Wednesday, 25 October 2017

අතීත අධ්‍යාපන තොරතුරු ආවර්ජනා ......... 1 . ‘ගමේ පාසැලේ සිට විශ්ව විද්‍යාලයට ......’

   1960 දශකයේ මුල් වර්ෂ වලදී  අත් විඳි, දශක හයකට පසු නැවත ආපසු හැරි බලන විට තරමක මිශ්‍ර හැඟීම සහිත සිතුවිලි ධාරාවකින් යුක්තව මෙනෙහි කළ හැකි සිද්ධීන් සමුහයක්‌ මෙසේ පෙළ ගස්වමි.
.
මා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයක් ලබා ප්‍රදේශයේ තිබුණු මධ්‍ය විද්‍යාලයට  ඇතුළත්වූයේ 1950  වර්ෂයේදීය. ගමේ ප්‍රාථමික විද්‍යාලයේ සිට ශිෂ්‍යත්වයක් ලබා මධ්‍ය විද්‍යාලයට ඇතුලත් වීම ඒ කාලයේ විශාල ජයග්‍රහණයකි. ඊට පසු විශ්ව විද්‍යාලයයේ විද්‍යා අංශයට ඇතුළත්වීම සහ   අපගේ ගමෙන් එසේ කළ හැකිවූ ප්‍රථමයා වීමද මා ලැබූ තවත් ජයග්‍රහණයකි. ඒ 1960 වසරේදීය.

රටෙහි එවකට තිබුණේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයය පමණකි. ඒ වන විට, එහි කලා පීඨ, කෘෂි විද්‍යා  පීඨය  සහ පශු  වෛද්‍ය පීඨය  ස්ථාපිත කර තිබුණේ පේරාදෙණියේය. විද්‍යා පීඨය, වෛද්‍ය විදා පීඨය සහ ඉංජිනේරු විද්‍යා පීඨ පවත්වා ගෙන යන ලද්දේ කොළඹය.  අප ඇතුළත්වූ විද්‍යා පීඨය පිහිටියේ දැනට කොළඹ විශ්ව විද්‍යාලයය තිබෙන රීඩ් මාවතට සහ තර්ස්ටන් මාවතට මැදිවූ පරිශ්‍රයේය. රීඩ් මාවතෙන් අනික් පැත්තේ තුරඟ තරඟ පිටිය පිහිටා තිබුණි. සිසුන් සඳහා ශිෂ්‍ය නිවාස කිහිපයක්ද විය. මෙම ශිෂ්‍ය නිවාස සඳහා විශාල මුදලක් ගෙවීමට අවශ්‍ය නිසා අපට ඒවායේ නේවාසික වීමට වත්කමක් නොවීය.

මධ්‍ය විද්‍යාලයේ  සිටියදී ශිෂ්‍යත්ව ආධාර මුදල වශයෙන් රජය මගින් ලබාදුන්නේ මසකට රුපියල් විස්සකි. මේ මුදලින් කෙසේ හෝ අපට සියලුම නේවාසික පහසුකම් නොඅඩුව ලැබුණි, විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ පසු ශිෂ්‍යත්ව ආධාර  මුදල රුපියල් සියයක් විය.

කොළඹ සිට සැතපුම් පනහක පමණ ඈතින් පිහිටි නිවසේ සිට විශ්ව විද්‍යාලයට පැමිණීම අපහසු නිසා මට කොළඹ නවාතැනක් සොයාගැනීමට සිදුවිය. පියාගේ හැඳුනුම් කමක් මත මට නාරාහේන්පිට පදිංචිව සිටි දේශීය වෛද්‍යවරයෙකුගේ නිවසෙහි නතරවීමට කතිකා කර ගතිමු. තිඹිරිගස්යාය පාරේ අවසානයේම තිබුණු මෙම පැරණි නිවසට යාබදව පිහිටි, ගෙහිමියාට අයිති ගරාජයක් වැනි පැරණි ගොඩනැගිල්ලක ලෑලි ගසා වෙන් කරන ලද කාමර නේවාසිකයින්ට කුලියට දීම සඳහා සකස්කර තිබුණි. මෙයින්, කුඩා මේසයක්, පුටුවක් සහ  විදුලි පහනක් පමණක් තිබුණු කුඩා කාමරයක්‌ මට ලබාගත හැකි විය. එයට  මාසික කුලිය රුපියල් හැත්තෑවකි.  නිදා ගැනීම සඳහා, ඇඳක් නොලැබුණු නිසා රුපියල් හතළිහකට බුරු ඇඳක් මිලයට ගැනිමට සිදුවිය. කාමරවල නේවාසිකව සිටි අප පස් දෙනෙකුට භාවිත කිරීමට තිබුණේ බාල්දි වැසිකිළියකි. නගර සභාවේ සේවකයෙකු එය හිස්කර පිරිසිදු කරනුයේ දහවල් දහයට පමණ වන නිසා බොභෝ දිනවල උදයේ එය පෙත්තටම පිරි තිබිණ. මුල් දිනවල ඉතාමත් අමාරුවෙන් වැසිකිළිය පාවිච්චි කර, පසුව එම කටයුත්ත සඳහා විශ්ව විද්‍යාලයයේ වැසිකිලි පහසුකම් ලබාගැනීමට  පුරුදු වුයෙමි.

අපට දිය නෑම සඳහා නාන කාමර නොවිය. වැසිකිලියට යාබදව සකස් කර තිබුණු වතුර ටැංකියෙන් බාල්දියකින් දිය ඇද නෑමට සිදුවිය. වතුර ටැංකියද දිය සෙවෙල බැඳී ඉතාමත් අපිරිසිදු තත්වයක තිබුණු නිසා ටික දිනකට පසු  මට තවත් සගයෙකුගේද සහාය ඇතිව එය පිරිසිදු කර ගැනීමට සිදුවිය.

මා හැර, නේවාසිකව සිටි අනික්‌ සියලු දෙනාම කාර්යාල වල වැඩ කළ අය නිසා පීටින් ආහාර ගැනීමට පුරුදුව සිටියහ. මට පාඩම් කිරීමට තිබෙන නිසා ගෙදරින් රාත්‍රී ආහාර  සැපයිය හැකිදැයි මම වෙද මහතාගෙන් විපරම් කළෙමි. වැඩ කරන දින වලදී මට විශ්ව විද්‍යාල ආපන ශාලාවෙන් ආහාර ගතහැකි බවද ඔවුනට පැවසීමි. දෙමහල්ලන් සාකචඡා  කර, මසකට රුපියල් විසිපහකින් මට අවශ්‍ය උදේ ආහාරය, රාත්‍රී ආහාරය සහ සවස තේ සැපයීමට කැමති වුහ.  මේ සමගම ඔවුන් සියල්ලෝම මට ගෙදර කෙනෙකුට මෙන් සැලකීමටද  පුරුදු වුහ.

මා ද, ඒ සියල්ලට ප්‍රති උපකාරයක්‌ වශයෙන් ඉඩ ඇති වේලාවට ගෙදර දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතුවලට උදව් කළෙමි.

නවාතැන මට ඉතාමත් ප්‍රිය මනාප තැනක්‌ විය. ලෑලි ගසා වෙන්කර තිබෙන කුඩා කාමරයට වී තනි පංගලමේ පාඩම් කිරීමත්, බුරු ඇඳේ නිදාගැනීමත් මට අලුත්ම අත් දැකීම් විය. මේ නිසා සරල, චාම් ජිවිතය පිළිබඳව හොඳ අවබෝධයක්ද  ලැබිණ. ගෙදර කුඩා දරුවන් දෙදෙනාට පාඩම් කටයුතුවලට උදව කිරීමෙන්ද මම නොමඳ ආශ්වාදයක් ලැබුවෙමි.

මාගේ නවාතැන ඉදිරිපිට තිඹිරිගස්යාය පාරේ ධාවනය වන, මාර්ග අංක 111 නාරාහේන්පිට-පිටකොටුව  බස් රථය තුන්මුල්ල හන්දිය හරහා තර්ස්ටන් පාර ඔස්සේ  යාම  මට තවත් පහසුවක් විය. මේ නිසා නවාතැනේ සිට විශ්ව විද්‍යාලයට මිනිත්තු දහයකින් පමණ යාමට හැකිවිය. විශ්ව විද්‍යාලයය අසල බස් නැවතුම දක්වා යාමට බසයට අය කළේ ශත පහළොවකි. සමහර දිනවල තුන්මුල්ල හන්දියෙන් බැස ඉතිරි කොටස පයින් යාමටද පුරුදු වූවෙමි. එසේ කළ විට බස් ගාස්තුව ශත දහයක්‌ පමණක් වූ නිසා ශත පහක්‌ ඉතිරි කර ගැනීමටද හැකි විය. එවකට විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශ ප්‍රධානියා වූ මහාචාර්ය මයිල්වාගනම් මහතා ද දිනපතාම තිඹිරිගස්යාය අසල සිට විශ්ව විද්‍යාලයට පයින්ම යනු දකින්නට ලැබුණි.

