Tuesday, 19 July 2022

ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි

 ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි

    පෘථිවි ජෛව ගෝලයේ මුලින්ම හටගන්නා ලද  ජීවීහු  ජලයේ ජීවත්වූ  ඒක සෛලීකයෝ  වූහ. ජලයේ තිබුණු  වෙනත්  ස්වාභාවික ද්‍රව්‍ය අතර සිදුවූ  රසායන ප්‍රතික්‍රියා වලින් ලැබුණු  අතුරුඵල මොවුන්ගේ ආහාරය විය. මෙසේ වසර මිලියන ගණනක් යාමේදී, මෙයින් එක් ජීවී කොට්ඨාශයක් තුළ,  හිරු එළියෙන් ලැබෙන කිරණ ආශ්‍රීතව ශක්තිය ලබාගැනීම සඳහා උපයෝගී කරගත හැකි හරිතප්‍රද (chlorophyll) නමැති කොළ පැහැති, සංකීර්ණ රසායනික සංයෝගයක් හටගත්තේය. මේ නිසා මොවුනට තම පෝෂණය සඳහා සූර්ය ශක්තිය ආධාර කර ගනිමින්, ජලයේ ද්‍රාව්‍ය වී හෝ වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ්  වායුවද   භාවිත කර, ආහාර නිපදවා ගතහැකි විය. මෙම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණයයි  (photosynthesis). 

තවත් කල්යාමේදී, තමන්ට තම ආහාර නිපදවා ගත නොහැකි, දෙවන කොට්ඨාශයේ ජීවීන්ට, හරිතප්‍රද සහිත ජීවීන් සහ ඔවුන්ගේ අතුරු ඵල, තම ආහාර වශයෙන් ගැනීම සඳහා අනුවර්තන ඇති  විය. මෙසේ වසර මිලියන ගණනක් මුළුල්ලේ විකසනය වෙමින්, බහු සෛලීකයින් වූ ජීවින් හටගෙන තිබේ. මේ ආකාරයට තම ආහාර නිපදවා ගත හැකි ජීවී කොට්ඨාශය ශාක රාජධානිය ලෙසත්   තම ආහාර නිපදවා ගත නොහැකි  දෙවන කොට්ඨාශය  සත්ත්ව රාජධානිය ලෙසත්  නිර්මාණය වී තිබේ. 

මෙම දෙකොටසටම අයත් නොවන බැක්ටීරියා, දිලීර, වැනි ජීවින්, අයත්වන ප්‍රාග් ජීවී යන අර්ථය ඇති Protista නම් ජීවී රාජධානියක්ද ඇත. (මෙහිදී අපගේ සැලකිල්ලට භාජන වනුයේ ශාක සහ සත්තු පමණකි.)

අපගේ පියවි ඇසට පෙනෙන සාමාන්‍ය ජීවීන්ගේ (ශාකවල  සහ සතුන්ගේ)  ප්‍රජනන ක්‍රම දෙකක් හඳුනාගෙන තිබේ. මේවා නම් අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනයයි. ජන්මාණු සම්බන්ධයක් නොමැතිව සිදුවන අලිංගික ප්‍රජනනය වර්ධක ප්‍රජනනය ලෙසද හැඳින්විය හැකිය. සමහර ශාකවල අතු කැබලි, භූගත කඳන්, මුල් වැනි කොටස් වලින්  මේ ආකාරයට අලුත් ශාක ලැබේ. එමෙන්ම ඇමීබා වැනි එක සෛලීය සතෙකුට දෙකඩ වී නව සතුන් දෙදෙනෙකු නිර්මාණය කල හැකිය.

ශාක සහ සතුන්ගේ ප්‍රධානතම ප්‍රජනන  ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනයයි. මෙහිදී පුං (male) සහ ජායා (female) ජන්මාණු එකතු වී සෑදෙන යුක්තාණුව  (zygote) මගින් හටගන්නා,  නව ජනිතයෙකු  මගින්, ඊළඟ පරම්පරාව සකස් වේ. ශාකවල ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය සිදුවනුයේ පුෂ්ප මගින්ය. බොහෝ විට එකම පුෂ්පයේ  පුං සහ ජායා අවයව දෙවර්ගයම පිහිටා තිබේ. පුෂ්පයක රේණු මත හටගන්නා පරාගවල  පුං ජන්මාණු සෑදෙන අතර, එහි ඩිම්බ කෝෂය තුළ, ජායා ජන්මාණු  වන ඩිම්බ හටගනී.

පුෂ්පයක පරාග වල ඇති පුං ජන්මාණුවක් ඩිම්බ කෝෂය තුළ ඇති ජායා  ජන්මාණුවක් සමග එකතුවීම සංසේචනයයි (fertilisation). මෙම සංසේචනය සඳහා පරාගණය සිදුවිය යුතුය. සාර්ථක පරාගණයකදී එක් ශාක පුෂ්පයක හටගන්නා  පරාග, එම විශේෂයේම වෙනත් ශාක පුෂ්පයක කලංකය මතට සංක්‍රමණය විය යුතුය. මෙය පරාගණයයි (pollination). පුෂ්ප පරාගණය කිරීමේ කාර්යය බහුලවම සිදු වනුයේ සමනලයින්, මී මැස්සන් වැනි කෘමින් මගින්ය. පෘථිවියේ සපුෂ්ප ශාක හටගත් අවදියේ සිටම, ඒවා පරාගණය කිරීම සඳහා විවිධ කෘමීන් විවිධ ආකාරයට අනුවර්තනය වී තිබේ. එසේම පරාගණය සඳහා කෘමින් ආකර්ෂණය කර ගැනීම සඳහාද පුෂ්ප විවිධ ආකාරවලට අනුවර්තනය වී ඇත. පුෂ්ප විවිධ වර්ණ සහිත වීම, මල්පැණි තිබීම, සුගන්ධය වැනි අනුවර්තන නිසා කෘමිහු  පුෂ්ප කරා ඇදී යති. කෘමියෙකුගේ ඇඟෙහි තැවරුණු එක් පුෂ්පයක පරාග, එම කෘමියා තවත් පුෂ්පයකට ගිය විට එහි බාහිරව පෙනෙන කලංකයේ පතිතවීම පරාගණයයි.

                        

මෙසේ පතිත වන පරාගයක් එහි ඇති ද්‍රව මාධ්‍යය තුළ විකසනය වී සුවිශේෂී නාලයක් හටගනී. මෙම නාලය  ඔස්සේ ගමන් කරන, පරාගයේ ඇති පුං ජන්මාණුවක් ඩිම්බකෝෂය හරහා ගොස් පරිණත ඩිම්බයක් සංසේචනය කරයි. මෙහිදී පරාගණය සිදු කරනු ලබන කෘමියා නොදැනුවත්වම කරනුයේ ශාකයේ ඉදිරි පැවැත්ම සඳහා ලිංගික ප්‍රජනනය සිදුවීම සඳහා ඉතා වැදගත් මෙහෙවරකි. මේ වෙනුවෙන් කෘමින් සඳහා ‘මධු විතකින්’ (මල්පැණි) සංග්‍රහයක් කිරීමට පුෂ්ප සැදී පැහැදී සිටින බවද  දකින්නට ලැබේ.

සාර්ථක සංසේචනයකින් පසු ඩිම්බ කෝෂය තුළ බීජ හටගනී. මෙම  බීජ පරිණත වූ පසු ඒවා නව පරම්පරාවක් සඳහා ජීවය සැපයීමට සමත් වෙති.

එසේ වෙතත් ශාකවල පුෂ්ප හටගන්නා තරමටම ඵල හෝ ගෙඩි හට නොගන්නා බවද දකින්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, අඹ ගසක් ගතහොත්, එහි මල් හටගන්නා මාර්තු, අප්‍රියෙල් මාසවලදී මුළු ගසම කුඩා මල් ලක්ෂ ගණනකින් පිරී යයි. මෙම මල් වලින් විශාල ප්‍රමාණයක් දුඹුරු පැහැ වී වැටෙන බව ඔබ දැක ඇත. එසේම ටික දිනකදී ඩිම්බ සංසේචනය වී සෑදී ඇති ලපටි නොමේරු කුඩා අඹ ගෙඩි දහස් ගණනක්ද  ගස යට වැටේ. අවසානය්දී පරිණත වනුයේ සාපේක්ෂව අඹ ගෙඩි සුළු සංඛ්‍යාවක් පමණකි. 

