1960 දශකයේ මුල් වර්ෂ වලදී අත් විඳි, දශක හයකට පසු නැවත ආපසු හැරි බලන විට
තරමක මිශ්‍ර හැඟීම සහිත සිතුවිලි ධාරාවකින් යුක්තව මෙනෙහි කළ හැකි සිද්ධීන්
සමුහයක් මෙසේ පෙළ ගස්වමි.
.
.
මා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයක් ලබා ප්‍රදේශයේ
තිබුණු මධ්‍ය විද්‍යාලයට ඇතුළත්වූයේ 1950 වර්ෂයේදීය.
ගමේ ප්‍රාථමික විද්‍යාලයේ සිට ශිෂ්‍යත්වයක් ලබා මධ්‍ය විද්‍යාලයට ඇතුලත් වීම ඒ
කාලයේ විශාල ජයග්‍රහණයකි. ඊට පසු විශ්ව විද්‍යාලයයේ විද්‍යා අංශයට ඇතුළත්වීම සහ අපගේ
ගමෙන් එසේ කළ හැකිවූ ප්‍රථමයා වීමද මා ලැබූ තවත් ජයග්‍රහණයකි. ඒ 1960 වසරේදීය.
රටෙහි එවකට තිබුණේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයය
පමණකි. ඒ වන විට, එහි කලා පීඨ, කෘෂි විද්‍යා
පීඨය සහ පශු වෛද්‍ය පීඨය ස්ථාපිත කර තිබුණේ පේරාදෙණියේය. විද්‍යා පීඨය,
වෛද්‍ය විදා පීඨය සහ ඉංජිනේරු විද්‍යා පීඨ පවත්වා ගෙන යන ලද්දේ කොළඹය. අප ඇතුළත්වූ විද්‍යා පීඨය පිහිටියේ දැනට කොළඹ
විශ්ව විද්‍යාලයය තිබෙන රීඩ් මාවතට සහ තර්ස්ටන් මාවතට මැදිවූ පරිශ්‍රයේය. රීඩ්
මාවතෙන් අනික් පැත්තේ තුරඟ තරඟ පිටිය පිහිටා තිබුණි. සිසුන් සඳහා ශිෂ්‍ය නිවාස
කිහිපයක්ද විය. මෙම ශිෂ්‍ය නිවාස සඳහා විශාල මුදලක් ගෙවීමට අවශ්‍ය නිසා අපට ඒවායේ
නේවාසික වීමට වත්කමක් නොවීය.
මධ්‍ය විද්‍යාලයේ සිටියදී ශිෂ්‍යත්ව ආධාර මුදල වශයෙන් රජය මගින්
ලබාදුන්නේ මසකට රුපියල් විස්සකි. මේ මුදලින් කෙසේ හෝ අපට සියලුම නේවාසික පහසුකම්
නොඅඩුව ලැබුණි, විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ පසු ශිෂ්‍යත්ව ආධාර මුදල රුපියල් සියයක් විය.
කොළඹ සිට සැතපුම් පනහක පමණ ඈතින් පිහිටි නිවසේ
සිට විශ්ව විද්‍යාලයට පැමිණීම අපහසු නිසා මට කොළඹ නවාතැනක් සොයාගැනීමට සිදුවිය.
පියාගේ හැඳුනුම් කමක් මත මට නාරාහේන්පිට පදිංචිව සිටි දේශීය වෛද්‍යවරයෙකුගේ
නිවසෙහි නතරවීමට කතිකා කර ගතිමු. තිඹිරිගස්යාය පාරේ අවසානයේම තිබුණු මෙම පැරණි
නිවසට යාබදව පිහිටි, ගෙහිමියාට අයිති ගරාජයක් වැනි පැරණි ගොඩනැගිල්ලක ලෑලි ගසා
වෙන් කරන ලද කාමර නේවාසිකයින්ට කුලියට දීම සඳහා සකස්කර තිබුණි. මෙයින්, කුඩා
මේසයක්, පුටුවක් සහ විදුලි පහනක් පමණක්
තිබුණු කුඩා කාමරයක් මට ලබාගත හැකි විය. එයට මාසික කුලිය රුපියල් හැත්තෑවකි. නිදා ගැනීම සඳහා, ඇඳක් නොලැබුණු නිසා රුපියල්
හතළිහකට බුරු ඇඳක් මිලයට ගැනිමට සිදුවිය. කාමරවල නේවාසිකව සිටි අප පස් දෙනෙකුට
භාවිත කිරීමට තිබුණේ බාල්දි වැසිකිළියකි. නගර සභාවේ සේවකයෙකු එය හිස්කර පිරිසිදු
කරනුයේ දහවල් දහයට පමණ වන නිසා බොභෝ දිනවල උදයේ එය පෙත්තටම පිරි තිබිණ. මුල් දිනවල
ඉතාමත් අමාරුවෙන් වැසිකිළිය පාවිච්චි කර, පසුව එම කටයුත්ත සඳහා විශ්ව විද්‍යාලයයේ
වැසිකිලි පහසුකම් ලබාගැනීමට පුරුදු
වුයෙමි.
