Tuesday 8 March 2022

දේශගුණ විපර්යාස අර්බුදයේ විපාක ආරම්භ වී තිබේ.

 දේශගුණ විපර්යාස අර්බුදයේ විපාක ආරම්භ වී තිබේ.

එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් 2015 වර්ෂයේ පැරිසියේදී පවත්වන ලද මහා මණ්ඩල සැසි වාරයේදී, රටවල් 190 ක පමණ රාජ්‍ය නායකයින්  එකතුවී දේශගුණ විපර්යාස නිසා  ඉදිරි දශක දෙකහමාර  තුළදී  සිදුවිය හැකියයි  පෙරැයීම් කළ, බරපතල පාරිසරික අර්බුද රාශියක් පිළිබඳව සාකච්ඡා කරන ලදී. මේ සම්බන්ධව විවිධ රාජ්‍යයන් විසින් ගතයුතු පියවර සහ අනුගමනය කළයුතු අනුවර්තන සම්බන්ධවද සම්මුති කිහිපයකටම එකඟතාවයද එහිදී ප්‍රකාශ විය. එතැන් සිට වසර කිහිපයක් ගතවන විටම බලාපොරොත්තු නොවූ පරිදි, ලෝක ජනතාවට  කුඩා සහ මහා පරිමාණයේ ව්‍යසන රාශියකටම මුහුණ දෙන්නට සිදුවිය. ඒ සමගව උද්ගතවූ COVID19 වසංගත තත්ත්වය නිසාද, යෝජිත  පරිදි අත්‍යවශ්‍ය පියවර ගැනීමට බාධා ඇතිවිය. දැන් දැන් එම පීඩා දෙගුණ තෙගුණ වන බවක්ද නිරීක්ෂණය වන බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි 27 වනදා (2022) එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිලිබඳ  අන්තර්රාජ්‍ය මණ්ඩලය (United Nations’ Intergovernmental Panel on Climate Change - IPCC) විසින් පවත්වන ලද සැසි වාරයේදී, එහි මහලේකම්වරයා  විසින්, එම වාර්තාවේ සඳහන් පරිදි,  ගෝලීය උණුසුම් වීම නිසා පෘථිවි වාසීන්   මුහුණ දී ඇති අනතුරුදායක තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලදී. 

ඔහු තම දේශනය ආරම්භ කළේ  මෙසේය: 

“මා බොහෝ  විද්‍යාත්මක වාර්තා කියවා තිබේ. එහෙත් මානව සංහතියටම බලපාන මහත් පීඩාකාරී තොරතුරු සිතියම් ගතකර තිබෙන  මෙවැනි වාර්තාවක් මා මෙතෙක් කියවා නොමැත.  එමෙන්ම, මෙය පාරිසරික කටයුතු සම්බන්ධව, රාජ්‍ය නායකත්වය විසින් අනුගමනය කරනු  ලබන අදුරදර්ශී ආකල්ප කෙරෙහි එල්ලවන  චෝදනා පත්‍රයක් ලෙසද සැලකිය හැකිය”  

තවදුරටත් කරුණු දැක්වූ මහලේකම්වරයා මෙසේද  පැවසීය.

“දේශගුණ විපර්යාස මගින් මිනිස් සංහතියට සහ සමස්ත පෘථිවියටම,  ප්‍රබල ප්‍රහාරයක් දියත් කර තිබේ. 

“මේ වන විටද  මිනිස් සංහතියේ හරි අඩකට වඩා, මෙම භයානක සංසිද්ධියේ අවදානම් අවදියකට  එළඹ සිටිති. පෘථිවියේ බොහෝ පරිසර කලාප සහ පරිසර පද්ධති  ‘ආපසු හැරවිය නොහැකි’ තත්වයක දූෂණයට ලක්වී තිබේ.”

“ලෝකයේ අගහිඟකම් නිසා වැඩියෙන්ම  පීඩිතව සිටින  ජනතාව, පාලනයක් විරහිත කාබන් දූෂණය නිසා, අගාධයටම තල්ලු වෙමින් සිටිති. මෙම සාහසික වරද පැටවෙනුයේ දේශපාලන නායකත්වයට බව කිසිසේත් ප්‍රතික්ෂේප කළ  නොහැකිය. පරිසර දූෂණය සිදුකිරීමට වැඩි වශයෙන්ම  දායකත්වයක් සපයන ‘මහ ජාතීන්ගේ’ අත්තනෝමතික ක්‍රියා නිසා, මිනිස් වාසයට සුදුසු එකම ග්‍රහලෝකය වන සමස්ත පෘථිවියම  බලවත් අන්තරායකට පත්වෙමින් තිබේ.”

