Thursday, 23 September 2021

ගින්නෙන් දැවුණු ප්‍රංශයේ Notre Dame දේවස්ථානය යළි පිළිසකර කිරීම (අපූර්ව කලාත්මක නිර්මාණයට විද්‍යාවෙන් නව පණක් ! )

        වික්ටර් හියුගෝ නම් ප්‍රංශ  ජාතික ගත් කතුවරයා විසින් 1482 වසරේදී, ප්‍රංශ භාෂාවෙන් රචනා කරන ලද Notre-Dame de Paris නම් නවකථා පොතෙහි,  Frederic Shoberl විසින් 1833 දී ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද  ‘The Hunchback of Notre Dame’ පොත දශක හයකට පමණ ඉහතදී, පාසැල් කාලයේදී, ඉතාමත් ආශාවෙන් කියවන ලද රසවත් නවකථා පොතක් විය.  මෑත කාලයේදී මෙම පොත ‘කුදාගේ සංග්‍රාමය’ ලෙස සිංහලටද  පරිවර්තනය කර තිබේ. ප්‍රංශයේ පැරිස් නගරයේ රයින් ගඟෙහි The Île de la Cité (English: City Island) දූපතෙහි පිහිටි ‘නෝට්‍රි ඩේම්’ නමැති දේවස්ථානය සහ එහි ඝන්ටාර නාදකරු ලෙස සිටි ක්වසයිමොඩෝ නම් විරූපී කුදු  මිනිසා (hunchback)  සහ එස්මරෙල්ඩා  නමැති සුරූපී නාටිකාංගනාව අතර හටගත් දුක්බර ප්‍රේම සම්බන්ධය අළලා  ලියා ඇති මෙම නවකතාව ලෝක සාහිත්‍යයේ මහත් සම්මානයට පත්වූවකි. මෙම දේවස්ථානය ‘අපගේ කන්‍යා මරිය තුමිය’ යන අර්ථයෙන් ‘Notre Dame’ ලෙස නම්කර තිබේ.   ඒ කාලයේම මෙම පොත ලොව වෙනත් භාෂා හැත්තෑවකට පමණ පරිවර්තනය කර තිබුණු බවද  ප්‍රකටය.

කුඩා කාලයේදී කියවා රස විඳින ලද මෙම පොත පිළිබඳ  මතකය යළි අවදි කරන ලද්දේ, Reader’s Digest, 2021 සැප්තැම්බර් කලාපයේ පළකර තිබුණු  “SAVING NOTRE DAME, Where art and Science Unite” යන ලිපිය කියවීමෙන් පසුවය. වසර 850 කට වඩා  පැරණි මෙම ලෝකප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන ගොඩනැගිල්ල, යුරෝපාකරයේ විශාල වශයෙන්  දකින්නට ලැබෙන  ගොතික්  සම්ප්‍රදායානුකූල ගෘහ නිර්මාණ ශිල්පයේ සහ කැටයම් කලාවේ අග්‍ර ගණයේ නිර්මාණයක් ලෙස සැලකේ. මෙම දේවස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු කරගෙන යමින් තිබියදී, පසුගිය 2019 වසරේ අප්‍රියෙල් 15 වැනිදා සවස, විදුලි  කාන්දුවක් නිසා   හටගත් ගින්නකින්  එය විශාල වශයෙන් හානියට පත්විය.

මෙහිදී තවත් සුවිශේෂී සිද්ධියක්ද මාගේ මතකයට නැගුණි. එනම්: දේවස්ථානයේ ගින්න හටගැනීමට දින දෙකකට කලින්, අපගේ වැඩිමහල් දියණිය තුෂාරි සහ ඇගේ සැමියා උපුල්,  දේවස්ථානයේ ගාම්භීර භාවය සහ පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය අසිරිය දැකගැනීම සඳහා එහි ගොස් තිබීමයි. එම සිද්ධිය මෙසේය: ඔවුන් සති දෙකක යුරෝපා සංචාරයක් අවසන් කර, 2019 අප්‍රියෙල් මස 13 වැනිදා සවස, Notre  Dame ගොස් එහි විසිතුරු බලා පසුදින රාත්‍රී ඕස්ට්‍රේලියාව බලා ගුවන් ගතවී ඇත. ඔවුන් ආපසු ඕස්ට්‍රේලියාවේ තම නිවසට පැමිණ පැය කිහිපයකට  පසු දේවස්ථානය ගිනි ගන්නා අකාරය රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වීම මහත් සංවේගයකින් යුක්තව නරඹන්නට සිදුවිය. (මේ සමග ඇත්තේ ඔවුන් විසින් ගින්න හටගැනීමට දින දෙකකට  පෙර ගත් ඡායාරූපයකි.)    


Reader’s Digest සඟරාවේ ලිපියෙන් විස්තර කරනුයේ ගින්නෙන් දැවී ගිය, ගෘහ නිර්මාණ ශිල්පයේ මුදුන් මල් කඩක් මෙන්ම කලාගාරයක් බඳු  මෙම ඓතිහාසික ගොඩනැගිල්ල යථා  තත්ත්වයට ගෙන ඒම සඳහා, සිය දෙනෙකුගෙන් පමණ සමන්විත,  විවිධ ක්ෂේත්‍ර වල විද්‍යා  විශේෂඥයින් කණ්ඩායමක් විසින් මහත් ඇප කැප වීමකින් යුක්තව කරනු ලබන අපූර්ව මෙහෙවරයි.

ලිපිය කියවීමේදී තවත් ඉතා වැදගත් කරුණු රාශියක් දැන ගැනීමට හැකිවූ නිසා මෙම ලෝක ප්‍රකට ස්මාරකය පිලිබඳ තවදුරටත් කරුණු සෙවීමට කුතුහලයක් ඇතිවිය. මෙහිදී විශේෂ අවධානය යොමුවූයේ දේවස්ථානය යළි ගොඩ නැගීම සඳහා අවශ්‍ය ලී දඬු  ලබාගැනීම පිණිස දැවැන්ත ඕක් ගස් දෙදහසක් පමණ බිම හෙලීමට සිදුවන බව ඇසූ පුවතයි. 

දේවස්ථානය ජගත් උරුමයකි.                                                                                                                                        

මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව ඇතිවූ කුතුහලය නිසාම  Reader’s Digest සඟරාවට අමතරව අන්තර්ජාලය ඇතුළු තවත් මාධ්‍ය ඔස්සේ විමර්ශනය කිරීමේදී ලබාගත හැකිවූ කරුණු සම්පින්ඩණයක් මෙසේ ඉදිරිපත් කරමි.

  • Notre Dame දේවස්ථානයේ එකට යා කර ඇති  ගොඩනැගිලි සංකීර්ණයට අක්කර 1.5 පමණ භුමි භාගයක් වසා සිටී. එම භුමිය දිගින් යාර 138 ක් (127 m)  සහ පළලින් යාර 47 ක් (43m)  වේ. මෙහි මධ්‍යයේ ඇති,  පැතිකඩ අර්ධ ගෝලාකාර කේතුවක (dome)  හැඩයෙන් යුක්ත ප්‍රධාන මන්දිරයේ වහලේ සැකිල්ල ඉතා විශාල දැවමය ආරුක්කු සමුහයක එකතුවකි. මධ්‍යයේ අංශක 55 ක කෝණයකින් ඉහලට නෙරා යන මෙම ආරුක්කු සවිකර ඇති දෙපැත්තේ බිත්ති යාර 47ක් (43m)  උසින් යුක්තය. උස බිත්ති දෙකට මැදිවූ ප්‍රධාන ශාලාව දෙපැත්තේ ඇති පිවිසුම් ද්වාර පථ දෙකෙහි  පියස්සට ආධාර සපයනුයේද  ප්‍රමාණයෙන් තරමක් කුඩා  දැවමය  ආරුක්කු පද්ධතියකිනි. මෙහි සුවිශේෂී ලක්ෂණයක් වන දැවමය ආරුක්කු පද්ධති සහ ලී වලින් නිමවන ලද  වෙනත් විවිධ අංගෝපාංග දස දහස් ගණනක් නිසා දේවස්ථානයේ අභ්‍යන්තරය ‘වනාන්තරයකට’  අනුරූප කර එයට ‘The Forest’ නම් අන්වර්ථ නාමයක්ද පටබැඳී  තිබේ

                                              ඕක් ලීයෙන් නිමකර ඇති දැවැන්ත ආරුක්කු 

  • දැවමය ආරුක්කු මත නිර්මාණය කර තිබෙන මෙහි වහලේ පියස්ස එකක් වර්ග අඩි 2.5 (2500 cm2) සහ ඝනකම අඟල් 0.2 (5 mm) පමණ වන, ඊයම් ලෝහ තහඩු 1300 ට  වැඩි සංඛ්‍යාවකින් නිමවී ඇති අතර,  එය මෙට්‍රික් ටොන් 210 කට වඩා බරකින් යුක්තය. මෙම බර දරා සිටිනුයේ කලින් විස්තර කළ දැවැන්ත දැවමය ආරුක්කු පද්ධතිය මගින්ය.

  • දේවස්ථානයේ දකුණු මූණතෙහි ඇති විශාල වෘත්තාකාර ජනේලයද ඉතා විසිතුරු එමෙන්ම ආශ්චර්යමත් නිමැවුමකි.ඉහත ඡයාරුපයේද දකින්නට ලැබෙන මෙම ජනේලයේ ව්ෂ්කම්භය අඩි 33 (10 m) කි. මෙහි ජනෙල් රාමුවද සකස් කර තිබෙන්නේ දැව වලිනි. බිත්තියේ සිරස්ව සවිකර ඇති මෙම අති විශාල ලී රාමුව මත, බිත්තියේ සෑම පැත්තකින්ම ඇතිවන තෙරපුම සමසේ විහිදී ගොස් සමතුලිත තත්ත්වයක තබාගැනීම පිණිස, මකුළු දැලක වියමනක් වැනි ආකාරයට සැකසූ ඇතුලත පට්ටම්ද කලාත්මක නිර්මාණයකි. වෘත්තාකාර ලී රාමුව මධ්‍යයේ සිට එහි පරිධිය දක්වා අරීයව විහිදී යන සමමිතික කොටස් නැවත විවිධ ආකාරයේ හැඩතල රාශිකට බෙදා තිබේ. මෙම හැඩතල නිසා එය මකුළු දැලක ආකෘතියක් මෙනි. එම හැඩතල සවිකර ඇති සැකිල්ලේ පට්ටම්ද  සකස් කර ඇත්තේ සුවිශේෂී පාෂාණ වර්ගයක තීරු  සහ දැව පටි එකට සම්බන්ධ කිරීමෙනි. ජනේලයේ මෙම හැඩතල දෙසියයකට අධිකය. මේ සෑම  හැඩතලයක්ම සම්පූර්ණයෙන් වැසී යන පරිදි විවිධ වර්ණවලින් යුත් වීදුරු තහඩු සවිකර තිබේ. මෙම වීදුරු තහඩු මත බොහෝ ආගමික සිතුවම්ද දකින්නට ලැබේ. විදුරු තහඩු නිසා ජනේලය මත සුර්යාලෝකය වැටුණු විට, අභ්‍යන්තරයේ සිට බලන කෙනෙකු හට එය විවිධ වර්ණ වලින් දිදුලන ජනෙල් තිරයක් මෙන් දිස්වේ. මෙම දුර්ලභ ගණයේ ජනේලය, එහි හැඩය නිසාම    ‘රෝස ජනේලය’ (Rose window) ලෙස නම් කෙරේ. මෙවැනි විශාල ජනෙල් තුනකි.