අපට දිය නෑම සඳහා නාන කාමර නොවිය. වැසිකිලියට
යාබදව සකස් කර තිබුණු වතුර ටැංකියෙන් බාල්දියකින් දිය ඇද නෑමට සිදුවිය. වතුර
ටැංකියද දිය සෙවෙල බැඳී ඉතාමත් අපිරිසිදු තත්වයක තිබුණු නිසා ටික දිනකට පසු මට තවත් සගයෙකුගේද සහාය ඇතිව එය පිරිසිදු කර
ගැනීමට සිදුවිය.
මා හැර, නේවාසිකව සිටි අනික් සියලු දෙනාම
කාර්යාල වල වැඩ කළ අය නිසා පීටින් ආහාර ගැනීමට පුරුදුව සිටියහ. මට පාඩම් කිරීමට
තිබෙන නිසා ගෙදරින් රාත්‍රී ආහාර සැපයිය
හැකිදැයි මම වෙද මහතාගෙන් විපරම් කළෙමි. වැඩ කරන දින වලදී මට විශ්ව විද්‍යාල ආපන
ශාලාවෙන් ආහාර ගතහැකි බවද ඔවුනට පැවසීමි. දෙමහල්ලන් සාකචඡා කර, මසකට රුපියල් විසිපහකින් මට අවශ්‍ය උදේ
ආහාරය, රාත්‍රී ආහාරය සහ සවස තේ සැපයීමට කැමති වුහ. මේ සමගම ඔවුන් සියල්ලෝම මට ගෙදර කෙනෙකුට මෙන්
සැලකීමටද පුරුදු වුහ.
මා ද, ඒ සියල්ලට ප්‍රති උපකාරයක් වශයෙන් ඉඩ ඇති
වේලාවට ගෙදර දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතුවලට උදව් කළෙමි.
නවාතැන මට ඉතාමත් ප්‍රිය මනාප තැනක් විය. ලෑලි
ගසා වෙන්කර තිබෙන කුඩා කාමරයට වී තනි පංගලමේ පාඩම් කිරීමත්, බුරු ඇඳේ නිදාගැනීමත් මට
අලුත්ම අත් දැකීම් විය. මේ නිසා සරල, චාම් ජිවිතය පිළිබඳව හොඳ අවබෝධයක්ද ලැබිණ. ගෙදර කුඩා දරුවන් දෙදෙනාට පාඩම්
කටයුතුවලට උදව කිරීමෙන්ද මම නොමඳ ආශ්වාදයක් ලැබුවෙමි.
මාගේ නවාතැන ඉදිරිපිට තිඹිරිගස්යාය පාරේ ධාවනය වන,
මාර්ග අංක 111 නාරාහේන්පිට-පිටකොටුව බස් රථය තුන්මුල්ල හන්දිය හරහා තර්ස්ටන් පාර
ඔස්සේ යාම මට තවත් පහසුවක් විය. මේ නිසා නවාතැනේ සිට විශ්ව
විද්‍යාලයට මිනිත්තු දහයකින් පමණ යාමට හැකිවිය. විශ්ව විද්‍යාලයය අසල බස් නැවතුම
දක්වා යාමට බසයට අය කළේ ශත පහළොවකි. සමහර දිනවල තුන්මුල්ල හන්දියෙන් බැස ඉතිරි
කොටස පයින් යාමටද පුරුදු වූවෙමි. එසේ කළ විට බස් ගාස්තුව ශත දහයක් පමණක් වූ නිසා
ශත පහක් ඉතිරි කර ගැනීමටද හැකි විය. එවකට විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශ ප්‍රධානියා
වූ මහාචාර්ය මයිල්වාගනම් මහතා ද දිනපතාම තිඹිරිගස්යාය අසල සිට විශ්ව විද්‍යාලයට
පයින්ම යනු දකින්නට ලැබුණි.
