ලොව පුරා විසිරී ඇති ලක්ෂ සඛ්‍යාත ජීවීන් අතුරෙන්, ජීව විද්‍යාවේදී “ඒක දේශික ජීවීහු” ලෙස හැඳින්වෙනුයේ, පෘථිවි තලයේ එක් සීමාකාරී ප්‍රදේශයකට පමණක් ආවේණික, නැතහොත් එම ප්‍රදේශය නිජ බිම වශයෙන් සැළකෙන සත්ත්ව සහ ශාක විශේෂ වලටය. මේ අතින් බලන කළ ඕස්ට්‍රේලියානු මහාද්වීපය මෙවැනි ජීවීන් රාශියකගේ නිජ බිම බවට පත්වී තිබේ.
ඒක දේශික ජීවියෙකු වන ඉතාමත් අද්භූත සතෙකු ලෙස සැලකිය හැකි, පොදුවේ ‘ප්ලැටිපස්’ නමින් සහ ජීව විද්‍යාත්මකව, Ornithorhynchus anatinus ලෙස හැඳින්වෙන, පුදුමාකාර සත්ත්වයා පිලිබඳ සටහනකි මේ. මෙවැනි ජීවීන් ඕස්ට්‍රේලියානු ප්‍රදේශයට කොටුවී තිබීමටත් ඔවුන් ඒක දේශික ලෙස හැඳින්වීමටත් හේතු වන විද්‍යාත්මක සාධකද රාශියක් හෙළිදරව් වී තිබේ.
ඓතිහාසිකව, වසර මිලියන 400 කට පමණ ඉහතදී, පෘථිවි දකුණු අර්ධ ගෝලයේ “ගොන්ඩ්වානා” Gondwana නම්වූ අති විශාල භුමි සංකීර්ණයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. දැනට දකුණු ඇමෙරිකා, අප්‍රිකා, ඇන්ටාක්ටිකා, ඔස්ට්‍රේලියා සහ ඉන්දියා යන නම් වලින් හැඳින්වෙන මහා භුමි ප්‍රදේශ, එවකට එකාබද්ධව තිබුණු බවට සාධක තිබේ. පසුව, වසර මිලියන 180 කට පමණ ඉහතදී, ඕස්ට්‍රේලියා ප්‍රදේශය, යථෝක්ත භුමි සංකීර්ණයෙන් කැඩී වෙන්වී, නැගෙනහිර දෙසට චලනය වී ඇති බවට තොරතුරු ඇත. මෙසේ වෙන්වූ ඕස්ට්‍රේලියා ප්‍රදේශය තුළ, අනෙකුත් ප්‍රදේශ වලට වඩා වෙනස් මගක, ජීවී පරිණාමයක් සිදු වන්නට ඇතැයිද විශ්වාස කෙරේ. (මෙම මතයට වෙනස් අදහස්ද තිබේ.) මේ නිසාම බොහෝ ඕස්ට්‍රේලියානු ජීවීන් ‘අසම්මත’ ගති ලක්ෂණ පෙන්වන බව විශ්වාස කළ හැකිය.
