Wednesday 23 March 2022

මුහුදු අශ්වයා ('Sea Horse') මහත් අද්භූත සතෙකි.

  මුහුදු අශ්වයා පිළිබඳව මෑතකදී සඟරාවක පළවී තිබුණු ලිපියක සංක්ෂිප්ත සටහනක් මෙසේය:

“මුහුදු අශ්වයා මත්ස්‍යයෙකි. මේ නිසා ඌට  චලනය සඳහා යොදා ගත හැකි පාද නොමැත. මුහුදු ජලයේ පිහිනීම පිණිස වරල්  භාවිත කරයි. එහෙත් මත්ස්‍යයින්ට මෙන් වාලධි වරලක්  නොමැත. 

ස්වසනය කරමල් මගිනි. 

කටුස්සෙකුට මෙන් එලියට නෙරා ඇති උගේ ඇස් දෙපසට කරකැවිය හැකි අතර, ශරීර පැහැයද විටින් විට වෙනස් කරගත හැකිය.  

යමක් වෙලාගෙන අල්ලා ගතහැකි වඳුරෙකුගේ ආකාරයේ වලිගයක් තිබේ. 

මොවුන්ගේ පැටවුන් බිහි කරන්නේ පිරිමියාය.  එම පැටවුන් පරිණත වනතුරු  පිරිමි සතාගේ  උදරයට පිටින් ඇති කැන්ගරු මවකට තිබෙන  ආකාරයේ පැසක් තුළ ජීවත් වෙති. පිරිමි මුහුදු අශ්වයා වරකට පැටවුන් දහසකට වඩා බිහි කරයි.” 

‘ගොඩබිම’ අශ්වයා සහ මුහුදු අශ්වයා 

මුලින්ම ‘ගොඩබිම’ අශ්වයෙකු සියැසින් දකිනවිට,  මට වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත. එයද අහම්බෙන් ලැබුණු  සුවිශේෂී අවස්ථාවකි. එවකට හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අපට, 1952 වර්ෂයේදී, කොළඹ තුරඟ තරඟ පිටියේ  පවත්වන ලද ‘කොළඹ ක්‍රමය, ජාත්‍යන්තර ප්‍රදර්ශනය’ (Colombo Plan, International Exhibition) නැරඹීම සඳහා,  පාසැල් චාරිකාවකට සහභාගී වීමට හැකිවිය. ප්‍රදර්ශන  භුමියේ අශ්වාරෝහක පොලිස් භටයෝ මුරකාවලෙහි සිටියහ. එය මා අශ්වයින්  දුටු පළමු අවස්ථාවයි.  එදිනම සවස අප ගෝල්ෆේස් පිටියට කැඳවා ගෙන  ගිය විට, පළමු වරට මුහුදද දැකගන්නට ලැබිණ. ඒ වන විට මා මුහුදු අශ්වයින්  ගැන අසා තිබුණේවත් නැත. අශ්වයෙකු මෙන් උස මහත ඇති “අද්භූත මුහුදු අශ්වයෙකු” මාගේ සිතෙහි මැවී තිබිණ. 

මීට ටික කලකට පසු පත්‍රයක පළකර තිබුණු  ‘කුඩා කරදිය ජල ටැංකියක මුහුදු අශ්වයින් ඇතිකිරීම’ පිළිබඳව ලිපියක කියවන්නට ලැබුණු, ප්‍රවෘත්තිය නිසා, එදා  මා දුටු හැඩිදැඩි ‘ගොඩබිම අශ්වයා’ මෙන් විය හැකියයි මා සිතින් මවා ගෙන සිටි  මුහුදු අශ්වයෙකු කුඩා ජල ටැංකියක ඇතිකරන්නේ කෙසේද යන්න ගැන,  සිතෙහි මහත් කුතුහලයක් මෙන්ම කැළඹීමක්ද  ඇතිවිය.  පසු කාලයේදී සත්‍ය මුහුදු අශ්වයින් ගැන පොතපතින් කියවා, තරමක අවබෝධයක් ලබාගතහැකි වූවත්  පසුගිය දිනක, මුහුදු අශ්වයින් ගැන ඉහත දැක්වූ  තොරතුරු කියවීමෙන් පසු ඒ පිලිබඳ  තවදුරටත් අධ්‍යයනයක් කිරීම මැනැවැයි  හැඟී ගියේය. මුහුදු අශ්වයාගේ මෙම ආශ්චර්යමත්  පැවැත්ම ගැන අසා මම මහත් විමතියට පත්වීමි. මට එක්  වරටම ඈත අතීතයේ දිනක පළමු වරට අශ්වයෙකු දැකීමත් එදිනම මුහුද දැකගන්නට ලැබීමත් පිලිබඳ සිද්ධි දාමය යළි  මැවී පෙනුනි. අශ්වයෙකුගේ හැඩරුව ඇති, සංසන්දනාත්මකව ගොඩබිම අශ්වයෙකුට වඩා අතිශයින්ම  කුඩා, ‘විකාරරූපී ජලජ ජීවියකු’ වන  මුහුදු අශ්වයා පිලිබඳ සොයාගැනීමට ලැබුණු තොරතුරු ස්වල්පයක් මෙසේ සටහන් කර තබන්නෙමි.