මේ ගැන තරමක් දුරට සිතා බැලුවහොත්, මේ සිදුවනුයේ ශාකයේ ඉදිරි ගමනට අවශ්‍ය ජන්මාණු වලින් නිර්මාණය වූ ඵල අපතේ යාමක් නොවේද යයි කෙනෙකුට ප්‍රශ්න කළ  හැකිය. සෑම පුෂ්පයකින්ම ඵලයක් හෝ බීජ හට නොගනී. සියලුම සපුෂ්ප ශාකවල දකින්නට ලැබෙන මෙම සංසිද්ධිය සාධාරණීකරණය කළ හැකිද? බැලූ බැල්මට සාධාරණීකරණය කළ නොහැකි බව පෙනේ. එසේනම් ලොව පුරා ඇති සෑම සපුෂ්ක ශාකයක්ම ලක්ෂ සංඛ්‍යාත පුෂ්ප වලින් බරවී, ලොවට හඬගා කියමින් සිටින මේ පණිවුඩය කුමක්ද? 

ශාක වල සිදුවන මෙම ක්‍රියාවලිය මහත් ආශ්චර්යමත් සංසිද්ධියකි. විවිධ වර්ණවලින්, හැඩයෙන් සහ සුගන්ධයෙන් සපිරුණු පුෂ්ප තනි තනිව හෝ මංජරි වශයෙන් දකින්නට ලැබේ. එසේම විවිධ හැඩහුරුකම් වලින් යුක්ත සමනළ, මීමැසි වැනි කෘමින්, ලොව සිටින විශාලතම ජීවී කොට්ඨාශය වශයෙන් පෙනී සිටිති. පරිසරයට විවිධත්වයක් සහ චමත්කාරයක් ගෙන දෙන පුෂ්ප සහ කෘමින් යන ජීවී ප්‍රභේද දෙකෙන් මුළු ලෝකයේම සිටින සමස්ත ජීවී සංහතියේම පැවැත්ම සඳහා ආහාර සපයමින් විශාල  මෙහෙවරක් කරන බවද  දකින්නට ලැබේ.

සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියේද මූලික ක්‍රියාදාමයන්, ශාක වල ඉහත විස්තර කරනලද ලිංගික ප්‍රජනනයට බොහෝ දුරට අනුරූප වේ. ඒ සමගම එය වඩ වඩාත් සංකීර්ණ වේ. මේ සංකීර්ණ භාවයේ උපරිමයට පැමිණ සිටින මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලියේ ඇති මහත් ආශ්චර්යමත් භාවය ගැනද මඳක් විමසිලිමත් වීම වැදගත්ය. 

මිනිස් ජීවියාගේ ස්ත්‍රී ලිංගිකයෝ  සහ පුරුෂ ලිංගිකයෝ වෙන වෙනම සිටිති. මොවුන්ගේ ජන්මාණු නිපදවනුයේ ශරීර අභ්‍යන්තරයේ පිහිටි සුවිශේෂී අවයව වලය. ස්ත්‍රී ජන්මාණු නොහොත් ඩිම්බ හටගනුයේ  ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂ වලය. පුං ජන්මාණු නොහොත් ශුක්‍රාණු හටගනුයේ පුරුෂයෙකුගේ වෘෂණ තුළය.

ස්ත්‍රී-පුරුෂ ලිංගික එක්වීමේදී ස්ත්‍රියගේ ඩිම්බ කෝෂයෙන් මුක්ත වන  ඩිම්බයක් පුරුෂයාගේ වෘෂණයෙන් නිකුත් වන ශුක්‍රාණුවක් සමග සම්බන්ධවී සංසේචනය සිදුවීමෙන් හටගන්නා යුක්තාණුව ගර්භාෂයේ තැන්පත්වී,  කළලයක් නිර්මාණය කරයි. කළලයේ සෛලවල ඇති වර්ණදේහ සංයුතිය අනුව බිහිවන දරුවා පිරිමි හෝ ගැහැණු භාවය ලබයි. මෙම ක්‍රියාවලියේද සරල බවක් පෙන්නුම් කරනු ලැබුවද, එහි අහඹුතාවය පිළිබඳව ඉමහත් සංකීර්ණ බවක් ඇත. ස්වාභාවිකව, වර්ගයාගේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය ජනිතයින් නිර්මාණය වීමේ මෙම ක්‍රියාවලියේදීද, ශාක පිළිබඳව කලින් සඳහන් කළ ආකාරයට, නව ජනිතයින් බිහිකිරීමේ භව්‍යතාව ඇති  ජන්මාණු අපතේ යාමක් සිදුවේද? එසේ වන්නේ නම්, ඒ මගින් ස්වභාව ධර්මය අපේක්ෂා කරනුයේ කුමක්ද යන්න සොයා බැලීමද උචිතය.

කුඩා ළදැරියක් උපත ලබන විටදීම ඇයගේ ඩිම්බ කෝෂ සකස්වී අවසන්ය. අනාගතයේදී පරිණත වීම සඳහා විභව්‍ය භාවයකින් යුක්ත නොමේරු ඩිම්බ සෛල මිලියන දෙකක් පමණ දැරියගේ ඩිම්බ කෝෂ තුළ අන්තර්ගතවේ. දැරියගේ වර්ධනයත් සමග ඩිම්බ සෛල විශාල ප්‍රතිශතයක් රෝධනය වී, ඇය වැඩිවිය පැමිණෙන අවස්ථාව වන විටද  ඩිම්බ සෛල ලක්ෂ තුනක් පමණ ඩිම්බ කෝෂ වල ඉතිරිවේ. මෙයින්ද පරිණත ඩිම්බ වශයෙන් විකසනය වනුයේ ඉතාමත් අඩු ප්‍රතිශතයකි. 

ස්ත්‍රියකගේ ප්‍රජනන සරු (වැඩිවිය පැමිණීමේ සිට ආර්තවහරණය දක්වා) කාලය තුළදී  පරිණත ඩිම්බ සෛල හාරසියයක් පමණ මුදාහැරේ. සාමාන්‍යයෙන් එක් ඔසප් චක්‍රයක් තුළදී, එක ඩිම්බය බැගින් මුදාහැර, ඔසප් චක්‍රය අවසාන කාලය වන විට ඩිම්බ රෝධනය ඉතා ඉක්මණින් සිදුවී ආර්තවහරණයත් සමග සියලුම ඩිම්බ සෛල රෝධනය වී යයි. මිලියන ගණනක් වශයෙන් ආරම්භ වන ඩිම්බ සෛල මෙතරම් ප්‍රතිශතයක් රෝධනය වීම අපතේ යාමක් ලෙස සැලකිය නොහැක්කේද?

ඩිම්බ සංසේචනය සඳහා ශුක්‍රාණු නිපදවනු ලබන  සාමාන්‍ය වැඩිහිටි පිරිමියෙකුගේ එම නිෂ්පාදන ක්‍රියාවලියද  කෙනෙකු මවිතයට පත්කරවන සුළු වේ. පිරිමියෙකුගේ ජන්මානු වන ශුක්‍රාණු නිපදවනු ලබන්නේ වෘෂණ කෝෂ තුළය. ඔහුට තම ප්‍රජනන සරු කාලය තුළදී ශුක්‍රානු බිලියන 525 පමණ නිපදවිය හැකියයි ගණනය කර තිබේ. මේ අනුව  සාමාන්‍යයෙන් මසකට ශුක්‍රාණු බිලියන 15 ක්  පමණ නිපදවේ. එසේම නිරෝගී පුද්ගලයෙකුට එක් මෝචනයකදී ශුක්‍රාණු මිලියන 200  ක් පමණ මුක්ත කළ හැකිය.  

එක තේ හැන්දක ප්‍රමාණයේ  පරිමාවක, ශුක්‍රාණු මිලියන දෙසියයක් පමණ තිබිය හැකිය. මේ සියල්ලම කෙසේ වෙතත් අඩුම වශයෙන් මෙයින් හරි අඩක්වත් සංසේචන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සමත් පුං ජන්මාණු වේ. මේ අතින් සලකා බලන කළ පුං ජන්මාණු නාස්තිය සහ අපතේ යාම,  ස්ත්‍රියකගේ ජායා ජන්මාණු අපතේ යාම මෙන් සිය දහස් ගුණයකි. මේ සියලුම ස්වාභාවික සිදුවීම් ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් සොබා දහමේ ඉතාමත් සොඳුරු, විවිධත්වය සහ සමතුලිතතාව සුරැකීම පිලිබඳ සංකල්ප කිහිපයක අඩිතාලම කරා ළඟාවිය හැකිය.

කලකට පෙර ලොව ඉතා ජනප්‍රිය වූ  The Meaning of Life. නම් විකට චිත්‍රපටයට පාදක වූ පොතෙහි පුං ජන්මාණුව පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ. Every sperm is sacred, Every sperm is great, If a sperm is wasted, God gets quite irate (සෑම පුං ජන්මාණුවක්ම පූජනීය වේ, බලවත් වේ, යම් හෙයකින් පුං ජන්මාණුවක් නාස්තිවේ නම්  එයට දේව අනුමැතිය නොලැබේ) මේ ආකාරයට  පූජනීය බවක්  හඟවන්නේ එය ජීවයේ ආරම්භය නිසා විය හැකිය.