  • විවිධ කාර්යයන් සඳහා භාවිත කරනු ලබන වර්ණවත් වීදුරු භාණ්ඩ  හෝ තහඩු සකස් කිරීමද ඓතිහාසික කලාවකි. ක්‍රිස්තු පූර්ව 3600 දී පමණ කාලයේද මෙසපොටේමියාව සහ ඊජිප්තුවේ වීදුරු නිෂ්පාදණය කර ඇති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි ඇත. වීදුරු නිෂ්පාදනයේ ප්‍රධාන අමු ද්‍රව්‍යය වන වැලි,  සිලිකන් ඩයොක්සයිඩ් (Silicon dioxide) යන රසායන විද්‍යාත්මක නමින් හැඳින්වේ. විදුරු වර්ණ ගැන්වීම සඳහා කොබෝල්ට්, ඇන්ටිමනි, යුරේනියම් සහ ක්‍රෝමියම් යන මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ භාවිත කෙරේ. මෙම ඔක්සයිඩ වලින් වීදුරු වලට පිළිවෙලින් නිල්, සුදු, කහ සහ කොළ පැහැය ලැබේ. සිලිකන් ඩයොක්සයිඩ් ලෙස හැඳින්වෙන වැලි, කැඩී බිඳී ගිය වීදුරු සුන් බුන් සහ අදාළ ඔක්සයිඩය සමග උදුනක දමා 2,900 ° F (1593 ° C) දක්වා රත්කළ විට, අදාළ නියමිත වර්ණයේ වීදුරු ලබා ගත හැකිය. 

  • විවිධ ලිපි ලේඛන වලින් දේවස්ථානයේ ඝන්ඨා පිළිබඳවද තොරතුරු රාශියක් හඳුනාගත හැකිවිය. විශාල ප්‍රධාන ඝන්ඨාවට  අමතරව පරිවාර ඝන්ඨා කිහිපයක්ද මුල් කාලයේ සිට මෙහි ස්ථාපනය කර තිබී ඇත. 1685 වර්ෂයේදී, xiv වන ලුවී රජතුමාගේ (King Louis XIV)  ඉල්ලීම පරිදි මෙහි විශාලතම ඝන්ඨාරය නැවත ලෝකඩ වාත්තු කර, එය   "Emmanuel"   ලෙස නම් කර තිබේ. රටෙහි හෝ  රාජ්‍ය නායකයින්ගේත්, ලොව විවිධ වැදගත් අවස්ථාවලදීත්  ඝණ්ටා හැඬවීම සම්ප්‍රදායකි. 1789 වර්ෂයේ ආරම්භවූ ප්‍රංශ මහා විප්ලවයේදී රටෙහි බොහෝ දේවස්ථානවල ඝන්ටා විප්ලවවාදීන් විසින් තම කාලතුවක්කු උන්ඩ සහ අවි ආයුධ  සෑදීම සඳහා අත්පත් කර ගැනීමේදී, මෙහිද  සමහර ඒවා විනාශ වී ඇත.   ටොන් 13 ක් බරින් යුක්ත "Emmanuel"  ඝණ්ටාව  ප්‍රංශ මහා විප්ලවයේදීත් විපතට පත් නොවීය. 2019 ගින්නේදීද එයට හානියක් නොවී ඉතිරි වීම විශේෂ සිද්ධියකි. ඈත අතීතයේ සිටම දේවස්ථානයේ ඝන්ටා නාදකිරීමේ යාන්ත්‍රණය බලගැන්වීම සඳහා මිනිස් ශ්‍රමය භාවිත කරන ලදී. වික්ටර් හියුගෝගේ නවකතාවේ කොසයිමොඩෝද මෙවැනි මිනිසෙකි. එහෙත් මෑතකාලයේ දේවස්ථානයේ උස කුළුනෙහි ඝන්ටාව විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සවිකරන ලද විදුලි පද්ධතියේ විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න හට ගත්තේද යන්නද සැක කර තිබේ.

  • ගණිතයේ ගැඹුරු සංකල්පයක් වන ‘ස්වර්ණ අනුපාතය’ (Golden ratio),නොහොත්        1 : 1.61 අනුපාතයේ   මිනුම් වලට අනුකුලව දේවස්ථානයේ ගොඩනැගිලි, ආරුක්කු වැනි සියලු වාස්තු විද්‍යාත්මක  නිර්මාණ සැකසී ඇත. ඒවායේ පාදමේ දිග සහ  උස අතර මෙම අනුපාතය තිබෙන බවද දැක්වේ. මෙම අනුපාතය, ගණිතයේ ‘ෆයිබොනාචි අනුපිලිවෙල’ (Fibonacci sequence), ලෙස දැක්වේ. (0,1,1,2,3,5,8,13…. ආදී වශයෙන්).   මිසරයේ ‘පිරමිඩ’ සහ ඉන්දියාවේ ‘ටජ්මහල්’ හිද මෙම සංකල්ප භාවිත කර තිබේ. එමෙන්ම ස්වාභාවිකව, සූර්යකාන්ත, නෙලුම් වැනි ශාක වල පුෂ්ප ව්‍යුහයේත්, ගොළු බෙල්ලන් වැනි කවච සහිත සතුන්ගේ කවච රැළි සකස් වීමෙදීත් මෙම අනුපාතය තිබෙන බව සොයාගෙන තිබේ. මේවා ‘පරිපූර්ණත්වයේ මිණුම්’  (Dimensions of perfection) ලෙසද හැඳින්වේ  

  • දොළොස්වන සියවසේ සිට වරින් වර මහත් උපද්‍රව වලට මුහුණ  දී ඇති මෙම දේවස්ථානය වන්දනා මාන කිරීමට හෝ දැකබලා ගැනීම පිණිස, වසරකදී ලොව සෑම දිශා භාගයකින්ම ජනතාව මිලියන 13 ක් පමණ පැමිණෙන බවද ගණන් බලා තිබේ. 

  • ආගමික වශයෙන් වැදගත් වන ශුද්ධ වූ ඔටුන්න, කුරුසියේ කොටසක් සහ එහි සවිකර තිබුණු  ඇණයක් මෙහි තැන්පත් කර තිබෙන සුවිශේෂී  ඓතිහාසික වස්තු වේ. 

  • කලින්ද සඳහන් කළ පරිදි, 15 වන ශත වර්ෂයේ මැද භාගයේදී,  වික්ටර් හියුගෝ විසින් රචනා කරන ලද The Hunchback of Notre Dame නව කථාව නිසා දේවස්ථානයේ කීර්තිය දෙගුණ තෙගුණ වී ජනප්‍රිය භාවයද වැඩිවී ඇත.

  • 1991 වර්ෂයේදී  Notre Dame දේවස්ථාන පරිශ්‍රය UNESCO ජගත් උරුමයක්’ (world heritage site)  ලෙස නම්කර, ලේඛනගත කර තිබේ. 

ගින්න හට ගැනීම 

දේවස්ථානයේ ගින්න හටගෙන ඇත්තේ 2019 අප්‍රියෙල් 15 වනදා, පැරිස් වේලාවෙන් පස්වරු 6.18 ටය. 6.20 ට ගිනි  අනතුරු සංඥාව නාද  වූ විගසම ඇතුලේ සිටි ජනතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. ගින්න හටගෙන ඇත්තේ පූජා භාණ්ඩ කාමරයේ (sacristy) යැයි මුලින් සැක කරන ලද්දේ වුවද, ඇත්ත වශයෙන්ම ගින්න ආරම්භ වී ඇත්තේ ඉහල මාලයක අටුවක් (attic)  වැනි ස්ථානයක බව  සැකහැර දැන ගන්නා විට විනාඩි 15 ක් පමණ ගතවී තිබේ. මුරකරුවෝ පඩි 300 ක් පමණ වූ පියගැට පෙළක් ඔස්සේ  ඉහලට නැග එම ස්ථානයට ලඟා වන විට, මැඩලිය නොහැකි තත්ත්වයට ලී දඬු වලට ගිනි ඇවිලී තිබිණ. ගිනි  සංඥා ගිනි නිවන හමුදාවට සම්බන්ධ කර නොතිබුණු නිසා, මුර කරුවන් ආපසු පැමිණ අවශ්‍ය ස්ථාන වලට දන්වන විට පස්වරු 6.50 පමණ විය. පස්වරු  7.00 වන විට සන්නද්ධ ගිනි නිවන හමුදා භටයෝ පැමිණ වහාම සිය කටයුතු ආරම්භ කළහ.   

ආරම්භයේදීම, ප්‍රධාන මන්දිරයේ  ඊයම්  තහඩු වලින් ආවරණය කර තිබුණු වහලයට ඉහලින් සුදු පැහැ  දුම් වලාවක් පැතිරී ගොස් ස්වල්ප වේලාවකින්,  එම දුම් වලා කදම්බය තද කළු පැහැයක් ගත්තේය. ක්ෂණයකින් ඒ මහා දුම් වලාව මහා ගිනි ජාලාවක් බවට පත්විය.  විනාඩි කිහිපයකදී සම්පූර්ණ ගිනි ජාලාවම වර්ණය වෙනස් වී ඉතා  දීප්තිමත් කහ පැහැති  මහා ගිනි ජාලාවක් බවට පත්වී ගොඩනැගිල්ලේ පියස්ස සම්පූරණයෙන් වසා ගත්තේය.(ඡායාරූපය බලන්න)

පස්වරු 7.50 වනවිට දේවස්ථානයේ උසම ව්‍යුහය වන කේතුආකාර කුලුණ (spire) පිලිස්සී කඩා වැටිණ. එහෙත් ඝන්ඨාර ඇටවුමට  (steeple) හානි නොවී තිබිණ. මෙයද  කඩා වැටුණේ නම් ටොන් 13 ක් පමණ බර ඇති ඝන්ඨාරය බිම පතිත වී   තවත් බරපතල හානි සිදුවන්නට ඉඩකඩ තිබිණ. 

ගිනි නිවන භටයින් 400 දෙනෙක් පමණ, ජල විදීමේ යන්ත්‍ර  කිහිපයක් සහ ජලය ඉසීමේ හෙලිකොප්ටර් යානා දෙකකද ආධාරය ඇතිව දිවි පරදුවට තබා දරන ලද ප්‍රයත්නය නිසා  පස්වරු 9.45 වන විට බුර බුරා නගින ගින්න පාලනය කර ගත හැකි විය. ගින්න ආරම්භ වී පැය නවයකට පසු, එනම් පසුදින අලුයම 4.00 පමණ වන විට ගිනි  ඇවිලීම සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වූ බව ප්‍රකාශයට පත්කර තිබේ.  

දේවස්ථානය යළි ගොඩනැගීම සඳහා විද්‍යාත්මක පිවිසුම්.

පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය සියලුම විද්‍යාත්මක පිවිසුම් තීරණය කිරීම සඳහා පැරිසියේ ‘ඓතිහාසික ස්මාරක පර්යේෂණ විද්‍යාගාරය’ (Historical Monuments Research Laboratory - LRMH) වෙත පවරා තිබේ. මෙම ආයතනයේ විද්‍යාඥයින් විසි දෙදෙනෙකු විසින් භූ විද්‍යාවේ සිට ලෝහ විද්‍යාව දක්වා ඇති සෑම අංශයකින්ම,  එහි තිබෙන  දැව, ලෝහ, පාෂාණ , බදාම, වීදුරු, තීන්ත, අවශේෂ භාණ්ඩ  ආදී සියලුම ද්‍රව්‍ය ගැඹුරු අධ්‍යයනවලට භාජන  කරමින් පිළිසකර කටයුතු සඳහා උපදෙස් ලබා දීමෙහි නිරත වෙති. එමෙන්ම  සියලුම පිළිසකර සහ සංරක්ෂණ කටයුතු ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවේ. 

  • Notre Dame දේවස්ථානයේ ප්‍රධාන මන්දිරයේ  වහල සැකිල්ල සහ ජනෙල් රාමු වැනි වෙනත්   ව්‍යුහ  සඳහා භාවිත කර තිබෙන දැවැන්ත ඕක් (Oak) දැව පිළිබඳව කරන ලද විද්‍යාත්මක අධ්‍යනයේදී සොයාගත් පරිදි ඒවා 12 වන සහ 13 වන ශත වර්ෂ වලදී වනාන්තරවල වැවී තිබෙන වෘක්ෂ බව තහවුරු වී  තිබේ. මේ සඳහා එම ලී කඳන්වල හරස් කඩෙහි දකින්නට ලැබෙන  ‘වර්ධන රේඛා’ (growth lines) නොහොත් ‘වාර්ෂික වළලු’  (annual rings)   මගින් තොරතුරු ලබාගෙන ඇත. එම වෘක්ෂ දැඩි නියඟය  සහිත කාල කිහිපයක්ද පසුකර ඇති බව වර්ධන රේඛා වලින් පැහැදිලි  වී ඇත.  විශාල බාල්ක වල දැව ලබාගෙන ඇත්තේ විෂ්කම්භය අඩි  3 කට (1 m පමණ) වඩා වැඩි  කඳන් වලිනි. මෙම දැවැන්ත බාල්ක සියල්ලම දැවී ගොස් ඉතිර වුයේ අඟුරු කුට්ටි පමණකි. 

