Tuesday 15 September 2020

එම්බල මිනිසාණෙනි ! ඔබ මාගේ අමුත්තා මිස මාගේ ස්වාමියා නොවේ. ! “Man ! You are my Guest! Not my Master!”

2020 වර්ෂය ආරම්භ වූයේ මුළු ලොවටම මහත් බියකරු ආපදාවක් ගෙන දෙමින්ය. Corona යන නමින් හැඳින්වූ වයිරසය මෙම ව්‍යසනයේ මූලාරම්භයයි. මහජන චීන සමූහාණ්ඩුවේ, හුබෙයි Hubei ප්‍රාන්තයේ, වුහාන් Wuhan නම් ජනාකීර්ණ නගරයේ ආරම්භ වූයේයයි සැකකරන, මෙම මාරක වයිරසය නිසා මේ වන විට (2020 සැප්තැම්බර්) බිලියන අටක් පමණ වන ලෝක ජනගහනයෙන් ලක්ෂ අටක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙතරම් දරුණු මිනිස් සමූල ඝාතනයකට මුල පිරූ වයිරසයට නමක් යෙදීමද මත භේද රාශියකට තුඩු දී ඇත.

ආරම්භයේදී මෙම වයිරසය හැඳින්වුයේ ‘වුහාන් වයිරසය’ (Wuhan virus) යන නමින්ය. මෙසේ නම් කිරීම ගැන චීනයේ අප්‍රසාදයක් මතුවීම නිසාත්, එය කොරෝනා (Corona) ගණයේ නව වයිරසයක් බැවින්ද, දෙවනුව, එය ‘නව කොරෝනා වයිරසය 2019’ (Novel corona virus 2019) ලෙස නම්කරනු ලැබීය. නැවතත් එම නම වෙනස් කර ‘කොවිඩ් 19 වයිරසය’ (COVID-19 virus) ලෙස හැඳින්වීම ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ලදී. මෙම නාමයෙහි CO - ‘කොරෝනා’ වචනය සඳහාත්, VI - ‘වයිරසය’ යන වචනය සඳහාත් D- ‘දෙසැම්බර්’ මාසය ඇඟවීම සඳහාත් 19 - මගින් ‘2019 වර්ෂයත්’ හඳුන්වනු ලැබීය. එහෙත් මාස කිහිපයක් ගතවන විට ඖෂධ සහ එන්නත් නිපදවන සමාගම් වල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම මගින් මෙවැනි වයිරස නම් කිරීම සඳහා භාවිත වන සම්මත න්‍යායයක් ඒ සඳහා තෝරාගන්නා ලදී. මේ ආකාරයට වයිරසයට ලැබුණු දැනට භාවිත වන නාමය, SARS-CoV-2 ලෙස පිළිගෙන තිබේ. මෙහි අදහස කොරෝනා-2 වයිරසය මගින් හටගන්නා අති උග්‍ර ස්වසන අබාධ ගති ලක්ෂණය (severe acute respiratory syndrome corona virus 2) යන්නයි.

මේ ආකාරයට ලෝක පූජිත වූ එමෙන්ම ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත බිලිගත් වයිරසය පිළිබඳව දැනට දස දහස් ගණන් විවිධ ආකාරයේ විවිධ ක්ෂේත්‍ර වලට අදාළ ලිපි ලේඛන බිහිවී තිබේ. මේ සියල්ලෙන්ම කොරෝනා වසංගතය පිළබඳව ජීව විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, ආර්ථික විද්‍යාත්මක ආදී සෑම ක්ෂේත්‍රයක්ම අළලා විවිධ මති මතාන්තර හෙළි දැක්වී ඇත. මෙම දැනුම් සම්භාරය අනාගතයේදී මෙවැනි ව්‍යසන සඳහා මුහුණ දීමට හැකිවන අකාරයේ නව සොයා ගැනීම් සඳහා මහෝපකාරී විය හැකිය.

මෙම මහා ව්‍යසනය පිලිබඳව සරල, එහෙත් ඉතා ගැඹුරින් සිතා ව්‍යංගයෙන් සකස් කරන ලද අගනා වීඩියෝ පටයක් මට මාගේ මිතුරෙකුගෙන් ලැබුණි. එහි කතුවරයා අවිනිශ්චිතය.