සත්ත්ව රාජධානියේ, කශේරුවක් නැතහොත් ‘කොඳු ඇට පෙළකින්’ සෑදුනු ‘පිටකොන්ද’ සහිත සතුන් පෘෂ්ඨවංශී සත්තු ලෙස හැඳින්වෙති. මත්ස්‍යයින්, උභය ජීවීන්, උරගයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් මෙම ගොනුවට අයත් සත්තු වෙති. මෙයින් මත්ස්‍යයින් ජලජ පරිසරයකටත්, උභය ජීවීන් ජලජ සහ භෞමික යන පරිසර දෙකටමත් ගැලපෙන අනුවර්තන සහිතය. උරගයින්ද බහුලව ගොඩ බිම සිටින සත්තු වෙති. මේ අතර පක්ෂීන් බොහෝවිට පියාසර කිරීමට හැඩගැසී ඇති අතර ක්ෂීරපායීන් බහුතරයක් ගොඩබිම ජීවිතයක් ගතකරති. මේ අතර, විශාල පක්ෂියෙකු වන පැස්බරාට පියාසර කළ නොහැකිය, එහෙත් වේගයෙන් දිවීමේ හැකියාවක් තිබේ. එමෙන්ම ක්ෂීරපායි සතෙකු වන වවුලාට පියාසර කළ හැකිය. එහෙත් වවුලාගේ පියාසර කිරීමේ අවයව පක්ෂීන්ගේ මෙන් පියාපත් නොවේ. මේ නිසා වවුලා බාහිර පෙනුමෙන් පමණක් එක් පැත්තකටවත් නොගැලපේ. මේ ආකාරයට පෘෂ්ඨවංශී සතුන් අතර සුවිශේෂී ජෛව විවිධත්වයක් දකින්නට ලැබේ. තාරාවෙකුගේ මෙන් හොටයක් ඇති, උරගයින්ගේ ස්වරූපයේ මෘදු ආවරණයක් සහිත බිත්තර දමන, පැටවුන්ට මව් කිරි සපයන එහෙත් තනපුඩු නොමැති ප්ලැටිපස් නමැති ක්ෂීරපායි සත්ත්වයා මෙහි සඳහන් කළ විවිධත්වයටත් වඩා ඔබ්බට යන එකිනෙකට නොගැලපෙන ගති ලක්ෂණ රාශියක සංකලනයෙන් සැදුම් ලද අපූර්වතම ජීවියෙකු ලෙස සඳහන් කළ හැකිය.
‘ප්ලැටිපස්’ සත්ත්ව ලෝකයේ විකාරරූපී සතෙක්ද ?
ක්ෂීරපායී සතුන් තුළ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සමහර ලක්ෂණ වලට හාත්පසින්ම වෙනස් ගති ලක්ෂණ රාශියක් පෙන්වන ක්ෂීරපායි සතෙකු ලෙස ‘තාරා හොටය සහිත ප්ලැටිපස්’ (duck-billed platypus) සඳහන් කළ හැකිය. මේ සත්ත්වයා. ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර දිගින් පිහිටි වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල සහ දූපතක් වශයෙන් පිහිටි තස්මේනියා ප්‍රාන්තවලට පමණක් ආවේණික ඒක දේශීය (endemic) සත්ත්ව විශේෂයකි. (සටහන බලන්න)
ඕස්ට්‍රේලියා මහාද්වීපයේ වුවද, සීමිත බිම් ප්‍රදේශයක් පමණක් නිජ බිම කරගෙන සිටින ප්ලැටිපස්, අර්ධ ජලජ, මාංශ භක්ෂක සතෙකි. මිරිදිය කඩිති ඉවුරුවල හාරාගන්නා ගුල්වල ජීවත්වන මොවුහු සාමාන්‍යයෙන් 50cm පමණ දිගට වැඩී 2.5 kg පමණ බරකින් යුක්තය. දිය කඩිති පතුලේ ඇති මඩ සහ වැලි, හොටයෙන් අවුස්සා සොයා ගත හැකි ඉස්සන් කකුළුවන්, මිරිදිය බෙල්ලන් සහ කුඩා මත්ස්‍යයින් මොවුන්ගේ ආහාරය වේ. ගැහැණු සතා දින 14 ක පමණ ගර්භණී කාලයකින් පසුව බිත්තර 2ක් හෝ 3ක් දමයි.ආයු කාලය වසර15 පමණ වේ.
සත්ත්ව වර්ගීකරණයට අනුව ප්ලැටිපස්, Ornithorhynchus anatinus යන විද්‍යාත්මක නමින් හැඳින්වේ. ප්ලැටිපස් විද්‍යාත්මකව නම් කිරීමේදීද තරමක ව්‍යාකූල තත්වයක් තිබී පසුව එය නිවැරදි කර තිබේ.
