ථය ඇති plasticity යන ඉංග්රීසි වචනයෙන් ‘ප්ලාස්ටික්’ (plastic) යන නාමය ලැබී තිබේ. අනාදිමත් කාලයක සිට පිළිම සහ ප්රතිමා නෙළීම සඳහාත් හැළි වළo තැනීමේදීත් භාවිත කර ඇති මැටි ස්වාභාවික ඇඹුම් ද්රව්යයකි. (moulding material). විසි වන ශත වර්ෂය මුල් කාලයේදී කාබනික රසායන විද්යාවේ බහු අවයවීක (polymer) සංයෝග හඳුන්වා දීම, ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේ මූලාරම්භයයි. දිගු කාබන් දාම සහිත, පොලිමර් සංයෝග වෙනත් විවිධ ද්‍රව්‍ය සමග මිශ්‍ර කිරීමෙන් විවිධ ගති ලක්ෂණ වලින් යුක්ත කෘතීම ද්‍රව්‍ය නිපදවා ගත හැකි විය. බොහෝ විට, අධික පීඩනය සහ ඉහළ උෂ්ණත්වය යටතේ ඒවායේ ඇති සුවිශේෂී මොලොක් සහ සුමට ලක්ෂණ නිසා ‘ප්ලාස්ටික්’ ලෙස නම්කළ මෙම කෘතීම ද්‍රව්‍ය, භාණ්ඩ ඇඹීමේ කාර්යයන් සඳහා ඉතාමත් යෝග්‍ය බව ප්රායෝගිකව දකින්නට ලැබුණි. ප්ලාස්ටික් ද්‍රව්‍ය වල සැහැල්ලු බව, කල් පැවැත්ම, නිෂ්පාදන පහසුව, මිල අඩු බව යනාදී කරුණු නිසා ඒවා ඉක්මණින්ම ජනප්රිය විය. මෙම ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය සඳහා පෙට්රෝලියම් වැනි ෆොසිල ඉන්ධන වල අඩංගු රසායන සංයෝග අමුද්‍රව්‍ය ලෙස පහසුවෙන්ම භාවිත කළ හැකි බවද සොයා ගන්නා ලදී
ලොව මුල්ම කෘතීම ප්ලාස්ටික් වන ‘බේක්ලයිට්’ (Bakelite) නමැති ද්රව්යය 1907 වර්ෂයේදී නිෂ්පාදනය කර තිබේ. මේ වන විට ‘පොලිඑතිලීන්’, ‘පොලිවීනයිල් ක්ලෝරයිඩ්’ (PVC) වැනි බහු අවයවීක නැතහොත් පොලිමර්, ප්ලාස්ටික් කර්මාන්තයේ බහුලව භාවිත වන සංයෝග වේ. දැනට ලොව පුරා නිෂ්පාදනය වන ප්ලාස්ටික් වලින් 30% ක් පමණ ඇසුරුම් ද්‍රව්‍ය ලෙස භාවිත කෙරේ. වෛද්‍ය ක්ෂේත්රයේ විවිධ උපකරණ සහ ශරීර අභ්යන්තර අවයවල ආදේශිත කොටස් බද්ධ කිරීමේදීත් විවිධ ප්ලාස්ටික් භාවිත කරනු ලැබේ. මෙයට අමතරව රථවාහන, ගෘහභාණ්ඩ සහ ක්රීඩා භාණ්ඩ නිෂ්පාදනය වැනි වෙනත් නොයෙකුත් කාර්යය සඳහාද පොලිමර් අත්‍යාවශ්‍ය අමු ද්‍රව්‍ය වී තිබේ.
ඇඟිලි තුඩක රඳවා ඇති විවිධ ආකාරයේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සමූහයක්
ඕනෑම ප්ලාස්ටික් වර්ගයක ඉතාමත් කුඩා කැබලි හෝ අංශු ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස දැක්විය හැකිය. යුරෝපීය රසායනික නියෝජිතායතනයේ (European Chemicals Agency) අර්ථ දැක්වීමකට අනුව මිලිමීටර් 5 ක ප්රමාණයට අඩු ඕනෑම ප්ලාස්ටික් කොටසක් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ගණයට වැටේ. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් දෙආකාරයකට පරිසරයට එකතුවේ.
