Tuesday 16 May 2017

නියමිත ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විභාග දිනයේදී ම ‘අස්ථාන’ ගත වෙයි......


   පේ ප්‍රධාන විභාග (සා.පෙළ සහ උ.පෙළ) පවත්වන විට සෑම විභාග ශාලා  දහයක්‌ දොළහක් පමණ ආවරණය වන පරිදි සම්බන්ධීකරණ මධ්‍යස්ථානය බැගින් සංවිධානය කරනු ලැබේ. මෙම මධ්‍යස්ථාන භාරව කටයුතු කිරීම සඳහා තෝරා ගනු ලබන්නේ පළපුරුදු නිලධාරීන් හෝ විදුහල්පතිවරුන් පමණකි. විභාගය ආරම්භයට දින දෙකකට පමණ කලින් විවෘත කරන මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සඳහා සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලැබෙන අතර, භාරව සිටින නිලධාරියාද පුර්ණ කාලීනව මධ්‍යස්ථානයේ රැඳි සිටිය යුතුය.

විභාගයේ පළමු දින කිහිපයට නියමිත සියලුම විෂයය වල ‘සීල්’ කරන ලද ප්‍රශ්න පත්‍ර පැකට්ටු, විභාග දෙපාර්තමේන්තුව මගින් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ගෙනවිත් භාරදෙනු ලැබේ. ඊට අමතරව ඒ ඒ විභාග ශාලාවට නියමිත ලිපිද්‍රව්‍යද ශාලාධිපති වරුන් සඳහා බෙදා දෙනු ලබන්නේද   සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙනි. සියලුම විභාග ශාලාධිපති වරු සෑම විභාග දිනයකම, උදෑසන පැමිණ   කාල සටහන අනුව නියමිත ප්‍රශ්න පත්‍ර පැකට්ටු භාරගත යුතුය. ප්‍රශ්න පත්‍ර පැකට්ටු සුරක්ෂිතව ගෙනයාම ශාලාධිපතිගේ වගකීම වේ. දිනය අවසානයේදී මනාව සකස් කර  අසුරා ‘සීල්’ තබන ලද උත්තර පත්‍ර පාර්සල් සුරක්ෂිතව මධ්‍යස්ථානයට ගෙනවිත් භාරදීමද විභාග ශාලාධිපතිවරයා විසින්ම කළ යුතුය.

විභාගයේ රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමත් කිසිම අයදුම්කරුවෙකුට අසාධාරණයක් සිදු නොවන පරිදි විභාගය පැවැත්වීමත් විභාග රාජකාරි කරන සියලුම නිලධාරීන්ගේ භාරධුර  වගකීමයි. 

මට, කිහිප වරක්ම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් භාරව කටයුතු කිරීමේ රාජකාරිය පැවරිණ,  එක්‌  වර්ෂයක අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන තුන්වන දිනයේ, උදෑසනම, සිරිත් පරිදි සියලුම විභාග ශාලාධිපති‍න්ට, දිනයට නියමිත ප්‍රශ්න පත්‍ර පැකට්ටු බෙදාදී දෛනික ජර්නල් සටහන් ආදිය අවසන් කලෙමි. එදින සවස ප්‍රශ්න පත්‍රය වුයේ පාලි විෂයය යි.

සාමාන්‍යයෙන් පාලි විෂයයට ඉදිරිපත් වනුයේ අයදුම්කරුවන් ඉතාමත් අඩු සංඛ්‍යාවකි. මේ නිසා එදින ප්‍රශ්න පත්‍ර අවශ්‍ය වුයේ විභාග ශාලා තුනකට පමණකි. එයින්ද එක්‌ විභාග ශාලාවක පෙනී සිටියේ අයදුම් කරුවන් දෙදෙනෙක් පමණකි. එය පෞද්ගලික අයදුම් කරුවන්ගේ මධ්‍යස්ථානයකි.

එදින උදෑසනම, එම ශාලාධිපතිවරයා නියමිත පාලි ප්‍රශ්න පත්‍ර පැකට්ටුව මගෙන් ලබාගෙන කුඩා සුට්කේසයක අසුරා ගනු මම දැක්කෙමි. ප්‍රශ්න පත්‍රය දීමට තිබුණේ  පස්වරු එකටය. දිනයේ ප්‍රධාන වැඩ කටයුතු අවසන් කර, මගේ සහායට සිටි අය, පොලිස් නිලධාරියා සහ  මම කතාබස් කරමින් සිටියෙමු.