ප්ලැටිපස්ගේ සුවිශේෂී දේහ ලක්ෂණ ගැන සලකා බලන විට මෙවැනි ව්‍යුහයන් සහිත සතුන් සත්‍ය වශයෙන්ම සිටිය හැකිද යන්න පිලිබඳ මවිතයක් පවා හටගැනීම වුවද, සාධාරනීකරණය කළ හැකිය. වරක් මෙම සත්ත්වයා මායාකාරී රැවටිල්ලක් (Fake) ලෙසද සලකා ප්‍රතික්ෂේප කර තිබේ.!
1802 වර්ෂයේදී, කර්නල් ඩේවිඩ් කොලින්ස් නමැති කතුවරයා විසින්, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුල් පදිංචි කරුවන් පිලිබඳ ලියා ඇති පොතක, තාරාවෙකු මෙන් පිහිණීම සඳහා සකස්වූ, පටලයකින් බැඳි පා ඇඟිලි ඇති, ඒවා අග්‍රයේ තියුණු දිග නිය (නඛර) සහිත, සතෙකු පිලිබඳව සඳහන් කර තිබේ. මෙම සත්ත්වයා දියෙහි පිහිණීමට සහ ඉවුරුවල ගුහා හෑරීමටත් අති දක්ෂයෙකු බවද ඔහුගේ නිරික්ෂණ වී ඇත.
“මෙම හැඩරුව ඇති ඌරුමීයා හෝ බීවරයා වැනි වෙනත් සතුන්ට තිබෙන හොම්බ වෙනුවට මෙම අද්භූත ජීවියාට, තාරාවෙකුගේ හොටය වැනි ‘සම් භාණ්ඩ නිෂ්පාදකයෙකු විසින් නිමකරන ලද කෘතීම ස්වරූපයක ආශ්චර්යමත් හොටයක්’ තිබීමද විශේෂත්වයකි”
යනුවෙන් ඔහු වැඩිදුරටත් තම පොතෙහි සඳහන් කර තිබේ.
මේ වකවාණුවේදීම, යම්කිසි සත්ත්ව පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම අද්භූත සත්ත්වයා හඳුනා ගැනීම සඳහා, උගේ හොටයට සම්බන්ධ සම සහ තවත් ශරීර කොටස් යුරෝපයේ විද්‍යාඥයින් පිරිසකට යොමු කරන ලදී. එම විද්‍යාඥයින්ගේ තීරණය වූයේ මේ සත්‍ය ජීවියෙකු විය නොහැකි බවත්, එය සත්ත්ව හමෙන් විවිධ ආකෘති සකස් කරනු ලබන දක්ෂ කලාකරුවෙකුගේ කෘතීම නිර්මාණයක් බවත්, අමුතුම හැඩයේ හොටය වෙනම සකස් කර, ‘බීවරයෙක්’ හෝ ඌරුමීයෙකු වැනි සතෙකුගේ හමට මසා ගැනීමෙන් සකස් කළ ‘කවට උපායක්’ (hoax) බවටත් තීරණය කර එය සමච්චලයට පවා ලක් කළහ.
කෙසේ වෙතත් මෙවැනි සත්‍ය ජීවියෙකු ස්වාභාවිකව සිටින බව සියැසින් දැක තිබෙන සත්ත්ව වේදීහු තම උත්සාහය අත් නොහළහ. එකළ ක්‍රමානුකුලව වර්ධනය වෙමින් පැවති ‘ද්විපද නාමකරණය’ (Binomial nomenclature) ක්‍රමවේදය ආශ්‍රීතව මෙම ගැටලුව විසඳා ගැනීමට ඔව්හු උත්සාහයක් ගත්හ.
ප්ලැටිපස් විද්‍යාත්මකව නම් කිරිමේදීද මත භේදයකට තුඩු දී තිබේ.