ප්රාථමික ප්ලාස්ටික් කෙඳි, පබළු හෝ කැටිති - විවිධ කෘතීම රෙදි වර්ග හෝ වෙනත් එදිනෙදා ජීවිතයේදී භාවිත කරනු ලබන විවිධ කෘතීම භාණ්ඩ වලින් කෙලින්ම පරිසරයට එකතු වන මිමී 5 හෝ ඊට අඩු කොටස්
ද්විතීය ප්ලාස්ටික් අංශු - ප්ලාස්ටික් බෝතල්, ධීවර දැල්, ප්ලාස්ටික් මලු, මෛක්රෝ වේව් උදුන් සඳහා සකස් කළ උපකරණ ආදිය භාවිතයෙන් පසු, පරිසරයට එකතුවීමෙන් ඒවායේ ස්වාභාවික ක්ෂයවීම සහ හායනය නිසා වෙන්වන කොටස්
මේ දෙවර්ගයම පාංශු සහ ජලජ පරිසර වල එකතු වන අතර ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයේද විසිරී පවතී.
ප්ලාස්ටික් පරිසරයට එකතු වන්නේ කෙසේද ?
ඔබ ‘අම්ල වැසි’ ගැන දැනුවත් වී ඇතැයි සිතිය හැකිය. වායු ගෝලයේ ඇති සල්ෆර් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ට්ර්යිඔක්සහිඩ් වායු සාන්ද්රණය, අසාමාන්‍ය ලෙසින් වැඩිවූ විට, එම වායු වර්ෂා ජලයේ දියවී එහි pH අගය අඩු විම නිසා ආම්ලික ස්වභාවයක් ගනී. මෙසේ ආම්ලිකවූ ජලය පොළොවට වැටෙනුයේ අම්ල වැස්සක් ලෙසටය. මේ ආකාරයටම ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අධික ලෙස වායු ගෝලයට එකතුවීම නිසා නුදුරු අනාගතයේදී පෘථිවි තලය මත ‘ප්ලාස්ටික් වර්ෂා’ පතිත වීමද සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේ.
ප්ලාස්ටික් පරිසර දූෂණය අද මුළු ලොවටම තදින් බලපානු ලබන උග්‍ර ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඉතා කාර්යක්ෂම ක්රමවේද භාවිත නොවන ආසියානු සහ අප්රිකානු මහාද්වීපවල සංවර්ධනය වෙමින් පවතින රටවල, ඉවත දැමෙන ප්ලාස්ටික් නිෂ්පාදනය කෙතරම් විශාල වීද යත්, ඉවත දමන එම අපද්‍රව්‍ය පාලනය කිරීම අබිබවා ගොස් ප්ලාස්ටික් කඳු ගොඩ නැගෙමින් තිබේ.
පරිසරය සමස්තයක් වශයෙන් ගත් විට, එහි ‘ඉවත’ ලෙස නම් කළහැකි කිසිම ඉඩකඩක් නොමැතිය. මේ නිසා අපද්‍රව්‍ය කළමනාකරණයේදී කළ යුතු හොඳම ප්රතිකර්මය ‘ඉවත දැමීම’ නොව ප්රතිචක්රීකරණයයි. භාවිතය අවසන් වන ප්ලාස්ටික් කසලවල, විවිධ රසායන ද්‍රව්‍ය සහ දෘඪතාවය සඳහා මිශ්‍ර කරනු ලබන වෙනත් ද්රව්යද අඩංගු වේ. මේ නිසා ප්ලාස්ටික් භාණ්ඩ විවිධ සංයුති ස්වරූප දසදහස් ගණනකින් යුක්ත වේ. මෙම හේතුව නිසා, ඒ සියල්ල ප්රතිචක්රීකරණ ක්රමවේද මගින් පමණක් මනා කළමණාකරණයකට යොමු කිරීම සඳහා සුදුසු එකම පිළිවෙතක් අනුගමනය කිරීමද කළ නොහැකිය. මෙය අති මහත් කළමනාකරණ ගැටළුවකි.
