Thursday, 26 May 2022

“කිවිසුම් යාම” (SNEEZING) ගැන විවිධ මත සහ එහි විද්‍යාත්මක පසුබිම

 

“කිවිසුම් යාම” (SNEEZING) ගැන විවිධ මත සහ එහි විද්‍යාත්මක පසුබිම

ම්කිසි කෙනෙකු කුමන ආකාරයක හෝ කාර්යයක් ආරම්භ කිරීමට සැරසෙන විටම නැතහොත්  ගමනක් යාමට සූදානම් වන අවස්ථාවක දී, අසල සිටින කෙනෙකුගේ   කිවිසුම් හඬක් ඇසීම බාධාවක් ලෙස සමාජයේ බොහෝ දෙනා පිළිගත් මතයකි. මෙවැනි අවස්ථාවකදී  ආරම්භ කිරීමට සූදානම් කළ කාර්යය  හෝ යාමට සූදානම් වූ ගමන ​තරමක්  ප්‍රමාදවී නැවත සිදු කරන  බව අප අසා ඇත. මෙසේ කිවිසුමක් යාම අසන්නට ලැබීම බාධාවක්  ලෙස සලකන්නේ ඇයි ?

                                                                     

කිවිසුම් යාම

‘කිවිසුම් යාම’ ලෝකයේ විවිධ සමාජ වල, බාධාවක් හෝ අවාසනාව ගෙන දෙන සංඥාවක් ලෙස පිළිගැනීමක් පවතී.  අත දරුවකුට කිවිසුමක් ගිය විට පැරණි වැඩිහිටියෝ   ‘‘ආයු බෝවේවා’’ යි දිගාසිරි පතනු අප අසා ඇත. එසේ කරනුයේ දරුවාට සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි අසනීපයක් ඇති වෙතැයි වැඩිහිටියන් අතර බියක් හටගන්නා  නිසා බව සිතිය හැකිය. 

      කිවිසුම් යාම ගැන විවිධ අදහස් 

කෙනෙකුට කිවිසුමක්  යාමේදී නාසයෙන් පිටවන ශබ්දය නොයෙකුත් ආකාර වලට විග්‍රහ කර දක්වන බව මේ පිළිබඳ තොරතුරු සෙවීමේදී අනාවරණය වේ. සිංහල භාෂාව කථාකරන බොහෝ අය මෙම ශබ්දය “හච්..ඡී… න්..ග්”   (HUCH..CHING) ලෙස  උච්චාරණය කරති.  සමහර යුරෝපීය රටවල එම ශබ්දය  “අච්….ඡුහ්ස්‌” (‘ACHO…O..S’)  ලෙස වෙනත් ආකාරයකට හුවා දක්වති. ‘ACHO…OS ’ ලෙස දැක්වෙන යුරෝපිය භාවිතයට  සමගාමිව බොහෝ ක්‍රිස්තු භක්තිකයෝ, යම්කිසි කෙනෙකු කිවිසුමක් කළ විගසම “දෙවි පිහිටයි” යන අර්ථය ඇති   “God Bless” යන ආශීර්වාදය කරති. මෙම ආශීර්වාද පාඨය භාවිතයට පැමිණීම ගැන පැහැදිලි යුරෝපීය පුරාවෘත්තයක් තිබේ. මේ අනුව ක්‍රිස්තු වර්ෂ 1347 සිට 1351 කාළය තුළදී, ඉතාලියේ රෝම නගරයේ ආරම්භවූ අති භයානක මහාමාරිය වසංගතය නිසා, ජනතාව විශාල වශයෙන් මරණයට පත්විය. මීයන් මගින් බෝවෙන මහාමාරිය, Yersinia pestis  නමින් හැඳින්වෙන බැක්ටීරියා විශේෂයක් මගින් වැළඳෙන මාරාන්තික රෝගයකි.  මහාමාරිය රෝගය, bubonic plague ලෙසද  නම් කර තිබේ.  මහාමාරිය වැළදී මියගිය රෝගීන්ගේ මළ සිරුරු, තද කළු පැහැයක් ගත්  නිසා එම මරණ ‘Black death’ ලෙසද දැක්වේ. කිවිසුම් යාම ප්‍රධාන ලක්ෂණයක් වන මහාමාරිය වැළඳුනු අයට දිවි ගලවා ගැනීම පිණිස “God bless you” යන   ආශීර්වාද පාඨයෙන් සෙත් පතන  ලෙස එවකට සිටි පළමුවන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් ජනතාවගෙන් ඉල්ලීමක්  කර තිබේ. සාමාන්‍ය තත්ත්වයකදී වුවද, කිවිසුමක් ගිය විට God bless you යනුවෙන් පැවසීම ආරම්භ වී ඇත්තේ මේ ආකාරයටය.  

මහාමාරිය රෝගය වැළඳුනු අයට නිරතුරුවම කිවිසුම් යාම ප්‍රධාන ලක්ෂණයක් වන අතර, වෙනත් විවිධ හේතු නිසාද සාමාන්‍ය පුද්ගලයෙකුට කිවිසුම් යන අවස්ථා බොහෝ තිබේ. සාමාන්‍යයෙන් කිවිසුමක් යාමට හේතු සාධක වනුයේ,  යම්කිසි බාහිර සියුම් අංශුමය ද්‍රව්‍ය  මගින්, නාස් කුහරයේ ශ්ලේෂ්මල පටලය උත්තේජනය වීමයි. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යා වයිරසය වැනි එතරම් භයානක නොවන රෝග කාරක අංශු නිසා කිවිසුම් යාම බොහෝ විට මූලික ලක්ෂණයකි. මේවාට අමතරව  වායු ගෝලයේ ඇති විවිධ බැක්ටීරියා, දූවිලි අංශු, රසායනික ද්‍රව්‍ය අංශු, පුෂ්ප පරාග වැනි බොහෝ දේ කිවිසුම් ඇති කරන  උත්තේජක වේ. 

මේවාට අමතරව,  විශේෂයෙන්ම සෙවන සහිත ස්ථානයක සිට එක්  වරම තද හිරු එලිය ඇති ස්ථානයකට ගිය විටද  මිනිස් සමාජයේ  30% කට පමණ, කිවිසුම් යන බවද  සොයාගෙන තිබේ. මේ නිසා හිරු එළියද එවැනි උත්තේජකයක් ලෙස සැලකිය හැකිය. හිරු එලිය කිවිසුම් උත්තේජකයක් වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකටය. 

‘ආලෝක කිවිසුම් ප්‍රතීකය’  “photic sneeze reflex  

කිවිසුම් යාම දැක්වීම පිණිස යුරෝපාකරයේ බහුලව භාවිත වන  “අච්….ඡුහ්ස්” (‘ACH..O..O..S’)  යන කෙටි හැඳින්වීමට ඉහත සඳහන් කළ පරිදි  හිරු එළිය හා සම්බන්ධ විද්‍යාත්මක සිද්ධාන්තයක් මුල්වී ඇත. මෙම සිද්ධාන්තය  Autosomal-dominant Compelling Helio-Ophthalmic Outburst Syndrome ලෙස හැඳින්වේ. මෙහි  acronym යෙදුම (වගන්තියේ වචනවල මුල් අකුරු යෙදී සෑදෙන  කෙටි යෙදුම)  ‘ACHOOS’ වන්නේය. අපට ඇසෙන පරිදි කිවිසුමක ශබ්දය අනුකරණය “හච්..ඡී… න්..ග්” (HACCHING) ලෙස භාවිත කරන්නා සේම යුරෝපාකරයේ බොහෝ රටවල එය “අච්….ඡුහ්ස්” (ACHOOS)  යනුවෙන් භාවිත කරති.  මේ වචන හෝ යෙදුම් දෙකෙන්ම කෙරෙනුයේ කිවිසුමක් යැවීමේදී ඇසෙන ශබ්දය අනුකරණය කිරීමයි. 