ප්ලැටිපස් පිළිබඳ තොරතුරු අනාවරණය වූ මුල් කාලයේදී මෙම ජීවියා විද්‍යාත්මකව වර්ගීකරණය කර නොතිබුණි. මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ අධ්‍යක්ෂකව සිටි ජෝර්ජ් ෂෝ විසින් සාමාන්‍ය භාවිතයේ තිබුණු Platypus යන නාමය ගණ නාමය වශයෙන් ගෙන, හොටයේ හැඩරුව විශේෂයෙන් භාවිත කර ‘තාරාවාගේ වැනි’ අර්ථය ඇති anatinus යන ලතින් වචනය විශේෂ නාමය ලෙසද ගෙන, මෙම සත්ත්වයා Platypus anatinus ලෙස නම් කරන ලදී (Anas යනු ලතින් භාෂාවෙන් තාරාවා වේ.)
.
ප්ලැටිපස්, පැටවා කිරි බී වැඩෙන සතෙකු නිසාත්, ප්ලැටිපස් මවට තම ක්‍ෂීර ග්‍රන්ථි මගින් පැටවුන් සඳහා කිරි නිපදවිය හැකි නිසාත් මොවුහු ස්ථිරවම ක්ෂීරපායීහු වෙති. මිරිදිය කඩිති සහ ජලාශවල ජීවත් වන මෙම සතුන් ජලාශ ඉවුරේ සකස් කර ගත් ගුහා වල ජීවත් වෙති. ගැහැණු සතා ගුහාව තුළ බිත්තර දමන අතර ඒවා පුපුරා පිටතට එනු ලබන පැටව් මවගෙන් කිරි උරා බොති. මවට වෙනත් ක්ශීරපායීන්ට මෙන් තනපුඩු නොමැත. එහෙත් මවගේ උදර ප්‍රදේශයේ විසිරී ඇති ක්ශීරධර පටක ආශ්‍රීතව ඇති ලෝම උරාබොන විට වැගිරෙන කිරි, පැටවාගේ ආහාරය වේ.
මේ ආකාරයට ස්ථීර වශයෙන්ම ක්ෂීරපායි සතෙකු ලෙස හඳුනාගෙන, විද්‍යාත්මකව නම් කිරීමෙන් පසුව, Platypus නම් එම ගණ නාමයම සහිත පැතලි හිසක් සහිත කුරුමිණි විශේෂයක්ද සිටින බව හෙළිවීම නිසා එම , නාමකරණය ගැන විරුද්ධ මත පළ වන්නට විය. මේ නිසා වර්ගීකරණයේ පිළිගත් නීති රීති වලට අනුව, එකම නාමය හෝ නාමයෙන් කොටසක්වත් ජීවීන් දෙදෙනෙකු සඳහා යෙදිය නොහැකිය යන පිළිගැනීම අනුව Platypus යන වචනය මේ ජීවියා විද්‍යාත්මකව නම් කිරීම සඳහා යෙද විය නොහැකි බව පැහැදිලි විය.
මින්පසු වෙනත් මගක් ඔස්සේ ක්‍රියාත්මක වූ විද්‍යාඥයෝ ප්ලැටිපස්ගේ ගති ලක්ෂණ වලට බොහෝ දුරට සමීප, ඕස්ට්‍රේලියාවේ සුලභ, ක්‍ෂිරපායි සත්ත්ව කණ්ඩායමක්ම වන Monotremata නම් ගෝත්‍රයේ Echidna (කූරු ඈයා හෝ කුහුඹු භක්ෂක කූරු ඈයා, spiny anteater) අයත්වන Ornithorhynchus නමැති ක්ෂීරපායි ගණයට Platypus ඇතුළත් කිරීම සඳහා පියවර ගන්නා ලදී.