පෙට්රෝලියම් වැනි ෆොසිල ඉන්ධන ආශ්රීතව ප්ලාස්ටික් නිෂ්පාදනය ආරම්භ කර, ශත වර්ෂයකට වඩා වැඩි කාලයක් ගතවී නොමැත. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙන් පසු ආරම්භ වූ නුතන මිනිස් ජීවන රටාව අනුව, ප්ලාස්ටික් ද්‍රව්‍ය රහිත ජීවත් වීමක් ගැන සිතීමටවත් නොහැකි තරමට ඒවා මිනිස් ක්රියාකාරකම් සමග තදින් බැඳී පවතින බව නොරහසකි. ලෝක ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් 40% පමණ එක් වරක් පමණක් භාවිත කර අත්හැර දමන, ආයු කාලය මිනිත්තු කිහිපයක් පමණක් වන ඇසුරුම් හෝ ‘සිලි සිලි බෑග්’ වීමද තවත් ගැටළුවකි. එහෙත් මේවා වසර ගණනාවක් දිරාපත් නොවී පරිසරයේ රැඳී සිටී.
‘එතිලීන්’ මොනොමරයෙන් ‘පොලිඑතිලින්’ පොලිමරය සෑදෙන ආකාරය
අප නිරතුරුවම භාවිත කරන ‘සිලි සිලි බෑග්’ හෝ shopping bag යන නමින් හඳුන්වන මලු විශේෂයේ රසායන විද්යාත්මක නාමය පොලිඑතිලීන්ය. එම නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතින එතිලීන් (CH2 = CH2) හයිඩ්රෝකාබනයයි. මෙම සංයෝගය මොනොමරයකි (monomer). මෙවැනි සරල එතිලීන් අණු ලක්ෂ සංඛ්යාත ගණනක් රසායනිකව එකට බැඳ එකතු කිරීමෙන් පොලිඑතිලීන් නිෂ්පාදනය කෙරේ. ඉහත සටහනෙහි දැක්වෙනුයේ එතිලීන් අණු විශාල සංඛ්යාවක් එකට බැඳීම මගින් අති විශාල දාමයක් සහිත පොලිඑතිලීන් අණුවක් සෑදෙන ආකාරයයි. මෙය පොලිඑතිලීන් පොලිමරයකි (polymer). මෙහි එතිලීන් (CH2 = CH2) අණු n = 105 ක් නැතහොත් අණු 100,000 ක් පමණ එකට බැඳී තිබේ. මෙවැනි ප්ලාස්ටික් වර්ගයක් වුවද ස්වාභාවිකව දිරාපත් වීම සඳහා වසර සිය ගණනක් ගත විය හැකිය.
ලොව මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන සියලුම ප්ලාස්ටික් භාණ්ඩ, උපකරණ සහ මෙවලම් ආදියෙන් හරි අඩක් පමණ නිෂ්පාදනය කර තිබෙන්නේ පසුගිය වසර 15 තුළදීය.
Science News සඟරාවේ පළකර තිබූ ලිපියකට අනුව 1950 වර්ෂයේදී ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනය ටොන් මිලියන 2.3 ක් වූ අතර, 2015 වසරේදී වාර්ෂික නිෂ්පාදනය ටොන් මිලියන 448 ක් වී තිබේ. ලෝකයේ මෙම නිෂ්පාදන ධාරිතාව 2050 වන විට මෙය මෙන් දෙගුණයක් වියහැකි බවට පෙරැයීමක්ද කර තිබේ.
සෑම වසරකදීම මෙම ප්ලාස්ටික් තොගයෙන් ටොන් මිලියන අටක් පමණ මහා සාගරයට එකතු වන බවටද ගණන් බලා තිබේ. මෙසේ කසල ලෙස එකතුවන විවිධ ප්ලාස්ටික් ද්‍රව්‍ය එකිනෙකට වෙනස් දැඩි බවකින් යුක්තවේ. මෙයින් සමහර ද්‍රව්‍ය ස්වාභාවිකව දිරා යාම පිණිස වසර 400 පමණ ගතවන බවද නිගමනය කර ඇත.