වේගයෙන් පැමිණි මෝටර් රථයක් මධ්‍යස්ථානයට මඳක් ඈතින් නතරකර බැසගත් කිහිප දෙනෙකු කලබලයෙන් අප සිටින දෙසට එන්නට සැරසුණහ. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා ඔවුන්ට නතර වීමට සන් කර ඉදිරියට ගියේය. පොලිස් නිලධාරියා ඔවුන් සමග යමක්  කතාකළ පසු  සියලුදෙනාම අප මධ්‍යස්ථානය වෙත එන්නට පටන් ගත්හ.

කුඩා සුට්කේසය සහ තවත් දේ දෑතින් ගෙන එනුයේ උදයේ මගෙන් ප්‍රශ්න පත්‍ර පැකට්ටු ලබාගත්  ශාලාධිපති වරයෙකු බව මම හඳුනාගතිමි. පැමිණි එක්‌ අයෙකු සාමනේර ස්වාමීන් වහන්සේ නමක් වූ අතර අනිත් පුද්ගලයා ජාතික ඇඳුම හැඳගත් තරුණයෙකි.

ස්වාමීන් වහන්සේට හිඳ  ගැනීම පිණිස පොලිස් නිලධාරියා විසින් ආසනයක් පනවන ලදී. කලබලයෙන් මා  සිටි තැනට පැමිණි ශාලාධිපතිවරයාට හීන් දාඩිය දමා තිබුණු අතර අත පයද සෙමින් සලිත වනු දුටුවෙමි.

‘මොකද ජයසේකර මහත්මයා කලබලයෙන්....... වාඩිවෙන්න.’

කී මම, ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුයෙමි.

ඔහු යමක්‌ කීමට තැත් කලත් පිටවූ වචන මට තේරුණේ නැත.

ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි ශාලාධිපතිවරයා

‘ප ...ප ....ප ...ප්‍රශ්න පත්‍රය නැ... නැ.... නැහැ’

යයි ගොත ගසමින් කෙඳිරීය.

කිසි කලබලයක් නොපෙන් වූ මම

‘උදේ මගෙන් පැකට්ටුව ගත්තා නේද?’ යි  ඇසීමි.

‘ග... ග .... ගත්තා ඒක නැතිවෙලා. හාමුදුරුවන්වයි අනිත් ලමයාවයි මම එක්කරගෙන ආවා.’ 

කි ඔහු වෙව්ලන්නට විය.

විභාග දිනයේම අවසාන මොහොතේ, අදාළ ප්‍රශ්න පත්‍ර පැකට්ටුවක් නැතිවීම බරපතල ප්‍රශ්නයකි.

ශාලාධිපතිට විවේක ගැනීමට සැලැස්වූ මා වහාම අප කාමරයේ කොටසක ආසන දෙකක්‌ පිළියෙළ කර අයදුම් කරුවන් දෙදෙනාට හිඳ  ගැනීමට සැලස්වූයෙමි.

ශාලාධිපතිගේ කුඩා සුට්කේසයේ යතුර ඉල්ලා ගත්  මම  ප්‍රවේශමෙන් එය විවෘත කළෙමි. එය තුළ උදය වරුවේ එකතු කරගත් උත්තර පත්‍ර පාර්සලය විය. නැවත සුට්කේසය වැසීමට පියන පහත් කරණ විට උඩ පියනේ හිරවී තිබුණු ප්‍රශ්න පත්‍ර පැකට්ටුව දුටුවෙමි.

එය එලියට ගත්  මම

‘මේ තියෙන්නේ නැතිවෙච්ච ප්‍රශ්න පත්‍ර පැකට් එක. ඔයාගේ සුට්කේස් එක ඇතුළෙම’ කියා

එය ඔසවා ශාලාධිපතිට පෙන්වුයෙමි.

ඔහු වහාම ප්‍රකෘති සිහියට එළඹියේය.

‘මට කලබලයට ඕක හොයා ගන්නට බැරි උනා. සර්, අපි දැන් මොකද කරන්නේ. ආපහු විභාග ශාලාවට යන්න වෙලාව මදිනෙ ?  කි ය.

‘ජයසේකර මහත්මයා ඔහොම ඉන්න. මම අවශ්‍ය දේ කරන්නම්’

කී මා ඔහු ලවා ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විවෘත කරවා අයදුම් කරුවන් දෙදෙනාට ප්‍රශ්න පත්‍රය  සහ ලියන කඩදාසි දී පිළිතුරු සපයන ලෙස දැන්වීමි.