එහෙත් ප්ලැටිපස්, එම සත්ත්වයාට පමණක් ආවේනික සුවිශේෂී හොටය නිසා Echidna ගෙන් වෙනස් වේ. Echidna සහ Platypus දෙදෙනාම බිත්තර දමන ක්ෂීරපායින් නිසා එකම ගණයකට දැමීම උචිත බව පිළිගැනිණ. මේ නිසා අවසානයේදී ප්ලැටිපස් Ornithorhynchus anatinus ලෙස නම්කිරීමට සිදුවී තිබේ. ග්‍රීක් භාෂාවේ ornith- ('bird') සහ rhúnkhos ('snout') සහ ලතින් භාෂාවේ anatinus ('duck-like') යන අදහස ලබාදෙන, වචන භාවිත කර මේ ආකාරයට නම් කිරීම සුදුසුයයි පිළිගන්නා ලදී. මේ නිසා පොදු ව්‍යවහාරයේදී මෙම සත්ත්වයා "duck-billed platypus". ‘තාරා හොට සහිත ප්ලැටිපස්’ ලෙස නම් කිරීමටද තීරණය කර තිබේ. වර්ගීකරණය සහ නාම්කරණයේදී භාවිත කරන ලද ඉහත දක්වා ඇති සියලුම විද්‍යාත්මක කරුණු සම්පිණ්ඩනය කිරීමෙන් පසු, ප්ලැටිපස් ජීවියා, සත්ත්ව රාජධානියේ ගන්නා ස්ථානය මෙසේ දැක්විය හැකිය.
ප්ලැටිපස් මහත් ආශ්චර්යමත් සතෙකු ලෙස ගැණෙනුයේ ඇයි?
මව විසින් බිහිකරන පැටවුන් කිරි බී වැඩෙන නිසා ප්ලැටිපස් ක්ෂීරපායි සතෙකි. මොවුන්ගේ ශරීරයද ලෝම වලින් වැසී තිබීමද ක්ෂීරපායි ලක්ෂණයකි. එහෙත් ක්ෂීරපායි මව් සතෙකුට තිබෙන කිරි වැගිරෙන ‘තන පුඩු’ ප්ලැටිපස්ට නොමැත.
ක්ෂීරපායී සතුන්ට පිටතට නොරා සිටින හොම්බක් තිබෙන අතර ප්ලැටිපස්ට ඇත්තේ තාරාවෙකුගේ වැනි හොටයකි.මෙය ඉතාමත් සුවිශේෂී ලක්ෂණයකි.
සාමාන්‍ය ක්ෂීරපායීහු බිත්තර නොදමති. එහෙත් ප්ලැටිපස් බිත්තර දමයි. එම බිත්තර උරගයින්ගේ බිත්තර මෙන් මෘදු පටලයකින් ආවරණය වේ. (එහෙත් තාරාවා පක්ෂියෙකු නිසා උගේ බිත්තර ඝන බිඳෙනසුලු කටුවකින් වැසී තිබේ).
ක්ෂීරපායි සතෙකුගේ මුඛයේ දත් තිබේ. ක්ෂීරපායි හොම්බට අනුරුප ප්ලැටිපස්ගේ ‘හොටයේ’ දත් නොමැත.
ප්ලැටිපස්ට මුඛයේ දත් වෙනුවට ඇති ඝන කෙරටින් තට්ටුවක් සහිත තහඩු වැනි ව්‍යුහ මගින් ආහාර හපා අඹරා ගැනීම සිදුවේ.
ප්ලැටිපස්ගේ ‘හොටයේ’ දහස් සංඛ්‍යාත විද්‍යුත් තරංග සංවේදී සෛල ඇත. මේවා මගින් වෙනත් සතුන් විසින් නිකුත් කරනු ලබන සියුම් විද්‍යුත් තරංග ලබා ගැනීමෙන්, ඔවුන්ට තමන්ගේ ආහාර පහසුවෙන් සොයා ගත හැකිය.
ක්ෂීරපායීන් අතර විෂ සහිත සතුන් ඉතා විරලය. සාමාන්‍යයෙන් සමහර සර්ප විශේෂ වල විෂ දළ දකින්නට ලැබේ. ප්ලැටිපස් පිරිමි සතාගේ පසුපාදවල කුහරය සහිත එක් නඛරයක් විෂ සහිතය. විෂ සහිත නඛරයක් තිබීමද උරග ලක්ෂණයකි.