ජීව විද්‍යා අංශයේ වූ අපගේ දේශන පැවැත්වුයේ තර්ස්ටන් පාරෙන් ඇතුල්වන දොරටුව අසලම පිහිටි  ශාලාවේය. අපගේ විද්‍යාගාරද ඒ අසලම විය. රසායන විද්‍යාව සඳහා පමණක් තරමක් දුරින් පිහිටි පැරණි ගොඩනැගිලි සංකීර්ණයට යාමට සිදුවිය. ජීව විද්‍යා අංශයේ සිටියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතලිස් දෙනෙක් පමණකි. මෙයින්ද පසළොස් දෙනෙක් පමණ පළමු වසර අවසානයේදී ගෞරව උපාධි අංශ වෙත යොමු වුහ. භෞතීය විද්‍යා අංශයේ සියලුම සිසුන්ද අප සමග පළමු වසර රසායන විද්‍යා දේශන වලට සහභාගී වුහ. පළමු වසරේ තවත් විශේෂ  දෙයක් වූයේ ඉංජිනේරු පීඨයට සහ වෛද්‍ය  පීඨයට තේරී ඇති රසායන විද්‍යාවෙන් යම්කිසි මට්ටමකට අඩුවෙන් උසස් පෙළ ලකුණු ලබා සිටි සිසුන්ද අඩු සුදුසුකම් සපුරා ගැනීම සඳහා අපත් සමග රසායන විද්‍යා දේශන වලට සහභාගී වීමයි. මේ නිසා රසායන විද්‍යා දේශන සඳහා සියයකට අධික සිසුන් පිරිසක් සිටියහ.

අපගේ පළමු වසර සත්ත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව දේශන සියල්ලම කරනු ලැබුවේ එම අංශ දෙකෙහි පීඨාධිපති මහාචාර්ය වරුන් විසිනි. මුල් දින කිහිපයේදී ඔවුන්ගේ දේශන වල අගක් මුලක් සොයා ගැනීමට නොහැකි තරමට අවුල් සහගත විය. අධ්‍යාපන මාධ්‍යය  ඉංග්‍රීසි වූ  ගම්බද විදුහලකින් පැමිණි මට, සාමාන්‍ය ව්‍යවහාර භාෂාව වුයේ සිංහල නිසා මෙසේ වන්නට ඇත. එහෙත් සති කිහිපයකදී  මහාචාර්ය වරුන්ගේ ව්‍යක්ත ඉංග්‍රීසි උච්චාරණය තේරුම් ගනිමින් දේශන සටහන් ලියා ගැනීමටද හැකිවිය.

සත්ත්ව විද්‍යා මහාචාර්යවරයා සිසුන් සමග කතාබස් නොකරන දේශන වලට හැර, වෙන කිසිම අවස්ථාවක තම කාමරයෙන්වත් පිටතට නොඑන ගුප්ත කෙනෙකු විය. ඔහුගේ දේශන වුයේ පයිල් කවරයක තිබෙන පැරණි සටහන් කියවීමයි. කෙසේ වෙතත් එතුමාගේ රුප සටහන් ඉතාමත් පැහැදිලි ඉතා හොඳින් නම්කළ ඒවා විය. විවිධ වර්ණ වල රට හුණු වලින් විස්තරාත්මකව අඳින ලද  රුප සටහන් දේශනයට වඩා ප්‍රයෝජනවත් විය. ඔහු ඉතා වේගයෙන් දේශනය කියවන අතර බොහෝ විට අපට සම්පූර්ණ වාක්‍ය ලියා ගැනීමට නොහැකි වේ. මේ නිසා සෑම දිනකම දේශනයෙන් පසු අප හතර පස් දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් එකතුවී දිනයේ දේශන සටහන් සංසන්දනය කර අඩුපාඩු සම්පුර්ණ කර ගැනීමට  පුරුදු වි සිටියෙමු. අප බොහෝවිට මෙය කළේ දේශන ශාලාව ඉදිරිපස තිබුණු විශාල මගුල් කරඳ ගස යට සෙවනේ වාඩිවී සිටය. බොහෝ විට පැයක දේශනය සම්පුර්ණ කර ගැනීමට තවත් පැයක පමණ වේලාවක් ගතවිය. (අද ඒ මගුල් කරඳ ගස එහි නැත)

උද්භිද විද්‍යා මහාචාර්යවරයාගේ දේශන වලද කිසිම ගොනුවක් නොවිය. ඔහුගේ  දේශනවලදී වැඩි කොටසක්  පුස්තකාල විමර්ශන වලට යොමු කිරීම් වශයෙන් දෙන ලදී. මෙසේ නිර්දේශ කරන සමහර විමර්ශන සඳහා පුස්තකාලයේ තිබෙන්නේ එකම පොතක් පමණකි. සමහර දිනවල ඔහුට අමතකවී එකම දේශනය නැවත කරගෙන ගිය අවස්ථාද තිබිණ.

අපගේ ප්‍රායෝගික වැඩද මෙහෙයවන ලද්දේ අදාළ මහාචාර්යවරුන් විසිනි. අවසාන උපාධියට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින සහායක  ප්‍රදර්ශකයින් (demonstrators), මහාචාර්ය වරුන්ගේ  උපදෙස් මත, අපට ප්‍රායෝගික වැඩ වලදී උපකාර කළහ.

අප බොහෝ දෙනෙකු දිවා ආහාරය ගත්තේ ප්‍රධාන ශාලාවට ඔබ්බෙන් පිහිටි ආපන ශාලාවෙනි. කෑම පිඟානක් සඳහා උදයේම මුදල් ගෙවා ටෝකන් පතක් ලබාගත යුතු විය. එළවලු දෙකක්, මස් හෝ මාළු කෑල්ලක් සහිත කෑම එකක මිල ශත පනහක් විය. බොහෝ විට ආහාරයට ලැබුනේ ගව මස් හෝ ඌරු මස්ය. ඒ කාලයේ කුකුල් මස් බෙහෙවින් හිඟ මාංශයකි. තැම්බූ බිත්තරයක් හෝ ඔම්ලට් එකක් සහිත කෑම පිඟානක  මිල ශත පනස් පහක් විය.

හකුරු කෑල්ලක් සමග කහට තේ එකක් ශත පහක්‌ වූ අතර කිරි තේ එකක මිල ශත දහයකි. තේ බිම සඳහා අතුරු පසක් වශයෙන් තිබුණු හැලප, ලැවරියා, කිඹුල් බනිස්, තල ගුලි වැනි ඕනෑම එකක මිල ශත පහක් විය.
අද පවත්නා මිල ගණන් සමග සසඳා බලන විට දශක හයකට පමණ ඉහතදී තිබුණු මිල ගණන් සාධාරණ බවක් පෙනේ. ඒ කාලයේ උපරිම ශිෂ්‍යාධාරය වශයෙන් ලැබුණු රුපියල් සියය දෙස බලන විට, අද ලබන රුපියල් පන්දහසක ශිෂ්‍යාධාරය එදා මෙන් පනස් ගුණයකින් පමණ වැඩි වී ඇත. එසේ වුවත් අද බොහෝ සිසුනට එම මුදලෙන් අවශ්‍ය සියල්ල කරගත නොහැකිය. මෙයද විවෘත ආර්ථිකයේ සහ උද්ධමනයේ අනිසි විපාක විය හැකිය.

මේ ආකාරයට, අලුත් වට පිටාවක හමුවූ, නුහුරු දේ ඉක්මණින්ම ජිවීතයට අදාළ කර ගනිමින්, අධ්‍යාපන කටයුතු කර ගෙන යන විට නොදැනීම වාගේ පළමු වසර අවසන් විය. ශිෂ්‍යත්ව ආධාර වශයෙන් ලැබෙන රුපියල් සියයෙන් නවාතැන් ගාස්තු, බස් ගාස්තු, ආහාර පාන වියදම් ආදිය යන්තමින්වත් සපුරා ගැනීමට හැකිවීමද විශේෂත්වයකි. කෙසේ වෙතත්, අමතරව, දෙමාපියන්ගෙන් ලැබුණු, මසකට රුපියල් දහයක්‌ වැනි මුදලින් කීයක් හෝ ඉතිරි කර ගැනීමටද  හැකිවූ බව විශේෂයෙන් සඳහන් කළ හැකිය. මෙසේ බලන කළ එදා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අද තරම් පීඩාකාරී නොවුණේදැයි සැකයකි.

Friday, 13 October 2017

අමතක වීම පිලිබඳ සිත සසල කරණ තවත් කතාවක්......

   මෙහිද කතා නායකයා මගේ හිතවත් ආරියරත්න සහෝදරයාමය. ස්ථානයද එම විදුහලම ය. වකවානුවද එයමය.

මෙම මධ්‍ය විද්‍යාලයය පළාතේ තිබුණු ක්‍රීඩා විදුහලද වූ නිසා  පාසල් වේලාවෙන් පසුව ක්‍රීඩා පිටිය නොයෙකුත් ක්‍රීඩා පුහුණුවීම් වල යෙදෙන ශිෂ්‍ය  ශිෂ්‍යාවන්ගෙන් පිරී යයි. ක්‍රීඩා කටයුතු භාර ගුරු මහත්මා මහත්මින් සහ ගුරු මණ්ඩලයේ සෑහෙන පිරිසක්ද සවසට පැමිණ බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩාවක නිරත වෙති.