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රංශයේ වනාන්තර වලින් මෙම වර්ගයේම ඕක් ගස් වල (Quercus petraea) දැව ලබාගැනීමට සැලසුම් කර තිබේ. මේ සඳහා වසර දෙසියයකට වඩා පැරණි, අදාළ මිණුම් වලට ගැලපෙන   ඕක් වෘක්ෂ දෙදහසක් පමණ වනාන්තර වලින්  තෝරාගෙන, දැනටමත් කපා, වේලීමට ඉඩ හැර, පදම්  කර ගැනීම සඳහා පියවර ගෙන තිබේ.

  • ගින්නෙන් විනාශවූ ප්‍රධාන මන්දිරයේ වහල ආවරණය කර තිබුණු ඊයම් තහඩු අධික තාපය නිසා උණුවී ඊයම් වැගිරී  යාමත්, ඉතා කුඩා ඊයම් අංශු දුම සමග වාතයට මුසු වීමත් නිසා විශාල පරිසර හානියක්ද සිදුවන්නට ඇතැයි  සැකයක්ද පැවතුණි. පියස්ස වසා සිටි ටොන් දෙසියයක පමණ ඊයම් සම්පූර්ණයෙන්ම  උණුවී ගොස් තිබෙන බව හඳුනාගෙන  තිබේ. උණුවී වැගිරී ගිය ඊයම් ජනේල වර්ණ වීදුරු තහඩු මත තැන්පත්වී ඝනීභවනය වීම නිසා ඒවා විශාල වශයෙන් දුර්වර්ණවීම සහ වීදුරු තහඩු වල පින්තාරු කර තිබුණු ආගමික සිතුවම් විකෘති වීමද විශාල පාඩුවකි. වාතයට මුසුවී ඇති සියුම් ඊයම් අංශු නිසා සිදුවී ඇති සෞඛ්‍ය ගැටළු පිලිබඳව අදාළ බලධාරීන් විසින් පර්යේෂණ  ආරම්භ කර තිබේ. මේ සමගම දුර්වර්ණ වීදුරු තහඩු යථා  තත්වයට ගෙන ඒම සහ ඝණීභවනය වී ඇති ඊයම් ඉවත් කිරීමේ වෑයමක්ද, යථෝක්ත ආයතනය මගින් කර ගෙන යනු ලැබේ. වීදුරු තහඩු වල ඝණීභවනය වී ඇති ඊයම්,   වීදුරු වර්ණයට හෝ ඒවායේ ඇති සිතුවම් වලට හානියක් නොවන පරිදි ඉවත් කිරීම සඳහා නවතම ක්‍රමවේද සොයා ගැනීමට සිදුවූ බවද වාර්තාවේ. 

  • ඊයම් වාෂ්ප ශරීර ගත වීම මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයකි. ඊයම් ලෝහය 300 ºC දී උණුවී දියරයක් බවට පත්වූවත් එය වාෂ්ප වීම සඳහා උෂ්ණත්වය 1700 ºC පමණ විය යුතුය. පර්යේෂකයින්ගේ මතය අනුව, මෙම ගින්නෙහි  උපරිම උෂ්ණත්වය 600 ºC ඉක්මවා නොමැත. ගින්න ආරම්භවී විනාඩි කිහිපයකට පසු එකවරටම ගිනි ජාලාව දීප්තිමත් කහ පැහැයක් ගෙන තිබෙන්නේ, උෂ්ණත්වය 600 ºC දී පමණ, ලෝහ ඊයම්, කහ පැහැති ඊයම් ඔක්සයිඩ (PbO) බවට පරිවර්තනය වීම නිසා හටගන්නා  අංශු ගිනි දල්ලේ විසිරී ඇති නිසාය. එම ප්‍රතික්‍රියාව මෙසේ දැක්විය හැකිය.  Pb + O2  = 2 PbO  (ඊයම් වල රසායනික සංකේතය Pb වේ). මේ අනුව,  ඊයම්  වාෂ්ප බවට හරි නොමැති නිසා එයින් මිනිසාට සිදුවිය හැකි සෞඛ්‍ය තර්ජනයක් මෙහිදී අවම  බව අනුමාණ කළ හැකිය.                                                       

  • 2018 වර්ෂයේ සිට දේවස්ථානයේ විශාල අලුත්වැඩියා කටයුතු කිහිපයක් ආරම්භ කර තිබුණි. මේ සඳහා ප්‍රධාන මන්දිරයේ සම්පූර්ණ උසටම  සරිලන පරිදි යකඩ පලංචි රාශියක් සකස්කර  අටවන ලදී. ගින්නට හසුවූ මෙම පලංචි වල යකඩ බටද පිලිස්සී, ඇඹරි විශාල වශයෙන් විකෘති වී ගොස් තිබෙනු දකින්නට ලැබිණ. පිළිසකර කටයුතු ආරම්භයේදී මෙම පලංචි යකඩ බට ඉවත් කර, ගොඩනැගිලි වල නොදැවී ඉතිරි වූ කොටස් පිලිබඳ අධ්‍යයනයක් කර වාර්තාවක් සකස් කිරීම සඳහාද  මාස කිහිපයක්ම ගතවිය. 2020 නොවැම්බර් පමණ වන විට යකඩ පලංචි සියල්ල ඉවත් කර ඇත.  කොරෝනා වසංගත උවදුර නිසාද මෙම වැඩ කටයුතු බෙහෙවින් ප්‍රමාද වන්නට විය. 

                                                                
  • ප්‍රධාන දේව මන්දිරයේ සිවිලම සකස් කර ඇත්තේ හුණුගල් මෙන් සවිවිර ව්‍යුහයකින් යුක්ත ‘පියුමිස්’ (pumice) නම් සැහැල්ලු පාෂාණ වර්ගයකින් වේ. මෙම සිවිලිමට ගින්නෙන්  හානියක් සිදු නොවුවත්, එහි සැලකියයුතු කොටසකට වෙනස් ආකාර දෙකකින් හානි සිදුවී ඇතිබව විශේෂඥයින් විසින් නිරීක්ෂණය කරන ලදී. පළමුව, ගින්නෙන් ගිනියම් වී අධි උෂ්ණත්වයක පැවති    යකඩ පලංචි බටවලින් නිකුත්වූ යකඩ අංශු, අධි උෂ්ණත්වයක පැවතුණු  පියුමිස් වල හුණුගල් අංශු සමග රසායනිකව ප්‍රතික්‍රියාකර,  එම පාෂාණයේ ශක්තිමත් භාවය හීන කර තිබේ. දෙවනුව, ගින්න නිවීම සඳහා විශාල වශයෙන් ජලය විදීමේදී සිවිලිමේ සවිවර පියුමිස් පාෂාණ වලට අධික ලෙස ජලය උරා ගැනීමෙන් බර වැඩිවීම නිසා කඩා වැටීමේ තර්ජනයක් ඇතිවූ බවද  තහවුරු විය. පියුමිස් පාෂාණ වල බර මෙන් 30% පමණ ජලය උරා ගත හැකිය.  ඒ සමගම ඒ  දිනවල ඇදහැළුණු ධාරානිපාත  වර්ෂාව නිසා වහලයක් රහිතව විවෘතව පවතින සිවිලිමේ පියුමිස් පාෂාණ වලට ජලය උරාගැනීමේ හේතුවෙන්  එහි බර තව තවත් වැඩිවන බව නිරීක්ෂණය කරන ලදී. මෙම තර්ජන දෙකටද නිසි පිළියම් යෙදීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක සැලසුම් සකස් කිරීමද පර්යේෂණ කණ්ඩායමට මහත් අභියෝගයක් විය. කෙසේ වෙතත් ඊට පසු සති කිහිපයක් තුළ පැවතී වියලි කාලගුණය නිසා සිවිලිමේ පියුමිස් වලට උරාගත් ජලය ටිකින් ටික වාෂ්ප වී යාම නිසා ඔවුන්ට මඳ අස්වැසිල්ලක් ලබා ගත හැකි විය. 

  • ඕක් දැව වලින් නිර්මාණය කර තිබුණු වහලයේ ආරුක්කු සැකිල්ල සහ අනිකුත්  දැවමය කොටස් යළි සකස් කිරීම සඳහා ඉතාමත් සුදුසු දැව සහිත ඕක් ගස් තෝරා ගැනීමද විද්‍යාඥ කණ්ඩායමේ සිටි, වනාන්තර විද්‍යාඥයින්ගේ සැලකිල්ලට භාජන විය. මේ සඳහා පැරිසියේ සිට කිලෝමීටර් 120 පමණ ඈතින් පිහිටි, පැරණි ඕක් වනයකින් සුදුසු වෘක්ෂ තෝරා ගන්නා ලදී. මුලින්ම තෝරා ගන්නා ලද්දේ කේතුආකාර කුලුණෙහි සැකිල්ල සඳහා යොදා ගැනීම පිණිස අවශ්‍ය වූ, විෂ්කම්භය මීටර් එකක් පමණ වන, දිගින් මීටර් විස්සකට වඩා වැඩි, තනි කෙලින් කඳ සහිත,  වසර 230 කට වඩා පැරණි දැවැන්ත ඕක් වෘක්ෂ අටකි. මෙසේ ලබාගන්නා ලද සියලුම ඕක් කඳන් පදම් කර ගැනීමද විද්‍යාත්මක නිර්දේශ මත සිදුවේ.

මෙම කඳන් වල ඇති,  ද්‍රාව්‍ය තෙල් වැනි රෙසින සේදීයාම සඳහා මාස කිහිපයක් එළිමහනේ තබා වර්ෂාවට නිරාවරණය කළ  යුතුය. පසුව අවශ්‍ය ප්‍රමාණයට වේලා ගැනීම (තෙතමනය ඉවත් කිරීම) සඳහා තවත් මාස 18 ක පමණ කාලයක් තැබිය යුතුය. එම කඳන්වල දැව නියමිත ප්‍රමිතියට අනුකූල වන්නේ අභ්‍යන්තර ජල ප්‍රතිශතය 30% දක්වා අඩුවූ පසු වේ. අනිකුත් කාර්යයන් සඳහා අවශ්‍ය දැවද මේ ආකාරයටම පදම් කිරීමට පියවර ගෙන තිබේ.