ශාලාධිපතිවරයා මහත් ලජ්ජාවකට පත්වී කරබාගෙන සිටියේය.
ඊට පසු   ඔහු ඇමතු මා

‘ජයසේකර මහත්මයා, කලබල වෙලා මේ වැඩ කරන්න බැහැ. ප්‍රශ්න පත්‍ර පැකට්ටුව නැති  උනා නොවෙයි . ඒක ‘අස්ථානගත’ වෙලා තිබී පසුව ලැබුනා. වැදගත්ම දෙය තමයි විභාගය පැවැත්වීම. දැන් ඒ ටික හරි.’

‘කලබල නැතුව, අයදුම් කරුවන් දෙදෙනාගේ අත්සන් පත්‍ර පරීක්ෂා කර , ලියන කඩදාසි වල කෙටි අත්සන් තැබීම, ලකුණු ලැයිස්තුව සකස් කිරීම  වගේ අවශ්‍ය දේවල් කරන්න’ යි

මම ඔහුට කීවෙමි.

‘මට සමාවෙන්න සර්, මගේ අතින් ලොකු වැරද්දක් උනේ.’

කියා ඔහු නැවත බැගෑපත් වන්නට විය.

‘කාටත් වරදිනවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සිද්ධිය ගැන ජර්නල් සටහනක් තබා, ඒකේ පිටපතක් අත්සන් කර මටත් දෙන්න.’ කී

මා විභාගයේ ඉතිරි වැඩ කටයුතු ඔහුට පවරා මගේ නියමිත රාජකාරි කටයුතු වල නිරත වීමි.

කෙසේ හෝ, විභාගය ආරම්භකළ යුතු වේලාවේ සිට, පැයක්‌ ගත වීමට පෙර එම අයදුම් කරුවන් දෙදෙනාට ප්‍රශ්න පත්‍රය දීමට අපට හැකිවිය. රාජකාරියේ වැදගත්ම කොටස හරියාකාර ඉටුවිය.

ජයසේකර විභාග ශාලාධිපති  අයදුම්කරුවන් දෙදෙනාද සමග වහාම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට පැමිණි නිසා එම අයදුම් කරුවන් දෙදෙනා සඳහා, නිත්‍යානුකකූලව කලට වේලාවට විභාගය පැවැත්වීමට අවස්ථාව සැලසීණ.           

       

12 comments:

  1. හැම දේම අප්සෙට් රටේ පොඩි පොඩි සිද්ධි වුණත් තවමත් විශ්වාසයක් තියෙන දෙයක් තමයි විභාග. මරු අත්දැකීම. ජයසේකර මහත්තයට හෘද රෝගයක් තිබ්බෙ නැති වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉයන්, කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැතිව හිතට එකඟව ආත්ම ගරුත්වයක් ඇතිව රාජකාරිය කරන්නට ලැබෙන එකම ආයතනය විභාග දෙපාර්හාමේන්තුව විය හැකියි. මේ තත්ත්වය තවමත් පවත්වාගෙන යාම ලොකු සතුටක්.
      ජයසේකර මහත්මයා වැඩ තහනම් කිරීමකින් බේරුනේ මා නිසයි.

      ඔබට ජය !

      Delete
  2. කලබලකරයා වුනාට ජයසේකර මහත්තයාත් හොඳ වෙලාවට අයදුම්කාරයෝ දෙන්නාව එක්කගෙන ආවේ.ඔබත් ස්ථානොචිත ප්‍රඥාවෙන් වැඩේ කරපු නිසා ලොකු ප්‍රශ්නයක් නොවී තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      ජයසේකර මහත්මයා තව වැරද්දක් කර තිබුනා. මම විස්තරේට ඒක ලිව්වේ නැහැ. සෑම විභාග ශාලාවකටම නිත්‍ය නිරීක්ෂක වරයෙක් පත් කරනවා. නිත්‍ය නිරීක්ෂක ශාලාධිපති වගේම පුර්ණ කාලීනව රාජකාරියේ සිටිය යුතුයි. එදා සවස් වරුවේ අයදුම් කරුවන් දෙදෙනෙක් පමණක් සිටි නිසා ඇයව කලින් යවලා. විභාගයට වැඩි පිරිසක් සිටියා නම් විභාග ශාලාව නිත්‍ය නිරීක්ෂකට භාරදී ශාලාධිපති ඊළඟ පියවර ගත යුතු වෙනවා. මෙයද දඬුවම් ලැබිය හැකි වැරද්දක්.

