Tuesday 19 July 2022

ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි

 ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි

    පෘථිවි ජෛව ගෝලයේ මුලින්ම හටගන්නා ලද  ජීවීහු  ජලයේ ජීවත්වූ  ඒක සෛලීකයෝ  වූහ. ජලයේ තිබුණු  වෙනත්  ස්වාභාවික ද්‍රව්‍ය අතර සිදුවූ  රසායන ප්‍රතික්‍රියා වලින් ලැබුණු  අතුරුඵල මොවුන්ගේ ආහාරය විය. මෙසේ වසර මිලියන ගණනක් යාමේදී, මෙයින් එක් ජීවී කොට්ඨාශයක් තුළ,  හිරු එළියෙන් ලැබෙන කිරණ ආශ්‍රීතව ශක්තිය ලබාගැනීම සඳහා උපයෝගී කරගත හැකි හරිතප්‍රද (chlorophyll) නමැති කොළ පැහැති, සංකීර්ණ රසායනික සංයෝගයක් හටගත්තේය. මේ නිසා මොවුනට තම පෝෂණය සඳහා සූර්ය ශක්තිය ආධාර කර ගනිමින්, ජලයේ ද්‍රාව්‍ය වී හෝ වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ්  වායුවද   භාවිත කර, ආහාර නිපදවා ගතහැකි විය. මෙම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණයයි  (photosynthesis). 

තවත් කල්යාමේදී, තමන්ට තම ආහාර නිපදවා ගත නොහැකි, දෙවන කොට්ඨාශයේ ජීවීන්ට, හරිතප්‍රද සහිත ජීවීන් සහ ඔවුන්ගේ අතුරු ඵල, තම ආහාර වශයෙන් ගැනීම සඳහා අනුවර්තන ඇති  විය. මෙසේ වසර මිලියන ගණනක් මුළුල්ලේ විකසනය වෙමින්, බහු සෛලීකයින් වූ ජීවින් හටගෙන තිබේ. මේ ආකාරයට තම ආහාර නිපදවා ගත හැකි ජීවී කොට්ඨාශය ශාක රාජධානිය ලෙසත්   තම ආහාර නිපදවා ගත නොහැකි  දෙවන කොට්ඨාශය  සත්ත්ව රාජධානිය ලෙසත්  නිර්මාණය වී තිබේ. 

මෙම දෙකොටසටම අයත් නොවන බැක්ටීරියා, දිලීර, වැනි ජීවින්, අයත්වන ප්‍රාග් ජීවී යන අර්ථය ඇති Protista නම් ජීවී රාජධානියක්ද ඇත. (මෙහිදී අපගේ සැලකිල්ලට භාජන වනුයේ ශාක සහ සත්තු පමණකි.)

අපගේ පියවි ඇසට පෙනෙන සාමාන්‍ය ජීවීන්ගේ (ශාකවල  සහ සතුන්ගේ)  ප්‍රජනන ක්‍රම දෙකක් හඳුනාගෙන තිබේ. මේවා නම් අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනයයි. ජන්මාණු සම්බන්ධයක් නොමැතිව සිදුවන අලිංගික ප්‍රජනනය වර්ධක ප්‍රජනනය ලෙසද හැඳින්විය හැකිය. සමහර ශාකවල අතු කැබලි, භූගත කඳන්, මුල් වැනි කොටස් වලින්  මේ ආකාරයට අලුත් ශාක ලැබේ. එමෙන්ම ඇමීබා වැනි එක සෛලීය සතෙකුට දෙකඩ වී නව සතුන් දෙදෙනෙකු නිර්මාණය කල හැකිය.

ශාක සහ සතුන්ගේ ප්‍රධානතම ප්‍රජනන  ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනයයි. මෙහිදී පුං (male) සහ ජායා (female) ජන්මාණු එකතු වී සෑදෙන යුක්තාණුව  (zygote) මගින් හටගන්නා,  නව ජනිතයෙකු  මගින්, ඊළඟ පරම්පරාව සකස් වේ. ශාකවල ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය සිදුවනුයේ පුෂ්ප මගින්ය. බොහෝ විට එකම පුෂ්පයේ  පුං සහ ජායා අවයව දෙවර්ගයම පිහිටා තිබේ. පුෂ්පයක රේණු මත හටගන්නා පරාගවල  පුං ජන්මාණු සෑදෙන අතර, එහි ඩිම්බ කෝෂය තුළ, ජායා ජන්මාණු  වන ඩිම්බ හටගනී.

