Thursday 7 December 2017

ටියුෂන් පන්තිය .......

 මෙය මගේ මිතුරෙකු වන අබයදීර ගෙන් මෑතදී අසන්නට ලැබුණු තරමක් පැරණි සිද්ධියකි. අප ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ අය වුවත්,  ඔහු මේ සිද්ධිය මා සමග ප්‍රකාශ කළේ කලකට පසු හමුවූ අවස්ථාවකදීය.

‘ඉතින් අපේ දුව පළමු වරටම සම්මාන සහ අධි සම්මාන හත අටක්‌ එක්ක  ඕ ලෙවල් පාස් උනානේ.’ කි ඔහු අසල සිටි ඔහුගේ බිරිඳ දෙස බැලුවේය.

‘ඕ ලෙවල් හොඳට පාස් උනාට පස්සේ තමයි හරිම ජර මරේ. ඒ ටිකත් කියන්නකො යාළුවාට.’ කී බිරිඳ අසල පුටුවක හිඳ ගත්තාය.

දුවණිය වෛද්‍ය අංශය සඳහා උසස් අධ්‍යාපනය ලැබීමට කැමති බව කියා සිටියෙන් දෙමාපියන් එය අනුමත කර ඇති අතර, හොඳ ප්‍රතිඵල ලැබූ විදුහලෙන්ම උසස් පෙළත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිවේයයි  විශ්වාසයක්ද ඇති කර ගෙන  තිබිණ.

සති දෙකකට පමණ පසු දියණිය තම පියාට  අදහාගතහ නොහැකි යෝජනාවක් කර ඇත.

‘තාත්තේ, අපේ පන්තියේ ළමයි හැමකෙනෙක්ම ඕ ලෙවල් ප්‍රතිඵල එන්නටත් කලින් සිටම ටියුෂන් පන්ති යනවා. හැම කෙනෙක්ම වැඩ තුනටම ටියුෂන් ගන්නවා. මටත් ටියුෂන් නොගෙන හරි යන්නේ නැහැ.’

බලාපොරොත්තු රහිතව මෙය අසා ඔහු  කලබලවූ ඔහු, හොඳ ටියුෂන් පන්ති තිබෙන තැන් සොයා බලන ලෙස දියණියට කියා ඇත.

ඇය, පසු දිනම ටියුෂන් සඳහා ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ නම් සහ ඔවුන්ගේ පන්ති පවත්වන ස්ථාන ගැනත් තොරතුරු ඇතුලත් ලැයිස්තුවක් පියාට  ඉදිරිපත් කළාය. එම ටියුෂන් පන්ති සියල්ලම කොළඹ සහ අවට ස්ථානවල පවත්වන ඒවා විය. මේ කිහිපයකම නියමිත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවා ඇති බවත් දැනගන්නට ලැබුණි.

අබයදීර කාර්ය බහුල කෙනෙකු වූ නිසා මහුට සතියේ දිනක ටියුෂන් පන්ති සෙවීමේ මෙහෙයුමක නිරත වීමට අවස්ථාවක් නොවිය. ඊළඟ සතියේ ඉරිදා දින උදයේම, ඔහු  බිරිඳ සහ දියණිය සමග තම මෝටර් රථයෙන්ම ටියුෂන් පන්ති සෙවීම සඳහා පිටත් විය.

උදය වරුවේ නගරයේ ප්‍රසිද්ධ ටියුෂන් පන්ති පවත්වන ස්ථාන කිහිපයකටම ගිය ඔවුන්ට ඉතාමත් අමාරුවෙන් විෂයය දෙකක් සඳහා පන්ති සොයාගැනීමට හැකිවිය. භෞතික විද්‍යාව සඳහා ස්ථාන හත අටකටම ගියත් ඉඩකඩ ඇති ස්ථානයක් සොයා ගැනීමට නොහැකි විය.