  • ප්‍රධාන මන්දිරයේ වහල සෙවිලි කර තිබුණු ටොන් 200 ක් පමණ බරකින් යුක්ත ඊයම් වලට සිදුවී ඇත්තේ කුමක්ද යන්නද විද්‍යාඥයින්ගේ දැඩි සැලකිල්ලට භාජන විය. ඊයම් ලෝහයක් වුවද,  300 ºC පමණ වන උෂ්ණත්වයකදී උණුවී ගලායන ද්‍රවයක් බවට පත්වේ. මෙම ද්‍රව ඊයම් බිත්ති සහ ජනෙල් කවුළු ඔස්සේ වැගිරී  ඇත. සමහර ස්ථානවල  ගලාගිය ඊයම්,  භුගත ලෙනක හිරිගල් වලින් සෑදෙන ‘හිරි ලඹ’ (stalactites) මෙන් එල්ලෙමින් ඝණීභවනය වී තිබේ. ගිනිජාලයේ උෂ්ණත්වය 600 ºC පමණ වූ විට, ලෝහයෙන් කොටසක් ඔක්සිකරණය වී තද කහ  පැහැති ඊයම් ඔක්සයිඩය (PbO) බවට පරිවර්තනය වී එහි සියුම් අංශු ගිනි ජාලයට එකතුවී දීප්තිමත් කහ පැහැයක් ගැන්වී ඇත. එසේම PbO අංශු දේවස්ථානය ඇතුළත බිත්ති, ගෘහ භාණ්ඩ,වෙනත් උපකරණ වැනි  සෑම පෘෂ්ඨයකම තැන්පත්වී තිබිය හැකි බවට සැකයක්ද පහල විය. මේ සම්බන්ධයෙන්ද විද්‍යා පර්යේෂකයින්ගේ  අවධානය යොමුවිය. ප්‍රංශ රජයේ ප්‍රමිතියට අනුව, සෞඛ්‍ය ගැටළුවක් නොමැතිව යම්කිසි මතුපිටක තිබිය හැකි උපරිම ඊයම් සීමාව වර්ග සෙන්ටි මීටරයට ඊයම්  මිලිග්‍රෑම් 0.1 කි. එහෙත් ගින්නෙන් පසු, සීමා මට්ටම මෙන් 70 ගුණයක පමණ  ඊයම් අංශු දේවස්ථානයේ සෑම මතුපිටකම පාහේ විසිරි ඇති බව මුල් වටයේ කරන ලද විද්‍යාත්මක පරීක්ෂණ වලින්ම හෙළි වී තිබේ. විද්‍යාඥ  කණ්ඩායම මෙම අභියෝගය ජය ගැනීමටද වහාම නිසි පියවර ගන්නා ලදී.

මේ අනුව මටසිලුටු මතුපිට සහිත විදුරු, ලෝහ, ලී හෝ වෙනත් ස්ථාන වල ඊයම් විෂ ඉවත් කිරීමට,  රික්ත පිරිසිදු කිරීම  (vacuum cleaning) නමැති ක්‍රම වේදය සමග ආශ්‍රුත ජලයෙන් තෙත මාත්තු කිරීම යෝජනා කරන ලදී. සවිවර (porous) පියුමිස් පාෂාණ සිවිලිම වැනි ස්ථාන පිරිසිදු කිරීම සඳහා වඩාත්ම සුදුසු වනුයේ  ලේසර් කිරණ යෙදීම බවද තීරණය විය.

ප්රතිෂ්ඨාපනය කිරීම වේගවත් වේ. 

UNESCO ජගත් උරුමයක්’ වන Notre Dame දේවස්ථාන පරිශ්‍රයට ගින්නෙන් හානි සිදුවූ බව සැලවීමත් සමග මුළු ලොව ජනතාව විශාල පිරිසක් ආගම්, ජාති භේදයකින් තොරව මහත් සේ කම්පා වූහ. ප්‍රංශයේ පමණක් නොව ලොව වෙනත් රටවලද  ධනවතුන් මෙන්ම රජයයන්ද  ප්රතිෂ්ඨාපන කටයුතු සඳහා මුදලින් හෝ ඕක් දැව සහ වෙනත් අවශ්‍ය දේ සැපයීමෙන් ආධාර දීමට ඉදිරිපත් වූහ. දේවස්ථාන ප්රතිෂ්ඨාපනය රජයේද වගකීමක් බැවින් එයට ප්‍රමුඛතාව දී කටයුතු කිරීමට තම රජය ක්‍රියාත්මක වන බවට ප්‍රංශයේ ජනාධිපති තුමාද ප්‍රකාශයක් නිකුත් කරන  ලදී. විශේෂයෙන්ම 2024 වර්ෂයේ ජුලි / අගෝස්තු මාස වලදී පැරිසියේ පැවැත්වීමට නියමිත 32 වන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයට පෙර දේවස්ථානය යළි විවෘත කිරීම ඔහුගේ අභිප්‍රායයි. මෙයට කලින් සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ හැකිවේයයි ඔහු විසින් කරන ලද ප්‍රකාශය තරමක පුරසාරමක් ලෙස හැඳින්වූ, එම භාරදුර කාර්යය භාරව කටයුතු කරනු ලබන විශේෂඥයින්ගේ මතය අනුව, ප්‍රතිෂ්ඨාපන කටයුතු අවසන් කිරීමට ඉදිරියට වසර දහයක්වත් ගතවිය හැකි බව අවධාරණය කරති.

සිදුවී ඇති හානිය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු  ප්‍රතිෂ්ඨාපන කටයුතු සඳහා සුවිශේෂී සහයෝගයක් දැක්වීමට UNESCO සංවිධානයද ප්‍රතිඥා දී තිබේ. ප්‍රංශ ගොතික් වාස්තු විද්‍යාවේ නිර්මාණ අතුරෙන් දර්ශනීය භාවයෙන් ලොව ප්‍රථම ස්ථානය ලැබෙනුයේ අසහාය නිර්මාණයක් වන Notre Dame දේවස්ථානයටය. එම සංවිධානය විසින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වනුයේ දැවමය ආරුක්කු අනුයෝගිකරණය, වර්ණවත් වීදුරු තහඩු සහිත දැවැන්ත ‘රෝස ජනේල’ සකස් කිරීම සහ සැරසිලි සඳහා යොදාගෙන ඇති අද්විතීය මූර්ති පිලිබඳ ඉතිහාසය, ශිල්ප ක්‍රම සහ භාවිත කර ඇති ක්‍රමවේද පිළිබඳව වැඩිදුර අධ්‍යයන කර ඒ පිළිබඳ  තොරතුරු ලොවට හෙළි කිරීමයි. ක්‍රිස්තු වර්ෂ 1160 දී ආරම්භ කර ඇති Notre Dame දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ශත වර්ෂයක පමණ කාලයක් තුළදී  කර ඇති බවට සාක්ෂි තිබේ. වර්තමාන ශිල්පී ක්‍රම සහ යන්ත්‍ර සූත්‍ර නොතිබුණු ඒ කාලයේදී පවා මිනිස් ශ්‍රමය, මිනිසාගේ නිර්මාණශීලිත්වය, අප්‍රතිහත ධෛර්යය සහ ඇප කැප වීම නිසාම, මෙම පූජනීය මහාර්ඝ කළා මන්දිරය ඉදිවන්නට ඇති බව මනාව පැහැදිලි වේ. නුදුරු අනාගතයේදීම මෙම ලෝක පූජිත සම්පත ජනතා ගෞරවාදරය සහ පුද පූජා සඳහා නැවත  විවර වනතුරු කෝටි සංඛ්‍යාත ජනතාවක් නොඉවසිලිමත්ව බලා හිඳිනු ඇත. (ඡායාරූප කිහිපයක් ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි.)

 

Reference 

  1. https://www.discoverwalks.com/blog/10-facts-about-notre-dame-cathedral/

  2. https://www.france24.com/en/europe/20210309-france-fells-centuries-old-oaks-to-rebuild-the-notre-dame-cathedral-spire  Felling Oak trees (වීඩියෝ පටයකි)  

  3. Reader’s Digest - September 2021

  4. The Hunch-back of Notre Dame - Victor Hugo      

 


Thursday, 15 July 2021

 “මේ ගස් හැර තවත් ඉපැරණි ගසක් තිබේ.”

ලෝකයේ ඉපැරණි ගස්  කිහිපයක් පිලිබඳ අපූරු ලිපියක් ‘Reader’s  Digest’ සඟරාවේ 2021  අප්‍රියෙල් කලාපයේ පළවිය.  ‘ගස්  වලට කතා කළ හැකිනම්’  (If Trees Could Talk) යන මාතෘකාව යටතේ ලියා තිබුණු මෙම ලිපියේ ලෝකයේ විවිධ රටවල ඇති, ඉපැරණි ගස් (ශාක) පිලිබඳ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් කර තිබිණ. ඩයනා තෝමස් නමැති  ලේඛිකාව තම ලිපිය ආරම්භ කරනුයේ ශාක පිලිබඳ නවතම පර්යේෂණ තොරතුරුද  මේ ආකාරයට ඉදිරිපත් කරමින්ය :        

“අපගේ මුතුන් මිත්තන් ශාක දේවත්වයේ ලා සැලකූහ. ඔවුන්ගේ මෙම දැක්ම සත්‍යයකි. නුතන විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව, ශාක වලට, මුල් හරහා තම ශාකයේ  තිබෙන සමහර  රසායන ද්‍රව්‍ය, හෝර්මොන, ෆෙරෝමෝන වැනි සුවිශේෂී ශ්‍රාව මගින් පණිවුඩ හුවමාරු කර ගැනීමේ හැකියාවක් තිබේ. මිනිසා විසින් ශාකයක පත්‍ර සහ අතු සහිත ඉහල කොටස සම්පූර්ණයෙන්ම කපා දමනු ලැබුවත්, අසල ඇති වෙනත් ශාක මගින් එම අතවරයට ලක්වූ ශාකයට අවශ්‍ය  ජලය සහ වෙනත් පෝෂක ලබාගැනීමට උපකාර කරන බවද හෙළිවී තිබේ.”    

මෙම  ලිපියේ විස්තර කර තිබුණු ඉපැරණි ශාක කිහිපයක් මෙසේය.

  1. ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්ගේ ඇපල් ගස  (Malus pumila)                         ගුරුත්වාකර්ෂණය පිලිබඳ විද්‍යාත්මක නියමය ලොවට හෙළි කළ ඉංග්‍රීසි ජාතික අයිසෙක් නිව්ටන්ට එම සත්‍යය අවබෝධවුයේ මෙම ඇපල් ගසෙන්  ගෙඩියක් බිමට වැටෙනු දුටු විටය. 

නිව්ටන්ගේ ඇපල්  ගස, තම කථාවේදී  මෙසේද සඳහන් කරන්නට යෙදුනි. 

“මට කිසිසේත් පුරසාරමක් දෙඩීමට අවශ්‍ය නැත. එහෙත් නවීන විද්‍යාවේ හාස්කම් රාශියකට මුල්වූ සිද්ධාන්ත කිහිපයකට, මාගේ සහයෝගය දීමට හැකිවීම ගැන මම ආඩම්බර වෙමි. එදා නිව්ටන් තරුණයා මගේ සෙවනේ ඇලවී සිටියදී මගෙන් ගිලිහිණු ඉදුණු ගෙඩියක් ඔහු අසලට වැටෙනු මට අද වගේ මතකය. ඒ වසර 360 කට පමණ ඉහතදීය. ඒ වන විටත්  මගේ වයස අවුරුදු විස්සක් පමණ වන්නට ඇත. මා කුඩා පැලෑටියක් ලෙස රෝපණය කළේ කවුරුන් විසින් කවදාද  යන්න කිසිවෙක් නොදනී. මා සිටින ‘වුල්ස්ටෝර්ප් මනෝර්’ වත්තේ  පිහිටි නිවසෙහි සිටි දඟකාර ළදරු නිවටන්ද මට මතකය. ඔහු දක්ෂ දරුවෙකු විය. පසුව ඔහු කේම්බ්‍රිජ් සරසවියේ ඉගෙනුම ලැබීම ගැන මටද ආඩම්බරයක් ඇතිවිය. බිමට වැටුණු  මගේ ඇපල් ගෙඩිය නිසා ඔහුගේ ‘ගුරුත්වාකර්ෂණ න්‍යාය’ සඳහා මූලාරම්භය තැබීමට හැකිවීම කෙතරම් ආශ්චර්යයක්ද?”.

  1. පෘතුගාලයේ ‘ඔලිවෝ ඩෙල් මවුචෝ’ ඔලිව් ගස  (Olea europaea)                           ඔලිව් ගසෙහි දැව, භාණ්ඩ  සෑදීම වැනි විශේෂ කාර්යයන් සඳහා භාවිත නොවුවත්, මෙම ගසෙහි ගෙඩි වසර 3000 ක් තිස්සේ මිනිසාගේ රස නහර පිනවා තිබේ.

තම ආයු කාලය ගැන උදම් අනමින් කථා කරන ඔලිව්  ගස මෙසේද කියයි.