Autosomal-dominant Compelling Helio-Ophthalmic Outburst Syndrome (‘ACHOOS’)  යෙදුමෙන් දැක්වෙන අර්ථයට  අනුරූප සිංහල යෙදුම මෙසේ විග්‍රහ කළ හැකිය. මිනිසාගේ වර්ණදේහ යුගල 23කි. මෙයින් එක යුගලයක් කෙලින්ම ලිංගිකතාව පෙන්නුම් කරයි. මේවා   XX හෝ  XY වේ. මෙයින් XX මගින් ගැහැණු බව සහ XY මගින්   පිරිමි බව පෙන්වනු ලැබේ. ඉතිරි වර්ණදේහ යුගල 22 ප්‍රමාණය අනුව අංකනය කෙරේ. සාමාන්‍ය දේහ ලක්ෂණ ගෙන යන  ජාන සියල්ලම පිහිටා ඇති මෙම වර්ණදේහ Autosomes (ගති ලක්‍ෂණ ජාන සහිත වර්ණදේහ) ලෙස නම් කෙරේ. ඉහත සඳහන් කළ ආකාරයට ඇසට හිරු රැස්  වැටීම නිසා සිදුවන උත්තේජනයට ප්‍රතිචාරයක් ලෙස කිවිසුම් යාම සිදු කරනු ලබන්නේ ඉහත සඳහන් කළ, සාමාන්‍ය වර්ණදේහයක තිබිය හැකි, සුවිශේෂී ජානයක් මගින්ය. සාමාන්‍ය මිනිස් ගහණයක 30% කට පමණ මෙම ජානය තිබේ. ඔවුහු සෙවනක සිට තද හිරු රැස්  ඇති ස්ථානයකට ගිය විට නොදැනුවත්වම කිවිසුම් හරිති. මෙම සිදුවීම “සූර්ය කිරණ බලපෑම නිසා අක්ෂි ස්නායුවේ  උත්තේජනයෙන් සිදුවන ක්‍ෂණික ගතිලක්ෂණය”  ලෙස අර්ථ දැක්විය හැකිය. 

කිවිසුම් යාම බාධාවක් හෝ අවාසනාවන්ත සංඥාවක් බව තීරණය කර පූර්ව නිගමනයකට එළඹ කටයුතු කිරීම බොහෝ දෙනෙකුගේ සිරිතකි. නමුත් අප එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම වැදගත් වෙයි. යම් වැඩක දී හෝ ගමනක් යාම ආරම්භයේදී හෝ කිවිසුම් හඬක් ඇසීම සෑම විටම බාධාවක් හෝ අසාර්ථක වීමකට හේතුවක් වේ  දැයි පිළිගත් ක්‍රමවේදයකට අනුව විමසා  බැලිය යුතුය.

සූර්යාලෝකය නිසා සිදුවන මෙම සංසිද්ධිය  ‘ආලෝක කිවිසුම් ප්‍රතීකය’  “photic sneeze reflex” ලෙස දක්වා තිබෙන අතර, එය කිසිසේත් රෝගාබාධයක් ලෙස සඳහන් කිරීමක්  නොමැත. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ ජීවත්වූ ග්‍රීක දාර්ශනිකයෙකු වූ,  ඇරිස්ටෝටල් පවා මේ ගැන විස්තර කර ඇතත්, මෙම සංසිද්ධිය විද්‍යාඥයින්ගේ විමසුමට පාත්‍ර වී, එය රෝගයක් නොවන බව ප්‍රකාශයට පත්වූයේ  1954 වර්ෂයේදීය. 

එසේනම් කලින් සඳහන් කර ඇති ආකාරයට සමාජයේ 30% පමණ වන අයට සෙවනක සිට හිරු එලිය ඇති ස්ථානයකට ගිය විට කිවිසුම් යන්නේ ඇයිද යන්න ස්වාභාවික හෝ අහඹු ක්‍රියාවලියක්ද යන්න ජීව විද්‍යාත්මකව සොයා බැලිය හැකිය.  

මිනිසාගේ ස්නායු පද්ධතියේ පස්වන කපාල ස්නායුව වන ත්‍රිමූල ස්නායුව (Trigeminal) මගින් හටගන්නා ස්නායු ශාකා තුනක් කෙනෙකුගේ මුහුණ ප්‍රදේශයේ විසිරී යයි. මේ සමග ඇති  රූප සටහනේ දැක්වෙන පරිදි, එම ස්නායුවේ  අක්ෂි ශාඛාව ඇසට සම්බන්ධ වන අතර, එහි දෙවන ශාකාව නාස් කුහරය හා සම්බන්ධ වේ.  මෙම ස්නායු යුගලයේ ක්‍රියාකාරිත්වය නිසා  ‘ආලෝක කිවිසුම් ප්‍රතීකය’  “photic sneeze reflex” ලෙස හැඳින්වෙන කිවිසුම් උත්තේජනය සිදුවන්නේය. මෙම ගති ලක්ෂණය සහිත කෙනෙකු, සෙවනක සිට තද හිරු එලිය සහිත ස්ථානයකට පැමිණි විට එම තැනැත්තාගේ ඇස්  වලට සූර්යාලෝකයෙන් ලැබෙන උත්තේජනය වහාම අක්ෂි ස්නායුව මගින් ත්‍රිමූල ස්නායුව වෙත සම්ප්‍රේෂණය කරයි. මෙසේ වූ විට හටගන්නා ප්‍රතීක ක්‍රියාවක් මගින්  ඇති කරවන සංඥාවක්,   නාසා ස්නායු ශාඛාව ඔස්සේ ගොස් නාස් කුහර අභ්‍යන්තරයේ ඇති සංවේදී පටලය උද්දීපනය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කිවිසුම් යාම සිදුවේ                                                      

                                           

කෙසේ වුවත් මෙම උත්තේජනය සිදුවනුයේ කලින් සඳහන් කළ  පරිදි එම ක්‍රියාවලියට අදාළ ජානය වර්ණදේහවල තිබෙන අයගේ  පමණකි. මෙම ජානයේ බලපෑම මගින් සිදුවන කිවිසුම් යාම පාරම්පරිකව ආවේනික  වන බවද සොයාගෙන තිබේ. නාස් කුහරය තුළට බැක්ටීරියා වැනි අසාදිත ද්‍රව්‍යයක් හෝ වෙනත් අහිතකර අංශු කිසිවක් ඇතුල් වුවහොත් කිවිසුම් යන්නේද ස්නායු  උත්තේජනය වන  නිසාය. එහෙත් මෙහිදී සුවිශේෂ ජාන වල අවශ්‍යතාවක් නොමැතිව සෑම කෙනෙකුටම  පොදුවේ සිදුවේ. 

කිවිසුම් යාමට අදාළ වෙනත් තොරතුරු 

කිවිසුම් යාමට අදාළ ජීව විද්‍යාත්මක තොරතුරු සොයාගැනීමටත්  පෙර සිට, බොහෝ රටවල මේ සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර  අනුගමනය කර ඇත. මෙයින් සමහර ඒවා අදටද සිරිත් ලෙස භාවිත කරන බව දැනගන්නට තිබේ. එයින්  කිහිපයක් මෙසේය.

  1. 15 වැනි ශතවර්ෂයේදී යුරෝපීය රටවල කළා ශිල්ප පුනරුදයක් සිදුවූ කාලයේදී කිවිසුම් යන විටදී කෙනෙකුගේ හදවත තාවකාලික නතර වීමකට භාජන වන බවට මතයක් ගොඩ නැගුණි. මේ නිසා ක්‍රිස්තු භක්තිකයින්  අතර, කෙනෙකුට කිවිසුමක් ගියවිට කෙටි යාඥාවක් කර සෙත් පැතීමේ  පුරුද්දක් ඇතිවිය.

  2. කිවිසුමක් ඇතිවනුයේ කෙනෙකුගේ හිතවතෙකු තමන්  ගැන ශුභවාදීව සිතීම නිසා තමන්ට  කිවිසුම් යන බවටද අදහසක් පැවතිණ. සමහර  තරුණ තරුණියන් අතර මේ අදහස තවමත් තිබෙන බව පෙනේ. 

  3. ඕලන්දය, ආර්මේනියාව, ග්‍රීසිය, යුක්රේනය වැනි රටවල කිවිසුමක් ගිය පසු  ඒ තැනැත්තාට ‘සුවපත් වේවා’ යන අදහස ඇති ‘Good health’ යන වචන අදාළ භාෂා ව්‍යවහාර වචන වලින් පැවසේ. 

  4. ඉන්දියාවේ තෙලිඟු භාෂාව කථා  කරන්නෝ කිවිසුමකට ප්‍රතිචාර දක්වන්නේ “ඔබට මරණයෙන් තොර ජීවිතයකට වාසනාව ලැබේවා” යන  අර්ථය ඇති වාක්‍ය ඛණ්ඩයකිනි.

  5. යම්කිසි ප්‍රකාශයක් කළ කෙනෙකුට ඒ සමගම කිවිසුමක් ගියහොත් ඔහු කී දේ සත්‍යයක් බව එයින්ම් ඔප්පු වන බව පෝලන්ත ජාතිකයෝ විශ්වාස කරති.

  6. චීනය, ජපානය වැනි සමහර ආසියාතික රටවල ජනතාව, කිවිසුමක් යාම සාමාන්‍ය ජීව විද්‍යාත්මක සිද්ධියක්  ලෙස සලකන අතර, ඒ ගැන වැඩි තැකීමක් නොදක්වති. 