අවසානයේදී රත්මලානේ ගුරු මහත්මියක් පවත්වන  ඉතාමත් හොඳ භෞතික විද්‍යාව ටියුෂන් පන්තියක් තිබෙන බවට ආරංචියක් ලැබිණ. වහාම ක්‍රියාත්මක වූ ඔව්හු එම ස්ථානය සොයා ගියහ.

එහි පැමිණ, කිහිප වරක් ගේට්ටුවට තට්ටු කළවිට ගෙදර සේවිකාවක් යයි සිතිය හැකි මැදිවියේ කාන්තාවක්‌ පැමිණ

‘මොකද?.... කාවද හොයන්නේ?’ කියා ඇසිය.

‘මේ ............මිස්ලගේ ගෙදරද? අපට මිස්ව මුණගැහෙන්න ඕනෑ’ දියණිය කීවාය.

‘ඉස්කෝලේ නෝනා දැන් පන්තියක වැඩ. දැන්නම් හමුවෙන්න බැහැ. මම ලොකු නෝනට කියන්නම්’ කියා ඇය ආපසු ගියාය.

සාරියක් හැඳ සිටි තරමක් වයසැති කාන්තාවක්  ටික වේලාවකින් ගේට්ටුව අසලට පැමිණියාය.
ඇය දුර සිට එන විටම දැක පුරුදු කෙනෙකු බව අබයදීරට දැනුනත්, හැඳුනුම් කම කුමක්ද යන්න එක්වරටම තීරණය කර ගැනීමට නුපුළුවන් විය.

ගේට්ටුව අසලට පමණි ඇය අබයදීර දෙස ටික වෙලාවක් පුදුමයෙන් මෙන් බලාසිට

‘අනේ .... අබේ... පුතා...... කොච්ච්ර කාළෙකට පස්සෙද දැක්කේ. මම ලෙඩ ගානේ ඉන්නේ...... මාව බලන්නට ආ එක කොච්චර හොඳද?’ 

කියා ඔවුන් ඇතුළට කැඳවා 

‘මම ලොකු පුතාට කතා කරන්නම්’ කියමින් ගෙතුළට ගියාය.

අබයදීරට ඇය කවුරුන්ද කියා කිසිසේත් මෙනෙහි කරගත නොහැකි විය. එහෙත් තම නමින් කථාකල ඇය තමන් හොඳින් හඳුනන කෙනෙකු විය යුතු බව ඔහුට පැහැදිලිවිය. කෙසේ වෙතත් ඇයගේ ඉල්ලීම පරිදි ගෙදරට ගොඩ වැදුණු ඔව්හු මහත් සැකයෙන් යුතුව ආලින්දයේ හිඳ ගත්හ.

මොහොතකින් ආලින්දයට පැමිණි ගෙහිමියා අබේදීර දෙස මඳක් වේලා බලාසිට

‘අම්මා...... අබේ පුතා කී නිසා මම බලාපොරොත්තු වුයේ වෙන කෙනෙක්, මේ අබේදීර...යා.... නේද?’

කියා  ඔහු වෙත  පැමිණ අත තදින් අල්ලා ඔහු  වැළඳ ගත්තේය.

අබේදිරට සියල්ල මතකයට ආවේ මෙවිටය. මේ විශ්ව විද්‍යාල කාලයේ ඔහු සමග එකට සිට, පසුව අවුරුදු විස්සක් පමණ විදේශගතවී සිටි  ඔහුගේ මිතුරෙකුවන ජනක්‌ය. ඒ කාලයේ ජනක්ලා පදිංචිව සිටියේ පෙරාදෙණියේය. ජනක්ගේ මව මහනුවර විදුහලක ගුරුවරියක ලෙස සේවය කළාය. නිතර ඒ ගෙදරට ගිය ජනක්‌ගේ මිතුරාවන අබේදිරටද ඇය  තම දරුවෙකුට මෙන්ම සැලකුම් කළාය.

මොහොතක් නිශ්ශබ්දව සිටි අබේදීර නෙත’ගට ගලා ආ  කඳුළු පිස දමමින්

‘මට හරිම කණගාටුයි මට දරුවෙකුට වගේ සලකපු අම්මව එක වරටම හඳුනාගන්නට බැරි උනාට.’