Hippocampus නම් ගණ නාමයෙන් හැඳින්වෙන මුහුදු අශ්වයා ඇන්ටාක්ටිකාව අවට දක්ෂිණ  සාගරයේ හැර ලොව අනෙකුත් සෑම සාගර සහ මුහුදු වල වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්වන සුලභ ජීවියෙකි.  දැනට මොවුන්ගේ විශේෂ 46 ක් හඳුනාගෙන තිබෙන අතර, ප්‍රමාණයෙන් කුඩාම මුහුදු අශ්ව විශේෂය,  මෑ  ඇටයක් තරම් වන අතර 15cm  ක් පමණ දිගින් යුත්,  විශාලතම මුහුදු අශ්ව විශේෂයක්ද හඳුනාගෙන තිබේ.  ලතින් භාෂාවෙන් Hippo යනු අශ්වයායි. Campus යනු ‘මුහුදු රකුසා’ යන අර්ථයයි. මේ නිසා මුහුදු අශ්වයාගේ හැඩරුව නිසාම ඌ  ‘අශ්වයෙක් වැනි මුහුදු රකුසා’ ලෙස දැක්විය හැකිය.  පෘතුගාලය අවට මුහුදේ මුහුදු අශ්ව විශේෂ රාශියක් හමුවී ඇති අතර, මෑතක සිට ඔවුන් වඳවී යාමේ තර්ජනයට ගොදුරු වී ඇති නිසා දැනට සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. 

මුලින්ම මෙම අද්භූත සත්ත්වයාගේ චර්යාව සහ බාහිර ලක්ෂණ ගැන සොයා බලමු.               මුහුදු අශ්වයා මත්ස්‍යයෙකු වුවද ජලයෙහි පිහිනන්නේ ජල පෘෂ්ඨයට සමාන්තරව නොව තරමක් සිරස්ව හිස ඉහලට සිටින ආකාරයටය. පිහිනීමේදී  හිස ඉදිරියට සහ පිටුපසට චලනය වේ. මෙම චලනය ගොඩබිම  අශ්වයෙකු ඇවිදින විට  දකින්නට ලැබෙන ගමනට අනුරූප වේ. හිසේ හැඩයත් මෙම චලනයත් නිසාම මොවුනට ‘මුහුදු අශ්වයා’ යන අන්වර්ථ නාමය පට බැඳෙන්නට ඇත.  

මුහුදු අශ්වයා ජීව විද්‍යාත්මකව මත්ස්‍ය (Pisces) ගෝත්‍රයට අයත් වන අතර පරිණාමයේදී ලබා ඇති සුවිශේෂී අනුවර්තන රාශියක් නිසා ‘විකාර රූපී’ නැතහොත් ‘මුහුදු රකුසෙකුගේ’ විලාසයක් ගෙන තිබේ. මෙම අනුවර්තන බොහෝදුරට සත්ත්ව ලෝකයේ වෙනත් සමහර සතුන් ලබා  ඇති අනුවර්තන වලට බොහෝ දුරට සමීප,  එකතුවක් ලෙසද සැලකිය හැකිය.

