Tuesday 22 September 2020

විශ්‍රාමය යළි පිබිදීමක් කරගත හැකිද ?

වයස හැට පසුවීම නිසා  හෝ සේවයෙන්  විශ්‍රාම ලැබූ පසු,  ඔබට  යළිත්  සුන්දර ජීවිතයක් ආරම්භ කළ හැකිද? 

එසේ කළ හැකිය.


එහෙත්  එය සැලසුම් කරගැනීම ඔබගේ කාර්ය භාරයයි. බොහෝ අයට වයස්ගත වනවිට විවිධ සිත් තැවුල් වලට මුහුණ දීමට සිදුවේ. සෞඛ්‍ය තත්ත්වය  පිරිහීම සහ  අනාරක්ෂිත භාවය පිලිබඳ සිතිවිල්ල   මෙයට ප්‍රධාන වේ. එසේම “හිටියා වැඩියයි” තමන්ම සිතන වැඩිහිටියන්ට  ඔවුන්ගේ අදහස් උදහස් වලට නිසි ප්‍රතිචාර නොලැබීමද සිත්  තැවුල් වලට හේතුවක් විය හැකිය. එහෙත් මෙවැනි සිතිවිලි ගැන උපේක්ෂාවෙන් බලා  තමන්ගේ තරුණ කාලයත්, අද සමාජයත් අතර ඇති පරම්පරා පරතරය (generation gap)  සහ විශේෂයෙන්ම තාක්ෂණ දැනුම් පරතරය (technological gap)  නිසා තමන්ට ඇතිවන සීමාකාරී සාධක අමතක කළ යුතු වේ. මෙහිදී, ‘නොවෙනස් වන එකම දේ, වෙනස් වීම’ බව  මෙනෙහි කරමින් ජීවිතය ගැන  ධර්මානුකුලව තේරුම් ගනිමින් ඒවායේ  හරයන්   කෙරෙහි දැඩි අවධානයක් යොමු කර සැනසුම් සුවයක් ලබාගත  හැකිය.


කෙනෙකුට වයස හැට පැනීමෙන් පසුව හෝ විශ්‍රාම ගැනීමෙන් පසුව, ප්‍රසන්න දිවි පෙවෙතක් ගත කරමින් සතුටින් සිටීම  සඳහා අනුගමනය කළහැකි  පිවිසුමක්  මෙසේ සටහන් කරමි. 


  1. “මම වයස්ගත කෙනෙකු වෙමි” යයි කිසිවිටක කියන්නට හෝ සිතන්නට එපා! 


ඕනෑම කෙනෙකුගේ  ‘වයස’ අවස්ථා තුනක්  ලෙස හඳුනාගත හැකිය. මේවා නම්: ජෛවීය වයස, කාලානුක්‍රම වයස සහ මානසික වයස වේ.

ජෛවීය වයස: කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වා, බොහෝ පෞද්ගලික ලියකියවිලි වල සටහන් වන වයසයි. මේ ගැන අපට කිසිම පාලනයක් නොමැත.

කාලානුක්‍රම වයස: නිගමනය වනුයේ කෙනෙකුගේ සෞඛ්‍ය තත්වය, පෝෂණය, ව්‍යායාම් ලැබීම, ප්‍රසන්න භාවය සහ යහපත් සහ ගැලපෙන ජීවිත ක්‍රියාකාරකම් මත වේ. මෙය අපට ධනාත්මකව සැලසුම් කර ගත හැකිය.

මානසික වයස:  මෙය නිර්ණය වනුයේ තමන්  කෙතරම් වයස් ගත දැයි ඔබ සිතන ආකාරයටය. ධනාත්මක සිතුවිලි, ක්‍රියාකාරී දිවි පෙවෙත, ශුභවාදී ආකල්ප ආදිය මගින් මානසික වයස බොහෝ දුරට ආපසු හරවා ගත හැකිය. 


  1. ඔබගේ සෞඛ්‍යය සඳහා  ප්‍රමුඛතාව දීම. 