ප්ලැටිපස්ගේ පටලයකින් එකට බැඳී ඇති ඇඟිලි සහිත පෙර පාද තාරාවෙකුගේ මෙන් ජලයේ පිහිනීම සඳහා භාවිත කරයි. ජලාශ ඉවුරේ ගුල් හාරන විට මෙම පටලය සංකෝචනය වී ඇඟිලි අග ඇති තියුණු නඛර පිටතට නෙරා අවුත් හෑරීම පහසු වීම සුවිශේෂී ලක්ෂණයකි.
බීවරයා වැනි වෙනත් ජලජ ක්ෂීරපායීහු තම වලිගය වැඩි වශයෙන් පිහිනීම සඳහා භාවිත කරති. එහෙත් ප්ලැටිපස්ගේ වලිගය මේදය සංචිත පටකයක් ලෙස ක්‍රියා කරයි. එසේම බිත්තර රැකීමේදී උණුසුම් ආවරණයක් ලෙසද වලිගය ක්‍රියා කරයි.
ප්ලැටිපස්ගේ සම්පූර්ණ DNA ගොනුව, 2008 වර්ෂයේදී විමර්ශනය කර ඇති අතර, එමගින් මෙම සත්ත්වයා තුළ උරග, පක්ෂි සහ ක්ෂීරපායි යන සත්ත්ව වර්ග සියල්ලේම ජාන මුසුවක් තිබෙන බව නිගමණය කර තිබේ.
මෙතරම් ආශ්චර්යමත් ගති පැවතුම් සහ අද්විතීය ලක්ෂණ සහිත ප්ලැටිපස්ට ඕස්ට්‍රේලියාවේ ස්වභාව විද්‍යාඥයින් අතර සුවිශේෂී ස්ථානයක් ලැබී තිබේ. ඒ සමගම වෙනස් මගක් ඔස්සේ සිදුවී ඇති ඕස්ට්‍රේලියානු ජෛව පර්ණාමයේ සංකේතාත්මක ජීවියෙකු ලෙසද ප්ලැටිපස් සඳහන් කර තිබේ. දශක නවයකට පෙර (1934) ඕස්ට්‍රේලියාවේ නිකුත් කරන ලද මුද්දරයක සහ 1984 වර්ෂයේ නිකුත් කර ඇති ඩොලර් එකක වටිනාකම ඇති කාසියේද ප්ලැටිපස්ගේ සටහන පැහැදිලිව පෙන්වා තිබේ. මෙයට අමතරව ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ වැනි උත්සව අවස්ථාවලදී ජයග්‍රහණයේ සංකේතයක් ලෙසද ප්ලැටිපස් ආකෘති භාවිත කරනු දකින්නට ලැබේ.
2020 වර්ෂයේදී පරිසර සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් ප්ලැටිපස් වඳවීමේ තර්ජනයට ඉතා ආසන්න තත්වයේ සිටින සතෙකු බව එම සංගමයේ රතු දත්ත පොතෙහි දක්වා තිබේ. මෙම සතුන් පරිසර දූෂණය, වාසස්ථාන අහිමිවීම, දඩයම් කිරීම වැනි හේතු නිසා ඉහත තර්ජනයට මුහුණ පා ඇති බැවින්, සංරක්ෂණ කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාවය අදාළ බලධාරීන්ට පෙන්වා දී තිබේ.
ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම වාගේ ඇති සත්වෝද්‍යාන වල, ඉතාමත් සුරක්ෂිත අන්දමට සකසන ලද සෑම අතින්ම එම සතුන් සඳහා යෝග්‍ය පරිසර පද්ධති වල ප්ලැටිපස් කිහිප දෙනෙකු බැගින් අධ්‍යයන කටයුතු සඳහාත් මහජන ප්‍රදර්ශනය සඳහාත් ඉඩකඩ සලසා තිබේ. මෙම කෘතීම වාසස්ථාන වල ඇතිකරන ලද ප්ලැටිපස් සතුන්ගේ අභිජනනය මගින් ද කිහිප වරක්ම සරු ජනිතයින්ද බිහිකර ඇති බවද වාර්තා වේ.