මේ  ආකාරයට විවිධ රටවල ජනතාව  කිවිසුම් යාමට අදාලව විවිධ මති මතාන්තර වල එල්බ ගෙන සිටින අතර, පසුගිය දිනක පුවත් පතක පළවී තිබුණු වෙනත් ආකාරයක තොරතුරක කොටසක් පමණක්  එහි කතුවරයාගේ වචන වලින්ම මෙසේ උපුටා දක්වමි.

“කිවිසුම් යාම පිළිබඳව පෙර ඉසිවරුන් පෙන්වා දී ඇති කරුණු පැරණි ග්‍රන්ථයක් අනුසාරයෙන් පාඨක ඔබගේ අවධානයට යොමු කරමි. සඳුදා-බදාදා-සිකුරාදා දිනවල උතුරු දෙසින් කිවිසුම් හඬක් ඇසීම සුබ නොවේ. ඥාතියකු කරදරයකට පත්වීමක් පෙන්නුම් කරයි. තවද තමන්ද එයට හවුල් වෙන බවක් ඉඟිකරයි. ඊසාන දෙසින් නම් තමා යන ගමනින් බලාපොරොත්තු වන තරම් ප්‍රයෝජනයක් නොවන බව පෙන්වා දෙයි. නැගෙනහිර දෙසින් නම් සෙම් රෝගයක පෙර නිමිත්තකි. ගිනිකොණ දෙසින් නම් බලාපොරොත්තු ඉටු වන බව කියාපායි.”  

මේ ආකාරයට සලකා බලන විට, ඉතාමත් ස්වාභාවික ජීව විද්‍යාත්මක සංසිද්ධියක් වන කිවිසුම් යාම, මිනිසාගේ විවිධ මති මතාන්තර   වලට අනුකුලව විවිධ ආකාරයට අර්ථකථනය කරන බව දකින්නට ලැබේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධිය ඇතිව ඇසිය  යුතු  බව පරම සත්‍යයකි. එමෙන්ම, පැරණි අදහස් උදහස් වලම ඇලී   ගැලී සිටිමින්  මිත්‍යා මත ඔස්සේ හඹා යාමද නතර  කර,  දැනුම සහ බුද්ධිය මෙන්ම ප්‍රඥාවද වැඩිදියුණු කර ගැනීමට සිත් යෙදවීම, විද්‍යාව හා තාක්ෂණය මූලික වර්තමාන සමාජයේ ජීවත්වන කාගේත් අභිප්‍රාය විය යුතුය.

දයාරත්න වීරසේකර 


 

 


Wednesday, 23 March 2022

මුහුදු අශ්වයා ('Sea Horse') මහත් අද්භූත සතෙකි.

  මුහුදු අශ්වයා පිළිබඳව මෑතකදී සඟරාවක පළවී තිබුණු ලිපියක සංක්ෂිප්ත සටහනක් මෙසේය:

“මුහුදු අශ්වයා මත්ස්‍යයෙකි. මේ නිසා ඌට  චලනය සඳහා යොදා ගත හැකි පාද නොමැත. මුහුදු ජලයේ පිහිනීම පිණිස වරල්  භාවිත කරයි. එහෙත් මත්ස්‍යයින්ට මෙන් වාලධි වරලක්  නොමැත. 

ස්වසනය කරමල් මගිනි. 

කටුස්සෙකුට මෙන් එලියට නෙරා ඇති උගේ ඇස් දෙපසට කරකැවිය හැකි අතර, ශරීර පැහැයද විටින් විට වෙනස් කරගත හැකිය.  

යමක් වෙලාගෙන අල්ලා ගතහැකි වඳුරෙකුගේ ආකාරයේ වලිගයක් තිබේ. 

මොවුන්ගේ පැටවුන් බිහි කරන්නේ පිරිමියාය.  එම පැටවුන් පරිණත වනතුරු  පිරිමි සතාගේ  උදරයට පිටින් ඇති කැන්ගරු මවකට තිබෙන  ආකාරයේ පැසක් තුළ ජීවත් වෙති. පිරිමි මුහුදු අශ්වයා වරකට පැටවුන් දහසකට වඩා බිහි කරයි.” 

‘ගොඩබිම’ අශ්වයා සහ මුහුදු අශ්වයා 

මුලින්ම ‘ගොඩබිම’ අශ්වයෙකු සියැසින් දකිනවිට,  මට වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත. එයද අහම්බෙන් ලැබුණු  සුවිශේෂී අවස්ථාවකි. එවකට හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අපට, 1952 වර්ෂයේදී, කොළඹ තුරඟ තරඟ පිටියේ  පවත්වන ලද ‘කොළඹ ක්‍රමය, ජාත්‍යන්තර ප්‍රදර්ශනය’ (Colombo Plan, International Exhibition) නැරඹීම සඳහා,  පාසැල් චාරිකාවකට සහභාගී වීමට හැකිවිය. ප්‍රදර්ශන  භුමියේ අශ්වාරෝහක පොලිස් භටයෝ මුරකාවලෙහි සිටියහ. එය මා අශ්වයින්  දුටු පළමු අවස්ථාවයි.  එදිනම සවස අප ගෝල්ෆේස් පිටියට කැඳවා ගෙන  ගිය විට, පළමු වරට මුහුදද දැකගන්නට ලැබිණ. ඒ වන විට මා මුහුදු අශ්වයින්  ගැන අසා තිබුණේවත් නැත. අශ්වයෙකු මෙන් උස මහත ඇති “අද්භූත මුහුදු අශ්වයෙකු” මාගේ සිතෙහි මැවී තිබිණ. 

මීට ටික කලකට පසු පත්‍රයක පළකර තිබුණු  ‘කුඩා කරදිය ජල ටැංකියක මුහුදු අශ්වයින් ඇතිකිරීම’ පිළිබඳව ලිපියක කියවන්නට ලැබුණු, ප්‍රවෘත්තිය නිසා, එදා  මා දුටු හැඩිදැඩි ‘ගොඩබිම අශ්වයා’ මෙන් විය හැකියයි මා සිතින් මවා ගෙන සිටි  මුහුදු අශ්වයෙකු කුඩා ජල ටැංකියක ඇතිකරන්නේ කෙසේද යන්න ගැන,  සිතෙහි මහත් කුතුහලයක් මෙන්ම කැළඹීමක්ද  ඇතිවිය.  පසු කාලයේදී සත්‍ය මුහුදු අශ්වයින් ගැන පොතපතින් කියවා, තරමක අවබෝධයක් ලබාගතහැකි වූවත්  පසුගිය දිනක, මුහුදු අශ්වයින් ගැන ඉහත දැක්වූ  තොරතුරු කියවීමෙන් පසු ඒ පිලිබඳ  තවදුරටත් අධ්‍යයනයක් කිරීම මැනැවැයි  හැඟී ගියේය. මුහුදු අශ්වයාගේ මෙම ආශ්චර්යමත්  පැවැත්ම ගැන අසා මම මහත් විමතියට පත්වීමි. මට එක්  වරටම ඈත අතීතයේ දිනක පළමු වරට අශ්වයෙකු දැකීමත් එදිනම මුහුද දැකගන්නට ලැබීමත් පිලිබඳ සිද්ධි දාමය යළි  මැවී පෙනුනි. අශ්වයෙකුගේ හැඩරුව ඇති, සංසන්දනාත්මකව ගොඩබිම අශ්වයෙකුට වඩා අතිශයින්ම  කුඩා, ‘විකාරරූපී ජලජ ජීවියකු’ වන  මුහුදු අශ්වයා පිලිබඳ සොයාගැනීමට ලැබුණු තොරතුරු ස්වල්පයක් මෙසේ සටහන් කර තබන්නෙමි.

Hippocampus නම් ගණ නාමයෙන් හැඳින්වෙන මුහුදු අශ්වයා ඇන්ටාක්ටිකාව අවට දක්ෂිණ  සාගරයේ හැර ලොව අනෙකුත් සෑම සාගර සහ මුහුදු වල වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්වන සුලභ ජීවියෙකි.  දැනට මොවුන්ගේ විශේෂ 46 ක් හඳුනාගෙන තිබෙන අතර, ප්‍රමාණයෙන් කුඩාම මුහුදු අශ්ව විශේෂය,  මෑ  ඇටයක් තරම් වන අතර 15cm  ක් පමණ දිගින් යුත්,  විශාලතම මුහුදු අශ්ව විශේෂයක්ද හඳුනාගෙන තිබේ.  ලතින් භාෂාවෙන් Hippo යනු අශ්වයායි. Campus යනු ‘මුහුදු රකුසා’ යන අර්ථයයි. මේ නිසා මුහුදු අශ්වයාගේ හැඩරුව නිසාම ඌ  ‘අශ්වයෙක් වැනි මුහුදු රකුසා’ ලෙස දැක්විය හැකිය.  පෘතුගාලය අවට මුහුදේ මුහුදු අශ්ව විශේෂ රාශියක් හමුවී ඇති අතර, මෑතක සිට ඔවුන් වඳවී යාමේ තර්ජනයට ගොදුරු වී ඇති නිසා දැනට සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. 