ප්ලාස්ටික් ලොව පුරා විසිරීම
පරිසරයේ ‘ඉවත’ යනුවෙන් ස්ථානයක් නොමැති වුවත් මිනිසා ජන්මයෙන්ම හුරු පුරුදු වී සිටිනුයේ තමන් විසින් භාවිත කර ඉතිරිවන දේ ’කසල’ ලෙස සැලකීමටය. මෙම කසල බොහෝවිට නතර වනුයේ පොළොවේ භුමිය මත වේ. මෙයින් වැඩි කොටසක් ගංගා, ඇළ, දොළ සහ වෙනත් ජල මාර්ග ඔස්සේ ගොස් අවසානයේදී සාගරයට එකතුවේ. බොහෝ විට මුහුදු වෙරළෙහි දකින්නට ලැබෙන මෙම අපද්‍රව්‍ය සාගර දියවැල් වලට හසුවී දියඹට සේන්දු වී වෙනත් ප්රදේශ වලටද සංක්රමණය වේ. ඉහත දක්වන ලද සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවක් මේ සම්බන්ධ කදිම උදාහරණයක් ගෙනහැර දක්වයි.
මේ තොරතුර ලැබෙනුයේ, නවසීලන්තය සහ චිලි රාජ්යය අතර හරිමැද පිහිටා තිබෙන ජනශුන්‍ය ඉතා කුඩා හෙන්ඩර්සන් දූපතෙනි. එම වාර්තාවට අනුව මෑතදී කර ඇති අධ්යයනයකදී හෙළිවී ඇති ආකාරයට, එම දුපතෙහි මුහුදු වෙරළේ රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, දකුණු අප්රිකාව, ජපානය සහ චීනය යන රටවල නිෂ්පාදිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමුවී තිබේ. මහා සාගරය මැද හුදකලා වී ඇති ජනශුන්‍ය මෙවැනි දූපතකට වුවද ප්ලාස්ටික් මෙසේ වින කටින්නේ නම් අනිකුත් රටවල් වල ඉරණම කෙබඳු විය හැකිද?
ජනශුන්‍ය හුදකලා ‘හෙන්ඩර්සන්’ දුපතේ මුහුදු වෙරළෙහි ගොඩ ගැසී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය
සාගරයට පතිත වන විවිධ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හිරු එළිය, සුළඟ, රළ පහර වැනි හේතු නිසා ක්රමක්රමයෙන් කුඩා කැබලිවලට කැඩී බිඳී යාමට පටන් ගනී. මෙසේ කැඩී ගොස් හටගන්නා මිලිමීටර් පහකට වඩා අඩු කොටස් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස ගිණිය හැකිය. මෙම අංශු සාගරයේ සෑම ජල මට්ටමකම පාහේ දකින්නට ලැබේ. එපමණක් නොව ගොඩ බිම වුවද, හිමාලය කඳු ශිඛර වලසිට, ලොව ගැඹුරුම සාගර පතුල වන වන මරිනා අගාධය (Marina Trench) දක්වා සෑම අස්සක් මුල්ලක් නොහැර මෙම ප්ලාස්ටික් අංශු තිබෙන බව අනාවරණය වී තිබේ. තවදුරටත් කුඩා කැබලි වලට කැඩී වෙන්වන මෙම අංශු ඉතා සියුම් කෙඳි වශයෙන් අපගේ පානීය ජලයේ සහ අප ශ්වසනය කරන වාතයේත් බහුලව සැරි සරමින් තිබෙන බව අධ්යයයන වලින් හෙළිවී ඇත.
ප්ලාස්ටික් වලින් ජලජ සහ වන ජීවීන්ට සිදුවන හානි.
මිනිසාට මෙන්ම වෙනත් ලක්ෂ සංඛ්යාත ජීවීන්ටද ප්ලාස්ටික් නිසා මරණයට පවා ගොදුරු වීමට සිදුවී තිබේ.