21.06 2022
ela
ReplyDeleteස්තුතියි මෙන්ඩා !
Delete"එල ද බ්‍රා" ගේ ela එකටත් අදිසි ' බ්‍රා ' එකටත් මගේ ප්‍රණාමය
+++++++++++
ReplyDeleteThank you. Pra Jay.
Delete+++++++++++👌
ReplyDeleteThank you for your silent comment using a long 'fence'
ReplyDeleteWho? Who? Hoot....You are welcome.😉
Delete- A creature of "few" words -
Who? Who? Hoot.....! Sharp vision and abundance of Wisdom
Deleteතාරා හොටැති ප්ලැටිපස් කියන නම පින්තූර පොත්වල හරි කොහෙ හරි කියවලා හොඳ මතකයක් තිබ්බා.. මේක කියෙව්වම නිකන් පොඩි කාලේ ඉඳල දන්න කෙනෙක්ව කාලෙකට පස්සේ හරියට අඳුන ගන්න ලැබුනා වගේ ආසාවක් ඇති උනා. ස්තූතියි දයා වී මහත්මයා!
ReplyDeleteස්තුතියි කල්‍යාණ මිත්‍ර, ඔබගේ කොමෙන්ටුව දුටු ගමන්ම මටත් ඒ වගේම හැඟීමක් ඇති උනා. දැනට අවුරුදු පහකට හයකට උඩදී සිට වරින් වර මේ මාධ්‍යයෙන් හමුවී අදහස් උදහස් හුවමාරු කරගත් අප නැවත වරක් මෙසේ අහම්බෙන් වගේ හමුවීමත් ඔබගේ ප්ලැටිපස් හමුවීම වගෙයි. කාලෙකට ඉස්සර ඉගෙන ගනිද්දීත් පසුව ඉගැන්වීමේදීත් ප්ලැටිපස් දුටුවේ පින්තූර වලින් පමණයි. ඒ උනත් මෙහෙ ආවාට පස්සේ ඔවුන් සියැසින් දැක බලා ගැනීමේ වාසනාව ලැබුණා .
Deleteela
ReplyDeleteඔයාගේ බ්ලොග් එක අපේ සින්ඩිකේටරයට එකතු කරන්න https://sithuvili.net
ස්තුතියි
ReplyDeleteඅකමැත්තක් නැහැ. එකතුකර ගන්න.
(පරක්කු වෙලා උනත්), මේ තරම් විස්තර සහිත පෝස්ට් එකක් ලිව්වට ස්තුතියි කියන්න ඕනෙ වුනා.
ReplyDeleteස්තුතියි. පරක්කුවක් නැහැ ලෝටස්.
ReplyDeleteඇත්තටම මේ විස්තර සොයා ගැනීමට විමර්ෂණ රාශියක් කරන්නට සිදුඋනා. ඒක දේශික (Endemic) සත්ත්ව විශේෂයක් යන්න පැහැදිලි කිරීමට මට අවශ්‍ය වුවා. ඒ සමගම ප්ලැටිපස් මේ රටේ (ඕස්ට්‍රේලියාවේ) සිටින ක්ෂිරපායි සතෙකු වුවත්, අනිකුත් පෘෂ්ඨවංශීන් වන මත්ස්‍ය, උභයජීවී, උරග සහ පක්ෂි ලක්ෂණද ස්වල්පය බැගින් ඇති අද්භූත ගති ලක්ෂණ ගැනද අවබෝධයක් ලබාදීම මාගේ උත්සාහයයි. ඔබද එයින් දැනුවත් වූවානම් එය මට මහත් සතුටක්.