ජීව විද්‍යා අංශයේ වූ අපගේ දේශන පැවැත්වුයේ
තර්ස්ටන් පාරෙන් ඇතුල්වන දොරටුව අසලම පිහිටි
ශාලාවේය. අපගේ විද්‍යාගාරද ඒ අසලම විය. රසායන විද්‍යාව සඳහා පමණක් තරමක්
දුරින් පිහිටි පැරණි ගොඩනැගිලි සංකීර්ණයට යාමට සිදුවිය. ජීව විද්‍යා අංශයේ සිටියේ
ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතලිස් දෙනෙක් පමණකි. මෙයින්ද පසළොස් දෙනෙක් පමණ පළමු වසර
අවසානයේදී ගෞරව උපාධි අංශ වෙත යොමු වුහ. භෞතීය විද්‍යා අංශයේ සියලුම සිසුන්ද අප
සමග පළමු වසර රසායන විද්‍යා දේශන වලට සහභාගී වුහ. පළමු වසරේ තවත් විශේෂ දෙයක් වූයේ ඉංජිනේරු පීඨයට සහ වෛද්‍ය පීඨයට තේරී ඇති රසායන විද්‍යාවෙන් යම්කිසි
මට්ටමකට අඩුවෙන් උසස් පෙළ ලකුණු ලබා සිටි සිසුන්ද අඩු සුදුසුකම් සපුරා ගැනීම සඳහා
අපත් සමග රසායන විද්‍යා දේශන වලට සහභාගී වීමයි. මේ නිසා රසායන විද්‍යා දේශන සඳහා
සියයකට අධික සිසුන් පිරිසක් සිටියහ.
අපගේ පළමු වසර සත්ත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව
දේශන සියල්ලම කරනු ලැබුවේ එම අංශ දෙකෙහි පීඨාධිපති මහාචාර්ය වරුන් විසිනි. මුල්
දින කිහිපයේදී ඔවුන්ගේ දේශන වල අගක් මුලක් සොයා ගැනීමට නොහැකි තරමට අවුල් සහගත
විය. අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි වූ ගම්බද විදුහලකින් පැමිණි මට, සාමාන්‍ය ව්‍යවහාර
භාෂාව වුයේ සිංහල නිසා මෙසේ වන්නට ඇත. එහෙත් සති කිහිපයකදී මහාචාර්ය වරුන්ගේ ව්‍යක්ත ඉංග්‍රීසි උච්චාරණය
තේරුම් ගනිමින් දේශන සටහන් ලියා ගැනීමටද හැකිවිය.
සත්ත්ව විද්‍යා මහාචාර්යවරයා සිසුන් සමග කතාබස්
නොකරන දේශන වලට හැර, වෙන කිසිම අවස්ථාවක තම කාමරයෙන්වත් පිටතට නොඑන ගුප්ත කෙනෙකු
විය. ඔහුගේ දේශන වුයේ පයිල් කවරයක තිබෙන පැරණි සටහන් කියවීමයි. කෙසේ වෙතත් එතුමාගේ
රුප සටහන් ඉතාමත් පැහැදිලි ඉතා හොඳින් නම්කළ ඒවා විය. විවිධ වර්ණ වල රට හුණු වලින්
විස්තරාත්මකව අඳින ලද රුප සටහන් දේශනයට
වඩා ප්‍රයෝජනවත් විය. ඔහු ඉතා වේගයෙන් දේශනය කියවන අතර බොහෝ විට අපට සම්පූර්ණ වාක්‍ය
ලියා ගැනීමට නොහැකි වේ. මේ නිසා සෑම දිනකම දේශනයෙන් පසු අප හතර පස් දෙනෙකුගෙන්
යුත් කුඩා කණ්ඩායම් එකතුවී දිනයේ දේශන සටහන් සංසන්දනය කර අඩුපාඩු සම්පුර්ණ කර
ගැනීමට පුරුදු වි සිටියෙමු. අප බොහෝවිට
මෙය කළේ දේශන ශාලාව ඉදිරිපස තිබුණු විශාල මගුල් කරඳ ගස යට සෙවනේ වාඩිවී සිටය. බොහෝ
විට පැයක දේශනය සම්පුර්ණ කර ගැනීමට තවත් පැයක පමණ වේලාවක් ගතවිය. (අද ඒ මගුල් කරඳ
ගස එහි නැත)
උද්භිද විද්‍යා මහාචාර්යවරයාගේ දේශන වලද කිසිම
ගොනුවක් නොවිය. ඔහුගේ දේශනවලදී වැඩි
කොටසක් පුස්තකාල විමර්ශන වලට යොමු කිරීම් වශයෙන්
දෙන ලදී. මෙසේ නිර්දේශ කරන සමහර විමර්ශන සඳහා පුස්තකාලයේ තිබෙන්නේ එකම පොතක්
පමණකි. සමහර දිනවල ඔහුට අමතකවී එකම දේශනය නැවත කරගෙන ගිය අවස්ථාද තිබිණ.
