Friday, 1 December 2017

ගතානුගතික අනුකරණයද ? නැතහොත් නොසැලකිලිමත් කමද ......?

    ජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව තරමක් විවේක සුවයෙන් සිටින විට දිනක් මගේ පැරණි මිතුරෙක් මා හමුවීමට පැමිණ, මගෙන් ඉල්ලීමක් කළේය.

‘අපි අලුතින් ආරම්භ කළ ගුරු පුහුණු ආයතනයේ විද්‍යාව ඉගැන්වීමේ ක්‍රම (Science methodology) ඉගැන්වීමේ කටයුත්ත බාර ගැනීම පිණිස  ඔබට ආරාධනා කරන්නයි මම ආවේ’
ඔහු මා හමුවීමට ආ කාරණය හෙළි කළේය.

නිකරුනේ  ගෙදරටම  වී ගතකළ පසුගිය සති දෙක තුන, කම්මැලි කමින්  කාලය නාස්ති කිරීමක්‌ ලෙස සිතමින් සිටි මට, මෙය අලුත්ම පිවිසුමක් ලෙස දැනුණි. ඔහු සමග වැඩිදුර සාකච්ඡා කරණ විට එම පැවරුම මට පහසුවෙන්ම කළ හැකි එකක් බව පැහැදිලිවිය.

‘අපි පුහුණුව ලබාදෙන්නේ පෞද්ගලික පාසල්වල උගන්වන ආධුනික ගුරුවරුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ප්‍රාථමික පන්ති වලට අවශ්‍ය වන විද්‍යාව ඒකක සහ ඒවා ඉගැන්වීමේ ක්‍රම තමයි උගන්වන්න ඕනෑ.’  ඔහු තවදුරටත් විස්තර කළේය.

‘මට සතියකට කාල ඡේද කීයක් උගන්වන්නට වෙනවාද?’ මම ඇසුවෙමි.

‘අපට දැනට පුහුණුව ලබන ගුරුවරු තිස් දෙනෙක් සිටිනවා. මෙය පූර්ණ කාලීන පාඨමාලාවක්. විෂයය පහක් උගන්වනවා. එක විෂයයකට සතියට පැය පහයි.’

‘විද්‍යාව, සඳුදා පැය තුනක් සහ බදාදා පැය දෙකක් වැටෙනවා.’  

කි ඔහු විෂයය නිර්දේශයේ පිටපතක්ද මට දුන්නේය.

මම ඊළඟ සතියේම ඉගැන්වීම පටන් ගත්තෙමි.

පන්තියේ වැඩිපුර සිටියේ ශිෂ්‍යාවන්ය. පන්තියේ සියලු දෙනාම උසස් පෙළ විෂයය තුනක් සමත් අය වුහ. උසස් පෙළ විද්‍යා විෂයයන් හැදෑරූ අය සිටියේ දෙදෙනෙක් පමණකි. සියලු දෙනාම පාහේ සාමාන්‍ය පෙළ විද්‍යාවට සම්මාන සාමාර්ථ ලබා සිටි අය වුහ. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයයට සම්මාන ලැබූ අය සිටියේද කිහිප දෙනෙකි.

සිංහල මාධ්‍ය සාමාන්‍ය පෙළ විභාගයේ, ඉංග්‍රීසි විෂයයක් වශයෙන් පමණක් අධ්‍යාපනය ලබා ඇති  මෙම පිරිස, ප්‍රාථමික පන්තිවල විද්‍යාව, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා, කෙටි කාලයක් තුලදී පුහුණු කිරීම, තරමක අභියෝගයක් බව මට වැටහුණි.