ශිෂ්‍ය නිවාසයේ නේවාසිකව සිටින අපි බොහෝ දිනවල සවසට බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීම  සඳහා ක්‍රීඩා පිටියට පැමිණෙන්නෙමු.

ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායමද භාරව කටයුතු කරණ ගුරුවරයා වන ආරි ක්‍රීඩා කිරිමට හැම අතින්ම ඔබින ඇඳුම කට්ටලයකින් සැරසී ක්‍රීඩා පිටියට පැමිණීම කවුරුත් අගය කළ දෙයකි. මෙය ඔහු හැඳින්වුයේ ‘army discipline’ ලෙසටය. ගුරු මණ්ඩලයේ බොහෝ අය බැඩ්මින්ටන් ක්‍රීඩාවට විශේෂ කැමැත්තක් දක්වන  නිසාත් එකල එය ජනප්‍රිය ක්‍රීඩාවක්ව ව තිබුණු නිසාත් ඔවුන් අතර සුහද තරඟ මාලාවක් පැවැත්වීමට ක්‍රීඩා කටයුතු භාර ගුරු මහතා යෝජනා කළේය. මෙයට කවුරුත් කැමති වුහ. මාස කිහිපයක් තිස්සේ  මුලික තරඟ පවත්වා  අවසාන, මිශ්‍ර යුගල තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ එදිනය.

අවසාන තරඟයට තේරී ආ ආරි සහ තවත් ගුරු මහත්මියක්, එක්‌ යුගලයක් වූ අතර මා සහ තවත්  ගුරු මහත්මියක් ප්‍රතිවාදීන් වුහ. ක්‍රීඩා කටයුතු භාර ගුරු මහතා විසින් එදින පස්වරු 3.30 ට තරඟය ආරම්භ කිරීමට සියල්ල සුදානම් කර තිබිණ.

පස්වරු තුන පමණ විට මා සුදානම් වී ආරිගේ  කාමරයට ගිය විට ඔහු පුවත් පතක්  කියවමින් සිටියේය. ඔහුට තරඟය සම්පුර්ණයෙන්ම අමතක වී ගොස්ය. මා ඒ බව මතක් කළ විට කලබල වූ ඔහු,

‘හානේ!...... මට ඒක අමතක උනා නේ..... කීයටද පටන් ගන්නේ? හතරට නේද?’කියා ඇසිය.

‘හතරට නෙමෙයි. තුනහමාරට. තව විනාඩි විස්සකට වැඩිය නැහැ. ඔය අමතක වීම අමුතු දෙයක් නෙමෙයිනේ ’ මම කීවෙමි. 

ඔහු ඉක්මනට සුදානම් විය.

අවසාන වටයට තේරුණු  දෙපිලක් අතර තරඟයක් නිසා, කවදත් කඩවසම් ලෙස ඇඳුම් අඳින ඔහු, එදින වඩාත් පිළිවෙලක් සහිත,   සුදු කොට කලිසමක් සහ සුදු ටී ෂර්ට් එකක් හැඳ, සුදු සපත්තු කුට්ටමක්ද දා ගත්තේය.

ක්‍රීඩාව ආරම්භ කිරීමට තව විනාඩි දහයකට වඩා නොමැති නිසා අපි ඉක්‌මණටම පිටත් වීමු.

දොර වසා යතුරු දමා මා සමග ටික දුරක් ගිය ආරි,

‘ආ... හරි වැඩේනෙ! .....  මට එක දෙයක් අමතක උනා.’ කියමින් 

කලිසම් සාක්කුව අතගා  බලා 
   
‘ලේන්සුව අමතක උනානේ’ කියා නතර විය.

‘දැන් හොඳටම පරක්කුයි. ලේන්සුව ඕනෑ නැහැ. ඔන්න ඔහේ යමු’ කියා මම ඔහුගේ අතින් අද්දෙමි.

‘බෑ...... බෑ........ දාඩිය දානවා ලේන්සුව නැතුවම බැහැ කියමින් ඔහු කාමරයට යාමට ආපසු හැරුණේය.

‘එහෙනම්, මම හෙමිහිට යන්නම්. ඉක්මන් කරලා එන්න. නැත්නම් අර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නට වෙයි.’  කි මම  ඉදිරියට ගියෙමි.

කාමරයට ගිය ආරි ඉක්මණටම ආපසු පැමිණියෙන් අප දෙදෙනාම එක විට ක්‍රීඩා පිටියට පිවිසියෙමු.

නියමිත වෙලාවට ක්‍රීඩාව  ආරම්භ විය. 
තරඟය ඉතා උණුසුම් ස්වභාවයක් ගත්තේය. ගුරුවරුන් අතර තරඟයක් නිසා එය බැලීමට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දරාශියක්ද එකතු වුහ.

ක්‍රීඩාව ඉතා උණුසුම් තත්ත්වයක් ගෙන තිබියදී, ආරිගේ කලිසමේ දකුණු පසින් යම්කිසි දෙයක් ගලාගොස් ඔහුගේ කකුල දිගේ වැගිරෙන බව මම දුටුවෙමි.  ටිකකට තරඟය නතර කිරීමට තීරක වරයාට සඥාවක් දුන් මම  ආරි වෙත ගොස් ඒ බව ඔහුට රහසින් කීවෙමි.

ඔහු එතෙක්‌ එය දැක නොතිබුණි. පාත්වී තම පාදය දෙස බැලූ ඔහු

කලිසමේ එම ප්‍රදේශය එක අතකින් වසා ගනිමින් මා සමග මඳක් ඉවතට යාමට සැරසිණ.

ක්‍රීඩාව නරඹමින් සිටි අයට මෙය මහත් කුතුහලයකි. අප සමග ක්‍රීඩා කළ ගුරු මහත්මියන් දෙදෙනාද රහසින් යමක්‌ කොඳුරමින් පිටියහ. ඒ වන විට ඒ වැගිරෙන ද්‍රව්‍යය ඔහුගේ දණහිස් වලින් පහලටත් ගලායමින් තිබුණි. යම්කිසි නොසිතු විරු දෙයක් සිදුවී ඇති බව තේරුම් ගත් කාන්තා ක්‍රීඩිකාවන් දෙදෙනා මඳක් පැත්තකට විය.

කර කියා ගත හැකි කිසිවක් නොවුයෙන් මම වැගිරෙන ද්‍රව්‍යය හොඳින් පරික්ෂා කලෙමි. ඒ බිත්තර සාරු බව ප්‍රත්‍යක්ෂ කර ඔහුගේ සිහිය අවදි කලෙමි. වහාම සාක්කුවට අත දැමු ආරී බිඳී ගිය බිත්තරයක කටු එලියට ගත්තේය.

මහත් ලජ්ජාවට පත්වූ ආරි ‘මම කලබලේට මේසය උඩ තිබුණු ලේන්සුව වෙනුවට සාක්කුවේ දමාගෙන තියෙන්නේ බිත්තරයක්නේ.’ කියමින් කෑගැසිය.

නැවත මගේ කනට කෙඳුරු ආරි 
‘ඔක්කොටම වැඩිය මගේ කලිසම් සාක්කුවේ පොඩි හිලක් තියෙනවානේ . ඒක තමයි මේකේ ලොකුම පරහට හිටියේ.’

මට කේන්තියත් සමග ආ සිනහව නතර කර ගැනීමට නොහැකි විය

‘Clean suit. Hole in the pocket’ මට ඉබේටම කියවිණ.

‘මම යනවා..... මම යනවා ......’ කියමින් ක්‍රීඩාව අතහැර දැමු  ඔහු කාමරය වෙත දුවන්නට විය.
රැස්වී සිටි පිරිස පිළිගත්තත් නොගත්තත්  සිදුවී ඇති දෙය ඔවුනට නොවලහා පැහැදිලි කිරීමට  මම උත්සාහ ගත්තෙමි.

බැඩ්මින්ටන් තරඟය දින නියමයක් නොමැතිව කල් දමන ලදී.
.......................................................................
ශිෂ්‍ය නිවාසයේ සිසුන්ගේ ආහාර වේල් සඳහා මිලදී ගනු ලබන බිත්තර සියල්ලම එකවර කුස්සියේ ගබඩා කාමරයට නොදමා ශිෂ්‍ය නිවාස පාලකවරයාගේ කාමරයේ තබාගැනීම සිරිතක් වශයෙන් කරන ලදී. එදින ඔහු කලබලයෙන් මෙන්ම  හෝ ඔහුගේ හුරු පුරුදු චිත්ත ස්වභාවය නිසාම ලේන්සුව වෙනුවට බිත්තරයක් සාක්කුවේ දමා ගන්නට ඇතැයි සිතිය හැකිය.