‘ජීවයේ මුලික ඒකක’ වන ජන්මාණු වල මෙවැනි මහා පරිමාණයේ නාස්ති වීමක් හෝ අපතේ යාමක් ගැන සොබා දහම ඇස් කන් පියාගෙන සිටින්නේද යන්න මඳක් සොයා බැලීම වටින්නේය.

මෙය සාධාරණීකරණය කිරීම සඳහා හේතු රාශියක් තිබේ.                                                                    පියවි ඇසට නොපෙනෙන, අන්වීක්ෂයක ආධාරයෙන් පමණක් දැකිය හැකි, ඉතා කුඩා ශුක්‍රාණුවකට ඩිම්බයක් හමුවීම සඳහා ගර්භාෂයේ ඉහලම කෙලවරට යාමට සිදුවේ. මිලිමීටරයකින් විස්සෙන් එකක්  (0.05 mm) පමණ ප්‍රමාණයෙන් යුක්ත ශුක්‍රාණුවකට ඩිම්බයක් හමුවීම සඳහා සෙන්ටිමීටර් දහඅටක්, විස්සක්  පමණ දුරක් යාමට සිදුවේ. ශුක්‍රාණුවේ දේහ ප්‍රමාණය සමග සසඳා බලනවිට සංසේචනය සඳහා එය ගමන් කළයුතු දුර ප්‍රමාණය අති විශාලය. එය විශ්වාස කළ නොහැකි තරමේ, දුරකින් යුත් ගමන් මගකි. මෙම දුර ප්‍රමාණය, ශුක්‍රාණුවේ දේහ ප්‍රමාණය මෙන් හාර දහස් ගුණයක් පමණවේ. ශුක්‍රාණුවේ ගමන් මග තරලමය මං පෙතක් නිසා, මෙය දක්‍ෂ පිහිණුම් කරුවෙකු සහභාගිවන, සැතපුම් දෙකක්, ගඟක උඩුගං බලා පිහිණීමේ, තරඟයකට සම  කළ හැකිය. ශුක්‍රාණුව උඩුගං බලා පිහිනා යන මෙම 'ගඟෙහිද' ගල්පර, රොඩු බොරොඩු, වක්කලම්, දිය සුළි  වැනි තවත් බාධකද බෙහෙවින් තිබේ. මේ නිසා පිහිනා යාම අතිශයින් දුෂ්කරය. තරඟය සඳහා තවත් 'අයද' රාශියක් සිටින නිසා ඉඩකඩද සීමා සහිතය. 

මෙහි දැක්වෙන  ස්ත්‍රී  ප්‍රජනන පද්ධතිය රූප සටහනේ විවිධ කොටස් ගැන විමසිලිමත් වීමෙන් මෙය තේරුම් ගත හැකිය. ශුක්‍රාණුවල  දුෂ්කර ගමන් මග පිලිබඳ අධ්‍යයනයක යෙදුනු  එක්තරා කළල විද්‍යාඥයෙකු, මෙම තරඟය සඳහා ඇති බාධක විස්තර කරනුයේ මෙසේය. 

  • හිතකර තත්ත්ව යටතේ ශුක්‍රාණුවක ආයු කාළය පැය පනහකට පමණ සීමාවේ.

  • යෝනි මාර්ගයේ පවතින ආම්ලික භාවය නිසා එයට ඇතුල්වන, ආරම්භක ශුක්‍රාණු  මිලියන දෙසියයක්  පමණ වන සංඛ්‍යාවෙන්  විශාල ප්‍රතිශතයක් අක්‍රීය බවට පත්වී, මිලියන දෙකක් පමණ ඉතිරි වේ.

  • ගැබ් ගෙල අසලට පැමිණෙන සක්‍රීය ශුක්‍රාණු, එහිදී මහත් සෝදිසියකට ලක්  කෙරේ. කුමන ආකාරයක සුළු විකෘති බවක් හෝ ඇති ශුක්‍රාණු, මෙහි ඇති ශ්ලේෂ්මල පටල මගින් පෙරා, වහා තරඟයෙන් ඉවත් කෙරේ.

  • එම සෝදිසියෙන් පසු සුදුසුයයි තීරණය වන ශුක්‍රාණු මිලියන එකක් පමණ ගැබ් ගෙළ පසුකර ඇතුල් වේ.

  • මේ  වන  විට මහත් විඩාවට පත්වී ඇති ශුක්‍රාණු  වලින් දස දහසකට පමණ ගර්භාෂයේ ඉහලට ගමන් කිරීමට වරම් ලැබේ. මෙයින්ද අඩක් පමණ නිසිමග සොයා ගැනීමට නොහැකිව අතරමං වේ.     

 

  • ඉතිරි ශුක්‍රාණු වලින් දහසකට පමණ සංසේචනය සිදුවන නාල අසලට යාමට අවස්ථාව ලැබේ.

  • අවසානයේදී ශුක්‍රාණු දෙසියයක්   පමණ  සංසේචනය සඳහා සුදානම්ව තිබෙන  ඩිම්බය අසලට සේන්දු වී  එය වටා රොක් වේ.

  • එහිදී ඇතිවන මහත් තරඟකාරී සටනින් ජයගන්නා එක්  ශුක්‍රාණුවක් පමණක් ඩිම්බයට ඇතුළ්වී එය සංසේචනය කරයි.

  • මෙය සිදුවූ වහාම, සංසේචිත ඩිම්බය වටා ආරක්‍ෂිත පටලයක් සකස් වේ.

  • තරඟයේදී පරාජය වූ අන් සියලුම ශුක්‍රාණු එහිදී රෝධනය වී යයි. 

මේ අතරම  ඩිම්බ කෝෂයෙන් මුක්ත වී, සංසේචනය බලාපොරොත්තුවෙන් ගර්භාෂය සොයා පැමිණෙන ඩිම්බයක ආයු කාලයද  පැය විසි හතරකට වඩා  වැඩි නොවේ. මෙයද සංසේචනයේ සීමාකාරී සාධකයකි.

තරඟය ආරම්භ කරනු ලබන  ශුක්‍රාණු මිලියන දෙසියයෙන්, අවසානයේදී ජයග්‍රහණය ලබන්නේ, සෑම අතින්ම ශක්තිමත් මනා ජවයකින් යුක්ත එකම එක ශුක්‍රාණුවකි.

මෙසේ විග්‍රහ කර බලන විට දරු උපතක ආරම්භය වන පිළිසිඳ ගැනීමද  මහත් ආශ්චර්යයකි.

මේ අනුව ශාකවල සහ සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට අදාල ජන්මාණු නිෂ්පාදනයේදී විශාල නාස්තියක් සිදුවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙතත් අතිශයින්ම උචිතයා පමණක් තෝරාගැනීමේ මහා තරඟයක් මෙහිදී ඇතිවන  නිසා, එහි  කිසිදු නාස්තියක් හෝ අපතේ යාමක් සිදුනොවන බව නිගමනය කළ හැකිය. මෙම ක්‍රියාවලි සමූහය, වර්ගයාගේ යහ පැවැත්ම සහ උන්නතිය සඳහා අත්‍යවශ්‍ය සාධක වේ. මෙසේ දකින්නට ලැබෙන අධිකතර ජන්මාණු නිෂ්පාදනය, ජන්මාණු අතර ඇතිවන ප්‍රබල සටන,  උචිතෝන්නතිය, ස්වාභාවික තේරීම යනුවෙන් හැඳින්විය හැකි  අනුපිළිවෙලකට සිදුවන සංසිද්ධි සමූහය ජීවීන්ගේ පරිණාමයට පවා තුඩු දෙන ඉතාමත් ඵලදාටී සාධක බව, ඩාවින්ගේ පරිණාම වාදයේ ද මැනැවින් විස්තර කර තිබේ.

දයාරත්න වීරසේකර 

dayawee2@yahoo.com

Wednesday, 22 June 2022

ඕස්ට්‍රේලියාවට ආවේණික ‘ප්ලැටිපස්’ මහත් ආශ්චර්යමත් සතෙකි.

      ලොව පුරා විසිරී  ඇති ලක්ෂ සඛ්‍යාත ජීවීන් අතුරෙන්, ජීව විද්‍යාවේදී “ඒක දේශික ජීවීහු” ලෙස හැඳින්වෙනුයේ, පෘථිවි තලයේ  එක්  සීමාකාරී ප්‍රදේශයකට පමණක් ආවේණික, නැතහොත් එම ප්‍රදේශය නිජ බිම වශයෙන්  සැළකෙන සත්ත්ව සහ ශාක විශේෂ වලටය. මේ අතින් බලන කළ ඕස්ට්‍රේලියානු මහාද්වීපය මෙවැනි ජීවීන් රාශියකගේ නිජ බිම බවට පත්වී තිබේ. 