පුෂ්පයක පරාග වල ඇති පුං ජන්මාණුවක් ඩිම්බ කෝෂය තුළ ඇති ජායා  ජන්මාණුවක් සමග එකතුවීම සංසේචනයයි (fertilisation). මෙම සංසේචනය සඳහා පරාගණය සිදුවිය යුතුය. සාර්ථක පරාගණයකදී එක් ශාක පුෂ්පයක හටගන්නා  පරාග, එම විශේෂයේම වෙනත් ශාක පුෂ්පයක කලංකය මතට සංක්‍රමණය විය යුතුය. මෙය පරාගණයයි (pollination). පුෂ්ප පරාගණය කිරීමේ කාර්යය බහුලවම සිදු වනුයේ සමනලයින්, මී මැස්සන් වැනි කෘමින් මගින්ය. පෘථිවියේ සපුෂ්ප ශාක හටගත් අවදියේ සිටම, ඒවා පරාගණය කිරීම සඳහා විවිධ කෘමීන් විවිධ ආකාරයට අනුවර්තනය වී තිබේ. එසේම පරාගණය සඳහා කෘමින් ආකර්ෂණය කර ගැනීම සඳහාද පුෂ්ප විවිධ ආකාරවලට අනුවර්තනය වී ඇත. පුෂ්ප විවිධ වර්ණ සහිත වීම, මල්පැණි තිබීම, සුගන්ධය වැනි අනුවර්තන නිසා කෘමිහු  පුෂ්ප කරා ඇදී යති. කෘමියෙකුගේ ඇඟෙහි තැවරුණු එක් පුෂ්පයක පරාග, එම කෘමියා තවත් පුෂ්පයකට ගිය විට එහි බාහිරව පෙනෙන කලංකයේ පතිතවීම පරාගණයයි.

                        

මෙසේ පතිත වන පරාගයක් එහි ඇති ද්‍රව මාධ්‍යය තුළ විකසනය වී සුවිශේෂී නාලයක් හටගනී. මෙම නාලය  ඔස්සේ ගමන් කරන, පරාගයේ ඇති පුං ජන්මාණුවක් ඩිම්බකෝෂය හරහා ගොස් පරිණත ඩිම්බයක් සංසේචනය කරයි. මෙහිදී පරාගණය සිදු කරනු ලබන කෘමියා නොදැනුවත්වම කරනුයේ ශාකයේ ඉදිරි පැවැත්ම සඳහා ලිංගික ප්‍රජනනය සිදුවීම සඳහා ඉතා වැදගත් මෙහෙවරකි. මේ වෙනුවෙන් කෘමින් සඳහා ‘මධු විතකින්’ (මල්පැණි) සංග්‍රහයක් කිරීමට පුෂ්ප සැදී පැහැදී සිටින බවද  දකින්නට ලැබේ.

සාර්ථක සංසේචනයකින් පසු ඩිම්බ කෝෂය තුළ බීජ හටගනී. මෙම  බීජ පරිණත වූ පසු ඒවා නව පරම්පරාවක් සඳහා ජීවය සැපයීමට සමත් වෙති.

එසේ වෙතත් ශාකවල පුෂ්ප හටගන්නා තරමටම ඵල හෝ ගෙඩි හට නොගන්නා බවද දකින්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, අඹ ගසක් ගතහොත්, එහි මල් හටගන්නා මාර්තු, අප්‍රියෙල් මාසවලදී මුළු ගසම කුඩා මල් ලක්ෂ ගණනකින් පිරී යයි. මෙම මල් වලින් විශාල ප්‍රමාණයක් දුඹුරු පැහැ වී වැටෙන බව ඔබ දැක ඇත. එසේම ටික දිනකදී ඩිම්බ සංසේචනය වී සෑදී ඇති ලපටි නොමේරු කුඩා අඹ ගෙඩි දහස් ගණනක්ද  ගස යට වැටේ. අවසානය්දී පරිණත වනුයේ සාපේක්ෂව අඹ ගෙඩි සුළු සංඛ්‍යාවක් පමණකි. 