කරුණාවෙන් සලකන්න:

මගේ හිතවත් මිතුරාගේ මෙම ගති ලක්ෂණය විස්තර කළේ ඔහුට අපහාස කිරීමට හෝ ඔහු හෙලාදැකීම පිණිස නම් නොවේ. මේවා, මෙවැනි සුවිශේෂී ලක්ෂණ සහිත අය අප අතර බොහෝ සිටින බව පෙන්වීමට පමණක් කරනු ලබන සටහන් වේ.  මෙම සත්‍ය සිද්ධීන් වල නම් ගම් උචිත පරිදි යොදන ලද ව්‍යාජ ඒවා වේ. 

Sunday, 8 October 2017

මැංගුස් ගසට ‘උප්පැන්න සහතිකයක්’ ......

   මැංගුස් ගසට ‘උප්පැන්න සහතිකයක්’ ......

මා SSC (අපොස සාපෙළ) විභාගය සමත් වූයේ 1956 වසරේදීය. විශිෂ්ට සම්මාන සහිතව සමත්වූ මට පියාගේ හිතවතෙකුගෙන් ලැබුණු තෑගි පාර්සලයක මැංගුස් ගෙඩි සතරක්ද විය. ප්‍රදේශයේ ආදර්ශ ගොවිපලේ කළමනාකරු වු ඔහු මැංගුස් ගෙඩි පිළිබඳව වැදගත් විස්තරයක් කළේය.

‘1950 වර්ෂයේ අපගේ ආදර්ශ ගොවිපල ආරම්භ කළ දිනයේ, මැලේසියානු තානාපතිවරයාගෙන් තෑගී ලැබුණු මැංගුස් පැලයක්, එදින, අගමැතිතුමා විසින් රෝපණය කරනු ලැබුවා. අවුරුදු පහකට පස්සේ, ඒකේ මේ අවුරුද්දේ ගෙඩි හයක් හැදුනා. මේ එයින් නෑඹුල් ගෙඩි හතරක්’

මට එය ඉතාමත් වටිනා තෑග්ගක් බව හැඟී ගියේය.



තෑගී ලැබුණු නෑඹුල් මැංගුස් ගෙඩි

‘ඔය ගෙඩි වල ඇට කිහිපය බැගින් ඇති. ඒවා පැල කරන්න.’කි ඔහු

මැංගුස් ඇට හොඳින් සෝදා පිරිසිදු කර දින කිහිපයක්  අව්වේ වෙලා, දිරා යන තෙතමනය ඇති පොල් ලෙල්ලක රෝපණය කළ විට මාස දෙකකදී පමණ බිජ පැල හටගන්නා බව තවදුරටත් විස්තර කළේය.

අපට ලැබුණු මැංගුස් ගෙඩි සතරෙන් තුනක හොඳින් වැඩුණු බිජ පහක් තිබුණු අතර අනික් ගෙඩියේ බිජ නොතිබුණි.

ගොවිපල කළමණාකාර මාමාගෙන් ලැබුණු  උපදෙස් පරිදි මැංගුස් බිජ රෝපණය කලෙමි. මාස කිහිපයකදී ඒවා පැල විය.
මේ අතර, ශිෂ්‍යත්ව ධාරියෙකු වු, මා උගත් විදුහලේ  උසස් පෙළ විද්‍යා පන්තිය සඳහා අවශ්‍ය ගුරුවරු හිඟ වීම නිසා මට වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයට යාමට සිදුවිය.

නව විදුහලේ නේවාසිකව සිටි මට, රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින මිතුරන් රාශියක්ම හඳුනා ගැනීමට හැකි විය. අපට උසස් පෙළට ඉගැන්වීමට  ද්‍රවිඩ ගුරුවරුද කිහිප දෙනෙක් සිටියහ. ශිෂ්‍ය නිවාසයේම නතර වී සිටි කුගදාසන් සර් අපට  උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව  උගන්වන ගුරුවරයා විය. ඔහු බොහෝ ප්‍රායෝගික අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරයෙක් විය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබී දස වසරක් සම්පුර්ණ වන 1958 වසරේදී රටතුළ, නිදහස සැමරීමේ විවිධ උත්සව රාශියක් සංවිධානය කර තිබිණ. අධ්‍යාපන අමාත්‍යාංශයද පාසල්වතු අලංකරණය භෝග නිෂ්පාදනය වැනි කටයුතු කරන ලෙස විදුහල්වලට දන්වා තිබිණ. වර්ෂය මුලදීම විද්‍යා සිසුන් ඇමතු කුගදාසන් සර්, ‘පාසල්වතු අලංකරණය’ තේමාව යටතේ ‘උද්භිද උයනක්’ සකස් කිරිමට යෝජනා කරණ ලදී.
මේ සඳහා ශිෂ්‍ය නිවාසයටත් විද්‍යාගාරයටත් අතර බිම් කොටස සුදුසු බව තීරණය විය. එම බිම් කොටස හෙළි පෙහෙළි කරන විට, එහි පැමිණි විදුහල්පතිතුමාද එය ඉතා අගනා අදහසක් බව අනුමත කර යෝජිත බිම් කොටස වෙන් කිරීම සඳහා කම්බි වැටක් තැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සහ ගේට්ටුවක්ද සැපයිය හැකි බව කියා අප සැම තවත් දිරිමත් කළේය.

මුලික වැඩ අවසන් කළ පසු කුගදාසන් සර්ගේ උපදෙස් අනුව උද්භිද උයන තුළ, ජලජ පරිසරයක්, ශුෂ්ක පරිසරයක්, අපිශාක, පරපෝෂිත ශාක, භුගත කඳන් සහිත ශාක, විවිධ ආරෝහණ ශාක, මීමන, ඕකිඩ්, බාඳුරා වැනි සුවිශේෂ ශාක වැවිය හැකි ස්ථාන, ඒ ඒ ශාක වලට ගැලපෙන පරිදි සකස් කරණ ලදී. විදුහල් භූමියට ආසන්නයෙන්ම දිවෙන උඩරට දුම්රිය මාර්ගය පැත්තේ හොඳින් ආලෝකය වැටෙන කොටසේ  විශාලව වැඩෙන ප්‍රදේශයේ බහුලව නොමැති පලතුරු ශාක හෝ මල් දරණ ශාක කිහිපයක්ද රෝපණය කිරිමට තීරණය විය.

සිසු සිසුවියන් සියලු දෙනාම රෝපණය කිරිමට තම තමන්ට ගෙන ආහැකි ශාක වර්ග එදිනම තෝරා ගත්හ. විවේක ලැබුණු සෑමවිටම කව්රුත් බීම හෝ පාත්ති  සකස් කිරීම, වලවල් කැපීම, පොහොර දැමීම, පැල ඉනි සිටුවීම, ශාක ආධාරක සකස් කිරීම, පොකුණ සකස් කිරීම වැනි කටයුතු වල නිරත වුහ.

ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම  උද්භිද උයනෙහි සියළුම මුලික කටයුතු අවසන් කිරිමට හැකි විය.



රෝපණය කළ කුඩා පැලය

මෙහි රෝපණය කිරිමට මා  විසින් සකස් කර ඇති මැංගුස් පැලයක් ගෙන ඒමට මම තීරණය කර ගතිමි. එය සිටුවීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනිමටද මට හැකිවිය. මේ වන විට තාවකාලික භාජන වල වවන ලද නොයෙකුත් උද්භිද වැදගත්කම් වලින් යුක්ත  විවිධ ශාක වර්ග සියගණනක් විද්‍යාගාරය අසලට ගෙනැවිත් තිබුණි.

පෙබරවාරි හතර වන දින කෙටි උදය රැස්වීමකින් පසු විදුහල්පතිතුමා විසින් මුලින්ම, උද්භිද උයනෙහි ඇහැල පැලයක් සිටුවන ලදී. මේ වන විට සෙන්ටිමීටර් දහයක් පමණ උසට වැඩි තිබුණු මගේ මැංගුස් පැලයද එයට දකුණු පසින් සිටුවීමට හැකිවිය.

නිදහස් සමරු දින සකස් කරනලද උද්භිද උයන, පොහොර සහ වතුර දැමීම වැනි සැලකිල්ල නිසා ඉක්මණටම ඉතාමත් අලංකාර උද්භිද විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අධ්‍යයන ස්ථානයක් විය.

ඊළඟ වසර අවසානයේදී උසස්පෙළ ව්භාගයට පෙනී සිටීමෙන් පසුව මට විදුහලින් ඉවත් වීමට සිදුවිය. විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර මගේ මැංගුස් පැලය අසලට ගොස් එය හොඳින් දැක බලා ගතිමි.

ඉතා හොඳ සැලකිල්ල නිසා එය මීටර් භාගයක් පමණ උසට, සරුවට වැඩි තිබිණ.

ඊළඟ දශක කිහිපය තුළදී රැකියා කටයුතු, විදේශ ගතවීම් ආදිය නිසා විදුහලට යාමට අවස්ථාවක් නොලැබිණ.

1987 වසරේදී විභාග රාජකාරි කටයුත්තක් සඳහා, මට විදුහලට යාමට සිදුවිය. විදුහලේ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. 

විදුහල්පතිද නවකයෙකි. රාජකාරී  කටයුතු අවසන් කිරීමෙන් පසු මම මැංගුස් ගස ගැන ඇසීමි.

