Monday 8 May 2017

විදේශයකදී මිතුරන් සමග පුඩිං කෑ හැටි......

විදේශයකදී මිතුරන් සමග පුඩිං කෑ හැටි......

දශක හතරකට පමණ ඉහතදී විදේශයක ගුරුවරු ලෙස සේවය කිරීමට අපට අවස්ථාව ලැබිණ. ශ්‍රී ලංකාවෙන් ගිය ගුරුවරුන්ට එරටෙහි හොඳ සැලකිල්ලක් ලැබුණු අතර, සියලුම ගෘහ උපකරණ සහිත ගෙවල්ද ලැබිණ. සැමියා භාර්යාව සහ දරුවන් සමග එහි ගොස් සේවය කරන පවුල් කිහිපයක්ද විය. විවිධ හේතු නිසා අප කිහිප දෙනෙකුට ඒ වසර කිහිපය තනිකඩව ජීවත් වීමට සිදුවිය. ශ්‍රී ලංකාවේදීත්  හොඳින් ඇසුරු කළ අප තිදෙනෙක් සෑම සති අන්තයක්‌ම තුන්දෙනාගේ ගෙවල් වල මාරුවෙන් මාරුවට ගත කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගියෙමු. මගේ මිතුරන් දෙදෙනා සිරිල් සහ චන්ද්‍රසිරි වුහ. සිරිල්ගේ නිවස තිබුනේ මුහුද අද්දරය. එක් සති අන්තයක් සිරිල් ගේ  ගෙදර ගත කිරීමට චන්ද්‍රසිරිත් මමත් සෙනසුරාදා උදෙන්ම පිටත් වූයෙමු. කිලෝමීටර් 30 ක්‌ පමණ වූ දුර බසයෙන් යාමට අපට පැයක් පමණ ගතවිය.

අප එහි යන විටත් සිරිල් දහවල් ආහාරයට ගැනීමට අවශ්‍ය දේ සුදානම් කරමින් සිටියේය. බියර් එකකින් සප්පායම් වූ අපි ඉක්මනින්ම දහවල් ආහාරය පිළියෙළ කර ගතිමු. බාස්මතී හාලේ බත්, කුකුල් මස්, බැදපු තෝර මාළු. පරිප්පු  සහ එළවලු සලාදයක් සාදා ගැනීමට අපට වැඩි වෙලාවක් ගතවුයේ නැත. එහෙත් ‘ඩෙසර්ට්’ එක සඳහා තිබුණේ කුඩා පැපොල් ගෙඩියක් පමණකි. ඒ සඳහා විශේෂ යමක් ගෙන ඒමට අමතක වීම ගැන සිරිල් තරමක් කනස්සල්ලට පත්විය. ඔහු කෑමට ගන්නා ද්‍රව්‍ය රැස්කර තබන අල්මාරිය අවුස්සමින්

‘පුඩිං එකක් හදනවානම් අවශ්‍ය කළමනා තියෙනවා’  ඒත් මට වැඩේ හුරු නැහැ’ යයි කීවේය.

‘ඒකනම් මටත් බැහැ’ යි චන්දරේ කීය.

වරක් දෙකක් ගෙදරදී පුඩිං සාදා තිබුණු මට එය මෙහිදී ‘ට්‍රයි’ කරන්නට සිතුනි.

‘බඩු තියෙනවානම් මම හදන්නම්’ මම කීවෙමි.

සිරිල්, බිත්තර හතරක්, කිරි ටින් එකක්, මුද්දරප්පලම් සහ කජු පැකට්ටුව බැගින්ද මේසය මත තැබීය.

