Thursday 18 May 2017

හවස් වරුවේ නියමිත ප්‍රශ්න පත්‍රය වැරදීමකින් උදේ දීලා.........


 මෙය මා දන්නා කියන විභාග ශාලාධිපති වරයෙකුට සිදුවූ ඇබැද්දියකි. ඔහු පළපුරුදු විදුහල්පතිවරයෙකු වුවද සමහර වෙලාවට වැඩ අවුල් කර ගන්නා ස්වභාවයේ කෙනෙකු බවද අසා ඇත්තෙමි.

මේ සිද්ධිය වන අවස්ථාවේ ඔහු ශාලාධිපති ලෙස සේවය කළේ කොළඹ නගරයේම විදුහලක විභාග ශාලවකය. එය අපොස උසස්  පෙළ විභාගයයි. කාල සටහනට අනුව එදින උදය වරුවේ තිබුණේ ආර්ථික විද්‍යාව වන අතර සවස් වරුවට නියමිතව තිබුණේ ගණකාධිකරණය විෂයයයි. එදින පාසල් අයදුම් කරුවන් අසුවක් පමණ විභාගයට පෙනී සිටීමට නියමිතය. සියලුම අයදුම් කරුවන් එම විදුහලේම සිසුන්ය. නිත්‍ය නිරීක්ෂක වරියක් සහ තව නිරීක්ෂකයින් කිහිප දෙනෙක්ද රාජකාරි කටයුතු වල නිරතව සිටියහ. සියලුම අයදුම් කරුවන් ශාලාවේ අසුන් ගත් පසු, සිරිත් පරිදි උපදෙස්  මාලාවද කියවා, නියමිත වේලාවට ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විවෘත කර, ඒවා අංක අනුපිලිවෙලට නිරීක්ෂකවරු මගින් අයදුම් කරුවන්ට බෙදාදෙන ලදී.

ස්වල්ප  වේලාවකින් ශාලාවේ තිබුණු නිශ්ශබ්දතාව බිඳි ගොස් නොයෙකුත් ශබ්ද මධ්‍යයේ කිහිප දෙනෙක් අත් ඔසවා ගෙනද සිටියහ. එයින් කලබලයට පත්වූ ශාලාධිපති, නිශ්ශබ්ද වන ලෙස විධානය කළේය. මේ සමගම නැගී සිටි අයදුම් කරුවෙක්

‘අපට කාළ සටහනේ තිබෙන්නේ ආර්ථික විද්‍යාව ඒ උනාට මේ ප්‍රශ්න පත්‍රය ගණකාධිකරණය’

කියා හඬ නැගුවේය. ඒ සමගම තව කිහිප දෙනෙක්ද උස් හඬින් ඝෝෂා කළහ. කාරණය තේරුම් ගත් ශාලාධිපතිට හෝ නිරීක්ෂකයින්ට උණුසුම් තත්ත්වය පාලනය කර ගත නොහැකිවිය. විභාග ශාලාවෙන් නොයෙකුත් ශබ්ද, කෙඳිරිලි, අව කැපෙන වචන ආදිය ඇසෙන්නට විය. ප්‍රශ්න පත්‍ර ආපසු එකතු කර ගැනීමටද නොහැකි වන පරිදි අයදුම් කරුවන් සී සී කඩ විසිරී සිටියහ.
  
සිදුවී ඇති වැරැද්ද සැලවී, ඒ වෙලාවේ විදුහල් කාර්යාලයේ  සිටි විදුහල්පතිතුමා සහ තවත් ගුරුවරු කිහිප දෙනෙක්ද ශාලාවට පැමිණ සිසුනට සාධාරණය ඉටු කර දෙන බවට‍ පොරොන්දු වී කලබලකාරී බව මැඩ පවත්වන ලදී.

සිද්ධිය විභාග දෙපාර්තමේන්තුවට දැන්වූ වහාම, එවෙලේ හදිසි ව්භාග රාජකාරි සඳහා වෙන්කර සිටි නිළධාරීන් දෙදෙනෙක්ද විභාග ශාලාවට පැමිණියහ. එම නිලධාරීන් පැමිණෙන වන විට සන්සුන්ව සිටි සිසුනට, තමන්ට බෙදාදෙන ලද ගණකාධිකරණය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන ලෙස උපදෙස් දෙන ලදී. කිහිප දෙනෙකු මුලින් අකමැත්ත ප්‍රකාශ කලත් පසුව සියලු දෙනාම සාවධානව පිළිතුරු ලිවීමට  පටන් ගත්හ. ඔවුනට අපතේ ගිය කාලය වෙනුවෙන් විනාඩි විස්සක් වැඩිපුර  දීමටද තීරණය කරන ලදී.