                         

“පැරිස් සම්මුතියේ දී තීරණය කරගත් පරිදි ගෝලීය උණුසුම් වීම, 1.5°C  මට්ටමේ  තබාගැනීමේ වගකීම අද ලෝක බලවතුන්ට අමතකවී ඇත. විද්‍යාඥයින් විසින් පෙන්වාදී ඇති පරිදි,  2030 වනවිට ගෝලීය කාබන් විමෝචනය 45% කින් අඩුකරගැනීමේ සහ 2050 වන විට කාබන් ශුන්‍ය භාවයට පැමිණීවීමේ උතුම් සිතිවිලි,  අද  සිහිනයක් පමණක් බවට පත්වී තිබේ.  දැනට ගණන් බලා ඇති පරිදි මෙම දශකය අවසන් වන විට කාබන් විමෝචනය අඩුකර ගැනීමට ගිවිස ගෙන ඇතත්, අවාසනාවකට මෙන්  එය  14% කින් වැඩිවන බව ප්‍රකාශිතය. මෙය මහත්ම ව්‍යසනයක් නොවන්නේද?”  

මෙම මහා ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා ගතයුතු ඉතාම වැදගත් පියවර දෙකක් පිළිබඳව IPCC මහලේකම්වරයා  තම අවධානය යොමු කර සිටී.

ඔහුගේ අවධානය යොමුවන පළමු සාධකය වනුයේ මිනිස් සංහතියේම ‘හුස්ම හිරකර’  තිබෙන  ගල්  අඟුරු සහ වෙනත් ෆොසිල ඉන්ධන භාවිතයයි. මෙහිදී, *G20 අන්තර් රාජ්‍ය සංසදය  දක්වන දෙබිඩි පිළිවෙත ගැන ඔහුගේ බලවත් කනස්සල්ල පළකර තිබේ. මෙම සංසදය ජාත්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන ගැටළු විසඳීමට ඇප කැප වී තිබෙන සංවිධානයකි. ලෝකයේ වෙනත්  රටවල  ගල් අඟුරු ආශ්‍රීත කර්මාන්ත සඳහා උදව් උපකාර කිරීම, මෙම සංසදය මගින්  සම්පූර්ණයෙන් නතර කිරීමට ගිවිස ගෙන සිටී. එහෙත් එම සංසදයේ රටවල් විසින් තමන්ගේ අභ්‍යන්තර ගල් අඟුරු මූලික කර්මාන්ත නතර කිරීම කෙසේ වෙතත්, ඒවා සීමාකිරිමටවත් ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ හැකිය. එමෙන්ම ගෑස් සහ ෆොසිල ඉන්ධන නිපදවන රටවල්ද තම සීමා පිලිබඳ ස්ථිර සැලකිල්ලක්  යොමු කර නොමැත. මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයකින් කරුණු දැක්වූ ලේකම්වරයා,  විසින් එම රටවල්  ප්‍රතිඥා දී ඇති පරිදි ක්‍රියා නොකළහොත්, හරිත ලෝකයක් අපේක්ෂා කරන 2050 වසර වනවිට  බලාපොරොත්තු ඉලක්කය වන කාබන් ශුන්‍ය  භාවයට කිසිසේත් ලඟාවිය නොහැකි බව තරයේ කියා සිටියේය. 

(*G 20 යනු Group 20 ලෙස හැඳින්වෙන, මෙහි දැක්වෙන රටවල් සමූහයයි. - ඒවා නම්  ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, කොරියානු ජන රජය, මෙක්සිකෝව, රුසියාව, සවුදි අරාබිය, දකුණු අප්‍රිකාව, තුර්කිය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් සහ යුරෝපීය සංගමය වේ.)   