ඒක දේශික ජීවියෙකු වන ඉතාමත් අද්භූත සතෙකු ලෙස සැලකිය හැකි, පොදුවේ ‘ප්ලැටිපස්’  නමින්  සහ ජීව විද්‍යාත්මකව, Ornithorhynchus anatinus ලෙස     හැඳින්වෙන, පුදුමාකාර සත්ත්වයා පිලිබඳ සටහනකි මේ. මෙවැනි ජීවීන් ඕස්ට්‍රේලියානු ප්‍රදේශයට කොටුවී තිබීමටත් ඔවුන් ඒක දේශික ලෙස හැඳින්වීමටත්   හේතු වන විද්‍යාත්මක සාධකද රාශියක් හෙළිදරව් වී තිබේ.  


ඓතිහාසිකව, වසර මිලියන 400 කට පමණ ඉහතදී,  පෘථිවි දකුණු අර්ධ ගෝලයේ “ගොන්ඩ්වානා” Gondwana  නම්වූ අති විශාල භුමි සංකීර්ණයක් තිබෙන්නට ඇතැයි  විශ්වාස කෙරේ. දැනට දකුණු ඇමෙරිකා, අප්‍රිකා, ඇන්ටාක්ටිකා, ඔස්ට්‍රේලියා සහ ඉන්දියා යන නම් වලින් හැඳින්වෙන මහා භුමි ප්‍රදේශ, එවකට  එකාබද්ධව  තිබුණු බවට සාධක තිබේ.  පසුව, වසර මිලියන 180 කට පමණ ඉහතදී, ඕස්ට්‍රේලියා ප්‍රදේශය, යථෝක්ත භුමි සංකීර්ණයෙන් කැඩී වෙන්වී,  නැගෙනහිර දෙසට චලනය වී ඇති බවට තොරතුරු  ඇත.  මෙසේ වෙන්වූ ඕස්ට්‍රේලියා ප්‍රදේශය තුළ, අනෙකුත් ප්‍රදේශ වලට වඩා වෙනස් මගක, ජීවී පරිණාමයක්  සිදු වන්නට ඇතැයිද විශ්වාස කෙරේ. (මෙම මතයට වෙනස් අදහස්ද තිබේ.) මේ නිසාම බොහෝ ඕස්ට්‍රේලියානු ජීවීන්  ‘අසම්මත’ ගති ලක්ෂණ පෙන්වන බව විශ්වාස කළ හැකිය.


සත්ත්ව රාජධානියේ, කශේරුවක් නැතහොත් ‘කොඳු ඇට පෙළකින්’ සෑදුනු ‘පිටකොන්ද’ සහිත සතුන් පෘෂ්ඨවංශී  සත්තු ලෙස හැඳින්වෙති. මත්ස්‍යයින්, උභය ජීවීන්, උරගයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන්    මෙම ගොනුවට අයත් සත්තු වෙති. මෙයින් මත්ස්‍යයින් ජලජ පරිසරයකටත්,  උභය ජීවීන් ජලජ සහ භෞමික යන පරිසර දෙකටමත් ගැලපෙන  අනුවර්තන සහිතය. උරගයින්ද බහුලව ගොඩ බිම සිටින සත්තු වෙති.  මේ අතර පක්ෂීන් බොහෝවිට පියාසර කිරීමට හැඩගැසී ඇති අතර ක්ෂීරපායීන් බහුතරයක් ගොඩබිම ජීවිතයක් ගතකරති. මේ අතර, විශාල පක්ෂියෙකු වන පැස්බරාට පියාසර කළ නොහැකිය, එහෙත් වේගයෙන් දිවීමේ හැකියාවක් තිබේ. එමෙන්ම ක්ෂීරපායි සතෙකු වන වවුලාට පියාසර කළ හැකිය. එහෙත් වවුලාගේ  පියාසර කිරීමේ  අවයව පක්ෂීන්ගේ මෙන් පියාපත් නොවේ. මේ නිසා වවුලා බාහිර පෙනුමෙන් පමණක් එක් පැත්තකටවත් නොගැලපේ.  මේ ආකාරයට   පෘෂ්ඨවංශී  සතුන් අතර සුවිශේෂී  ජෛව විවිධත්වයක් දකින්නට ලැබේ. තාරාවෙකුගේ මෙන් හොටයක් ඇති, උරගයින්ගේ ස්වරූපයේ මෘදු ආවරණයක් සහිත බිත්තර දමන, පැටවුන්ට මව් කිරි සපයන එහෙත් තනපුඩු නොමැති ප්ලැටිපස්  නමැති ක්ෂීරපායි සත්ත්වයා මෙහි සඳහන් කළ විවිධත්වයටත් වඩා ඔබ්බට යන එකිනෙකට නොගැලපෙන ගති ලක්ෂණ රාශියක සංකලනයෙන් සැදුම් ලද අපූර්වතම ජීවියෙකු ලෙස සඳහන් කළ හැකිය. 


‘ප්ලැටිපස්’ සත්ත්ව ලෝකයේ විකාරරූපී සතෙක්ද ? 


ක්ෂීරපායී සතුන් තුළ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සමහර  ලක්ෂණ වලට  හාත්පසින්ම වෙනස් ගති ලක්ෂණ රාශියක් පෙන්වන ක්ෂීරපායි සතෙකු ලෙස ‘තාරා හොටය සහිත ප්ලැටිපස්’ (duck-billed platypus) සඳහන් කළ හැකිය. මේ සත්ත්වයා. ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර දිගින් පිහිටි වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල සහ දූපතක් වශයෙන් පිහිටි තස්මේනියා ප්‍රාන්තවලට  පමණක් ආවේණික ඒක දේශීය (endemic) සත්ත්ව විශේෂයකි. (සටහන බලන්න)


ඕස්ට්‍රේලියා මහාද්වීපයේ වුවද, සීමිත බිම් ප්‍රදේශයක් පමණක් නිජ බිම කරගෙන සිටින ප්ලැටිපස්, අර්ධ ජලජ, මාංශ භක්ෂක සතෙකි. මිරිදිය කඩිති ඉවුරුවල හාරාගන්නා ගුල්වල ජීවත්වන මොවුහු සාමාන්‍යයෙන් 50cm පමණ දිගට වැඩී 2.5 kg පමණ බරකින් යුක්තය. දිය කඩිති පතුලේ ඇති මඩ  සහ වැලි,  හොටයෙන්  අවුස්සා  සොයා ගත හැකි ඉස්සන් කකුළුවන්, මිරිදිය බෙල්ලන් සහ කුඩා මත්ස්‍යයින් මොවුන්ගේ ආහාරය වේ. ගැහැණු සතා දින 14 ක පමණ ගර්භණී කාලයකින් පසුව බිත්තර 2ක් හෝ 3ක් දමයි.ආයු කාලය වසර15 පමණ වේ.        


සත්ත්ව වර්ගීකරණයට අනුව ප්ලැටිපස්, Ornithorhynchus anatinus යන විද්‍යාත්මක නමින් හැඳින්වේ. ප්ලැටිපස් විද්‍යාත්මකව නම් කිරීමේදීද තරමක ව්‍යාකූල තත්වයක් තිබී පසුව එය නිවැරදි කර තිබේ.


ප්ලැටිපස්ගේ සුවිශේෂී දේහ ලක්ෂණ  ගැන සලකා බලන විට මෙවැනි ව්‍යුහයන් සහිත සතුන් සත්‍ය වශයෙන්ම සිටිය හැකිද යන්න පිලිබඳ මවිතයක් පවා හටගැනීම වුවද, සාධාරනීකරණය කළ  හැකිය. වරක් මෙම සත්ත්වයා මායාකාරී රැවටිල්ලක් (Fake) ලෙසද සලකා ප්‍රතික්ෂේප කර තිබේ.! 


1802 වර්ෂයේදී,  කර්නල්  ඩේවිඩ් කොලින්ස් නමැති කතුවරයා විසින්, ඕස්ට්‍රේලියාවේ  නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුල් පදිංචි කරුවන් පිලිබඳ ලියා ඇති පොතක, තාරාවෙකු මෙන්  පිහිණීම සඳහා සකස්වූ, පටලයකින් බැඳි  පා ඇඟිලි ඇති,  ඒවා අග්‍රයේ තියුණු දිග නිය (නඛර) සහිත,  සතෙකු පිලිබඳව  සඳහන් කර තිබේ. මෙම සත්ත්වයා දියෙහි පිහිණීමට   සහ ඉවුරුවල ගුහා හෑරීමටත් අති දක්ෂයෙකු බවද ඔහුගේ නිරික්ෂණ වී ඇත.