මුහුදේ පාවෙමින් තිබුණ අත්වැස්මක් මත්ස්‍ය උගුලක් වී ඇති ආකාරය
සාගරයේ මත්ස්යයින් සහ වෙනත් විවිධ සතුන්ද ජලාශ්රීත පක්ෂීන්ද බොහෝ විට මෙසේ පීඩා විඳිති. දැනට හඳුනාගෙන ඇති පරිදි, ජලජ ජීවී විශේෂ 700 පමණ මෙම උවදුරට භාජන වී සිටිති. සියලුම මුහුදු පක්ෂී විශේෂ වල පාහේ සාමාජිකයෝ ප්ලාස්ටික් ගිල දමන බව නිරීක්ෂණය කර තිබේ.
මත්ස්යයින්, ඉස්සන්, කකුළුවන් සහ මුහුදු බෙල්ලන් වැනි ජලජ විශේෂ සියයක පමණ ශරීර ව්යුහය තුළ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කෙඳි තිබෙන බව අනාවරණය වී තිබේ. මෙම සමුද්‍ර ජීවීන්ගේ මාංශය මිනිසාගේ ප්රියතම ආහාරයක් නොවේද? මේ නිසා මිනිස් ශරීර පද්ධති වලටද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සංක්රමණය වීම කිසිසේත් වැළක්විය නොහැකිය.
වෙරළ ආශ්රිතව ජිවත්වන පක්ෂියෙකුගේ කූඩුව අසල ගොඩගැසී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය කන්දක්
අතහැර දමන ලද ප්ලාස්ටික් ධීවර ආම්පන්න, ප්ලාස්ටික් බෝතල් සහ ඇසුරුම් ද්‍රව්‍ය සමහර අවස්ථාවලදී ජලජ සතුන්ගේ උගුල් බවට පත්වේ. කුඩා මත්ස්යයින්ට අමතරව මේවායේ පැටලෙන සීල්, තල්මසුන් සහ කැස්බෑවන් වැනි විශාල සත්තු පවා බොහෝ විට නිරාහාරව මිය යති. තවත් සමහර අවස්ථාවලදී, ගිල දැමූ ප්ලාස්ටික් ද්‍රව්‍ය ආහාර මාර්ගයේ සිරවීම නිසා ආහාර ගැනීමට නොහැකිව මියයන ජලජ සතුන් ගැනද වාර්තා වී තිබේ.ගොඩබිම වනාන්තර වල ජීවත් වන, අලි ඇතුන්, ශීබ්රා, ජිරාෆ්, කොටින්, ඔටුවන්,ගවයන් සහ වෙනත් ක්ෂීරපායින්ද ප්ලාස්ටික් ද්‍රව්‍ය ආහාරයට ගෙන තිබෙන බවත් සමහර අවස්ථා වලදී ඒ නිසාම ඔවුන් මරණයට පත්වී ඇති බවද ලෝකයේ බොහෝ රටවලින් හෙළිවී තිබේ.
ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්: සාගරයෙන් වායු ගෝලයට
සාගරයට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කිරීම දුෂ්කර කාර්යයකි. වෙරළ ආසන්නයේ සහ නොගැඹුරු මුහුදේ ගොඩගැසෙන ප්ලාස්ටික් යම්කිසි යාන්ත්රික ක්රමයකින් එකතු කර ගත හැකි වූවත්, දියඹේ ඒ ඒ ජල මට්ටම් වල ඉල්පෙමින් පවතින ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් එසේ ඉවත් කළ නොහැකිය. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් විසිරි යාම සම්බන්ධව The Proceedings of the National Academy of Sciences නම් ප්රකාශණයක පළකර තිබෙන තොරතුරකට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ප්රදේශයේ වායු ගෝලයේ පමණක් එක් වරකට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ටොන් 1100 ක් පමණ රැඳී තිබෙන බව, විද්යාත්මක ආදර්ශ (models) සහ ගණිත කර්ම උපයෝගී කර ගෙන ගණනය කර තිබේ.