සාමාන්‍යයෙන් මත්ස්‍යයින්ගේ ශරීරය කොරපොතු වලින් වැසී ඇතත්, මොවුන්ගේ ශරීරය ඒ වෙනුවට අස්ථිමය කබොලු වලින් වැසී ඇත. හිස සහ දිගටි ‘හොම්බ’ කිසිසේත් මත්ස්‍ය හිසට සමාන නොවේ. නෙරා තිබෙන, කරකැවීමට හැකි විශාල ඇස්,  කටුස්සෙකුගේ ඇස්  මෙනි. එමෙන්ම කටුස්සෙකුට මෙන් වටපිටාව  අනුව ශරීර වර්ණයද වෙනස් කළ හැකිය. මෙය වේශාන්තරණයයි (camouflage). සාමාන්‍ය මත්ස්‍යයින්ට මෙන් වාලධි (වල්ගා) වරලක් නොමැතිය.ශරීරය සිරස්ව තබා ගනිමින් පිහිණනුයේ, පෘෂ්ඨීය සහ අධෝ වරල්  උපයෝගී කර ගනිමින්ය. ශරීරය සිරස්ව තබාගැනීම නිසා මොවුන්ට වේගයෙන් පිහිණීමට නොහැකිය. ධාරක ශාකයක්  තදින් වෙලා අල්ලා ගැනීමට (වඳුරෙකු මෙන්) ශක්තිමත් වලිගය භාවිත කෙරේ. මෙම මත්ස්‍යයාට උදරයක් නොමැති නිසා මුඛයෙන් උරාගන්නා, ක්‍ෂුද්‍ර ජලජ ජීවීන් වැනි ආහාර, ජීර්ණ වී අපද්‍රව්‍ය නිරතුරුවම ශරීරයෙන් පිටවේ. පිරිමි සතුන්ගේ උදරය මත නෙරා සිටින,  කැන්ගරුවෙකුගේ වැනි විශේෂ පැස (pouch) තුළ කළල වැඩී  මෝරා පැටවුන් හට ගනී. පැස තුළ වැඩෙන පැටවුන් බිහි කරනුයේ පිරිමි මුහුදු අශ්වයාය. වරකට පැටවුන් දහස් ගණනක් බිහිවේ. මත්ස්‍යයෙකුගේ, අශ්වයෙකුගේ, කටුස්සෙකුගේ, වඳුරෙකුගේ සහ කැන්ගරුවෙකුගේ ජෛව විද්‍යාත්මක අනුවර්තන වලට අනුරූප ලක්ෂණ සහිත මෙම කුඩා ජීවියා සත්ත්ව ලෝකයේ විකාර රූපියෙක්ම (freak) නොවන්නේද? මේ සියල්ලටම වඩා සුවිශේෂී ආශ්චර්යය ලෙස සැලකිය හැක්කේ පිරිමි මුහුදු අශ්වයා පැටවුන් බිහි කිරීමයි.  

 ජෛව විවිධත්ව සංරක්ෂණයේදී මුහුදු අශ්වයා වැදගත් වන්නේ ඇයි ?   

මුහුදු අශ්වයා ලොව පුරා ඝර්ම කලාපීය සහ සෞම්‍ය කලාපීය නොගැඹුරු සාගර සහ මුහුදුවල වෙරළාසන්න ප්‍රදේශවල,  ඇති කොරල් පර, කඩොලාන, ඇල්ගී, මුහුදු තෘණ වැනි ශාක ආදී ධාරක ආශ්‍රීතව ජීවත්වන සත්ත්ව කොට්ඨාශයකි. මොවුන් කුඩා කරදිය මත්ස්‍යයන් වුවද මත්ස්‍ය ගති ලක්ෂණ අඩුවෙන්ම පෙන්නුම් කරන ජීවීන් නිසාත්,  ඔවුන්ගේ චමත්කාරජනක චර්යා රටා නිසාත්  අනාදිමත් කාලයකම සිට මිනිසාගේ සැලකිල්ලට භාජන වී තිබේ. මත්ස්‍ය ලක්ෂණ වශයෙන් මොවුනට ඇත්තේ කරමල මගින් ස්වසනය කිරීම, ජලයේ ඉල්පී සිටීම සඳහා වායු ආශයක් තිබීම සහ පෘෂ්ඨීය වරල් මගින් පිහිනීම වැනි අනුවර්තන පමණකි. මත්ස්‍යයින් අතර සිටින අතිශයින් දුර්වල පිහිනන්නන් වීමද මුහුදු අශ්වයින්ට බලවත් පාඩුවකි. මත්ස්‍යයින්ගේ මෙන් ශරීරය වසා ඇති කොරපොතු වෙනුවට අස්ථිමය දැඩි කබොලක් ඇති  නිසාත්, වේශාන්තරණ හැකියාව නිසාත්  මොවුන් බොහෝ විලොපියයන්ගෙන් ආරක්ෂා වෙති.