විභාග ශාලාධිපති, නිරීක්ෂකවරු සහ ව්භාග දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කෙටි සාකච්ඡාවකින් පසු තවත් වැදගත් කරුණු දෙකක් අනුගමනය කිරීමට තීරණය විය.
එයින් පළමුවැන්න වුයේ විභාග ශාලාධිපතිගේ වියදමෙන් සියලුම අයදුම්කරුවන් සඳහා සපයනු ලබන දිවා ආහාරය ශාලාව තුලදීම ගැනීමට සැලැස්වීමයි. දෙවැන්න වුයේ කිසිම අයදුම් කරුවෙකුට විවේක කාලය තුළදී ශාලාවෙන් පිටවීම තහනම් කිරීමය. ශාලාධිපති විසින් මේ බව නිවේදනය කරන ලදී.

ශාලාධිපතිගේ ඉල්ලීම පරිදි, විදුහලේ ගුරුවරයෙකු ඉදිරිපත්වී නගරයේ ප්‍රධාන ආපන ශාලාවකින් දිවා ආහාර පැකට් සහ අතුරු පසක් ද ඇනවුම් කර ගෙන්වන ලදී.

උදය වරුවේ පිළිතුරු ලියා අවසන් කර පිළිතුරු පත් භාර දීමෙන් පසු අයදුම්කරුවන් සියලු දෙනාම  ශාලාව ඇතුලතම  සිට ප්‍රණීත ආහාර වේලක් භුක්ති විඳ, තැන් තැන් වලට වී සවස් වරුවේ ලැබෙන ප්‍රශ්න පත්‍රය සඳහා සුදානම් වනු දකින්නට ලැබිණ. ශාරීරික අවශ්‍යතා සඳහා පිටතට යාමට සිදුවූ සිසුනට නිරීක්ෂක වරයෙකු සමග යාමට සිදුවිය.

දැන් අවුල් සහගත තත්ත්වය මග හැරී ගොස්ය.

නියමිත වෙලාවට වඩා විනාඩි කිහිපයක් පසුකර ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය බෙදාදෙන ලදී. සියලුම සිසුන් සාවධානව එයට පිළිතුරු සැපයීමට පටන් ගත්හ.

ගැටලුවක් මතුවූ අවස්තථාවේදී සියලු දෙනා එකතුවී සාමුහිකව කටයුතු කිරීම නිසා මහා අවුල් සහගත තත්ත්වයක් වැඩි කරදරයක් නොමැතිව විසඳා  ගත හැකි විය.

සවස් වරුවේ  දීමට තිබුණු ගණකාධිකරණය ප්‍රශ්න පත්‍රය උදය වරුවේ දීම නිසා අයදුම්කරුවන්ට පාඩු නොවන්නට ඇත. එසේම ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සවස් වරුවේ දීමද ඔවුනට හානිකර නොවේයයි අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් මෙම ශාලාවේ සිටි සිසුන්ට පිටතට යාම තාවකාලිකව තහනම් කළේ ප්‍රශ්න පත්‍ර පිටවීමට ඇති ඉඩකඩ අසුරා දැමීම පිණිසය.

ශාලාධිපතිවරයා අතින් සිදුවූ වැරද්දට වෙන කල යුතු කිසිම පිළියමක් නැත. කළයුතු එකම දෙය වනුයේ දිවා ආහාරය සපයා දී අයදුම්කරුවන් ටික වේලාවක් සිර අඩස්සියේ තබා ගැනීම පමණකි. අතින් පාඩු විඳගෙන හෝ අයදුම්කරුවන්ට දිවා ආහාරය සපයා දී සිදුවිය හැකි ආන්දෝලනාත්මක සිද්ධියක්‌ වලක්වා ගැනීමට පියවර ගැනීම  සාධාරණය.

එම ශාලාධිපති වරයා ඊට පසු විභාග කටයුතු කිසිවක් භාර ගත්තේ නැති බව සඳහන්ය..      