මොකද මේ හදිසියේම මැංගුස් ගහක් ගැන අහන්නේ.’ ඔහු ඇසිය

‘ඒක දිග කතාවක්. ලැබ් එකට එහා පැත්තේ මැංගුස් ගහ තවම තිබෙනවාද?’ මම ඇසීමි.

‘තියෙනවා. මේ දිනවල ගෙඩි පිරිලා. ඉතින් මොකක්ද ඒක ගැන දිග කතාව?’ නැවතත් මගෙන් ඇසිය.
 මම දිග කතාව කෙටියෙන් ඔහුට කීවෙමි.

ඔහු පුදුමයට පත්විය. මා  විදුහලේ ආදී ශිෂ්‍යයෙකු බව දැනගත් විට ඔහු මහත් ප්‍රීතියට පත්විය. ටික වෙලාවක් කල්පනාකළ ඔහු
‘හා එහෙනෙම් ගිහින් තමන් විසින්ම  සිටවන ලද ඓතිහාසික ගහ දැක බලාගෙන එන්න’ කියා විද්‍යාගාර සහායක සමග මා එතැනට යැවිය. 


එය රූස්ස ගසක් වී තිබේ.

විදුහල්පති කාර්යාලයේ සිට විද්‍යාගාරය දක්වා කොරිඩෝරය දිගේ යද්දී මා දශක කිහිපයකට ඉහතදී රැඳී සිටි පන්ති කාමර දැකීම ආශ්වාද ජනක විය. ඒවායේ අද වෙන අය ඇත. ඔව්හු වෙනත් ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබති. ගොඩනැගිලි සහ පන්ති කාමරද වියපත් වී ඇති බවක්  පෙනේ.\

මා විදුහලේ සිටියදි වැඩි  කාලයක් ගතකල විද්‍යාගාර නව මුහුණුවරක් ගෙන ඇත. ඒවා බොහෝදුරට නවීකරණය කර තිබේ.

මා අතීතය ආවර්ජනා කරමින් සිතුවිලි ජාලයක පැටලී සිටිනවිට විද්‍යාගාර සහායක මට කථාකර

‘සර්, මැංගුස් හහ බලන්නට ඕනෑ මොකද? ඒකේ විශේෂ සම්බන්ධයක් තිබෙනවද? ‘ කියා ඇසිය. 
 
මගේ කතාව සැකෙවින් අසා ගත් ඔහු,\

‘අනේ! කොච්ච්ච්ර දෙයක්ද මම උපදින්නටත් ඉස්සරනේ මේ ගහ සිටවලා තියෙන්නේ. ඒක හිටවපු අය දැක ගන්නට ලැබීමත් හරීම වාසනාවක්.’ කිවේය.

මැංගුස්  ගස අසලට ගිය මට ගසෙහි වර්ධනය අදහා ගැනීමට බැරි විය. එය දැන් රූස්ස ගසකි. ගෙඩි වලින් බරවී තිබේ. තව සති කිහිපයකින් ඉදුණු මැංගුස් දස දහස් ගණනක පලදාවක් ලැබෙනු ඇත.

මට හරිම සතුටක් දැනුණේය. මම ගස බදාගෙන ටික වෙලාවක් සිටියෙමි. දෑසට කඳුළු උනණු දැනී ඉක්මණටම ඉවත බලා පිසදා ගතිමි.
එදා අප සකස් කළ උද්භිද උයන අද එහි නැත. එය තණකොළ වැවී ඇති මුඩු බිමකි. එහි එක් කොනක ඝනට වැඩි තිබුණු වැල් ගාලක් වෙත මගේ නෙත් යොමුවුණි. එතනට ගිය මා වැල් ගොන්න හොඳින් පරික්ෂා කලෙමි. එහි සස්සඳ වැලක් සහ ඔලිඳ වැලක් එකට පැටලී තිබුණු අතර ඒ මත සීරැස්ස ශාකයක්ද හිස ඔසවමින් තිබෙණු දැක්කෙමි. මිරිදිය පොකුණ දැන් කුණු වළකි.

අප මෙහි උද්භිද උයනක් සකස් කළ ආකාරය විද්‍යාගාර සහායකට  විස්තර කරමින් සිටින විට ජීව විද්‍යාගාරයේ පන්තියක උගන්වමින් සිටි ගුරු මහත්මියක්ද එතැනට පැමිණියාය.

‘මේ සර් මෙහේ ආදී ශිෂ්‍යයෙක්, අර මැංගුස්  ගහ හිටෙව්වෙත් මේ සර්මලු. ඉස්සර මෙතන Biology Garden එකකුත් තිබුනලු.’
ඔහු මගේ දිග කතාව ඇයට සැකෙවින් කිවේය.

පැරණි උද්භිද උයන වල්බිහිවී ඇති ආකාරයත් ඉගැන්වීම සඳහා අත්‍යාවශ්‍ය එවැනි උයනක් නොමැති වීම ගැනත් ඇයට තරමක් මදි කමක් දැනෙන්නට ඇත.

‘අපී මෙතන Bio-Garden එකක් හදන්නට සිතාගෙන ඉන්නවා.’ ඇය කිවේ එපමණකි.

මම ආපසු විදුහල්පති කාර්යාලයට ගියෙමි. විදුහල්පති තුමාගෙන් ලැබුණු තේ කෝප්පයකින් සප්පායම් වු මට, ඔහුගෙන් මා නොසිතු විරු කතාවක් අසන්නට ලැබිණ.

‘ඔය මැංගුස් ගහ ගැන complains හරියට තිබෙනවා. ගහෙන් වැටි ළමයි කිහිප දෙනෙක්ම අතපය  කඩාගෙන තිබෙනවා. ළමයි ගෙඩි කඩාගැනිමට පොලු ගසා කිහිප වරක්ම විද්‍යාගාරයේ ජනෙල් විදුරු බිඳි තිබෙනවා. ඒ සියල්ලටම වඩා මේ පැත්තේ සිටි දාමරික සොරෙකු පොලිසියෙන් සොයද්දී ඔය ගස මුදුනේ සැඟවී සිට හසුවී, අපටත් වරක් පොලිසි යන්නට සිදු උනා.’

මම සාවධානව අසා සිටියෙමි. ඔහු තවත් විස්තර කිවේය.

‘පසුගිය අවුරුදු කිහිපයක් ගහේ ගෙඩි හැදුනේ නැහැ. ගිය අවුරුද්ද මුලදී පැවති  තද ඉඩෝර කාලයේදි  ගස මැරී යන්නට වගේ ආවා. අපි ගස කපා දැමීමට තීරණය කළා. ඒ උනත් දැනට මාස කිහිපයකට ඉහතදී විශ්‍රාම ගත්, විදුහලේ සිටි ගුරු මහත්මියක් එයට තරයේ විරුද්ධ වූවා. අද මට අසන්නට ලැබුණු ඔබගේ කතාවට බොහෝ දුරට ආසන්න කතාවක් ඇය අපට කිවා. ඇයද විදුහලේ ආදී ශිෂ්‍යාවක්.’

‘ඒ නිසාම ගස කපා දම්මේ නැහැ. කොහොම වෙතත් මේ ලඟදි සිට ගහ නැවත දළු ලා හොඳින් වැඩි, දැන් ගෙඩි වලින් බරවෙලා. දැන් ඉතින් තොරතුරු හොඳින් දැනගත් නිසා මොන බාධක තිබුනත් ගස කපා දමන්නේ නැහැ.’

මම ඔහුට ස්තුති කලෙමි.

‘මම මේ සිද්ධිය සෑමදෙනාටම දැනගැනීම පිණිස  ලබන සඳුදා උදේ රැස්විමේදී ප්‍රකාශයක් කරනවා.’ යයි විදුහල්පතිතුමා මහත් ආඩම්බරයකින් කිවේය.

‘මහත්මයාගෙන් ලැබුණේ අපේ මැංගුස්  ගසට ඉතා හොඳ ‘උප්පැන්න සහතිකයක්’ යයි ඔහු සිනාසෙමින් කිවේය. 

වසර හැටකට පමණ ඉහතදී මැංගුස් ගෙඩි තෑගී ලැබුණු අවස්ථාවේ සිට  බිජ රෝපණය, උද්භිද උයන සකස් කිරීම ආදී  මේ දක්වා සියල්ල මොහොතකින් ආවර්ජනය කිරිමට මට හැකිවිය.


Thursday, 5 October 2017

මිතුරෙකුගේ මංගල යෝජනාවකට ගොස් අමාරුවේ වැටුන හැටි....