ඔබ ඔබගේ දරු මුණුපුරන් හට ආදරයක් සහ ලැදියාවක් දක්වන්නේ නම්, ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු වේ. මෙසේ කිරීම පිණිස,  ඔබගේ යහපත්  සෞඛ්‍ය තත්ත්වයට  ප්‍රමුඛතාව දිය යුතුය. එවිට, ඔබ ඔවුනට ‘බරක්’ නොවනු ඇත. 

මේ ආකාරයට  ඔබ ඔවුන්ගේ ප්‍රිය මනාප සුමිතුරෙකු / සුමිතුරියක විය යුතුය. මෙසේ කිරීම සඳහා 

කලට වේලාවට වෛද්‍ය උපදෙස් ගැනීම, වෛද්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සහ නිර්දේශිත ඖෂධ නියමිත ආකාරයට  නොකඩවා ගතයුතුය.

හැකියාවක් ඇතොත් සෞඛ්‍ය රක්ෂණයකටද  දායක වන්න.  


  1. මිල මුදල් ගැන සැලකිලිමත් වීම 


ජීවිතයේ  මූලික අවශ්‍යතා සපුරාගැනීම පිණිසත්, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහාත්, පවුලේ ගෞරවය රැක ගනිමින් සුරක්ෂිත භාවයද ළඟාකර ගැනීමට මිල මුදල් අවශ්‍යය.  

හරි හම්බ කරන කාලයේ ලැබෙන තම ආදායමෙන් කොටසක් ඉතිරි කළ යුතුය. බෞද්ධ දර්ශනයේ (සිඟාලෝවාද සූත්‍රයේ)    දැක්වෙන පරිදි, කෙනෙකු තම ආදායමෙන් හතරෙන් කොටසක්වත්  අනාගතය සඳහා ඉතිරි කිරීම නුවණට හුරුය.  

කිසිමවිටක ඔබගේ හැකියාව සහ සීමාව ඉක්මවා වියදම් නොකරන්න.

ඔබ රැකබලා ගැනීම සඳහා ඔබගේ දරුවන් ඉදිරිපත්වන්නේ නම් එය මහත් ආශීර්වාදයකි. 

එසේ වුවත්, ඔබගේ අවශ්‍යතා සඳහා ඉතිරි කරගත් මිල මුදල් තිබිම  එයට  මහත් පිළිසරණක් වන්නේය.

ඉතිරි කළ මුදල් තිබීම  භාග්‍යයක් වුවත්, එය යම්කිසි සීමාවක තබා ගැනීමෙන්, වයස්ගත වීමේදී ඇතිවන  අවශ්‍යතා සඳහා නොමසුරුව මුදල් වියදම් කළ හැකිය. 


  1. ටිකෙන් ටික  බැඳීම් වලින්  අත්මිදීම.


දරු, මුනුපුරු. මිනිපිරියෝ ඔබට මහත් සැනසුමක් ගෙන දෙන අය වෙති. ඔව්හු තවමත් දිවිමග ආරම්භයේ හෝ එහි මඳ  දුරක් ගිය අය වෙති. 

ඔවුනට ඔබගේ සෙනෙහස මෙන්ම, ඔබටද ඔවුන්ගේ සෙනෙහස අවශ්‍යය. 

එහෙත් දිවිමග අවසාන ඉසව්වේ සිටින ඔබ, එම සෙනෙහස බැඳීමක් කර නොගැනීමට උත්සාහ කළ යුතුවේ.

ඔබ වයස මුහුකුරා ගොස් සිටියද,  නවීන ලෝකයේ බොහෝ දේ ඔවුහු  ඔබට වඩා දනිති. මේ නිසා ඔවුන් සමග අනවශ්‍ය වාද විවාද වලට පෙළඹීම නොමනා දෙයකි. 