මුලින්ම මෙම අද්භූත සත්ත්වයාගේ චර්යාව සහ බාහිර ලක්ෂණ ගැන සොයා බලමු.               මුහුදු අශ්වයා මත්ස්‍යයෙකු වුවද ජලයෙහි පිහිනන්නේ ජල පෘෂ්ඨයට සමාන්තරව නොව තරමක් සිරස්ව හිස ඉහලට සිටින ආකාරයටය. පිහිනීමේදී  හිස ඉදිරියට සහ පිටුපසට චලනය වේ. මෙම චලනය ගොඩබිම  අශ්වයෙකු ඇවිදින විට  දකින්නට ලැබෙන ගමනට අනුරූප වේ. හිසේ හැඩයත් මෙම චලනයත් නිසාම මොවුනට ‘මුහුදු අශ්වයා’ යන අන්වර්ථ නාමය පට බැඳෙන්නට ඇත.  

මුහුදු අශ්වයා ජීව විද්‍යාත්මකව මත්ස්‍ය (Pisces) ගෝත්‍රයට අයත් වන අතර පරිණාමයේදී ලබා ඇති සුවිශේෂී අනුවර්තන රාශියක් නිසා ‘විකාර රූපී’ නැතහොත් ‘මුහුදු රකුසෙකුගේ’ විලාසයක් ගෙන තිබේ. මෙම අනුවර්තන බොහෝදුරට සත්ත්ව ලෝකයේ වෙනත් සමහර සතුන් ලබා  ඇති අනුවර්තන වලට බොහෝ දුරට සමීප,  එකතුවක් ලෙසද සැලකිය හැකිය.

සාමාන්‍යයෙන් මත්ස්‍යයින්ගේ ශරීරය කොරපොතු වලින් වැසී ඇතත්, මොවුන්ගේ ශරීරය ඒ වෙනුවට අස්ථිමය කබොලු වලින් වැසී ඇත. හිස සහ දිගටි ‘හොම්බ’ කිසිසේත් මත්ස්‍ය හිසට සමාන නොවේ. නෙරා තිබෙන, කරකැවීමට හැකි විශාල ඇස්,  කටුස්සෙකුගේ ඇස්  මෙනි. එමෙන්ම කටුස්සෙකුට මෙන් වටපිටාව  අනුව ශරීර වර්ණයද වෙනස් කළ හැකිය. මෙය වේශාන්තරණයයි (camouflage). සාමාන්‍ය මත්ස්‍යයින්ට මෙන් වාලධි (වල්ගා) වරලක් නොමැතිය.ශරීරය සිරස්ව තබා ගනිමින් පිහිණනුයේ, පෘෂ්ඨීය සහ අධෝ වරල්  උපයෝගී කර ගනිමින්ය. ශරීරය සිරස්ව තබාගැනීම නිසා මොවුන්ට වේගයෙන් පිහිණීමට නොහැකිය. ධාරක ශාකයක්  තදින් වෙලා අල්ලා ගැනීමට (වඳුරෙකු මෙන්) ශක්තිමත් වලිගය භාවිත කෙරේ. මෙම මත්ස්‍යයාට උදරයක් නොමැති නිසා මුඛයෙන් උරාගන්නා, ක්‍ෂුද්‍ර ජලජ ජීවීන් වැනි ආහාර, ජීර්ණ වී අපද්‍රව්‍ය නිරතුරුවම ශරීරයෙන් පිටවේ. පිරිමි සතුන්ගේ උදරය මත නෙරා සිටින,  කැන්ගරුවෙකුගේ වැනි විශේෂ පැස (pouch) තුළ කළල වැඩී  මෝරා පැටවුන් හට ගනී. පැස තුළ වැඩෙන පැටවුන් බිහි කරනුයේ පිරිමි මුහුදු අශ්වයාය. වරකට පැටවුන් දහස් ගණනක් බිහිවේ. මත්ස්‍යයෙකුගේ, අශ්වයෙකුගේ, කටුස්සෙකුගේ, වඳුරෙකුගේ සහ කැන්ගරුවෙකුගේ ජෛව විද්‍යාත්මක අනුවර්තන වලට අනුරූප ලක්ෂණ සහිත මෙම කුඩා ජීවියා සත්ත්ව ලෝකයේ විකාර රූපියෙක්ම (freak) නොවන්නේද? මේ සියල්ලටම වඩා සුවිශේෂී ආශ්චර්යය ලෙස සැලකිය හැක්කේ පිරිමි මුහුදු අශ්වයා පැටවුන් බිහි කිරීමයි.  

 ජෛව විවිධත්ව සංරක්ෂණයේදී මුහුදු අශ්වයා වැදගත් වන්නේ ඇයි ?   

මුහුදු අශ්වයා ලොව පුරා ඝර්ම කලාපීය සහ සෞම්‍ය කලාපීය නොගැඹුරු සාගර සහ මුහුදුවල වෙරළාසන්න ප්‍රදේශවල,  ඇති කොරල් පර, කඩොලාන, ඇල්ගී, මුහුදු තෘණ වැනි ශාක ආදී ධාරක ආශ්‍රීතව ජීවත්වන සත්ත්ව කොට්ඨාශයකි. මොවුන් කුඩා කරදිය මත්ස්‍යයන් වුවද මත්ස්‍ය ගති ලක්ෂණ අඩුවෙන්ම පෙන්නුම් කරන ජීවීන් නිසාත්,  ඔවුන්ගේ චමත්කාරජනක චර්යා රටා නිසාත්  අනාදිමත් කාලයකම සිට මිනිසාගේ සැලකිල්ලට භාජන වී තිබේ. මත්ස්‍ය ලක්ෂණ වශයෙන් මොවුනට ඇත්තේ කරමල මගින් ස්වසනය කිරීම, ජලයේ ඉල්පී සිටීම සඳහා වායු ආශයක් තිබීම සහ පෘෂ්ඨීය වරල් මගින් පිහිනීම වැනි අනුවර්තන පමණකි. මත්ස්‍යයින් අතර සිටින අතිශයින් දුර්වල පිහිනන්නන් වීමද මුහුදු අශ්වයින්ට බලවත් පාඩුවකි. මත්ස්‍යයින්ගේ මෙන් ශරීරය වසා ඇති කොරපොතු වෙනුවට අස්ථිමය දැඩි කබොලක් ඇති  නිසාත්, වේශාන්තරණ හැකියාව නිසාත්  මොවුන් බොහෝ විලොපියයන්ගෙන් ආරක්ෂා වෙති.

මොවුනට වෙනත් සතුන්ට මෙන් ටික වේලාවක් ආහාර ගබඩාකර තබාගතහැකි ආමාශයක් නොමැත. ඒ වෙනුවට තිබෙන්නේ,  ඉතාමත්  සරල ආකාරයේ ආහාර මාර්ගයක් නිසා නිරතුරුවම ආහාර ගැනීම අවශ්‍යය. ආහාර වලින් පෝෂක උරාගත් විගසම අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කෙරේ. උගේ ‘හොම්බ’ අග්‍රයේ පිහිටි මුඛ විවරය හරහා කුඩා මත්ස්‍ය බිත්තර, ප්ලැන්ක්ටන් (planktons) හෝ වෙනත් ජලජ ක්ෂුද්‍ර ජීවීන් උරා ගැනීම, ආහාර ගන්නා විශේෂ යාන්ත්‍රණයයි. 

කෙසේ වෙතත්, මුහුදු අශ්වයෝ ඔවුන් වෙසෙන පරිසර පද්ධතියේම ජීවත්වන කකුළුවන්, ආඳා වැනි සතුන්ට සහ කොරල් පර ආශ්‍රීතව සිටින  විශාල මසුන්ටද බෙහෙවින් ගොදුරු වෙති. එසේම අධික වශයෙන් බිහිවන පැටව් වෙනත් මසුන්ගේද ගොදුරු බවට පත් වෙති. මුහුදු අශ්වයින්ගේ අපූර්ව භෝජන විලාසය සහ ඔවුන්ගේ විලෝපියයන්ගේ භෝජන රටාව නිසාත්  මොවුන් වෙරළාසන්න පරිසර පද්ධතියේ ආහාර දාම වල වැදගත් පුරුකක් මෙන්ම ජෛව  සමතුලිතතාව රැකෙන ප්‍රධාන සාධකයක් ලෙසද  ගිණිය හැකිය. 