සියල්ලම තිබුනත් පුඩිම සෑදීමට සුදුසු භාජනයක් ගෙදර නොවීය. සිරිල් කිසිදිනක පාවිච්චි කර නොතිබුණු, මූඩිය සහිත පියනක්‌ ඇති  පැරණි සාස්පානක් කබඩ් එකක තිබී මම සොයා ගතිමි. බිත්තර හතර කඩා ජෝගුවකට දමා ගෑරුප්පු දෙකක් එකට තබා බැඳ සාදාගත් ‘බීටර් එකකින්’ බිත්තර ගසා ගත  හැකි විය. සාස්පානට සීනි හැඳි දහයක්‌ පමණ දමා ගෑස් කුකර් එක උඩ තබා රත්කරන විට  කැරමල් සෑදුණි. ‘බීට්’ කළ බිත්තර සහ ටින්කිරි හොඳින් කලවම් කර කැරමල් උඩට වත්කර කජු මද සහ මුද්දරප්පලම්ද එයටම දමා පියනෙන් වසා, ‘අවන්’ එකේ දමා අංශක දෙසියයක  පමණ උෂ්ණත්වයකට තැබුවෙමු. පැය භාගයකදී  පමණ ඉමිහිරි සුවඳක් සහිතව පුඩිම තැම්බි අවසන් විය.

තරමක් නිවුණු පසු සිරිල්, පුඩිම සහිත රත්වී ඇති සාස්පාන  පරණ තුවායකින් අල්ලා  ඉක්මණටම ශීතකරණයට දැමීය.

අපි තිදෙනා නැවතත් බියර් බොමින් දහවල් ආහාරය රිසිසේ භුක්ති වින්දෙමු. උයා තිබු දේවල් රාත්‍රියටත්  ප්‍රමාණවත් බව පෙනුණි.

පැරණි කතන්දර සහ නොයෙකුත් වල්පල් කතාකරමින් කෑම සඳහා පැයක්‌ පමණ ගතවිය.

Image result for different types of caramael puddings
                                     
                                            ‘සුපවේදියෙකුගේ නිර්මාණයක්’ වැනි කැරමල් පුඩිම

පුඩිම එලියට ගත්  සිරිල්, පියන ඉවතින් තබා සාස්පාන උඩු යටිකුරු කර පුඩිම පිඟානක් මතට මාරු කළේය. කැරමල් ඇති තරම් තිබුණු පුඩිම දක්ෂ සුපවේදියෙකුගේ නිර්මාණයක් ලෙස පෙනුනි. ලහි ලහියේ පුඩිං බෙදාගත් අපි රසකරකර එය සම්පුර්ණයෙන්ම වාගේ අවසන් කළෙමු.

Image result for different types of caramael puddings

පුඩිම බෙදා ගත්තේ මෙහෙමයි

ටික වෙලාවක් විවේක ගෙන චන්දරේ තේ හදන තුරු සිරිල් සහ මම භාජන සේදීමට පටන් ගතිමු. සාස්පාන සෝදන විට කුඩා ස්කුරුප්පු ඇනයක් එහි තිබී බිමට වැටුණි. එය පැත්තකින් තබා එහි පියන සොයන විට එය තවමත් තුවායේ පැටලී තිබෙනු දකින්නට ලැබුණි. එය අතට ගත්  මට අමුත්තක් දැනුනි.

සාස්පානේ පියනේ ප්ලාස්ටික් මුඩිය නැත.

භාජන සේදීම නතරකර දකින්නට නැති මුඩියට වුදේ සහ අහම්බෙන් හමුවූ ස්කුරුප්පු ඇණය යන ගැටලුව දෙක ගැන මඳක් කල්පනා කලෙමි. තාත්වික ස්කුරුප්පු ඇණයත් අතාත්වික පියනේ මූඩියත් දෙක සම්බන්ධ කර ගැටලුව විසඳිය යුතුය. වැඩි වෙලා නොගොස්  සිදුවී ඇති  දෙය අප තුන් දෙනාටම පැහැදිලි විය. එහෙත් එක්කෙනෙකුවත් ඒ බව ඇඟවුවේ නැත. අවසානයේදී මහා සිනා හඬ  මධ්‍යයේ වී තිබෙන දෙය හෙළිදරව් කර ගතිමු.

සාස්පානේ ප්ලාස්ටික් මුඩිය ‘අවන්’ එකේදී උණුවී පුඩිම උඩට වැටි හොඳින් කලවම්වී එයද ‘කැරමල්’ වී ඇත. අප තුන්දෙනාම ‘සීනි කැරමල්’ සහ ‘ප්ලාස්ටික් කැරමල්’ හරි හරියට කා අවසන්ය. පුඩිමේ තිබුණු ඇණය, මුඩිය  පියනට සවිකර තිබුණු එක බව දැන් පැහැදිලිය.