“ඊජිප්තුවේ පාරාඕ රජවරු සිටියේ මා කුඩා  කාලයේය. ග්‍රීසියේ ප්ලේටෝ  තම දර්ශනය හෙළි කරද්දී මට වයස අවුරුදු 900ක් වන්නට ඇත. මේ සියල්ලටමත් වඩා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරිසියේ ඇණ ගැසීමේ ඛෙද වාචකය සිදුවන විට මට වයස අවුරුදු 1300 ක් පමණ විය.” 

  1. නවසීලන්තයේ උතුරු දිවයිනේ වයිපෝවා වනාන්තරයේ තිබෙන ‘ටේන්  මහුටා’ යන නමින් හඳුන්වන විශාල ‘කෞරි’ ගස (Agathis australis)  ගැනද එම ලිපියෙහි විස්තරයක් තිබුණි.                                                                   

නවසීලන්තයේ ‘කෞරි’ ගස තම  කතන්දරය පවසන්නේ මෙසේය:                                              

“මේ රටෙහි මුල් අයිති කරුවන් වන මවුරි ජාතිකයින් වනයට අධිපති දෙවියන් ‘ටේන්  මහුටා’ ලෙස හඳුන්වනවා. මා සහ මගේ පරම්පරාවේ සියලුම ගස් ‘කෞරි’ ලෙස නම්කර තිබෙනුයේ දෙවියන් උදෙසාය. මාගේ උපත කවදා සිදුවූවාදැයි මා නොදන්නා නමුත් මට වයස මිනිස් අවුරුදු 2500 ක් පමණ වේ යයි අනුමාන කළ  හැකිය. මීටර් 50 කට වඩා උසින් වැඩී  ඇති, දැනට ජීවතුන් අතර සිටින වැඩිමහලුම, එසේම විශාලතම ‘කෞරි’ ගස මම වෙමි”

                                                     නවසීලන්තයේ ‘ටේන් මහුටා’කෞරි ගස

                                                                                                                                                                ලෝකයේ පාඨකයින් අතර බහුලව සංසරණය වන, පවුලේ කාටත් කියවා ප්‍රයෝජනයක් ගතහැකි කරුණු අන්තර්ගත පැරණිම මාසික සඟරා වලින් ප්‍රධානතම එකක් වශයෙන් Reader’s Digest සඟරාව දැක්විය හැකිය. මෙය මුලින්ම මුද්‍රණය ආරම්භ කර තිබෙන්නේ දැනට වසර සියයකට පමණ ඉහතදීය. මේ වන විට භාෂා 22 කින් මුද්‍රණය වන මෙහි මාසික කලාප,  මිලියන 8.5 ක් පමණ ලොව පුරා විසිරී  යයි. දැනට වසර පනහකට අධික කාලයක් තිස්සේ  මෙම සඟරාවේ දායකයෙකු සහ පාඨකයෙකු වන මම,  එහි පළ වන ලිපිවල විවිධත්වය  සහ සංස්කාරක වරුන්ගේ කැපවීම සහ සත්‍ය කරුණු වලට පමණක් මුල් තැන දීම පිලිබඳ හොඳින් දැන සිටියෙමි.

2021 අප්‍රියෙල් කලාපයේ පළකර තිබුණු ලෝකයේ පැරණි ශාක පිලිබඳ විස්තරය සහිත,         ‘If Trees Could Talk’ නම්  ඉහත සඳහන් කළ ලිපිය කියවූ මට එහි එක්තරා අඩුපාඩුවක් ලෙස දැක්විය හැකි හිඩැසක් දකින්නට ලැබිණ. මෙහි දක්වා තිබුණු  පැරණි වෘක්ෂ වලට  වඩා පැහැදිලි, ලේඛනගත ඉතිහාසයක් ඇති, බොහෝ ගරු බුහුමන් ලබන පෞරාණික වෘක්ෂයක් ශ්‍රී ලංකාවේ තිබෙන බව සඳහන් නොවීම ගැන මම විමසිලිමත් වීමි.

ඒ අනුව සගරාවේ ප්‍රධාන සංස්කාරක වරියට විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යැව්වෙමි. මගේ විමසුම ලැබුන බවත් ඒ සඳහා වහාම අවශ්‍ය ලෙස ක්‍රියාකරන බවත් දන්වා මට පිළිතුරක් ලැබිණ. ඒ අනුව මාගේ විමසුම විස්තරාත්මකව 2021 ජුනි කලාපයේ පලකරන බව නැවත දන්වන ලදී. එය පළකර තිබුණේ මේ ආකාරයටය. 

                             

ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ සිටින බෞද්ධයාගේ අති පූජනීය වස්තුවක් වන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද තම ප්‍රෞඪත්වය පිලිබඳ මෙවැනිම වැදගත් කථාවක් කළ හැකි බවද මම සංස්කාරක වරියට වැඩිදුරටත් දන්වා සිටියෙමි. මගේ සටහනෙහි සිංහල පරිවර්තනය මෙසේය. 

තවත්පෞරාණික වෘක්ෂයක් ….                     

“සියලුම පාඨකයින්ගේ  ලැදියා ආවරණය වන  විවිධත්වයකින් යුත්  හරවත්   දේ පළකිරීමට අපි සැලකිලිමත් වෙමු.” යනුවෙන් කතුවැකියෙහි  ඔබ සඳහන් කළ අරමුණ, ‘If Trees Could Talk’  යන ලිපිය මගින්,  සනාථ වේ.

මෙම ලිපියෙහි කතු වරු, ලෝකයේ රටවල් කිහිපයක ඇති පෞරාණික වෘක්ෂ හයක් තම අතීතය ගැන කථා කරන ආකාරය ඉතා  විචිත්‍ර අන්දමට විස්තර කර තිබේ.

“මේ ගණයටම වැටෙන තවත් එවැනි මහේශාක්‍ය වෘක්ෂයක් ගැනද  මට යමක් කියන්නට ඉඩ දෙන්න. මේ  පෞරාණික වෘක්ෂය ශ්‍රී ලංකාවේ, අනුරාධපුර ශුද්ධ නගරයේ මහමෙව්නා උයනේ ඇති Ficus religiosa විශේෂයට අයත් ජය ශ්‍රී මහා බෝධියයි. මෙම වෘක්ෂය, ක්‍රිස්තු පූර්ව 288 වැනි වර්ෂයේදී,  මිනිස් අතකින් රෝපණය කරන ලද  ලොව ඇති, වාර්තාගත පැරණිම වෘක්ෂයයි. මෙය, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමේදී සෙවන දුන්, ඉන්දියාවේ බුද්ධගයා හි පිහිටි ශ්‍රී මහා බෝධි වෘක්ෂයෙන් පැන නැගුණු ශාකාවකින් ලබාගත්  බවද  ඉතිහාස ගත වී තිබේ.”   

මා විසින් යවන ලද සටහන සාදරයෙන් පිළිගත්  Reader’s Digest කතෘ මණ්ඩලය මගේ විමසුම ජුනි මාසයේ සඟරාවට ලැබුණු වැදගත්ම පාඨක සටහන වශයෙන් තීරණය කර, ඒ සඳහා මට ත්‍යාගයක්ද පිරිනමා, ඒ බව ජූනි කලාපයේ විස්තර සහිතව පළකර ඇත්තේ මෙහි දක්වා ඇති ආකාරයටය.

                                       

මට ලැබුණු ත්‍යාගයේද විශේෂ වැදගත් කමක් තිබේ. මෙහි දක්වා ඇති ආකාරයට එම ත්‍යාගය නවීන පන්නයේ Pilot  ‘fountain’ පෑනකි. මෙහි විශේෂත්ව කිහිපයකි. ඒවා මෙසේය:

  1. පැරණි පෑන් වල මෙන් බටය තුළට තීන්ත පිරවිය හැකි වීම 

  2. ලිවීම සඳහා පැරණි ආකාරයේ පෑන් තලයක් තිබීම 

  3. සාමාන්‍ය ball point පෑනක මෙන් මුදුනෙන් ඔබා තලය ඇතුළට දැමිය හැකි වීම.

  4. තලය කැරට්  14 රත්රන් වලින් නිමකර තිබීම.

  5. පෑන් කඳ සැහැල්ලු ලෝහයකින් සාදා තිබීම.

  6. මේ සියල්ලටමත් වඩා වැදගත් පරිසර හිතකාමී බවක්ද මෙම නිෂ්පාදනය මගින් පෙන්වා දී තිබේ. එය මෙසේය: අද සමාජයෙන් තීන්ත පෑන් ඉවත්වී  ball point පෑන් වලට මුල් තැන ලැබී තිබේ. ඒවා භාවිතය පහසු වූවත්,  ඒ මගින්  අප නොදැනුවත්වම බරපතල පරිසර දූෂණයක්ද සිදුවේ. මෑතදී කර ඇති ගණනය කිරීමකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක්, වසරකට පාවිච්චිය අවසන් කළ ප්ලාස්ටික් පෑන් බට බිලියන 1.6 ක් පමණ ඉවත දැමේ. ලෝකයේ භාවිත වන ball point පෑන් වලින්  50% පමණ නිෂ්පාදනය කරනු ලබන ‘Bic’ සමාගම පවසන ආකාරයට, 2006 වසර  වන විට ඔවුන්ගේ නිෂ්පාදනය, පෑන්  බිලියන සියයද  ඉක්මවා ඇති අතර ඒ සියල්ලම භාවිතයට ගෙන තිබේ. ඔවුන් පවසන ආකාරයට මෙම පෑනක් පාවිච්චි කළ හැකි උපරිම කාලය සති හතරකි. මෙයින් එක්  පෑන් බටයක්  ග්‍රෑම් 10 ක් බර වුවහොත් මේ නිසා එම කාලය තුළදී ප්ලාස්ටික් ටොන් ලක්ෂයක් පමණ පරිසරයට මුදාහැර තිබේ.

මේ නිසා  Reader’s Digest විසින් පැරණි ලිවීමේ ක්‍රමෝපායය නවීකරණය කරනලද ‘තීන්ත පෑන’ අලුත් මුහුණුවරකින් හඳුන්වා දෙමින් පවත්වාගෙන යනු ලබන, මෙම ත්‍යාග ක්‍රමය මගින් පරිසර සංරක්ෂණය සම්බන්ධවද ඉතා වැදගත් පණිවුඩයක් පාඨකයින් අතරට ගෙනයාම පැසසිය යුතු පිවිසුමකි.

(ස්තුති පූර්වකව බොහෝ තොරතුරු Reader’s Digest සඟරාව  ඇසුරෙනි)        

 


Thursday, 1 July 2021

 ‘ගෝලීය උණුසුම් වීම’ මිනිසා කෙරෙහි බලපාන්නේ කෙසේද?


‘ගෝලීය උණුසුම් වීම’ (global warming) නම්  සංසිද්ධිය  ලොව විද්වතුන් අතර මුලින්ම සාකච්ඡාවට භාජන වූයේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. ඊට පසු ජගත් සම්මේලන වලදී මේ පිලිබඳ දීර්ඝ වාද විවාද හමුවේ මෙය, මුළු ලොවටම එකසේ බලපානු ලබන පරිසර අර්බුදයක් ලෙස සමාජගත වූයේ 2015 වසරේදීය. එම වසරේ දෙසැම්බර් මස 12 වන දින පැරිසියේදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේදී  ‘ගෝලීය උණුසුම් වීම’ සීමාකිරීම සම්බන්ධ ඓතිහාසික  ප්‍රඥප්තිය සඳහා රටවල් 196 ක් විසින් අත්සන් තබන ලදී. මෙම   ප්‍රඥප්තියේ  අරමුණ වූයේ, කාර්මික විප්ලවයට පෙර තිබුණු සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය, ඉදිරි කාලයේදී  සෙල්සියස් අංශක 2 ℃ කට වඩා ඉහළ නොයන ආකාරයට, තම රාජ්‍යයන්හි පරිසර ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ගිවිස ගැනීමයි. ඒ සමගම, එය කෙසේ හෝ 1.5 ℃ පහළ මට්ටමක තබාගැනීමට වෑයම් කිරීම වඩාත්ම  යෝග්‍ය බවද නිගමනය විය.