වෙරළාසන්න නොගැඹුරු මුහුදේ ජලජ ශාක, සහ කොරල්පර ආශ්‍රීතව ජීවත්වන, මුහුදු අශ්වයෝ වරින් වර  ශරීරයේ විවිධ වර්ණ රටා ප්‍රදර්ශනය කරති. සමහර අවස්ථාවලදී, ඔවුන්ගේ ශරීර විනිවිද පෙනෙන ආකාරයට  පත්කර ගනිමින්  සැඟවී යන අවස්ථාද එමටය. මේ නිසාම  මුහුදු අශ්වයෝ  පරිසරයට  මහත් චමත්කාරජනක ස්වභාවයක් එකතු  කරති. බොහෝවිට මෙම සුවිශේෂී දසුන් නිසා ජෛව සංචාරක ආකර්ශනයද වැඩිවේ.  

අද්භූත චර්යා රටාවක් සහිත බොහෝ සතුනට, මිනිසාගෙන් සිදුවන ආපදා මුහුදු අශ්වයන්ටද එසේමය. මුහුදු වෙරළාසන්න පරිසර පද්ධති අලංකාර කරන මුහුදු අශ්වයින් විනාශවී වඳ වී යාමේ තර්ජනයට ගොදුරු වෙමින් පවතින බවට පරිසර වේදීන්ගේ මැසිවිලි නැගෙමින් පවතී. මෙයට ප්‍රධාන හේතු කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඈත අතීතයේ සිටම වියලන ලද මුහුදු අශ්වයින් චීන සම්ප්‍රදායික වෛද්‍යකර්ම වලදී භාවිත වන ඖෂධයකි. මේ සඳහා වසරකට සතුන්  මිලියන 500 ක් පමණ ස්වාභාවික පරිසර වලින් ඉවත් කෙරේ. බ්‍රසීලයේ පැරණි ගෝත්‍රික ජනතාවක් විසින් වේලාගත් මුහුදු අශ්ව කුඩු,  ඇදුම, කැස්ස වැනි ආබාධ සඳහාත් වාජීකරණ   ඖෂධයක් ලෙසත්  භාවිත කර තිබේ. අරුමෝසම් භාණ්ඩ නිෂ්පාදනය සහ කෞතුක ද්‍රව්‍ය රැස්කරන්නන්  සඳහා වසරකට මුහුදු අශ්වයින් තවත් මිලියනයක් පමණද,  සිහිවටන සකස් කිරීමේ කර්මාන්තය සඳහා තවත් මිලියනයක් පමණද  විනාශ  වේ. දැනට හඳුනාගෙන ඇති බලවත්ම උවදුරක් වනුයේ ‘සුරතල් සතුන්’ ඇතිකිරීමේ ව්‍යාපාර සඳහා ජීවී මුහුදු අශ්වයින් විශාල වශයෙන් ස්වාභාවික  පරිසර පද්ධති වලින් ඉවත්  කර ගැනීමයි. මෙයද මිලියන සිය ගණනක ව්‍යාපාරයකි. බාහිර තර්ජන නොමැතිව හුරු පුරුදු පරිසරයේ ජීවත්වන මුහුදු අශ්වයෙකුට වසර 3 සිට 5 දක්වා ආයු කාලයක් තිබේ. 

                                                                                                                            

එහෙත් ඉහත දැක්වූ ආපදා නිසා නිසා දැනට, සති හයකට වඩා ජීවත් වන  මුහුදු අශ්වයින් දහසක්වත් ස්වාභාවික පරිසරවල නොමැති බව අනුමාන කර තිබේ. මෙසේ වනුයේ එම සතුන්ගේ ජීවන චක්‍රය පවත්වා ගනිමින් වර්ගයා බෝ කිරීම සඳහා ඇති ඉඩකඩ මිනිසාගේ අදූරදර්ශී විනාශකාරී වැඩ කටයුතු නිසා අහිමි වී යාමයි. මෙම තත්ත්වය පිටුදැකීම පිණිස,   ජාත්‍යන්තර සොබාදහම සංරක්ෂණ සංගමය (IUCN) මගින්, රතු දත්ත පොතෙහි සඳහන් කර,   වඳවීයාමේ තර්ජනයට ගොදුරුවී ඇති ජීවීන් රැකගැනීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව, මුහුදු අශ්වයින් රැකගැනීමේ වැඩ සටහනක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව නිවේදනය කර තිබේ.  

පිරිමි මුහුදු අශ්වයා ‘ගැබ් ගැනීම’ සහ ‘දරු ප්‍රසූතිය’ ආශ්චර්යයකි.

මුහුදු ශාක බහුලව ඇති වෙරළාසන්න නොගැඹුරු මුහුදේ මුහුදු අශ්ව රංචු වශයෙන් සිටිති.  මොවුන් අභිජනන කාලයේදී බොහෝ විට සිටිනුයේ යුගල වශයෙනි. මෙම  ගැහැණු / පිරිමි යුගල එකිනෙකා සමග මහත් ළබැඳියාවකින් යුක්තව ජීවත් වන බව හෙළිවී තිබේ. ගොඩබිම අශ්වයාගේ ගැහැණු සත්ත්වයා වෙළඹ වශයෙන් හැඳින්වූවත් මුහුදු 'වෙළඹ' යන යෙදුමක් භාවිතයේ නොමැත. මුහුදු අශ්වයින්ද සමහර වෙනත් සතුන් මෙන්, තම සම්පූර්ණ ජීවිත කාලයම එකම සහකරුවෙකු හෝ සහකාරියක සමග ජීවත්වන බව නිරීක්ෂණය කර තිබේ. මේ නිසා ඔවුන්ට ප්‍රජනන චක්‍රයේදී වැඩි වාර ගණනක් ප්‍රජනන ක්‍රියාවලියේ යෙදී පැටවුන් අධිකතර  සංඛ්‍යාවක් බිහිකිරීමේ අවස්ථාව ලැබේ.

(https://www.youtube.com/watch?v=b_nEA3dtOZs  පිරිමි මුහුදු අශ්වයා පැටවුන් ප්‍රසූත කිරීම මෙම සබැඳිය (Link) ඔස්සේ බලන්න)  


මෙම සතුන් යුගල වශයෙන් දක්වන චර්යා රටාවන්ද ඉතාමත් චමත්කාර ජනකය. දිගු වල්ගය මගින් නිරතුරුවම එකට වෙලී සිටින මුහුදු අශ්ව යුවලක්, එකිනෙකා උද්දීපනය වන ආකාරයේ පෙළඹවීම් සහිත,  සිප වැළඳ ගැනීම් වැනි ක්‍රියාකාරකම් වලින් සමන්විත  ඉතාමත්  අලංකාර ආලිංගන දසුන් දක්වති. සෑම උදෑසනකම සිරිත් පරිදි එකිනෙකා වෙලාගන්නා මුහුදු අශ්ව යුවළ ආචාර සමාචාර කිරීම වැනි නැටුම් විලාසයකින් දිනය ආරම්භ කරති. මෙසේ ආරම්භ කරන දඟර නැටුම් සහ එකිනෙකා වටා කැරකීම වැනි සංකීර්ණ රැඟුම් විලාස පුරා පැයක හෝ  ඊට මඳක් වැඩි වෙලාවක් තුළ දකින්නට ලැබේ. තම ජීවිත සහකරුවා හෝ සහකාරිය සමග නිත්‍ය බැඳීමක් ඇතිකර තබාගැනීම පිණිස ඔවුන් දක්වන මේ ලබැඳියාව,  එයට අනුරූප මිනිස් චර්යා වලටත් වඩා සංකීර්ණ බව නිරීක්ෂණය කර තිබේ. මෙවැනි සුවිශේෂී ලෙන්ගතු හැසිරීම්  නිසාද ඔවුන් මිනිසාගේ ඉමහත් ආකර්ෂණයට ලක්වී සිටිති.        