සිරිල්ටත් මටත් මෙය විහිලුවට කරුණක් වුවත් චන්දරේ මෙය ‘සීරියස්’දෙයක්‌ ලෙස සලකා කල්පනා කරන්නට විය.

ප්ලාස්ටික් නොදිරවන දෙයක් බවත් වස විය හැකි බවත් ඔහුගේ ඔතය විය. දොස්තර කෙනෙකු හමුවිය යුතු බව ඔහු තරයේ කියා සිටියේය. දැන් රෑ බෝ වෙමින් තිබුණු නිසා මේ ඈත පළාතේ සිට නගරයට යාමද පහසු නැත. ඔහු වරින් වර කාරා කෙළ  ගසන්නටත්, යම් යම් අව කැපෙන කතා කියන්නටත් විය. හෙට එළිවෙන්නට කලින් අප එක්කෙනෙක් වත් මරණයට පත්වුවහොත් අනික්‌ දෙදෙනාටත් හිරේ විලංගුවේ වැටෙන්නට වන බව ඔහුගේ අදහස විය. මට කිසි අමුත්තක් දැනුනේ නැත. සිරිල්ටද එසේමය. දහවල් ගත්  බර ආහාරය නිසා වරින් වර අපට ආම වාතය පිටවන විට ‘වමනය යන්නට එනවා නේද?’ යි චන්දරේ කිහිප විටක්ම ඇසීය. ප්ලාස්ටික් වස වී අප තිදෙනාම හෝ අඩු තරමින් එක් අයෙකුවත් හෙට එළි වීමට කලින් මිය යයිදෝයි ඔහුට්‌ මහත් සැකයකි. 

රාත්‍රියට කෑම නොකන බව කී චන්දරේ ‘කොයි එකටත් සුදානම්ව සිටින එක හොඳයි’ කියා  පැයක් පමණ ගතකර සිදුවූ සියල්ල ඔහුගේ ‘ඩයරියේ’  විස්තර සහිතව  ලියා තැබුවේය. චන්දරේ රාත්‍රී ආහාරය ගත්තේත් නැත.

පසුදින අප දෙදෙනාටත් කලින් අවදිවී සිටි චන්දරේ, තේ සාදනු මට ඇසිණ. මම හොරෙන්ම සිරිල්ට කථාකර මා මළාක් මෙන් ඇඳේ වැතිර සිටින බවත්, ඒ බව කියා කෑගසන ලෙසටත් පවසා, මම  අත පය විසුරුවා  කටද  ඇද කර ගෙන ඇඳෙහි වැතිරී සිටියෙමි.

කලබලයකින් වාගේ නැගිටගත් සිරිල්

‘චන්දරේ!....... චන්දරේ!! ......... අපේ යාළුවාට මොකක්ද වෙලා. සිහියත් නෑ වගෙයි’

කියා කෑ ගැසුවේය. තේ සාදමින් සිටි චන්දරේ දුවවිත් මගේ නාඩි අල්ළා ඇස්ද ඇර බැලීය. ඔහු තරමක් කලබලයෙන් වෙව්ලමින් මෙන් සිටින  බව මට දැණින.
විහිලුව වැඩිදුර යාම අගුණ විය හැකි බැවින් මම විනාඩියකින් පමණ සියල්ල ගසා දමා ඇඳෙන් නැගිට්ටෙමි.

තේ එකත්  රැගෙන කේන්තියෙන් කාමරයට ගිය චන්දරේ පැයක් පමණ යනතුරු එලියට ආවෙවත් නැත. පසුව දහවල් ආහාරය සකස් කිරීම පිණිස අපි එකමුතුව විහිලු කතා කියමින් වැඩ කළෙමු.

‘පුඩිං’ සහ ‘වස’ එදින අපට තහනම් වචන විය. 