 

 “මෙම හැඩරුව ඇති ඌරුමීයා හෝ බීවරයා වැනි  වෙනත් සතුන්ට තිබෙන  හොම්බ වෙනුවට මෙම අද්භූත ජීවියාට, තාරාවෙකුගේ හොටය වැනි  ‘සම්  භාණ්ඩ නිෂ්පාදකයෙකු විසින් නිමකරන ලද කෘතීම ස්වරූපයක ආශ්චර්යමත්  හොටයක්’  තිබීමද විශේෂත්වයකි” 


යනුවෙන් ඔහු වැඩිදුරටත් තම පොතෙහි සඳහන් කර තිබේ.


මේ වකවාණුවේදීම, යම්කිසි සත්ත්ව පර්යේෂක කණ්ඩායමක් විසින්  මෙම අද්භූත සත්ත්වයා හඳුනා ගැනීම සඳහා,  උගේ හොටයට සම්බන්ධ සම සහ තවත් ශරීර කොටස් යුරෝපයේ විද්‍යාඥයින් පිරිසකට යොමු කරන ලදී. එම විද්‍යාඥයින්ගේ තීරණය වූයේ මේ සත්‍ය ජීවියෙකු විය නොහැකි බවත්,  එය සත්ත්ව හමෙන් විවිධ ආකෘති සකස් කරනු ලබන දක්ෂ කලාකරුවෙකුගේ කෘතීම නිර්මාණයක් බවත්,  අමුතුම හැඩයේ හොටය වෙනම සකස් කර, ‘බීවරයෙක්’ හෝ ඌරුමීයෙකු  වැනි සතෙකුගේ හමට මසා ගැනීමෙන් සකස් කළ ‘කවට උපායක්’ (hoax)  බවටත්  තීරණය කර එය සමච්චලයට පවා  ලක් කළහ. 


කෙසේ වෙතත් මෙවැනි සත්‍ය ජීවියෙකු ස්වාභාවිකව සිටින බව සියැසින් දැක තිබෙන සත්ත්ව වේදීහු තම උත්සාහය අත්  නොහළහ. එකළ ක්‍රමානුකුලව වර්ධනය වෙමින් පැවති ‘ද්විපද නාමකරණය’ (Binomial nomenclature) ක්‍රමවේදය ආශ්‍රීතව මෙම ගැටලුව විසඳා ගැනීමට ඔව්හු උත්සාහයක් ගත්හ.   


ප්ලැටිපස් විද්‍යාත්මකව නම් කිරිමේදීද  මත භේදයකට තුඩු දී  තිබේ. 

 

ප්ලැටිපස් පිළිබඳ තොරතුරු අනාවරණය වූ මුල් කාලයේදී මෙම ජීවියා විද්‍යාත්මකව වර්ගීකරණය කර නොතිබුණි. මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ අධ්‍යක්ෂකව සිටි ජෝර්ජ් ෂෝ විසින් සාමාන්‍ය භාවිතයේ තිබුණු Platypus යන නාමය ගණ නාමය වශයෙන් ගෙන, හොටයේ හැඩරුව විශේෂයෙන් භාවිත කර  ‘තාරාවාගේ  වැනි’ අර්ථය ඇති anatinus  යන ලතින් වචනය විශේෂ නාමය ලෙසද ගෙන, මෙම සත්ත්වයා  Platypus anatinus  ලෙස නම් කරන ලදී (Anas යනු ලතින් භාෂාවෙන් තාරාවා වේ.)

.                                                                                                     

ප්ලැටිපස්, පැටවා කිරි බී වැඩෙන සතෙකු නිසාත්, ප්ලැටිපස් මවට තම ක්‍ෂීර ග්‍රන්ථි මගින් පැටවුන් සඳහා කිරි නිපදවිය හැකි නිසාත්  මොවුහු ස්ථිරවම ක්ෂීරපායීහු  වෙති. මිරිදිය කඩිති  සහ ජලාශවල ජීවත් වන මෙම සතුන් ජලාශ ඉවුරේ සකස් කර ගත් ගුහා වල ජීවත් වෙති. ගැහැණු සතා ගුහාව තුළ බිත්තර දමන අතර ඒවා පුපුරා පිටතට එනු ලබන පැටව් මවගෙන් කිරි උරා බොති. මවට වෙනත් ක්ශීරපායීන්ට මෙන් තනපුඩු නොමැත. එහෙත් මවගේ උදර ප්‍රදේශයේ විසිරී ඇති ක්ශීරධර පටක ආශ්‍රීතව ඇති ලෝම උරාබොන විට වැගිරෙන කිරි, පැටවාගේ ආහාරය වේ.

 

මේ ආකාරයට ස්ථීර වශයෙන්ම ක්ෂීරපායි සතෙකු ලෙස හඳුනාගෙන, විද්‍යාත්මකව නම් කිරීමෙන් පසුව, Platypus  නම් එම ගණ නාමයම සහිත පැතලි හිසක් සහිත කුරුමිණි විශේෂයක්ද සිටින බව හෙළිවීම  නිසා එම , නාමකරණය ගැන විරුද්ධ මත පළ වන්නට විය. මේ නිසා වර්ගීකරණයේ පිළිගත් නීති රීති වලට අනුව, එකම නාමය හෝ නාමයෙන් කොටසක්වත් ජීවීන් දෙදෙනෙකු සඳහා යෙදිය නොහැකිය යන පිළිගැනීම   අනුව Platypus යන වචනය මේ ජීවියා විද්‍යාත්මකව නම් කිරීම සඳහා යෙද විය නොහැකි බව පැහැදිලි විය.

මින්පසු වෙනත් මගක් ඔස්සේ ක්‍රියාත්මක වූ විද්‍යාඥයෝ  ප්ලැටිපස්ගේ ගති ලක්ෂණ වලට බොහෝ දුරට සමීප, ඕස්ට්‍රේලියාවේ සුලභ, ක්‍ෂිරපායි සත්ත්ව කණ්ඩායමක්ම  වන Monotremata නම්  ගෝත්‍රයේ Echidna (කූරු ඈයා හෝ කුහුඹු භක්ෂක කූරු ඈයා, spiny anteater)  අයත්වන Ornithorhynchus නමැති  ක්ෂීරපායි ගණයට Platypus ඇතුළත් කිරීම සඳහා පියවර ගන්නා ලදී. 

 එහෙත් ප්ලැටිපස්, එම සත්ත්වයාට පමණක් ආවේනික  සුවිශේෂී හොටය නිසා Echidna ගෙන් වෙනස් වේ. Echidna සහ Platypus  දෙදෙනාම බිත්තර දමන ක්ෂීරපායින් නිසා එකම ගණයකට දැමීම උචිත බව පිළිගැනිණ. මේ නිසා අවසානයේදී ප්ලැටිපස්  Ornithorhynchus   anatinus ලෙස නම්කිරීමට සිදුවී තිබේ.   ග්‍රීක් භාෂාවේ  ornith- ('bird') සහ rhúnkhos ('snout') සහ ලතින් භාෂාවේ  anatinus ('duck-like') යන අදහස ලබාදෙන, වචන භාවිත කර මේ ආකාරයට  නම් කිරීම සුදුසුයයි පිළිගන්නා ලදී. මේ නිසා පොදු ව්‍යවහාරයේදී  මෙම සත්ත්වයා  "duck-billed platypus". ‘තාරා හොට සහිත ප්ලැටිපස්’  ලෙස නම් කිරීමටද  තීරණය කර තිබේ. වර්ගීකරණය සහ නාම්කරණයේදී භාවිත කරන ලද  ඉහත දක්වා ඇති  සියලුම විද්‍යාත්මක කරුණු සම්පිණ්ඩනය කිරීමෙන් පසු, ප්ලැටිපස් ජීවියා,  සත්ත්ව රාජධානියේ ගන්නා ස්ථානය මෙසේ දැක්විය හැකිය.

ප්ලැටිපස් මහත් ආශ්චර්යමත් සතෙකු ලෙස ගැණෙනුයේ  ඇයි?

 

  1. මව විසින් බිහිකරන පැටවුන් කිරි බී  වැඩෙන නිසා ප්ලැටිපස් ක්ෂීරපායි සතෙකි. මොවුන්ගේ ශරීරයද  ලෝම වලින් වැසී  තිබීමද ක්ෂීරපායි ලක්ෂණයකි. එහෙත් ක්ෂීරපායි මව් සතෙකුට තිබෙන කිරි වැගිරෙන ‘තන පුඩු’ ප්ලැටිපස්ට නොමැත.