මුහුදු අශ්ව ‘කාන්තාවට’ තම ගැබ්  ගැනීම හෝ දරු ප්‍රසූතිය පිලිබඳ කලබල වීමක්  අවශ්‍ය නොවේ. මෙම සතුන් අයත්වන සත්ත්ව ගණයේ විශේෂිත ලක්ෂණයක් වනුයේ ගැබ් ගැනීමේ ක්‍රියාවලියේ දුෂ්කරම කාල සීමාව, තම  පිරිමි සතුන් හට පවරා තිබීමයි. මොවුන්ගේ අභිජනන ක්‍රියාවලි චක්‍රයේ,  සංකීර්ණ නැටුම් සහ ආලිංගන දාමයට පසුව, ගැහැණු සතාගේ ඩිම්බ කෝෂවල පරිණත වන ඩිම්බ සමූහය, ආලිංගනයේ යෙදුනු පිරිමි සතාගේ පැටවුන්  දැරීමේ පැස (brooding pouch) නමැති උදරය මත නෙරා සිටින මල්ලෙහි   ඇති ‘තාවකාලික  ඩිම්බ ප්‍රනාලය’ තුළට මාරු කරනු ලැබේ. පැටවුනට පෝෂණය සහ ඔක්සිජන් ලැබෙනුයේ තාවකාලික  ඩිම්බ ප්‍රනාලය මගින්ය. මින්පසු පැසෙහි විවරය වසා ගන්නා පිරිමියා, නිදහසේ නිශ්චල ස්ථානයකට වී, පරිණත ඩිම්බ,  තම ශුක්‍රාණු  මගින් ස්වසංසේචනය කර, ලැබෙන කළල සති කිහිපයක ගැබ් කාලයක්  සඳහා පැසෙහි ඇති ඩිම්බ ප්‍රනාලය තුළ රඳවා ගනී.

මුහුදු අශ්ව ‘පියාගේ’ ගැබ් කාලය අවසන්වී ප්‍රසුතිය ආසන්න වනවිට, ප්‍රබල  ‘ගර්භාෂ සංකෝචනයක්’ සිදුවී ගැබ් පැසෙහි විවරය විවෘත වේ. මීට අනතුරුව සිදුවන පසු සංකෝචන කිහිපයක් මගින්  පැස  තුළ වැඩුණු ලාබාල පැටවුන් දහස් ගණනක් ජලයට මුදා හැරේ. ජලජ  විලෝපියයන්ගේ ග්‍රහණයෙන් මිදී  පරිණත භාවයට පත්වී පැටවුන් බෝ කිරීමට අවස්ථාව ලබනුයේ  මෙම විශාල සංඛ්‍යාවෙන් 0.5% පමණ වන බවද  ගණනය කර  තිබේ.

වෙරළාසන්න ජලජ පරිසරවල ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම මෙන්ම සෞන්දර්යාත්මක අගයද වැඩි කරනු ලබන, කුඩා  මත්ස්‍යයෙකු වන ‘මුහුදු අශ්වයා’ වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටිනුයේ මිනිසාගේ සීමාන්තික සූරාකෑමේ මානසිකත්වය නිසාම බව පැහැදිලිය. සෑම කෙනෙකුම සොබා දහමේ සුන්දරත්වය හඳුනා ගන්නේ නම් මෙවැනි ඛේදවාචක සිදු නොවනු ඇති බව පහසුවෙන් තහවුරු කර ගත හැකි වේ.  

(ඡායාරූප මුල් අයිති කරුවන්ට ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි)


Tuesday, 8 March 2022

දේශගුණ විපර්යාස අර්බුදයේ විපාක ආරම්භ වී තිබේ.

 දේශගුණ විපර්යාස අර්බුදයේ විපාක ආරම්භ වී තිබේ.

එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් 2015 වර්ෂයේ පැරිසියේදී පවත්වන ලද මහා මණ්ඩල සැසි වාරයේදී, රටවල් 190 ක පමණ රාජ්‍ය නායකයින්  එකතුවී දේශගුණ විපර්යාස නිසා  ඉදිරි දශක දෙකහමාර  තුළදී  සිදුවිය හැකියයි  පෙරැයීම් කළ, බරපතල පාරිසරික අර්බුද රාශියක් පිළිබඳව සාකච්ඡා කරන ලදී. මේ සම්බන්ධව විවිධ රාජ්‍යයන් විසින් ගතයුතු පියවර සහ අනුගමනය කළයුතු අනුවර්තන සම්බන්ධවද සම්මුති කිහිපයකටම එකඟතාවයද එහිදී ප්‍රකාශ විය. එතැන් සිට වසර කිහිපයක් ගතවන විටම බලාපොරොත්තු නොවූ පරිදි, ලෝක ජනතාවට  කුඩා සහ මහා පරිමාණයේ ව්‍යසන රාශියකටම මුහුණ දෙන්නට සිදුවිය. ඒ සමගව උද්ගතවූ COVID19 වසංගත තත්ත්වය නිසාද, යෝජිත  පරිදි අත්‍යවශ්‍ය පියවර ගැනීමට බාධා ඇතිවිය. දැන් දැන් එම පීඩා දෙගුණ තෙගුණ වන බවක්ද නිරීක්ෂණය වන බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි 27 වනදා (2022) එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිලිබඳ  අන්තර්රාජ්‍ය මණ්ඩලය (United Nations’ Intergovernmental Panel on Climate Change - IPCC) විසින් පවත්වන ලද සැසි වාරයේදී, එහි මහලේකම්වරයා  විසින්, එම වාර්තාවේ සඳහන් පරිදි,  ගෝලීය උණුසුම් වීම නිසා පෘථිවි වාසීන්   මුහුණ දී ඇති අනතුරුදායක තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලදී. 

ඔහු තම දේශනය ආරම්භ කළේ  මෙසේය: 

“මා බොහෝ  විද්‍යාත්මක වාර්තා කියවා තිබේ. එහෙත් මානව සංහතියටම බලපාන මහත් පීඩාකාරී තොරතුරු සිතියම් ගතකර තිබෙන  මෙවැනි වාර්තාවක් මා මෙතෙක් කියවා නොමැත.  එමෙන්ම, මෙය පාරිසරික කටයුතු සම්බන්ධව, රාජ්‍ය නායකත්වය විසින් අනුගමනය කරනු  ලබන අදුරදර්ශී ආකල්ප කෙරෙහි එල්ලවන  චෝදනා පත්‍රයක් ලෙසද සැලකිය හැකිය”  

තවදුරටත් කරුණු දැක්වූ මහලේකම්වරයා මෙසේද  පැවසීය.

“දේශගුණ විපර්යාස මගින් මිනිස් සංහතියට සහ සමස්ත පෘථිවියටම,  ප්‍රබල ප්‍රහාරයක් දියත් කර තිබේ. 

“මේ වන විටද  මිනිස් සංහතියේ හරි අඩකට වඩා, මෙම භයානක සංසිද්ධියේ අවදානම් අවදියකට  එළඹ සිටිති. පෘථිවියේ බොහෝ පරිසර කලාප සහ පරිසර පද්ධති  ‘ආපසු හැරවිය නොහැකි’ තත්වයක දූෂණයට ලක්වී තිබේ.”

“ලෝකයේ අගහිඟකම් නිසා වැඩියෙන්ම  පීඩිතව සිටින  ජනතාව, පාලනයක් විරහිත කාබන් දූෂණය නිසා, අගාධයටම තල්ලු වෙමින් සිටිති. මෙම සාහසික වරද පැටවෙනුයේ දේශපාලන නායකත්වයට බව කිසිසේත් ප්‍රතික්ෂේප කළ  නොහැකිය. පරිසර දූෂණය සිදුකිරීමට වැඩි වශයෙන්ම  දායකත්වයක් සපයන ‘මහ ජාතීන්ගේ’ අත්තනෝමතික ක්‍රියා නිසා, මිනිස් වාසයට සුදුසු එකම ග්‍රහලෝකය වන සමස්ත පෘථිවියම  බලවත් අන්තරායකට පත්වෙමින් තිබේ.”

                         

“පැරිස් සම්මුතියේ දී තීරණය කරගත් පරිදි ගෝලීය උණුසුම් වීම, 1.5°C  මට්ටමේ  තබාගැනීමේ වගකීම අද ලෝක බලවතුන්ට අමතකවී ඇත. විද්‍යාඥයින් විසින් පෙන්වාදී ඇති පරිදි,  2030 වනවිට ගෝලීය කාබන් විමෝචනය 45% කින් අඩුකරගැනීමේ සහ 2050 වන විට කාබන් ශුන්‍ය භාවයට පැමිණීවීමේ උතුම් සිතිවිලි,  අද  සිහිනයක් පමණක් බවට පත්වී තිබේ.  දැනට ගණන් බලා ඇති පරිදි මෙම දශකය අවසන් වන විට කාබන් විමෝචනය අඩුකර ගැනීමට ගිවිස ගෙන ඇතත්, අවාසනාවකට මෙන්  එය  14% කින් වැඩිවන බව ප්‍රකාශිතය. මෙය මහත්ම ව්‍යසනයක් නොවන්නේද?”  