8 comments:

  1. ශාලාධිපති මං ජාතියෙ කෙනෙක් වගේ. උදේ නියමිත විෂයට පෙනී සිටින සිසුන් කීප දෙනෙක් හවස විෂයට පෙනී නොසිටිනවා නම් තත්ත්වය මීට වඩා ව්‍යාකූල වෙනවා නේද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      ශාලාධිපතිට සහාය වීමට නිත්‍ය නිරීක්ෂක වරයෙකුද පත් කරන්නේ වැරදි සිදුවීම අවම කර ගැනීමටයි. මේ සුළුවට පෙනෙන බරපතල වැරැද්ද කිසිකෙනෙකු නොදැක සිටීම පුදුමයට කරුණක්.
      ඔබ අසා ඇති ආකාරයේ ගැටළුවක් නම් වාර්තාවී ඇති බවක් මා අසා නැහැ. එවැනි අවස්ථාවකදී වුවත් නියමිත ප්‍රශ්න පත්‍රය දීමට අයදුම් කරුවන් 'හිර අඩස්සියේ' තබා ගැනීම නිසා ප්‍රශ්න පත්‍රය පිටවන්නේ නම් නැහැ. උදේ සිද්ධිය නොදැන එසේ සවසට එන අයදුම් කරුවන්ට උදේ ඉතිරි වන ප්‍රශ්න පත්‍ර දිය හැකියි. මේ සඳහා විශේෂ සටහන් තබා වෙනම උත්තර පත්‍ර පැකට්ටුවක් සකස්කළ යුතයි.

      Delete
  2. දයාවී ඔබේ මේ ලිපි වලින් හිතෙන්නේ ලංකාවේ විභාග ගැන සැකයක් තබා ගත යුතු නොවන බවයි.නමුත් විභාග ප්‍රශ්න පත්තර වල ඇති ප්‍රශ්න කලින් පිටවීමේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්ම මෑත කාලීනව වාර්තා වුනා නේද ?

    ReplyDelete
    Replies
    1. හිතවත් මනෝජ්,
      මෑත කාලයේ සිදුවීම් ගැන නම් මට කිසිවක් කියන්නට බැහැ
      මා ලියන දේවල් දශක තුනකට පමණ ඉහතදී සිදුවූ දේවල්. අද කොයිවත් දේශපාලනීකරණය වෙලා වාණිජමය මට්ටමකට වැටිලානේ. මුදල් හඹා යන අයට හරි වැරැද්ද තේරුම් ගැනීම අමාරු වගෙයි.

      Delete
  3. උදේ දුන්නේ සවස දීමට තිබුණු විෂයක පත්‍රයයි
    වදේ දුන් සිසුවන්ද එයටම කැමති වුණු එකනම් හොඳයි
    වැදේ නම් ඇණ තැනේ හැටියට ගැටළු හැම දුරදිග නොයයි
    හොඳේ ඇදුරට ලැබුණු දඳුවම ඔයින් බේරුණු එක මදැයි.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතවත් දුමී,

      විභාගයකදී වැරදි වන බව අවම කරගත යුතු තමයි
      ඒ උනත් අත් වැරදී සිදුවන අවස්තා තවමත් තිබෙයි.
      මහා වියවුල් සිදු නොවන ලෙස වැඩ සියල්ලම කළ යුතුයි
      තැනට ගැලපෙන නුවන යොදවා වැඩ කලොත් එය හරි අගෙයි.

      ඔබට ජයම.

      Delete
  4. මටත් මුලින්ම ඇතිවුනේ ඔය ඉයන් අහපු ප්‍රශ්නයමයි. ඒත් ඉතිං වැඩේ බේරුම් කරගෙන තියෙන හැටියට ශිෂ්‍යයො නිවාස අඩස්සියෙම තියාගැනීමෙන් ගැටළුව විසඳගන්න පුළුවන්නෙ කියලත් හිතුනා. බොහෝ වෙලාවට ඔය ගිණුම්කරණය ලියන ළමයි, හැමෝම වගේ ආර්ථික විද්‍යාවත් කරන නිසා එතරම් ගැටළුවක් නැතිව ඇති. ඒත් කලා විෂයන් කරන ළමයිත් ආර්ථික විද්‍යාව කරනව මම හිතන්නෙ, ඒ මධ්‍යස්ථානෙ එහෙම අය ඉන්න නැතිවත් ඇති සමහරවිට.

    ReplyDelete
    Replies
    1. DDT ස්තුතියි,
      බොහෝවිට විභාග කාල සටහන් සකස් කරන්නේ ඔය වගේ සියුම් දේවල් ගැනත් කල්පනා කරලා. ඔබ කියන කාරණය පාසල් අයදුම්කරුවන් සිටින විභාග ශාලාවල සිදුවීම අවමයි. පෞද්ගලික අයදුම්කරුවන් සිටින විභාග ශාලාවක උනත් එහෙම වාර්තාවී නැති බවයි මා සිතන්නේ.

      Delete