මොවුනට වෙනත් සතුන්ට මෙන් ටික වේලාවක් ආහාර ගබඩාකර තබාගතහැකි ආමාශයක් නොමැත. ඒ වෙනුවට තිබෙන්නේ,  ඉතාමත්  සරල ආකාරයේ ආහාර මාර්ගයක් නිසා නිරතුරුවම ආහාර ගැනීම අවශ්‍යය. ආහාර වලින් පෝෂක උරාගත් විගසම අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කෙරේ. උගේ ‘හොම්බ’ අග්‍රයේ පිහිටි මුඛ විවරය හරහා කුඩා මත්ස්‍ය බිත්තර, ප්ලැන්ක්ටන් (planktons) හෝ වෙනත් ජලජ ක්ෂුද්‍ර ජීවීන් උරා ගැනීම, ආහාර ගන්නා විශේෂ යාන්ත්‍රණයයි. 

කෙසේ වෙතත්, මුහුදු අශ්වයෝ ඔවුන් වෙසෙන පරිසර පද්ධතියේම ජීවත්වන කකුළුවන්, ආඳා වැනි සතුන්ට සහ කොරල් පර ආශ්‍රීතව සිටින  විශාල මසුන්ටද බෙහෙවින් ගොදුරු වෙති. එසේම අධික වශයෙන් බිහිවන පැටව් වෙනත් මසුන්ගේද ගොදුරු බවට පත් වෙති. මුහුදු අශ්වයින්ගේ අපූර්ව භෝජන විලාසය සහ ඔවුන්ගේ විලෝපියයන්ගේ භෝජන රටාව නිසාත්  මොවුන් වෙරළාසන්න පරිසර පද්ධතියේ ආහාර දාම වල වැදගත් පුරුකක් මෙන්ම ජෛව  සමතුලිතතාව රැකෙන ප්‍රධාන සාධකයක් ලෙසද  ගිණිය හැකිය. 

වෙරළාසන්න නොගැඹුරු මුහුදේ ජලජ ශාක, සහ කොරල්පර ආශ්‍රීතව ජීවත්වන, මුහුදු අශ්වයෝ වරින් වර  ශරීරයේ විවිධ වර්ණ රටා ප්‍රදර්ශනය කරති. සමහර අවස්ථාවලදී, ඔවුන්ගේ ශරීර විනිවිද පෙනෙන ආකාරයට  පත්කර ගනිමින්  සැඟවී යන අවස්ථාද එමටය. මේ නිසාම  මුහුදු අශ්වයෝ  පරිසරයට  මහත් චමත්කාරජනක ස්වභාවයක් එකතු  කරති. බොහෝවිට මෙම සුවිශේෂී දසුන් නිසා ජෛව සංචාරක ආකර්ශනයද වැඩිවේ.  

අද්භූත චර්යා රටාවක් සහිත බොහෝ සතුනට, මිනිසාගෙන් සිදුවන ආපදා මුහුදු අශ්වයන්ටද එසේමය. මුහුදු වෙරළාසන්න පරිසර පද්ධති අලංකාර කරන මුහුදු අශ්වයින් විනාශවී වඳ වී යාමේ තර්ජනයට ගොදුරු වෙමින් පවතින බවට පරිසර වේදීන්ගේ මැසිවිලි නැගෙමින් පවතී. මෙයට ප්‍රධාන හේතු කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඈත අතීතයේ සිටම වියලන ලද මුහුදු අශ්වයින් චීන සම්ප්‍රදායික වෛද්‍යකර්ම වලදී භාවිත වන ඖෂධයකි. මේ සඳහා වසරකට සතුන්  මිලියන 500 ක් පමණ ස්වාභාවික පරිසර වලින් ඉවත් කෙරේ. බ්‍රසීලයේ පැරණි ගෝත්‍රික ජනතාවක් විසින් වේලාගත් මුහුදු අශ්ව කුඩු,  ඇදුම, කැස්ස වැනි ආබාධ සඳහාත් වාජීකරණ   ඖෂධයක් ලෙසත්  භාවිත කර තිබේ. අරුමෝසම් භාණ්ඩ නිෂ්පාදනය සහ කෞතුක ද්‍රව්‍ය රැස්කරන්නන්  සඳහා වසරකට මුහුදු අශ්වයින් තවත් මිලියනයක් පමණද,  සිහිවටන සකස් කිරීමේ කර්මාන්තය සඳහා තවත් මිලියනයක් පමණද  විනාශ  වේ. දැනට හඳුනාගෙන ඇති බලවත්ම උවදුරක් වනුයේ ‘සුරතල් සතුන්’ ඇතිකිරීමේ ව්‍යාපාර සඳහා ජීවී මුහුදු අශ්වයින් විශාල වශයෙන් ස්වාභාවික  පරිසර පද්ධති වලින් ඉවත්  කර ගැනීමයි. මෙයද මිලියන සිය ගණනක ව්‍යාපාරයකි. බාහිර තර්ජන නොමැතිව හුරු පුරුදු පරිසරයේ ජීවත්වන මුහුදු අශ්වයෙකුට වසර 3 සිට 5 දක්වා ආයු කාලයක් තිබේ. 