මෙම මහා ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා ගතයුතු ඉතාම වැදගත් පියවර දෙකක් පිළිබඳව IPCC මහලේකම්වරයා  තම අවධානය යොමු කර සිටී.

ඔහුගේ අවධානය යොමුවන පළමු සාධකය වනුයේ මිනිස් සංහතියේම ‘හුස්ම හිරකර’  තිබෙන  ගල්  අඟුරු සහ වෙනත් ෆොසිල ඉන්ධන භාවිතයයි. මෙහිදී, *G20 අන්තර් රාජ්‍ය සංසදය  දක්වන දෙබිඩි පිළිවෙත ගැන ඔහුගේ බලවත් කනස්සල්ල පළකර තිබේ. මෙම සංසදය ජාත්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන ගැටළු විසඳීමට ඇප කැප වී තිබෙන සංවිධානයකි. ලෝකයේ වෙනත්  රටවල  ගල් අඟුරු ආශ්‍රීත කර්මාන්ත සඳහා උදව් උපකාර කිරීම, මෙම සංසදය මගින්  සම්පූර්ණයෙන් නතර කිරීමට ගිවිස ගෙන සිටී. එහෙත් එම සංසදයේ රටවල් විසින් තමන්ගේ අභ්‍යන්තර ගල් අඟුරු මූලික කර්මාන්ත නතර කිරීම කෙසේ වෙතත්, ඒවා සීමාකිරිමටවත් ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ හැකිය. එමෙන්ම ගෑස් සහ ෆොසිල ඉන්ධන නිපදවන රටවල්ද තම සීමා පිලිබඳ ස්ථිර සැලකිල්ලක්  යොමු කර නොමැත. මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයකින් කරුණු දැක්වූ ලේකම්වරයා,  විසින් එම රටවල්  ප්‍රතිඥා දී ඇති පරිදි ක්‍රියා නොකළහොත්, හරිත ලෝකයක් අපේක්ෂා කරන 2050 වසර වනවිට  බලාපොරොත්තු ඉලක්කය වන කාබන් ශුන්‍ය  භාවයට කිසිසේත් ලඟාවිය නොහැකි බව තරයේ කියා සිටියේය. 

(*G 20 යනු Group 20 ලෙස හැඳින්වෙන, මෙහි දැක්වෙන රටවල් සමූහයයි. - ඒවා නම්  ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, කොරියානු ජන රජය, මෙක්සිකෝව, රුසියාව, සවුදි අරාබිය, දකුණු අප්‍රිකාව, තුර්කිය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් සහ යුරෝපීය සංගමය වේ.)   

තිරසාර හෝ ධරණීය සංවර්ධනය කරා පිය නැගීම අත්‍යවශ්‍ය බැවින් පුනර්ජනනීය බල ශක්තිය සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කරමින් නව තාක්ෂණයේ සහ මෙවලම් භාවිතයේ වැදගත්කමද ලේකම්වරයා විසින් පෙන්වා දෙන ලදී.  ෆොසිල ඉන්ධන භාවිතය  පෘථිවි ග්‍රහ ලෝකයට මෙන්ම, මිනිස් සංහතියට සහ ලෝක ආර්ථිකයට දුර්දාන්තයක්ම ගෙන දෙනු නියතය. බල ශක්තිය අතින් පරමාදර්ශී වී, ලොවට ශාන්තියක් අත්කරගත හැකි වනුයේ, හරිත රැකියා සුලභ කරගත හැකි වනුයේ සහ  ආර්ථික සමබරතාවය රැකගත හැකි වනුයේ  හිරු එළිය,  සුළඟ, මුහුදු රළ වැනි ස්වාභාවික බල ශක්ති ප්‍රභව මිනිසාගේ අවශ්‍යතා සඳහා වැඩි වැඩියෙන් භාවිත කිරීමෙන් පමණක් බව පැහැදිලිය.  

ඔහු විසින් අවධාරණය කරන ලද දෙවන කරුණ සම්බන්ධ වනුයේ,  වාර්තාවේ දක්වා තිබෙන  තරමක් දුරට සහනදායි පිවිසුමක් පිළිබඳවය. අවශ්‍යතා වලට අදාලව  අනුවර්තනය වීම මෙම ධනාත්මක පිළිවෙතයි.

 

මෙම අර්බුද වලින් ජන ජීවිත බේරා ගැනීම සඳහා, අනුවර්තන මහෝපකාරී වේ. දේශගුණික බලපෑම් තීව්‍ර වත්ම, වැඩි වැඩියෙන් අනුවර්තන සඳහා ජනතාව මෙහෙයවිය යුතුය. පීඩාකාරී දේශගුණික බලපෑම් අවම කර ගැනීමත් ඒ සඳහා අනුවර්තන දැඩි කර ගැනීමත් සමාන්තරව ක්‍රියාත්මක විය යුතුය. එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රතිපාදන වලින් 50% ක් මෙම ප්‍රවණතා සඳහා වැය කිරීමට  පියවර ගෙන ඇත්තේ මේ නිසාය. 

ලේකම්වරයා සිය වාර්තාව අවසන් කරනුයේ මෙසේය: 

“මේ කිසිවකට ප්‍රමාද වීම  මරණයට  සමීප වීමකි. එසේ හෙයින්, විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන කුඩා  දූපත් රාජ්‍යයයන් සහ ඌණ සංවර්ධිත රටවල් සඳහා නිර්දේශ කර තිබෙන මුල්‍ය ආධාර අවහිරතාවයකින් තොරව ගලායාම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට මාගේ උපරිම ශක්තිය වැය කරමි. G20 රටවල් මේ සඳහා විශේෂ උනන්දුවක් දැක්වීය යුතුය. පරිසර උෂ්ණත්වය 1.5°C උපරිමයේ තබාගැනීම අපගේ පරම අධිෂ්ඨානය විය යුතුය. අද ජනතාවගෙන්  විශාල කොටසක් මහත් චිත්ත සන්තාපයනට ගොදුරු වී සිටිති. ඒ නිසාම  ඔව්හු මානසික වේදනාව නිසා, වෛරී ස්වභාවයක් පෙන්නුම් කරති. එය මා හටද බලපා  තිබේ. ඔබටද එසේ විය හැකිය. එම වෛරය සහ අසහනය ඵලදායී ක්‍රියාකාරකම්  බවට හරවා ගැනීමට උත්සාහ ගනිමු. මේ සඳහා සෑම මොහොතක්ම අගණේය. සෑම හඬක්ම ධනාත්මක පෙළඹවීමකි. දැඩි අධිෂ්ඨානයකින් යුක්තව මේ සඳහා පෙළ ගැසී, පරිසරය රැක ගනිමින් පෙරටම යමු.”  

ඉහත සඳහන් කරන ලද  දේශගුණ විපර්යාස පිලිබඳ  අන්තර්රාජ්‍ය මණ්ඩල - IPCC වාර්තාවේ අන්තර්ගත කරුණු වලට අදාළ දැවෙන ප්‍රශ්න ගැන  ගැඹුරු අධ්‍යයනයක් කර තිබෙන, පරිසර අර්බුද පිළිබඳ  පර්යේෂක, එක්සත් රාජධානියේ  Kieran Mulvaney විසින් National Geographic සඟරාවට ලියා ඇති ලිපියකින් මෙම ආපදා පිළිබඳව විශේෂ විග්‍රහයක් කර තිබේ. ඔහු පවසන ආකාරයට:

“බලාපොරොත්තු වූවාටත් වඩා අඩු උෂ්ණත්ව පරාසයකදීම - එනම් උෂ්ණත්වය  වැඩිවීම  1.5°C එළඹීමටත් පෙර - ස්වාභාවික පරිසර පද්ධති අකර්මණ්‍ය  වෙමින්, ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත උවදුරට පත්කරමින්  තිබේ.”  

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වන ඔහු ගෙනහැර දක්වන පරිදි,

ලොව පුරා නොසිතු විරු ආකාරයට පැතිරී යන ‘තාප තරංග’ (Heat waves) නිසා ගොඩබිම ශාක සහ මුහුදේ කොරල් පර විනාශ වෙමින් පවතී. ඒ  සමගම මුහුදු ජල මට්ටම ඉහල යාම නිසා වෙරළ  ආසන්නයේ අනාරක්ෂිත ස්ථාන වල ජීවත්වන ජනතාවට උන්හිටිතැන් නැති වී යයි. මේ නිසාම  සිදුවන උග්‍ර ප්‍රකෝපකාරී සිද්ධිද නොවැලැක්විය හැකි තත්ත්වයක පවතී. ගෝලීය පරිසර උණුසුම් වීම වහා නතර නොකර මේ ආකාරයටම පැවතුනහොත්, ලොව පුරා ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත ජෛව විශේෂ වලින් අඩක් පමණ විනාශ මුඛයට පත්වී වඳවී යා හැකි වන අතරම, මිනිසාද අතිශය  මන්ද පෝෂණයට ගොදුරුවීමටද  ඉඩකඩ බොහෝය. මේ අතරින්ද දරිද්‍රතාවයෙන් පීඩිත වූ අය, ළදරුවන් සහ මහල්ලන්,  වාර්ගික සුළු ජාතීන් සහ දේශීය ආදී වාසීන්  වඩාත්ම අවදානමට ඉලක්ක වන අය වනු ඇත.