තිරසාර හෝ ධරණීය සංවර්ධනය කරා පිය නැගීම අත්‍යවශ්‍ය බැවින් පුනර්ජනනීය බල ශක්තිය සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කරමින් නව තාක්ෂණයේ සහ මෙවලම් භාවිතයේ වැදගත්කමද ලේකම්වරයා විසින් පෙන්වා දෙන ලදී.  ෆොසිල ඉන්ධන භාවිතය  පෘථිවි ග්‍රහ ලෝකයට මෙන්ම, මිනිස් සංහතියට සහ ලෝක ආර්ථිකයට දුර්දාන්තයක්ම ගෙන දෙනු නියතය. බල ශක්තිය අතින් පරමාදර්ශී වී, ලොවට ශාන්තියක් අත්කරගත හැකි වනුයේ, හරිත රැකියා සුලභ කරගත හැකි වනුයේ සහ  ආර්ථික සමබරතාවය රැකගත හැකි වනුයේ  හිරු එළිය,  සුළඟ, මුහුදු රළ වැනි ස්වාභාවික බල ශක්ති ප්‍රභව මිනිසාගේ අවශ්‍යතා සඳහා වැඩි වැඩියෙන් භාවිත කිරීමෙන් පමණක් බව පැහැදිලිය.  

ඔහු විසින් අවධාරණය කරන ලද දෙවන කරුණ සම්බන්ධ වනුයේ,  වාර්තාවේ දක්වා තිබෙන  තරමක් දුරට සහනදායි පිවිසුමක් පිළිබඳවය. අවශ්‍යතා වලට අදාලව  අනුවර්තනය වීම මෙම ධනාත්මක පිළිවෙතයි.

 

මෙම අර්බුද වලින් ජන ජීවිත බේරා ගැනීම සඳහා, අනුවර්තන මහෝපකාරී වේ. දේශගුණික බලපෑම් තීව්‍ර වත්ම, වැඩි වැඩියෙන් අනුවර්තන සඳහා ජනතාව මෙහෙයවිය යුතුය. පීඩාකාරී දේශගුණික බලපෑම් අවම කර ගැනීමත් ඒ සඳහා අනුවර්තන දැඩි කර ගැනීමත් සමාන්තරව ක්‍රියාත්මක විය යුතුය. එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රතිපාදන වලින් 50% ක් මෙම ප්‍රවණතා සඳහා වැය කිරීමට  පියවර ගෙන ඇත්තේ මේ නිසාය. 

ලේකම්වරයා සිය වාර්තාව අවසන් කරනුයේ මෙසේය: 

“මේ කිසිවකට ප්‍රමාද වීම  මරණයට  සමීප වීමකි. එසේ හෙයින්, විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන කුඩා  දූපත් රාජ්‍යයයන් සහ ඌණ සංවර්ධිත රටවල් සඳහා නිර්දේශ කර තිබෙන මුල්‍ය ආධාර අවහිරතාවයකින් තොරව ගලායාම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට මාගේ උපරිම ශක්තිය වැය කරමි. G20 රටවල් මේ සඳහා විශේෂ උනන්දුවක් දැක්වීය යුතුය. පරිසර උෂ්ණත්වය 1.5°C උපරිමයේ තබාගැනීම අපගේ පරම අධිෂ්ඨානය විය යුතුය. අද ජනතාවගෙන්  විශාල කොටසක් මහත් චිත්ත සන්තාපයනට ගොදුරු වී සිටිති. ඒ නිසාම  ඔව්හු මානසික වේදනාව නිසා, වෛරී ස්වභාවයක් පෙන්නුම් කරති. එය මා හටද බලපා  තිබේ. ඔබටද එසේ විය හැකිය. එම වෛරය සහ අසහනය ඵලදායී ක්‍රියාකාරකම්  බවට හරවා ගැනීමට උත්සාහ ගනිමු. මේ සඳහා සෑම මොහොතක්ම අගණේය. සෑම හඬක්ම ධනාත්මක පෙළඹවීමකි. දැඩි අධිෂ්ඨානයකින් යුක්තව මේ සඳහා පෙළ ගැසී, පරිසරය රැක ගනිමින් පෙරටම යමු.”  