සමහරවිට ආචාර ධර්ම වැනි අදහස් වලින් ඔබ ඉදිරියෙන් සිට දිනුම ලබාගත හැකිය. එහෙත් ඒ මගින් සබඳතා ව්‍යාකූලත්වයක් ඇතිවන්නේ නම් එය ඔබට පාඩුවකි.

මේ නිසා සෙනෙහස උපරිමයෙන් දීමට සහ ලබාගැනීමට උත්සාහ කරන්න. 


  1. ඔබට ඉතිරිව ඇති කාලය ඉතා අගනේය.


උදාවන සෑම දිනයක්ම අලුත් දිනයක් ලෙස සිතන්න.

“ඊයේ අවලංගු චෙක් පතකි. අද අත්පිට මුදල්ය. හෙට පොරොන්දු මුදලක් පමණකි” මෙම පාඨයේ අර්ථය අනුව සිතන්න.

එසේම,“ඊයේ ඉතිහාසගතය.  හෙට අභිරහසකි. සත්‍යය අද පමණකි.”  මෙම යථාර්ථයද මෙනෙහි කරන්න. 

තමන්ගේ යල්පැනගිය ජයග්‍රහණ  ගැන උදම්  අනමින් අනාගතය පුරෝකථනය කිරීමෙන් වලකින්න.

දිවිමගෙහි සිදුවන වෙනස් වීම් ‘සත්‍යය’ බව පමණක් මෙනෙහි කරමින් එයට අනුකූලතාවය දක්වන්න.


  1. සමාජයේ නව නැඹුරුව සහ දැක්ම ගැන සංවේදී වීම.  

 

නව තාක්ෂණයේ මහිමයෙන් ලොවපුරා මිනිස් ජීවන රටා සහ චින්තනය විවිධ ආකාරයට වෙනස්  වෙමින් පවතී. ‘වෙනස්වීම’ සදාකාලික ධර්මතාවයකි.

මෙය වැඩිහිටි අපට පිටුදැකිය නොහැකිය. අපටද වෙනස්වන තාලයට ‘නැටීමට’ සිදුවේ.

වෙනස් වීමේ ප්‍රසන්න දෙයට හිස නමමින් සතුටු වීමට උත්සාහ කරමු.

අප දරු මුණුපුරන් නව තාක්ෂණයේ ප්‍රවීණ හරඹ කරුවන් වී තිබීම ගැන අපගේ ප්‍රසාදය පළකරමු.


  1. ආත්මාර්ථකාමී බවෙන් මිදීම.


මිනිසා ස්වභාවයෙන්ම ආත්මාර්ථ සිතුවිලි සහිත කෙනෙකි. අපට දියුණුව සඳහා අතහිත දුන් අය කෙරෙහි භක්තියක් තිබිය යුතු බව සත්‍යයකි. කෙනෙකුට  උපකාරයක් කිරීමෙන් මානසික තෘප්තියක් ලබනු විනා ප්‍රති උපකාරය බලාපොරොත්තු  නොවිය යුතුය. 

ජීවිතයේ සැන්දෑ සමයේදී වුවද, ඔබගේ අත්දැකීම් සහ ලබා ඇති පුහුණුව උපයෝගී කරගනිමින් ඉතාමත් සරල මට්ටමේ හෝ පරෝපකාර කළ හැකිය.

මේ සඳහා ස්වේච්ඡාවෙන් කළ හැකි බොහෝ කටයුතු හඳුනාගත හැකිය. 



  1. වැරදි සිදුවී ඇතොත් ඒවාට සමාව දී අමතක කිරීම. 


ඉවසීම උතුම් මිනිස් ගතියකි. අපට පහසුවෙන්ම මෙම ගුණාංගය වැඩිදියුණු කර ගත හැකිය. කෙනෙකුගේ දුර්වලතාවයක් නිසා ඔබට සිත් තැවුලක් සිදුවී ඇත්නම් සමාව දී එය අමතක කළ හැකිය.