මේ ගැන තරමක් දුරට සිතා බැලුවහොත්, මේ සිදුවනුයේ ශාකයේ ඉදිරි ගමනට අවශ්‍ය ජන්මාණු වලින් නිර්මාණය වූ ඵල අපතේ යාමක් නොවේද යයි කෙනෙකුට ප්‍රශ්න කළ  හැකිය. සෑම පුෂ්පයකින්ම ඵලයක් හෝ බීජ හට නොගනී. සියලුම සපුෂ්ප ශාකවල දකින්නට ලැබෙන මෙම සංසිද්ධිය සාධාරණීකරණය කළ හැකිද? බැලූ බැල්මට සාධාරණීකරණය කළ නොහැකි බව පෙනේ. එසේනම් ලොව පුරා ඇති සෑම සපුෂ්ක ශාකයක්ම ලක්ෂ සංඛ්‍යාත පුෂ්ප වලින් බරවී, ලොවට හඬගා කියමින් සිටින මේ පණිවුඩය කුමක්ද? 

ශාක වල සිදුවන මෙම ක්‍රියාවලිය මහත් ආශ්චර්යමත් සංසිද්ධියකි. විවිධ වර්ණවලින්, හැඩයෙන් සහ සුගන්ධයෙන් සපිරුණු පුෂ්ප තනි තනිව හෝ මංජරි වශයෙන් දකින්නට ලැබේ. එසේම විවිධ හැඩහුරුකම් වලින් යුක්ත සමනළ, මීමැසි වැනි කෘමින්, ලොව සිටින විශාලතම ජීවී කොට්ඨාශය වශයෙන් පෙනී සිටිති. පරිසරයට විවිධත්වයක් සහ චමත්කාරයක් ගෙන දෙන පුෂ්ප සහ කෘමින් යන ජීවී ප්‍රභේද දෙකෙන් මුළු ලෝකයේම සිටින සමස්ත ජීවී සංහතියේම පැවැත්ම සඳහා ආහාර සපයමින් විශාල  මෙහෙවරක් කරන බවද  දකින්නට ලැබේ.

සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියේද මූලික ක්‍රියාදාමයන්, ශාක වල ඉහත විස්තර කරනලද ලිංගික ප්‍රජනනයට බොහෝ දුරට අනුරූප වේ. ඒ සමගම එය වඩ වඩාත් සංකීර්ණ වේ. මේ සංකීර්ණ භාවයේ උපරිමයට පැමිණ සිටින මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලියේ ඇති මහත් ආශ්චර්යමත් භාවය ගැනද මඳක් විමසිලිමත් වීම වැදගත්ය. 

මිනිස් ජීවියාගේ ස්ත්‍රී ලිංගිකයෝ  සහ පුරුෂ ලිංගිකයෝ වෙන වෙනම සිටිති. මොවුන්ගේ ජන්මාණු නිපදවනුයේ ශරීර අභ්‍යන්තරයේ පිහිටි සුවිශේෂී අවයව වලය. ස්ත්‍රී ජන්මාණු නොහොත් ඩිම්බ හටගනුයේ  ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂ වලය. පුං ජන්මාණු නොහොත් ශුක්‍රාණු හටගනුයේ පුරුෂයෙකුගේ වෘෂණ තුළය.