                                                                                                                            

එහෙත් ඉහත දැක්වූ ආපදා නිසා නිසා දැනට, සති හයකට වඩා ජීවත් වන  මුහුදු අශ්වයින් දහසක්වත් ස්වාභාවික පරිසරවල නොමැති බව අනුමාන කර තිබේ. මෙසේ වනුයේ එම සතුන්ගේ ජීවන චක්‍රය පවත්වා ගනිමින් වර්ගයා බෝ කිරීම සඳහා ඇති ඉඩකඩ මිනිසාගේ අදූරදර්ශී විනාශකාරී වැඩ කටයුතු නිසා අහිමි වී යාමයි. මෙම තත්ත්වය පිටුදැකීම පිණිස,   ජාත්‍යන්තර සොබාදහම සංරක්ෂණ සංගමය (IUCN) මගින්, රතු දත්ත පොතෙහි සඳහන් කර,   වඳවීයාමේ තර්ජනයට ගොදුරුවී ඇති ජීවීන් රැකගැනීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව, මුහුදු අශ්වයින් රැකගැනීමේ වැඩ සටහනක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව නිවේදනය කර තිබේ.  

පිරිමි මුහුදු අශ්වයා ‘ගැබ් ගැනීම’ සහ ‘දරු ප්‍රසූතිය’ ආශ්චර්යයකි.

මුහුදු ශාක බහුලව ඇති වෙරළාසන්න නොගැඹුරු මුහුදේ මුහුදු අශ්ව රංචු වශයෙන් සිටිති.  මොවුන් අභිජනන කාලයේදී බොහෝ විට සිටිනුයේ යුගල වශයෙනි. මෙම  ගැහැණු / පිරිමි යුගල එකිනෙකා සමග මහත් ළබැඳියාවකින් යුක්තව ජීවත් වන බව හෙළිවී තිබේ. ගොඩබිම අශ්වයාගේ ගැහැණු සත්ත්වයා වෙළඹ වශයෙන් හැඳින්වූවත් මුහුදු 'වෙළඹ' යන යෙදුමක් භාවිතයේ නොමැත. මුහුදු අශ්වයින්ද සමහර වෙනත් සතුන් මෙන්, තම සම්පූර්ණ ජීවිත කාලයම එකම සහකරුවෙකු හෝ සහකාරියක සමග ජීවත්වන බව නිරීක්ෂණය කර තිබේ. මේ නිසා ඔවුන්ට ප්‍රජනන චක්‍රයේදී වැඩි වාර ගණනක් ප්‍රජනන ක්‍රියාවලියේ යෙදී පැටවුන් අධිකතර  සංඛ්‍යාවක් බිහිකිරීමේ අවස්ථාව ලැබේ.

(https://www.youtube.com/watch?v=b_nEA3dtOZs  පිරිමි මුහුදු අශ්වයා පැටවුන් ප්‍රසූත කිරීම මෙම සබැඳිය (Link) ඔස්සේ බලන්න)  


මෙම සතුන් යුගල වශයෙන් දක්වන චර්යා රටාවන්ද ඉතාමත් චමත්කාර ජනකය. දිගු වල්ගය මගින් නිරතුරුවම එකට වෙලී සිටින මුහුදු අශ්ව යුවලක්, එකිනෙකා උද්දීපනය වන ආකාරයේ පෙළඹවීම් සහිත,  සිප වැළඳ ගැනීම් වැනි ක්‍රියාකාරකම් වලින් සමන්විත  ඉතාමත්  අලංකාර ආලිංගන දසුන් දක්වති. සෑම උදෑසනකම සිරිත් පරිදි එකිනෙකා වෙලාගන්නා මුහුදු අශ්ව යුවළ ආචාර සමාචාර කිරීම වැනි නැටුම් විලාසයකින් දිනය ආරම්භ කරති. මෙසේ ආරම්භ කරන දඟර නැටුම් සහ එකිනෙකා වටා කැරකීම වැනි සංකීර්ණ රැඟුම් විලාස පුරා පැයක හෝ  ඊට මඳක් වැඩි වෙලාවක් තුළ දකින්නට ලැබේ. තම ජීවිත සහකරුවා හෝ සහකාරිය සමග නිත්‍ය බැඳීමක් ඇතිකර තබාගැනීම පිණිස ඔවුන් දක්වන මේ ලබැඳියාව,  එයට අනුරූප මිනිස් චර්යා වලටත් වඩා සංකීර්ණ බව නිරීක්ෂණය කර තිබේ. මෙවැනි සුවිශේෂී ලෙන්ගතු හැසිරීම්  නිසාද ඔවුන් මිනිසාගේ ඉමහත් ආකර්ෂණයට ලක්වී සිටිති.        

