Wednesday 27 December 2017

අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු දුටු ‘අමුතු දෙයක්’

  ම කළුතර බෝධිඥාන පුස්තකාල සංවර්ධන කමිටුවේ ලේකම් ලෙස, වසර කිහිපයක් සේවය කළෙමි. පුස්තකාලය පාසල් සිසුන්ට ප්‍රියජනක ස්ථානයක් කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීමට අපි උත්සාහ ගත්තෙමු. සෑම වර්ෂයකම සාහිත්‍ය මාසයේදී පුස්තකාලයේ පාඨක සිසුන්ගේ දක්ෂතා එළි දැක්වීම සඳහා සාහිත්‍ය උත්සවයක්ද පැවැත්විණ. විවිධ තරඟ පවත්වා දක්ෂතා පෙන්වන අයට තෑගී දීමද සිරිතක් විය.

එක් වසරක සාහිත්‍ය උත්සවයේ අටවන ශ්‍රේණියේ සිසුන් සඳහා වූ රචනා තරඟයේ මාතෘකාව වුයේ මා දුටු අමුතු දෙයක් යන්නයි. මෙම තරඟයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15 දෙනෙක් පමණ ඉදිරිපත්  වූහ.

එක් සිසුවෙක්  ලියා තිබුණු රචනාව කාගේත් සිත් ඇදගන්නා සුළු එකක් විය. එහි මාතෘකාව වුයේ   මා දුටු සබ්බේ අතුරු පාර යන්නයි. රචනා කියවා ලකුණු දමා පළමු, දෙවෙනි, සහ තුන්වන ස්ථාන තේරීම මට පැවරී තිබුණි.

එම ශිෂ්‍යයාගේ රචනාවේ කොටසක් මෙසේය.

පසළොස්වක දිනයේ සිල් ගැනීමට අපේ ආච්චි මට පෙරැත්ත කළාය. මිට කලින් සිල් සමාදන් වී නොසිටි මම අකැමෙ‍ත්තෙන්ම සිල් ගැනීමට කළුතර බෝධියට ගියෙමි. එදා පොසොන් පෝය දවසයි. උදේ හයටත් කලින් අපි බෝධියට ගියා.  සිල් ගත්තේ පඩි ගොඩක් නැග්ගට පස්සේ තිබුණු උඩ බෝධිය ළඟ. සිල් සමාදන් උනාට පස්සේ හෙමින් යන එන හැටිත් එක තැනක වාඩිවී බාවනා කරන හැටිත් ආච්චි මට කියා දුන්නා.

සිල් සමාදන් වීමෙන් පසු මල් පහන් පූජාකර ටික වෙලාවක් භාවනා කරන විට මුණුපුරාට  එක ඉරියව්වකින් සිටීම මහත් අසීරු විය. එසේ වුවත් භාවනාවේ යෙදී සිටින ආච්චිට කරදර කිරීමත් ඔහුට කළ නොහැකිය. වට පිට බැලු ඔහුට, සිල් සමාදන්වී සිටි තම වයසේ තවත් ළමයි කිහිප දෙනෙකු තාප්පය අයිනේ සිටිනු දකින්නට ලැබිණ. ඔහු එතැනට ගොස් ඒ ළමයින්ට එකතු විය.

දහවල් බුද්ධ පූජාව සඳහා සීනුව නාදවූ විට භාවනාවේ යෙදී සිටි සියලු දෙනාම පහල මළුවට යාමට සුදානම් වී ඇත. මුනුපුරාද කඩිනමින් ආච්චිට එකතු වූයේය. 

ඒ සියල්ල විස්තර කිරීමෙන් පසුව මුණුපුරාගේ රචනය  තවදුරටත් මෙසේය

බුද්ධ පූජාවට මහපාරෙන් එහා පැත්තේ විහාරයට යන්නට සිදු විය. ගොඩක් සෙනග සිටි නිසා පඩි පෙළ බහින්නටත් හරිම අමාරු ය. මහපාර හරහා එහා පැත්තට පනින්නට බැරි තරමට‍ සෙනගත්  වාහනත් පිරි තිබුණි. 

සබ්බේ එකෙන් අනිත් පැත්තට යන්නකියා පීකරයෙන් කිව්වා.

ආච්චි මාවත් ඇදගෙන ඒ පැත්තට ගියා. සෙනග තෙරපී  අපි ගග පැත්තට පඩි ගොඩක්  බැස්සා. සබ්බේ එක ගඟට උඩින් පාලමට යටින් තිබෙන පොඩි පාලමක් වගේ එකක්‌. සෙනග ගොඩේ ඒකෙන් යාමට බයත් හිතුනා. ටිකකින් අනිත් පැත්තට ගිහින් පඩි පෙලකින් එහා පැත්තේ උඩට ගිය විට බය ඇරුණා.