එවැනි සිත් තැවුල් යළි යළිත් මෙනෙහි කිරීමෙන් ඇතිවන පීඩාව නිසා හටගන්නා දුක්ඛ දෝමනස්ස අපගේ සෞඛ්‍යයටද අහිතකරය. ඒවා මුලිනුපුටා දැමිය යුතුය. 

එවැනි යටගිය සිද්ධි සහමුලින්ම අමතක කර සමාධිය භජනය කරමු.


  1. අන්තිම කැමැත්ත සැලසුම් කිරීම 


විශාල වශයෙන් දේපළ සහ මිල මුදල් හිමිකම් ඇති අයට මෙය ගැටළුවක් විය හැකිය. බොහෝ විට දේපළ නිසා අයිතිකරුගේ වියෝවෙන් පසුව පවුලේ අඬදබර සහ නොසන්සුන් කම් ඇති විය හැකිය. මේ නිසා ඒ පිළිබඳව සාධාරණ තීරණ ගෙන තිබීම  නුවණට හුරුය. 

මෙසේ කර තිබීමෙන් දරු මල්ලන් හට පසුව සුදුස්සක් කළ හැකිවේ. 

පවුලේ අය අතර  සාමය රැඳී පැවතීමට මෙම ක්‍රමය වැඩදායකය.


  1. අවසන් ගමනට බිය නොවීම.


මෙලොව උපත ලැබූ  සෑම සත්ත්වයෙකුටම මරණය නියතය. සෑම කෙනෙකුටම කර්මානුරූපව ලැබුණු ආයුෂ ප්‍රමාණයක් තිබේ. 

දශක හයක් හතක් ආයුෂ  විඳි ඔබ වාසනාවන්තයෙකි.

මේ නිසා කවදා හෝ එළඹෙන අවසන් ගමනට බිය නොවන්න.

ඔබගේ කලත්‍රයා හෝ දරු මල්ලන්ට වියෝව දරා ගැනීම අපහසු විය හැකිය.

ඔබට ඔවුන් හැර යාමට සිදුවූවත්, ඔවුන්ද තම තමන්ගේ  දිවි ගමන ඉදිරියට ගෙන යා යුතුය.

වියෝ දුක කලක් පැවත, කෙමෙන් තුනිවී යයි.

භෞතික ලෝකයේ කිසිවක් සදාකාලික නොවේ. මෙම සත්‍යය මෙනෙහි කර ගනිමු.


අන් අයගේ පිළිසරණ අවමවූ ජීවිතයක් ගතකර, වේදනාවෙන් තොර මරණයක්  ලැබීම, වාසනාවකි.


  

(ඉන්දියානු සිවිල් සේවයේ යෙදී සිට, වසර 104 ක් ආයු විඳ,  2018 වසරේදී අභාවප්‍රාප්ත වූ   V. K. Rao විසින් රචිත Aging gracefully කෘතිය ඇසුරෙනි.) 

 

 


12 comments:

  1. මේ උපදෙස් මාලාව ඔනෙම වයසකට හරි. නොම්බර එක ලන්කාවෙ කට්ටියට විශේෂයෙන්ම හොඳයි මොකද ඉස්සෙල්ලම හම්බවෙච්ච ගමන් අහන්නෙ වයස (ඊගාවට බැඳලද කියලා). අනිත් අයගෙ වයස වගේම තමන්ගෙ වයසත් අමතක කරලා ඉන්න ඉගෙන ගන්න එක හොඳයි.

    Thank you for sharing.

    Lotus

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Unknown,
      මා මේ ලිපියෙන් හුදෙක්ම බලාපොරොත්තු වුයේ ජීවිතයේ සැන්දෑ සමය එළඹී විට බොහෝ ගැටළු වලට මුහුණපා සිටින අය වෙනුවෙන් අදහස් කිහිපයක් දැක්වීමටයි. ඔබ පෙන්වන ආකාරයට මේ පිළිවෙත කාටත් ගැලපෙනවා. කොටින්ම කියතොත් මෙය 'බුද්ධිමත්ව දිවි පෙවෙත කළමනාකරණය කරගැනීම' ලෙස සැලකිය හැකියි.