මුහුදු අශ්ව ‘කාන්තාවට’ තම ගැබ්  ගැනීම හෝ දරු ප්‍රසූතිය පිලිබඳ කලබල වීමක්  අවශ්‍ය නොවේ. මෙම සතුන් අයත්වන සත්ත්ව ගණයේ විශේෂිත ලක්ෂණයක් වනුයේ ගැබ් ගැනීමේ ක්‍රියාවලියේ දුෂ්කරම කාල සීමාව, තම  පිරිමි සතුන් හට පවරා තිබීමයි. මොවුන්ගේ අභිජනන ක්‍රියාවලි චක්‍රයේ,  සංකීර්ණ නැටුම් සහ ආලිංගන දාමයට පසුව, ගැහැණු සතාගේ ඩිම්බ කෝෂවල පරිණත වන ඩිම්බ සමූහය, ආලිංගනයේ යෙදුනු පිරිමි සතාගේ පැටවුන්  දැරීමේ පැස (brooding pouch) නමැති උදරය මත නෙරා සිටින මල්ලෙහි   ඇති ‘තාවකාලික  ඩිම්බ ප්‍රනාලය’ තුළට මාරු කරනු ලැබේ. පැටවුනට පෝෂණය සහ ඔක්සිජන් ලැබෙනුයේ තාවකාලික  ඩිම්බ ප්‍රනාලය මගින්ය. මින්පසු පැසෙහි විවරය වසා ගන්නා පිරිමියා, නිදහසේ නිශ්චල ස්ථානයකට වී, පරිණත ඩිම්බ,  තම ශුක්‍රාණු  මගින් ස්වසංසේචනය කර, ලැබෙන කළල සති කිහිපයක ගැබ් කාලයක්  සඳහා පැසෙහි ඇති ඩිම්බ ප්‍රනාලය තුළ රඳවා ගනී.

මුහුදු අශ්ව ‘පියාගේ’ ගැබ් කාලය අවසන්වී ප්‍රසුතිය ආසන්න වනවිට, ප්‍රබල  ‘ගර්භාෂ සංකෝචනයක්’ සිදුවී ගැබ් පැසෙහි විවරය විවෘත වේ. මීට අනතුරුව සිදුවන පසු සංකෝචන කිහිපයක් මගින්  පැස  තුළ වැඩුණු ලාබාල පැටවුන් දහස් ගණනක් ජලයට මුදා හැරේ. ජලජ  විලෝපියයන්ගේ ග්‍රහණයෙන් මිදී  පරිණත භාවයට පත්වී පැටවුන් බෝ කිරීමට අවස්ථාව ලබනුයේ  මෙම විශාල සංඛ්‍යාවෙන් 0.5% පමණ වන බවද  ගණනය කර  තිබේ.

වෙරළාසන්න ජලජ පරිසරවල ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම මෙන්ම සෞන්දර්යාත්මක අගයද වැඩි කරනු ලබන, කුඩා  මත්ස්‍යයෙකු වන ‘මුහුදු අශ්වයා’ වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටිනුයේ මිනිසාගේ සීමාන්තික සූරාකෑමේ මානසිකත්වය නිසාම බව පැහැදිලිය. සෑම කෙනෙකුම සොබා දහමේ සුන්දරත්වය හඳුනා ගන්නේ නම් මෙවැනි ඛේදවාචක සිදු නොවනු ඇති බව පහසුවෙන් තහවුරු කර ගත හැකි වේ.  

(ඡායාරූප මුල් අයිති කරුවන්ට ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි)


16 comments:

  1. https://en.wikipedia.org/wiki/River_Horse

    ReplyDelete
    Replies
    1. Thank you. Went through the video on 'River Horse' Hippo.