  2. ක්ෂීරපායී සතුන්ට පිටතට නොරා සිටින හොම්බක් තිබෙන අතර ප්ලැටිපස්ට ඇත්තේ තාරාවෙකුගේ වැනි හොටයකි.මෙය ඉතාමත් සුවිශේෂී ලක්ෂණයකි.

  3. සාමාන්‍ය ක්ෂීරපායීහු බිත්තර නොදමති. එහෙත් ප්ලැටිපස් බිත්තර දමයි.  එම බිත්තර උරගයින්ගේ බිත්තර මෙන් මෘදු පටලයකින් ආවරණය වේ. (එහෙත් තාරාවා පක්ෂියෙකු නිසා උගේ බිත්තර ඝන බිඳෙනසුලු කටුවකින් වැසී තිබේ).

  4. ක්ෂීරපායි සතෙකුගේ මුඛයේ දත් තිබේ. ක්ෂීරපායි හොම්බට අනුරුප ප්ලැටිපස්ගේ ‘හොටයේ’ දත් නොමැත.

  5. ප්ලැටිපස්ට මුඛයේ දත් වෙනුවට ඇති ඝන කෙරටින් තට්ටුවක් සහිත තහඩු වැනි ව්‍යුහ මගින් ආහාර හපා අඹරා ගැනීම සිදුවේ. 

  6. ප්ලැටිපස්ගේ ‘හොටයේ’ දහස් සංඛ්‍යාත විද්‍යුත් තරංග සංවේදී සෛල ඇත. මේවා මගින්  වෙනත් සතුන් විසින් නිකුත් කරනු ලබන  සියුම් විද්‍යුත් තරංග ලබා ගැනීමෙන්, ඔවුන්ට තමන්ගේ ආහාර පහසුවෙන් සොයා ගත හැකිය. 

  7. ක්ෂීරපායීන් අතර විෂ සහිත සතුන් ඉතා  විරලය. සාමාන්‍යයෙන් සමහර සර්ප විශේෂ වල විෂ දළ දකින්නට ලැබේ. ප්ලැටිපස්  පිරිමි සතාගේ පසුපාදවල  කුහරය සහිත එක් නඛරයක් විෂ සහිතය. විෂ සහිත නඛරයක් තිබීමද උරග ලක්ෂණයකි.

  8. ප්ලැටිපස්ගේ පටලයකින් එකට බැඳී  ඇති ඇඟිලි සහිත පෙර පාද තාරාවෙකුගේ  මෙන් ජලයේ පිහිනීම සඳහා භාවිත කරයි. ජලාශ ඉවුරේ ගුල් හාරන විට මෙම පටලය සංකෝචනය වී ඇඟිලි අග ඇති තියුණු නඛර පිටතට නෙරා අවුත් හෑරීම පහසු වීම සුවිශේෂී ලක්ෂණයකි.

  9. බීවරයා වැනි වෙනත් ජලජ ක්ෂීරපායීහු තම වලිගය වැඩි වශයෙන් පිහිනීම සඳහා භාවිත කරති. එහෙත් ප්ලැටිපස්ගේ වලිගය මේදය සංචිත  පටකයක් ලෙස ක්‍රියා කරයි. එසේම බිත්තර රැකීමේදී උණුසුම් ආවරණයක් ලෙසද වලිගය ක්‍රියා කරයි.

  10. ප්ලැටිපස්ගේ සම්පූර්ණ DNA  ගොනුව, 2008 වර්ෂයේදී විමර්ශනය කර ඇති අතර, එමගින් මෙම සත්ත්වයා තුළ  උරග, පක්ෂි සහ ක්ෂීරපායි යන සත්ත්ව වර්ග සියල්ලේම ජාන මුසුවක් තිබෙන බව නිගමණය කර තිබේ.

 

මෙතරම් ආශ්චර්යමත් ගති පැවතුම් සහ අද්විතීය ලක්ෂණ සහිත ප්ලැටිපස්ට ඕස්ට්‍රේලියාවේ ස්වභාව විද්‍යාඥයින් අතර සුවිශේෂී ස්ථානයක් ලැබී තිබේ. ඒ සමගම වෙනස් මගක් ඔස්සේ සිදුවී ඇති ඕස්ට්‍රේලියානු  ජෛව පර්ණාමයේ සංකේතාත්මක ජීවියෙකු ලෙසද ප්ලැටිපස් සඳහන් කර තිබේ. දශක නවයකට පෙර (1934) ඕස්ට්‍රේලියාවේ නිකුත්  කරන ලද මුද්දරයක සහ 1984 වර්ෂයේ නිකුත් කර ඇති ඩොලර් එකක වටිනාකම ඇති කාසියේද ප්ලැටිපස්ගේ සටහන පැහැදිලිව පෙන්වා තිබේ. මෙයට අමතරව ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ වැනි උත්සව අවස්ථාවලදී ජයග්‍රහණයේ සංකේතයක් ලෙසද ප්ලැටිපස් ආකෘති භාවිත කරනු දකින්නට ලැබේ.  

          

 

 2020 වර්ෂයේදී  පරිසර සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් ප්ලැටිපස්  වඳවීමේ තර්ජනයට ඉතා ආසන්න තත්වයේ සිටින සතෙකු බව එම සංගමයේ රතු දත්ත පොතෙහි දක්වා තිබේ. මෙම සතුන් පරිසර දූෂණය, වාසස්ථාන අහිමිවීම, දඩයම් කිරීම වැනි හේතු නිසා ඉහත තර්ජනයට මුහුණ පා ඇති බැවින්, සංරක්ෂණ කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාවය අදාළ බලධාරීන්ට පෙන්වා දී තිබේ.

 

ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම වාගේ ඇති සත්වෝද්‍යාන වල, ඉතාමත් සුරක්ෂිත අන්දමට සකසන ලද සෑම අතින්ම එම සතුන් සඳහා යෝග්‍ය  පරිසර පද්ධති වල ප්ලැටිපස් කිහිප දෙනෙකු බැගින් අධ්‍යයන කටයුතු සඳහාත් මහජන ප්‍රදර්ශනය සඳහාත්  ඉඩකඩ සලසා තිබේ. මෙම කෘතීම වාසස්ථාන වල ඇතිකරන ලද ප්ලැටිපස් සතුන්ගේ අභිජනනය  මගින්  ද කිහිප වරක්ම සරු ජනිතයින්ද බිහිකර ඇති බවද වාර්තා වේ.   

 

21.06 2022 


Thursday, 26 May 2022

“කිවිසුම් යාම” (SNEEZING) ගැන විවිධ මත සහ එහි විද්‍යාත්මක පසුබිම

 

“කිවිසුම් යාම” (SNEEZING) ගැන විවිධ මත සහ එහි විද්‍යාත්මක පසුබිම

ම්කිසි කෙනෙකු කුමන ආකාරයක හෝ කාර්යයක් ආරම්භ කිරීමට සැරසෙන විටම නැතහොත්  ගමනක් යාමට සූදානම් වන අවස්ථාවක දී, අසල සිටින කෙනෙකුගේ   කිවිසුම් හඬක් ඇසීම බාධාවක් ලෙස සමාජයේ බොහෝ දෙනා පිළිගත් මතයකි. මෙවැනි අවස්ථාවකදී  ආරම්භ කිරීමට සූදානම් කළ කාර්යය  හෝ යාමට සූදානම් වූ ගමන ​තරමක්  ප්‍රමාදවී නැවත සිදු කරන  බව අප අසා ඇත. මෙසේ කිවිසුමක් යාම අසන්නට ලැබීම බාධාවක්  ලෙස සලකන්නේ ඇයි ?

                                                                     

කිවිසුම් යාම

‘කිවිසුම් යාම’ ලෝකයේ විවිධ සමාජ වල, බාධාවක් හෝ අවාසනාව ගෙන දෙන සංඥාවක් ලෙස පිළිගැනීමක් පවතී.  අත දරුවකුට කිවිසුමක් ගිය විට පැරණි වැඩිහිටියෝ   ‘‘ආයු බෝවේවා’’ යි දිගාසිරි පතනු අප අසා ඇත. එසේ කරනුයේ දරුවාට සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි අසනීපයක් ඇති වෙතැයි වැඩිහිටියන් අතර බියක් හටගන්නා  නිසා බව සිතිය හැකිය. 