මූඩි සෑදීම සඳහා ගන්නා ‘ප්ලාස්ටික්’ කෙනෙකුට මරණය සිදු වන තරම් වස නොවන බව අපි  ඔප්පු කළෙමු

11 comments:

  1. රසින් අගතැන් මස්ද මාළුද බත්ද මේසයෙ ඇත රැඳී
    ඉතින් අඩුවක් දැණෙන්නට වූ නිසා හිත්වලටත් මදී
    පුඩින් රසයට ප්ලාස්ටික් හා අලුත් රසයක් ගෙන දිදී
    ඔයින් බේරුණු එකද සතුටුය හිනා එයි දැන් රැව් දිදී.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සොල්දරේ උඩ තිබුණු බඳුනෙනි ප්ලාස්ටික් මූඩිය වැටෙන්නේ
      ගින්ද රේ සැර කමට ඒකත් මොහොතකින් දියවෙලා යන්නේ
      අන්ද රේ කළ වැඩක් වාගෙයි මෝඩ කමකුත් ඇදී එන්නේ
      'චන්දරේ' බාගෙට මළා. අපට නම් කිසිවක් නොවන්නේ

      Delete
  2. ප්ලාස්ටික් සමඟ රස වඩා හොඳට තිබුණාද? අහන්නේ ඊලඟ පුඩිමට ප්ලාස්ටික් මූඩි ටිකක් දාලා කාලා බලන්න. නියම කථාව.

    ReplyDelete
    Replies
    1. ඉයන්,
      රසෙහි නම් කිසිම වෙනසක් දැනුනේ නැහැ. ඉස්කුරුප්පු ඇණය දැක්ක විටයි මොකක් හරි වෙලා කියලා හිතුවේ. ඊට පස්සේ සාස්පානේ පියන සෝදන විට තමයි සිද්ධිය හොඳට තේරුම ගත්තේ.
      ඔබගේ ඊළඟ පුඩිමට ප්ලාස්ටික් ටිකක් දමා බලන්න.
      සමහර කඩවල කොකිස් හදන විට තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතලයක් දමනවාලු. ඒක තෙලෙහි හොඳට දියවෙනවා. මෙසේ සාදන කොකිස් සති දෙක තුනක්‌ තියා ගන්නට පුළුවන්ලු.පසුගිය අවුරුදු කාලයේ මේ ආකාරයට හදපු කොකිස් තවමත් කඩවල ඇති. කොකිස් කන්නේ පරිස්සමෙන්!

      Delete
  3. අපේ ශුද්ධ ගණිතය ගුරුවරයා කොඩිකාරත් ඒ දිනවල අප්‍රිකාවේ රටකට ගියා.

    ReplyDelete
  4. මට පේන්නෙ බියර් එක හොඳට වැඩකරල වගෙයි. නැත්තං ප්ලාස්ටික් කෑල්ලක් අවන් එකේ තියන්න ඉස්සෙල්ල පොඩ්ඩක් කල්පනා වෙන්න තිබුණ.

    මොනව උනත් ඊට පස්සෙ ප්ලාස්ටික් පුඩිං හදන්න ට්‍රයි කරල බැලුවෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඒකේ මූඩිය ප්ලාස්ටික් බව දන්නේ නැහැ. ඉවුම් පිහුම් කරන භාජන වලට සාමාන්‍ය උෂ්ණත්වයකදී දියවෙන ද්‍රව්‍ය දමන්නේ නැති බවයි හිතා ගෙන සිටියේ. මෙතන කොස්සට හිටියේ උෂ්ණත්වය දෙසීයට පමණ වැඩි කළ නිසයි ඇරත් මේක මම හිතන විදියට ඔය පේමන්ට් එකේ තියෙන ජාතියේ බාල සාස්පානක්.

      Delete
  5. මොන ර ්ට්ද මේ සිදුවීම උනේ

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවට වඩා හුඟක් කුඩා රටක්

      Delete
  6. හිහ්.. බියර් එකේ වර්ගේ මොකක්ද කියල හොයල බලන්න වටිනවා.. යකඩො ප්ලාස්ටික් කනවා තේරෙන්නේ නැති තරමට වදින්න.. :)))

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර,
      බියර් ඒකෙන් කොහොමද එච්චර වදින්නේ. පුඩිමට දාපු කැරමල්, මුද්දරප්පලම්, කජු වගේ දේවල් කිරි සහ බිත්තර සමග එකතු වී තිබුණු නිසා අමුතු රසක් දැනුනේ නැහැ.

      Delete