ඉහත සඳහන් කරන ලද  දේශගුණ විපර්යාස පිලිබඳ  අන්තර්රාජ්‍ය මණ්ඩල - IPCC වාර්තාවේ අන්තර්ගත කරුණු වලට අදාළ දැවෙන ප්‍රශ්න ගැන  ගැඹුරු අධ්‍යයනයක් කර තිබෙන, පරිසර අර්බුද පිළිබඳ  පර්යේෂක, එක්සත් රාජධානියේ  Kieran Mulvaney විසින් National Geographic සඟරාවට ලියා ඇති ලිපියකින් මෙම ආපදා පිළිබඳව විශේෂ විග්‍රහයක් කර තිබේ. ඔහු පවසන ආකාරයට:

“බලාපොරොත්තු වූවාටත් වඩා අඩු උෂ්ණත්ව පරාසයකදීම - එනම් උෂ්ණත්වය  වැඩිවීම  1.5°C එළඹීමටත් පෙර - ස්වාභාවික පරිසර පද්ධති අකර්මණ්‍ය  වෙමින්, ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත උවදුරට පත්කරමින්  තිබේ.”  

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වන ඔහු ගෙනහැර දක්වන පරිදි,

ලොව පුරා නොසිතු විරු ආකාරයට පැතිරී යන ‘තාප තරංග’ (Heat waves) නිසා ගොඩබිම ශාක සහ මුහුදේ කොරල් පර විනාශ වෙමින් පවතී. ඒ  සමගම මුහුදු ජල මට්ටම ඉහල යාම නිසා වෙරළ  ආසන්නයේ අනාරක්ෂිත ස්ථාන වල ජීවත්වන ජනතාවට උන්හිටිතැන් නැති වී යයි. මේ නිසාම  සිදුවන උග්‍ර ප්‍රකෝපකාරී සිද්ධිද නොවැලැක්විය හැකි තත්ත්වයක පවතී. ගෝලීය පරිසර උණුසුම් වීම වහා නතර නොකර මේ ආකාරයටම පැවතුනහොත්, ලොව පුරා ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත ජෛව විශේෂ වලින් අඩක් පමණ විනාශ මුඛයට පත්වී වඳවී යා හැකි වන අතරම, මිනිසාද අතිශය  මන්ද පෝෂණයට ගොදුරුවීමටද  ඉඩකඩ බොහෝය. මේ අතරින්ද දරිද්‍රතාවයෙන් පීඩිත වූ අය, ළදරුවන් සහ මහල්ලන්,  වාර්ගික සුළු ජාතීන් සහ දේශීය ආදී වාසීන්  වඩාත්ම අවදානමට ඉලක්ක වන අය වනු ඇත.

මේ සඳහා අත්‍යවශ්‍ය සහ එකම පිළියම වනුයේ, වටපිටාවට හරිතාගාර වායු අධික ලෙස මෝචනය වීම  කෙසේ හෝ වහාම නතර කිරීමට පියවර ගැනීමයි.

පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ උත්තර ධ්‍රැවය අවට රටවලට ගෝලීය උණුසුම් වීමේ බලපෑම දරාගත නොහැකි අහිතකර සංසිද්ධියකි. මෙම  රටවල අධික ශීත කාලගුණයක් පවතින නිසා, පසෙහි තරමක් ගැඹුරෙන් ‘නිත්‍ය තුහින’ (permafrost) ලෙස හැඳින්වෙන ස්ථිර මිදුණු ජල ස්තරයක් තිබේ. මෙම ස්තරය එම ප්‍රදේශයේ භුමියෙහි 24% පමණ ව්‍යාප්ත වේ. පරිසර උෂ්ණත්වය ඉතා සුළු ප්‍රමාණයකින් වැඩි වූවත්, නිත්‍ය තුහින දියවීමට පටන්ගනී. මුළු පෘථිවියේම පසෙහි ඇති ඓන්ද්‍රීය ද්‍රව්‍ය වලින් හරි අඩක් පමණ පෘථිවි පෘෂ්ඨයේ ඇති නිත්‍ය තුහින සහිත පසෙහි ගැබ්වී තිබේ. උෂ්ණත්වය වැඩි වනවිට එම ඓන්ද්‍රීය ද්‍රව්‍ය පාංශු ජීවීන් විසින් වියෝජනය කර, කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි හරිතාගාර වායු පරිසරයට මුදා හැරේ. හරිතාගාර වායු ගෝලීය උණුසුම් වීමට මහත් රුකුලක් වේ. දේශගුණ විපර්යාස සිදුවනවිට මෙම බරපතල ව්‍යසනය නිසා බලවත් හානි සිදුවීමට බොහෝ ඉඩකඩ තිබේ. 