මේ ආකාරයට පරිසර උෂ්ණත්වයේ සීමා මායිම් තරකර ගැනීමට අවශ්‍ය වූයේ, එය පාලනයට නතු කර  නොගතහොත් නුදුරු අනාගතයේදීම, පෘථිවි ග්‍රහලෝකය ජීවීන්ට අහිතකර බිමක් බවට පත්විය හැකි බවට විද්‍යාඥයින් විසින් කරන ලද පෙරැයීම් වලට අනුකූලතාව දැක්වීමක් වශයෙනි. 


පෘථිවි වාසී සියලුම ජීවීන් කෙරෙහි, ගෝලීය උණුසුම් වීම විවිධ ආකාරයට බලපෑ හැකි ආකාරය පිලිබඳ, අධ්‍යයන බොහෝ කර තිබේ. මෙහිදී අපගේ සැලකිල්ලට භාජන වනුයේ මෙම අර්බුදය මිනිස් සංහතිය කෙරෙහි බලපානු ලබන්නේ කෙසේද යන්න විමසා බැලීම පමණකි. 


මිනිසා ඇතුළු පෘථිවි වාසී පෘෂ්ඨවන්ශී (vertebrate) ජීවීන්ගේ ශරීර උෂ්ණත්වය ගැන සලකා බැලීමේදී ඔවුන් චලතාපි (cold blooded)  සහ අචලතාපී (warm blooded)   යන ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා වෙන්කළ හැකිය. මෙයින් චලතාපි සතුන්ට පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීමත් සමග තම ශරීර උෂ්ණත්වය යාමනය කරගත හැකිය. මත්ස්‍යයින් වැනි ජලජ ජීවීන්, මැඩියන්  වැනි උභය ජීවීන් සහ සියලුම උරගයින් මේ ගණයට වැටේ. අචලතාපී සතුන්ට තම ජීවන ක්‍රියාකාරකම් මනා සේ  පවත්වා ගැනීම පිණිස, ශරීර උෂ්ණත්වය යම්කිසි  ප්‍රශස්ත  මට්ටමක ස්ථිරව පවත්වා ගත යුතුය. පක්ෂීන් සහ ක්ෂීරපායින් මෙම කාණ්ඩයට අයත් වෙති. Homo sapiens යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මිනිසා උච්චතම අවදියකට පරිණාමය වී ඇති ක්ෂීරපායී සත්ත්ව විශේෂයයි.


මිනිස් සිරුරේ උෂ්ණත්වය පාලනය වීම.  

 

මිනිසාට තම එදිනෙදා ජීවිතයේදී හුරු පුරුදු පරිසර උෂ්ණත්වය යම් කිසි හෙයකින් වැඩි වුවහොත්, ඒ නිසා ශරීර ක්‍රියාකාරිත්වයට සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා සකස් වූ ඉතාමත් සංකීර්ණ ක්‍රියා දාමයක් මිනිස් සිරුරෙහි තිබේ.  මෙම යාන්ත්‍රණය දෙආකාරයකින් සිදුවන බව හඳුනාගෙන ඇත. ඒවා මෙසේය:

  1. පරිසරයේ අධික උෂ්ණත්වයක්  ඇතිවූ විට එම තාපයට සංවේදී, මොළයේ ව්‍යුහයක් වන හයිපොතැලමස මගින් නිපදවන හෝර්මෝනයක් ක්‍රියාත්මක වී සමෙහි ඇති ස්වේද ග්‍රන්ථි මගින් දහඩිය නිපදවීමට පටන් ගනී. සම මතුපිටට පැමිණෙන දහඩිය බින්දු වාෂ්පීකරණය වීමේදී ශරීරයෙන් තාපය විශාල ප්‍රමාණයක් උරාගනී. 

  2. අභ්‍යන්තර උණුසුම වැඩි වූ විට සිරුරේ රුධිර වාහිනී විස්තාරණය වී, රුධිරය වැඩිපුර ප්‍රමාණයක් සිරුරේ බාහිර ආවරණය වන සමෙහි ඇති කේශ නාලිකා වෙත ගලා යයි. රුධිරයේ ද්‍රවමය කොටස වන  ප්ලාස්මයට තාපය උරා ගැනීමේ හැකියාවක් තිබේ. අභ්‍යන්තර අවයව ක්‍රියාකිරිමෙදී හටගන්නා තාපය උරාගත් ප්ලාස්මය, සම මතුපිට ස්තරවල ඇති කේශ නාලිකා කරා පැමිණ එහි අඩංගු තාපය සරිසරයට මුදාහරී. 



ඉහත රූප සටහනේ දක්වා ඇත්තේ තද අව් රශ්මිය ඇති තේ වත්තක, තේ දළු නෙළන කාන්තාවකගේ ශරීරයේ අදාළ සිසිලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වී පරිසර උෂ්ණත්වයට සැසඳෙන පරිදි තාවකාලිකව හැඩ  ගැසෙන ආකාරයයි. 

  • සමෙහි ප්‍රතිග්‍රාහක මගින් තාප ආතතිය හඳුනා ගැනීම, 

  • මොළයේ ‘හයිපොතැලමස’ ප්‍රතිචාර දැක්වීම, 

  • රුධිර වාහිනී විස්තාරණය වීම සහ 

  • රුධිරය සහ දහඩිය මගින් තාපය සිරුරෙන් මුදාහැරිම   

සිදුවන අකාරය දක්වා මෙහි ඇත.


පරිසරයේ අධික උණුසුම, කෙනෙකුට දරාගත හැකි  සීමා මට්ටමෙන් ඔබ්බට ගියහොත් (40 ℃ ට වැඩි) තාප ආඝාත (heat stroke) තත්ත්වයට භාජන වී, ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යයි. මෙවිට, විස්තාරණය වන රුධිර වාහිනී වලට අවශ්‍ය වැඩිපුර රුධිරය සැපයීම සඳහා හෘදය සහ පෙනහැලි වේගයෙන් ක්‍රියා කිරීම ආරම්භ වේ. මෙම තත්ත්වය උපරිමයට පැමිණිය හොත් හෘදයට තවදුරටත් ඔරොත්තු දිය නොහැකි තත්ත්වයක් උදාවේ. මෙසේ වන විටම රුධිර පීඩනය පහළ ගොස් කරකැවිල්ල, වෙව්ලීම, කතාකිරීමේ අපහසුව වැනි මූලික ව්‍යාකූලතා ඇතිවේ. එවිටම ශරීරයේ ලවණ මට්ටම පහල ගොස් කෙන්ඩ  පෙරලීම සහ මානසික නොසන්සුන් භාවයත් හටගනී. මේ වන විට අභ්‍යන්තර අවයව සෛල වලට අවශ්‍ය ඔක්සිජන් නොමැති වීම සහ විජලනය නිසා ඒවා අක්‍රිය වේ. විශේෂයෙන්ම කුඩා දරුවන්ට සහ දුර්වල වයස්ගත අයට තාප බලපෑම අතිශයින් තීව්‍ර වී ශරීර උෂ්ණත්වය 40 ℃ ඉක්මවන විටම මෙන් රෝගියා මරණයට පත්වේ. තරමක් දුරට හෝ ඔරොත්තු දීමේ ශක්තියක් ඇති අයෙකුට වහාම වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් සිහි විකල්වී, දෘෂ්ටි විෂමතා ඇතිවී මායා දර්ශන දකිමින් විකාර ස්වරූපයක් ගනී. මේ වන විට බොහෝ දුරට අක්‍රීය වන ආහාර ජීර්ණ  පටක වලින්  ආස්‍රව වන ධූලක (toxins) රුධිරයට එකතු වනවිට හෘදය, වකුගඩු, මුත්‍රාශය වැනි අවයවද අක්‍රීය වීමෙන් අවසානයේදී මරණය ලඟාවේ. 


‘National Geographic’ සඟරාවේ ලිපියක පළකර තිබුණු වාර්තාවකට අනුව,  2003 වසරේදී මධ්‍යධරණී මුහුදට යාව පිහිටි බටහිර සහ මධ්‍යම යුරෝපීය රටවල වායු ගෝලයේ හටගත් යෝධ අධි උෂ්ණ කාලගුණ විපර්යාසයක් නිසා මහා විනාශයක් සිදුවී තිබේ. මේ නිසා ප්‍රංශයේ දින අටක් පුරා පැවතී අධික උෂ්ණත්වය  40°C (104°F) ඉක්මවාගොස්, 15,000 ක පමණ ජනතාවක් සහ ඉතාලියේ 20,000 පමණද  මරණයට පත්වූ බව මෙයින් හෙළිදරව් වේ. මෙය වසර 500 කට පමණ පසු යුරෝපයේ ඇතිවූ වැඩිම උෂ්ණත්වයක් පැවති  කාල සීමාව බවද එම වාර්තා වල පළවී තිබුණි. පැරිස් නගරයේ පමණක් එම වසරේ අධි තාපය හේතුකොටගෙන සිදුවූ මරණ සංඛ්‍යාව 70% කින් පමණ වැඩිවූ බවත් 2001-2020 දශකය යුරෝපයේ වාර්තා වී ඇති උෂ්ණත්වය අධිකම දශකය බවත් සඳහන් කර ඇත.


මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය,  37 °C (98.6 °F) වන අතර සාමාන්‍ය පුද්ගලයෙකුට දරාගත හැකි උපරිම ශරීර උෂ්ණත්වය, 40°C (104°F) වන්නේය. ඉතාමත් කලාතුරකින් මීට වඩා මඳක් වැඩි ශරීර උෂ්ණත්වයට ඔරොත්තු දෙන අය සිටිය හැකි අතර,  42°C (107.6°F) ශරීර උෂ්ණත්වයකදී මිනිසාගේ සියලුම පද්ධති අක්‍රීය වී මරණය සිදුවේ.


මිනිස් සිරුරට දරාගත හැකි ඉහළ උෂ්ණත්ව සීමා 


ගෝලීය උණුසුම වැඩි වීම සහ එහි බලපෑම 


ගෝලීය උණුසුම් වීම හේතු කොට ගෙන ලොව පුරා බොහෝ  ආපදා සිදුවන්නේ, ව්‍යසනකාරී චණ්ඩ මාරුත, දැඩි නියඟය, ලැව් ගිනි, සාගර ජල මට්ටම ඉහල යාම වැනි ස්වාභාවික සංසිද්ධි වල ස්වරූපයෙනි. මේ සියල්ලටම වඩා අති භයානක මිනිස් සංහාර පවා සිදු වනුයේ ඉහත සඳහන් කරන ලද  යෝධ අධි උෂ්ණ කාලගුණ විපර්යාස හට ගැනීම නිසා බව පැහැදිලි වේ. මෙවැනි අනපේක්ෂිත ව්‍යසනකාරී අර්බුද හටගන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයට අසීමිත ලෙස එකතු වන, කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි හරිතාගාර වායු (greenhouse gases) නිසා බව පරිසර විද්‍යාඥයින්ගේ නිගමනයයි. වායු ගෝලයට හරිතාගාර වායු එකතු වීම වහාම පාලනය නොකළහොත්, නුදුරු අනාගතයේදීම මිනිසාට සිදුවිය හැකි අනර්ථකාරී බලපෑම් කෙරෙහි ලෝක වාසී සියල්ලන්ගේම අවධානය යොමු විය යුතුය.