මම දවල් කෑමට පස්සේ, ආච්චිටත් හොරෙන් සබ්බේ එකට වෙලා පැයක් විතර ගග දිහා සහ මුහුද පැත්තේ බලා සිටියා. උඩ පාලමේ බස් කාර් ලොරි වගේ වාහන යනකොට මහත් බයකුත් දැනුණා.

මේ වගේ පොඩි පාලම් වලට කියන්නේ සබ්බේ වෙන්නට ඇති. මා දැක ඇති අමුතු දෙය මේකයි.

මෙම රචනාව තවත් කිහිප දෙනෙකු සමග කියවා අපි ඉතාමත් අහිංසක වින්දනයක් ලැබුවෙමු. එදිනම සවස අප කිහිප දෙනෙකු ඒ වෙනුවෙන්ම, කළුතර බෝධිය අසලට ගොස් ශිෂ්‍යයා සඳහන් කර තිබුණු සබ්බේ එකබැලීමට ගියෙමු. අපද එය හරහා ගමන් කළ පළමු වතාව එය විය.

කළුතර බෝධි පරිශ්‍රයේ උඩ  මළුව පැත්තේ සිට, අධික වාහන තද බදයක් පවතින ගාලු පාර හරහා  ගමන් කිරීම,  අතිශය පීඩාකාරී නිසා  මහාමාර්ගයේ පාලමට යටින් සකස් කර ඇති පා ගමනින් යා හැකි අතුරු මාර්ගය මෙයයි. මෙය ඉංග්‍රීසියෙන් ‘subway’ කියාත් සිංහලෙන් අතුරු මගකියාත් නම්කර දෙපැත්තේම දැන්වීම් සවිකර තිබේ. 

විශේෂයෙන්ම නිතරම ආගමානුකූල කටයුතු වල නියැලෙන වැඩිහිටි අයට සබ්බේයන පාලි වචනය කටට හුරු වචනයක් නිසා මෙම පටු අතුරු මගටද එම නම භාවිත කරන්නේයැයි සිතනවාත් ඇත.

කළු ගඟෙහි, කළුතර පැරණි යකඩ පාලම ඉවත් කර නව පාලම් නිර්මාණය කිරීමේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ ඉල්ලීම පරිදි subway ලෙස නම්කළ මෙම ‘අතුරු මගද’ නිර්මාණය කරණ ලද බව දැනගන්නට ලැබිණ. 


16 comments:

  1. ඔය සබ්බේ එකේ මාත් දෙතුන් පාරක් ගිහිල්ල තියෙනව.
    ‍ඉතිං ඒ ළමයගෙ රචනාවට කීවෙනි ස්ථානෙද හම්බ උනේ.

    ReplyDelete
  2. ස්තුතියි ප්‍රසන්න.
    ඔය 'සබ්බේ' එකේ ගිහින් තිබුනට උපාසක අම්මලා සහ බොහෝ වැඩිහිටි අය ඒකට ගෞරව සම්ප්‍රයුක්තව 'සබ්බේ' කියන බව දැනගෙන හිට්යේ නැහැ නේද?
    තරඟයට තිබුණු රචනා වලින් බොහොම අය දේවතා එළි, කුරුල්ලෙක් කූඩුව හදන හැටි, සර්පයෙක් ගෙම්බෙකු ඇල්ලීම වගේ දේවල් ලියලා තිබුණේ. බොහෝ දෙනෙක් නොසිතන දෙයක් ගැන මේ ශිෂ්‍යයා හොඳට ගලපා ලියා තිබුණු නිසා ඒකට පළමු ස්ථානය දුන්නා.
    දෙවෙනි තැන දේවතා එළියක්‌ කියා ලියා තිබුණු උල්කාපාතයක් ගැන විය හැකි විස්තරයට.

    ReplyDelete
  3. එතකොට ඒකද හොදම රචනාව

    ReplyDelete
    Replies
    1. ඔව්, එකට පළමු තැන දුන්නා.

      Delete
  4. ඔය සබ්බේ එකේ ඉඳලා ගඟ දිහා බැලුවහම "අනිච්චේ" කියවෙනවා. ඒ තරම් බෝතලා කටු ගං පතුලෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      දැන්නම් බෝතල් කටු වැටෙනවා අඩු ඇති. වැඩිපුර තියෙන්නේ දියේ පාවෙන ප්ලාස්ටික් බෝතල්නේ. ගඟේ පාවී එන ඒවත් වරින් වර ඉවත් කරනවා දැක තිබෙනවා.

      Delete
  5. මාරයිනෙ

    - හැපි ජෑ මා අවුරුදු -

    ReplyDelete
  6. සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      'ඒතං බුද්ධානුසාසනං'

      Delete
  7. සිල් ගත්ත දවසක පන්සල තුල ගත කරන කාලයේ තමන්ගෙම හැසීරිම විඩියෝ ගත කර නැවත බලන්න දුන්නොත්, විශේෂයෙන් වැඩිහිටි උපාසක උපාසිකාවන්ට... ඔබට මොකද හිතෙන්නේ ඒ ගැන..

    ReplyDelete