මෙම අභියෝගය ජය ගැනීමට හැකිවන පරිදි, ප්‍රායෝගික වැඩද ඇතුලත්වන පරිදි ඉගැන්වීමේ පටිපාටිය සකස් කර ගතිමි. ඉංග්‍රිසියෙන් උගන්වන අතරම සමහර අවස්ථාවලදී සිංහලෙන් විස්තර කිරීම්ද අවශ්‍ය විය. බොහෝ අය සිංහලෙන්ද විස්තර කිරීම් වලට කැමති වූ අතර කිහිපදෙනෙක් පමණක් එයට අකමැති බවක් පෙනුණි. එවැනි අවස්ථාවලදී සිංහලෙන් දෙනලද වචන හෝ පාඨ ඉංග්‍රීසී අකුරෙන්ම ලියා ගන්නා අයද කිහිප දෙනෙක් සිටින බව නිරීක්ෂණය කලෙමි. 
( ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගැන්විමට බලාපොරොත්තුව සිටින නිසා ඔවුනට සිංහල අකැප වූවායයි සිතිය හැකිය)

සති කිහිපයකට පසු මට ‘අපේ ආහාර’ (Our food) පිළිබඳ පාඩමක් ඉගැන්වීමට තිබුණි. මෙහිදී  අපගේ දේශීය පලතුරු පිලිබඳ විස්තර කර අන්නාසි, ජම්බු, ඇම්බරැල්ල, දිවුල්, අනෝදා ආදියට භාවිත කරන සංකර ඉංග්‍රීසි නම් වෙනුවට ඕනෑකමින්ම සිංහල නම් පමණක් සඳහන් කළෙමි.

පාඩම අවසන් කර ටික වේලාවකින්, ශිෂ්‍යාවන් දෙදෙනෙකු සටහන් පොත්ද රැගෙන මාවෙත පැමිණ, එයින් එක්‌ ශිෂ්‍යාවක්,

‘Sir. there are English names for these fruits. Why don’t you use those names ?’

කියා ඉංග්‍රීසි අකුරුවලින් ලියාගෙන තිබුණු පලතුරු වල සිංහල නම් මට පෙන්වුහ.

මම සිංහලෙන් කථා කළෙමි.

‘හා ......  කියන්න බලන්න ඒ පළතුරු වලට  යොදන ඉංග්‍රීසි නම්’

මම ඒ ගැන නොදන්නා බවක්  පෙන්වා ඔවුනට කීවෙමි.

ඔවුන් ‘Singlish’ ආකාරයකට එම නම් උච්චාරණය කළහ.

‘Pine....a ..p..p...l.e,  Rose ..... a..p..p..l..e,  Wood a..p..p..p..le ..............’

ඇති ..... ඇති......, මේ ඔක්කොම ඇපල් නේ’ 

කියමින්  ඔවුන් නතර කළ මා, 

‘බලන්න ඔය එක පලතුරු ගෙඩියකවත්, අපට පිට රටින් එන ඇපල් ගෙඩියක හැඩයවත් තියෙනවද කියලා. ඒ කාලයේ බටහිරින් ලංකාවට ආ අය, විශේෂයෙන් යුරෝපීයන්,  අපේ දේශීය පලතුරු වලට හැඩය හෝ පැහැය පමණක් බලා ඔහේ ඕනාවට එපාවට දමන ලද  නම් අපි තවමත් පාවිච්චි කරන්නට හදනවා. සිංහල නම් හොඳ මදිද?’

මෙය අසා සිසුවියන් දෙදෙනා තරමක් අසීරු තත්ත්වයකට පත්වුහ. මම එම පලතුරු නම් තවදුරටත් විග්‍රහ කළෙමි.

‘අන්නාසි වලට pine apple කියන්නේ එහි හැඩය බටහිර රටවල බහුලව තිබෙන ‘පයින්’ ගස්වල හැදෙන අහාරයට ගත නොහැකි, කිසිම වැඩකට නොමැති,  ‘පයින් ගෙඩියේ’ හැඩයට තරමක් සමාන  නිසා. 