   විද්‍යා පුහුණු ගුරුවරියක වූ නන්දනී, පුහුණුවෙන් පසු ගුරු පත්වීම ලැබුවේ තම ගම් ප්‍රදේශයේ පිහිටි මධ්‍ය විද්‍යාලයටය. ඇය ඉතාමත් ප්‍රිය මනාප, කා සමගත් කුළුපග, හැඩකාර  තරුණියක් වුවාය. ඇය පවුලේ එකම දියණියයි. පියා ලියනආරච්චි රාලහාමි ගම්පති වරයාය. (දැනට සිටින ග්‍රාම නිලධාරි තනතුර ඒ කාලයේ ගම්පති ලෙස හැඳින්විය). තරමක් දඟකාර සැහැල්ලු දිවියක් ගතකල නන්දනී ලියනආරච්චි තම නම අත්සන් කළේ ‘න.ලියන’ කියාය. ඇයගේ සිංහල අත්සන දරණ ගසාගෙන සිටින නාගයෙකුගේ ස්වරුපය ගත්තේය. මෙ නිසාම ඇයට ‘නලියන මිස්’ යන අන්වර්ථ නාමයක්ද පට බැඳී තිබුණි. ‘නලියන’ අන්වර්ථ නාමයටත් අමුතුම හැඩයේ තම අත්සනටත් ඇය මහත් කැමැත්තක් දැක් වුවාය.
   
ඒ කාලයේ විශ්ව විද්‍යාලයේ අවසාන විභාගයෙන් පසුව ගුරු පත්වීම් ලබාගැනීම ඉතා පහසුය. වෝල්ටර්, සඳසිරි සහ මම විශ්ව විද්‍යාලයට ඇතුලත්වී දින කිහිපයකින්ම සුහද මිතුරන් වූයෙමු. වෝල්ටර් කොළඹ පෞද්ගලික පාසලකින් පැමිණි අයෙකු වූ අතර සඳසිරි සහ මා උසස් පෙළ ඉගෙනුම ලැබුයේ නගරයෙන් තරමක් ඈත  විදුහල්වලය. මටත් සඳසිරිටත් දුර බැහැර විදුහල් දෙකකට ගුරු පත්වීම් ලැබුණු අතර වොල්ටර්ට කලින් සඳහන් කළ මධ්‍ය විද්‍යාලයට පත්වීමක් ලැබිණ. ඔහුට විදුහලේ ශිෂ්‍ය නිවාසයේ නවාතැන්ද ලැබිණ.

සති අන්ත වල ගෙදර පැමිණිවිට, හමුවිම අපි පුරුද්දක් කර ගතිමු. අප හමුවූ විටක, වෝල්ටර් අපට අලුත් ආරංචියක් කිවේය. ඒ නලියන මිස් පිළිබඳවය. පිරිමි විදුහලක නේවාසිකව අධ්‍යාපනය ලැබූ, පවුලේ එකම දරුවා වූ,  තරමක් කුලෑටි වෝල්ටර් මෙතරම් ඉක්මනට නන්දනී සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීම අපට අදහා ගත නොහැකි විය.

අපි ඔහුට සුබ පැතුවෙමු.

ඔවුන් අතර තිබෙනුයේ ප්‍රේම සම්බන්ධයක්ද නැතහොත් සාමාන්‍ය සුහදතාවක්ද යන්න වෝල්ටර් හරිහැටි තේරුම් ගෙන නොතිබුණි. නන්දනී ඔහු කෙරෙහි ලෙන්ගතු කමක් පෙන්වුයේ අනුකම්පාව නිසාද විය හැකිය. එසේ වුවත් ඒ කිසිවක් කෙලින්ම ප්‍රකාශ කිරීමට දෙදෙනාම අසමත්වී ඇත. බොහෝ දුරට නෝංජල් ගති පැවතුම් ඇති වොල්ටර්ට ‘නලියන’ නොගැලපෙන බව අපට සිතුනත්, අපද  මේ බව ඔහුට එක්වරම කීමට අපොහොසත් වූයෙමු.

මේ අතර උපාධි විභාග ප්‍රතිඵල පිටවිය.

සඳසිරිද මාද සමත් වී සිටියෙමු. වෝල්ටර් අසමත්ය. අසමත් වීම ඔහුට මහත් සිත් තැවුලක් විය. මේ ගැන නන්දනිද මහත් කම්පාවට පත්වී ඇත.

මේ අතර දිනක කතා කරමින් සිටින විට තමාට විවාහ යෝජනා ලැබෙන බවත් තම පියා විවාහය ගැන මහත් උනන්දුවක් දක්වන බවත් නන්දනි වොල්ටර්ට කීවාය.

මෙම ආරංචිය අසා මහත් කම්පාවට පත්වූ වෝල්ටර්

‘ඇයි ඔයා මාගැන තාත්තට කියලා නැද්ද?’
කියා එක්වරටම ඇසිය.

‘ඉතින් දැන් මෙච්ච්ච්ර කල් වෙනවා ඔයා නිකමටවත් මට මේ ගැන කිව්වේ නැත්තේ මොකද?’
නන්දනී දුක්මුසු ස්වරයකින් ඇසිය.

‘මම හිතාගෙන සිටියේ ඔයා මාව තේරුම් අරන් කියලයි’ වොල්ටර්ගේ පිළිතුර විය.

‘කොහොම වෙතත් අප දෙදෙනා අතර සම්බන්ධයක් තිබෙන බව තාත්තට ආරංචි වෙලා මටත් නොකියාම වෙන ඒවා සොයා බලා තිබෙනවා.’

‘ඒක නොවෙන්නම් ඔයාට නොතේරුනාට ගුරු මණ්ඩලයේ අනිත් අයට තේරිලා ඇති. ආරංචිය යන්න ඇත්තේ ඒ අයගෙන් ’

‘එහෙම අදහසක් හිතේ තිබෙනවානම් වහා හිතෙන් අස්කරගෙන තාත්තලා කියන කෙනෙකුට කැමති වන ලෙසට මට තරවටුවකුත් කළා.’ 

ඒ සති අන්තයේ සෙනසුරාදා උදේම වෝල්ටර් අපේ ගෙදර පැමිණියේය. සිද්ධිය විස්තර සහිතව මට කියා මේ ගැන කුමක් හෝ කරන ලෙස මගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය.

දස අතේ කල්පනා කළ මට කළහැකි කිසිම දෙයක් ගැන සිතා ගන්නට නොහැකි විය.

එදිනම සවස සඳසිරි හමුවීමි.  පසුදින අපි දෙදෙනාම වෝල්ටර්ගේ ගෙදරට ගියෙමු.
සියල්ල සාකච්ඡා කිරීමෙන් පසුව, නන්දනී සහ  වෝල්ටර් සම්බන්ධය පිලිබඳ මෙම සිද්ධිය ලියනආරච්චි ගම්පති  වරයාට පවසා, එය  නිරාකරණය කරගැනීමේ භාරදුර කාර්යය අප දෙදෙනාට භාර ගැනීමට සිදුවිය.

වෝල්ටර්ගේ බලවත් පෙරැත්තය නිසා ඊළඟ සෙනසුරාද සඳසිරි සහ මම මෙම නුහුරු ගමන යාමට තීරණය කර ගතිමු. එදින උදේම වෝල්ටර් හමුවී මේ ගැන තවදුරටත් සාකච්ඡා කර, සඳසිරිගේ පැරණි මොරිස් මයිනර් ‘ටුවරර්’ මෝටර් රථයෙන් ගමනට පිටත්වීමු.
අප පිටත්වන විට වෝල්ටර්ගෙන් දිග සුසුමක් පිටවනු ඇසිණ.

අප පෙරවරු නවයට පමණ ලියනආරච්චි ගම්පති වරයාගේ නිවසට පැමිණියෙමු.

ගම්පති වරයා ආලින්දයේ පුටුවක වාඩිවී, යම්කිසි වැඩක නිරත වි සිටින බව අපි  ඈතට දුටුවෙමු. නිවස වෙත  එන අප දෙස ඔහු විමසිල්ලෙන් බලා සිටියේය.

අත් දිග මේස් බැනියමක් සහ මඩකලපු සරමක් හැඳ සිටි ඔහු, ඇඟිලි තුඩු දෙකක් කට දෙපැත්තට  තබා ඝනට වැඩුණු උඩු රැවුල මෑත් කර, පඩික්කමට බුලත් කෙළ පහරක් ගසා අප ඉදිරියට ආවේය.

ලියනආරච්චි ගම්පති වරයාගේ ප්‍රතාපවත් භාවය දැක මට තරමක බියක්ද ඇතිවිය.

අප ආලින්දය අසලට පැමිණෙන විටම ඔහු අප අසලටම පැමිණියේය.

ඔහුගේ අතෙහි තිබුණේ තුවක්කුවකි. අප තැති ගත් බව දුටු ඔහු,

‘එන්න, එන්න, මේ ඉලන්දාරි දෙන්නෙක් උදේ පාන්දරම?  බය වෙන්න එපා මම මේ අද නිවාඩු දවසේ උදෙන්ම  තුවක්කුව සුද්ධ කළා.’ කියමින් තුවක්කුව බිත්තියට හේත්තු කළේය.

අපට වාඩිවීමට පුටු දෙකක් පෙන්වූ ඔහු තම සුපුරුදු පුටුවෙහි හිඳ ගත්තේය.
ඔහු කතාවට මුල පිරුවේය.

‘ඉතින් මේ ඉලන්දාරි කවුද?  මාව හමු වෙන්න ආවෙ රාජකාරි වැඩකටද? කියමුකො විස්තර.’