මෙතරම් විශාල ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ප්රමාණයක් වාතයට එක්වන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ප්රකාශණයට අනුව, මෙයින් සැලකියයුතු ප්රතිශතයක් වාතයට මුසු වනුයේ මහා සාගරයෙන් බව අනුමාන කරයි. ගංගා, ඇළ, දොළ ඔස්සේ මුහුදට පිවිසෙනු ලබන ප්ලාස්ටික් බෑග්, ප්ලාස්ටික් වතුර බෝතල් ආදී ද්‍රව්‍ය කල්යාමේදී මිලි මීටර් පහකට වඩා කුඩා ක්‍ෂුද්‍ර අංශු බවට කැඩී වෙන්වේ. ගෘහස්ත රෙදි සේදීමේ යන්ත්‍ර වලින් නික්මෙන අපද්‍රව්‍ය වල තිබෙන, රෙදිපිළි වලින් වෙන්වී යන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කෙඳි මෙන්ම වැසිකිලි, කැසිකිලි වලින් ගලායන අපද්‍රව්‍ය වලද අඩංගු විවිධ අද්‍රාව්‍ය කෙඳි වර්ගද ජලඅපවහන පද්ධති ඔස්සේ ගොස් අවසානයේදී මුහුදු ජලයට මිශ්‍ර වේ. දශක කිහිපයක් තිස්සේ පැවති මෙම ක්රියාදාමයේ අහිතකර බව දැන් දැන් හෙළිදරව් වෙමින් තිබේ. මීට අමතරව නගරවල මළඅපවහන පද්ධති වල කිඳා බසින ගොහොරු මඩ (sludge) ඉඩම් ගොඩ කිරීමට සහ කෘෂිකාර්මික කටයුතු වලදීද භාවිත කෙරේ. මේවායේ ඇති ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කෙඳි විශාල වශයෙන් පසට එකතු වේ. වගාකටයුතු වලදී බිම් කෙටීම හෝ පස් පෙරලීම සිදු කරන විට පිටවන දුවිලි සමගද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයට එකතුවේ.
මිනිසා විසින් ස්වකීය අවශ්යතාවයන් සඳහා නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් වල අවසාන ඵලය වන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මේ ආකාරයට නිරතුරුවම සාගරයට එකතුවීම නිසා, සාගරයේ ඒවා දරාගැනීමේ උපරිම හැකියාව, මේ වන විට ඉක්ම යමින් පවතී. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කොර්නෙල් විශ්ව විද්යාලයයේ, නැතලි මාවෝල්ඩ් විද්යාඥවරිය ඉතා වැදගත් කරුණක් මෙසේ හෙළිදරව් කර තිබේ.
“ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්, වෙනත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙන් වෙරළට ගොඩ නොගැසේ. රළ පහර සහ හමායන සුළඟ නිසා, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අන්තර්ගත මුහුදු ජලය, ජල බිඳිති ලෙස වාතයට මුසුවේ.මෙම බිදිති වල ඇති ජලය වාෂ්ප වී ගිය පසු, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයේ ඉතිරි වේ. සුළඟත් වාතයේ සංවහන ධාරාත් ඔස්සේ විසිරි යන මෙම ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු, ගොඩබිම සහ සාගර සිමා මායිම් ඉක්මවා ගොස් වායු ගෝලය පුරා පැතිරී යයි. දින කිහිපයක් වාතයේ රැඳී පවතින මෙම අංශු ‘ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් වර්ෂා’ ලෙස නිරතුරුවම පෘථිවි තලය මත පතිත වෙමින් තිබේ. වරක් ගොඩබිම සිට මුහුදට සංක්රමණය වූ ප්ලාස්ටික්, එහිදී ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් බවට පරිවර්තනය වී, වාතයට මුසුවී නැවතත් පොළොවටම පතිත වීම අනාගත මහා ව්යසනයක පෙර නිමිත්තක් ලෙස සැලකිය හැකිය. මෙම නිරීක්ෂණ වලට අනුව, පෘථිවි භුමිය, සාගරයෙන් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අපනයනය කිරීමේ නියෝජිතායතනයක් ලෙස නම් කිරීමද නිවැරදිය.” වාතයේ අන්තර්ගත ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සම්බන්ධයෙන් කරන ලද ඉහත සඳහන් කළ පර්යේෂණ වලින් අනාවරණය කර ඇති ආකාරයට සාගරයෙන් වායු ගෝලයට එකතු වනුයේ, සමස්ත ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ප්රමාණයෙන් 11-16% පමණක් බව නිගමනය කර තිබේ. එසේ නම් ඉතිරි ප්රමාණය වාතයට මුසු වන්නේ කෙසේද? මෙයින් වැඩි කොටසක් හටගන්නේ නාගරීකරණය, ප්රවාහන කටයුතු වැනි වත්මන් සංවර්ධන ක්රියාකාරකම් නිසා බව පැහැදිලිවේ. මෙම සංවර්ධන කටයුතු බොහොමයක් තිරසාර නොවන්නේද යන සැකයක්ද දැනට මතුවෙමින් පවතී.