‘පයින්’ ගෙඩි දුටුවොත් ඒ නම දමා අන්නාසි වලට නිග්‍රහයක් කර තිබෙන බව ඔබට පෙනේවි.’

සිසුවියන් දෙදෙනා ඇඹරෙමින් ආපසු යන්නට සැරසුණහ. ඔවුන් නතර කරගත් මා,

‘ටිකක් ඉන්න තව එකක් කියාදෙන්න තියෙනවා’ 

යයි පැවසු මම දිවුල් ගැන ඔවුනට කියා දුනිමි.

‘ඔය ආකාරයට, දිවුල් වලට කියන්නේ wood apple කියලා නේද ?. එතන wood කියන්නේ ඝනකම බාහිර ආවරණය (කටුව) නිසා වෙන්නට ඇති. ඒකෙත් ඇපල් ගෙඩියට කිසිම සමාන කමක් නැහැනේ.’ 
‘මා හිතන්නේ අපේ රට ඇතුලේ භාවිතයේදී දේශීය නම් භාවිත කරන එක හැම අතින්ම වටිනවා. ජම්බු, ඇම්බරැල්ල, අනෝදා  පලතුරුත්  මේ ආකාරයට විග්‍රහ කරලා බලන්න.’ 

කියා ඔවුනට පහත දැක්වෙන එම නම්ද දුනිමි.

ජම්බු (rose apple), ඇම්බරැල්ල (golden apple), අනෝදා (custard apple)

මට ස්තුති කළ සිසුවියන් දෙදෙනා ලජ්ජාවෙන් භරිතව දුව ගොස් තම මිතුරියන්ට එක්වුහ.

මෙය අපේ දේශීය බොහෝ දේ වල වැදගත්කම නොසලකා හැර  නොදැනුවත් කමින් හෝ සමහර සංකර දෙයට ආවැඩීමට සැරසෙන පිරිසක් සිටින බව මට දකින්නට ලැබුණු  එක් අවස්ථාවකි.

කෙසේ වෙතත්, බටහිරින්  අපට ලැබුණු භාෂා ඤාණය, නව තාක්ෂණ, විවිධ ශිල්ප ක්‍රම ආදි සමහර දේ  දේශීය ඌරුවක්ද මුසු කර ගනීමින් අපට ගැලපෙන අයුරු සකස් කර ගෙන තිබීම ප්‍රසංශනීයය. 

කලින් සඳහන් කළ ආකාරයේ අපට වෙනස් කරගත හැකි තවත් අවස්ථා කිහිපයක් මෙහිලා සඳහන් කළ හැකිය.

අපේ දේශීයව දකින්නට ලැබෙන දෙයකට  වඩා  තරමක් ලොකු හැඩයකින් තිබෙන දේවල් වලට ‘රට’ යන ප්‍රත්‍යය ඉදිරියට ඈඳීමට අපි පුරුදුව සිටිමු. රට පුවක්,  රට ළූණු සහ  රට දෙහි මෙවැනි උදාහරණ කිහිපයකි.

එමෙන්ම දේශීයවත් දකින්නට ලැබෙන  විදේශයකින් පැමිණ ඇතැයි සිතිය හැකි, රටදෙල්, රට ගොරකා, රට ඉඳි ආදියට ‘රට’ ප්‍රත්‍යය දීම තරමක් හෝ සාධාරණීකරණය කළ හැකිය.

අපේ රටෙහි නගර කිහිපයකට යුරෝපීයයන්ගෙන් ලැබුණු නම් තවමත් එලෙසම භාවිත කිරීම අපගේ බටහිර ගැති කම පෙන්වන සලකුණක්දෝ කියාත් වරකට සිතේ. අපගේ කොලොම් පුරය තවමත් කොළඹය. එය ඉංග්‍රීසියෙන්  Colombo වේ. එසේම මහනුවර Kandy වී, හලාවත Chilaw ලෙසටද, මිගමුව Negombo යනුවෙන්ද ඉංග්‍රීසියට හරවා ඇත. ඉංග්‍රීසියෙන් ලියන කියන විටද මෙම නගර නාම වලට සිංහල නමම  දීමට අපට තවමත් නොහැකි වී ඇත්තේ මන්ද?  
යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය යන නගර වලටද තවමත් භාවිත කරණුයේ ද ‘සුද්දන්’ විසින් ඔවුන්ගේ උච්චාරණ පහසුව  සඳහා යොදාගත් නම්  නොවේද?