      Delete
  2. වැදගත් සටහනටක්.... මිනිස්සු දැන් හරියට සාප වගේ. බලන, අත තියන හැම දේම විනාස කරන සත්ව කොට්ඨාසයක් වෙලා.
    උදරයක් නැති නිසාත්, පිරිමියා දරුවන් වදන නිසාත් මුහුදු අස්පයො ටිකක් විකාරයි වගේ තමා..😄

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමි,
      මිනිසා විනාශකාරී වීමට නම් හේතු රාශියක් තිබෙනවා. මේවාට එකවර විසඳුම් හෝ මැඩපැවැත්වීමේ උපාය මාර්ග සෙවිය නොහැකියි. මේ සඳහා මූලික පදනම දැමිය යුත්තේ අධ්‍යාපනයෙන්. දෙවනුව ගෙදර පරිසරයෙන්. මේ ආකාරයට පුළුල් වී යන සමාජ තන්ත්‍රය තුළ 'හොඳ සහ නරක' හරිහැටි තේරුම් ගෙන ක්‍රියාත්මක වන්නේ නම් ගැටළු බොහෝ දුරට විසඳේවී.
      මුහුදු අශ්වයා කුඩා සතෙකු වුවත් උගේ විශේෂත්වය සහ අමුතු චර්යා රටාව ගැන බොහෝ දෙනෙකු නොදන්නා නිසය් මෙසේ දැනුවත් කිරීමට උත්සාහ කළේ.

      Delete
  3. ඉතාමත් අගනා විස්තරයක්. මේ සත්වයා දකින හැම විටම උගේ සුන්දරත්වය ගැන සතුටක් ඇති වන අතර නොයෙකුත් විශ්වාස නිසා ඔවුන්ට සිදුවන විනාශය ගැන විශාල දුකක් ද ඇතිවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාලිනී,
      විසිතුරු මසුන් ඇතිකරණ අයෙකුගේ තටාකයක සිටි මුහුදු අශ්වයින්ගේ හැසිරීම් රටා පැය දෙකක පමණ කාලයක් තිස්සේ මට නිරීක්ෂණය කරන්නට අවස්ථාවක් මෑත දිනක ලැබුණා. මෙහි සඳහන් බොහෝ දේ එහිදී දකින්නට ලැබුණා. ඒ උනත් ගැබ් ගත් පිරිමි සතෙකු හෝ ප්‍රසූතිය නම් දකින්නට ලැබුණේ නැහැ. මෙසේ රඳවාගෙන සිටිනවිට (under captivity) බොහෝ චර්යා දකින්නට නොලැබෙන බවයි අයිතිකරු කියන්නේ. එක් වරටම වර්ණය වෙනස් කර විනිවිද පෙනෙන භාවයට පත්වන කිහිප දෙනෙකුත්, වල්ගා වලින් ආලිංගණයේ යෙදී සිටින යුගලයකුත් දකින්නට ලැබුණා.

      Delete
  4. තිරිසන් සත්ත්ව සංහතිය කියල කියන්නෙම දුකින් හා වේදනාවෙන් වසන කොට්ඨාසයක්. මේ ලියමන ඒකට කදිම උදාහරණයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      සත්ත්ව විද්‍යාව පිලිබඳ උනන්දුවක් දක්වන කෙනෙකු හැටියට නම් මා, මෙසේ නිරික්ෂණය කරන බොහෝ දේ ස්වභාව ධර්මය විසින් උචිතෝන්නතිය (survival of the fittest) නම් තේරීමේ න්‍යාය අනුව සිදුවන දේවල් බව විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම පරිණාමය සිදුවීමට හේතුවන කරුණු සියල්ල (කරුණු පහකි) සහ එහි අවසාන ප්‍රතිඵලය වන 'උචිතයා ජය ගැනීම', බුදු දහමෙහි පෙන්වා දෙන ආකාරයේ හේතු ඵල ධර්මයට සෑම අතින්ම ගැලපෙන බවත් විග්‍රහ කළ හැකි බව පෙනෙනවා.

      Delete
  5. නිරන්තරව මගෙ කුතුහල ගිනි අවුළා
    මාවත් සහමුලින් වාගේ වශී කළා
    මුලින් මාත් හිටියේ මංමුලා වෙලා
    සුන්දර සයුරු සටහන් හෙම කියවාලා

    පසුව බලද්දී මේකා ලොකුත් නැත
    පෙනුම නපුරු මුත් ඒ ගතියකුත් නැත
    අදයි දන්නෙ, නියම තාත්තෙකුත් වෙත
    Top ලිපියකි, තවත් ලියන්න දෙන්න හිත!