ස්ත්‍රී-පුරුෂ ලිංගික එක්වීමේදී ස්ත්‍රියගේ ඩිම්බ කෝෂයෙන් මුක්ත වන  ඩිම්බයක් පුරුෂයාගේ වෘෂණයෙන් නිකුත් වන ශුක්‍රාණුවක් සමග සම්බන්ධවී සංසේචනය සිදුවීමෙන් හටගන්නා යුක්තාණුව ගර්භාෂයේ තැන්පත්වී,  කළලයක් නිර්මාණය කරයි. කළලයේ සෛලවල ඇති වර්ණදේහ සංයුතිය අනුව බිහිවන දරුවා පිරිමි හෝ ගැහැණු භාවය ලබයි. මෙම ක්‍රියාවලියේද සරල බවක් පෙන්නුම් කරනු ලැබුවද, එහි අහඹුතාවය පිළිබඳව ඉමහත් සංකීර්ණ බවක් ඇත. ස්වාභාවිකව, වර්ගයාගේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය ජනිතයින් නිර්මාණය වීමේ මෙම ක්‍රියාවලියේදීද, ශාක පිළිබඳව කලින් සඳහන් කළ ආකාරයට, නව ජනිතයින් බිහිකිරීමේ භව්‍යතාව ඇති  ජන්මාණු අපතේ යාමක් සිදුවේද? එසේ වන්නේ නම්, ඒ මගින් ස්වභාව ධර්මය අපේක්ෂා කරනුයේ කුමක්ද යන්න සොයා බැලීමද උචිතය.

කුඩා ළදැරියක් උපත ලබන විටදීම ඇයගේ ඩිම්බ කෝෂ සකස්වී අවසන්ය. අනාගතයේදී පරිණත වීම සඳහා විභව්‍ය භාවයකින් යුක්ත නොමේරු ඩිම්බ සෛල මිලියන දෙකක් පමණ දැරියගේ ඩිම්බ කෝෂ තුළ අන්තර්ගතවේ. දැරියගේ වර්ධනයත් සමග ඩිම්බ සෛල විශාල ප්‍රතිශතයක් රෝධනය වී, ඇය වැඩිවිය පැමිණෙන අවස්ථාව වන විටද  ඩිම්බ සෛල ලක්ෂ තුනක් පමණ ඩිම්බ කෝෂ වල ඉතිරිවේ. මෙයින්ද පරිණත ඩිම්බ වශයෙන් විකසනය වනුයේ ඉතාමත් අඩු ප්‍රතිශතයකි. 

ස්ත්‍රියකගේ ප්‍රජනන සරු (වැඩිවිය පැමිණීමේ සිට ආර්තවහරණය දක්වා) කාලය තුළදී  පරිණත ඩිම්බ සෛල හාරසියයක් පමණ මුදාහැරේ. සාමාන්‍යයෙන් එක් ඔසප් චක්‍රයක් තුළදී, එක ඩිම්බය බැගින් මුදාහැර, ඔසප් චක්‍රය අවසාන කාලය වන විට ඩිම්බ රෝධනය ඉතා ඉක්මණින් සිදුවී ආර්තවහරණයත් සමග සියලුම ඩිම්බ සෛල රෝධනය වී යයි. මිලියන ගණනක් වශයෙන් ආරම්භ වන ඩිම්බ සෛල මෙතරම් ප්‍රතිශතයක් රෝධනය වීම අපතේ යාමක් ලෙස සැලකිය නොහැක්කේද?

ඩිම්බ සංසේචනය සඳහා ශුක්‍රාණු නිපදවනු ලබන  සාමාන්‍ය වැඩිහිටි පිරිමියෙකුගේ එම නිෂ්පාදන ක්‍රියාවලියද  කෙනෙකු මවිතයට පත්කරවන සුළු වේ. පිරිමියෙකුගේ ජන්මානු වන ශුක්‍රාණු නිපදවනු ලබන්නේ වෘෂණ කෝෂ තුළය. ඔහුට තම ප්‍රජනන සරු කාලය තුළදී ශුක්‍රානු බිලියන 525 පමණ නිපදවිය හැකියයි ගණනය කර තිබේ. මේ අනුව  සාමාන්‍යයෙන් මසකට ශුක්‍රාණු බිලියන 15 ක්  පමණ නිපදවේ. එසේම නිරෝගී පුද්ගලයෙකුට එක් මෝචනයකදී ශුක්‍රාණු මිලියන 200  ක් පමණ මුක්ත කළ හැකිය.  