අප මෙන්ම අධිරාජ්‍යවාදී පාලනයට යටත්ව තිබුණු අප අසල්වැසි ඉන්දියාව එහි ප්‍රධාන නගර කිහිපයකටම දේශීයත්වයක් දීමට ඒවායේ නම් වෙනස් කිරීමට සමත්ව තිබේ. මෑතක් වන තුරුම ඉංග්‍රීසි ඌරුවට නම් කර තිබුණු බොම්බාය (Bombay), Mumbai වීමත්, කල්කටාව (Calcutta),  Kolkata වීමත්, මදුරාසිය (Madras),  Chennai කිරීමත් පහසුවෙන්ම කර තිබේ. ගුවන් තොට වශයෙන් සහ වෙළඳ මධ්‍යස්ථාන වශයෙන්ද කීර්තියක් ඇති මෙම විශාල නගරවල නම් පවා රටට ගැලපෙන පරිදි වෙනස් කර ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ.

අපට එවැනි තීරණ ගැනීමට නොහැකිව ඇත්තේ  මන්ද යන්න ප්‍රශ්නයකි.    


    

16 comments:

  1. අධිරාජ්‍යවාදීන්ට බැන බැන ඒ ගොල්ල හදල දීපු කෝච්චි පාරෙ කෝච්චි පදින එකනෙ අපි කරන්නෙ. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් මනුස්සයෙක් අාවොත් ඔය නගරවල නම් වෙනස් කරගන්න පුලුවන් වෙයි.

    ලංකාවෙ සමහර දේවල්වලට ඉංග්‍රීසි නම් දැමීම විකාර වැඩක් වගේම සමහර ඉංග්‍රීසි වචන සිංහලට පෙරලන්න යාමත් විකාරයක් වෙන වැඩක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මා අවධාරණය කිරීමට උත්සාහ කළෙත් ඔබ සිතන දෙයමයි. දේශීයත්වයට ගැලපෙන ආකාරයට කටයුතු කිරීමට කැමති බොහෝ අය අතර අධිරාජ්‍යවාදී වැඩ පිළිවෙලට අනුගත වීමට කැමති සුළු පිරිසක්ද තවම සිටිනවා. කළුතර නගරය තවම 'කැල්චුරා' යනුවෙන් උච්චාරණය කරන 'කළු සුද්දෙකු' සිටින බව මා අසා තිබෙනවා.

      Delete
  2. සුද්දන්ගේ කාලයේ තිබූ මාර්ග සහ ස්ථාන නාම වෙනවට දේශීය නම් යොදා දශක ගණනකට පසුවත් බුලර්ස් රෝඩ්, තර්ස්ටන් road, ටොරින්ටන්, baseline road යනා දී තවමත් පැරණි නම භාවිතා වෙනවා නේ.

    දේශීය නම් යෙදීමේදී සිදුකර ඇති ලොකු වරදක් තමයි කෙටි නමක් නොයොදා අදාළ පුද්ගලයාගේ පතරංග ජාතකය ම, සී ඩබ්ලිව් ඩබ්ලිව් ආකාරයෙන්, ලිවීම.