එමෙන්ම එම ප්‍රදේශවල බහුල  පීට් වගුරුබිම් (peatlands) වියලී යාමද මහත් හානිකරය. 

උණුසුම වැඩිවීමත්  සමග උග්‍ර වන  කෘමි පළිබෝධක ගහන වැඩිවීම සහ නිතර හට ගන්නා ලැව් ගිනි නිසාත් වනාන්තර සහ වෙනත් පරිසර පද්ධති වලටද  අපමණ හානි සිදුවේ. 

දේශගුණ විපර්යාසයේ අනිටු විපාක දැනටම දැනෙමින් තිබෙන නිසා තවදුරත් ගෝලීය උණුසුම් වීම මැඩපැවැත්වීමට ගන්නා පියවර වහාම දෙගුණ, තෙගුණ කළ යුතුවේ. දැනට  තීරණය කර තිබෙන, 1.5°C උපරිම සීමාවේදීත් භෞමික ශාක විශේෂ වලින් 14% පමණ වඳ වී යාමේ තර්ජනයට ගොදුරු වී තිබේ.

ගෝලීය උෂ්ණත්වය 2°C වුවහොත් ශාක විශේෂ වඳවී යාම 18% විය හැකිය. මේ ආකාරයට උෂ්ණත්වය වැඩිවීමේ  උපරිමය  5°C වුවහොත් ශාක වඳ වීම 48% වියහැකි බවද ගණනය කර තිබේ. පැරිස් සම්මුතියට අනුව ප්‍රතිඥා දී ඇති ආකාරයට සියලුම ජාතීන් උපරිමයෙන් ක්‍රියා කළහොත්  පමණක් 2050 වනවිට අඩුම වශයෙන් උෂ්ණත්වය ඉහල යාම 2.5°C සීමාවේවත් නතර වියහැකි බවට  පෙරැයීම් කර තිබේ.

ගෝලීය උණුසුම් වීමේ සීමාව 2°C මට්ටමේ හෝ ඉන් ඔබ්බට ගියහොත්, සිදුවිය හැකි අති දරුණු දේශගුණ විපර්යාස නිසා, මිනිසාට පෝෂක ඌණතා රෝගවලට සහ මන්ද පෝෂණයට ගොදුරු වීමට සිදුවේ. මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට  විශේෂයෙන්ම ගොදුරු වන්නේ, අප්‍රිකා මහාද්වීපයේ සහරාවට  දකුණෙන් පිහිටි ප්‍රදේශ, දකුණු ආසියාව සහ මධ්‍ය හා  දකුණු ඇමෙරිකාවත්, ලොව පුරා විසිරී ඇති දූපත් රාජ්‍යයයෝද වෙති. මේ මට්ටමට එළඹී විට සිදුවන බහුවිධ ව්‍යසන වශයෙන් දැක්විය හැකි දරුණු නියඟ සහ ඉඩෝර, ලැව්ගිනි, මුහුදු ජල මට්ටම ඉහල යාම වැනි උපද්‍රව එකවර සිදුවිය හැකිය. මේවා  ඉතාමත් සංකීර්ණ වන අතරම ඒවා මැඩලීමද  අති දුෂ්කර වනු ඇත.  උෂ්ණත්වය  ඉහළ යාමේ සීමා ඉක්ම වුවහොත් සිදුවන දේශගුණ විපර්යාස කිසිසේත් ආපසු හැරවිය නොහැකි තත්වයකට උග්‍ර වීම නොවැලැක්විය හැකිය. 

මෙම උවදුරු වලින් තරමක් දුරට හෝ බේරීම සඳහා අවස්ථානුකූල ‘අනුවර්තන වීම්’ (adaptations)  පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ගැනද  බලධාරීන්ගේ අවධානය යොමු වෙමින් පවතී. මේ අනුව

  1. ගංගා මිටියාවත් වල ජලගැලීම් මැඩ පැවැත්වීම සඳහා තැනිතලා භුමි වල ඇති තෙත්බිම් යථා තත්ත්වයට පත්කිරීම සහ ගංගා ස්වාභාවිකව ගලායාමට සැලැස්වීම.