එක තේ හැන්දක ප්‍රමාණයේ  පරිමාවක, ශුක්‍රාණු මිලියන දෙසියයක් පමණ තිබිය හැකිය. මේ සියල්ලම කෙසේ වෙතත් අඩුම වශයෙන් මෙයින් හරි අඩක්වත් සංසේචන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සමත් පුං ජන්මාණු වේ. මේ අතින් සලකා බලන කළ පුං ජන්මාණු නාස්තිය සහ අපතේ යාම,  ස්ත්‍රියකගේ ජායා ජන්මාණු අපතේ යාම මෙන් සිය දහස් ගුණයකි. මේ සියලුම ස්වාභාවික සිදුවීම් ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් සොබා දහමේ ඉතාමත් සොඳුරු, විවිධත්වය සහ සමතුලිතතාව සුරැකීම පිලිබඳ සංකල්ප කිහිපයක අඩිතාලම කරා ළඟාවිය හැකිය.

කලකට පෙර ලොව ඉතා ජනප්‍රිය වූ  The Meaning of Life. නම් විකට චිත්‍රපටයට පාදක වූ පොතෙහි පුං ජන්මාණුව පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ. Every sperm is sacred, Every sperm is great, If a sperm is wasted, God gets quite irate (සෑම පුං ජන්මාණුවක්ම පූජනීය වේ, බලවත් වේ, යම් හෙයකින් පුං ජන්මාණුවක් නාස්තිවේ නම්  එයට දේව අනුමැතිය නොලැබේ) මේ ආකාරයට  පූජනීය බවක්  හඟවන්නේ එය ජීවයේ ආරම්භය නිසා විය හැකිය.

‘ජීවයේ මුලික ඒකක’ වන ජන්මාණු වල මෙවැනි මහා පරිමාණයේ නාස්ති වීමක් හෝ අපතේ යාමක් ගැන සොබා දහම ඇස් කන් පියාගෙන සිටින්නේද යන්න මඳක් සොයා බැලීම වටින්නේය.

මෙය සාධාරණීකරණය කිරීම සඳහා හේතු රාශියක් තිබේ.                                                                    පියවි ඇසට නොපෙනෙන, අන්වීක්ෂයක ආධාරයෙන් පමණක් දැකිය හැකි, ඉතා කුඩා ශුක්‍රාණුවකට ඩිම්බයක් හමුවීම සඳහා ගර්භාෂයේ ඉහලම කෙලවරට යාමට සිදුවේ. මිලිමීටරයකින් විස්සෙන් එකක්  (0.05 mm) පමණ ප්‍රමාණයෙන් යුක්ත ශුක්‍රාණුවකට ඩිම්බයක් හමුවීම සඳහා සෙන්ටිමීටර් දහඅටක්, විස්සක්  පමණ දුරක් යාමට සිදුවේ. ශුක්‍රාණුවේ දේහ ප්‍රමාණය සමග සසඳා බලනවිට සංසේචනය සඳහා එය ගමන් කළයුතු දුර ප්‍රමාණය අති විශාලය. එය විශ්වාස කළ නොහැකි තරමේ, දුරකින් යුත් ගමන් මගකි. මෙම දුර ප්‍රමාණය, ශුක්‍රාණුවේ දේහ ප්‍රමාණය මෙන් හාර දහස් ගුණයක් පමණවේ. ශුක්‍රාණුවේ ගමන් මග තරලමය මං පෙතක් නිසා, මෙය දක්‍ෂ පිහිණුම් කරුවෙකු සහභාගිවන, සැතපුම් දෙකක්, ගඟක උඩුගං බලා පිහිණීමේ, තරඟයකට සම  කළ හැකිය. ශුක්‍රාණුව උඩුගං බලා පිහිනා යන මෙම 'ගඟෙහිද' ගල්පර, රොඩු බොරොඩු, වක්කලම්, දිය සුළි  වැනි තවත් බාධකද බෙහෙවින් තිබේ. මේ නිසා පිහිනා යාම අතිශයින් දුෂ්කරය. තරඟය සඳහා තවත් 'අයද' රාශියක් සිටින නිසා ඉඩකඩද සීමා සහිතය. 