    ReplyDelete
  3. ස්තුතියි රසික,
    මේ මාර්ග නාම වෙනස් කර නාමපුවරු දමා සියලුම රාජකාරි කටයුතු සඳහා එම නම භාවිත කළත් පැරැණ්නන්ට තවම කටට හුරු පැරණි නමයි. පසු කාලයකදී මේවා හරි යන්නට පුළුවන්.
    /පුද්ගලයාගේ පතරංග ජාතකය ම/ යෙදීම නිසා එම නම් භාවිතය අමාරු බව පේනවා.

    ReplyDelete
  4. එදා පිට රට ජාතියක් විත් ලකේ රජකම් කර ඇතේ
    හොදා කාරව මෙරට සම්පත් පැහැරගෙන යන්නට ඇතේ
    මුදා ලනු බැරි ඇයිද ඔවුනගෙ වචන තවමත් බොහො වෙතේ
    සදා කල් එය කරන්නට බැරි බවක් මට සිතිලා ඇතේ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      හැ ත් තෑ වසරක් ගතවිය අපහට නිදහස ලැබි ලා
      ගැ ත් තන් වී සිටියා ඇති බටහිර දෙස හිස නම ලා
      ල ත් තැනදීම අමතක කර පරදෙස්‌ ගති හැම දුර ලා
      ව ත් මන් පරපුර පෙරටම් යායුතු වේගෙන් දුව ලා

      ඔබට ජයම !!

      Delete
  5. බෙලි වලට Stone Apple කියලා පරණ පොතක දැක්කා.

    පාරවල්වල නම් ගැන මගේ අදහස පටන් ගත් විදිහට තියන්න කියලා. ඉන්ග්‍රීසීන් විසින් නම් කරන්න කලින් සිංහල නම් තිබුන නම් ඒවාට ආපසු යා යුතු නමුත් එසේ නොතිබුනේ හෝ සොයා ගත නොහැකි නම් ඔය තියන විදිහට තියන්න කියලා. අඩු ගණනේ ඉන්ග්‍රීසි නම් වල තියෙන්නේ එක නමයි( තර්ස්ටන්, චැතම්, බේලි, මැකලම් ආදී ) ඒ වෙනුවට දේශ්පාලකයෙකුගේ හෝ හාමුදුරුකෙනෙක්ගේ බෝර්ඩ් එකේ දාන්නත් ඉඩ නැති තරම් දීර්ඝ සම්පූර්ණ නම දාන එක මහා කරදරයක් )

    ඊට අමතරව ගම් වල ඒවායේ මුල ගැන අයිතිහාසික ඉඟි සහිත පාරවල් ( මහනියර පාර, ගෝන මඩිත්ත පාර වගේ ) පූජක/ දේශපාලක/ ව්‍යාපාරික හෝ වෙනත් පුද්ගල නාම වලින් නම්කිරීම කණගාටුවට කරුනක්

    ReplyDelete
    Replies
    1. http://dh-web.org/place.names/barelist.htm
      ඕවා මොනවද මේ වෙලා තියෙන දේවල් එක්ක බලනකොට

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      //(පූජක/ දේශපාලක/ ව්‍යාපාරික හෝ වෙනත් පුද්ගල නාම වලින් නම්කිරීම කණගාටුවට කරුනක්)// මේ ක්‍රමය නිසා තමයි දන විශාල අවුලක් වෙලා තිබෙන්නේ. තව ටික දවසක් යනවිට අධිවේග පාරවල්වලටත් A1, A2 වගේ පාරවල් වලටත් දේශපාලන නම් වැටේවි.