අපගේ ප්‍රායෝගික වැඩද මෙහෙයවන ලද්දේ අදාළ
මහාචාර්යවරුන් විසිනි. අවසාන උපාධියට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින සහායක ප්‍රදර්ශකයින් (demonstrators), මහාචාර්ය
වරුන්ගේ උපදෙස් මත, අපට ප්‍රායෝගික වැඩ
වලදී උපකාර කළහ.
අප බොහෝ දෙනෙකු දිවා ආහාරය ගත්තේ ප්‍රධාන ශාලාවට
ඔබ්බෙන් පිහිටි ආපන ශාලාවෙනි. කෑම පිඟානක් සඳහා උදයේම මුදල් ගෙවා ටෝකන් පතක් ලබාගත
යුතු විය. එළවලු දෙකක්, මස් හෝ මාළු කෑල්ලක් සහිත කෑම එකක මිල ශත පනහක් විය. බොහෝ
විට ආහාරයට ලැබුනේ ගව මස් හෝ ඌරු මස්ය. ඒ කාලයේ කුකුල් මස් බෙහෙවින් හිඟ මාංශයකි. තැම්බූ
බිත්තරයක් හෝ ඔම්ලට් එකක් සහිත කෑම පිඟානක මිල ශත පනස් පහක් විය.
හකුරු කෑල්ලක් සමග කහට තේ එකක් ශත පහක් වූ අතර
කිරි තේ එකක මිල ශත දහයකි. තේ බිම සඳහා අතුරු පසක් වශයෙන් තිබුණු හැලප, ලැවරියා, කිඹුල්
බනිස්, තල ගුලි වැනි ඕනෑම එකක මිල ශත පහක් විය.
අද පවත්නා මිල ගණන් සමග සසඳා බලන විට දශක හයකට
පමණ ඉහතදී තිබුණු මිල ගණන් සාධාරණ බවක් පෙනේ. ඒ කාලයේ උපරිම ශිෂ්‍යාධාරය වශයෙන්
ලැබුණු රුපියල් සියය දෙස බලන විට, අද ලබන රුපියල් පන්දහසක ශිෂ්‍යාධාරය එදා මෙන් පනස්
ගුණයකින් පමණ වැඩි වී ඇත. එසේ වුවත් අද බොහෝ සිසුනට එම මුදලෙන් අවශ්‍ය සියල්ල කරගත
නොහැකිය. මෙයද විවෘත ආර්ථිකයේ සහ උද්ධමනයේ අනිසි විපාක විය හැකිය.
මේ ආකාරයට, අලුත් වට පිටාවක හමුවූ, නුහුරු දේ
ඉක්මණින්ම ජිවීතයට අදාළ කර ගනිමින්, අධ්‍යාපන කටයුතු කර ගෙන යන විට නොදැනීම වාගේ
පළමු වසර අවසන් විය. ශිෂ්‍යත්ව ආධාර වශයෙන් ලැබෙන රුපියල් සියයෙන් නවාතැන් ගාස්තු,
බස් ගාස්තු, ආහාර පාන වියදම් ආදිය යන්තමින්වත් සපුරා ගැනීමට හැකිවීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, අමතරව, දෙමාපියන්ගෙන් ලැබුණු, මසකට රුපියල් දහයක් වැනි මුදලින් කීයක්
හෝ ඉතිරි කර ගැනීමටද හැකිවූ බව විශේෂයෙන්
සඳහන් කළ හැකිය. මෙසේ බලන කළ එදා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අද තරම් පීඩාකාරී නොවුණේදැයි
සැකයකි.