විද්‍යාඥයින්ගේ පෙරැයීම් වලට අනුව, ගෝලීය උණුසුම් වීම මේ ආකාරයටම ඉදිරියටත් පැවතුනහොත්, වසර 2100 වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වසරකට මිනිසුන් ලක්ෂයකට පමණ, අධි උෂ්ණත්වය නිසා දිවි අහිමිවන බවත්, ආසියානු රටක් වන ඉන්දියාවේ මිලියන 1.5 ක පමණ ජනතාවක් මරු මුවට ඇද දමන බවත් අනුමාන කර තිබේ. මාරාන්තික අධික උෂ්ණත්වය මෙසේ බියකරු වන අතර, අසාමාන්‍ය උෂ්ණත්ව වැඩිවීම් නිසා වෙනත් අසහනකාරී සිදුවීම්ද ඇතිවිය හැකිය. අධික උෂ්ණත්වය නිසා නොමේරූ, බර අඩු හෝ අජීවී දරු උපත් සිදුවන බව පර්යේෂණ මගින් ඔප්පුවී තිබේ. එසේම දරුවන්ගේ සහ වැඩි හිටියන්ගේත් කනස්සලු බව, කේන්ති යන ස්වභාවය වැනි මානසික ආතති සහ දරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් සහ අධ්‍යාපන පසුබටතාවයද අධික උෂ්ණත්වයට ගොදුරු වීම නිසා සිදුවන බව හෙළිදරව් වී තිබේ. 


මීට අමතරව ආර්ථික වශයෙන් සිදුවිය හැකි පාඩුවද පිරිමැසිය නොහැකිය. උදාහරණයක් වශයෙන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් කර ඇති සමීක්ෂණයකට අනුව,  2030 වර්ෂය වනවිට තදබල උෂ්ණත්වය නිසා, කෙනෙකුට යම්කිසි කාර්යයක නියැලිය හැකි කාළය, දැනට සම්මත කාලයෙන්   2.2% කින් අඩුවන බව හෙළිවී ඇත. මෙය අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කෘෂිකාර්මික සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල නිරත වන මිලියන 80 ක පමණ ජනතාව සඳහා  රැකියා අහිමි වීමකට සමකළ හැකිය. 


ගතවූ වසර 10,000 ක පමණ කාලය තුලදී මිනිසා විසින් ස්වකීය කෘෂිකාර්මික සහ සත්ත්ව පාලන කටයුතු කරගෙන යන ලද්දේ,    12.8°C (55°F) ආසන්න වන සාමාන්‍ය උෂ්ණත්ව පරාසයක් යටතේය.  අචලතාපී මිනිසාට අංශක කිහිපයක උෂ්ණත්ව වැඩිවීමකට අනුවර්තනය වීම සඳහා අභ්‍යන්තර පද්ධති හැඩගැසී ඇති ආකාරය ඉහත විස්තර කරන ලදී. එසේ වුවත් වැඩිවන  උෂ්ණත්වයේ  සහ ආර්ද්‍රතාවයේ මිනිසාට ඔරොත්තු දෙනු ලබන පරාසය ඉතාමත් පටු එකකි. මෙය සෙල්සියස් අංශක 38 සිට 41 දක්වා වන පටු පරාසයක් බව ඉහත දක්වා ඇත.

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ජාතික විද්‍යා ඇකඩමිය’  විසින් 2020 වසරේදී කර  ඇති අධ්‍යයනයකට අනුව, ඉදිරියට වසර 50 කදී පමණ, එනම් 2070 වනවිට, ගෝලීය උණුසුම් වීම නිසා ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට පමණ, දැනට සහරා කාන්තාරයේ පවතින උෂ්ණත්වයට සමකළ හැකි  උණුසුම් පරිසරයක ජීවත් වීමට සිදුවේ. මේ අභාග්‍ය සම්පන්න තත්වයට මුහුණ දීමට සිදුවනුයේ මැද පෙරදිග සහ දකුණු ආසියානු කලාපවලත්, අප්‍රිකා, දකුණු ඇමෙරිකා සහ ඕස්ට්‍රේලියා මහාද්වීප වලත් ජීවත් වන ජනතාවට බව පැහැදිලිය. ඒ වන විට මෙම ප්‍රදේශවල ගිම්හාන කාලයේ පරිසර උෂ්ණත්වය 40°C (104°F)  ඉක්මවා යන බව අධ්‍යයන වලින් තහවුරු වී තිබේ. 


අර්බුදය සඳහා ඇති  විසඳුම් ප්‍රමාණවත්ද ?


අනාගතයේදී මිනිසුන් බිලියන ගණනකට  මුහුණ දීමට  සිදුවන,  මෙසේ අනුමාන කර තිබෙන අර්බුදයට විසදුම් අප සතුව තිබේද?   උෂ්ණත්වය අඩු ප්‍රදේශ වලට සංක්‍රමණය වීම එක් විසඳුමකි. එහෙත් මෙය කිසිසේත් කළ නොහැකි දෙයකි. දෙවැන්න වනුයේ එම අභියෝගය සඳහා අනුවර්තනය වීමයි. ගැටලුවට අනුවර්තනය වීමේ සරලම පිවිසුම විය හැක්කේ නිවාස අභ්‍යන්තරය  ‘වායුසමනය’ (air-conditioning) කර ගැනීමයි. ඒ නිසා  නිවාස, කාර්යාල, කඩ සාප්පු, යාන වාහන ආදී සියල්ල වායු සමනය කර ගත හැකිනම් ඉතා අගනේය. එහෙත් එය වෙනත් ආකාරයේ ගැටළු වලට මං විවර  කරනු ලබන අනුවර්තනයක් විය හැකිය. අභ්‍යන්තර වායුසමනය කිරීමේ දැනට පවතින ක්‍රමවේද වල රසායනික අතුරු ඵල, පරිසරය උණුසුම් කිරීමට මූලික වන අතර, වායු සමනය අවශ්‍ය වන බොහෝ අයට දරිද්‍රතාව නිසා ඒ සඳහා වන වියදම් දැරිය නොහැකිය. 2020 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇති,  රටෙහි උපරිම උෂ්ණත්වය වාර්තාවන ප්‍රදේශයක සිදුවූ තාප මරණ පිලිබඳ සොයා බැලීමේදී වැදගත් කරුණු දෙකක් හෙළිදරව් වී තිබේ. මෙම මරණ වලින් එළිමහනේ සිදුවී ඇති ඒවායින් මළවුන් වැඩි සංඛ්‍යාවක්, ස්ථිර නිවාස නොමැති අගු පිල්වල ගත කරන අය බව වාර්තා විය. එසේම නිවාස වල අභ්‍යන්තරයේ මළවුන් ජීවත් වී ඇත්තේ සිසිලන පහසුකම් කිසිවක් නොමැති තාප පරිවරණය (heat insulation) රහිත පැල්පත් වලය. 


මෙම කරුණු ගැන සලකා බලන විට ලොව පොහොසත්ම රටවල පවා, නිවාස නොමැති අය සහ  තිබෙන නිවෙස් වලද  ජීවත් වීම සඳහා අවම පහසුකම්වත් නොමැති වීම, අධි උෂ්ණත්ව මරණ වලට හේතු වී ඇති බව පැහැදිලිය. මේ නිසා අධි උෂ්ණත්වය පිලිබඳ ගැටළුව නිවාස හිඟය, ජල හිඟය සහ වෛද්‍ය පහසුකම් නොමැතිවීම වැනි සාධක රාශියක් සමග එකට බැඳී ඇති බව පෙනේ. සම්පත් ඇති පොහොසත් රටවල තත්ත්වයද  මෙසේ වන විට, මූලික අවශ්‍යතා ස්වල්පයවත් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල ඉරණම කුමක් විය හැකිද? 


මේ සඳහා ඉන්දියාවේ උද්ගතවී ඇති තත්ත්වය උදාහරණයක් ලෙස ගෙන බලමු. එරට දෛනික  උෂ්ණත්වය 40°C (104°F)   ඉක්ම යන විට, ජනතාවට නිවාස තුලට වී හැකි තරම් සිසිල් ජලය පානය කරන ලෙස රජයෙන් උපදෙස් ලැබේ. ඉන්දියාවේ ජනගහනයෙන් මිලියන දහයකට පමණ මෙම උපදෙස් වලින් කිසිම ප්‍රයෝජනයක් නොමැතිය. ඔවුන්ගේ නිවාස අභ්‍යන්තරය බාහිර පරිසරයට වඩා උණුසුම්ය. විදුලි බලය නොමැති නිසා විදුලි පංකා හෝ ‘ජල ස්ප්‍රේ’ යන්ත්‍ර නොමැතිය. ඉන්දීය නිවාස වලින් වායුසමන යන්ත්‍ර ඇත්තේ සියයට අටකට පමණ වේ.  


පරිසර උෂ්ණත්වය ඉහළයාම නිසා සිදුවන මිනිස් ජීවිත හානි වලක්වා ගැනීමේ ක්ෂණික (එහෙත් තාවකාලික) පියවරක් වශයෙන්, නිවාසවල වායුසමන ඒකක ස්ථාපනය  කිරීම පිලිබඳව බොහෝ රටවල උනන්දුවක් ඇතිවී තිබේ.  ‘Climate Impact Lab’ නම් දේශගුණ පර්යේෂණ ආයතනයේ අධ්‍යයනයකට  අනුව, බොහෝ රටවල ජනතාවට සෞඛ්‍ය පහසුකම් ළඟාකර දීමෙන් සහ අධි උෂ්ණත්වය නිසා සිදුවිය හැකි ආපදා මග හැරීමට කටයුතු සැලැස්වීමෙන්, වසරකට මිලියන ගණනක මිනිස්  ජීවිත විනාශ වීම වලක්වා ගත හැකි බව හෙළිවී තිබේ. මෙයට සමගාමීව ‘ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය’ (International Energy Agency) විසින් කර තිබෙන ගණනය කිරීමකට අනුව, අද ලොව පුරා ක්‍රියාත්මක කරනු ලබන බිලියන 1.6 පමණ වන වායුසමන  ඒකක  සංඛ්‍යාව 2050 වනවිට, බිලියන 5.6 දක්වා ඉහල යන බව  පෙන්වා දී ඇත. නිවසක වායුසමනය කර තිබීම සුඛෝපභෝගී බව මෙන්ම ඉහල සමාජ මට්ටමක් පිළිබිඹු කිරීමේ සංකේතයක් ලෙස පිළිගත් කාලයක්ද විය. එහෙත් අද එය අධි උෂ්ණත්වයෙන් මිනිසා ආරක්ෂා කර ගතහැකි පිළිවෙතක් ලෙස සමාජ ගතවී තිබේ.  එසේ වුවත් අද පවතින වායු සමනය කිරීමේ තාක්ෂණයේ ඇති දුර්වලතා නිසා සිදුවිය හැකි අනර්ථකාරී දේ පිළිබඳවද සිත් යොමු කිරීම නුවණට හුරු වේ. 


අද තිබෙන මාදිලියේ  ‘සුඛෝපභෝගී’ වායුසමනය කිරීමේ යන්ත්‍ර භාවිතය කිසිසේත්  ‘පරිසර හිතකාමී’, කාර්යක්ෂම සහ ඵලදායී අනුවර්තන ලෙස සැලකිය නොහැකිය. මේවායේ අනර්ථකාරී අංශ කිහිපයක්ම තිබේ. වායුසමන යන්ත්‍රයක තාක්ෂණ ක්‍රම වේදයේ  පළමු පියවර  වනුයේ, එහි ඇති ‘ශීතකාරක ද්‍රවය’ (refrigerant), කාමරය ඇතුලත  ඒකකයේ  ඇති දඟර දැමු වාෂ්පීකරණ  ලෝහ නල පද්ධතියක් හරහා යැවීමයි. මෙහිදී, එම ද්‍රවය නාල තුළදී වාෂ්ප අවස්ථාවට පත්වීමේදී    කාමරයේ ඇති තාපය උරාගැනීම නිසා, කාමරය සිසිල් වේ. ඊට පසු එම වාෂ්ප කාමරයට පිටින් බාහිරව ඇති දෙවන ඒකකයේ ඇති සම්පීඩකය (compressor) මගින් නැවත ද්‍රවයක්  බවට පත් කරයි. මේ ‘වාෂ්ප/ද්‍රව’ පරිවර්තනයේදී පරිසරයට තාපය මුදා හැරේ. ශත වර්ෂයකට වඩා පැරණි මෙම තාක්ෂණයේ අදට නොගැලපෙන දෝෂ කිහිපයකි.