හොඳ ලිපියක්. ප්ලැටිපස් කියන නම දැම්මේ කවුද එතකොට? මේ සතා ඩාවින් ගේ පරිණාමවාදයේ මැද ඉන්න එකෙක් වගේ. මුදෙන් එලියට එන මතස්‍යයෙකුගේ ගති ලක්ෂණ ෆිනන්න පුළුවන් විධිහේ ඊට පස්සේ උරගයෙක් වෙන්න ගිහින් එහම නොවී කුරුල්ලෙක් වෙන්න ගිහින් එහමත් නොවී මැද හිර වෙච්ච සතෙක්.
ReplyDeleteස්තුතියි අජිත්,
ReplyDelete/ප්ලැටිපස් කියන නම දැම්මේ කවුද එතකොට? /
1799 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවෙන් ලබාගත් ‘ප්ලැටිපස්’ සංස්කරණය කරන ලද සාම්පලයක් වැඩිදුර අධ්‍යයන සඳහා මහා බ්‍රිතාන්‍යයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයට යවා තිබෙනවා. එහි සිටි බොහෝ විද්‍යාඥයින් එය බීවරයෙක්’ හෝ ඌරුමීයෙකු වැනි සතෙකුගේ හමට මසා ගැනීමෙන් සකස් කළ ‘කවට උපායක්’ (hoax) බවටත් තීරණය කර එය සමච්චලයට පවා ලක් කර තිබෙනවා. එහෙත් මෙම ආයතනයේ අධ්‍යක්ෂකව සිටි ජෝර්ජ් ෂෝ විසින් එහි අද්විතීය ලක්ෂණ සියල්ලම ස්වාභාවික බව ඔප්පු කර තිබෙනවා. පසුව ග්‍රීක් භාෂාවේ ‘platys’ (meaning flat or broad) සහ “pous” (meaning foot) යන වචන භාවිත කර ‘platypus’ යන නම යොදා තිබෙනවා. පසුව ද්විපද නාමකරණයෙදී මෙය ගණ නාමය ලෙස යොදාගෙන තිබෙනවා. ඊළඟට මේ අමුතු සතාට තාරාවෙකුගේ හැඩරුව තිබෙන නිසා ලතින් භාෂාවේ, duck-like (“anatinus”) යන යෙදුම විශේෂ නාමය ලෙස යොදා ගත්තා. ඒ උනත් මීට කලින්ද පැතලි ශරීරය සහිත කුරුමිණි ගණයකටත් ‘Platypus’ නාමය යොදා ඇති බැවින් පසුව එය ඉවත් කර ගෙන තිබෙනවා
ඕස්ට්‍රේලියාවේ ඇබොරිජිනල් ආදීවාසී ගෝත්‍ර විසින් මෙම සත්ත්වයා “boondaburra”, “mallingong” සහ “tambreet” යන විවිධ නම් වලින් හඳුන්වා තිබෙනවා. ආදිවාසී ජනකථා අනුව, තරුණ ‘තාරාවියක්’ එම ජලාශයේම ජීවත්වූ තරුණ ‘ජල මීයෙකුගේ’ ග්‍රහණයට හසුවී සිරකරගෙන තිබෙනවා. පසුව එම මීයාට දාව තාරාවිය දැමු බිත්තර වලින් මේ අරුම පුදුම පැටවුන් හටගෙන තිබෙනවා. ඔවුන්ට මවගේ හොටය සහ දැලකින් බැඳුනු පාද ලැබී ඇති අතර, පිය මීයාගෙන් පාද සතර සහ ශරීරය පුරා ඇති දුඹුරු පැහැති ලෝම ලැබී තිබෙනවා.
බොහෝ ආදිවාසීන් තවමත් මේ අදහස විශ්වාස කරනවා.
ඉහත විස්තරයේ "සංස්කරණය" යන වචනය "සංරක්ෂණය" ලෙස නිවරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.
ReplyDelete