ටික වෙලාවක නිශ්ශබ්දතායකින් පසුව සඳසිරි හඬ අවදි කළේය.
‘රාලහාමි මේ ආවෙ අපේ යාලුවෙක්ගෙ වැඩකට’

‘එහෙනම් මේක තුන්වෙනි පාර්ශවයක වැඩක්. කව්ද ඔය යාලුවා මෙහෙට එන්න බැරි කෙනෙක්ද?’

ඔහුගේ ප්‍රශ්නයේ ස්වරුපයෙන් එහි යම්කිසි ව්‍යංගයක් තිබේදෝ  යන සැකය නිසා අපේ ගැටලුව ඉදිරිපත් කළ විට,  කුමකින් කුමක් වේදෝයි අපට මහත් බියක් සහ සැකයක් ඇතිවිය. අප කරන්නේ මහත් අණුවන වැඩක් නොවේදෝ යන්නත් මට සිතින.

‘මහත්තයාලා කොහේද? රස්සාවල් කරනවද ?

මම පිළිතුරු දුනිමි. ‘අපි දෙන්නම අලුත් ගුරුවරු. උගන්වන්නේ පිට පලාත්වල. අපි දෙන්නම හොරණ.’

‘ඉතින් ඔය යාලුවා කව්ද? මොකක්ද ප්‍රශ්නය?’ ගම්පතිවරයා තරමක් උස් හඬින් ඇසිය.

‘එයාත් ගුරුවරයෙක් උගන්වන්නේ මෙහේ සෙන්ට්‍රල් එකේ. නම වෝල්ටර් ’ මම කීවෙමි.

‘අපේ දුව උගන්වන්නෙත් සෙන්ට්‍රල් එකේ. එයා උදෙන්ම අම්මත් එක්ක ගමනක් ගියා’ ගම්පති තරමක නොසන්සුන් භාවයක්‌ පෙන්වා,

‘ඔය හාදයා ගැන මම අහලා තියෙනවා. එයා උපාධි විභාගයත් ෆේල් වෙලා නේද?’ ඔහු  අපගෙන් ඇසිය.

‘ඔව්, එයා නන්දනී මිස් ගැන කැමැත්තක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාලහාමි දැනුවත් කරන ලෙස අපට පෙරැත්ත කරනවා. ඒකයි අපි මේ හදිසියේම ආවෙ.’ මම අප ආ කාරණය ඉක්මණට කීවෙමි

‘මොන.......වා ........ ?’  මේ නෝන්ජලයාගෙන් අපේ දුවට මගුල් යෝජනාවක්. ඔය මිනිහට පිස්සුද?’ කියමින් ඔහු නැගිට ගොස් තුවක්කුව අතට ගත්තේය.

අප  දෙදෙනාම මහත් බියට සහ සන්ත්‍රාසයට පත්වීමු.

තද කෝපයෙන් රැවුල පුප්පා ඇඟ සලිත කරමින් කතාකළ ඔහු
‘මොකද මේ මිනිහට දෙමව්පියෝ නැද්ද? ගුරුවරයෙකුත් වෙලා සිරිත් විරිත් දන්නේ නැද්ද? මෙහෙම ආවට ගියාට මගුල් යෝජනා ගේනවද? තමුන් දෙන්නටවත් මේ වැඩේ බැරෑරුම් කම තේරුණේ නැද්ද?  කියමින්  අඩි හප්පන්නට විය.’

‘සමාවෙන්න රාලහාමි. අපි නොදැනුවත් කම නිසයි මේ පියවර ගත්තේ.කරදර කිරීම ගැන කනගාටුයි.’ සඳසිරි යටහත් පහත්ව කිවේය.

එසේ කීවිට කෝපය තරමක් අඩුකරගත් ඔහු, අප වැටි සිටින අසීරු තත්වය තේරුම ගත් බව අඟවා,
‘කමක් නැහැ. මහත්තයලාට  ඔය නිවට යාලුවා වෙනුවෙන් මගෙන් දොස් අහන්නට වීම හොඳ පාඩමක්. මිට පස්සේ වැඩිහිටියෝ කළයුතු වැඩ වලට අත දාන්නට යන්නට එපා’ කියා අවවාදයකුත් දුන්නේය.

අප කොයි  මොහොතේ  මේ උගුලෙන් බේරීමට හැකිවේදෝයි සිතමින් සිටින විට රාලහාමි ගොරහැඩි බව මඳක් අඩුකර සන්සුන්ව කතා කළේය. මෙය අපට තරමක අස්වැසිල්ලක් විය.

‘ඔය මහත්තයාගේ වයස කීයද?’ ඔහු මගෙන් විමසිය. කුමක් කිව යුතුදැයි මට සිතාගත නොහැකි විය. මම ඇත්තම කීවෙමි.

‘අවුරුදු විසි හතරයි.’

ඔහු ඊළඟට සඳසිරිගෙන්ද  එම ප්‍රශ්නයම ඇසිය.

‘විසිපහයි’ ඔහුගේ පිළිතුර විය.

ඔහු ඊට පසු මොනවා අසන්නේද කියා අපට මහත් සැකයකි.

මහු උගුර පාදා රැල් බුරුල් හැර,

‘මට වයස අවුරුදු පනස් අටක්. බලන්න ඔය දෙන්නාගේම වයස් දෙකම  එකතු කලත් අවුරුදූ  පනහක්වත් නැහැනේ. ඒත් මගේ වයසට අවුරුදු දහයක් විතර  අඩුයි. එහෙම ලාබාලයෝ දෙන්නෙක්,  මගේ එකම දුවට මගුල් ජෝඩුවකට ආ එක හරිම විහිළුවක්නේ. මිට පස්සෙනම් මෙහෙම මෝඩ වැඩ කරන්නට එපා.’ කියමින් තුවක්කුව ආපසු බිත්තියට හේත්තු කළේය.

‘තුවක්කුව මගේ අතේ තිබුන නිසා  බය වෙන්නත් ඇති. මම මේක සත්තු මරන්නනම් ගස්සලා නැහැ. ඒ උනත් ඔය වගේ නොගැලපෙන යෝජනා ගේන කෙනෙකුට නම් නොගැස්සුවත් එල්ල කරන්නනන් පුලුවන්’ කියමින් වියරු සිනහවක් පෑවේය.

‘එහෙනම් රාලහාමි අපට දුන් උපදෙස් හොඳට පිළිපදිනවා. අපි ගිහින් එන්නම්’ කී සඳසිරි පුටුවෙන් නැගිටින විට මමද නැගිට්ටෙමි.

‘බොහොම හොඳයි මතක තියා ගන්න. නැවත ආවට කමක් නැහැ. ඔය වැඩේට නම් ආයිත් මෙහෙ එන්න එපා’ කියමින් ඔහු දත් විලිස්සා සිනාසුනේය.

ප්‍රතිඵලය ඇසු වෝල්ටර් ‘නලියන’ පිලිබඳ අදහස අත් හැර ඇති බව පසුව දැනගතිමි.

   

   

  

         

Sunday, 1 October 2017

අටලෝ දහම සෑම මිනිසෙකුටම බලපාන්නාවූ පොදු ධර්මතාවයක්‌ වේ..

   ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප සහ දුක යන අටලෝ දහම සෑම මිනිසෙකුටම බලපාන්නාවූ පොදු ධර්මතාවන් වේ. බොහෝ අය මෙයින් ලාභ, යසස ප්‍රසංසාව සහ සැප යන ධර්මතා භුක්ති විදීමේදී ඉමහත් සතුටක් විඳ උද්දාමයට පත්වන  අතර අලාභ, අයස, නින්දා සහ දුක ලබන අවස්ථාවලදී මහත් කම්පාවට පත්වෙති.



අටලෝ දහම

මහා මංගල සුත්‍රයෙහි

‘ඵුට්ඨස්ස ලෝක ධම්මේහි  -  චිත්තං යස්ස න කම්පති                                                                       අසෝකං විරජං ඛේමං   -   ඒතං මංගල මුත්තමං’
යන ගාථාවෙහි දැක්වෙන පරිදි 
  
‘අටලෝ දහමෙන් නොසැලෙන ශෝකයෙන් සහ කිලිටෙන් තොර, නිර්භය මනසක් තිබීම උතුම්වූ මංගල කරුණකි.’

ලාභ, යස, ප්‍රශංසා, සැප යන සුඛාස්වාද ජනක අනුභූතීන්ට පමණක් සීමා වීමට කිසිදු සත්වයෙකුට ඉඩ නොලැබේ. අලාභ, අයස, නින්දා හා දුක් යන දුක්ඛානුභූතීන්ටද, ඒකාන්තවම මුහුණ දීමට සිදුවේ
යම් කිසිවකුට යමක් ලැබීමට පූර්වකෘත කුසල විපාකයක් තිබිය යුතුවා සේම නොලැබීයාමට මෙන්ම හිමිව තිබූ සම්පතක් අහිමිවීමට ද කර්ම විපාකය හේතුවිය හැකිය. කර්මානුරූපව ලැබුණු විපාකය උද්දාමයට පත්වීමට හෝ කනස්සල්ලක් ඇති කරගැනීමට කරුණක් නොවේ. විශේෂයෙන්ම යම් අලාභ, අයස නින්දා හෝ දුක් යන ප්‍රතිවිපාක ලැබුණු අවස්ථාවල එම ආදීනවයට හේතු කාරක වූ අරමුණ සමඟ ගැටීම් ඇතිකර නොගත යුතුය. එහිදී තමන් වෙත මේ ඛේදජනක දුර්විපාකය පැමිණියේ තමන්ගේම අකුසල කර්මයක විපාක හේතුවෙන් යයි කියා ඉවසීම හා උපේක්‍ෂාව පුහුණු කළ යුතුය.