      Delete
  7. http://dh-web.org/place.names/barelist.htm
    සර් ට වෙලාවක් ලැබුනොත් මේ පැත්තේ ගිහින් බලන්න.ඔය දේ ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙමල මුස්ලිම් වගේ බහුතරයක් ජිවත් වෙන පැති වලත් සිංහල අනන්‍යතාව ටිකින් ටික නැති වේගෙන යනවා .තමන්ගේ දරුවට පවා ඉංග්‍රීසි උරුවේ නමක් දැම්මම දෙමව්පියන්ට හරි ඉහලයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමිඳු,
      ඔබ සඳහන් කර තිබුණු Link එක බැලුවා. එය කවුරුත් හොඳින් කියවා බැලිය යුතු එකක් බව පෙනෙනවා. මේ ගැන මෙතෙක් දැනුවත් නොවී සිටීම අඩුවක් බවයි මට දැනෙන්නේ. දැනට වසර හයකට පමණ උඩදී මම මන්නාරම අච්ච්න්කුලමේ ලවණ වගුරු බිමක පරිසර විද්‍යා අධ්‍යයනයකට සහභාගී උනා. එහි ගලා බසින ගංගාව අරුවි ආරු බව ඒ අය කිව්වා. මා සිතියමේ බැලූ විට එම ගඟේ ඉහල කොටස මල්වතු ඔය. ඒ අය සිංහල නම දැන සිටියේ නැහැ.මගේ වාර්තාවේ නම් දෙකම සඳහන් කළා. Iranamadu රණමඩුව, Kopai බෝධිපාය, Norochchelai හොරගොල්ල, වැනි අගනා සිංහල නම් තිබුණු ප්‍රදේශ වලට වෙනත් නම් භාවිතය ජාතියේම අභාග්‍යයක් ලෙසයි මට පෙනෙන්නේ !

      Delete
  8. මහඑළිය තැන්න එහෙමත් නැත්තන් තොටුපළ තැන්නට අපේ රටට කෙලවපු හෝටන් ගේ නම දාගෙන උජාරුවෙන් කියවන ජාතියක් අපි...
    ලංකාවේ වනජීවී සංහාරයක් කරපු බේකර් ගේ නම දාපු දිය ඇල්ලටත් ඉස්සර අපේ මිනිස්සු වහරලා තිබුනේ ගෝනගල ඇල්ල කියලා...

    පාරවල් වලට නම් දාද්දි රසික කියල තියෙනවා වගේ දිග නම් නොදා සරළ නම් යොදනවානම් අපිටත් වඩා රටට එන විදේශිකයින්ට විශාල පහසුවක්...
    ඒ නම් යොදද්දී පුද්ගල නාමයන් අවමයෙන් යොදනවා නම් ඉතා වටිනවා...

    ඉස්සර සුද්ද Torrington Square කියල දාපු නම නිදහස් චතුරශ්‍රය කියල වෙනස් කලාට අපේ රටේ මනසින් තාමත් වහල්ලු ඒකට නිදහස් චතුරශ්‍රය කියන නම පාවිච්චි කරන්න ලෑස්ති නැහැ. ඒ නම පොෂ් මදි නම් අඩු ගානේ Independent Square කියලවත් කියන්න එපැයි. එහෙම කියන්න දිවවල් නැමෙන්නෙත් නැහැ...

    හැබැයි පොෂ් අයටත් යන්න පුළුවන් මට්ටමේ තියෙන Independent Arcade කියන නමනම් කට පුරෝලා කියනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතා,
      අඩුම ගානේ, අපගේ සුවිශේෂී වැදගත් කමක් ඇති මහඑළිය තැන්න,ගෝනගල ඇල්ල වගේ ලස්සන නම්වත් ආපසු වහරට ගැනීම ගැන අපේ බලධාරීන්ට ඇස් ඇරෙන්නේ කවදාද?
      නිදහස් චතුරශ්‍රය කියන නම ගැන කටට හුරු නොවන අයට Independent Arcade හොඳට මතක සිටින්නේ, නිදහස ලැබී වසර හැත්තෑවකට පසුවත් තවම අපගේ බටහිරට ඇති ගැති කම නිසාමද? නැතහොත් අපගේ දේශීය වැදගත් කමකින් යුතු දේවල් ගැන අධ්‍යාපනයෙන් විමසිලිමත් වීමේ අඩුවක් නිසාද?

      Delete