    ReplyDelete
    Replies
    1. කවියෙන් දුන් සටහන මට
      ගැන සතුටක් නැගෙයි සිතට
      එලෙසම පිළිතුරු දෙන්නට
      තැතක් ගතිමි නිසි විලසට

      මේ අමුතුම කුඩා සතෙකි.
      ජීවත්වීමේ සටනෙකි.
      ඉන් ජය ගන්නා හපනෙකි.
      මුහුදෙහි සිටිනා 'ජවයෙකි'

      Delete
  6. නොදැණ සිටි බොහෝ දේ දැණගත්තා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බසු,
      අපගේ වැනි ඝර්ම කලාපිය රටවල වෙරළාසන්න පරිසර වල බහුල ජීවියෙකු වන 'මුහුදු අශ්වයා' ගැන බොහෝ අය නොදනිති. ඉතාමත් විශාල බාධක සහිත පරිසරයක පද්ධතියක ජීවත්වීම සඳහා මෙම සතුන් විසින් ලබා ඇති අනුවර්තන ඇත්ත වශයෙන්ම ස්වභාව ධර්මය විසින් ඔවුන්ට දී ඇති මහත් වරප්‍රසාද ලෙස ගිණිය හැකිය. මේ බව තේරුම් නොගන්නා 'උසස් මනසක් ඇති සත්ත්වයා' යයි තමන්ටම කියා ගන්නා 'මිනිසා' විසින් නොසලකා හැර තමන්ගේ මඩියම තර කර ගැනීමට උත්සාහයක් ගැනීම වරදක් බව තේරුම් ගතහොත් එය සොබා දහමේ සමතුලිතතාවය රැක ගැනීමට ඉවහල් වනු ඇත.

      Delete
  7. අගනා විස්තරයක්. මමනං ඔය ජාතියෙ සතෙක් පණපිටින් දැකල නෑ. ඒත් හාල්මැස්සො පෙට්ටි වල සමහර වෙලාවට වේලිච්ච ඔය සත්තු එනව.

    මිනිස්සුංගෙ හැසිරීම් ගැනනං කතා කරල වැඩක් නෑ. කවදහරි දවසක පරිසරයත් විනාශ කරල ඒ හේතුවෙන් තමනුත් විනාශ වෙන දවසක් එයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මේ අපූර්ව මත්ස්‍යයා අපගේ වෙරළාසන්න පරිසරවල බහුලයි. ඒ උනත් බොහෝ අය මොවුන් ගැන දන්නේ නැහැ. දැන්නම් මාළු ටැංකි වලත් විසිතුරු මසුන් ලෙස ඇති කරනවා. මා හිතන්නේ වැදගත් කාරණය වනුයේ මොවුන්ගේ සිත් ඇදගන්නාසුළු චර්යා නිරීක්ෂණය කිරීමෙන් හෝ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා පිලිබඳ අධ්‍යයනය කිරීමෙන් ආශ්වාදයක් ලැබිය හැකි බවයි. කෙසේ වෙතත් ස්වභාවික පරිසරයෙන් ඉවත් කර කෘතීම ස්ථානවල තබා ඇතිවිට ඒ බොහෝ ගති ලක්ෂණ ක්‍රියාත්මක වන්නේ නැහැ.

      Delete
    2. ඒකනම් ඇත්ත. ඔය zoo එකේ ඉන්න සිංහයො එහෙම පේන්නෙ නැද්ද... බල්ලෝ පුසො ගානට වැටිලා 😄😄

      Delete
    3. සත්ත්ව හිංසාව ගැන ගැඹුරට සිතීමේදී නම් සත්වෝද්‍යානවල සතුන් සිරකර තබා ගැනීම කෲර ක්‍රියාවක් ලෙස සැලකිය හැකියි. මේ නිසා දැනට නව පන්නයේ 'open zoo' නමැති සංකල්පය අනුව විශාල වනාන්තර ඇති රටවල, නිදැල්ලේ සිටින සතුන් ගැන උනන්දුවක් දක්වන අයට, කුඩුවක් වැනි වාහනයක නැගී සතුන් යන මාර්ග ඔස්සේ ගොස් නිරීක්ෂණය සඳහා පහසුකම් සලසා තිබෙනවා. මෙහිදී ඇත්ත වශයෙන්ම වන්නේ, කූඩුවක සිටින මිනිසුන් නිදැල්ලේ සිටින සතුන්ට බලා ගැනීමට සැලැස්වීමයි. අපගේ 'මාගම්පුර' සත්ත්ව උයනේ ඉතාමත් සුළු පරිමාණයෙන් මෙවැනි වැඩ පිළිවෙලක් ආරම්භ කරන බව අසා තිබෙනවා.

      Delete