  1. ප්‍රථමයෙන්, මෙම යන්ත්‍රවල භාවිත කෙරෙන හයිඩ්‍රෝෆ්ලුරෝකාබන (HFC)  ශීතකාරක ද්‍රව භයානක හරිතාගාර වායු වේ. මේවා  යම්කිසි හෙයකින් වාතයට කාන්දු  වුවහොත්, ඒ  මගින් ඇතිකළ හැකි පරිසර හානිය කාබන්ඩයොක්සයිඩ්  වායුවෙන් සිදුවන හානිය මෙන් දහස් ගුණයකටත් වඩා වැඩිය.

  2. දෙවනුව, මෙම යන්ත්‍ර වලින් කාමරයේ තාපය එතැනින් ඉවත් කර බාහිර පරිසරයට දැමීම විනා, සමස්ත සිසිලනයක් සිදු නොකෙරේ. මේ නිසා බාහිර උෂ්ණත්වය ඉහළ ගිය හැකිය.

  3. තුන්වෙනුව, වායුසමන යන්ත්‍ර ක්‍රියාකිරීම සඳහා අධික වශයෙන් බල ශක්තිය වැයවේ. ජගත් බලශක්තියෙන් 8.5% ක් පමණ වායු සමනය සඳහා වැය වන බව කියැවේ.  මෙම බල ශක්තියෙන් වැඩි ප්‍රතිශතයක් ලබා ගන්නේ ෆොසිල ඉන්ධන දැවීමෙනි. 2016 වසරේදී කරන ලද ගණනය කිරීමකට අනුව, වායු සමනය කිරීම නිසා  පමණක්, කාබන්ඩයොක්සයිඩ් වායුව ටොන් බිලියන 1.25 ක් වායු ගෝලයට මුක්ත වී තිබේ. 2050 වන විට මෙම ප්‍රමාණය දෙගුණ විය හැකිය.   


ගෝලීය උණුසුම සඳහා නව විසඳුම් සැලසුම් කර ගත යුත්තේ කෙසේද?      

ගෝලීය උණුසුම් වීම, දැනටමත් ආපසු හැරවිය නොහැකි මට්ටමකට අවතීර්ණ වී තිබෙන බව ලොව සෑම අතින්ම ලැබෙන තොරතුරු වලින් සනාථ වෙමින් තිබේ. මෙම අර්බුදය පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවද සත්‍යයකි. එසේ වුවත් මේ සියල්ලේම සමුච්චිත යහපත් ප්‍රතිඵල දැක ගැනීමට තවත් දශකයක්වත් ගතවිය හැකිය. මේ ආකාරයට යෝජනාවී ඇති නව තාක්ෂණික මෙවලම් සහ ඒවායේ භාවිත කරනු ලබන මූල ධර්ම සහ සිද්ධාන්ත කෙරෙහි විශ්වාසය තබා, අදට වඩා සෞභාග්‍යමත් අනාගතයක් සඳහා බලාපොරොත්තු තැබිය හැකි බව පෙනේ. 

අද දකින්නට ලැබෙන පරිදි, නුදුරු අනාගතයේදීම පොදුවේ සමස්ත ලෝක වැසියාටම මුහුණ දීමට සිදුවන පරිසර උණුසුම් වීමට, අනුවර්තනය වීම  සඳහා ගැලපෙන සූදානම් වීම්  හැර වෙනත් කිසිම විකල්පයක් නොමැති බව අධ්‍යයන මගින් හෙළි වෙමින් පවතී.  මේ සඳහා දැනට පවතින නිවාස වැනි අභ්‍යන්තර ස්ථාන සඳහා භාවිත කරනු ලබන, සිසිලන මූලධර්ම ආශ්‍රීත ක්‍රමවේද නවීකරණය කර ඒ හැම එකකම කාර්යක්ෂම භාවය පස් ගුණයකින්වත් වැඩි කර ගැනීම, මේ සඳහා ඇති ප්‍රධානතම අභියෝගයයි. තාක්ෂණයේ නව මං ඔස්සේ ගොස් මේ ඉලක්කය ළඟා කර ගත හැකි වනු ඇත. මෙහිදී වඩාත්ම අවශ්‍ය වනුයේ ‘පරමාදර්ශී මාරුව’ (paradigm shift) වශයෙන් හැඳිවෙන  නව සංකල්පය වෙත යොමුවීම හැර අන් කිසිවක් නොවේ.  [භෞතික විද්‍යාවේ මූල ධර්මයක් වන ‘කාබන් කාල නිර්ණය’ (carbon dating), පුරාවිද්‍යා කැනීම් වලදී හමුවන පුරාවස්තුවල  ඓතිහාසික කාල වකවානු තීරණය සඳහා  දැනට අත්‍යාවශ්‍ය මෙවලමක් වී තිබීම ‘පරමාදර්ශී මාරුව’ සඳහා කදිම  උදාහරණයකි] 

නාගරික ප්‍රදේශවල පවා, ඉඩකඩ ඇති සෑම ස්ථානයකම, වැඩි වැඩියෙන් ගහකොළ වැවීම මගින් ගෝලීය උණුසුම් වීම මැඩ පැවැත්වීමට උත්සාහයක් ගැනීම ගැනද  මතයක් ගොඩනැගෙමින් පැවතිණ. එසේම, ගොඩනැගිලි පියැසි මුදුන්වල, ගෙඋයන් සකස්කිරීම හෝ ඒවා තාප පරාවර්තනය සඳහා වර්ණාලේප කිරීම, ක්‍රීඩාංගන වල කෘතීම මීදුම වැනි ස්වභාවයක් ගෙන දෙන ‘ජල ස්ප්‍රේ’ යාන්ත්‍රණ සකස්  කිරීම, නගරවල වර්ෂා ජලය උරාගනිමින් එම ජලය ආපසු පරිසරයට වාෂ්පීකරණය කළහැකි ‘පාරගම්‍ය’ (permeable) පදික වේදිකා ආදිය සැකසීම බොහෝ විට අත්හදා බලා තිබේ.  එහෙත් පසුගියදා ඇමෙරිකා  එක්සත් ජනපදයේ, ඇරිසෝනා ප්‍රාන්තයේ කරන ලද අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ, එළිමහනේ අධි උණුසුම සමනය කිරීම සඳහා කුමන ක්‍රමවේද භාවිත කළත්,  වාසස්ථාන අභ්‍යන්තරයේ අධි උණුසුම පාලනය නොකළහොත් එය මිනිසාගේ සෞඛ්‍යය සඳහා අතිශයින් බලපාන බවයි. මේ නිසා වඩාත්ම ගැලපෙන විකල්පය ‘අභ්‍යන්තර වායුසමනය’ කිරීම පමණක්  බව යළිත් නිගමනය කර තිබේ. 

වායු සමනය සඳහා යාන්ත්‍රික ක්‍රමවේද වෙනුවට ස්වාභාවික වායු සංවහන රටා ප්‍රයෝජනයට ගනිමින්, එයට ගැලපෙන පරිදි වාසස්ථාන නිර්මාණය කිරීම පිළිබඳවද ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් කටයුතු කරන බවද අසන්නට ලැබේ. මෙයද ඉතාමත් සාධනීය ඉදිරි පියවරකි. 

මෙම අභියෝගය ජය ගැනීම සඳහා ඉදිරිපත්වූ ඉංජිනේරුවන්, තාක්ෂණ විශේෂඥයින් සහ විද්‍යාඥයින් විසින් ගෝලීය උණුසුම් වීමේ බලගතු කම නිසා මිනිසා මුහුණ පාමින් සිටින අන්තරාය මගහරවා ගැනීම පිණිස නව  ක්‍රම වේද, පරමාදර්ශී මාරුවද උපයෝගී කරගනිමින් ගවේෂණය කිරීමේ දැඩි ප්‍රයත්නයක නියැලී  සිටිති. ඔවුන්ගේ නව නිර්මාණ සහ ක්‍රම වේද 2025 පමණ වනවිට ලොවට හෙළිදරව් කිරීමට හැකිවේයයි බලාපොරොත්තු තබාගත හැකිය. 

අධිකතර පරිසර උණුසුම මේ වන විට දැවෙන සමාජ ගැටළුවක් බවට පත්වී තිබේ. මෙයින් වැඩිපුරම පීඩාවට පත්වනුයේ දරිද්‍රතාවයෙන් පෙලෙන, පහසුකම් රහිත වාසස්ථාන වල හෝ අස්ථිර  ‘හිසට සෙවනක්’ සහිතව ජීවත්වන ජනතාවටය.  මේ නිසා ඉතාමත් අවදානම් සහිත තත්ත්වයේ සිටින, ඉතා අඩු ආදායමක් ලබන කෝටි සංඛ්‍යාත ජනතාවක් සුවපත් කිරීමෙන් මිස මෙම ගැටලුවට විසඳුම් සෙවීම උගහටය.     

ඇමෙරිකානු ජාතික බෙන්ජමින් ආර්. බාර්බර්  විසින් පළකර තිබෙන ‘Cool Cities: The fix for Global Warming’ නම් පොතෙහි දක්වා  ඇති ආකාරයට, කෙතරම් උත්සාහයක් ගන්නේ වුවද මෙම ශත වර්ෂය අවසාන වන විටවත් සෙල්සියස් අංශක 0.5 කින්වත් පරිසර උෂ්ණත්වය අඩුකර ගැනීමට මෙම කිසිම ක්‍රමවේදයක් සමත් වේද යන්න සැක සහිතය. 

ඔහු තවදුරටත් දක්වන පරිදි “කිසිවක් නොකර සිටීමද කිසිසේත් ප්‍රමාණවත් නොවේ”

ඔහු තම දැක්ම අනුව මෙසේද ප්‍රකාශ කරයි. “පෘථිවි උතුරු අර්ධගෝලයේ බොහෝ රටවල ‘බලශක්ති ඒකාධිකාරිය’ නැතහොත් ‘තාප ධනය’ ස්වල්ප වශයෙන්  හෝ ‘බලශක්ති හීන’ දකුණු අර්ධ ගෝලයේ රටවල, පොසිල ඉන්ධන භාවිතය නතර කරන තුරුවත්,  හුව මාරු කර ගත හැකිනම් අගනේය.” 

මේ මගින් ඔහු හුවා  දක්වන්නේ, උතුරු අර්ධගෝලයේ බොහෝ රටවල ජනතාව තම සුවපහසුව සඳහා හඹා යාමේ අවම  සීමාව වශයෙන් නිගමනය කර පිළිගෙන තිබෙන ‘ප්‍රශස්ත යයි සැලකෙන’ පරිසර උණුසුම් මට්ටම මඳක් ඉහලට දමා, ඒ මගින් ලැබෙන වාසිය  දකුණු අර්ධ ගෝලයේ රටවල පීඩා විදින ජනතාවට ලබා දීමේ ඇති වැදගත් කමයි. එහෙත් මෙම සදාචාර ප්‍රතිපත්තිය පිලිබඳ පණිවුඩය, සැප සම්පත් විඳිමින් සුඛෝපභෝගී ජීවිත ගතකරන උතුරු අර්ධගෝලීය රටවල ජනතාව අතරට ගෙන යාම එතරම් පහසු කරුණක් නොවිය හැකිය. 

බෙන්ජමින් ආර්. බාර්බර්, අවසානයේදී මෙසේද පවසයි 

“පරිසර උෂ්ණත්වය 60 °C දක්වා ඉහල ගියහොත්,  වායුසමන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම විනා වෙනත් කිසිම පිළිසරණක් නොමැතිය. එසේ වුවත්, උෂ්ණත්වය 30 °C  වන විට, සිසිල් සුළං පොදක් ලබාගැනීම පිණිස වායු සමනය වෙනුවට ජනේලයක් විවෘත කරමු.” 

මෙම අගනා දැක්ම අනුව ක්‍රියාකිරීමට ලෝක බලවතුන් උත්සාහයක් ගතහොත් ගෝලීය උණුසුම් වීම සදාකාලිකව ජය ගැනීම සඳහා  ඉතාමත් දූරදර්ශි මං පෙත් හමුවනු ඇත. 

(තොරතුරු ස්තුති පූර්වකව පොතපතින් සහ අන්තර්ජාලයෙනි)