මෙහි දැක්වෙන  ස්ත්‍රී  ප්‍රජනන පද්ධතිය රූප සටහනේ විවිධ කොටස් ගැන විමසිලිමත් වීමෙන් මෙය තේරුම් ගත හැකිය. ශුක්‍රාණුවල  දුෂ්කර ගමන් මග පිලිබඳ අධ්‍යයනයක යෙදුනු  එක්තරා කළල විද්‍යාඥයෙකු, මෙම තරඟය සඳහා ඇති බාධක විස්තර කරනුයේ මෙසේය. 

  • හිතකර තත්ත්ව යටතේ ශුක්‍රාණුවක ආයු කාළය පැය පනහකට පමණ සීමාවේ.

  • යෝනි මාර්ගයේ පවතින ආම්ලික භාවය නිසා එයට ඇතුල්වන, ආරම්භක ශුක්‍රාණු  මිලියන දෙසියයක්  පමණ වන සංඛ්‍යාවෙන්  විශාල ප්‍රතිශතයක් අක්‍රීය බවට පත්වී, මිලියන දෙකක් පමණ ඉතිරි වේ.

  • ගැබ් ගෙල අසලට පැමිණෙන සක්‍රීය ශුක්‍රාණු, එහිදී මහත් සෝදිසියකට ලක්  කෙරේ. කුමන ආකාරයක සුළු විකෘති බවක් හෝ ඇති ශුක්‍රාණු, මෙහි ඇති ශ්ලේෂ්මල පටල මගින් පෙරා, වහා තරඟයෙන් ඉවත් කෙරේ.

  • එම සෝදිසියෙන් පසු සුදුසුයයි තීරණය වන ශුක්‍රාණු මිලියන එකක් පමණ ගැබ් ගෙළ පසුකර ඇතුල් වේ.

  • මේ  වන  විට මහත් විඩාවට පත්වී ඇති ශුක්‍රාණු  වලින් දස දහසකට පමණ ගර්භාෂයේ ඉහලට ගමන් කිරීමට වරම් ලැබේ. මෙයින්ද අඩක් පමණ නිසිමග සොයා ගැනීමට නොහැකිව අතරමං වේ.     

 

  • ඉතිරි ශුක්‍රාණු වලින් දහසකට පමණ සංසේචනය සිදුවන නාල අසලට යාමට අවස්ථාව ලැබේ.

  • අවසානයේදී ශුක්‍රාණු දෙසියයක්   පමණ  සංසේචනය සඳහා සුදානම්ව තිබෙන  ඩිම්බය අසලට සේන්දු වී  එය වටා රොක් වේ.

  • එහිදී ඇතිවන මහත් තරඟකාරී සටනින් ජයගන්නා එක්  ශුක්‍රාණුවක් පමණක් ඩිම්බයට ඇතුළ්වී එය සංසේචනය කරයි.

  • මෙය සිදුවූ වහාම, සංසේචිත ඩිම්බය වටා ආරක්‍ෂිත පටලයක් සකස් වේ.

  • තරඟයේදී පරාජය වූ අන් සියලුම ශුක්‍රාණු එහිදී රෝධනය වී යයි. 

මේ අතරම  ඩිම්බ කෝෂයෙන් මුක්ත වී, සංසේචනය බලාපොරොත්තුවෙන් ගර්භාෂය සොයා පැමිණෙන ඩිම්බයක ආයු කාලයද  පැය විසි හතරකට වඩා  වැඩි නොවේ. මෙයද සංසේචනයේ සීමාකාරී සාධකයකි.

තරඟය ආරම්භ කරනු ලබන  ශුක්‍රාණු මිලියන දෙසියයෙන්, අවසානයේදී ජයග්‍රහණය ලබන්නේ, සෑම අතින්ම ශක්තිමත් මනා ජවයකින් යුක්ත එකම එක ශුක්‍රාණුවකි.

මෙසේ විග්‍රහ කර බලන විට දරු උපතක ආරම්භය වන පිළිසිඳ ගැනීමද  මහත් ආශ්චර්යයකි.