  2. වෙරළ  තීර සැඩ  සුළඟින් සහ මුහුදු කෑමෙන් වලක්වා ගැනීමට කඩොලාන සංරක්ෂණය කිරීම 

  3. ධීවර කලාපවල සීමා ඉක්මවා මසුන් ඇල්ලීම පාලනය කිරීමෙන් මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගැනීම 

  4. නාගරික ප්‍රදේශවල ස්වාභාවික ‘සිසිලනයක්’ ඇතිකිරීම සඳහා උද්‍යාන, මිරිදිය පොකුණු ආදිය ස්ථාපනය කිරීම සහ  මංමාවත් ඔස්සේ සහ ගොඩනැගිලි පියසි මත  හැකිතරම් ගැලපෙන හරිතශාක රෝපණය කිරීම

  5. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පලදා වර්ධනයට  සහ දේශගුණික බලපෑම් වලට ඔරොත්තු දීම සඳහා පාංශු ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමේ පිළිවෙත් අනුගමනය  කිරීම ද  වැදගත් වේ.    

දේශගුණ විපර්යාස නිසා සිදුවිය හැකි අනේකවිධ අතිශය අවාසනාවන්ත දුර්දාන්තයන්ගෙන්  බේරීම සඳහා සමස්ත ලෝකවාසී ජනතාවම එකාමෙන් පෙළගැසිය යුතු මොහොත උදාවී තිබේ. ඒ සමගම මුළු ලෝකයේම රාජ්‍ය නායකයින් සහ සියලුම බලධාරීන් විසින් මේවා වලක්වාගැනීම සඳහා  අවශ්‍ය පියවර අද හෙටම නොගතහොත් නුදුරු අනාගතයේදීම  ඒ බිහිසුණු අපරාධය සිදුවනු ඒකාන්තය !

(තොරතුරු පොත් පත් වලිනි. නිර්මාණ  කරුවන්ට ස්තුති පූර්වකව ‘කාටුන් චිත්‍ර’ අන්තර්ජාලයෙනි.)


18 comments:

  1. හොඳ සටහනක්. කාලෝචිත සිහිකැඳවීමක්.🙏👌😊

    ReplyDelete
    Replies
    1. ස්තුතියි DGM Mr.බස්,
      මේ කියන ආකාරයට මුහදු ජල මට්ටම මීටර් එකක් ඉහල ගියහොත් ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණ විනාශවී යනවා. ඊට කලින් වෙනත් ග්‍රහ ලෝකයකට යන්නට සමත් උනොත් හොඳයි. ඒ උනත් මිනිසා කියන සත්ත්වයා උවදුරක් ගැන ගැඹුරට කල්පනා කරන්නේ ඒක සිදු වූවාට පසුවනේ.

      Delete
    2. වෙනත් ග්‍රහ ලෝකයකට යන එකනම් කවදාවත්ම වෙන්ටේ නැති වැඩක් ආයිබෝවන්ඩ..

      Delete
  2. Atlas යෝධයා වගේ උනා කියලත් වැඩක් නෑ නේද🙄

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නවීන්,
      ඇට්ලස් යෝධයාටත් දැන්නම් හිතිලා ඇති පෘථිවිය කර උඩ තියා ගත්ත එක හරිම මෝඩ කමක් කියලා.

      Delete
    2. අපිත් ඒකම නෙමේද මේ කරන්නෙ. මේ ලංකාවෙ ඉන්නෙ අපිට කරන්න පුලුවන් ඉටි ගෙඩියක් නැ නෙහ්. ඔක්කොම කරන්න පුලුවන් අය තව දුරටත් සුපුරුදු විදියටම නම් වැඩ කරන්නෙ. මොකක් ද ඇති ඵලේ මේවා ගැන කතා කරා කියල😑🤔

      Delete
    3. ස්තුතියි නවීන්,
      ඇට්ලස් යෝධයාගේ කතාව නම් පැරණි ග්‍රීක Mythology වල සිද්ධියක්. එහි සත්‍යයක් නොමැති බව කවුරුත් දන්නවා.
      ඒ උනත් අද පෘථිවි ජීවීන් මුහුණපා ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ගැනීම ගැන උනන්දුවක් දක්වන බොහෝ අය සිටිනවා. //මේ ලංකාවෙ ඉන්නෙ අපිට කරන්න පුලුවන් ඉටි ගෙඩියක් නැ// කියමන ගැන නම් මා එකඟ වන්නේ නැහැ. සෑම කෙනෙක්ම අල්ප මාත්‍ර වශයෙන් හෝ තම යුතුකම ඉටු කරන්නේ නම් විශාල මෙහෙවරක් කළ හැකියි.