එම වීඩියෝ පටයේ, එක්‌ එක් රූප රාමුව මගින් පෙන්වන යථාර්ථය සඳහා යොදා ඇති වගන්ති, ඉතාමත් අර්ථාන්විතය. මිනිසා දිවා රෑ නොබලා මුදල් පසුපසම හඹා යමින්, අහස, පොලොව, ජලය වැනි ජීවිතයට අති සමීප සම්පත් නොසලකා හැරීමේ විපාක මෙහි පෙන්වා දී තිබේ. එසේම කොරෝනා වයිරසය මගින් සමස්තයක් වශයෙන් මුළු ලොවම උඩු යටිකුරු කිරීමට සමත්වී ඇතිබවද වීඩියෝ පටය මගින් ගැඹුරින් පෙන්වනු ලබයි. මේ මහා ඛේදවාචකය විදහා දැක්වීම සඳහා කතුවරයා සඳහන් කරනුයේ ඩිස්නේලන්තය, පැරිස් සහ නිව්යෝර්ක් නගර, චීන මහාප්‍රකාරය, මක්කම වැනි එකිනෙකට සම්බන්ධයක් නොමැති ස්ථාන කිහිපයක් පමණකි. එසේ වුවත් එයින් හෙළිදක්වනුයේ මුළු ලොවම වෙලාගෙන තිබෙන කොරෝනා වසංගතයේ බියකරු භාවයයි. එමෙන්ම මිහිකතෙහි පැවැත්ම සඳහා මිනිසා අනවශ්‍ය බවද ඒ මගින් හඬ නගා කියයි. මේ සොබාදහම විසින් මිනිසාට දෙනු ලබන අගනා පණිවුඩයයි.

වීඩියෝ පටයේ රූප රාමුවල සඳහන් වගන්ති සියල්ල එකට ගත්කළ, ඉංග්‍රීසි සාහිත්‍යයේ Ballad නමින් හැඳින්වෙන ‘කවි කතාවක්’ ලෙසද දැක්විය හැකිය. එම කවි කතාව සඳහා ඉංග්‍රීසි මාතෘකාවක්ද එකතු කළෙමි.

එය මෙසේය :
“Man ! You are my Guest! Not my Master!”

We fall asleep in one world 
 And wake up in another
Suddenly Disney is out of magic 
Paris is no longer romantic 
New York doesn’t stand up any more 
The Chinese wall no longer a fortress. 
And Mecca is empty

Hugs and kisses 
Suddenly become weapons 
And not visiting parents and friends 
Becomes acts of love 
Suddenly you realize 
That power, beauty and money are worthless 
And can’t get the oxygen you are fighting for

The world continues its life 
And it is beautiful 
It only puts humans in cages
I think it is sending us a message 
“You are not necessary” 
The air, earth, water and sky 
Without you are fine!

When you come back, 
Remember this 
"You are my guest, 
Not my Master!”

Author Unknown

මෙම පද්‍ය පෙළෙහි අර්ථාන්විත භාවය සහ අද ලෝකය මුහුණපා තිබෙන ව්‍යසනයේ යථාර්ථය එහි හොඳින් ගැබ්වී තිබෙන නිසා එය ‘කවි කතාවක්’ ලෙස සිංහලයට පරිවර්තනය කිරීමටද උත්සාහයක් ගත්තෙමි.

මේ මා විසින් සිංහලට පරිවර්තනය කරන ලද එම ‘කවි කතාව’ යි.


එම්බල මිනිසාණෙනි ! ඔබ මාගේ අමුත්තාය !

දහසක් පැතුම් සැම සිත්තුල                          මතුවන්නේ
සියලුම සිතැඟි නැත නිසි ලෙස                      ඉටුවන්නේ
අනවින කරනවිට මිහිකත                         දුක් වන්නේ
නොසිතූ දෙයකි එක රැයකින්                     සිදු වන්නේ !

විසිතුරු මැවු‘ඩිස්නය’ අද                     මුලාව කී
ආදර හැඟුම් ‘පැරිසියයෙ’ නැත. ගොස්ය     මැකී
‘මක්කම’, ‘නිව්යෝක්’ මහ සෙනගෙන්  වැලැකී
‘චීනයෙ මහ පවුර’ සවියෙන් ගොස්          වියැකී

‘උණුසුම් හාදු’ සහ ‘ආදර’                   කතා බස
නොම කළ යුතුය ඒවා විය හැකිය               ‘විස’
වැඩිහිටියන් සමග තම හිත මිතුරු                 රැස
‘වෙන්කර තබා’ ඇත නොම හමුවන්ට        ඇස

අහම්බෙන් වගේ මතකය වෙත                එනවා.
‘බලය, මුදල්’ සහ ‘හැඩරුව’   වැනි            ඒවා
ඔක්සිජන් ඇවැසි ‘අවසන් මොහොතෙ’     පවා
‘කමකට නැතිය.’ පොදි බැඳී දේ උදය       හවා

‘මිහිකත ජවය’ පෙර ලෙසමයි          පවතින්නේ
‘සොඳුරු බවෙන්’ එහි අඩුවක් නොපෙනෙන්නේ
එනමුත් මිනිසාට ‘නිසි දඬුවම්’             දෙන්නේ
‘සිර කූඩුවක’ සිටිනට අණසක              එන්නේ

ඒ සමගින්ම තව පණිවුඩයකුත්                ලැබේ
“ඔබ මෙහි ඇවැසි නැත” හඬ අද නැගෙයි ඉබේ.
‘වාතය, පොලොව, ජලයද’ සහ  ‘ගුවන් ගැබේ’
සැමදේ අගෙයි, ‘අඩුවක් නොම දැනෙයි  ඔබේ’.