ප්රවාහණ කටයුතු ආශ්රිතව හටගන්නා ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්
අද ලොව සෑම රටකම පාහේ මගී සහ භාණ්ඩ ප්රවාහනය සඳහා විවිධ ආකාරයේ රථවාහන භාවිත වේ. දුම්රිය, මුහුදු යාත්රා සහ අහස් යානා හැර අනිකුත් සියලුම රථවාහන ධාවනය කරනුයේ රබර් ටයර් රෝද මත වේ. ස්වාභාවික ද්රව්යයක් වන රබර් වල ඇති රසායනික සංයෝගයද කලින් සඳහන් කර ඇති ආකාරයට දිගු කාබන් දාමයක් සහිත ‘අයිසොප්රින්’ (isoprene) පොලිමරයකි. රථවාහන භාවිතයේදී ඒවායේ රබර් ටයර් කලකදී ගෙවී යන බව ප්රකට කරුණකි. මෙසේ ගෙවී යාමේදී රබර් අංශුද වායු ගෝලයට එකතුවේ. ස්වභාවික රබර් සංයෝගය ටයර් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේදී එහි දැඩි බව පවත්වාගැනීම පිණිස තවත් නොයෙකුත් සංයෝගද ආදේශ කරගනු ලැබේ. මේ නිසා අවසානයේදී රබර් ටයර් වලින් ගෙවී යන කොටස්ද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස ගිණිය හැකිය. මේ ආකාරයට ඕස්ට්රේලියානු පරිසර අමාත්යාංශයේ අනුග්රහයෙන් සකස් කරන ලද වාර්තාවක මෙසේ දක්වා තිබේ.
මහා මාර්ග වල ධාවනයේ යෙදෙන වාහනවල, රබර් ටයරයක භාවිත කාලය අවසන් වන විට ටයරයේ බරින් 15% ක් පමණ ගෙවී යයි.
මේ අනුව 2019 වර්ෂයේදී පමණක් ඕස්ට්රේලියාවේ රබර් ටයර් ටොන් 533,000 ක් පමණ භාවිත කර ඇති අතර, මෙයින් ගෙවී ගොස් ඇති රබර් අංශු ටොන් 80,000 පමණ පරිසරයට මුක්තවී තිබේ.
මේ ආකාරයට විමසා බලන විට, ඕස්ට්රේලියාවේ මෙන් දස ගුණයක් හෝ ඊටත් තරමක් වැඩි රබර් අංශු ප්රමාණයක් ගෝලීයව පරිසරයට එකතු වන බව අනුමාණ කළ හැකිය. මෙය වසරකට ටොන් 800,000 කට වැඩිවිය හැකිය. මෙයද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් පරිසර දූෂණයේ තවත් පැති කඩක් නොවන්නේද? (කෙසේ වෙතත් මෑතදී කර ඇති පර්යේෂණයකට අනුව රබර් පොලිමර වියෝජනය කළහැකි ක්ෂුද්රජීවීන් සිටින බව සොයාගෙන තිබේ)
වාහන ගමනාගමනය සඳහා මහාමාර්ග භාවිතයේදී, මහාමාර්ග මතුපිට අතුරා ඇති කොටස්ද ක්රමක්රමයෙන් ගෙවී යයි. මෙහිදී සිදු වනුයේ, මහා මාර්ගයේ අතුරා ඇති තාර හෝ ‘ටාර් මැට්’ (tar-mat) ලෙස හඳුන්වන මිශ්රණයේද අඩංගු නොයෙකුත් කෘතීම ද්‍රව්‍ය ක්‍ෂුද්‍ර අංශු වශයෙන් මුදා හැරීමයි. මේවාද බොහෝ දුරට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ගණයේ ලා සැලකිය හැකිය. මෙයින්ද සෑහෙන ප්රතිශතයක් අවසානයේදී එකතු වන්නේ පරිසරයටය.
ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මගහැරිය යුත්තේ ඇයි ?
ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් නිසා මිනිසාට සිදුවිය හැකි උපද්රව පිළිබඳව මෙතෙක් පුළුල් අධ්යයනයක් කර නොමැත්තේය. ජගත් වනජීවී අරමුදල (World Wildlife Fund -WWF) අනුග්රහයෙන් ඕස්ට්රේලියාවේ නිව්කාසල් විශ්ව විද්යාලයයේ මෑතදී කරන ලද අධ්යයනයකට අනුව සෑම කෙනෙකුටම, සතියකට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ග්රෑම් පහක් පමණ ආහාර මගින් ශරීර ගතවන බව සොයා ගෙන තිබේ. එසේම 2020 ජුනි මාසයේ කරනලද අධ්යයනයක් අනුව ඇමෙරිකානු වැසියෙකු වසරකදී සිය ආහාර, බීමවර්ග සහ ශ්වසනය මගින් වසරකදී ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 74,000 ක් පමණ නොදැනුවත්වම තම ශරීරයට ඇතුළු කර ගන්නා බවද හෙළිවී තිබේ.
ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ශරීර ගත වීම කිසිසේත් සෞඛ්යයට හිතකර විය නොහැකිය. එසේ වුවද මෙම අහිතකර ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මගහැර මෙලොව ජීවත්වීමද අසීරු විය හැකිය. මේවා නිසා සිදුවිය හැකි උවදුරු වලින් තරමක් දුරට හෝ වැළකීම සඳහා අප විසින් අනුගමනය කළයුතු පහසු පිළිවෙත් කිහිපයක් මෙසේය.
හැකි තරම් දුරට වෙළඳපලේ ඇති බෝතල් කළ ජලය පානය කිරීමෙන් වැළකීම. සාමාන්යයෙන් නළ ජලයේ තිබෙන ප්ලාස්ටික් අංශු මෙන් දෙගුණයක් බෝතල් කළ ජලයේ ඇති බව පරීක්ෂණ මගින් සනාථ වී තිබේ.
කිසිවිටක ආහාර ප්ලාස්ටික් බඳුන්වල දමා රත් නොකරන්න. ප්ලාස්ටික් භාජන පිඟන් සේදීමේ යන්ත්රයක දමා සේදීමෙන් වලකින්න. ප්ලාස්ටික් රත්කිරීමේදී සියුම් අංශු ආහාර වලට මිශ්‍ර වේ
ප්රතිචක්රීකරණ සංකේත ‘3’ , ‘6’ සහ ‘7’ දරණ ප්ලාස්ටික් ඇසුරුම් භාජනවල කිසිවිටෙකත් ආහාර වර්ග අසුරා නොතබන්න. මේවායේ වෙන වෙනම phthalates, styrene සහ bisphenols යන රසායන ද්‍රව්‍ය අඩංගු වේ.
හැකිතරම් දුරට නැවුම් ආහාර ගන්න. ප්ලාස්ටික් ඇසුරුම් වල බහා ඇති ආහාර වලට වඩා මේවා ප්‍රවේශම් සහිතය.
නිවසෙහි දූවිලි පතිත වීම හැකිතරම් දුරට අඩුකර ගන්න. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු දූවිලි සමග පහසුවෙන් බැඳී පවතී. රික්ත ශෝධක යන්ත්‍රයක් (vacuum cleaner) භාවිතයෙන් දූවිලි ඉවත් කිරීම ඵලදායී වේ.
එක් වරක් පමණක් භාවිත කෙරෙන පොලිතීන් බෑග්, බීම බට, ජල බෝතල්, හැඳි ගෑරුප්පු වැනි දේ සම්පුර්ණයෙන්ම අත්හැර දැමීම.
අත්‍යාවශ්‍ය විට පමණක් සරල භාණ්ඩ දැමීම සඳහා ගැලපෙන පරිදි, කපු රෙදි බෑගයක් පාවිච්චි කිරීම.
දයාරත්න වීරසේකර dayawee2@yahoo.com
May 2021
No comments:
Post a Comment