      Delete
    4. අපිට කළ හැකි දේ ගැනත් දැනුවත් කරනව නම් වටිනව😁👌

      Delete
    5. නවීන්, කුඩා දරුවෙකුගේ සිට ඕනෑම මට්ටමක වැඩිහිටියෙකු දක්වා සෑම කෙනෙකුටම දේශගුණ විපර්යාසය මැඩපැවැත්වීම සඳහා ඉතාමත් සරල ආකාරයකට කළ හැකි දේ බොහෝ තිබෙනවා. පොත් පත් වැනි මුද්‍රිත මාධ්‍ය සහ වෙනත් විද්‍යුත් මාධ්‍ය මේ ගැන නිරතුරුවම දැනුවත් වීම් කරනවා. මේවා ගැන සොයා බලන්න.
      ඔබ කැමැති නම් මේ link එක ඔස්සේ මා ලියා ඇති එවැනි ලිපියක් කියවන්න.
      https://docs.google.com/document/d/1eKny_VmOi7tckZXsJmUBDtpHyqROnCgv9xeZSJMyqPQ/edit?usp=sharing

      Delete
    6. අනිවාරෙන්ම බොහොම ස්තුති ඔබතුමාට. මේක කියවල ප්‍රතිචාරක් දෙන්නම්😁

      Delete
    7. Earth hour ගැන නම් කලින් අහලා තිබුනා ටිකක්,අද තව ඒක ගැන දැන ගත්තා. ඒකත් හොඳ සංකල්පයක්👌

      Delete
    8. මේ සරල පිවිසුම් වලින් එකක්. තව බොහෝ දේ තිබෙනවා ඒවා ගැන අවධානයෙන් සිටින්න.

      Delete
  3. ඉන්න තැනට, රටට, ජාතියට ආදරය ඇල්ම දුරලා අපි විශ්වීය වී අඳුරේ අතපතගාමින් යන ගමනක ඉන්ටෙ. එහෙව් එකේ විනාසය මිසක් නැවත හැරීමක් නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමි,
      මා හිතන්නේ විශ්වීය චින්තනය හොඳ දෙයක්. වැරැද්ද අඳුරේ අතපතගාන එකයි. ඒකෙන් ගොඩ ඒමට තමයි විද්‍යාව සහ තාක්ෂණය තිබෙන්නේ. ඒ උනත් බල තන්හාව නිසා කුළල් කා ගැනීමෙන් නම් විමුක්තිය ලඟා කර ගත නොහැකි බව මිනිසා තේරුම් ගත යුතුයි.

      Delete
  4. දැන් අලුතින් ඇතිවී තිබෙන යුධ තත්වය නිසාත් ගෑස් සහ තෙල් මිල අධික වෙන නිසාත් වෙනත් වඩා පරිසරයට හිතැති බල ශක්ති සැපයුම් සොයා ගන්න යොමු වෙවෙඉ කියලත් හිතෙනවා. එහම් වුනොත් ඒක හොඳක්. හැබැයි අනිත් පැත්තට නොවිකෙනන තෙල් කුඩා රටවලට ගලා යන්නට ඉඩ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්,
      දැනට තිබෙන තොරතුරු අනුව, ලෝකයේ තිබෙන සියලුම ගල් අඟුරු පතල් සහ තෙල් ආකාර සියල්ලම එකවර වසා දැමුවත්, ඊට පසු වසර කිහිපයකට සෑහෙන ෆොසිල ඉන්ධන දැනටම ගොඩට ගෙන තිබෙනවා. ඒ අතරතුර කාලයේදී නූතන පුනර්ජනණීය ක්‍රමෝපායයන් සහ නව ආරක්ෂක උපාංග සහිත කුඩා පරිමාණයේ නෂ්ටික බලාගාර සුලභ වුවහොත් මෙම ගැටලුව විසඳේවියයි සිතිය හැකියි.

      Delete