කියමින් ඒ අසලට පැමිණ සිටි අම්මාට, පහත්වී වැන්දේය.

‘කොහොම හරි වයසක මම අවුරුදු විස්සකින් විතර දැක්ක මේ දරුවාව හඳුනා ගත්තනේ !’

කියමින් ඇය මහත් ප්‍රමෝදයට පත් වුවාය.

මෙය ඉතාමත් අහඹු සිදුවීමකි. ටික වේලාවකින් සියලු දෙනාම නැවත එකිනෙකා හඳුනාගෙන සතුටු සාමිචියෙහි යෙදුනහ. ඒ අතර අබේදීර තමන් ආ කාරණයද ජනක්ට දැන්විය.

‘හරි වැඩේනේ....! දැන් මොකද කරන්නේ....! අපේ නෝනගේ පන්තියේ ළමයි සියයත් පැනලා.... වාඩිවෙන්නට ඉඩත් නැහැ...... කොයි එකටත් අහලා බලමු. තව ටික වෙලාවකින්, එකහමාරට පන්තිය ඉවර වෙනවා.’

කියමින් ඔහු තම අත් ඔරලෝසුවේ වේලාව බැලිය. 

‘දැන් හොඳටම දවල් වෙලා. මෙහෙන් දවාලට කෑම ටිකක් කාලම යමු’ 

කියමින්  අම්මා ගෙතුළට ගියාය.

අබේදිරලාට මේ සියල්ල චිත්‍රපටියක දර්ශන හෝ නවකතාවක සිද්ධි මාලාවක් ලෙස මැවී පෙනෙන්නට විය.

ටික වෙලාවකින් පන්තිය අවසන්වී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිටවී ගියහ. ගෙය තුළට ගිය ජනක් තම බිරිඳ ද සමග  ආලින්දයට පැමිණියේය. ජනක් සියල්ලන්ම ඇයට හඳුන්වා දී සියලු විස්තර කෙටියෙන් පැහැදිලි කළේය.

‘තවම මේ ඉස්තෝප්පුවේ......!   යමු ගේ ඇතුලට.’

කී ඇය ඔවුනට සාලයේ හිඳ ගැනීමට සැලස්වූවාය. සිසිල් බිම සංග්‍රහයකින් පසුව ජනක්ගේ බිරිඳද සතුටු සාමිචියට එක්‌ වුවාය.

‘මගේ පන්තියට ගිය සතියේ අන්තිම ළමයි පස් දෙනා ගත්තා. දැන් ඉඩකඩත් නැහැ. මේ හුඟ දෙනෙක් ඕ ලෙවල් ප්‍රතිඵල එන්නටත් ඉස්සර පන්තියට ආ අය. මෙච්චර ප්‍රමාද උනේ මොකද?

ඔවුන් තිදෙනාට ඇයගේ ප්‍රශ්නය සඳහා විවිධ පිලිතුරු තිබෙන්නට ඇත. එසේ වුවත් තිදෙනාම නිශ්ශබ්දව සිටියහ.

ඒ වනවිට රසායන විද්‍යාව පන්තියකට ගොස් සිටි ජනක්ලාගේ දියණියද ගෙදර පැමිණියාය. ඇයටද අමුත්තන් තිදෙනා හඳුන්වාදීමෙන් පසු දියණියන් දෙදෙනා කාමරයට ගියහ.

‘දැන් මේ දුවගේ ටියුෂන් වැඩේ කොහොමවත් මග හරින්නට බැහැනේ. අපගේ හොඳම හිතවතුන්ගේ  දියණියන් පස් දෙනෙකුට මම සෙනසුරාද රෑ හත සිට නවය දක්වා පන්තියක් කරනවා අබේදීරගේ දුව ඒකට එවන්න. මගේ දුවත් ඒ පන්තියෙමයි.’

කියා ජනක්‌ගේ බිරිඳ ගැටලුවට ක්ෂණික විසඳුමක් දුන්නාය.