      කිවිසුම් යාම ගැන විවිධ අදහස් 

කෙනෙකුට කිවිසුමක්  යාමේදී නාසයෙන් පිටවන ශබ්දය නොයෙකුත් ආකාර වලට විග්‍රහ කර දක්වන බව මේ පිළිබඳ තොරතුරු සෙවීමේදී අනාවරණය වේ. සිංහල භාෂාව කථාකරන බොහෝ අය මෙම ශබ්දය “හච්..ඡී… න්..ග්”   (HUCH..CHING) ලෙස  උච්චාරණය කරති.  සමහර යුරෝපීය රටවල එම ශබ්දය  “අච්….ඡුහ්ස්‌” (‘ACHO…O..S’)  ලෙස වෙනත් ආකාරයකට හුවා දක්වති. ‘ACHO…OS ’ ලෙස දැක්වෙන යුරෝපිය භාවිතයට  සමගාමිව බොහෝ ක්‍රිස්තු භක්තිකයෝ, යම්කිසි කෙනෙකු කිවිසුමක් කළ විගසම “දෙවි පිහිටයි” යන අර්ථය ඇති   “God Bless” යන ආශීර්වාදය කරති. මෙම ආශීර්වාද පාඨය භාවිතයට පැමිණීම ගැන පැහැදිලි යුරෝපීය පුරාවෘත්තයක් තිබේ. මේ අනුව ක්‍රිස්තු වර්ෂ 1347 සිට 1351 කාළය තුළදී, ඉතාලියේ රෝම නගරයේ ආරම්භවූ අති භයානක මහාමාරිය වසංගතය නිසා, ජනතාව විශාල වශයෙන් මරණයට පත්විය. මීයන් මගින් බෝවෙන මහාමාරිය, Yersinia pestis  නමින් හැඳින්වෙන බැක්ටීරියා විශේෂයක් මගින් වැළඳෙන මාරාන්තික රෝගයකි.  මහාමාරිය රෝගය, bubonic plague ලෙසද  නම් කර තිබේ.  මහාමාරිය වැළදී මියගිය රෝගීන්ගේ මළ සිරුරු, තද කළු පැහැයක් ගත්  නිසා එම මරණ ‘Black death’ ලෙසද දැක්වේ. කිවිසුම් යාම ප්‍රධාන ලක්ෂණයක් වන මහාමාරිය වැළඳුනු අයට දිවි ගලවා ගැනීම පිණිස “God bless you” යන   ආශීර්වාද පාඨයෙන් සෙත් පතන  ලෙස එවකට සිටි පළමුවන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් ජනතාවගෙන් ඉල්ලීමක්  කර තිබේ. සාමාන්‍ය තත්ත්වයකදී වුවද, කිවිසුමක් ගිය විට God bless you යනුවෙන් පැවසීම ආරම්භ වී ඇත්තේ මේ ආකාරයටය.  

මහාමාරිය රෝගය වැළඳුනු අයට නිරතුරුවම කිවිසුම් යාම ප්‍රධාන ලක්ෂණයක් වන අතර, වෙනත් විවිධ හේතු නිසාද සාමාන්‍ය පුද්ගලයෙකුට කිවිසුම් යන අවස්ථා බොහෝ තිබේ. සාමාන්‍යයෙන් කිවිසුමක් යාමට හේතු සාධක වනුයේ,  යම්කිසි බාහිර සියුම් අංශුමය ද්‍රව්‍ය  මගින්, නාස් කුහරයේ ශ්ලේෂ්මල පටලය උත්තේජනය වීමයි. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යා වයිරසය වැනි එතරම් භයානක නොවන රෝග කාරක අංශු නිසා කිවිසුම් යාම බොහෝ විට මූලික ලක්ෂණයකි. මේවාට අමතරව  වායු ගෝලයේ ඇති විවිධ බැක්ටීරියා, දූවිලි අංශු, රසායනික ද්‍රව්‍ය අංශු, පුෂ්ප පරාග වැනි බොහෝ දේ කිවිසුම් ඇති කරන  උත්තේජක වේ. 

මේවාට අමතරව,  විශේෂයෙන්ම සෙවන සහිත ස්ථානයක සිට එක්  වරම තද හිරු එලිය ඇති ස්ථානයකට ගිය විටද  මිනිස් සමාජයේ  30% කට පමණ, කිවිසුම් යන බවද  සොයාගෙන තිබේ. මේ නිසා හිරු එළියද එවැනි උත්තේජකයක් ලෙස සැලකිය හැකිය. හිරු එලිය කිවිසුම් උත්තේජකයක් වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකටය. 

‘ආලෝක කිවිසුම් ප්‍රතීකය’  “photic sneeze reflex  

කිවිසුම් යාම දැක්වීම පිණිස යුරෝපාකරයේ බහුලව භාවිත වන  “අච්….ඡුහ්ස්” (‘ACH..O..O..S’)  යන කෙටි හැඳින්වීමට ඉහත සඳහන් කළ පරිදි  හිරු එළිය හා සම්බන්ධ විද්‍යාත්මක සිද්ධාන්තයක් මුල්වී ඇත. මෙම සිද්ධාන්තය  Autosomal-dominant Compelling Helio-Ophthalmic Outburst Syndrome ලෙස හැඳින්වේ. මෙහි  acronym යෙදුම (වගන්තියේ වචනවල මුල් අකුරු යෙදී සෑදෙන  කෙටි යෙදුම)  ‘ACHOOS’ වන්නේය. අපට ඇසෙන පරිදි කිවිසුමක ශබ්දය අනුකරණය “හච්..ඡී… න්..ග්” (HACCHING) ලෙස භාවිත කරන්නා සේම යුරෝපාකරයේ බොහෝ රටවල එය “අච්….ඡුහ්ස්” (ACHOOS)  යනුවෙන් භාවිත කරති.  මේ වචන හෝ යෙදුම් දෙකෙන්ම කෙරෙනුයේ කිවිසුමක් යැවීමේදී ඇසෙන ශබ්දය අනුකරණය කිරීමයි. 

Autosomal-dominant Compelling Helio-Ophthalmic Outburst Syndrome (‘ACHOOS’)  යෙදුමෙන් දැක්වෙන අර්ථයට  අනුරූප සිංහල යෙදුම මෙසේ විග්‍රහ කළ හැකිය. මිනිසාගේ වර්ණදේහ යුගල 23කි. මෙයින් එක යුගලයක් කෙලින්ම ලිංගිකතාව පෙන්නුම් කරයි. මේවා   XX හෝ  XY වේ. මෙයින් XX මගින් ගැහැණු බව සහ XY මගින්   පිරිමි බව පෙන්වනු ලැබේ. ඉතිරි වර්ණදේහ යුගල 22 ප්‍රමාණය අනුව අංකනය කෙරේ. සාමාන්‍ය දේහ ලක්ෂණ ගෙන යන  ජාන සියල්ලම පිහිටා ඇති මෙම වර්ණදේහ Autosomes (ගති ලක්‍ෂණ ජාන සහිත වර්ණදේහ) ලෙස නම් කෙරේ. ඉහත සඳහන් කළ ආකාරයට ඇසට හිරු රැස්  වැටීම නිසා සිදුවන උත්තේජනයට ප්‍රතිචාරයක් ලෙස කිවිසුම් යාම සිදු කරනු ලබන්නේ ඉහත සඳහන් කළ, සාමාන්‍ය වර්ණදේහයක තිබිය හැකි, සුවිශේෂී ජානයක් මගින්ය. සාමාන්‍ය මිනිස් ගහණයක 30% කට පමණ මෙම ජානය තිබේ. ඔවුහු සෙවනක සිට තද හිරු රැස්  ඇති ස්ථානයකට ගිය විට නොදැනුවත්වම කිවිසුම් හරිති. මෙම සිදුවීම “සූර්ය කිරණ බලපෑම නිසා අක්ෂි ස්නායුවේ  උත්තේජනයෙන් සිදුවන ක්‍ෂණික ගතිලක්ෂණය”  ලෙස අර්ථ දැක්විය හැකිය. 

කිවිසුම් යාම බාධාවක් හෝ අවාසනාවන්ත සංඥාවක් බව තීරණය කර පූර්ව නිගමනයකට එළඹ කටයුතු කිරීම බොහෝ දෙනෙකුගේ සිරිතකි. නමුත් අප එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම වැදගත් වෙයි. යම් වැඩක දී හෝ ගමනක් යාම ආරම්භයේදී හෝ කිවිසුම් හඬක් ඇසීම සෑම විටම බාධාවක් හෝ අසාර්ථක වීමකට හේතුවක් වේ  දැයි පිළිගත් ක්‍රමවේදයකට අනුව විමසා  බැලිය යුතුය.

සූර්යාලෝකය නිසා සිදුවන මෙම සංසිද්ධිය  ‘ආලෝක කිවිසුම් ප්‍රතීකය’  “photic sneeze reflex” ලෙස දක්වා තිබෙන අතර, එය කිසිසේත් රෝගාබාධයක් ලෙස සඳහන් කිරීමක්  නොමැත. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ ජීවත්වූ ග්‍රීක දාර්ශනිකයෙකු වූ,  ඇරිස්ටෝටල් පවා මේ ගැන විස්තර කර ඇතත්, මෙම සංසිද්ධිය විද්‍යාඥයින්ගේ විමසුමට පාත්‍ර වී, එය රෝගයක් නොවන බව ප්‍රකාශයට පත්වූයේ  1954 වර්ෂයේදීය. 