      Delete
    2. එකඟයි. ඒ වගේම තරුන කාලෙ සුලු වශයෙන් හෝ practise නොකර විශ්‍රාම වයසට ගිය ගමන් එක පාරටම මේ දේවල් කරන්න බැහැ. ඔබ කිව්ව වගේ මේ ප්‍රතිපත්ති බුද්ධිමත් අයගෙ practice එකක් වෙන්නෙ ඒ නිසයි.

      Delete
  2. මැදිවියේ ඉන්න අපටත් වටිනව. මොකද, දැන්ම ඉඳන් කරන්න වැඩ මේ ලැයිස්තුවෙ තියෙනව. අනික, ජීවිතය කොහොමත් අස්ථිර දෙයක්නෙ.

    ReplyDelete
  3. ස්තුතියි ඩ්‍රැකී,
    බොහෝ දෙනෙකු විවිධ හේතු නිසා ජීවිතය අස්ථිර බව තේරුම් ගන්නවා. ඒ උනත් ඒ අවබෝධයට ගැලපෙන පරිදි සැලසුම් කර ගැනීමක් නොමැති විට අවසාන කාළයේදී මහත් දුක් කම්කටොලු වලට මුහුණ දෙන බව දැක තිබෙනවා. මෙයින් අදහස් කළේ ඒ සැලසුම් කරණයේ වැදගත්කම පෙන්වීමයි.

    ReplyDelete
  4. //“ඊයේ අවලංගු චෙක් පතකි. අද අත්පිට මුදල්ය. හෙට පොරොන්දු මුදලක් පමණකි”//

    ස්තුතියි...!!

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ යථාර්ථය මෙයයි. " ඊයේ ගතවී අවලංගු වී ගොස්ය. අද ප්‍රයෝජනවත් දෙයක් කරන්න. හෙටක් ගැන විශ්වාසය තැබිය නොහැකිය".

      Delete
  5. මමත් එකක් එකතු කරන්නද දයාවී මහත්මයා. මේ කාලයේදී සමහර අය අතීතයේ කල නොකල දේවල් ගැන පසුතැවීමත්, අනාගතයේ මේක වෙයි හෝ නොවෙයි කියා බිය වීමත් කරනවා. ඒ සඳහා අද ඇති පැය මිනිත්තු ගනන අපතේ අරිනවා. එසේ නොකර ඉදිරියට ඇති සුළු කාලසීමාවේදී 'අද ජීවත්වීම' කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      ඔබ දක්වා ඇත්තේ කාලීන අදහසක්. මගේ පොස්ටුවේ අංක 6 යටතේ "සමාජයේ නව නැඹුරුව සහ දැක්ම ගැන සංවේදී වීම" පිළිබඳව ඉතා කෙටියෙන් සඳහන් කර තිබෙන කරුණු විශ්ලේෂණය කළ විට ඔබගේ අදහසට සමීප වියහැකි යයි සිතෙනවා.

      Delete
  6. ඉතාමත් හොඳ අදහස් ටිකක් දැක්වීම ගැන ඔබට ස්තුතියි. මං හිතනවා මගේ විශ්‍රාම දිවිය හා වයසට යාම මෙයට බොහෝදුරට අනුගත වන බව හිතෙනවා. Original පොත බලන්නත් කැමැත්තක් ඇති වුණා. එය අන්තර්ජාලයේ ඇත්ද ?

    ReplyDelete
  7. ස්තුතියි මාලිනී,
    මෙය පිටු සියයක පමණ කුඩා පොතක්. එය මට ලැබුණේ මෙහේ හිතවතෙකුගෙන්. එය කියවා ආපසු දුන්නා. පොත සඳහා කතුවරයා අදහස් ලබාගෙන තිබෙන්නේ බුදු දහමින් සහ හින්දු සංස්කෘතික වත් පිළිවෙත් ආශ්‍රීතව.

    ReplyDelete