ආපසු දිනක සුවපත් වී පැමිණි       වි             ට
වැදගත් යමක් ඇත සිහියට      නගන්න         ට
බලවත් කමේ ‘පුහු මානය’ තුරන් කො         ට
ඔබ මගෙ ‘අමුත්තා’ බව ගනු මැන සිත         ට

කතෘ අවිනිශ්චිතය.

සිංහල පරිවර්තනය: දයාරත්න වීරසේකර 




8 comments:

  1. මේක නිර්මානය කරපු කෙනා හොයාගෙන accolade කරන්න වටිනවා.

    ඔබේ පරිවර්තනය ඉතා හොඳයි. පලවෙනි සහ දෙවෙනි පේලි direct translation එකක් නොවී වෙනස් විදිහකට ලිව්වා නම් හොඳයි කියලා හිතුන. (සමා වෙන්න, වැරදි හොයනවා නෙවෙයී). ඒ lines දෙකෙන් කියවෙන්නෙ ලෝකය/ස්වභාව ධර්මය වෙනස් වෙන ඉක්මන නේද. (Btw,the video link didn't work for me).

    Lotus

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Unknown
      උපදෙස ඉහලින්ම පිළිගන්නවා

      වෙනසක් කළා. මේ වෙනස බලා දන්වන්න

      සුව යහනකට වී අද රෑ නිදියන්නේ
      හෙට උදයේම අන් ලොවකය නැගිටින්නේ
      පොදු දහමක් ලෙසට ලෝකය පවතින්නේ
      නොසිතූ දෙයකි එක රැයකින් සිදු වන්නේ !


      දහසක් පැතුම් සැම සිත්තුල මතුවන්නේ
      සියලුම සිතැඟි නැත නිසි ලෙස ඉටුවන්නේ
      අනවින කරනවිට මිහිකත දුක් වන්නේ
      නොසිතූ දෙයකි එක රැයකින් සිදු වන්නේ !

      Video Link එක සෙවීමට උත්සාහ කරනවා.
      මෙය බලන්න
      https://drive.google.com/file/d/13uAkJ9wbOcpKFP0r1E4-SiYlPVuZCd4A/view

      Delete
    2. Fantastic. දැන් වෙනස්වීම කියන ධර්මතාවය වැඩිපුර ඉස්මතු වෙනව. ඔබ ඉතාම නිහතමානිව මගෙ comment එක on board ගත්තට බොහොම ස්තුතියි.
      (will check the video later).

      Lotus

      Delete
    3. Video පටය වෙනත් Link එකකින් ඇතුලත් කළා. එය දැන් බැලිය හැකියි.

      Delete
  2. කතාව ඉතාමත් වටිනවා. ඔබේ පරිවර්තනය ගැන කියනවානම්, ඔය වැඩේ සුළුවෙන් හරි කරපු කෙනෙක් විදියට.. ඕක ඉතාම අමාරු වැඩක්. මුල් කවියේ අදහස ඒ අදහසය ගැලපෙන ටෝන් එකෙන් පරිවර්තිත කවියේ අලංකාරයත් රැකගෙන කරන්න නම් බොහෝ ඇසූ පිරූ තැන් තිබිය යුතුමයි. ඒ කලේ ඔබ නිසා ඒ ගැන පුදුමයක් නං නෑ. ☺️☺️

    ReplyDelete
  3. ස්තුතියි කල්‍යාණ මිත්‍ර,
    කලින් පිවිසුණු සහෘදයෙක්ගේ හොඳ අදහසක් අනුව පළමු පද්‍යයේ සුළු වෙනසක් කළා එයත් කියවා බලන්න. ජීවිතයේ වැඩි කාලයක් පරිසර කටයුතු වෙනුවෙන්ම ගතකළ නිසා මෙවැනි අපූරු දෙයක් දුටුවිට එය බෙදා හදා ගැනීමට කැමතියි.

    ReplyDelete
  4. ඇත්තෙන්ම එම මුල් poem එකටත් වඩා සිංහල පරිවර්තනය අගෙයි. වත්මන් අහිතකර තත්වය හොඳින් කියා පානවා. ඔව් අපි අමුත්තන් බව තේරුම් ගත්තේ නැහැ.

    ReplyDelete