එසේනම් කලින් සඳහන් කර ඇති ආකාරයට සමාජයේ 30% පමණ වන අයට සෙවනක සිට හිරු එලිය ඇති ස්ථානයකට ගිය විට කිවිසුම් යන්නේ ඇයිද යන්න ස්වාභාවික හෝ අහඹු ක්‍රියාවලියක්ද යන්න ජීව විද්‍යාත්මකව සොයා බැලිය හැකිය.  

මිනිසාගේ ස්නායු පද්ධතියේ පස්වන කපාල ස්නායුව වන ත්‍රිමූල ස්නායුව (Trigeminal) මගින් හටගන්නා ස්නායු ශාකා තුනක් කෙනෙකුගේ මුහුණ ප්‍රදේශයේ විසිරී යයි. මේ සමග ඇති  රූප සටහනේ දැක්වෙන පරිදි, එම ස්නායුවේ  අක්ෂි ශාඛාව ඇසට සම්බන්ධ වන අතර, එහි දෙවන ශාකාව නාස් කුහරය හා සම්බන්ධ වේ.  මෙම ස්නායු යුගලයේ ක්‍රියාකාරිත්වය නිසා  ‘ආලෝක කිවිසුම් ප්‍රතීකය’  “photic sneeze reflex” ලෙස හැඳින්වෙන කිවිසුම් උත්තේජනය සිදුවන්නේය. මෙම ගති ලක්ෂණය සහිත කෙනෙකු, සෙවනක සිට තද හිරු එලිය සහිත ස්ථානයකට පැමිණි විට එම තැනැත්තාගේ ඇස්  වලට සූර්යාලෝකයෙන් ලැබෙන උත්තේජනය වහාම අක්ෂි ස්නායුව මගින් ත්‍රිමූල ස්නායුව වෙත සම්ප්‍රේෂණය කරයි. මෙසේ වූ විට හටගන්නා ප්‍රතීක ක්‍රියාවක් මගින්  ඇති කරවන සංඥාවක්,   නාසා ස්නායු ශාඛාව ඔස්සේ ගොස් නාස් කුහර අභ්‍යන්තරයේ ඇති සංවේදී පටලය උද්දීපනය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කිවිසුම් යාම සිදුවේ                                                      

                                           

කෙසේ වුවත් මෙම උත්තේජනය සිදුවනුයේ කලින් සඳහන් කළ  පරිදි එම ක්‍රියාවලියට අදාළ ජානය වර්ණදේහවල තිබෙන අයගේ  පමණකි. මෙම ජානයේ බලපෑම මගින් සිදුවන කිවිසුම් යාම පාරම්පරිකව ආවේනික  වන බවද සොයාගෙන තිබේ. නාස් කුහරය තුළට බැක්ටීරියා වැනි අසාදිත ද්‍රව්‍යයක් හෝ වෙනත් අහිතකර අංශු කිසිවක් ඇතුල් වුවහොත් කිවිසුම් යන්නේද ස්නායු  උත්තේජනය වන  නිසාය. එහෙත් මෙහිදී සුවිශේෂ ජාන වල අවශ්‍යතාවක් නොමැතිව සෑම කෙනෙකුටම  පොදුවේ සිදුවේ. 

කිවිසුම් යාමට අදාළ වෙනත් තොරතුරු 

කිවිසුම් යාමට අදාළ ජීව විද්‍යාත්මක තොරතුරු සොයාගැනීමටත්  පෙර සිට, බොහෝ රටවල මේ සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර  අනුගමනය කර ඇත. මෙයින් සමහර ඒවා අදටද සිරිත් ලෙස භාවිත කරන බව දැනගන්නට තිබේ. එයින්  කිහිපයක් මෙසේය.

  1. 15 වැනි ශතවර්ෂයේදී යුරෝපීය රටවල කළා ශිල්ප පුනරුදයක් සිදුවූ කාලයේදී කිවිසුම් යන විටදී කෙනෙකුගේ හදවත තාවකාලික නතර වීමකට භාජන වන බවට මතයක් ගොඩ නැගුණි. මේ නිසා ක්‍රිස්තු භක්තිකයින්  අතර, කෙනෙකුට කිවිසුමක් ගියවිට කෙටි යාඥාවක් කර සෙත් පැතීමේ  පුරුද්දක් ඇතිවිය.

  2. කිවිසුමක් ඇතිවනුයේ කෙනෙකුගේ හිතවතෙකු තමන්  ගැන ශුභවාදීව සිතීම නිසා තමන්ට  කිවිසුම් යන බවටද අදහසක් පැවතිණ. සමහර  තරුණ තරුණියන් අතර මේ අදහස තවමත් තිබෙන බව පෙනේ. 

  3. ඕලන්දය, ආර්මේනියාව, ග්‍රීසිය, යුක්රේනය වැනි රටවල කිවිසුමක් ගිය පසු  ඒ තැනැත්තාට ‘සුවපත් වේවා’ යන අදහස ඇති ‘Good health’ යන වචන අදාළ භාෂා ව්‍යවහාර වචන වලින් පැවසේ. 

  4. ඉන්දියාවේ තෙලිඟු භාෂාව කථා  කරන්නෝ කිවිසුමකට ප්‍රතිචාර දක්වන්නේ “ඔබට මරණයෙන් තොර ජීවිතයකට වාසනාව ලැබේවා” යන  අර්ථය ඇති වාක්‍ය ඛණ්ඩයකිනි.

  5. යම්කිසි ප්‍රකාශයක් කළ කෙනෙකුට ඒ සමගම කිවිසුමක් ගියහොත් ඔහු කී දේ සත්‍යයක් බව එයින්ම් ඔප්පු වන බව පෝලන්ත ජාතිකයෝ විශ්වාස කරති.

  6. චීනය, ජපානය වැනි සමහර ආසියාතික රටවල ජනතාව, කිවිසුමක් යාම සාමාන්‍ය ජීව විද්‍යාත්මක සිද්ධියක්  ලෙස සලකන අතර, ඒ ගැන වැඩි තැකීමක් නොදක්වති. 

මේ  ආකාරයට විවිධ රටවල ජනතාව  කිවිසුම් යාමට අදාලව විවිධ මති මතාන්තර වල එල්බ ගෙන සිටින අතර, පසුගිය දිනක පුවත් පතක පළවී තිබුණු වෙනත් ආකාරයක තොරතුරක කොටසක් පමණක්  එහි කතුවරයාගේ වචන වලින්ම මෙසේ උපුටා දක්වමි.

“කිවිසුම් යාම පිළිබඳව පෙර ඉසිවරුන් පෙන්වා දී ඇති කරුණු පැරණි ග්‍රන්ථයක් අනුසාරයෙන් පාඨක ඔබගේ අවධානයට යොමු කරමි. සඳුදා-බදාදා-සිකුරාදා දිනවල උතුරු දෙසින් කිවිසුම් හඬක් ඇසීම සුබ නොවේ. ඥාතියකු කරදරයකට පත්වීමක් පෙන්නුම් කරයි. තවද තමන්ද එයට හවුල් වෙන බවක් ඉඟිකරයි. ඊසාන දෙසින් නම් තමා යන ගමනින් බලාපොරොත්තු වන තරම් ප්‍රයෝජනයක් නොවන බව පෙන්වා දෙයි. නැගෙනහිර දෙසින් නම් සෙම් රෝගයක පෙර නිමිත්තකි. ගිනිකොණ දෙසින් නම් බලාපොරොත්තු ඉටු වන බව කියාපායි.”  

මේ ආකාරයට සලකා බලන විට, ඉතාමත් ස්වාභාවික ජීව විද්‍යාත්මක සංසිද්ධියක් වන කිවිසුම් යාම, මිනිසාගේ විවිධ මති මතාන්තර   වලට අනුකුලව විවිධ ආකාරයට අර්ථකථනය කරන බව දකින්නට ලැබේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධිය ඇතිව ඇසිය  යුතු  බව පරම සත්‍යයකි. එමෙන්ම, පැරණි අදහස් උදහස් වලම ඇලී   ගැලී සිටිමින්  මිත්‍යා මත ඔස්සේ හඹා යාමද නතර  කර,  දැනුම සහ බුද්ධිය මෙන්ම ප්‍රඥාවද වැඩිදියුණු කර ගැනීමට සිත් යෙදවීම, විද්‍යාව හා තාක්ෂණය මූලික වර්තමාන සමාජයේ ජීවත්වන කාගේත් අභිප්‍රාය විය යුතුය.

දයාරත්න වීරසේකර