මේ සඳහා අත්‍යවශ්‍ය සහ එකම පිළියම වනුයේ, වටපිටාවට හරිතාගාර වායු අධික ලෙස මෝචනය වීම  කෙසේ හෝ වහාම නතර කිරීමට පියවර ගැනීමයි.

පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ උත්තර ධ්‍රැවය අවට රටවලට ගෝලීය උණුසුම් වීමේ බලපෑම දරාගත නොහැකි අහිතකර සංසිද්ධියකි. මෙම  රටවල අධික ශීත කාලගුණයක් පවතින නිසා, පසෙහි තරමක් ගැඹුරෙන් ‘නිත්‍ය තුහින’ (permafrost) ලෙස හැඳින්වෙන ස්ථිර මිදුණු ජල ස්තරයක් තිබේ. මෙම ස්තරය එම ප්‍රදේශයේ භුමියෙහි 24% පමණ ව්‍යාප්ත වේ. පරිසර උෂ්ණත්වය ඉතා සුළු ප්‍රමාණයකින් වැඩි වූවත්, නිත්‍ය තුහින දියවීමට පටන්ගනී. මුළු පෘථිවියේම පසෙහි ඇති ඓන්ද්‍රීය ද්‍රව්‍ය වලින් හරි අඩක් පමණ පෘථිවි පෘෂ්ඨයේ ඇති නිත්‍ය තුහින සහිත පසෙහි ගැබ්වී තිබේ. උෂ්ණත්වය වැඩි වනවිට එම ඓන්ද්‍රීය ද්‍රව්‍ය පාංශු ජීවීන් විසින් වියෝජනය කර, කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි හරිතාගාර වායු පරිසරයට මුදා හැරේ. හරිතාගාර වායු ගෝලීය උණුසුම් වීමට මහත් රුකුලක් වේ. දේශගුණ විපර්යාස සිදුවනවිට මෙම බරපතල ව්‍යසනය නිසා බලවත් හානි සිදුවීමට බොහෝ ඉඩකඩ තිබේ. 

එමෙන්ම එම ප්‍රදේශවල බහුල  පීට් වගුරුබිම් (peatlands) වියලී යාමද මහත් හානිකරය. 

උණුසුම වැඩිවීමත්  සමග උග්‍ර වන  කෘමි පළිබෝධක ගහන වැඩිවීම සහ නිතර හට ගන්නා ලැව් ගිනි නිසාත් වනාන්තර සහ වෙනත් පරිසර පද්ධති වලටද  අපමණ හානි සිදුවේ. 

දේශගුණ විපර්යාසයේ අනිටු විපාක දැනටම දැනෙමින් තිබෙන නිසා තවදුරත් ගෝලීය උණුසුම් වීම මැඩපැවැත්වීමට ගන්නා පියවර වහාම දෙගුණ, තෙගුණ කළ යුතුවේ. දැනට  තීරණය කර තිබෙන, 1.5°C උපරිම සීමාවේදීත් භෞමික ශාක විශේෂ වලින් 14% පමණ වඳ වී යාමේ තර්ජනයට ගොදුරු වී තිබේ.

ගෝලීය උෂ්ණත්වය 2°C වුවහොත් ශාක විශේෂ වඳවී යාම 18% විය හැකිය. මේ ආකාරයට උෂ්ණත්වය වැඩිවීමේ  උපරිමය  5°C වුවහොත් ශාක වඳ වීම 48% වියහැකි බවද ගණනය කර තිබේ. පැරිස් සම්මුතියට අනුව ප්‍රතිඥා දී ඇති ආකාරයට සියලුම ජාතීන් උපරිමයෙන් ක්‍රියා කළහොත්  පමණක් 2050 වනවිට අඩුම වශයෙන් උෂ්ණත්වය ඉහල යාම 2.5°C සීමාවේවත් නතර වියහැකි බවට  පෙරැයීම් කර තිබේ.

ගෝලීය උණුසුම් වීමේ සීමාව 2°C මට්ටමේ හෝ ඉන් ඔබ්බට ගියහොත්, සිදුවිය හැකි අති දරුණු දේශගුණ විපර්යාස නිසා, මිනිසාට පෝෂක ඌණතා රෝගවලට සහ මන්ද පෝෂණයට ගොදුරු වීමට සිදුවේ. මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට  විශේෂයෙන්ම ගොදුරු වන්නේ, අප්‍රිකා මහාද්වීපයේ සහරාවට  දකුණෙන් පිහිටි ප්‍රදේශ, දකුණු ආසියාව සහ මධ්‍ය හා  දකුණු ඇමෙරිකාවත්, ලොව පුරා විසිරී ඇති දූපත් රාජ්‍යයයෝද වෙති. මේ මට්ටමට එළඹී විට සිදුවන බහුවිධ ව්‍යසන වශයෙන් දැක්විය හැකි දරුණු නියඟ සහ ඉඩෝර, ලැව්ගිනි, මුහුදු ජල මට්ටම ඉහල යාම වැනි උපද්‍රව එකවර සිදුවිය හැකිය. මේවා  ඉතාමත් සංකීර්ණ වන අතරම ඒවා මැඩලීමද  අති දුෂ්කර වනු ඇත.  උෂ්ණත්වය  ඉහළ යාමේ සීමා ඉක්ම වුවහොත් සිදුවන දේශගුණ විපර්යාස කිසිසේත් ආපසු හැරවිය නොහැකි තත්වයකට උග්‍ර වීම නොවැලැක්විය හැකිය. 

මෙම උවදුරු වලින් තරමක් දුරට හෝ බේරීම සඳහා අවස්ථානුකූල ‘අනුවර්තන වීම්’ (adaptations)  පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ගැනද  බලධාරීන්ගේ අවධානය යොමු වෙමින් පවතී. මේ අනුව

  1. ගංගා මිටියාවත් වල ජලගැලීම් මැඩ පැවැත්වීම සඳහා තැනිතලා භුමි වල ඇති තෙත්බිම් යථා තත්ත්වයට පත්කිරීම සහ ගංගා ස්වාභාවිකව ගලායාමට සැලැස්වීම.

  2. වෙරළ  තීර සැඩ  සුළඟින් සහ මුහුදු කෑමෙන් වලක්වා ගැනීමට කඩොලාන සංරක්ෂණය කිරීම 

  3. ධීවර කලාපවල සීමා ඉක්මවා මසුන් ඇල්ලීම පාලනය කිරීමෙන් මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගැනීම 

  4. නාගරික ප්‍රදේශවල ස්වාභාවික ‘සිසිලනයක්’ ඇතිකිරීම සඳහා උද්‍යාන, මිරිදිය පොකුණු ආදිය ස්ථාපනය කිරීම සහ  මංමාවත් ඔස්සේ සහ ගොඩනැගිලි පියසි මත  හැකිතරම් ගැලපෙන හරිතශාක රෝපණය කිරීම

  5. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පලදා වර්ධනයට  සහ දේශගුණික බලපෑම් වලට ඔරොත්තු දීම සඳහා පාංශු ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමේ පිළිවෙත් අනුගමනය  කිරීම ද  වැදගත් වේ.    

දේශගුණ විපර්යාස නිසා සිදුවිය හැකි අනේකවිධ අතිශය අවාසනාවන්ත දුර්දාන්තයන්ගෙන්  බේරීම සඳහා සමස්ත ලෝකවාසී ජනතාවම එකාමෙන් පෙළගැසිය යුතු මොහොත උදාවී තිබේ. ඒ සමගම මුළු ලෝකයේම රාජ්‍ය නායකයින් සහ සියලුම බලධාරීන් විසින් මේවා වලක්වාගැනීම සඳහා  අවශ්‍ය පියවර අද හෙටම නොගතහොත් නුදුරු අනාගතයේදීම  ඒ බිහිසුණු අපරාධය සිදුවනු ඒකාන්තය !

(තොරතුරු පොත් පත් වලිනි. නිර්මාණ  කරුවන්ට ස්තුති පූර්වකව ‘කාටුන් චිත්‍ර’ අන්තර්ජාලයෙනි.)