බෞද්ධ සමාජය තුළ නිරතුරුවම ශ්‍රවණය කිරීමට ලැබෙන ධර්ම දේශනා වලදී බොහෝ විට මෙම ධර්මතා පිලිබඳ සාකච්ඡා වේ.
මා මෙහිදී විස්තර කිරීමට අදහස් කරනුයේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු, අප කල්පනාකරන ආකාරයට කර්මානුරූපව සිදුවූ සිද්ධියක් ඔහුගේ මරණය අබියස සිටියදීත් බොහෝ සැහැල්ලුවෙන් ගෙන ඇති ආකාරයයි.
1975 වසරේදී විම්බ්ලෙඩන් ටෙනිස් ශුරතාවය දිනාගත් ඇමෙරිකාවේ ආතර් ඈශ් (Arther Ashe) එම ශුරතාවය දිනු ප්‍රථම කළු සම ඇති ඇමෙරිකානුවා ලෙස ඉතිහාසගත වේ.


ආතර් ඈශ් එම ටෙනිස් ශුරතාවය දිනු අවස්ථාව
1983  දී භෘද සැත්කමකට භාජන වූ ඔහුට රුධිර පාර විලයනය කිරීමේදී ඒඩ්ස් වයිරසය ශරීර ගතවී තිබේ. ඊට ටික කලකට පසු ඔහු මෙම රෝගය  නිසා මරණාසන්නව සිටියදී, ඇමෙරිකාවේ ඔහුගේ ආදරණිය ටෙනිස් ලෝලයින්, දහස් සංඛ්‍යාත ගණනින් දුක්මුසු පණිවුඩ එවන්නට විය.
මෙසේ ලැබුණු විශේෂ පණිවුඩයකට  ඔහු ලියා යවා තිබෙන පිළිතුර ඉතාමත් ධෛර්යය සම්පන්න එසේම මහඟු ආදර්ශයක් ලබාදෙන්නකි.
ඔහුට ලැබුණු එම  කෙටි පණිවුඩය මෙසේය.
‘මා අතිශය හිතාදරය දිනු ඈශ්,
‘දෙවියන් වහන්සේ මෙතරම් කෘරතර රෝගයක් සඳහා ඔබවම තෝරා ගත්තේ මන්ද?’
මෙම ලිපියට ආතර්  ඈශ් විසින් යවන ලද දීර්ඝ පිළිතුර ඔහුගේ සුවිශේෂී ගුණාංගයක් පිළිබිඹු කරන්නකි.
එම පිළිතුර සැකෙවින් මෙසේය
මගේ ගරු කටයුතු මිතුර,
‘මේ වකවානුවේදී
මිලියන පනහක් පමණ ශිෂ්‍යයෝ ටෙනිස් ක්‍රීඩාව ආරම්භ කළහ.                                                             එයින්  මිලියන පහක් පමණ ක්‍රීඩාව ඉගෙන ගත්හ.                                                                                       ලක්ෂ පහක් පමණ වෘත්තීයම ටෙනිස් ක්‍රීඩකයෝ වුහ.                                                                           පනස්  දහසක් පමණ උසස් මට්ටමේ තරඟ වලට සහභාගී වුහ.                                                                පනස්  දෙනෙකු පමණ ‘විම්බ්ලෙන්ඩන්’ තරඟ මට්ටමට අවතීර්ණ වුහ.                                                      පන්  දහසක් පමණ ඉහලම තරඟ වල ක්‍රීඩා කළහ.                                                                                          සිව් දෙනෙකු අවසාන පූර්ව තරඟ වලට සුදුසුකම් ලැබුහ.                                                                දෙදෙනෙකු අවසාන තරඟයට මුහුණ පෑහ.                                                                                              එසේ පැමිණි කෙනෙකු  වන මම ජයග්‍රහණය කළෙමි.’                                                                                                                                                                    මම ජයග්‍රාහි කුසලානට  හිමිකම ලබා මහත් සතුටට පත්ව සිටිද්දී,
‘දෙවියනි, ඇයිද මා පමණක්’ කියා නොඇසුවෙමි.
‘දැන් මා වේදනාවෙන් භරිත වි සිටියදී පමණක් එසේ දෙවියන්ගෙන් කෙසේ අසන්නද?’
ඔහු තම අදහස් තව දුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ.
‘සතුට නිසා ඔබ යහපත්වේ. අභියෝග ඔබ ශක්තිමත් කරයි. ශෝකය ඔබ මානුෂික කරයි.පරාජයන් ඔබ නිහතමානි කරයි. ජය ඔබ දීප්තිමත් කරයි.’‘විශ්වාසය පමණක් ඔබ ඉදිරියට මෙහෙයවයි.’
‘සමහරවිට ඔබ දැනට ගෙවන දිවිය ගැන සතුටක් නොමැතිව සිටිය හැකිය. එහෙත් ඔබ දැනට ගෙවන දිවියටවත් ලඟාවීමට සිහින දකින්නෝ බොහෝ ඇත.’
‘ගම්බද ගොවිපලක සිටින කුඩා දරුවෙකු, අහසේ ගමන් කරන අහස් යානයක් දැක අහස් ගමනක සිහින දකී. එසේම අහස් යානයේ නියමුවා පහළ හරිත වර්ණ ගොවිපළ දැක කොයි මොහොතේ තම නිවසට ලඟාවිමට හැකිවේදෝයි සිහින දකී.’
ජීවිතය මෙයයි.
‘ඔබ ලද දෙයින් සතුටු වන්න.’
‘ධන සම්පත් තිබීම සතුටේ රහස නම්, ගී කියමින් නටන ධනවතුන්ගෙන් මං මාවත් පිරියනු ඇත. එහෙත් ඔබ නිතර දකිනුයේ  මං මාවත්වල ගී කියමින් නටන දුප්පත් දරුවන්ය.’
‘බලය ඇත්තාට එයින්ම ආරක්ෂාවද තහවුරු වේනම්, ප්‍රභූහු ආරක්ෂකයින් නොමැතිව සිටිනු ඇත. එසේ සිදු නොවේ. එහෙත් සරල ජිවිත ගත කරන්නෝ සැප නින්දක් ලබති.’
‘මනා හැඩරුව සහ ජනප්‍රිය බව මිනිස් සබඳතා වලට ප්‍රධානතම නිර්ණායක වේනම් රුප රාජිනියෝ  සාර්ථකම පවුල් ජීවිත ගත කරන්නන් විය යුතුය. එහෙත් එසේ  නැත.’
‘සරල දිවි පෙවෙතක් ගත කරන්න. නිහතමානි වන්න. උඩඟු නොවන්න. සැමට ප්‍රේම කරන්න. ලබන, නොලැබෙන දේ ගැන ප්‍රශ්න නොකරන්න.’
‘ලැබීමට සහ නොලැබීමට හේතු ගැන දෙවියන්ගෙන්  නොඅසන්න.’
මෙයට,  ඔබට අමතක නොවන   -    ආතර් ඈශ්
ආතර් ඈශ් ජීවිතය ගැන ඉතාමත් ගැඹුරින් සිතා ඇති බව මෙයින් පෙනේ. ඔහු බුදු දහම ගැන නොදන්නවා විය හැකිය. එසේ වුවත් ඔහුගේ දැක්ම ඉහත මහා මංගල සුත්‍රයේ ගාථාවෙන් පෙන්වා දෙන කරුණුම බව පැහැදිලිය.
මිනිසා විසින් කළයුත්තේ සමාජයෙන් හෝ පුද්ගලයන්ගෙන් හෝ භෞතික පරිසරයෙන් පැමිණෙන කරදර හිරිහැර හා ගැටීම නොවේ. මේ හැම දෙයක්ම පෙර කළ කර්ම වල විපාක යැයි උදාසීන සිතුවිල්ලක් ඇතිකරගෙන සිටීමද නොවේ. ආස්වාදනීය ලෝක ධර්මතාවයන්හිදී උද්දාමයට පත් නොවීම හා ඛෙදනීය ලෝක ධර්මතාවයන්ගෙන් වැළකී සිටීමට රැකවරණ සලසා ගැනීමය. එසේ රැකවරණය සලසා ගැනීමෙන් කර්ම විපාකය හෝ හේතු ඵල ධර්මය පාලනය කරගැනීමය.
එබැවින් අෂ්ට ලෝක ධර්ම හා කර්ම විපාක අතර ඇති සබඳතාවය වටහාගෙන තමන්ගේ ජීවිතය පවට විවෘත වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම සැබෑ මිනිසෙකුගේ ස්වරූපය විය යුතු බව සිතට ගත හැකිය..