      Delete
  3. පහුගිය පෝස්ට් එකේ මං දාපු කමෙන්ට් එකට අමතරව වී. ඩී. ලැනරෝල්ගේ පොත්වල ( පියසිරිගේ පාසල් සමය හා හපන්කම්..........) දැනට අවුරුදු 100 කලින් විභාග තියපු විදිහ ගැන තියන කතා මතක් වුනා මේ පෝස්ට් එක කියෙව්වහම

    ReplyDelete
    Replies
    1. හිතවත් Pra Jay,
      අපටත් ප්‍රාථමික පන්ති වලදී වී. ඩී.ද.ලැනරෝල්ගේ කියවීම් පොත් තිබුනා. මට මතක හැටියට 'සියබස් මග' ඒ පොත් පෙළයි. 'පියසිරිගේ පාසල් සමය හා හපන්කම්........' පොත ගැන අසා තිබෙනවා. කියවලා නම නැහැ.

      Delete
  4. කලින් උත්තර පත්‍ර ටික ඔහු එකතු කර ඉන්නට ඇතී
    සැනින් එය හා ප්‍රශ්ණ පත්‍රෙද මාරුවී යන්නට ඇතී
    ඉතින් සිදුවූ අත්වැරැද්දට ඔහුත් බියවෙන්නට ඇතී
    මෙයින් ගැටළුව විසඳගන්නට ඔබෙ සහය වටිනට ඇතී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතවත් දුමී,
      පරිණත වූ අයට මේ වැඩ පවරන්නේ
      කලබල නිසාමයි අවුලක් කර ගන්නේ
      පුහුණුව කොතෙක් දී තිබුනත් නව පන්නේ
      කරනා අත් වැරදි ඉවසිය යුතු වන්නේ

      ඔබට ජය !

      Delete
  5. රාජකාරිය ඉතිං දේවකාරියලු නේ. තමන් අත්සන් කරල බාරගත්ත ප්‍රශ්න පත්‍ර පැකට් එකක් නැති වෙනවය කියන්නෙ ඉතිං හීන් දාඩිය දාලා ආයෙත් මහදාඩියත් දාන වැඩක් නේ.
    අපි ඉස්කෝලෙ යන කාලෙ පළාත් සභාවෙන් පවත්වන වාර විභාගවලදි නම් ඉඳල හිටල අවශ්‍ය පිටපත් ප්‍රමාණය නිසි පරිදි නොලැබුණු අවස්ථා නම් තිබුනා. ඒ වෙලාවට කවුරු හරි ගුරුවරයෙක් ගිහින් ෆොටෝකොපි කරන් එනව. විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග වගේ නෙවෙයි නේ. ප්‍රශ්නවලත් සෑහෙන්න ගැටළුකාරී තැන් තිබුනා. මම මේ කිව්වෙ අවුරුදු කිහිපයක මෑත කාලෙ අර සෑහෙන අංජබජල් වැඩ උනා කියල ජනමාධ්‍ය වාර්තා කරපු කාලෙට ටිකක් කලින් කාලෙ ගැන.

    ReplyDelete
    Replies
    1. DDT ඔබට ස්තුතියි,
      පොඩි දෙයකින් රාජකාරිය අවුල් කරගන්නා අය එමට සිටිනවා.
      ඒ අයදුම් කරුවන් දෙදෙනාට එදා විභාගයට පෙනී සිටීමට නොහැකි වූවා නම් ආරංචිය පත්‍ර වල වැටෙන්නේ 'විභාග ශාලාවට නියමිත ප්‍රශ්න පත්‍ර යවා නැහැ. අයදුම් කරුවෝ අතරමං වෙති. මෙන්න විභාග දෙපාර්තමේන්තුවේ වැඩ?' කියා විය හැකියි.
      ඔබ සඳහන් කර තිබෙන සමහර තැන් වල (විභාග දෙපාර්තමේන්තුව නොවේ) දකින්නට ලැබුණු ප්‍රශ්න පත්‍ර විහිලු ගැනත් පසුව ලියන්නම්.

      Delete
  6. ඕං... සිහියෙන් ඉන්න ඕන කියන්නේ ඒකයි.... කොහොම නමුත් ඔහොම උන එක හොඳා... අයේ විභාග වලදි නම් අත පසුවීම් වෙන එකක් නෑ... අත්දැකීම් වලින් ඉගෙන ගන්නවනේ..

    ReplyDelete
    Replies
    1. අරු ඔබට තුති,
      කලින් හමුවී නැතුවා වගෙයි.
      එය අතපසු වීමවත්, නොසැලකිල්ලත් නොවෙයි. අනවශ්‍ය කලබල වීම නිසා සිදුවූ අකරතැබ්බයක්. තව ටිකක් වැරදුනා නම් දුර දිග යන වැඩක්.

      Delete