රාත්‍රී නවයට පන්තිය අවසන්වී ආපසු ගෙදර එන්නේ කෙසේද කියා ඔවුන් සිතන බව වටහාගත් නිසාදෝ ඇය මෙසේද  කීවාය.

‘අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. සෙනසුරාදා සවසට දුව මෙහෙට එවන්න. සෙනසුරාදා මෙහේ නතරවී, රාත්‍රියට පන්තියටත් ඉඳලා ඉරිදා ගෙදර යන්නට පුළුවන්.’

මෙම යෝජනාව දෙමාපියනට  මහත් අස්වැසිල්ලක්  විය.

ජනක් සහ ඔහුගේ බිරිඳට ද මුව නොසෑහෙන සේ ස්තුති කළ අබේදිරලාට මිතුරෙකුගෙන් මෙවැනි උපකාර රැසක්‌ එකවර ලැබේදෝයි සිතාගන්නටවත් නොහැකිවිය.

ඉතා සුළු වෙලාවකින් ගජ මිතුරියන් බවට‍ පත්වී සිට දියණියන් දෙදෙනාට මෙම ආරංචිය කී විට ඔව්හු මහත් සන්තෝෂයෙන් අත්පුඩි ගසමින් උඩ පනිමින් ප්‍රීති වුහ.

දියණියන් දෙදෙනාම වසර තිහකට පමණ පසු, දැන් විශේෂඥ  වෛද්‍ය වරියන්ය.




        

12 comments:

  1. "පුදුමයි මේ හමුවීම අපේ" වගේ කතාවක් නේ එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      පුදුම වියහැකි තවත් ටිකක් මේ කතාවට තිබෙනවා.මා මුලින් ජනක් දැක හඳුනාගෙන සිටියේ නැහැ. රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තාට පසුව මා පෞද්ගලික ආයතනයක තාවකාලික පැවරුමක් කරමින් සිටින විට එහි වෙනත් අංශයක තාවකාලික කටයුත්තක් සඳහා ජනක් පැමිණියා. පසුව ඔහු හඳුනා ගත්තාට පසුවයි දැන ගත්තේ අබේදීර අප දෙදෙනාගේම පොදු මිතුරෙක් බව.

      Delete
  2. Replies
    1. ස්තුතියි තඩි මල්ලි.

      Delete
  3. හිත සැනසෙන කථාවක්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      සත්‍ය කතාවක්. අප ඇසුරු කරන අය අතර මිනිස් කම ඉහලින්ම අගයන අය සිටින බව මෙයින් පෙනෙනවා.

      Delete
  4. හොඳින් යහළුව හිටිය පෙරදින එකවගෙයි හැම මිතුරනේ
    හදින් සිහිවෙයි නුඹේ මතකය බැලූවිට මෙය සතුටිනේ
    මෙයින් ලියැවෙන මිතුරුකමනම් අගෙයි අනගිය ඒ සෙනේ
    ඉතින් තුතිමල් පුදමි මේ ලිපි ලියූවට නුඹ අද දිනේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      එකට සිටි මිතුරන්ද කලකදී වෙන්වගොස් විසිරි යතී
      යසට නැවතත් අහම්බෙන් මෙන් මුණ ගැසෙන්නට ඉඩ ඇතී
      දිනට හමුවූ විටදී නවතම හැඟුම් යලි යලි මතු වෙතී
      සැමට පොදු වූ දහම මෙයවේ දකින්නට ලැබෙනා නීතී

      ඔබට ජයම!

      Delete
  5. නියම මිතුරුකම යනු මෙයයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      කාලයාගේ ඉක්ම යාමත් සමග ඇසුර ඈත්වී මිතුරුදම් තුනිවිය හැකියි. එසේ වුවත් නැවත හමුවූ විටක පැරණි ඇසුර යලි අලුත්වීම මිනිස් සමාජයේ තිබෙන වැදගත් ලක්ෂණයක් නේද?

      Delete