මේ අනුව ශාකවල සහ සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට අදාල ජන්මාණු නිෂ්පාදනයේදී විශාල නාස්තියක් සිදුවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙතත් අතිශයින්ම උචිතයා පමණක් තෝරාගැනීමේ මහා තරඟයක් මෙහිදී ඇතිවන  නිසා, එහි  කිසිදු නාස්තියක් හෝ අපතේ යාමක් සිදුනොවන බව නිගමනය කළ හැකිය. මෙම ක්‍රියාවලි සමූහය, වර්ගයාගේ යහ පැවැත්ම සහ උන්නතිය සඳහා අත්‍යවශ්‍ය සාධක වේ. මෙසේ දකින්නට ලැබෙන අධිකතර ජන්මාණු නිෂ්පාදනය, ජන්මාණු අතර ඇතිවන ප්‍රබල සටන,  උචිතෝන්නතිය, ස්වාභාවික තේරීම යනුවෙන් හැඳින්විය හැකි  අනුපිළිවෙලකට සිදුවන සංසිද්ධි සමූහය ජීවීන්ගේ පරිණාමයට පවා තුඩු දෙන ඉතාමත් ඵලදාටී සාධක බව, ඩාවින්ගේ පරිණාම වාදයේ ද මැනැවින් විස්තර කර තිබේ.

දයාරත්න වීරසේකර 

dayawee2@yahoo.com

6 comments:

  1. https://m.timesofindia.com/life-style/health-fitness/photo-stories/ancient-bizarre-myths-about-fertility-and-childbirth/amp_etphotostory/59384809.cms

    ReplyDelete
  2. Pra Jay
    Went through the link you have given. There are certain myths about the reproductive process that are mentioned in that, still being used in different parts of the world. My point is that there is some sort of overproduction of the gametes, but they are not wasted. the natural process has created several means by which to select the best suited female and male gametes to meet and to effect fertilization.

    ReplyDelete
  3. මේක කියවගෙන යද්දි මට දිගටම කල්පනා වුනේ pollinator habitat loss කතන්දරේමයි. මිනිසා විසින්ම ඇතිකල දෙයක් (Anthropocene) වුනත්, ඒකත් ස්වබාව ධර්මයම දුන් චැලෙන්ජ් එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus,
      ඔබගේ තර්කය අනුව මිනිසාගේ බලපෑම නිසා සිදුවන විපර්යාසද තරමක් දුරට හෝ 'සවාභාවික' දේ ලෙස පිළිගත හැකියි. එසේ වුවද තවමත් වන විනාශය, ජෛව වාසස්ථාන විනාශය, පරිසර දුෂණය වැනි බොහෝ කරුණු මිනිසා විසින් තමන්ගේ සංවර්ධන ක්‍රියාවලි වශයෙන් හඳුන්වන ඊනියා අහිතකර ක්‍රියාකාරකම් (Anthropogenic) නිසා සිදුවන බවයි විග්‍රහ කරන්නේ.

      Delete
  4. ප්‍රබලයා අන්තිමට දිනන නිසා ඕකට "woke " ක්‍රමේ ගේන්න ඕන. අනිත් අයටත් චාන්ස් දෙන්න. මම කිවේ ශුක්‍රානු ගැන. 😄

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්,
      Woke : Aware of and actively attentive to important facts and issues (especially issues of racial and social justice)
      මේ සංසිද්ධියේදී මා දකින ආකාරයට, ඉහත දක්වා ඇති පරිදි woke ක්‍රමය හරි අගේට ස්වාභාවිකවම ක්‍රියාත්මක වෙනවා. ඩාවින්ගේ පරිණාමවාදය පිලිබඳ න්‍යායයේ පෙන්වා දෙන්නෙත් 1. Over production 2. Competition 3.Variations 4. The struggle for existence 5.Survival of the fittest යන සිද්ධාන්ත ක්‍රියාත්මක වන බවයි. මේ නිසා නව ජීවයක් ආරම්භ කිරීමේ පළමු පියවරේදීත් මෙසේ සිදුවීම සාධාරණිකරණය කළ හැකි බවයි මගේ හැඟීම. ඇත්තටම මේ ක්‍රියාත්මක වන්නේ 'Woke' ක්‍රමය නේද?

      Delete